Cullavagga

Lesser Division

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3001-3100 න් 3843

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
vp-cv-8:340.7
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැල කළහ.
vp-cv-8:342.1
“මහණෙනි, සැබෑ දැ” ... යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
vp-cv-8:342.2
“සත්‍යය, භාග්‍යවතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු කීහ. ...
vp-cv-8:342.3
භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් ඇමතූසේක.
vp-cv-8:342.4
“මහණෙනි, එසේ වී නම් ආවාසික මහණුන් විසින් යම්සේ පැවතියයුතු ද, එසේ ආවාසික භික්‍ෂූනට වත පනවන්නෙමි” යි වදාරා මෙසේ වත් පැනැවූසේක.
vp-cv-8:342.5
5. “මහණෙනි, ආවාසික මහණහු විසින් වැඩිමහලු ආගන්තුක මහණක්හු දැක, අස්නක් පැනැවියයුතු. පාදෝනා දිය ද, පාපුටුව ද, පාදකඨලිකාව ද එළවාතැබියයුතු. පෙරගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පැනින් විචාළයුතු. හැකි වේ නම්, පාවහන් පිස දැමියැයුතු. පාවහන් පිසදමන්නහූ විසින් පළමු කොට වියැළි රෙදි කඩෙකින් පිස දැමියයුතු. පසු වැ තෙත් රෙදි කඩින් පිස දැමියයුතු. පාවහන් පිස්නා රෙදි කඩ සෝදා පසෙක (විස්සජ්ජෙතබ්බං) වැනිය යුතු. ආගන්තුක මහණ තෙම වැඩිමහලු වී නම්, වැන්දයුතු. ‘මේ සෙනස්න ඔබට පැමිණෙතැ’ යි සෙනස්න පැනැවියැ යුතු. සෙනස්න අන්කෙනකු වුසූ හෝ නො වුසූ එකක් ද යන්න දැන්විය යුතු. ගෝචරස්ථාන දැන්වියයුතු. අගෝචර ස්ථාන ද දැන්වියැයුතු. සේඛසම්මත කුල (අසෝ නමැ යි) දැන්වියැයුතු. වැසිකිළිය ඇති තැන කියයුතු. කැසිකිළිය ඇති තැන කියැයුතු. බොන පැන් ඇති තැන කියයුතු. පරිභෝග ජලය ඇති තැන කියැයුතු. සැරයැටිය ඇති තැන කියයුතු. ‘මේ වේලෙහි ගම් පිවිසියැයුතු. මේ වේලෙහි ගමින් නික්මි යැ යුතු යැ’ යි සඞ්ඝයාගේ කතිකා නියමය කියයුතු.
vp-cv-8:342.6
ඉදින් ආගන්තුක මහණ නවක වී නම්, තමා හිඳ ‘මෙහිම පාත්‍රය තබව, මෙහි සිවුර තබව, මේ අස්න ය, මෙහි හිඳගනුව’ යි කියැයුතු. බොන පැන් ඇති තැන කියයුතු. පරිභෝග ජලය ඇති තැන කියැයුතු. පාවහන් පිස්නා රෙදිකඩ පෙන්විය යුතු. නවක වූ ආගන්තුක මහණහු ලවා ආවාසික වූ තෙමේ වැන්දැවියැයුතු. ‘මේ සෙනස්න ඔබට පැමිණෙතැ’ යි සෙනස්න පෙන්වියැයුතු. සෙනස්න එයින් පෙර කිසිවකු වුසූ හෝ නො වුසූ තැනෙක් ද යන්න කියැයුතු. ගෝචර ස්ථාන ද අගෝචර ස්ථාන ද දැන්වියැයුතු. සේඛසම්මත කුල දැන්වියැයුතු. වැසිකිළිය පෙන්වියයුතු. කැසිකිළිය පෙන්වියැයුතු. බොන පැන් පෙන්වියැයුතු. පරිභෝග ජලය පෙන්වියැයුතු. සැරයැටිය පෙන්වියයුතු. ‘මේ පිවිසියැයුතු කාලය, මේ නික්මියැයුතු කාලයැ’ යි සඞ්ඝයාගේ කතිකා නියමය කියැයුතු.
vp-cv-8:342.7
මහණෙනි, යම් සේ ආවාසික භික්‍ෂූන් විසින් පැවැතියැ යුතු ද, මේ එසේ වූ ආවාසික භික්‍ෂූන් පිළිබඳ වත යි.
vp-cv-8:344.1
ගමික වත්
vp-cv-8:344.2
6. එ සමයෙහි ගමික (ගමන් යන) භික්‍ෂූහු ලීබඩු මැටිමුවා බඩු සුරක්‍ෂිත කොට නො තබා දොරවල් ද වාකවුළු ද හැර දමා සෙනස්න කිසිවකුටත් නො පවරා නික්මයෙත්. ලී බඩු ද මැටිමුවා බඩු ද නැසෙයි. සෙනස්න නො රැකුණේ ද වෙයි. අල්පෙච්ඡ වූ ලජ්ජි වූ ශික්‍ෂාකාමී වූ කුකුස් කරන්නා වූ යම් භික්‍ෂූ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් ගමික භික්‍ෂූහු ලීබඩු මැටිමුවා බඩු සුරක්‍ෂිත කොට අහුරා නො තබා දොරවල් ද වාකවුළු ද විවර කොට සෙනස්න රැක ගන්නට කිසිවකුටත් නො පවරා නික්ම යන්නාහු ද, ලීබඩු මැටිබඩු නස්නේ ද, සෙනස්න නොරැකුණේ වේ දැ” යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්.
vp-cv-8:344.3
ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ.
vp-cv-8:344.4
“මහණෙනි, සැබෑ ද? ” ... යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
vp-cv-8:344.5
“භාග්‍යවතුන් වහන්ස, සැබැවැ” යි භික්‍ෂූහු කීහ.
vp-cv-8:344.6
භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා,
vp-cv-8:344.7
“මහණෙනි, එසේ වී නම්, යම්සේ ගමික භික්‍ෂූන් විසින් පැවැතියයුතු ද, එසේ ගමික භික්‍ෂූනට වත් පනවන්නෙමි” යි වදාරා ගමික වත පැනැවූයේක.
