Mahāvagga

Great Division

Source and edition details

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

Reading optionsSaved on this device

Your private note

Visible only to you. Separate from the source text.

Showing entries 301-400 of 2789

Find a passage or change page
vp-mv:102.2
22. උපාද්ධ්‍යායයාට සාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, සද්ධිවිහාරිකයා විසින් උපාද්ධ්‍යායයා අන් තැනකට ගෙණ යා යුතු ය. “තෙරුන් අන් තැනකට ගෙණ යව” යි අන් භික්‍ෂුවකට කිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය. උපාද්ධ්‍යායයාහට කුකුසෙක් උපන්නේ නම්, සද්ධිවිහාරිකයා විසින් එය දුරු කළ යුතු ය. “තෙරුන්ගේ කුකුස හැරලච” යි අන් භික්‍ෂුවකට කිය යුතු ය. උන් වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය. උපාද්ධ්‍යායයාහට මිසදිටුවක් උපන්නේ නම් සද්ධිවිහාරිකයා විසින් එය දුරු කට යුතු ය. අනිකකු ලවා හෝ දුරු කරවිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය.
vp-mv:102.3
23. උපාද්ධ්‍යායතෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, සද්ධිවිහාරිකයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයා හට පිරිවෙස් දෙන්නේ දැ” යි උත්සාහ කට යුතු ය.
vp-mv:102.4
24. උපාද්ධ්‍යායතෙමේ මූලායපටිකස්සනයට (මුල සිට පිරිවෙස් පිරීමට) සුදුසු වූයේ වේ නම්, “කෙසේ නම් සඞ්ඝතෙමේ උපාද්ධ්‍යායයා මුල සිට පිරිවෙස් පිරීමට අදින්නේදැ?” යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කට යුතු ය.
vp-mv:102.5
25. උපාද්ධ්‍යායතෙමේ මානතට සුදුසු වූයේ නම්, “කෙසේ නම් සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයාහට මානත දෙන්නේදැ” යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කට යුතු ය.
vp-mv:102.6
26. උපාද්ධ්‍යාය තෙමේ අබ්භානයට සුදුසු වූයේ නම්, “කෙසේ නම් සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයා සඞ්ඝයාට ඇතුළත් කරන්නේදැ?” යි උත්සාහ කට යුතු ය.
vp-mv:102.7
27. සඞ්ඝතෙමේ උපාද්ධ්‍යායයාහට තජ්ජනීයකම්මය හෝ නියස්සකම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීය කම්මය හෝ කරණු කැමැත්තේ නම්, “කෙසේ නම් සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයාහට කර්‍ම නො කරන්නේ ද? ලඝුබවට හෝ පෙරළන්නේ දැ?” යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කට යුතු ය. “උන්වහන්සේට සඞ්ඝයා විසින් තජ්ජනීයකම්මය හෝ නියස්ස කම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීයකම්මය හෝ කරණ ලද්දේ හෝ වේ ද, කෙසේ නම් උපාධ්‍යාය තෙමේ මනා කොට පවතින්නේ ද? අනුලොම් වන්නේ ද? නිදොස්බව පිණිස පවතින්නේ ද? සඞ්ඝතෙමේ ඒ කර්‍මය සන්සිදුවන්නේ දැ?” යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කට යුතු ය.
vp-mv:104.1
28. උපාද්ධ්‍යායයාගේ සිවුර සේදිය යුතු නම්, සද්ධිවිහාරිකයා විසින් සේදිය යුතුය. “කෙසේ නම් උපාද්ධ්‍යායයාගේ සිවුර සෝදනු ලබන්නේ දැ?” යි උත්සාහය හෝ කට යුතු ය. උපාද්ධ්‍යායයාට සිවුරක් කට යුතු නම්, සද්ධිවිහාරිකයා විසින් ඒ කට යුතු ය. “කෙසේ නම් උපාද්ධ්‍යායයාගේ සිවුර කරණු ලබන්නේ දැ?” යි උත්සාහය හෝ කට යුතු ය. උපාද්ධ්‍යායයාට පඬු පිසිය යුතු නම්, සද්ධිවිහාරිකයා විසින් පඬු පිසිය යුතු ය. “කෙසේ නම් උපාද්ධ්‍යායයාහට පඬු පිසනු ලබන්නේදැ?” යි උත්සාහය හෝ කට යුතු ය. උපාද්ධ්‍යායයාගේ සිවුර පඬු පෙවිය යුතු නම්, සද්ධිවිහාරිකයා විසින් පඬු පෙවිය යුතු ය. “කෙසේ නම් උපාද්ධ්‍යායයාගේ සිවුර පඬු පොවනු ලබන්නේදැ” යි උත්සාහය හෝ කටයුතු ය. සිවුර පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවිය යුතු ය. පොද නො සුන් කල්හි (පඬු දිය නො සුන් කල්හි) බැහැර නො යා යුතු යි.
vp-mv:104.2
29. උපාද්ධ්‍යායයා නො විචාරා කිසිවෙකුට පාත්‍රය නො දිය යුතු ය. කිසිවෙකුගේ පාත්‍රය නො පිළිගත යුතු ය. කිසිවෙකුට සිවුර නො දිය යුතු ය. කිසිවෙකුගේ සිවුර නො පිළිගත යුතුය. කිසිවෙකුට පිරිකර නො දිය යුතු ය. කිසිවෙකුගේ පිරිකර නො පිළිගත යුතු ය. කිසිවෙකුගේ කෙස් නො කැපිය යුතු ය. කිසිවෙකු ලවා කෙස් නො කැප්පිය යුතු ය. කිසිවෙකුගේ පා මිරිකීම් ආදි වත් නො කට යුතු ය. කිසිවෙකු ලවා වත් නො කරවා ගත යුතුය. කිසිවෙකුට වතාවත් නො කට යුතුය. කිසිවෙකු ලවා වතාවත් නො කරවා ගත යුතු ය. කිසිවෙකුගේ පස්සේ යන මහණකු නො විය යුතු ය. කිසිවෙකු කැටු ව යන මහණකු සේ නො ගත යුතු ය. කිසිවෙකුගේ පිණ්ඩපාතය බැහැර නො කට යුතු ය. කිසිවෙකු ලවා පිණ්ඩපාතය බැහැර නො කරවිය යුතු ය.
vp-mv:104.3
30. උපාද්ධ්‍යායයා නො විචාරා ගම් නො වැදිය යුතු ය. සොහොනට නො යා යුතු ය. ඒ ඒ දිශාවන්හි නො යා යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ ගිලන් වේ නම්, ජීවත් වනතුරු උපස්ථාන කළ යුතු ය. උන්වහන්සේ ගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය.
vp-mv:104.4
උපාද්ධ්‍යාය වත නිමි.
vp-mv:106.1
1. මහණෙනි, උපාද්ධ්‍යායයා සද්ධිවිහාරිකයා කෙරෙහි මනා කොට කොට පැවතිය යුතු ය. එහි මේ මනා කොට පැවැත්ම ය: මහණෙනි, උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරික තෙමේ උදෙසීමෙන් කරුණු විමසීමෙන් අවවාදයෙන් අනුශාසනයෙන් සංග්‍රහ කට යුතු ය. අනුග්‍රහ කට යුතු ය.
vp-mv:106.2
2. උපාද්ධ්‍යායයාහට වැඩිපුර පාත්‍රයක් වේ ද, සද්ධිවිහාරිකයාහට පාත්‍රයක් නො වේ ද, උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට පාත්‍රයක් දිය යුතු ය. “සද්ධිවිහාරිකයාහට පාත්‍රයක් කෙසේ නම් උපදනේ දැ?” යි උත්සාහය හෝ කට යුතු ය.
vp-mv:106.3
3. උපාද්ධ්‍යායාහට වැඩිපුර සිවුරක් වේ ද, සද්ධිවිහාරිකයාහට සිවුරක් නො වේ ද, උපාද්ධද්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට සිවුරක් දිය යුතු ය. “සද්ධිවිහාරිකයාහට සිවුරක් කෙසේ නම් උපදනේදැ?” යි උත්සාහය හෝ කට යුතු ය.
