Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 3301-3400 න් 3843

81. යම්හෙයකින් වත් පුරන්නේ සීලයත් පුරා ද, පිරිසුදු සිල් ඇති මනා නුවණැත්තේ සිත් එකඟබව ද විඳියි.
82. නො විසුරුණු සිල් ඇත්තේ එකඟබව ඇත්තේ මොනොවට ධර්‍මය දකී. සදහම් දක්නා හෙතෙම දුකින් මිදෙයි.
83. එහෙයින් විචක්‍ෂණ වූ ජිනපුත්‍ර තෙම වත් පුරන්නේය. (මේ) ශ්‍රේෂ්ඨ බුදුන්ගේ අවවාදයයි. ඒ හේතුවෙන් නිවනට පැමිණෙන්නේය.
පාතිමොක්‌ඛට්‌ඨපන‌ඛන්‌ධකය
පළමු බණවර
පාමොක් උදෙසුම් යැදුම
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරැ මිගාරමාතු පාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඒ පොහෝ දිනයෙහි බික්සඟන විසින් පිරිවරන ලදු ව වැඩහුන් සේක.
එකලැ ඇවත් අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මැ ගිය කලැ රෑ පළමු යම ඉක්මිකලැ හුනස්නෙන් නැඟී සිට උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලිබැඳ වැඳ “වහන්ස, රැය බොහෝ ඉක්මැ ගියේ ය. පළමු යම ඉක්මියේ ය. භික්‍ෂුසංඝ තෙමේ වැඩ හුන් බොහෝ වේලා ඇත්තේ වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක්වා”යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬව හුන් සේක.
දෙවෙනි වර ද ඇවත් අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මි කල්හි මැදුම් යම ඉක්මි කල්හි හුනස්නෙන් නැගී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, රෑ බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම ඉක්මියේ ය. භික්‍ෂුසංඝ තෙමේ වැඩහුන් බොහෝ වේලා ඇත්තේ වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක්වා”යි කීහ. දෙවනුව ද භාග්‍යවතුන් වහන්සේ නිහඬව හුන්සේක.
තෙවෙනි වර ද ඇවත් අනඳ තෙරණුවෝ රැය ඉක්මි කල්හි පැසිම් යම ගෙවී අරුණු නැංග කල්හි රැය (පහන්වීමට ආසන්න බැවින්) නන්දිමුඛී නම් වේලාවෙහි හුනස්නෙන් නැගී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, රෑ බොහෝ ඉක්මිණ. පැසිම් යම ගෙවිණ, අරුණු නැඟිණ, රෑ නන්දිමුඛී නම් වේලාවය. බික්සඟ වැඩහුන් බොහෝ වේලා ඇත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසාවා”යි කීහ.
“අනඳයෙනි, පිරිස අපිරිසුදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
2. එවිට ඇවත් මහමුගලන් තෙරණුවනට, “භාග්‍යවතුන් වහන්සේ කවර නම් පුඟුලකු සඳහා, අනඳය, පිරිස අපිරිසුදු යැ යි වදාළ සේක් දෝ”’යි මේ සිත විය. එ කලැ ඇවත් මහමුගලන් තෙරණුවෝ මුළු මහත් බික්සඟන තමන් සිතින් ඔවුන් සිත් පිරිසිඳැ මෙනෙහි කළහ. ඇවත් මහ මුගලන් තෙරණුවෝ සිල් නැති, ලාමක සබා ඇති, අපිරිසුදු වූ, සැකයෙන් සිහි කළ යුතු හැසුරුම් ඇති, වැසුණු ක්‍රියා ඇති, අශ්‍රමණ වැ ශ්‍රමණ ප්‍රතිඥාව කරන, බඹසැරිමියි පිළින කරන නමුත් බඹසරක් නැති, සිතතුළ කුණු ගැසුණු, කෙලෙසින් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති, බික්සඟන මැද හුන් ඒ පුඟුලා දුටුසේක.
දැක ඒ පුඟුලා කරා එළඹියහ. එළඹ ඔහු බණවා, “ඇවත නැගී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දේ වෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළහ. මෙසේ කී කල්හි ඒ පුඟුල් තෙම නිහඬ විය.
දෙවෙනි වර ද ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා බණවා, “ඇවත, නැගී සිටු, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළහ. දෙවෙනි වර ද ඒ පුඟුල් තෙම නිහඬ විය.
තෙවෙනි වර ද ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා බණවා, “ඇවත නැගී සිටු, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළ සේක. තෙවෙනි වර ද ඒ පුඟුලා නිහඬ වැ හුන්නේ ය.
ඉක්බිති ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා අතින් අල්ලා ගෙන දොරටුයෙන් පිටතට නික්මවා සුචිඝටිකාව දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළැඹ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මා විසින් ඒ පුඟුලා නික්මැවිණ. පිරිස පිරිසුදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුනට පාමොක් උදෙසන සේක් වා”යි වදාළහ.
