“කුමරුනි, තෝ රජකම කැමැත්තෙහි නම්, මේ රජකම තට ය. (ගනුව) යි කියා අජාසත් කුමරුට රජය පැවැරී ය.
16. එ කල්හි දෙව්දත් තෙර අජාසත් කුමරු කරා එළැඹියේ ය. එළැඹ, අජාසත් කුමරු බණවා “ශ්‍රමණ ගෞතමයාගේ දිවි තොර කරනුවට පුරුෂයනට අණ කරන්නැ”යි කී ය. එවිට අජාසත් කුමර “සගයෙනි, දෙව්දත් හිමිඳුන් කියන සැටියක් කරවු යැ”යි මිනිසුනට අණ කෙළේ ය.
එක්බිති දෙව්දත් එක් මිනිසකු බණවා “ඇවැත්නි, යවු අසෝ තැන මහණ ගොයුම් වෙසෙයි. ඔහු දිවි තොර කොට මෙ නම් මගින් එවු” යැ යි ඇණැවී ය. එ මගෙහි “මෙ මඟින් හුදෙකලා වැ එන මිනිසා දිවියෙන් තොර කොට මෙ නම් මඟින් එවු” යැ යි මිනිසුන් දෙදෙනකුන් තැබී ය. එ මගෙහි ද “මෙ මඟින් එන මිනිසුන් දෙදෙනා මරා මෙ නම් මඟින් එවු” යැ යි මිනිසුන් සතර දෙනකුන් සිටුවී ය. ඔවුන් එන මහෙහි ද “මෙ මඟින් එන පුරුෂයන් සතර දෙනා මරවු” යැ යි පුරුෂයන් අට දෙනකුන් සිටුවී ය. ඔවුන් එන මහෙහි ද මෙ “මඟින් එන පුරුෂයන් අට දෙනා මරා මෙ නම් මඟින් එවු යැ”යි මිනිසුන් සොළොස් දෙනකුන් සිටුවී ය.
එක්බිති ඒ හුදෙකලා පුරුෂ තෙම කඩු පලිස් දරා දුනුහියවුරු බැඳගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට නො දුරු තන්හි බිය පත් වූයේ, සිතින් කැලැඹුණේ, සැක ඇත්තේ, තැති ගත්තේ, දැඩි වූ (ගල්ගැසුණු) කයින් යුතු ව සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ බියපත් කැලැඹුණු සැක ඇති, තැතිගත් දැඩිවගිය කයින් යුත් ඒ මිනිසා දුටුසේක. දැක ඔහු බණවා, “ඇවැත්නි, මෙහි එවු, බිය නො ගනිවු” යි වදාළසේක.
එ විට ඒ පුරුෂ තෙම කඩුපලිස් එක් පසෙක තබා දුනුහියවුර ද බහා තබා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළඹ ඔබ පාමුල හිස නමා වැදහොවැ “යම් බඳුවූ මම් අඥාන බැවින් මුළා වූ බැවින්, අකුශල බැවින් දුෂ්ට සිතැත්තෙම් වධ කරන සිතැත්තෙම් මෙහි පැමිණියෙම් ද ඒ මා වරද යට කොට ගත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස ඒ මාගේ වරද වරදවශයෙන් පිළිගන්නාසේක්වා”යි මෙ බස් පැවැසී ය.
