ඉක්බිති දෙව්දත් තෙම “ඇවැත් ශාරිපුත්‍රයෙනි, එවු, මෙහි වැඩ ඉඳිවු” යැ යි සැරියුත් තෙරුන් සිය අස්නෙන් අඩෙකින් නිමැතී ය. (තමා හුන් ආසනයෙන් අඩක් පෙන්වා ‘මෙහි වැඩ ඉන්නැ’යි කැඳවීය).
“කම් නැත, ඇවැත්නි” යි කියා සැරියුත් තෙරණුවෝ එක්තරා අස්නක් ගෙන පසෙක හුන්හ. මහමුගලන් තෙරණුවෝ ද එක්තරා අස්නක් ගෙන පසෙක උන්හ.
එකල්හි දෙව්දත් භික්ෂූනට රෑ බොහෝ වේලා දහම් කථායෙන් කරුණු දක්වා එය ගන්වා, එහි උනන්දු කරවා, සතුටු කොට සැරියුත් තෙරුන් අමතා, “ඇවැත් ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූ සංඝ තෙම පහවූ ථීනමිද්ධය ඇත්තේ ය. ඇවැත් ශාරිපුත්‍රයෙනි, භික්‍ෂූනට (කළයුතු) , ධර්‍මකථාවෙක් ඔබට වැටහේවා, (භික්‍ෂූනට දම් දෙසන්න). මගේ පිට රිදෙයි. එය දිග හරින්නෙමි” යි කීය. “එසේ ය, ඇවැත්නි” යි සැරියුත් තෙරණුවෝ දෙව්දතුට පිළිවදන් දුන්හ.
ඉක්බිති දෙව්දත් තෙම සඟළසිවුර සතරපට කොට පනවා දකුණැලයෙන් වැදහොත්තේ ය. ක්ලාන්ත වූ සිහිමුළා වූ නුවණින් තොර වූ ඔහුට මොහොතින් ම නිද්‍රොපගමය විය:
ඉක්බිති සැරියුත් තෙරණුවෝ ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද යුක්ත කොට භික්‍ෂූනට දැහැමි කතායෙන් අනුශාසනා කළහ. මහමුගලන් තෙරණුවෝ සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද යුක්ත කොට ධර්‍මකථායෙන් භික‍්‍ෂූනට අනුශාසනා කළහ. එකලැ සැරියුත් තෙරුන් විසින් ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය දෙකින් ද, මහමුගලන් තෙරුන් විසින් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය අනුශාසනාප්‍රාතිහාර්‍ය්‍ය දෙකින් ද ඔවා දෙනු ලබන, අනුශාසන කරනු ලබන ඒ භික්‍ෂූනට “උපදනාසුලු සියල්ල නැසෙනසුලු යැ”යි කෙලෙස් රජස් රහිත පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස පහළ විය.
එයින් පසු සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් අමතා “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත යමු. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය රිසි කරන තැනැත්තේ (අප හා) ඒවා” යි වදාළාහ. ඉක්බිති සැරියුත්මුගලන් දෙ නම ඒ පන්සියක් භික්‍ෂූන් ගෙන වේළුවනය කරා එළැඹියාහ. එවිට කෝකාලික මහණ තෙම “ඇවැත් දෙව්දතුනි, නැගී සිටින්න, ඒ භික්‍ෂූහු සැරියුත් මුගලන් දෙදෙනා විසින් ගෙනයන ලදහ. “ඇවැත් දෙව්දතුනි, සැරියුත් මුගලනුන් නො අදහවු. සැරියුත් මුගලන්හු, ලාමක ආශා ඇත්තාහ. ලාමක ඊප්ෂාවනට වශග වූවෝ යැ’යි මා විසින් ඔබ නො කියන ලද්දෝ දැ ” යි කියා දෙව්දතු පුබුදුවා ලී ය. එවිට දෙව්දතුට එතන්හි මුවින් උණුලේ නික්මිණ.
3. ඉක්බිති සැරියුත් මුගලන් දෙ නම භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියාහ. වැඩ ඔබ වැඳ පසෙක හිඳගත්හ. එක් පසෙක හුන්නාවූ සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භෙදානුවර්‍තතක (සංඝභේදකයන් අනුව පැවැති) මහණහු යලිදු උපසපුව ලබන්නාහු නම් මැනැවැ”යි කීහ.
“කම් නැත, ශාරිපුත්‍රයෙනි. භෙදකානුවර්‍තතක භික්‍ෂූන් යලිත් උපසපන් කිරීම තොපට නො රිසියේවා. එබැවින් ශාරීපුත්‍රයෙනි, තෙපි භෙදකානුවර්‍තතක භික්‍ෂූන් ලවා තුලැසි ඇවැත දෙසවවු” යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
(ඉක්බිති) භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා, “ශාරීපුත්‍රයෙනි, දෙව්දත් තෙරණුවෝ තොප කෙරෙහි කෙසේ පිළිපැද්දාහු ද?” යි අසාවදාළසේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් දැහැමි කතායෙන් භික්‍ෂූනට කරුණු දක්වා කරුණු ගන්වා, එහි උනන්දු කරවා, එහි සතුටු කරවා “ ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූසංඝ තෙම වහා පහ වූ ථිනමිද්ධය ඇත්තේ ය. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූනට (කැරෙන) ධර්‍මකථාව තොපට වැටහේවා. මා පිට රිදෙයි, මම් එය දිගහරින්නෙමි” යි වදාරා යම්සේ දම් දෙසන්නට මට විධාන කරනසේක් ද, එසේ ම වහන්ස, මා කෙරෙහි පිළිපන්නේ යැ යි” සැරියුත් තෙරණුවෝ වදාළාහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. වන පෙදෙසෙක මහවිලෙක් විය. ඇත්තු එය නිසා වුසූහ. ඔහු එ විලට බැස සොඬින් නෙළුම් දඩු උදුරා මොනොවට සෝදා මඩ නැති කොට සපා ගිලිත්. එය ඔවුනට පැහැපත් බව පිණිස ද ශරීර ශක්තිය පිණිස ද වේ. එය හේතු කොට ගෙන මරණයට හෝ මරණමාත්‍ර දුකකට හෝ නො ද පැමිණෙත්. මහණෙනි, ඔවුන් අතුරෙන් ඒ මහඇතුන් අනුව හික්මෙන තරුණ වූ යම් ඇත් පැටවු වෙත් ද ඔහු ඒ විලට බැස සොඬින් නෙළුම්දඩු උදුරා මනා කොට නො සෝදා මඩ සහිත ව විකා ගිලිත්. ඔවුනට එය පැහැපත් බව පිණිස ද ශක්තිය පිණිස ද නො වේ. එය හේතු කොට ගෙන ඔහු මරණයට හෝ මරණයට සමාන දුකකට හෝ පැමිණෙත්. මහණෙනි, එසේ ම මා අනුකරණය කරන දෙව්දත්හු කෘපණ වැ (අනාථ වැ) මියෙන්නාහ.
