6. එකල්හි ඒ ජටිලයෝ ගිනි පුදනු කැමැත්තාහු දර පළන්ට අපොහොසත් වෙත්. එහෙයින් ඒ ජටිලයන්ට “යම් සේ අපි දර පළන්ට අපොහොසත් වෙමු ද, එය ඒකාන්තයෙන් මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් වේ” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, දර පැළේවා දැ?” යි වදාළසේක. ජටිලතෙමේ ද “මහාශ්‍රමණය, දර පැළේවා” යි කී ය. එකවර ම දරකඩ පන්සියයක් පැළී ගියේ ය. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකුගේ අනුභාවයෙන් දර නො පැළෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.
7. එකල්හි ඒ ජටිලයෝ ගිනි පුදනු කැමැත්තාහු ගිනි දල්වන්නට නො හැකි වෙති. එහෙයින් ඒ ජටිලයන්ට “යම් සේ අපි ගිනි දල්වන්ට නො හැකි වෙමු ද, එය ඒකාන්තයෙන් මහාශ්‍රමණයාගේ ඍද්ධානුභාවයක් වේ ය”යි සිතෙක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ගිනි දැල්වේවා දැ?” යි වදාළ සේක. “මහාශ්‍රමණය, ගිනි දැල්වේවා”යි ජටිලතෙමේ කී ය. එකවර ම ගිනි පන්සියයක් ඇවිළ ගත්තේ ය. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකුගේ අනුභාවයෙන් ගිනි නො දැල්වෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.
8. එකල්හි ඒ ජටිලයෝ ගිනි පුදා ගිනි නිවන්නට නො හැකි වෙති. එහෙයින් ඒ ජටිලයන්ට “යම්හෙයකින් අපි ගිනි නිවන්නට නො හැකි වෙමු ද, එය නිසැකයෙන් ම මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් වේ” යි සිතක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ගිනි නිවේවා දැ?”යි වදාළසේක. “මහාශ්‍රමණය, ගිනි නිවේවා” යි ජටිලතෙමේ කී ය. එකවර ම ගිනි පන්සියය නිවී ගියේ ය. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකුගේ අනුභාවයෙන් ගිනි නො නිවෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නොවේ ම ය”යි සිතක් වූයේ ය.
9. එකල්හි ඒ ජටිලයෝ සීත වූ හේමන්තඍතුව පිළිබඳ වූ නවම් මැදින් දෙ මස අතර අටදිනය වූ රාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි නේරඤ්ජරානදියෙහි ගැලෙන්නාහු ද වෙති. කිඳෙන්නාහු ද වෙති. ගැලීම හා කිඳීම ද කෙරෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ජටිලයෝ ගොඩ නැගී යම් තැනක ගිනි තැප්පාහු ද, එහි පන්සියයක් පමණ ගිනිකබල් මැවූ සේක. එකල්හි ඒ ජටිලයන්ට යම්හෙයකින් මේ ගිනි කබල් මැවුනේ නම් එය නිසැක ව ම මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් වේ” යි සිතක් වූයේ ය. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙකුගේ අනුභාවයෙන් එපමණ බොහෝ ගිනි කබල් මැවුනේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.
10. එකල්හි මහත් නොකල්වැස්සක් වැස්සේ ය. එයින් මහත් ජලගැල්මක් හට ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ විසූ පෙදෙස දියෙන් යට වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කරන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් හටගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කළසේක. එකල්හි උරුවේලකාශ්‍යපජටිල තෙමේ “මහාශ්‍රමණතෙමේ දියෙන් ගසා ගෙණ යන ලද්දේ නො වේවා” යි නැවකින් බොහෝ ජටිලයන් සමග භාග්‍යවතුන් වහන්සේ හුන් පෙදෙසට ගියේ ය. උරුවෙලකාශ්‍යපජටිලතෙමේ හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක “මහාශ්‍රමණය, මෙහි නුඹවහන්සේ සිටින සේක් ද?”යි ඇසී ය. “කාශ්‍යපය, මේ මම මෙහි වෙමි” යි උන්වහන්සේ අහසට නැඟී නැවෙහි වැඩ සිටිසේක. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකු සිටි තැනක් ජලය පවා නො මැඩලන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම වේ. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.
11. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “බොහෝ කලක් ම මේ හිස් පුරුෂයාහට ‘මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. (එසේ නමුත්) මා මෙන් රහත් නො වේ මැ’ යි මෙසේ අදහස් වන්නේ ය. මම මේ ජටිලයා සංවේගයට පමුණුවන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, තෝ රහත් නො වෙහි ම ය. රහත්මගට නො පැමිණියෙහි ම ය. තෝ, යම් ප්‍රතිපදාවකින් රහත් හෝ වන්නෙහි ද, රහත්මගට හෝ පැමිණෙහි ද, ඔබට ඒ ප්‍රතිපදාවත් නැතැ” යි වදාළසේක.
12. එකල්හි උරුවේලකාශ්‍යපජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි කීයේ ය. “කාශ්‍යපය, තෝ පන්සියයක් ජටිලයන්ට නායක වෙහි. තම ලබ්ධිය ගන්වන්නෙහි. අග්‍ර වෙහි. ප්‍රමුඛ වෙහි. ආචාර්‍ය්‍ය වෙහි. එහෙයින් පළමු කොට ඒ අතැවැසිජටිලයන් ද බලව. (එවිට) ඔහු යම් සේ සිතන්නාහු ද එසේ කරන්නාහු ය” යි, වදාළ සේක.
13. ඉක්බිති උරුවේලකාශ්‍යප ජටිලතෙමේ ඒ ජටිලයන් හුන් තැනට ගියේ ය. ගොස් ඒ ජටිලයන්ට “භවත්නි, මම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි. භවත්හු යම් සේ සිතත් ද, එසේ කෙරෙත්වා” යි කී ය. “පින්වත් ගුරුතුමනි, අපි බොහෝ කල් පටන් මහාශ්‍රමණයා කෙරෙහි වෙසෙසින් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙණසේක් නම්, අපි සියල්ලෝ ම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමු” යි කීහ.
14. ඉක්බිති ඒ ජටිලයෝ හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර හා පිරිකරකද ද ගිනි පුදන උපකරණ ද ජලයෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කීහ. “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය.
15. නදීකාශ්‍යප ජටිලතෙමේ ජලයෙහි පා වී යන හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකරකත් ද ගිනි පුදන උපකරණ ද දුටුයේ ය. දැක ඔහුට “මාගේ සොහොයුරාහට උවදුරක් නො වේවා” යි සිතක් වූයේ ය. “යවු. මාගේ සොහොයුරා ගැණ දැන ගණිවු” යි ජටිලයන් පිටත් කොට හැරියෝ ය. තෙමේ ද තුන්සියයක් ජටිලයන් සමඟ ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් වෙතට ගියේ ය. ගොස් ආයුෂ්මත් උරුවෙලකාශ්‍යපයාහට “කාශ්‍යපය, මේ පැවිදිබව (පළමු තවුස්බවට වඩා) උතුම් ද?” යි ඇසී ය. “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” යි හේ කී ය. ඉක්බිති ඒ ජටිලයෝ හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කීහ. “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත් වරුන්ට උපසම්පදාව වී ය.
16. ගයාකාශ්‍යපජටිලතෙමේ දියෙහි පා වී යන හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකරකත් ද ගිනි පුදන උපකරණ ද දුටුයේ ය. දැක “මාගේ සොහොයුරන්ට උවදුරක් නො වේවා” යි සිතක් වූයේ ය. “යවු. මාගේ සොහොයුරන් ගැණ දැන ගණිවු” යි ජටිලයන් පිටත් කොට හැරියේ ය. තෙමේ ද දෙසියයක් ජටිලයන් සමග ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් හුන් තැනට ගියේ ය. ගොස් ආයුෂ්මත් උරුවෙලකාශ්‍යපයාහට “කාශ්‍යපය, මේ පැවිදිබව උතුම් දැ?” යි ඇසී ය. “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” යි හෙතෙමේ කී ය.
17. ඉක්බිති ඒ ජටිලයෝ හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කීහ. “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වි ය.
භාග්‍යවතුන් වහන්සේගේ ඉටීමෙන් පන්සියයක් දරකඩ නො පැළින. (එසේ ම ඉටීමෙන්) පැළින. ගිනි නො දැල්වුනේ ය. ගිනි දැල්වුනේ ය. නො නිවුනේ ය. නිවුනේ ය. ගිනි කබල් පන්සියයක් මැවූ සේක. මේ පිළිවෙළින් පෙළහර තුන්දහස් පන්සියයක් වෙයි.
18. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි කැමැති තාක් වාසය කොට සියල්ලන් පුරාණජටිලයන් වූ දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග ගයාශීර්‍ෂයට වැඩිසේක. එහි භාග්‍යවතුන් වහන්සේ ගයාව සමීපයෙහි වූ ගයාසීසයෙහි භික්‍ෂූන් දහස සමග වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක:
“මහණෙනි, සියල්ල ඇවිළ ගත්තේ ය. මහණෙනි, ඇවිළ ගත් සියල්ල කිම? මහණෙනි, ඇස ඇවිළ ගත්තේ ය. රූපයෝ ඇවිල ගත්හ. චක්ඛුවිඤ්ඤාණය ඇවිළ ගත්තේ ය. චක්ඛුසම්ඵස්සය ඇවිළ ගත්තේ ය. චක්ඛුසම්ඵස්සය හේතුවෙන් යම් සුව දුක් උපේක්‍ෂා වේදනාවක් උපදී ද, එ ද ඇවිළ ගත්තේ ය. කුමකින් ඇවිළ ගත්තේ ද? රාගගින්නෙන් දෝස ගින්නෙන් මෝහගින්නෙන් ඇවිළ ගත්තේ ය. ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයන්ගෙන් විලාපයන්ගෙන් දුක්වලින් දොම්නස්වලින් සිත් තැවුල්වලින් ඇවිළ ගත්තේ ය” යි කියමි.
“කණ ඇවිළ ගත්තේ ය. ශබ්දයෝ ඇවිළ ගත්තෝ ය. – නැහැය ඇවිළ ගත්තේ ය. ගන්‍ධයෝ ඇවිළ ගත්තෝ ය. – දිව ඇවිළ ගත්තේ ය. රසයෝ ඇවිල ගත්තෝ ය. – කය ඇවිළ ගත්තේ ය. ඵොට්ඨබ්බයෝ ඇවිල ගත්තෝ ය. – මනස ඇවිළ ගත්තේ ය. ධම්මාරම්මණයෝ ඇවිළ ගත්තෝ ය. මනෝවිඤ්ඤාණය ඇවිළ ගත්තේ ය. මනෝසම්ඵස්සය ඇවිළ ගත්තේ ය. මනෝසම්ඵස්සහේතුවෙන් යම් දුක්වූ ද සැපවු ද උපේක්‍ෂා වූ ද වේදනාවක් උපදී ද, එ ද ඇවිළ ගත්තේ ය. කුමකින් ඇවිළ ගත්තේ ද? රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිළ ගත්තේ ය. ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයන්ගෙන් විලාපයන් ගෙන් දුක්වලින් දොම්නස්වලින් සිත්තැවුල්වලින් ඇවිළ ගත්තේ ය’ යි කියමි. මහණෙනි, මෙසේ නුවණින් දක්නා බහුශ්‍රුත වූ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ ඇසෙහි ද කළකිරේ. රූපයන්හි ද කළකිරේ. චක්ඛුවිඤ්ඤාණයෙහි ද කළකිරේ. චක්ඛුසම්ඵස්සයෙහි ද කළකිරේ. චක්ඛුසම්ඵස්සහේතුවෙන් යම් දුක් සැප උපේක්‍ෂා වේදනාවක් වේ ද, එහි ද කළකිරේ.
“කණෙහි ද කළකිරේ. ශබ්දයන්හි ද කළකිරේ. – නැහැයෙහි ද කළකිරේ. ගන්‍ධයන්හි ද කළකිරේ. – දිවෙහි ද කළකිරේ රසයන්හි ද කළ කිරේ. – කයෙහි ද කළකිරේ. ඵොට්ඨබ්බයන්හි ද කළකිරේ. – මනසෙහි ද කළකිරේ. ධම්මාරම්මණයන්හි ද කළකිරේ. මනෝවිඤ්ඤාණයෙහි ද කළකිරේ. මනෝසම්ඵස්සයෙහි ද කළ කිරේ. මනෝසම්ඵස්සහේතුවෙන් යම් දුක් සැප උපේක්‍ෂා වේදනාවක් උපදී ද, එහි ද කළකිරේ. කළකිරෙන්නේ නො ඇලේ නො ඇලීමෙන් මිදේ. මිදුනු කල්හි මිදුනේ ය යි දක්නා නුවණ වේ. ‘ජාතිය ක්‍ෂය වි ය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද්දේ ය. සිවුමගින් කළ යුතු දෙය කරණ ලද්දේ ය. මේ රහත් බව පිණිස වෙන කළ යුත්තෙක් නැත්තේ ය යි දනියි.”
19. මේ නිර්‍ගාථකසූත්‍රය දෙසනු ලැබූ කල්හි ඒ භික්‍ෂූන් දහසගේ සිත් තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් ගැණීම් රහිත ව ආශ්‍රවයන්ගෙන් මිදී ගියහ.
ආදිත්තපරියාය නිමි.
උරුවෙල්පෙළහරයි.
තෙවන බණවර නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගයාසීසයෙහි කැමැති තාක් වැඩ වාසය කොට සියල්ලන් ම පුරාණජටිලයන් වූ භික්‍ෂූන් දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග රජගහනුවර බලා වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණසේක් රජගහනුවරට වැඩ එහි රජගහනුවර සමීපයෙහි වැල්මීලිය වැලඳගත් තල්උයනෙහි සුප්පතිට්ඨචේතිය නම් නුගරුක්මුල්හි වැඩ වසනසේක. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ භවත් ශ්‍රමණගෞතමයන් වහන්සේ රජගහනුවරට පැමිණ තල්උයනෙහි සුප්පතිට්ඨචේතිය නම් වූ නුගරුක්මුල්හි වාසය කරණසේක. ගෞතමගෝත්‍රයෙහි උපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ කලණ වූ කීර්තිඝොෂාච උස් ව නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්‍හත් වනසේක. මේ කාරණයෙන් සම්‍යක්සම්බුද්ධ වන සේක. මේ කාරණයෙන් අෂ්ටවිද්‍යායෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත වන සේක. මේ කාරණයෙන් යහපත් ගමන් ඇති සේක. මේ කාරණයෙන් තුන්ලොව දත් සේක. මේ කාරණයෙන් නිරුත්තර වූ පුරුෂයන් දමනය කිරීමෙහි සාරථී වන සේක. මේ කාරණයෙන් දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක. මේ කාරණයෙන් බුද්ධ වන සේක. මේ කාරණයෙන් භාග්‍යවත් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. මුල මැද අග යහපත් වූ අරුත් සහිත වූ බ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දේශනා කරණ සේක. පිරිසිදු වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය වදාරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි ඇසුයේ ය.
2. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාරරජ තෙමේ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන් විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. ඒ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියෝ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු කතා කොට නිමවා පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හුන් දිසාවට ඇඳිලි බැඳ පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම්ගොත් අස්වා පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නිශ්ශබ්ද ව පසෙක හුන් හ.
3. ඉක්බිති ඒ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රහ්මණගෘහපතියන්ට “කිම, මහාශ්‍රමණතෙමේ උරුවේලකාශ්‍යපයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේ ද, නොහොත් උරුවේලකාශ්‍යපතෙමේ මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේ ද?” යි සිතක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන්ගේ චිත්තවිතර්‍කය තමන්ගේ සිතින් දැන ආයුෂ්මත් උරුවෙලකාශ්‍යපස්ථවිරයන්හට ගාථාවෙන් (මෙසේ) වදාළ සේක:–
4. “තවුසන්ට අවවාද දෙන නොහොත් තමා තවුස් ව සෙස්සන්ට අවවාද දෙන උරුවෙල්වැසි ඔබ කුමක් නම් දැක ගිනි පිදීම දුරු කළා හු ද? කාශ්‍යපය, මේ කරුණ ඔබ අතින් විචාරමි ඔබගේ ගිනි පිදීම කෙසේ ප්‍රහීණ වී ද?”
“රූප ද ශබ්ද ද රස ද කාන්තාවන් ද ස්පර්‍ශ ද ගන්‍ධ ද යන මේ කාමයෝ යාග කිරීමේ හේතුවෙන් සිදු වෙති යි කියත්. මේ රූපාදිකාමප්‍රභේදය කාමූපධිආදියෙහි කිලුටැයි දැන ගත් හෙයින් මහායාගයෙහි නො ඇලුනෙමි. දවසක් පාසා කටයුතු ගිනි පිදීමෙහි නො ඇලුනෙමි” යි (පිළිවදන් දුන්නේ ය.)