vp-cv-8:344.8
7. “මහණෙනි, ගමික මහණහු විසින් ලීබඩු ද මැටිමුවා බඩු ද සුරැකි කොට තැබියයුතු. දොරවල් වාකවුළු වසා සෙනස්න රැක ගන්නට කෙනකුට දන්වා නික්මියැ යුතු. භික්‍ෂූනමක් (එහි) නො වී නම්, හෙරණ තෙම දැන්විය යුතු (හෙරණහට ඒවා රැක ගන්නට පැවැරියයුතු), හෙරණෙක් නො සිටී නම්, ආරාමික තෙම (ආරාමිකයාට) දැන්වියයුතු. ආරාමිකයෙක් නො වී නම්, උපාසකයකුට දැන්වියැයුතු. මහණෙක් හෝ හෙරණෙක් හෝ ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ නො වී නම්, ගල් සතරක් උඩ ඇඳ පනවා, ඇඳ මත තව ඇඳක් නංවා, පුටුවක් මත පුටුවක් නංවා, සෙනස්න මතුයෙහි ගොඩ ගසා ලීබඩු මැටිබඩු එහි සුරැකි කොට අහුරා තබා දොරවල් වාකවුළු වසා තබා නික්මියැ යුතු.
vp-cv-8:344.9
විහාරය තෙමේ නම්, හැකි නම් (උළු ආදියකින්) වැසිය යුතු. ‘කෙසේ නම් විහාරය සෙවිලි කරනු ලබන්නේ දැ’ යි උත්සාහ හෝ කළයුතු. මෙසේත් මෙය ලබන්නේ නම්, (මෙය සිදු වන්නේ නම්) මෙසේ මෙය මැනැව. ඉඳින් නො ලබන්නේ නම් යම් පැත්තෙක් නො තෙමෙන්නේ වේ නම්, එහි ගල් සතරක් මත ඇඳක් පනවා, ඒ ඇඳ මත තව ඇඳක් නංවා පුටුවක් උඩ පුටුවක් නංවා, සෙනස්න මත ලී බඩුත් මැටි බඩුත් ගොඩ ගසා සුරැකි කොට තබා දොරවල් වාකවුළු වසා තබා නික්මියැ යුතු.
vp-cv-8:346.1
ඉදින් සියලු විහාරය තෙමේ නම්, හැක්කේ නම්, සෙනස්න ගමට ගෙන යායුතු. කෙසේ නම් සෙනස්න ගමට ගෙනයනු ලබන්නේ දැ යි උත්සුක බව හෝ කළයුතු යි. ඉදින් මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනැව. ඉදින් නො ලබන්නේ නම්, එළිමහනෙහි ගල් යතරක් උඩ ඇඳක් පනවා ඒ ඇඳෙහි ඇඳක් නංවා පුටුවෙක පුටුවක් නංවා සෙනස්න මත ලීබඩුත් මැටිබඩුත් එක්රැසක් කොට (එකට ගොඩගසා) සුරැකි කොට ‘යටත් පිරිසෙයින් ලීබඩුවල අවයවවත් ඉතිරි වන්නේ නම් මැනැවැ’ යි තෘණයෙන් හෝ කොළවලින් හෝ වසා තබා නික්මැ යායුතු.
vp-cv-8:346.2
“මහණෙනි, යම්සේ ගමිකයන් විසින් පැවැතියැ යුතු ද මේ ඒ ගමික භික්‍ෂූන් පිළිබඳ වත යි”.
vp-cv-8:346.3
8. එසමයෙහි මහණහු බොජුන් ගන්නා තන්හි දී (බොජුන් හලේ දී) අනුමෝදනා නො කෙරෙත්, “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ බොජුන්හලෙහි දී අනුමෝදනා නො කරන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නුගුණ කථා පතුරුවත්. භික්‍ෂූහු ලාමක කොට සිතන, නින්‍දා කරන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහ. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
vp-cv-8:346.4
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා,
vp-cv-8:346.5
“මහණෙනි, බොජුන්හලෙහි දී අනුමෝදනා බණ කියන්නට අනුදනිමි” යි වදාළසේක.
vp-cv-8:346.6
එකල්හි ඒ මහණුනට “කවර නම් කෙනකුන් විසින් බොජුන් හලෙහි දී අනුමෝදනා බණ කියැයුතු දැ?” යී මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා,
vp-cv-8:346.7
“මහණෙනි, ස්ථවිර මහණක්හු විසින් භක්තාග්‍රයෙහි අනුමෝදනා කරන්නට අනුදනිමි” යි වදාළසේක.
vp-cv-8:346.8
එසමයෙහි වනාහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ (එයට වැඩිය සඟ පිරිසේ) සඞ්ඝස්ථවිර වෙති. ‘ස්ථවිර මහණහු විසින් භක්තාග්‍රයෙහි අනුමෝදනා කරන්නට අනුදනිමි’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ”යි කියා, භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් හුදෙකලා කොට හැර නික්මැගියාහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ඒ මිනිසුනට භුත්තානුමෝදනාව කොට, පසුව හුදෙකලාව ම වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම වඩනා ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් දුටුසේක. දැක ඔබ බණවා, “කිමෙක් ද ශාරීපුත්‍රයෙනි, බත සමෘද්ධ වී ද” යි අසාවදාළසේක. “වහන්ස, බත සමෘද්ධ විය. එහෙත් භික්‍ෂූහු මා හුදෙකලා කොට හැරදමා ගියාහු” යැ යි සැලකළහ.
vp-cv-8:348.1
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ පවුරුණේහි දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා -
vp-cv-8:348.2
“මහණෙනි, භක්තාග්‍රයෙහි සතර පස් නමක් ථේර අනුථෙර භික්‍ෂූන් (භුත්තානුමෝදනාව අවසන් වන තෙක්) රැඳී බලා පොරොත්තු වියැයුතු යැ” යි වදාළසේක.
vp-cv-8:348.3
එ සමයෙහි එක්තරා ස්ථවිර නමක් භක්තාග්‍රයෙහි දී වර්චසින් මැඩුණේ රැඳී හුන්නේ ය. හේ වර්චස් වේගය දරාගන්නට නො හැක්කේ මුසපත් වැ වැටුණේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
vp-cv-8:348.4
“මහණෙනි, කටයුත්තක් ඇති කල්හි තමාට අනතුරුව (තමා ළඟ ම) ඉන්නා මහණහට දන්වා යන්නට අනුදනිමි” යි වදාළසේක.
