Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 3201-3300 න් 3843

එ විට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා භික්‍ෂූන් බණවා “මහණෙනි, සැබෑ ද, ඇදුරෝ අතැවැසියන් කෙරෙහි මනා ව නො පවතිත් දැ” යි අසා වදාළසේක. “සැබැව වහන්සැ”යි එ මහණහු කීහ... වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, “මහණෙනි, එසේ වී නම්, අතැවැස්සන් කෙරෙහි ඇදුරන් විසින් යම්සේ පැවතියැයුතු ද, එසේ අතැවැස්සන් කෙරෙහි ඇදුරන්ගේ වත පනවන්නෙමි”යි . (අමතා) මෙසේ වදාළසේක:
“මහණෙනි, ඇදුරා විසින් ඇතැවැසියා කෙරෙහි මනා වැ පැවතියැයුතු. එහි ලා මේ මනා පැවැත්ම යි.
මහණෙනි, ඇදුරා විසින් උදෙසීමෙන්, පරිපුච්ඡායෙන් (යළි යළි විචාරීමෙන්), අවවාදයෙන්, අනුශාසනායෙන් සංග්‍රහ කළයුතු. අනුග්‍රහ කළයුතු. ඉදින් ඇදුරුහට පාත්‍රයෙක් වේ ද, අතැවැසියාට පාත්‍රයෙක් නො වේ ද, ඇදුරා විසින් අතැවැස්සාට පාත්‍රය දියයුතු. ‘කෙසේ නම් අතැවැසියාට පාත්‍රයෙක් උපදනේ දැ’යි උත්සුක බව හෝ කළයුතු.
ඉදින් ඇදුරුහට සිවුරෙක් වේ ද, අතැවැසියාට සිවුරෙක් නො වේ ද, ඇදුරා විසින් අතැවැස්සාට සිවුර දියැයුතු. ‘කෙසේ නම් අතැවැසියාට සිවුරෙක් උපදනේ දෝ’යි උත්සුක බව හෝ කළයුතු.
ඉදින් ඇදුරුහට පිරිකරෙක් වේ ද, අතැවැසිහට පිරිකරෙක් නො වේ. ද, ‘කෙසේ නම් අතැවැසිහට පිරිකරෙක් උපදනේ දැ’යි උත්සුක බව හෝ කළයුතු.
32. ඉදින් අතැවැසි තෙම ගිලන් වේ ද, ඇදුරහු විසින් කලින් ම නැඟී සිට දැහැටි දියැයුතු. මුව දෝනා දිය දියැයුතු. අස්නක් පැනවියැ යුතු. හුළුකැන් වේ නම්, බඳුනක් දෙවැ හුළුකැන් එළවියැයුතු. හුළුකැන් පූවාහට දිය පිළිගන්වා බඳුන පිළිගෙන, පහත් කොට කිසිවෙක නො ගාමින්, දෙවැ සුරැකි කොට තැබියැයුතු. අතැවැස්සා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. ඉදින් එ තැන කුණුරොඩු සහිත වේ නම්, එය හැමැන්දයුතු.
ඉදින් අතැවැසි තෙම ගම් වදිනු කැමැත්තේ වී නම්, හඳනා සිවුර දියැයුතු. පිළිහඳනය පිළිගතයුතු. කාබහන දියැයුතු. සඟළ සිවුරු සගුණ කොට දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. ‘මෙ තෙකින් පෙරළා එන්නේ යැ’යි සලකා අස්නක් පැනවියැයුතු. පාදෝනා දිය, පාපුටුව, පාකටැලිය ඉදිරිපත් කොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගත යුතු. පිළිහඳනය දියැ යුතු. හඳනය පිළිගතයුතු.
ඉදින් සිවුර ඩහදියෙන් ද තෙත් වී නම් මොහොතක් අව්වේ වියැලිය යුතු. සිවුර අව්වේ තිබෙන්නට නො හැරියැ යුතු. සිවුර හැකිළිය යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුර මැද බිඳුමෙක් නො වේව’යි සලකා සිවුරු කොන සතරඟුලක් උඩට ඇද නැමියැ යුතු. සිවුරු නැම්මෙහි කාබහන තැබියයුතු.