“මිහි පිටැ විකුර්‍වණය කරන නදීන්හි පිළිදැගුම් කරන මහ ඇතක්හු අනුකරණය කොට මඩ කා මැරෙන ඇත්පොව්වා සෙයින් මා අනුකරණය කරන දෙව්දත් ද අනාථ ව මිය යන්නේ ය.”
4. “මහණෙනි, අංග අටෙකින් සමන්‍විත මහණ තෙමේ දූත කාර්‍ය්‍යයෙහි යන්නට සුදුසු ය. කවර අටින් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කියන බසට මොනොවට කන්යොමු කෙරේ ද, අස්වන්නේ (කියන්නේත්) වේ ද, ඉගෙනගන්නේ වේ ද, උගත් දෑ සිතෙහි දරන්නේ වේ ද, කරුණු නුවණින් දැනගන්නේ වේ ද, සෙස්සනට දන්වන්නේ වේ ද, අර්‍ථනිඃශ්‍රිත වූ ද අර්‍ථනිඃශ්‍රිත නො වූද දෑ දැනීමෙහි දක්‍ෂ වේ ද, කලහකාරී නො වේ ද, මහණෙනි, මෙ කී අංග අටින් සමන්‍විත මහණ තෙම දූතගමන යන්නට සුදුසු වේ.
මහණෙනි, අංග අටෙකින් සමන්‍විත ශාරීපුත්‍ර තෙමේ දූත ගමන යන්නට සුදුසු ය. කවර අංග අටෙකින් ද යත්: මහණෙනි, මෙහි ශාරිපුත්‍ර තෙම ඇහුම් කන් දෙන්නේ ද අස්වන්නේ ද උගන්නේ ද සිතින් දරන්නේ ද දන්නේද දන්වන්නේද අර්‍ථනිඃශ්‍රිත වූ නිඃශ්‍රිත නොවූ දෑ දැනීමෙහි දක්‍ෂ වේද කලහකාරී නො වේද, මහණෙනි, මේ අංග අටින් සමන්‍විත ශාරිපුත්‍ර තෙමේ දූතකාර්‍ය්‍ය පිණිස යන්නට සුදුසු වේ.”
“යමෙක් උග්‍රවාද ඇති පිරිසක් කරා පැමිණ නො පෙළේ ද, කියැ යුතු වචනය පැහැර නො හරී ද, හස්න නො ම වසාලයි ද, සැක නැති ව කියැයුතු වචනය කියයි ද, කරුණු විචාරන ලද්දේ නො කිපෙයි ද, ඒකාන්තයෙන් එබඳු මහණ තෙම් දූතබව්හි යන්නට සුදුසු වේ. ”
“මහණෙනි, අසද්ගුණ අටෙකින් මැඩුණු, එයින් දැඩි කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙම අපායගාමී වූයේ නිරයගාමී වූයේ කල්පයක් නිරයෙහි සිටින්නෙක් වනුයේ එය වළක්වාලන්නට කළහැකි පිළියමක් නැත්තෙක් වූයේ වෙයි. කවර අසද්ගුණ අටින් ද යත්: මහණෙනි, දෙව්දත් තෙම ලාභයෙන් මැඩුණේ, දැඩි කොට ගන්නා ලද සිතැත්තේ, අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, කපක් නිරයේ සිටින්නේ, එය නවතාලන පිළියම් නැත්තේ වෙයි. මහණෙනි, දෙව්දත් තෙම අලාභයෙන්... යසසින්... අයසසින් සත්කාරයෙන්... අසත්කාරයෙන්... ලාමක ඊප්සා ඇති බැවින්... පවිටු මිතුරන් ඇති බැවින් මැඩුණේ, දැඩි ලෙස ගන්නා ලද සිතැත්තේ, අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, කපක් නිරයෙහි සිටින්නෙක් වන්නේ, එය නවතාලන පිළියමක් නැත්තේ වෙයි. මහණෙනි, මේ අසද්ගුණ අටින් මැඩුණු , දැඩිලෙස ගන්නා ලද සිතැති දෙව්දත් තෙමේ ආපායික වූයේ නේරයික වූයේ කල්පයක් නිරයේ සිටුනේ පිළියම් නැත්තේ වෙයි.
මහණෙනි, මහණ තෙම උපන් ලාභය මැඩ ගෙන මැඩ ගෙන වසන්නේ නම් මැනැවි. උපන් අලාභය... උපන් යශස ... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව... මැඩ මැඩ වසන්නේ නම් මැනව.
මහණෙනි, යම් හෙයෙකින් උපන් ලාභය නො මැඩ නො මැඩ වසන ඔහුට ආස්‍රවයෝ ද චිත්ත පීඩාවෝ ද සිත් දැවිලි ද උපදනාහු ද, උපන් ලාභය මැඩ මැඩ වසන ඔහුට මෙසේ ඒ ආස්‍රවයෝ, ඒ සිත් පෙළුම් හා සිත් දැවිලි නො වෙත්. [missing trans]
මහණෙනි, යම් හෙයෙකින් උපන් අලාභය... උපන් යශස... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව නො මැඩ නො මැඩ වසන ඔහුට ආස්‍රව කෙනෙක් විසාතපරිදාහ කෙනෙක් උපදනාහු නම්, උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන ඔහුට මෙසේ ඒ ආස්‍රවයෙන් විඝාත පරිදාහයෝ නො වෙත්.
මහණෙනි, මහණ තෙම මේ කරුණ නිසා උපන් ලාභය මැඩ මැඩ වසන්නේ ද උපන් අලාභය... උපන් යශස... උපන් අයශස.... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව... උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන්නේ ය. මහණෙනි, එහෙයින් “උපන් ලාභය මැඩ මැඩ වසන්නමු, උපන් අලාභය... උපන් යශස... උපන් අයශස... උපන් සත්කාරය... උපන් අසත්කාරය... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව මැඩ මැඩ වසන්නමු” යි මෙසේ ම තොප විසින් හික්මියැ යුතු.