‘ඇවැත්නි, යම් බඳු වූ තෙපි අඥාන බැවින්, මුළා වූ බැවින්, අකුශල බැවින්, දුෂ්ට සිතැත්තෝ වධක චිත්තය ඇත්තෝ මෙහි පැමිණියෝ ද, වරද ඒ තොප යට කොටගෙන ගියේ ය. ඇවැත්නි, වරද වරද සේ දැක ධර්‍මය වූ පරිදි පිළියම් කරවු ද තොපගේ ඒ ආරෝචනාව අපි පිළිගනිමු. ඇවැත්නි, යමෙක් වරද වරද සේ දැක දහම් වූ පරිදි පිළියම් කරන්නේ ද මතු සංවරයට පැමිණෙන්නේ ද මෙය ආර්‍ය්‍ය විනයයෙහි වැඩිදියුණුවෙකැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයාට දානකථා ශීල කථා ස්වර්‍ගකථා කාමාදීනව කාමයන්ගේ ලාමක බව කාමයන් ගේ කිලිටි බව කාමයන්ගෙන් හික්මීමෙහි අනුසස් යන පිළිවෙළ කථාව වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයා නීරෝග සිතැති, මොළොක් සිතැති, නීවරණයන්ගෙන් පහ වූ සිතැති, ඔද වැඩීගිය සිතැති පහන් සිතැති එකක්හු කොට දත් කෙණෙහි බුදුවරුන්ගේ සාමුත්කර්ෂිකි දේශනාව වූ දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාළසේක පහ වූ කිලිටි බව ඇති පිරිසිදු වස්ත්‍රයක් මොනොවට රඳන් පිළිගන්නා සේ ම ඒ පුරුෂයාට ඒ අස්නෙහි දි ම උපදනා සුලු සියල්ල නැසෙන සුලු ය’යි පහවූ කෙලෙස් රජස් ඇති පහවූ කෙලෙස් මල ඇති, දහම් ඇස (සෝවාන් මඟ නුවණ) පහළ විය.
ඉක්බිති දුටු නිවන් දහම් ඇති, පැමිණි සෝවත් පල දහම් ඇති, ප්‍රකට වූ සෝවත් පල දහම් ඇති, හැම ලෙසින් බැසගත් සෝවත් පල දහම් ඇති, තිණූ සැක ඇති, පහවූ කථංකථා (සැක) ඇති, විශාරද බවට පැමිණි, ශාස්තෘශාසනයෙහි, පරප්‍රත්‍යය රහිත වූ ඒ පුරුෂ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය: “වහන්ස, අභිකාන්ත ය, වහන්ස, අභිකාන්ත ය වහන්ස, යැටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නා සේ ම, වැසුණු දැයක් විවෘත කරන්නා සේ ම, මංමුළාවූවකුට මඟ කියන්නා සේ ම ඇස් ඇතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නා සේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් , කරුණින් මට ධර්‍මය පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍ම ය ද භිකෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට සලකාවදාරන සේක්වා” යනු ය.
17. එකල්හි මඟ රැක සිටි පුරුෂයෝ දෙදෙන “කවර හෙයින් ඒ හුදෙකලා මිනිසා එන්නට කල් යවා දැ යි මඟ ඉදිරියට යන්නාහු එක්තරා රුක්මුලෙක වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක උන්වහන්සේ වෙත එළැඹියාහ. එළඹ වැඳ පසෙක හිඳගත්හ, ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළ සේක. ඔහු ... ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැති වැ (සෝවන් වැ) භාග්‍යවතුන් වහන්සේ ට ... වහන්ස, දේශනාව අභිකාන්ත ය, වහන්ස, දේශනාව අභිකාන්ත ය... භාග්‍යවතුන් වහන්සේ අප අද සිට දිවිහිම් කොට සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා” යි කීහ.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයන් බණවා “ඇවැත්නි, තෙපි මේ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යි වදාළ සේක. (මෙසේ වදාරා) අන් මගෙකින් ඔවුන් යැවූයේක.
එ කලැ යථෝක්ත පුරුෂයෝ සතර දෙන ඒ පුරුෂයෝ දෙදෙන කවර හෙයින් එන්නට කල් යවත් දැ”යි මාර්‍ගයේ ඉදිරියට යන්නාහු එක්තරා රුකක් මුලැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක ඔබ වෙතට ගියාහ. ගොස් වැඳ පසෙක ඉඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළසේක. ඔහු ... ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයය නැත්තාහු භාග්‍යවතුන් වහන්සේට වහන්ස, දේශනාව අභිකාන්ත ය, වහන්ස, දේශනාව අභිකාන්ත ය ... අප අද සිට දිවිහිම් කොට භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උවසුවන් කොට සලකාවදාරනසේක්වා” යි කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයන් බණවා “ඈවැත්නි, මෙ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යි ඔවුන් අන් මඟෙකින් යැවූසේක.
එකල ඒ පුරුෂයෝ අට දෙන පුරුෂයෝ ‘ඒ සතර කවර හෙයින් එන්නට කල් යවත් දැ’ යි මඟැ ඉදිරියට යන්නාහු එක්තරා රුකක් මුලැ වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක එළැඹ වැඳ පසෙක හිඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළ කථාව වදාළසේක. ... ඔහු ... ශාස්තෘශාසනයෙහි පර ප්‍රත්‍යය නැත්තාහු, “වහන්ස, දේශනාව අභිකාන්ත ය ... වහන්ස, අප අද සිට දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා” යි කීහ.
