Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 401-500 න් 3843

ඇවැත නොදැක්මෙහි උකෙව්නීකම්හි සන්හිඳුවියයුතු තෙසාළිස නිමියේ ය.
[සන්හිඳුවීම]
1. මහණෙනි, මෙසේ සන්හිඳුවිය යුතු: මහණෙනි, ඒ ඡන්න මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩිමහලු මහණුන් පා වැඳ උත්කුටුක ව හිඳ දොහොත් මුදුන් තබා මෙසේ කියැ යුතු:
“වහන්ස, මම් ඇවැත නොදැක්මෙහි සඞ්ඝයා විසින් උකෙව්නිකම් කරණ ලදුයෙම් මනා ව පවතිමි. අනුලොම් ව පවතිමි, නිස්තරණ වත් අනුව පවතිමි. ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම්හි සන්හිඳුවීම යදිමි”යි. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු.
ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස අසාවා: මේ ඡන්න මහණ සඞ්ඝයා විසින් ඇවැත නොදැක්මෙහි උකෙව්නීකම් කරණ ලදුයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත අනුව පවතී. ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවීම යදී. ඉදින් සඟහට පැමිණි කල් ඇත්තේ වී නම් සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවන්නේ ය. මේ ඥප්තියයි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස අසාවා. මේ ඡන්න මහණ සඞ්ඝයා විසින් ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණ ලදුයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත අනුව පවතී. ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවීම යදී. සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවයි. ඡන්න මහණහට ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවීම යම් ආයුෂ්මතකුහට රුස්නේ ද, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුහට නොරුස්නේ ද, හේ කියවා:
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ තෙම සඞ්ඝයා විසින් ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් කරණ ලදුයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත අනුව පවතී. ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම්හි සන්හිඳුවීම යදි. සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත නොදැක්මෙහි කළ උකෙව්නිකම් සන්හිඳුවයි. යම් ආයුෂ්මතකුහට ඡන්න මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවීම රුස්නේ ද, හේ නිහඬ වන්නේ ය. යමක්හට නොරුස්නේ ද, හේ කියන්නේ ය.
සඞ්ඝයා විසින් ඡන්න මහණහුගේ ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි.
පස්වනු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් නිමියේ ය.
6. ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසොඹෑ නුවර නිසා ඝෝෂිතාරාමයෙහි වෙසෙන සේක. එ සමයෙහි ආයුෂ්මත් ඡන්න තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැති වෙයි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු “ආයුෂ්මත් ඡන්න තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට කෙසේ නම් නො කැමැත්තේ දැ”යි ලාමක කොට කියත්, නොගුණ පවසත්, නොගුණ පතුරවත්.
2. ඉක්බිත්තෙන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි මේ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා “මහණෙනි, සැබෑ ද? ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ දැ?” යි පුළුවුත් සේක. “සැබැව වහන්සැ”යි භික්‍ෂූහු කීහ.
3. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරැහූ සේක: “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරිස් තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට කැමැති නො වේ ද? මහණෙනි, මෙය සස්නෙහි නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ යැ”යි ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා මෙසේ වදාළ සේක:
4. මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සමාන සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරේවා. මහණෙනි, එය මෙසේ කළ යුතු: “පළමු කොට ඡන්න මහණ තෙම චුදිත කළ යුතු. චෝදනා කොට ඇවැත සිහි කැරැවිය යුතු. සිහි කරවා ඇවැත නැංවිය යුතු. ඇවැත නංවා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ ය. සඞ්ඝ තෙම ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරෙයි. ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට නො රිසියේ නම් හේ කියන්නේ ය.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි: සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැති වෙයි. සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරෙයි. ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
සඞ්ඝයා විසින් ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
මහණෙනි, “ඡන්න මහණ තෙම ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරණ ලදැ” යි ආවාසපරම්පරාවට ද (ආවාසයක් පාසා) දන්වවු”යී වදාළ සේක.
අධර්‍මකර්‍ම දොළොස
1. මහණෙනි, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය අඞ්ග තුණෙකින් සමන්‍විත වූයේ අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද දුරුපශාන්ත ද වෙයි: නොහමුයෙහි කරණ ලදුයේ වේ ද, නොපිළිවිස කරණ ලදුයේ වේ ද, නොපිළිණෙන් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද දුරුපශාන්ත ද වෙයි.
