Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 101-200 න් 2789

2. ඉක්බිති පස්කම්ගුණයෙන් මොනවට සෑහීමට පැමිණි හැම ලෙසින් ඉඳුරන් පිණවන යස කුලපුත්‍රයාහට හැමට පළමුව නින්ද පැමිණියේය. පිරිවර ජනයාහට ද නින්ද පැමිණියේය. මුළු රෑ තෙල් පහන ද දැල්වේ.
3. එකල්හි යසකුලපුත්‍රතෙමේ හැමට පළමු පිබිද නිදන සිය පිරිවර දුටුවේ ය. එකකගේ කිසිල්ලෙහි වීණාව වී ය. එකකගේ බෙල්ලේ මිහිඟුබෙරය වී ය. එකකගේ කිසිල්ලෙහි පණාබෙරය වී ය. අවුල් වූ කෙස් ඇති එකක ද කෙළ වැහෙන එකක ද නන් දොඩන අන් අඟනන් ද දුටුවේ ය. එතැන හමුවට පත් අමුසොහොනක් වැනි වී ය. දැක, ඒ කුලපුත්‍රයාහට දොස් පෙණී ගියේ ය. සසර කළකිරීමෙහි සිත පිහිටියේ ය.
4. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ “භවත්නි, ඒකාන්තයෙන් තෘෂ්ණාදි ක්ලේශයන් විසින් පීඩා කරණ ලද්දේ ය. භවත්නි, තෘෂ්ණාදික්ලේශයන් විසින්. දැඩි කොට ගන්නා ලද්දේ ය” යි උදන් ඇනී ය.
5. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ රන්මිරිවැඩිසඟළ පය ලා නිවෙස්දොරට පැමිණියේ ය. දෙවියෝ “යසකුලපුත්‍රයාහට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද්දට කිසිවෙක් අන්තරාය නො කෙරේවා” යි දොර හළහ.
6. ඉක්බිති යසකුලපුත්‍ර තෙමේ නුවර දොරට පැමිණියේ ය. යසකුලපුත්‍රයාහට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද්දට කිසිවෙක් අන්තරාය නො කෙරේවා” යි දෙවියෝ දොර අළහ.
7. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ ඉසිපතනය වූ මෘගදායයට ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අලුයම්වේලෙහි නැඟී සිට එළිමහනෙහි සක්මන් කරණසේක. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ යසකුලපුත්‍රයා දුර දී ම දුටුසේක. දැක, සක්මනින් ඉවත් වී පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. එකල්හි යසකුලපුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක සිට “භවත්නි, ඒකාන්තයෙන් තෘෂ්ණාදික්ලේශයන් විසින් පීඩා කරණ ලද්දේ ය. තෘෂණාදික්ලේශයන් විසින් දැඩි කොට ගන්නා ලද්දේ ය” යි උදන් ඈනී ය.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යසකුලපුත්‍රයාහට “යසය, මේ වනාහි තෘෂ්ණාදික්ලේශයන් විසින් පීඩා නො කරණ ලද්දේ ය. තෘෂ්ණාදි ක්ලේශයන් විසින් දැඩි කොට නො ගන්නා ලද්දේ ය. යසය, එව. හිඳුව, තට දහම් දෙසන්නෙමි” යි වදාළ සේක. ඉක්බිති යසකුලපුත්‍රතෙමේ “මේ පීඩා නො කරණ ලද්දේ ල. මේ දැඩි කොට නො ගන්නා ලද්දේ ල” යි සතුටු වූයේ ඔද වැඩි වූයේ මිරිවැඩිසඟළ ගලවා භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ යසකුලපුත්‍රයාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළකතාව වදාළසේක. එනම්:– දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන්ගේ දෝෂය ලාමකභාවය කෙලෙසීමට හේතු වන බව ගිහිගෙන් නික්මීමෙහි අනුසස් (යන මෙය) ප්‍රකාශ කළසේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ යසකුලපුත්‍රයා (කාමච්ඡන්‍දය පහ වීමෙන්) යෝග්‍ය වූ සිත් ඇත්තෙකැ යි ද, (ව්‍යාපාදය දුරු වීමෙන්) මොළොක් වූ සිත් ඇත්තෙකැ යි ද, (උද්ධච්චකුක්කුච්චය දුරු වීමෙන්) නො විසිරුණු සිත් ඇත්තෙකැ යි ද (ථීනමිද්ධය පහ වීමෙන්) නො හැකුළුණු සිත් ඇත්තෙකැ යි ද (විචිකිච්ඡාව දුරු වීමෙන්) නිසැක සිත් ඇත්තෙකැ යි ද දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ තමා ම උසස්බවට පැමිණි යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළසේක. පහ වූ කිලුටු ඇති පිරිසුදු වස්ත්‍රයක් මනා සේ සායම් ගන්නේ යම් සේ ද, එපරිද්දෙන් යසකුලපුත්‍රයාහට ඒ අසුනෙහි දී ම “හටගැණීම ස්වභාවය කොට ඇති යම්කිසිවක් වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන රාගාදිරජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති දහම්ඇස (සෝතාපත්තිඤාණය) පහළ වූයේ ය.
9. ඉක්බිති යසකුලපුත්‍රයාගේ මවුතොමෝ පහයට නැඟී යසකුලපුත්‍රයා නො දක්නී සිටුගැහැවියා වෙත ගියා ය. ගොස්, සිටුගැහැවියාහට “ගැහැවිය, ඔබගේ පුත් වූ යසතෙමේ නො දක්නා ලැබේ” යයි කීවා ය. එකල්හි සිටුගැහැවි තෙමේ අසුන් නැඟී දූතයන් සිවුදිගට යවා තෙමේ ම ඉසිපතන නම් වූ මෘගදායයට ගියේ ය. එහි සිටුගැහැවි තෙමේ සුවර්‍ණපාදුකාවන්ගේ අඩි සටහන දුටුයේ ය. දැක, එය අනු ව ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ සිටුගැහැවියා දුර දී ම දුටු සේක. දැක්මෙන් භාග්‍යවතුන් වහන්සේට “මෙහි හුන්නා වූ සිටුගැහැවි තෙමේ මෙහි හුන් යසකුලපුත්‍රයා යම් සේ නො දක්නේ ද, මම එබඳු වූ ඍද්ධියක් කරන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත වි ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ ඍද්ධියක් කළ සේක.
10. ඉක්බිති සිටුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කිම? භාග්‍යවතුන් වහන්සේ යසකුලපුතු දුටු සේක් ද?”යි ඇසී ය. “ගැහැවිය, එසේ නම්’ හිඳුව. මෙහි හුන් තෝ මෙහි හුන් යසකුලපුතු ඒකාන්තයෙන් දක්නෙහි ය”යි (උන් වහන්සේ වදාළ සේක.)
