Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 3101-3200 න් 3843

11. එ සමයෙහි වනාහි සවැගි මහණහු ගිනිහල්ගෙහි දී ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු ආදරගෞරව නැති බැවින් බොහෝ දර නංවා (ගොඩ ගසා) ගිනි දල්වා දොර වසා දොර කඩැ හිඳිත්. භික්‍ෂූහු උෂ්ණයෙන් බොහෝ සෙයින් තැවුණාහු දොර කඩ නො ලබන්නාහු මුසපත් වැ වැටෙත්. අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජී වූ කුකුස් කරන්නාවූ සික කැමැත්තා වූ යම් මහණ කෙනෙක් වෙත් ද , ඔහු “කෙසේ නම් සවැගි මහණහු ගිනිහල් ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු, අනාදර බව නිසා බොහෝ දර ගොඩ ගසා ගිනි දල්වා දොර වසා දොරකඩට වී ඉන්නාහු ද, භික්‍ෂූහු උෂ්ණයෙන් අධික වැ තැවුණාහු දොරකඩ නො ලබන්නාහු මුසපත් වැ වැටෙතැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, සවැගි, මහණහු ගිනිහල්ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු අනාදර බව නිසා බොහෝ දර ගොඩගසා ගිනි දල්වා දොර වසා දොරැ හිඳිත් ල. භික්‍ෂූහු උෂ්ණයෙන් අධික වැ තැවුණාහු දොර නො ලබන්නාහු (පිටත යෑමට දොර නාරින බැවින්) මුසපත් වැ ඇදවැටෙත් ල. ඒ සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“භාග්‍යවතුන් වහන්ස, සැබැවැ”යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා,
“මහණෙනි, ගිනිහල්ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන මහණහු විසින් අනාදර බව නිසා බොහෝ දර නංවා ගිනි නො දැල්වියැයුතු. යමෙක් ගිනි දල්වන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දොර වසා දොරැ නො හින්දැයුතු. යමෙක් ඉඳින්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක. (ඉක්බිති මෙසේ ද වදාළ සේක.):
12. “මහණෙනි, එසේ වී නම් භික්‍ෂූන් විසින් ගිනිහල්ගෙහි පැවතියයුතු පරිදි භික්‍ෂූනට ගිනිහල්ගෙහි වත පනවන්නෙමි”.
“යමෙක් පළමු කොට ගිනිහල්ගෙට යන්නේ ද, ඉදින් අළු ගොඩගැසී ඇත් නම් අළු බැහැර දමාලියයුතු. ඉදින් ගිනිහල්ගෙය කැළිකසළ සහිත වේ නම් එය හැමැන්දයුතු. ඉදින් පිල්කඩ කැලි කසළ සහිත වේ නම් එය හැමැන්දයුතු. ඉදින් පිරිවෙන (ගිනි හලත් පවුරත් අතරැ පෙදෙස) කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. ඉදින් දොර කොටුව කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. ගිනිහල්ගෙහි ශාලාව කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. නානසුණු දියෙන් තෙමා ගුලි කළයුතු නාන මැටි තෙමියයුතු. දිය ඔරුවෙහි දිය වත් කළයුතු. ගිනිහල්ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුව වකා (මුහුණේ මැටි ආලේප කොට) ඉදිරි පසින් ද පිටු පසින් ද වසාගෙන ගිනිහල්පුටුව ගෙන ගිනිහල්ගෙට පිවිසියැයුතු. ස්ථවිර භික්‍ෂූන් මැදට කඩා පැන නො හින්දැයුතු. නවක භික්‍ෂූහු ඔවුන් හුන් අස්නෙන් නො ම නෙරපියැයුතුහ. හැක්කේ නම්, ගිනිහල්ගෙහි දී ස්ථවිර භික්‍ෂූනට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරි පසින් ද පිටු පසින් ද වසාගෙන ගිනිහල් ගෙයින් නික්මියැයුතු. හැක්කේ නම්, දියෙහි ද ස්ථවිර භික්‍ෂූනට පිරියම් කළයුතු. ස්ථවිර භික්‍ෂූනට ඉදිරියේ (සිට) නො නෑයුතු. ස්ථවිර භික්‍ෂූනට මත්තෙහි (ඉහළින්) සිට නො නෑයුතු. නා ගොඩ නැගෙන්නහු විසින් දියට බස්නාවුනට මඟ හැරියයුතු. යමෙක් පසුවැ ගිනිහල්ගෙයින් නික්මේ ද ගිනිහල්ගෙය මඩ වී ඇතොත්, ඔහු විසින් එය සේදියැ යුතු. මැටි බහා ලන ඔරුව දෙවැ ගිනි හල් පුටුව තැන් පත් කොට තබා ගිනි නිවා දොර වසා නික්ම යෑ යුතු.
මහණෙනි, භික්‍ෂූන් විසින් ගිනිහල්ගෙහි යම්සේ පැවතියැයුතු ද, මේ ඒ භික්‍ෂූන්ගේ ගිනිහල්ගෙහි වත යි.
වැසිකිළි වත
13. එ සමයෙහි එක්තරා බ්‍රාහ්මණ ජාතික මහණෙක් මල පහ කොට ‘කවරෙක් නම්, දුගඳ වූ මෙ අශුචි අල්ලන්නේ දැ’යි කියා මල දොවන්නට නො කැමැති වෙයි. ඔහු ගේ මල මගැ කෘමිදෝෂය නැංගේ ය. එ කල ඒ මහණ (සෙසු) මහණුනට මෙ පවත් සැල කෙළේ ය.
“ඇවැත්නි, කිමෙක් ද? තෙපි මල පහ කොට නො සෝදවූ දැ”යි භික්‍ෂූහු විචාළහ.
“එසේ ය. ඇවැත්නි” යි ඒ මහණ කී ය.
අල්පෙච්ඡ වූ ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මහණ තෙම මල පහකොට මලමඟ නො සෝදන්නේ දැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණ, තෝ මල පහකොට (මල මඟ) නො සෝදහි ල. ඒ සැබෑ ද”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“වහන්ස, සැබවැ”යි ඒ මහණ කී ය ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා,
“මහණෙනි, මල පහකොට දිය ඇති කලැ නො ම නො සේදියැ යුතු. යමෙක් නො සෝදන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ”යි වදාළසේක.
14. එ සමයෙහි මහණහු වැසිකිළියෙහි වැඩිමහලු පිළිවෙළින් මල පහකෙරෙත්. නවක මහණහු වඩා පළමුවෙන් අවුත් වර්චසින් පීඩිත වැ (වාරය එන තුරු) බලාපොරොත්තු වෙත්. ඔහු වර්චස් වේගය උසුලන්නාහු මුසපත් වැ ඇදවැටෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි. සැබෑ දැ” යි අසා වදාළ සේක.
“සැබව, වහන්සැ” යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා,
“මහණෙනි, වැසිකිළියෙහි නො ම මහලු පිළිවෙළින් මල පහකළයුතු. යමෙක් එසේ කරන්නේ ද, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ආ පිළිවෙළින් මල පහකරන්නට අනුදනිමි”යි වදාළසේක.