vp-mv:106.4
4. උපාද්ධ්‍යායයාහට වැඩිපුර පරිෂ්කාරයක් වේ ද, සද්ධිවිහාකාරිකයා හට පරිෂ්කාරයක් නො වේ ද, උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට පරිෂ්කාර දිය යුතු ය. “සද්ධිවිහාරිකයාහට පරිෂ්කාරයක් කෙසේ නම් උපදනේ දැ?” යි උත්සාහය හෝ කට යුතු ය.
vp-mv:106.5
5. සද්ධිවිහාරිකතෙමේ ගිලන් වේ නම්, කලින් ම නැගිට දැහැටි දිය යුතු ය. මුව දෝනා දිය දිය යුතු ය. අසුන් පැණවිය යුතු ය. කැඳ තිබේ නම්, බඳුන සෝදා, කැඳ එළවිය යුතු ය. කැඳ වළඳා සිටියහුට දිය දී බඳුන පිළිගෙණ පාත් කොට මනා කොට නො ගටා සෝදා තැන්පත් කළ යුතු ය. එදෙස කසළ සහිත වේ නම්, එතැන හැමදිය යුතු ය. සද්ධිවිහාරිකයා නැගී සිටි කල්හි ආසනය ඔසවා තැබිය යුතු ය.
vp-mv:106.6
6. සද්ධිවිහාරිකතෙමේ ගම් වදිනු කැමැත්තේ නම්, අඳනය දිය යුතු ය. ඇඳ තුබූ අඳනය පිළිගත යුතු ය. පටිය දිය යුතු ය. සිවුරු දෙක එක් කොට දිය යුතු ය. සෝදා දිය සහිත වූ පාත්‍රය දිය යුතු ය. මෙපමණකින් (පිඬුසිඟා) නවතින්නේ (පෙරළා එන්නේ) ය යි දැන අසුන් පැණවිය යුතු ය. පා දෝනා දිය පාපුටුව නො සේදූ පා තබන පුවරුව එළවිය යුතු ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත යුතු ය. ඇඳි අඳනය පිළිගත යුතු ය. සිවුර තෙත් වූයේ නම්, මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. සිවුරු උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය. සිවුර නැමිය යුතු ය. සිවුර නමන්නහු විසින් “මැද නො දිරාවා” යි සතරඟුලක් පමණ සිවුරු කොණ උස් කොට සිවුර නැමිය යුතු ය. නැමූ සිවුරෙහි පටිය තැබිය යුතු ය.
vp-mv:108.1
7. පිණ්ඩපාතය වේ නම්, සද්ධිවිහාරික තෙමේත් වළඳනු කැමැත්තේ වේ නම, දිය දී පිණ්ඩපාතය එළවිය යුතු ය. සද්ධිවිහාරික තෙමේ පැනින් විචාළ යුතු ය. වළඳා අවසන් කළහුට දිය දී පාත්‍රය පිළිගෙණ පාත් කොට කිසිවක නො ගටා මනා කොට සෝදා දිය පිසදමා මොහොතක් උෂ්ණයෙහි වියලිය යුතු ය. පාත්‍රය උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය.
vp-mv:108.2
8. පා සිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු පිසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය නො තැබිය යුතු ය. සිවුර බහන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුර ලන උණදඬුව හෝ සිවුරු ලන රැහැණ හෝ පිරිමැද නුවාව එහාට දරණය මෙහාට තබා සිවුර බැහිය යුතු ය.
vp-mv:108.3
9. සද්ධිවිහාරිකයා නැගී සිටි කල්හි අසුන ඔසවා තැබිය යුතු ය. පා දෝනා දිය පාපුටුව නො සේදූ පා තබන පුවරුව තැන්පත් කටයුතු ය. එදෙස කසළ සහිත වේ නම්, එතැන හැමදිය යුතු ය. සද්ධිවිහාරිකයා නහනු කැමති වේ නම්, නහනු පිළියෙල කළ යුතු ය. සීත දියෙන් ප්‍රයෝජන වේ නම්, සීත දිය පිළියෙල කළ යුතු ය. උණු දියෙන් ප්‍රයෝජන වේ නම්, උණු දිය පිළියෙල කළ යුතු ය.
vp-mv:108.4
10. සද්ධිවිහාරික තෙමේ ගිනිහල්ගෙට පිවිසෙනු කැමැත්තේ නම්, නහනසුණු තෙමා පිඬු කළ යුතු ය. නහනමැටි තේමිය යුතු ය. ගිනිහල් ගෙයි පුටුව ගෙණ ගොස් ගිනිහල්ගෙයි පුටුව දී සිවුර පිළිගෙණ පසෙක තැබිය යුතු ය. සුණු දිය යුතු ය. නහනමැටි දිය යුතු ය. හැක්කේ නම් ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ගිනිහල්ගෙට පිවිසෙන්නහු විසින් නහනමැටියෙන් මුහුණ තවරා ඉදිරිපසින් හා පසුපසින් සිරුර වසා ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ස්ථවිරභික්‍ෂූන් ගටා නො හිඳිය යුතු ය. නවකභික්‍ෂූන් ආසනයෙන් බැහැර නො කට යුතු ය. ගිනිහල්ගෙයි දී සද්ධිවිහාරිකයාගේ ඇඟ ඉළීම් ඈ වත් කළ යුතු ය. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල්ගෙයි පුටුව ගෙණ ඉදිරි පසින් සිරුර වසා ගිනිහල්ගෙයින් නික්මිය යුතු ය.
vp-mv:108.5
11. ජලයෙහි දී ද සද්ධිවිහාරිකයාගේ ඇඟ ඉලීම් ඈ වත් කට යුතුය. නා අවසන් කළහු විසින් පළමු කොට ගොඩ නැඟී තමන්ගේ සිරුරෙහි දිය පිස දමා හැඳ ගෙණ සද්ධිවිහාරිකයාගේ සිරුර පිස දැමිය යුතු ය. අඳනය දිය යුතු ය. සිවුරු දිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ පළමු කොට අවුත් අසුන පණවා පා දෝනා දිය, පා පුටුව, නො සේදූ පා තබන පුවරුව එළවිය යුතු ය. සද්ධිවිහාරික තෙමේ පැනින් විචාළ යුතු ය. වෙහෙරක සද්ධිවිහාරික තෙමේ වාසය කෙරේ නම්, ඒ වෙහෙර කසළ සහිත නම්, හැක්කේ නම්, පිරිසිදු කළ යුතු ය.
vp-mv:110.1
12. වෙහෙර පිරිසිදු කරන්නහු විසින් පළමු කොට පාසිවුරු බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. හිඳිනාකඩ හා ඇතිරිල්ල ගෙණ පසෙක තැබිය යුතුය. ගුදිරිය හා කොට්ටය ගෙණ පෙසක තැබිය යුතු ය. ඇඳ පාත් කොට අල්ලා ගෙණ නො ගටමින් දොරබාවෙහි නො හප්පා ඉවත් කොට පසෙක තැබිය යුතු ය. පුටුව පාත් කොට අල්ලා ගෙණ නො ගටමින් දොරබාවෙහි නො හප්පා පසෙක තැබිය යුතු ය. ඇඳපාඅළු ඉවතට ගෙණ පසෙක තැබිය යුතු ය.
vp-mv:110.2
13. කෙළමලාව බැහැර කොට පසෙක තැබිය යුතුය. වැතිර හිඳිනා පුවරුව ඉවතට ගෙණ පසෙක තැබිය යුතු ය. බුමුතුරුණ පණවා තුබූ සැටි සලකා ඉවතට ගෙණ පසෙක තැබිය යුතු ය. විහාරයෙහි (වසන තැන) මකුණු දැල් වේ නම්, පළමු කොට උඩ සිට ඉවත් කළ යුතු ය. ඇතුළත පිටත ජනෙල්කවුළු හා කාමරයෙහි මුළු සතර පිස දැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත්නම්, රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. ඉදින් කළු පැහැ කළ බිම හටගත් පුස් ඇත්නම්, රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. ඉදින් බිම පිරියම් නො කරණලද නම්, දිය ඉස “වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේවා” යි හැමැදිය යුතු ය.
