Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 3501-3600 න් 3843

11. එ සමයෙහි වනාහි මෙහෙණන්ට පාමොක් නො උදෙසනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
“මහණෙනි, භික්ෂුණිනට පාමොක් උදෙසන්නට අනුදනිමි”යි වදාළසේක.
එ කල්හි කවරකු විසින් භික්‍ෂූණිනට පාමොක් උදෙසියයුතු දැ’යි භික්‍ෂූනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, භික්‍ෂූන් විසින් භික්‍ෂූණිනට පාමොක් උදෙසන්නට අනුදනිමි”යි වදාළසේක.
එ සමයෙහි භික්‍ෂූහු මෙහෙණවරට එළැඹ මෙහෙණනට පාමොක් උදෙසත්. “මිනිස්සු මේ මෙහෙණහු මේ භික්‍ෂූන් ගේ බිරියෝ යැ. මොහු මේ භික්‍ෂූන් ගේ සොර අඹුවෝ යැ” දැන් මොවුන් සමග අභිරමණය කරන්නාහ යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත් අගුණ පතුරුවත්.
භික්‍ෂූහු ලාමක කොට කියන, නින්‍දා කරන අගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ කථා ඇසූහ. ඉක්බිති ඔහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණනට පාමොක් නො උදෙසියගැයුතු. යමෙක් උදෙසන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. භික්‍ෂුණින් විසින් භික්ෂුණිනට පාමොක් උදෙසන්නට අනුදනිමි”යි වදාළසේක.
“මෙසේ පාමොක් උදෙසියයුතු යැ”යි මෙහෙණහු නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.“මහණෙනි, මෙසේ පාමොක් උදෙසියයුතු යැ යි භික්‍ෂූන් විසින් මෙහෙණනට කියන්නට අනුදනිමි”යි වදාළසේක.
12. එ සමයෙහි මෙහෙණහු ඇවැතට පිළියම් නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, මෙහෙණක විසින් ඇවැතට පිළියම් නො කළයුතු නො වේ. යම් මෙහෙණක් පිළියම් නො කරන්නී ද දුකුළා ඇවැත් වන්නේ යැ”යි වදාළසේක.
මෙසේ ඇවැතට පිළියම් කටයුතු යැ යි මෙහෙණහු නො දනිත්, භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ. “මහණෙනි, මහණුන් විසින් මෙසේ ඇවැතට පිළියම් කරව යි මෙහෙණනට කියන්නට අනුදනිමි”යි වදාළසේක.
එ කලැ ‘කවරක්හු විසින් මෙහෙණන්ගේ ඇවැත් පිළිගත යුතු දැ”යි භික්‍ෂූනට මෙ සිත විය. ”මහණෙනි, මහණුන් විසින් මෙහෙණන් ගේ ඇවැත් පිළිගන්නට අනුදනිමි”යි වදාළසේක.
13. එ සමයෙහි වූ කලි මෙහෙණහු වීථියෙහි දී ද, පිරිස් රැස්වන තැනදී ද, මංසන්දියේ දී ද මහණක්හු දැක, පාත්‍රය බිමැ තබා තනිපට සිවුර එකස් කොට උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ඇවැතට පිළියම් කෙරෙත්. (ඇවැත් දෙසත්) මිනිස්සු ‘මොහු මොවුන් ගේ බිරියෝ ය, මොහු මොවුන්ගේ සොරබිරියෝ ය. රෑ අවමන් කොට දැන් කමවති”යි ලාමක කොට කියත් නින්‍දා කරත් දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, භික්‍ෂූන්විසින් භික්‍ෂුණීන්ගේ ඇවැත් නො පිළිගතයුතු, යමෙක් පිළිගන්නේ ද ඒ මහණහට දුකුළා ඇවැත් වන්නේ ය. මෙහෙණන් විසින් මෙහෙණන් ගේ ඇවැත් පිළිගන්නට අනුදනිමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
මෙසේ ඇවැත් පිළිගතයුතුයැ’යි මෙහෙණහු නො දත්හ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.”මහණෙනි, මහණුන් විසින් ‘මෙසේ ඇවැත් පිළිගනිවු යැ’යි මෙහෙණනට කියා දෙන්නට අනුදනිමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
14. එ සමයෙහි වනාහි “මෙහෙණනට විනයකර්‍ම නො කරනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මෙහෙණනට විනයකර්‍ම කරන්නට අනුදනිමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එ කලැ කවරකු විසින් මෙහෙණනට විනයකර්‍ම කළයුතු දැ?”යි භික්‍ෂූනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණනට විනයකර්‍ම කරන්නට අනුදනිමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
15. එ සමයෙහි වනාහි කරන ලද විනයකර්‍ම ඇති මෙහෙණහු වීථියෙහි දී ද පිරිසෙහි ද මංසන්දියෙහි ද මහණකු දැක, පාත්‍රය බිමැ තබා, තනිපට සිවුර එකස් කොට උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘මෙසේ කළයුතු වනැ’ යි සලකන්නෝ කමවත්. මිනිස්සු පළමු සේ ම “මොහු මොවුන්ගේ බිරියෝ ය, මොහු මොවුන්ගේ සොරබිරියෝ ය, රාත්‍රියෙහි අවමන් කොට දැන් කමවති” යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
”මහණෙනි, මහණුන් විසින් මෙහෙණනට විනයකර්‍ම නො කළයුතු. යමෙක් කරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මෙහෙණන් විසින් මෙහෙණනට විනයකර්‍ම කරන්නට අනුදනිමි” යි වදාළසේක.
විනයකර්‍ම මෙසේ කළයුතු යැ’ යි මෙහෙණහු නො දත්හ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ. ”මහණෙනි, මෙසේ කර්‍ම කරව යි භික්‍ෂූන් විසින් මෙහෙණනට කියා දෙන්නට අනුදනිමි” යි වදාළසේක.
16. එ සමයෙහි වනාහි මෙහෙණහු සඟමැද හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ, උනුන් මුඛ නැමති අඩයටියෙන් උනුන් විදුමින් වෙසෙත්. ඒ අධිකරණය සන්හිඳුවන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණන්ගේ අධිකරණය සන්හිඳුවන්නට අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ) වදාළසේක.
17. එ සමයෙහි මහණහු මෙහෙණන් ගේ අධිකරණ සන්හිඳුවත්, ඒ අධිකරණ විනිසනු ලබන කල්හි කර්‍මයට පැමිණියා වූ ද, ඇවැතට පැමිණියා වූ ද මෙහෙණහු දක්නා ලැබෙත්. මෙහෙණහු මෙසේ කීහ: “වහන්ස, යාච්ඤා කරම්හ. ආර්‍ය්‍යයෝ ම මෙහෙණන්ගේ ඇවැත් පිළිගනිත්වා. ‘මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණන්ගේ අධිකරණය සන්හිඳුවිය යුතු’ යැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණනට විනයකර්‍මය නංවා මෙහෙණන් විසින් මෙහෙණන්ගේ විනයකර්‍මය කරන්නට මෙහෙණනට පවරන්නට ද භික්‍ෂූන් විසින් මෙහෙණනට ඇවැත් නංවා මෙහෙණන් විසින් මෙහෙණන්ගේ ඇවැත් පිළිගන්නට මෙහෙණනට පවරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
18. එසමයෙහි වනාහි උපුල්වන් මෙහෙණගේ අතැවැසි මෙහෙණක් විනය පුහුණු කරන්නී සත් වසක් භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියා ය. නටුවා වූ සිහි ඇති ඇය විසින් උගත් උගත් දෑ නැසෙයි (සිහි නැති ව යෙයි) භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට වඩිනු කැමැතිසේකැ යි ඕ ඇසුවා ය. (ඇයට අසන්නට ලැබිණ). එවිට එ මෙහෙණට මෙ සිත විය. “මම් වූ කලි විනය උගන්නිම් සත් වසක් භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියෙමි. නටුවා වූ සිහි ඇති ඒ මා උගත් උගත් දෑ නැසෙයි (සිහි නැති ව යෙයි). මාගමක විසින් යව්දිව් ශාස්තෘන් වහන්සේ පසුපස යනු දුෂ්කර ය. කෙසේ නම් මා විසින් පිළිපැද්දයුතු දැ” යි ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණනට මෙ පවත් සැලකළාය, මෙහෙණහු මහණුනට එ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් දැන්නුහ. “මහණෙනි, භික්‍ෂූන්විසින් මෙහෙණනට විනය කියවන්නට (උගන්වන්නට) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
පළමු බණවර යි.