5. “මහණෙනි, අසත් ස්වභාව තුනෙකින් මැඩුණු හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙම ආපායිකයෙක් (අපාය උරුම කොටගැත්තෙක්), නෙරයිකයෙක් (නිරයයේ උපදනට නියත වූයෙක්), කල්පයක් ම නිරයෙහි සිටුනෙක්, පිළියම් ලැබිය නො හැක්කෙක් විය. කවර අසත් ස්වභාව තුනෙකින් ද යත්: ලාමක ආශා ඇති බව, පාපමිත්‍රයන් ඇති බව, අල්පමාත්‍ර විශේෂාධිගමයෙන් (ලෞකිකධ්‍යාන හා අභිඥා ලේශයක් ලැබීමෙන්) අතර මඟහැදී (නිෂ්ඨාවට නො පැමිණ ම නිෂ්ඨාවට පැමිණියෙමි’යි) ව්‍යවසානයට (කෙළවරට-තෘප්තියට) පැමිණියේ ය යන බව යන අසත් ස්වභාව තුන ය. මහණෙනි, මේ අසත් ස්වභාව තුනින් මැඩුණු හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙම ආපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ඡ ද විය”.
1. “ලොවැ කිසි ම කලෙක ලාමක ඊප්සා (ලාභාශා) ඇතියෙක් පහළ නො වේවා. ලාමක ඊප්සා ඇතියන්ගේ ගතිය යම් බඳු වේ ද, එය මේ දෙව්දතුගෙන් ද දැන ගනිවු.
2. දෙව්දත් තෙම පණ්ඩිතයෙකැ යි (ලොවැස්සා විසින්) පිළිගන්නා ලද්දේ ය. භාවිතාත්මය (වඩනා ලද සිතැත්තෙකැ) යි ද සම්මත විය. යශසින් බබළමින් ම සිටියේ යැ යි ද මා විසින් අසන ලදී.
3. එබඳු වූ හෙතෙම ප්‍රමාදයට අනුව හැසුරුණේ (එළැඹ සිටි සිහිය නැති බව අනුව පැවැත්තේ) ඒ තථාගතයන් වහන්සේ ආසාදනය කොට (ලොහිතුප්පාදය කොට) සතර දොරක් ඇති භයානක වූ අවීචිනිරයට පැමිණියේ ය.
4. යමෙක් පව්කම් නො කරන, දුෂ්ට නො වූවකුට ද්‍රෝහ කරන්නේ ද, පාපය තෙමේ ආදර සිත් නැති දුෂ්ට වූ ඒ පුද්ගලයා ම ස්පර්‍ශ කෙරෙයි.
5. යමෙක් විෂ පිරුණු කළයෙකින් මුහුද දූෂිත කරන්නට සිතන්නේ ද, එයින් හේ එය දූෂිත කළ හැකි නො වන්නේ ය. මුහුද මහත් ය, බිය උපදවන තරම් විශාලය. එ හෙයිනි.
6. එ පරිද්දෙන් ම යමෙක් මාන මගින් ගිය සන්හුන් සිතැති තථාගතයන් වහන්සේට වාදයෙන් හිංසා කරන්නට තැත් කෙරෙයි ද, එහෙත් උන්වහන්සේ කෙරෙහි වාදය නො නැගෙයි (රුහණය නො වේ).
7. යමකු ගිය මඟ අනුව යන මහණ තෙම දුඃඛයාගේ විනාශයට පැමිණෙන්නේ ද (සියලු කෙලෙස් නසන්නේ ද), නුවණැත්තේ එබන්දකු මිතුරකු කැරැගන්නේ ය, එබන්දකු ම සෙවුනේ ය.
6. එසමයෙහි උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ, ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් උපාලි තෙරණුවෝ “වහන්ස, සඞ්ගරාජි ය සඞ්ගරාජියැ යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් සඞ්ගරාජිය වේ ද? එහෙත් සඞ්ඝභේදය නො වේ ද? කොතෙකින් ම සඞ්ගරාජියත් සඞ්ගභේදයත් යන දෙක ම වේ ද?” යි විචාළහ.
“උපාලි, ධර්‍මවාදී එක් පක්ෂයෙකින් එකෙක් වෙයි ද, අධර්‍මවාදී පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, සතර වැන්නෙක් ‘මෙය ධර්‍මය යැ, මෙය විනය යැ, මෙය ශාස්තෘශාසනය යැ, මෙය පිළිගනිවු, මෙයට සතුටු වවු (මෙයට රිසි කරවු) යැ’ යි අනුශ්‍රාවණය (අනුනට ඇස්වීම) කෙරේ ද, සලාකා ගන්වාද, උපාලි, මෙසේ ම සඞ්ඝරාජිය වෙයි, එහෙත් සඞ්ඝභේදය නො වෙයි” .
“උපාලි, ධම්වාදී එක් පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, අධර්‍මවාදී එක් පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද, පස් වැන්නෙක් (අධර්‍මවාදී වැ) ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසනය යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි.”
“උපාලි එක් පසෙකින් දෙදෙනෙක් වෙත් ද අනික් පසින් තුන් දෙනෙක් වෙත් ද, සවැන්නෙක් ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි.”
“උපාලි, එක් පසෙකින් තිදෙනෙක් වෙත් ද, අනික් පසිනුත් තිදෙනෙක් වෙත් ද, සත් වැන්නෙක් ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය පිළිගනිවු මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වේ, වැලිදු සඞ්ඝභේදය නොවේ” .
“උපාලි, එක් පසෙකින් තිදෙනෙක් වෙත් ද, අනික් පසින් සතර දෙනෙක් වෙත් ද, අටවැන්නෙක් ‘මේ දහම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේත් සඞ්ගරාජිය වෙයි, වැලිදු සඞ්ඝභේදය නො වෙයි” .
“උපාලි, එක් පසෙකින් සතර දෙනෙක් වෙත් ද, අනික් පසින් සතර දෙනෙක් වෙත් ද, නවවැන්නෙක් ‘මේ දහම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙය රිසි කරවු’ යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි, මෙසේ ම සඞ්ගරාජිය ද සඞ්ඝභේදය ද වේ. උපාලි, නවදෙනකුගෙන් ද නව දෙනකුට වැඩි ගණනෙකින් ද සඞ්ඝරාජියත් සඞ්ගභේදයත් දෙක ම වේ.”
“උපාලි, මෙහෙණක් සඞ්ඝභේදය නො කෙරෙයි වැලිදු සඞ්ඝභේදය පිණිස තැත් කෙරෙයි. ශික්‍ෂාමාණාව ද සංඞ්ඝභේදය නො කෙරෙයි. වැලිදු එයට තැත් කෙරෙයි. හෙරණෙක් සඞ්ග හෙදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. හෙරණික් සඞ්ඝභේදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. උපාසකයෙක් සඞ්ඝභේදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. උපාසිකාවක් සඞ්ග භේදය නො කෙරෙයි: වැලිදු සඞ්ග භේදයට වෑයම් කරයි. උපාලි, සමාන සංවාසක වූ පුවතත් (පියෙවි මහණ දම ඇති) මහණ තෙමේ ම සමානසංවාස සීමායෙහි සිටියේ සඞ්ඝභේදය කෙරෙයි” වදාළසේක.