2. මහණෙනි, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය අන් තෙඅඟකින් ද සමන්‍විත වූයේ අධමකර්‍ම ද අවිනයකර්‍ම ද දුරුපශාන්ත ද වෙයි. නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දේශනාගාමිනී නො වන ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසන ලද ඇවැතෙහි කරණ ලදුයේ වේ ද ...
3. මහණෙනි, අන් තෙඅඟකින් ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, සිහි නොකරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නොනංවා කරණ ලද්දේ වේ ද ...
4. මහණෙනි, අන් තෙඅඟකින්ද ... නොහමුයෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
5. මහණෙනි, අන් තෙඅඟකින් ද ... නොපිළිවිස කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
6. මහණෙනි, අන් තෙඅඟකින් ද ... පිළිණ නොකොට කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
7. මහණෙනි, අන් තෙඅඟකින් ද ... නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, නොදැහැමෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලදුයේ වේ ද ...
8. මහණෙනි, අන් තෙඅඟකින් ද ... දේශනාගාමීනි නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
9. මහණෙනි, අන් තෙඅඟකින් ද ... දෙසන ලද ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමෙන් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
10. මහණෙනි, අන් තෙඅඟකින් ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
11. මහණෙනි, අන් තෙඅඟකින් ද ... ඇවැත සිහිපත් නොකරවා කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද ...
12. මහණෙනි, අන් තෙඅඟකින් ද ... ඇවැත නොනංවා කරණ ලද්දේ වේ ද, නොදැහැමෙන් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර ව කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුනින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද දුරුපශාන්ත ද වෙයි.
ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම්හි අධර්‍මකර්‍ම ද්වාදශකය නිමියේ ය.
ධර්‍මකර්‍මද්වාදශකය
1. මහණෙනි, අඞ්ග තුනෙකින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද සූපශාන්ත ද වෙයි: හමුයෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ කිරීමෙන් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද සූපශාන්ත ද වෙයි.
2. මහණෙනි, අන් තෙඅඟකිනුදු යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි කළ උකෙව්නිකම් ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද සූපශාන්ත ද වෙයි: ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දේශනාගාමීනි ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද ...
3. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද ...
4. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... හමුවෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
5. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... පිළිවිස කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
6. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... පිළිණෙන් කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
7. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
8. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... දේශනාගාමිනි ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
9. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
10. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
11. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... ඇවැත සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
12. මහණෙනි, අන්‍ය වූ ද තෙඅඟකින් ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුනින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් ධර්‍මකර්‍ම ද විනයකර්‍ම ද සූපශාන්ත ද වේ.
ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම්හි ධර්‍මකර්‍මද්වාදශකය නිමියේ ය.
1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ වේ ද කලහ කරන්නේ වේ ද විවාද කරන්නේ වේ ද වාක්කලහ කරන්නේ වේ ද සඞ්ඝයා හමුයෙහි අධිකරණ කරන්නේ වේ ද, අව්‍යක්ත වූ ඇවැත් බහුල කොට ඇත්තා වූ සීමාරහිත ඇවැත් ඇති බාලයෙක් වේ ද, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වසයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
2. අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි නටුවා වූ සිල් ඇත්තේ ද, උත්තම ආචාරයෙහි නටුවාවූ ආචාර ඇත්තේ ද, උතුම් වූ සම්‍යග්දෘෂ්ටියෙහි විපන්දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියයි ද, දමුරුවන්හි අයුණු කියයි ද, සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුතු මහණහට සංඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනෙකුට සංඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ වේ ද, කලහ කරන්නේ ද, විරුද්ධ වාද ඇති කරන්නේ ද, වාක් කලහ කරන්නේ ද, සංඝයා හමුවෙහි අධිකරණ කරන්නේ ද, එක් මහණෙක් බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ කෙළවරක් නැති ඇවැත් ඇත්තේ ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහිසංසර්‍ගයෙන් යුක්ත ව වෙසෙයි ද, –පෙ– මහණෙනි, මේ භික්‍ෂූන් තෙ නමට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
5. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තම ශීලයෙහි නටුවාවූ සිල් ඇත්තේ ද, උත්තමාචාරයෙහි නටුවාවූ ආචාර ඇත්තේ ද, උත්තම සම්‍යග්දෘෂ්ටියෙහි නටුවාවූ දිටු ඇත්තේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තෙ නමට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තෙ නමකට සඞ්ඝ තෙම කැමැති නම් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සඞ්ඝ තෙම කැමැති නම්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය.
ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මයෙහි ආකඞ්ඛමාන ඡක්කය නිමි.