11. ඉක්බිති සිටුගැහැවි තෙමේ “මම මෙහි ම හුන්නෙම් මෙහි ම හුන් යසකුලපුතු ද දකින්නෙමි”යි සතුටු වූයේ ඔද වැඩි සිතැත්තේ, භාග්‍යවතුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සිටුගැහැවියාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළකතාව වදාළ සේක. –පෙ– ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයයක් නැත්තේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු යැ’ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍ය පුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා”යි කීයේ ය. හෙතෙමේ ම ලෝකයෙහි පළමු තෙවාචික{1} උපාසක වූයේ ය.
12. ඉක්බිති පියාහට දහම් දෙසනු ලබන කල්හි දුටු පරිදි දත් පරිදි ආර්‍ය්‍යභූමිය මැනැවින් සලකන්නා වූ යසකුලපුත්‍රයාගේ සිත තාෂ්ණදෘෂ්ටි වශයෙන් අල්ලා නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “පියාහට දහම් දෙසනු ලබන කල්හි දුටු පරිදි දත් පරිදි ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ යසකුලපුත්‍රයාගේ සිත තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. යසකුලපුත්‍ර තෙමේ පෙර ගිහි කල්හි මෙන් − ගිහි වී – කම්සැප විඳීමට නුසුදුසු ම ය. මම ඒ ඍද්ධිය දැන් හැර ලන්නෙම් නම් යෙහෙකැ” යි සිතෙක් උපන්නේ ය.
13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ඍද්ධිය හළ සේක. සිටුගැහැවිතෙමේ එහි හුන් යසකුලපුත්‍රයා දුටුයේ ය. දැක, “පුත්‍රය, යස, නුඹගේ මවු තොමෝ වැලපීමට හා ශෝකයට පැමිණියා ය. මවට ජීවිතය දෙව” යි යසකුලපුත්‍රයාහට කීයේ ය.
14. ඉක්බිති යසකුලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ දෙස බැලුයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිටුගැහැවියාහට “ගැහැවිය, ඒ කුමකැ යි සිතහි ද? යසකුලපුත්‍රයා විසින්, ඔබ විසින් මෙන්, (පළමු කොට) සේඛඤාණයෙන් ද සෙඛදස්සනයෙන් ද ආර්‍ය්‍යසත්‍යධර්‍මය දක්නා ලද්දේ ය. දක්නා ලද පරිදි දන්නාලද පරිදි ඒ ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඒ යසකුලපුත්‍රයාගේ සිත තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ ය. ගැහැවිය, යසකුලපුත්‍ර තෙමේ පෙර ගිහිකල මෙන් ගිහිබවට හැරී කම්සැප විඳින්නට සුදුස්සෙක් වේ දැ?” යි අසා වදාළ සේක. “ස්වාමීනි, සුදුසු නො වේ ම ය.” “ගැහැවිය, යසකුලපුත්‍රයා විසින් යට තුන්මග නුවණින් ද යට තුන්මග දැක්මෙන් ද චතුස්සත්‍ය ධර්‍මය, ඔබ විසින් මෙන්, (පළමු කොට) දක්නා ලද්දේ ය. දුටු පරිදි දත් පරිදි ඒ ආර්‍ය්‍යභූමිය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඔහුගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නො ගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේ ය. ගැහැවිය, යස කුලපුත්‍ර තෙමේ පෙර ගිහිකල මෙන් ගිහි වී කම්සැප විඳින්ට නුසුදුසු ම ය.”
15. “යම් සේ යසකුලපුත්‍රයාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන් ගෙන් මිදුනේ ද, ස්වාමීනි, යසකුලපුත්‍රයාහට එය ලාභයකි. ස්වාමීනි, යස කුලපුත්‍රයා විසින් ඒ මනා සේ ලද්දකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පසුමහණ වූ යසකුලපුතු සමග අද මාගේ බත ඉවසන සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් ඉවසූ සේක.
16. ඉක්බිති සිටුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි යසකුලපුත්‍ර තෙමේ සිටුගැහැවියා ගිය නො බෝ වේලාවක දී “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය. උන් වහන්සේ “මහණ, එව. ධර්‍මය මොනවට දෙසන ලද්දේ ය. මොනවට දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙව” යි වදාළ සේක. බුදුන්ගේ ඒ වචනය ම ඒ ආයුෂ්මත්හුහට උපසම්පදාව වී ය.
එකල්හි ලෝකයෙහි රහත්හු සත් දෙනෙක් වෙති.
යසකුලපුත්‍රයාගේ පැවිද්ද කියා නිමවන ලදී.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පාසිවුරු ගෙණ පසු ව යන මහණ වූ ආයුෂ්මත් යස මහණහු සමග සිටුගැහැවියාගේ ගෙට වැඩිසේක. වැඩ පැණවූ අසුනෙහි හුන් සේක. ඉක්බිති ආයුෂ්මත් යසමහණහුගේ මවු ද පුරාණ භාර්‍ය්‍යාව ද භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව වදාළ සේක. එනම්:– දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගේ දෝෂය, ලාමකබව, කෙලෙසීමට හේතු වනබව හා නෙක්ඛම්මයෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු සිත් ඇතියවුනැ යි ද මොළොක් සිත් ඇතියවුනැ යි ද නීවරණයන්ගෙන් තොර වූ සිත් ඇතියවුනැ යි ද ඔද වැඩි සිත් ඇතියවුනැයි ද පහන්සිත් ඇතියවුනැ යි ද දත් කල්හි බුදුවරයන්ගේ තමා ම උසස් වූ ධර්‍මදේශනාව වූ දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. යම් සේ පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් හොඳින් සායම් අල්ලා ගන්නේ ද, එසේ ම ඔවුන්ට ඒ අසුනෙහි දී ම “යම් කිසිවක් හට ගැන්ම ස්වභාවය කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය. ඔහු දක්නාලද දහම් ඇත්තෝ පැමිණි දහම් ඇත්තෝ අවබෝධ කළ දහම් ඇත්තෝ වෙසෙසින් බැස ගත් දහම් ඇත්තෝ දුරු කළ සැක ඇත්තෝ පහ වූ කෙසේ කෙසේ දැ යි පැවති සැක ඇත්තෝ ආර්‍ය්‍යභාවයට පැමිණියෝ බුදුසසුනෙන් පිටත් ඇදහීමක් නැත්තෝ “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත –පෙ – ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකොත්තර ධර්‍මය ද ආර්‍ය්‍යසඞ්ඝයා වහන්සේ ද සරණ කොට යමු. භාග්‍යවතුන් වහන්සේ අද පටන් අප දිවිහිමියෙන් සරණ ගියා වූ උවැසියන් කොට දරණසේක්වා” යි දැන්වූහ. ඒ දෙදෙන ලෝකයෙහි ප්‍රථම වූ තෙවාචිකඋපාසිකාවෝ වූහ.