7. “වහන්ස, සඞ්ඝභේද යැ, සඞ්ඝභේද යැ යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් වනාහි සඞ්ඝයා බිඳුණේ නම් වේ දැ” යි උපාලිතෙරණුවෝ පුළුවුත්හ.
“උපාලි, මෙසස්නෙහි මහණහු ධර්‍ම යැ යි කියා අධර්‍මය දක්වත් ද, අධර්‍ම යැ යි කියා ධර්‍මය දක්වත් ද, විනය යැ යි කියා අවිනය දක්වත් ද, අවිනය යැ යි කියා විනය දක්වත් ද, තථාගතයන් විසින් දෙසන ලද යි වදාරන ලදැ යි තථාගතයන් විසින් නො දෙසන ලද්දක් නො වදාරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො දෙසන ලදැ යි නො වදාරන ලදැ යි කියා තථාගතයන් විසින් දෙසන ලද්ද, වදාරන ලද්ද දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු කරන ලදැ යි තථාගතයන් විසින් නො පුරුදුකරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො පුරුදු කරන ලදැ යි තථාගතයන් විසින් පුරුදු කරන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් පනවන ලද්දෙකැ යි කියා තථාගතයන් විසින් නො පනවන ලද්දක් දක්වත් ද, තථාගතයන් විසින් නො පනවන ලද්දෙකැ යි කියා තථාගතයන් විසින් පනවන ලද්දක් දක්වත් ද, ඇවැතැ යි කියා නො ඇවැතක් දක්වත් ද, නො ඇවැතැ යි කියා ඇවැතක් දක්වත් ද, ගරු ඇවැතැ යි කියා ලුහු ඇවැතක් දක්වත් ද, ලුහු ඇවැතැ යි කියා ගරු ඇවැතක් දක්වත් ද, අනවශේෂ (ඉතිරි බවක් නැති) ඇවැතකැ යි කියා සාවශේෂ (ඉතිරි බවක් ඇති) ඇවතක් දක්වත් ද, සාවශේෂ ඇවැතැ යි කියා අනවශේෂ ඇවැත දක්වත් ද, නොදුළුල් ඇවැතැ යි කියා දුළුල් ඇවැතක් දක්වත් ද, දුළුල් ඇවැතකැයි කියා නො දුළුල් ඇවතක් දක්වත් ද, මේ භේදකර වස්තූන් අටළොසින් ඔහු (භික්‍ෂූන්) එක් පසකට අදිත්, අතිසයින් (යලි එකතු කළ නො හැකි වන පරිදි) එක් පසකට අදිත්, වෙන් ව පොහෝ කෙරෙත්, වෙන් ව පවුරුණු කෙරෙත්, වෙන් ව සඞ්ඝකර්‍ම කෙරෙත්. උපාලි, මෙ තෙකින් සඞ්ඝයා බිඳුණේ වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
8. “වහන්ස, ‘සඞ්ඝ සාමග්‍රිය, සඞ්ඝ සාමග්‍රියැ’ යි කියනු ලැබේ. වහන්ස කොතෙකින් සඞ්ඝයා සමග්‍ර (සමග) වේ දැ?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“උපාලි, මෙහි මහණහු අධර්‍ම යැ යි කියා අධර්‍මය දක්වත් ද, ධර්‍ම යැ යි කියා ධර්‍මය දක්වත් ද, අවිනය යැ යි කියා අවිනය දක්වත් ද, විනය යැ යි කියා විනය දක්වත් ද, තථාගතයන් විසින් නො දෙසන ලදැ යි නොවදාරන ලදැ යි කියා තථාගතයන් විසින් නො දෙසන ලද නො වදාරන ලද දැයක් දක්වත් ද, තථාගතයන් විසින් දෙසන ලදැ යි වදාරන ලදැ යි කියා තථාගතයන් විසින් දෙසන ලද වදාරන ලද දැයක් දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු නො කරන ලද දැයක් තථාගතයන් විසින් පුරුදු නො කරන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් පුරුදු කරන ලද්දක් තථාගතයන් විසින් පුරුදු කරන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැ යි දක්වත් ද, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැ යි දක්වත් ද, නො ඇවැතැ යි නො ඇවැත දක්වත් ද, ඇවැතැ යි ඇවැත දක්වත් ද, ලුහු ඇවැතැ යි ලුහු ඇවැත දක්වත් ද, ගරු ඇවැතැ යි ගරු ඇවැත දක්වත් ද, සාවශේෂ ඇවැතැ යි සාවශේෂ ඇවත දක්වත් ද, අනවශේෂ ඇවැතැ යි අනවශේෂ ඇවැත දක්වත් ද, දුළුල් ඇවැතැ යි දුළුල් ඇවැත දක්වත් ද, නො දුළුල් ඇවැතැ යි නො දුළුල් ඇවැත දක්වත් ද, ඔහු මේ (දැහැමි) වස්තු අටළොසින් භික්‍ෂූන් පසකට නො අදිත් ද, අතිසයින් නො අදිත් ද, වෙන ම පොහෝ නො කෙරෙත් ද, වෙන ම පවුරුණු නො කෙරෙත් ද, වෙන ම සඞ්ඝකර්‍ම නො කෙරෙත් ද, උපාලි, මෙ තෙකින් වනාහි සඞ්ඝයා සමග්‍ර වූයේ නම් වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
9. “වහන්ස, සමග්‍ර වූ සඞ්ඝයා බිඳ හේ කුමක් රැස් කෙරෙයි ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“උපාලි, සමග්‍ර සඞ්ඝයා බිඳ කල්පස්ථායී පව් රැස් කෙරෙයි. කල්පයක් නිරයෙහි පැසේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“සඞ්ඝයා බිඳුණේ අපාය පිණිස පවත්නේ, නිරය පිණිස පවත්නේ, එහි කල්පයක් සිටුනේ වෙයි. ව්‍යග්‍රරත (අසමග වූවනට ඇලුණු), අධර්‍මස්ථ වූ හෙ තෙම යෝගක්‍ෂේමය ලැබීමෙන් වැළැකෙයි. සමග්‍ර සඞ්ඝයා බිඳ නිරයෙහි කපක් පැසෙයි” .
“වහන්ස, බෙදුණු සඞ්ඝයා සමග කොට හේ කුමක් රැස් කෙරේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“උපාලි, බෙදුණු සඞ්ඝයා සමග කොට මහත් පිනක් රැස් කෙරේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“සඞ්ඝයාගේ සමගිය සැප ගෙනදෙයි. සමග වූ සඞ්ඝයාට අනුබල දීම ද සැප ගෙනදෙයි. සමග වූවනට ඇලුණු, දහමෙහි පිහිටි තැනැත්තෙක් යෝගක්‍ෂේමයෙන් (නිවන් ලැබීමෙන්) නො වැළකෙ යි. සඞ්ඝයා සමග කොට හේ කපක් සගෙහි සතුටු වේ”.
