16. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ යමකුගේ තීර්‍ත්‍ථායතනයකින් මෙහි ආයේ වේ ද, ඒ තීර්‍ත්‍ථායතනස්වාමී වූ ශාස්තෘහුගේ ද ඔහු සතු ලබ්ධියෙහි ද ඔහු ගේ කැමැත්තෙහි ද ඔහුගේ රුචියෙහි ද ඔහුගේ දෘෂ්ටියෙහි ද දොස් කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තේ ඔද වැඩි වූයේ පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ දොස් කියනු ලබන කල්හි කිපියේ නො සතුටුසිත් ඇත්තේ නො පිරිපුන් අදහස් ඇත්තේ වේ ද – යමෙකුගේ තීර්‍ත්‍ථායතනයකින් මෙහි ආයේ වේ ද, ඒ තීර්‍ත්‍ථායතනස්වාමී වූ ශාස්තෘහුගේ ද ඔහු සතු ලබ්ධියෙහි ද ඔහුගේ කැමැත්තෙහි ද ඔහුගේ රුචියෙහි ද ඔහුගේ දැඩිව ගත් දෘෂ්ටියෙහි ද ගුණ කියනු ලබන කල්හි කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තේ ඔද වැඩි වූයේ පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, මහණෙනි, මෙය පෙර අන්‍යතීර්‍ත්‍ථකවූවහුගේ වත් පිරීමෙහි ප්‍රධාන ලක්‍ෂණය වේ. මහණෙනි, මෙසේ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නේ වේ. මහණෙනි, මෙසේ වත් පුරණ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ ආයේ උපසපන් කළ යුතු ය.
17. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ නග්නව ආයේ නම් උපාද්ධ්‍යායයා මුල් කොට සිවුරු සෙවිය යුතු ය. නො කැපූ හිසකේ ඇතිව පැමිණේ නම් භණ්ඩුකර්‍මය පිණිස සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය. මහණෙනි, යම් ඒ ගිනි පුදන්නෝත් ජටාධරයෝත් වෙත් නම් ආවා වූ ඔහු උපසපන් කළ යුතු ය. ඔවුන්ට පිරිවෙස් නො දිය යුතු ය. ඊට හේතු කිම? මහණෙනි, මොහු කර්‍මවාදීහු ක්‍රියාවාදීහු වෙත්. මහණෙනි, ජාතියෙන් (උත්පත්තියෙන්) ශාක්‍ය වූ පෙර අන්‍යතීර්‍ත්‍ථකවූවෙක් පැමිණේ ද, ආවා වූ හෙතෙමේ උපසපන් කළ යුතු ය. ඔහුට පිරිවෙස් නො දිය යුතු ය. මහණෙනි, මම නෑයන්ට (ඔවුන්ට පමණක්) උරුම වූ මේ පරිහාරය (අනුග්‍රහයක් වශයෙන්) දෙමි.
අන්‍යතීර්‍ත්‍ථක කථාව නිමි.
1. එකල්හි මගදදනවුවෙහි කුෂ්ඨ – ගණ්ඩ – කිලාස – ක්‍ෂය අපස්මාර යන පඤ්චාබාධයෝ උත්සන්න වූවාහු වෙත්. මේ ආබාධ පසින් මඬනා ලද මිනිස්සු කෝමාරභච්ච නම් ජීවක වෙදුන් වෙත ගොස් “ආචාර්‍ය්‍යය, අපට පිළියම් කළ මැනවැ” යි. මෙසේ කියති. එකල්හි “ආර්‍ය්‍යයෙනි, මම බොහෝ කටයුතු ඇත්තෙක් වෙමි. බොහෝ කළ යුතු දෑ ඇත්තෙක් වෙමි මා විසින් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ද ඒ රජහුගේ අන්තඃපුරය ද බුද්ධප්‍රමුඛසඞ්ඝ තෙමේ ද උපස්ථාන කළ යුතු ය. එහෙයින් මම පිළියම් කිරීමට නො හැක්කේ වෙමි” යි හේ කීයේ ය: “ආචාර්‍ය්‍යය, අපසතු සියලු ධනය ද ඔබට වේවා. අපි ද ඔබට දාසයෝ වෙමු. ඇදුර, අපට පිළියම් කරණ මැනවැ” යි නැවත ද කීහ. “ආර්‍ය්‍යයයෙනි, මම බොහෝ කටයුතු ඇත්තෙක් වෙමි. බොහෝ කළ යුතු දෑ ඇත්තෙක් වෙමි. මා විසින් මගධේශ්වරවූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ද ඒ රජුගේ අන්තඃපුරය ද බුද්ධප්‍රමුඛසඞ්ඝ තෙමේ ද උපස්ථාන කළ යුතු ය. එහෙයින් මම පිළියම් කරන්නට නො හැක්කේ වෙමි” යී ජීවක තෙමේ කියෝ ය.
2. එකල්හි ඒ මිනිසුන්ට “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ සැපවූ පැවැතුම් ඇත්තෝ ය. පහසු හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං නො හමන යහන්හි සයනය කරති. අපි ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණයන් කෙරෙහි පැවිදි වන්නෙමු නම් යෙහෙක. එකල්හි භික්‍ෂූහු ද උපස්ථාන කරන්නෝ ය. කෝමාරභච්ච ජීවක තෙමේ ද පිළියම් කරන්නේ ය” යි සිතෙක් උපන.
3. ඉක්බිති එ මිනිස්සු භික්‍ෂූන් කරා ගොස් පැවිද්ද ඉල්ලූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ. උපසපන් ද කළහ. භික්‍ෂූහු ද ඔවුන්ට උපස්ථාන කළහ. කෝමාරභච්ච ජීවක තෙමේ ද පිළියම් කෙළේ ය.
4. එකල්හි භික්‍ෂූහු බොහෝ ගිලන් මහණුන්ට උපස්ථාන කරන්නෝ “ගිලනුන්ට හිත බත් දෙවු. ගිලානෝපස්ථායකයන්ට බත් දෙවු. ගිලනුන්ට හිත බෙහෙත් දෙවු” යි බොහෝ සේ ඉල්ලමින් බොහෝ සේ විණවමින් වෙසෙති. කොමාරභච්චජීවක තෙමේ ද බොහෝ ගිලන් මහණුන්ට පිළියම් කරන්නේ එක්තරා රාජකාර්‍ය්‍යයක් පිරිහෙලූයේ ය.
