11. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
12. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් ලබත්. හිත වූ බෙහෙත් නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
13. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් ලබත්. හිත වූ බෙහෙත් ලබත්. සුදුසු වූ උපස්ථායකයකු නො ලබත්. ‘මේ ම අන්තරාය’යයි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
14. “මහණෙනි, මෙහි ස්ත්‍රියක් ‘ස්වාමීනි, එනු මැනව. නුඹ වහන්සේට අමුරන් හෝ දෙමි. නුඹ වහන්සේට රන් හෝ දෙමි. නුඹ වහන්සේට කෙතක් හෝ දෙමි. නුඹ වහන්සේට වත්තක් හෝ දෙමි. නුඹ වහන්සේට ගවයකු හෝ දෙමි. නුඹ වහන්සේට දාසියක හෝ දෙමි. නුඹ වහන්සේට දාසයකු හෝ දෙමි. නුඹ වහන්සේට දාසියකු හෝ දෙමි. නුඹ වහන්සේට භාර්‍ය්‍යාව පිණිස දුව හෝ දෙමු. මම හෝ නුඹවහන්සේගේ භාර්‍ය්‍යා වෙමි. නුඹ වහන්සේට අන් බිරියක හෝ ගෙණෙමි’ යි වස් එළැඹි භික්‍ෂුනමකට නිමන්ත්‍රණය කෙරෙ යි. එහි දී ඒ භික්‍ෂුහුහට ‘සිත යුහු ව පෙරළේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ම ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
15. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂුනමකට වෙසඟනක් නිමන්ත්‍රණය කරයි. –පෙ– විවාහයට නො පැමිණ වයසට පත් ස්ත්‍රියක් නිමන්ත්‍රණය කරයි. –පෙ– පණ්ඩකයෙක් නිමන්ත්‍රණය කරයි. –පෙ– නෑයෝ නිමන්ත්‍රණය කරත්. –පෙ– රජහු නිමන්ත්‍රණය කරත්. –පෙ– සොරු නිමන්ත්‍රණය කරත් –පෙ– ධූර්‍තයෝ හෝ ‘ස්වාමීනි, එනු මැනව. නුඹ වහන්සේට අමුරන් හෝ දෙමු. නුඹ වහන්සේට රන් හෝ දෙමු. නුඹවහන්සේට කෙතක් හෝ දෙමු. නුඹ වහන්සේට වත්තක් හෝ දෙමු. නුඹවහන්සේට ගවයකු හෝ දෙමු. නුඹවහන්සේට දෙනකු හෝ දෙමු. නුඹවහන්සේට දාසයකු හෝ දෙමු. නුඹ වහන්සේට දාසියක හෝ දෙමු. භාර්‍ය්‍යාව පිණිස නුඹ වහන්සේට දුව හෝ දෙමු. නුඹ වහන්සේට අන් බිරියක හෝ ගෙණෙමු’ යි නිමන්ත්‍රණය කරත්. එහි දී ඒ භික්‍ෂුහුහට ‘සිත යුහු ව පෙරළේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම් බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
16. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් තෙමේ හිමියන් නැති නිධානයක් දකි යි. එහි දී ඒ මහණහුට ‘සිත වහා පෙරළේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
17. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් තෙමේ සඞ්ඝභේදයට උත්සාහය කරන්නා වූ බොහෝ භික්‍ෂූන් දකී. එහි දී ඒ මහණහුට ‘සඞ්ඝභේදය තෙමේ බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා හමු ව සිටිය දී සඞ්ඝ තෙමේ නො බිඳේවා’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
18. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහ කෙරෙත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා හමු ව සිටිය දී සඞ්ඝතෙමේ නො බිඳේවා’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
19. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහ කෙරෙත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන් හට සඞ්ඝභේදය රුචි නො වේවා” යි කියන්නෙමි. ඔහු මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
20. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් “අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහය කෙරෙත් ල’ යි අසයි. මහණෙනි, එහි දී මහණහුට “ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ නො වෙති. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයෝ වෙත් ද, ඔහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
21. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් “අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ ල’ යි අසයි. එහි දී මහණහුට “ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා යි කියන්නෙමි. ඔහු මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
22. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ නො වෙති. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයෝ වෙත් ද, ඔහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. මා විසින් කියන ලද ඔහු ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා’යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
23. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණෝ සඞ්ඝභේදයට උත්සාහ කරත් ල’ යි අසයි. එහි දී මහණහුට ‘ඒ මෙහෙණෝ මාගේ මිතුරෝ ය. ඔවුන්ට මම ‘නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නෙමි. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය” යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
24. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණෝ සඞ්ඝභේදයට උත්සාහ කරත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘ඒ මෙහෙණෝ මාගේ මිතුරෝ නො වෙත්. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිතුරෝ වෙත් ද, ඔහු මාගේ යෙහෙළියෝ වෙත්. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු, ඔවුන්ට – නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු’ ය යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
25. ‘මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ’ යි අසයි. එහි දී ඒ මහණහුට ඒ මෙහෙණෝ මාගේ යෙහෙළියෝ ය. මම ඔවුන්ට ‘නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා” යි කියන්නෙමි. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
26. මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ’ යි අසයි. එහි දී මහණහුට “ඒ මෙහෙණෝ මාගේ යෙහෙළියෝ නො වෙත්. එහෙත් යම් මෙහෙණෝ ඔවුන්ගේ මිතුරෝ වෙත් ද, ඔවුන් මාගේ මිතුරෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු, ඔවුන්ට – නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය’යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
27. එකල්හි එක්තරා මහණෙක් ගාලෙහි වස් එළැඹෙනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගාලෙහි වස් එළැඹෙන්නට අනුදනිමි” යි. ගාල අන් තැනකටගියේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගාල ගොස් සිටි තැනට යන්නට අනුදනිමි’.
28. එකල්හි එක්තරා මහණෙක් වස් එළැඹීම ලංව සිටි කල්හි ගැල් පදවන්නන් හා යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ‘මහණෙනි, ගැලේ වස් එළැඹෙන්නට අනුදනිමි.”
29. එකල්හි එක්තරා මහණෙක් වස් එළැඹීම ලංව සිටි කල්හි නැවක යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නැවෙහි වස් එළැඹෙන්නට අනුදනිමි” යි.
30. එකල්හි භික්‍ෂූහු ගස් සිදුරෙක වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “පිශාච පැටවුන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගස් සිදුරෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
31. එකල්හි භික්‍ෂූහු රුක් වෙළෙප්හි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “මුව වැද්දන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි රුක් වෙළෙප්හි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
32. එකල්හි භික්‍ෂූහු එළිමහනෙහි වස් එළැඹෙත්. වැසි වස්නා කල රුක් මුලට ද (ගෙවල්හි) අගුසෙවනට ද දුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එළිමහනෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
33. එකල්හි භික්‍ෂූහු සෙනසුන් නැත්තාහු වස් එළැඹෙත්. සීතයෙන් ද උෂ්ණයෙන් ද ක්ලාන්ත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
34. එකල්හි භික්‍ෂූහු සොහොන්කිළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “මිනී දවන්නන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සොහොන් කිළියෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
35. එකල්හි භික්‍ෂූහු ඡත්‍රය යට වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “ගොපලුන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඡත්‍රය යට වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
36. එකල්හි භික්‍ෂූහු සැළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “තීර්‍ත්‍ථකයන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සැළියෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
37. එකල්හි සැවැත් නුවර දී සඞ්ඝයා විසින් “වස ඇතුළත පැවිදි නො කළ යුතු ය” යි කතිකාවක් කරණ ලද්දී ය. මිගාරමාතු වූ විශාඛාවගේ මුනුබුරෙක් භික්‍ෂූන් කරා එළඹ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ‘ඇවැත්නි, ‘වස ඇතුළත පැවිදි නො කළ යුතු ය.’ යි සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද්දී ය. ඇවැත්නි, භික්‍ෂූහු යම් තාක් වස් වැස නිමවත් ද ඒ තාක් බලාපොරොත්තු වෙව, වස් වැස නිම කළාහු පැවිදි කරන්නාහු” යි මෙසේ කීහ.
38. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැස නිම කළාහු මිගාර මාතු වූ විශාඛාවගේ මුණුබුරාට “ඇවැත්නි, දැන් එව, පැවිදි වෙව” යි කීහ. හෙතෙමේ “ස්වාමීනි, මම පැවිදි වූයේ වීම් නම්, මම (සසුනෙහි) සිත් අලවා වසන්නෙමි. ‘ස්වාමීනි, මම දැන් පැවිදි නො වන්නෙමි’ යි මෙසේ කීයේ ය. මිගාරමාතෘ වූ විශාඛා තොමෝ ‘පින්වතුන් වහන්සේලා කෙසේ නම් වස ඇතුළත දී පැවිදි නො කට යුතු ය’ යි මෙබඳු කතිකාවක් කරත් ද? “කිනම් කලෙක ධර්‍මය තෙමේ නො හැසිරිය යුතු දැ?’ යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.
39. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන මිගාර මාතෘ වූ විශාඛාවගේ ඒ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘වස ඇතුළත දී පැවිදි නො කට යුතු ය’ යි මෙබඳු කතිකා නො කට යුතු ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.
40. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන් විසින් පසේනදි කොසොල් රජුගේ පෙරවස් විසීමට ආරාධනාවක් ගිවිස ගන්නා ලද්දේ ය.
41. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ අතර මග දී බොහෝ සිවුරු ඇති ආවාස දෙකක් දුටුයේ ය. ඔහුට “මම මේ ආවාස දෙක්හි වස් වසන්නෙම් නම් යහපත් ය. එසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය” යි මෙබඳු සිතෙක් වි ය.
42. හෙ තෙමේ ඒ ආවාස දෙක්හි වස් විසී ය. පසේනදි කොසොල් රජ තෙමේ “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ආර්‍ය්‍ය උපනන්‍ද ස්ථවිර තෙමේ අපගේ වස් ආරාධනාව ගිවිස (පිළිගෙණ) වෙනස් කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ දැ?’ යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.
43. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන පසේනදි කොසොල් රජුගේ ඒ කතාව ඇසූහ. ඔවුන් අතුරෙහි යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙමේ පසේනදි කොසොල් රජුගේ වස් විසීමට ආරාධනාව පිළිගෙණ වෙනස් කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
44. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන් පිළිවිසිසේක. “උපනන්‍දය, පසේනදි කොසොල් රජුගේ වස් විසීමට ආරාධනාව පිළිගෙණ වෙනස් කෙළෙහි සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබව”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, තෝ කෙසේ නම් පසේනදි කොසොල් රජුගේ වස් ආරාධනාව පිළි ගෙණ වෙනස් කෙළෙහි ද? හිස්පුරුෂය, මා විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ ද? හිස්පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ –පෙ– නොවේ” යි ගැරහූසේක. ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූසේක:
45. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස්ආරාධනාවක් පිළිගන්නා ලද්දේ ය. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ අතර මග දී බොහෝ සිවුරු ඇති ආවාස දෙකක් දකියි. ඔහුට ‘මම මේ ආවාස දෙකෙහි වස් වසන්නෙම් නම් යෙහෙක. එසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය’ යි මෙබඳු සිතෙක් උපන. හෙතෙමේ ඒ ආවාස දෙකෙහි වස් විසී ය. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
46. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු නැත්තේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
47. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණේ. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
48. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණේ. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
49. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් (=වස් විසුමට ආරාධනාවක්) පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
50. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙර වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුට පෙර වස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
51. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (=පෙරළා ඊම) කෙරෙයි. මහණෙනි, ඒ මහණහුගේ පෙර වස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
52. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙතෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ පවාරණ දිනය නො පැමිණ සතියක් ඇති කල්හි (=පවාරණ දිනයට සතියක් තිබිය දී) කටයුතු සහිතව බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වේවා මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. “ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
53. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු නැත්තේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද නො පෙණෙයි. ගිවිසී මෙහි ද දුකුළාඇවැත් වේ.”
54. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙර වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙතෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (=පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
55. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ පවාරණ දිනය නො පැමිණි සතියක් ඇති කල්හි කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ (වේවා) මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
56. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසු වස ද නො පෙණෙයි ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
57. “මහණෙනි, මෙහි මහණකු විසින් පසු වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඅඇවැත් වේ.”
58. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
59. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
60. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළා ඇවැත් වේ.”
61. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් (= වස් විසුමට ආරාධනාවක්) පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (= පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
62. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ වර්‍ෂා මාස සතර අවසන්හි යෙදෙන කුමුදුමල් පිපුම් හෝ සඳරැස් ඇති ඉල් මස පුර පසළොස්වකට සතියක් තිබිය දී කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
63. “මහණෙනි, මෙහි මහණකු විසින් පසු වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝ දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”
64. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (= පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුට පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
65. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝ දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ චාතුමාසිනී කොමුදී නම් ඉල් පුර පසළොස්වකට සතියක් තිබිය දී කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ (වේවා) මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”
තෙවෙනි වස්සූපනායිකක්ඛන්‍ධකය නිමි.
එහි උද්දානය (වස්තු නාමමාලාව) මෙසේ ය:
1. වස් එළඹෙන්නට අනුදැනීම, කවර ඍතුවක දැ යි පිළිවිසීම, කෙතෙක් දැ යි පිළිවිසීම, වස් වැස චාරිකාවෙහි හැසිරීම, වස් විසීමට නො කැමැති වීම, දැන දැන ආරාමය ඉක්මවීම, වස්සුක්කඩ්ඪනය, උදේන උපාසක.
2. ගිලන් වීම, මවු ගිලන් වීම, පියා ගිලන් වීම, සොහොයුරකු ගිලන් වීම, නෑයකු ගිලන් වීම, මෙහෙකරු ගිලන් වීම, විහාරය, චණ්ඩ වල් සිවුපාවුන්ගේ අන්තරාය, සර්‍පයන්ගේ අන්තරාය,
3. සොරුන්ගේ අන්තරාය, පිශාචයන්ගේ අන්තරාය, ගම ගින්නෙන් දෑම, සෙනසුන ගින්නෙන් දෑම, ගම හා සෙනසුන දියෙන් යට වීම හෝ අන්තරායට පත් වීම, ගම හැර යෑම, වැඩි ගම්වැස්සන් වෙතට යෑම, දෙන්නන් කරා යෑම.
4. රළු හෝ මිහිරි ආහාර නො ලැබීම, හිත බොජුන් නො ලැබීම, හිත බෙහෙත් නො ලැබීම, උපස්ථායකයකු නො ලැබීම, ස්ත්‍රිය, වෙසඟන, තරුණ කුමරිය, පණ්ඩක, නෑ යන මොවුන්ගෙන් වන අන්තරාය.
5. රජ, සොර, ධූර්‍ත යන මොවුන්ගෙන් වන අන්තරාය, නිධානය, සඞ්ඝභේදය, ගාල, ගැල, නැව, රුක්සිදුර, රුක්වෙළෙප.
6. එළිමහනෙහි වස් විසීම, සෙනසුන් නැත්තහු වස් විසීම, සොහොන් කිළියෙහි, ඡත්‍රයෙහි, සැළියෙහි ඒ භික්‍ෂූහු වස් එළඹෙත් යන්න ද
7. කතිකාව, වස් ගිවිස බැහැර වස් විසීම, යන මොහු වෙත්. අන් තැනක පොහොය කොට වස් වසන තැනට පැමිණීම, පෙරවස පසුවස වශයෙන් සුදුසු පරිදි යොදන්නේ ය.
8. සත්තාහකරණියයෙන් නිකරුණේ බැහැර යයි. එසේ ම කරුණු සහිත ව බැහැර යයි. දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි.
9. පවාරණයට සත්දිනක් තිබිය දී ගොස් පෙරළා පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වසට අන්තරාය නැති බව – යන මොහු උද්දානයෙහි ඇතුළත් වස්තූහු වෙත්. පෙළමග නුවණින් පරීක්‍ෂා කරන්නේ ය.
මේ ඛන්‍ධකයෙහි වස්තූහු දෙපණසෙකි.
4.
පවාරණක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන උයන්හි අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළඹියහ.