19. එ කලැ භාග්‍යවතුන් වහන්සේ විසල් පුරැ කැමැති තාක් වැසැ සැවැත් නුවර බලා සැරි සරා වැඩිසේක. පිළිවෙළින් සැරි සරා වඩනාසේක්. සැවැත්නුවරට පැමිණ වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමැ වැඩ වසනසේක.
20. එ සමයෙහි වනාහි සවැගි මහණහු “අප කෙරෙහි මොවුන් ඇලෙතොත් මැනැවැ” යි සිතා මෙහෙණනට මඩදිය ඉසිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මහණහු විසින් මෙහෙණනට මඩදිය ආදිය නො ඉස්සැයුතු. යමෙක් ඉස්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඒ මහණහට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
එ කලැ මහණුනට මේ සිත විය: ‘කිනම් දඬුවමක් කළයුතු දැ?’ යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, ඒ මහණහු භික්‍ෂුණී සංඝයා විසින් නො වැන්දයුත්තෙක් කළයුතු යැ” යි වදාළසේක.
21. එ සමයෙහි සවැගි මහණහු ‘මොවුන් අප කෙරෙහි ඇලුණොත් මැනැවැ’ යි සිතා සිය කය විවෘත කොට මෙහෙණනට දක්වත්, කළවය විවෘත කොට මෙහෙණනට දක්වත්, අංගජාතය විවෘත කොට මෙහෙණනට දක්වත්, මෙහෙණනට මෛථූනධර්ම නිඃශ්‍රිත වචන කියත්, මෙහෙණන් හා සමඟ (පුරුෂයන් අසද්ධර්‍මයෙන්) යොදවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, මහණහු විසින් කය විවර කොට මෙහෙණනට නො දැක්වියයුතු, කළව විවර කොට මෙහෙණනට නො දැක්වියැයුතු, අඞ්ගජාතය විවර කොට මෙහෙණනට නො දැක්වියැයුතු, මෙහෙණනට මෙවුන්දම් නිසි බස් නො කියැයුතු, මෙහෙණන් හා අනුන් නො යෙදැවියැයුතු, යමෙක් එසේ යොදවන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ මහණෙනි, ඒ මහණහට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
“කවර නම් දඬුවමක් කළයුතු ද?” යි භික්‍ෂුනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ඒ මහණ භික්‍ෂුණි සංඝයා විසින් නො වැන්දයුත්තෙක් කළ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක:
22. එ සමයෙහි වනාහි සවැගි මෙහෙණෝ “මොවුන් අප කෙරෙහි ඇලෙතොත් මැනැවැ’ යි සිතා මහණුනට මඩදිය ඉසිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මෙහෙණක විසින් මහණෙක් මඩදියෙන් නො ඉස්සැයුතු, යම් මෙහෙණක් ඉස්නී ද ඇයට දුකුළා ඇවැත් වන්නේ ය, මහණෙනි, ඇයට දඬුවම් කළයුතු යැ” යි වදාළෙස්ක.
‘කිනම් දඬුවමක් කළයුතු දැ?’ යි භික්‍ෂූනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ආවරණ කරන්නට (වෙහෙරට පිවිසීම වළක්වන්නට) අනුදනිමි” යි වදාළසේක.
ආවරණය කළ කලැ එය නො ගනිත් (නො සලකත්). භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ. “මහණෙනි, අවවාදය තබන්නට (අවවාද කිරීම අත්හරනට) අනුදනිමි” යි වදාළසේක.
23. එ සමයෙහි සැවැගි මෙහෙණහු මොවුන් අප කෙරෙහි ඇලෙතොත් මැනවැ යි ‘මොහු අප කෙරෙහි ඇලෙන්නාහු නම් මැනැවැ’යි සිතා මහණුනට කය විවර කොට දක්වත්, මහණුනට තන විවරා දක්වත්, මහණුනට කළව විවර කොට දක්වත්, මහණුනට අඞ්ගජාතය විවර කොට දක්වත්, මහණුනට මෛථුනධර්‍ම නිශ්‍රිත වචන කියත්, මෙහෙණන් මහණුන් හා යොදවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් භික්‍ෂුනට කය විවරකොට නො දැක්වියැයුතු, තන විවර කොට නො දැක්වියැයුතු, කළව විවර කොට භික්‍ෂුනට නො දැක්වියැයුතු, අඞ්ගජාතය විවර කොට නො දැක්වියැයුතු, භික්‍ෂුනට මෙවුන් දම් නිසි බස් නො බිණියැයුතු ස්ත්‍රීන් මහණුන් හා නො ගැළපියැයුතු. යම් මෙහෙණක් ස්ත්‍රීන් මහණුන් හා ගළපන්නී නම් ඇයට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඒ මෙහෙණට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
එ කල ‘කවර නම් දඬුවමක් කළයුතු ද?’ යි මහණුනට මෙ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, ආවරණ කරන්ට අනුදනිමි” යි වදාළසේක. ආවරණ කළ කල්හි නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, අවවාද තබන්නට (ඔවා දීම අත්හරින්ට) අනුදනිමි” වදාළසේක.
එ කලැ “තබන ලද අවවාද ඇති මෙහෙණ හා පොහෝ කරන්නට කැප වේ ද නො වේ ද?” යි භික්‍ෂුනට මෙ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඒ අධිකරණය සන්හිඳෙන තෙක් තබන ලද අවවාද ඇති මෙහෙණක හා පොහෝ නො කළයුතු යැ” යි වදාළසේක.
24. එ සමයෙහි වූ කලි උදායී තෙරණුවෝ අවවාද තබා සැරිසරා වැඩියහ. “කෙසේ නම් උදායී ආර්‍ය්‍යයන් වහන්සේ අවවාද තබා සැරිසරා වඩනාසේක් දැ?” යි. මෙහෙණහු ලාමක කොට කියත්, දොස් නඟත්, අගුණ පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ “මහණෙනි, අවවාද තබා චාරිකා නො කළයුතු. යමෙක් සැරිසරා යන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
25. එ සමයෙහි අඥාන වූ අව්‍යක්ත වූ මහණහු (මෙහෙණනට) අවවාද තබත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, අඥාන වූ අව්‍යක්ත වූ මහණහු විසින් (මෙහෙණනට) අවවාද නො තැබියැයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
26. එ සමයෙහි මහණහු අවස්තුයෙහි අකාරණයෙහි (මෙහෙණනට) අවවාද තබත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, අවස්තුයෙහි අකාරණයෙහි අවවාද නො තැබියැයුතු වේ. යමෙක් එසේ අවවාද තබන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
27. එ සමයෙහි මහණහු (මෙහෙණනට) අවවාද තබා, විනිශ්චය නො දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. ”මහණෙනි, අවවාද තබා විනිශ්චය නො දියැයුතු නො වේ. යමෙක් විනිශ්චය නො දෙන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
28. එ සමයෙහි වනාහි මෙහෙණහු අවවාද ලබනු සඳහා නො යෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මෙහෙණ විසින් අවවාද ලබනු (පිණිස) නො ම නො යෑ යුතු. යම් මෙහෙණක් නො යන්නී ද ඇයට ධර්‍මය වූ පරිදි දඬුවම් කළයුතු” යැ යි වදාළසේක.
29. එ සමයෙහි සියලු භික්‍ෂුණි සංඝ තෙම අවවාද ලබනුවට යෙයි. මිනිස්සු “මොහු මොවුන්ගේ බිරියෝ ය, මොහු මොවුන්ගේ සොර බිරියෝ ය දැන් මොහු මොවුන් හා කාමාස්වාදයෙහි ඇලෙන්නාහ” යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, නුගුණ පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. ”මහණෙනි, සියලු භික්‍ෂුණි සංඝයා අවවාද ලබනුව නො යෑයුතු, ඉදින් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය, මහණෙනි, සතර නමක් හෝ පස් නමක් මෙහෙණන් විසින් අවවාද ලබනුවට යන්නට අනුදනිමි” යි වදාළසේක.