33. ඉදින් පිණ්ඩපාතය ඇත් නම්, අතැවැසියා ද වළඳනු කැමැත්තේ වේ නම්, පැන් පිළිගන්වා පිණ්ඩපාතය එළවියැයුතු. අතැවැසි තෙම පැනින් පිළිවිසියැයුතු. වැළැඳුවහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට කිසිවෙක නො ගටමින් මනා කොට සෝදා දිය රහිත කොට මොහොතක් අව්වේ වියැලියැ යුතු. පාත්‍රය අව්වේ තිබෙන්නට හැරැ නො යා යුතු. පා සිවුරු තැබිය යුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනිත් අතින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබිය යුතු. කිසිවෙකින් නො අතුරන ලද බිමැ පාත්‍රය නො තැබිය යුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුරු වස හෝ සිවුරු රැහැන පිරිමැද සිවුර , කෙළවර ඔබ්බෙහි ද සිවුරු නැම්ම, මොබ්බෙහි ද කොට සිවුර තැබියයුතු. අතැවැසියා නැගීසිටි කල්හි අස්න ඉදිරියැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටැලිය ද සුරැකි කොට තැබියයුතු.
ඉදින් එ තැන කුණුරොඩු සහිත වී නම්, හැමැන්දයුතු. ඉදින් අතැවැසියා නානු කැමැති වේ නම්, නාන දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් සිසිල් දියෙන් ප්‍රයෝජන වේ නම්, සිසිල් දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් උණු දියෙන් ප්‍රයෝජන වේ නම්, උණු දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් අතැවැස්සා ගිනිහල්ගෙට පිවිසෙනු කැමැති නම්, නාන සුණු තෙමා ගුලි කළයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ගොස් සිවුර පිළිගෙන එක් පසෙක තැබියයුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ නම්, ගිනිහල්ගෙට පිවිසියැයුතු. ගිනිහල් ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුහුණ වකා ඉදිරියෙන් ද පිටුපසින් ද වසා ගිනිහල් ගෙට පිවිසියැයුතු.
ස්ථවිර භික්‍ෂූන් මැදට වැද ගැටී නො හින්ද යුතු. නවක භික්‍ෂූහු අස්නෙන් නො පිළිබැහියැයුතු. ගිනිහල් ගෙහි අතැවැසියාට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටුපසින් ද වසා ගෙන නික්මියැයුතු. දියෙහි ද අතැවැස්සාට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමු වෙන් ගොඩ නැග සිය ගතැ දිය පිසදමා හැඳ අතැවැසියාගේ ගතින් දිය පිසදැමියැයුතු. හඳනය දියයුතු. සඟළ සිවුර දියැ යුතු. ගිනිහල් පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අස්නක් පැනවියැ යුතු. පාදෝනා දිය පාපුටුව පාකටැලිය එළවා තැබිය යුතු. අතැවැසියා පැනින් විචාළයුතු. යම් වෙහෙරෙක අතැවැස්සා වසන්නේ නම්, ඉදින් ඒ වෙහෙර කුණුරොඩු සහිත වී නම්, ඉදින් හැක්කේ නම්, ශුද්ධ කළයුතු. විහාරය ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු බැහැරැ කොට පසෙක තැබියැයුතු... ඉදින් ආචමනකුම්භියෙහි{1} ජලය නො වේ නම්, එහි දිය වත්කළයුතු.
34. ඉදින් අතැවැසියාට පැවිද්දෙහි නො ඇල්මෙක් උපන්නේ වී නම්, ඇදුරා විසින් සන්හිඳුවියැයුතු. සන්හිඳුවාලියැයුතු. ඔහුට ධර්‍මකථා හෝ කළයුතු. ඉදින් අතැවැසියාට කුකුසෙක් උපන්නේ වී නම්, ඇදුරුහු විසින් දුරු කළයුතු. දුරුකැරැවියයුතු හෝ වෙයි, ඔහුට ධර්‍මකථා හෝ කළයුතු වෙයි. ඉදින් අතැවැස්සාට මිසදිටෙක් උපන්නේ නම්, ඇදුරා විසින් විවේචනය කළයුතු. විවේචනය කැරැවියයුතු හෝ වෙයි, ඔහුට බණ කියැයුතු හෝ වෙයි.