vp-mv:110.3
14. කසළ රැස් කොට පසෙක දැමිය යුතු ය. බුමුතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් තුබූ පරිදි තැබිය යුතු ය. ඇඳ පාඅළු වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා ශුද්ධ කොට ගසා දමා පාත් කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනා කොට පැණවිය යුතු ය. පුටුව වියලා ශුද්ධ කොට ගසා දමා පාත් කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනා කොට පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා ශුද්ඬ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය. කෙළමලාව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. හාන්සිපුවරුව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය.
vp-mv:110.4
15. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ සිවුරු ලන රැහැණ හෝ පිස දමා නුවාව එහාට ද දරණය මෙහාට ද තබා සිවුර බැහිය යුතු ය.
vp-mv:112.1
16. පෙරදිගින් නගිනා දූලි සහිත වූ වාතයෝ හමත් නම්, පෙරදිග වාකවුළු වැසිය යුතු ය. බස්නාහිරින් නගින වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නාහිර වාකවුළු වැසිය යුතු ය. උතුරුදිගින් නඟිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, උතුරු දිග වාකවුළු වැසිය යුතු ය. දකුණුදිගින් නගිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, දකුණුදිග වාකවුළු වැසිය යුතු ය. ශීතකාලය වේ නම්, දහවල වාකවුළු හැර දැමිය යුතු ය. රාත්‍රියෙහි වැසිය යුතු ය. උෂ්ණකාලය වේ නම්, දහවල වාකවුළු වැසිය යුතු ය. රාත්‍රියෙහි හැර දැමිය යුතු ය.
vp-mv:112.2
17. පිරිවෙණ කසළ සහිත නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළු ගෙය කසළ සහිත නම්, ඇතුළුගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත නම්, උපස්ථානශාලාව හැමැදිය යුතු ය. ගිනිහල් ගෙය කසළ සහිත නම්, ගිනිහල්ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිත නම්, වැසිකිළිය හැමැදිය යුතු ය. පැන් නො වේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝග කටයුතු දිය නො වේ නම්, පරිභෝග කටයුතු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදියසැළෙහි දිය නො වේ නම්, වැසිකිළිදියසැළෙහි දිය වක් කළ යුතු ය.
vp-mv:112.3
18. සද්ධිවිහාරිකයාහට ශාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම් උපාද්ධ්‍යායයා විසින් අන් තැනකට ගෙණ යා යුතු ය. අනෙකකු ලවා අන් තැනකට පමුණුවාලිය යුතු ය. ඔහුට ධර්‍මකථා හෝ කියයුතු ය. සද්ධිවිහාරිකයාහට කුකුසෙක් උපන්නේ නම් උපාද්ධ්‍යායයා විසින් එය දුරු කට යුතු ය. අනෙකෙකු ලවා හෝ දුරු කරවිය යුතු ය. ඔහුට ධර්‍මකථා හෝ කිය යුතු ය. සද්ධිවිහාරිකයාහට මිසදිටුවක් උපන්නේ නම්, උපාද්ධ්‍යායයා විසින් එය දුරු කට යුතු ය. අනෙකකු ලවා දුරු කරවිය යුතු ය. ඔහුට ධර්‍මකථාවක් හෝ කිය යුතු ය.
vp-mv:112.4
19. සද්ධිවිහාරිකතෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, උපාද්ධ්‍යායයා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ සද්ධිවිහාරිකයාහට පිරිවෙස දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
vp-mv:112.5
20. සද්ධිවිහාරිකතෙමේ මුල සිට පිරිවෙස් පිරීමට සුදුසු වූයේ නම්, උපාද්ධ්‍යායයා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ සද්ධිවිහාරිකයා මුලට අදින්නේ දැ?” යි උත්සාහ කටයුතු ය.
vp-mv:112.6
21. සද්ධිවිහාරික තෙමේ මානතට සුදුසු වූයේ නම්, උපාද්ධ්‍යායයා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ සද්ධිවිහාරිකයාහට මානත දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
vp-mv:112.7
22. සද්ධිවිහාරික තෙමේ අබ්භානයට සුදුසු වූයේ නම්, උපාද්ධ්‍යායයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාගේ අබ්හානකම්මය කරන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
vp-mv:114.1
24. සඞ්ඝතෙමේ සද්ධිවිහාරිකයාහට තර්‍ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උත්ක්‍ෂේපණීය කර්‍මය හෝ කරණු කැමැත්තේ නම් “කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාහට කර්‍ම නො කරන්නේ ද? ලඝු බවට හෝ පෙරළන්නේ දැ?” යි උපාද්ධ්‍යායයා විසින් උත්සාහ කටයුතු ය. සද්ධිවිහාරිකයාහට සඞ්ඝයා තර්‍ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උත්ක්‍ෂේපණීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ ද, “කෙසේ සද්ධිවිහාරික තෙමේ මනා කොට පවතින්නේ ද, අනුලොම් වන්නේ ද, නිදොස්බව පිණිස මනා කොට පවතින්නේ ද, සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සන්සිඳුවන්නේ දැ?” යි උපාද්ධ්‍යායයා විසින් උත්සාහ කටයුතු ය.
vp-mv:114.2
25. සද්ධිවිහාරිකයාගේ සිවුර සේදිය යුතු නම් උපාද්ධ්‍යායයා විසින් “මෙසේ සෝදන්නෙහි” යි කිය යුතු ය. “සද්ධිවිහාරිකයාගේ සිවුර කෙසේ නම් සෝදනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. සද්ධිවිහාරිකයා හට සිවුරක් කට යුතු නම් උපාද්ධ්‍යායයා විසින් “මෙසේ කරන්නෙහි” යි කිය යුතු ය. “සද්ධිවිහාරිකයාගේ සිවුර කෙසේ නම් කරණු ලබන්නේ දැ” යි උත්සාහයා හෝ කට යුතු ය. සද්ධිවිහාරිකයාහට පඬු පිසිය යුතු නම්, උපාද්ධ්‍යායයා විසින් “මෙසේ පිසන්නෙහි” යි කිය යුතු ය. “සද්ධිවිහාරිකයාහට කෙසේ නම් පඬු පිසනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. සද්ධිවිහාරිකයාගේ සිවුර පඬු පෙවිය යුතු නම්, උපාද්ධ්‍යායයා විසින් “මෙසේ පඬු පොවන්නෙහි”යි කිය යුතු ය. “සද්ධිවිහාරිකයාගේ සිවුර කෙසේ නම් පඬු පොවනු ලබන්නේදැ?” යි උත්සාහය හෝ කට යුතු ය. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මනා කොට පඬු පෙවිය යුතු ය. පොද නො සුන් කල්හි බැහැර නො යා යුතු ය. සද්ධිවිහාරික තෙමේ ගිලන් නම්, ජීවත් වන තුරු උවටැන් කළ යුතු ය. සද්ධිවිහාරිකයාගේ රෝගයෙන් නැඟී සිටීම බලාපොරොත්තු විය යුතු ය.
vp-mv:114.3
සද්ධිවිහාරිකවත නිමි.
vp-mv:114.4
1. එකල්හි සද්ධිවිහාරිකයෝ උපාද්ධ්‍යායයන් කෙරෙහි මැනැවින් නො පවත්නෝ ය. අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “සද්ධිවිහාරිකයෝ කෙසේ නම් උපාද්ධ්‍යායයන් කෙරෙහි මැනැවින් නොපවතිත් දැයි පහත් කොට සිතත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
vp-mv:114.5
2. ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. උන්වහන්සේ “මහණෙනි සද්ධිවිහාරිකයෝ උපාද්ධ්‍යායයන් කෙරෙහි මැනැවින් නො පවතිත් යනු සැබෑ දැ?” යි ඇසූහ. භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය. – පෙ – ගර්‍හා කොට දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, සද්ධිවිහාරිකයා උපාද්ධ්‍යායයා කෙරෙහි මැනැවින් නො පැවතිය යුතු නො වේ. යමෙක් මැනවින් නො පවත්නේ නම් (පැණ වූ වක් නො පුරන්නේ නම්), දුකුළා ඈවැත් වේ” (යයි වදාළ සේක.)