vp-cv-8:348.5
භක්තාග්‍ර වත
vp-cv-8:348.6
9. එසමයෙහි සවැගි මහණහු මනා කොට නො හැන්දාහු, මනා කොට නො පෙරෙවියාහු, සුදුසු ආකල්ප (මනා ලෙස ඉරියවු පැවැත්වීම) නැත්තාහු, භෝජන ශාලාවට යෙත්. ස්ථවිර භික්‍ෂූන් පසුබා ඉදිරි ඉදිරිවැ ද යෙත්. ස්ථවිර භික්‍ෂූන් මැදට පිවිස මහාතෙරුනට ඇලී හිඳගනිත්. නවක භික්‍ෂූන් ඔවුන් හුන් අස්නෙන් නෙරපත්. සඟළ සිවුර යට කොට ද ඇතුළුගෙහි හිදිත්. අල්පේච්ඡ වූ ලජ්ජී වූ සුළු වරදෙහිත් කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු ‘කෙසේ නම් සැවැගි මහණහු නොමනා ව හැන්දාහු, නොමනා ව පෙරෙවියාහු, මනා ආකල්ප නැත්තාහු බොජුන් හලට යන්නාහු ද ස්ථවිර භික්‍ෂූන් පසුබා තුමූ ඉදිරි ඉදිරි ව යන්නාහු ද, ස්ථවිර භික්‍ෂූන් මැදට වැද මහතෙරුනට ඇලී හිඳින්නාහු ද, නවක භික්‍ෂූන් ඔවුන් හුන් අසුන් වලින් නෙරනාහු ද, ගමෙහි දී සඟළ සිවුර ද යට කොට හිඳින්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නුගුණ කථා පතුරුවත්.
vp-cv-8:348.7
එ කලැ ඒ භික්‍ෂූහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
vp-cv-8:348.8
“මහණෙනි, සැවැගි මහණහු නො මනා කොට හැඳ ගත්තෝ වැ, නො මනා කොට පෙරෙව ගත්තෝ වැ මනා ආකල්ප නැත්තෝ වැ බොජුන් හලට යෙත් ල ... සඟළ සිවුර යට කොට ද ගමෙහි හිඳිත් ල ඒ සැබෑ ද?” යි අසාවදාළසේක.
vp-cv-8:348.9
‘ඒ සැබැවැ’ වහන්සැ යි මහණහු කීහ.
vp-cv-8:348.10
භාග්‍යවතුන් ව්හන්සේ වෙසෙසින් ගැරැහූ සේක. වෙසෙසින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා-
vp-cv-8:348.11
“මහණෙනි, එසේ වී නම්, යම් සේ භික්‍ෂූන් විසින් භක්තාග්‍රයෙහි පැවැතියැ යුතු ද එසේ වූ භක්තාග්‍ර වත භික්‍ෂූනට පනවන්නෙමි” යි වදාළසේක. (මෙසේ වදාරා මතු දැක්වෙන වත පැනවූසේක):
vp-cv-8:350.1
10. “ඉදින් ආරාමයෙහි කාලය දන්වන ලද්දේ වී නම්, තෙමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ, කාබාන බැඳ සගුණ කොට සඟළසිවුර පෙරවැ ගැට වටු ගන්වා (ගණ්ඨිය අවුණා) පාත්‍රය දෙව අතින් ගෙන මනා කොට නො යුහුසුලු වැ ගමට පිවිසියැයුතු. ස්ථවිර භික්‍ෂූන් පසුබා ඉදිරි ඉදිරි වැ නො යා යුතු. සුපිළියන් වැ ගමැ යායුතු. සුසංවෘත වැ ගමැ යායුතු. බිමට හෙළු ඇසැති වැ ... ඔසොවාගත් සිවුරු ඇති වැ නො යායුතු ... මහත් කොට සිනාසිසී නො යායුතු. නිහඬ වැ යායුතු. කය සොලොවමින් නො යායුතු. අත් වන වනා නො යායුතු. හිස සොලොවමින් නො යායුතු. ඉඟැ ඇත් ගසා ගෙන ... හිස වසා පෙරෙවැ නො යායුතු. උත්කුටුක වැ ගමෙහි නො යායුතු.
vp-cv-8:350.2
ගමැ සුපිළිසන් වැ හින්දැයුතු. මනා සංවර ඇති වැ ... යටට හෙලූ ඇස් ඇති වැ හින්දැයුතු. ඔසවාගත් සිවුරු ඇති වැ ... මහත් කොට සිනා සිසී නො හින්දැයුතු. නිහඬ වැ හින්දැ යුතු. කය සොලොවමින් ... අත් සොලවමින් ... හිස සොලොවමින් ... ඉඟැ අත් ගසාගෙන ... ඉස වසා පෙරෙවැ .... පල්ලත්‍ථිකාවෙන් ... ස්ථවිර භික්‍ෂූනට ඇලී නො ඉන්දැයුතු. නවක මහණහු අස්නෙන් නො ම නෙරැපියැයුතු. ගමැ සඟළ සිවුර යට කොට නො හින්දැයුතු.
vp-cv-8:350.3
11. පැන් දෙන කල්හි දෑතින් පාත්‍රය පිළිගෙන එයින් පැන් පිළිගතයුතු. පහත් කොට මනාව කිසිවෙක නො ගහවා පාත්‍රය දෙවියැයුතු. ඉදින් දිය පිළිගන්නා බඳුනෙක් (පඩික්කමෙක්) වේ නම්, ‘දිය පිළිගන්නා බඳුන දිය ඉහිරී නො තෙමේවා’ යි ද, ‘ළඟ ඉන්නා භික්‍ෂූහු දියෙන් නොතෙමෙත් වා’ යි ද, ‘සඟළ සිවුරු දියෙන් නො ව තෙමේවා’ යි ද සලකා පහත් කොට දිය පිළිගන්නා බඳුනෙහි දිය වත්කළයුතු.
vp-cv-8:350.4
ඉදින් දිය පිළිගන්නා බඳුනෙක් (පඩික්කමෙක්) නො වී නම්, ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්වා’ යි, ‘සඟළ සිවුරු දියෙන් නො තෙමේවා’ යි සලකා පහත් කොට බිමැ දිය වත්කළයුතු.
vp-cv-8:350.5
බත් දෙනු ලබන කල්හි දෑතින් පාත්‍රය ගෙන එයින් බත් පිළිගතයුතු. සූපයට ඉඩ තැබියැයුතු. ගිතෙල් හෝ තලතෙල් හෝ අවුළුපත් හෝ වේ නම්, ‘සියලු දෙනාට ම සම ලෙස සපයන්නැ’ යි තෙරහු විසින් කියැයුතු.
vp-cv-8:350.6
පිණ්ඩපාතය සකසා (සැලැකිලිමත් වැ) පිළිගතයුතු. පාත්‍රගත සංඥාව ඇති ව පිණ්ඩපාතය පිළිගතයුතු. පිණ්ඩපාතය එයට සම වූ (බතින් සතරින් කොටස් පමණ වූ) සූපය ඇත්තේ පිළිගත යුතු. පිණ්ඩපාතය (පාත්‍රයේ) මුවවිට යටැ ඉර තෙක් පමණක් පුරවන ලද බත ඇත්තේ පිළිගතයුතු. යම් තාක් සියලු ම භික්‍ෂූනට බත් නො ලැබුණේ වේ ද ඒ තාක් තෙරහු විසින් නො වැළඳියයුතු.