ඉදින් අතැවැසියා ගරු ඇවැතකට පැමිණියේ පිරිවෙසට සුදුසු වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ අතැවැස්සාට පිරිවෙස් දෙන්නේ දැ’යි ඇදුරහු විසින් උත්සුක බව කළයුතු. ඉදින් අතැවැසි තෙම මූලායපටිකස්සනයට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ අතැවැසියාට මූලාය පටිකස්සනය කරන්නේ දැ’යි උත්සුක බව කළයුතු. ඉදින් අතැවැසි තෙම මානතට සුදුසු වේ නම්, ‘කෙසේ සංඝ තෙමේ අතැවැස්සාට මානත දෙන්නේ දැ’යි ඇදුරහු විසින් උත්සුක බව කළයුතු. ඉදින් අතැවැසි තෙම අබ්භානයට සුදුසු වේ නම්, ‘කෙසේ සංඝ තෙමේ අතැවැසියා අබ්භාන කරන්නේ දෝ’යි ඇදුරා විසින් උත්සුක බව කළයුතු.
ඉදින් සංඝ තෙමේ අතැවැස්සාට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කම්ය හෝ උක්ඛේපනීය කම්ය හෝ කරනු කැමැති වේ නම්, සංඝ තෙමේ ‘කෙසේ නම් අතැවැස්සාට කර්‍මය නො කරන්නේ ද, කර්‍මය ලුහු බවට හෝ පෙරළන්නේ දැ’යි ඇදුරා විසින් උත්සුක බව කළයුතු. සංඝයා විසින් ඔහුට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරන ලදුයේ වී නම්, ‘කෙසේ නම් අතැවැසි තෙමේ මනාව පවත්නේ ද, අවනත වන්නේ ද, කර්මනිස්තරණය පිණිස පවත්නේ ද, සංඝ තෙමේ ඒ කර්‍මය සන්හිඳුවන්නේ දැ’යි ඇදුරහු විසින් උත්සුක බව කළයුතු.
ඉදින් අතැවැසියා ගේ සිවුර සේදිය යුතු වේ නම්, මෙසේ සෝදව යි ඇදුරා විසින් කියැ යුතු ය. ‘කෙසේ නම් අතැවැස්සාගේ සිවුර සෝදනු ලබන්නේ දැ’යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් අතැවැස්සාට සිවුරක් කළ යුතු වේ නම්, ‘මෙසේ කරව’යි ඇදුරා විසින් කියැයුතු. ‘කෙසේ නම් අතැවැස්සාට සිවුරෙක් කරනු ලබන්නේ දැ’යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් අතැවැස්සාට රඳන් පිසියැයුතු වේ නම්, ‘මෙසේ පිසව’යි ඇදුරා විසින් කියැ යුතු. ‘කෙසේ නම් අතැවැසියාට රඳන් පිසනු ලබන්නේ දැ’යි උත්සුක බව හෝ කළයුතු.
ඉදින් අතැවැසියාගේ සිවුරු පඬු පෙවියැයුතු වේ නම්, ‘මෙසේ පඬු පෙවියැයුතු යැ’යි ඇදුරහු විසින් කියැ යුතු. ‘කෙසේ නම් අතැවැසියාගේ සිවුරු පඬු පොවනු ලබන්නේ දැ’යි උත්සුක බව හෝ කළයුතු. සිවුර පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවියැයුතු. පඬු බින්‍දු නො සුන් කල්හි , එය හැර දමා නො යායුතු. ඉදින් අතැවැස්සා ගිලන් වේ නම්, යව්දිව් උවටැන් කළයුතු. ඔහුගේ නැඟීසිටීම අපේක්‍ෂා කළයුතු.
මහණෙනි, මේ වනාහි යම්සේ ඇදුරන් විසින් අතැවැස්සන් කෙරෙහි පැවතියැයුතු ද, ඒ අතැවැසියන් කෙරෙහි ඇදුරන් පැවතියැයුතු වත” යි.
අටවැනි වත්තක්‍ඛන්‍ධකය
මේ ඛන්‍ධකයෙහි වස්තූහු පස්පනසෙකි.