15. එ සමයෙහි සවැගි මහණහු ඉතා වහා ද වැසිකිළියට වදිත්, සිවුර ඔසොවා ගෙන ද පිවිසෙත්. තතනමින් ද මල පහ කෙරෙත්. දැහැටි කමින් ද මල පහකෙරෙත්. වැසිකිළි ඔරුවෙන් පිටත්හි ද මල පහකෙරෙත්. මූත්‍ර ඔරුවෙන් පිටත්හි ද මූත්‍ර කෙරෙත්. මූත්‍ර ඔරුවෙහි ද කෙළ ගසත්. රළු කෝටුවෙකින් ද මලමඟ පිසදමත්. පුසන්දඩු ද වැසිකිළි වළෙහි හෙළත්, ඉතා වහා ද නික්මෙත්. සිවුර ඔසොවා ද නික්මෙත්. ‘චපු චපු’ යන හඬ නිකුත් කෙරෙමින් ද මලමඟ සෝදත්. මල සෝදන්නට. දිය ගන්නා බඳුනෙහි ද ජලය ඉතිරි කෙරෙත්. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජි වූ කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී යම් මහණ , කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් සවැගි මහණහු ඉතා ඉක්මනින් වැසිකිළියට වදින්නාහු ද ... මල සේදීමට දිය ගන්නා බඳුනෙහිත් දිය ඉතිරි කරන්නාහු දැ”යි ලාමක කොට සිතත් නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්:
ඉක්බිත්තෙන් ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
“මහණෙනි,... සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“සැබව භාග්‍යවතුන් වහන්සැ”යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක.
“මහණෙනි, එසේ වී නම්, භික්‍ෂූන් වැසිකිළියෙහි පැවතියැ යුතු පරිදි වැසිකිළි වත පනවන්නෙමි:
යමෙක් වැසිකිළියට යන්නේ ද ඔහු විසින් පිටතැ සිටැ කැස්ස යුතු. ඇතුළතැ උන්නහු විදිනුදු කැස්සයුතු. සිවුරුවසැ හෝ සිවුරුරැහැනැ හෝ සිවුර තබා මොනොවට යුහුසුලු නො වැ වැසිකිළියට පිවිසියැයුතු. ඉතා වහා නො පිවිසියැයුතු. සිවුර ඔසොවාගෙන නො පිවිසියැයුතු. වැසිකිළි පාදුකායෙහි සිට සිවුර එසවියැයුතු. නො තතනමින් මල පහකළයුතු. දැහැටි කමින් මල නො පහකළයුතු. වර්චස් ඔරුවෙන් පිටතැ වසුරු නො පහයකළයුතු. මූත්‍ර ඔරුවෙන් පිටතැ මූත්‍ර නො කළයුතු. මූත්‍ර ඔරුවෙහි කෙළ නො ගැසියැයුතු. රළු කෝටුවෙකින් මල නො සීරියයුතු. පුසන්දඬු වැසිකිළි වළැ නො ම දැමියැ යුතු. වැසිකිළි පාදුකායෙහි සිට ඇඟ වසාගතයුතු. ඉතා යුහු ව නො නික්මියයුතු. සිවුරු ඔසොවාගෙන නො නික්මියයුතු. මල සෝදා හරින පාදුකායෙහි සිට කය සිවුරින් වසාගතයුතු. චපු චපු යන හඬ නිකුත් කරමින් මල නො සේදියයුතු. මල සෝදනුවට දිය ගන්නා බඳුනෙහි ජලය ඉතිරි නො කළයුතු. ආචමනපාදුකායෙහි{1} සිට ගත්තහු විසින් ඇඟ වසාගතයුතු. ඉදින් වැසිකිළිය අපිරිසුදු කරන ලද නම් සේදියයුතු. ඉදින් පුසන්කූරු දමන බඳුන පිරුණේ වී නම් පුසන්කූරු ඉවත ලියයුතු. වැසිකිළිය කැලික සළ සහිත වී නම් එය හැමැන්ද යුතු. ඉදින් පිල්කඩ කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් පිරිවෙන (වැසිකිළිය වටා බිම) කැලි කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් කොටුව කැලි කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ආචමනකුමහියෙහි{2} දිය නැත් නම් එහි දිය වත්කළයුතු.
මහණෙනි, මේ වනාහි භික්‍ෂූන් විසින් වැසිකිළියෙහි පැවතියැ යුතු පරිදි වූ භික්‍ෂූන්ගේ වැසිකිළි වත යි”.
උපාධ්‍යාය වත්
16. එ සමයෙහි සද්ධිවිහාරික මහණහු උපාධ්‍යාය තෙරුන් කෙරෙහි මනා වැ නො පවතිත්. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද... ඔහු “කෙසේ නම් සද්ධිවිහාරික මහණහු උපාධ්‍යායයන් කෙරෙහි මනා ව නො පවත්නහු දැ”යි පහත් කොට සිතත්, දොස් නගත්, අගුණ පතුරුවත්.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, සද්ධිවිහාරික භික්‍ෂූහු උපාධ්‍යායයන් කෙරෙහි මනා කොට නො පවතිත් ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“සැබව භාග්‍යවතුන් වහන්සැ”යි භික්‍ෂූහු කීහ.
“මහණෙනි, සද්ධිවිහාරිකයෝ ... කෙසේ නම් උපාධ්‍යායයන් කෙරෙහි මනා කොට නො පිළිපදින්නාහු ද, මහණෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස ද පහන්වූවන්ගේ පැහැදීම වැඩි වීම පිණිස ද නො වන්නේ ය. වැලි දු එය නො පහන්වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ ද එක්තරා කෙනකුගේ වෙනස් බව පිණිස ද වන්නේ යැ”යි වෙසෙසින් ගැරැහූ සේක. වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක:
“මහණෙනි, එසේ වී නම් යම්සේ සද්ධිවිහාරිකයන් විසින් උපාධ්‍යායයන් කෙරෙහි පැවතියයුතු ද එසේ සද්ධිවිහාරිකයනට උපාධ්‍යායයන් කෙරෙහි පවත්නා ලෙසට වත් පනවන්නෙමි”.
“මහණෙනි, සද්ධිවිහාරිකයා විසින් උපාධ්‍යායයන් කෙරෙහි මනාව පැවතියැයුතු. මේ ඒ මනා පැවැත්ම යැ:
කලින් ම නැඟී සිට වහන් මුදා තනිපට සිවුර එකස් කොට පෙරෙවගෙන උපාධ්‍යායයාට දැහැටි දියැයුතු. මුවදෝනා ජලය දියහැයුතු. අසුන් පැනවියැයුතු. කැඳ ඇත් නම් කැඳ එළවියැයුතු. කැඳ පූවාහට පැන් දි බඳුන පිළිගෙන පහත් කොට කිසිවෙක දු නො ගටමින් දෙවැ තැන් පත් කළයුතු. උපාධ්‍යායයා , නැගී සිටි කලැ අස්න ඉදිරියැයුතු.
ඒ තැන කැලිකුණු ගැසී ඇත් නම් හැමැන්දයුතු. උපාධ්‍යායයා ගම්වදිනු කැමැත්තේ වේ නම්, හඳනය දියැයුතු. පෙරළා දුන් හඳනය පිළිගතයුතු. කාබහන දියැයුතු. සගුණ කොට සඟළ සිවුරු දියැයුතු. පාත්‍රය සෝදා දිය සහිත ව (නො පිසදමා) දියැ යුතු. උපාධ්‍යාය තෙම පසුමහණකු කැමැත්තේ නම්, තිමඬුලු වසා පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙවැ ගැට වටු ගන්වා, ඉක්බිති පාත්‍රය සෝදා රැගෙන උපාධ්‍යායයාගේ පසුමහණකු වියැයුතු. ඉතා ඈත්හි නො යායුතු. ඉතා ළඟ නො යායුතු. පාත්‍රය ඇතුළත වූ දෑ පිළිගතයුතු.
