5. කෙතෙක් කර්‍ම, පාතිමොක්ඛුද්දෙසය, වැදිබිය, සැකෙවින් පාමොක් නො උදෙසීම, බණ දෙසීම, විනය පිළිවිසීම, තර්‍ජනය.
6. අවකාශ කළ කල්හි චෝදනා කිරීම, අධර්‍මකර්‍ම විරෝධය, දෘෂ්ටිය ප්‍රකාශ කිරීම, එකලා මහණහුගේ අධිෂ්ඨානය, දැන දැන පාමොක් නො ඇස්වීම, ව්‍යායාමය.
7. ගිහියන් සිටි පිරිසෙහි පාමොක් නොඋදෙසීම, ඇරයුම් නැති ව පාමොක් උදෙසීම, චෝදනාවත්‍ථුයෙහි විසූ තෙරනමක් උපෝසථාදිය නො දැනීම, බොහෝ භික්‍ෂූන් උපෝසථාදිය නොදැනීම, එකෙණෙහි එක් භික්‍ෂුනමකට අණ කිරීම, නවකයන් නොයෑම.
8. කිනම් දිනයක් දැ යි පිළිවිසීම, ගණන විචාරීම, දුර යන කල්හි සැළකිරීම අමතක වීම, පොහෝගෙය කසළ සහිත වීම, අසුන් නො පැණවීම, පහන් නො දැල්වීම, දිශා යන කල ඇදුරන් නො පිළිවිසීම, අන්‍ය බහුශ්‍රුත භික්‍ෂුනමකගේ පැමිණීම
9. සමීප ආවාසයකට එක් නමක් යැවීම, වස් විසූ පැවිද්දන් පොහොය කිරීම, පාරිශුද්ධිය ගෙණ පොහොය කිරීම, ඡන්‍දය ගෙණ කර්‍ම කිරීම, නෑයන් භික්‍ෂූහු අල්ලා ගත් කල කර්‍ම කිරීම, ගර්‍ග භික්‍ෂුනම, සිවුනමට පාමොක් උදෙසීම, තුන් නම ඤත්තිය තබා පාරිසුද්ධිඋපෝසථය කිරීම, දෙනම පිළිබඳ පාරිසුද්ධිඋපෝසථය, එක් නම පිළිබඳ අධිට්ඨානඋපෝසථය, ආපත්තියට පැමිණීම, සභාගාපත්තින් දෙසීම හා පිළිගැණීම, ඇවැත් සිහි කිරීම.
10. සියලු සඞ්ඝයාගේ සභාග ඇවැතෙහි විමතිය, නො දැනීම, බහුශ්‍රුත භික්‍ෂුනමකගේ වචනය පරිදි ඇවැතට පිළියම් කිරීම, බොහෝ භික්‍ෂූන්ගේ පැමිණීම, ගණනින් සමාන භික්‍ෂු පිරිසක් පැමිණීම, ටික පිරිසක් පැමිණීම, පිරිස නො නැගිටි කල්හි පැමිණීම.
11. කොටසක් නැගී සිටි කල පැමිණීම, සියලු පිරිස නැගී සිටි කල පැමිණීම, වර්‍ගය යි දැන පොහොය කිරීම, වෙමතික ව පොහොය කිරීම, කැප ද නො කැප දැ යි කුකුස් කිරීම, තවත් භික්‍ෂූන් ඇතැ යි දැන කිරීම, දැක කිරීම, අසා කිරීම.
12. ආවාසිකයන් හා ආගන්තුකයෝ, ආවාසිකයන්ට චාතුද්දසිය, ආගන්තුකයන්ට පණ්ණරසිය, ආවාසිකයන්ට පණ්ණරසිය, ආගන්තුකයන්ට චාතුද්දසිය, ආවාසිකයන්ට පණ්ණරසිය, ආගන්තුකයන්ට පෑළවිය, ආවාසිකයන්ට පෑළවිය, ආගන්තුකයන්ට පණ්ණරසිය, ආවාසිකලිඞ්ගාදිය, නානාසංවාසක, සමානසංවාසක යන උභයසංවාසකයෝ.