එහි උද්දානය මෙසේ ය:
1. වහන් සහිතය, කුඩ සහිතය, හිස වසා පෙරවීමය, හිසෙහි සිවුර යෙදීමය, පියයුතු දියෙන් පා දෙවීමය, (වෘද්ධ භික්‍ෂූන්) නො වැඳීමය, (සෙනසුන්) නො පිළිවිසීමය, සර්‍පයකු ඇඟට වැටීමය, ප්‍රියශීලී භික්‍ෂූන් දොස්නැගීමය,
2. වහන් මුදාලීම, කුඩය හැකිළීම, සිවුර කරෙහි තබාගැනීම, ඉක්මන් නො වීම, ආරාමික භික්‍ෂූන් රැස්වන තැන පාසිවුරු එකත්පසෙක තැබීම, සුදුසු අසුනකැ හිඳීම, දිය පිළිවිසීම,
3. දිය ඉසීම, (පා) සේදීම, වියලි කඩින් පිසීම, තෙත් කඩින් පිසීම, වහන් පිස්නා කඩ සේදීම, වෘද්ධයන් වැඳීම, නවකයන් ලවා වැන්ඳවීම, සෙනසුන- පාවිච්චිකළබව- අලුත්බව- ගොදුරු ගම.
4. සේඛසම්මත කුල- වස්-පස්කිළි- පියයුතු- පරිභෝගකළයුතු දිය- සැරයටිය- සඞ්ඝයාගේ කතිකාවත්- ගම් වැදියයුතු කාලය යන මේ දෑ පිළිවිසීම, කසළ සහිත විහාරය පිරිසුදුකිරීම, බුමුතුරුණු බැහැරකිරීම,
5. ඇඳ පාඅලු- බිසිබිම්බෝහන- ඇඳපුටු- පඩික්කම- හේත්තුවන ලෑල්ල - යන දෑ බැහැර කොට තැබීම, වියන- කවුළු- ගුරු පිරියම් කළ බිත්ති කළුවන් කළ නො කළ බිත්ති පිසදැමීම,
6. කසළ ඉවත්කිරීම, බුමුතුරුණු ඇඳ පාඅලු- ඇඳපුටු- බිසි බිම්බොහන- නිසීදනය- පඩික්කම- හේත්තුවන ලෑල්ල යන දෑ වියලා සුදුසු පරිදි තැබීම,
7. පාසිවුරු තැබීම, භූමිය, සිවුරු කොන පිටපැත්තට හා නැම්ම ඇතුළුපැත්තට දැමීම, පෙර- පැසුළු- උතුරු- දකුණු දිගින් හමන වාතය,
8. සිහිල්- උණුසුම්වාතය, දිවා රෑ කවුළු වැසීම, (කිලුටුවූ) පිරිවෙන- කොටුව- උවටැන්හල- ගිනිහල- වස්කිළිය යන තැන් ඇමදීම,
9. පානීය- පරිභෝජනීය- හා සෝදන ජලය එළවා තැබීම යන මේ කරුණු ආගන්තුක වතැයි බුදුන් විසින් පනවනලදී.
10. (නේවාසික භික්‍ෂූන්) අසුන් නො පැනවීම, පා දෝනා දිය නො එළවීම, පෙරගමන් නො කිරීම, පැන් නො පිළිවිසීම, නො වැඳීම, අසුන් නො පැනවීම, ප්‍රියශීලී භික්‍ෂූන් දොස් නැගීම,
11. වැඩිමහලු භික්‍ෂූන් දැක අසුන් පැනවීම, දිය එළවීම, පෙර ගමන, පැන් එළවීම, වහන් පසෙක තැබීම, වැඳීම, අසුන් පැනවීම,
12. විසූ නො විසූ විහාරයක් බව, ගොදුරුගම, සෙඛකුල, වස්පස්තැන්, පැන්, පිරිබෝදිය, සැරයටිය, කතිකා (ගම්වදින) කාලය (කියයුතු බව) නවකයාහට හුන්නහු විසින් කියයුතු බව,
13. වැන්දවීම, පාසිවුරු තබන තැන් කීම (ආදිය) යට කී නයින් ගතයුතුය. සාර්‍ත්‍ථවාහයන් (බුදුන්) වහන්සේ විසින් මේ ආවාසික වත දක්වනලද්දේය.