“මෞද්ගල්‍යානයෙනි, ආශ්චර්‍ය්‍ය ය. මෞද්ගල්‍යානයෙනි, අද්භූතය. ඒ හිස් පුරුෂ තෙමේ අත්ලා ගන්නා තෙක් ම බලාපොරොත්තු වූයේ වේ දැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්‍ම අට
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා මෙය වදාළ සේක: “මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මුහුදෙහි ඇලෙත් ද මුහුදෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය ධර්‍ම අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:
මහණෙනි, මහමුහුද පිළිවෙළින් මිටි වූයේ පිළිවෙළින් නැඹුරු වූයේ පිළිවෙළින් ඉදිරියට නැමුණේ දිගට ම බෑවුම් ඇත්තේ නො වේ. මහණෙනි, මහමුහුද පිළිවෙළින් මිටි වූයේ ය. පිළිවෙළින් නැඹුරු වූයේ ය, පිළිවෙළින් ඉදිරියට නැමුණේ ය, දිගට ම බෑවුම් ඇත්තේ නො වේ ය යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මේ ඒ පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකෙකි. මහණෙනි, මහමුහුද සිටි සබා ඇත්තේ ඉවුර ඉක්මැ නො යයි. මහණෙනි, මහමුහුද සිටි සබා ඇත්තේ ඉවුර ඉක්මැ නොයේ යන යමෙක් ඇද්ද, මෙය යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ මහමුහුදැ වූ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකෙකි. මහණෙනි, මහමුහුද මළකුණක් හා එක් වැ නො වෙසෙයි. මහමුහුද යම් මළ කුණක් වේ ද එය වහා ම මුහුදු තෙරට පමුණුවයි, ගොඩට හෝ බායි. මහණෙනි, මහ මුහුද මළ කුණක් හා එක් ව නො වෙසෙයි, මහමුහුද යම් මළ කුණෙක් වී නම් එය වහා ම මුහුදු තෙරට පමුණුවයි. ගොඩට බායි යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදැ ඇලෙත් නම් මේ ඒ මහමුහුදැ වූ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකෙකි. මහණෙනි, ගංගා යමුනා අචිරවතී සරයු මහී යන මහා නදීහු වෙත් ද, ඔහු මුහුදට පැමිණියාහු පළමු නම් ගොත් හැරදමත්. මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත්. මහණෙනි,...යම් මහානදී කෙනෙක්.. මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක්..... මේ මහමුහුදැ වූ සතර වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකෙකි. ලොවැ යම් ඇළ දොළ නදී කෙනෙක් මුහුදට වදිත් ද, අහසින් යම් වැසි දහර කෙනෙකුත් වැටෙත් ද එයින් මුහුදේ අඩු බවෙක් හෝ වැඩි බවෙක් හෝ නො පැණෙයි. මහණෙනි, ලොවැ යම් ඇළ දොළ නදී කෙනෙක් මුහුදට වදිත් නම්, අහසින් වැසිදහර කෙනෙකුන් වැටෙත් නම්, එයින් මුහුදේ අඩු බවෙක් හෝ වැඩි බවෙක් හෝ නො පැනේය යන යමෙක්වේ ද මහණෙනි, යමක්... මෙය මහමුහුදේ පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද එක ම රසයක් ඇත්තේ ය, ලුණුරස ඇත්තේ ය. මහමුහුද එක ම රසයක් ඇත්තේ ය, ලුණු රස ඇත්තේය යන යමෙක් ඇද්ද මහණෙනි, යමක්... මෙය ද මහ මුහුදෙහි වූ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් වැදෑරුම් රුවන් ඇත්තේ ය. එහි මුතු ය, මැණික් ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා යැ, පබුළු යැ, රිදී යැ, රන් යැ, රත්මිණි යැ, මැසිරිගල් ය යන මේ රත්නයෝ වෙත්. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් රුවන් ඇත්තේ ය. එහි ... මේ රුවන් ඇත්තේ ය යන මෙය මහමුහුදෙහි සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද මහාභූතයනට වාසස්ථාන යැ. එහි තිමි යැ, තිමිංගල යැ, තිමිරපිංගල යැ, අසුර යැ, නාග යැ, ගන්‍ධර්‍ව යැ යන මේ සත්ත්‍වයෝ වෙත්. මහ මුහුදෙහි යොදුන් සියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් දෙසියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් තුන්සියයක් වූ ආත්මභාවයෝ ද යොදුන් පන්සියයක් වූ ආත්මභාවයෝ ද වෙත්. මහාසමුද්‍රය මහත් සත්ත්‍වයනට වාසස්ථාන වේ ද, එහි තිමි ය.... මේ භූතයෝ වෙත්, මහාසමුද්‍රයේ යොදුන් සියයක් වූ ආත්මභාවයෝ වෙත් ද... යොදුන් පන්සියයක් වූ ආත්මභාවයෝ වෙත් ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, මේ ඒ අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ. යමක් දැක දැක අසුරයෝ මහමුහුදැ ඇලෙත් නම් මේ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට යැ.
4. මහණෙනි, එසේ ම යමක් දැක දැක භික්‍ෂූහු මේ ධර්‍ම විනයෙහි (මෙසස්නෙහි) ඇලෙත් ද, එසේ වූ මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙනෙක් වෙත්. කවර අට දෙනෙක් ද යත්:
මහණෙනි, යම්සේ මහ මුහුද පිළිවෙළින් නැඹුරු වූයේ පිළිවෙළින් මිටි වූයේ පිළිවෙළින් ඉදිරියට නැමුණේ දිගට ම බෑවුම් නැත්තේ වේ ද, මහණෙනි, එසේ ම මෙ සස්නෙහි අනුපූර්‍ව හික්මීම, අනුපූර්‍ව ක්‍රියා පද්ධතිය, අනුපූර්‍ව පිළිවෙත වෙයි, කෙළින් ම එකෑවර රහත්බව පිළිවිදීමෙක් නො වේ. මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍ව හික්මීම ය, අනුපූර්‍ව ක්‍රියා පද්ධතිය, අනුපූර්වප්‍රතිපත්තිය, කෙළින් ම එකෑවර රහත්බව් නො පිළිවිදුනාබව යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය භික්‍ෂූන් දැක දැක මෙහි ඇලෙන මෙ සස්නෙහි පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
මහණෙනි, යම්සේ මුහුද ස්ථිතධර්ම වූයේ ඉවුර නො ඉක්මවා ද, එසේ ම මා විසින් මාගේ සව්වනට යම් සිකපදයෙක් පනවන ලද ද මා සව්වෝ දිවි යතත් ඒවා නො ඉක්මෙත්, මහණෙනි, මා සව්වෝ මා පැනැ වූ සික පද දිවියතත් නො ඉක්මෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය .... මෙ සස්නෙහි ආශ්චර්‍ය්‍ය අද්භූත දෙවෙනි දහම ය.