vp-mv:116.1
(එහෙත් ඔහු) උපාද්ධ්‍යායවත් මැනැවින් නො පුරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. “මහණෙනි, නො මනා ව පවතින සද්ධිවිහාරිකයා බැහැර කරන්නට අනුදනිමි. “මහණෙනි, සද්ධිවිහාරිකයා බැහැර කළ යුත්තේ මෙසේ ය: “තා බැහැර කරමි” යි හෝ “මෙහි නො පිවිසෙව” යි හෝ “තාගේ පා සිවුරු බැහැරට ගණුව” යි හෝ “තා විසින් මම උපස්ථාන නො කට යුත්තෙමි” යි හෝ කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කයින් හා වචනයෙන් හඟවා ද, සද්ධිවිහාරික තෙමේ බැහැර කරණ ලද්දේ වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නොහඟවා ද, එකල්හි සද්ධිවිහාරික තෙමේ බැහැර නො කරණ ලද්දේ වේ.
vp-mv:116.2
3. එකල්හි බැහැර කළ සද්ධිවිහාරිකයෝ උපාද්ධ්‍යායයන් කමා නො කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. (උන්වහන්සේ) “මහණෙනි, කමා කරවා ගන්නට අනුදනිම්” යි වදාළ සේක. එහෙත් උපාද්ධ්‍යායයන් කමා නො කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. “මහණෙනි, බැහැර කරණ ලද්දහු විසින් කමා නො කරවිය යුතු නො වේ. යමෙක් උපාද්ධ්‍යායයන් කමා නො කරවන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළසේක.
vp-mv:116.3
4. එකල්හි සද්ධිවිහාරිකයන් විසින් කමා කරවනු ලබන උපාද්ධ්‍යායයෝ කමා නො කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කමා කරන්නට අනුදනිමි” යි වදාළ සේක. එහෙත් උපාද්ධ්‍යායයෝ කමා නො කරත්. සද්ධිවිහාරිකයෝ බැහැර ද යෙති. සිවුරු ද හැර ලත්. අන්‍යතීර්‍ත්‍ථකයන් වෙත ද යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “කමා කරවනු ලබන්නහු විසින් කමා නො කළ යුතු නො වේ. යමෙක් කමා නො කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළසේක.
vp-mv:116.4
5. එකල්හි උපාද්ධ්‍යායයෝ මනා කොට පිළිවෙත් පුරණ සද්ධිවිහාරිකයා බැහැර කෙරෙත්. මනා කොට පිළිවෙත් නො පුරණ සද්ධිවිහාරිකයා බැහැර නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, මනා කොට පිළිවෙත් පුරණ සද්ධිවිහාරික තෙමේ බැහැර නො කළ යුතු ය. යමෙක් බැහැර කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මනා කොට පිළිවෙත් නො පුරණ සද්ධිවිහාරික තෙමේ බැහැර නො කට යුතු නො වේ. යමෙක් බැහැර නො කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
vp-mv:116.5
6. මහණෙනි, කරුණු පසෙකින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කට යුතු ය. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වේ ද, අධික වූ ගෞරවයක් නො වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් (සම්භාවනාවක්) නො වේද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කට යුතු ය.
vp-mv:118.1
7. මහණෙනි, කරුණු පසෙකින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර නො කට යුතු ය. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වේද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රීභාවනාවක් වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර නො කට යුතු ය.
vp-mv:118.2
8. මහණෙනි, කරුණු පසකින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කරන්නට සුදුසු වේ. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වේ ද, අධික වූ ගෞරවයෙක් නො වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කරන්නට සුදුසු වේ.
vp-mv:118.3
9. මහණෙනි, කරුණු පසකින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කරන්නට සුදුසු නො වේ. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් වේ ද අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වේ ද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රීභාවනාවක් වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරික තෙමේ බැහැර කරන්නට සුදුසු නො වේ.
vp-mv:118.4
10. මහණෙනි, කරුණු පසකින් යුත් සද්ධිවිහාරිකයා බැහැර නො කරන්නා වූ උපාධ්‍යාය තෙමේ දොස් සහිත වේ. බැහැර කරන්නේ දොස් රහිත වේ. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වේ ද, අධික වූ ගෞරවයෙක් නො වේ ද, අධික වූ මෛත්‍රීභාවනා වක් නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරිකයා බැහැර නො කරන්නා වූ උපාද්ධ්‍යාය තෙමේ දොස් සහිත වේ. බැහැර කරන්නේ දොස් රහිත වේ.
vp-mv:118.5
11. මහණෙනි, කරුණු පසකින් යුත් සද්ධිවිහාරිකයා බැහැර කරන්නා වූ උපාද්ධ්‍යාය තෙමේ දොස් සහිත වේ. බැහැර නො කරන්නේ දොස් රහිත වේ. උපාද්ධ්‍යායයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වේ ද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රීභාවනාවක් වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සද්ධිවිහාරිකයා බැහැර කරන්නා වූ උපාද්ධ්‍යාය තෙමේ දොස් සහිත වේ. බැහැර නො කරන්නේ දොස් රහිත වේ.
vp-mv:118.6
12. එකල්හි රාධ නම් එක්තරා බමුණෙක් භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කරන්නට නො කැමැති වූහ. හෙතෙමේ භික්‍ෂූන් සමීපයෙහි පැවිද්ද නො ලබන්නේ වෑරුණු සිරුරු ඇත්තේ රළු වූයේ දුර්‍වණ වූයේ ඉතා පඬුවන් සිරුර ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වි ය.
vp-mv:120.1
13. භාග්‍යවතුන් වහන්සේ වෑරුණු සිරුරු ඇති රළු වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ සිරුරු, ඇති නහර ඉල්පුනු සිරුරු ඇති ඒ බමුණා දැක භික්‍ෂූන් අමතා “මහණෙනි, මේ බමුණා වෑරුණේ රළු වූයේ නපුරු පැහැ ඇත්තේ ඉතා පඬුපැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ කුමක් නිසා දැ” යි විචාළ සේක. “ස්වාමීනි, මේ බමුණා භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කරන්නට නො කැමැති වූහ. භික්‍ෂූන් වෙතින් පැවිද්ද නො ලබන්නා වූ මේ තෙමේ වෑරුණේ ය. රළු වූයේ ය. දුර්‍වණ වූයේ ය. ඉතා පඬුවන් සිරුරු ඇත්තේ වි ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වී ය” යි භික්‍ෂූහු සැළකළහ.
vp-mv:120.2
14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, මෙහි ඉන්නා කවර භික්‍ෂු නමක් මේ බමුණා කළ සත්කාරයක් ගැණ දනී දැ?” යි (විචාළ සේක.) මෙසේ අසා වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ “ස්වාමීනි, මම මේ බමුණා කළ සත්කාරයක් ගැණ දනිමි” යි භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියේ ය. “ශාරීපුත්‍රය, ඔබ මේ බමුණා කළ කිනම් සත්කාරයක් දන්නහු දැයි උන්වහන්සේ ඇසූහ. “ස්වාමීනි, මේ රජගහනුවර පිඬු සිඟා ගිය මට (එක් දිනෙක) මේ බමුණු තෙමේ සැන්දක් පමණ බත් දෙව්වේ ය. ස්වාමීනි, බමුණා කළ මේ සත්කාරය මම සිහිපත් කරමි” යි කී ය. භාග්‍යවතුන් වහන්සේ “ශාරීපුත්‍රය, ඔබගේ ඒ සිහිපත් කිරීම ඉතා මැනවි. සත්පුරුෂයෝ කළ දේ දන්නෝ ය. කළ දේ ඉතා ප්‍රකට ව දන්නෝ ම ය. ඒ නිසා ඔබ මේ බමුණා පැවිදි කරන්න. උපසම්පදා ත් කරන්නැ” යි වදාළ සේක. ඉක්බිති ස්ථවිර තෙමේ “මම කෙසේ මේ බමුණා පැවිදි කරම් ද? කෙසේ උපසම්පදා කරම් දැ?” යි ඇසී ය.
