එසමයෙහි භික්‍ෂුණීහු පෙරබත් වේලායෙහි පවරන්නාහු කාලය ඉක්මවූහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, පසුබත් වේලායෙහි පවරන්නට අනුදනිමි”යි. පසුබත් වේලායෙහි පවරන්නාහු විකාලයෙහි වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, අද දින භික්‍ෂුණීසඞ්ඝයා පවරා පසු දින භික්‍ෂූසඞ්ඝයා පවරන්නට අනුදනිමි”යි.
64. එසමයෙහි සියලු භික්‍ෂුණී සඞ්ඝයා පවරන්නේ කෝලාහල කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණීසඞ්ඝයා සඳහා භික්‍ෂූසඞ්ඝයා පවරන්නට එක් ව්‍යක්ත ප්‍රතිබල වූ භික්‍ෂූණියක් සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළයුතු, පළමුව මෙහෙණගේ කැමැත්ත ඉල්ලුම් කළයුතු ය. ඉල්ලුම් කොට ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුණියක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්වියයුතු ය. ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් භික්‍ෂුණීසඞ්ඝයා සඳහා භික්‍ෂූසඞ්ඝයා පැවරීමට මෙනම් භික්‍ෂුණිය සම්මත කරන්නේය’. මේ ඥප්තිය යි.
“ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. භික්‍ෂුණිසඞ්ඝයා සඳහා භික්‍ෂුසඞ්ඝයා පැවරීමට මෙනම් භික්‍ෂුණිය සඞ්ඝයා සම්මත කරන්නේ ය. භික්‍ෂුණීසඞ්ඝයා සඳහා භික්‍ෂූසඞ්ඝයා පැවරීමට මෙනම් භික්‍ෂුණිය සම්මත කිරීම යම් ආර්‍ය්‍යාවකට රුචි වේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යාවකට අරුචි වේ නම් ඕ කියන්නී ය. භික්‍ෂුණීසඞ්ඝයා සඳහා භික්‍ෂූසඞ්ඝයා පැවරීමට සඞ්ඝයා විසින් මෙනම් ඇත්තී සම්මත ය. සඞ්ඝයාට (එය) රුචි වෙයි. එහෙයින් නිහඬ වෙයි. මෙය මෙසේ දරමි”යි.
ඒ සම්මත කළ මෙහෙණ විසින් භික්‍ෂුණි සඞ්ඝයා රැගෙන භික්‍ෂූසඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ආර්‍ය්‍යයෙනි, භික්‍ෂුණීසඞ්ඝයා දුටු කරුණින් හෝ ඇසූ කරුණින් හෝ සැක කළ කරුණින් හෝ භික්‍ෂූසඞ්ඝයා පවාරණය කරයි. ආර්‍ය්‍යයෙනි, භික්‍ෂූසඞ්ඝයා භික්‍ෂූණිසඞ්ඝයාට අනුකම්පා කොට (වරදක් ඇතොත්) කියනසේක්වා. (ඒ වරද) දැක පිළියම් කරන්නේ ය. දෙවනු ද ආර්‍ය්‍යයෙනි, භික්‍ෂුණීසඞ්ඝයා දුටු කරුණින් හෝ ඇසූ කරුණින් හෝ සැක කළ කරුණින් හෝ භික්‍ෂූසඞ්ඝයා පවාරණය කරයි. ආර්‍ය්‍යයෙනි, භික්‍ෂූසඞ්ඝයා භික්‍ෂූණිසඞ්ඝයාට අනුකම්පා කොට (වරදක් ඇතොත්) කියනසේක්වා. (ඒ වරද) දැක පිළියම් කරන්නේ ය. තෙවනු ද ආර්‍ය්‍යයයෙනි, භික්‍ෂුණීසඞ්ඝයා දුටු කරුණින් හෝ ඇසූ කරුණින් හෝ සැක කළ කරුණින් හෝ භික‍්‍ෂුසඞ්ඝයා පවාරණය කරයි. ආර්‍ය්‍යයෙනි, භික්‍ෂුසඞ්ඝයා භික්‍ෂුණි සඞ්ඝයයාට අනුකම්පා කොට (වරදක් ඇතොත් කියනසේක්වා. (ඒ වරද) දැක පිළියම් කරන්නේ යි.
65. එසමයෙහි භික්‍ෂුණීහු භික්‍ෂූන්ගේ උපෝසථය තබත්, (පොහොය කිරීම වළකත්.) පවාරණය වළකත්, සවචනීයබව කෙරෙත්, (ඔවුන් කෙරෙහි) ආධිපත්‍යය පිහිටුවාගනිත්. (වරද දැක්වීමට) අවකාශ කරවත්, චෝදනා කෙරෙත්, (වරද) සිහි කරවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණිය විසින් භික්‍ෂූහුගේ උපෝසථය නො වැළකියයුතු, වළකන ලද ද නො වැළැක්වූයේ වෙයි, වළක්වන්නියට දුකුළා ඇවැත් වෙයි. පවාරණය නො වැළකියයුතු, වළකනලද ද නො වැළැක්වූයේ වෙයි, වළක්වන්නියට දුකුළා ඇවැත් වෙයි. සවචනීය නො කළයුතු, (එසේ) කරනලද ද නො කරනලද්දේ වෙයි, (එසේ) කරන්නියට දුකුළා ඇවැත් වෙයි. ආධිපත්‍යය නො පිහිටු විය යුතු, පිහිටුවනලද ද නො පිහිටුවනලද්දේ වෙයි. පිහිටුවන්නියට දුකුළා ඇවැත් වෙයි. (වරද දැක්වීමට) අවකාශ නො කරවියයුතු, (එසේ) කරවන ලද ද, නො කරවනලද්දේ වෙයි, (එසේ) කරවන්නියට දුකුළා ඇවැත් වෙයි. චෝදනා නො කළයුතු, චෝදනා කරන ලද ද නො කරනලද්දේ වෙයි, චෝදනා කරන්නියට දුකුළා ඇවැත් වෙයි. (වරද) සිහි නො කරවියයුතු, සිහි කරවුව ද සිහි නො කරවනලද්දේ වෙයි, සිහිකරවන්නීයට දුකුළා ඇවැත් වේ” යි.