මහණෙනි, මහමුහුද යම්සේ මළකුණු හා එක්ව නො වෙසේ ද, මහමුහුද යම් මළකුණෙක් වේ නම්, එය වහා තීරයට පමුණුවා ද, ගොඩට ඔසොවා දමා ද, මහණෙනි, එසේ ම පාප ස්වභාව ඇති, අපිරිසිදු වූ සැකයෙන් සිහි කටයුතු හැසුරුම් ඇති, සැඟැවුණ ක්‍රියා ඇති මහණෙමි යි පිළින කරන නො මහණෙක් වූ, ඇතුළත කුණු වූ, කෙලෙසුන්ගෙන් තෙත් වූ හටගත් කෙලෙස් කසළ ඇති, යම් දුසිලෙක් වේ ද, සඞ්ඝයා ඔහු හා එක් ව නො වසයි. ඔහු සඟමැද උන්නත් සඞ්ඝයා රැස් ව අවහා ම ඔහු ඔසොවාදමයි. වැලිදු හේ සඞ්ඝයාගෙන් ඈත්හි ම වේ. සඞ්ඝයා ද ඔහු ගෙන් ඈත්හි වේ... මහණෙනි, මේ .... මෙ සස්නෙහි තුන් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
මහණෙනි, යම්සේ ගංගා යමුනා අචිරවතී සරයූ මහී යන යම් මහානදී කෙනෙක් ඇද්ද, ඔහු මහමුහුදට පැමිණියාහු පළමු නම්ගොත් හරිත් ද මහමුහුද යැ යි ම සංඛ්‍යාවට (ව්‍යවහාරයට) පැමිණෙත් ද, මහණෙනි, එසේ ම මේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යැ යි සතර වර්‍ණ කෙනෙක් වෙත් ද, ඔහු තථාගතයන් විසින් දැන පවසන ලද ශාසනයෙහි පැවිදිවූවාහු පළමු නම්ගොත් හරිත්, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ යැ යි ම සංඛ්‍යාවට පැමිණෙත්. මහණෙනි, මෙය... මේ සස්නෙහි සතර වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
මහණෙනි, යම්සේ යම් ජලධාරා කෙනෙක් මහමුහුදට වදිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩු බවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැනේ ද, මහණෙනි, එසේ ම බොහෝ භික්‍ෂූහු ද අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවෙත් ද, එයින් නිර්වාණධාතුවගේ ඌන බවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැනේ. මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවෙත් ද, එයින් නිර්‍වාණ ධාතුහුගේ ඌනත්වයෙක් හෝ පූර්ණත්වයෙක් නො පැනේ යන යමක් ඇද්ද, මෙය..මෙ සස්නෙහි පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
මහණෙනි, යම්සේ මහමුහුද ලුණුරස ඇත්තේ එක් මැ රසයක් ඇත්තේ වේ ද, එසේ ම මේ ශාසනය ද විමුක්ති රසය ඇත්තේ එක් ම රසයක් ඇත්තේ වෙයි. මහණෙනි, මෙය... මෙ සස්නෙහි සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
මහණෙනි, යම්සේ මහමුහුද බොහෝ රත්න ඇත්තේ, අනේක රත්න ඇත්තේ ද, ...එහි මුතු මැණික් වෙරළුමිණි, සක් ගල්, පබළු, රිදී, රත්රන්, රතුකැට, මැසිරිගල් යන මේ රත්නයෝ වෙත්.... එසේ ම මහණෙනි, මේ ශාසනය සතර සීවටන් යැ. සතර සම්‍යක් ප්‍රධන් යැ, සතර ඉදුපා යැ, පස් ඉඳුරෝ යැ, පස් බල යැ, සත් බොජඟ යැ, අරී අටැඟි මඟ යැ යන මේ රත්නයෝ වෙත්. මහණෙනි, මේ ශාසනය බොහෝ රත්න ඇත්තේ නොයෙක් රත්න ඇත්තේ වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය මෙ සස්නැ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
මහණෙනි, යම්සේ මහසයුර මහත් සතුනට වාසස්ථාන වේ ද, එහි තිමි ය තිමිංගලය, තිමිරපිංගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍ව ය යන මේ සත්තු වෙත්. මහණෙනි, මහමුහුදේ යොදුන් සියක් වූ අත්බව්හු ද යොදුන් දෙසියයක් වූ අත්බව්හු ද යොදුන් තුන්සියක් වූ අත්බව් ද යොදුන් සාරසියක් වූ අත්බව් ද යොදුන් පන්සියක් වූ අත්බව් ද ඇත්හ. එසේ ම මහණෙනි, මේ ශාසනය මහාභූතයනට වාසස්ථාන වේ. එහි සෝවන් ය, සෝවන්පල පසක් කරනුවට පිළිපන්නේ ය, සෙදැගැමි ය. සෙදැගැමිපල පසක් කරනුවට පිළිපන්නේ යැ. අනගැමි ය, අනගැමිපල පසක් කරනුවට පිළිපන්නේ ය, රහත් ය, රහත් පල පසක් කරනුවට පිළිපන්නේ ය යන මේ මහා සත්ත්‍වයෝ වෙත්. මහණෙනි, සස්න සෝවන් ... යන භූතයනට වාසස්ථාන වේ ද, මහණෙනි, මෙය යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් ද මේ ඒ අට වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ. මහණෙනි, මොහු වනාහි යම් දෑ දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් ද මේ මෙ සස්නෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට යැ.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණු නුවණින් සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“මොනොවට වසාගන්නාලදුයේ ඉතා වසී (අවන් ඇවැත් සඟවනුයේ තව තවත් ඇවැත්නට පැමිණේ). වැසුම් හළේ ඉතා නො වසී (අවන් ඇවැත විවෘත කරනුයේ අන් ඇවැතකට නො පැමිණෙයි). එ හෙයින් වසන ලද ඇවැත විවෘත කරන්නේ ය (කළයුතු ය). මෙසේ එය ඉතා නො වසී යයි.
5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, දැන් මෙයින් මතු මම් පොහෝ නො කරන්නෙමි, පාමොක් නො උදෙසන්නෙමි. මහණෙනි, තෙපි ම මෙයින් මතු පොහෝ කරවු, පාමොක් උදෙසවු. මහණෙනි, තථාගත තෙම නො පිරිසිදු පිරිසෙහි පොහෝ කරන්නේ ය, පාමොක් උදෙසන්නේ ය යන යමෙක් ඇද්ද, මෙය නො කරුණෙකි, වන්නට ඉඩක් නැති එකෙකි. මහණෙනි, ඇවැත් සහිතයා විසින් පාමොක් නො ම ඇසියැ යුතු, යමෙක් අසන්නේ ද දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇවැත් ඇති වැ යමෙක් පාමොක් අසන්නේ ද ඔහුට පාමොක් තබන්නට (නො දෙසා නවතන්නට) අනුදනිමි.