එකලැ යථෝක්ත සොළොස් පුරුෂයෝ ‘කවර හෙයින් ඒ පුරුෂයෝ අට දෙන එන්නට කල් යවත් දැ’ යි මඟැ ඉදිරියට යන්නාහු එක්තරා රුක්මුලෙක හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක ඔබ වෙත ගියහ. ගොස් ඔබ වැඳ පසෙක ඉඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළසේක. ඔහු . ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයය නැත්තාහු ‘වහන්ස, දේශනාව අභිකාන්ත ය ... භාග්‍යවතුන් වහන්සේ අප අද සිට දිව් හිම් කොට සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා’ යි කීහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් බණවා, ඇවැත්නි, තෙපි මෙ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යැ යි අන් මහෙකින් යැවූසේක.
එ කල්හි යට කී හුදෙකලා පුරුෂයා දෙව්දතු කරා ගියේ ය. ගොස් ‘වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ දිවියෙන් තොර කරන්නට මම් නො හැක්කෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මහර්ධි ඇතිසේක, මහත් අනුභාව ඇති සේකැ” යි කී ය.
“කම් නැත, ඈවැත්නි තෙපි මහණ ගොයුමා දිවියෙන් තොර නො කරවු, මම ම මහණ ගොයුමා දිවියෙන් තොර කරන්නෙමි” යි දෙව්දත් තෙර කී ය.
18. එසමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළු පව්වෙහි ප්‍රාක්ඡායායෙහි (ඉදිරි පසැ සෙවණෙහි) සක්මන් කරන සේක. එකලැ දෙව්දත් තෙර ගිජුකුළු පව්ව නැඟ ‘මෙයින් මහණ ගොයුමා දිවියෙන් තොර කරන්නෙමි’ යි මහගලක් පෙරැළී ය. ගල්කුළු දෙකෙක් එක් වැ ඒ ගල පිළිගත්තේ ය. එයින් පතුරෙක් බිඳී වැටී භාග්‍යවතුන් වහන්සේගේ පයෙක ලෙහෙ මතු කෙළේ ය. (ලෙහෙ සැල්මෙක් විය).
එවිට භාග්‍යවතුන් වහන්සේ උඩ බලා “හිස් පුරුෂය, යම් හෙයෙකින් තෝ නපුරු සිතැති ව වධකරන සිතැති ව තථාගතයන්ගේ සිරුරැ ලෙහෙ මතු කෙළෙහි ද, එයින් තා විසින් බොහෝ පව් රැස් කරන ලද” යි වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, යම් හෙයකින් නපුරු සිතැති ව වධ කරන සිතැති ව තථාගතයන්ගේ සිරුරැ ලේ සොලොවන ලදද, එයින් දෙව්දතු විසින් පළමුවන ආනන්තර්‍ය්‍ය කර්‍මය රැස්කැරිණැ” යි වදාළසේක.
“දෙව්දතු විසින් භාග්‍යවතුන් වහන්සේගේ දිවි තොර කරන්නට උපායෙක් යොදන ලද්දේ ය” යි භික්‍ෂූහු ඇසූහ. (භික්‍ෂූනට ආරංචි විය). ඒ භික්‍ෂූහු ද භාග්‍යවතුන් වහන්සේට ආරක්‍ෂාවරණය ගුප්තිය (රකවල) පිණිස උස්හඬ ඇති වැ මහහඬ ඇති වැ සජඣධායනය කරන්නාහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳුනා විහාරය හාත්පස සක්මන් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ (ඒ භික්‍ෂූන්ගේ) උස්හඬ මහහඬ, සජ්ඣායනා හඬ ඇසූසේක. අසා, ආයුෂ්මත් අනඳ තෙරුනට අඞ්ගාවදාරා, “ආනන්‍දයෙනි, ඒ උස්හඬ, මහහඬ, සජඣායන හඬ කවර හෙයින් ද ?” යි පුළුවුත්සේක.