66. එසමයෙහි භික්‍ෂූහු භික්‍ෂූණින්ගේ උපෝසථය වළක්වත්, පවාරණය වළක්වත්, සවචනීය කෙරෙත්, ආධිපත්‍යය පිහිටුවත්, (වරද දැක්වීමට) අවකාශ කරවත්, චෝදනා කෙරෙත්, (වරද) සිහි කරවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුව විසින් භික්‍ෂූණීන්ගේ උපෝසථය වළකන්නට අනුදනිමි. වළකනලද ද මොනොවට වළකන ලද්දේ වෙයි. වළකන්නහුට ඇවැත් නො වේ. පවාරණය වළකන්නට (අනුදනිමි.) වළකනලද ද මොනොවට වළකනලද වෙයි. වළකන්නහුට ඇවැත් නො වේ සවචනීය කරන්නට (අනුදනිමි.) කරනලද ද මනාකොට කරනලද්දේ ය. කරන්නාහට ඇවැත් නො වේ. ආධිපත්‍යය පිහිටුවන්නට (අනුදනිමි.) පිහිටුවනලද ද මනාලෙස පිහිටුවනලද්දේ ය. පිහිටුවන්නාහට ඇවැත් නො වේ. අවකාශ කරවීමට (අනුදනිමි.) කරවනලද ද මනාලෙස කරවනලද්දේ ය. කරවන්නාහට ඇවැත් නො වේ. චෝදනා කරන්නට (අනුදනිමි.) චෝදනා කරනලද ද මනාලෙස චෝදනා කරනලද්දේ ය. චෝදනා කරන්නාහට ඇවැත් නො වේ. සිහි කරවන්නට (අනුදනිමි.) සිහි කරවනලද ද මනාලෙස සිහි කරවන ලද්දී ය. සිහි කරවන්නාහට ඇවැත් නො වේ.”
67. එසමයෙහි සවග මෙහෙණහු පුරුෂයකු පදවන්නකු කොට ඇති ස්තීන් (දෙනුන්) යොදන ලද්දා වූ ද, ස්ත්‍රියක පදවන්නිය කොට ඇති පුරුෂයන් (ගොනුන්) යොදන ලද්දා වූ ද යානයෙන් යෙති. ගඞ්ගාක්‍රීඩාවෙහි මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් යානයෙන් නො යායුතු. යම් මෙහෙණක් යන්නී නම් දහම් වූ පරිදි කරවියයුතු” යි. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා පයින් යන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට, මෙකරුණ සැලකළහ. “මහණෙනි, ගිලන් මෙහෙණට යානය අනුදනිමි”යි. ඉක්බිති භික්‍ෂුණීන්ට ‘ස්ත්‍රීන් යොදන ලද යානය ද පුරුෂයන් යොදනලද යානය දැ’යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, ස්ත්‍රීන් (දෙනුන්) යොදනලද යානය, පුරුෂයන් (ගොනුන්) යොදනලද යානය හා අත්වටුගැල ද අනුදනිමි”යි. එසමයෙහි එක්තරා මෙහෙණකට යානයෙහි ගැස්සීමෙන් ඉතා දැඩි වූ අපහසුවක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, සිවිකාව (පුටුසිවිකාව) ද පල්ලැක්කිය (හිදොලුව) ද අනුදනිමි”යි.
68. එසමයෙහි අඩ්ඪකාසී නම් ගණිකාව මෙහෙණන් වෙත පැවිදි වූවා වෙයි. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපසම්පදා වන්නෙමැ යි ඕ සැවැත් නුවරට යනු කැමැත්තී වෙයි. ‘අඩ්ඪකාසී ගණිකාව සැවැත් නුවරට යනු කැමැත්තීලැ’යි ධුර්තයෝ ඇසූහ. ඔවුහු මග රැකසිටියහ. ‘ධූර්‍තයෝ මග රැක සිටිත්ලැ’යි අඩඨකාසී ගණිකාව ඇසු ය. (ඉක්බිති ඕ) මම උපසම්පදාවනු කැමැත්තෙමි. මා කෙසේ පිළිපැදියයුතු දැ යි (කියා) භාග්‍යවතුන් වහන්සේ වෙත දූතයකු යැවූ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, දූතයකු ලවා ද උපසම්පදා කරන්නට අනුදනිමි”යි (වදාළහ.) භික්‍ෂුදුතයකු ලවා උපසම්පදා කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුදූතයකු ලවා උපසම්පදා නො කරවියයුත්තාහ. යමෙක් උපසම්පදා කරවා නම් දුකුළා ඇවැත් වේ”යි. සික්ඛමාන දූතයකු ලවා උපසම්පදා කරවත් ... සාමණේරදුතයකු ලවා උපසම්පදා කරවත් ... සාමණෙරිදුතයකු ලවා උපසම්පදා කරවත් ... බාල අව්‍යක්ත මෙහෙණක වූ දූතයකු ලවා උපසම්පදා කරවත්, ‘මහණෙනි, බාල අව්‍යක්ත මෙහෙණක වූ දූතයකු ලවා උපසම්පදා නො කරවිය යුතු ය. යම් මෙහෙණක් (එසේ) උපසම්පදා කරවා නම් දුකුළා ඇවැත් වේ. ‘මහණෙනි, ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක වූ දූතයකු ලවා උපසම්පදා කරවන්නට අනුදනිමි. ඒ දුත වූ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට භික්‍ෂුන්ගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය:
“ආර්‍ය්‍යයෙනි, මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණි සඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇත්තී සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට ඇය හෙරණ බැවින් නඟාසිටුවන සේක්වා.