මහණෙනි, මෙසේ පාමොක් තැබියැයුතු: තුදුස්වක් වූ හෝ පසළොස්වක් වූ එ පොහෝ දිනෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟ මැදැදී (මෙසේ) ඉදිරිපත් කළයුතු: “සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් පුද්ගල තෙමේ ආපත්ති සහිත ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියැයුතු. මෙසේ පාමොක් තබන ලද්දේ වෙයි.
එසමයෙහි වනාහි සවැගි මහණෝ “කිසිවකු අප නො දනිතැ’යි සාපත්තිකව ම පාමොක් අසත්. පරසිත් දන්නා ස්ථවිර භික්‍ෂූහු “ඇවැත්නි, මෙ නමැති මෙ නමැති සවැගි මහණහු “කිසිවකු අප නො දනිති’යි සිතා සාපත්තික ව ම පාමොක් අසත් යැ”යි භික‍්ෂුනට සැලකෙරෙත්. පරසිත් දන්නා ස්ථවිර භික්‍ෂූහු “මෙ නමැත්තේ ද මෙ නමැත්තේ ද යන සවැගි මහණහු කිසිවකු අප නො දනිතැ යි සාපත්තික ව පාමොක් අසති” යි අප (ගැන) භික්‍ෂුනට කියත් යැ යි සවැගි මහණෝ ඇසූහ. “ප්‍රියශීල භික්‍ෂූන් අපට පාමොක් තබන්නට (නවතන්නට) පෙර අපි ඔවුන්ගේ පාමොක් තබම්හ”යි කියා කල් තබා ම පිරිසුදු අනාපත්තික භික්‍ෂුනට අවස්තුයෙහි අකාරණයෙහි ඔහු පාමොක් තබත්.
යම් භික්‍ෂු කෙනෙක් අල්පෙච්ඡ ද සන්තුෂ්ට ද ලජ්ජි ද කුකුස් කරන්නෝ ද ශික්‍ෂාකාමී ද ඔහු ‘කෙසේ නම් සවැගි මහණහු අනාපත්තික පිරිසුදු මහණුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් තබන්නාහු දැ’යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්, එකල ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, සවැගි මහණෝ අනාපත්තික පිරිසුදු මහණුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් තබත්ල. සැබෑ දැ”’ යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.
“සැබැව භාග්‍යවතුන් වහන්සැ”’යි ඔහු කීහ.... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා, “මහණෙනි, අනාපත්තික වූ ශුද්ධ භික්‍ෂුනට අවස්තුයෙහි අකාරණයෙහි පාමොක් නො තැබියැයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ’යි වදාළසේක.
6. “මහණෙනි, නොදැහැමි පාමොක් තබනු එකෙක. දැහැමි පාමොක් තබනු එකෙක.
නොදැහැමි පාමොක් තබනු දෙකෙක, දැහැමි පාමොක් තබනු ද දෙකෙක.
නොදැහැමි පාමොක් තබනු තුනෙක, දැහැමි පාමොක් තබනු ද තුනෙක.
නොදැහැමි පාමොක් තබනු සතරෙක, දැහැමි පාමොක් තබනු ද සතරෙක.
නොදැහැමි පාමොක් තබනු පසෙක දැහැමි පාමොක් තබනු ද පසෙක.
නොදැහැමි පාමොක් තබනු සයෙක, දැහැමි පාමොක් තබනු ද සයෙක.
නොදැහැමි පාමොක් තබනු සතෙක, දැහැමි පාමොක් තබනු ද සතෙක.
නොදැහැමි පාමොක් තබනු අටෙක, දැහැමි පාමොක් තබනු ද අටෙක.
නොදැහැමි පාමොක් තබනු නවයෙක, දැහැමි පාමොක් තබනු ද නවයෙක.
නොදැහැමි පාමොක් තබනු දසයෙක, දැහැමි පාමොක් තබනු ද දසයෙක.
7. මහණෙනි, එක් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ නම් මේ එක් නොදැහැමි පාමොක් තබනු යැ. එක් දැහැමි පාමොක් තබනු කවර යැ: සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ නම්, මේ එක් දැහැමි පාමොක් තබනු යැ.
නොදැහැමි පාමොක් තබනු දෙක කවර යැ: අමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ ද, අමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද, මේ නොදැහැමි පාමොක් තබනු දෙක යැ. දැහැමි පාමොක් තබනු දෙක කවර යැ: සමූලක ශීලවිපත්හි පාමොක් තබන්නේ ද සමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද, මේ දැහැමි පාමොක් තබනු දෙක යැ.
තුන් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක ශීලවිපත්හි.... අමූලක ආචාර විපත්හි... අමූලක දෘෂ්ටිවිපත්හි පාමොක් තබන්නේ ද, මේ තුන් නොදැහැමි පාමොක් තබනු යැ. තුන් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක ශීලවිපත්හි... සමූලක ආචාර විපත්හි.... සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ තුන් දැහැමි පාමොක් තබනු යැ.
සතර නොදැහැමි පාමොක් තබනු කවර යැ; අමූලක ශීලවිපත්හි..... අමූලක ආචාර විපත්හි... අමූලක දෘෂ්ටි විපත්හි අමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ සතර නොදැහැමි පාමොක් තබනු යැ. සතර දැහැමි පාමොක් තබනු කවර යැ: සමූලක සිල්විපත්හි... සමූලක ආචාර විපත්හි... සමූලක දෘෂ්ටි විපත්හි..... සමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ සතර දැහැමි පාමොක් තබනු යැ.
පස් නොදැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක පරිජි ඇවැතින් පාමොක් තබා ද, අමූලක සඟවෙසෙස් ඇවැතින්..... අමූලක පචිති ඇවැතින්... අමූලක පාටිදේසනීය ඇවැතින්.... අමූලක දුකුළා ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ පස් නොදැහැමි පාමොක් තබනු යැ. පස් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක පරිජි ඇවැතින්..... සමූලක සඟවෙසෙස් ඇවැතින්..... සමූලක පචිති ඇවැතින්..... සමූලක පාටිදේසනීය ඇවැතින්... සමූලක දුකුළා ඇවැතින් පාමොක් තබන්නේ ද මේ පස් දැහැමි පාමොක් තබනු යැ.
