දෙවැනි බණවර
13. කාකණ්ඩකපුත්‍ර වූ යස (ස්ථවිරයන් වහන්සේ,) මේ අධිකරණය ඉදිරියට ගනු කැමැත්තාහු පක්‍ෂයක් සොයත් ල, පක්‍ෂයක් ලබත් ලැ’යි විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු ඇසූහ. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට මේ අදහස විය. මේ අධිකරණය වනාහි කර්‍කශ ද චණ්ඩ ද වෙයි. යමකු නිසා අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු ද එබඳු කවරකු අපි පක්‍ෂ කොට ලබන්නෙමු ද’යි. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට මෙ අදහස විය. මේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ වනාහි බහුශ්‍රැතයහ. අවබෝධ කළ ආගම ඇතියහ. ධර්‍මධරයහ, විනයධරයහ, මාතිකාධරයහ, පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැත්තහ, ලජ්ජීහ, වරදෙහි කුකුස් කරනසුල්ලහ, ශික‍්ෂාකාමීහ. ඉදින් අපි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් පක්‍ෂ කොට ලබන්නෙමු නම් මෙසේ අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු’යි.
ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු පාත්‍ර ද, සිවුරු ද, නිසීදන ද ඉදිකටුගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන බොහෝ වූ මහණුන්ට සුදුසු වූ පිරිකර පිළියෙළ කළහ. ඉක්බිති වජ්ජිපුත්‍රක භික්‍ෂූහු ඒ මහණුන්ට සුදුසු පිරිකර රැගෙන නැවෙන් සහජාති නුවර වෙත උඩුගංබලා ගියහ. නැවෙන් බැස එක්තරා රුක්මුලෙක අහර වැළඳීම කෙරෙත්.
14. එවේලෙහි රහොගත වූ එකලා වූ ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතෙහි පරිවිතර්කයක් පහළ විය. ධර්‍මවාදීහු කවරහුද? පෙරදිගවාසි භික්‍ෂූහු ද, නැතහොත් පාවෙය්‍යක භික්‍ෂූහු දැ’යි. ඉක්බිති ධර්‍මය ද විනය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට “පෙරදිග වැසි භික්‍ෂූහු අධර්මවාදීහු ය. පාවෙය්‍යක භික්‍ෂූහු ධර්‍මවාදීහු යැ’යි මේ අදහස විය. ඉක්බිති ශුද්ධාවාසවාසී වූ දෙවියෙක් (තමාගේ) සිතින් ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි වූ පරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත හෝ දිගු කෙරෙයි ද, දිගු කළ අත හෝ හකුළුවයි ද මෙ පරිද්දෙන් ම ශුද්ධාවාස දෙවියන් කෙරෙහි අතුරුදහන් ව ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් ඉදිරියෙහි පහළ විය. ඉක්බිති ඒ දෙවියා ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට මෙය කීය. සාළ්හයන් වහන්ස, යහපත යහපත, පෙරදිග වැසි භික්‍ෂූහු අධර්මවාදීහු ය, පාවෙය්‍යක භික්‍ෂූහු ධර්‍මවාදීහු ය, සාළ්හයන් වහන්ස, එහෙයින් ම ධර්‍මය යම්සේ ද එසේ සිටිනු මැනවැ’යි. දේවතාවෙනි, මම පෙර ද දැන් ද ධර්‍මය යම්සේ නම් එසේ සිටියේ වෙමි. එහෙත් මේ අධිකරණයෙහි (විසඳීමට) මා සම්මත කරන්නේ නම් ඉතා යෙහෙකි. එතෙක් මම දෘෂ්ටිය හෙළි නො කෙරෙමි යි.
15. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු මහණුන්ට සුදුසු වූ ඒ පිරිකර ගෙන ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන්ට මෙය කීහ. වහන්ස, පාත්‍රද, සිවුරු ද, නිසීදන ද, ඉදිකටුගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන මහණුන්ට සුදුසු වූ පිරිකර තෙරුන් වහන්සේ පිළිගනිත්වා’යි. ඇවැත්නි, කම් නැත. මාගේ පාසිවුරු පිරිපුන් ය යි පිළිගන්නට නො කැමති වූහ.