උපාධ්‍යායයා කථා කරද්දී අතරතුර කථා නො හෙළියැයුතු. උපාධ්‍යායය තෙම ඇවතකට සමීප වැ කථා කරන්නේ වී නම්, එය වැළැක්වියැයුතු. (ගමින්) පෙරැළා එන්නාහු විසින් වඩා පළමු ව අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය පාපුටුව පාදකඨලිකාව ළං කොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පෙරැළූ හඳනය දියැයුතු. හඳනය පිළිගතයුතු. සිවුර (ඩහදියෙන්) තෙත් වී නම්, මොහොතක් අව්වේ වියලියැයුතු. සිවුර (වැඩිවේලාවක්) අව්වේ දමා තිබියයුතු නො වේ. සිවුර හැකිළියැයුතු. සිවුර හකුළන්නහු විසින් සිවුර මැද බිඳීමෙක් නො වේවා යි අදහස ඇති ව සිවුරු කොන අඟල් සතරක් උඩට ඇද හැකිළියැයුතු. කාබහන සිවුරු නැම්ම තුළ තැබියැයුතු.
17. ඉදින් පිණ්ඩභෝජනය තිබේ උපාධ්‍යායයාත් වළඳනු කැමැති වේ ද, පැන් පිළිගන්වා පිණ්ඩභෝජනය එළවියැයුතු. උපාධ්‍යායය තෙම පැනින් විචාළයුතු. වළඳා අවසන් කළ උපාධ්‍යායයාට පැන් පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට (කිසිවෙක ද) නො ගටමින් මොනොවට සෝදා දිය පිස දමා මොහොතක් කල් උෂ්ණයෙහි (අව්වේ) රත් කළයුතු. උෂ්ණයෙහි පාත්‍රය. (වැඩි වේලා) තැබියැයුතු නො වේ. පාසිවුරු තැබියැයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳයට හෝ පුටුව යට පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිත් නො අතුළ බිමෙහි පාත්‍රය නො ම තැබියැයුතු.
සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුර වනන උණලීය හෝ සිවුර වනන ලනුව පිස දමා සිවුරු කෙළවර එහා පැත්තට ද සිවුරුනැම්ම මෙහා පැත්තට ද කොට සිවුර තැබියැයුතු.
උපාධ්‍යායයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. පා දෝනා දිය ද පා පුටුව ද පා තබන ලෑලි කඩ ද සුරැකි කොට තැබියැයුතු. ඒ පෙදෙස කුණු සහිත වේ නම් එය ඇමැන්දයුතු.
ඉදින් උපාධ්‍යාය තෙම නානු කැමැති වේ නම්, නාන දිය පිළියෙළ කළයුතු. සිසිල් දිය වුව මනා වී නම් සිසිල් දිය පිළියෙළ කළයුතු. උණු දිය වුව මනා වී නම් උණු දිය පිළියෙළ කළයුතු. උපාධ්‍යාය තෙම ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ නම්, (ඇඟ ගානා) සුණු සිනිඳු කළයුතු. ඇඟැ ගානා මැටි තෙමියයුතු. ගිනිහල් පුටුව ගෙන උපාධ්‍යායයා පිටුපසින් ගොස් ගිනිහල් පුටුව දී සිවුර පිළිගෙන එක් පසෙක තැබියැයුතු. ඇඟ මදිනා සුණු දියැ යුතු. ඇඟැ ගාන මැටි දියැයුතු. හැක්කේ නම් ගිනිහල් ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුහුණ වකා ඉදිරි පසින් ද පිටු පසින් ද කය වසා ගිනිහල් ගෙට පිවිසියයුතු.
ස්ථවිර භික්‍ෂූන් ගටා අතරට පැන නො හින්දයුතු. නවක මහණහු උනස්නෙන් බැහැර නො කළයුතුහ. ගිනිහල් ගෙහි දී උපාධ්‍යාය තෙරහට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටුපසින් ද කය වසාගෙන ගිනිහල්ගෙන් නික්මියැයුතු. දියෙහි ද උපාධ්‍යායයාට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් දියෙන් නැඟ තමාගේ සිරුර දිය ඉවත් කොට හැඳ පෙරෙව උපාධ්‍යායයාගේ සිරුරෙන් දිය පිස දැමියයුතු. හඳනය දියයුතු. සඟළ සිවුර දියැයුතු. ගිනිහල්පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනැවියයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාදකඨලිකාව ද ළං කොට තැබියයුතු. උපාධ්‍යායයා පැනින් විචාළයුතු.
18. ඉදින් උදෙසවනු කැමැති (හදාරවනු කැමැති) වේ නම්, උදෙසැවියයුතු. ඉදින් පුන පුනා විචාළයුතු නම්, පුනා පුනා විචාළයුතු. යම් වෙහෙරෙක උපාධ්‍යායයා වෙසේ ද ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වේ නම්, ඉදින් හැකි නම් ශුද්ධ කළ යුතු. විහාරය ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පා සිවුරු මෑත් කොට පසෙක තැබියැයුතු. නිසීදනය ද පසතුරුණු ද මෑත් කොට පසෙක තැබියැයුතු. බිසි ද කොට්ට ද බැහැර කොට පසෙක තැබියයුතු. ඇඳ පහත් කොට කිසිවෙක නොගාවා නො ගටා බැහැර කොට පසෙක තැබියයුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවා නො ගටා මොනොවට බැහැර කොට පසෙක තැබියැයුතු. කපාටපෘෂ්ඨය (දොරපළු පිට) පහත් කොට කිසිවෙක නො ගාවා නො ගටා මොනොවට බැහැර කොට පසෙක තැබිය යුතු. ඇඳපා බැහැර කොට පසෙක තැබියැයුතු. කෙළමලාව බැහැර කොට පසෙක තැබියයුතු. හේත්තුවන පුවරුව බැහැර කොට පසෙක තැබියැයුතු. බුමුතුරුණ පනවන ලද පරිදි සලකා බැහැර කොට පසෙක තැබියැයුතු.
ඉදින් වෙහෙරෙහි මකුළු දැල් වේ ද, උඩ සිට පළමුවෙන් පහතට ඉවත් කළයුතු. වාබෝනයන්හි කවුළු (දොරපළු) ද, කර්ණභාගයෝ (ගැබෙහි මුලු සතර) ද පිස දැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කරන ලද බිත්තිය කුණින් වැකුණේ වේ නම් රෙදිකඩක් තෙමා මිරිකා මැද්ද යුතු. ඉදින් කළුපැහැ කරන ලද බිම කුණින් වැකුණේ වේ නම් රෙදි කඩක් තෙමා මිරිකා මැද්දයුතු. ඉදින් කිසිදු පිරියමක් නො කළ බිමෙක් වේ නම්, විහාරය දූලියෙන් නොවැකෙවයි සලකා දිය ඉස ඉස ඇමැද්දයුතු. කසළ රැස් කොට එක් පසෙකැ දැමියැයුතු.
බුමුතුරුණු වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදි ම පැනැවියයුතු. ඇඳ පා අලු වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු. ඇඳ වියලා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාකොට ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනැවියැයුතු. පුටුව වියලා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාමින් නො ගටමින් මනාකොට ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනැවියැයු. කපාටපෘෂ්ඨය (දොර පළු පිට) වියලා ශුද්ධ කොට පපොළා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු. බිසි ද කොට්ට ද වියලා ශුද්ධ කොට පපොළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. නිසීදනය ද පසතුරුණු ද වියලා ශුද්ධ කොට පපොළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. කෙළමලාව වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියයුතු. හේත්තු වන පුවරුව වියලා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තන්හි ම තැබියැයුතු.