30. එ සමයෙහි මෙහෙණහු සතර දෙනෙක් පස් දෙනෙක් අවවාද ලබනු පිණිස යෙත්. මිනිස්සු “මොහු මේ මහණුන්ගේ බිරියෝ ය, මොහු මේ මහණුන්ගේ සොර අඹුවෝ ය. දැන් මොහු මේ මහණුන් හා කාමාස්වාදයෙහි ඇලෙන්නෝ යැ” යි පළමු සේ ම ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ”මහණෙනි, මෙහෙණන් සතර දෙනකුන් පස් දෙනකුන් අවවාද ලබනුවට නො යා යුතු. එසේ යන්නාහු වෙත් නම් ඔවුනට දුකුළා ඇවැත් වන්නේ ය. මෙහෙණන් දෙ නමක් තුන් නමක් අවවාද පිණිස යන්නට අනුදනිමි. එක් මහණකු කරා එළැඹ, තනිපට සිවුර එකස් කොට (පෙරෙවැ) පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, “‘ආර්‍ය්‍යන් වහන්ස, භික්‍ෂුණි සංඝ තෙම භික්‍ෂූ සංඝයා පා වඳී. අවවාද ලබනුවට එළැඹීම ද යදී. ආර්‍ය්‍යයන් වහන්ස, භික්‍ෂුණි සංඝ තෙම අවවාද ලබනු සඳහා එළැඹීම ලබාවා” යි. මෙසේ කියැයුතු වන්නේ ය.
ඒ මහණහු විසින් පාමොක් උදෙසන මහණකු කරා එළැඹ “වහන්ස, භික්‍ෂුණී සංඝ තෙම සඞ්ඝයාගේ පා වඳී. අවවාද සඳහා එළැඹීම ද යදි. වහන්ස, භික්‍ෂුණි සඞ්ඝ තෙම අවවාද පිණිස එළැඹීම ද ලබාවා” යි මෙසේ කියැයුතු. පාමොක් උදෙසුවා විසින් “මෙහෙණනට අවවාද කරන්නකු වශයෙන් සඞ්ඝ සම්මත වූ මහණෙක් ඇද්ද?” පිළිවිසියැයුතු. ඉදින් මෙහෙණනට අවවාද කරන්නකු වශයෙන් සම්මත කිසියම් මහණෙක් වී නම්, පාමොක් උදෙසුවා විසින් “මෙ නම් මහණ භික්ඛුනෝවාදක විසින් සම්මත යැ. ඔහු කරා භික්‍ෂුණීසඞ්ඝයා එළැඹේවා” යි කියැයුතු, ඉදින් භික්ක්ඛුනොවාදක සම්මතිය ලත් කිසිදු මහණෙක් නො වී නම් පාමොක් උදෙසුවා විසින් “කවර නම් ආයුෂ්මත් කෙනෙක් මෙහෙණනට අවවාද කරන්නට සමත් වෙත් දැ?” යි විචාළයුතු.
ඉදින් කිසි මහණෙක් මෙහෙණනට ඔවා දෙන්නට සමත් වන්නේ නම් හේ අටඟින් සමන්‍විත වී නම්, ඔහු සම්මත කොට, “මෙනම් මහණ භික්ඛුනෝවාදක විසින් සම්මත යැ. ඔබ කරා භික්‍ෂූණිසඞ්ඝ තෙමේ එළැඹේවා” යි කියැයුතු. ඉදින් කිසි දු මහණෙක් මෙහෙණනට ඔවා දෙන්නට සමත් නො වී නම්, “භික්ඛුනෝවාදක” යැ යි සම්මත කිසි දු මහණෙක් මෙහි නැත, භික්‍ෂූණිසඞ්ඝ තෙමේ ප්‍රසාද එළවන ගුණයෙන් එය සම්පාදනය කෙරේවා” යි කියැයුතු.
31. එ සමයෙහි මහණහු භික්ඛුනෝවාදක සම්මති නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ. ”මහණෙනි, අවවාදක සම්මතිය නො පිළිගතයුතු නො වේ. යමෙක් නො පිළිගන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ” යැ යි වදාළසේක.
එ සමයෙහි එක්තරා අව්‍යක්ත මහණෙක් වෙයි. ඔහු කරා මෙහෙණහු එළඹ “ආර්‍ය්‍යන් වහන්ස, භික්ඛුනෝවාදය පිළිගත මැනැවි” යි කීහ.
“බිහිනිය, මම් නොදන්නෙකිමි, මම් කෙසේ නම් අවවාදක සම්මතිය පිළිගනිම් දැ?” යි කී ය. “ආර්‍ය්‍යන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගන්න. භික්‍ෂූන් විසින් මෙහෙණනට අවවාද කිරීමේ සම්මතිය පිළිගතයුතු යැ” යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලදැ’ යි. ඕ කීවා ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, අව්‍යක්තයා හැර සෙසු භික්‍ෂූන් විසින් භික්බුනෝවාදක සම්මතිය පිළිගන්නට අනුදනිමි” යි වදාළසේක.
32. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වේ. මෙහෙණහු ඔහු කරා එළඹ, “ආර්‍ය්‍යයන් වහන්ස, භික්ඛුනෝවාදක සම්මතිය පිළිගන්නැ” යි කීහ. “බිහිනියෙනි, මම් ගිලන්මි. කෙසේ මම් අවවාදක සම්මතිය පිළිගනිම් දැ?” යි හේ කිව, “ආර්‍ය්‍යයන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගන්න. ‘අව්‍යක්තයා හැර සෙස්සවුන් විසින් අවවාදක සම්මතිය පිළිගතයුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද” යි කීහ.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, අව්‍යක්තයා ද ගිලනා ද හැර සෙස්සන් විසින් අවවාද සම්මතිය පිළිගන්නට අනුදනිමි” යි වදාළසේක.
33. එසමයෙහි එක්තරා මහණෙක් ගමනෙක යෙදුණේ විය: මෙහෙණහු ඔහු වෙත එළඹ, “ආර්‍ය්‍යන් වහන්ස, භික්ඛුනෝවාද සම්මතිය පිළිගන්නැ” යි කීහ. “නැගැණියනි, මම් ගමිකයෙමි. එ හෙයින් කෙසේ නම්, මෙහෙණනට අවවාද කිරීමේ කාර්‍ය්‍යය බාරගනිම් දැ?” හේ කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගත මැනැව, අව්‍යක්තයා ද ගිලනා ද හැර සෙස්සන් විසින් අවවාදක සම්මතිය පිළිගතයුතු යැ’යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවනලද” යි කීහ.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, අව්‍යක්තයා ද ගිලනා ද ගමිකයා ද හැර සෙස්සන් විසින් අවවාදක සම්මතිය පිළිගතයුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
34. එ සමයෙහි එක්තරා මහණෙක් වෙනෙහි වෙසෙයි. මෙහෙණහු ඔහු කරා එළඹ, “ආර්‍ය්‍යන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගන්නැ” යි කීහ. “බුහුනැණියනි, මම් වෙනෙහි වෙසෙමි. කෙසේ නම් අවවාදක සම්මතිය පිළිගනිම් දැ?” යි හේ කිව. “ආර්‍ය්‍යයන් වහන්ස, අවවාදක සම්මතිය පිළිගන්නැ. ‘අව්‍යක්තයා ද ගිලනා ද ගමිකයා ද හැර සෙස්සන් විසින් අවවාදක සම්මතිය පිළිගතයුතු’ යැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද”යි මෙහෙණහු කීහ.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, වනවැසි මහණ විසින් භික්ඛුනෝවාදක සම්මතිය පිළිගන්නට ද අසෝ තැන දී අවවාද කරන්නෙමි යි මෙ තැන දී අවවාද කරන්නෙමි යි, අවවාද කරන තැන පිළිබඳ සංකෙතයක් කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
35. එසමයෙහි භික්‍ෂූහු අවවාදක සම්මතිය පිළිගෙන ආරෝචනය නො කරත් (නො දන්වත්). භාග්‍යවතුන් වහන්සේට මේ පවත සැලකළහ. “මහණෙනි, අවවාදක සම්මතිය පිළිගෙන ආරෝචනය නො කොට නො සිටියයුතු ය. යමෙක් ආරෝචනය නො කරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වේ” යැ යි වදාළසේක.