නොදැහැමි පාමොක් තබනු සය කවර යැ: නො කරන ලද්දෙහි අමූලක සිල්විපතින්..... කරන ලද්දෙහි අමූලක ශීල විපත්හි.... නො කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි පාමොක් තබන්නේ ද මේ සය නොදැහැමි පාමොක් තබනු යැ. දැහැමි පාමොක් තබනු සය කවර යැ: නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි..... කරන ලද්දෙහි සමූලක සිල් විපත්හි... නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි..... කරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ සය දැහැමි පාමොක් තබනු යැ.
සත් නො දැහැමි පාමොක් තබනු කවර යැ: අමූලක පරිජි ඇවැතින්..... අමූලක සඟවෙසෙස් ඇවැතින්..... අමූලක තුලැසි ඇවැතින්..... අමූලක පචිති ඇවැතින්... අමූලක පාටිදේසනීය ඇවැතින්..... අමූලක දුකුළා ඇවැතින්... අමූලක දුබැසි ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ සත් නොදැහැමි පාමොක් තබනු යැ. සත් දැහැමි පාමොක් තබනු කවර යැ; සමූලක පරිජි ඇවැතින්.... සමූලක සඟවෙසෙස් ඇවැතින්..... සමූලක තුලැසි ඇවැතින්..... සමූලක පචිති ඇවැතින්... සමූලක පාටිදේසනීය ඇවැතින්.... සමූලක දුකුළා ඇවැතින්... සමූලක දුබැසි ඇවැතින් පාමොක් තබන්නේ ද, මේ සත් දැහැමි පාමොක් තබනු ය.
අට නො දැහැමි පාමොක් තබනු කවර යැ: නොකරන ලද්දෙහි අමූලක සිල් විපත්හි... කරන ලද්දෙහි අමූලක සිල් විපත්හි... නොකරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි අමූලක ආචාර විපත්හි... නො කරන ලද්දෙහි අමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද්දෙහි අමූලක දෘෂ්ටි විපත්හි... නො කරන ලද්දෙහි අමූලක ආජීව විපත්හි... කරන ලද්දෙහි අමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ අට නො දැහැමි පාමොක් තබනු යැ. අට දැහැමි පාමොක් තබනු කවර යැ; නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි... කරන ලද්දෙහි සමූලක සිල්විපත්හි... නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි.... කරන ලද්දෙහි සමූලක දෘෂ්ටිවිපත්හි.... නොකරන ලද්දෙහි සමූලක ආජීවවිපත්හි... කරන ලද්දෙහි සමූලක ආජීව විපත්හි පාමොක් තබන්නේ ද, මේ අට දැහැමි පාමොක් තබනු යැ.
නව නොදැහැමි පාමොක් තබනු කවර යැ? නොකරන ලද්දෙහි අමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද අමූලික සිල් විපත්හි ... කරන ලද නොකරන ලද අමූලක සිල් විපත්හි..... නොකරන ලද අමූලක ආචාර විපත්හි... කරන ලද අමූලක ආචාර විපත්හි.... කරන ලද නො කරන ලද අමූලක ආචාර විපත්හි......... නො කරන ලද අමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද අමූලක දෘෂ්ටි විපත්හි.... කරන ලද නොකරන ලද අමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේද, මේ නව නොදැහැමි පාමොක් තබනු යැ. නව දැහැමි පාමොක් තබනු කවර යැ? නොකරන ලද්දෙහි සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහි සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහිත් නොකරන ලද්දෙහිත් සමූලක සිල්විපත්හි පාමොක් තබන්නේ ද, කරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි - නොකරන ලද්දෙහි සමූලක ආචාර විපත්හි..... කරන ලද්දෙහිත් නො කරන ලද්දෙහිත් සමූලක ආචාර විපත්හි, කරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි... නොකරන ලද්දෙහි සමූලක දෘෂ්ටි විපත්හි... කරන ලද්දෙහිත් නො කරන ලද්දෙහිත් සමූලක දෘෂ්ටි විපත්හි පාමොක් තබන්නේ ද, මේ නව දැහැමි පාමොක් තබනු යැ.
දස නොදැහැමි පාමොක් තබනු කවර යැ? පරිජි ඇවැත් අවන්නෙක් එ පිරිසෙහි නො හුන්නේ වේ ද, පරිජිය පිළිබඳ කථාවෙක් නො අඩාළ වේ ද, ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළෙක් එ පිරිසෙහි නො හුන්නේ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළක්හු පිළිබඳ කථාවෙක් අඩාළ නො වේ ද, දැහැමි සමගියකට නො එළැඹේ ද, දැහැමි සමගියක් නො පිළිගනී ද, දැහැමි සමගියක් පිළිගැන්ම පිළිබඳ කථාවෙක් අඩාළ නො වේ ද, සිල්විපත්හි දුටුයෙක් ඇසූයෙක් සැක කළෙක් නො වේ ද, ආචාර විපත්හි දුටු ඇසූ සැක කළෙක් නො වේ ද, දෘෂ්ටි විපත්හි දුටු ඇසූ සැකකළෙක් නො වේ ද, මේ දස නොදැහැමි පාමොක් තබනු යැ. දස දැහැමි පාමොක් තබනු කවර යැ? පරිජි අවන්නෙක් ඒ පිරිසෙහි උන්නේ වේ ද, පරිජි අවන්නක්හු පිළිබඳ කථාවෙක් අඩාළ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළෙක් එ පිරිසෙහි උන්නේ වේ ද, සිඛ ප්‍රත්‍යාඛ්‍යාන කළක්හු පිළිබඳ කථාව අඩාළ වේ ද, දැහැමි සමගියට නො එළැඹේ ද, දැහැමි සමගිය නො පිළිගනී ද, දැහැමි සමගිය පිළිගැන්ම ගැන කථාව අඩාළ වේ ද, සිල්විපත්හි දුටු ඇසූ සැකකළෙක් වේ ද, ආචාර විපත්හි දුටු ඇසූ සැක කළෙක් වේ ද, දිටුවිපත්හි දුටු ඇසූ සැක කළෙක් වේ ද, මේ දසය දැහැමි පාමොක් තබනු යැ.