තෙසාළිස්වත
1. මහණෙනි, ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මැනැවින් පැවැතිය යුතු යි. එහි මේ මනා ව පැවැත්ම ය: (උකෙව්නිකම් කරණු ලැබූ මහණහු විසින්) තමන් උපාද්ධ්‍යාය ව) උපසම්පදා නො කළ යුතු යි. නිස නොදිය යුතු යි. හෙරණකුගෙන් උවටැන් නොලැබිය යුතු යි. මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නොඉවසිය යුතු යි. සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නො දිය යුතු යි. යම් ඇවැතකින් සංඝයා විසින් ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ වේ ද ඒ ඇවැතට නොපැමිණිය යුතු යි. එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. විනයකර්‍මයට නොගැරගිය යුතු යි. කර්‍ම කළ භික්‍ෂූහු නො ගැරැහිය යුත්තාහ. පුවතත් මහණක්හුගේ අභිවාදනය, දැක හුනස්නෙන් නැගිටීම, අඤ්ජලිකර්‍මය, වෙනත් පවන් සැලීම් ආදි සාමීචිකර්‍ම, හිඳිනා ආසන එළවා තැබීම, හෝනා ශයන එළවා තැබීම, පාදොවුන් දිය තැබීම, සේදූ පා තබන පුටුව ගෙණ තැබීම – නොසේදූ පා තබන පුවරුව ගෙණ තැබීම, පාසිවුරු පිළිගැණීම, නානස්ථානයෙහි පිට පිරියම් කිරීම යන මේ උපහාර නො ඉවසිය යුතු යි. පුවතත් මහණහට සීලවිපත්තියෙන් චෝදනා නො කළ යුතු යි. ආචාරවිපත්තියෙන් චෝදනා නො කළ යුතු යි. දිට්ඨිවිපත්තියෙන් චෝදනා නො කළ යුතු යි. ආජීවවිපත්තියෙන් චෝදනා නො කළ යුතු යි. භික්‍ෂූන් භික්‍ෂූන් සමග භින්න නො කළ යුතු යි. ගිහීන්ගේ ලක්‍ෂණයක් වූ ශ්වේත වස්ත්‍ර ධාරණාදිය නො කළ යුතු යි. තීර්‍ත්‍ථක ලක්‍ෂණයක් වූ කුසවැහැරිදැරීම් ආදිය නො කළ යුතු යි. තීර්‍ත්‍ථකයෝ නොසෙවිය යුත්තාහ. භික්‍ෂූහු සේවනය කළ යුත්තාහ. භික්‍ෂුශික්‍ෂාවෙහි හික්මිය යුතු යි. පුවතත් භික්‍ෂුහු සමග එක් සෙවෙනි ආවාසයෙහි නො විසිය යුතු යි. එක් සෙවෙනි අනාවාසයෙහි ද නො විසිය යුතු යි. එක් සෙවෙනි ආවාසයෙහි ද අන්‍යවාසයෙහි ද නො විසිය යුතු යි. පුවතත් මහණහු දැක ආසනයෙන් නැගිටිය යුතු යි. පුවතත් මහණහු විහාරය තුළ දී හෝ පිටත දී හෝ නොගැටිය යුතු යි. පුවතත් මහණහුගේ පොහෝ තැබීම නො කළ යුතු යි. පවුරුණු තැබීම නො කළ යුතු යි. සවචනීය කම් නො කළ යුතු යි. විහාරයෙහි අධිපති තනතුරෙහි නො පිහිටිය යුතු යි. අවසර ගැණීම නො කරවිය යුතු යි. පුවතත් මහණහට චෝදනා නොකළ යුතු යි. ඇවැත් සිහිපත් නො කරවිය යුතු යි. භික්‍ෂූන් සමග කලහ නො යෙදිය යුතු යි”.
ඇවැතට පිළියම් නො කිරීමේ උක්ඛේපනීය කර්‍මයෙහි තෙසාළිස් වත නිමි.
[සංහිඳුවීම]
1. ඉක්බිති සඞ්ඝ තෙම ඡන්න භික්‍ෂුහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත උක්ඛේපනීය කර්‍මය කෙළේ ය. ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූ ඒ ඡන්න තෙම ඒ ආවාසයෙන් අනිත් ආවාසයකට ගියේ ය.