එසමයෙහි විසි වස් ඇති උත්තර නම් භික්‍ෂූනම ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායක වෙති. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු උත්තර (තෙර) යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන්ට මෙය කීහ. පාත්‍ර ද, සිවුරු ද, නිසීදන ද, ඉදිකටු ගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන මහණුන්ට සුදුසු වූ පිරිකර ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ පිළිගනිත්වායි. ඇවැත්නි, කම් නැත. මාගේ පාසිවුරු පිරිපුන් යැ’ යි (කියා) පිළිගන්නට නො කැමති වූහ.
ඇවැත් උත්තරයෙනි, මිනිස්සු මහණුන්ට සුදුසු පිරිකර භාග්‍යවතුන් වහන්සේට එළවත්. ඉදින් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් නම් එයින් ම ඔහු සතුටු සිත් ඇත්තෝ වෙත්. ඉදින් භාග්‍යවතුන් වහන්සේ නො පිළිගන්නා සේක් නම් “වහන්ස, ස්ථවිරයන් වහන්සේ මහණුන්ට සුදුසු පිරිකර පිළිගන්නාසේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දේ ද එපරිද්දෙන් ම එය වන්නේය යි (කියා) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට එළවත්. උත්තර ආයුෂ්මතුන් වහන්සේ මහණුන්ට සුදුසු පිරිකර පිළිගනිත්වා. එය යම්සේ තෙරුන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දේද එපරිද්දෙන්ම වන්නේ ය යි.
16. ඉක්බිති ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ විශාලාවැසි වජ්ජි පුත්‍රක භික්‍ෂූන් විසින් පෙළනුලබන්නේ ‘ඇවැත්නි, යමකින් ප්‍රයෝජනයක් වේ ද එය කියව’ යි (කියා) එක් සිවුරක් ගත්හ. ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ තෙරුන් වහන්සේට මෙ පමණක් කියනු මැනව... (එනම්) වහන්ස, භාග්‍යවත් බුදුවරු පෙරදිග ජනපදයන්හි පහළ වෙත්. පෙරදිගවාසි භික්‍ෂූහු ධර්‍මවාදීහු ය. පාවා නුවර වැසි භික්‍ෂූහු අධර්මවාදීහු ය යන මෙපමණක් තෙරුන් වහන්සේ සඟමැද කියන සේක්වා යනු යි. ඇවැත්නි, එසේ යැ යි ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට පිළිවදන් දි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. වහන්ස, භාග්‍යවත් බුදුවරු පෙරදිග ජනපදයන්හි පහළ වෙත්, පෙරදිගවැසි භික්‍ෂූහු ධර්‍මවාදීහු ය. පාවානුවරවැසි භික්‍ෂූහු අධර්‍මවාදී හු ය යන මෙපමණක් තෙරුන් වහන්සේ සඟමැද කියන සේක්වා.
මහණ, තෝ මා අධර්‍මයෙහි යොදවන්නෙහි යැ යි (කියා) තෙරුන් වහන්සේ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ඉවත් කළහ. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු ආයුෂ්මත් උත්තර ස්ථවිරයන්ට මෙය කීහ. ඇවැත් උත්තරයෙනි, තෙරුන් වහන්සේ කුමක් කීසේක් දැ යි. ඇවැත්නි, අප විසින් ලාමකක්‍රියාවක් කරන ලදී. මහණ තෝ මා අධර්‍මයෙහි යොදවන්නෙහි යැ යි කියා තෙරුන් වහන්සේ මා ඉවත්කළ සේකැ යි.
ඇවැත්නි, නුඹ වහන්සේ විසිවස් වූ වෘද්ධයෙක් නො වේ දැ යි. ඇවැත්නි, එසේ යැ යි. එහෙත් අපි ගුරුවරයා වෙත නිශ්‍රය ගනුම්හ යි.