14. ගමික භික්‍ෂූන් දොර කවුළු හැරදමා නො පිළිවිස යෑම, දැවබඩු, මැටිබඩු සෙනසුන නැසීම, නො රක්නාලදබව, පෙසල මහණුන් දොස් නැගීම,
15. ගමික මහණ විසින් දැවබඩු මැටිබඩු සකස්කොට තබා දොර කවුළු වසා මහණකු හෝ හොරණකු හෝ ආරාමිකයකු හෝ උවසුවකු හෝ වෙත පවරා යායුතු බව,
16. ගල් මතුයෙහි රැස්කොට තැන්පත් ව තබා දොරකවුළු වසා යායුතු බව, හැකි නම් ආරාමය නො තෙමෙන පරිදි සෙවෙනි කිරීම හෝ කරවීම, නො තෙමෙන තැනක තැන්පත් කරවීම,
17. සියලු අරම තෙමේ නම් ආරාමික , බඩු ගමෙහි තැන්පත් කිරීම, නැතහොත් ‘කොටසක් හෝ ඉතිරි වේව’යි සිතා එළිමහනෙහි තබා වසා යෑම ගමික මහණගේ වතයි.
18. අනුමෝදනා නො කිරීම, ස්ථවිර භික්‍ෂූව විසින් අනුමෝදනා කළයුතු බව, එකලා ව හැර යෑම, සතර පස් නමක් නතර වියයුතු බව, වස්බරින් පෙළීම, මුසපත්වීම යන මේ කරුණු අනුමෙවෙනි වතෙහි ඇතුළති.
19. සවග මහණුන් නො සකස් ව හැඳ පෙරෙව නො සරුප් ලෙසින් බත්හලට යෑම ඊම, දෙටු මහණුන් නො තකා හිඳීම,
20. නවක මහණුන් වැළහීම, සඟළ සිවුර යටකොට හිඳීම, පෙසල මහණුන් දොස් නැගීම, තෙමඬුලු වසා හැඳ කාබහන් බැඳ සගුණකොට සඟළසිවුර පොරොවා ගැටවටු ගන්වා (යෑම.)
21. නො ඉක්මවා යෑම, සුපිළිසන්වීම, මනා සංවර බව, යට බලා හෙළනලද ඇස් ඇති බව, ඔසොවනලද , සිවුරු නැති බව, මහසිනා නැතිබව, අල්පශබ්දබව කය අත් හිස නො සැලීම,
22. උකුළෙහි අත් තැබීම, හිසවසා පෙරවීම, විළුඹ එසවීම (යන මෙයින්) යුතුව ඇතුළුගම නො යායුතු බව, පටිච්ඡන්න සුසංවුත, ඔකඛිත්තචක්ඛු, උජ්ජග්ඝි, අප්පසද්ද, චලනත්‍රය,
23. ඛම්භකත, ඔගුණඨීසීස, පල්ලත්‍ථික, අනුපබජ්ජ, ආසනපටිබාහන, සඞ්ඝාටිඔත්ථරන, (යන මොහු ද) දිය පිළිගැනීම, පහත්කොට (පාත්‍රය) සේදීම, සේදූ දිය වැක්කිරීම,
24. අසළ සිටුනා මහණුන් හා සඟළසිවුර නො තෙමීම ද, බත් පිළිගැනීමෙහි සූපයට ඉඩ තැබීම, අවුළුපත් සියල්ලන්ට සම සේ බෙදීම ද,
25. සකස්බව, පත්තසඤ්ඤා ඇතිබව, සපදාන, සමසූපක, මුදුනෙන් හනා නො ගැනීම, බතින් නො වැසීම, නො ඉල්වීම, ඊර්‍ෂ්‍යාවෙන් නො බැලීම,
26. නාතිමහන්තය, පරිමණ්ඩලය, මුඛද්වාරය, සබ්බහත්ථය, ඛ්‍යාහරණය, පිණ්ඩුක්ඛෙපය, අවච්ඡෙදනය, අවගණ්ඩකාරකය, අත් සෙලවීමය, සිත්ථාවකාරකය,