36. එ සමයෙහි මහණහු අවවාදක සම්මතිය පිළිගෙන ඒ බව පෙරළා නො සැල කරත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, අවවාදක සම්මතිය පිළිගත් බව පෙරළා නො ම නො දැන්වියයුතු. යමෙක් නො දන්වා නම් ඔහුට දුකුළා ඇවැත් වේ” යැ යි වදාළසේක.
37. එ සමයෙහි මෙහෙණෝ සලකුණු කළ තැනට නො යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, භික්‍ෂුණිය විසින් සලකුණු කළ තැනට නො යෑම නො කළයුතු යි. යම් මෙහෙණක් නො යන්නී නම් (ඇයට) දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
38. එ කල්හි මෙහෙණෝ දිග කාබහන් දරත්, එයින් ම ඉළ ඇට නමත්, ‘කාමභෝගී ගැහැණුන් මෙනැ’ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, මෙහෙණ විසින් දිගු කාබහන් නො දැරියයුතු. යම් මෙහෙණක් දරා ද (ඇයට) දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙණට එක් වෙළුම් පටෙකින් යුත් කාබහන අනුදනිමි. එයින් ඉළ ඇට නො නැමියයුතු. යම් මෙහෙණක් නමා ද (ඇයට) දුකුළා ඇවත් වේ” යි වදාළසේක.
39. එ සමයෙහි මෙහෙණෝ මොළොක් උණපතුරෙන් කළ පටියෙන් ඉළඇට නමති, සම්පටින් ඉළඇට නමති, සුදුරෙදි වෙණියෙන් ඉළඇට නමති, සුදුරෙදි වැටියෙන් ඉළඇට නමති, කසාවන් රෙදිපටින් ඉළඇට නමති, කසාවන් රෙදිවෙණියෙන් ඉළඇට නමත්, කසාවන් රෙදිවැටින් ඉළඇට නමති, හුවෙණියෙන් ඉළඇට නමති, හුවැටින් ඉළඇට නමත්. ‘ගිහී කාමභෝගිනීන් මෙනැ” යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් මොළොක් උණපතුරෙන් කළ පටියෙන් ඉළඇට නො නැමියයුතු, සම්පටින් ඉළඇට නො නැමියයුතු, සුදුරෙදි පටින් ඉළඇට නො නැමියයුතු, සුදුරෙදි වෙණියෙන් ඉළඇට නො නැමියයුතු, සුදුරෙදි වැටින් ඉළඇට නො නැමියයුතු, කසාවන් රෙදිපටින් ඉළඇට නො නැමියයුතු, කසාවන් රෙදි වෙණියෙන් ඉළඇට නො නැමියයුතු, කසාවන් රෙදි වැටින් ඉළඇට නො නැමියයුතු, හුවෙණියෙන් ඉළඇට නො නැමියයුතු, හුවැටින් ඉළඇට නො නැමියයුතු, යම් මෙහෙණක් නමා ද (ඇයට) දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
40. එ සමයෙහි මෙහෙණෝ ගවයන්ගේ කෙණ්ඩා ඇටයෙන් කටි පෙදෙස (තුනටිය පෙදෙස) අතුල්ලති, ගවයන්ගේ හනු ඇටයෙන් කටිපෙදෙස කොටවති, අතෙහි (සිතුවම්) කොටවති, පිටි අත කොටවති. පයෙහි කෙණ්ඩා කොටවති, පිටිපතුල කොටවති, කලවා කොටවති. මුව කොටවති, දත්මස කොටවත්. ගිහී කාමභෝගිනීන් මෙනැ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළාහ. “මහණෙනි, මෙහෙණ විසින් ගවයන්ගේ කෙණ්ඩාඇටයෙන් කටි පෙදෙස නො ඇතිල්ලිය යුතු ... දත් මස නො කෙටවිය යුතු, යම් මෙහෙණක් කොටවා නම් දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
41. එ සමයෙහි සවග මෙහෙණෝ මුව ආලේප කරති, මුව සිනිඳු කරති, මුව වත්සුණුයෙන් තවරති, මනොසීල (කල්ක) යෙන් මුව ලකුණු කරති, අඞ්ගරාග (ඇඟ පාට කිරීම) කරති, මුඛරාගය (මුහුණ පාටකිරීම) කරති, අඞ්ගරාගමුඛරාග (දෙක ම) කරත්. ‘ගිහීකාමභෝගිනීන් මෙනැ’ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. “මහණෙනි, මෙහෙණ විසින් මුව ආලෙපකිරීම නො කළ යුතු, මුව සිනිඳු කිරීම නො කළයුතු, මුව සුණු තැවරීම නො කළයුතු, මනොසීල කල්කයෙන් මුව ලකුණු කිරීම නො කළයුතු, අඞ්ගරාගය නො කළයුතු, මුඛරාගය නො කළයුතු, අඩ්ගරාග-මුඛරාග නො කළයුතු. යම් මෙහෙණක් කෙරේ නම් දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
42. එ සමයෙහි සවග මෙහෙණෝ අවඞ්ගය (ඇසෙහි අඳුන් ගානා විට ඇස් කෙළවර යටිකුරු වූ විසිතුරු රේඛා ඇඳීම) කෙරෙති, කම්මුලෙහි විසේසකය (කම්මුලෙහි විසිතුරු පත්‍ර ලේඛා) කෙරෙති, කවුළුවෙන් (වීථිය දෙස) බලති, ආලෝක සහිත තැන (දොර හැර සිරුරින් අඩක් දක්වමින්) සිටිති, නෘත්‍ය කරවති, වෙසඟනන් එළවා සිටුවති, සුරාසැල් තබති, මස් වෙළඳ සැල් තබති (මස් විකුණති), වෙළඳසැල් විවෘත කෙරෙති, පොලී කිරීමෙහි යෙදෙති, වෙළඳාමෙහි යෙදෙති, දාසයන් එළවා සිටුවති, දාසීන් එළවා සිටුවති, කම්කරුවන් එළවා සිටුවති, කම්කරු ස්ත්‍රීන් එළවා සිටුවති, තිරිසනුන් එළවා සිටුවති, මිශු පළතුරුහල් (අරළු ඈ ගෙඩිවර්‍ග විකුණන අවන්හල්) විවෘත කෙරෙති, ඉළඇට නමන බැඳුම් දරත්. ‘ගිහී කාමභෝගිනීන් මෙනැ’ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් අවඞ්ගය නො කළයුතු ... නමතකය නො දැරියයුතු, යම් මෙහෙණක් දරා නම් දුකුළා ඇවැත් වේ” යි (වදාළසේක).
43. එ සමයෙහි සවග මෙහෙණෝ සියල්ල නිල්වන් වූ සිවුරු දරති, සියල්ල පීතවර්‍ණ වූ සිවුරු දරති, සියල්ල ලේවන් වූ සිවුරු දරති, සියල්ල මදටවන් වූ සිවුරු දරති, සියල්ල කළුවන් වූ සිවුරු දරති, සියල්ල රත්වෑයන්ගේ පිටෙහි පැහැ වැනි පැහැයෙන් රඳනලද සිවුරු දරති, සියල්ල පියුම්පෙති වැනි පැහැයෙන් රඳනලද සිවුරු දරති, නො සිඳින ලද දහවලු කොන් ඇති සිවුරු දරති, දිගු දහවලු කොන් ඇති සිවුරු දරති, මලින් යුත් දහවලු ඇති සිවුරු දරති, පෙණ වැනි දහවලු ඇති සිවුරු දරති, සැට්ට දරති, රුක්සුඹුළු දරත්. ‘ගිහී කාමභෝගිනීන් මෙනැ” යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළෝය. “මහණෙනි, මෙහෙණ විසින් සියල්ල නිල්වන් වූ සිවුරු නො දැරියයුතු ... රුක්සුඹුළු නො දැරියයුතු. යම් මෙහෙණක් දරා නම් දුකුළා ඇවැත් වේ” යි වදාළසේක.