vp-mv:120.3
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රථම කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මා විසින් තුන්සරණ ගමනින් යම් ඒ උපසම්පදාවක් අනුදන්නා ලද ද, ඒ උපසම්පදාව අද පටන් මම ප්‍රතික්‍ෂේප කරමි. ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසම්පදා කිරීම අනුදනිමි” යි වදාළ සේක. “මහණෙනි, උපසම්පදා කළ යුත්තේ මෙසේ ය:– ප්‍රතිබල වූ ව්‍යාක්ත වූ භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුත්තේ ය.
vp-mv:120.4
16. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති මේ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් වේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙනම් ඇත්තහු උපසම්පදා කරන්නේ ය. මේ දැන්වීම් ය.
vp-mv:120.5
17. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. සඞ්ඝ තෙමේ මේ නම් ඇත්තහු මේ නම් ඇති උපාද්ධ්‍යායයා ගෙන් යුක්තව උපසම්පදා කරයි. යම් ආයුෂ්මත් කෙනෙකුන් හට මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහුගේ උපසම්පදා තොමෝ රුචි වේ නම්, ඒ ආයුෂ්මත් තෙමේ තූෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.
vp-mv:122.1
18. “දෙවනවර ද මේ කරුණ කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. සඞ්ඝ තෙමේ මේ නම් ඇත්තහු මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසම්පදා කරයි. යම් ආයුෂ්මත් කෙනෙකුන් හට මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහුගේ උපසම්පදා තොමෝ රුචි වේ නම්, හෙතෙමේ තූෂ්ණීම්භූත වේවා. යමකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.
vp-mv:122.2
19. “තෙවනවර ද මේ කරුණ කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති හෙරණ තෙමේ ආයුෂ්මත් වූ මෙ නම් ඇති තෙරුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති හෙරණහු මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසම්පදා කරයි. ආයුෂ්මත් වූ යම් ස්ථවිර නමක්හට මෙ නම් ඇති උපාද්ධ්‍යායයා ගෙන් යුක්ත ව මේ නම් ඇති හෙරණහුගේ උපසම්පදා තොමෝ රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණීම්භූත වේවා. යමකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියාවා.
vp-mv:122.3
20. “සඞ්ඝයා විසින් මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරණ ලද්දේ ය. එය සඞ්ඝයාට රුචි වේ. එබැවින් තුෂ්ණීම්භූත වේ. මේ කරුණ මෙසේ සලකමි.
vp-mv:122.4
21. එකල්හි එක්තරා මහණෙක් උපසම්පදාවට අනතුරු ව අනාචාරයෙහි හැසිරෙයි. සෙසු භික්‍ෂූහු “ඇවැත්නි, මෙබන්දක් නො කරව. මේ නො කැප ය” යි කීහ. ඒ මහණ තෙමේ “මම මා උපසපන් කරවු” යි ආයුෂ්මතුන්ගෙන් නො ඉල්ලීමි. මා විසින් නො ඉල්ලූ තමුන්නාන්සේලා කුමකට මා උපසපන් කළහු දැ?” යි ඇසී ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා නො ඉල්ලනලදහු විසින් උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාදැවැත් වේ. මහණෙනි, ඉල්ලනලදහු උපසපන් කිරීම අනුදනිමි. මහණෙනි, මෙසේ ඉල්ලිය යුතු ය. උපසම්පදාපේක්‍ෂක වූ මහණහු විසින් සඞ්ඝයා වෙත පැමිණ උතුරුසඟසිවුර එකස් කොට පොරවා ගෙණ භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි. ස්වාමීනි, මා කෙරෙහි අනුකම්පා කොට මා සාමණේරභාවයෙන් උදුරා භික්‍ෂුභාවයෙහි පිහිටුවනු මැනවි’ යි මෙසේ කිය යුතු ය. දෙවනවර ද ඉල්ලිය යුතු ය. තෙවනවර ද ඉල්ලිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණෙකු විසින් සඞ්ඝයාට මෙසේ දැන්විය යුතු ය:
vp-mv:124.1
‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂක යෙකි. මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. ඉදින් සඞ්ඝයාහට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇත්තහු මේ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරන්නේ ය. මේ දැන්වීම යි.
vp-mv:124.2
‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මේ තෙමේ මෙ නම් ඇති ආයුෂ්මතුන්ගේ උපසම්පදාපේක්‍ෂකයෙකි. මෙ නම් ඇති හෙරණ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇත්තහු මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරයි. යම් ආයුෂ්මත් කෙනකුන්ට මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව මෙ නම් ඇත්තහුගේ උපසම්පදාව රුචි වේ නම්, ඒ ආයුෂ්මත් තෙමේ තුෂ්ණීම්භූත වේවා. යම් ආයුෂ්මත් කෙනකුන්ට රුචි නො වේ නම්, ඒ ආයුෂ්මත් තෙමේ කියාවා.
vp-mv:124.3
‘දෙවනවර ද මේ කාරණය කියමි, – පෙ – තෙවනවර ද මේ කාරණය කියමි. –පෙ–
vp-mv:124.4
‘සඞ්ඝයා විසින් මෙ නම් ඇති මෙ තෙමේ මෙ නම් ඇති උපාද්ධ්‍යායයාගෙන් යුක්ත ව උපසපන් කරණ ලද්දේ ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ සලකමි.
vp-mv:124.5
22. එකල්හි රජගහ නුවර ප්‍රණීත වූ බත් පිළිබඳ බත් පිළිවෙළක් නිති පැවැත්තේවේ. එකල්හි එක්තරා බමුණකුට “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ සුඛස්වභාව ඇත්තෝ ය. සුව සේ හැසිරීම් ඇත්තෝ ය. මනා බොජුන් වළඳා හුළං නැති තැන්හි වූ යහන්හි හොවිත්. මම ශ්‍රමණශාක්‍යපුත්‍රයන් කෙරෙහි පැවිදි වන්නෙමි නම් යෙහෙකැ” යි සිතෙක් විය.
vp-mv:124.6
23. ඉක්බිති එ බමුණු තෙමේ භික්‍ෂූන් කරා ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කොට උපසපන් කළහ. ඒ බමුණා පැවිදි වූ කල්හි බත්පිළිවෙළ නැවතුනේ ය. භික්‍ෂූන් “ඇවැත්නි, එව. දන් පිඬු සිඟා යන්නෙමු” යි කී කල්හි හෙතෙමේ “ඇවැත්නි, මම ‘පිඬු සිඟා යන්නෙමි’ යි යන මේ හේතුවෙන් පැවිදි නො වූයෙමි. ඉදින් මට දෙන්නහු නම්, වළඳන්නෙමි. නො දෙන්නහු නම්, සිවුරු හැර යන්නෙමි” යි කීයේ ය. “කිම, ඇවැත්නි, ඔබ බඩ නිසා පැවිදි වූවෝ ද?” “ඇවැත්නි, එසේ ය.”
vp-mv:124.7
24. යම් ඒ මහණහු ආශා නැත්තෝ ද, ඔහු “කෙසේ නම් මහණ, බඩ රැකීමේ බලාපොරොත්තුවෙන් මෙසේ මොනවට දෙසූ සාසනයෙහි පැවිදි වූයේ දැයි අවමන් කෙරෙත්. ගර්‍හා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මේ සැළකළහ.
vp-mv:126.1
25. “සැබෑ ද මහණ, ඔබ බඩ රැකීමේ හේතුවෙන් පැවිදි වූවෝ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” භාග්‍යවත්බුදුරජානන්වහන්සේ “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ මෙසේ මොනවට දෙසූ සාසනයෙහි බඩ රැකීමේ හේතුවෙන් පැවිදි වූවෝ ද? හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො පවත්නේ ය” යි ගැරහූ සේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
vp-mv:126.2
26. “මහණෙනි, උපසපන් කරන්නහු විසින් නිස්සය සතර මේ ය යි කියාදීම මම නියම කරමි. ‘පැවිද්ද සිඟා ලත් පිඬු බොජුන නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පිණ්ඩියාලෝපභෝජනයෙහි උත්සාහ කට යුතු ය. සඞ්ඝයාට දෙන බත, උදෙසා දෙන බත, ආරාධනා කොට දෙන බත, කුසපත් ලා දෙන බත, පසළොස් දිනකට වරක් දෙන බත, පොහෝ දිනයෙහි දෙන බත, පෑළවීදිනයෙහි දෙන බත, වැඩි ලැබීම් වේ.