10. “වහන්ස, සඞ්ඝයා බිඳුනා පුද්ගල තෙමේ අපාය පිණිස වූයේ, නිරය පිණිස වූයේ කපක් නිරයෙහි සිටුනේ, එයින් මුදාලන පිළියමක් නැත්තේ වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“උපාලි, සඞ්ඝයා බිඳුනා එක්තරා පුඟුලෙක් අපාය පිණිස පවත්නේ ද නිරය පිණිස පවත්නේ ද, කපක් නිරයේ සිටුනේ ද, එයින් මුදාලන පිළියමක් නැත්තේ ද වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“වහන්ස, සඞ්ඝයා බිඳුනා කිසියම් පුඟුලෙක් අපාය පිණිස නො පවත්නේ නිරය පිණිස නො පවත්නේ කපක් නිරයෙහි නො සිටුනේ පිළියම් නැත්තෙක් නො වන්නේත් වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“උපාලි, සඞ්ඝයා බිඳුනා එක්තර පුඟුලෙක් ආපායික නො වූයේ නේරයික නො වූයේ කපක් නිරයෙහි නො සිටුනේ පිළියම් නැත්තෙක් නො වූයේ වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“වහන්ස, කවර නම් සඞ්ඝභේදක තෙමේ ආපායික, නේරයික, කල්පස්ථ අතෙකිච්ඡ නො වන්නේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
“උපාලි, මෙහි මහණෙක් ධර්‍මය යැ යි කියා අධර්‍මය දක්වන්නේ ද, එහි අධර්‍ම දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝ භේදයෙහි අධර්‍මදෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, අනුශ්‍රාවණය කෙරේ ද (අනුනට කියා ද), ‘මේ ධර්‍මයය මේ විනය යැ, මෙය ශාස්තෘශාසනය යැ. මෙය පිළිගනිවු, මෙයට කැමැති වවු’යි සලාකා ගන්වා ද උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ජ ද වේ.”
තවද අනෙකක් කියමි. උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද එහි අධර්‍ම යැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසන යැ. මෙය පිළිගනිවු, මෙයට කැමති වවු’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝ භේදක තෙමේ ද, ආපායිකත් නෙරයිකත් කල්පස්ථායීත් අතෙකිච්ඡත් වේ.
තවද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද, එහි අධර්‍මය යන දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝගභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථායීත් අතෙකිච්ඡත් වේ.
තවද උපාලි, මහණෙක් ධර්‍මය යැ යි අධර්‍මය දක්වා ද, එහි ධර්‍මයැයි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්‍ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යී අනුනට කියා ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්භේදක තෙමේත් ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
තවද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද, එහි ධර්‍මය යි දෘෂ්ටි ඇත්තේ, භේදයෙහි ධර්‍ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා , ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ. මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට රුචි කරවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිව්ජත් වේ.
තවද උපාලි, මහණෙක් ධර්‍මයැ යි , අධර්‍මය දක්වා ද, එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ. දෘෂ්ටිය පිහිටුවා ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක, තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
තවද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද, එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්‍ම දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්භේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
11. තව ද, උපාලි, ධර්‍මයැ යි අධර්‍මයක් දක්වා ද, එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘ ශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු’ යි අනුනට කියා ද සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ද ආපායිකත් නෙරයිකත් කල්පස්ථත් අතෙකිච්ඡත් වේ.
තව ද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මය දක්වා ද එහි විමති ඇත්තේ, සඞ්ඝභේදයෙහි විමති ඇත්තේ, දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේත් ආපායික ද නේරයික ද, කල්පස්ථ ද අතෙකිව්ජ ද වේ.
තව ද උපාලි, මහණෙක් ධර්‍මයැ යි අධර්‍මයැ දක්වා ද, අධර්‍මය යැ යි ධර්‍මය දක්වා ද, විනය යැ යි අවිනයයක් දක්වා ද, අවිනය යැ යි විනය දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලද්දක් නො දෙසන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දක් දෙසන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් ආවීර්ණ නොවූවක් තථාගතයන් වහන්සේ විසින් ආචීර්‍ණ යැ යි දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් නො පනවන ලද්දක් දක්වා ද, තථාගතයන් වහන්සේ විසින් , නො පනවන ලදැ යි තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්දක් දක්වා ද, ඇවැතැයි නො ඇවැතක් දක්වා ද, නො ඇවැතැ යි ඇවැතක් දක්වා ද, ගරු ඇවැතැ යි ලුහු ඇවැතක් දක්වා ද, ලුහු ඇවැතැ යි ගරු ඇවැතක් දක්වා ද, අනවශේෂ ඇවැතැ යි සාවශේෂ ඇවැතක් දක්වා ද සාවශේෂ ඇවැතැ යි අනවශේෂ ඇවැතක් දක්වා ද, නොදුළුල් ඇවැතැ යි දුළුල් ඇවැතක් දක්වා ද, දුළුල් ඇවැතැ නොදුළුල් ඇවතක් දක්වා ද, එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, ඒ දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍ම යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමැති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ආපායික ද නේරයික ද, කල්පස්ථ ද අතෙකිච්ඡ ද වේ.
තව ද උපාලි, මහණෙක් , අධර්‍මයැ යි ධර්‍මයැ දක්වා ද, ... දුළුල් ඇවැතැ යි නො දුළුල් ඇවැත දක්වා ද ... එහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධමයැ යි දෘෂ්ටි ඇත්තේ, ...
එහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ ...
එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ ....
එහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි අධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ ...
එහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ ....
එහි වෙමතික වූයේ, සඞ්ඝභේදයෙහි වෙමතික වූයේ දෘෂ්ටිය පිහිටුවා, ඉවැසීම පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා, ‘මේ ධර්‍මය යැ. මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිවු මෙයට කැමති වවු’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ අපායික ද නේරයික ද කල්පස්ථ ද අතෙකිච්ඡ ද වේ.
12. “වහන්ස, සඞ්ඝභේදය කරන කවරෙක් වනාහි ආපායික නො වේ ද? නේරයික නො වේ ද? කල්පස්ථ නො වේ ද? අතෙකිච්ඡ නො වේ ද?” යි උපාලි තෙරණුවෝ පුළුවුත්හ.