2. ඉක්බිති ආයුෂ්මත් යසමහණහුගේ මවු හා පියා ද පුරාණ භාර්‍ය්‍යාව ද භාග්‍යවතුන් වහන්සේ හා ආයුෂ්මත් යසතෙරුන් ප්‍රණීත වූ කෑ යුතු දෙයින් හා බිදිය යුතු දෙයින් ද සියතින් මනා කොට සතප්පා පැරැත්ත කොට වළඳවා, වළඳා නිමවූ, පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ පසෙක හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් යසමහණහුගේ මවු ද පියා ද පුරාණභාර්‍ය්‍යාව ද දැහැමි කතාවෙන් මනාකොට කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැඟිට වැඩිසේක.
3. ආයුෂ්මත් යසතෙරුන් වහන්සේගේ ගිහි කල්හි යහළු වූ බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වූ විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන සතර දෙන “යසකුලපුත්‍ර තෙමේ ඉසකේ රවුල් බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ යැ” යි ඇසූහ. ඇසීමෙන් ඔවුනට “යම් සස්නෙක යස තෙමේ පැවිදි වූයේ නම්, ඒ ධර්‍මවිනය (ශාසනය) ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය” යි සිතක් පහළ වූයේ ය. ඔහු ආයුෂ්මත් යසතෙරුන් හුන් තැනට ගියහ. ගොස්, ආයුෂ්මත් යසතෙරුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියහ. ඉක්බිති ආයුෂ්මත් යසමහණතෙමේ ඒ ගිහි යහළුවන් සිවු දෙනා කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් යසමහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වු විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන මේ සිවු දෙන මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා” යි සැළ කෙළේ ය.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව වදාළ සේක. ඒ මෙසේ ය:– දානකථාව ශීලකථාව ස්වර්‍ගකථාව කාමයන් දුක්සහිත බව ලාමක බව කෙලෙසීමට හේතු වනබව හා නෙක්ඛම්මයෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සත්‍යයාවබෝධයට සුදුසු සිත් ඇතියවුන් කොට මොළොක් සිත් ඇතියවුන් කොට නීවරණයන්ගෙන් තොර වූ සිත් ඇතියවුන් කොට ඔද වැඩි සිත් ඇතියවුන් කොට පහන් සිත් ඇතියවුන් කොට දත් කල්හි බුදුවරයන්ගේ තමා ම උසස් වූ ධර්‍මදේශනාව වූ දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් හොඳින් සායම් අල්ලාගන්නේ යම් සේ ද, එසේ ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම ‘යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාව කොට ඇතැ” යි යන පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ග ඤාණය පහළ වූයේ ය. ඔහු දක්නා ලද දහම් ඇත්තෝ, පැමිණි දහම් ඇත්තෝ, අවබෝධ කළ දහම් ඇත්තෝ, වෙසෙසින් බැසගත් දහම් ඇත්තෝ, දුරු කළ සැක ඇත්තෝ, පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තෝ, නිර්‍භය භාවයට පැමිණියෝ, සත්‍යාවබෝධයෙහි අනුන්ගේ උපකාරයක් නුවුව මනා වූවෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කීහ.
භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මොනවට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක.
ඒ වචනය ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කතාවෙන් අවවාද කළ සේක. අනුශාසනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් අවවාද කරණු ලැබූ අනුශාසනා කරණු ලැබූ ඒ භික්‍ෂූන්ගේ චිත්තයෝ තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනාහ.
එකල්හි ලෝකයෙහි රහත්හු එකොළොස් දෙනෙක් වෙති.
සිවුගිහියහළුවන්ගේ පැවිද්ද කියා නිමවන ලදී.
1. ආයුෂ්මත් යසභික්‍ෂුහුගේ පූර්‍වානුපූර්‍වකුලයන්ගේ (පරම්පරා වශයෙන් පිළිවෙළින් පැරණි වූ කුලයන්ගේ) පුත්‍ර වූ දනවු වැසි පණසක් පමණ ගිහියහළුවෝ “යසකුලපුත්‍ර තෙමේ හිසකේ රවුලු බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ ය” යි ඇසුවාහු ය. අසා, ඔවුන්ට “යසකුලපුත්‍ර තෙමේ හිසකේ රවුලු බැහැර කරවා කුසාවත් හැඳ ගිහිගෙන් නික්ම යම් ශාසනයෙක්හි පැවිදි වූයේ ද, ඒ ධර්‍මවිනය ඒකාන්තයෙන් ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය” යි සිතක් උපන. ඒ යහළුවෝ ආයුෂ්මත් යස භික්‍ෂුහු හුන් තැනට ගියහ. ගොස්, ආයුෂ්මත් යස භික්‍ෂුහු වැඳ පසෙක සිටියාහ. ඉක්බිති ආයුෂ්මත් යසභික්‍ෂුහුගේ පණසක් පමණ වූ ඒ ගිහියහළුවන් කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන්නා වූ යසභික්‍ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, දනවුවැසි පරම්පරාවශයෙන් පිළිවෙළින් පැරණි වූ කුලයන්ගේ පුත්‍ර වූ පණසක් පමණ වූ මොහු මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා. අනුශාසනා කරණ සේක්වා” යි සැළකෙළේ ය.
2. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව දෙසූ සේක. එනම්: දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගෙන් දෝෂය ලාමකබව කෙලෙසීම, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද යන මෙය වදාළ සේක. –(පෙ)–{1} යම් සේ පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් මනා කොට ම සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම ඔවුනට ඒ ආසනයෙහි දී ම “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති (ශ්‍රෝතාපත්ති) මාර්‍ගඥානය පහළ වි ය. ඔහු දක්නා ලද සිවුසස්දහම් ඇත්තාහු, පැමිණි සිවුසස්දහම් ඇත්තාහු, අවබෝධ කළ සිවුසස්දහම් ඇත්තාහු, බැස ගත් සිවුසස්දහම් ඇත්තාහු, දුරු කළ සැක ඇත්තාහු, පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තාහු, බුදුසස්නෙහි විශාරද භාවයට පැමිණියාහු, බුදුසස්නෙහි පරප්‍රත්‍යය රහිත වූවාහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මනා ව දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළසේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ගේ උපසම්පදාව වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කථාවෙන් අවවාද කළ සේක. අනුශාසනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන ඔවුන්ගේ චිත්තයෝ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනාහු ය.
