Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 3401-3500 න් 3843

උපාලි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂූහු විසින් තමා කෙරෙහි කරුණු පසක් සලකා බලා අන්‍යයා චෝදනා කළයුතු.
උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මෙසේ සලකා බැලියයුතු යි; “මම පිරිසුදු කායසමාචාර ඇත්තෙම් ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති කායසමාචාරයෙන් යුක්ත වෙම් ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී ද යි. උපාලි, ඉදින් මහණ පිරිසුදු කායසමාචාර නැත්තේ වේ ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති කායසමාචාරයෙන් යුක්ත නො වේ ද ඕහට “ආයුෂ්මත් තෙම පළමුව කායසමාචාරයෙහි හික්මෙව’ යි මෙසේ කියන්නෝ වෙති. මෙසේ අවවාද කරන්නෝ වෙත්.
වැලිදු උපාලි පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මම පිරිසුදු වචීසමාචාර ඇත්තෙම් ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති වචීසමාචාරයෙන් යුක්ත වෙම් ද මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී දැ යි. උපාලි, ඉදින් මහණ පිරිසුදු වචිසමාචාර නැත්තේ වේ ද, පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති වාක්සමාචාරයෙන් යුක්ත නො වේ ද, ඔහට “ආයුෂ්මත් තෙම පළමු ව වචිසමාචාරයෙහි හික්මෙව’ යි මෙසේ කියන්නෝ වෙති. මෙසේ අවවාද කරන්නෝ වෙත්.
වැලිදු උපාලි , පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂූහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: මා තුළ සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත එළඹ සිටියේ ද මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී ද’ යි. ඉදින් උපාලි, සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත මහණහට එළඹ නො සිටියේ ද ඔහට, “ආයුෂ්මත් තෙම පළමු ව සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත එළඹ සිටුවා ගනුව” යි කියන්නෝ වෙති. ඔහට මෙසේ අවවාද කරන්නෝ වෙත්.
වැලිදු උපාලි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මම සුතධර වූ සුතසන්නිචය (උගත් දැය නො නැසිය දී රක්නා) වූ බහුශ්‍රැතයෙක් වෙම් ද, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ඒ ධර්‍ම කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ ඛ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් වූ පිරිසුදු වූ බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එබඳු ධර්‍මයෝ මා විසින් බෙහෙවින් අසන ලද්දාහු දරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරන ලද්දාහු වෙත් ද, මේ ධර්‍මය මා තුළ විද්‍යාමාන වේ ද නැතහොත් නො වේ ද’ යි, උපාලි, ඉදින් මහණ සුතධර වූ සුතසන්තිචය වූ බහුශ්‍රැතයෙක් නො වේ ද, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ඒ ධර්‍ම කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් වූ වපිරිසුදු වූ බඹසර ප්‍රකාශ කෙරෙත් ද එබඳු ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරන ලද්දාහු නො වෙත් ද, ඔහට “ආයුෂ්මත් තෙමේ පළමු ව ආගම ධර්‍මය පිරිවහන්නැ” යි කියන්නෝ වෙති. මෙසේ ඔහට අවවාද කරන්නෝ වෙත්.
වැලිදු උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මා විසින් පෙළ වශයෙන් ද අනුඛ්‍යඤ්ජන වශයෙන් ද උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මනාකොට ප්‍රගුණ කරන ලද ද මනාව විභාග කොට දැනගන්නා ලද ද මනාව (දැරීම් වශයෙන්) පවත්වන ලද ද, මනා ලෙස විනිශ්චය කොට දැන ගන්නා ලද ද, මේ ධර්‍මය මා තුළ විද්‍යමාන වේ ද නැතහොත් නො වේ දැ’ යි. උපාලි, ඉදින් මහණහු විසින් පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මනා කොට ප්‍රගුණ කරන ලද්දේ මනාව විභාග කොට දැනගන්නා ලද්දේ මනාව (දැරීම් වශයෙන්) පවත්වන ලද්දේ මනා ලෙස විනිශ්චය කොට දැනගන්නා ලද්දේ නො වේ ද, ඇවත, මෙය, භාග්‍යවතුන් වහන්සේ විසින් කොහි දී දෙසන ලද දැ’ යි පුළුවුස්නා ලද්දේ සිහි කොට නො කියහෙයි ද, ඔහට ‘ආයුෂ්මත් තෙම පළමුව විනය පිරිවහන්නැ’ යි කියන්නෝ වෙති. ඔහට මෙසේ අවවාද කරන්නෝ වෙත්.
උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂූහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චෝදනා කළයුත්තේ යි.
16. වහන්ස, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් ධර්‍ම තමා තුළ එළවා (පිහිටුවා ගෙන), අන්‍යයා චෝදනා කළයුතු ද? යි.
උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා තුළ එළවා අන්‍යයා චෝදනා කළයුතු: (එනම්) නො කල්හි නොව සුදුසු කල්හි කියන්නෙමි. අසත්‍යයෙන් නොව සත්‍යයෙන් කියන්නෙමි. රළු වචනයෙන් නොව මොළොක් වදනින් කියන්නෙමි. කරුණු ඇසුරු නො කිරීමෙන් නොව කරුණු ඇසුරු කිරීමෙන් කියන්නෙමි, දුෂ්ට සිතින් නොව මෙත් සිත් ඇති ව කියන්නෙමි යි, උපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ කරුණු පස තමා තුළ එළවා අන්‍යයා චෝදනා කළයුතු යි.
17. වහන්ස, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට කෙතෙක් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු දැ? යි.
උපාලි, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට පස් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු: (එනම්) ආයුෂ්මත් තෙම නො කල්හි චෝදනා කෙළේ ය. සුදුසු කල්හි නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම අභූතයෙන් චෝදනා කෙළේ ය. සත්‍යයෙන් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම රළු වදනින් චෝදනා කෙළේ ය. මොළොක් වදනින් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම කරුණු ඇසුරු නො කොට චෝදනා කෙළේ ය. කරුණු ඇසුරු කොට නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි, දුෂ්ට සිත් ඇති ව ආයුෂ්මත් තෙම චෝදනා කෙළේ ය. මෙත් සිත් ඇති ව නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි (යනුයි). උපාලි, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට මේ පස් අයුරින් විපිළිසර ඉපදවියයුතු. ඒ කවර හෙයින යත්: යම්සේ අන් මහණෙකුදු අභූතයෙන් චෝදනා කළයුතු ය’ යි නො හඟින්නේ ද (එහෙයිනි).
18. වහන්ස, අධර්‍මයෙන් චෝදනා කරනු ලැබූ මහණහට කෙතෙක් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු දැ? යි.
උපාලි, අධර්‍මයෙන් චෝදනා කරනු ලැබූ මහණහට පස් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු: ආයුෂ්මත් තෙම අකාලයෙහි චෝදනා කරනු ලැබී ය. සුදුසු කාලයෙහි නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම අභූතයෙන් චෝදනා කරනු ලැබී ය. සත්‍යයෙන් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. රළු වදනින් ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය, මොළොක් වදනින් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. කරුණු ඇසුරු නො කොට ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය. කරුණු ඇසුරු කොට නො වේ (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. දුෂ්ට සිතින් ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය. මෙත් සිතින් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණ වේ යැ යි. උපාලි, අධර්‍මයෙන් චූදිත වූ මහණහට මේ පස් අයුරින් නො විපිළිසර ඉපදවියයුතු යි.
19. වහන්ස, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට කෙතෙක් අයුරෙකින් නොවිපිළිසර ඉපදවියයුතු දැ? යි.
උපාලි, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට පස් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු; ආයුෂ්මත් තෙම සුදුසු කාලයෙහි චෝදනා කෙළේ ය, නො කල්හි නො වේ, (එය) තොපට නොවිපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම සත්‍යයෙන් චෝදනා කෙළේ ය, අසත්‍යයෙන් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. මොළොක් වදනින් ආයුෂ්මත් තෙම චෝදනා කෙළේ ය. රළු වදනින් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම කරුණු ඇසුරු කොට චෝදනා කෙළේ ය. කරුණු නො ඇසුරු කොට නො වේ, (එය) තොපට නොවිපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම මෙත්සිතින් චෝදනා කෙළේ ය, දුෂ්ටසිතින් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණ වේ යි. උපාලි, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට මේ පස් අයුරෙන් නො විපිළිසර ඉපදවියයුතු. ඒ කවර හෙයින් ද, යම්සේ අනික් මහණෙකුදු භූතයෙන් චෝදනා කළයුතු යැ” යි සිතන්නේ ද එහෙයිනි.
20. වහන්ස, ධර්‍මයෙන් චූදිත මහණහට කෙතෙක් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු දැ? යි.
උපාලි, ධර්‍මයෙන් චූදිත මහණහට පස් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු: ආයුෂ්මත් තෙම සුදුසු කාලයෙහි චෝදනා කරන ලද අකාලයෙහි නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම සත්‍යයෙන් චෝදනා කරන ලද, අසත්‍යයෙන් නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම මොළොක් වදනින් චෝදනා කරන ලද, රළු වදනින් නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. කරුණු ඇසුරු කොට ආයුෂ්මත් තෙම චෝදනා කරන ලද, කරුණු නො ඇසුරු කොට නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. මෙත්සිතින් ආයුෂ්මත් තෙම චෝදනා කරන ලද, දුෂ්ට සිතින් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි යි. උපාලි, ධර්‍මයෙන් චූදිත මහණහට මේ පස් අයුරින් විපිළිසර ඉපදවියයුතු යි.
21. වහන්ස, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් ධර්‍ම තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළයුතු දැ? යි.
උපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළ යුතු; කරුණාවත් බව, හිත කැමැති බව, අනුකම්පා ඇති බව, ඇවතින් නඟා සිටුවන බව, විනය පෙරටු කොට ඇති බව (යන පස යි.) උපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ කරුණු පස තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළයුතු යි.
වහන්ස, චෝදනා කරන ලද මහණහු විසින් කෙතෙක් ධර්‍මයන්හි පිහිටියයුතු දැ? යි
උපාලි, චෝදනා කරන ලද මහණහු විසින් සත්‍යය, නො කිපෙනසුලු බව යන දෙකරුණෙහි පිහිටියයුතු යි.
දෙවැනි බණවර
නවවැනි පාතිමෝක්බට්ඨපන ඛන්‍ධක යි.
මේ ඛන්‍ධකයෙහි වස්තු තිසෙකි.
එහි උද්දානය:
1. උපෝසථය, බාහුවෙන් ගෙන බැහැර කරන තෙක් පවිටු මහණ නො නික්මීම, මුගලන් තෙරුන් විසින් බැහැර කිරීම. ජින ශාසනයෙහි ආග්වර්‍ය්‍යධර්ම,
2. අනුපුබ්බනින්න, අනුපුබ්බසික්බා, ඨීතධමම, නාතික්කමන, සඞ්ඝයා කුණපයන් (දුශ්ශීල භික්‍ෂූන්) බැහැර කිරීම, මහානදීන් (ස්වකීය නම්ගොත්) අත්හැරීම,
3. මහමුහුදට ගංගා ගැලීම නිසා (අඩුවැඩි බවක් නොවීම) භික්‍ෂූන් පිරිනිවීම, විමුක්තිරස නම් වූ එකරසය ධර්‍මවිනයෙහි බහුල බව, මහාභූත අෂ්ටාර්‍ය්‍යපුද්ගල,
4. සමුදුර උපමා කොට සාසනයෙහි ගුණ ප්‍රකාශ කිරීම, උපෝසථයෙහි පාමොක් උදෙසීම, අප කිසිවකු නො දනිති යි සිතීම,
5. පෙරාතුව මැ හෙළා දැකීම, එක් පටන් දහය තෙක් දැහැමි නො දැහැමි පාමොක් තැබීම්,
6. සීල, ආචාර, දිට්ඨි, ආජීව යන විපත්ති සතර (අමූලික) පාරාජිකා සඞ්ඝාදිසේස, පාචිත්තිය, පාටිදේසනීය,
7. දුක්කට යන පඤ්චභාගය, අකත, කත වශයෙන් පිළිවෙළින් සවැදෑරුම් වූ සීල, ආචාර, දිට්ඨි විපත්ති,
8. පාරාජිකා, සඞ්ඝාදිසේස, ථූලලච්චය, පාචිත්තිය, පාටිදේසනීය, දුක්කට දුබ්භාසිත ද,
9. අකත, කත වශයෙන් අට වැදෑරුම් වූ සීල, ආචාර, දිට්ඨි, ආජීව විපත්ති, එසේ ම ඒ සීල, ආචාර, දිට්ඨි විපත්ති,
10. කත, අකත, කතාකත වශයෙන් න්‍යායානුකූල ව නවවිධ වීම ද,
11. පාරාජික, විප්පකත පච්චකඛාත, එසේම උපෙතුය (සමගියට පැමිණීම), පච්චාදාන කථා ය,
12. සීල, ආචාර, දිට්ඨි, විපත්තීන්ගේ දිට්ඨ සුත පරිසඞ්කිත වශයෙන් ඒ දසාකාරය දැනගනිවු,
13. මහණ, පාරාජිකාවට පැමිණි මහණකු දැකීම, අනිකකු හෝ ආරෝචනය කිරීම, ඔහු හෝ තමා ම දැන්වීම ඇති කල්හි පාමොක් උදෙසීම බහා තැබීම වේ.
14. රාජ, චෝර, අග්ගි, උදක, මනුස්ස, අමනුස්ස, වාළ, සිරිංසප, ජීවිතබ්‍රහ්මචරිය යන දස අන්තරායන් ඇති කල්හි සඞ්ඝයා නැගී සිටීම,
15. දසවිධ අන්තරාය ඇති කල්හි ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයක හෝ (විනිශ්චය කිරීම) දැහැමි, නො දැහැමි පාමොක් තැබීම් ද ක්‍රමයෙන් දන්නේ ය.
16. කාල, භූත, අත්ථසංහිත, (පක්‍ෂ භික්‍ෂූන්) ලැබීම. (දොස් කියන්නන්) ඇතිවීම, කායසමාචාර, වචීසමාචාර, මෙත්තචිත්ත, බහුශ්‍රුත බව, උභයප්‍රාතිමෝක්‍ෂය ප්‍රගුණ බව,
17. කාල, භූත, සණ්හ, මෙත්තචිත්ත යන කරුණු අනුව චෝදනා කිරීම, දැහැමි නො දැහැමි වශයෙන් විපිළිසර ඇතිවීම, එසේ ම වචනයෙන් විපිළිසර දුරු කිරීම,
18. දැහැමි චෝදක චූදිතයන්ගේ විපිළිසර දුරු කිරීම, කරුණාව, හිතෛෂී බව, ඇවතින් නඟා සිටුවීම පෙරටු කොට ඇති බව (යන කරුණු)
19. චෝදකගේ පිළිවෙත් බව ද, සත්‍යය හා නො කිපීම චූදිතගේ ධර්‍මතා බව ද සම්බුදුන් විසින් වදාරන ලද්දේ යි.