(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) “උපාලි, මෙහි මහණ තෙම අධර්‍මයැ යි අධර්‍මයැ දක්වා ද, එහි ධම්යැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, ඒ දෘෂ්ටිය නො පිහිටුවා, ඉවසීම නො පිහිටුවා, රුචිය නො පිහිටුවා, අදහස නො පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ මෙය ගනිවු, මෙයට කැමති වවු යැ’ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද උපාලි, මේ සඞ්ඝභේදක තෙමේ ආපායික නො වේ, නේරයික නො වේ, කල්පස්ථ නො වේ, අතෙකිච්ජ නො වේ.”
“තව ද උපාලි, මහණ තෙම ධර්‍ම යැ යි ධර්‍මයැ දක්වා ද, එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, ... අවිනය යැ යි අවිනය දක්වා ද, ... විනයයැ යි විනය දක්වාද තථාගතයන් විසින් නො වදාරන ලද්ද නො දෙසන ලද්ද තථාගතයන් විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි දක්වා ද තථාගතයන් විසින් වදාරන ලද්ද දෙසන ලද්ද තථාගතයන් විසින් වදාරන ලද්දැ යි දෙසන ලද්දැ යි දක්වා ද, තථාගතයන් විසින් අනාචීර්‍ණ දැය තථාගතයන් විසින් අනාවීර්ණ දැයෙකැ යි දක්වා ද,
තථාගතයන් විසින් ආවීර්ණ දැය තථාගතයන් විසින් ආචීර්‍ණ දැයෙකැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලද්දකැ යි දක්වා ද, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලද්දැ යි දක්වා ද, ඇවැත ඇවැතැ යි දක්වා ද, නො ඇවැත නො ඇවැතැ යි දක්වා ද, ගරු ඇවත ගරු ඇවැතැ යි දක්වා ද, ලුහු ඇවත ලුහු ඇවැතැ යි දක්වා ද, සාවශේෂ ඇවැත සාවශේෂ ඇවැතැ යි දක්වා ද, අනවශේෂ ඇවැත අනවශේෂ ඇවැතැයි දක්වා ද, දුළුල් ඇවැත දුළුල් ඇවැතැ යි දක්වා ද, නො දුළුල් ඇවැත නො දුළුල් ඇවැතැ යි දක්වා ද, එහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, සඞ්ඝභේදයෙහි ධර්‍මයැ යි දෘෂ්ටි ඇත්තේ, දෘෂ්ටිය නො පිහිටුවා, ඉවැසීම නො පිහිටුවා, රුචිය නො පිහිටුවා, අදහස නො පිහිටුවා, ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ. මේ ශාස්තෘශාසනය යැ, මෙය ගනිවු, මෙයට කැමති වවු” යැ යි අනුශ්‍රාවණය කෙරේ ද, සලාකා ගන්වා ද, උපාලීනි, මේ සඞ්ඝභේදක තෙමේත් ආපායික නො වේ, නේරයික නො වේ, කල්පස්ථායීත් නො වේ, අතෙකිච්ඡත් නො වේ” යැ යි වදාළසේක.
තෙවෙනි බණවර යි.
සත්වැනි සඞ්ඝභේදකබන්‍ධක යි.
මේ එහි උද්දානය යැ:
අනුපිය වෙනෙහි දී ප්‍රකට ශාක්‍ය කුමාර කෙනෙක් පැවිදි වූහ. ඔවුන්ගෙන් එකෙක් සියුමැලි වූයේ පැවිද්දට නො කැමැති විය. කෙත් සෑම ද වී වැපිරීම ද දිය ඇතුළට ගැන්ම ද දිය සම කොට පැතිරැවීම ද, නෙළීම ද ගොයම් කැපීම ද ඒවා ගෙන්වීම ද මිටි බැඳීම ද ගොයම් මැඩීම ද පිදුරු වෙන් කිරීම ද කාටු හැරීම ද හුළං ගැස්වීම ද වී ඇතුළට ගෙන්වීම ද කරන්නේ ය. මතුමත්තෙහිත් මෙය කළයුතු ය. කර්‍මාන්තයෝ අවසන් නො වෙත්. කර්‍මාන්ත අවසන් නො වී තිබියැදීම පියවරු ද මුතුන්මිත්තෝ ද කලුරිය කළාහ.
භද්දිය ද අනුරුද්ධ ද ආනන්‍ද ද භෘගු ද කිම්බිල ද යන මොහු නික්ම ගියාහ. ශාක්‍යමානය බිඳින ලද්දේ ය. කොසඹෑ නුවරට බුදුරජහු වැඩියාහ. දෙව්දත් ඍද්ධියෙන් පිරිහුණේ ය. කකුධ දෙව්පුතු වි එය පැවැසිණ.
සඞ්ඝයා දෙව්දතු පිළිබඳ ව ප්‍රකාශනීය කර්‍මය කෙළේ ය. අජාසත් රජුගේ පියාගේ මරණය විය. දෙව්දත් බුදුරජුන් නසනුවට පුරුෂයන් යෙදවී ය. බුදුරජුන් මත්තෙහි ගලක් පෙරැළී ය. නාළාගිරි ඇතු මෙහෙයැවී ය. ත්‍රික භෝජනය පැනැවිණ. සඞ්ඝභේදය ගරු අකුශලයෙකැ යි වදාළහ. දෙව්දත් සඞ්ඝයා බින්දේ ය. සඞ්ඝයා භේදයට තැත් කරනුයේ තුලැසි ඇවැතින් බැඳේ. එක් පසෙක තිදෙනෙක් ද (අනිත් පසැ සිවු දෙනෙක් ද) අටවැන්නැ අනුශ්‍රාවණය කෙරෙයි. නැවැත මෙබඳු වාර තුනෙකි. සඞ්ඝරාජිය වන අයුරු දැක්විණ. සඞ්ඝභේදය වන්නේ දැ යි ප්‍රශ්න නැඟිණ, (බුදුරජුහු ඒ විසැඳූහ.)
8.