13. පාරිවාසිකපාරිසුද්ධිඋපෝසථය, සඞ්ඝසාමග්ගිය හැර නො පොහෝ දිනයෙහි පොහොය නො කිරීම – යන වස්තු ප්‍රකාශ කිරීමට කරුණු වූ මේ උද්දානයෝ බෙදන ලදහ.
3.
වස්සූපනායිකක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ට බොජුන් දුන් බිම වූ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට වස් විසීම නො පණවන ලද්දේ වේ.
3. එකල්හි ඒ භික්‍ෂූහු හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද සැරිසරත්.
4. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් (පාගමින්) ඒකින්‍ද්‍රිය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු ද වස් විසීමෙහි ඇලෙත් උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (ඒ කූඩුවල) ඇලී වසන්නෝ ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නෝ ය. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත්” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
5. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ.
6. එවිට භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
7. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූසේක.
8. එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?” යි සිත් වි ය.
9. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.
10. එකල්හි “වස් එළඹීම් කෙතෙක් දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය.
11. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැ යි මේ වස් එළඹීම් දෙකෙකි. ඇසළ පුණු පොහොය අනික් දිනට ගිය කල්හි ඇසළ පුණු පොහෝදිනයෙන් පසුදිනයෙහි – අවපෑළවියෙහි – පෙරවස් එළඹිය යුතු ය, ඇසළ පුණුපොහොයෙන් මසක් ඉක්ම ගිය කල්හි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක” යි.
12. එකල්හි සවග මහණෝ වස් එළඹ වස් තුළ චාරිකාව කරත්.
13. මිනිස්සු පෙර මෙන් “ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කෙසේ නම් චාරිකාවෙහි හැසිරෙත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ වැරදි සේ කියූ ධර්‍ම ඇත්තාහු වස් විසීමෙහි ඇලෙන්නාහු ය. උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (කූඩුවල) ඇලී වසන්නාහු ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නාහු ය. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාව කෙරෙත්” යි අවමන් කෙරෙත්, නින්‍දා කෙරෙත්, දොස් කියත්.
14. භික්‍ෂූහු අවමන් කරණ, අගුණ පතුරුවන, දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවග මහණෝ කෙසේ නම් වස් එළඹ වස තුළ චාරිකාව කරත් දැයි දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
15. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ.
16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය. යමෙක් චාරිකා කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැ” යි භික්‍ෂූන් අමතා වදාළසේක.
17. එකල්හි සවග මහණෝ වස් එළඹෙන්නට නො කැමැති වෙති.
18. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”
19. එකල්හි සවග මහණෝ එදවස වස් එළඹෙන දිනයෙහි වස් නො එළඹෙනු කැමැත්තෝ දැන දැන ආවාසය ඉක්මවා යෙත්.
20. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, එදවස වස් එළඹෙන දිනයෙහි වස් නො එළඹෙනු කැමැත්තහු විසින් දැන දැන ආවාසය නො ඉක්මවිය යුතු ය. යමෙක් ඉක්මවන්නේ නම්, දුකුළාඇවැත් වේ”
21. එකල්හි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ වස් මුලට අදිනු කැමැත්තේ “ආර්‍ය්‍යයෝ ලබන පුර පසළොස්වක් තිථියෙහි වස් එළඹෙන්නාහු නම් යෙහෙකැ” යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවී ය.
22. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, රජුන්ට එකඟ ව පවතින්නට අනුදනිමි” යි වදාළසේක.
23. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වාසය කොට සැවැත්නුවර සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරණ සේක් සැවැත් නුවරට පැමිණියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක.
24. එකල්හි කොසොල්දනව්වෙහි උදේන නම් උපාසකයා විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ.
25. හෙ තෙමේ “පින්වතුන් වහන්සේ වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි” යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවී ය.