17. ඉක්බිති සඞ්ඝයා ඒ අධිකරණය විනිශ්චය කරනු කැමැත්තේ රැස් විය. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. ඉදින් අපි මේ අධිකරණය මෙහිදී සන්හිඳුවන්නෙමු නම් මූලදායක (කරුණට මුල් වූ) භික්‍ෂූන් නැවත කර්‍මය (කිරීම) පිණිස උක්කෝටනය කිරීම වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් යම් තැනෙක මේ අධිකරණය හටගත්තේ ද එතැන දීම සඞ්ඝයා මේ අධිකරණය සන්හිඳුවන්නේ නම් මැනවැයි. ඉක්බිති ඒ අධිකරණය විනිශ්චය කරනු කැමති වූ ස්ථවිර භික්‍ෂූහු විශාලා නුවරට ගියහ.
18. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගේ සද්ධිවිහාරික වූ උපසම්පදාවෙන් එක්සියවිසි වස් ඇති (මුළු) පෘථිවියෙහි ම සඞ්ඝස්ථවිර වූ සබ්බකාමී නම් තෙරුන් වහන්සේ වේසාලියෙහි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “ඇවැත්නි, යම් වෙහෙරෙක සබ්බකාමී තෙරුන් වහන්සේ වෙසෙත් ද මම ඒ වෙහෙරට එළඹෙමි. නුඹ වහන්සේ උදෑසනක් සේ ම ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන් වෙත එළඹ මේ දශවස්තුන් විචාරන්නේ නම් මැනවැ’ යි. එසේ ය වහන්සැ( යි (කියා) සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරණුවෝ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ යම් වෙහෙරෙක සබ්බකාමී තෙරුන් වහන්සේ වෙසෙත් ද ඒ වෙහෙරට පැමිණියහ.
ඇතුළුගෙහි ආයුෂ්මත් සබ්බකාමී තෙරුන් වහන්සේට ද ඇතුළුගෙය ඉදිරිපස ආයුෂ්මත් රේවත තෙරණුවන්ට ද සෙනසුන් පනවන ලද්දේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ ‘මේ තෙරුන් වහන්සේ මහලු ය. නො නිදනසේකැ’යි (සලකා) ශයනය නො කළහ. ‘මේ භික්‍ෂු තෙම ආගන්තුකයෙකි. වෙහෙසට පත් වූයේ නො නිදනසේකැ ය’යි (සලකා) ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ ශයනය නො කළහ.
ඉක්බිති ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ රාත්‍රිය පහන්වන වේලායෙහි නැඟිට ආයුෂ්මත් රේවත තෙරුන්ට මෙය කීහ. ප්‍රිය තෙනැත්ත, තෙපි කවර විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙන්නහු දැ’යි. වහන්ස, මම මෛත්‍රීවිහරණයෙන් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙමි යි. ප්‍රිය තෙනැත්ත, තෙපි වනාහි ඉතා ප්‍රකට විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙන්නහු ය. ප්‍රිය තෙනැත්ත, යම් මේ මෛත්‍රියක් වේ ද තෙලෙ ඉතා ප්‍රකට විහරණයෙකි යි.
වහන්ස, පෙර ද ගිහි වූ මා විසින් මෛත්‍රිය පුරුදු කරන ලදි. එහෙයින් දැනුදු මම මෛත්‍රීවිහරණයෙන් යුක්ත ව බෙහෙවින් වෙසෙමි. තව ද මා විසින් රහත්බවට පැමිණ බොහෝ කල් ය. වහන්ස, (ඔබ) තෙරුන් වහන්සේ කවර විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙනසේක් දැ යි. ප්‍රිය තෙනැත්ත, මම ශුන්‍යතාවිහරණයෙන් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙමි’යි.
වහන්ස, තෙරුන් වහන්සේ වනාහි මහාපුරුෂ විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙනසේක. වහන්ස, යම් මේ ශුන්‍යතාවිහරණයෙක් වේ ද තෙලෙ මහාපුරුෂ විහරණයෙකැ යි. ප්‍රිය තෙනැත්ත, පෙර ද ගිහි වූ මා විසින් ශුන්‍යතාව පුරුදු කරන ලද. එහෙයින් දැනුදු මම ශුන්‍යතාවිහරණයෙන් යුක්ත ව බෙහෙවින් වෙසෙමි. තවද මා විසින් රහත්බවට පැමිණ බොහෝ කල් වේ යැ යි. ස්ථවිර භික්‍ෂූන් (දෙනම) අතර වූ මේ කථාව අඩාළ කරන ලද්දේ ය.