5. එකල්හි පඤ්චාබාධයෙන් පෙළුනු එක්තරා පුරුෂයෙක් කෝමාරභච්චජීවකයා වෙතට ගොස් “ඇදුර, මට පිළියම් කරනු මැනවැ” යි කීයේ ය. “ආර්‍ය්‍යය මම බොහෝ කටයුතු ඇත්තෙක් වෙමි. බොහෝ කළයුතු දෑ ඇත්තෙක් වෙමි. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ද ඔහුගේ අන්තඃපුරය ද බුද්ධප්‍රමුඛසඞ්ඝ තෙමේ ද මා විසින් උපස්ථාන කළ යුතු ය. එහෙයින් මම පිළියම් කරන්නට නො හැක්කේ වෙමි” යි කී ය. “ඇදුර, මා සතු සියලු ධනය ද ඔබට වේවා. මම ඔබගේ දාසයෙක් ද වෙමි. ඇදුර, මට පිළියම් කරණු මැනවැ” යි (හෙතෙමේ නැවතත් කී ය.) එවිට ද ජීවක තෙමේ “සගය, මම බොහෝ කටයුතු ඇත්තෙක් වෙමි. බොහෝ කළ යුතු දෑ ඇත්තෙක් වෙමි. මා විසින් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ද ඔහුගේ අන්තඃපුරය ද බුද්ධප්‍රමුඛ සඞ්ඝතෙමේ ද උපස්ථාන කළ යුතු ය මම පිළියම් කිරීමට නො හැක්කේ වෙමි” යි කී ය.
6. එකල්හි ඒ පුරුෂයාහට “මේ ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ සැප වූ පැවැතුම් ඇත්තෝ ය. පහසු හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං නොවදින යහන්හි සයනය කෙරෙති. මම ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වන්නෙම් නම් යහපති. එකල්හි භික්‍ෂූහු ද මට උපස්ථාන කරන්නාහ. කෝමාරභච්වජිවක තෙමේ ත් මට පිළියම් කරන්නේ ය. ඒ මම ලෙඩ නැත්තෙක් ව සිවුරු හරින්නෙම්’ යි සිතෙක් උපන.
7. ඉක්බිති ඒ පුරුෂ තෙමේ භික්‍ෂූන් කරා ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. උපසපන් ද කළහ. භික්‍ෂූහු ඔහුට උපස්ථාන ද කළහ. කොමාරභච්චජීවක තෙමේත් ඔහුට පිළියම් කෙළේ ය. හෙතෙමේ නීරොගවූයේ සිවුරු හැර ගියේ ය.
8. එකල්හි ජීවකතෙමේ සිවුරු හැර ගියාවූ ඒ පුරුෂයා දුටුයේ ය. දැක “සගය, ඔබ භික්‍ෂූන් වෙත පැවිදිව සිටියෝ නොවහු දැ?” යි ඔහු ගෙන් ඇසී ය. “ඇදුර, එසේ ය” යි හෙතෙමේ පිළිතුරු දුන්නේ ය. “සගය, මෙබන්දක් කෙළේ කුමක් නිසාද?” යි ඇසී ය.
9. එකල්හි ඒ පුරුෂ තෙමේ කෝමාරභච්චජීවකයාහට මේ කරුණ දැන්වී ය. කොමාරභච්චජීවක තෙමේ “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා පඤ්චාබාධයන්ගෙන් පෙළෙන්නකු පැවිදි කරත් දැයි යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.
10. ඉක්බිති කෝමාරභච්චජිවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳ “ස්වාමීනි, ස්වාමීන් වහන්සේලා පඤ්චාබාධයන්ගෙන් පෙළුනකු පැවිදි නො කරන්නෝ නම් යහපතැ” යි සැළකළේ ය.
11. එවිට භාග්‍යවතුන් වහන්සේ කොමාරභච්චජිවකයාහට දැහැමි කතාවෙන් කරණු දැක්වූ සේක. කුසල් දහම්හි සමාදන් කරවූ සේක. කුසල් දහම්හි තියුණු කරවූ සේක. ඇති ගුණයන්ගෙන් සතුටු කරවූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ කුසල් දහම්හි සමාදන් කරවූ කුසල් දහම්හි තියුණු කරවූ පැහැදවූ ,කොමාරභච්චජීවක තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණ යෙහි දැහැමි කතා කොට “මහණෙනි, පඤ්චාබාධයන්ගෙන් පෙළුනෙක් පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
13. එකල්හි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට පසල් දනව්ව කිපියේ වේ. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ සේනාවන්ට නායක වූ මහඇමතියන්ට “සගයෙනි, යවු, පසල් දනව්ව දියුණු කරවු” (සොරුන් පලවා හැර සොර බියෙන් නැගී බැහැර ගිය ගම්වැස්සන් ගෙන්වා ඔවුන්ට වාසස්ථාන සපයා දී ගොවිකම් ආදිය දියුණු කරවු) යි අණ කෙළේ ය. “දේවයන් වහන්ස, යහපතැ” යි සේනාධිපති මහාමාත්‍යයෝ මගධේශ්වරවූ සේනා ඇති බිම්බිසාර රජුහට පිළිවදන් දුන්හ.
14. එකල්හි ප්‍රසිද්ධ යෝධයන්ට “අපි යුද්‍ධ කිරීමෙහි සතුටු වන්නමෝ පව් ද කරන්නෙමු. බොහෝ අකුසල් ද රැස් කරන්නෙමු. අපි කිනම් උපායකින් පවින් වළකින්නෙමු ද? කුසල් කරන්නෙමු දැ?” යි සිතෙක් උපන්නේ ය.
15. නැවත ද ඒ යෝධයන්ට “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ දහම්හි හැසිරෙන්නෝ ය. සමව හැසිරෙන්නෝ ය. බ්‍රහ්මචාරී ය. සත්‍යවාදී ය. සිල්වත් ය. යහපත් පැවැතුම් ඇත්තාහ. අපි ත් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් කෙරෙහි පැවිදි වන්නෙමු නම්, පවිනු ත් වළකින්නෙමු. කුසලු ත් කරන්නෙමු” යි සිත් විය.
16. ඉක්බිති ඒ යෝධයෝ භික්‍ෂූන් කරා ගොස් පැවිද්ද ඉල්ලූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ. උපසපන් කළහ. එකල්හි සේනාධිපති මහාමාත්‍යයෝ “සගයෙනි, මෙ නම් වූ ත් මෙ නම් වූත් යෝධයෝ නො දක්නා ලැබෙත්. එහි හේතු කිමැ?” යි රාජභටයන්ගෙන් විචාළෝ ය. “ස්වාමීනි, මෙ නම් වූ ත් මෙ නම් වූ ත් යෝධයෝ භික්‍ෂූන් වෙත පැවිදි වූහ.”යි ඔහු කීහ. කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ රාජභටයන් පැවිදි කරන්නාහු දැ” යි සේනාධිපති මහාමාත්‍යයෝ අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. ඔහු ඒ බව මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට දැන්වූහ.