“වහන්ස, දෙව්දත් තෙර විසින් භාග්‍යවතුන් වහන්සේගේ දිවි තොර කරන උපායෙක් යොදන ලද්දේ ල” යි භික්‍ෂූහු ඇසූහු, වහන්ස, ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ආරක්‍ෂාවරණ ගුප්තිය පිණිස උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු සජඣායනය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ විහාරය හාත්පස සක්මන් කෙරෙත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ ය, මහහඬ ය, සජ්ඣායනා හඬ යැ” යි අනඳ තෙරණුවෝ සැලකළාහ.
“ආනන්‍දය, එසේ වී නම්, ‘ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවා’ යැ යි මගේ වචනයෙන් ඒ භික්‍ෂූන් අමතව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“එසේය , වහන්සැ” යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූන් වෙතට වැඩියාහ. වැඩ ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන සේකැ” යි සැලකළහ.
“එසේ ද ඇවැත්නි” යි කියා ඒ මහණහු අනඳ තෙරුනට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, ඔබ වැඳ එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූන් බණවා භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
19. මහණෙනි, පරෝපක්‍රමයෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන මෙය නො කරුණෙකි, වන්නට අවකාශ නැත්තෙකි. මහණෙනි, තථාගතවරු පරෝපක්‍රම නැති ව ම පිරිනිවෙති.
“මහණෙනි, ලොවැ ඇති විද්‍යාමාන මේ ශාස්තෘවරු පස් දෙනෙකි. කවර පස් දෙනෙක් ද යත්; මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු සිල් ඇත්තේ ම ‘පිරිසිදු සිල් ඇතියෙමි, මාගේ සිල් පිරිසිදුය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. (ඔහුගේ) සව්වෝ “මේ භවත් ශාස්තෘ තෙම වනාහි නො පිරිසිදු සිල් ඇත්තේ ම පිරිසිදු සිල් ඇත්තෙමි, මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙයි. ‘අපි (ඇති තතු) ගිහියනට දන්වන්නමෝ නම් එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, එයින් ඔහුට කෙසේ කියන්නමෝ ද, (මහජන තෙමේ) සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ඔහු පුදයි. යමක් තෙමේ කරන්නේ ද, තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි ඔහු මෙසේ දනිත්. මහණෙනි, මෙබඳු ශාස්තෘහු සව්වෝ ශිලයෙන් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ශීලයෙන් තමා රැකගැන්ම සව්වන් ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
තව ද අනෙකෙකි. මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු ආජීවය ඇත්තේ ම පිරිසිදු ආජීවය ඇත්තෙමි ... යි පිළින කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු ශ්‍රාවකයෝ ආජීවයෙන් රැකගනිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ආජීවයෙන් තමා රැකගැන් ම සව්වන්ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
තවද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම් දෙසුම් ඇත්තෙමැ යි ... පිළින කෙරෙයි. මහණෙනි, මෙබඳු ශාස්තෘහු සව්වෝ ධර්‍මදේශනා අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද දම් දෙසුම් අතින් තමා රැක ගැන්ම සව්වන්ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
තව ද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු දහම්විවැරැම් ඇත්තේ ම පිරිසිදු දහම්විවැරැම් ඇතියෙමි යි ප්‍රතිඥා කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි සව්වෝ දහම්විවැරුම් අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ ද සව්වන් ගෙන් ද දහම්විවැරැම් අතින් රැක්ම අපේක්‍ෂා කෙරෙයි.
තවද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු ඥානදර්‍ශන ඇත්තේ ම පිරිසිදු ඥානදර්‍ශන ඇත්තෙම් වෙමි යි ප්‍රතිඥා කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි සව්වෝ ඥානදර්‍ශනය අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ ද ඥානදර්‍ශනය අතින් තමා රැකගැන්ම සව්වන්ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු සිල් ඇත්තෙම් ම “පිරිසිදු සිල් ඇත්තෙමි යි, මාගේ සිල් පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ මා ශීලය අතින් නො රකිත්. මම ද ශීලය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්‍ෂා නො කරමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු ආජීවය ඇත්තෙම් ම “පිරිසිදු ආජීවය ඇත්තෙම් වෙමි යි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ මා ආජීවය අතින් නො රකිත්. මම ද ආජීවය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් නො පතමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු දම්දෙසුම් ඇත්තෙම් ම “පිරිසිදු දම්දෙසුම් ඇත්තෙම් වෙමි, මාගේ දම්දෙසුම් පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා දම්දෙසුම් අතින් නො රකිත්, මම් ද දම්දෙසුම් අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්‍ෂා නො කරමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු දහම් විවරණ ඇත්තෙම් ම “පිරිසිදු දහම් විවරණ ඇතියෙම් වෙමි, මාගේ දහම් විවැරුම පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා දහම් විවරණ අතින් නො රකිත්, මම් ද දහම්විවරණ අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් නො පතමි.