ඒ කාලයෙහි ලෝකයෙහි රහත්හු එක් සැටදෙනෙක් වෙත්.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ යම් ක්ලේශපාශයෝ වෙත් ද, මිනිසුන් පිළිබඳ වූ යම් ක්ලේශපාශයෝත් වෙත් ද, ඒ සියලු ක්ලේශපාශයන්ගෙන් මිදුනෙමි. මහණෙනි, තෙපි ද දෙවියන් පිළිබඳ වූ යම් ක්ලේශපාශයෝ වෙත් ද, මිනිසුන් පිළිබඳ වූ යම් ක්ලේශපාශයෝත් වෙත් ද, ඒ සියලු ක්ලේශපාශයන්ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙවි මිනිසුන්ට වැඩ පිණිස ද හිත පිණිස ද සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මගින් නො යවු. මහණෙනි, ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ අවසනැ යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූණ වූ ධර්‍මය දෙසවු. පිරිසිදු වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරවු. අල්පරජස්ක වූ (ස්වල්ප වූ රාගාදී රජස් ඇති) සත්ත්‍වයෝ වෙති. ඔහු දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මමත් උරුවෙල් දනව්වෙහි සේනානිනියම්ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි” යි වදාළ සේක.
4. එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට ගියේ ය. ගොස්, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීයේ ය:–
“දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද යම් කෙලෙස් මලපුඩු ඇද් ද, ඒ සියලු කෙලෙස් මලපුඩුවලින් බඳනාලද්දේ වෙහි ය. ඒ මහත් කෙලෙස්බැඳුමෙන් බැඳුනේ වෙහි ය. ශ්‍රමණය, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.”
“මම දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද යම් කෙලෙස් මලපුඬු කෙනෙක් වෙද් ද, ඒ සියලු පාසයන්ගෙන් මිදුනෙම් වෙම්. ඒ මහත් කෙලෙස් බැඳුමෙන් මිදුනෙම් වෙමි. මාරය, තෝ නැසුනේ වෙහි ය.”
“අහස හැසිරෙණ අන්තලික්ඛවර{*} නම් වූ සිතෙහි හටගත්තා වූ යම් මේ රාගපාසයක් වේ ද එයින් තා බඳින්නෙමි. ශ්‍රමණය, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.”
“සිත්කලු වූ රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්‍ධයෝ ද ස්පර්‍ශයෝ ද යන මේ පස්කම් කෙරෙහි පැවැති මාගේ ආලය වෙසෙසින් පහ ව ගියේ ය. මාරය තෝ නැසුනේ වෙහි ය.”
එකල්හි පවිටු මාර තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේක. සුගතයන් වහන්සේ මා දන්නා සේකැ” යි දුක් ඇත්තේ නොසතුටු සිත් ඇත්තේ එහි ම නො පෙණී ගියේ ය.
එකොළොස්වන මාරකතාව නිමි.
1. එකල්හි භික්‍ෂූහු නොයෙක් දිශාවන්ගෙන් නොයෙක් ජනපදයන් ගෙන් ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකයන් ද උපසම්පදාපේක්‍ෂකයන් ද “බුදුරජානන් වහන්සේ ඔවුන් පැවිදි කරණසේක. උපසපන් කරණසේකැ” යි සිතා කැඳවා ගෙණ එත්. එයින් භික්‍ෂූහු ද ප්‍රව්‍රජ්‍යපේක්‍ෂකයෝ ද උපසම්පදාපේක්‍ෂකයෝ ද වෙහෙසට පැමිණෙත්. එකල්හි රහෝගත වූ විවේකයට පැමිණියාවූ භාග්‍යවතුන් වහන්සේට “මෙකල්හි වනාහි භික්‍ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ පැවිදි කරන්නාහ. උපසපන් කරන්නාහ’ යි නොයෙක් දිශාවන්ගෙන් නොයෙක් ජනපදයන්ගෙන් ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකයන් ද උපසම්පදාපේක්‍ෂකයන් ද ගෙණ එත්. එයින් භික්‍ෂූහු ද ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයෝ ද උපසම්පදාපේක්‍ෂකයෝ ද වෙහෙසට පත් වෙති. ‘මහණෙනි, මෙකල තෙපි ම ඒ ඒ දිශාවන්හි ම ඒ ඒ ජනපදයන්හි ම පැවිදි කරවු. උපසම්පදා කරවු’ යි මම භික්‍ෂූන්ට අනුදන්නෙම් නම් යෙහෙකැ” යි කල්පනාවක් පහළ වූයේ ය.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කාලයෙහි විවේකයෙන් නැඟී සිටිසේක මේ නිදානයෙහි ප්‍රථම කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, මෙහි රහෝගත වූ විවේකයට පැමිණ හුන්නා වූ මාගේ සිතට මෙබඳු පරිවිතර්‍කයක් පහළ වී ය: “මෙකල්හි භික්‍ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ පැවිදි කරන්නාහ. උපසපන් කරන්නාහ’ යි නොයෙක් දිශාවන්ගෙන් නොයෙක් ජනපදයන්ගෙන් ප්‍රව්‍රජ්‍යාපේක්‍ෂකයන් ද උපසම්පදාපේක්‍ෂකයන් ද ගෙණ එත්. එයින් භික්‍ෂූහු ද ප්‍රව්‍රජ්‍යපේක්‍ෂකයෝ උපසම්පදාපේක්‍ෂකයෝ ද වෙහෙසට පැමිණෙත්. මහණෙනි, මෙකල තෙපි ම ඒ ඒ දිශාවන්හි ම ඒ ඒ ජනපදයන්හි ම පැවිදි කරවු. උපසම්පදා කරවු’ ය යි මම භික්‍ෂූන්ට අනුදන්නෙම් නම් යෙහෙකැ” යි කියායි.
3. මහණෙනි, මෙකල තෙපි ම ඒ ඒ දිශාවන්හි ම ඒ ඒ ජනපදයන්හි ම පැවිදි කරවූ. උපසම්පදා කරවු යි අනුදනිමි. මහණෙනි, මෙසේ පැවිදි කළ යුතු ය. උපසපන් කළ යුතු ය: පළමු කොට හිසකේ රවුල් බා කසාවත් අඳවා උතුරුසඟසිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටුකයෙන් හිඳුවා ඇඳිලි බඳවා මෙසේ කියව යි කිය යුතු ය.