vp-cv-8:352.1
සකසා පිණ්ඩපාතය වැළඳියැයුතු. පාත්‍රගත සංඥා ඇති ව පිණ්ඩපාතය වැළඳියැයුතු. (තැනින් තැන නො ගෙන) එක් තැනෙකින් පටන්ගෙන පිළිවෙළින් පිණ්ඩපාතය වැළැඳියැයුතු. පිණ්ඩපාතය එයට යෝග්‍ය පමණට සූප ඇත්තේ වැළැඳියැයුතු. බත් ගොඩ මැදින් මැඩ නො වැළැඳියැයුතු. වැඩියෙන් ලබනු කැමැත්ත නිසා සූප හෝ ව්‍යඤ්ජන හෝ බතින් නො වැසියයුතු. නො ගිලන් මහණක්හු විසින් සූප හෝ බත් හෝ තමා සඳහා ඉල්ලා නො වැළැඳියයුතු.
vp-cv-8:352.2
12. අවඥා සහිත හැඟීම් ඇති ව අනුන්ගේ පාත්‍රය නො බැලියැ යුතු. ඉතා මහත් බත්පිඬු නො කළයුතු. බත්පිඬ පිරිමඬුලු (වට) කළයුතු. බත්පිඬුව මුවට ළං නො වන තෙක් මුව දොර නො විවැරියැයුතු. වළඳන්නහු විසින් සියලු අත මුවැ නො බහාලියැයුතු. බත්පිඬුව සහිත මුවින් නො බිණියැයුතු. මුව තුළට බත් ඉසිමින් (විසිකරමින්) නො වැළැඳියැයුතු. බත් පිඬු කඩ කඩ කෙරෙමින් නො වැළඳියැයුතු. වඳුරන් සේ බත්පිඬු හක්කේ රැස් කොට තබාගනිමින් නො වැළඳියැයුතු. අත ගසා දමමින් නො වැළැඳියයුතු. බත්තුළු විසුරුවමින් නො වැළැඳියැයුතු. දිව නෙරමින් නො වැළඳියයුතු. ‘චපු වපු’ යන හඬ කෙරෙමින් නො වැළැඳියැයුතු. ‘සුරු සුරු’ යන හඬ කෙරෙමින් නො වැළැඳියැයුතු. අත ලෙවමින් නො වැළැඳියැයුතු. පාත්‍රය ලෙවමින් නො වැළැඳියයුතු. තොල ලෙවමින් නො වැළැඳියැයුතු. ඉඳුල් සහිත අතින් පැන්තලුව (කෝප්පය) නො පිළිගතයුතු.
vp-cv-8:352.3
යම්තාක් සියලු මහණහු වළඳා නිම කෙරෙත් ද, ඒතාක් තෙරහු විසින් දිය නො පිළිගතයුතු. දිය දෙනු ලබන කලැ දෑතින් පාත්‍රය ගෙන එයින් දිය පිළිගතයුතු. කිසිවෙක නො ගහමින් පහත් කොට පාත්‍රය මොනොවට අල්ලාගෙන දෙවියැ යුතු. දිය පිළිගන්නා බඳුනෙක් වේ නම්, ‘දිය පිළිගන්නහු දියෙන් නො තෙමේව’ යි ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්ව’ යි. ‘සඟළසිවුර දියෙන් නො තෙමේව’ සලකා, දිය පිළිගන්නා බඳුන පහත් කොට එහි දිය වත්කළ යුතු. දිය පිළිගන්නා බඳුනෙක් නො වී නම්, ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්ව’ යි ‘සඟළසිවුර දියෙන් නො තෙමේව’ යි සලකා, පහත් කොට බිමැ දිය වත්කළයුතු. පාත්‍ර දෙවූ බත්හුළු සහිත ජලය ගමෙහි (ගෙවල් අතුරැ) නො දැමියැයුතු.
vp-cv-8:352.4
ඇතුළු ගමින් පෙරළා එන සඞ්ඝයා විසින් (මෙසේ පිළිපැදිය යුතු.) පළමු කොට නවක මහණුන් විසින් පෙරළා ඉයැයුතු. ස්ථවිර මහණුන් විසින් පසු ව ඉයැයුතු. සුපිළිසන්ව ගමැ යා යුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ගමැ යා යුතු. සිවුර ඔසොවාගෙන ... මහහඬින් සිනාසිසී ගමැ නො යායුතු. නිහඬ වැ ගමැ යායුතු. කය සොලවමින් ... අත් සොලවමින් ... හිස සොලොවමින් ... ඉහැ අත ගසා ගෙන ... හිස වසා පෙරෙවැ ... උත්කුටුක වැ ගමැ නො යායුතු.
vp-cv-8:352.5
“මහණෙනි, යම්සේ භික්‍ෂූන් විසින් බොජුන්හලැ පැවැතිය යුතු ද, මේ ඒ බොජුන්හලැ වත යැ” යි වදාළසේක.
vp-cv-8:352.6
පළමු බණවර යි.
vp-cv-8:354.1
පිණ්ඩචාරික වත
vp-cv-8:354.2
1. එ සමයෙහි පිණ්ඩචාරික භික්‍ෂූහු නො සකසා හැන්දාහු, නො සකසා පෙරවියාහු, භික්‍ෂූ ආකල්පයෙන් යුක්ත නො වූවාහු පිඬු පිණිස හැසිරෙත්, නො සලකා ද ගෙට පිවිසෙත්, නො සලකා ද ගෙන් නික්මෙත්, ඉතා හදිසියෙන් ද ගෙට පිවිසෙත්, ඉතා හදිසියෙන් ද, නික්ම යෙත්, ඉතා ඈත්හි ද, සිටිත්, ඉතා ළඟ ද සිටිත්, ඉතා බොහෝ වේලා ද සිටිත්, ඉතා වහා ද පෙරළා යෙත්.
vp-cv-8:354.3
එක්තරා පිණ්ඩචාරික මහණෙක් ද නො සලකා ගෙයකට පිවිසියේ ය. හේ දොර යැ යි වරදවා සිතනුයේ, එක්තරා ඇතුළු ගෙයකට පිවිසියේ ය. ඒ ඇතුළුගෙහි ද ස්ත්‍රියක් නග්න වැ උඩුකුරු වැ වැද හොත්තී වේ. ඒ මහණ නග්න වැ උඩුකුරු වැ හොත් ඒ ස්ත්‍රිය දුටුයේ ම ය. දැක “මේ දොරකඩ නො වේ. මේ ඇතුළු ගෙයෙකැ” යි සිතා ඒ ඇතුළු ගෙයින් නික්මියේ ය. ඒ ස්ත්‍රියගේ සැමියා නග්න වැ උඩුකුරු වැ හෝනා ඒ ස්ත්‍රිය දැක ‘මේ මහණහු විසින් මා බිරිය දූෂිත වූවා’ යි සිතා ඒ මහණහු අල්ලාගෙන තැළී ය.