ආර්‍ය්‍යයෙනි, මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණිසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇත්තී දෙවනු ද සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට ඇය හෙරණ බැවින් නඟාසිටුවනසේක්වා.
ආර්‍ය්‍යයෙනි, මෙනම් ආර්‍ය්‍යාවගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණි සඞ්ඝයා කෙරෙහි පිරිසිදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇත්තී තෙවනු ද සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට ඇය හෙරණ බැවින් නඟාසිටුවනසේක්වා’ යි.
ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂූවක්හු විසින් (මෙසේ) දැන්වියයුතු. “වහන්ස, සඞ්ඝයා ම බස් අසාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපෙක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණී සඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරන්නේ ය”. මේ ඥප්ති යි.
“වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රුචි වේ නම් උන්වහන්සේ නිහඬ වන්නාහ. යම් කෙනකුට රුචි නො වේ නම් උන්වහන්සේ කථා කරන්නාහ.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපේක්ෂිකා වූ මෙනම් ඇත්තී භික්‍ෂුණි සඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. ඕ කිසියම් අනතුරක් නිසා නො පැමිණෙයි. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රුචි වේ නම් උන්වහන්සේ නිහඬ වන්නාහ. යම් කෙනකුට රුචි නො වේ නම් උන්වහන්සේ කථා කරන්නාහ.
“මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තී සඞ්ඝයා විසින් උපසපන් කරන ලද, (එය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි”යි.
එකෙණෙහි ම සෙවනැල්ල මිනියයුතු, ඍතුප්‍රමාණය කියයුතු. දිවසභාගය කියයුතු, එ හැම එක් කොට සංගිතිය කියයුතු, ඇයට ‘නිස්සය තුන ද අකරණීය අට ද කියාදෙව’ යි භික්‍ෂූණින්ට කියයුතු යි.
69. එසමයෙහි භික්‍ෂුණීහු අරණ්‍යයෙහි වෙසෙත්. ධූර්‍තයෝ (ඔවුන්) දූෂණය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් ආරණ්‍යයෙහි නො විසිය යුතු යම් මෙහෙණක් වෙසේ නම්, දුකුළා ඇවැත් වේ” යි. එසමයෙහි එක්තරා උවසුවකු විසින් භික්‍ෂුණිසඞ්ගයාට භාණ්ඩශාලාවක් දෙන ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භාණ්ඩශාලාව අනුදනිමි” යි (වදාළහ). භාණ්ඩශාලාව නො සෑහෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණවර අනුදනිමි” යී. මෙහෙණවර නො පොහෝනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, නවකර්‍ම අනුදනිමි” යි. නවකර්‍මය නො පොහෝනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, පෞද්ගලික ගෙයක් කරන්නට අනුදනිමි” යි.
70. එ සමයෙහි එක්තරා ස්ත්‍රියක් අප්‍රකට ව පිහිටි ගැබ් ඇත්තී භික්‍ෂූණින් වෙත පැවිදිවූ ය. ඇය පැවිදි වූ කල ගැබ නැඟී සිටියේ ය. (බිහි විය) ඉක්බිති ඒ භික්‍ෂුණියට මේ සිත විය: මේ දරුවා කෙරෙහි මා කෙසේ පිළිපැදියයුතු දැ යි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, ඒ දරුවා නුවණැති බවට පැමිණෙන තුරු පෝෂණය කරන්නට අනුදනිමි” යි (වදාළසේක).
ඉක්බිති ඒ භික්‍ෂුණියට මේ අදහස විය: මා විසින් තනි ව වසන්ට ද නො හැකි ය. අනිත් භික්‍ෂූණියකට ද (පිරිමි) දරුවකු සමග වසන්ට නො හැකි ය. මා කෙසේ පිළිපැදියයුතු දැ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, එක් මෙහෙණක් සම්මත කොට ඇය ඒ මෙහෙණට සහාය කොට දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළයුතු. පළමු ව ඒ මෙහෙණගෙන් (කැමැත්ත) ඉල්වියයුතු, ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්වියයුතු. ආර්‍ය්‍යවෙනි සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම් මෙනම් භික්‍ෂුණිය මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්නක (සහායිකා) කොට සම්මත කරන්නේ ය. මේ ඥප්ති යි.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් භික්‍ෂුණිය මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න (සහායිකා) කොට සඞ්ඝයා සම්මත කරයි. මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න (සහායිකා) කොට මෙනම් භික්‍ෂූණියගේ සම්මුතිය යම් ආර්‍ය්‍යාවකට රුචි වේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යාවකට රුචි නො වේ නම්, ඕ කියන්නී ය. මෙනම් භික්‍ෂුණි මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න (සහායිකා) කොට සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දී ය. සඞ්ඝයාට (එය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි’ යි.
ඉක්බිති ඒ සහායක භික්‍ෂුණියට මේ අදහස විය. මේ දරුවා කෙරෙහි මා කෙසේ පිළිපැදියයුතු දැ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, එකගෙහි නිදීම (සමග නිදීම) හැර අන් පුරුෂයකු කෙරෙහි යම්සේ පිළිපදිත් ද එසේ ඒ දරුවා කෙරෙහි ද පිළිපදින්නට අනුදනිමි” යි (වදාළහ.)