vp-mv:126.3
“පැවිද්ද පසුල් සිවුර නිසා ය. තා පිසින් දිවි තෙක් එහි උත්සාහ කට යුතු ය. කොමු, කපු, තිහිරි (පටනූලෙන් කළ පිළි), කම්බිලි, හණ, මිශ්‍ර පිළි වැඩි ලැබීම් වේ.”
vp-mv:126.4
“පැවිද්ද, රුක්මුල සෙනසුන නිසා ය. තා විසින් දිවි තෙක් එහි උත්සාහ කට යුතු ය. වෙහෙර, ගුරුළු පියාපත් ලෙසින් කළ වහල ඇති ගෙය, සිවුරැස්ගෙය, සඳලු සහිත ගෙය, ලෙන, වැඩි ලැබීම් වේ.”
vp-mv:126.5
“පැවිද්ද පුතිමුත්තභේසජ්ජය{*} නිසා ය. තා විසින් දිවි තෙක් එහි උත්සාහ කට යුතු ය. ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක්හකුරු යන මේ වැඩි ලැබීම් වේ.”
vp-mv:126.6
පස්වන උපාද්ධ්‍යායවත්බණවර නිමි.
vp-mv:126.7
1. එකල්හි එක්තරා මාණවකයෙක් භික්‍ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහුට පළමු කොට ම සිවු නිස්සය කීහ. ඒ මහණ තෙමේ “ස්වාමීනි, පැවිදි වූ කල්හි මට සිවු නිස්සය කීහු නම්, මම (පැවිද්දෙහි) කැමති වන්නේ හෝ වෙමි. මම දැන් පැවිදි නො වන්නේනමි. සිවු නිස්සය මා විසින් ගරහන ලද ය. මට පිළිකුල් ය” යි මෙසේ කීයේ ය.
vp-mv:126.8
2. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, පළමු කොට ම සිවු නිස්සය නො කිය යුතු ය. යම් මහණෙක් කියන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, උපසම්පදාවට අනතුරු ව සිවු නිස්සය කියන්නට අනුදනිමි.
vp-mv:128.1
3. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙකුන් වූ ගණයාගෙන් යුක්ත ව ද තිදෙනකුන් වූ ගණයාගෙන් යුක්ත ව ද උපසම්පදා කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, දසදෙනකුන්ට අඩු වූ ගණයා විසින් උපසපන් නො කට යුතු ය. යම් මහණෙක් උපසපන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, දසනමක් වූ හෝ දසනමකට වැඩි වූ හෝ ගණයාගෙන් යුක්ත ව උපසපන් කළ යුතු ය” යි අනුදනිමි.
vp-mv:128.2
4. එකල්හි උපසපන් වීමෙන් එක්වස් ඇත්තා වූ ද දෙවස් ඇත්තා වූ ද භික්‍ෂූහු සද්ධිවිහාරිකයා උපසපන් කරති. වඞ්ගන්තබැමිණියගේ පුත් වූ ආයුෂ්මත් උපසේන භික්‍ෂු තෙමේ ද උපසපන් වීමෙන් එක් වස් ඇත්තේ සද්ධිවිහාරිකයකු උපසපන් කෙළේ ය. ඒ වඞ්ගන්තපුත්‍ර වූ උපසේන භික්‍ෂු තෙමේ වස් පවාරණය කළේ දෙවස් ඇත්තේ එක්වස් ඇති සද්ධිවිහාරිකයා ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙසක හුන්නේ ය. භාග්‍යවත් බුදුරජුන්හට ආගන්තුක භික්‍ෂූන් සමග පිළිසඳර කතා කිරීම පුරුදු ම ය.
vp-mv:128.3
5. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම ඉරියවු ඉවසිය හැකි ද? කිම දිවි යැපිය හැකි ද? කිම නිදුකින් දික්මග ආවහු දැ” යි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේන භික්‍ෂුහුගෙන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි නිදුකින් දික්මග ආවෙමු” යි හේ කී ය.
vp-mv:128.4
6. තථාගතවරු දැන ද විචාරත්. දැන ද නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. අනර්‍ත්‍ථසහිතවචනයෙහි තථාගතවරු මාර්‍ගයෙන් හේතු නැසූ සේක. ‘ධර්‍මය හෝ දෙසන්නෙමි. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමි යි’ යන දෙ කරුණෙන් භාග්‍යවත් බුදුවරයෝ භික්‍ෂූන් විචාරත්.
vp-mv:128.5
7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණ, කෙතෙක් වස් ඇත්තෙහි දැ” යි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේන භික්‍ෂුහට මෙය වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම දෙවස් ඇත්තෙමි”. “මේ මහණ කෙතෙක් වස් ඇත්තේ ද?” “භාග්‍යවතුන් වහන්ස, එක්වස් ඇත්තේ ය”. “මේ මහණ තට කවරෙක් දැ”යි ඇසූ කල්හි “භාග්‍යවතුන් වහන්ස, මාගේ සද්ධිවිහාරිකයා”යි කී ය.
vp-mv:128.6
8. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස් පුරුෂය, (තාගේ ක්‍රියාව) නුසුදුසු ය. නො ගැළපෙන්නකි. නො සම වූවෙකි. මහණකමට නො සුදුසු ය. අකැප වූවෙකි. නො කට යුත්තෙකි යි” නින්‍දා කළ සේක. හිස් පුරුෂය, තෝ අනුන් විසින් අවවාද කට යුත්තෙහි ය. අනුසාසනා කටයුත්තෙහි ය. කෙසේ නම් අනිකකුට අවවාද කරන්නට අනුසාසනා කරන්නට සිතූයෙහි ද? හිස් පුරුෂය, යම් මේ පිරිස් බැඳ ගැණීම වූ බහුලභාවයෙක් වේ ද, එයට තෝ ඉතා ඉක්මනට ම වැටුනෙහි ය. හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ –පෙ– නො පවතී” යි ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, අඩු දස වස් ඇති මහණහු විසින් උපසපන් නො කට යුතු ය. අඩු දස වස් ඇති යම් මහණෙක් උපසපන් කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, දසවස් පිරුණු මහණහු විසින් හෝ වැඩි දසවස් ඇති මහණහු විසින් හෝ උපසම්පදා කරන්නට අනුදනිමි”.
vp-mv:130.1
9. එකල්හි “දසවස් ඇත්තම්හ, දසවස් ඇත්තම්හ” යි අඥාන වූ අව්‍යක්ත වූ භික්‍ෂූහු උපසපන් කෙරෙති. උපාද්ධ්‍යායයෝ අඥ වූවාහු සද්ධිවිහාරිකයෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ අව්‍යක්ත වූවාහු සද්ධිවිහාරිකයෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ අල්පශ්‍රැත වූවාහු සද්ධිවිහාරිකයෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ නුවණ නැත්තාහු සද්ධිවිහාරිකයෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත්.
vp-mv:130.2
10. පෙර අන්‍යතීර්‍ත්‍ථකයන් කෙරෙහි පැවිදි ව වුසූ එක්තරා මහණෙක් ද උපාද්ධ්‍යායයන් විසින් සහධර්‍මයෙන් කියනු ලබන්නේ උපාද්ධ්‍යායයාහට වාදාරෝපණය කොට ඒ තීර්‍ත්‍ථායතනයට ම ගියේ ය.
vp-mv:130.3
11. ආශා රහිත වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්: “කෙසේ නම් ‘භික්‍ෂූහු දස වස් ඇත්තම්හ’ දස වස් ඇත්තම්හ’ යි අඥ වූවාහු අව්‍යක්ත වූවාහු උපසපන් කරන්නාහු ද? උපාද්ධ්‍යායයෝ අඥ වූවාහු සද්ධිවිහාරිකයෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ අව්‍යක්ත වූවාහු සද්ධිවිහාරිකයෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ අල්පශ්‍රැත වූවාහු සද්ධිවිහාරිකයෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත්. උපාද්ධ්‍යායයෝ නුවණ නැත්තාහු සද්ධිවිහාරිකයෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත්”.