vp-cv-8:354.4
ඉක්බිති ඒ ස්ත්‍රී ඒ හඬින් පිබිද ‘ස්වාමීනි, ඔබ මේ වහන්දෑට කුමට තළත් දැ’ යි ඇසුවා ය.
vp-cv-8:354.5
‘මේ මහණ විසින් තෝ දූෂිත වීහි’ යි හේ කිව.
vp-cv-8:354.6
ඕ “ස්වාමීනි, මේ මහණ විසින් මම් දූෂිත නො වීමි, හෙතෙම වරදක් නො කෙළෙකැ” යි කියා ඒ මහණහු මුදවාලූ ය.
vp-cv-8:354.7
ඉක්බිති ඒ මහණ අරම් ගොස් භික්‍ෂූනට මෙ පවත් සැලකෙළේ ය. අල්පේච්ඡ සන්තුෂ්ට ලජ්ජී සුළු වරදෙහි ද කුකුස් කරන යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් පිණ්ඩචාරික භික්‍ෂූහු නො සකසා හැන්දාහු, නො සකසා පෙරෙවියාහු, භික්‍ෂූ ආකල්පයෙන් යුක්ත නො වූවාහු පිඬු පිණිස හැසිරෙන්නාහු ද, නො සලකා ගෙවලට පිවිසීමත් , ගෙයින් නික්මීමත් කරන්නාහු ද, ඉතා වහා පිවිසෙන්නාහු ද, ඉතා වහා ගෙන් නික්මෙන්නාහු ද, ඉතා ඈත්හිත් සිටින්නාහු ද, ඉතා ළඟත් සිටින්නාහු ද, ඉතා බොහෝ වේලාත් සිටින්නාහු ද, ඉතා වහාත් නික්ම යන්නාහු දැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
vp-cv-8:354.8
එ කල ඒ වහන්දෑ මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළාහ.
vp-cv-8:354.9
“මහණෙනි, සැබෑ දැ” ... යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක. “භාග්‍යවතුන් වහන්ස, සත්‍ය යැ” යි. ඒ භික්‍ෂූහු කීහ.
vp-cv-8:356.1
භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා, “මහණෙනි, එසේ වී නම් පිණ්ඩචාරික භික්‍ෂූන් විසින් යම්සේ පැවතියයුතු ද එසේ පවතිනු පිණිස පිණ්ඩචාරික භික්‍ෂූනට වත් පනවන්නෙමි” යි (වදාරා පහත දැක්වෙන වත් පැනනැවූ සේක:)
vp-cv-8:356.2
2. “මහණෙනි, පිණ්ඩචාරික මහණහු විසින් ‘දැන් ගමට පිවිසෙන්නෙමි’ යි සලකා තෙමඬුලු වසා හැඳ කාබහන බැඳ, සගුණ කොට සඟළසිවුරු පෙරෙවැ ගැටය වටු වැ අවුණා, පාත්‍රය සෝදා අතින් ගෙන, මනා කොට, නො යුහුසුලු වැ ගමට පිවිසියැයුතු. සුපිළිසන් වැ ගමැ (ගෙවල් අතුරැ) යායුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ, ... එසැවූ සිවුරෙන් නො යුතු වැ ... මහසිනා නැති වැ ... නිහඬ වැ ... කය නො සොලොවමින් ... අත් නො සොලොවමින් ... හිස නො සොලොවමින් ... අත් නො ගසා ගෙන ... හිස වසා නො පෙර වැ ... උත්කුටිකයෙන් තොර වැ ගමැ යායුතු.
vp-cv-8:356.3
ගෙයකට පිවිසෙන මහණහු විසින් ‘මෙ මගින් පිවිසෙන්නෙමි, මෙ මඟින් නික්මෙන්නෙමි’ යි සැලකියැයුතු. ඉතා වහා නො පිවිසියැයුතු. ඉතා වහා නො නික්මියැයුතු. ඉතා දුරැ නො සිටියැයුතු. ඉතා ළඟැ නො සිටියැයුතු. ඉතා බොහෝ වේලා නො සිටියැයුතු. ඉතා වහා පෙරළා නො යායුතු. සිටියහු විසින් ‘භික්‍ෂාව දෙනු කැමැත්තාහු ද, නො දෙනු කැමැත්තාහු ද’ යන්න සැලකියැයුතු (විමැසුම් ඇති වැ සිටියැයුතු), ඉදින් ගෙහි ඉන්නා ස්ත්‍රී හෝ පුරුෂයා තමා කරමින් තුබූ කාර්‍ය්‍යය බහා තබයි ද (නවත්තයි ද), අස්නෙන් හෝ නැඟී සිටී ද, සැන්දක් හෝ අල්ලයි ද, බඳුනක් හෝ අල්ලයි ද, පසෙක තබයි ද, දෙනු කැමැත්තවුන් මෙනැ යි සලකා එතැනින් නො ගොස් සිටියැයුතු. භික්‍ෂාව දෙනු ලබන කල්හි වම් අතින් සඟළ සිවුර ඔසවා දකුණතින් පාත්‍රය යොමු කොට දෑතින් ම පාත්‍රය ගෙන භික්‍ෂාව පිළිගතයුතු. භික්‍ෂාව දෙන්නියගේ මුහුණ නො බැලියැයුතු.
vp-cv-8:356.4
‘සූපයක් දෙනු කැමැති ද නො කැමැති දැ’ යි යන්න සැලැකියයුතු. ඉදින් හැන්දක් හෝ අල්ලා ද, බඳුනක් හෝ අල්ලා ද, පසෙක හෝ තබා ද, ‘දෙනු කැමැත්තී වනැ’ යි එහි ම රැඳී සිටියැයුතු. භික්‍ෂාව දුන් කල්හි සඟළ සිවුරින් පාත්‍රය වසා යුහුසුලු නො වී මනා ව පෙරළා යායුතු.
vp-cv-8:356.5
3. සුපිළිසන් වැ ඇතුළු ගමැ (ගෙවල් අතරැ) යායුතු සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ... සිවුර ඔසොවා නො ගෙන ... සිනා සීමෙන් තොර වැ ... නිහඬ වැ ... කය නො සොලොවමින් ... අත් නො සොලොවමින් ... හිස නො සොලොවමින් ... ඉහැ අත නො ගසා ගෙන ... හිස වසා නො පෙර වැ ... උත්කුටිකයෙන් තොර වැ ගමැ යායුතු.