19. පා සිවුරු බහා තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබියයුතු. කිසිත් නො අතුරන ලද බිමැ පාත්‍රය නො ම තැබියයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුර දමන උණලීය හෝ සිවුරු රැහැන පිසදමා සිවුර කෙළවර ඈත් කොට ද සිවුරු නැම්ම මෑත් කොට ද සිවුර තැබියයුතු.
ඉදින් පෙරදිගට අයත් රජස් සහිත සුළං හමා නම් පෙර දිගැ වූ වාතපානයෝ වැසියයුත්තාහ. පැසිම් දිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගට අයත් වාතපානයෙන් වැසියයුත්තාහ. උතුරුදිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම්, උතුරුදිගැ වාතපානයෝ වැසියයුත්තාහ. දකුණු දිගට අයත් රජස් සහිත වාතයෝ හමත් නම් දකුණු දිග වාතපානයෝ වැසිය යුත්තාහ.
ඉදින් ශීත කාලය වේ නම්, දාවල් වාතපානයෙන් ඇර තැබිය යුත්තාහ. රාත්‍රියෙහි වසා තැබියයුත්තාහ. ඉදින් උෂ්ණ කාලය වේ නම්, වාතපානයෝ දහවල් වැසියයුත්තාහ. රාත්‍රියෙහි ඇර තැබිය යුත්තාහ.
ඉදින් පිරිවෙණ කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් දොරටුව කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කුණු කසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල් ගෙය කුණුරොඩු සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් වැසිකිළිය කුණුරොඩු සහිත වී නම් එය හැමැන්දයුතු.
ඉදින් පැන් නො වී නම් පැන් එළවා තැබියයුතු. ඉදින් පරිභෝග ජලය නො වේ නම් එය එළවා තැබියැයුතු. ඉදින් ආචමනකුම්භියෙහි ජලය නො වේ නම් එහි දිය වත්කළයුතු.
20. ඉදින් උපාධ්‍යායයාට පැවිද්දෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, සද්ධිවිහාරික මහණහු විසින් සන්හිඳුවියයුතු. අනුන් ලවා හෝ සන්හිඳුවවියැයුතු. ඔහුට බණ හෝ කියැයුතු. ඉදින් උපාධ්‍යායයාට කුකුසෙක් උපන්නේ වී නම්, එය සද්ධිවිහාරිකයා විසින් දුරැ ලියැයුතු. අනුන් ලවා හෝ දුරැලැවියැයුතු. ඔහුට බණ කියැයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායාට මිසදිටෙක් උපන්නේ නම් සද්ධිවිහාරිකයා විසින් එය බැහැරලියැයුතු. අනුන් ලවා හෝ බැහැරැ ලැවියුතු. ඔහුට බණ කියැයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යාය තෙම පිරිවෙසට සුදුසු ගරු ඇවතකට පැමිණියේ වී නම්, ‘කෙසේ නම් සඞ්ග තෙමේ උපාධ්‍යායයාට පිරිවෙස දෙන්නේ දැ’යි (පිරිවෙස් දෙවීම පිණිස) සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු වෙයි.
ඉදින් උපාධ්‍යායයා මූලායපටිකස්සනය ලබනුවට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට මූලායපටිකස්සනය කරන්නේ වේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු වේ. ඉදින් උපාධ්‍යාය තෙම මානතට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට මානත දෙන්නේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු. ඉදින් උපාධ්‍යාය තෙම අබ්භානයට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයා අබ්භානය කරන්නේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කළයුතු. ඉදින් සංඝයා උපාධ්‍යායයාට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරනු කැමැත්තේ වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ උපාධ්‍යායයාට ඒ කර්‍මය නො කරන්නේ හෝ ඒ කර්‍මය හෑල්ලු බවට පෙරළන්නේ හෝ වේ දැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සුක බවට පැමිණියයුතු. ඉදින් ඔහුට සංඝයා විසින් තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍ම හෝ කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් උපාධ්‍යාය තෙමේ (විනය නීති අනුව) , මනා ව පවතින්නේ ද භික්‍ෂූනට අනුලොම් ව පවතින්නේ ද, නිස්තරණයට හේතු වූ වත්හි පවත්නේ ද, සංඝ තෙමේ ඒ කර්‍මය සන්හිඳුවන්නේ දැ’යි සද්ධිවිහාරික මහණහු විසින් උත්සුක බව කළයුතු.
21. ඉදින් උපාධ්‍යායාගේ සිවුරු සේදියැ යුතු වී නම් සද්ධිවිහාරිකයා විසින් එය සේදියැ යුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායාගේ සිවුරු සෝදනු ලබන්නේ දැ’යි උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායයාට සිවුරක් කළයුතු වී නම් සද්ධිවිහාරිකයා විසින් එය කළයුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායයාට සිවුරු කරනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට රඳන් පිසියැයුතු (පඬු උණු කළයුතු) වී නම්, සද්ධිවිහාරිකයා විසින් එය පිසියැයුතු. ‘කෙසේ නම් උපාධ්‍යායයාට රඳන් පිසිනු ලබන්නේ දැ’යි උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් උපාධ්‍යායයාගේ සිවුරු පඬු පෙවියැයුතු වී නම්, සද්ධිවිහාරිකයා විසින් එය කළ යුතු වෙයි. ‘කෙසේ නම් උපාධ්‍යායයාගේ සිවුරු පඬු පොවනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළයුතු. සිවුරු පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවියැයුතු. පඬු බින්‍දු නො සුන් කල්හි (සිවුර වියැලෙන්නට පෙර) ඉවත නො යායුතු.
උපාධ්‍යායයා නො විචාරා අනෙකකුට පාත්‍රය නො දියැයුතු. අනෙකකුගේ පාත්‍රය නො පිළිගතයුතු. අනෙකකුට සිවුරක් නො දියැයුතු. අනෙකකුගේ සිවුරක් නො පිළිගතයුතු. අනෙකකුට පිරිකර නො දියැ යුතු. අනෙකකුගේ පිරිකරෙක් නො පිළිගතයුතු. අනෙකකුගේ කෙස් නොසිඳියැ යුතු. අනෙකකු ලවා තමාගේ කෙස් නො සින්ද වියැයුතු. අනෙකකුට (අත් පා මිරිකීම් ආදි) පිරියම් නො කළයුතු. අනෙකකු ලවා පිරියම් නො කරවා ගතයුතු. අනෙකකුට වතාවත් නො කළයුතු. අනෙකකු ලවා වතාවත් නො කරවාගත යුතු. අනෙකකුගේ පසු මහණකු නො වියැයුතු. අනෙකකු පසු මහණකු කොට නො ගතයුතු. අනෙකකුට පිණ්ඩපාතය නො ගෙන යායුතු. අනෙකකු ලවා පිණ්ඩපාතය නො ම ගෙන්වාගතයුතු වෙයි.
උපාධ්‍යායයා නො විචාරා ගම් නො වැදියැයුතු. සොහොනට නො යායුතු. දිසා (ඈතකට) නො යායුතු. උපාධ්‍යායයා ගිලන් වී නම්, දිවි ඇති තාක් උවටන් කළයුතු. ඔහු ගිලන් බැවින් නැඟී සිටීම අපේක්‍ෂා කළයුතු.
“මහණෙනි, මේ වනාහි උපාධ්‍යායයන් කෙරෙහි සද්ධිවිහාරිකයන් විසින් යම් සේ පැවතියැයුතු ද, ඒ උපාධ්‍යායයන් කෙරෙහි සද්ධිවිහාරිකයන්ගේ වත යි”.