භාග්‍යවතුන් වහන්සේ “කාශ්‍යපය, මේ ලෝකයෙහි රූප කෙරෙහි ද ශබ්ද කෙරෙහි ද රස කෙරෙහි ද තොපගේ සිත නො ඇලුනේ නම්, එකල්හි දිව්‍යමනුෂ්‍ය ලෝකයෙහි කො තැනක දැන් සිත ඇලුනේ ද? යන මෙය කියව” යි (වදාළ සේක.)
“කාමභවයෙහි නොඇලුනා වූ ශාන්ත වූ කාමාදිඋපධිරහිත වූ කාමාදිපලිබෝධරහිත වූ ජාතිජරාමරණයන්ගේ අභාවයෙන් වෙනස් වන බවක් නැත්තා වූ තමන් විසින් වැඩූ මඟින් ම පැමිණිය යුතු වූ අනිකකු විසින් නො පැමිණවිය හැකි බැවින් අනඤ්ඤනෙය්‍ය වූ හෙවත් තමන් දියුණු කළ පිළිවෙතින් ම අවබෝධ කළ යුතු වූ නිර්‍වාණපදය දැන ගත් හෙයින් මහායාගයෙහි නො ඇලුනෙමි. දවසක් පාසා කට යුතු ගිනි පිදීමෙහි නො ඇලුනෙමි” යි කී ය.
5. එකල්හි ආයුෂ්මත් උරුවේලකාශ්‍යපතෙමේ හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට පොරොවා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවකයෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවකයෙක් වෙමි.” යි කීයේ ය. එකල්හි මගදදනවුවැසි දොළොස් නහුතයක් වූ (එක්ලක්‍ෂවිසිදහසක්) බ්‍රාහ්මණගෘහපතියන්හට “උරුවේල – කාශ්‍යපතෙමේ මහාශ්‍රමණයන් වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේ ය” යි සිත් වි ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගදදනවුවැසි දොළොස්නුහුවක් වූ ඒ බ්‍රාහ්මණගෘහපතියන්ගේ සිත තම සිතින් දැන පිළිවෙළකතාව වදාළසේක. ඒ මෙසේ ය – දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන් දුක් සහිතබව ලාමකබව කෙලෙස්බව නෙක්ඛම්මයෙහි අනුසස් ද ප්‍රකාශ කළසේක. යම් කාලෙක භාග්‍යවතුන් වහන්සේ සුදුසු වූ සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔද වැඩි සිත් ඇති පහන් සික් ඇති ඔවුන් දත්සේක් ද, එකල්හි බුදුවරයන්ගේ ආවේණික වූ යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය දෙසූසේක. පහ වූ කිලුටුඇති පිරිසිදු වූ වස්ත්‍රයක් සායම් අල්ලා ගන්නා සේ බිම්බිසාර රජු ප්‍රමුඛ කොට ඇති මගදදනවුවැසි දොළොස්නුහුවක් බ්‍රාහ්මණගෘහපතියන්ට ඒ ආසනයෙහි දී ම පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති “යම් – කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය. එහි දී එක් නුහුවක් උපාසකභාවය ප්‍රකාශ කෙළේ ය.
6. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාරරජතෙමේ දක්නාලද සිවුසස් දහම් ඇත්තේ පැමිණි සිවුසස්දහම් ඇත්තේ අවබෝධ කළ සිවුසස් දහම් ඇත්තේ බැස ගත් සිවුසස් දහම් ඇත්තේ පහ වූ සැක ඇත්තේ පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ නිර්‍භයභාවයට පැමිණියේ බුදුසසුනෙන් පිටත් අන් පිහිටක් නැත්තේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, පෙර කුමාර වූ මාගේ පැතීම් පසක් වි ය. මාගේ ඒ පැතීම් දැන් සමෘද්ධ වී ය. ස්වාමීනි, පෙර කුමාර වූ මට ‘මා මගධරාජ්‍යයෙහි අභිෂේක කරන්නාහු නම් යෙහෙකැ’ යි මෙබඳු සිතක් උපන. ස්වාමීනි, මේ මට උපන් මුල් පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ වූයේ ය. ‘මාගේ විජිතයට රහත් වූ සම්මාසම්බුදුරජානන්වහන්සේ පැමිණෙන්නාහු නම් යෙහෙකැ’ යි සිත් වි ය. ස්වාමීනි, මේ මට උපන් දෙවන පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ විය. ‘මම ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙම් නම් යෙහෙකැ’ යි සිතක් උපන. ස්වාමීනි, මේ මගේ තෙවන පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ වී ය. ‘භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසනසේක් නම් යෙහෙකැ’ යි සිතක් උපන. ස්වාමීනි, මේ මාගේ සිවුවන පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ ය. ‘මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය අවබෝධ කරන්නේනම් නම යෙහෙකැ’ යි සිත් වී ය. ස්වාමීනි, මේ මාගේ පස්වන පැතීම ය. මාගේ ඒ පැතීම දැන් සමෘද්ධ ය. ස්වාමීනි, පෙර කුමාර වූ මට මේ පැතීම් පස වූයේ ය. මාගේ ඒ පැතීම් දැන් සමෘද්ධ වී ය.”
7. “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ වේ ද, වැසුනක් යම් සේ විවෘත කරන්නේ වේ ද, මං මුළා වූවහුට යම් සේ මග කියන්නේ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහ යි ගනඳුරෙහි තෙල් පහනක් යම් සේ දරන්නේ වේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තර ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසන සේක්වා” යි කීයේ ය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් එය ඉවසා වදාළ සේක.
8. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ඉවසීම දැන හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය. ඉක්බිති මගධාධිපති වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දේ බිදිය යුතු දේ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ සුදුසු කාලය යි. බත නිමවී ය” යි කල් දැන්වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ සියල්ලන් ම පුරාණ ජටිලයන් වූ දහසක් පමණ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග රජගහ නුවරට වැඩි සේක. එකල්හි දේවාධිපති වූ ශක්‍රතෙමේ තරුණ මිනිස් වෙසක් මවාගෙණ බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයාගේ ඉදිරියේ මේ ගාථාවන් කියමින් යයි.
9. “දැමුනු වෙසෙසින් මිදුනු භාග්‍යවතුන් වහන්සේ දඹරන්පැහැ ඇති සේක්, දැමුනු වෙසෙසින් මිදුනු පුරාණජටිලයන් හා රජගහනුවරට වැඩි සේක.
සංසිඳුනු වෙසෙසින් මිදුනු භාග්‍යවතුන් වහන්සේ දඹරන්පැහැ ඇතිසේක්, සන්හුන් වෙසෙසින් මිදුනු පුරාණජටිලයන් හා රජගහ නුවරට වැඩි සේක.
මිදුනු වෙසෙසින් මිදුනු භාග්‍යවතුන් වහන්සේ දඹරන්පැහැ ඇතිසේක්, මිදුනු වෙසෙසින් මිදුනු පුරාණජටිලයන් හා රජගහ නුවරට වැඩිසේක.
සසරින් එතෙර වූ වෙසෙසින් මිදුනු භාග්‍යවතුන් වහන්සේ දඹරන්පැහැ ඇතිසේක්, එතෙර වූ වෙසෙසින් මිදුනු පුරාණජටිලයන් හා රජගහ නුවරට වැඩිසේක.
දසවැදෑරුම් වූ ආර්‍ය්‍යවාසය ඇති දසවැදෑරුම් වූ කායබල ඤාණබල ඇත්තා වූ දස වැදෑරුම් වූ කර්‍මපථ දන්නා වූ දශවිධ අශෛක්‍ෂ්‍යාඞ්ගයන් ගෙන් යුක්ත වූ දහසක් මහරහතුන් පිරිවර කොට ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට වැඩිසේක.”
මිනිස්සු සක්දෙව්රජු දැක මේ තරුණ තෙමේ මනා රූ ඇත්තේ ම ය. මේ තරුණ තෙමේ දැකුම්කලු ම ය. මේ තරුණතෙමේ ප්‍රසාද ජනක ම ය. මේ තරුණතෙමේ කවරකුගේ දැ” යි කීහ. මෙසේ කී කල්හි සක්දෙව්රජතෙමේ මේ ගාථාව කීයේ ය:
“යම් නුවණැත්තෙක් තෙමේ සියලු ස්කන්‍ධායතනයන්හි දැමුනෙන් ද, පිරිසිදු වූයේ ද, අප්‍රතිපුද්ගල වූයේ ද, ලෝකයෙහි රහත් වූයේ ද, යහපත් ගමන් ඇත්තේ ද, මම උන්වහන්සේගේ මෙහෙකරු වෙමි.”