භික්‌ඛුනී‌ඛන්‌ධකය
1. එ සමයෙහි වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය රටෙහි කිඹුල්වත් නුවර අසල නුගඅරමෙහි වැඩ වසනසේක. එ කලැ මහාප්‍රජාවතී ගෞතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළඹ ඔබ, වැඳ එක් පසෙක සිටියා ය. එක් පසෙක සිටියා වූ මහාප්‍රජාවතී ගෞතමී තොමෝ ‘වහන්ස, තථාගතයන් වහන්සේ දැන වදාළ දහම් විනය ඇති සස්නෙහි මාගම ද ගිහිගෙන් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනවැ’ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසුවා ය.
“ගෞතමීනි, කම් නැත. තථාගතයන් දැන හෙළි කළ සස්නෙහි ගිහිගෙන් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
දෙවෙනි වරද මහාප්‍රජාවතී ගෞතමී තොමෝ ... වහන්ස, මාගම ... පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි කීවා ය.
“ගෞතමීනි, කම් නැත. මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
තෙවෙනි වරද මහාප්‍රජාවතී ගෞතමී, තොමෝ “වහන්ස, මාගම පැවිද්ද ලබන්නී නම් මැනැවැ”යි කීවා ය.
“ගෞතමීනි, කම් නැත. තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි මාගමක පැවිදිවනු ඔබට රිසි නො වේවා” යි. භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති මහාප්‍රජාවතී ගෞතමී “මාගමට ගිහිගෙන් නික්ම තථාගත ප්‍රවිදිත සස්නෙහි පැවිද්ද භාග්‍යවතුන් වහන්සේ නො අනුදන්නා සේකැ” යි දුක් ඇත්තී, දොම්නස් ඇත්තී, කඳුළුපිරි මුහුණ ඇත්තී හඬමින් භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මගියා ය. එයට පසු භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්හි කැමැති තාක් වැස විසල්පුර බලා නික්මැ සැරිසරා වැඩිසේක. පිළිවෙළින් සැරිසරා වඩනාසේක්, විසල් පුරට පැමිණවදාළසේක. එ කලැ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩ වසනසේක.
එ කලැ මහාප්‍රජාපතී ගෞතමී කෙහෙ සිඳුවා කසාවත් හැඳ බොහෝ ශාක්‍යස්ත්‍රීන් කැටුව විසල්පුර බලා නික්මියා ය. පිළිවෙළින් ගොස් විසල්පුර මහවෙහෙනහි කුළාරහලට එළැඹියා ය. එක්බිති මහාප්‍රජාපතී ගෞතමී ඉදිමුණු පයින් දුහුවිලී වැකි ගතින් යුතු වැ දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණ ඇත්තී හඬමින් බිහිදොරකොටුයෙහි සිටියා ය. එසේ සිටුනා පුජාපතී ගෞතමිය ආනන්‍ද තෙරණුවෝ දුටුවාහ. දැක “ගෞතමීනි, කවර හෙයින් තෙපි ඉදිමැගිය පයින් දුහුලි වැකි ගතින් යුතුව දුක් ඇත්තෝ, දොම්නස්, ඇත්තෝ, කඳුළු පිරි මුහුණැත්තෝ හඬන්නෝ මේ බිහි දොරකොටුයෙහි සිටිවු ද?”යි විචාළාහ. “ආනන්‍දයන් වහන්ස,එසේ මැ යැ. භාග්‍යවතුන් වහන්සේ මාගමට ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිදි වන්නට නො අනුදන්නා සේකැ” යි. ඕ කීවා ය.
2. එසේ වී නම් ගෞතමීනි, මා මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත සස්නෙහි පැවිද්දට භාග්‍යවතුන් වහන්සේට යාච්ඤා කොට එන තෙක් තව මොහොතක් මෙහි ම පොරොත්තු වන්නැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
එක්බිති ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා වැඩියාහ. වැඩ ඔබ වැඳ පසෙක උන්හ. පසෙක හුන් ආනන්‍ද තෙරණුවෝ “වහන්ස මේ මහාප්‍රජාපතී ගෞතමී ඉදිමුණු පයින් දූලි වැකි ගතින් යුතුවැ “භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්දට නො අනුදන්නාසේකැ” යි දුක් ඇත්තී දොම්නස් ඇත්තී, කඳුළුපිරි මුහුණ ඇත්තී හඬමින් සිටියා වෙයි. වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි වදාළහ.
