ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා සෙස්සෝ බුදානුබුදාදක ශික්‍ෂයාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පචිති තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පචිති තබා සිවු පාටිදේසනීය තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ යි.
10. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්‍ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැපය. මෙය අකැප ය යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නෙමු නම් “ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවනලද්දේ (උන්වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්‍ෂාපදයන්හි හික්මුණෝ ය. යම් හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්‍ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවන්නේ ය. පනවනලද්ද නොසිඳින්නේ ය. පනවන ලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවත්නේ ය. මේ ඥප්ති යි.
ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්‍ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැප ය, මෙය අකැප ය, යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නෙමු නම් ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවනලද්දේ (උන් වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්‍ෂාපදයන්හි හික්මුණෝ ය. යම්හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්‍ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. යම් ආයුෂ්මත් කෙනකුහට නො පනවනලද්ද නො පැනවීම, පනවනලද්ද නො සිඳීම, පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පැවැත්ම, රුචි වේ නම් උන්වහන්සේ නිහඬවන්නාහ, යම් කෙනකුහට රුචි නො වේ නම් උන්වහන්සේ කියන්නාහ.
සඞ්ඝයා නො පනවනලද්ද නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. සඞ්ඝයාට (මෙය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙස් දරමි යි.
11. ඉක්බිති ස්ථවිර භික්‍ෂුහු ආනන්‍ද ආයුෂ්මත්හට මෙය කීහු : ඇවැත් ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තෙපි ‘වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂා පද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළහු ද මෙය තොප වරදවා කරන ලද්දකි, ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරවයි.
වහන්ස, මම නොසිහියෙන් (යුතු වූයෙම්) වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළෙමි. මම එය වරදවා කරනලද්දකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලද යි ප්‍රකාශ කරමි.
ඇවැත්, ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තෙපි භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසුවහු ද මෙය ද තොප වරදවා කරන ලද්දකි. ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරව යි.
වහන්ස, මම අගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩගෙන නො මැසූයෙමි. මම එය වරදවා කරන ලද්දකැයි නොදකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලදැ යි ප්‍රකාශ කරමි.
ඇවැත් ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තෙපි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවුහු ද හඬන්නා වූ ඔවුන්ගේ කඳුළින් භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගැල්විණි ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.
වහන්ස, මම ‘මොවුහු විකාලයෙහි (හැසිරෙන්නෝ) නො වෙත්වා’ යි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවීමි. මම එය දුෂ්කෘතයකැ’යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයකැ’යි ප්‍රකාශ කරමි.
ඇවැත් ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තෙපි ද භාග්‍යවතුන් වහන්සේ විසින් ඕළාරික වු නිමිති කරනුලබන කල්හි ඕළාරික වූ ආලොකය කරනුලබන කල්හි, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ (ආයුෂ් කල්පයක්) වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා යී භාග්‍යවතුන් වහන්සේ නො යැදුහු ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.
වහන්ස, මම වනාහි මාරයා විසින් හාත්පසින් මඩනා ලද සිත් ඇත්තෙම්, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ‘ ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිතපිණිස, සුවපිණිස භාගයවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා යි නො යැදීමි. මම එය දුෂ්කෘතයකැ’යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයකැ’යි ප්‍රකාශ කරමි.
ඇවැත් ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තෙපි තථාගතයන් වහන්සේ විසින් මනාව ප්‍රකාශ කරනලද ධර්‍මවිනයෙහි (ශාසනයෙහි) මාගමගේ පැවිද්දට උත්සාහවත් කළහු ය. මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරවයි.
වහන්ස, මම වනාහි මේ මහාප්‍රජාපතී ගෝතමි භාග්‍යවතුන් වහන්සේගේ මවගේ සොහොවුරි ය. (උන්වහන්සේ) හදා වඩා ගත්තී ය, පොෂණය කළා ය, කිරි දුන්නී ය. මව කලුරිය කළ කල්හි කිරි පෙව්වාය යි සලකා තථාගතයන් වහන්සේ විසින් මනාව ප්‍රකාශ කරන ලද ධර්‍මවිනයෙහි මාගමගේ පැවිද්දට උත්සාහවත් කෙළෙමි. මම එය දුෂ්කෘතයෙකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේලාගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයෙකැ යි ප්‍රකාශ කරමි යි.
12. එසමයෙහි ආයුෂ්මත් පුරාණ තෙරණුවෝ පන්සියයක් පමණවූ මහත් භික්‍ෂූ සමූහයක් සමග දක්‍ෂිණාගිරියෙහි චාරිකාවෙහි හැසිරෙති. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන් විසින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කළ කල්හි ආයුෂ්මත් පුරාණ තෙරණුවෝ දක්‍ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වැස රජගහ නුවර යම් තැනෙක ද, කලන්‍දක නිවාප නම් වූ වේළුවනය යම් තැනෙක ද, ස්ථවිර භික්‍ෂූහු යම් තැනෙක ද එතැනට එළැඹියහ. එළඹ ස්ථවිර භික්‍ෂූන් සමග පිළිසඳර කථා කොට එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ පුරාණ ආයුෂ්මතුන්ට ස්ථවිර භික්‍ෂූහු මෙසේ කීහ. ඇවැත් පුරාණයෙනි, ස්ථවිරවරුන් විසින් ධර්‍මය ද , විනය ද සඞ්ගායනා කරනලද්දේ ය. ඒ සංගීතිය ට එළඹෙනු මැනවැ’යි. (පිළිගනු මැනවැයි) ඇවැත්නි, ස්ථවිරවරුන් විසින් ධර්‍මය ද විනය ද මොනොවට සංගායනා කරනලද්දේ ය. වැළිදු මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි යම්සේ අසන ලද ද යම්සේ පිළිගන්නා ලද ද එසෙයින් ම මම දරන්නෙමි”යි කීහ.