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජහුගේ රජමැදුරට වැඩිසේක. වැඩ පැණ වූ අසුනෙහි භික්‍ෂුසඞ්ඝයා සමග වැඩ හුන්සේක. මගධේශ්වර සේනා ඇති බිම්බිසාර රජතෙමේ බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑයුතු දෙයින් හා බිදිය යුතු දෙයින් සියතින් සතප්වා වළඳා නිම වූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පසෙක හුන්නේ ය. පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට ගමට නොදුරු වූ ගමට නො ලං වූ යෑම් ඊමට පහසු වූ බුදුන් වැඳීම හා දහම් ඇසීම ප්‍රයෝජන කොට ඇති මිනිසුන්ට යෑමට පහසු වූ දහවල ජනසමූහයාගේ ගැවසීම් නැත්තා වූ රාත්‍රියෙහි නිහඬ වූ ඝෝෂා රහිත වූ ජනවාතයෙන් තොර වූ මිනිසුන්ගේ රහස්වැඩට සුදුසු වූ කායාදීන්ගේ විවේකයට යෝග්‍ය වූ යම් සෙනසුනක් වන්නේ ද, එබඳු කවර තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සේක් ද?” යන සිතක් වූයේ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජහට අපගේ මේ වේළුවන උයන ගමට නො දුරෙහි ය. නො ලං තැන්හි ය. යෑම් ඊමට පහසු වේ. වුව මනා මිනිසුන්ට පහසුවෙන් යා හැකි වේ. දහවල් ගැවසීමෙක් නැත. රාත්‍රියෙහි නිහඬ ය. ඝෝෂා රහිත ය. ජනවාත නැත. මිනිසුන්ගේ රහස්වැඩට සුදුසු වේ. කායවිවේකයට යෝග්‍ය වේ. මම ඒ වේළුවනඋයන බුද්ධප්‍රමුඛභික්‍ෂු සඞ්ඝයා වහන්සේට පුදන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් වූයේ ය.
11. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ රන් කෙණ්ඩිය ගෙණ “ස්වාමීනි, මම මේ වේළුවනඋයන බුද්ධප්‍රමුඛ මහා සඞ්ඝයා වහන්සේට දෙමි” යි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පැන් වක්කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත්සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු දැහැමි කතාවෙන් මනා කොට කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය නිමිති කොට දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, ආරාම පිළිගැණීම අනුදනිමි.”
12. ඒ කාලයෙහි සඤ්ජයපරිව්‍රාජක තෙමේ දෙසිය පණසක් පරිව්‍රාජකයන්ගෙන් යුත් මහත් පරිව්‍රාජක පිරිසක් සමග රජගහනුවර වාසය කරයි. එකල්හි ශාරිපුත්‍රමෞද්ගල්‍යායන දෙදෙන සඤ්ජයපරිව්‍රාජකයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්. ඔවුන් විසින් යමෙක් පළමු කොට නිර්‍වාණයට පැමිණේ ද, හෙතෙමේ අනිකාහට දන්වා” යි කතිකාවක් කරණ ලදී. ඉක්බිති ආයුෂ්මත් අස්සජි ස්ථවිරතෙමේ පෙරවරුයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ ප්‍රසාදජනක වූ ඉදිරි ගමනින් ආපසු ගමනින් ඉදිරිය බැලීමෙන් හාත්පස බැලීමෙන් අත්පා හැකිළීමෙන් අත්පා දිගු කිරීමෙන් යුක්ත ව යට හෙළූ ඇස් ඇත්තේ යහපත් ඉරියව් වෙන් යුක්ත ව පිඬු පිණිස රජගහනුවරට වැඩියේ ය.
13. ශාරීපුත්‍රපරිව්‍රාජක තෙමේ, ප්‍රසාදජනක වූ ඉදිරි ගමනින් ආපසු ගමනින් ඉදිරිය බැලීමෙන් හාත්පස බැලීමෙන් අත්පා හැකිළීමෙන් අත්පා දිගු කිරීමෙන් යුක්ත ව යට හෙළූ ඇස් ඇති ව මනා ඉරියව්වෙන් යුක්ත ව රජගහනුවර පිඬු සිඟා හැසිරෙණ ආයුෂ්මත් අස්සජි තෙරුන් දුටුවේ ය. දැක, ඔහුට “ඒකාන්තයෙන් ලෝකයෙහි යම් කෙනෙක් රහත් වූවාහු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ වෙත් ද, මේ මහණතෙමේ ත් ඔවුන් අතුරෙහි එක්තරා එකෙක. මම මේ මහණහු කරා ගොස් “ඇවැත්නි, නුඹවහන්සේ කවරකු උදෙසා පැවිදිවූවහු ද? නුඹවහන්සේගේ ශාස්තෘතෙමේ කවරෙක් හෝ වේ ද? නුඹවහන්සේ කවරකුගේ ධර්‍මය රුචි කරනසේක් දැ? යි විචාරන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් පහළ වූයේ ය.
14. ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට “මේ මහණහු විචාරන්නට මේ කාලය නො වේ ම ය. ඇතුළුගමට පිවිසියේ පිඬු සිඟා හැසිරේ. මම මේ මහණහු පසුපස්සේ ලුහුබැඳ යන්නෙම් නම් යෙහෙක. එය අර්ත්‍ථීන් විසින් සොයාගන්නා ලද මාර්‍ගය යි. නොහොත් නිවන් සොයන්නන් විසින් මග දැන ගන්නා ලද්දේ ය” යි සිතක් වූයේ ය. ඉක්බිති ආයුෂ්මත් අස්සජි ස්ථවිරතෙමේ රජගහනුවර පිඬු සිඟා හැසිර පිණ්ඩපාතය ගෙණ පෙරළා ගියේ ය. ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජක තෙමේ අස්සජි ස්ථවිරයන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් ආයුෂ්මත් අස්සජි තෙරුන් සමග සතුටු වි ය. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු කතා කොට නිමවා පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ශාරීපුත්‍රපරිව්‍රාජකතෙමේ ආයුෂ්මත් අස්සජී තෙරුන්ට “ඇවැත්නි, නුඹවහන්සේගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන් වූවෝ ය. පිරිසිදු වූ සිරුරු පැහැය නිර්‍මල වේ. ඇවැත්නි, නුඹවහන්සේ කවරකු උදෙසා පැවිදි වූසේක් ද? නුඹවහන්සේගේ ශාස්තෘ තෙමේ කවරෙක් හෝ වේ ද? කවරක්හුගේ ධර්‍මය රුචි කරනසේක්ද?” යි විචාළේ ය.
15. (එකල්හි අස්සජිස්ථවිරතෙමේ) “ඇවැත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුල යෙන් නික්ම පැවිදි වූ මහාශ්‍රමණයෙක් ඇත. මම ඒ භාග්‍යවතුන් උදෙසා පැවිදි වූයෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය ද මට රුස්නේ” යි කීයේ ය. එවිට ආයුෂ්මතුන් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ කිනම් ලබ්ධි ඇතිසේක් ද? කුමක් කියනසේක්දැ” යි පරිව්‍රාජකතෙමේ (ඇසී ය.) “ඇවැත්නි, මම නවකයෙක් වෙමි. පැවිදි වූ නොබෝකල් ඇත්තේ වෙමි. මේ ශාසනයට අළුත පැමිණියේ වෙමි. එහෙයින් මම ඔබට ධර්‍මය විස්තර වශයෙන් දේශනා කරන්නට අපොහොසත් වෙමි. එතෙකුදු වුවත් ඔබට සැකෙවින් අර්‍ත්‍ථය කියමි”යි අස්සජිස්ථවිරතෙමේ කී ය. ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජකතෙමේ ආයුෂ්මත් අස්සජි තෙරුන්ට “ඇවැත්නි, වේවා–
“ස්වල්ප කොට හෝ බොහෝ කොට හෝ වදාරණු මැනවි. මට අර්‍ත්‍ථය ම කියව. මට අර්‍ත්‍ථයෙන් ම ය වැඩ, බොහෝ වචනවලින් ප්‍රයෝජන කිමැ?” යි කීයේ ය.
ඉක්බිති ආයුෂ්මත් අස්සජිස්ථවිරතෙමේ ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට මේ ධර්‍මක්‍රමය කී ය:
“හේතුවෙන් උපදින යම් ධර්‍මකෙනෙක් වෙත් ද, ඔවුන්ගේ හේතුව තථාගතතෙමේ වදාළේ ය. ඔවුන්ගේ යම් නිරෝධයෙක් වේ ද, එය ද වදාළේ ය. මහාශ්‍රමණතෙමේ මෙබඳුවාද ඇත්තේ ය”යි.
ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට මේ ධර්‍මක්‍රමය අසා පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය.
ඉදින් මෙ පමණක් වුවත් එය ම ධර්‍මය වේ. (ඔබවහන්සේ) බොහෝ දෙනා විසින් කල්පනහුතයන්හි ද නො දුටු ඉක්මවා ගිය ශෝකරහිත වූ ඒ නිර්‍වාණපදය ප්‍රතිවේධ කළසේක.”
16. ඉක්බිති ශාරීපුත්‍රපරිව්‍රාජකතෙමේ මෞද්ගල්‍යායනපරිව්‍රාජකයා හුන් තැනට ගියේ ය. මෞද්ගල්‍යායනපරිව්‍රාජකතෙමේ එන්නා වූ ශාරීපුත්‍රපරිව්‍රාජකයා දුර දී ම දුටුයේ ය. දැක ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට “ඇවැත්නි, ඔබගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන් වෙති. පිරිසිදු වූ සිරුරු පැහැය අතිශයින් නිර්‍මල වේ. ඇවැත්නි, කිම? නිවණ අවබෝධ කළහු දැ?” යි කීයේ ය. “එසේ ය, ඇවැත්නි, නිවණ අවබෝධ කෙළේ වෙමි” යි (ශාරීපුත්‍රතෙමේ කී ය.) “ඇවැත්නි, යුෂ්මත්හු කෙසේ නිවණ අවබෝධ කළහු දැ?” යි (මෞද්ගල්‍යායනතෙමේ ඇසී ය.) “ඇවැත්නි, මම මෙහි ප්‍රසාදජනක වූ ඉදිරි ගමනින් ආපසු ගමනින් ඉදිරිය බැලීමෙන් හාත්පස බැලීමෙන් අත්පා හැකිළීමෙන් අත්පා දිගුකිරීමෙන් යුක්ත ව යට හෙළූ ඇස් ඇති ව යහපත් ඉරියව්වෙන් යුක්ත ව රජගහනුවර පිඬු සිඟා හැසිරෙණ අස්සජි මහණහු දුටුයෙමි. දැක මට “ඒකාන්තයෙන් ලෝකයෙහි යම් කෙනෙක් රහත් වූවාහු හෝ රහත් මගට පිළිපන්නාහු හෝ වෙත් ද, මේ මහණතෙමේ ත් ඔවුන් අතුරෙහි එක්තරා එකෙක. මම මේ ‘මහණහු කරා ගොස් “ඇවැත්නි, ඔබවහන්සේ කවරකු උදෙසා පැවිදි වූවහු ද? ඔබවහන්සේගේ ශාස්තෘ තෙමේ කවරෙක් හෝ වේ ද? ඔබවහන්සේ කවරකුගේ ධර්‍මය රුචි කරහු ද? යි විචාරන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් උපන්නේ ය. ඇවැත්නි මට “මේ මහණහු විචාරන්ට මේ කාලය නො වේ ම ය. ඇතුළුගමට පිවිසියේ පිඬු සිඟා හැසිරේ. මම මේ මහණහු පසුපස්සේ ලුහුබැඳ යන්නෙම් නම් යෙහෙක. නිවන් සොයන්නන් විසින් මඟ දැන ගන්නා ලද්දේ ය” යි සිතක් වි ය.
17. ඉක්බිති අස්සජි භික්‍ෂුතෙමේ රජගහනුවර පිඬු සිඟා හැසිර පිණ්ඩපාතය ගෙණ පෙරළා ගියේ ය. ඇවැත්නි, එකල්හි මම අස්සජිභික්‍ෂු වෙතට ගියෙමි. ගොස්, අස්සජිභික්‍ෂුහු සමග සතුටු වීමි. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා පසෙක සිටියෙමි. ඇවැත්නි, පසෙක සිටියා වූ මම අස්සජිභික්‍ෂුහුට “ඇවැත්නි, තමුන්නාන්සේගේ ඉන්‍දියයෝ වෙසෙසින් පහන් වෙත් ම ය. පිරිසිදු වූ සිරුරුපැහැය අතිශයින් නිර්‍මල ය. ඇවැත්නි, තමුන්නාන්සේ කවරෙකු උදෙසා පැවිදි වූ සේක් ද? නුඹවහන්සේගේ ශාස්තෘ තෙමේ කවරෙක් හෝ වේ ද? කවරකු ගේ ධර්‍මය රුචි කරණසේ දැ?” යි මෙය ඇසීමි.
(එපිට අස්සජිභික්‍ෂුතෙමේ) “ඇවැත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ මහාශ්‍රමණයෙක් ඇත්තේ ය. මම ඒ භාග්‍යවතුන් උදෙසා පැවිදි වූයෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වනසේක. මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය රුචි කරමි” යි කීයේ ය. “ආයුෂ්මත්හුගේ ශාස්තෘන්වහන්සේ කිනම් ලබ්ධි ඇතිසේක් ද? කුමක් කියන සේක් ද?” යි (මම ඇසීමි.) “ඇවැත්නි, මම නවකයෙක්මි. පැවිදි වූ නොබෝකල් ඇත්තේ වෙමි. මේ ශාසනයට අළුත බැස ගත්තේ වෙමි. (එහෙයින්) මම ඔබට ධර්‍මය විස්තර වශයෙන් දේශනා කරන්නට අපොහොසත් වෙමි. එතෙකුදු වුවත් මම නුඹට සැකෙවින් අර්‍ත්‍ථය කියමි” යි (අස්සජිභික්‍ෂුතෙමේ කී ය.)
“ස්වල්ප කොට හෝ බොහෝ කොට හෝ වදාරණු මැනවි. මට අර්‍ත්‍ථය ම කියව. මට අර්‍ත්‍ථයෙන් ම ය වැඩ. බොහෝ වචන වලින් කුමක් කරන්නේ ද?” (මම කීමි).
ඉක්බිති ඇවැත්නි, අස්සජිභික්‍ෂුතෙමේ, ‘හේතුවෙන් උපදින යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඔවුන්ගේ හේතුව තථාගතතෙමේ වදාළේ ය. ඔවුන්ගේ යම් නිරෝධයෙක් වේ ද, එය ද වදාළේ ය. මහාශ්‍රමණතෙමේ මෙබඳු වාද ඇත්තේ ය” යි මේ ධර්‍මක්‍රමය කීයේ ය.
ඉක්බිති මුගලන්පිරිවැජියාහට මේ ධර්‍මක්‍රමය අසා පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය.
“ඉදින් මෙපමණක් ම වුවත් එය ම ධර්‍මය වේ. බොහෝ දෙනා විසින් බොහෝ කල්පනහුතයන්හි ද නො දුටු ඉක්මවා ගිය අසෝක වූ ඒ නිර්‍වාණ පදය (ඔබවහන්සේ) ප්‍රතිවේධ කළසේක.”
18. එකල්හි මුගලන්පිරිවැජිතෙමේ ශාරීපුත්‍රපරිව්‍රාජකයාහට “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ යයි කීයේ ය. ඇවැත්නි, “මේ දෙසියපණසක් පරිව්‍රාජකයෝ අප නිසා අප බලමින් මෙහි වෙසෙති. (එහෙයින්) පළමු කොට ඔවුන් ගැණ ද සොයා බලමු. ඔහු යම් පරිද්දෙකින් සිතන්නෝ ද එසේ කරන්නාහ”යි (සැරියුත් පිරිවැජිතෙම කීයේ ය.)
19. ඉක්බිති සැරියුත් මුගලන් දෙදෙන ඒ පරිව්‍රාජකයන් හුන් තැනට ගියහ. ගොස්, ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ ය යි කීහ. අපි ආයුෂ්මතුන් නිසා ආයුෂ්මතුන් බලමින් මෙහි වසමු. ඉදින් ආයුෂ්මත්හු මහාශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නාහු ද, අපි සියලු දෙන ම මහාශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමු” යි ඒ පරිව්‍රාජකයෝ කීහ.
ඉක්බිති සැරියුත් මුගලන් දෙදෙන සඤ්ජය පරිව්‍රාජකයා වෙතට ගියහ. ගොස් “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ ය” යි සඤ්ජය පරිව්‍රාජකයාහට කීහ. (එවිට සඤ්ජයතෙමේ) “ඇවැත්නි, කම් නැත. නො යවු. අපි කවුරුත් මේ ගණය පරිහරණය කරන්නෙමු” යි කී ය.