“කම් නැත. අනඳයෙනි, මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද තොපට රිසි නො වේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ ‘වහන්ස, මාගම පැවිද්ද ... ලබන්නී නම් මැනැවැ’ යී වදාළහ.
“අනඳයිනි, මාගමට ... පැවිද්ද තොපට රිසි නො වේවා”යි වදාළ සේක.
තෙවෙනි වරද ආනන්‍ද තෙරණුවෝ ‘වහන්ස, මාගම ... පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි වදාළහ.
“ආනන්දයිනි, මාගමට ... පැවිද්ද තොපට රිසි නො වේවා”යි (තෙවෙනි වරද) භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
එකල ආනන්‍ද තෙරණුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද නො අනුදන්නාසේක. අන් වටා මඟෙකිනුත් මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත සස්නෙහි පැවිද්ද යදනෙම් නම් මැනැවැ’යි සිතූහ. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “වහන්ස, මාගම ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත සස්නෙහි පැවිදි වැ සෝවත්පල හෝ සෙදගැමිපල හෝ අනගැමිපල හෝ රහත්පල හෝ පසක් කරන්නට භව්‍ය දැ”? (හැකි දැ?) යි විචාළහ.
“අනඳයෙනි, මාගම ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිදි වැ සෝවත්පල සෙදගැමිපල අනගැමිපල රහත්පල පසක් කරන්නට භව්‍ය යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“වහන්ස, මාගම ... රහත්පල පසක් කරන්නට භව්‍ය වේ නම් ... වහන්ස මහාප්‍රජාවතී ගෞතමී භාග්‍යවතුන් වහන්සේට (කළ) බොහෝ උපකාර ඇත්තී ය, කුඩා මෑණියෝ ය, ආපාදිකා යැ, වැඩු යැ, පොෂණය කළ තැනැත්තී ය, කිරි දුන් තැනැත්තී ය, මව කලුරිය කළ කල්හි සිය තනයෙන් කිරි පෙවුවා ය. වහන්ස, මාගම ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද ලබන්නී නම් යෙහෙකැ”යි අනඳ තෙරණුවෝ වදාළහ.
3. “අනඳයෙනි, මහාප්‍රජාවතී ගෞතමී ගරු දහම් අටක් පිළිගන්නී නම්, එය ම ඇයගේ උපසම්පත්ති වේවා. මේ ඒ ගරු දහම් අට ය:
උපසපන් වැ සියක් වස් වූ මෙහෙණ විසින් එදවස් උපසපන් වූ මහණහට වැඳුම දැක හුනස්නෙන් නැඟී සිටීම දොහොත් මුදුන් තබා නැමදීම සාමීචි කර්‍මය නිසිවත් කළයුතු. මේ දහම ද සකසා ගුරු කොට බුහුමන් කොට පුදා යව්දිව් නො ඉක්මැ රැක්කයුතු,
මෙහෙණ විසින් භික්‍ෂූන් නැති ගමෙකැ වූ ආවාසයෙකැ වස් නො විසියැයුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු.
අඩමසක් පාසා මෙහෙණ විසින් බික්සඟන කෙරෙන් පොහෝ විචාරීම ද ඔවා ලබනුවස් එළැඹීම ද යන දෙ දහම් අපේක්‍ෂා කළ යුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු.
වස් වුසූ මෙහෙණ විසින් භික්‍ෂු භික්‍ෂුණී යන දෙසඟ පිරිස්හි ම දුටු දැයින් ඇසූ දැයින් සැකකළ දැයින් යන තුන් දැයින් පැවැරියයුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු.
ගරු ඇවැත් අවන් මෙහෙණ විසින් දෙ සඟන කෙරෙහි පක්‍ෂ මානත පිරියැයුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු,
දෙ හවුරුද්දක් දහම් සයෙක්හි හික්මුණු සිඛ ඇති හික්මෙන්නිය විසින් දෙ සඟන වෙතැ උපසපුව සෙවියැයුතු. මේ දහමුදු ... යව්දිව් නො ඉක්මියැයුතු,
මෙහෙණ විසින් කිසිදු කරුණෙකින් මහණ තෙම ආක්‍රෝශ පරිභව නො කළයුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු.
අද සිට ඉදිරියට මෙහෙණනට මහණුන් විසාහි (මෙසේ යව, මේ ද කරව ඈ විසින්) අණ දෙනු විසින් කථා මඟ හවුරන ලදුයේ ය, මෙහෙණන් විසාහි මහණුනට කථා මඟ නො හැවුරුණේ ය. මේ දහම ද සකසා ගුරු කොට බුහුමන් කොට පුදා යව්දිව් නො ඉක්මියැයුතු ය.