vp-mv:130.4
12. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. “මහණෙනි, සැබෑ ද? භික්‍ෂූහු ‘දසවස් ඇත්තම්හ’ දසවස් ඇත්තම්හ යි අඥ වූවෝ අව්‍යක්ත වූවෝ උපසපන් කරන්නහු ද? උපාද්ධ්‍යායයෝ අඥ වූවාහු සද්ධිවිහාරිකයෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත් ද? උපාද්ධ්‍යායයෝ අව්‍යක්ත වූවාහු සද්ධිවිහාරිකයෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත් ද? උපාද්ධ්‍යායයෝ අල්පශ්‍රැත වූවාහු සද්ධිවිහාරිකයෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත් ද? උපාද්ධ්‍යායයෝ නුවණ නැත්තාහු සද්ධිවිහාරිකයෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත් ද?”
vp-mv:130.5
13. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ ‘දස වස් ඇත්තම්හ, දසවස් ඇත්තම්හ’ යි අඥ වූවාහු අව්‍යක්ත වූවාහු උපසපන් කරත් ද? උපාද්ධ්‍යායයෝ අඥ වූවාහු –පෙ– සද්ධිවිහාරිකයෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත් ද? මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො පවතී යි –පෙ– ගැරහූ සේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, අඥ වූ අව්‍යක්ත වූ මහණහු විසින් උපසපන් නො කට යුතු ය. යම් මහණෙක් උපසපන් කරන්නේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ දස වස් ඇත්තා වූ හෝ වැඩි දස වස් ඇත්තා වූ හෝ මහණහු විසින් උපසපන් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
vp-mv:130.6
14. එකල්හි භික්‍ෂූහු උපාද්ධ්‍යායයන් බැහැර ගිය කල්හි ද සිවුරු හැර ගිය කල්හි ද කලුරිය කළ කල්හි ද අන්‍යතීර්‍ත්‍ථකපක්‍ෂයකට මාරු වූ කල්හි ද ආචාර්‍ය්‍යයන්ගෙන් තොර වූවෝ අවවාද නො කරණු ලබන්නෝ අනුශාසනා නො කරණු ලබන්නෝ නොමනා සේ හැන්දෝ නොමනා සේ පෙරවූවෝ මහණහුට සුදුසු හැසිරීමෙන් තොර වූවෝ පිඬු සිඟා යෙත්.
vp-mv:132.1
15. අනුභව කරණ මිනිසුන්ගේ බොජුන් මතුයෙහි ද ඉඳුල් පාත්‍රය අල්ලති. කෑම මතුයෙහි ද රස විඳිය යුතු දෙය මතුයෙහි ද පිය යුතු දෙය මතුයෙහි ද ඉඳුල් පාත්‍රය අල්ලති. තුමූ ව්‍යඤ්ජන ද බත් ද විනවා ගෙණ අනුභව කරත්. බොජුන්හලෙහි ද උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වෙසෙත්.
vp-mv:132.2
16. මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ නො මනා සේ හැන්දෝ නො මනා සේ පෙරෙව්වෝ ශ්‍රමණසාරූප්‍යචාරයෙන් තොර වූවෝ පිඬු සිඟා හැසිරෙත් ද? මිනිසුන් අනුභව කරණ කල්හි බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය අල්ලත් ද? කෑම මතුයෙහි ද රස විඳිය යුතු දෙය මතුයෙහි ද පිය යුතු දෙය මතුයෙහි ද ඉඳුල් පාත්‍රය අල්ලත් ද? බ්‍රහ්මණභෝජනයෙහි බමුණන් මෙන් බොජුන්හලෙහි උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් ද? අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
vp-mv:132.3
17. භික්‍ෂූහු පහත් කොට සිතන නින්‍දා, කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ වග භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ.
vp-mv:132.4
18. “මහණෙනි, සැබෑ ද?” –පෙ– “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය” –පෙ– ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, ආචාර්‍ය්‍යයකු අනුදනිමි” යි වදාළ සේක. “මහණෙනි, ආචාර්‍ය්‍යයතෙමේ අතැවැසියා කෙරෙහි පුත්‍රයා ය යන සිත උපදවන්නේ ය. අතැවැසිතෙමේ ආචාර්‍ය්‍යයා කෙරෙහි පියා ය යන සිත උපදවන්නේ ය. මෙසේ ඔහු ගුරුන් සහිත ව පිහිට සහිත ව සමාන පැවතුම් ඇති ව වසන්නෝ මේ සාසනයෙහි වැඩීමට මුල් බැසගැණීමට මහත්බවට පැමිණෙන්නෝය.
vp-mv:132.5
19. “මහණෙනි, දස වස් ඇති ඇදුරෙකු ඇසුරු කොට විසීම ද දසවස් ඇති ඇදුරෙකු විසින් නිස දීම ද අනුදනිමි. මහණෙනි, ආචාර්‍ය්‍ය තෙමේ මෙසේ පත් කර ගත යුත්තේ ය: උතුරුසඟසිවුර එකස් කොට ගෙණ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මට ආචාර්‍ය්‍ය වනු මැනවි. මම ආයුෂ්මතුන් වහන්සේ නිසා වසන්නෙමි. ස්වාමීනි, මට ආචාර්‍ය්‍ය වනු මැනවි. මම ආයුෂ්මතුන් වහන්සේ නිසා වසන්නෙමි. ස්වාමීනි, මට ආචාර්‍ය්‍ය වනු මැනවි. මම ආයුෂ්මතුන් වහන්සේ නිසා වසන්නෙමි යි (කිය යුතුය). ආචාර්‍ය්‍ය තෙමේ ‘යහපතැ’ යි හෝ ‘පහසු’ යි හෝ ‘පිළිගත හැකි ය’ යි හෝ ‘සුදුසු’ යි හෝ ‘පහද වන සුලු පිළිවෙතින් සරු වෙව’ යි හෝ කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කයින් හා වචනයෙන් හඟවා ද ආචාර්‍ය්‍ය තෙමේ ගන්නා ලද්දේ වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නො හඟවා ද, ආචාර්‍ය්‍ය තෙමේ නො ගන්නා ලද්දේ ය.
vp-mv:132.6
20. “මහණෙනි, අතැවැසියා විසින් ආචාර්‍ය්‍යයා කෙරෙහි මනා කොට පැවතිය යුතු ය. එහි මේ මනා කොට පැවැත්ම ය: උදය කලින් ම නැගිට වහන් මුදා උතුරු සඟසිවුර එකස් කොට දැහැටි දිය යුතු ය. මුව දෝනා දිය දිය යුතු ය. අසුන් පැණවිය යුතු ය. ඉදින් කැඳ තිබේ නම් බඳුන සෝදා කැඳ එළවිය යුතු ය. කැඳ වළඳා අවසන් කොට සිටියහුට දිය පිළිගන්වා බඳුන ගෙණ පාත් කොට නො ගටා මැනැවින් සෝදා තැන්පත් කොට තැබිය යුතු ය.
vp-mv:134.1
21. ආචාර්‍ය්‍යයා නැගී සිටි කල්හි අසුන ඔසවා තැබිය යුතු ය. එදෙස කසළ සහිත නම් හැමදිය යුතු ය. ආචාර්‍ය්‍යතෙමේ ගම් වදිනු කැමැත්තේ නම්, අඳනය දිය යුතු ය. ඇඳ තුබූ අඳනය පිළිගත යුතු ය. පටිය දිය යුතු ය. උතුරුසඟසිවුර හා සඟළ සිවුර එක් කොට සිවුරු දිය යුතු ය. සෝදා දිය සහිත පාත්‍රය දිය යුතු ය. ඉදින් ආචාර්‍ය්‍ය තෙමේ පස්සේ යන මහණකු කැමැත්තේ නම් තෙමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ පටිය බැඳ උතුරුසඟ හා සඟළ සිවුර එක් කොට පොරොවා ගෙණ ගණ්ඨිය අවුණා පාත්‍රය සෝදා ගෙණ ආචාර්‍ය්‍යහට පස්සේ යන මහණකු විය යුතු ය. ඉතා දුරින් නො යා යුතු ය. ඉතා ලඟින් නො යා යුතු ය. පාත්‍රයෙහි ඉතිරි වූ දෙය පිළිගත යුතු ය.