2. එහි භික්‍ෂූහු නො ම වැන්දාහුය. දැක නො නැගිට්ටාහ. ඇඳිලිකම් නො කළහ. සාමීචිකම් නො කළහ. සත්කාර නො කළහ. ගරුකාර නො කළහ. බුහුමන් නො කළහ. නො පිදූහ. ඒ ඡන්න නම් භික්‍ෂු තෙම භික්‍ෂූන් විසින් සත්කාර කරණු නොලබන්නේ ගරුකරණු නොලබන්නේ බුහුමන් කරණු නොලබන්නේ පුදනු නොලබන්නේ අසත්කාරයෙන් මඬනා ලද්දේ ඒ ආවාසයෙන් ද අනෙක් ආවාසයකට ගියේය.
3. එහිදී ද භික්‍ෂූහු නො ම වැන්දාහු ය. දැක නො නැගිට්ටාහු ය. ඇඳිලිකම් නො කළාහු ය. සාමීචිකම් නො කළාහු ය. සත්කාර නො කළාහු ය. ගරුකාර නො කළාහු ය. බුහුමන් නො කළාහු ය. නො ම පිදුවාහු ය. ඒ ඡන්න භික්‍ෂු තෙම භික්‍ෂූන් විසින් සත්කාර කරණු නොලබන්නේ ගරු කරණු නොලබන්නේ බුහුමන් කරණු නොලබන්නේ පුදනු නොලබන්නේ අසත්කාරයෙන් මඩනා ලද්දේ ඒ ආවාසයෙන් ද අන් ආවාසයකට ගියේ ය. එහිදී ද භික්‍ෂූහු නො ම වැන්දාහුය. දැක නොනැගිට්ටාහුය. අඤ්ජලිකර්‍ම නො කළාහු ය. සාමීචිකර්‍ම නො කළාහු ය. සත්කාර නො කළාහු ය. ගරු නො කළාහු ය. බුහුමන් නො කළාහු ය. නො පිදුවාහු ය. ඒ ඡන්න භික්‍ෂු තෙම භික්‍ෂූන් විසින් සත්කාර කරණු නොලබන්නේ ගරු කරණු නො ලබන්නේ බුහුමන් කරණු නො ලබන්නේ පුදනු නො ලබන්නේ අසත්කාරයෙන් මඬනා ලද්දේ නැවතත් කොසඹෑනුවරට ම පෙරළා පැමිණියේ ය.
4. ඒ ඡන්න භික්‍ෂු තෙම (ඉන් පසු) මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පවතියි. (ඒ ඡන්න භික්‍ෂු තෙම) භික්‍ෂූන් වෙත එළැඹ ‘ඇවැත්නි, මම සංඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලැබූයෙම් මනා කොට පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. නිස්තරණ වතෙහි පවතිමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ’ යි මෙසේ භික්‍ෂූන්හට කියයි. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහු ය. “මහණෙනි, එසේ නම් සංඝ තෙම ඡන්න භික්‍ෂුහට ඇවැතට පිළියම් නොකිරීමෙහි කළ උක්ඛේපනීයකර්‍මය සංහිඳුවාවා”.
නොසංහිඳුවියයුත්තෙහි අංග තෙසාළිස
1. මහණෙනි, අංග පසකින් යුක්ත භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි. උපසම්පදා කරයි ද නිස දෙයි ද හෙරණකු ලවා උවටැන් කරවා ගණිද මෙහෙණින්ට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා දෙයි ද, මහණෙනි, මේ අංග පසින් යුක්ත මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි.
2. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුතු භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි: යම් ඇවැතකින් සංඝයා විසින් ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ වේ ද ඒ ඇවැතට පැමිණෙයි ද, එවැනි අන් ඇවැතකට හෝ පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණෙයි ද, කර්‍මයට ගරහයි ද, කාරක සංඝයාට ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි.
3. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ අභිවාදනය, හුනස්නෙන් නැගිටීම, අඤ්ජලිකර්‍මය, සාමීචිකර්‍මය, හිඳිනා අසුන් එළවා තැබීම (යන මේ පස) ඉවසයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි.
4. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ හෝනා යහන් එළවා තැබීම, පාදොවුන් දිය තැබීම, සේදූ පා තබන පුටුව නොසේදූ පාතබන පුවරුව තැබීම, පාසිවුරු පිළිගැණීම, නෑමෙහි පිට පිරියම් කිරීම ඉවසයි ද, මහණෙනි, මේ පසඟින් යුතු ... නො සංහිඳුවිය යුතු යි.
5. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහට සිල්විපතින් චෝදනා කරයි ද, ආචාරවිපතින් චෝදනා කරයි ද, දිට්ඨිවිපතින් චෝදනා කරයි ද, ආජීවවිපතින් චෝදනා කරයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් බිඳුවයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු යි.
6. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: ගිහීන්ගේ ලක්‍ෂණ වූ ශ්වේතවස්ත්‍රාදිය දරයි ද, තීර්‍ත්‍ථකයන්ගේ ලක්‍ෂණ වූ කුසවැහැරි ආදිය දරයි ද, තීර්‍ත්‍ථකයන් ඇසුරු කරයි ද, භික්‍ෂූන් සේවනය නොකරයි ද, භික්‍ෂුශික්‍ෂාවෙහි නො හික්මෙයි ද ...
7. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහු සමග එක් සෙවෙනි ආවාසයේ වසයි ද, එක් සෙවෙනි අනාවාසයෙහි වසයි ද, එක් සෙවෙනි ආවාසයෙහි හෝ අනාවාසයෙහි හෝ වසයි ද, පුවතත් මහණහු දැක හුනස්නෙන් නො නැගිටී ද, අරම තුළදී හෝ පිටතදී හෝ පුවතත් මහණහු ගටයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යී.
8. මහණෙනි, අංග අටකින් යුක්ත මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණක්හුගේ පොහොය තැබීම කරයි ද, පවුරුණු තබයි ද, සවචනීය කම් කරයි ද, විහාරයෙහි දෙටුතනතුරෙහි සිටියි ද, අවකාශ ගැණීම කරවයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් හා කලහ පිණිස යොදවයි ද, මහණෙනි, මේ අංග අටින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය නොසංහිඳුවිය යුතු අංග තෙසාළිස නිමි.
1. මහණෙනි, අංග පසකින් යුක්ත භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: උපසම්පදා නො කරයි ද, නිස නොදෙයි ද, හෙරණහු ලවා උවටැන් නොකරවා ගණී ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නොදෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
2. මහණෙනි, අන්‍යය වූ ද අංග පසකින් යුක්ත මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: යම් ඇවැතකින් සඞ්ඝයා විසින් උක්ඛේපනීය කර්‍මය කරණ ලද නම් ඒ ඇවැතට නො පැමිණෙයි ද, අන්‍ය වූ ද එවැනි ඇවැතකට නො පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණෙයි ද, කර්‍මයට නො ගරහයි ද, මහණෙනි, මේ අංග පසින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
3. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුත් මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ වැඳීම ද, හුනස්නෙන් නැගිටීම ද, අඤ්ජලීකර්‍මය ද, සාමීචිකර්‍මය ද, හිඳිනා අසුන් පණවා තැබීම ද යන පස නො ඉවසයි ද, මහණෙනි, මේ අංග පසින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
4. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ හෝනා යහන් එළවා තැබීම, පාදොවුන් දිය තැබීම, පාපුටුව තැබීම නොසේදූ පා තබන පුවරුව තැබීම, පාසිවුරු පිළිගැණීම, නෑමෙහි පිට පිරියම් කිරීම නො ඉවසයි ද ...
5. මහණෙනි, අන්‍ය වූ ද අංග පසකින් යුක්ත මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහට සීලවිපත්තියෙන් චෝදනා නො කරයි ද, ආචාරවිපත්තියෙන් චෝදනා නො කරයි ද, දිට්ඨිවිපත්තියෙන් චෝදනා නො කරයි ද, ආජීවවිපත්තියෙන් චෝදනා නො කරයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් නො බිඳුවයි ද ...
6. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ... ගිහී ලක්‍ෂණ වූ ශ්වේත වස්ත්‍රාදිය නො දරයි ද, තීර්‍ත්‍ථකයන්ගේ ලක්‍ෂණ වූ කුසවැහැරි ආදිය නො දරයි ද, තීර්‍ත්‍ථකයන් සේවනය නො කරයි ද, භික්‍ෂූන් සේවනය කරයි ද, භික්‍ෂුභික්‍ෂාවෙහි හික්මෙයි ද ...
7. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණක්හු සමග එක් සෙවෙනි ආවාසයෙහි නො වසයි ද, එක් සෙවෙනි අනාවාසයෙහි නො වසයි ද, එක් සෙවෙනි ආවාසයෙහි හෝ අනාවාසයෙහි හෝ නො වසයි ද, පුවතත් මහණහු දැක හුනස්නෙන් නැගිටී ද, විහාරය තුළදී හෝ පිටතදී පුවතත් මහණහු නො ගටයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමේ උකෙව්නිකම සංහිඳුවිය යුතු යි.