දෙවනු ද –පෙ– තෙවනු ද සැරියුත් මුගලන් දෙදෙන “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ ය” යි සඤ්ජය පරිව්‍රාජකයාහට කීහ. “ඇවැත්නි කම් නැත. නො යවු. අපි තිදෙන ම මේ ගණය පරිහරණය කරන්නෙමු” යි සඤ්ජය තෙමේ කීයේ ය.
20. ඉක්බිති සැරියුත් මුගලන් දෙදෙන ඒ දෙසිය පණසක් පරිව්‍රාජකයන් ගෙණ වේළුවනයට ගියහ. ඒ වේලෙහි සඤ්ජය පරිව්‍රාජකයාගේ මුවින් උණුලේ නැංගේ ය.
භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ශාරිපුත්‍ර – මෞද්ගල්‍යායනයන් දුර දී ම දුටු සේක. දැක “මහණෙනි, කෝලිත – උපතිස්ස යන මේ යහළුවෝ දෙදෙන මෙහි එත්. මේ දෙදෙන මාගේ ශ්‍රේෂ්ඨ වූ භද්‍රයුග්මය වූ ශ්‍රාවකයුග්මය වන්නේ ය” යි වදාළ සේක.
“ඉක්බිති, ගැඹුරු නුවණට විෂය වූ නිරුත්තර වූ නිර්‍වාණයෙහි මිදුනාවූ ඒ ශාරීපුත්‍ර – මෞද්ගල්‍යයනයන් වේළුවනයට නො පැමිණි කල්හි ම ශාස්තෘන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක”:
“කෝලිත ද උපතිස්ස ද යන මේ යහළුවෝ දෙදෙන මෙහි එත්. මේ යුග්මය මාගේ ශ්‍රේෂ්ඨ භද්‍රයුග්මය වූ ශ්‍රාවකයුග්මය වන්නේ ය.”
21. ඉක්බිති සැරියුත් මුගලන් දෙදෙන භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි දැන්වූහ. “එවු; මහණෙනි, ධර්‍මය හොඳින් දේශනා කරණ ලද්දේ ය. හොඳින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය.
22. එ කල්හි මගදදනවුවැසි ඉතා ප්‍රසිද්ධ වූ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්. එකල්හි මිනිස්සු “ශ්‍රමණගෞතම තෙමේ දරුවන් නැති කිරීම පිණිස පිළිපන්නේ ය. ශ්‍රමණ ගෞතමතෙමේ වැන්දඹුබව පිණිස පිළිපන්නේ ය. ශ්‍රමණ ගෞතමතෙමේ කුල නැසීම පිණිස පිළිපන්නේ ය. දැන් ඔහු විසින් දහසක් ජටිලයෝ පැවිදි කරණ ලදහ. මේ සඤ්ජය පරිව්‍රාජකයාගේ අතැවැසි වූ දෙසියපණසක් පරිව්‍රාජකයෝ පැවිදි කරණ ලදහ. ඉතා ප්‍රසිද්ධ වූ මේ මගදදනවුවැසි කුලපුත්‍රයෝ ද ශ්‍රමණ ගෞතමයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්” යි හෙළා දකිත්. ගරහත්. අගුණ පතුරුවත්. භික්‍ෂූන් දැක මේ ගාථාවෙන් චෝදනා ද කරත්:
“මහාශ්‍රමණ තෙමේ සඤ්ජයඅතැවැසි සියල්ලන් තමන් වෙත පමුණුවා ගෙණ මගදදනවුවැස්සන්ගේ ගිරිබ්බජ නම් රජගහ නුවරට ආයේ ය. දැන් කවරකු ගෙණයන්නේ ද?
23. භික්‍ෂූහු – මෙසේ හෙළා දකින ගරහන අගුණ කියන මිනිසුන්ගේ ඒ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ඒ කතාහඬ වැඩි කල් නො පවතින්නේ ය. සතියක් ම ඒ පවතින්නේ ය. සතිය ගෙවී යෑමෙන් පසු අතුරුදහන් වන්නේ ය. එසේ නම් මහණෙනි, යම් කෙනෙක් තොපට මේ ගාථාවෙන් චෝදනා කෙරෙත් නම් –
“මහාශ්‍රමණ තෙමේ සඤ්ජයඅතැවැසි සියල්ලන් තමන් වෙත පමුණුවා ගෙණ මගදදනවුවැස්සන්ගේ ගිරිබ්බජ නම් රජගහ නුවරට ආයේ ය. දැන් කවරකු ගෙණයන්නේ දැ” යි
“තෙපි ද ඒ මිනිසුන්ට මේ ගාථාවෙන් පෙරළා චෝදනා කරවු” යි වදාළසේක –
“මහත් වීර්‍ය්‍යය ඇති තථාගතවරයෝ ඒකාන්තයෙන් හික්මවිය හැකි ජනයා සගමොක් සැපයට පමුණුවත්. එසේ ධර්‍මයෙන් පමුණුවන කල්හි තතු දන්නන්ගේ කවර දොස් පහළ කිරීමෙක් වේ දැ” යි
එකල්හි මිනිස්සු භික්‍ෂූන් දැක මේ ගාථාවෙන් චෝදනා කෙරෙත් –
“මහාශ්‍රමණ තෙමේ සඤ්ජයඅතවැසි සියල්ලන් තමන් වෙත පමුණුවා ගෙණ මගදදනවුවැස්සන්ගේ ගිරිබ්බජ නම් රජගහ නුවරට ආයේ ය. දැන් කවරකු ගෙණයන්නේ දැ?” යි
භික්‍ෂූහු ඒ මිනිසුන්ට මේ ගාථාවෙන් පෙරළා චෝදනා කරත් –
“මහත් වීර්‍ය්‍යය ඇති තථාගතවරයෝ ඒකාන්තයෙන් හික්මවිය හැකි ජනයා සගමොක් සැපයට පමුණුවත්. එසේ ධර්‍මයෙන් පමුණුවන කල්හි තතු දන්නන්ගේ කවර දොස් පහළ කිරීමෙක් වේ දැ” යි
24. මිනිස්සු “ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ ධර්‍මයෙන් පමුණුවත් ල. අධර්‍මයෙන් නො පමුණුවත් ල” යී මෙසේ කීහ. ඒ කතාහඬ සතියක් තුළ ම පැවැත්තේ ය. සතිය ගෙවී යෑමෙන් අතුරුදහන් වි ය.
ශාරීපුත්‍ර – මෞද්ගල්‍යායන ප්‍රව්‍රජ්‍යාතොමෝ නිමි.
සිවුවන බණවර නිමි.
1. එකල්හි භික්‍ෂූහු උපාධ්‍යායයන් නැත්තෝ අවවාද නොකරණු ලබන්නෝ අනුශාසනා නො කරණු ලබන්නෝ නො මනා සේ හැන්දෝ නො මනා සේ පෙරෙව්වෝ මහණුන්ට සුදුසු ආචාරයෙන් තොර වූවෝ පිඬු සිඟා යත්. මිනිසුන් අහර ගණිමින් සිටිය දී බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත්. කෑම මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත්. රස විඳිය යුතු අහර මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත්. පිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත්. තුමූ සූප ද බත් ද ඉල්ලා ගෙණ වළඳත්. බත් හලෙහි උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වෙසෙත්.
2. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ නො මනා සේ ඇන්දෝ නො මනා සේ පෙරෙව්වෝ මහණුන්ට සුදුසු ආචාරයෙන් තොර වූවෝ පිඬු සිඟා හැසිරෙත් ද? මිනිසුන් අනුභව කරණවිට බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? කෑම මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? රස විදිය යුතු ආහාර මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? පිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍රය තබන්නෝද? තුමූ සූප ද බත් ද ඉල්ලා ගෙණ අනුභව කරත් ද? බත්හලෙහි උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් ද? බමුණු බොජුනෙහි බමුණන් මෙනැ” යි ලාමක කොට සිතත්. ගර්‍හා කෙරෙත්. හැම තැන දොස් කියත්.