44. එ සමයෙහි එක් මෙහෙණක් කලුරිය කරන්නී ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට අයිති වේව’ යි කිවු ය. එහි මහණෝ ද මෙහෙණෝ ද ‘අපට අයිති යැ අපට අයිති යැ” යි විවාද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. “මහණෙනි, ඉදින් මෙහෙණක් කලුරිය කරන්නී ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට වේව’ යි කියන්නී නම් එහි භික්‍ෂු සඞ්ඝයා හිමිකරු නො වේ. මෙය භික්‍ෂුණී සඞ්ඝයාට ම ය. මහණෙනි, ඉදින් සික්ඛමානාවක් ... මහණෙනි, ඉදින් සාමණේරියක් කලුරිය කරන්නී ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට වේව’ යි කියන්නී නම් එහි භික්‍ෂු සඩ්සයා හිමිකරු නො වේ. මෙය භික්‍ෂුණි සඞ්ඝයාට ම ය. මහණෙනි, ඉදින් මහණෙක් කලුරිය කරන්නේ ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට වේව” යි කියන්නේ නම් එහි භික්‍ෂුණී සඞ්ඝයා හිමිකරු නො වේ. මෙය භික්ෂුසඩ්සයාට ම ය. මහණෙනි, ඉදින් සාමණේරයෙක් ... මහණෙනි, ඉදින් උපාසකයෙක් .... මහණෙනි, ඉදින් උපාසිකාවක් ... මහණෙනි, ඉදින් අන් කිසිවෙක් කලුරිය කරන්නේ ‘මා ඇවෑමෙන් මාගේ පිරිකර සඞ්ඝයාට වේව’ යි කියන්නේ නම් එහි භික්ෂුණිසඞ්ඝයා හිමිකරු නො වේ. මෙය භික්‍ෂූසඞ්ඝයාට ම” යැ යි (වදාළසේක.)
45. එ සමයෙහි ගිහිකල මල්ලයකුගේ බිරියක් වූ ස්ත්‍රියක් මෙහෙණන් වෙත පැවිදිවූ ය. ඕ වීරියෙහි දී දුබල මහණකු දැක දසරුවෙන් පහර දී පෙරළුවා ය. ‘කෙසේ නම් මෙහෙණක් මහණකුට පහර දෙන්නී ද, යි භික්‍ෂූහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. “මහණෙනි, මෙහෙණ විසින් මහණහට පහර නො දියයුතු, යම් මෙහෙණක් පහර දෙන්නී නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙණ විසින් මහණකු දැක දුර දී ම ඉවත්වී මඟ (ඉඩ) දෙන්නට අනුදනිමි යි” (වදාළසේක.)
46. එ සමයෙහි බැහැර වෙසෙන හිමියා ඇති එක්තරා ස්ත්‍රියක් සොර සැමියකු නිසා ගැබිනි වූය. ඕ ගැබ හෙළා කුලුපග මෙහෙණකට මෙසේ කිවු ය. ‘ආර්‍ය්‍යයාවෙනි, මේ ගැබ පාත්‍රයෙන් බැහැර ගෙන යනු මැනවැ’ යි. ඉක්බිති ඒ මෙහෙණ ඒ ගැබ පාත්‍රයෙහි බහා සඟළ සිවුරින් වසාගෙන ගියා ය. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණකු විසින් ‘මම පළමු යම් භික්‍ෂාවක් ලබන්නෙම් ද එය මහණකුට හෝ මෙහෙණකට හෝ නො දී නො වළඳන්නෙමැ’ යි සමාදන්වීමක් කරන ලද්දේ වෙයි.
ඉක්බිති ඒ මහණ ඒ මෙහෙණ දැක ‘සොහොවුරියනි, භික්‍ෂාව පිළිගනුව’ යි කී ය. ‘ආර්‍ය්‍යයෙනි, කම් නැත’ යී (කිවුය) දෙවැනි වරද ඒ මහණ ‘සොහොවුරියනි, භික්‍ෂාව පිළිගනුව’ යි ඒ මෙහෙණට කී ය. ‘ආර්‍ය්‍යයෙනි, කම්නැතැ’ යි කිවු ය. තෙවැනි වර ද ඒ මහණ ‘සොහොවුරියනි, භික්‍ෂාව පිළිගනුව’ යි ඒ මෙහෙණට කී ය. ‘ආර්‍ය්‍යයෙනි, කම්නැතැ’ යි කිවු ය. ‘සොහොයුරියනි, මා විසින් ‘මම පළමු යම් භික්‍ෂාවක් ලබන්නෙම් ද එය මහණකුට හෝ මෙහෙණකට නො දී නො වළඳන්නෙමැ’ යි සමාදන්වීමක් කරන ලද්දේ වෙයි. එහෙයින් සොහොවුරියනි භික්‍ෂාව පිළිගනුව’ යි කී ය.
ඉක්බිති ඒ මෙහෙණ ඒ මහණ විසින් පෙළනු ලබන්නී පාත්‍රය බැහැර කොට ‘ආර්‍ය්‍යයන් වහන්ස, පාත්‍රයෙහි ගැබ බැලුව මැනවි, කිසිවකුට ද නො දැන්වුව මැනවැ යි කියා (පාත්‍රය) පෙන්වූ ය. ඉක්බිති ඒ මහණ ‘කෙසේ නම් මෙහෙණක් පාත්‍රයෙන් ගැබක් බැහැරට ගෙන යා ද? යි ලමු කොට සිතයි, නුගුණ කියයි, දොස් පතුරුවයි. වැලි ඒ මහණ මෙ කරුණ භික්‍ෂූන්ට සැලකෙළේ ය. අල්පෙච්ඡ වූ ලද දෙයින් සතුටු වන්නා වූ පවට ලජ්ජා ඇති (පව් කිරීමෙහි) කුකුස් ඇති හික්මෙනු කැමති යම් ඒ මහණ කෙනෙක් වෙත් ද ඔවුහු ‘කෙසේ නම් මෙහෙණක් පාත්‍රයෙන් ගැබක් බැහැරට ගෙන යන්නී ද? යි ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. “මහණෙනි, මෙහෙණක විසින් පාත්‍රයෙන් ගැබක් බැහැරට නො ගෙන යායුතු. යම් මෙහෙණක් ගෙනයන්නී ද දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙණ විසින් මහණකු දැක පාත්‍රය බැහැර කොට දැක්වීමට අනුදනිමි” යි (වදාළසේක).
47. එසමයෙහි සවග මෙහෙණෝ මහණකු දැක පාත්‍රය පෙරළා පාත්‍රමූලය (පාත්‍රයෙහි අඩිය) පෙන්වති. ‘කෙසේ නම් සවග මෙහෙණෝ මහණකු දැක පාත්‍රය. පෙරළා පාත්‍රමූලය පෙන්වත් දැ’ යි මහණෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් ඉක්බිති ඒ මහණෝ මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් මහණකු දැක පාත්‍රය. පෙරළා පාත්‍ර මූලය නො දැක්වියයුතු. යම් මෙහෙණක් දක්වා නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, මෙහෙණ විසින් මහණකු දැක උඩුකුරු කොට පාත්‍රය දක්වන්නට අනුදනිමි. පාත්‍රයෙහි යම් ආමිසයක් වෙයි නම් එයින් ද ඒ මහණ පැවරියයුතු” යි වදාළසේක.