එසමයෙහි එක් භික්‍ෂූණියක් ගරු ඇවතකට පැමිණියා මානෙතහි හැසිරෙන්නී වෙයි. ඉක්බිති ඒ භික්‍ෂුණියට මේ අදහස විය. “මට තනි ව වසන්ට ද නො හැකි ය. අනිත් භික්‍ෂූණියකට ද මා සමඟ වසන්ට නො හැකි ය. මා කෙසේ පිළිපැදියයුතු දැ” යි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, එක් භික්‍ෂූණියක් සම්මත කොට ඒ භික්‍ෂුණියට සහාය (දෙවැන්නක) ලෙස දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළයුතු. පළමුව (ඒ) භික්‍ෂූණියගේ කැමැත්ත ඉල්වියයුතු. ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂූණියක විසින් සඞ්ඝයා මෙසේ දැන්වියයුතු. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම් සඞ්ඝයා මෙනම් භික්‍ෂුණිය මෙනම් භික්‍ෂුණියගේ දෙවැන්න (සහායිකා) ලෙස සම්මත කරන්නේ ය. මේ ඥප්ති යි.
“ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. සඞ්ඝයා මෙනම් භික්‍ෂුණිය මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න (සහායිකා) ලෙස සම්මත කරයි. මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න ලෙස මෙනම් භික්‍ෂුණිය සම්මත කිරීම යම් ආර්‍ය්‍යාවකට රුචි වේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යාවකට රුචි නො වේ නම් ඕ කියන්නී ය. මෙනම් භික්‍ෂුණි මෙනම් භික්‍ෂූණියගේ දෙවැන්න ලෙස සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දී ය. (එය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි” යී.
71. එසමයෙහි එක්තරා භික්‍ෂූණියක් ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කොට සිවුරු හැර ගියා ය. ඕ නැවත පෙරළා අවුත් භික්‍ෂූණීන්ගෙන් උපසම්පදාව ඉල්ලූ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළහ. “මහණෙනි, මෙහෙණකගේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානයක් නැත. යම් විටෙක ඕ සිවුරු හළුවා ද එවිට ම ඕ අභික්ෂුණියක් වූවා” යි.
එසමයෙහි එක්තරා භික්‍ෂූණියක් කාෂාය වස්තූ සහිතව තීර්ථායතනයකට ගියා ය. ඕ නැවත පෙරළා අවුත් භික්‍ෂූණීන්ගෙන් උපසම්පදාව ඉල්ලූ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළහ. “මහණෙනි, යම් මෙහෙණක් සිවුරු සහිත ව තීර්ථායතනයකට ගියා ද නැවත පැමිණි ඕ උපසපන් නො කළ යුත්තී ය” යි වදාළහ.
72. එසමයෙහි භික්‍ෂුණීහු කුකුස් කරන්නාහු පුරුෂයන්ගෙන් වැඳීම, කෙස් සිඳීම, නිය සිඳීම, වණ පිළියම් නො ඉවසත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, ඉවසන්නට අනුදනිමි” යි (වදාළහ.)
එසමයෙහි භික්‍ෂුණීහු පර්‍ය්‍යඞ්කයෙන් හිඳිත්, විළුඹ ගැටීම, ඉවසත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ ’ විසින් පර්‍ය්‍යඞ්කයෙන් නො හිඳියයුතු. යම් මෙහෙණක් හිඳී නම් දුකුළා ඇවැත් වේ” යී (වදාළහ.)
73. එසමයෙහි එක්තරා භික්‍ෂූණියක් ගිලන් වූ ය. ඇයට පර්‍ය්‍යඞ්කයෙන් හිඳීම් හැර පහසු නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණියට අර්‍ධ පර්‍ය්‍යඞ්කය අනුදනිමි” යි.
එසමයෙහි භික්‍ෂුණීහු වැසිකිළියෙහි අස්පස්කිස කෙරෙත්. සවග මෙහෙණෝ එහි ම ගැබ් හෙළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණිය විසින් වැසිකිළියෙහි අස්පස්කිස නොකළයුතු.. යම් මෙහෙණක් කෙරේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, යට විවර වූ මත්තෙහි වසන ලද (ස්ථානයෙහි) අස්පස්කිස කරන්නට අනුදනිමි” යි.
74. එසමයෙහි භික්‍ෂුණීහු සුණුයෙන් (ඇඟ සුවඳ කුඩු තවරමින්) නහත්. ගිහී කාමභෝගිනීන් මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් සුණුයෙන් නො නෑයුතු. යම් මෙහෙණක් නඟන්නී නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, කුඩු හා මැටි ද අනුදනිමි” යි.
එසමයෙහි භික්‍ෂුණීහු සුවඳ කවන ලද මැටියෙන් නහත්. ගිහී කාමභෝගිනීන් මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් සුවඳ කවන ලද මැටියෙන් නො නෑ යුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවත් වේ. මහණෙනි, පියවි මැටි අනුදනිමි” යි.
75. එසමයෙහි භික්‍ෂුණීහු ගිනිහල්ගෙහි නහන්නාහු කෝලාහල කළහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් ගිනිහල්ගෙහි නො නෑයුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවැත් වේ” යි.
එසමයෙහි භික්‍ෂුණීහු ධාරා ස්පර්‍ශය ඉවසමින් ප්‍රතිස්‍රොතස්හි ස්නාන කෙරෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් උඩුහොය නො නෑයුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවැත් වේ” යි.