8. මහණෙනි, අංග අටකින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ උපෝසථය නො තබයි ද, පවාරණය නො තබයි ද, සවචනීය කර්‍මය නො කරයි ද, විහාරයෙහි අධිපතිබැව්හි නො සිටි ද, අවසර ගැණීම නො කරවයි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් හා කලහ නො යොදවයි ද, මහණෙනි, මේ අටඟින් යුතු මහණහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු අංග තෙසාළිස නිමි.
[සංහිඳුවීම]
1. මහණෙනි, (ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය) මෙසේ සංහිඳුවිය යුතු ය: මහණෙනි, ඒ ඡන්න භික්‍ෂුහු විසින් සංඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු යි: ස්වාමීනි, මම ඇවැතට පිළියම් නොකිරීම නිසා සඞ්ඝයා විසින් උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූයෙම් මැනවින් පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. නිස්තරණ වතෙහි පිහිටා සිටිමි. ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යාච්ඤා කරමි යි. දෙවනු වත් යැදිය යුතුයි. තෙවනු වත් යැදිය යුතුයි. ප්‍රතිබල ව්‍යක්ත මහණකු විසින් සංඝ තෙමෙ දැන්විය යුතු යි:
“ස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්‍ෂුතෙම ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබුයේ මැනවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පවතියි. ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යාච්ඤා කරයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝ තෙම ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
ස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්‍ෂුතෙම සංඝයා විසින් ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ මැනවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පිහිටයි ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යාච්ඤා කරයි. සංඝ තෙම ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවයි. ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට අභිමත නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අභිමත නො වේ නම් හෙ තෙම කියාවා.
දෙවනුත් මේ කාරණය කියමි ... තෙවනුත් මේ කාරණය කියමි. ස්වාමීනි, සංඝතෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්‍ෂු තෙම ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීයකර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙම ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවයි. ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට අභිමත නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අභිමත නො වේ නම් හෙ තෙම කියාවා.
සඞ්ඝයා විසින් ඡන්න භික්‍ෂුහුගේ ඇවැතට පිළියම් නොකිරීම පිළිබඳ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවන ලදී. එය සංඝයාට අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද යි. මේ කාරණය මෙසේ දරමි”.
ඇවැතට පිළියම් නොකිරීමේ උක්ඛේපනීය කර්‍මය සවැනි යි.
7. පවිටුදෘෂ්ටිය නොදුරැලීමේ උක්ඛේපනීය කර්‍මය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල වනාහි පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන්නා වූ අරිට්ඨ භික්‍ෂුහට “යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලද්දාහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නො වෙති යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහමක් මම දනිමි” යි. මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වෙයි.
2. පෙර ගිජුළිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂුහට “යම් ධර්‍ම කෙනෙක් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද හු ද, ඒ ධර්‍ම සෙවුනාහට ස්වර්‍ගමෝක්‍ෂ අන්තරාය පිණිස ප්‍රමාණවත් නොවෙති යි. සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහමක් මම දනිමි” යි මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වේ යැ යි මෙ පවත් බොහෝ භික්‍ෂූහු ඇසූහ.
3. ඉක්බිති ඒ භික්‍ෂූහු පෙර ගිජුළිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂු කරා එළැඹියහ. එළැඹ එගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට මෙසේ කීහු:
“ඇවැත්නි අරිට්ඨයෙනි, යම් ඒ ධර්‍ම කෙනෙක් සගමොක් දෙකට අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට එසේ ස්වර්‍ගමෝක්‍ෂ අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් ය යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක්{*} මම දනිමි” යි. මෙබඳු ලාමක දෘෂ්ටියක් ඔබට උපන්නේ ලු. ඒ සැබෑදැ?” යි.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්‍මයෝ යම්සේ දෙසන ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට සගමොක් දෙකට අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් යැ යි මෙසේ සිතිය හැකිසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි” යි හේ කීය.
4. “ඇවැත් අරිට්ඨයෙනි, එසේ නො කියව. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දෝෂාරෝපණය නො කරව, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දෝෂාරෝපණය නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරණ සේක් ම ය. ඇවැත් අරිට්ඨයෙනි, අන්තරායකර ධර්‍මයෝ නොයෙක් ආකාරයෙන් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ. ඒ ධර්‍ම සේවනය කරන්නාට (සගමොක්) අවුරණු පිණිස සමත් ම ය.
“කාමයෝ අල්ප වූ ආශ්වාද ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි උවදුරු බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තෝය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ තණසුලකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.