48. එ සමයෙහි සැවැත්නුවර විථියෙක පුරුෂ නිමිත්තක් දමන ලද්දේ වෙයි. මෙහෙණෝ එය මැනැවින් සිත් එළවා බැලූහු, මිනිස්සු ඔල්වර හඬ නැඟූහ. ඒ මෙහෙණෝ (ලජ්ජාවෙන්) මකු වූහ. ඉක්බිති ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට මෙ කරුණ සැලකළහ. අල්පෙච්ඡ වූ ලද දැයින් සතුටු වන්නා වූ ලජ්ජි වූ (පවෙහි) කුකුස් ඇත්තා වූ ශික්‍ෂාකාමී වූ යම් ඒ මෙහෙණ කෙනෙක් වූ ද ඔවුහු ‘කෙසේ නම් මෙහෙණෝ පුරුෂනිමිත්ත සිත් එළවා බැලූහු දැ යි ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. වැලි ඒ මෙහෙණෝ මෙ කරුණ මහණුන්ට දැන්වූහ. මහණෝ මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් පුරුෂනිමිත්ත සිත් එළවා නො බැලියයුතු. යම් මෙහෙණක් සිත් එළවා බලා නම් දුකුළා ඇවැත් වේ”.
49. එ සමයෙහි මිනිස්සු භික්‍ෂූන්ට ආමිසය දෙත්. භික්‍ෂීහු භික්‍ෂූණීන්ට දෙත්, ‘කෙසේ නම් වහන්දෑ තමන්ට පරිහොග පිණිස දුන් දැය අන්‍යයන්ට දෙන්නෝ ද, අපි දු දන් දෙන්නට නො දනිමු. දැ’යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, තමන්ට පරිහොග පිණිස දුන් දැය අනන්‍යයන්ට නො දියයුතු. යමෙක් දේ නම් දුකුළා ඇවැත් වේ” යි (වදාළ සේක.)
50. එ සමයෙහි භික්‍ෂූන්ට ආමිසය බොහෝ වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ “මහණෙනි, සඞ්ඝයාට දීමට අනුදනිමි” යි (වදාළසේක.) ඉතා බෙහෙවින් රැස් වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, පෞද්ගලික ලෙස ද දීමට අනුදනිමි” යි (වදාළ සේක.) එසමයෙහි භික්‍ෂුන්ට රැස් කළ ආමිසය බොහෝ වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුන්ගේ සන්නිධි (වශයෙන් රැස් කළ) ආමිසය භික්‍ෂූණින් විසින් ද භික්‍ෂූන් විසින් ද පිළිගන්වාගෙන වළඳන්නට අනුදනිමි” යි (වදාළසේක.)
51. එසමයෙහි මිනිස්සු භික්‍ෂූණින්ට ආමිසය දෙත්, හික්‍ෂුණිහු භික්‍ෂූන්ට දෙත්, ‘කෙසේ නම් භික්‍ෂුණීහු තමන්ට පරිභෝග පිණිස දෙන ලද්ද අන්‍යයන්ට දෙන්නාහු ද, අපි දු දන් දෙන්නට නො දනුමෝ ද’ යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් තමන්ගේ පරිභෝග පිණිස දෙන ලද්ද අන්‍යයන්ට නො දියයුතු, යම් මෙහෙණක් දේ නම් දුකුළ ඇවැත් වේ” යී වදාළසේක.
52. එසමයෙහි මෙහෙණන්ට ආමිසය බොහෝ වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, සඞ්ඝයාට දෙන්නට අනුදනිමි” යි. ඉතා බෙහෙවින් රැස්වූයේ වෙයි. භාග්‍යවතුන් වහසේට මේ කරුණ දැන්වූහ. “මහණෙනි, පෞද්ගලිකවද දීමට අනුදනිමි” යි. එසමයෙහි භික්‍ෂූණීන්ගේ සන්නිධි කළ ආමිසය බොහෝ වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණන්ගේ සන්නිධි කළ ආමිසය භික්‍ෂූන් විසින් ද භික්‍ෂුණින් විසින් ද පිළිගන්වාගෙන පරිභෝග කරන්නට අනුදනිමි” යි (වදාළසේක.)
53. එසමයෙහි භික්‍ෂූන්ට සෙනසුන් බොහෝ වූයේ වෙයි. භික්‍ෂුණීන්ට නො වෙයි. ‘වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ අපට තාවකාලික ව සෙනසුන් දෙන්නාහු නම් මැනවැ’ යි භික්‍ෂූන් සමීපයට දූතයකු යැවූහ. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, භික්‍ෂුණීන්ට තාවකාලික ව සෙනසුන් දෙන්නට අනුදනිමි” යි වදාළසේක.
54. එ සමයෙහි ඔසප් වූ මෙහෙණෝ බඳනා ලද මෙට්ට සහිත ඇඳෙහි බඳනා ලද මෙට්ට සහිත පුටුවෙහි හිඳිත්, හොවිත්, සෙනසුන ලෙයින් තැවරෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, ඔසප් වූ මෙහෙණ විසින් බඳනා ලද මෙට්ට සහිත ඇඳෙහි බඳනා ලද මෙට්ට සහිත පුටුවෙහි නො හිඳියයුතු, නො හෙවියයුතු. යම් මෙහෙණක් හිඳී නම් හෝ හොවී නම් හෝ දුකුළා ඇවැත් වේ. මහණෙනි, ආවස්ථචීවරය (ආවාසයෙහි දී පරිභෝග කරන සිවුර) අනුදනිමි” යි වදාළසේක.
ආවස්ථචීවරය ලෙයින් වැකෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, ආණිචෝලකය (රෙදිවලින් කළ මූඩියක් වැනි වැස්මක්) අනුදනිමි”යි. ආණිචෝලකය ගිලිහෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, හුයෙකින් බැඳ කළවායෙහි බඳින්නට අනුදනිමි” යි. හුය සිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, කැසපට ද කටීහුය ද අනුදනිමි” යි (වදාළහ.)
55. එ සමයෙහි සවග මෙහෙණෝ හැමකල්හි කටීහුය දරත්. ‘ගිහී කාමභෝගිනීන් මෙනැ’යි මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්. මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් හැමකල්හි කටීහුය නො දැරියයුතු. යම් මෙහෙණක් දරා නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, ඔසප් වූ මෙහෙණට කටීහුය අනුදනිමි” යි වදාළහ.
දෙවැනි බණවර යි.
56. එ සමයෙහි ස්ත්‍රී නිමිත්ත නැත්තා වූද, නිමිත්තමාත්‍රයක් ඇත්තා වූද, මඳක් ලේ වැගිරීම් ඇත්තාවූද, නිතර ලේ වැගිරීම් ඇත්තා වූ ද, නිතර වැසුම් කඩ දරන්නාවූද වැගිරෙන්නී වූ ද, පිටත නික්මුණු මස්රො ද ඇත්තා වූ ද, ස්ත්‍රී පණ්ඩක වූ ද, විකෘත පුරුෂස්වභාව ඇත්තා වූ ද, මිශ්‍රවූ වසමග පසමග ඇත්තා වූ ද, උභතෝබ්‍යඤ්ජනක වූද උපසපන් මෙහෙණීහු දක්නා ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. මහණෙනි, උපසම්පදා කරන්නිය විසින් සූවිසි අන්තරායකරධර්‍ම පිළිවිසින්නට අනුදනිමි. මහණෙනි, මෙසේ පිළිවිසියයුතු. අනිමිත්තා නො වෙහි ද, නිමිනතමාත්‍ර ඇත්තී නො වෙහි ද, අලෝහිතා නො වෙහි ද, ධුවලෝහිතා නො වෙහිද, ධුවවෝළා නො වෙහි ද නිතර ලේ වැගිරීම් ඇත්තී නො වෙහි ද, සිඛරිණී නො වෙහි ද, ස්ත්‍රීපණ්ඩක නො වෙහිද, විකෘත පුරුෂස්වභාව ඇත්තී නො වෙහි ද, සම්භින්නා නො වෙහි ද, උභතෝබ්‍යඤ්ජනක නො වෙහි ද, කුෂ්ටරෝගය, ගෙඩිය, කිලාසය (එනම් කුෂ්ටරෝගය) ක්‍ෂය රෝගය, වස්මරය යන මෙබඳු ආබාධයෝ තොපට වෙත් ද, මනුෂ්‍ය වෙහිද, ස්ත්‍රියක් වෙහි ද, අදාසියක් වෙහි ද, ණය නැත්තියක් වෙහි ද, රජසෙබළියක් නො වෙහි ද, මවුපියන් විසින් හා හිමියා විසින් අනුදන්නාලද ද, පිරිපුන් විසිවයස් ඇත්තී ද, තොපගේ පාසිවුරු පිරිපුන් ද, කිනම් වෙහි ද, තොපගේ උපාධ්‍යායයා තොමෝ කිනම් ඇත්තී දැ යි.