19. එකල්හි සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේ එහි පැමිණියහ. ඉක්බිති සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරහු ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවනට මෙය කීහ. වහන්ස, විශාලාවැසි මේ වජ්‍රපුත්‍රක භික්‍ෂූහු වේසාලියෙහි දශවස්තුවක් දක්වති. (එනම්) සිඞ්ගිලොණකප්පය කැප ය, ද්වඞ්ගුලකප්පය කැප ය, ගාමන්තරකප්පය කැප ය, ආවාසකප්පය කැප ය, අනුමතිකප්පය කැප ය, ආචිණ්ණකප්පය කැප ය, අමථිතකප්පය කැප ය, නො පැසුණු සුරා බීමට කැප ය, දහවලු රහිත නිසීදනය කැප ය, රන්රිදී කැප ය යනු යි. වහන්ස, (ඔබ) තෙරුන් වහන්සේ විසින් උපාධ්‍යායයන් වහන්සේ (ආනන්‍ද තෙරුන්වහන්සේ) වෙත බොහෝ ධර්‍මය ද විනය ද පුහුණු කරන ලද්දේ ය. වහන්ස, ධර්‍මය ද විනය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන තෙරුන් (ඔබ) වහන්සේට කෙසේ අදහස් වෙයි ද? ධර්‍මවාදීහු කවරහු ද? ප්‍රාචීනක භික්‍ෂූහු හෝ පාවෙය්‍යක භික්‍ෂූහු හෝ ධර්‍මවාදීහු වෙත් දැ’යි.
ඇවැත්නි, තොප විසින් ද උපාධ්‍යායයන් වහන්සේ වෙත බොහෝ ධර්‍මය ද විනය ද පුහුණු කරන ලද්දේ ය. ඇවැත්නි, ධර්‍මය ද විනය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන තොපට කෙසේ අදහස් වේ ද, ප්‍රාචීනක භික්‍ෂූහු හෝ පාවෙය්‍යක භික්‍ෂූහු හෝ ධර්‍මවාදීහු කවරහු වෙත් දැ’යි. වහන්ස, ධර්‍මය ද විනය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන මට මෙසේ අදහස් වෙයි. (එනම්) ප්‍රාචීනක භික්‍ෂූහු අධර්මවාදීහු වෙති. පාවෙය්‍යක භික්‍ෂූහු ධර්‍මවාදීහු වෙතැ’යි. එහෙත් මේ අධිකරණයෙහි මා සම්මත කරන්නේ නම් ඉතා යෙහෙකි. එතෙක් දෘෂ්ටිය (මගේ අදහස) හෙළි නො කෙරෙමි යි (කීහ.)
ඇවැත්නි, ධර්‍මය ද විනය ද , ප්‍රත්‍යවේක්‍ෂා කරන මට ද මේ අදහස වෙයි. (එනම්) ප්‍රාචීනක භික්‍ෂූහු අධර්මවාදීහු ය. පාවෙය්‍යක භික්‍ෂූහු ධර්‍මවාදීහු වෙතැ යි. එහෙත්, මා මේ අධිකරණයෙහි සම්මත කරන්නේ නම් ඉතා යෙහෙක. එතෙක් මම දෘෂ්ටිය (මගේ අදහස) හෙළි නො කෙරෙමි යි කීහ.