3. භික්‍ෂූහු හෙළා දකින්නා වූ දොස් පහළ කරන්නා වූ ඒ මිනිසුන්ගේ කථාව ඇසුවාහු ය. ආසා රහිත වූ පවට බිය ඇති වරදෙහි කුකුස් ඇති හික්මීම කැමැති යම් ඒ භික්‍ෂූහු වෙත් ද, උන්වහන්සේලා කෙසේ නම් භික්‍ෂූහු නො මනා සේ හැඳ පෙරව මහණුන්ට සුදුසු ආචාරයෙන් තොර වූවෝ පිඬු සිඟා යත් ද? මිනිසුන් අනුභව කරණ විට බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? කෑම මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? රස විඳිය යුතු ආහාර මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? පියයුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? තුමූ සූප ද බත් ද ඉල්ලා ගෙණ අනුභව කරත් ද? බොජුන්හලෙහි ද උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් දැ”? යි හෙළා දකිත්. ගරහත්. දොස් කියත්, ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි ලා මේ කාරණයෙහි ලා භික්‍ෂුසඞ්ඝයා රැස්කරවා “මහණෙනි, සැබෑද? භික්‍ෂූහු නො මනා ව හැඳ පෙරෙව මහණුන්ට සුදුසු ආචාරයෙන් තොරවූවාහු පිඬු සිඟා යත්ද? මිනිසුන් අනුභව කරණ විට බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? කෑම මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? රස විඳිය යුතු ආහාර මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? පිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍රය එළවත් ද? තුමූ සූප ද බත් ද ඉල්ලා ගෙණ අනුභව කරත් ද? බත්හලෙහි ද උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් දැ?’ යි භික්‍ෂූන් විචාළ සේක.
5. “භාග්‍යවතුන් වහන්ස, සැබෑය” යි (ඒ භික්‍ෂූහු සැළකළහ.) භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ “මහණෙනි, ඒ හිස් මිනිසුන් ගේ ක්‍රියාව නුසුදුසු ය. නො ගැළපේ නො සම ය. මහණකමට නුසුදුසු ය. අකැප වූවෙක. නො කට යුත්තෙක. මහණෙනි, නො මනා සේ ඇන්දා වූ නො මනා සේ පෙරෙව්වා වූ සුදුසු ආචාරයෙන් තොර වූ ඒ හිස් මිනිස්සු කෙසේ නම් පිඬු සිඟා හැසිරෙත් ද? මිනිසුන් අහර ගන්නා විට බොජුන් මතුයෙහි ඉඳුල් පාත්‍ර අල්ලත් ද? කෑම මතුයෙහි ඉඳුල් පාත්‍ර අල්ලත් ද? රස විඳිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍ර අල්ලත් ද? පිය යුතු දෙය මතුයෙහි ඉඳුල් පාත්‍ර අල්ලත් ද? තුමූ ව්‍යඤ්ජන ද බත් ද ඉල්ලා ගෙණ අනුභව කරත් ද? බත්හලෙහි උස් හඬ ඇති ව මහත් හඬ ඇති ව වසත් ද? මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො වන්නේ ය. මේ වනාහි නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුනු ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද පවත්නේ ය” යි එයට ගර්‍හා කළ සේක.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට නොයෙක් අයුරින් ගරහා පරිහරණයට අපහසුබැව්හි පෝෂණයට අපහසුබැව්හි මහත් ආශා ඇති බැව්හි ලද දෙයින් සතුටු නො වීමෙහි සමූහයා කෙරෙහි ඇලීමෙහි කුසීත බැව්හි අගුණ වදාරා පරිහරණයට පහසු බැව්හි පෝෂණයට පහසුබැව්හි අපිස්බැව්හි සතොස්බැව්හි කෙලෙස් ලියාහැරීමෙහි ක්ලේශකම්පනයෙහි ප්‍රසාදජනකකායකර්‍මාදියෙහි කෙලෙස් දුරු කිරීමෙහි පටන් ගත් වීර්‍ය්‍යයෙහි නොයෙක් අයුරින් ගුණ වදාරා භික්‍ෂූන්ට ඊට සුදුසු වූ ඊට අනුලොම් වූ දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
7. “මහණෙනි, උපාද්ධ්‍යායයකු අනුදනිමි. මහණෙනි උපාද්ධ්‍යාය තෙමේ සද්ධිවිහාරිකයා කෙරෙහි ‘මේ තෙමේ මාගේ පුතු ය’ යි සිත උපද වන්නේ ය. සද්ධිවිහාරික තෙමේ උපාද්ධ්‍යායයා කෙරෙහි “මේ තෙමේ මාගේ පියා” යි සිත උපදවන්නේ ය. මෙසේ ඔහු ගුරුන් සහිත ව පිහිට සහිත ව ගැළපෙන පැවතුම් ඇති ව වසන්නෝ මේ සසුනෙහි වැඩීමට මුල් බැස ගැන්මට මහත් බවට පැමිණෙන්නාහ.”
8. මහණෙනි, උපාද්ධ්‍යාය තෙමේ මෙසේ පත් කර ගත යුත්තේ ය: උතුරුසඟසිවුර එකස් කොට ගෙණ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මට උපාද්ධ්‍යාය වනු මැනවි. ස්වාමීනි, මට උපාද්ධ්‍යාය වනු මැනවි. ස්වාමීනි, මට උපාද්ධ්‍යාය වනු මැනවැ’ යි මෙසේ කිය යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ ‘යහපතැ’ යි හෝ ‘පහසු’ යි හෝ ‘පිළිගත හැකි ය’ යි හෝ ‘සුදුසු’ යි හෝ ‘පහදවනසුලු කායප්‍රයෝග පිළිවෙතින් සරුවෙව’ යි හෝ කයින් විනවා ද, (හඟවා ද) වචනයෙන්, විනවා ද, කයින් හා වචනයෙන් විනවා ද, උපාද්ධ්‍යාය තෙමේ ගන්නා ලද්දේ වේ. කයින් නො විනවා ද, වචනයෙන් නො විනවා ද, කයින් හා වචනයෙන් නො විනවා ද, උපාද්ධ්‍යාය තෙමේ නො ගන්නා ලද්දේ වේ.
9. මහණෙනි, සද්ධිවිහාරිකයා විසින් උපාද්ධ්‍යායයා කෙරෙහි මනා කොට පැවැතිය යුතු ය. එහි මේ මනා කොට පැවැත්ම ය: උදය කලින් ම නැගිට වහන් මුදා උතුරුසඟසිවුර එකස් කොට දැහැටි දිය යුතු ය. මුව දෝනා දිය දිය යුතු ය. අසුන් පැණවිය යුතු ය. ඉදින් කැඳ තිබේ නම්, බඳුන සෝදා කැඳ එළවිය යුතු ය. කැඳ වළඳා අවසන් කොට සිටියහුට දිය පිළිගන්වා බඳුන ගෙණ පාත් කොට නො ගටමින් මැනැවින් සෝදා තැන්පත් කොට තැබිය යුතු ය.
10. උපාද්ධ්‍යායයා නැගී සිටි කල්හි අසුන ඔසොවා තැබිය යුතු ය. එ දෙස කසළ සහිත වේ නම් හැමදිය යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ ගමට යනු කැමැත්තේ නම් අඳනය දිය යුතු ය. ඇඳ තුබූ අඳනය තමන් පිළිගත යුතු ය. කාබාන (පටිය) දිය යුතු ය. දෙගුණ කොට සඟළ සිවුර දිය යුතුය. සෝදා දිය සහිත පාත්‍රය දිය යුතු ය. උපාධ්‍යාය තෙමේ පසු මහණෙකු කැමැත්තේ නම්, තෙමඬුලු වසා පිරිමඬුලු කොට හැඳ පටිය බැඳ දෙගුණ කොට සඟල සිවුර පොරොවා ගණ්ඨිය අවුණා පාත්‍රය සෝදා ගෙණ උපාද්ධ්‍යායයාහට පසුව යන මහණහු විය යුතු ය. වැඩිදුරින් නො යා යුතු ය. වැඩි ලඟින් නො යා යුතු ය. පාත්‍රයෙහි වූ දෙයක් පිළිගත යුතු ය.
11. උපාද්ධ්‍යායයා කතා කරමින් සිටිය දී අතරතුර කතා නො දැමිය යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ ඇවැත් විය හැකි තරම් වූ වදන් කියන්නේ නම් වැළක්විය යුතු ය. පිඬු සිඟා පෙරළා එන්නහු විසින් පළමු කොට අවුත් අසුන් පැණවිය යුතු ය. පා දෝනා දිය පාපුටුව නො සේදු පා තබන පුවරුව එළවිය යුතු ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත යුතු ය. ඇඳ තුබූ අඳනය දිය යුතු ය. (පිඬු සිඟා යනකල ඇඳි) අඳනය පිළිගත යුතු ය. ඉදින් සිවුර තෙත් නම් මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. සිවුර උෂ්ණයෙහි (වැඩියක්) නො දැවිය යුතු ය. සිවුර නැමිය යුතු ය. සිවුර නමන්නහු විසින් සතරඟුලක් පමණ සිවුරුකොණ උස් කොට ‘මැද නො බිඳේවා’ යි (සලකා) නැමිය යුතු ය. නැමූ සිවුරේ කාබහන තැබිය යුතු ය.