57. එසමයෙහි භික්‍ෂූහු භික්‍ෂූණීන්ගේ අන්තරායකරධර්‍ම පිළිවිසිත්, උපසම්පදාපේක්ෂිකාවෝ ගොළුගැසී සිටිත්, මකු වෙති. විසඳන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූ භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි උපසපන් වූ මෙහෙණහට භික්‍ෂූසඞ්ඝයා කෙරෙහි උපසම්පදා වීම අනුදනිමි”යි වදාළසේක.
58. එසමයෙහි භික්‍ෂුණීහු අනුශාසනා නො කළ උපසම්පදාපෙක්ෂිකාවන් අන්තරායික ධර්‍ම පිළිවිසිත්, උපසම්පදාපේක්ෂිකාවෝ ගොළුගැසී සිටිත්, මකු වෙත්, විසඳන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, පළමු අනුශාසනා කොට පසුව අන්තරායික ධර්‍ම පිළිවිසින්නට අනුදනිමි”යි. එහි සඟ මැද ම අනුශාසනා කරත්, උපසම්පදාපෙක්ෂිකාවෝ එසේ ම ගොළුගැසී සිටිති. මකු වෙති. විසඳන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, එකත්පසෙක අනුශාසනා කොට සහ මැද අන්තරායික ධර්‍ම පිළිවිසින්නට අනුදනිමි”යි.
මහණෙනි, මෙසේ අනුශාසනා කළයුතු. පළමුව උපාද්ධ්‍යායක ගැන්වියයුතු, උපාද්ධ්‍යායයක ගන්වා පාසිවුරු කියාදියයුතු: මේ තොපගේ පාත්‍ර ය, මෙ සඟළ සිවුර ය, මෙ තනිපට සිවුර ය, මෙ අඳනය ය, මෙ තනවැස්ම ය, මෙ දියසළුව ය. යව තෙල අවකාසයෙහි සිටුව යි. බාල වූ අව්‍යක්ත වූ (මෙහෙණීහු) අනුශාසනා කෙරෙත්. වැරදි ලෙස අනුශාසනා කරනලද උපසම්පදාපේක්ෂිකාවෝ ගොළුගැසී සිටිති, මකු වෙති, විසඳන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, බාල අව්‍යක්ත මෙහෙණ විසින් අනුශාසනා නො කළයුතු. යම් මෙහෙණක් අනුශාසනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් අනුශාසනා කරන්නට අනුදනිමි”යි, සම්මත නො කරනලද මෙහෙණිහු අනුශාසනා කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළහ. “මහණෙනි, සම්මත නො කළ මෙහෙණක විසින් අනුශාසනා නො කළයුතු. යම් මෙහෙණක් අනුශාසනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, සම්මත කරනලද මෙහෙණක විසින් අනුශාසනා කරන්නට අනුදනිමි”.
මහණෙනි, මෙසේ සම්මත කළයුතු, තමා විසින් හෝ තමා සම්මත කළයුතු, තමා විසින් හෝ තමා සම්මත කළයුත්තේ කෙසේ ද? ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් සඞ්ඝයා මෙසේ දැන්වියයුතු: “ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් මෙනම් ඇති මම මෙනම් ඇත්තිය අනුශාසනා කරන්නෙමි”යි. මෙසේ තමා විසින් ම තමා සම්මත කළයුතු, කෙසේ අන් මෙහෙණක විසින් අන් මෙහෙණක් සම්මත කළයුත්තී ද? ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂූණියක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්වියයුතු: “ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය අනුශාසනා කරන්නී ය” යි. මෙසේ අන් මෙහෙණක විසින් හෝ අන් මෙහෙණක් සම්මත කළයුතු,
ඒ සම්මත කරනලද මෙහෙණ විසින් උපසම්පදාපේක්ෂිකාව වෙත එළඹ මෙසේ කියයුත්තී ය: “මෙනම් ඇත්තිය, මෙය අසව, මෙ තොපගේ සත්‍ය කාල ය, භූතකාල යයි, යමක් වූයේ ද එය සඟමැද පුළුවුස්නා කල්හි ඇතිදැය ඇතැ’යි කියයුතු, නැතිදැය නැතැ’යි කියයුතු, ගොළුවකු මෙන් නො වව, මකු නො වව, මෙසේ තොප පිළිවිසින්නෝ ය. අනිමිත්තා නො වෙහි ද, යම්තම් නිමිති ඇත්තක් නො වෙහි ද, අලෝහිතා නො වෙහි ද, ධුවලෝහිතා නො වෙහි ද, ධුවචෝළා නො වෙහි ද, වැගිරෙන ස්වභාව ඇත්තී නො වෙහි ද, සිඛරිණි නො වෙහි ද, ස්ත්‍රීපණ්ඩක නො වෙහි ද, විකෘත පුරුෂ ස්වභාව ඇත්තක් නො වෙහි ද, මිශ්‍ර වූ මාර්‍ග ඇත්තක් නො වෙහි ද,
උභතෝබ්‍යඤ්ජනක නො වෙහි ද, කුෂ්ට ය, (කල්පවතින) ගෙඩි ය කිලාස ය, ක්‍ෂයරොග ය, වස්මර ය යන මෙබඳු ආබාධයෝ තොපට වෙත් ද, මනුෂ්‍ය වෙහි ද, ස්ත්‍රී වෙහි ද, දාසියක් නො වෙහි ද, ණය නැත්තෙහි ද, රජසෙබළියක් නො වෙහි ද, මවු පියන් හා හිමියා විසින් අනුදන්නා ලද ද, පිරිපුන් විසිවයස් ඇත්තී ද, තොපගේ පාසිවුරු පිරිපුන් ද, කිනම් වෙහි ද, තොපගේ පවත්තිනී (උපාදධ්‍යයයා) කිනම් වේ දැ’යි.
59. (අනුශාසනා කරන්නිය හා උපසම්පදාපෙක්ෂිකා) එක් ව පැමිණෙත්. (එසේ) එක්ව නො පැමිණියයුතු, අනුශාසකාව පළමු ව පැමිණ සඞ්ඝයා (මෙසේ) දැන්වියයුතු, ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. ඕ මා විසින් අනුශාසනා කරන ලදු, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මෙනම් ඇත්තී එන්නී යැ යි. එව’යි කියයුත්තී ය. (ඈ පැමිණි විට) තනිපට සිවුර ඒකාංශ කරවා භික්‍ෂූණීන්ගේ පා වන්‍දවා උක්කුටික ව හිඳුවා ඇඳිලි බඳවා උපසම්පදාව ඉල්ලුම් කරවිය යුත්තී ය. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්වමි. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නඟා ලනසේක්වා. දෙවනු ද ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්වමි. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නඟාලනසේක්වා තෙවනු ද ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්වමි. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නඟාලනසේක්වා යි.
ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්විය යුතු, ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මේ මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යා වගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම මෙනම් ඇත්තිය අන්තරායිකධර්‍ම පිළිවිසින්නෙමි. මෙනම් තැනැත්තිය අසව, මෙ තොපගේ සත්‍යකාල ය, භූතකාල යයි. යමක් වූයේ නම් එය පුළුවුස්මි. ඇති දැය ඇතැ යි කියයුතු, නැති දැය නැතැ යි කියයුතු, අනිමිත්තා නො වෙහි ද, ස්වල්පමාත්‍ර නිමිති ඇත්තී නො වෙහි ද, ... කිනම් වෙහි ද, තොපගේ පවත්තිනී (උපාද්ධ්‍යායයා) කිනම් වේ දැ යි.