vp-mv:134.2
22. ආචාර්‍ය්‍යයා කතා කරණ කල්හි අතරතුර කතා නො බැහිය යුතු ය. ආචාර්‍ය්‍ය තෙමේ ඇවැත් වියහැකි තරම් වූ වදන් කියන්නේ නම් වැළැක්විය යුතු ය. පිඬු සිඟා නවතින්නහු විසින් පළමු කොට අවුත් අසුන් පැණවිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබන පුවරුව ද එළවිය යුතු ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත යුතු ය. කලින් ඇඳ තුබූ අඳනය දිය යුතු ය. ඇඳි අඳනය පිළිගත යුතු ය. සිවුර තෙත් නම්, මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. සිවුර උෂ්ණයෙහි වැඩියක් නො දැවිය යුතු ය. සිවුර නැමිය යුතු ය. සිවුර නමන්නහු විසින් සතරඟුලක් පමණ සිවුරු කොණ උස් කොට ‘මැද නො බිඳේවා’ යි නැමිය යුතු ය. සිවුරුදරණයෙහි පටිය බහා තැබිය යුතු ය.
vp-mv:134.3
23. ඉදින් පිණ්ඩපාතය වේ ද ආචාර්‍ය්‍ය තෙමේත් වළඳනු කැමති වේ නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළවිය යුතු ය. ආචාර්‍ය්‍යයාහට පැන් වුවමනා දැයි පිළිවිසිය යුතු ය. වළඳා අවසන් කළහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙණ පාත් කොට නො ගටා මනා කොට සෝදා දිය පිස දමා මොහොතක් උෂ්ණයෙහි තැබිය යුතු ය. පාත්‍රය උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා බැලිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ සිවුරු ලන රැහැණ හෝ පිරිමැද පිරිසිදු කොට නුවාව එහාට ද දරණය මෙහාට ද තබා සිවුර බැහිය යුතු ය.
vp-mv:134.4
24. ආචාර්‍ය්‍යයා නැගී සිටි කල්හි ආසනය ඔසවා තැබිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබන පුවරුව ද තැන්පත් කොට තැබිය යුතු ය. ඉදින් එ දෙස කසළ සහිත නම්, හැමැන්ද යුතු ය. ආචාර්‍ය්‍ය තෙමේ නහනු කැමැත්තේ නම් නහනු පිළියෙල කළ යුතු ය. සිහිල් දියෙන් ප්‍රයෝජන නම්, සිහිල් දිය පිළියෙල කළ යුතු ය. උණු දියෙන් ප්‍රයෝජන නම්, උණු දිය පිළියෙල කළ යුතු ය.
vp-mv:136.1
25. ආචාර්‍ය්‍යතෙමේ ගිනිහල්ගෙට පිවිසෙනු කැමැත්තේ නම්, නහනසුණු දියෙන් තෙමා පිඬු කළ යුතු ය. නහනමැටි තේමිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ ආචාර්‍ය්‍යයන් වහන්සේට පිටු පසින් ගොස් ගිනිහල්ගෙයි පුටුව දී සිවුර පිළිගෙණ පසෙක බහා තැබිය යුතු ය. නහන සුණු දිය යුතු ය. නහනමැටි තේමිය යුතු ය. හැක්කේ නම් ගිනිහල් ගෙට යා යුතු ය. ගිනිහල්ගෙට යන්නහු විසින් මැටියෙන් මූණ තවරා ඉදිරිපසින් හා පසුපසින් සිරුර වසා ගෙණ ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ස්ථවිරභික්‍ෂූන් ගටා නො හිඳිය යුතු ය. නවකභික්‍ෂූන් ආසනයෙන් බැහැර නො කළ යුතු ය. ගිනිහල්ගෙයි දී ආචාර්‍ය්‍යයාගේ ඇඟ ඉළීම් ඈ වත් කළ යුතු ය. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල්ගෙයි පුටුව ගෙණ ඉදිරියෙන් හා පස්සෙන් සිරුර වසා ගෙණ ගිනිහල්ගෙයින් නික්මිය යුතු ය.
vp-mv:136.2
26. දියෙහි දී ද ආචාර්‍ය්‍යයාගේ ඇඟ ඉලීම් ඈ වත් කළ යුතු ය. නා අවසන් කළහු විසින් පළමු කොට ගොඩ නැගී තමාගේ සිරුරෙහි දිය පිසදමා හැඳ පොරොවා ගෙණ ආචාර්‍ය්‍යයාගේ සිරුරෙහි දිය පිස දැමිය යුතු ය. අඳනය දිය යුතු ය. සඞ්ඝාටිය දිය යුතු ය. ගිනිහල්ගෙයි හිඳිනා පුටුව ගෙණ පළමු කොට අවුත් අසුනක් පැණවිය යුතු ය. පා දෝනා දිය ද පා පුටුව ද නො සේදූ පා තබන පුවරුව ද එළවා තැබිය යුතු ය. ආචාර්‍ය්‍ය තෙමේ පැනින් පිළිවිසිය යුතු ය. උදෙසවා ගණු කැමැත්තේ නම්, උදෙසවා ගත යුතු ය. අරුත් කියවා ගණු කැමැත්තේ නම්, අරුත් කියවා ගත යුතු ය.
vp-mv:136.3
27. ආචාර්‍ය්‍ය තෙමේ යම් වෙහෙරක වෙසේ නම්, ඒ වෙහෙර කසළ සහිත නම්, හැක්කේ නම්, පිරිසිදු කළ යුතු ය. වෙහෙර පිරිසිදු කරන්නහු විසින් පළමු කොට පාසිවුරු බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. ගුදිරිය හා කොට්ටය බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. ඇඳ පාත් කොට බිම නො ගටා දොරබාව නො හප්පා බැහැරට ගෙණ පසෙක මනා ව තැබිය යුතු ය. පුටුව පාත් කොට බිම නො ගටා දොරබාව නො හප්පා බැහැර කොට පසෙක මනා ව තැබිය යුතු ය. ඇඳපාඅළු බැහැර කොට පසෙක තැබිය යුතු ය.
vp-mv:136.4
28. කෙළමලාව බැහැර කොට පසෙක තැබිය යුතු ය. වැතිර හිඳිනා පුවරුව බැහැර කොට පසෙක තැබිය යුතු ය. බුමුතුරුණ පණවා තුබූ සැටි සලකා බලා බැහැර කොට පසෙක තැබිය යුතු ය. වෙහෙරෙහි මකුණුදැල් වේ ද, උඩ සිට ඉවත් කළ යුතු ය. ඇතුළත පිටත ජනෙල් කවුළු හා කාමරයෙහි මුළු සතර පිස දැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත් නම්, රෙදිකඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. කළු පැහැ කළ බිම හටගත් පුස් ඇත් නම්, රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. බිම පිරියම් නො කරණ ලද නම්, “වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේවා” යි දිය ඉස පිස දැමිය යුතු ය.
vp-mv:138.1
29. කසළ එකතු කොට පසෙක හළ යුතු ය. බුමුතුරුණ වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ ලෙසට පැණවිය යුතු ය. ඇඳපාඅළු වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා පිරිසිදු කොට ගසා දමා පාත් කොට බිම නො ගටා දොරබාව නො හප්පා ගෙණවුත් පණවා තුබූ ලෙසට මනා කොට පැණවිය යුතු ය. පුටුව වියලා පිරිසිදු කොට ගසා දමා පාත් කොට බිම නො ගටා දොරබාව නො හප්පා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. කෙළමලාව සෝදා වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. වැතිර හිඳිනා පුවරුව වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය.
vp-mv:138.2
30. පා සිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ රැහැණ හෝ පිරිමැද නුවාව එහාට ද දරණය මෙහාට ද තබා සිවුර දැමිය යුතු ය.