20. ඉක්බිති සඞ්ඝයා ඒ අධිකරණය විනිශ්චය කරනු කැමැත්තේ රැස් විය. ඒ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා උපදිත්, කියන ලද එකකවත් අර්‍ත්‍ථය නො දැනෙයි. ඉක්බිති ආයුෂ්මත්රෙවත තෙරණුවෝ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියන ලද එකක හෝ අර්ය නො දැනෙයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මේ අධිකරණය උබ්බාහිකාවෙන් (සම්මත භික්‍ෂූන් පමණක් බිණීම හා අසම්මත භික්‍ෂූන් , නො බිණීම යන ක්‍රමයෙන්) සන්හිඳුවන්නේ ය. (යනුයි.) පෙරදිග වැසි භික්‍ෂූන් අතුරෙන් ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ ද, ආයුෂ්මත් සාළ්හ තෙරණුවෝ ද, ආයුෂ්මත් බුජ්ජසෝභිත තෙරණුවෝ ද ආයුෂ්මත් වාසභගාමික තෙරණුවෝ ද (යන සතරනම හා) පාවානුවරවැසි භික්‍ෂූන් අතුරෙන් ආයුෂ්මත්රෙවත තෙරණුවෝ ද සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරණුවෝ ද, ආයුෂ්මත් කාකණ්ඩක පුත්‍ර යස තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද (යන සතරනම දැ යි) ප්‍රාචීනක භික්‍ෂූන් සතරනමක් ද, පාවෙය්‍යක භික්‍ෂූන් සතරනමක් ද සඞ්ඝයා තෝරාගත්තේ ය. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඞ්ඝයාට මෙසේ දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියනලද එකක හෝ අර්‍ත්‍ථය නො දැනෙයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මේ අධිකරණය උබ්බාහිකාවෙන් සන්හිඳුවන්නට සඞ්ඝයා ප්‍රාචීනක භික්‍ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්‍ෂූන් සතරනම ද සම්මත කරන්නේ ය. මේ ඥප්ති යි.
වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියන ලද එකක හෝ අර්‍ත්‍ථය නො දැනෙයි. මේ අධිකරණය උබ්බාහිකාවෙන් සන්හිඳුවන්නට සඞ්ඝයා ප්‍රාචීනක භික්‍ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්‍ෂූන් සතරනම ද සම්මත කරයි. උබ්බාහිකාවෙන් මේ අධිකරණය සන්හිඳුවන්නට ප්‍රාචීනක භික්‍ෂූන් සතරනම හා පාවෙය්‍යක භික්‍ෂූන් සතරනමගේ සම්මුතිය යම් ආයුෂ්මතක්හට රුචි වේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුට රුචි නොවේ නම් හේ කියන්නේ ය.
උබ්බාහිකාවෙන් මේ අධිකරණය සන්හිඳුවන්නට ප්‍රාචීනක භික්‍ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්‍ෂූන් සතරනම ද සඞ්ඝයා විසින් සම්මත කරන ලදහ. සඞ්ඝයාට (එය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි’යි.
21. එ සමයෙහි සඞ්ඝයාගේ පාමොක් උදෙසන්නෙක් වූ දසවස් ඇති අජිත නම් භික්‍ෂුනමක් වෙයි. ඉක්බිති සඞ්ඝයා ආයුෂ්මත් අජිත ස්ථවිර භික්‍ෂූන්ට අසුන් පනවන්නකු කොට සම්මත කෙළේ ය. ඉක්බිති “කොතැන දී අපි මේ අධිකරණය සන්හිඳුවමෝ දැ”යි ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. “මේ වාලිකාරාමය වනාහි සිත්කලු ය. අල්පශබ්ද ඇත්තේ ය. අල්පසොෂ ඇත්තේ ය. අපි මේ අධිකරණය වාලිකාරාමයේ දී සන්හිඳුවමෝ නම් ඉතා යෙහෙකැ”යි. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ අධිකරණය විනිශ්චයකරනු කැමැත්තාහු වාලිකාරාමයට වැඩියාහ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. “වහන්ස, සංඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන්ගෙන් විනය විචාරන්නෙමි.” ආයුෂ්මත් සබ්බකාමීතෙරණුවෝ සඞ්ඝයාට(මෙසේ)දැන්වූහ. “ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් රේවත තෙරුන් විසින් විනය විචාරන ලද්දෙම් විසඳන්නෙමි”යි. ඉන්පසු ආයුෂ්මත් රේවත තෙරණුවෝ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවනට මෙය කීහ:
1. වහන්ස, සිඞ්ගිලොණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ සිඞ්ගිලොණකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් තැනෙක ලුණු නැති භොජනයක් වන්නේ නම් එහි දී පරිභෝග කරන්නෙමි”යි (සලකා) අඟෙකින් ලුණු පරිහරණය කරන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. සැවැත්නුවර දී ය. සූත්‍රවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැයි සන්නිධිකාරක භෝජනයෙහි පචිති ඇවැතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ පළමු වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරනලදි. මෙසේ ද මේ වස්තුව ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ පළමු සලාකය බහාතබමි.