බ්‍රහ්මදණ්ඩ කථාව
13. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කීහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පරිනිර්‍වාණ කාලයෙහි මට මෙසේ වදාළසේක: ආනන්‍ද, එසේ වී නම් මා ඇවෑමෙන් සඞ්ඝයා ඡන්න භික්‍ෂූහට බ්‍රහ්මදණ්ඩය අණ කෙරේවා’යි. ඇවැත් ආනන්‍දයෙනි, “වහන්ස බ්‍රහ්මදණඩය නම් කවරේ දැ”යි තෙපි භාග්‍යයවතුන් වහන්සේ විචාළහු දැ යි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන්, “වහන්ස, බ්‍රහ්මදණ්ඩය නම් කවරේ දැ”යි විචාළෙමි. ආනන්‍ද, ඡන්න භික්‍ෂූ තෙම යමක් කැමැති නම් එය කියන්නේ ය. භික්‍ෂූන් විසින් ඡන්න භික්‍ෂුතෙම නො ම බිණියයුතු ය. ඔවදන් නොකළයුතු ය. අනුශාසනය නො කළයුතු යි. ඇවත් ආනන්‍දයෙනි, එසේ වී නම් තෙපි ම ඡන්න භික්‍ෂූවට බ්‍රහ්මදණ්ඩය අණ කරව’යි.
වහන්ස, මම කෙසේ ඡන්න භික්‍ෂූවට බ්‍රහ්මදණ්ඩය අණ කෙරෙම් ද? ඒ මහණ චණ්ඩ ය, පරුෂ යයි. ඇවැත් ආනන්‍දයෙනි, එසේ වී නම් බොහෝ භික්‍ෂූන් සමග යව’යි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට එසේ ය. වහන්සැ’ යි පිළිවදන් දී පන්සියක් පමණ වූ මහත් භික්‍ෂූපිරිසක් සමග නැවෙන් කොසඹෑ නුවර වෙත උඩුගංබලා ගියහ. නැවෙන් බැස උදේන රජුගේ උයනට නුදුරෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන්හ.
14. එසමයෙහි උදේන රජ අන්තඃපුර ජනයා සමග උයනෙහි හැසිරෙයි. උදේන රජුගේ අන්තඃපුර ජනයා “අපගේ ආචාර්‍ය්‍ය වූ ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ උයනට නුදුරෙහි එක්තරා රුක්මුලෙක හුන්සේකැ”යි ඇසී ය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා උදේන රජහට මෙසේ කී ය: “දේවයන් වහන්ස, අපගේ ආචාර්‍ය්‍ය වූ ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ උයනට නුදුරෙහි එක්තරා රුක් මුලෙක හුන්සේක. දේවයන් වහන්ස, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේ දක්නට කැමැත්තම්හ”යි. එසේ නම් තෙපි ආනන්‍ද ශ්‍රමණයා දකිවුයි.
ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නා වූ උදේන රජුගේ අන්තඃපුර ජනයාට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දැහැමි කථාවෙන් මොනොවට කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් මොනවට කරුණු දක්වන ලද, සමාදන් කරවනලද, තෙදගන්වන ලද, සතුටු කරවන ලද උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට උතුරුසළු පන්සියයක් ප්‍රදානය කෙළේ ය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ භාෂිතයට සතුටු වී අනුමෝදන් වී හුනස්නෙන් නැඟී ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ පැදකුණු කොට උදෙනරජ යම් තැනක ද එතැනට එළඹියේ ය.
උදේන රජ එන්නා වූ අන්තඃපුර ජනයා දුරදී ම දුටුවේ ය. දැක අන්තඃපුර ජනයාට මෙය කී ය: “තෙපි ශ්‍රමණ ආනන්‍ද දුටු දැ”යි. “දේවයිනි, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් දුටුම්හ යි”. තෙපි ශ්‍රමණ ආනන්දට කිසිවක් දුන්නු දැ යි. දේවයිනි, අපි ආනන්‍ද ආර්‍ය්‍යයන් වහන්සේට උතුරුසළු පන්සියයක් දුනුම්හ’යි. කෙසේ නම් ශ්‍රමණ ආනන්‍ද තෙම එපමණ බොහෝ සිවුරු පිළිගත්තේ ද. ශ්‍රමණ ආනන්‍ද තෙම රෙදි වෙළඳාම හෝ කරන්නේ ද, රෙදි වෙළඳ හලක් විවෘත කරන්නේ දැ යි. උදේන රජ එය ලමු කොට සිතයි. නුගුණ කියයි. දොස් පතුරුවයි.
15. ඉක්බිති උදේන රජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් උදෙනරජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට “භවත් ආනන්‍දයෙනි, අපගේ අන්තඃපුර ජනයා මෙහි ආයේ දැ’යි මෙය කී ය.
මහරජ තොපගේ අන්තඃපුර ජනයා මෙහි ආයේ යැ’යි.
භවත් ආනන්‍දහට කිසිවක් දුන්නේ දැ’යි.
මහරජ මට උතුරුසළු පන්සියක් දුන්නේ යැ’යි,
භවත් ආනන්‍ද තෙම එපමණ බොහෝ සිවුරු කුමක් කරන්නේ දැ’යි.
මහරජ, යම් භික්‍ෂූ කෙනෙක් දුබල සිවුරු ඇත්තාහු ද ඔවුන් සමග බෙදාගන්නෙමි’ යි.
භවත් ආනන්‍දයෙනි, යම් පැරණි දුබල සිවුරු වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ, ඒවා ඇතිරිලි කරන්නෙමු’යි.
භවත් ආනන්‍දයෙනි, යම් පැරණි ඇතිරිලි වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ, ඒවා බිසිඋර (බිසිවලට දමන උර) කරන්නෙමු’යි.