එසමයෙහි භික්‍ෂුණීහු නොතොටෙහි නහත්. ධුර්තයෝ දූෂණය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් නොතොටෙහි නො නෑයුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවැත් වේ’ යි.
76. එසමයෙහි භික්‍ෂුණීහු පුරුෂයන්ගේ තොටෙහි නහත්. ගිහී කාමභෝගිනීන් මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති. නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් පුරුෂයන්ගේ තොටෙහි නො නෑයුතු. යම් මෙහෙණක් නහන්නී නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙලියන්ගේ තොටෙහි නහන්නට අනුදනිමි” යි (වදාළසේක.)
තෙවැනි බණවරයි.
දසවැනි භික්ඛුනීඛන්‍ධක යි.
මේ ඛන්‍ධකයෙහි වස්තු එක්සිය සයෙකි.
එහි උදානය මෙසේ යි:
1. ගෝතමී පැවිද්ද ඉල්වූ ය. තථාගතයන් වහන්සේ නො අනුදත්හ. විනායකයන් වහන්සේ කිඹුල්වතින් විසාලාවට වැඩිසේක.
2. රජස් වැකුණු සිරුරින් දොරකොටුවෙහි දී ආනන්‍ද හිමියන්ට දැන්වී ය. මවය පොෂණය කළ තැනැත්තිය යී කියමින් පැවිද්දට සුදුසු යැ යි නය වශයෙන් යැදී ය.
3. වස්සසත, තදහුපබ්බජිත, අභික්ඛුක ආවාස, පච්චාසිංසන, පවාරණ, ගරුධම්ම, දෙවධම්මා, අනක්කොසන,
4. ඔවට යන අෂ්ට ධර්‍මයෝ යාවජීවයෙන් පැවැත්විය යුත්තාහ. ඒ ගරුධම්ම පිළිගැනීම ම ඇයගේ උපසම්පදාව වීය.
5. වස්සසහස්ස, පඤ්චසතවස්ස ද, කුම්භත්ථෙන, සෙතට්ඨි, මඤ්ජේට්ඨික, යන උපමාවලින් සද්ධර්‍මය පිරිහීම දැක්වීම ද,
6. ආලිබන්ධන උපමාවෙන් යළි සද්ධර්‍මයෙහි සංස්ථිතිය දැක්වීම ද, උපසම්පදා කිරීම, වැඩිමහලු පිළිවෙළින් වැඳීම,
7. නො කිරීම ද, කුමකට පනවම් දැ යි දෙසීම ද, සාධාරණ අසාධාරණ ශික්‍ෂාපද ද, අවවාද දීම, ප්‍රාතිමෝක්‍ෂය, කවරකු භික්‍ෂුණි ආරාමයට එළඹියයුතු ද (යන කරුණු ද,)
8. (පාමොක් උදෙසීම) නො දනිත්, (භික්‍ෂූණීන්ට) නො කියත්. ඇවතට පිළියම් නො කෙරෙත්, භික්‍ෂූන් විසින් ඇවැත් පිළිගැනීම, ඇවැත් පිළිගැනීම භික්‍ෂූන් විසින් භික්‍ෂූණීන්ට කියාදීම.
9. ආචිකඛනය, භික්‍ෂූන් විසින් සඞ්ඝකර්‍ම කිරීම, මිනිසුන්ගේ දොස් කීම, භික්‍ෂූණින් විසින් කර්‍ම කිරීම, භික්‍ෂූන් විසින් කියාදීම, කලහ කිරීම, කර්‍ම ආරෝපණය කිරීම හා උප්පලවණ්ණනා පුවත ද, සාවත්ථියෙහි, මඩවතුර ඉසීම,
10 .සාවත්ථියෙහි, මඩවතුර ඉසීම, අවන්‍දිය බව, ඡබ්බග්ගිය භික්‍ෂූණීන් ඌරු, අඞ්ගජාත දැක්වීම, ඔහාසනය, එකට ගැටීසිටීම,
11. අවන්‍දිය, දණඩකර්මය, භික්‍ෂූණින් ද එසේ කිරීම, ආවරණය අවවාද නැවැත්වීම, කැප දැ යි සිතීම, චාරිකාවෙහි නික්මීම,
12. බාලා ය, වත්‍ථු ය, විනිච්ඡය ය, ඕවාද ය, සියලු සඞ්ඝයා ය. සතර පස්නම ය, දෙතුන්නම ය, අවවාද නො ගැනීම ය. බාලා, ගිලාන, ගමික,
13. ආරඤ්ඤික යන මොහු ද, න රොචන න පච්චාගමන දීඝ, විලීව, චම්ම, දුස්ස, වේණි, වට්ටි, චොළවෙණි, චෝළවට්ටි, සුත්තවේණි, සුත්තවටටිකා,
14. අටඨිල්ල, ගොහනුක, හත්ථකොච්ඡ, පාද, පාදකොච්ඡ, ඌරු, මුඛ, දන්තමංස, ආලිම්පන, මද්දන, චුණ්ණන,
15. මුඛලඤ්ඡන, අඞ්ගරාග, මුඛරාග, අඞ්ගමුඛරාග, අවඞ්ග, විසෙසක, ඔලොකනක, සාලොක, සනචව,
16. වේසී, පානාගාර, සූන, ආපණ, වඩඪී, වාණිජ (යන මේවා යෙදීම ද.) දාස, දාසී, කම්මකර, කම්මකාරී,
17. තිරච්ඡාන-යන මොවුන්ට උවටැන් කිරීම ද, හරිතකී, නමතක දැරීම, නීල, පීත, ලෝහිත, මඤ්ජෙට්ඨ, කණ්හ චීවර ද,
18. මහාරඞ්ග, මහානාම, අච්ජින්න, දීඝ, පුප්ඵ, ඵල කඤ්චුක තිරීටක යන සිවුරු දැරීම ද කළහ.