2. එකල්හි ඒ භික්‍ෂූන්ට “අපි කිනම් උපායයකින් සමගි ව සතුටු වෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු ද? ආහාර ලැබීමෙන් ක්ලාන්ත නො වන්නෙමු දැ?” යි මෙබඳු සිතෙක් උපන.
3. නැවැත ඒ භික්‍ෂූන්ට “ඉදින් අපි උනුන් කතා නො කරන්නෙමු නම්, වදන් පිළිවදන් වසයෙන් කතා නො කරන්නෙමු නම්, යමෙක් පළමු කොට ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා එන්නේ ද, හෙ තෙමේ අසුන් පණවන්නේ නම්, පා දෝනා දිය පාපුටුව නො සේදු පා තබන පුවරුව එළවා තබන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා එළවන්නේ නම්, පැන් පිරිබෝදිය එළවන්නේ නම්, යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා පැමිණෙන්නේ ද, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වන්නේ ද, (එය) කැමැත්තේත් වන්නේ ද, එය වළඳන්නේ නම්, නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක දමන්නේ නම්, සතුන් නැති දියෙහි හෝ පා කොට හරින්නෙන් නම්, අසුන් ඔසොවා තබන්නේ නම්, පා දෝනා දිය පාපුටුව පා තබන පුවරුව තැන් පත් කරන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා තැන් පත් කරන්නේ නම්, පැන් (කළය) පිරිබෝදිය (සැළ) තැන් පත් කරන්නේ නම්, බොජුන්හල හමදින්නේ නම්, යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියසැළ හෝ වැසිකිළිදිය කළය හෝ දක්නේ ද, හෙ තෙමේ එළවා තබන්නේ නම්, ඉදින් ඔහුට (එය) ඔසොවනු නො හැකි වේ නම්, අත වැනීමෙන් දෙවැන්නකු අමතා අත්විලඟින් (දෙදෙනකු බැඳගත් අත් වලින්) එළවා තබන්නේ නම්, ඒ හේතුවෙන් කතා නො කරන්නේ නම්, අපි මෙසේ සමගි ව සතුටුවෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු. ආහාරයෙන් ක්ලාන්ත නො වන්නෙමු” යි මෙබඳු සිතෙක් විය.
4. ඉක්බිති ඒ භික්‍ෂූහු උනුන් නො ම කතා කළහ. වදන් පිළිවදන් වශයෙන් නො ම කතා කළහ. යමෙක් පළමු ව ගමෙහි පිඬු පිණිස හැසිර හැරී ඒ ද, හෙ තෙමේ අසුන් පණවයි. පා දෝනා දිය පාපුටුව පාපුවරුව එළවා තබයි. ඉඳුල් ලන බඳුන සෝදා එළවයි. පැන් පිරිබෝදිය එළවයි. යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඒ ද, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වන්නේ ද කැමැත්තේ නම්, එය වළඳයි. නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක හෝ දමයි. සතුන් නැති දියෙහි හෝ පා කොට හරියි. හෙ තෙමේ අසුන් ඔසොවා තබයි. පා දෝනා දිය පාපුටුව පාපුවරුව තැන්පත් කරයි. ඉඳුල් ලන බඳුන සෝදා තැන්පත් කරයි. පැන් (කළය) පිරිබෝදිය (සැළ) තැන් පත් කරයි. බොජුන්හල හමදියි. යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය හෝ දක්නේ ද, හෙ තෙමේ එය එළවයි. ඉදින් ඔහුට (එය) නො හැක්කේ නම් හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟින් එළවයි. ඒ හේතුවෙන් කතා නො කරන්නේම ය.
5. භාග්‍යවතුන් වහන්සේ දැකීමට එළැඹීම ය යන මෙය වස් වැස නිම කළ භික්‍ෂූන්ගේ පුරුද්දෙක් ම වේ. එකල්හි වස් වැස නිම කළ ඒ භික්‍ෂූහු තෙමස ඇවෑමෙන් සෙනසුන් තැන් පත් කොට පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගියහ. පිළිවෙළින් ගොස් සැවැත් නුවර ජේතවනයෙහි වූ අනාථපිණ්ඩික සිටුගේ ආරාමයට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
6. ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කතා කිරීම යන මෙය භාග්‍යවත් වූ බුදුවරුන්ගේ පුරුද්දෙක් ම ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම? (සැපපහසුකම්) ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමගි වූවෝ සතුටු වෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් විසූවහු ද? ආහාරයෙන් පීඩා නො ලැබූහු දැ?” යි යන මෙය ඒ භික්‍ෂූන්ගෙන් අසා වදාළසේක.
7. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් විසූමු. ආහාරයෙන් ද ක්ලාන්ත නො වීමු” යි (භික්‍ෂූහු සැළකළහ).
8. තථාගතවරු දන්නෝ ද විචාරත්. දන්නෝ ද නො විචාරත්. කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් විචාරත්. අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. අනර්‍ත්‍ථයෙන් යුක්ත වචනයෙහි තථාගතයන් වහන්සේලාගේ මාර්‍ගඥානයෙන් ම හේතු නැසීම වේ.
9. භාග්‍යවත් බුදුවරයෙක් “ධර්‍මය හෝ දෙසන්නෙමු. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමු” යි දෙ අයුරකින් භික්‍ෂූන් විචාරත්.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි කෙසේ නම් සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් විසූවහු ද? ආහාරයෙන් ක්ලාන්ත නො වූහු දැ?” යි යන මෙය ඒ භික්‍ෂූන්ගෙන් විචාළසේක.
11. “ස්වාමීනි, අපි මෙහි මිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹියෙමු. “ස්වාමීනි, ඒ අපට ‘අපි කිනම් උපායයකින් සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු ද? ආහාරයෙන් ද ක්ලාන්ත නො වෙමු දැ?’ යි මේ සිතෙක් උපන.
12. “ස්වාමීනි, ඒ අපට “අපි කතා නො කරන්නෙමු නම්, වදන් පිළිවදන් වසයෙන් කතා නො කරන්නෙමු නම්, යමෙක් ගමෙහි පිඬු පිණිස හැසිර පළමුකොට පෙරළා එන්නේ ද හෙ තෙමේ අසුන් පණවන්නේ නම්, පා දෝනා දිය පාපුටුව නො සේදූ පා තබන පුවරුව එළවන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා එළවන්නේ නම්, පැන් පිරිබෝදිය එළවන්නේ නම්, යමෙක් ගමෙහි පිඬු පිණිස හැසිර පසු ව පෙරළා එන්නේ ද, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වන්නේ ද, කැමැත්තේ ත් වන්නේ ද, එය වළඳන්නේ නම්, නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක දමන්නේ නම්, සතුන් නැති දියෙහි හෝ පා කොට හරින්නේ නම්, හෙ තෙමේ අසුන් ඔසොවා තබන්නේ නම්, පා දෝනා දිය පාපුටුව නො සේදූ පා තබන පුවරුව තැන්පත් කරන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා තැන් පත් කරන්නේ නම් පැන් (කළය) පිරිබෝදිය (සැළ) තැන් පත් කරන්නේ නම්, බොජුන්හල හමදින්නේ නම්, යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය හෝ දක්නේ ද, හෙ තෙමේ එය එළවන්නේ නම්, ඔහුට නො හැක්කේ නම්, හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟුවෙන් එළවන්නේ නම්, ඒ හේතුවෙන් කතා නො කරන්නේ නම්, මෙසේ අපි සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු. ආහාරයෙන් ක්ලාන්ත නො වන්නෙමු’ යි. මේ සිත් උපන.”