භවත් ආනන්‍දයෙනි, යම් පැරණි බිසිඋර වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ, ඒවා බුමුතුරුණු කරන්නෙමු’යි.
භවත් ආනන්‍දයෙනි, යම් පැරණි බුමුතුරුණු වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ ඒවා පාපිසි කරන්නෙමු’යි.
භවත් ආනන්‍දයෙනි, යම් පැරණි පාපිසි වෙත් ද, ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ, ඒවා රජස් හරණ කඩ කරන්නෙමු’යි.
භවත් ආනන්‍දයෙනි, යම් පැරණි රජස් හරණ කඩ වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ යි.
මහරජ, ඒවා කොටා මැටි සමග අනා පිරිබඩ ආලේප කරන්නෙමු’යි.
ඉක්බිති උදේන රජ “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ සියල්ල ම නුවණින් යොදවත්, ගබඩාවට නො යවතැ යි (සලකා) ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අනිත් වස්ත්‍රපන්සියක් ද ප්‍රදානය කෙළේ ය. මේ වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට සිවුරු දහසෙක් වූ පළමු චීවර භික්‍ෂාව උපන.
16. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඝෝෂිතාරාමය යම් තැනෙක ද එතැනට එළඹිසේක. එළඹ පැනවූ අස්නෙහි හුන්සේක. ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශකළ සේක. “ඇවත් ඡන්නයෙනි, සඞ්ඝයා විසින් තොපට බ්‍රහ්මදණඬය පණවන ලදැ’යි. වහන්ස ආනන්‍දයෙනි, බ්‍රහ්මදණ්ඩය නම් කවරේ දැ’යි,
ඇවැත් ඡන්නයෙනි. තෙපි යමක් කැමැති නම් එය භික්‍ෂූන්ට කියන්නහුය. (එහෙත්) භික්‍ෂූන් විසින් තෙපි නො බිණියයුත්තනු ය අවවාද නො කළයුත්තහු ය අනුශාසනා නො කළයුත්තහු ය යි. වහන්ස ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මම භික්‍ෂූන් විසින් නො බිණිය යුත්තෙම් ද, අවවාද නො කළයුත්තෙම් ද, අනුසාසනා නො කළයුත්තෙම් ද, මෙපමණකින් මම නටුයේ නො වෙම් දැ’යි (කියා) මූර්ඡිත ව එහි ම වැටුණේ ය.
17. ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ බ්‍රහ්මදණඩයෙන් පෙළෙනු ලබන්නේ ලජ්ජා කරනුලබන්නේ පිළිකුල් කරනු ලබන්නේ එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමා වූයේ කෙලෙස් තවන වැර ඇත්තේ කෙලෙස් තැවීමෙහි යොදන ලද සිත් ඇති ව වෙසෙන්නේ නො බෝ කලෙකින් ම යමක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම අනගාරික වූ ශාසනයෙහි පැවිදි වෙත් ද අනුත්තර වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයාව කෙළවර කොට ඇති ඒ ධර්‍මය ඉහාත්මයෙහි දී ම තමා ම දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ විසූහ. ඉපදීම ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ භවයෙන් මතු අනිත් භවයෙක් නැතැ යි වෙසෙසින් ම දත්හ. ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක් නමක් වූහ.
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ රහත්බවට පැමිණිසේක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීහ: වහන්ස, ආනන්‍දයෙනි දැන් මාගේ බ්‍රහ්මදණ්ඩය සන්සිඳුවනු මැනවැ’යි. ඇවැත් ඡන්නයෙනි, යම් කලෙක තොප විසින් රහත්බව සාක්‍ෂාත් කරනලද ද එකල තොපගේ බ්‍රහ්මදණඩය සන්හිඳුණේ යි.
මේ විනය සංගීතියට අඩු වැඩි නො වූ පන්සියක් භික්‍ෂූහු වූහ. එහෙයින් මේ විනය සංගීතිය පඤ්චසතිකා යි කියනු ලැබේ යි.
එකොළොස්වැනි පඤ්චසතිකක්ඛන්‍ධක යි.
මේ ඛන්‍ධකයෙහි වස්තු තෙවිස්සෙකි.
එහි උද්දානය:
1. සම්බුදුන් පිරිනිවි කල්හි සද්ධර්‍මයෙහි අනුපාලක වූ කාශ්‍යප නම් තෙරුන් වහන්සේ භික්‍ෂූ සමූහයා ඇමතූසේක.
2. පාවා නුවරට යන දීර්‍ඝ මාර්‍ගයෙහි සුභද්ද විසින් ප්‍රකාශ කරන ලද්දේ ය. අධර්‍මය බැබළීමට පෙර සද්ධර්‍මය සංගායනා කරම්හ. (යනු ද.)
3. එක් නමක් අඩු පන්සියක් ද ආනන්‍ද තෙරුන් ද තෝරා ගත්හ. උතුම් ගුහායෙහි වෙසෙමින් ධර්‍මවිනය සංගායනා කිරීම ද,
4. උපාලි තෙරුන් විනය ද පණ්ඩිත ආනන්‍ද තෙරුන් සූත්‍රාන්තය ද විචාළහ. ජිනශ්‍රාවකයන් වහන්සේලා තුන් පිටකය සංගායනා කළහ.
5. ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද පිළිබඳ විවිධ මත, පැනවීම අනුව පැවැත් වීම, (ඛුද්දානුඛුද්දක කවරේ දැ යි) නො ඇසීම, ඇක්මීම, වැන්දවීම, නො යැදීම, මාගම් පැවිද්ද යන මේවා (තෙරවරුන්ගේ වචනය) ඇදහීම නිසා දුෂ්කෘත යැ’යි කීම,
6. පුරාණ තෙර ය, බ්‍රහ්මදණ්ඩ ය, උදේන රජු සහ අන්තඃපුර ජනයා ය, බොහෝ සිවුරු ය, දුබල සිවුරු ය, ඇතිරිලිය, බිසිය,
7. බුමුතුරුණු ය, පාපිස්නා ය, රජස් හරණ ය, මැටි සමග මැඩීම ය, අනඳ තෙරුන්ට පළමුවරට දහසක් සිවුරු ඇතිවීම ය.