“බුදුන් සරණ යෙමි
දහම් සරණ යෙමි
සඟ සරණ යෙම්
දෙවනු ද බුදුන් සරණ යෙමි
දෙවනු ද දහම් සරණ යෙමි
දෙවනු ද සඟ සරණ යෙමි
තෙවනු ද බුදුන් සරණ යෙමි
තෙවනු ද දහම් සරණ යෙමි
තෙවනු ද සඟ සරණ යෙමි” යි.
මහණෙනි, මේ ත්‍රිවිධ වූ සරණගමනින් පැවිදි බව හා උපසම්පදාව ද අනුදනිමි යි වදාළ සේක.
දොළොස් වන සරණගමනින් (වන) පැවිද්ද හා උපසම්පදාව පිළිබඳ කථාව නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වස් වුසූ සේක් භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මවිසින් උපාය වශයෙන් මෙනෙහි කිරීමෙන් ද උපායයෙන් මනා සේ ප්‍රදහන වීර්‍ය්‍ය කිරීමෙන් ද නිරුත්තර වූ අර්‍හත්ඵලවිමුක්ති තොමෝ ලබනලද්දී ය. නිරුත්තර වූ අර්‍හත්ඵලවිමුක්ති තොමෝ ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දී ය. මහණෙනි, තෙපි ද උපායවශයෙන් මෙනෙහි කිරීමෙන් ද උපායයෙන් මනා සේ ප්‍රදහන වීර්‍ය්‍ය කිරීමෙන් ද නිරුත්තර වූ අර්‍හත්ඵලවිමුක්තියට පැමිණෙවු. නිරුත්තර වූ අර්‍හත්ඵලවිමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරවු.”
2. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් (මෙසේ) කීයේ ය:
“දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද යම් මාරපාශ කෙනෙක් වෙත් නම්, ඒ සියලු මාරපාශවලින් බැඳුනේ වෙහි ය. මාරබන්‍ධනවලින් බඳනා ලද්දෙහි ය. ශ්‍රමණය, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.”
“මම දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද යම් මාරපාශ කෙනෙක් වෙත් නම්, ඒ සියලු මාරපාශවලින් මිදුනෙම් වෙමි. මරබැඳුම්වලින් මිදුනෙම් වෙමි. මාරය, තෝ නැසුනේ වෙහි ය.”
ඉක්බිති පවිටු මාර තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේක. සුගතයන් වහන්සේ මා දන්නාසේකැ” යි දුක් ඇත්තේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වූයේ ය.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර කැමැති තාක් කල් වාසය කොට උරුවෙල් දනව්වට වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් බැහැර ව එක්තරා වනලැහැබකට වැඩිසේක. වැඩ ඒ වනලැහැබට ඇතුල් ව එක්තරා ගසක් මුල වැඩ හුන්සේක.
4. එකල්හි තිසක් පමණ යහළු වූ භද්‍රවර්ගිකයෝ බිරියන් සහිත වූවාහු ඒ වනලැහැබෙහි ඔබිනොබ හැසිරෙත්. එකකුට බිරියක් නො වූ ය. ඔහු සඳහා වෙසඟනක් ගෙණෙන ලද්දී ය. එකල්හි ඒ වෙසඟන ඔවුන් පමා ව ඉඳුරන් පිණවන කල්හි (ඔවුන්ගේ) බඩු ගෙණ පලා ගියා ය.
5. එකල්හි ඒ යහළුවෝ යහළුවාට උපකාර කරමින් ඒ ස්ත්‍රිය සොයමින් ඒ වනලැහැබෙහි ඇවිදින්නාහු එක්තරා ගසක් මුල වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහු ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේට “කිමෙක් ද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියක දුටු සේක් දැ?” යි ඇසූහ. “කුමාරයෙනි, තොපට ස්ත්‍රියගෙන් කම් කිම?” “ස්වාමීනි, මෙහි තිසක් පමණ වූ භාර්‍ය්‍යාවන් සහිත වූ භද්‍රවර්ගික යහළුවෝ වූ අපි මේ වනලැහැබෙහි හැසුරුණෙමු. එකකුට භාර්‍ය්‍යයාවක් නො වූ ය. ඔහු පිණිස ගණිකාවක් ගෙණෙන ලද්දී ය. ඒ වෙසඟන තොමෝ අප පමා ව ඉඳුරන් පිණවන කල්හි (අප සතු) බඩු පැහැර ගෙණ පලා ගියා ය. ස්වාමීනි, යහළු වූ අපි (අපගේ) යහළුවාගේ මෙහෙ කරමින් ඒ ස්ත්‍රිය සොයමින් මේ වන ලැහැබෙහි ඇවිදිමු” යි කීහ.
6. “කුමාරයෙනි, තෙපි ඒ කුමැ යි සිතවු ද? තෙපි ස්ත්‍රියක හෝ සොයවු ද, තමන් හෝ සොයවු ද, යන යමක් ඇත් ද, මෙදෙකින් තොපට කවරක් උතුම් ද?” “ස්වාමීනි, යම් හෙයකින් අපි තමන් සොයන්නෙමු නම් මෙය ම අපට උතුම් වේ”. “කුමාරයිනි, එසේ වී නම්, තෙපි මෙහි හිඳිවු. තොපට මම දහම් දෙසන්නෙමි”. “ස්වාමීනි, එසේ ය” යි යහළු වූ ඒ භද්‍රවර්ගිකයෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව වදාළ සේක. ඒ කවරේ ද යත්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන්ගේ දෝෂය ලාමකභාවය කෙලෙසීම පැවිද්දෙහි අනුසස් ද (යන මෙය) පැවසූහ. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු සිත් ඇත්තන් මොළොක් සිත් ඇත්තන් නීවරණ රහිත වූ සිත් ඇත්තන් ඔදවැඩි සිත් ඇත්තන් පහන් සිත් ඇත්තන් යි දත්සේක් ද, එකල්හි බුදුවරුන්ගේ තමා ම උසස් වූ ධර්‍ම දේශනාවක් වී ද, දුඃඛසත්‍යය සමුදය සත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුස්සත්‍යය දෙසූහ. පහ වූ කිලිටි ඇති පිරිසිදු වස්ත්‍රයක් යම් සේ මනා කොට ම සායම් ගන්නේ ද, එ පරිද්දෙන් ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ”යි පහ වූ රාගාදි රජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය උපන්නේ ය. දක්නාලද සිවුසස් දහම් ඇති පැමිණි සිවුසස්දහම් ඇති අවබෝධ කළ සිවුසස්දහම් ඇති හාත්පසින් බැස ගත් සිවුසස්දහම් ඇති දුරු කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවති සැක ඇති විශාර ද භාවයට පැමිණි ශාස්තෘශාසනාවබෝධයෙහි අන් පිහිටක් වුවමනා නැති ඔහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරණ පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු ය” යි වදාළ සේක. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වි ය.