අනඳයෙනි, මහාප්‍රජාපතී ගෞතමී මේ ගුරු දහම් අට පිළිගනී නම් එය මැ ඇගේ උපසපුව වන්න යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එකලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙතැ මේ අට ගුරු දහම් ඉගෙනැ මහාප්‍රජාපතී ගෞතමින් කරා එළැඹ, “ගෞතමීනි, ඉදින් තෙපි මේ ගුරු දහම් අට පිළිගන්නහු නම් එය ම තොපට උපසපුව වන්නේ ය:
“උපසපුවෙන් සිය වස් වූ ද මෙහෙණ විසින් එදවස් උපසපන් වූ මහණහට වැඳීම දැක හුනස්නෙන් නැඟි සිටීම, දොහොත් මුදුන් තබා නැමැදීම, සාමීචි කර්‍මය කළයුතු ... අද සිට ඉදිරියට මෙහෙණනට මහණුන් විසාහි (මෙසේ යව, මේ දෑ කරව ආදීන්) අණ දෙනු විසින් කතාමඟ හවුරන ලද්දේ ය. මෙහෙණන් විසාහි මහණුනට කතාමඟ නො හැවුරුණේ ය. මේ දහම ද සකසා ගුරු කොට බුහුමන් කොට පුදා යව්දිව් නො ඉක්මියැයුතු ය.
ගෞතමීනි, ඔබ මේ ගුරු දහම් අට පිළිගන්නාහු නම්, එය ම තොපට උපසපුව වන්නේ යැ’යි වදාළහ.
“ආනන්‍දයන් වහන්ස, කය සරසන සුලු තරුණ යොවුන් වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඉස සෝදා නෑයේ උපුල් මල්දමක් හෝ වස්සික (සමන්)මල්දමක් හෝ අතිමුත්තක (යොහොඹු) මල්දමක් හෝ ලැබ දොහොතින් පිළිගෙන උත්තමාඞ්ග වූ හිසෙහි පිහිටුවන්නේ ද ආනන්‍දයන් වහන්ස, එසේ ම මම මේ යව්දිව් නො ඉක්මියැයුතු ගුරු දහම් අට පිළිගනිමි”යි ප්‍රජාපතී ගෞතමී කීවා ය.
4. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මහාප්‍රජාපතී ගෞතමින් විසින් ගුරුදහම් අට පිළිගැනිණ. භාග්‍යවතුන් වහන්සේ ගේ සුළුමෑණියන් දෑ උපසපුව ලැබූහ”යි කීහ.
“අනඳයෙනි, මාගම ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද නො ලද නම්, මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේ ය. මේ ශාසන සද්ධර්‍මය හවුරුදු දහසක් සිටුනේය. අනඳයෙනි, යම් හෙයෙකින් මාගම ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිදි වූ ද එහෙයින් දැන් මේ සසුන් බඹසර චිරස්ථිතික නො වන්නේ ය. දැන් මෙතැන් සිට පන්සිය වසක් ම ශාසන සද්ධර්‍මය සිටුනේ ය.
අනඳයෙනි, යම්සේ බොහෝ ස්ත්‍රීන් ඇති ගණනින් අල්ප පිරිමින් ඇති යම්කිසි කුල කෙනෙක් වෙත් ද ඒ කුලයෝ කළය තුළැ, දැල් වූ පහන් එළියෙන් බඩු සොරා ගන්නා සොරුන් විසින් පහසුවෙන් මැඩලිය හෙත් ද අනඳයෙනි, එසේම යම් සස්නෙක මාගම ගිහිගෙන් නික්මැ පැවිද්ද ලබා ද එ සස්න චිරස්ථිතික නො වන්නේ ය.
අනඳයෙනි, සම්පූර්‍ණ වූ හැල් කෙතෙක සේතට්ඨිකා නම් රෝග විශේෂය වැදගනී නම් මෙසේ කල ඒ හැල් කෙත බොහෝ කල් නො පවතී ද, අනඳයෙනි, එසේ ම යම් සස්නෙක මාගම ගිහිගෙන් නික්මැ සසුන් පැවිද්ද ලබා ද ඒ සස්න (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව) චිරස්ථිතික නො වේ. අනඳයෙනි, ... උක් වත්තෙක මංජෙට්ඨිකා නම් (කඳ තුළ රත් පැහැ ගන්වන) රෝග විශේෂය වැදගනී නම් මෙසේ ඒ උක්වත්ත චිරස්ථිතික නො වේ ද, අනඳයෙනි, එ පරිදිම යම් සස්නෙක මාගම ගිහිගෙන් නික්මැ සසුන් පැවිද්ද ලබා ද ඒ සස්න (මාර්බ්‍රහ්මචර්යාව) චිරස්ථිතික නො වෙයි.
ආනඳයෙනි, පුරුෂයෙක් මහවැවක දිය එය ඉක්මැ පිටත ගැලීම වළක්වනු පිණිස කල් තබා ම මියරක් බඳනේ ද එසේ ම අනඳයෙනි, මා විසින් යව්දිව් නො ඉක්මියැයුතු (කඩ නො කළ යුතු) ගරුධර්‍ම අටෙක් කල් තබා ම මෙහෙණනට පනවන ලද” යි.