13. “ඉක්බිති ස්වාමීනි, අපි උනුන් කතා නො කෙළෙමු. වදන් පිළිවදන් වසයෙන් කතා නො කෙළෙමු. යමෙක් ගමෙහි පිඬු පිණිස හැසිර පළමු කොට පෙරළා ඒ ද, හෙ තෙමේ අසුන් පණවයි. පා දෝනා දිය පාපුටුව පා පුවරුව එළවයි. ඉඳුල් ලන බඳුන සෝදා එළවයි. පැන් පිරිබෝදිය එළවයි. යමෙක් ගමෙහි පිඬු පිණිස හැසිර පසු ව පෙරළා ඒ නම්, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වේ ද, කැමැත්තේ නම්, එය වළඳයි නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක හෝ දමයි. සතුන් නැති දියෙහි හෝ පා කොට හරියි. හෙ තෙමේ අසුන් ඔසොවා තබයි. පාදෝනා දිය පාපුටුව පාපුවරුව තැන් පත් කරයි. ඉඳුල් ලන බඳුන සෝදා තැන් පත් කරයි. පැන් (කළය) පරිභෝග කට යුතු දිය (සැළ) තැන්පත් කරයි. බොජුන්හල හමදියි. යමෙක් සිස් වූ පැන් කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය දක්නේද ද හෙ තෙමේ (එය) එළවයි. ඔහුට නො හැක්කේ නම්, හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟුවෙන් එළවයි. ඒ හේතුවෙන් කතා නො කරන්නේ ය. ස්වාමීනි, මෙසේ අපි සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් විසීමු. ආහාරයෙන් ද ක්ලාන්ත නො වීමු” යි (සැළකළහ).
14. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මේ සිස් පුරුෂයෝ නො පහසුවෙන් ම විසුවෝ ‘පහසුවෙන් විසුම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්. මහණෙනි, මේ හිස්පුරුෂයෝ සිවුපාවන්ගේ එක් ව විසීම වැන්නක් ම කළෝ ‘පහසුවෙන් ම විසූම්හ ‘යි ප්‍රතිඥා කෙරෙත්. මහණෙනි, මේ හිස්පුරුෂයෝ එළුවන්ගේ එක් ව විසීම වැන්නක් ම කළාහු ‘පහසුවෙන් ම විසූම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්. මහණෙනි, මේ හිස් පුරුෂයෝ සතුරන්ගේ එක් ව විසීම වැන්නක් ම කළෝ ‘පහසුවෙන් ම විසූම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්. මහණෙනි, කෙසේ නම් මේ හිස්පුරුෂයෝ ගොළුවතක් වූ තීර්‍ත්‍ථකයන්ගේ සමාදානයක් සමාදන් ව ගත්තාහු ද? මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස –පෙ– නො වේයැ” යි ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ගොළුවතක් වූ තීර්‍ත්‍ථකසමාදානය නො සමාදන් විය යුතු ය. යමෙක් සමාදන් වන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. “මහණෙනි, වස් වැස නිම කළ භික්‍ෂූන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුණින් පවරන්නට හෙවත් දුටු හෝ ඇසූ හෝ සැක කළ හෝ තමාගේ දෝෂයන් කියන්නට භික්‍ෂූන් කැමති කරවා ගැණිමට අනුදනිමි. ඒ පැවරීම තොපට උනුන්ගේ අනුලොම්බව ද ඇවතින් නැගී සිටීම ද විනය පෙරටු කොට ගත් බව ද වන්නේ ය. මහණෙනි, මෙසේ පැවරිය යුතුය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:–
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. අද පවාරණය යි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පවරන්නේ ය” යි.
15. ස්ථවිර භික්‍ෂූනම විසින් උතුරුසඟ සිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ඇවැත්නි, සඞ්ඝයාට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ කියන්නට පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි” යි මෙසේ සඞ්ඝ තෙමේ කිය යුතු වන්නේ ය. “ඇවැත්නි, දෙවනු ද සඞ්ඝයාහට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ (කියන්නට) පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි. ඇවැත්නි, තෙවනු ද සඞ්ඝයාහට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ (කියන්නට) පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි” යි.
16. නවක භික්‍ෂූනම විසින් උතුරුසඟ සිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “ස්වාමීනි, සඞ්ඝයාහට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ කියන්නට පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි. ස්වාමීනි, දෙවනු ද සඞ්ඝයාහට –පෙ– ස්වාමීනි, තෙවනු ද සඞ්ඝයා හට (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ කියන්නට පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දොස් දක්නෙම් පිළියම් කරන්නෙමි” යි.