භද්‍රවර්ගික වූ යහළුවන්ගේ කථාවස්තුව නිමි.
දෙවන බණවර නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් උරුවෙල්දනව්වට වැඩිසේක. ඒ කාලයෙහි උරුවේලාවෙහි උරුවේලකාශ්‍යප නදීකාශ්‍යප ගයාකාශ්‍යප යි ජටිලයෝ තිදෙනෙක් වාසය කරත්. ඔවුන් අතුරෙන් උරුවේලකාශ්‍යපජටිල තෙමේ පන්සියයක් ජටිලයන්ට නායක වේ. (තම ලබ්ධිය ගන්වන බැවින්) විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ. නදීකාශ්‍යප ජටිල තෙමේ තුන්සියයක් ජටිලයන්ට නායක වේ. විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ. ගයාකාශ්‍යප ජටිල තෙමේ දෙසියයක් ජටිලයන්ට නායක වේ. විනායක වේ. අග්‍ර වේ. ප්‍රමුඛ වේ. ආචාර්‍ය්‍ය වේ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ අසපුවට වැඩිසේක. වැඩ “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාළ සේක. “මහාශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (උරුවේලකාශ්‍යප තෙමේ කී ය). දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නො වේ නම්, එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි වදාළ සේක. “මහා ශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. හේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (කි ය). තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ඔබට කිසි බරක් නො වේ නම්, එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි වදාළසේක. “මහා ශ්‍රමණය, මට කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. හේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි (කී ය). “මා නො පෙළන්නේ නම් මැනවි. කාශ්‍යපය, ඔබ ගිනිහල්ගෙය අනුදතමැනැවැ” යි වදාළසේක. (එවිට කාශ්‍යප තෙමේ) “මහාශ්‍රමණය, සැප සේ වාසය කරව” යි කීයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට ඇතුල් ව තණඇතිරිය පණවා පලඟ බැඳ කය කෙළින් තබා සිහිය එළවා වැඩ හුන්සේක.
3. එකල්හි ඒ නාගතෙමේ (ගිනිහල්ගෙට) ඇතුල් වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක නො සතුටු සිත් ඇත්තේ තදින් දුමා ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “මම මේ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා සියතෙදින් ඔහුගේ තෙද නසන්නේ නම් යෙහෙකැ” යි මෙබඳු සිතක් උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ ඍද්ධියක් කොට තදින් දුමා ගියහ. එකල්හි ඒ නාග තෙමේ කෝපය නො ඉවසන්නේ වැඩියක් ඇවිළ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ ද තේජෝධාතුවට සමවැද වැඩියක් ඇවිළ ගත්හ. දෙදෙනා ගිනිදැල් සහිත වූ කල්හි (ඇවිළ ගත්කල්හි) ගිනිහල්ගෙය ගින්නෙන් ඇවිළ ගත්තා සේ වෙයි. හාත්පසින් දිලිසුනේ වෙයි. ගිනිදැල් සහිත වෙයි. එකල්හි ඒ ජටිලයෝ ගිනිහල්ගෙය පිරිවරා “භවත්නි, මනා රූ ඇති මහාශ්‍රමණ තෙමේ ඒකාන්තයෙන් නාගයා විසින් වෙහෙසෙනුලැබේ ය” යි කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ඇවෑමෙන් ඒ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා සිය තෙදින් ඔහුගේ තෙද අබිබවා පාත්‍රයෙහි බහා “කාශ්‍යපය, මේ තාගේ නාගතෙමේ ය. මොහුගේ තෙද මාගේ තෙදින් අභිභවනය කරණලදැ”යි උරුවේලකාශ්‍යපජටිලයාහට දැක්වූහ. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙක් චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජුගේ තෙද සියතෙදින් නසන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි මේ අදහස වී ය.
4. භාග්‍යවතුන් වහන්සේ නේරඤ්ජරා ගඟ සමීපයෙහි විසූ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නො වේ නම්, අද එක් දිනක් ගිනිහල්ගෙයි වසමු” යි වදාළසේක.
මහාශ්‍රමණය, මට කිසි බරක් නැත්තේ ම ය. මේ ගිනිහල්ගෙයි චණ්ඩ වූ ඍද්ධි ඇති ආශීවිස වූ දරුණු විස ඇති නාරජෙක් වෙසෙයි. ‘හේ නුඹවහන්සේ නො වෙහෙසා වා’ යි නුඹවහන්සේට පහසු කැමැත්තේ ම නුඹවහන්සේ වළකා ලමි.
ඒ නාරජතෙමේ මා නො වෙහෙසන්නේ නම් මැනවි. කාශ්‍යපය, තෝ ගිනිහල්ගෙය අනුදනුව. ‘ඒ ගිනිහල්ගෙය දෙන ලද්දේ ය’ යි දැන බිය ඉක්මවූයේ තැති ගැණීම් රහිත වූයේ ගිනිහල්ගෙට පිවිසිසේ ය.
නාරජතෙමේ (ගිනිහල්ගෙය තුළට) පිවිසි බුදුරජුන් දැක නො සතුටු සිත් ඇත්තේ තදින් දුමා ගියේ ය. (පූර්‍ව වූ) බුදුවරුන් හා සමසිත් ඇති උසස් සිත් ඇති මනුෂ්‍යශ්‍රේෂ්ඨ තෙමේ ද තදින් දුමා ගියේ ය.
නාරජතෙමේ කෝපය ද නො ඉවසන්නේ ගින්නක් සේ තදින් ඇවිළුනේ ය. එහි දී තොජොධාතුසමාපත්තිවිෂයයෙහි දක්‍ෂ වූ මනුෂ්‍යශ්‍රේෂ්ඨ තෙමේ ද තදින් ඇවිළුනේ ය.
දෙදෙන ගිනිදැල් සහිත වූ කල්හි (ගින්නෙන් ඇවිළ ගත් කල්හි) ජටිලයෝ ගිනිහල්ගෙය දෙස බැලූහ. නොහොත් පිරිවැරූහ. ‘භවත්නි, මනා රූ ඇති මහාශ්‍රමණතෙමේ නාරජු විසින් වෙහෙසනුලැබේ ය යි කියත්.