19. භික්ඛුනී, සික්ඛමානා, සාමණේරා යන අයගේ අභාවයෙහි පිරිකර පවරනු ලැබූ කල්හි භික්‍ෂුණි හිමිකාරිය වේ.
20. භික්‍ෂු, සාමණේර, උපාසක උපාසිකා සහ වෙනත් අයගේ පිරිකර පවරනු ලැබූ කල්හි භික්‍ෂූහු හිමියෝ වෙත්.
21. පුරාණමල්ලී, ගර්‍භය, පාත්‍රමූලය, පුරුෂබ්‍යඤ්ජනය, ආමිසය, අධික ආමිසය, ඉතා අධික ආමිසය, සන්තිධිකත ආමිසය ද,
22. යට කියන ලද පරිදි භික්‍ෂූන්ට යම්සේ ද භික්‍ෂූණීන්ට ද එසේම කරන්නේ ය. සේනාසනය ද, උතුනී ද, වස්ත්‍ර ලෙයින් තැවරීම ද,
23. හුය සිඳීම ද, සබ්බකාල ද, අනිමිත්තාදිය ද දක්නා ලැබෙත්, නිමිත්තා, ලොහිතා. එසේ ම ධුවලෝහිතා ද,
24. ධුවෙචාළා, පග්ඝරිණි, සිඛරිණී, ඉත්ථිපණ්ඩකා, වෙපුරිසී, සම්භිනනා, උභතොබ්‍යඤ්ජනා දැ යි,
25. අනිමිත්තා ආදිකොට උභතොබ්‍යඤ්ජනකා තෙක් ඇති මෙය පෙය්‍යාල වශයෙන් යට කියන ලදී. කුෂ්ට ය, ගණ්ඩ ය, කිලාසී ය,
26. සොස ය, අපමාර ය, මානුසී ය, ඉත්‍ථි ය, භූජීස්සා ය, අණනා ය, න රාජහටී ය, අනුඤ්ඤතා ය, වීසතිවස්සා ය,
27. පරිපුණ්ණ ය, කිංනාමා ය, පවත්නිනී, කිං නාමා ය යන සූවිසි අන්තරායික ධර්‍මයන් විමසා උපසම්පදා කිරීම වේ.
28. අනුශාසනා නො කරන ලද්දාහු සඟමැද ගොළුගැසී සිටිත්, උපජ්ඣායගාහන, සඞ්ඝාටි, උත්තරාසඞ්ග, අන්තරවාසක,
29. සංකච්චිකා, උදකසාටිකා ද කියා දී යවන්නේ ය. බාලා ය, අසම්මතා ය, එකතෝගමනය, අන්තරායිකධර්ම පිළිවිසීම ය.
30. ඒකතෝ උපසම්පන්නයා ය, එසේම භික්‍ෂූසඞ්ඝයා කෙරෙහි උපසපන් වීම ය, ඡායා, උතු, දිවස, සංගීති, නිස්සය තුන,
31. අකරණීය අට, (යන මේවා කියාදීම ද,) කාලය ඉක්මවීම, හැමතැන අටනම බැගින් හිඳීම, භික්‍ෂූණින් නො පැවරීම, භික්‍ෂූන් නො පැවරීම,
32. කෝලාහල ය, පුරෙහතත ය, විකාලයෙහි කෝලාහල ය, උපෝසථ ය, පවාරණ ය, සවචනීය බව ය, අනුවාදන ය,
33. ඕකාස, චෝදන, සාරන යන මේවා මහර්ෂීන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂිප්ත ය, එසේ ම භික්‍ෂුණීන් විෂයෙහි භික්‍ෂුන්ට උන්වහන්සේ විසින් අනුඥාත ය.
34. යානය, ගිලානය, (ඉත්‍ථි-පුරිස) යුක්ත යානය, යානුග්ඝාතය, අඩ්ඨකාසී ය භික්ඛූ සික්ඛමානා-සාමණේර-සාමණේරි- බාල යන දූතයෝ ය,
35. අරණ්‍යවාස ය, උපාසකයකු විසින් භාණ්ඩශාලාවක් දීම ය, උපස්සය ය, නො සෑහීම ය, නවකම්ම ය, යන මේවා ද නිසින්නගබ්භා, එකිකා,
36. සාගාර ය, ගරුධම්ම ය, පච්චකබාන ය, සංක්‍රමණය, අභිවාදනය, කේස-නඛ ජෙදන ය, වණ පිළියම් ය,
37. පල්ලඞ්ක ය, ගිලානය, වච්වය, චුණ්ණය, වාසිත ය, ජන්තාඝර ය, පටිසෝත ය, අතිත්ථ ය, පුරිසතිත්‍ථ ය (යන මේ කරුණු වලින් භික්‍ඛුනිඛන්‍ධකය වේ.)
38. මහාගෝතමී ජිනසසුනෙහි පැවිද්ද යැදූ අනඳ තෙරුන් වහන්සේ ද නුවණින් යැදී ය. (සසුනෙහි) සිවු පිරිසක් වෙත්.
39. සංවේග ඉපදවීම පිණිස ද සද්ධර්‍මයාගේ වැඩීම පිණිස ගිලනකුට බෙහෙතක් මෙන් බුදුන් විසින් මෙසේ දෙසන ලදී.