17. ඉක්බිති මගධේශ්වරවූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ “සගයෙනි, යමෙක් රාජ භටයෙකු පැවිදි කෙරේ නම් හෙ තෙමේ කිනම් දඬුවමක් අත්පත් කරගණී දැ?” යි විනිශ්චයකාරක මහාමාත්‍යයන්ගෙන් විචාළේ ය. “දේවයන් වහන්ස, උපාධ්‍යායයාගේ හිස සිඳිය යුතු ය. අනුශාසකයාගේ දිව උදුරා දැමිය යුතු ය. ගණයාගේ අඩක් ඉල ඇට බිඳිය යුතු ය” යි ඔහු කීහ.
18. එකල්හි මගධේශ්වරවූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ පසෙක හිඳ ස්වාමීනි, ශ්‍රද්ධා නැත්තා වූ සසුන්හි නො පහන් රජහු වෙති. ඒ රජහු ඉතා ටිකකිනිදු භික්‍ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා රජ භටයෙකු පැවිදි නො කරන්නේ නම් යහපතැ යි” සැළකෙළේ ය.
19. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. කුසල් දහම්හි සමාදන් කරවූහ. කුසල් දහම්හි තියුණු කරවූහ. ඇති ගුණයෙන් සතුටු කරවූහ. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට වැඳ පැදකුණු කොට ගියේ ය.
20. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණ යෙහි දැහැමි කතා කොට “මහණෙනි, රාජභටයෙක් පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
21. එකල්හි අඞ්ගුලිමාල සොර තෙමේ භික්‍ෂූන් වෙත පැවිදි වූයේ වේ. මිනිස්සු දැක බියපත් වෙති. තැති ගණිති. පලා යෙති. අන් මගිනුදු යෙත්. අන් දෙසකට මුහුණ ද හරවත්. දොර වසා ගණිත්. මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ කොඩි බැඳි (ප්‍රකටවූ) සොරහු පැවිදි කරන්නාහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භික්‍ෂූහු බණින දොඩන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් අසා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. උන්වහන්සේ “මහණෙනි, කොඩි බැඳි සොර තෙමේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාදැවැත් වේ” යි වදාළ සේක.
22. එකල්හි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් “යම් කෙනෙක් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. ධර්‍මය මනාකොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා” යි අනුදන්නා ලද්දේ ය.
23. එකල්හි එක්තරා පුරුෂයෙක් සොරකම් කොට සිරගෙයි ලා බඳින ලද්දේ වේ. හෙතෙමේ සිරගෙය බිඳ ගෙණ පලා ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. මිනිස්සු දැක “මේ තෙමේ ඒ සිර ගෙය බිඳ ගියා වූ සොරා ය. එහෙයින් මූහු අල්ලා ගෙණ යමු” යි කීහ. ඇතැම් කෙතෙක් “මිත්‍රයෙනි, මෙසේ නො කියවු, මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් ‘යම් කෙනෙක් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද, ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. ධර්‍මය තෙමේ මනා කොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා’ යි අනුදන්නා ලද්දේ ය” යි මෙසේ කීහ.
24. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ (රජුගෙන්) ලත් අභය ඇත්තෝ ය. මුන් වහන්සේලා කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. කෙසේ නම් සිරගේ බිඳ ගිය සොරු පැවිදි කරන්නාහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිරගෙය බිඳ ගිය සොර තෙමේ පැවිදි නො කළයුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
25. එකල්හි එක්තරා පුරුෂයෙක් සොරකම් කොට පලා ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. හෙතෙමේ ද රජුගේ අන්තඃපුරයෙහි ලියා තබන ලද්දේ වේ: “යම් තැනකදී දැක්ක හැක්කේ ද එතැන්හිදී නැසිය යුත්තේ ය.” කිය යි. මිනිස්සු දැක “මේ ඒ ලියා තුබූ සොරා ය. එබැවින් මූ නසමු” යි කීහ. “සගයෙනි, එසේ නො කියවු. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් ‘යම් කෙනෙක් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. ධර්‍මය තෙමේ මනා කොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා’ යි අනුදන්නා ලද්දේය” යි කීහ.
26. මිනිස්සු ශාක්‍යපුත්‍ර වූ “මේ ශ්‍රමණයෝ (රජුගෙන්) ලත් අභය ඇත්තෝ ය. මුන්වහන්සේලා කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. කෙසේ නම් ලියා තැබූ සොරු පැවිදි කරන්නාහු දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලියැවුනු සොර තෙමේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
27. එකල්හි එක්තරා පුරුෂයෙක් කසයෙන් තළන ලද්දේ (එයින්ම) කරණු ලැබූ දඬුවම් ඇත්තේ භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. මිනිස්සු කෙසේ නම් ශාක්‍යපුත්‍ර වු ශ්‍රමණයෝ කසයෙන් තළනු ලැබූ කරණලද දඬුවම් ඇත්තනු පැවිදි කරන්නහු දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත් දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කසයෙන් තළනු ලැබූ කරණලද දඬුවම් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
28. එකල්හි සලකුණු තබනු ලැබූ (හංවඩු ගැසීමෙන්) කරණ ලද දඬුවම් ඇති එක්තරා පුරුෂයෙක් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. එකල්හි මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ සලකුණු තබනු ලැබූ කරණ ලද දඬුවම් ඇත්තවුන් පැවිදි කරන්නාහු දැ”යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සලකුණු තැබූ කරණ ලද දඬුවම් ඇත්තේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
29. එකල්හි එක්තරා පුරුෂයෙක් නය ගැති වූයේ පලා ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. ධන හිමියෝ ඔහු දැක “මේ ඒ අපගේ නය ගැතියා ය. එබැවින් මූ ගෙණ යමු” යි කීහ. ඇතැම් කෙනෙක් මිත්‍රයිනි, මෙසේ නො කියවු. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් ‘යම් කෙනෙක් ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තේ ය. ධර්‍මය තෙමේ මනා කොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා’ යි අනුදන්නා ලද්දේ ය”යි මෙසේ කීහ.
30. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ (රජුගෙන්) ලත් අභය ඇත්තෝ ය. මුන්වහන්සේලා කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. කෙසේ නම් නයගැතියහු පැවිදි කරන්නහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි නයගැත්තේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි උන්වහන්සේ වදාළ සේක.
31. එකල්හි එක්තරා දාසයෙක් පලා ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. ස්වාමීහු දැක මේ ඒ අපගේ දාසයා ය, මූ ගෙණ යමු” යි කීහ. ඇතැම් කෙනෙක් “මිත්‍රයෙනි, මෙසේ නො කියවු. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු විසින් යම් කෙනෙක් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වෙත් ද ඔහු කිසි දඬුවමක් කරන්නට නො ලැබිය යුත්තෝ ය. ධර්‍මය තෙමේ මනා කොට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරන්නට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්වා යි අනුදන්නා ලද්දේ ය” යි මෙසේ කීහ.
32. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ රජුගෙන් ලත් අභය ඇත්තෝ ය. මුන්වහන්සේලා කිසිදඬුවමක් කරන්ට නො ලැබිය යුත්තෝ ය. කෙසේ නම් දාසයා පැවිදි කරන්නාහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, දාස තෙමේ පැවිදි නොකළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුළාඇවැත් වේ’ යි උන්වහන්සේ වදාළ සේක.
33. එකල්හි එක්තරා මුඩු කළ හිස ඇති (කෙස් සිළුපසක් ඇති) තරුණ රන්කරුපුතෙක් මවු පියන් සමග ඩබර කොට ආරාමයට ගොස් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය. ඉක්බිති ඒ හිසමුඩු රන්කරු පුතුගේ මවුපියෝ ඒ හිසමුඩු රන්කරු පුතු සොයමින් ආරාමයට ගොස් “ස්වාමීනි, මෙබඳු දරුවකු දුටුවහු දැ?” යි භික්‍ෂූන්ගෙන් විචාළහ. භික්‍ෂූහු නො දන්නෝ ම “නො ද නිමු” යි කීහ. නො දක්නෝ ම “නො දකිමු” යි කීහ.
34. ඉක්බිති ඒ කම්මාරභණ්ඩුගේ මවුපියෝ ඒ කම්මාරභණ්ඩු සොයන්නෝ භික්‍ෂූන් වෙත පැවිදිවූවහු දැක “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ ලජ්ජා නැත්තෝ ය. දුශ්ශීලයෝ ය. බොරු කියන්නෝ ය. දන්නක් නො දනිමු යි කීහ. දක්නක් නො දකිමු යි කීහ. මේ දරුතෙමේ භික්‍ෂූන් වෙත පැවිදි වූයේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
35. එකල්හි භික්‍ෂූහු එසේ බණින දොඩන දොස් පවරණ ඒ කම්මාරභණ්ඩුගේ මවුපියන්ගේ ඇණුම් බැණුම් ඇසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, භණ්ඩුකර්‍මය (හිස කෙස් බෑම) පිණිස සඞ්ඝයා විචාරන්නට අනුදනිමි” යි වදාළ සේක.
36. එකල්හි රජගහනුවර සතළොස් වර්‍ගයේ දරුවෝ යහළුවෝ වෙති. උපාලි දරුතෙමේ ඔවුන්ට ප්‍රධාන වේ. එකල්හි උපාලි දරුගේ මවුපියන්ට “කිනම් උපායයකින් උපාලිතෙමේ අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ද ක්ලාන්ත නො වන්නේ දැ” යි සිත් විය.
37. ඉක්බිති උපාලිගේ මවුපියන්ට “උපාලි තෙමේ ලිවීම ඉගෙණ ගන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ය. ක්ලාන්ත ද නො වන්නේ ය” යි සිත් වි ය.
38. නැවත ද උපාලිගේ මවුපියන්ට “උපාලි තෙමේ ලිවීම ඉගෙණ ගන්නේ නම් ඔහුගේ ඇඟිලි පෙළෙන්නේ ය. යම ලෙසකින් උපාලි තෙමේ ගණිතය ඉගෙණ ගන්නේ නම් මෙසේ අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ය. ක්ලාන්ත නො වන්නේ ය” යි කල්පනා වි ය.
39. ඉක්බිති උපාලිගේ මවුපියන්ට “උපාලි තෙමේ ගණිතය උගන්නේ නම් ඔහුගේ ලය පෙළෙන්නේ ය. යම් ලෙසකින් උපාලි තෙමේ රූප ඇඳීම උගන්නේ නම් මෙසේ උපාලි අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ය. ක්ලාන්ත නො වන්නේය” යි අදහස් වි ය.
40. ඉක්බිති උපාලිගේ මවුපියන්ට “යම් ලෙසකින් උපාලි තෙමේ රූප ඇඳීම උගන්නේ නම් ඔහුගේ ඇස් පෙළෙන්නේ ය. ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ සැප වූ පැවැතුම් ඇත්තෝ ය. පහසු වූ හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං හැමීම් නැති යහන්හි සයනය කරත්. උපාලි තෙමේ ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වන්නේ නම් උපාලි අපගේ ඇවෑමෙන් සුවසේ ජීවත් වන්නේ ය. ක්ලාන්ත නො වන්නේ ය.” යි සිතෙක් උපන.
41. උපාලි දරු තෙමේ මවුපියන්ගේ මේ කතාව අසා ඒ යහළු දරුවන් වෙතට ගොස් ඔවුන්ට “මිත්‍රයෙනි, එවු, අපි ශාක්‍යමුත්‍ර වූ ශ්‍රමණයන් වෙත පැවිදි වන්නෙමු” යි කී ය. “මිත්‍රය, ඔබ පැවිදි වන්නහු නම් අපිත් පැවිදි වන්නෙමු” යි ඔහු කීහ.
42. ඉක්බිති ඒ යහළු දරුවෝ එකිනෙකාගේ මවුපියන් වෙත ගොස් “ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවන්නට මට අවසර දෙවු” යි ඉල්ලා සිටියහ. එකල්හි ඒ යහළු දරුවන්ගේ මවුපියෝ මේ සියලු දරුවෝ ම සම අදහස් ඇත්තාහ. යහපත් අදහස් ඇත්තාහ” යි අවසර දුන්හ. ඔහු භික්‍ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ. උපසපන් කළහ. ඔහු රෑ ඉතා අලුයම නැගිට “කැඳ දෙවු, බත් දෙවු, කෑ යුතු දෙයක් දෙවු” යි හඬත්.
43. භික්‍ෂූහු “ඇවැත්නි එලි වන තුරු ඉවසවු. කැඳ තිබේ නම් බොවු. බත් තිබේ නම් බුදිවු. කෑ යුතු දෙයක් තිබේ නම් කවු. කැඳ බත් හෝ (වෙන) කෑ යුතු දෙයක් නොවන්නේ නම් පිඬු පිණිස හැසිර බුදිවු”යි කීහ.
44. මෙසේ ද භික්‍ෂූන් විසින් කියනු ලබන්නා වූ ඒ භික්‍ෂූහු “කැඳ දෙවු. බත් දෙවු. කෑ යුතු දෙයක් දෙවු” යි කියමින් හඬත්. සෙනසුන අසුචි තැවරුණක් ද කෙරෙත්. මූත්‍ර තැවරුණක් ද කෙරෙත්. (සෙනසුන මත මල මූ පහ කෙරෙත්.)