සද්ධිවිහාරික වත
22. එ සමයෙහි වනාහි උපාධ්‍යායයෝ සද්ධිවිහාරිකයන් කෙරෙහි මනා ව නො පවතිත්. අපිස් සතොස් ගුණ ඇති ලජ්ජි වූ මඳ වරදෙහි ද කුකුස් කරන, සිඛ කැමැති යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් උපාධ්‍යායයෝ සද්ධිවිහාරික මහණුන් කෙරෙහි මනා ව නො පවතිත් දැ’යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
ඉක්බිති එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, උපාධ්‍යායයෙන් සද්ධිවිහාරිකයන් කෙරෙහි මනා ව නො පවතිත් ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“සැබැවැ වහන්සැ,”යි භික්‍ෂූහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... වෙසෙසින් ගරහා දැහැමි කථා,කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ වී නම්, උපාධ්‍යායයන් විසින් සද්ධිවිහාරිකයන් කෙරෙහි යම් සේ පැවතියැයුතු ද, එසේ උපාධ්‍යායනට සද්ධිවිහාරිකයන් කෙරෙහි වත් පනවන්නෙමි.”
“මහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මැනවින් පැවතියැයුතු. එහි මේ ඒ මනා පැවැත්ම ය:
මහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරික තෙම උදෙසීමෙන් (පෙළදහම්, කියැවීමෙන්) ද නැවත නැවත විචාරීමෙන් ද අවවාදයෙන් ද අනුශාසනයෙන් ද සංග්‍රහ කළයුතු අනුග්‍රහ කළ යුතු. ඉදින් උපාධ්‍යායයාගේ පාත්‍රයෙක් වේ ද, (ඒ අතර) සද්ධිවිහාරිකයාට පාත්‍රයෙක් නැද්ද, උපාධ්‍යායා විසින් සද්ධිවිහාරිකයාට පාත්‍රය දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට පාත්‍රයෙක් උපදනේ දැ’ යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට සිවුරෙක් වේ ද, සද්ධිවිහාරිකයාට සිවුරෙක් නො වේ ද, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට සිවුර දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට සිවුරක් උපදයෙන් දැ’ යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට පිරිකරෙක් වේ ද, සද්ධිවිහාරිකයාට පිරිකරෙක් නො වේ ද, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට පිරිකර දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට පිරිකර උපදනේ දැ’ යි උත්සුක බව හෝ කළයුතු.
23. ඉදින් සද්ධිවිහාරිකයා ගිලන් වේ නම්, කලින් ම නැඟී සිට දැවටු දියැයුතු. මුව දෝනා පැන් දියැයුතු. අසුන් පැනවියැ යුතු. ඉදින් කැඳ ඇත් නම් බඳුනක් දෙවැ කැඳ එළවියැයුතු. කැඳ පූවාහට පැන් දී බඳුන පිළිගෙන පහත් කොට මනාව කිසිවෙක නො ගාවමින් සෝදා සුරැකි කොට තැබියැයුතු. සද්ධිවිහාරිකයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. ඉදින් ඒ පෙදෙස කුණුරොඩු සහිත වී නම් එය ඇමැන්දැයුතු.
ඉදින් සද්ධිවිහාරිකයා ගමට යනු කැමැත්තේ වී නම් හඳනය දියැයුතු. පිළිහඳනය (පෙරැළු හඳනය) පිළිගතයුතු. කාබාන දියැ යුතු. සගුණ කොට සඟළ සිවුරු දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. මෙතෙක් වේලාවෙකින් පෙරළා එන්නේ යැ යි සලකා අසුන් පැනවියැයුතු. පා දෝනා දිය, පාපුටුව, පාකටැලිය ළංකොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පෙරැළු හඳනය දියැයුතු. හඳනය පිළිගතයුතු. ඉදින් සිවුර ඩහදිය වැකුණේ වී නම් මොහොතක් අව්වේ වියැලියැයුතු. සිවුර අව්වේ බොහෝ වේලා නො තැවියැයුතු. සිවුර හැකිළියැ යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුර මැද බිඳීමෙක් නො වේව’ යි සලකා සිවුරු කෙළවර සතරඟුලක් උඩට ඇද සිවුර ඇකිළියැයුතු.
ඉදින් පිණ්ඩපාතය වේ නම්, සද්ධිවිහාරිකයාත් වළඳනු කැමැත්තේ වේ නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළැවියැයුතු. සද්ධිවිහාරික තෙම පැනින් විචාළයුතු. වැළඳුවාහට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට මනා කොට, කිසිවෙකත් නො ගාමින් සෝදා, දිය සිඳුවා, මොහොතක් අව්වේ වියලියැයුතු. පාත්‍රය උෂ්ණයෙහි බොහෝ වේලා නො තැබියැයුතු. පාසිවුරු තැබියැ යුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනිත් අතින් ඇඳ යට හෝ පුටුව යට පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිත් නො අතුළ බිමැ පාත්‍රය. නො ම තැබියයුතු.
සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුරුවස හෝ සිවුරු රැහැන පිස දමා කෙළවර ඈතින් ද නැම්ම මෑතින් ද කොට සිවුර තැබියයුතු. සද්ධිවිහාරිකයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. පාදෝනා දිය පාපුටුව පාකටැලිය සුරැකි කොට තැබියයුතු. එ තැන හැඩි වී තිබේ නම් හැමැන්දැ යුතු.
24. ඉදින් සද්ධිවිහාරික තෙම නානු කැමැත්තේ වී නම්, නාන දිය පිළියෙළ කැරැ දියැයුතු. ඉදින් සිසිල් දියෙන් වැඩෙක් වේ නම් සිසිල් දිය පිළියෙළ කළයුතු. උණු දියෙන් වැඩෙක් වේ නම් උණු දිය පිළියෙළ කළයුතු. සද්ධිවිහාරික තෙම ගිනිහල් ගෙට වදිනු කැමැති නම්, නාන සුණු ඇනියයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ගොස් දී සිවුරු පිළිගෙන පැත්තෙක තැබියැ යුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ නම් ගිනිහලට පිවිසියැයුතු. ගිනිහලට වදනහු විසින් මැටියෙන් මුහුණ වකා (මැටි මුහුණේ තවරා) ඉදිරි පසින් ද පිටු පසින් ද වසා ගෙන ගිනිහල් ගෙට පිවිසියැයුතු.
ස්ථවිර භික්‍ෂූන් හා ගැටී නො හින්දැයුතු. නවක මහණහු අස්නෙන් නො පිළිබැහියැයුතු. ගිනිහල්ගෙහි දි සද්ධිවිහාරිකයාට පිරියම් කළයුතු. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටු පසින් ද වසා ගෙන එයින් නික්මියැ යුතු. දියෙහි ද සද්ධිවිහාරිකයාට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් ගොඩ නැඟී සිය ගත දිය පිසදමා හඳනය හැඳ සද්ධිවිහාරිකයාගේ සිරුරින් දිය පිස දැමියැයුතු. හඳනය දියැයුතු. සඟළ සිවුර දියයුතු. ගිනිහල් පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය පාපුටුව පාකටදැලිය ළං කොට තැබියැයුතු. සද්ධිවිහාරිකයා පැනින් විචාළයුතු.