27. දිව නෙරීම, චපුචපුකාරකය, සුරුසුරුකාරකය, අත- පාත්‍රය- තොල්- ලෙවීමය, සාමිසපටිග්ගහනය,
28. හැම දෙනා වැළඳූබව, දිය පිළිගැනීම, (පාත්‍රය) පහත් කොට සේදීම, සෙචනය, උදකපටිග්ගාහකය, සාමන්තභිකඛුය, සඟළය, පහත්කොට පොළොවෙහි (දැමීමය),
29. සසිත්ථකය, නිවත්තනය, සුපටිච්ඡන්නය, උක්කුටිකය, යන මේ භත්තග්ග වත ධර්‍මරාජයන් වහන්සේ විසින් පනවනලදී,
30. දුන්නිවත්‍ථ, අනාකප්ප, නො සැලකීම, යුහුව පිවිසීම. අතිදුර, අච්චාසන්ත, චිරං ලහුං සහ පිණ්ඩචාරික ද,
31. පටිච්ඡන්න, සුසංවුත, ඔකඛිත්තචක්ඛු, උක්ඛිත්තකාය, උජ්ජග්ඝික, සද්ද හා පවාලන තුන ද,
32. ඛම්භකත, ඔගුණ්ඨිත, උක්කුටික, සල්ලක්ඛෙතබ්බ, සහසා, දූර, අච්චාසන්ත, චිරං, ලහුං, (යන) කරුණු ද, කටච්ජු (හා)
33. භාජන පරාමසන, ඨපන, (සඞ්ඝාටි) උච්චාරනා, පණාමන, පටිග්ගහන, (මුඛං) න ඔලොකන යන මොහු සූපයෙහි ද එසේ ම වෙත්,
34. මහණ සඟළසිවුරෙන් (පාත්‍රය) වසන්නේය. සුපටිච්ඡන්න, සුසංවුත, ඔක්ඛීත්තචකඛු, උක්ඛිත්තකාය, උජ්ජග්ඝිකා,
35. අප්පසද්ද, තෙවැදෑරුම් පචාලන, බම්භ, ඔගුණ්ඨික, උක්කුටික, යන මොහු ද, පඨම (පටික්කමන), ආසන, අවක්කාරපාති, පානීය, පරිහොජනීය, පච්ඡා ආකඞ්ඛන භූඤ්ජන, ඔපිලාපන, (ආසන) උද්ධරන,
36. පටිසාමන, සම්මජ්ජන, (හිස් භාජන) පසෙක තැබීම, අතින් සන්කිරීම, වචීභේද නො කිරීම (යන මේ කරුණු) පිණ්ඩපාතිකවත යි.
37. පානීය, පරිභෝජනීය (උදක), අග්ගි, අරණි, නක්ඛත්ත, දිසා, (මේ) සියල්ල නැතැයි සොරු තළා යෑම, පත්තංස, චීවර,
38. අංසලග්ගන, තිමණ්ඩල, පරිමණ්ඩල, (ආදිය) පිණ්ඩචාරික වතෙහි මෙන් ආරණ්‍යකයන් කෙරෙහි ද වේ.
39. පත්තංස, සීසෙ චීවර ආරොපණ, පානීය පරිභෝජනීය (උදක) අග්ගි, අරණි කත්තරදණ්ඩ,
40. සියලු හෝ ඒකදේශ වූ හෝ නැකැත් පද ඉගෙනීම හා දිශාකුශලවීම ද ආරණ්‍යක වතැයි බුදුන් වහන්සේ විසින් පනවනලද්දේය.
41. (ඡබ්බග්ගිය භික්‍ෂූහු) අභ්‍යාවකාශයෙහි රජස් හෙළූහ. පෙසල මහණහු දොස් නඟත්, ඉදින් විහාරය කසළ සහිත වේ නම් පළමුව පාසිවුරු ද,
42. (ඉක්බිති) හිසි, බිම්බෝහන, ඇඳ, පුටු, ඛෙළමල්ල, අපස්සේන ඵලක ද (එකත් පසෙක තැබීම.) ආලෝකකණ්ණ, ගෙරුක, කාලවර්‍ණ කළ නො කළ (බිත්ති පිරිසුදු කිරීම.)