ව්‍යක්ත ප්‍රතිබල මෙහෙණක විසින් සඞ්ඝයා (මෙසේ) දැන්විය යුතු. ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මේ මෙනම් ඇත්තී මෙනම් ඇති ආර්‍ය්‍යාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. (ඕ) අන්තරායික ධර්‍මයන්ගෙන් පිරිසුදු ය. ඇගේ පාසිවුරු පිරිපුන් ය. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්වයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරන්නේ ය. මේ ඤත්ති යි.
“ආර්‍ය්‍යයාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මේ මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. අන්තරායික ධර්‍මයන් ගෙන් පිරිසුදු ය, ඇගේ පාසිවුරු පිරිපුන් ය. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යයාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. මෙ නම් ආර්‍ය්‍යයාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයා මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආර්‍ය්‍යයාවකට රුචිවේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යයාවකට නො රුස්නේ නම් ඕ කියන්නී ය.
දෙවැනි වර ද මේ කරුණ කියමි. ... තෙවැනි වර ද මේ කරුණ කියමි. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝයා මබස් අසාවා. මේ මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යාවගේ උපසම්පදාපේක්‍ෂිකාවකි. අන්තරායික ධර්‍මයන්ගෙන් පිරිසුදු ය. ඇගේ පාසිවුරු පිරිපුන් ය. මෙනම් ඇත්තී මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට සඞ්ඝයා මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආර්‍ය්‍යාවකට රුචිවේ නම් ඕ නිහඬ වන්නී ය. යම් ආර්‍ය්‍යාවකට නො රුස්නේ නම් ඕ කියන්නී ය.
සඞ්ඝයා විසින් මෙනම් ආර්‍ය්‍යාව ප්‍රවර්තිනිය කොට මෙනම් ඇත්තී උපසම්පදා කරනලද්දී ය. එය සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ දරමි”යි.
එකෙණෙහි ඇය රැගෙන (කැඳවාගෙන) භික්‍ෂූසඞ්ඝයා වෙත එළඹ තනිපටසිවුර ඒකාංශ කරවා භික්‍ෂූන්ගේ පා වන්‍දවා උත්කුටුක ව හිඳුවා ඇඳිලි බඳවා උපසම්පදාව ඉල්වියයුත්තී ය. “ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇති මම මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්ෂිකාවක් වූවා භික්‍ෂුණීසඞ්ඝයා වෙත පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් (භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි) උපසපන් වූමු. ආර්‍ය්‍යයෙනි, (දැන් භික්‍ෂු) සඞ්ඝයාගෙන් උපසම්පදාව යදිමි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නගාසිටුවන සේක්වා. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇති මම මෙනම් ආර්‍ය්‍යාවගේ උපසම්පදාපේක්ෂිකාවක් වූවා භික්‍ෂුණීසඞ්ඝයා වෙත පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූමු. ආර්‍ය්‍යයෙනි, දෙවනු ද සඞ්ඝයාගෙන් උපසම්පදාව යදිමි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නගාසිටුවනසේක්වා. ආර්‍ය්‍යයෙනි, මෙනම් ඇති මම මෙනම් ආර්‍ය්‍යයාවගේ උපසම්පදාපේක්ෂිකාවක් වූවා භික්‍ෂුණි සඞ්ඝයා වෙත පිරිසුදු වූවා එක් පක්‍ෂයකින් උපසපන් වූමු. ආර්‍ය්‍යයෙනි, තෙවනු ද සඞ්ඝයාගෙන් උපසම්පදාව යදිමි. ආර්‍ය්‍යයෙනි, සඞ්ඝයා අනුකම්පා කොට මා (හෙරණ බැවින්) නඟා සිටුවනසේක්වා” යි.
ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝයා (මෙසේ) දැන්විය යුතු ය: වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මෙනම් ඇත්තියගේ උපසම්පදාපෙක්ෂිකා වූ මෝ මෙනම් ඇත්තී භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය ද පවත්තිනී කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරන්නේ ය. මේ ඥප්ති යි.
වහන්ස, සඞ්ඝයා මබස් සාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපේක්ෂිකා වූ මෝ මෙනම් ඇත්තී භික්‍ෂුණි සඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රුචි වේ නම් උන්වහන්සේ නිහඬ වෙත්වා. යමකුට රුචි නො වේ නම් උන්වහන්සේ බෙණෙත්වා.
දෙවනු ද මෙ කරුණ කියමි. ... තෙවනු ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් ඇත්තියගේ උපසම්පදාපෙක්ෂිකා වූ මෝ මෙනම් ඇත්තී භික්‍ෂුණීසඞ්ඝයා කෙරෙහි පිරිසුදු වූවා එක් පක්ෂයෙකින් උපසපන් වූ ය. මෙනම් ඇත්තී මෙනම් ඇත්තිය පවත්තිනිය කොට සඞ්ඝයාගෙන් උපසම්පදාව යදියි. සඞ්ඝයා මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තිය උපසම්පදා කරයි. මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තියගේ උපසම්පදාව යම් ආයුෂ්මත් කෙනකුට රුචි වේ නම් උන්වහන්සේ නිහඬ වෙත්වා. යමකුට රුචි නො වේ නම් උන්වහන්සේ බෙණෙත්වා.
මෙනම් ඇත්තිය පවත්තිනිය කොට මෙනම් ඇත්තී සඞ්ඝයා විසින් උපසම්පදා කරනලද්දී ය. (එය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි යි.
එකෙණෙහි සෙවනැල්ල මිනියයුතු, ඍතුප්‍රමාණය කියයුතු, දිවසභාගය කියයුතු. සියල්ල එක්කොට සංගීතිය කියයුතු. මැයට නිස්සය තුන ද, නො කළයුතු කරුණු අට ද කියව යි භික්‍ෂුණීන්ට කියයුතු.
60. එසමයෙහි භික්‍ෂුණීහු බත්හලෙහි අසුන් ගැන අවිනිශ්චිත වූවාහු (වළඳන) කාලය ඉක්මවූහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ දැන්වූහ. “මහණෙනි, මෙහෙණන් අට නමකට වැඩි මහලු පිළිවෙළත් සෙස්සන්ට පැමිණි පිළිවෙළත් අනුදනිමි”යි (වදාළසේක.)
61. එසමයෙහි භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූණින් අට නමකට වැඩිමහලු පිළිවෙළත් සෙස්සනට පැමිණි පිළිවෙළත් අනුදන්නාලදැ යි සියලු තැන්හි භික්‍ෂූණින් අටනමක් වී වැඩිමහලු පිළිවෙළින් ද සෙස්සෝ පැමිණි පිළිවෙළින් ද (අසුන්) වෙන් කරත්, භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, බත්හලෙහි භික්‍ෂූණීන් අට නමකට වැඩිමහලු පිළිවෙළින් හා සෙස්සන්ට පැමිණි පිළිවෙළින් (අසුන් වෙන් කිරීම) අනුදනිමි. අන් සැම තැන්හි වැඩිමහලු පිළිවෙළ අත් නො හළ යුතු යි. යම් මෙහෙණක් අත්හරින්නී නම් දුකුළා ඇවැත් වේ” යි.
62. එසමයෙහි භික්‍ෂුණීහු පවාරණය නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් නො පැවරියයුතු නො වේ. යම් මෙහෙණක් නො පවරා නම් දහම් වූ පරිදි කරවියයුතු” යි, එසමයෙහි භික්‍ෂුණීහු තමන් පවරා භික්‍ෂූසඞ්ඝයා නො පවරත්, භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, මෙහෙණ විසින් තමා පවරා භික්‍ෂූසඞ්ඝයා නො පැවරියයුතු නො වේ. යම් මෙහෙණක් නො පවරා නම් දහම් වූ පරිදි කරවියයුතු” යි.
63. එසමයෙහි භික්‍ෂුණීහු භික්‍ෂූන් සමග එකට පවාරණය කරන්නාහු කෝලාහල කළහ. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. “මහණෙනි, භික්‍ෂුණිය භික්‍ෂූන් සමග එකට පවාරණය නො කළයුතු, යම් මෙහෙණක් පවරා නම් දුකුළා ඇවැත් වේ” යී.