වත්‌තක්‌ඛන්‌ධකය
ආගන්තුක වත්
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජුහු සැවැත් නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩවෙසෙති. එ සමයෙහි ආගන්තුක මහණහු වහන් සහිතව ද අරමට පිවිසෙත්, ඉස ලාගත් කුඩ ඇති ව ද අරමට පිවිසෙත්, හිස වසා පෙරවගෙන ද අරමට පිවිසෙත්, සිවුර හිසෙහි කොට ද අරමට පිවිසෙත්, බොන්නට තුබූ දියෙන් ද පා දොවිත්, ආවාසයෙහි වූ වැඩි මාලු වහන්දෑ ද නො වඳිත්, සෙනසුන් නො විචාරත්,
එක්තරා ආගන්තුක මහණෙක් ද භික්‍ෂූන් විසින් නො වැස හරන ලද (පාළු වූ) වෙහෙරකට අගුල උගුළුවා දොරපළුව විවර කොට වහා පිවිසියේ ය. උඩෙළිපත මත්තෙහි වූ සර්‍පයෙක් එ මහණහුගේ උරහිසෙහි වැටුණේ ය. හේ බියපත් වූයේ මුර ගෑයේ ය. මහණහු ඔහු වෙතට දිවැවිත්, ‘ඇවැත්නි, තෙපි කුමට මුරගෑහු ද?’ යි විචාළාහ. එවිට එ මහණ මහණුනට මෙ පවත් සැලකෙළේ ය. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණින් තෘප්ත වන්නේ ද ලජ්ජී ද ඉතා සුලු වරදෙහිත් කුකුස් කරන්නේ ද, ශික්‍ෂාකාමීහු ද, ඔහු ‘කෙසේ නම් ආගන්තුක මහණහු වහන් ඇතිව ද අරමට පිවිසෙත් ද ... සෙනසුන් නො විචාරත් දැ’ යි ලාමක කොට සිතත්, අගුණ කියත්, දොස් පතුරුවත්.
ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ආගන්තුක මහණහු වහන් ඇති ව ද අරමට පිවිසෙත් ල ... සෙනස්න නො විචාරත් ල ඒ සැබෑ දැ?” යි අසාවදාළසේක.
“සැබව භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු පිළිවදන් දුන්හ.
“මහණෙනි, කෙසේ නම් ආගන්තුක මහණහු වහන් සහිතවත් අරමට පිවිසෙත් ද ! ... සෙනසුන් නො ම විචාරත් ද, මහණෙනි, නො පහන් වූවන්ගේ පහන් බව පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩීමට ද කරුණු නො වේ. වැලිදු එය නො පහන් වූවන්ගේ නො පහන් බව පිණිස ද පහන් වූ ඇතැම් අයගේ වෙනස් බව පිණිස ද පවතී යැ” යි වෙසෙසින් ගැරැහූසේක. වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූසේක.
“මහණෙනි, යම්සේ ආගන්තුක මහණුන් විසින් පැවැතියයුතු ද එසේ ඔවුනට වත් පනවන්නෙමි. මහණෙනි, ආගන්තුක මහණහු විසින් ‘දැන් අරමට පිවිසෙන්නෙමි’ යි සලකා වහන් මුදා, පහත් කොට ගසා දමා ගෙන කුඩය ඉවත් කොට හිස විවරආචමනකුම්හි කොට හිසෙහි වූ සිවුර උරහිසෙහි කොට, මනාකොට නො යුහු වැ අරම්පිවිසියැයුතු. අරමට පිවිසෙන්නහු විසින් ‘ආවාසයෙහි නිවැසි මහණහු කොහි පෙරළා ඇක්මෙත් දැ?’ යි සැලකියයුතු. උවටන් හලෙහි හෝ මඩු වැ හෝ රුක්මුලැ හෝ ඒ යම් තැනකට ආවාසික මහණහු පෙරළා එත් ද, එහි ගොස් එක් පැත්තෙක පාත්‍රය තැබියැයුතු. එක් පැත්තෙක සිවුර තැබියැ යුතු. සුදුසු අස්නක් ගෙන හිඳගතයුතු. බොන පැන් කවරේ ද? පරිභෝග ජලය කවරේ දැ?” යි පැන් ද පරිභෝග ජලය ද විචාළයුතු. ඉදින් පැනින් ප්‍රයෝජන වේ නම් පැන් ගෙන පියැයුතු. ඉදින් පරිභෝග ජලයෙන් ප්‍රයෝජන වේ නම් එය ගෙන පා දෙවියැයුතු. පා දොවින්නහු විසින් එක් අතෙකින් දිය ඉස අනෙක් අතින් පා දෙවියැයුතු. එක ම අතින් පැන් ඉසීමත් පා දෙවීමත් නො කළයුතු.
වහන් පිසිනා රෙදි කඩ විචාරා, වහන් පිසදැමියයුතු. වහන් පිසින්නහු විසින් පළමු කොට වියැළි රෙදි කඩින් ද පසු වැ තෙත් කඩින් ද පිසදැමියැයුතු. වහන් පිසිනා රෙදි කඩ සෝදා එක් පැත්තෙක වැනියයුතු. ආවාසික මහණ තෙම වැඩිමහලු වී නම්, වැන්දයුතු. නවක වේ නම් වැන්දවියැ යුතු.
‘මට කවර සෙනස්නෙක් පැමිණේ දැ?’ යි සෙනස්න විචාළ යුතු. ‘පළමු කිසිවකු වුසූ එකෙක් ද? නැත නො වුසූ එකෙක් දැ?’ යි විචාරා දතයුතු. ගෝචරය (පිඬු සිඟා යායුතු තැන) අගෝචරය (පිඬු සිඟා නො යායුතු තැන්) විචාරා දතයුතු. සේඛසම්මත කුලයෝ (මහත් සැදැහැති එහෙත් දිළිඳු වූ ගෙවල්) විචාරා දත යුතු. වැසිකිළි කෙසකිළි පිහිටි තැන විචාරා දතයුතු. බොන පැන් ඇති තැන විචාළයුතු. සෙසු පරිභෝගයට ගතයුතු ජලය ඇති තැන අසා දතයුතු. සැරයැටිය ඇති තැන අසා දතයුතු. ‘කවර වේලාවෙක ගම් වැදියයුතු ද? කවර වේලාවෙක ගමින් නික්මියැයුතු ද?’ යි සඞ්ඝයාගේ කතිකා නියමය විචාළයුතු.
2. ඉදින් විහාරය කිසිවකු නො වුසූ එකෙක් වේ නම්, දොරපළුවට තට්ටු කොට මොහොතක් බලා සිට අගුළ උඟුළුවා දොරපළුව විවර කොට පිටතැ සිටියහු විසින් පිරික්සා බැලියැ යුතු. ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වී නම්, ඇඳෙක ඇඳෙක් නංවන ලදුයේ හෝ පුටුවෙක පුටුවෙක් නංවන ලදුයේ වේ ද, සෙනස්න මත (ඇඳ පුටු මත) ඇතිරිලි ආදිය ගොඩ ගසන ලදුයේ වී නම්, ඉදින් හැක්කේ නම් ශුද්ධ කළයුතු. විහාරය ශුද්ධ කරන්නහු විසින් පළමු කොට බුමුතුරුණු බැහැර කොට පසෙක තැබියැ යුතු. ඇඳ පා අලු බැහැර කොට පසෙක තැබිය යුතු. බිසි ද කොට්ට ද බැහැර කොට පසෙක තැබියැ යුතු.