45. රෑ අලුයම නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ ලදරුහඬ අසා ආයුෂ්මත් අනඳතෙරුන් අමතා “ආනන්‍දය, මේ ලදරු හඬ කිමැ?” යි විචාරා වදාළ සේක.
46. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, භික්‍ෂූහු දැන දැන විසිවසින් අඩු පුද්ගලයා උපසපන් කරත් යනු සැබෑ දැ?”යි ඇසූහ. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ දැන දැන විසිවසින් අඩු පුද්ගලයකු උපසපන් කරත් ද? මහණෙනි, විසිවසින් අඩු පුද්ගල තෙමේ සීත උෂ්ණ බඩ ගිනි පිපාසා මැසි මදුරු අවු සුළං සර්‍ප යන මොවුන්ගේ පහස නො ඉවසන්නේ ය. (ඉවසීමට නො හැක්කේ වේ.) නො මනා සේ කියූ නපුරු වචන නො ඉවසන්නේ ය. සිරුරෙහි හටගත් දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ පණ නසන්නා වූ වේදනාවන් නො ඉවසන ස්වභාව ඇත්තේ වේ.
47. “මහණෙනි, විසිවස් ඇත්තා වූ පුද්ගල තෙමේ ම සීත උෂ්ණ බඩගිනි පිපාසා මැසි මදුරු අවු සුළං සර්‍ප යන මොවුන්ගේ පහස ඉවසන්නේ ය. (ඉවසීමට හැක්කේ ය.) නො මනා සේ කියූ නපුරු වචන ඉවසන්නේ ය. සිරුරෙහි හටගත් දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ පණ නසන්නා වූ වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වේ. මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ.” –පෙ– ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි දැන දැන විසිවසින් අඩු පුද්ගල තෙමේ උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය”.
48. එකල්හි එක්තරා කුලයක් අහිවාතකරෝගයෙන් කලුරිය කෙළේ වෙයි. ඒ කුලයේ පියපුත් දෙදෙන ඉතිරි වූවාහු වෙති. ඔහු භික්‍ෂූන් වෙත පැවිදි ව එකතු ව ම පිඬු සිඟා යති. එකල්හි (පැවිදි වූ) ඒ දරු තෙමේ පියාට ආහාර දුන් කල්හි ලඟට දුව ගොස් “පියාණෙනි, මට ද දෙව. පියාණෙනි, මට ද දෙව” යි කීයේ ය. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයෝ බඹසර නැත්තෝ ය. මේ දරුතෙම මෙහෙණකගෙන් උපන්නේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
49. භික්‍ෂූහු බණින දොඩන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් අසා භාග්‍යවතුන් වහන්සේට ඒ බව සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, පසළොස්වසින් අඩු දරුවා පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
50. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ සැදැහැති පහන් වූ උපස්ථායක කුලයක් අහිවාතකරෝගයෙන් කලුරිය කළේ ය. එහි දරුවෝ දෙදෙනෙක් ඉතිරි වූහ. ඔහු පැරැණි වූ තමන්ට පුරුදු සිරිතින් භික්‍ෂූන් දැක ලඟට දුව යෙත්. භික්‍ෂූහු ඔවුන් බැහැර කරත්. භික්‍ෂූන් විසින් බැහැර කරණු ලබන ඒ දරුවෝ හඬා වැටෙති.
51. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පසළොස්වසින් අඩු දරු තෙමේ පැවිදි නො කළ යුතුය’ යි පණවන ලද්දේ ය. මේ දරුවෝත් පසළොස්වසට අඩු වයස් ඇත්තෝ ය. කිනම් උපායකින් මේ දරුවෝ නො නැසෙන්නාහු දැ?” යි සිතෙක් උපන. එකල්හි ආයුෂ්මත් වූ ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. එවිට උන්වහන්සේ “ආනන්‍දය, ඒ දරුවෝ කවුඩන් පලවාලීමට හැකි වෙත් දැ?” යි ඇසූහ. “භාග්‍යවතුන්වහන්ස, හැකි වෙත්” යි ආනන්‍දස්ථවිරයන් වහන්සේ පිළිතුරු දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි පසළොස්වසින් අඩු වූ කවුඩන් පලවාලීමෙහි පොහොසත් වූ දරුවා පැවිදි කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
52. එකල්හි ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිරයන් වහන්සේට කණ්ටක ය, මහක ය යි සාමණේරයෝ දෙදෙනෙක් වෙති. ඔහු එකිනෙකා දූෂණය කළාහු ය. භික්‍ෂූහු “කෙසේ නම් සාමණේරයෝ මෙබඳු නො සිරිත් කරත් දැයි යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙබව සැළකළහ. “මහණෙනි, එකකු විසින් සාමණේරයෝ දෙදෙනෙක් වෙත තබා ගතයුතු නො වෙත්. යමෙක් තබාගන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
53. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහි ම රජගහ නුවර වස් විසූ සේක. හේමන්ත කාලයෙහි ද ග්‍රීෂ්ම කාලයෙහි ද එහි ම විසූ සේක. මිනිස්සු “ශාක්‍යපුත්‍ර වූ මේ ශ්‍රමණයන්ට දිසාවෝ ගැහැටින් සම්බාධයහ. අඳුරු ය. මොවුන්ට දිසාවෝ නො වැටහෙත් (ප්‍රකට නො වෙත්)” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
54. භික්‍ෂූහු බණින දොඩන දොස් පවරණ ඒ මිනිසුන්ගේ බස් අසා මේ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අමතා “ආනන්‍දය, යතුර ගෙණ පිරිවෙණක් පාසා ගොස් භික්‍ෂූන්ට ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණාගිරියෙහි චාරිකාවට වඩින්නට කැමැති සේක. යම් ආයුෂ්මතෙකුහට (ඒ ගමනින්) වැඩෙක් වේ නම්, හෙතෙමේ ද ඒවා’ යි දන්වාලව” යි වදාළ සේක. “එසේ ය: ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේහට පිළිවදන් දී යතුරුමුදුව ගෙණ පිරිවෙණක් පාසා ගොස් භික්‍ෂූන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණාගිරියෙහි චාරිකාවට වඩින්නට කැමැති සේක. යම් ආයුෂ්මතෙකුට වැඩෙක් වේ නම්, හෙතෙමේ ඒවා” යි දැන්වූහ. භික්‍ෂූහු “ඇවැත්නි, ආනන්‍දය, භාග්‍යවතුන් වහන්සේ විසින් දසවසක් නිස ගෙණ විසීමට ද දසවස් ඇති මහණහු විසින් නිස දීමට ද නියම කරණ ලද්දේ ය. අප විසින් එහි යා යුතු ද වන්නේ ය. නිස්සය ද ගත යුතු වන්නේ ය. සුලු කලක් විසීමෙක් ද වන්නේ ය. නැවත පෙරළා ආ යුතු ද වන්නේ ය. නැවත නිස්සය ගත යුතු ද වන්නේ ය. (එහෙයින්) අපගේ ආචාර්‍ය්‍යෝපාද්ධ්‍යායයෝත් යන්නෝ නම්, අපි ද යන්නෙමු. අපගේ ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායයෝ නො යන්නෝ නම්, අපි ද නො යන්නෙමු. ඇවැත්නි, ආනන්‍ද ස්ථවිරතුමනි, අපගේ ලඝු සිත් ඇති බවක් පෙණෙන්නේ ය” යි කීහ.
55. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අඩු ගණයා ඇති භික්‍ෂුසඞ්ඝයා සමඟ දක්‍ෂිණාගිරියෙහි චාරිකාවට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වාසය කොට නැවතත් රජගහ නුවරට පෙරළා වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අමතා “ආනන්‍දය, කුමක් හෙයින් තථාගත තෙමේ අඩු ගණයා ඇති භික්‍ෂුසඞ්ඝයා සමග දක්‍ෂිණාගිරියෙහි චාරිකාවට වැඩියේ දැ?” යි ඇසූහ. එවිට ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. ඉක්බිති උන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට “මහණෙනි, ප්‍රතිබල සම්පන්න වූ ව්‍යක්ත භික්‍ෂූහු විසින් පස්වසක් (උපාද්ධ්‍යායයන් හෝ ආචාර්‍ය්‍යයන්) ඇසුරු කොට වසන්නට ද අව්‍යක්ත භික්‍ෂූහු විසින් දිවි තිබෙන තුරු (උපාද්ධ්‍යායයන් හෝ ආචාර්‍ය්‍යයන්) ඇසුරු කොට වසන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
56. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. අසේඛ වු සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
57. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් – අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් – අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් – අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
58. “මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ශ්‍රද්ධා නැත්තේ ද, ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ ද, කුසීත ද, මුළා වූ සිහි ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
59. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ශ්‍රද්ධා ඇත්තේ ද, ලජ්ජා ඇත්තේ ද, පවට බිය ඇත්තේ ද, පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ ද, එළඹ සිටි සිහි ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
60. “මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට පැමිණියේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට පැමිණියේ ද, අන්තග්ගාහික දිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට පැමිණියේ වේ ද, අල්පශ්‍රැත වේ ද, ප්‍රඥා නැත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
61. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට නො පැමිණියේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට නො පැමිණියේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට නො පැමිණියේ ද, බහුශ්‍රුත වේ ද, ප්‍රඥා ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු කොට විසිය යුතු ය.”
62. “මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ආපත්තිය නො ද නී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, ඔහුට උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු නො වෙත් ද, මාතෘකා–විභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු නො වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු නො වෙත් ද, මාතෘකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු නො වෙත් ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
63. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂූහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, ඔහුට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු වෙත් ද, මාතෘකාවිභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු වෙත් ද, මාතෘකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
64. “මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ආපත්තිය නො දනී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
65. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, පස්වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
66. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
67. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්කික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, පස් වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
68. “මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ශ්‍රද්ධා නැත්තේ ද, ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ ද, කුසීත ද, මුළා වූ සිහි ඇත්තේ වේ ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
69. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ශ්‍රද්ධා ඇත්තේ ද, ලජ්ජා ඇත්තේ ද, පවට බිය ඇත්තේ ද, පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ ද, එළඹ සිටි සිහි ඇත්තේ ද, පස්වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
70. “මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට පැමිණියේ වේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට පැමිණියේ වේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට පැමිණියේ වේ ද, අල්ප ශ්‍රැත වේ ද, ප්‍රඥා නැත්තේ වේ ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
71. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට නො පැමිණියේ වේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට නො පැමිණියේ වේ ද, අන්තග්ගාහික දිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට නො පැමිණියේ වේ ද, බහුශ්‍රුත වේ ද ප්‍රඥා ඇත්තේ වේ ද, පස්වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
72. “මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය. ආපත්තිය නො දනී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, ඔහුට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු නො වෙත් ද, මාතෘකා–විභඞ්ග වශයෙන් බෙදුනාහු නො වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු නො වෙත් ද, මාතෘකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු නො වෙත් ද, අඩු පස්වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට නො විසිය යුතු ය.”
73. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, ඔහුට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු වෙත් ද, මාතෘකා–විභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු වෙත් ද, මාතෘකාවශයෙන් හා විභඞ්ගවශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද, පස්වස් ඇත්තේ හෝ පස්වසින් වැඩි වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් භික්‍ෂුහු විසින් ඇදුරෙකු ඇසුරු නො කොට විසිය යුතු ය.”
අටවන අභයූවරබණවර නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමැතිතාක් කල් වැඩ වාසය කොට කිඹුල්වත් නුවරට වැඩිසේක. පිළිවෙළින් සැරිසරා වඩනා සේක් කිඹුල්වත්නගරයට පැමිණියහ.
2. භාග්‍යවතුන් වහන්සේ එහි ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි උන්වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරොවා ගෙණ පාසිවුරු ගෙණ ශුද්ධෝදන ශාක්‍යරජුගේ ප්‍රාසාදයට වැඩිසේක. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
3. ඉක්බිති රාහුලමාතෘ වූ දේවී තොමෝ රාහුල කුමරුට “රාහුලය, මේ තෙමේ ඔබගේ පියා ය. යව. දායාද්‍ය (උරුමය) ඉල්ලව” යි කිවු ය. එවිට රාහුල කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් උන්වහන්සේගේ ඉදිරියෙහි සිටියේ “ශ්‍රමණය, ඔබගේ සෙවණ මට සැප ය” යි කී ය.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟිට වැඩිසේක. එවිට රාහුලකුමාර තෙමේ “ශ්‍රමණය, මට දායාද්‍ය දෙව. ශ්‍රමණය, මට දායාද්‍ය දෙව” යි උන්වහන්සේ පිටිපස ලුහුබැඳ ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා “ශාරීපුත්‍රය, එසේ නම් රාහුල කුමරු පැවිදි කරව” යි නියම කළ සේක. “ස්වාමීනි, මම කෙසේ රාහුල කුමරු පැවිදි කරම් දැ?” යි උන්වහන්සේ ඇසූහ.
5. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මම සරණ ගමනයෙන් හෙරණ පැවිද්ද අනුදනිමි. මහණෙනි, මෙසේ පැවිදි කළ යුතු ය. පළමු කොට කෙස් රැවුල් බැහැර කරවා කසාවත් හඳවා උතුරුසඟසිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටිකයෙන් හිඳුවා ඇඳිලි ගන්වා ‘මෙසේ කියව’ යි කිය යුතු ය. ‘බුදුන් සරණ කොට යෙමි. දහම් සරණ කොට යෙමි. සඟුන් සරණ කොට යෙමි. දෙවනු ද බුදුන් සරණ කොට යෙමි. දෙවනු ද දහම් සරණ කොට යෙමි. දෙවනු ද සඟුන් සරණ කොට යෙමි. තෙවනු ද බුදුන් සරණ කොට යෙමි. තෙවනු ද දහම් සරණ කොට යෙමි. තෙවනු ද සඟුන් සරණ කොට යෙමි’ යි. මහණෙනි, මේ තුන් සරණගමනයෙන් හෙරණ පැවිද්ද අනුදනිමි” යි වදාළ සේක.
6. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රාහුල කුමරු පැවිදි කළහ. ඉක්බිති ශුද්ධෝදන ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් වැඳ පසෙක හිඳ “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ අතින් එක් වරයක් ඉල්ලමි” යි සැළකෙළේ ය. එවිට උන්වහන්සේ “ගෞතමය, තථාගතයෝ ඉක්මවූ වර ඇත්තෝ ය” යි වදාළ සේක. “ස්වාමීනි, යම් වරයෙක් කැප වේ ද, යම් වරයෙක් නිදොස් වේ ද, එබඳු වරයක් ඉල්ලමි” යි හේ කීය. එකල්හි “ගෞතමය, කියව”යි වදාළ සේක. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පැවිදි වූ කල්හි මට මහත් දුකෙක් උපන. නන්‍ද කුමරු පැවිදි වූ – කල්හි ද එසේ ම වි ය. රාහුල කුමරු පැවිදි වූ කල්හි එයට වැඩි දුකෙක් වි ය. ස්වාමීනි, පුත්‍රප්‍රේමය සිරුරෙහි සිවිය සිඳි යි. සිවිය සිඳ සම සිඳි යි. සම සිඳ මස් සිඳි යි. මස් සිඳ නහර සිඳි යි. නහර සිඳ ඇට සිඳි යි. ඇට සිඳ ඇටමිදුලු හැපී පැතිර සිටි යි. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා මවුපියන් විසින් නො අනු දන්නා ලද පුත්‍රයකු පැවිදි නො කරන්නෝ නම් මැනැවැ” යි සැළකෙළේ ය.
7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශුද්ධෝදන ශාක්‍යයාට දැහැමි කතා වෙන් මොනවට කරුණු දැක්වූහ. කුසල් දහම්හි සමාදන් කරවූහ. මොනවට තියුණු කරවූහ. මොනවට සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කරුණු දක්වනලද කුසල්දහම්හි සමාදන් කරවන ලද මොනවට තියුණු කරවන ලද මොනවට සතුටු කරවනලද ශුද්ධෝදන ශාක්‍ය තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මවුපියන් විසින් නො අනුදත් පුත්‍ර තෙමේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
රාහුල වස්තු කථාව නිමි.
1. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයෙහි කැමැති තාක් කල් වැස සැවැත් නුවර බලා වැඩි සේක. පිළිවෙළින් සැරිසරනා වඩනා සේක් සැවැත් නුවරට පැමිණ එහි ජේතවන නම් වූ අනාථපිණ්ඩිකසිටුහුගේ ආරාම යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගේ උපස්ථායක කුලයක් “මේ දරුවා ස්ථවිරයන් වහන්සේ පැවිදි කරණ සේක්වා” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ වෙතට දරුවකු යැවී ය.
2. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සාමණේරයෝ දෙදෙනෙක් එකෙකු විසින් ලඟ තබා නො ගත යුත්තාහ’ යි පණවන ලද්දේ ය. මේ රාහුල තෙමේ ද මාගේ සාමණේරයෙක් වේ. එහෙයින් මෙහි දී මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි කල්පනා වි ය. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. “මහණෙනි, ප්‍රතිබලසම්පන්න වූ ව්‍යක්ත වූ එක් භික්‍ෂුනමක් විසින් සාමණේරයන් දෙදෙනකුන් තබාගන්නට ද, යම් පමණ සාමණෙරයන්ට අවවාද කරන්නට අනුශාසනා කරන්නට පොහොසත් නම් එපමණ සාමණේරයන් තබා ගන්නට ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. එකල්හි සාමණෙරයන්ට “අපට කෙතෙක් ශික්‍ෂාපදයෝ වෙත් ද? අප විසින් කිනම් ශික්‍ෂාපදයන්හි හික්මිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, සාමණෙරයන්ට ශික්‍ෂාපද දසයක් ද සාමණේරයන් විසින් එහි හික්මෙන්නට ද අනුදනිමි. සතුන් මැරීමෙන් වැළකීම, නුදුන් දෙය ගැණීමෙන් වැළකීම, මෙවුන්දම් සෙවීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත් වීමට හා පමා වට කරුණු වූ රහමෙර බීමෙන් වැළකීම, විකල්බොජුනෙන් වැළකීම, නැටුම් ගැයුම් වැයුම් විසුළු දැක්මෙන් වැළකීම, මල් හා සුවඳ විලෙවුන් දැරීම අඩු තැන් පිරවීමෙන් සැරසීම අබරණ ලා සැදීම යන මෙයින් වැළකීම, උසසුන්මහස්නෙන් වැළකීම, රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකීම, මහණෙනි, සාමණෙරයන්ට මේ දශශික්‍ෂා පදයන් ද මේ දශශික්‍ෂාපදයන්හි හික්මෙන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
4. එකල්හි සාමණේරයෝ භික්‍ෂූන් කෙරෙහි ගෞරව නැත්තෝ යටත් පැවැතුම් නැත්තෝ සභාග පැවැතුම් නැත්තෝ ව වෙසෙති. භික්‍ෂූහු “කෙසේ නම් සාමණේරයෝ භික්‍ෂූන් කෙරෙහි ගෞරව නැත්තෝ යටත් පැවැතුම් නැත්තෝ සභාග පැවැතුම් නැත්තෝ ව වාසය කරත් දැයි” යි අවමන් කෙරෙත්, නින්‍දා කෙරෙත්. දොස් කියත්. මේ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, කරුණු පසකින් යුත් සාමණේරයාහට දඬුවම් කිරීමට අනුදනිමි. භික්‍ෂූන්ට ලාභ නො ලැබෙන්නට උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ට උපද්‍රව පිණිස උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරේ ද පරිභව කෙරේ ද, කේලාම් කියා භික්‍ෂූන් භික්‍ෂූන් හා බිඳවයි ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සාමණේරයාහට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
5. එකල්හි භික්‍ෂූන්ට “කිනම් දඬුවමෙක් කළ යුතු දැ” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘මෙහි නො පිවිසෙව’ යි වළකන්නට අනුදනිමි.”