43. කසළ (බැහැර දැමීම) භික්ඛු - සේනාසන - විහාර - පානීයපරිභෝජනීය (ජලය) අසළ ද, පටිවාත, පඞ්ගණ යන තැන්හි සෙනසුන් ගසා නොදැමීම ද,
44. අධෝවාත, අත්‍ථරණ, පටිපාදක, මඤව, පීඨ, හිසි, නිසීදන, (ඛෙළ) මල්ලක, අපස්සේන ද,
45. පත්ත, චීවර, භූමි, පාරත්ත, ඔරභෝග ද, පුරත්‍ථිම, පච්ඡිම, උත්තර, දක්ඛිණ වාත ද,
46. සීත, උණ්හ, දිවා, රත්ති, පරිවෙණ, කොට්ඨක, උපට්ඨානසාලා, අග්ගිසාලා, වච්චකුටි, පානීය ද,
47. ආචමනකුම්භි, වුඩ්ඪ, උද්දේස, පරිපුච්ඡනා, සජ්ඣායනා, ධම්ම, පදීප, න විජඣාපන, න විවරණ, න ථකන ද,
48. වැඩිමහලු කෙනකුන් (සක්මන් කරන තැනින්) ආපසු හැරීම, සිවුරු කොනින් හෝ නො ගැටීම ද සෙනසුන්වතැයි මහා වීරයන් වහන්සේ පැනවූයේක.
49. වළකනුලබන්නාහු දොර (වසත්) භික්‍ෂූහු මූර්ඡිත වෙත්. පෙසල මහණෝ දොස්නගත්, ඡාරිකා, ජන්තාඝර, පරිහණ්ඩ ද එසේම
50. පරිවෙණ, කොට්ඨක, සාලා, චුණ්ණ, මත්තිකා, දොණි, මුඛ, පුරතො, න ථෙරෙ, න නවෙ, සචෙ උස්සහති (යනු ද,)
51. පුරතො, උපරි, මග්ග, චික්ඛල්ල, මත්තිකා, පීඨ, (දීප) විජ්ඣාපන, පක්කමන යන මොහු ජන්තාඝරවතයි.
52. ආචමන, යථාබුඩ්ඪ, පටිපාටී, සහසා (පවෙසන) උබ්භුජ්ජ, නිත්‍ථුනන, දන්තකට්ඨ, වච්ච, පස්සාව, ඛෙල (යන මොහු ද,)
53. ඵරුසකට්ඨ, වච්චකූප, සහසා, උබ්භුජ්ජ, චපුචපුකාරක, උදකසේස ද, බහි - අන්තො උක්කාසන, රජ්ජු හා අතරමාන ද,
54. සහසා, උබ්භුජජ්, නිත්‍ථුනන, (දන්ත) කට්ඨ, වච්ච, පස්සාව, ඛේළ, ඵරුසකට්ඨ, වච්චකූප, වච්චපාදුකා,
55. නාතිසහසා, උබ්භූජ්ජි, පාදුකා, චපුචපු, න උදකසෙස, පටිච්ඡාදන, ඌහන, පිඨර යන මෙයින් ද,
56. වච්චකුටී, පරිභණ්ඩ, පරිවෙණ, කොට්ඨක, ආචමන උදක යන මෙයින් ද වච්චකුටිවත වේ.