ඉක්බිති රෑ ඉක්ම යාමෙන් නාරජුගේ ගිනිදැල් නො වෙයි. ඍද්ධිමත් බුදුරජානන් වහන්සේගේ (සිරුරෙන්) නැඟී සිටි නොයෙක් පැහැ ඇති රශ්මීහු වෙත්.
එකල්හි බුදුරජානන් වහන්සේගේ සිරුරෙහි හටගත් නිල්වන් වූ ද ලේවන් වූ ද මදටවන් වූ ද රන්වන් වූ ද පළිඟුවන් වූ ද රශ්මීහු නන් පැහැ ඇත්තෝ වෙත්.
නාරජු පාත්‍රයෙහි බහා “කාශ්‍යපය, මේ තොපගේ නාරජතෙමේ ය. මොහුගේ තෙද මාගේ තෙදින් හාත්පසින් මැඩගන්නා ලද්දේ ය”යි බ්‍රාහ්මණයාහට දැක්වූ සේක.
5. ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන් වෙසෙසින් පහන් වූයේ “මහාශ්‍රමණය, මෙහි ම වාසය කරවු. මම නුඹවහන්සේට නිති බතින් උපස්ථාන කරමි”යි භාග්‍යවතුන් වහන්සේට කීයේ ය.
ප්‍රථමප්‍රාතිහාර්‍ය්‍ය නිමි.
6. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ අසපුවට නුදුරෙහි එක්තරා වනලැහැබෙක්හි විසූසේක. එකල්හි සතර වරම්මහරජහු රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇත්තාහු සියලු වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ මහත් ගිනිකඳන් සේ සිව්දිග සිටියාහු ය.
ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ඒ රැය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේගෙන් “මහාශ්‍රමණය, මේ සුදුසුකාලය වේ. බත නිමවී ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති ඒ කවර කෙනෙක් මුළු වනලැහැබ බබුළුවා නුඹවහන්සේ වෙතට පැමිණියාහු ද? පැමිණ නුඹවහන්සේ වැඳ මහත් වූ ගිනිකඳන් සේ සිව්දිග සිටියාහුදැ?’ යි ඇසී ය.
“කාශ්‍යපය, ඒ සතරවරම්මහරජහු දහම් අසනු පිණිස මා වෙතට පැමිණියාහු ය”යි (වදාළසේක). එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකු කරා සතරවරම්මහරජහු දහම් අසනු පිණිස පැමිණෙන්නාහු ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම වේ. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි සිතක් උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
ද්වීතියප්‍රාතිහාර්‍ය්‍ය යි.
7. ඉක්බිති සක්දෙව්රජතෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරවර්‍ණ ඇත්තේ සියලු වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. මහගිනිකඳක් සේ පළමු පැහැයට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වි ය.
ඉක්බිති උරුවේලකාශ්‍යපතෙමේ ඒ රෑ ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමියේ ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති කවරෙක්, වනලැහැබ බබුළුවා ඔබවහන්සේ වෙතට පැමිණියේ ද? පැමිණ නුඹ වහන්සේ වැඳ පසෙක සිටියේ ද? හේ මහ ගිනිකඳක් සේ පළමු වූ පැහැසටහන්වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වී ය” යි කීයේ ය.
“කාශ්‍යපය, දෙවියන්ට අධිපති වූ ශක්‍ර තෙමේ දහම් අසනු පිණිස මා වෙතට පැමිණියේ ය” යි (වදාළසේක). එකල්හි උරුවේලකාශ්‍යප ජටිලයාහට “යමකු කරා දෙවියන්ට අධිපති වූ ශක්‍ර තෙමේත් දහම් අසනු පිණිස පැමිණෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය, මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යප ජටිලයාගේ බත වළඳා, ඒ වනලැහැබෙහි ම විසූසේක.
තෘතීයප්‍රාතිහාර්‍ය්‍යය යි.
8. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇත්තේ වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. මහාගිනිකඳක් සේ පළමු පැහැ සටහන්වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද, අතිශයින් ප්‍රණීත වූයේ ද වි ය.
9. ඉක්බිති උරුවේලකාශ්‍යප ජටිලතෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති ඒ කවරෙක් වනලැහැබ බබුළුවා ඔබවහන්සේ වෙතට පැමිණියේ ද, පැමිණ ඔබ වහන්සේ වැඳ පසෙක සිටියේ ද? හේ මහාගිනිකඳක් සේ පළමු පැහැසටහන් වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වී ය” යි කීයේ ය.
“කාශ්‍යපය, සහම්පති බ්‍රහ්මතෙමේ දහම් ඇසීම පිණිස මා වෙත පැමිණියේ” යි වදාළසේක. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “යමකු කරා සහම්පති බ්‍රහ්මයාත් දහම් ඇසීම පිණිස පැමිණෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය”යි සිතක් උපන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
චතුර්‍ත්‍ථප්‍රාතිහාර්‍ය්‍යය යි.
10. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාගේ මහායාගයක් එළඹ සිටියේ වෙයි. මුළු අඟුමගදදනවුවැස්සෝ බොහෝ වූ කෑයුතු දේත් බිදියයුතු දේත් ගෙණ එළඹෙනු කැමැත්තෝ වෙති. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැස්සෝ බොහෝ වූ කෑ යුතු දේත් බිදියයුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාර ය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාරය පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ” යි මෙබඳු සිතක් උපන්නේ ය.
11. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ කල්පනාව සියසිතින් දැන උතුරුකුරුදිවයිනට වැඩ එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කළසේක.
12. එකල්හි උරුවේලකාශ්‍යප ජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහා ශ්‍රමණය, කුමක් නිසා ඊයේ නො ආවහු ද? එහෙත් ‘අපි මහාශ්‍රමණතෙමේ කුමක් නිසා නො ඒ දැ?’ යි ඔබවහන්සේ සිහිපත් කෙළෙමු. කෑ යුතු දෙය ද බිදියයුතු දෙය ද පිළිබඳ ඔබ වහන්සේගේ කොටස තබන ලද්දේ ය” යි කීයේ ය.
13. ‘කාශ්‍යපය, නුඹට ‘දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැසි ඉතා වැඩි දෙනෙක් බොහෝ වූ කෑ යුතු දේත් බිදිය යුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කරන්නේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාරය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාර පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ’ යි මෙබඳු සිතක් නො වූයේ ද?
14. “කාශ්‍යපය, ඒ මම නුඹගේ සිත මා සිතින් දැන උතුරුකුරු දිවයිනට ගොස් එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කෙළෙමි” යි වදාළසේක.