සධිවිහාරිකයා යම් වෙහෙරෙකැ වෙසේ ද, ඒ වෙහෙර හැඩි වී තිබේ නම්, හැකි නම්, ශුද්ධ කළයුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පා සිවුරු බැහැර කොට එක් පැත්තෙක තැබියැයුතු ... ආචමනකුම්භියෙහි ජලය නැත් නම්, එහි ජලය වත්කළයුතු. සද්ධිවිහාරිකයාට පැවිද්දෙහි නො ඇල්මක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය සන්හිඳුවියැයුතු. අනුන් ලවා හෝ සන්හිඳුවියැයුතු. බණ හෝ කියැයුතු. ඉදින් සද්ධිවිහාරිකයාට කුකුසෙක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය දුරැ ලියැ යුතු. දුරැලැවියැයුතු හෝ වෙයි. බණ හෝ කියැයුතු. සද්ධිවිහාරිකයාට මිසදිටෙක් උපන්නේ වී නම්, උපාධ්‍යායයා විසින් එය විවේචනය කළයුතු. අනුන් ලවා හෝ විවේචනය කැරැවියැයුතු. ඔහුට බණ හෝ කියැයුතු.
25. ඉදින් සද්ධිවිහාරික තෙම ගරු ඇවැතකට පැමිණියේ පිරිවෙසට සුදුසු වේ නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාට පිරිවෙස දෙන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු යි. ඉදින් සද්ධිවිහාරික තෙම මූලායපටිකස්සනයට සුදුසු වේ නම්, උපාධ්‍යායයා විසින් ‘කෙසේ නම් සඞ්ග තෙමේ සද්ධිවිහාරිකයාට මූලායපටිකස්සනය කරන්නේ දැ’ යි උත්සාහ කළයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම මානත ලබන්නට සුදුසු වී නම්, ‘කෙසේ නම් සද්ධිවිහාරික තෙමේ මානත ලබන්නේ දැ’ යි උපාධ්‍යායා විසින් උත්සාහ කළයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම අබ්භානයට සුදුසු වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයා අබ්භානය කරන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු.
ඉදින් සඞ්ඝයා සද්ධිවිහාරිකයාට තර්‍ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරනු කැමති වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ සද්ධිවිහාරිකයාට ඒ කර්‍මය නො කරන්නේ ද යි, ඒ කර්‍මය හෑල්ලු බවට පිරිනමන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු ය. ඉදින් ඔහුට තර්‍ජනීයකර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛේපනීය කර්‍මය හෝ කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් සද්ධිවිහාරික තෙම මනා ව පවත්නේ ද සඞ්ඝයාට අනුලොම් ව පවත්නේ ද නිස්තරණය පිණිස පවත්නේ ද සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සන්හිඳුවන්නේ ද’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළ යුතු.
ඉදින් සද්ධිවිහාරිකයාගේ සිවුර සේදියයුතු නම්, ‘මෙසේ සෝදන්නැ’ යි උපාධ්‍යායයා විසින් කියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාගේ සිවුර සෝදනු ලබන්නේ දැ’යි උත්සාහ හෝ කළ යුතු. ඉදින් සද්ධිවිහාරිකයාට සිවුරක් කළයුතු නම්, ‘මෙසේ කළ යුතු යැ’ යි උපාධ්‍යායයා විසින් කියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට සිවුර කරනු ලබන්නේ දැ’ යි උත්සාහ හෝ කළ යුතු. ඉදින් සද්ධිවිහාරිකයාට රඳන් පිසියැයුතු නම්, ‘මෙසේ පිසන්නැ’යි උපාධ්‍යායයා විසින් කියයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට රඳන් පිසිනු ලබන්නේ දැ’ යි උපාධ්‍යායයා විසින් උත්සාහ කළයුතු හෝ වෙයි. ඉදින් සද්ධිවිහාරිකයාගේ සිවුර පඬු පෙවියැ යුතු නම්, ‘මෙසේ පඬු පොවන්නැ’ යි උපාධ්‍යායයා විසින් කිය යුතු ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාගේ සිවුර පඬු පොවනු ලබන්නේ දැ’ යි උත්සාහ කළයුතු හෝ වෙයි. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මනා කොට සිවුර පඬු පෙවියැයුතු. පඬු බින්‍දු නො සිඳු කල්හි නො ම නික්මියැයුතු. ඉදින් සද්ධිවිහාරික තෙම ගිලන් වේ නම් යව් දිව් උවටන් කළයුතු. ඔහු ගිලන් බැවින් නැගී සිටීම බලාපොරොත්තු වියයුතු:
මහණෙනි, යම්සේ උපාධ්‍යායයන් විසින් සද්ධිවිහාරිකයන් කෙරෙහි පැවැතියැ යුතු ද මේ ඒ සද්ධිවිහාරිකයන් කෙරෙහි උපාධ්‍යායයන්ගේ වත යි.
දෙවෙනි බණවර නිමියේ යි.
ඇදුරු වත්
26. එ සමයෙහි වනාහි අතැවැසියෝ ඇදුරන් කෙරෙහි මනා වැ නො පවතිත්. අපිස් සතොස් ගුණ ඇති ලජ්ජි වූ කුකුස් කරන ශික්‍ෂාකාමී යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් අතැවැසියෝ ඇදුරන් කෙරෙහි මනා ව නො පවත්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නින්‍දා කරත්, නො ගුණ පතුරුවත්, ඉක්බිත්තෙන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, අතැවැසි මහණහු ඇදුරු මහණුන් කෙරෙහි මොනොවට නො පවතිත් ල. ඒ සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක. “සැබැව, වහන්සැ” යි භික්‍ෂූහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කතා කොට, භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ වී නම් අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි යම්සේ පැවතියැයුතු ද එසේ අතැවැස්සනට ඇදුරුවත පනවන්නෙමි” යි වදාරා පහත දැක්වෙන පරිදි ඇදුරුවත පැනවූ සේක.
“මහණෙනි, අතැවැස්සා විසින් ඇදුරා කෙරෙහි මනාවැ පැවතියැ යුතු. එහි මේ මනා පැවැත්ම යි:
කලින් ම නැඟී සිට වහන් මුදා උතුරුසඟ එකස් කොට ගෙන දැවටු දියැයුතු. මුවදෝනා ජලය දියැයුතු. අසුන් පැනවියැයුතු. ඉදින් හුළුකැන් ඇත් නම්, බඳුනක් දෙවැ හුළුකැන් එළවියැයුතු. හුළුකැන් පූවාහට පැන් පිළිගන්වා බඳුන පිළිගෙන පහත් කොට කිසිවෙක ද නො ගාවමින් මොනොවට දෙවැ සුරැකි කොට තැබියැයුතු. ඇදුරහු නැඟී සිටි කල්හි අස්න ඉදිරියැ යුතු.
ඉදින් එ පෙදෙස කුණු රොඩු සහිත වී නම් එ තැන හැමැන්ද යුතු. ඉදින් ඇදුරු තෙම ගම් වදිනු කැමති වී නම්, හඳනය දියැ යුතු. පිළිහඳනය පිළිගතයුතු. කාබාන දියැයුතු. සඟළ සිවුරු සගුණ කොට දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. ඉදින් ඇදුරු තෙම පසුමහණකු කැමැත්තේ නම් තිමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙවැ ගැට වටු ගන්වා පාත්‍රය සෝදා අතට ගෙන ඇදුරහුගේ පසුමහණ වියැයුතු. ඉතා දුරැ නො යා යුතු. ඉතා ළඟ නො යායුතු. පාත්‍රයට ලැබුණු දෑ පිළිගතයුතු.
27. ඇදුරහු කථා කරද්දී අතරතුරැ කථා නො හෙළියැ යුතු. ඇදුරු ඇවැතකට අවදනට ළං ව බණනුයේ වැළැක්වියහැයුතු. පෙරළා එන්නහු විසින් වඩා පළමුවෙන් අවුත් අස්නක් පැනවියහැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටැලිය ද ළං කොට තැබියැ යුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පිළිනිවස්න දියැ යුතු. නිවස්න පිළිගතයුතු. සිවුර ඩහදියෙන් තෙත් වූයේ වේ නම්, මොහොතක් අව්වේ වියලියැයුතු. අව්වේ බොහෝ වේලාවක් නො තැබියැයුතු. සිවුර හැකිළිය යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුරු මැද බිඳීමෙක් නොවේව’ යි සිතා සිවුරු කොන සතරඟුලක් උඩට ඇද හැකිළියැයුතු. කාබහන නමා චීවරභෝගයෙහි (සිවුරේ නැමුම් පොට තුළැ) ලියැයුතු.