2. වහන්ස, ද්වඞ්ගුලකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ද්වඞ්ගුලකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සෙවණැල්ල දැඟුලක් ඉක්මගිය කල්හි විකාලයෙහි භෝජනය වළඳන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැනදී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. රජගහ නුවර දී ය. සූත්‍රවිභඞ්ගයෙහි යැ’යි. කවර ඇවතකට පැමිණේ දැ යි. විකාලභොජන යෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මේ දෙවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදි. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ දෙවැනි සලාකය බහාතබමි.
3. වහන්ස, ගාමන්තරකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ගාමන්තරකප්පය නම් කවරේ දැයි. වහන්ස, දැන් අනිත් ගමකට යන්නෙමි යි (සලකා) වළඳා අවසන් වූ පවාරණය කළ භික්‍ෂූව විසින් අයිරිත් නො කළ භෝජනය වළඳන්නට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යයි. කොතැන දී ප්‍රතික්‍ෂේපකරන ලද දැ යි. සැවැත්නුවර දීය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවැතකට පැමිණේ දැ යි. අනතිරිත්තභොජනයෙහි ද පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ තෙවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙහි බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින් මේ) තෙවැනි සලාකය බහා තබමි.
4. වහන්ස, ආවාසකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ආවාසකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සමාන සීමාවක් ඇති බොහෝ වූ ආවාසයන්හි වෙන් වෙන් ව පොහොය කිරීම කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැයි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැයි, රජගහ නුවර දී ය. උපොසථසංයුත්තයෙහි යැ යි. කවර ඇවැතකට පැමිණේ දැ යි. විනය ඉක්මවීමෙහි දුකුළා ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ සිවුවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදි. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත්කරන ලද්දකි. (එහෙයින්) මේ සිවුවැනි සලාකය බහාතබමි.
5. වහන්ස, අනුමතිකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ අනුමතිකප්පය නම් කවරේ ද යි. වහන්ස, භික්‍ෂූන් පැමිණි කල්හි අනුදන්නෙමු’යි (සලකා) වර්‍ග වූ සඞ්ඝයා විසින් කර්‍මයක් කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැයි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරනලද දැයි. චම්පානුවරදීය. (චම්පෙය්‍යකබන්‍ධකයෙහි) විනය වස්තුවෙහි යැයි කවර ඇවතකට පැමිණේ දැ යි. විනය ඉක්මවීමෙහි දුකුළා ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ පස්වැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ පස්වැනි සලාකය බහාතබමි.
6. වහන්ස, ආචිණ්ණකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ආචිණ්ණකප්පය නම් කවරේ දැ යි. වහන්ස, මෙය මාගේ උපාධ්‍යායයන් වහන්සේ විසින් පුරුදුකරන ලදී. මෙය මාගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින් පුරුදු කරන ලද යි (සලකා) එහි හැසිරෙන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඇතැම් ආචිණ්ණකප්පයක් කැප වෙයි. ඇතැම් ආචිණ්ණකප්පයක් නො කැප වෙයි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මේ සවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි, විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ සවැනි සලාකය බහාතබමි.
7. වහන්ස, අමථිතකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ අමථිතකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් කිරක් කිරිබව හළේ ද දීබවට නො පැමිණියේ ද අයිරිත් නො කළ ඒ කිරි (දන් වළඳා) අවසන් ව පවාරණය කළ භික්‍ෂූව විසින් බීමට කැප වෙයි දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්‍ෂෙපකරන ලද දැ යි. සැවැත් නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. අනතිරිත්ත භෝජනයෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ සත්වැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ සත්වැනි සලාකය බහාතබමි.