8. කෙසේ නම් පැරැදියෙක් එ පිරිසෙහි හුන්නේ වෙයි ද? මහණෙනි, මෙහි යම් ආකාරවලින් යම් ලකුණුවලින් යම් නිමිති වලින් පරිජි ඇවැතට පැමිණීමෙක් වේ ද, ඒ ආකාර ලක්‍ෂණ නිමිත්ත වලින් මහණෙක් පරිජි ඇවැතට අවදනා මහණක්හු දකී. එ මහණහු පරිජි ඇවැතට අවදින්නහු තෙමේ නො දකී. එහෙත් මහණෙක් මහණකුට ‘මෙ නම් මහණ පරිජි ඇවැතට අවනැ’යි කියයි. මහණ තෙම මහණකු පරිජි ඇවැතට අවදින්නහු නො ම දකී. අන් මහණෙකුත් ‘මෙ නම් මහණ පරිජි ඇවැතට අවන්නේය’යි මහණකුට සැල කරයි.
මහණෙක් මහණකු නො ම දකි. අන් මහණෙකුත් මහණකුට ‘මෙ නම් මහණ; පරිජි ඇවැත් අවතැ’යි නො ද කියයි. වැලි දු ඒ මහණ ම ‘ඇවැත, මම් පරිජි ඇවැත් අවන්මි’යි කියයි.
මහණෙනි, මහණ තෙම කැමැත්තේ නම් ඒ දුටු දැයින්, ඒ ඇසූ දැයින්, ඒ සැකයෙන් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝ දිනෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය (කළයුතු):
“වහන්ස, සඞ්ඝ තෙමෙ මා කියන්නක් අසාවා. මෙ නම් මහණ පරිජි ඇවැත් අවන. ඔහුට පාමොක් තබමි (වළක්වමි). ඔහු හමු වූ කලැ පාමොක් නො උදෙසියැයුතු’ යැ යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.
මහණකුට පාමොක් තැබූ කල්හි, රජුන්ගෙන් වූ උවදුරෙකින් හෝ සොරුන්ගෙන් වූ උවදුරෙකින් හෝ ගින්නෙන් වූ උවදුරෙකින් හෝ දියෙන් වූ උවදුරෙකින් හෝ මිනිසුන්ගෙන් වූ උවදුරෙකින් හෝ අමනුෂ්‍ය උවදුරෙකින් හෝ චණ්ඩ මෘගයන්ගෙන් වූ උවදුරෙකින් හෝ සර්‍පයන්ගෙන් වූ උවදුරෙකින් හෝ ජීවිතයට වියැහැකි උවදුරෙකින් හෝ මහණදමට වියැහැකි උවදුරෙකින් හෝ මේ දස උවදුරු අතුරෙන් එක්තරා උවදුරෙකින් පිරිස නැගී සිටී ද, මහණෙනි, මහණ තෙම කැමැති වන්නේ වී නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයෙක්හි හෝ ඒ පුද්ගලයා හමු වූ කල්හි සඟමැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය (කළයුතු):
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ බස් අසාවා. මෙ නම් පුඟුලා පිළිබඳ වැ පරිජි කතාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය (විනිශ්චය කෙරේවා)”.
මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනැව, ඉදින් නො ලබන්නේ නම් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් දවසැ ඒ පුඟුලහු හමු වූ කලැ සඟමැදැ දී (මෙසේ) ඉදිරිපත් කළයුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් පුඟුලා පිළිබඳ පරිජි කථාව අඩාළ ව ඇත. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියැයුතු” යනුවෙනි.
මේ දැහැමි පාමොක් තැබීම යි.
9. කෙසේ නම් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කෙළෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි: මහණෙනි, මෙහි මහණෙක් යම් ආකාර ලිංග නිමිත්තවලින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙයි ද, ඒ ආකාර ලිංග නිමිත්තවලින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කරන මහණහු මහණෙක් දක්නේ ද, වැලිදු මහණ තමා ම ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කරන්නහු නො දකී ද, එහෙත් අන් මහණෙක් මහණකුට ‘මෙනම් මහණ විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන යැ යි සැලකෙරෙයි ද, එහෙත් තෙමේ එ මහණහු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරන්නහු නො දක්නේ ද, අන් මහණෙකුත් එ මහණහට “ඇවැත, මෙ නම් මහණ විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන යැ යි නො කියන්නේ ද, වැලිදු ඒ මහණ ම “ඇවැත මා විසින් ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන යැ යි මහණකුට සැල කරන්නේ ද, මහණෙනි, ඉදින් ඒ මහණ තෙමේ කැමැති වන්නේ නම් ඒ දුටු ඇසූ සැකකළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනැ ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:
“සඞ්ඝ තෙමේ මා කියන බස් අසාවා. මෙනම් පුඟුලා විසින් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන ය. ඔහුට පාමොක් තබමි. ඔහු හමු වූ කලැ පාමොක් න උදෙසියැයුතු” යනුවෙනි. (මෙසේ වූ) පාමොක් තැබීම දැහැමි ය.
මහණක්හට පාමොක් තැබූ කල්හි රාජ චෝර ... බ්‍රහමචර්‍ය්‍යයා අන්තරාය යන දස උවදුරින් යම් එකෙකින් පිරිස නැඟී සිටී ද, මහණෙනි, ඒ මහණ කැමැති වන්නේ නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයෙක දී හෝ ඒ පුඟුලා හමු වූ කලැ සඟ මැදැ දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:
සඞ්ඝ තෙමේ මබස් අසාවා. මෙනම් පුඟුලා ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළ කථාව අඩාළ විය, ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝ තෙමේ සුදුසු කල් වී නම්, ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය.” යනුවෙනි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි ය. [missing trans]
10. කෙසේ නම් දැහැමි සමගියකට නො පැමිණේ ද යත්: මහණෙනි, මෙහි වනාහි මහණකුගේ යම් ආකාර ලිංග නිමිති වලින් දැහැමි සමගියකට නො එළැඹීමෙක් වේ ද, ඒ ආකාර ලිංග නිමිතිවලින් යුත්, දැහැමි සමගියකට නො එළැඹෙන මහණක්හු මහණෙක් දකී. වැලිදු දැහැමි සමගියට එ මහණහු නො එළැඹෙන්නා නො ම දකී. එහෙත් අන් මහණෙක් ‘මෙ නම් මහණ දැහැමි සමගියට නො පැමිණේ යැ යි මහණකුට කියයි.