ඉදින් පිණ්ඩපාත භෝජනය තිබේ නම්, ඇදුරාත් වළඳනු කැමැත්තේ වී නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළවියැයුතු. ඇදුරු තෙම පැනින් විචාළයුතු. වැළඳුවහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන කිසිවෙක නොගාවමින් පහත් කොට මොනොවට සෝදා දිය රහිත කොට (තෙත මාත්තු කොට) මොහොතක් අව්වේ වියැලිය යුතු. පාත්‍රය වැඩිවේලාවක් අව්වේ දමා නො තැබියයුතු. පාසිවුරු තැබියහැයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිවක් නො අතුළ බිමැ පාත්‍රය නො තැබියයුතු. සිවුරු බහා තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුරු වස{1} හෝ සිවුරු රැහැන පිරිමැද සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම මෑතට (තමා සිටින පැත්තට) ද කොට සිවුර තැබියයුතු.
ඇදුරහු නැඟී සිටි කල්හි අස්න ඉදිරියැ යුතු. පා දෝනා දිය, පාපුටුව, පාකටදැලිය සුරැකි කොට තැබියයුතු. ඉදින් එ තැන කුණු වැකී ඇත් නම් හැමැන්දයුතු.
ඉදින් ඇදුරු තෙම නානු කැමැත්තේ වී නම්, නාන දිය පිළියෙළ කළයුතු. ඉදින් සිසිල් දියෙන් ප්‍රයෝජන වේ නම්, සිසිල් දිය පිළියෙළ කළයුතු. උණුදිය වුවමනා නම් උණුදිය පිළියෙල කළයුතු. ඉදින් ඇදුරු තෙම ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ වී නම් නාන සුණු දියෙන් තෙමා ගුලි කළයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ඇදුරු පිටුපසින් ගොස් එය දී සිවුරු පිළිගෙන එක් පසෙක තැබියැ යුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ වී නම් තමා ගිනිහල් ගෙට පිවිසියැයුතු. ගිනිහල් ගෙට වදනහු විසින් මැටියෙන් මුහුණ වකා (මැටි මූණේ ගා) ඉදිරි පසින් ද පිටු පසින් ද වසා ගෙන ගිනිහල් ගෙට පිවිසියැයුතු.
28. ස්ථවිර භික්‍ෂූන් ඇඟ ගැටී නො හින්දැයුතු. නවක මහණහු අස්නෙන් බැහැර නො කළයුතු. ගිනිහල් ගෙහි දී ඇදුරුහට පිරියම් කළ යුතු. ගිනිහල් ගෙන් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරියෙන් ද පිටුපසින් ද වසා ගිනිහල් ගෙන් නික්මියැයුතු. දියෙහි ද ඇදුරුහට පිරියම් කළයුතු. නෑවහු විසින් වඩා පළමුවෙන් ගොඩ අවුත් සිය ගත දිය පිසදමා හැඳ ඇදුරහු ගතින් දිය පිස දැමියැයුතු. හඳනය දියැයුතු. සඟළ සිවුර දියැයුතු. ගිනිහල් පුටුව ගෙන වඩා පළමුවෙන් අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටලිය ද එළවා තැබියයුතු. ඇදුරු තෙම පැනින් විචාළයුතු. උදෙස්වනු කැමැත්තේ වී නම් උදෙස්වියයුතු. ප්‍රශ්න විචාරනු කැමැත්තේ වී නම් විචාළයුතු.
යම් වෙහෙරෙක ඇදුරා වෙසේ ද ඉදින් ඒ වෙහෙර කුණු රොඩු වැකී ඇත්තේ ද, හැකිනම් ශුද්ධ කළ යුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු මෑත් කොට පසෙක තැබිය යුතු. හිඳුනාකඩ ද පසතුරුණ ද මෑත් කොට පසෙක තැබියයුතු. බිසි ද, කොට්ට ද මෑත් කොට පසෙක තැබිය යුතු. ඇඳ පහත් කොට කිසිවෙක ද නො ගාවමින් නො ගටමින් මනා කොට කපාටපෘෂ්ඨයෙන් (දොරපළු පිටෙන්) පිටතට ගෙන ගොස් තැබිය යුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව දොරපළු පිටෙන් පිටතට ගෙන ගොස් තැබියයුතු. ඇඳ පා අළු පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. කෙළමලාව පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. හේත්තුවන පුවරුව පිටත ගෙන ගොස් පසෙක තැබියයුතු. බුමුතුරණ පනවා තුබුණු සැටි සලකා පිටත ගෙන ගොස් පසෙක තැබිය යුතු.
ඉදින් වෙහෙරෙහි මකුළුදැල් වේ නම්, පළමු කොට උඩ සිට පහතට ඉවත් කළයුතු. ආලෝකසන්ධිභාගයෝ ද (ඇතුළත පිටත ජනෙල් දොරවල් ද) කර්ණණ භාගයෝ ද (ගැබ , සතර මුළු ද) හැමැන්දයුතු. ඉදින් ගුරු පිරියම් කරන ලද බිත්තිය කිලිටි වී තිබේ නම්, රෙදි කඩක් තෙමා මිරිකා මැද්දයුතු. ඉදින් බිම පිරියම් නො කරන ලද නම්, ‘වෙහෙර දූවිල්ලෙන් කිලිටි නො වේ ව’ යි සලකා දිය ඉස හැමැන්දයුතු. කසළ රැස්කොට පැත්තකට දැමියයුතු.
29. බුමුතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදිම පැනවියැයුතු. ඇඳ පා අළු අව්වේ තවා පිස දමා ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු හ. ඇඳ අව්වේ තවා ශුද්ධ කොට ගසා දමා කවුළු පිටැ නො ගාමින් පහත් කොට මනාව ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. පුටුව අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා, කවුළු පිටැ නො ගාමින් නොගටමින් පහත් කොට මනාව ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැ යුතු. බිසි හා කොට්ට හා අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබූ පරිදි ම පැනවියැයුතු.
හිඳුනා ඇතිරිය ද පසතුරුණ ද අව්වේ තවා ශුද්ධ කොට ගසාහෙළා ඇතුළට ගෙන ගොස් පනවා තුබුණු පරිදිම පැනවියැ යුතු. කෙළමලාව අව්වේ ලා තවා පිස දමා ඇතුළට ගෙන ගොස් තුබුණු තැන ම තැබියයුතු. හේත්තු වන පුවරුව අව්වේ තවා පිස දමා ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන තැබිය යුතු.
පාසිවුරු තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනෙක් අතින් ඇඳයට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබිය යුතු. කිසිවක් නො අතුළ බිමැ පාත්‍රය නො ම තැබියයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනෙක් අතින් සිවුරු වස හෝ සිවුරුරැහැන හෝ පිරිමැද සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම මෑතට (තමා දෙසට) ද කොට සිවුර තැබියයුතු.