15. එකල්හි උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙක් සිය සිතින් අනුන්ගේ සිත දැන ගන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේම ය. එහෙත් මා මෙන් රහත්, නො වේ මැ” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
පඤ්චම ප්‍රාතිහාර්‍ය්‍යය යි
1. එකල්හි භාග්‍යවතුන් වහන්සේට පංසුකූලයක් උපන්නේ ය. එවිට උන්වහන්සේට “මම කොතැන්හි දී පංසුකූලය සෝදන්නේනම් දැ?” යි සිතක් පහළ වූයේ ය. අනතුරු ව දෙවියන්ට අධිපති වූ ශක්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන අතින් පොකුණක් හාරා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය සෝදන සේක්වා” යි සැළ කෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම කුමක ලා පංසුකූලය පිරිමදින්නෙම් දැ?” යි සිතක් වි ය. ඉක්බිති සක්දෙව්රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ ගේ චිත්තවිතර්‍කය තම සිතින් දැන “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය පිරිමදිනසේක්වා” යි මහත් ගලක් එළවා තැබුයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම කොතැනක එල්බී ගොඩ නගින්නෙම්දැ?” යි සිතක් වූයේය. ඉක්බිති කුඹුක්ගසෙහි අරක් ගත් දේවතා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන “භාග්‍යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගින සේක් වා” යි අත්තක් නැමූ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම පංසුකූලය කොතැනක දිග හරින්නෙම් (– වනම් දැ යි) සිතක් වූයේ ය. ඉක්බිති සක්දෙව්රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන “භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි දිග හරිණ (වනන) සේක්වා” යි මහත් ගලක් එළවා තැබුයේ ය.
2. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිල තෙමේ ඒ රැය ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහාශ්‍රමණය, කිමෙක් ද? මේ පොකුණ පෙර මෙහි නො වී ය. මෙහි ඒ මේ පොකුණ දැන් තිබේ. පෙර මේ ගල නො තිබුනි. කවරකු විසින් මේ ගල තබන ලද්දේ ද? පෙර මේ කුඹුක් ගසේ අත්ත නො නැමින. දැන් ඒ මේ අත්ත නැමිනැ’ යි කීයේ ය.
3. “කාශ්‍යපය, මෙහි දී මට පංසුකූලයක් උපන්නේ ය. ‘කොතැනක මම පංසුකූලය සෝදන්නෙම් දැ?’ යි ඒ මට සිතක් උපන. කාශ්‍යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන අතින් පොකුණක් හාරා මට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි සෝදනසේක්වා’ යි කීයේ ය. ඒ මේ පොකුණ නො මිනිසකු අතින් සාරණලද්දේ ය. කාශ්‍යපය, ඒ මට ‘මම කො තැනක පංසුකූලය පිරිමදින්නෙම් දැ?’ යි සිතක් වූයේ ය. කාශ්‍යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි පිරිමදිනසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුවේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය. ‘කාශ්‍යපය, ඒ මට මම කො තැනක එල්බී ගොඩ නගින්නෙම් දැ’ යි සිතක් උපන්නේ ය. ඉක්බිති කාශ්‍යපය, කුඹුක්ගසෙහි අරක්ගත් දේවතාතොමෝ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගිනසේක්වා” යි අත්තක් නැමූ ය. ඒ මේ කුඹුක්ගස “ස්වාමීනි, අත දෙව” යි කියන්නා සේ ය. කාශ්‍යපය, ඒ මට ‘මම පංසුකූලය කො තැනක දිග හරින්නෙම් දැ?’ යි සිතක් වි ය. ඉක්බිති කාශ්‍යපය, සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය දිග හරිණසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුයේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය” යි (වදාළසේක.) ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “සක්දෙව් රජතෙමේත් යම් මහාශ්‍රමණයකුට වතාවත් කරන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධිඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූ සේක.
4. ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ “මහාශ්‍රමණය, සුදුසු කාලය වේ. බත නිමියේ ය” යි කල් දැන්වී ය. “කාශ්‍යපය යව. මම පසු ව එමි” යි උරුවේලකාශ්‍යපජටිලයා යවා දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩ හුන්සේක. උරුවේලකාශ්‍යපජටිල තෙමේ ගිනිහල්ගෙයි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක “මහාශ්‍රමණය, ඔබ කවර මගකින් ආසේක් ද? මම ඔබට පළමු ව පිටත් වූයෙමි. ඒ ඔබ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්සේකැ” යි කීයේ ය. “කාශ්‍යපය, මෙහි මම ඔබ පිටත් කොට, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද ඒ ගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙමි. කාශ්‍යපය, මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉදින් කැමැත්තෙහි නම් අනුභව කරව” යි වදාළ සේක. “මහාශ්‍රමණය, කම් නැත. ඔබ ම මේ දඹදෙහඩිය ගෙණ ආසේක. ඔබ ම මෙය අනුභව කරණු මැනැව.” ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙක් මා පළමු කොට පිටත් කර යවා, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
5. ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, මේ සුදුසු කාලය වේ. බත නිමියේ ය” යි කල් දැන්වී ය. “කාශ්‍යපය, යව, මම එමි” යි උරුවේලකාශ්‍යපජටිලයා පිටත් කර යවා දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසට නුදුරෙහි අඹගසක් වේ. –පෙ– ඒ අඹගසට නුදුරෙහි නෙල්ලිගසක් වේ. –පෙ– ඒ නෙල්ලිගසට නුදුරෙහි අරළුගසක් වේ. –පෙ– තව්තිසා දෙව්ලොවට වැඩ පරසතුමලක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩහුන් සේක. උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ගිනිහල්ගෙයි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, නුඹවහන්සේ කිනම් මගකින් ආසේක් ද? මම නුඹවහන්සේට වඩා පළමු කොට පිටත් වූයෙම් වෙමි. ඒ නුඹවහන්සේ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්සේකැ” යි කීයේ ය. “කාශ්‍යපය, මම මෙහි ඔබ පිටත් කර යවා තාවතිංසයට ගොස් පරසතුමලක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙම් වෙමි. කාශ්‍යපය, මේ පරසතුමල පැහැයෙන් යුක්ත ය. සුවඳින් යුක්ත ය” යි වදාළසේක. ඉක්බිති උරුවේලකාශ්‍යපජටිලයාහට “යමෙක් මා පළමු කොට පිටත් කර යවා තාවතිංසයට ගොස් පරසතුමලක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි සිතක් වූයේ ය.