40. මෙසේ සද්ධර්‍මයෙහි විනීත වූ ඒ බොළඳ මාගම්හු පවා යම් තැනකට ගොස් ශෝක නො කෙරෙත් ද ඒ නොමියන තැනට (නිවනට) යෙත්,
11.
පඤ්‌චසතිකක්‌ඛන්‌ධකය
සංගීති නිදානය
1. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්‍ෂූන් ඇති මහත් භික්‍ෂූ සඞ්ඝයා සමග පාවා නුවරින් කුසිනාරා නුවර කරා දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නෙමි. ඇවැත්නි, ඉක්බිති මම මඟින් ඉවත් ව එක්තරා රුක් මුලෙක හුන්නෙමි. එසමයෙහි එක්තරා ආජීවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ ය. ඇවැත්නි, මම එන්නා වූ ඒ ආජීවකයා දුරදී ම දුටිමි. දැක ඒ ආජීවකයාට මෙය කීමි. ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහි දැ යි. එසේ ය. ඇවැත්නි, දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි. මා විසින් මේ මඳාරාමල එතැනින් ගන්නා ලදැ යි.
2. ඇවැත්නි, එහි යම් ඒ භික්‍ෂූ කෙනෙක් අවීතරාග වූහු ද ඔවුනතුරෙන් ඇතැමෙක් “ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පැසේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑසේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වී යැ”යි (කියමින්) හිසෙහි අත් බැඳ හඬත්. සිඳින ලද්දක් (බිම) වැටෙන්නා සේ වැටෙත්, ඉදිරියට පෙරළෙත්, පසු පසට පෙරළෙත්, යම් භික්‍ෂූ කෙනෙක් වීතරාග වූහු ද ඔවුහු සංස්කාරයෝ අනිත්‍යයහ. ඔවුන්ගේ නො බිඳ පැවැත්මක් කොයින් ලැබියහැකි දැ’යි (සලකා) සිහි ඇත්තාහු මනා නුවණින් යුක්ත වූවාහු ඉවසත්, ඇවැත්නි, අනතුරු ව මම ඒ භික්‍ෂූන්ට මෙය කීමි. “ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු, ඇවැත්නි, ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් ම වෙනස් වීම වෙන් වීම, අනිත් ආකාරයෙකින් වීම වන්නේ ය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කැල ම ප්‍රකාශකරන ලද්දේ නො වේ ද? ඇවැත්නි, ඒ යමක් උපන්නේ ද, හටගත්තේ ද සඞ්ඛත වූයේ ද නැසෙනසුලු වේ ද එය ඒකාන්තයෙන් නො නැසේව’යි යන මේ කරුණ කොයින් ලැබේ ද? මේ කරුණ විද්‍යාමාන නො වේ යි.
3. ඇවැත්නි, එසමයෙහි සුභද්ද නම් මහලු ව පැවිදි වූවෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඇවැත්නි, ඉක්බිති ඒ සුභද්ද නම් මහලු පැවිද්දා ඒ භික්‍ෂුන්ට මෙය කී ය. “ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු, අපි ඒ මහාශ්‍රමණයාගෙන් මොනොවට මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, මෙය තොපට නො කැප ය යි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු”යි
එහෙයින් ඇවැත්නි, අපි අධර්‍මය බැබළීමටත් ධර්‍මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්‍මවාදීන් බලවත්වීමටත් ධර්‍මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර, ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරම්හ’යි. (මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වදාළහ.)
වහන්ස, එසේ නම් තෙරුන් (ඔබ) වහන්සේ භික්‍ෂූන් තෝරා ගන්නාසේක්වා’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එක් නමක් උනු වූ පන්සියයක් රහතුන් වහන්සේ තෝරාගත්සේක. භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “වහන්ස, මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ශෛක්‍ෂ්‍ය වුවත් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයින් අගතියට යෑමට නො සුදුසු ය. මුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්‍මය ද විනය ද උගන්නා ලද්දේ ය. වහන්ස, එහෙයින් (ඔබ) තෙරුන් වහන්සේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේ ද තෝරාගන්නා සේක්වා’යි.
4. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද තෝරාගත්හ. ඉක්බිති “අපි කොතැන්හි දී ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරමෝ දැ යි ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. “රජගහනුවර වනාහි මහා ගොදුරුගම් ඇත්තේ ය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරන්නෙමු නම් ඉතා මැනව. අනිත් භික්‍ෂූ කෙනෙක් රජගහ නුවර වස් නො එළඹෙන්නාහු නම් යෙහෙකැ’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ දැන්වූහ.) “ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්‍ෂූන් සම්මත කරන්නේ ය. අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු’ය. මේ ඥප්ති යි.
ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්‍ෂූන් සම්මත කරයි. අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු ය. යම් ආයුෂ්මත් කෙනකුහට ‘අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු ය. මේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද, සඞ්ගායනා කිරීමට සම්මත කිරීම’ රුචි වේ නම් උන් වහන්සේ නිහඬ වන්නාහ. යම් කෙනකුට රුචි නො වේ නම් උන් වහන්සේ කියන්නාහ.
මේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස් වසමින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දේ ය. අනිත් භික්‍ෂූන් රජගහ නුවර වස් නො විසියයුතු ය. (මෙය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි යි.
5. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ධර්‍මය ද විනය ද සඞ්ගායනා කිරීමට රජගහ නුවරට වැඩියාහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු පැලුණු තැන් පිළිසකර කිරීම වර්‍ණනා කරන ලද්දේ ය. එහෙයින් ඇවැත්නි, අපි පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරමු. මධ්‍යම මාසයෙහි රැස්ව ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරන්නෙමු”යි. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරවූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හෙට රැස්වීම ය. මම සේඛ වූයේ ම (රහත් නො වූයේ) රැස්වීමට යන්නෙම් නම් එය මට නිසි නො වේ යි (සලකා) රාත්‍රියෙහි බොහෝ වේලාවක් කාගීයාසිහියෙන් ගත කොට රාත්‍රිය පහන් වන වේලායෙහි හෝනෙමි යි (සිතා) කය හැරවූහ. හිස ද කොට්ටයට නො පැමිණියේ ය. පාදයෙන් ද පොළොවෙන් මිදුණාහ. මේ අතරෙහි සිත උපාදාන නො කොට ආස්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන්පසු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රහත් වූවාහු ම රැස්වීමට වැඩිසේක.
6. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යසප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් විනය පිළි විසින්නෙමි යි. ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ ද සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ‘වහන්ස සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් විනය පුළුවුස්නාලද්දෙම් විසඳන්නෙමි’ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ඇවැත උපාලි, පළමු පාරාජිකාව කොහිදී පනවනලද දැ යි. වහන්ස, වෙසා ලියෙහි දී යැ යි. කවරකු ඇරබැ දැයි, සුදිත්ත කලන්‍දපුත්‍ර ඇරබැ යයි. කිනම් වස්තුවෙක දැ යි. මෛථුනධර්මයෙහි යයි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලිගෙන් ප්‍රථම පාරාජිකාවෙහි වස්තුව ද පිළිවිසූහ. නිදානය ද පිළිවිසූහ. පුද්ගලයා ද පිළිවිසූහ. ප්‍රඥප්තිය ද පිළිවිසූහ. අනුප්‍රඥප්තිය ද පිළිවිසූහ. ආපත්තිය ද පිළිවිසූහ. අනාපත්තිය ද පිළිවිසූහ.
7. ඇවත උපාලි, දෙවැනි පාරාජිකාව කොහි දී පනවන ලද දැයි වහන්ස, රජගහනුවර දීය යි. කවරකු ඇරබ දැ යි. ධනිය කුමහකාර පුතු ඇරබ යැ යි. කවර වස්තුවක දැ යි. නො දුන් දෙය ගැනීමෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශාසප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් දෙවැනි පාරාජිකාවෙහී වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. ආනාපත්තීය ද ඇසූහ.
ඇවත උපාලි, තුන්වැනි පාරාජිකාව කොහි දී පනවනලද දැ යි. වහන්ස, වේසාලියෙහි දී යැ යි. කවරකු ඇරබ දැ යි. බොහෝ භික්‍ෂූන් ඇරබ යැ යි. කවර වස්තුවෙක දැ යි. මනුෂ්‍ය විග්‍රහයෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් තුන්වැනි පාරාජිකාවෙහි වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයාද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. අනාපත්තිය ද ඇසූහ.
ඇවත උපාලි, සිවුවැනි පාරාජිකාව කොහි දී පනවනලද දැ යි. වහන්ස, වේසාලියෙහි දී යැ යි. කවරකු ඇරබ දැ යි. වග්ගුමුදාතීරිය භික්‍ෂූන් ඇරබ යැ යි. කවර වස්තුවෙක දැ යි. උත්තරිමනුස්ස ධර්‍මයෙහි යැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන්ගෙන් සිවුවැනි පාරාජිකාවෙහි වස්තුව ද ඇසූහ. නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. ප්‍රඥප්තිය ද ඇසූහ. අනුප්‍රඥප්තිය ද ඇසූහ. ආපත්තිය ද ඇසූහ. අනාපත්තිය ද ඇසූහ. මේ ක්‍රමයෙන් ම උභය විභඞ්ගය ඇසූහ. ඇසු ඇසූ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ විසඳුහ.
8. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගෙන් ධර්‍මය පිළිවිසින්නෙමි යි ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් ධර්‍මය පිළිවිසින ලද්දෙම් විසඳන්නෙමි’ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. ඇවත, ආනන්‍දයෙනි, බ්‍රහ්මජාලය කොහිදී දෙසන ලද දැ යි. වහන්ස, රාජගහ-නාළන්දා දෙනුවර අතර අම්බලට්ඨිකා නම් උයනෙහි රජු පිණිස කරවන ලද ගෙහි දී ය යි. කවරකු ඇරබ දැ යි. සුප්පිය පරිබාජකයා ද බ්‍රහ්මදත්ත මාණවකයා ද ඇරබයැ යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආනන්‍ද ස්ථවිරයන්ගෙන් බ්‍රහ්මජාලයෙහි නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ.
ඇවත ආනන්‍දයෙනි, සාමඤ්ඤඵල (සූත්‍රය) ය කොතැන දී දෙසනලද දැ යි. වහන්ස, රජගහ නුවර ජීවකගේ අඹ වෙනෙහි දී යයි. කවරකු සමග දැ යි. වේදේහිපුත්‍ර වූ අජාතසත්තු රජු සමග යයි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් සාමඤ්ඤඵල සූත්‍රයෙහි නිදානය ද ඇසූහ. පුද්ගලයා ද ඇසූහ. මේ ක්‍රමයෙන් ම නිකාය පස ම ඇසූහ. ඇසු ඇසූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසඳුහ.
ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව
9. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට මෙය කීහ. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන කාලයෙහි මට මෙසේ වදාළසේක. ආනන්‍දය, සඞ්ඝයා කැමැති වන්නේ නම් මා ඇවෑමෙන් ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නේ ය යි. ඇවත ආනන්‍දය, “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරේ දැ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසුහු දැ යි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරහු දැ’යි නො පිළිවිසීමි යි.