8. වහන්ස, ජලොගිය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ජලොගිය නම් කවරේ දැ යි. වහන්ස, යම් සුරාවක් නො පැසුණා ද, මද්‍ය බවට නො පැමිණියා ද එය බොන්නට කැප වේ දැයි. ඇවැත්නි, නො කැප වෙයි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. කොසඹෑ නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. රහමෙර පීමෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ අටවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි, ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ අටවැනි සලාකය බහාතබමි.
9. වහන්ස, දහවලු රහිත නිසීදනය කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. සැවැත් නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි ය යි. කවර ඇවතකට පැමිණේ දැ යි. සිඳිය යුත්තෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ නවවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ නවවැනි සලාකය බහාතබමි.
10. වහන්ස, රන්රිදී කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. රජගහ නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. රන්රිදී පිළිගැනීමේ පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ දසවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ දශවැනි සලාකය බහාතබමි.
වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ දශවස්තූහු සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදහ. මෙසේ ද මේ දශවස්තූහු ධර්‍මයෙන් බැහැර කරන ලද්දාහ, විනයෙන් බැහැර කරන ලද්දාහ, ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දාහ. ඇවැත්නි, මේ අධිකරණය සිඳින ලදී. ශාන්ත කරන ලදී. සන්හිඳුවන ලදි. මනාව සන්හිඳුවන ලද්දේ ය. ඇවැත්නි, තව ද නුඹ වහන්සේ සඞ්ඝයා මැද ද ඒ භික්‍ෂූන්ගේ දැනගැනීම පිණිස මේ දශවස්තූන් අසන්නහු නම් මැනවැ යි.
22. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඟමැද ද ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන්ගෙන් මේ දශවස්තූන් විචාළහ. විචාරන ලද විචාරන ලද ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ විසඳූහ. මේ විනය සංගීතියට අඩු නැති ව වැඩි නැති ව සත්සියක් භික්‍ෂූහු වූහ. එහෙයින් මේ විනය සංගීතිය සත්තසතිකා යී කියනු ලැබේ යි.
දොළොස්වැනි සත්තසතිකක්ඛන්‍ධක යි.
මේ ඛන්‍ධකයෙහි වස්තු පස්විස්සෙකි.
එහි උද්දානය:
1. දශවස්තු, (ලෝ තලියක් ජලයෙන්) පිරවීම, (පටිසාරණීය) කර්‍මය, අනුදූතයකු සමග පිවිසීම, උපක්ලේශ සතර, රන්රිදී පිළිබඳ දේශනා, කොසඹෑ නුවරට පැමිණීම, පාවෙය්‍යක භික්‍ෂූහු,
2. දීර්‍ඝ මාර්‍ගය, සොරෙය්‍ය, සඞ්කස්ස, කණ්ණකුජ්ජ, උදුම්බර, අග්ගළ, සහජාත යන නගරවලට පැමිණීම, වේසාලික භික්‍ෂූන් ඒ පුවත ඇසීම, අපි කවරකු පක්‍ෂ කරගනිමු දැයි සිතීම,
3. පැමිණි නැවකින් උඩුගං බලා යෑම, රහෝගත ව විසීම, පිරිකර එළවීම, ගුරුන් ඇසුරෙහි විසීම, සඞ්ඝයා විසාලා නුවරට පැමිණීම, මෙත්තාවිහාරය, සඞ්ඝයා රැස්වීම, භික්‍ෂූන් තෝරාගැනීම ද (යන වස්තුහු වෙත්.)
4. කම්ම, පරිවාස, සමුච්චය, සමථ, ඛුද්දක (වත්‍ථු), සේනාසන (සඞ්ඝ) භේද, වත්ත, උපෝසථ (පාතිමෝක්ඛට්ඨපන), භික්ඛුනී, පඤ්චසතික, සත්තසතික යැ යි චුල්ලවග්ගයෙහි කියන ලද ඛන්‍ධකයෝ දොළොසෙක් වෙත්.
සුලුවග නිමි.