12. ඉදින් පිණ්ඩපාතය වේ ද, උපාද්ධ්‍යායතෙමේත් වළඳනු කැමැති වේ නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළවිය යුතු ය. උපාද්ධ්‍යාය තෙමේ පැනින් පිළිවිසිය යුතු ය. වළඳා අවසන් කළහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙණ පාත් කොට නො ගටමින් මනා කොට සෝදා දිය පිස ලා මොහොතක් උෂ්ණයෙහි තැබිය යුතු ය. පාත්‍රය උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා බැලිය යුතු ය. කිසිවක් නො අතුළ බිම් පාත්‍රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ සිවුරු ලන රැහැණ හෝ පිරිමැද පිරිසිදු කොට නුවාව එහාට හා දරණය මෑතට නමා සිවුර බහා තැබිය යුතු ය.
13. උපාද්ධ්‍යායයා නැඟී සිටි කල්හි ආසනය ඔසොවා තැබිය යුතු ය. පා දෝනා දිය ද පා පුටුව හා නො සේදූ පා තබන පුවරුව ද තැන්පත් කොට තැබිය යුතු ය. ඉදින් එදෙස කසළ සහිත වේ නම්, හැමැන්ද යුතු ය. ඉදින් උපාධ්‍යායතෙමේ නහනු කැමැත්තේ නම්, නහනු පිළියෙල කළ යුතු ය. සිහිල්දියෙන් ප්‍රයෝජන වේ නම්, සිහිල්දිය පිළියෙල කළ යුතු ය. උණුදියෙන් ප්‍රයෝජන වේ නම් උණුදිය පිළියෙල කළ යුතු ය.
14. ඉදින් උපාද්ධ්‍යායතෙමේ (හුමාලයෙන් නාන) ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ වේ ද, නහනසුණු දියෙන් තෙමා පිඬු කළ යුතු ය. නහනමැටි තේමිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ උපාධ්‍යායයන් වහන්සේගේ පිටිපසින් ගොස් ගිනිහල්ගෙයි පුටුව දී සිවුර පිළිගෙණ පසෙක බහා තැබිය යුතු ය. නහනසුණු දිය යුතු ය. නහනමැටි තේමිය යුතු ය. හැක්කේ නම් ගිනිහල්ගෙට යා යුතු ය. ගිනිහල් ගෙට යන්නහු විසින් නහනමැටියෙන් මුහුණ තවරා ඉදිරිපසින් හා පසු පසින් ද සිරුර වසා ගෙණ ගිනිහල් මගට පිවිසිය යුතු ය. ස්ථවිරභික්‍ෂූන් ගටා නො හිඳිය යුතු ය. නවක භික්‍ෂූන් අසුනෙන් බැහැර නො කළ යුතු ය. ගිනිහල් ගෙයි උපාධ්‍යායයාගේ (ඇඟ ඉළීම් ආදි) වත් කළ යුතු ය. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල්ගෙයි පුටුව ගෙණ ඉදිරි පසින් හා පසුපසින් ද සිරුර වසා ගෙණ ගිනිහල්ගෙයින් නික්මිය යුතු ය.
15. දියෙහි දී ද උපාද්ධ්‍යායයාගේ (ඇඟ ඉලීම් ආදි) වත් කළ යුතු ය. නා අවසන් කළහු විසින් පළමු කොට ගොඩ නැගී තමාගේ සිරුරෙහි දිය පිස දමා හැඳ පොරොවා ගෙණ උපාධ්‍යායයාගේ සිරුරෙහි දිය පිස දැමිය යුතු ය. අඳනය දිය යුතු ය. සඞ්ඝාටිය දිය යුතු ය. ගිනිහල්ගෙයි හිඳිනා පුටුව ගෙණ පළමු කොට අවුත් අසුනක් පැණවිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදු පා තබන පුවරුව ද එළවා තැබිය යුතු ය. උපාද්ධ්‍යායතෙමේ පැනින් පිළිවිසිය යුතු ය. ඉදින් උදෙසවා ගණු කැමැත්තේ නම් උදෙසවා ගත යුතු ය. ඉදින් අරුත් කියවා ගණු කැමැත්තේ නම් අරුත් කියවා ගත යුතු ය.
16. උපාද්ධ්‍යායතෙමේ යම් වෙහෙරක වෙසේ නම්, ඒ වෙහෙර කසළ සහිත නම්, පිරිසිදු කිරීමෙහි පොහොසත් නම්, පිරිසිදු කළ යුතු ය. වෙහෙර පිරිසිදු කරන්නහු විසින් පළමු කොට පාසිවුරු බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ බැහැරට ගෙණ තැබිය යුතු ය. ගුදිරිය හා කොට්ටය බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. ඇඳ පාත් කොට බිම නො උළා දොරබාව නො ගටා බැහැරට ගෙණ පසෙක මනාව තැබිය යුතු ය. පුටුව පාත් කොට බිම නො උළා දොරබාව නො ගටා බැහැර කොට පසෙක මනා ව තැබිය යුතු ය. ඇඳපාඅළු බැහැර කොට පසෙක තැබිය යුතු ය.
17. කෙළමලාව බැහැර කොට පසෙක තැබිය යුතු ය. වැතිර හිඳිනා පුවරුව බැහැර කොට පසෙක තැබිය යුතු ය. බුමුතුරුණ පණවාතුබූ සැටි සලකා බලා බැහැර කොට පසෙක තැබිය යුතු ය. වෙහෙරෙහි මකුණු දැල් වේ නම් පළමු කොට උඩ පටන් ඉවත් කළ යුතු ය. ඇතුළත පිටත ජනෙල්කවුළු හා කාමරයෙහි මුළු සතර පිස දැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත් නම් රෙදිකඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. කළුපැහැ කළ බිම හටගත් පුස් ඇත් නම් රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. බිම පිරියම් නො කරණ ලද නම්, “වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේවා”යි දිය ඉස පිස දැමිය යුතු ය.
18. කසළ එකතු කොට එකත්පසෙක හළ යුතු ය. බුමුතුරුණ වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ ලෙසට පැණවිය යුතු ය. ඇඳපාඅළු වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා පිරිසිදු කොට ගසා දමා පාත් කොට බිම නො උළන්නහු විසින් දොරබා නො හප්පා ගෙණවුත් පණවා තුබූ ලෙසට මනා කොට පැණවිය යුතු ය. පුටුව වියලා පිරිසිදු කොට ගසා දමා පාත් කොට බිම නො ගටා දොරබා නො හපා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. හිඳිනාකඩ හා පසතුරුණ වියලා පිරිසිදු කොට ගසා දමා ගෙණවුත් පණවා තුබූ පරිදි පැණවිය යුතු ය. පඩික්කම සෝදා වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. වැතිර හිඳිනා පුවරුව වියලා පිරිමැද ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය.
19. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුර ලන උණදඬුව හෝ රැහැණ හෝ පිරිමැද නුවාව එහාට හා දරණය මෙහාට තබා සිවුර දැමිය යුතු ය.
20. ඉදින් පෙරදිගින් නැඟ එන දූලි සහිත වූ වාතයෝ හමත් නම්, පෙරදිග කවුළුදොර වැසිය යුතු ය. බස්නාහිරින් නැඟ එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නාහිර කවුළුදොර වැසිය යුතු ය. උතුරුදිග හටගත් වාතයෝ දූලි සහිත ව හමත් නම්, උතුරුදිග කවුළු දොර වැසිය යුතු ය. දකුණුදිග හටගත් දූලි සහිත වූ වාතයෝ හමත් නම්, දකුණුදිග කවුළුදොර වැසිය යුතු ය. සීතකාලය වේ නම්, දහවල කවුළුදොර ඇර තැබිය යුතු ය. රාත්‍රියෙහි වැසිය යුතු ය. උෂ්ණකාලය වේ නම්, දහවල කවුළුදොර වැසිය යුතු ය. රාත්‍රියෙහි ඇර තැබිය යුතු ය.
21. පිරිවෙණ කසළ සහිත වේ නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළුගෙය කසළ සහිත වේ නම්, ඇතුළුගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත වේ නම්, උපස්ථානශාලාව හැමැදිය යුතු ය. ගිනිහල් ගෙය කසළ සහිත වේ නම් ගිනිහල් ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිත වේ නම්, වැසිකිළිය හැමදිය යුතු ය. පැන් නො වේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝගයට සුදුසු දිය නැති නම්, පරිභෝගයට සුදුසු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදිය සැළෙහි දිය නැති නම්, වැසිකිළිදියසැළෙහි දිය වක්කළ යුතු ය.