26. භික්‍ෂූහු, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය යි පණවන ලද්දේ ය, (එහෙයින්) උදේන උපාසක තෙමේ යම් තාක් භික්‍ෂූහු වස් වෙසෙත් ද, ඒ තාක් බලාපොරොත්තු වේවා. වස් පැවරූවෝ (වස් වැස පවරා නිමවූවෝ) එන්නාහ. යම් ලෙසකින් ඉක්මනින් කළ යුතු කටයුත්තෙක් වන්නේ නම්, එහි ම ආවාසික භික්‍ෂූන්ගේ වෙත විහාරය පිහිටුවාවා” යි කීහ.
27. උදේන උපාසක තෙමේ “පින්වතුන් වහන්සේ මා පණිවිඩ එවූ කල්හි කෙසේ නම් නො එත් ද? මම දායකයෙක් වෙමි. කටයුතු කරන්නෙක් වෙමි. සඞ්ඝෝපස්ථායකයෙක් වෙමි” යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.
28. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන උදේන උපාසකයාගේ කතාව ඇසූහ.
29. එකල්හි භික්‍ෂූහු මේ වග භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන් වෙතට සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. මහණෙනි, මහණ මෙහෙණ හික්මෙන්නිය හෙරණ හෙරණි උපාසක උපාසිකා යන මේ සත් දෙනා වෙතට පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. සතියෙන් ආ පසු ඊම කට යුතු ය.”
30. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ඉදින් “පින්වතුන් වහන්සේලා වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය, සතියෙන් ආපසු ඊම කළ යුතු ය.”
31. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් සඞ්ඝයා උදෙසා ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දේ වේ. –පෙ– පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටු ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– උපස්ථාන ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නි ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– කැප කිළියක් කරවන ලද්දේ වේ. –පෙ– වැසි කිළියක් කරවන ලද්දේ වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දේ වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින් හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙත දූතයකු එවන්නේ නම් මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියකින් ආපසු ඊම කළ යුතු ය.”
32. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් භික්‍ෂුවක් උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩසෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැප කිළියක් කරවන ලද්දේ වේ. වැසිකිළියක් කරවන ලද්දේ වේ. සක්මනක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දේ වේ. ලින් හලක් කරවන ලද්දේ වේ. ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට බණ අසන්නට භික්‍ෂූන් දකින්නට කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
33. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් මෙහෙණි සඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා – පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩ සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දේ වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැපකිළියක් කරවන ලද්දේ වේ. සක්මනක් කරවන ලද්දී වේ. චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින් හලක් කරවන ලද්දේ වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දී වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආපසු ඊම කළ යුතු ය.
34. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් තමන් පිණිස ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– නිදන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– බඩු තබන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– මුරගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– එක කැණිමඬලෙන් යුත් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සල්පිලක් කරවන ලද්දේ වේ. –පෙ– සල්පිල්හලක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දී වේ. –පෙ– පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටු ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නිශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– මුළුතැන්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– වැසිකිළියක් කරවන ලද්දී වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින්හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර සාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. –පෙ– පුතකුගේ ආවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– දුවකගේ විවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– ගිලන් වූයේ හෝ වේ. –පෙ– ප්‍රසිද්ධ වූ සූත්‍රධර්‍මයක් හෝ කියයි. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මේ සූත්‍ර ධර්‍මය යම් තාක් නො නැසේ ද, ඊට පෙර මේ සුත්‍රධර්‍මය පුහුණු කරන්නාහු’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නේ ද, ඔහුගේ අන් කිසක් හෝ කටයුත්තක් හෝ වේ ද, (එකල) හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
35. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ඉදින් ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩින සේක් වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට, දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
36. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් සඞ්ඝයා උදෙසා අඩ සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථාන ශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැපකිළියක් කරවන ලද්දී වේ. වැසිකිළියක් කරවන ලද්දී වේ. සක්මනක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින්හලක් කරවන ලද්දේ වේ. ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාමවත්තක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩිනසේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.
37. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් භික්‍ෂුනමක් උදෙසා –පෙ– මෙහෙණසඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා –පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා –පෙ– තමන් පිණිස ගෙයක් කරවන ලද්දේ වේ. නිදන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– බඩු තබන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– මුරගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– එක් කැණිමඬලින් යුත් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– කඩ පිලක් කරවන ලද්දේ වේ. කඩපිල්හලක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දී වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නිශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– මුළුතැන්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– වැසිකිළියක් කරවන ලද්දී වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින්හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. –පෙ– පුතකුගේ ආවාහ මඟුලෙක් වේ. –පෙ– දුවකගේ විවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– ගිලන් වූවා හෝ වේ. –පෙ– ප්‍රසිද්ධ වූ සූත්‍ර ධර්‍මයක් හෝ කියයි. –පෙ– ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩිනසේක්වා. මේ සූත්‍ර ධර්‍මය යම් තාක් පලුදු වේ ද, ඊට පෙර මේ සූත්‍ර ධර්‍මය පුහුණු කරන්නාහු’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නී ද, ඈ පිළිබඳ කළයුතු එක්තරා කටයුත්තෙක් හෝ වේ ද, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවත ඊම කළ යුතු ය.”
38. “මහණෙනි, මෙහි මහණකු විසින් සඞ්ඝයා උදෙසා –පෙ– මෙහෙණක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හික්මෙන්නියක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හෙරණකු විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හෙරණියක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් මහණකු උදෙසා –පෙ– මෙහෙණ සඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා –පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා –පෙ– තමන් පිණිස විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩසෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැප කිළියක් කරවන ලද්දී වේ. සක්මනෙක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින්හලක් කරවන ලද්දේ වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයක් කරවන ලද්දේ වේ. ආරාමයක් කරවන ලද්දේ වේ. ආරාමවත්තක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවත ඊම කළ යුතුය.”
39. එකල්හි වනාහි එක්තරා මහණෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙතෙමේ “මම ගිලන් වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යැවූයේ ය.
40. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ. “මහණෙනි, මහණෙක මෙහෙණක හික්මෙන්නියක හෙරණෙක හෙරණියක යන පස් දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණීයයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? මහණෙනි, මේ පස්දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණීයයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
41. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා බත් හෝ සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. සුවදුක් හෝ විචාරන්නෙමි. උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
42. “මහණෙනි, මෙහි මහණෙකුහට සසුන්හි කළකිරීමෙක් උපන්නේ වේ. හෙ තෙමේ ‘මට කළකිරීමෙක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා, භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කළකිරීම බැහැර කරන්නෙමි හෝ බැහැර කරවන්නෙමි. ඔහුට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
43. “මහණෙනි, මෙහි මහණෙකුහට කුකුසෙක් උපන්නේ වේ. හෙ තෙමේ “මට කුකුසෙක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන් ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කුකුස දුරු කරන්නෙමි යි හෝ, දුරු කරවාලන්නෙමි යි හෝ, මොහුට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
44. “මහණෙනි, මෙහි මහණෙකුහට මිසදිටුවක් උපන්නේ වේ. හෙ තෙමේ ‘මට මිසදිටුවක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘මිසදිටුව බැහැර කරන්නෙමි යි හෝ, බැහැර කරවන්නෙමි යි හෝ, මොහුට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
45. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ. හෙ තෙමේ ‘මම ගරු ඇවැතට පැමිණි යේ පිරිවෙසට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘පිරිවෙස් දීම ඉක්මන් කරන්නෙමි යි හෝ (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යායුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
46. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මූලායපටිකස්සන’ නම් විනයකර්‍මයට සුදුසු වූයේ වේ. හෙතෙමේ ‘මම ‘මූලායපටිකස්සන’ විනයකර්‍මයට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා, භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘මූලායපටිකස්සනකර්‍මය’ ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය.”
47. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මානතට සුදුසු වේ. හෙ තෙමේ “මම මානතට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මානත දීම ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
48. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ අබ්භානයට සුදුසු වූයේ වේ. හෙ තෙමේ ‘මම අබ්භානයට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘අබ්භානය දීම ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
49. “මහණෙනි, මෙහි මහණෙකුහට සඞ්ඝ තෙමේ තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණු කැමැත්තේ වේ. හෙතෙමේ ‘සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කරණු කැමැත්තේ වේ. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘සඞ්ඝ තෙමේ කෙසේ නම් කර්‍ම නො ම කරන්නේ ද? කර්‍මය සැහැල්ලු බවට හෝ පෙරළන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”
50. “මොහුට සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ. හෙ තෙමේ “සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කෙළේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කෙසේ නම් මනා කොට පවතින්නේ ද? මහණුන්ට අනුලොම් ව පවතින්නේ ද? කර්‍මයෙන් නිදහස් වන සේ පවතින්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේද? සතියෙන් නැවැතිය යුතු ය.”