ඉදින් පෙරදිගට අයත් ධුලි සහිත වාතයෙන් හමත් නම්, පෙර දිගැ වූ වාබෝනයෝ වැසියැයුතුහ. ඉදින් පැසිම් දිගට අයත් ධුලි සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගැ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. උතුරු දිගට අයත් ධුලි සහිත වාතයෝ හමත් නම්, උතුරු පැත්තේ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. දකුණු දිගට අයත් ධූලි සහිත වාතයෝ හමත් නම්, දකුණු දිගැ වූ වාබෝනයෝ වැසියැයුත්තාහ. ඉදින් ශීත කාලය වේ නම්, වාබෝනයෝ දහවල් විවැරියැයුත්තාහ. රෑ වැසියැයුත්තාහ. ඉදින් උෂ්ණ කාලය වේ නම්, වාබෝනයෝ දහවල් වැසියැ යුත්තාහ, රෑ විවැරියැයුත්තාහ. ඉදින් පිරිවෙන කුණුරොඩු සහිත වී නම්, හැමැන්දයුතු. ඉදින් දොරැ කොටුව කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කුණුරොඩු සහිත වීනම්, එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්ද යුතු. වැසිකිළිය කුණුරොඩු සහිත වී නම්, එය හැමැන්දයුතු. පැන් නැත් නම් පැන් එළවා තැබියැයුතු. පරිභෝග ජලය නැත් නම්, පරිභෝග ජලය එළවා තැබියයුතු. ඉදින් ආචමනකුම්භියෙහි ජලය නැත් නම්, එහි දිය වත් කළයුතු.
30. ඉදින් ඇදුරුහට පැවිද්දෙහි නො ඇල්මෙක් උපන්නේ වේ නම්, අතැවැස්සහු විසින් එය ඉවත් කළයුතු. ඉවත් කැරැවිය යුතු. ඔහුට බණ කියැයුතු හෝ වේ. ඉදින් ඇදුරුහට කුකුසෙක් උපන්නේ නම්, අතැවැස්සහු විසින් එය දුරැ ලියැයුතු. දුරැ ලැවිය යුතු. ඔහුට බණ හෝ කියැ යුතු. ඉදින් ඇදුරුහට මිසදිටුවෙක් උපන්නේ නම්, අතැවැස්සා විසින් විවිසියැයුතු. විවිසැවියැයුතු. ඔහුට බණ හෝ කියැ යුතු. ඉදින් ඇදුරු ගරු ඇවතකට අවන්නේ පිරිවෙස් වසන්නට සුදුසු වී නම්, ‘කෙසේ නම් සඞ්ඝ තෙමේ ඇදුරුහට පිරිවෙස දෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු.
ඉදින් ඇදුරු තෙම මූලායපටිකස්සනයට සුදුසු වී නම් ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට මූලායපටිකස්සනය කරන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක වියැයුතු. ඉදින් ඇදුරු තෙම මානතට සුදුසු වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට මානත දෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු (උනන්දු වියැයුතු). ඉදින් ඇදුරු තෙම අබ්භානයට සුදුසු වී නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරහු අබ්භානය කරන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු. ඉදින් සංඝ තෙමේ ඇදුරුහට තජ්ජනීය කර්‍මය හෝ නියස්ස කර්‍මය හෝ පබ්බාජනීය කර්‍මය හෝ පටිසාරණීය කර්‍මය හෝ උක්ඛෙපණීය කර්‍මය හෝ කරනු කැමැති වේ නම්, ‘කෙසේ නම් සංඝ තෙමේ ඇදුරුහට (ඒ) කර්‍මය නො කරන්නේ ද, එය හෑල්ලු බවට හෝ පෙරළන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු. ඔහුට සංඝයා විසින් තජ්ජනීය හෝ නියස්ස හෝ පබ්බාජනීය හෝ පටිසාරණීය හෝ උක්ඛේපණිය කර්‍මය කරන ලද්දේ වී නම්, ‘කෙසේ නම් ඇදුරු තෙමේ මනා වැ පවත්නේ ද, ලොම් හෙළන්නේ ද (සංඝයාට අවනත වන්නේ ද), නිස්තරණය පිණිස පවත්නේ ද, සංඝ තෙමේ ඒ කර්‍මය සන්සිඳු වන්නේ දැ’ යි. අතැවැස්සා විසින් උත්සුක බව කළයුතු.
ඉදින් ඇදුරාගේ සිවුරු සේදියැයුතු වේ නම්, අතැවැස්සා විසින්, සේදියැයුතු. ‘කෙසේ නම් ඇදුරහුගේ සිවුරු සෝදනු ලබන්නේ දැ’ යි. අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහට සිවුරෙක් කළයුතු වේ නම්, අතැවැස්සා විසින් එය කළයුතු. ‘කෙසේ නම්, ඇදුරාගේ සිවුර කැරෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහට රඳන් පිසියැයුතු (පඬු උණු කළයුතු) වේ නම්, අතැවැස්සහු විසින් පිසියැයුතු. ‘කෙසේ නම් ඇදුරුහට රඳන් පිසෙන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. ඉදින් ඇදුරුහුගේ සිවුර පඬුපෙවියැ යුතු වේ නම්, අතැවැස්සා විසින් පඬුපෙවියැ යුතු. ‘කෙසේ නම් ඇදුරුහුගේ සිවුරු පඬු පොවනු ලබන්නේ දැ’ යි අතැවැස්සා විසින් උත්සුක බව හෝ කළයුතු. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මොනොවට පඬුපෙවියැයුතු පඬු බිඳු නො සුන් කල්හි නො ම නික් මැ යායුතු.
ඇදුරහු නො විචාරා එකක්හට පාත්‍රය නො දියැයුතු. එකකුගේ පාත්‍රය නො ම පිළිගතයුතු. එකකුට සිවුර නො දියැයුතු. එකකුගේ සිවුරු නො පිළිගත යුතු. එකකුට පිරිකර නො දියැ යුතු. එකකුගේ පිරිකර නො ම පිළිගතයුතු. එකකුගේ කෙස් නො සින්දැ යුතු. එකක්හු ලවා තමා කෙස් නො ම සින්දැවියැ යුතු. එකකුට පිරියම් නො කළයුතු. එකක් හු ලවා පිරියම් නො ම කරවාගතයුතු. එකක්හට වතාවත් නො කළයුතු. එකක්හු ලවා වතාවත් නො ම කරවාගතයුතු. එකක්හට පසු මහණකු නො වියැයුතු. එකෙක් පසු මහණකු කොට නො ම ගතයුතු. එකක්හට පිණ්ඩපාතය නො ම ගෙනයා යුතු. එකක් හු ලවා පිණ්ඩපාතය, නො ම ගෙන්වාගතයුතු.
ඇදුරා නො ම විචාරා ගම් නො වැදියැයුතු. සොහොනට නො යායුතු. දිසාවන්හි නො යායුතු. ඉදින් ඇදුරා ගිලන් වේ නම්, යව්දිව් උවටන් කළයුතු. ඔහුගේ රෝගයෙන් නැඟී සිටීම (සුවය) බලා පොරොත්තු වියැයුතු.
මහණෙනි, මේ වනාහි යම්සේ අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි පැවතියැයුතු ද, මේ අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි පැවතියැයුතු ඒ වත යැ”.
අතැවැසි වත්
31. එ සමයෙහි ඇදුරෝ ඇතැවැසියන් කෙරෙහි මනා ව නො පවතිත්. අල්පෙච්ඡ වූ, ලද පමණින් සතුටු වන, ලජ්ජි වූ, මඳ කරුණෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් ඇද් ද ඔහු ‘කෙසේ නම් ඇදුරෝ අතැවැසියන් කෙරෙහි මනාව නො පවත්නාහු දැ’යි පහත් කොට සලකත්, නිගා කෙරෙත්, දොස් පතුරුවත්. එ කල්හි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.