17. එකල්හි සවග මහණෝ උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවරණ කල්හි අසුන්හි හිඳිත්. යම් ඒ භික්‍ෂූහු ආශා රහිත වෙත් ද, ඒ භික්‍ෂූහු “සවග මහණෝ කෙසේ නම් උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවරණ කල්හි අසුන්වල හිඳිත් ද?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
18. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සවග මහණෝ උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවරණ කල්හි අසුන්වල හිඳිත් ල යනු සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.“
භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවරණ කල්හි අසුන්වල හිඳිත් ද?” යි ගැරහූ සේක.
19. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස –පෙ– නො වේ” යි ගරහා දැහැමි කතා කොට “මහණෙනි, උත්කුටුකයෙන් හුන් ස්ථවිර භික්‍ෂූන් පවාරණය කරණ කල්හි අසුන්වල නො හිඳිය යුතු ය. යමෙක් හිඳින්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, උත්කුටුකයෙන් හුන් සියලු දෙනා විසින් ම පවරන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
20. එකල්හි ජරායෙන් දුර්‍වල වූ එක්තරා තෙර නමක් සියල්ලෝ යම් තාක් කල් පවරත් ද, ඒ තාක් කල් බලාපොරොත්තු වෙමින් උත්කුටුකයෙන් හුන්නේ මුසපත් ව වැටුනේ ය.
21. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් තාක් කල් (තෙමේ) පවරා ද, ඒ අතර උත්කුටුකයෙන් හිඳින්නට, පවාරණය කොට අසුනෙහි හිඳින්නට අනුදනිමි”.
22. ඉක්බිති භික්‍ෂූන්ට “පවාරණයෝ කෙතෙක් දැ?” යි මේ අදහස වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, චාතුද්දසික ය, පණ්ණරසික යැ” යි මේ පවාරණ දෙකෙකි. මහණෙනි, මේ පවාරණ දෙක ය”.
23. එකල්හි භික්‍ෂූන්ට “පවාරණකර්‍මයෝ කෙතෙක් දැ?” යි යන මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ පවාරණකර්‍මය, අධර්‍මයෙන් සමග්‍ර වූ පවාරණකර්‍මය, ධර්‍මයෙන් ව්‍යග්‍ර වූ පවාරණ කර්‍මය, ධර්‍මයෙන් සමග්‍ර වූ පවාරණකර්‍මයැ යි මේ පවාරණකර්‍ම සතරෙකි. “
24. “මහණෙනි, ඔවුන් අතුරෙහි යම් මේ අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ පවාරණකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ පවාරණකර්‍මය නො කට යුතු ය. මා විසින් එබඳු වූ පවාරණකර්‍මයෙක් නො ද අනුදන්නා ලද්දේ ය.”
25. “මහණෙනි, ඔවුන් අතුරෙහි යම් ඒ අධර්‍මයෙන් සමග්‍ර වූ පවාරණකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ පවාරණකර්‍මය නො කට යුතු ය. එබඳු වූ පවාරණකර්‍මයෙක් මා විසින් නො ද අනුදන්නා ලද්දේ ය.”
26. “මහණෙනි, ඔවුන් අතුරෙහි යම් ඒ ධර්‍මයෙන් ව්‍යග්‍ර වූ පවාරණකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ පවාරණකර්‍මය නො කට යුතු ය. මා විසින් එබඳු පවාරණකර්‍මයෙක් නො ද අනුදන්නා ලද්දේ ය.”
27. “මහණෙනි, ඔවුන් අතුරෙහි යම් ඒ ධර්‍මයෙන් සමග්‍ර වූ පවාරණකර්‍මයෙක් වේ ද, මහණෙනි, එබඳු වූ පවාරණකර්‍මය කටයුතු ය. මා විසින් පණවන ලද්දේ ද එබඳු වූ පවාරණකර්‍මයෙකි.”
28. “මහණෙනි, එහෙයින් මෙහි ධර්‍මයෙන් සමගි වූ යම් පවාරණකර්‍මයෙක් වේ ද, එබඳු වූ පවාරණකර්‍මය කරන්නෙමු යි, මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු ම ය.”
29. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, සඞ්ඝ තෙමේ පවරන්නේ ය. (එහෙයින්) රැස් වවු” යි භික්‍ෂූන් ඇමතූ සේක.