8. බ්‍රහ්මදණඩයෙන් තර්‍ජනය කිරීම ය. චතුස්සතාස ය අවබෝධ කිරීම, පන්සියක් රහතුන් වූ හෙයින් පඤ්චසතී යැ’යි ව්‍යවහාර කිරීම ද වේ.
12.
සත්‌තසතිකක්‌ඛන්‌ධකය
පළමු බණවර
1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සියක් අවුරුදු ගත වූ කල්හි විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු විශාලා නුවර දශවස්තුවක් ප්‍රකාශ කෙරෙත්. එනම් සිඞ්ගිලොණකප්පය (අඟෙහි තබා ගත් ලුණු යාවකාලික වස්තු සමග වැළඳීම) කැප ය, ද්වංගුලකප්පය (ඉර හැරුණු පසු ඡායාව දෑඟුල් ඉක්මෙන තෙක් දන් වැළඳීම) කැප ය, ගාමන්තර කප්පය (වළඳා පැවැරූ භික්‍ෂූව විසින් අන් ගමකට යමැ යි අනතිරික්ත භෝජනය වැළඳීම) කැප ය, ආවාසකප්ප ය (එක් සීමාවක් ඇතුළත නොයෙක් ආවාසයන්හි වෙන වෙන ම පොහෝ පවුරුණු කිරීම) කැප ය, අනුමතිකප්පය (අත්පසට නො පැමිණ සීමාව ඇතුළත සිටි භික්‍ෂූන්ගේ ඡන්‍දය පසුව ගන්නෙමුයි කියා පොහෝ පවුරුණු ආදිය කිරීම) කැප ය, ආචිණ්ණකප්පය (ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් විසින් පුරුදු කරන ලද සියල්ල එසේ කිරීම) කැප ය, අමථීතකප්පය (භෝජන පවාරණය කොට නො කළඹන ලද දී වැළඳීම) කැප ය, නො පැසුණු සුරා පානය කැප ය, දාවලු නැති නිසීදනය කැප ය, රන්රිදී කැප ය යන මොහුයි.
2. එසමයෙහි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ වජ්ජි ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නාහු විශාලා නුවර යම් තැනෙක ද එහි පැමිණියාහ. එහි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා නුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වෙසෙති. එකල්හි විශාලා නුවර වැසි වප්ජිපුත්‍රක භික්‍ෂූහු ඒ පොහෝ දිනයෙහි රන්බඳුනක් ජලයෙන් පුරවා භික්‍ෂුසඞ්ඝයා මැද තබා එහි පැමිණි පැමිණි විශාලා නුවර වැසි උපාසකයන්ට මෙසේ කියත්: “ඇවැත්නි, සඞ්ඝයාට කහවණුවක් හෝ අඩකහවණුවක් හෝ කහවණු පාදයක් හෝ රන්මස්සක් හෝ දෙවු. සඞ්ඝයාට පිරිකරින් කටයුතු ඇතැ”යි. මෙසේ කී කල්හි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි උපාසකයන්ට මෙය කීහ. “ඇවැත්නි, සඞ්ඝයාට කහවණුවක් හෝ අඩ කහවණුවක් හෝ කහවණු පාදයක් හෝ රන්මස්සක් හෝ නො දෙවු. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන් රිදී කැප නො වේ. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහු ය. රන්රිදීයෙන් වෙන් වූවාහු ය යි”.
කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විසින් මෙසේ ද කියනු ලබන්නා වූ විශාලා වැසි උපාසකයෝ සඞ්ඝයාට කහවණු ද අඩකහවණු ද කහවණු පාද ද රන්මසු ද දුන්නාහු ම ය. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු ඒ රාත්‍රිය ඇවෑමෙන් ඒ රන් භික්‍ෂා වශයෙන් කොටස් තබා බෙදූහ.
3. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේට මෙය කීහු: “ඇවැත් යස ස්ථවිරයෙනි, තෙල තොපගේ රන් කොටස යැ”යි. ඇවැත්නි, මගේ රන් කොටසෙක් නැත. මම රන් නො ඉවසමි යි.
ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු, “ඇවැත්නි, කාකණ්ඩක පුත්‍ර වූ මේ යස (ස්ථවිර) තෙම සැදැහැති, පැහැදුණු, උපාසකයන්ට ආක්‍රෝශ කරයි, පිරිහෙළා බෙණෙයි, නො පැහැදීම ඇති කරයි. එහෙයින් අපි මොහුට පටිසාරණීය කර්‍මය කරම්හ”යි කියා ඔව්හු උන්වහන්සේට පටිසාරණීය කර්‍මය කළහ. ඉක්බිති කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට මෙය කීහ. “ඇවැත්නි, පටිසාරණීය කර්‍මය කරනලද භික්‍ෂූවට අනුදුතයෙක් දිය යුත්තේ යැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවනලද්දේ ය, ඇවැත්නි මට අනුදුත වූ භික්‍ෂූවක් දෙව යි. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු එක් භික්‍ෂූවක් සම්මත කොට කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන්ට අනුදූතයකු කොට දුන්හ.