51. “මහණෙනි, මෙහි මෙහෙණක් ගිලන් වූවා වේ. ඕ තොමෝ “මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ, බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතුය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
52. “මහණෙනි, මෙහි මෙහෙණකට කළකිරීමක් වේ. ඕ තොමෝ ‘මට කළකිරීමක් උපන. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කළකිරීම සංසිඳුවන්නෙමි යි හෝ, සංසිඳුවා ලන්නෙමි යි හෝ, මෑට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනුම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
53. “මහණෙනි, මෙහි මෙහෙණකට කුකුසෙක් උපන්නේ වේ. ඕ තොමෝ ‘මට කුකුසෙක් උපන්නේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, ‘මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කුකුස දුරු කරන්නෙමි’ යි හෝ, දුරු කරවන්නෙමි යි හෝ, මෑට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
54. “මහණෙනි, මෙහි මෙහෙණකට මිසදිටුවක් උපන්නේ වේ. ඕ තොමෝ ‘මට මිසදිටුවක් උපන්නේ ය. පින්වතුන් වහන්සේලා එත්වා, පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මිසදිටුව බැහැර කරන්නෙමි යි හෝ, බැහැර කරවන්නෙමි යි හෝ, මෑට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
55. “මහණෙනි, මෙහි මෙහෙණක් ගරු ඇවැතට පැමිණියා මානතට සුදුසු වූවා වේ. ඕ තොමෝ “මම ගරු ඇවතට පැමිණියා මානතට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා, පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මානත දීම ඉක්මන් කරන්නෙමි යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
56. “මහණෙනි, මෙහි මෙහෙණක් මූලායපටිකස්සනකර්‍මයට සුදුසු වූවා වේ. ඕ තොමෝ ‘මම මූලායපටිකස්සනකර්‍මයට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මූලායපටිකස්සනකර්‍මය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
57. “මහණෙනි, මෙහි මෙහෙණක් අබ්භානයට සුදුසු වූවා වේ. ඕ තොමෝ “මම අබ්භානයට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවුඩ නො එවූ කල්හි ද ‘අබ්භානය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.
58. “මහණෙනි, මෙහි මෙහෙණකට සඞ්ඝ තෙමේ තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණු කැමැත්තේ වේ. ඕ තොමෝ ‘සඞ්ඝතෙමේ මට කර්‍මයක් කරණු කැමැත්තේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘සඞ්ඝ තෙමේ කෙසේ නම් කර්‍ම නො කරන්නේ ද කර්‍මය සැහැල්ලු කිරීම පිණිස හෝ පෙරළන්නේ දැයි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
59. “මෑට සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ. ඕ තොමෝ ‘සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කෙළේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි”යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කෙසේ නම් මනා කොට පවත්නේ ද? මහණුන්ට අනුලොම් ව පවත්නේ ද? කර්‍මයෙන් නිදහස් වන සේ පවත්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
60. “මහණෙනි, මෙහි හික්මෙන්නියක් තොමෝ ගිලන් වූවා වෙයි. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයා සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන්බෙහෙත් හෝ සොයන්නෙමි. සුවදුක් හෝ විචාරන්නෙමි’ උවැටන් හෝ කරන්නෙමි’යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
61. “මහණෙනි, මෙහි හික්මෙන්නියකට කළකිරීමක් වේ. –පෙ– හික්මෙන්නියකට කුකුසෙක් උපන්නේ වේ. –පෙ– හික්මෙන්නියකට මිසදිටුවක් උපන්නේ වේ. –පෙ– හික්මෙන්නියකගේ ශික්‍ෂා තොමෝ කිපියා වේ. ඕ තොමෝ ‘මාගේ ශික්‍ෂා තොමෝ කිපියා ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ශික්‍ෂාසමාදානය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
62. ‘මහණෙනි, මෙහි හික්මෙන්නියක් තොමෝ ‘මම උපසපන් වනු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘උපසම්පදාව ඉක්මන් කරන්නෙමි යි හෝ, (කම්වදන්) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