හිඳිනා ඇතිරිය ද පසතුරුණ ද බැහැර කොට පසෙක තැබියැ යුතු. ඇඳ පහත් කොට (කිසිවෙක) නො ගාවා නො ගටා බැහැර කොට පසෙක තැබියැයුතු. පුටුව පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව බැහැර කොට පසෙක තැබියැ යුතු. කවාට පෘෂ්ඨය (දොරපළු පිට) බැහැර කොට එක් පසෙක තැබියයුතු. කෙළමලාව (පඩික්කම) බැහැර කොට එක් පසෙක තැබියැ යුතු. අපාශ්‍රයන ඵලකය (හේත්තුවන පුවරුව) බැහැර කොට පසෙක තැබියයුතු.
ඉදින් විහාරයෙහි මකුළුදල් වේ නම්, පළමුවෙන් ඉහළ සිට ඉවත් කළයුතු.ඇතුළත පිටත වාකවුළු ද ගැබ සතර කොන් ද පිසදැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කළ බිත්තිය කුණු වැකී ඇත් නම්, රෙදි කඩක් තෙමා මිරිකා එයින් පිස දැමියයුතු. ඉදින් කළුපැහැ කරන ලද බිත්තිය කුණු වැකී ඇත්තේ නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමියයුතු. ඉදින් බිම (ගුරු ආදි කිසිවෙකින්) පිරියම් නො කරන ලද නම්, ‘වෙහෙර දූවිල්ලෙන් නො වැකේවා’ යි සිතා දිය ඉස බිම ඇමැන්දැයුතු: කැලි කසළ එක් රැස් කොට පසෙක දැමියයුතු.
බුමුතුරුණ අව්වේ තවා (වියළා) ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙන ගොස් කලින් පනවා තුබුණු පරිදි ම පැනැවියයුතු. ඇඳ පාඅලු වියළා පිසදමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තන්හි තැබියැ යුතු. ඇඳ අව්වේ දමා ශුද්ධ කොට ගසාදමා පහත් කොට කිසිවෙක නො ගාවමින් නො ගටමින් මනාව ඇතුළට ගොස් කලින් තුබුණු තැන පැනැවියැයුතු. පුටුව අව්වේ ලා ශුද්ධ කොට ගසාහෙළා පහත් කොට කිසිවෙක නො ගාවමින් නොගටමින් ඇතුළට ගෙන ගොස් කලින් තුබුණු තැන පැනවියැයුතු. දොරපළුපිට ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු. බිසි ද කොට්ට ද අව්වේ ලා ශුද්ධ කොට ගසාදමා ඇතුළට ගෙන ගොස් කලින් තුබූ තන්හි ම පැනැවියයුතු. ඉඳිනා ඇතිරි ද පසතුරුණු ද අව්වෙන් තවා ශුද්ධ කොට ගසා හෙළා ඇතුළට ගෙනගොස් කලින් තුබූ තැන පැනැවියයුතු. කෙළමලාව අව්වේ ලා තවා පිස දමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන තැබියැයුතු. හේත්තුවන පුවරුව අව්වේ ලා පිසදමා ඇතුළට ගෙනගොස් කලින් තුබුණු තැන ම තැබියැයුතු.
3. පා සිවුරු බහා තැබියයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පරාමර්‍ශනය කොට (අත ගා) පාත්‍රය තැබියයුතු. (පැදුරු ඈ කිසිවක්) නො අතුළ බිමැ පාත්‍රය නො තැබියැයුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුරුවස (සිවුර දමන උණ දණ්ඩ) හෝ සිවුරුරැහැන (සිවුර දමන රැහැන) හෝ පිසදමා සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම තමා දෙසට ද වැටෙන සේ කොට සිවුර තැබිය යුතු.
ඉදින් පෙර දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, පෙරදිගැ වූ වාකවුළු වසා දැමියයුතු. ඉදින් පැසිම් දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, පැසිම් දිගැ වාකවුළු වසාදැමියයුතු. ඉදින් උතුරු දිගට අයත් දූවිලි සහිත වාතයෝ හමත් නම්, උතුරු දිගැ වාකවුළු වසාලියැයුතු. ඉදින් දකුණු දිග දූවිලි සහිත වාතයෝ හමත් නම්, දකුණු දිගැ වාකවුළු වසා තැබියැයුතු. ඉදින් ශීතකාලය වේ නම්, දහවල් වාකවුළු විවැරියැයුතු. රෑ වැසියැයුතු. ඉදින් උෂ්ණකාලය වේ නම්, දහවල් වාකවුළු වැසියයුතු. රෑ විවැරියැයුතු.
ඉදින් පිරිවෙන කැලි කසළ සහිත වේ නම්, පිරිවෙන හැමැන්ද යුතු. ඉදින් දොරටුව (දොරැ කොටුව) කසළ සහිත වී නම්, එය හැමැන්දයුතු. ඉදින් උවටන් හල කසළ සහිත වී නම්, උවටන් හල හැමැන්දයුතු. ඉදින් ගිනිහල් ගෙය කසළ සහිත වී නම්, එය හැමැන්ද යුතු. ඉදින් වැසිකිළිය කැලි කසළ සහිත වී නම්, එය හැමැන්දයුතු.
ඉදින් බොන පැන් නො වේ නම්, එය එළවා තැබියැයුතු. ඉදින් පරිභෝග පැන් නො වේ නම්, එය එළවා තැබියැයුතු. ඉදින් මල දොවා හරනා දිය සඳහා ඇති කළයේ ජලය නො වේ නම්, එහි එය වත්කළයුතු.
මහණෙනි, යම් සේ ආගන්තුකයන් විසින් පැවැත්වියැයුතු ද, මේ ඒ ආගන්තුක භික්‍ෂූන්ගේ වත යි.
ආවාසික වත්
4. එ සමයෙහි වනාහි ආවාසික භික්‍ෂූහු ආගන්තුක භික්‍ෂූන් දැක අසුන් නො ම පනවත්, පාදෝනා දිය ද පාපුටුව ද පාද කඨලිකාව ද නො ම එළවාතබත්. පෙරගමන් කොට පාසිවුරු නො ම පිළිගනිත්. බොන පැනින් නො ම විචාරත්. වැඩිමහලු වූ ද ආගන්තුක භික්‍ෂූන් දැක නො ම වඳිත්, සෙනසුන් නො ම පනවත්. අල්පෙච්ඡ වූ ලද දැයින් සතුටු වන, ලජ්ජී වූ, සුළු වරදෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් ආවාසික මහණහු ආගන්තුක මහණුන් දැක අසුන් නො ම පනවත් ද ... සෙනසුන් නො ම පනවත් දැ’ යි ලාමක කොට කියත්, නින්‍දා කෙරෙත්, දොස් පතුරුවත්.