මහණ තෙම දැහැමි සමගියට නො පැමිණෙන මහණහු ද නො ම දකී, අන් මහණෙකුත් මෙනම් මහණ, දැහැමි සමගියට නො පැමිණේ යැ යි මහණකුට නො ද කියයි. වැලිදු ඒ මහණ ම ‘ඇවැත, මම දැහැමි සමගියට නො පැමිණෙමි” යි කියයි. මහණෙනි, මහණ තෙම කැමැති වනුයේ ඒ දුටු දැයින් ඒ ඇසූ දැයින් ඒ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දවසෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැදැදී මෙසේ ඉදිරිපත් කරන්නේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මෙනම් පුඟුලා දැහැමි සමගියට නො පැමිණෙයි. ඔහුට පාමොක් තබමි. ඔහු හමු ව සිටි කල්හි පාමොක් නො උදෙසියැයුතු” යනුවෙනි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි යි.
කෙසේ දැහැමි සමගිය (යළි කර්‍මය කළයුතු ය යි) නැවත ගන්නේ වේ ද: මහණෙනි, මෙහි මහණ, යම් ආකාර ලිඞ්ග නිමිතිවලින් යුතු වූයේ දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නේ වේ ද එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් යුත් දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නා මහණකු දකී ද, වැලි දු මහණෙක් දැහැමි සමගිය නැවත කළයුතු යැ යි ගන්නා මහණකු නො ම දක්නේ ද, එහෙත් අන් මහණෙක් මහණක්හට “ඇවැත්නි, මෙ නම් මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී යි දක්වා ද, වැලිදු මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගන්නා මහණකු නො ම දක්නේ හෝ අන් මහණෙක් මහණක්හට “ඇවැත්නි, මෙ නම් මහණ දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී යි නො ම දන්වන්නේ හෝ වේ ද, එහෙත් ඒ මහණ මැ “ඇවැත්නි, මම දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනිමැ යි මහණක්හට දන්වා ද, මහණෙනි, ඉදින් මහණ තෙමේ කැමැති වන්නේ නම් ඒ දුටු ඒ ඇසූ ඒ සැකකළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා දැහැමි සමගිය යළි කළයුතු යැ යි ගනී. ඔහුට පාමොක් තබමි. ඔහු හමුවූ කල්හි පාමොක් නො උදෙසියයුතු” යි. මෙසේ වූ පාමොක් තැබීම දැහැමි යි.
මහණක්හට පාමොක් බහා තැබූ කල්හි රාජ ... බ්‍රහ්මචර්‍ය්‍යා අන්තරාය යන දස උවදුරු අතුරෙන් එකෙකින් පිරිස නැගීසිටී ද මහණෙනි, (ඉදින් ඒ මහණ කැමතිවන්නේ නම් ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයක දී හෝ ඒ පුඟුලා හමුවූ කලැ සඟමැද දී මෙසේ ඉදිරිපත් කරන්නේ ය.
“වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුද්ගලයාගේ දැහැමි සමගිය නැවත කිරීම පිළිබඳ කථාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඉදින් සඞ්ඝයාට සුදුසු කල් ඇත්තේ නම් සඞ්ඝයා ඒ වස්තුව විනිශ්චය කරන්නේ ය යි.
මෙසේත් මෙය ලැබෙන්නේ නම් ඒ මැනව. ඉදින් නො ලබන්නේ නම් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දවසැ ඒ පුඟුලා හමු වූ කලැ සඟමැද දී මෙසේ ඉදිරිපත් කළයුතු, “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මෙනම් පුඟුලාගේ දැහැමි සමගිය නැවත කිරීම පිළිබඳ කථාව අඩාළ විය. ඒ වස්තුව අවිනිශ්චිත ය. ඔහට පාමොක් තබමි. ඔහු හමු වූ කල්හි පාමොක් නො උදෙසියයුතු ය”යි. මේ දැහැමි පාමොක් තැබීමෙකි.
11. කෙසේ නම් සීලවිපත්තියෙහි දුටු ඇසූ සැක කරන ලද්දෙක් වේ ද, මහණෙනි, මෙහි මහණ යම් ආකාර ලිඞ්ග නිමිති වලින් සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, ඒ ආකාර ලිඞ්ග නිමිතිවලින් යුක්ත වූ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, නැතහොත් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ නමුදු අන් මහණෙක් මහණක්හට “ඇවත මෙනම් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ” යි දන්වයි. නැතහොත් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දන්නේත් වෙයි. අන් මහණෙක් මහණක්හට ‘ඇවත මෙනම් මහණ සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි නො දන්වන්නේත් වෙයි. වැලිදු ඒ මහණ ම “ඇවත මම සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙමැ”යි මහණක්හට දන්වයි.
මහණෙනි, ඉදින් මහණ කැමති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් හෝ පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද (මෙසේ) ඉදිරිපත් කරන්නේ ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මෙනම් පුඟුලා සීලවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු ඉදිරියෙහි ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.
12. කෙසේ නම් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද: මහණෙනි, මෙහි මහණ යම්බඳු ආකාර ලිඩග නිමිතිවලින් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, වැලි දු මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ වුව ද අන් මහණෙක් මහණහට ‘ඇවැත, මෙනම් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’ යි දන්වා ද, නැතහොත් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේත් වේ ද, අන් මහණෙකුත් “ඇවත, මෙනම් මහණ ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ”යි නො දන්වා ද, වැලිදු ඒ මහණ ම “ඇවැත, මම ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක්මි’ යි මහණහට දන්වා ද,
මහණෙනි, ඉදින් මහණ කැමති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝදිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද (මෙසේ) ඉදිරිපත් කළයුතු ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා ආචාරවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු අභිමුඛ ව ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. (මේ) දැහැමි පාමොක් තැබීමෙකි.