63. “මහණෙනි, මෙහි සාමණේරයෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
64. “මහණෙනි, මෙහි හෙරණකුට කළකිරීමක් වේ. –පෙ– හෙරණකුහට කුකුසෙක් වේ. –පෙ– හෙරණකුහට මිසදිටුවක් වේ. –පෙ– හෙරණෙක් තෙමේ වස් විචාරණු කැමැත්තේ වේ. හෙ තෙමේ ‘මම වස් විචාරණු කැමැත්තේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන් ගේ ඊම කැමැත්තෙමි”යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘විචාරන්නෙමි යි හෝ කියන්නෙමි” යි හෝ සත්තාහකරණියයෙන් යායුතුය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය”
65. “මහණෙනි, මෙහි හෙරණෙක් තෙමේ උපසපන් වනු කැමැත්තේ වේ. හෙ තෙමේ ‘මම උපසපන් වනු කැමැත්තේ වෙමි. භික්‍ෂූහු එත්වා භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘උපසම්පදාව ඉක්මන් කරන්නෙමි යි හෝ, (කම්වදන්) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.
66. මහණෙනි, මෙහි මෙ හෙරණක් තොමෝ ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන්බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය.
67. “මහණෙනි, මෙහි සාමණේරියකට කළකිරීමක් වේ. –පෙ– සාමණේරියකට කුකුසක් වේ. සාමණේරියකට මිසදිටුවක් වේ. –පෙ– සාමණේරියක් තොමෝ වස් විචාරණු කැමැත්තී වේ. ඕ තොමෝ ‘මම වස් විචාරණු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘විචාරන්නෙමි යි හෝ, කියන්නෙමි’යි හෝ සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
68. “මහණෙනි, මෙහි සාමණේරියක් තොමෝ ශික්‍ෂාසමාදානය කැමැත්තී වේ. ඕ තොමෝ “මම ශික්‍ෂා සමාදන් වනු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ශික්‍ෂාසමාදානය ඉක්මන් කරන්නෙමි’යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”
69. එකල්හි එක්තරා මහණකුගේ මවු තොමෝ ගිලන් වූවා වේ. ඕ තොමෝ “මම ගිලන් වූවා වෙමි. මාගේ පුත්‍රතෙමේ ඒවා. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි” යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යැවූ ය.
70. එකල්හි ඒ භික්‍ෂූහුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන්ගේ සමීපයට සත්තාහකරණියයෙන් යන්ටත් පණිවිඩ නො එවූ කල්හි ද පස් දෙනකුන්ගේ සමීපයට යන්ටත් පණවන ලද්දේය. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? මාගේ මේ මවු තොමෝ ගිලන් වූවා ය. ඕ තොමෝත් උපාසිකාවක් නො වූවා ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි මෙබඳු සිතෙක් උපන.
71. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද සත් දෙනකුන්ගේ සමීපයට සත්තාහකරණියයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? මහණ මෙහෙණ හික්මෙන්නිය සාමණේරය සාමණෙරිය මවු පියා යන මේ සත් දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණියයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? සතියෙන් නැවැතිය යුතු ය.”
72. “මහණෙනි, මෙහි මහණකුගේ මවු ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. මාගේ පුත්‍ර තෙමේ ඒවා, පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි’ යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. විචාරන්නෙමි යි හෝ උවැටන් කරන්නෙමි’ යි හෝ සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? සතියෙන් නැවැතිය යුතු ය.”
73. “මහණෙනි, මෙහි මහණකුගේ පියා ගිලන් වූයේ වේ. හෙතෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. මාගේ පුත්‍ර තෙමේ ඒවා. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි, යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා බත් හෝ සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. විචාරන්නෙමි යි හෝ උවැටන් හෝ කරන්නෙමි යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු කිම? සතියෙන් නැවතිය යුතු ය.”