මෙහෙණන් සඳහා පනවන ලද ගරු දහම්.
5. ඉක්බිත්තෙන් මහාපජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා ය. එළැඹ ඔබ වැඳ පසෙක සිටියා ය. පසෙක සිටි මහාපජාපතී ගෝතමී “වහන්ස මම් මේ ශාක්‍යනීන් කෙරෙහි කෙසේ නම් පිළිපදිම් ද?’යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස පැවැසුවා ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහාපජාපතී ගෝතමියට දැහැමි කථායෙන් කරුණු දැක්වූයේක, කරුණු ගැන්වූසේක. එහි උනන්දු කළසේක, සතුටු කළසේක. ඉක්බිති මහාපජාපතී ගෝතමි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලදු වැ කරුණු ගන්වන ලදුවැ, උත්සාහවත් කරන ලදුවැ සතුටු කරන ලදුවැ, ඔබ වැඳ පැදකුණු කොට නික්මියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන්බණවා, “මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණන් උපසපන් කරන්නට අනුදනිමි”යි වදාළසේක.
6. එ කලැ ඒ මෙහෙණහු මහාපජාපතී ගෝතමියට “ආර්‍ය්‍යා තොමෝ නො උපසපන. අපි උපසපනුම්හ මෙසේ “භික්‍ෂූන් විසින් මෙහෙණහු උපසපන් කළයුත්තාහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද”යි මෙ බස් තෙපලුහ.
එ කලැ මහපජාපතී ගෝතමී අනඳ තෙරුන් කරා ගියා ය. ගොස් ආයුෂ්මත් අනඳ තෙරුන් වැඳ පසෙක සිටියා ය. පසෙක සිටි මහා පජාපතී ගෝතමී අනඳ තෙරුනට “ආනන්‍දයන් වහන්ස, “ආර්‍ය්‍යාව නො උපසපන් ය, අපි උපසපනුම්හ, මෙසේ භික්‍ෂූන් විසින් මෙහෙණහු උපසපන් කළයුතුහ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද”යි මේ භික්‍ෂුණීහු මට කියති”යි සැලකළා ය.
7. එ කලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළඹැ භාග්‍යවතුන් වැඳ පසෙක උන්හ. පසෙක හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ. වහන්ස, “ආර්‍ය්‍යාව අනුපසම්පන්න ය, අපි උපසපන්වූම්හ. මෙසේ භික්‍ෂූන් විසින් මෙහෙණහු උපසපන් කළයුතුහ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලදැ’යි මෙ මෙහෙණහු මෙසේ කියති’යි මහාපජාපතී ගෝතමි මෙසේ මට කිවු යයි භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
“අනඳයෙනි. යම් මොහොතෙක මහාපජාපතී ගෝතමිය විසින් ගුරුදහම් අට පිළිගන්නා ලද ද එ කෙණෙහි ම ඕ උපසපන් වූවා” යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
8. ඉක්බිති මහාපජාපතී ගෝතමී අනඳ තෙරුන් වෙත එළඹුණී ය. එළැඹ ඔබ වැඳ එකත් පසෙක සිටියා ය. එකත් පසෙක සිට අනඳ තෙරුනට “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලමි. භික්‍ෂූනටත් භික්‍ෂූණීනටත් වැඩිමහලු පිළිවෙළින් වැඳීම දැක හුනස්නෙන් නැඟී සිටීම ඇඳිලි බැඳීම, සාමීචිකර්මය යන මේ දෑ භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් මැනැවැ”යි කීවා ය.
එ කලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ වැඳ පසෙක ඉඳගත්හ. ඉඳගෙන “වහන්ස භික්‍ෂූනට ද භික්‍ෂූණිනට ද වැඩිමහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැඟීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්මය යන මේ දෑ භාග්‍යවතුන් වහන්සේ පනවනසේක් නම් මැනැවැයි මහාපජාපතී ගෝතමි මෙසේ කියා”යි භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
“අනඳයෙනි මාගමට (භික්‍ෂූහු විසින්) වැඳීම දැක හුනස්නෙන් නැඟීම ඇඳිලි බැඳීම සාමීචිකර්මය යන මේ දෑ තථාගත කෙනෙක් අනුදනිති යන යමක් ඇද්ද මෙය අකාරණයෙකි අනවකාශයෙකි (නො වන්නෙකි). අනඳයෙනි නො මනා ලෙස දෙසූ දහම් ඇති මේ අන්තොටුවෝ පවා මාගමට අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අංජලිකර්ම සාමීචිකර්‍ම නො කරන්නාහ. තථාගත කෙනෙක් (මහණකු විසින්) මාගමකට අභිවාදන පුත්‍යුත්ථාන අංජලිකර්ම සාමීචිකර්‍ම (කළයුතු යැ යි) අනුදන්නේ යැ යන්න කියනුම කවරේ ද? (නො අනුදන්නේ ම ය.) යි වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කතා කොට, භික්‍ෂූන් අමතා, “මහණෙනි, මාගමට වැඳීම දැක හුනස්නෙන් නැඟී සිටීම, ඇඳිලි බැඳීම සාමීචිකර්මය භික්‍ෂූහු විසින් නො කළයුතු, යමෙක් කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ”යි වදාළ සේක.