vp-cv-8:358.1
යමෙක් වඩා පළමුවෙන් ගමෙන් පිණ්ඩපාතයෙන් පෙරළා එයි ද, ඔහු විසින් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය, පාපුටුව, නො සේදූ පා තබන ලෑලි කඩ එළවා තැබියැයුතු (ළං කොට තැබියැ යුතු). අතිරේක ආහාර බහාලන බඳුන සෝදා එළවියැයුතු. පැන් ද පරිභෝග ජලය ද එළවියැයුතු. යමෙක් හැමට පසු ව ගමෙන් පිඬු සිඟා පෙරළා එයි ද, වළඳා ඉතිරි බොජුන් ඇත් නම්, කැමැත්තේ නම් වැළඳියැයුතු. නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක දැමියැයුතු. පණුවන් නැති දියෙහි හෝ පාකර හැරිය යුතු.
vp-cv-8:358.2
ඔහු විසින් අසුන් ඉදිරියැයුතු. පා දෝනා දිය, පාපුටුව, නො දෙවූ පා තබන ලෑලිකඩ සුරැකි කොට තැබියැයුතු. බොජුන්හල ඇමැන්දයුතු. යමෙක් පැන් කළය හෝ පරිභෝග දිය බහාලන කළය හෝ වැසිකිළියේ දිය තබන කළය හෝ දිය අවසන් ව, හිස් ව තුබුණා දක්නේ ද ඔහු විසින් එය එළවා තැබියැ යුතු. ඉදින් එය ඔහු විසින් තනි ව කළ නො හැකි වේ ද, හස්ත විකාරයෙන් (අත වැනීමෙන්) දෙවැන්නකු අමතා (දෙදෙනා ම එකතු ව) අත්වලින් ඔසොවා එළවා තැබියැ යුතු. එ කරුණින් වාග්භේදය නො කළයුතු (කථා නො කළයුතු.)
vp-cv-8:358.3
“මහණෙනි, යම්සේ පිණ්ඩචාරික භික්‍ෂූන් විසින් පැවැතියැයුතු ද, මේ ඒ පිණ්ඩචාරික භික්‍ෂූන්ගේ වත යි”.
vp-cv-8:358.4
ආරණ්‍යක වත්
vp-cv-8:358.5
4. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු වෙනෙහි වෙසෙත්. ඔහු පැන් නො ම එළවා තබත්. පරිභෝග ජලය නො ම එළවා තබත්. ගිනි නො ම එළවා තබත්. උපකරණ සහිත ගිනිගානා දඬු එළවා නො තබත්. නකත්පද නො දනිත්. දිශාභාග නො දනිත්. සොරු එහි ගොස්, ‘වහන්ස පැන් ඇත් දැ’ යි විචාරත්.
vp-cv-8:358.6
ඒ භික්‍ෂූහු, ‘ඇවැත්නි, නැතැ’ යි කියත්.
vp-cv-8:358.7
‘වහන්ස, පරිභෝග ජලය ඇත් දැ’ යි අසත්,
vp-cv-8:358.8
‘නැත, ඇවැත්නි’ යි භික්‍ෂූහු කියත්.
vp-cv-8:358.9
‘වහන්ස, ගිනි ඇද්දැ’ යි අසත්.
vp-cv-8:358.10
‘ඇවැත්නි, නැතැ’ යි භික්‍ෂූහු කියත්.
vp-cv-8:358.11
‘උපකරණ සහිත ගිනිගානා දඩු ඇද්දැ’ යි ඔහු අසත්,
vp-cv-8:360.1
‘ඇවැත්නි, නැතැ’ යි භික්‍ෂූහු කියත්.
vp-cv-8:360.2
‘වහන්ස, නකත්පද ඇද්ද (දනිවු දැ)’ යි සොරු අසත්,
vp-cv-8:360.3
‘නො දනිමු ඇවැත්නි’ යි භික්‍ෂූහු කියත්.
vp-cv-8:360.4
‘වහන්ස, දිශාභාග ඇද්ද (දනිවු දැ)’ යි සොරු අසත්,
vp-cv-8:360.5
‘ඇවැත්නි, නො දනිමු’ යි භික්‍ෂූහු කියත්.
vp-cv-8:360.6
‘වහන්ස, අද කවර නැකතෙකින් යුක්ත දැ’ යි සොරු අසත්.
vp-cv-8:360.7
‘ඇවැත්නි, අපි නො දනිමු’ යි භික්‍ෂූහු කියත්.
vp-cv-8:360.8
‘වහන්ස, මේ කවර නම් දිශාවෙක් දැ’ යි සොරු අසත්.
vp-cv-8:360.9
‘ඇවැත්නි, අපි නො දනුම්හ’ යි භික්‍ෂූහු කියත්.
vp-cv-8:360.10
එ කල්හි සොරු, “මොවුන් වෙත පැන් නො මැත, පරිභෝග දිය නො මැත, ගිනි නොමැත, උපකරණ සහිත ගිනිගානා දඬු නො මැත, නකත්පද නො දනිත්, දිශාභාගය නො දනිත්, මොහු භික්‍ෂූහු නො වෙත්, මොහු සොරුහ” යි. ඒ භික්‍ෂූන් තළා පෙළා නික්මැ ගියාහ. ඉක්බිති ඒ මහණහු මහණුනට මෙ පවත් දැන්වූහ. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට “මහණෙනි, එසේ වී නම් ආරණ්‍යක භික්‍ෂූන් විසින් පැවතියැයුතු පරිදි ඔවුනට වත් පනවන්නෙමි” යි වදාරා, මතු දැක්වෙන වත් පැනවූහ:
vp-cv-8:360.11
5. “මහණෙනි, ආරණ්‍යක භික්‍ෂූහු විසින් කලින් ම නැඟී සිට, පාත්‍රය පසුම්බියෙහි බහා, දසරුවෙහි එල්ලා ගෙන සිවුර කරෙහි කොට (කරට දමා ගෙන) පාවහන් නැඟ, දැව බඩු ද මැටි බඩු ද තැන්පත් කොට තබා දොරවල් හා වාකවුළු වසා, දැන් ගමට පිවිසෙන්නෙමි යි සිතා සෙනස්නෙන් බැස්සයුතු. පාවහන් මුදා පහත් කොට ගසා දමා, ථවිකායෙහි බහා, දසරුවෙහි එල්ලා, තුන්මඬුලු වසා පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙව ගැටවටු ගන්වා, පාත්‍රය සෝදා ගෙන මොනොවට යුහුසුලු නො වැ ගමට පිවිසියැයුතු. සුපිළිසන් වැ ඇතුළුගමැ යායුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ... සිවුර ඔසොවා නො ගෙන ... සිනාසීමෙන් තොර වැ ... නිහඬ වැ ගමෙහි යායුතු. කය සොලොවමින් නො යායුතු ... අත් සොලොවමින් ... හිස සොලොවමින් ... ඉඟහැ අත් ගසා ගෙන ... හිස වසා පෙරෙ වැ ... උත්කුටිකායෙන් ගමැ නො යා යුතු.