4. ඉක්බිති කාකණ්ඩකපුත්‍ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ අනුදුත භික්‍ෂුව සමග වේසාලියට පිවිස විශාලා නුවර වැසි උපාසකයන්ට මෙය කීහ. “යම්බඳු වූ මම අධර්‍මය අධර්‍ම යැ යි කියම් ද, ධර්‍මය ධර්‍ම යැයි කියම් ද අවිනය අවිනයැ යි කියම් ද විනය විනයැ යි කියම් ද ඒ මම සැදැහැති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන්ට ආක්‍රෝශ කෙරෙම් ල පිරිහෙළා බෙණෙම් ල, නො පැහැදීම ඇති කෙරෙම් ල.
ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වෙසෙන සේක. ඇවැත්නි, එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම් උපක්ලෙශයන්ගෙන් කෙලෙසීමට පත් වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද පැහැ නො විහිදුවත් ද නො බබළත් ද සඳ හිරු දෙදෙනාට එබඳු උපක්ලේශයෝ සතරෙක් වෙත්. කවර සතරෙක් ද යත්; මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද වලාකුළ සඳහිරු දෙදෙනාට (එබඳු) උපක්ලෙශයෙකි, මහණෙනි,....මීදුම සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි. මහණෙනි,... දුම්රජස (දුම් හා දූවිලි) සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි, මහණෙනි, ... රාහු අසුරිඳු සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි, මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත් වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද මේ සතර සඳහිරු දෙදෙනාට උපක්ලේශයෙන් වෙත්.
මහණෙනි, මෙපරිද්දෙන් ම යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත් වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද නො බබළත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට එබඳු මේ උපක්ලේශ සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් සුරා බොති. මේරය බොති. සුරාමේරය පානයෙන් නො වැළකුණාහු වෙත්. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද, ශ්‍රමණ ද බ්‍රාහ්මණයන්ට මේ පළමු උපක්ලේශ යයි. මහණෙනි, වැළි දු (අනිකක් කියමි.)... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මෙවුන්දම් සේවනය කෙරෙත්. මෙවුන් දමින් නො වැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ දෙවැනි උපක්ලේශය යි.
මහණෙනි, වැළිදු අනිකක් (කියමි.) ... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් රන්රිදී ඉවසත්, රන්රිදී පිළිගැනීමෙන් නො වැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ තෙවැනි උපක්ලේශ යයි. මහණෙනි, වැළි දු අනිකක් (කියමි.) ... ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව කෙරෙත්. මිථ්‍යා ආජීවයෙන් නොවැළකුණාහු වෙත්. මහණෙනි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ සිවුවැනි උපක්ලේශය යි. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ (එබඳු) උපක්ලේශ සතර වෙතැ’යි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා ඉක්බිති වැළිදු ශාස්තෲන් වහන්සේ මෙය වදාළසේක.
ඇතැම් මහණ බමුණෝ රාගයෙන් හා ද්වේෂයෙන් හාත්පසින් කිලුටු වූවාහු අවිද්‍යාවෙන් වැසුණාහු ප්‍රියරූපයන්හි සතුටුවීම් වශයෙන් ඇලෙන පුරුෂයෝ වූවාහු,
නොනුවණින් යුක්ත වූවාහු, සුරා ද මේරය ද බොති. මෙවුන්දම් සෙවිති. රිදී හා රන් ද ඉවසත්.
ඇතැම් මහණබමුණේ මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙත්. ආදිත්‍යබන්‍ධු වූ බුදුන් විසින් මොහු උපක්ලේශයෝ යී වදාරන ලදහ.
අපිරිසුදු වූ (කෙලෙස්) රජස් සහිත වූ නොසුදුසු පැවතුම් ඇත්තා වූ ඇතැම් මහණබමුණෝ යම් උපක්ලෙශයන්ගෙන් කිලුටු වූවාහු නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද,
අවිද්‍යා නමැති අන්‍ධකාරයෙන් වැළඳගන්නා ලද්දා වූ තෘෂ්ණාවට දාස වූ සංසාරයට පමුණුවන තෘෂ්ණාව සහිත වූ (ඔවුහු) පොළොව වඩත්, ඝෙර වූ පුනර්‍භවය වැළඳගනිත්.
මෙසේ කියන්නා වූ මම ශ්‍රද්ධාවත් පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය (ඇති) කෙරෙම් ල. ඒ මම අධර්‍මය අධර්‍ම ය යි කියමි. ධර්‍මය ධර්‍ම ය යි කියමි. අවිනය අවිනය යි කියමි. විනය විනය යි කියමී.
5. ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වෙසෙන සේක. ඇවැත්නි, එ සමයෙහි රජුගේ අන්තඃපුරයෙහි රජපිරිසෙහි රැස්ව හුන්නවුන්ගේ මේ අතුරු කථාවෙක් උපන්නේ ය. (එනම්) ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන්රිදී පිළිගනිත් යනු යි. ඇවැත්නි, එසමයෙහි මණිචූළක ගාමණී ඒ පිරිසෙහි හුන්නේ වෙයි.
ඇවැත්නි, ඉක්බිති මණිචූළක ගාමණී ඒ පිරිසට මෙය කී ය: “ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියවු, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන් රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන් රිදීයෙන් වැළකුණාහ යි”. ඇවැත්නි, මණිචූළ ගාමණී ඒ පිරිසට (කාරණය) පිළිගන්වන්නට හැකි වූයේ ය.