9. ඉක්බිති මහාපජාපති ගෝතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළඹ වැඳ එක් පසෙක සිටියා ය. එසේ සිට ඕ “වහන්ස, මෙහෙණනට පනවන ලද භික්‍ෂූනටත් සාධාරණ වූ යම් සිකපද කෙනෙක් වෙත්ද අපි ඒ සිකපදයන්හි කෙසේ නම් පිළිපදුමෝ දැ?”යි විචාළා ය.
“ගොයුමියනි, භික්‍ෂූනට සාධාරණ වූ යම් සිකපද කෙනෙක් මෙහෙණනට ඇද්ද, එහි ලා යම්සේ භික්‍ෂූහු පිළිපදිද්ද, එසේ ම තෙපි ද පිළිපදිවු (හික්මෙවු) යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“වහන්ස භික්‍ෂූනට සාධාරණ නොවූ යම් සිකපද කෙනෙක් ප්‍රඥප්ත වැ ඇද්ද, අපි කෙසේ ඒ සිකපදන්හි පිළිපදිමුද?” යි (විචාළා ය).
“ගොයුම්නි, භික්‍ෂූනට සාධාරණ නො වූ මෙහෙණනට පැනැ වූ යම් සිකපද කෙනෙක් වෙත්ද, පනවන ලද පරිදි ම පිළිපදිවු”යැයි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
10. එ කලැ මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළඹ වැඳ එකත්පස් වැ සිටියා ය. එකත්පස් වැ සිටියා “වහන්ස, මම් යම් දහමක් අසා එකලා වැ ගණයාගෙන් වෙන් වූයෙම් පමා නො වූයෙම්, කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන කරා මෙහෙයු සිතැතියෙම් වසන්නෙම් ද එසේවූ දහමක් මට සැකෙවින් වදාරනසේක්වා”යි කීවා ය. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:)
“ගෞතමිය, තෙපි මේ දහම්හු රාග සහිත බව පිණිස පවතිත්. රාගයෙන් පහවීම පිණිස නො පවතිත්. සසර හා බැඳීම පිණිස පවතිත්. සසරින් වෙන් වීම පිණිස නො පවතිත්. කෙලෙස් රැස් වීම පිණිස පවතිත්. කෙලෙස් දුරු වීම පිණිස නො පවතිත්. මහත් ආශා ඇති බව පිණිස පවතිත්, ආශා නැති බව පිණිස නො පවතිත්. ලද පමණින් සතුටු නො වීම පිණිස පවතිත්. ලද පමණින් සතුටු වීම පිණිස නො පවතිත්. ගණයා කෙරෙහි ඇලී විසීම පිණිස පවතිත්, ගණයා කෙරෙන් වෙන් වැ විසීම පිණිස නො පවතිත්. කුසීත බව පිණිස පවතිත්. වීර්‍ය්‍යාරම්භය පිණිස නො පවතිත්. දුකසේ පොෂණය කළ යුතු බව පිණිස පවතිත්, සුවසේ පොෂණය කළ හැකි බව පිණිස නො පවතිත්”යැයි දැන ගන්නහු ද, එසේ වූ මේ දෑ දහම් නො වේ විනය නො වේ ශාස්තෘශාසනය නො වේ”යයි සලකන්න.
ගෞතමිය, ‘මේ දහම්හු විරාගය පිණිස පවතිත් සරාගය පිණිස නො පවතිත්, මේ දහම්හු විසංයෝගය පිණිස පවතිත්, සංයෝගය පිණිස (සසරැ බැඳීම පිණිස) නො පවතිත්, කෙලෙස් දුරැලීම පිණිස පවතිත්. කෙලෙස් රැස් කිරීම පිණිස නො පවතිත්, අල්පේච්ඡ බව පිණිස පවතිත්, මහේච්ඡ බව පිණිස නො පවතිත්, සතුට පිණිස පවතිත්, නො සතුට පිණිස නො පවතිත්, ප්‍රවිවේකය පිණිස පවතිත් ගණසංගණිකාව පිණිස නො පවතිත් වීර්‍ය්‍යාරම්භය පිණිස පවතිත්, කුසීත බව පිණිස නො පවතිත්, සුපෝෂ්‍ය බව පිණිස පවතිත්, දුෂ්පොෂ්‍යබව පිණිස නො පවතිත්’යයි යම් දහම් කෙනෙකුන් දැනගන්නහු ද, ගෞතමිය, මේ ධර්‍මය යැ. මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ”යි ඒ ධර්‍මයන් දරන්නැ (සලකා ගන්නැ)”යි වදාළසේක.