vp-cv-8:362.1
ගෙයකට පිවිසෙන්නහු විසින් ‘මෙ තැනින් පිවිසෙන්නෙමි, මෙ තැනින් නික්මෙන්නෙමි’ යි සැලකියැයුතු. ඉතා යුහු වැ නො පිවිසියැයුතු. ඉතා යුහු වැ නො නික්මියැයුතු. ඉතා දුරැ නො සිටියැයුතු. ඉතා ළඟ නො සිටියැයුතු. ඉතා බොහෝ වේලා නො සිටියැයුතු. ඉතා වහා පෙරළා නො යායුතු. සිටගැගත්තහු විසින් ‘භික්‍ෂාව දෙනු කැමැත්තී ද දෙනු නො කැමැත්තී ද’ යන්න සලකා බැලියැයුතු. ඉදින් කරමින් තුබුණු කාර්‍ය්‍යය නවතාලයි නම් හෝ අස්නෙන් නැඟී සිටී නම් හෝ සැන්දක් අත ගා නම් හෝ බඳුනක් අල්ලයි නම් හෝ තබයි නම් හෝ ‘දෙනු කැමැත්තියක මෙනැ’ යි සලකා රැඳී සිටියැ යුතු. භික්‍ෂාව දෙනු ලබන කලැ වමතින් සඟළ සිවුර ඔසොවා දකුණතින් පාත්‍රය ඉදිරියට යොමු කොට දෑතින් ම පාත්‍රය ගෙන භික්‍ෂාව පිළිගතයුතු. භික්‍ෂාව දෙන්නියගේ මුහුණ නො බැලියැ යුතු. සූප දෙනු කැමැත්තී ද දෙනු නො කැමැත්තී ද යන්න සැලකියයුතු. ඉදින් සැන්දක් හෝ භාජනයක් හෝ අල්ලයි නම් හෝ තබයි නම් හෝ ‘දෙනු කැමැත්තියක මෙනැ’ යි සලකා රැඳී සිටියැයුතු. භික්‍ෂාව දුන් කල්හි සඟළ සිවුරින් පාත්‍රය වසා ගෙන මනා කොට නො යුහු ව පෙරළා යායුතු. සුපිළිසන් වැ ගම තුළැ යායුතු ... උත්කුටිකායෙන් ගමැ නො යායුතු.
vp-cv-8:362.2
ගමින් නික්මැ පාත්‍රය පසුම්බියෙහි බහා උරෙහි එල්ලාගෙන සිවුර හකුළා හිසෙහි කොට, වහන් නැඟ යායුතු.
vp-cv-8:362.3
6. මහණෙනි, ආරණ්‍යයක මහණහු විසින් පැන් එළවියැයුතු. පරිභෝග ජලය එළවියැයුතු. ගිනි එළවියැයුතු. උපකරණ සහිත ගිනිගාන දඬු එළවියැයුතු. සැරයටිය එළවා තැබියයුතු. සියලු ම හෝ එක් කොටසක් හෝ නකත්පද උගතයුතු. දිශා දැනීමෙහි දක්‍ෂ වියැයුතු. මහණෙනි, මේ වනාහි ආරණ්‍යක භික්‍ෂූන් විසින් පැවතියයුතු සේ වූ ආරණ්‍යයක භික්‍ෂූන්ගේ වතැ යි වදාළ සේක.
vp-cv-8:362.4
සෙනසුන් වත්
vp-cv-8:362.5
7. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි හිඳ සිවුරුවම් (සිවුරු මැහීම් ආදි කටයුතු) කෙරෙත්. සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳ පුටු ගසා දැමූහ. භික්‍ෂූහු දුහුවිල්ලෙන් වැකුණාහ. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජී වූ කුක්කුච්චක වූ ශික්‍ෂා කැමැති වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳ පුටු ගසා දමත් ද භික්‍ෂූහු දූවිල්ලෙන් වැකුණාහු යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්. නො ගුණ පතුරුවත්.”
vp-cv-8:364.1
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳපුටු ගසා දැමූහු ල. භික්‍ෂූහු දුහුවිල්ලෙන් වැකුණාහු ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
vp-cv-8:364.2
“සැබැවැ භාග්‍යවතුන් වහන්සැ”යි භික්‍ෂූහු උත්තර දුන්හ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, එසේ වී නම් සෙනසුනැ පැවැතිය යුතු පරිදි භික්‍ෂූනට සෙනසුන් වත පනවන්නෙමි” යි වදාරා මතු දැක්වෙන වත පැනවූ සේක.
vp-cv-8:364.3
8. “යම් වෙහෙරෙකැ වෙසේ ද, ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වේ නම්, ඉදින් හැක්කේ නම් ශුද්ධ කළයුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු පිටත ගෙන ගොස් එක් පසෙක තැබියයුතු. නිසීදනය ද පසතුරුණ ද බැහැර කොට එක් පසෙක තැබියයුතු. බිස්ස ද කොට්ටය ද බැහැර කොට එක් පසෙක තැබියයුතු. ඇඳ පහත් කොට කවුළු පිටැ (දොරපළු පිට) ද නො ගාවමින් නො ගටමින් මොනවට බැහැර කොට එක් පසෙකැ තැබියයුතු. පුටුව පහත් කොට කවුළුපිටැ නො ගාවමින් නො ගටමින් මොනවට බැහැර කොට එක් පසෙකැ තැබිය යුතු. ඇඳ පා අලු බැහැර කොට එක් පසෙකැ තැබියයුතු. කපාටපෘෂ්ඨය (දොර පළු පිට) පහත් කොට මොනොවට කිසිවෙක ද නො ගාවමින් නො ගටමින් බැහැරැ කොට එක් පසෙක තැබියැ යුතු. කෙළමලාව බැහැර කොට එක් පසෙක තැබියැයුතු. හේත්තු වන පුවරුව බැහැර කොට එක් පසෙකැ තැබියැයුතු. බුමුතුරුණ පනවා තුබුණු පරිදි සලකා බැහැර කොට එක් පසෙක තැබියැයුතු.