57. උපාහන, දන්තකට්ඨ, මුඛෝදක, ආසන, යාගු, උදක, ධෝවන, උද්ධරන, උක්ලාප, ගාම යනු ද,
58. නිවාසන, කායබන්‍ධන, සගුණ, සොදකපත්ත, පච්ඡා (සමණ) තිමණ්ඩල, පරිමණ්ඩල, කායබන්‍ධන,
59. සගුණ, ධෝවන, පච්ඡා (සමණ) නාතිදූර, පටිග්ගහණ යන මොහු ද, භණමාන, ආපත්ති, පළමුව ගොස් අසුන් පැනවීම,
60. උදක, පීඨ, කඨලි, පච්චුග්ගමන, නිවාසන, ඔතාප, නිදහන භඞ්ග, ඔභෝග, භුඤ්ජිතුකාම, උපනාමන,
61. පානීය, උදක, නීච, මුහුත්ත, න නිදහන, පත්ත, චීවර, භූමි, පාරන්ත, ඔරභෝග ද,
62. උද්ධරන, උක්ලාප, නහායිතුකාම, සීත, උණ්හ, ජන්තාඝර, චුණ්ණ, මත්තිකා, පිට්ඨිකොගමන ද,
63. පීඨ, චීවර, චුණ්ණ, මත්තිකා, සචෙ උස්සහති, මුඛ, පුරතො, ථේර, නවක, පරිකම්ම, නික්ඛමන ද,
64. පුරතො, උදක, නහාන, නිවාසන, උපජ්ඣාය, නිවාසන, සඞ්ඝාටි, පීඨක, ආසනයෙන් ද,
65. පාදොදක, පාදපීඨ, පාදකඨලික, පානීය, උද්දේස, පුච්ඡනා උක්ලාප (විහාර) සො ධන, පත්තචීවර ද,
66. නිසීදන, පච්චත්ථරණ, භිසි, බිම්බොහන, මඤ්ච. පීඨ, පටිපාද, මල්ලක, අපස්සේන ද,
67. භූම්ම, සන්තාන, ආලෝක, ගෙරුක, කාළවණ්ණකත හා අකත ද, භූම්මත්ථරණ, පටිපාද, මඤ්ච, පීඨ, බිම්බෝහන ද,
68. නිසීදන, අත්‍ථරණ, ඛෙළමල්ල, අපස්සේන, පත්නචීවර ද, පුරත්‍ථිම, පච්ඡිම, උත්තර දක්ඛිණ වාත ද,
69. සීත, උණ්හ, දිවා, රත්ති, පරිවෙණ, කොට්ඨක, උපට්ඨාන - අග්ගි සාලා ද, වච්ච, පානීය, පරිභෝජනීය ද,
70. ආචමන, අනභිරති, කුක්කුච්ච, දිට්ඨි, ගරුධම්ම, මූලායපටිකස්සන, මානනත, අබහාන ද, තප්පනීය, නියස්ස,
71. පබ්බජජා, පටිසාරණීය, උක්ඛේපනීය කර්‍ම ද, චීවර ධෝවන, සම්පරිවත්තක රජන ද,
72. පත්ත, චීවර, පරික්ඛාර, ඡේදන, පරිකම්ම, වෙය්‍යාවච්ච, පච්ඡාසමණ, පිණ්ඩපාත, ගාමප්පවේසන ද,
73. න සුසාන ගමන, න දිසාපක්කමන ද, යාවජීව උපට්ඨහන ද සද්ධිවිහාරික විසින් උපාධ්‍යායයන් කෙරෙහි පිළිපැදියයුතු වතයි.
74. ඕවාද, අනුසාසන, උද්දේස, පරිපුච්ඡා, පත්ත, චීවර, පරික්ඛාර, ගිලාන, න පච්ඡාසමණ වීම ද,
75. උපාධ්‍යායයන් කෙරෙහි යම් වතක් කියනලද ද, ආචාර්‍ය්‍යයන් කෙරෙහි දු එසේ මැ යි. සද්ධිවිහාරික කෙරෙහි කියනලද්ද අන්තේවාසික කෙරෙහි ද එසේ ම වේ.
76. ආගන්තුකයන් කෙරෙහි ද යළි ආවාසිකයන් කෙරෙහි ද යම් වතක් කියනලද ද ගමික, අනුමෝදනික, භත්තග්ග, පිණ්ඩපාතික (යන වත් ද,)
77. ආරඤ්ඤිකයන් කෙරෙහි හා සෙනසුන පිළිබඳ යම් වතක් කියනලද ද ජන්තාඝර, වච්චකුටි, උපජ්ඣාය, සද්ධිවිහාරික,
78. ආචරිය, අන්තේවාසික (යන විෂය පිළිබඳව) යම් වතක් කියනලද ද (මෙහි) එකුන්විසි වස්තුවෙකි. ඛන්‍ධකයෙහි වත් සොළසෙක් කියනලදහ.
79. වත් නො පුරන්නේ සිල් පිරීම නො කරයි. අපිරිසුදු සිල් ඇති නුනුවණින් යුත් තෙනැත්තේ සිතෙහි එකඟබව නො විඳියි.
80. එකඟ නො වූ විසුරුණු සිත් ඇත්තේ මොනොවට දහම් නො දකී. සදහම් නො දක්නේ දුකින් නො මිදෙයි.