74. “මහණෙනි, මෙහි මහණකුගේ බෑයෙක් ගිලන් වූයේ වේ. හෙතෙමේ “මම ගිලන් වූයේ වෙමි මාගේ භ්‍රාතෘ තෙමේ ඒවා. බෑයාගේ ඊම කැමැත්තෙමි’ යි බෑයාගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
75. “මහණෙනි, මෙහි මහණකුගේ බුහුනක් ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. මාගේ භ්‍රාතෘ තෙමේ ඒවා. භ්‍රාතෘගේ ඊම කැමැත්තෙමි’යි බෑයාගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
76. “මහණෙනි, මෙහි මහණකුගේ නෑයෙක් ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. පින්වතුන් වහන්සේ වඩින සේක්වා. පින්වතුන් වහන්සේගේ ඊම කැමැත්තෙමි’යි මහණකුගේ සමීපයට දූතයකු යවන්නේ නම්, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
77. “මහණෙනි, මෙහි භික්‍ෂූන්ගේ මෙහෙකරුවෙක් ගිලන් වූයේ වේ. හෙතෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”
78. එකල්හි සඞ්ඝයාගේ මහාවිහාරයක් නැසී යයි. එක්තරාඋපාසකයකු විසින් වනයෙහි දැවබඩු සිඳවන ලද්දේ වේ. හෙ තෙමේ “පින්වතුන් වහන්සේලා ඒ බඩු අදවා (ගෙන්වා) ගන්නාහු නම්, මම ඒ බඩු පින්වතුන් වහන්සේලාට දෙමි” යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යැවී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා පිළිබඳ කටයුතු නිසා යන්ට අනුදනිමි. සතියෙන් නැවතිය යුතු ය.”
වස්සාවාසභාණවාරය නිමි.
1. එකල්හි කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂුහු චණ්ඩවනමෘගයන් විසින් පෙළන ලද්දාහු වෙති. අල්වා ද ගත්හ. මරා ද හෙළූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු චණ්ඩවනමෘගයන් විසින් පෙළන ලද්දාහු වෙත්. අල්වා ද ගණිත්. මරා ද හෙළත්. ‘මේ ම අන්තරාය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
2. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු සර්‍පයන් විසින් පෙළන ලද්දාහු වෙත්. ඩැසීම ද කෙරෙත්. මරා ද හෙළත්. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
3 “මහණෙනි, මෙහි එළැඹි භික්‍ෂුහු සොරුන් විසින් පෙළන ලද්දාහු වෙත්. අල්ලා ගණිත්. ආයුධ වලින් පහර ද දෙත් ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
4. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු පිශාචයන් විසින් පෙළන ලද්දාහු වෙත්. ආවිෂ්ට ද වෙත්. ශරීරඕජාව ද ගණිත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
5. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම ගින්නෙන් දැවුනේ වේ. භික්‍ෂූහු ආහාරයෙන් ක්ලාන්ත වෙති. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
6. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ සෙනසුන් ගින්නෙන් දැවුනේ වේ. භික්‍ෂූහු සෙනසුනෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය’යයි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
7. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම ජලයෙන් යට වි ය. භික්‍ෂූහු ආහාරයෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය’ යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
8. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ සෙනසුන ජලයෙන් යට වි ය. භික්‍ෂූහු සෙනසුනෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”
9. එකල්හි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම සොරුන් විසින් නගා හරිණ ලද්දේ ය. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගම පිහිටි තැනට යන්ට අනුදනිමි”. ගම දෙකට බිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඉතා බොහෝ ගණනක් ගම් වැස්සන් ඇති තැනට යන්නට අනුදනිමි” ඉතා බොහෝ දෙනෙක් ශ්‍රද්ධා නැත්තෝ නො පහන් වූවෝ වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැදැහැති පහන් මිනිසුන් ඇති තැනට යන්නට අනුදනිමි”.
10. එකල්හි කොසොල්දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලැබූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”