13. කෙසේ නම් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, මහණෙනි, මෙහි මහණ යම්බඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක් වේ ද, එබඳු ආකාර ලිඞ්ග නිමිතිවලින් දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු දකී ද, වැලි දු මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේ වුව ද, අන් මහණෙක් මහණහට “ඇවත මෙනම් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි දන්වා ද, නැතහොත් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇති මහණකු නො දක්නේත් වේ ද, අන් මහණෙකුත් “ඇවත මෙනම් මහණ දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකැ’යි නො දන්වා ද, වැලිදු ඒ මහණ ම “ඇවත, මම දිට්ඨිවිපතිතියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙක්මි”යී මහණහට දන්වා ද,
මහණෙනි, ඉදින් මහණ කැමැති වන්නේ නම් ඒ දුටු ඇසූ සැක කළ දැයින් ඒ තුදුස්වක් හෝ පසළොස්වක් පොහෝ දිනයෙහි ඒ පුඟුලා හමු වූ කල්හි සඟමැද මෙසේ ඉදිරිපත් කළ යුතු ය. “වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මෙනම් පුඟුලා දිට්ඨිවිපත්තියෙහි දුටු ඇසූ කළ සැක ඇත්තෙකි. ඔහට පාමොක් තබමි. ඔහු අභිමුඛ ව ඇති කල්හි පාමොක් නො උදෙසියයුතු”යි. මේ දැහැමි පාමොක් තැබීමෙකි. මේ දැහැමි පාමොක් තැබීම් දසය යි.
පළමු බණවර යි.
14. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් උපාලි ආයුෂ්මතුන් වහන්සේ “ස්වාමීනි, අත්තාදාන නම් අධිකරණය (ශාසන ශෝධනය කරනු කැමති භික්‍ෂූහු විසින් නැවත චෝදනා කරනු පිණිස ගනු ලබන අධිකරණය) ගනු කැමති භික්‍ෂූහු විසින් කවර අඞ්ගයන්ගෙන් යුක්ත වූ අත්තාදානය ගතයුතු දැ’ යි භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
උපාලි, අත්තාදානය ගනු කැමැති භික්‍ෂූහු විසින් අඞ්ග පසකින් යුක්ත වූ අත්තාදානය ගතයුතු ය. උපාලි, අත්තාදානය ගනු කැමැති මහණ විසින් මෙසේ සලකා බැලියයුතු යි, මම යම් මේ අත්තාදානය ගනු කැමැත්තෙම් ද මේ අත්තාදානය ගැනීමට සුදුසු කාලය ද නොහොත් නො සුදුසු කාලය දැ යි. උපාලි, ඉදින් මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය ගැනීමට නො කල් ය සුදුසු කාලය නො වේ”යි දැන ගනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය ගැනීමට කල් වෙයි, නො කල් නො වේ’ යි දනී ද, උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු මෙසේ සලකා බැලියයුතු යි. “මම යම් මේ අත්තාදානයක් ගනු කැමැත්තෙම් ද, මෙය සත්‍ය වූවක් ද නොහොත් සත්‍ය නො වූවක් දැ’ යි. ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ ‘මේ අත්තාදානය අභූතයකි. සත්‍ය නො වේ’ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ මේ අත්තාදානය සත්‍යයකි, අභූතයක් නො වේ යි දනී ද උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු මෙසේ සලකා බැලියයුතු යි. මම යම් මේ අත්තාදානයක් ගනු කැමැත්තෙම් ද, මේ අත්තාදානය වැඩ සහිත වූවක් ද නැතහොත් නො වේ දැ? යි, ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ “මේ අත්තාදානය අවැඩ සහිත ය, වැඩ සහිත නො වේ’ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
ඉදින් උපාලි, මෙසේ සලකා බලන මහණ ‘මේ අත්තාදානය වැඩ සහිත ය, අවැඩ සහිත නො වේ” යි දනී ද, උපාලි, ඒ මහණ විසින් මත්තෙහි දු (මෙසේ) සලකා බැලියයුතු යි. “මම මේ අත්තාදානය ගන්නෙම් ධර්‍මයෙන් (ධර්‍ම හේතුවෙන්) විනයෙන් (විනයහේතුවෙන්) පක්‍ෂ වූ සන්දෘෂ්ට (දැඩි විශ්වාසයක් නැති) සම්භක්ත (දැඩි විශ්වාසය ඇති) භික්‍ෂූන් ලබන්නෙම් ද නැතහොත් නො ලබන්නෙම් දැ” යි. ඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මම මේ අත්තාදානය ගන්නෙම් ධර්‍මයෙන් විනයෙන් පක්‍ෂ වූ දැඩි විශ්වාසය නැත්තා වූ ද, දැඩි විශ්වාසය ඇත්තාවූ ද භික්‍ෂූන් නො ලබන්නෙමි’ යි මෙසේ දනී ද උපාලි ඒ අත්තාදානය නො ගතයුතු යි.
ඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මේ අත්තාදානය ගන්නා මම ධර්‍මයෙන් විනයෙන් පක්‍ෂ වූ සන්දෘෂ්ට සමභක්ත භික්‍ෂූන් ලබන්නෙමි”යි මෙසේ දනී ද, උපාලි ඒ මහණ විසින් මත්තෙහි දු (මෙසේ) ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යි. “මා මේ අත්තාදානය ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක්, කලහයක්, සටනක්, විරුද්ධවාදයක්, සඞ්ඝභේදයක්, සඞ්ඝරාජියක්, සඞ්ඝයාගේ වෙන් වූ කතිකාවතක්, සඞ්ඝයාගේ වෙන්වීමක් වන්නේ ද නැතහොත් නො වන්නේ දැ’ යි. ඉදින් උපාලි, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මා මේ අත්තාදානය ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක් ... සඞ්ඝයාගේ වෙන් වීමක් වන්නේ යැ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
ඉදින් උපාලි ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මේ අත්තාදානය මා ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක් ... සඞ්ඝයාගේ වෙන් වීමක් නො වන්නේ යැ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය ගතයුතු යි. උපාලි, මෙසේ අඞ්ග පසින් යුතුව ගන්නා ලද අත්තාදානය පසුව ද විපිළිසරකාරී නො වන්නේ ය යි.
15. ස්වාමීනි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂුව විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චෝදනා කළයුතු දැ’ යි.