6. ඇවැත්නි, ඉක්බිති මණිචූළක ගාමණී ඒ පිරිසට (කාරණය) පිළිගන්වා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. ඇවැත්නි, එකත්පසෙක හුන් මණිචූළක ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස මෙහි රජුගේ අන්තඃපුරයෙහි රජපිරිසෙහි රැස්ව හුන්නවුන්ගේ මේ අතුරු කථාවෙක් උපන්නේ ය. (එනම්) ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී පිළිගනිත්. (යනුයි.) මෙසේ කී කල්හි වහන්ස, ඒ පිරිසට මම මෙය කීමි. ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියවු. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන්රිදීයෙන් වැළකුණාහ යි. වහන්ස, මම ඒ පිරිසට (කරුණු) පිළිගැන්වීමට හැකි වීමි. වහන්ස, කිමෙක් ද? මෙසේ විවරණය කරන්නා වූ මම භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්‍මය කියන්නෙකුත් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කියන්නෙකුත් නො වෙම් ද? ධර්‍මයට අනුකූල වූ ධර්‍මයක් ප්‍රකාශ කෙරෙම් ද? කිසියම් සහධාර්මික වූ වාදයට බැසගැන්මක් ගැරහිය යුතු තැනට නො පැමිණේ දැ’යි.
ගාමණී, මෙසේ විවරණය කරන්නා වූ නුඹ ඒකාන්තයෙන් මා දෙසූ ධර්‍මය කියන්නෙක් ද වූවෙහි, මට අභූතයෙන් දෝෂාරෝපණය ද නො කරන්නෙහි, ධර්‍මයට අනුකූල වූ ධර්‍මයක් ම ප්‍රකාශ කරන්නෙහි. කිසියම් සහධාර්මික වූ වාදයට බැසගැන්මක් ගැරහියයුතු තැනට ද නො පැමිණෙයි. ගාමණී, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයන්ට රන්රිදී කැප නො වෙයි. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහ. රන් රිදීයෙන් වැළකුණාහ යි. ගාමණී, යමකුට රන්රිදී කැප වෙයි ද, ඔහට පඤ්චකාම ගුණයෝ ද කැප වෙත්. ගාමණී, යමකුට පඤ්චකාමගුණයෝ කැප වෙත් ද, හේ මහණදම් නැත්තෙකි. ශාක්‍යපුත්‍රීය දහම් නැත්තෙකැ’යි මෙය ඒකාන්තයෙන් දරන්නෙහි. තව ද ගාමණී මම මෙසේ කියමි. තණ කැමැත්තකු විසින් තණ සෙවියයුතු. දැව කැමැත්තකු විසින් දැව සෙවියයුතු, ගැල්, කැමැත්තකු විසින් ගැල්, සෙවියයුතු. පුරුෂයන් කැමැත්තකු විසින් පුරුෂයා සෙවියයුතු, ගාමණී මම කිසි ක්‍රමයකින් රන්රිදී ඉවසියයුතු ය. සෙවියයුතු යැ’යි. නො කියමි’යි මෙසේ කියන්නා වූ මම ශ්‍රද්ධාව ඇති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය කෙරෙම් ල. ඒ මම අධර්‍මය අධර්‍ම ය යි කියමි. ධර්‍මය ධර්‍ම යයි කියමි. අවිනය අවිනය යි කියමි. විනය විනයයි කියමි.
7. ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඒ වෙහෙරෙහි දී ම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා ඇරබ රන්රිදී ප්‍රතික්‍ෂේප කළසේක. ශික්‍ෂාපදයක් ද පැනවූයේක. මෙසේ කියන්නාවූ මම ශ්‍රද්ධාව ඇති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන් ආක්‍රෝශ කෙරෙම් ල, පිරිහෙළා බෙණෙම් ල, අප්‍රසාදය කෙරෙම් ල, ඒ මම අධර්‍මය අධර්‍ම යයි කියමි, ධර්‍මය ධර්‍ම ය යි කියමි, අවිනය අවිනය යි කියමි, විනය විනය යි කියමී යි. මෙසේ කී කල්හි විශාලා වැසි උවසුවෝ කාකණ්ඩකපුත්‍ර නම් වූ යස ආයුෂ්මතුන් වහන්සේට මෙය කීහ. “වහන්ස, කාකණ්ඩකපුත්‍ර වූ යස ආර්‍ය්‍යයන් වහන්සේ එක ම ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් වහන්සේ ය, මේ සියල්ලෝ ම ශ්‍රමණයෝ නො වෙති. ශාක්‍යපුත්‍රයෝ නො වෙති. වහන්ස, යස කාකණ්ඩකපුත්‍ර ආර්‍ය්‍යයන් වහන්සේ වේසාලියෙහි වසනසේක්වා, අපි යස කාකණ්ඩකපුත්‍ර ආර්‍ය්‍යයන් වහන්සේට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර සඳහා උත්සාහ කරන්නෙමු”යි. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි උපාසකයන්ට කරුණු දන්වා අනුදූත භික්‍ෂුව සමග අරමට වැඩියහ.
8. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂුහු “ඇවැත්නි, කාකණ්ඩක පුත්‍ර යස විසින් විශාලාවැසි උවසුවෝ ක්‍ෂමාකරවන ලද්දාහු”දැ යි අනුදූත භික්‍ෂුව විචාළහ. ඇවැත්නි, උවසුවන් ලවා අපි පවිටෝ කරන ලද්දම්හ. යස කාකණ්ඩකපුත්‍ර තෙම එක ම ශ්‍රමණ ශාක්‍යපුත්‍රයා කරන ලද්දේ ය. අපි සියල්ලෝ ම අශ්‍රමණයෝ අශාක්‍යපුත්‍රයෝ කරන ලද්දම්හ” යි.
ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු “ඇවැත්නි, මේ යස කාකණ්ඩකපුත්‍ර තෙම අප විසින් සම්මත නො කරන ලද්දේ ගිහියන්ට (භික්‍ෂූන්ගේ දොස්) ප්‍රකාශ කෙළේ ය. එහෙයින් අපි මොහුට උක්ඛේපනීය කර්‍මය කරම්හ”යි (කියා) ඔව්හු උන්වහන්සේට උක්ඛේපනීය කර්‍මය කරනු කැමැති ව රැස්වූහ. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහසට නැගී කොසඹෑ නුවරෙහි පහළ වූයේක. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාවා නුවරවාසී වූ ද, අවන්ති දක්ෂිණාපථ වාසී වූ ද, භික්‍ෂූන් සමීපයට දූතයකු යැවූහ. “අධර්‍මය බැබළීමට ද ධර්‍මය බැහැර කරනු ලැබීමට ද අවිනය බැබළීමට ද විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත් වීමට ද ධර්මවාදීන් දුබලවීමට ද, අවිනයවාදීන් බලවත්වීමට ද විනයවාදීන් දුබලවීමට ද පෙර ආයුෂ්මත්හු පැමිණෙත්වා, මේ අධිකරණය ඉදිරියට ගන්නෙමු (කියා)යි. එසමයෙහි සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ අහොගඞ්ග පර්‍වතයෙහි වෙසෙනසේක. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහොගඞ්ග පර්‍වතය යම් තැනෙක ද සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹිසේක. එළඹ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්සේක. එකත්පසෙක හුන් ආයුෂ්මත් යසකාකණ්ඩක පුත්‍ර ස්ථවිරයන් වහන්සේ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ.
“වහන්ස, විශාලාවැසි මේ වජ්ජිපුත්‍රක භික්‍ෂූහු විශාලාවෙහි දශවස්තුවක් දක්වත්. (එනම්) සිඞ්ගිලෝණකප්පය කැප ය. ද්වඞ්ගුල කප්පය කැප ය, ගාමන්තරකප්පය කැප ය, ආවාසකප්පය කැප ය, අනුමතිකප්පය කැප ය, ආචිණ්ණකප්පය කැප ය, අමථිත කප්පය කැප ය, නො පැසුණු සුරා බොන්නට කැප ය, දහවලු නැති නිසීදනය කැප ය, රන්රිදී කැප ය (යනුයි). වහන්ස, අධර්‍මය බැබළීමට ද ධර්‍මය බැහැර කරනු ලැබීමට ද, අවිනය බැබළීමට ද, විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත්වීමට ද, ධර්මවාදීන් දුබල වීමට ද, අවිනයවාදීන් බලවත්වීමට ද විනය වාදීන් දුබලවීමට ද පෙර අපි මේ අධිකරණය කර ගන්නෙමු” යි. ඇවැත්නි, එසේ යැ යි සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
9. ඉක්බිති සියල්ලෝ ම ආරඤ්ඤික වූ සියල්ලෝ ම පිණ්ඩපාතික වූ සියල්ලෝ ම පංසුකූලික වූ සියල්ලෝ ම තෙචීවරික වූ සියල්ලෝ ම රහත් වූ පාවා නුවර වැසි සැටක් පමණ භික්‍ෂූහු අහොගඞ්ග පර්‍වතයෙහි රැස්වූහ. ඇතැමෙක් ආරඤ්ඤික වූ ඇතැමෙක් පිණ්ඩපාතික වූ ඇතැමෙක් පංසුකූලික වූ ඇතැමෙක් තෙචීවරික වූ සියල්ලෝ ම රහත් වූ අවන්ති දක්ෂිණාපථවාසී වූ අටාසූවක් පමණ භික්‍ෂූහු අහොගඞ්ග පර්‍වතයෙහි රැස්වූහ.
ඉක්බිති මන්ත්‍රණය කරන ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය: මේ අධිකරණය වනාහි කර්‍කශ ද චණ්ඩ ද වෙයි. යමක් හේතු කොට ගෙන අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමුද එබඳු වූ පක්‍ෂයක් අපි කෙසේ නම් ලබන්නෙමු දැ’යි. එසමයෙහි වනාහි බහුශ්‍රුත වූ අවබෝධ කළ ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකා (මාතෘකා ස්වරූප අභිධර්‍මය) ධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැත්තා වූ ලජ්ජී වූ වරදෙහි කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නගරයෙහි වැඩවෙසෙති. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය: බහුශ්‍රුත වූ අවබෝධ කළ ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකා (මාතෘකාස්වරූප අභිධර්‍මය) ධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැත්තා වූ ලජ්ජී වූ වරදෙහි කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ මේ ආයුෂ්ම රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නගරයෙහි වැඩවෙසෙති. ඉදින් අපි ආයුෂ්මත්රෙවත ස්ථවිරයන් වහන්සේ (අපට) පක්‍ෂ කොට ලබන්නෙමු නම් මෙසේ අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු යි.
මන්ත්‍රණය කරන ස්ථවිර භික්‍ෂූන්ගේ (කථාව) ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ මිනිස්බව ඉක්ම වූ විසුද්ධ වූ දිව්‍ය ශ්‍රෝතසින් (දිවකනින්) ඇසූහ. අසා උන්වහන්සේට මේ අදහස විය. මේ අධිකරණය වනාහි කර්‍කශ ද චණ්ඩ ද වෙයි. යම්බඳු වූ මම මෙවැනි අධිකරණයෙහි (හැකියාව යටපත් කරන්නෙම්) පසු බසින්නෙම් නම් මෙය මට සුදුසු නො වෙයි. දැනුදු ඒ භික්‍ෂූහු එන්නාහු ය. ඒ මම ඒ භික්‍ෂූන් සමග ආකීර්‍ණ වූයෙම් (නම්) පහසුව යන්නට නො හැක්කෙමි. මම පෙරටුව ම යන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නුවරින් සඩ්කස්ස නුවරට වැඩියහ.
10. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සොරෙය්‍ය නුවරට ගොස් ආයුෂ්මත් “රේවත තෙරුන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සඞ්කස්සයට වැඩියහ’යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරුන් වහන්සේ සඞ්කස්සයෙන් කණ්ණකුජ්ජ නුවරට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සඞ්කස්ස නුවරට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කණ්ණකුජ්ජයට වැඩියහ යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කණ්ණකුජ්ජ නුවරින් උදුම්බර නුවරට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු කණ්ණකුජ්ජයට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ උදුම්බර නුවරට වැඩිසේකැ’යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ උදුම්බර නුවරින් අග්ගළපුරයට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු උදුම්බර නුවරට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අග්ගළපුරයට වැඩිසේකැයි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අග්ගළ පුරයෙන් සහජාති පුරයට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු අග්ගළ පුරයට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සහජාති පුරයට වැඩිසේකැ’යි ඔහු කීහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සහජාති පුරයෙහි දී ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සම්භාවනය කළහ. (හමු වූහ.)
11. ඉක්බිති සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ‘ඇවැත්නි, මේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ බහුශැතයහ. අවබෝධ කළ ආගම ඇත්තාහ, ධර්‍මධරයහ, විනයධරයහ, මාතිකාධරයහ, පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැත්තහ, ලජ්ජීහ, වරදෙහි කුකුස් කරන සුල්ලහ, ශික්‍ෂාකාමීහ. ඉදින් අපි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අසන්නෙමු නම් එකප්‍රශ්නයකින් ම සියලු රැය ඉක්මවන්නට ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ප්‍රතිබලයහ. දැන් වනාහි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අතැවැසි සරභාණක (මිහිරි ස්වරයෙන් දේශනාකරන) භික්‍ෂූනමක් අධ්‍යෙෂණය කරවන්නාහ. ඒ භික්‍ෂූනමගේ මිහිරිස්වරයෙන් බිණීම අවසානයෙහි නුඹ වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වෙත එළඹ මේ දසවස්තූන් අසන්නහු නම් මැනවැ’යි.
එසේ ය වහන්සැ යි (කියා) ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සාණවාසී සම්භූත ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අතැවැසි ස්වරභාණක භික්‍ෂූනම අධ්‍යෙෂණය කළහ. ඉක්බිති ඒ භික්‍ෂුනමගේ ස්වරභාණය අවසානයෙහි ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ:
12-1 වහන්ස, සිඞ්ගිලොණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ සිඞ්ගිලොණකප්පය නම් කවරේ දැ?යි. වහන්ස, යම් තැනෙක ලුණු නැති භොජනයක් වේ නම් එහි දී වළඳන්නෙමි”යි අඟකින් ලුණු පරිහරණය කිරීමට කැප වෙයි ද, ඇවැත්නි නො කැප වෙයි.
2. වහන්ස, ද්වඩ්ගුලකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ද්වඞ්ගුලකප්පය නම් කවරේ දැ’යි. වහන්ස, සෙවණැල්ල අඟල් දෙකක් ඉක්ම ගිය කල්හි විකාලයෙහි භෝජනය වැළඳීමට කැප වෙයි ද? ඇවැත්නි, නො කැප වෙයි.
3. වහන්ස, ගාමන්තරකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ගාමන්තරකප්පය නම් කවරේ දැ යි. වහන්ස, දැන් අනිත් ගමකට යන්නෙමි යි (සලකා) වළඳා අවසන් ව පවාරණය කළ භික්‍ෂූව විසින් අයිරිත් නො කළ භෝජනය වළඳන්ට කැප වෙයි දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
4. වහන්ස, ආවාසකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ ආවාසකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සමාන සීමාවක් ඇති බොහෝ ආවාසයෝ වෙත් (නම් එහි) නානා උපෝසථය කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
5. වහන්ස, අනුමතිකප්පය කැප වේ දැ’ යි. ඇවැත්නි ඒ අනුමතිකප්පය නම් කවරේ ද’යි. වහන්ස, පැමිණි කල්හි භික්‍ෂීන් අනුදන්නෙමු’යි වර්‍ග වූ සඞ්ඝයා විසින් (සඞ්ඝ) කර්‍මයන් කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
6. වහන්ස, ආචිණ්ණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ ආචිණ්ණකප්පය නම් කවරේ දැ යි. වහන්ස මෙය මාගේ උපාධ්‍යායයන් වහන්සේ විසින් පුරුදු කරනලදය මෙය මාගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින් පුරුදු කරන ලද යැ’යි (සලකා) එය පුරුදු කොට හැසිරෙන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, ඇතැම් ආචිණ්ණකප්පයක් කැප වෙයි. ඇතැම් ආචිණ්ණකප්පයක් නො කැප වෙයි.
7. වහන්ස, අමථීතකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ අමථිතකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් ඒ කිරක් කිරිබව අත්හළේ ද දී බවට නො පැමිණියේ ද, වළඳා අවසන් ව පවාරණය කළ භික්‍ෂුව විසින් අයිරිත් නො කළ ඒ කිරි බොන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වෙයි.
8. වහන්ස, ජලොගිය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ජලොගිය නම් කවරේ දැ යි. වහන්ස, යම් ඒ සුරාවක් නො පැසුණි ද මද්‍යබවට නො පැමිණියා ද එය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
9. වහන්ස, දහවලු රහිත නිසීදනය කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
10. වහන්ස, රන්රිදී කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වෙයි.
වහන්ස, විශාලාවැසි මේ වජ්ජිපුත්‍රක භික්‍ෂූහු විශාලානුවර මේ දශ වස්තුව ප්‍රකාශ කෙරෙත්. වහන්ස, අධර්‍මය බැබළීමට ද ධර්‍මය බැහැර කරනුලැබීමට ද අවිනය බැබළීමට ද විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත් වීමට ද ධර්මවාදීන් දුබල වීමට ද අවිනයවාදීන් බලවත් වීමට ද විනයවාදීන් දුබල වීමට ද පෙර අපි මේ අධිකරණය ඉදිරියට ගන්නෙමුයි. ඇවැත්නි. එසේ යැ’යි කියා ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් කාකණ්ඩකපුත්‍ර යස ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
පළමු බණවර නිමි.