vp-cv-8:364.4
ඉදින් වෙහෙරැ මකුළු දැල් වේ ද, පළමුවෙන් ඉහළ සිට පහතට ඉවත, කළයුතු. ආලෝකසන්ධි භාගයෝ ද (ඇතුළත පිටතැ වූ වාබෝනයන්හි දොරපළු ද) කර්ණභාගයෝ ද (කාමරයේ ඇතුළත සතර කොන් ද) පිස දැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කැරුණු බිත්තිය කුණු වැකියේ වී නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමියැයුතු. ඉදින් බිම කළුපැහැ කරන ලද නම්, වෙහෙර දූවිල්ලෙන් නො වැකේවා යි (දූවිල්ලෙන් නොවැකෙනු පිණිස) දිය ඉස ඉස පිස දැමියයුතු. කසළ රැස්කොට එක් පසෙකැ දැමියැ යුතු. භික්‍ෂූන් සමීපයෙහි සෙනසුන් නො ගසාදැමියයුතු. වෙහෙර සමීපයෙහි සෙනසුන නො ගසාදැමියැයුතු. බොන දිය සමීපයෙහි සෙනසුන නොගසා දැමියැයුතු. පරිභෝග ජලය සමීපයෙහි සෙනසුන නො ගසා දැමියැයුතු. ඉදිරි මිදුලෙහි උඩුසුළගෙහි සෙනසුන නො ගසා දැමියැයුතු. යටි සුළඟෙහි සෙනස්න නොගසා දැමියනැයුතු.
vp-cv-8:366.1
9. බුමුතුරුණ එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් පනවා තුබූ පරිදි ම පැනවියැ යුතු. ඇඳ පා අළු එක් පසෙක අව්වේ වියලා පිසදමා ඇතුළතට ගෙන ගොස් කලින් තුබුණු තැන තැබියැයුතු. ඇඳ එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා පහත් කොට කපාට පෘෂ්ඨයෙහි නොගාවා නොගටා මනාකොට පනවාතුබුණු පරිදි මැනැවින් පැනවියැයුතු. පුටුව එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසා දමා පහත් කොට කපාටපෘෂ්ඨයේ නො ගාවා නොගටා ඇතුළට ගෙන ගොස් පනවාතුබුණු පරිදි මනා කොට පැනවියැයුතු. බිසි ද කොට්ට ද එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැයුතු. නිසීදනය ද පසතුරුණ ද එක් පසෙක අව්වේ වියලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙනගොස් පනවා තුබුණු පරිදි ම පැනවියැ යුතු. කෙළමලාව එක්පසෙක අව්වේ වියලා පිසදමා ඇතුළට ගෙනගොස් තුබුණු තැන තැබියැයුතු. හේත්තුවන පුවරුව එක් පසෙක අව්වේ වියලා පිස දමා ඇතුළට ගෙනගෙනස් කලින් තුබුණ තැන තැබියැයුතු.
vp-cv-8:366.2
පාසිවුරු බහා තැබියයුතු. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටු ව යට හෝ පරාමර්‍ශනය කොට (අතගා විමසා) පාත්‍රය බහා තැබියයුතු. කිසිවෙකින් නො අතුළ බිමැ පාත්‍රය නො තැබියැ යුතු. සිවුර බහා තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනෙක් අතින් සිවුරුවස (සිවුර එල්ලන උණලීය) හෝ සිවුරුරැහැන (සිවුර එල්ලන ලනුව) හෝ පිසදමා සිවුරේ කෙළවර එහා පැත්තට ද සිවුරු නැම්ම මෙහා පැත්තට ද කොට සිවුර තැබියයුතු.
vp-cv-8:366.3
10. ඉදින් පෙරදිගැ වූ දූලි සහිත වාතයෝ හමත් නම් පෙරදිගට අයත් වාබෝන (ජනෙල්) වැසියැයුතු. ඉදින් පැසිම් දිගට අයත් දූලිසහිත වාතයෝ හමත් නම් පැසිම්දිගැ වූ වාබෝනයෝ වැසියයුතුහ. ඉදින් උතුරුදිගට අයත් දූලි සහිත වාතයෝ හමත් නම්, උතුරුදිගැ වූ වාබෝනයෝ වැසියයුතුහ. දකුණු දිගට අයත් දූවිලි සහිත සුළං හමා නම් දකුණුදිග වූ වාබෝනයෝ වැසියයුතුහ. උෂ්ණකාලය වී නම් වාබෝනයෝ දහවල් වසා තැබියැයුතු. රෑ විවෘත කළයුතු. ශීතකාලය වී නම් වාබෝනයෝ රෑ වසා තැබියයුතු දහවල් විවෘත කළයුතු.
vp-cv-8:366.4
ඉදින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් දොරැ කොටුව කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් උවටන්හල කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් ගිනිහල කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් වැසිකිළිය කැළිකසළ සහිත වී නම් එය හැමැන්දයුතු. ඉදින් පැන් නො වී නම් පැන් එළවා තැබියැයුතු. ඉදින් පරිභෝග ජලය නො වී නම් පරිභෝග ජලය එළවා තැබියැයුතු. ඉදින් ආචමනකුම්භියෙහි (වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි) ජලය නො වී නම්, එහි ජලය වත් කළයුතු.
vp-cv-8:368.1
ඉදින් වැඩි මහලු තෙර කෙනකු හා එක් වෙහෙරැ වසන්නේ නම් ඒ වැඩිමාලු තෙරුන් නො විචාරා, උද්දේශය නො දියයුතු (දේශනා පෙළ නො ඉගැන්වියයුතු). අටුවාව නො කියැයුතු. සජ්ඣායනය (හැදෑරීම) නො කළයුතු. බණ නො කියයුතු. පහන නො දැල්වියැයුතු. පහන නො නිවියැයුතු. වාබෝන නො විවරියැ යුතු. වාබෝන නො වැසියයුතු. ඉදින් වැඩි මාලු තෙර නමක් හා එක් සක්මන් මළුයෙහි සක්මන් කෙරේ නම්, වෘද්ධ භික්‍ෂූ නම යම් තැනෙක ද එ තැන දී පෙරළා ඉයැයුතු. වැඩිමහලු මහණහු සඟළ සිවුරු කොනින් නො ගැටිය යුතු.
vp-cv-8:368.2
“මහණෙනි, යම්සේ භික්‍ෂූන් විසින් සෙනස්නෙහි පැවතියැයුතු ද මේ භික්‍ෂූන්ගේ ඒ සෙනසුන් වත”යි.
vp-cv-8:368.3
ජන්තාඝර වත