6. එකල්හි භික්‍ෂූහු සාමණෙරයන්ට සියලු සඞ්ඝාරාමය වළකත්. සාමණේරයෝ ආරාමයට පිවිසෙන්නට නො ලබන්නෝ බැහැර ද යෙත්. සිවුරු ද හරිත්. තීර්‍ත්‍ථකයන් වෙත ද යෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සියලු සඞ්ඝාරාමය නො වැළකිය යුතු ය. යමෙක් වළකන්නේ නම් දුකුළාඇවැත් වේ. මහණෙනි, යම් තැනක වෙසේ ද, යම් තැනෙක යේ ද, එහි පිවිසීම වළකන්නට අනුදනිමි.”
7. එකල්හි භික්‍ෂූහු සාමණෙරයන්ගේ කටට පත් ආහාරය වළකත්. මිනිස්සු කැඳ බීම ද සඟබත් ද කරන්නෝ සාමණෙරයන්ට “ස්වාමීනි, එවු. කැඳ බොවු. ස්වාමීනි, එවු. බත් බුදිවු” යි මෙසේ කියත්. “ඇවැත්නි, (කැඳබත්) නො ලැබිය හැක්කෝ වෙමු. භික්‍ෂූන් විසින් වළක්වන ලද ය” යි සාමණේරයෝ මෙසේ කියත්. මිනිස්සු “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා සාමණෙරයන්ගේ කටට පත් ආහාරය වළකත් දැයි.” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කටට පත් ආහාරය නො වැළකිය යුතු ය. යමෙක් වළකන්නේ නම්, දුකුළාඇවැත් වේ.
දඬුවම්වත් නිමි.
1. එකල්හි සවග භික්‍ෂූහු උපාද්ධ්‍යායයන් නො විචාරා සාමණේරයන් වළකත්. උපාද්ධ්‍යායයෝ “කුමක් හෙයින් අපගේ සාමණේරයෝ නො දක්නා ලැබෙත් දැ?” යි සොයත්. භික්‍ෂූහු “ඇවැත්නි, සවග භික්‍ෂූන් විසින් වැළකීම කරණ ලදැ” යි කීහ. උපාද්ධ්‍යායයෝ “කෙසේ නම් සවග භික්‍ෂූහු අපගෙන් නො විචාරා අපගේ සාමණේරයන් වළකත් දැයි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපාද්ධ්‍යායයන් නො විචාරා වැළකීම නො කළ යුතු ය. යමෙක් වළකන්නේ නම් දුකුළා ඇවැත් වේ.”
2. එකල්හි සවග භික්‍ෂූහු ස්ථවිරභික්‍ෂූන්ගේ සාමණේරයන් සංග්‍රහයෙන් පොලඹවත්. ස්ථවිර භික්‍ෂූහු තුමූ ම දැහැටිත් මුව දෝනා දියත් ගන්නෝ ක්ලාන්ත වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අනෙකකුගේ පිරිස සංග්‍රහයෙන් නො පෙලඹවිය යුතු ය. යමෙක් පොලඹවන්නේ නම් දුකුළාඇවැත් වේ”යි වදාළ සේක.
3. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ කණ්ටක නම සාමණේර තෙමේ කණ්ටකී නම් මෙහෙණ දූෂ්‍ය කෙළේ ය. භික්‍ෂූහු “කෙසේ නම් සාමණේරයෝ මෙබඳු නො සිරිත් කරත් දැ යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. මහණෙනි, කරුණු දසයකින් යුත් හෙරණහු නසන්නට (මහණ බැවින් මුදා හරින්නට) අනුදනිමි. “සතුන් මරන්නේ වේ ද, නුදුන් දෙය ගන්නේ වේ ද, ලාමක හැසිරීම් ඇත්තේ වේ ද, බොරු කියන්නේ වේ ද, මත්පැන් බොන්නේ වේ ද, බුදුරදුන්ගේ අගුණ කියා ද, ධර්‍මයෙහි අගුණ කියා ද, සඞ්ඝයාගේ අගුණ කියා ද, මිසදිටු ගත්තේ වේ ද, භික්ඛුණීදූෂක වේ ද – මහණෙනි, මේ කරුණු දසයෙන් යුත් හෙරණහු මහණ බැවින් මුදා හරින්නට අනුදනිමි” යි වදාළ සේක.
4. එකල්හි එක්තරා පණ්ඩකයෙක් භික්‍ෂූන් වෙත පැවිදි වූයේ වේ. හෙතෙමේ තරුණ භික්‍ෂූන් වෙත ගොස් “එවු, ආයුෂ්මත්නි, මා දූෂ්‍ය කරවු” යි කියයි. භික්‍ෂූහු “පණ්ඩකය, නැසෙව. පණ්ඩකය, වැනසෙව. තාගෙන් කිනම් වැඩෙක් දැ?” යි ඔහු බැහැර කෙරෙත්. භික්‍ෂූන් විසින් බැහැර කළ හෙතෙමේ තරබාරු සිරුරු ඇති සාමණේරයන් කරා ගොස් “එවු, ආයුෂ්මත්නි, මා දූෂ්‍ය කරවු” යි කියයි. සාමණේරයෝ “පණ්ඩකය, නැසෙව. පණ්ඩකය, වැනසෙව. තාගෙන් කිනම් වැඩෙක් දැ”? යි ඔහු ඉවත් කෙරෙත්.
5. සාමණේරයන් විසින් පන්නා දැමූ හෙතෙමේ ඇත්ගොව්වන් අස් ගොව්වන් වෙතට ගොස් “ඇවැත්නි, මා දූෂ්‍ය කරවු” යි කියයි. ඇත් ගොව්වෝ ද අස් ගොව්වෝ ද ඔහු දූෂ්‍ය කළහ. ඔහු “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පණ්ඩකයෝ ය. මොවුන් අතුරෙහි යම් ශ්‍රමණශාක්‍යපුත්‍ර කෙනෙක් පණ්ඩක නො වෙත් ද ඔහු ද පණ්ඩකයන් දූෂ්‍ය කෙරෙත්. මෙසේ මොහු සියල්ලෝ ම ලාමක හැසිරීම් ඇත්තෝ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
6. භික්‍ෂූහු බණින දොඩන දොස් පවරණ ඒ ඇත්ගොව්වන්ගේ අස්ගොව්වන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු බුදුරජානන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පණ්ඩක තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ මහණ බැවින් මුදා හළයුතු ය” යි වදාළ සේක. (1)