මහණෙනි, මම් වනාහි පිරිසිදු ඥානදර්‍ශන ඇත්තෙම් ම “පිරිසිදු ඥානදර්‍ශන ඇතියෙම් වෙමි. මාගේ ඥානදර්‍ශනය පිරිසිදු ය. හැම ලෙසින් ශුද්ධ ය. නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා ඥානදර්‍ශන අතින් නො රකිත්, ඥානදර්‍ශන අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්‍ෂා නො කරමි.
මහණෙනි, පරෝපක්‍රමයෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන මෙය නො කරුණෙකි. වන්නට අවකාශ නැත්තෙකි. මහණෙනි, පරෝක්‍රම නැති ව මැ තථාගතවරු පිරිනිවෙත්.
මහණෙනි, තෙපි තම තමන්ගේ විහාරයට යවු, මහණෙනි, තථාගතවරු අනුන් විසින් නො රැක්ක යුත්තෝ ය යනු” යි.
20. එ සමයෙහි රජගහනුවර නාලාගිරි නම් ඇත් තෙම චණ්ඩ ද මිනිසුන් මරන්නේ ද වෙයි. එ කලැ දෙව්දත් තෙම රජගහ නුවරට වැද ඇත්හලට ගොස් ඇත් ගොව්වන් බණවා, “සගයෙනි, රජුට නෑ වූ අපි වූ කලි පහත් තනතුරෙහි සිටිනවුන් උස් තනතුරෙහි තබන්නට, බතුත් වැටුපුත් වඩාලන්නට හැකියම්හ. එබැවින් සගයෙනි, යම් විටෙක මහණ ගොයුම්හු මේ වීථියට පිළිපන්නෝ වෙත් ද, එ විටැ මේ නාලාගිරි ඇතු මුදා මේ වීථියට පමුණුවවු” යැ යි කීය. “එසේ ය වහන්සැ” යි කියා ඒ ඇත්ගොව්වෝ දෙව්දතුට පිළිවදන් දුන්හ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සෙමෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, බොහෝ භික්‍ෂූන් කැටුව රජගහ නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකලැ භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට පිළිපන් සේක. ඒ ඇත්ගොව්වෝ භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට පිළිපන්නවුන් දුටුහ. දැක නාලාගිරි ඇතු මුදා ඒ වීථියට පැමිණැවුහ. නාලාගිරි ඇත් තෙම දුරින් ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක සොඬ ඔසොවා විදැහු කන් හා වලග හා ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ වෙතට දිවැගියේ ය. ඒ භික්‍ෂූහු දුරින් ම එන නාලාගිරි ඇතු දුටුහ. දැක, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මිනිසුන් මරන නපුරු වූ මේ නාලාගිරි ඇත් මේ වීථියට බටුයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරළා වඩනාසේක්වා, සුගතයන් වහන්සේ පෙරළා වඩනාසේක්වා” යි කීහ. “මහණෙනි, එවු, බිය නො ගනිවු. පරෝපක්‍රම යෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේය යන්න නො කරුණෙකි, වන්නට අවකාශ නැතියෙකි. තථාගතවරු පරෝපක්‍රම නැති ව ම පිරිනිවෙති”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
දෙවෙනි වර ද ... තෙවෙනි වර ද භික්‍ෂූහු “වහන්ස, මිනිසුන් මරන නපුරු වූ මේ නාලාගිරි ඇතා මේ වීථියට බටුයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරළා වඩනාසේක්වා. සුගතයන් වහන්සේ පෙරළා වඩනාසේක්වා” යි කීහ.
“මහණෙනි, එවු, බිය නො ගනිවු. පරෝපක්‍රම යෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන්න නො කරුණෙකි, වන්නට ඉඩ නැත්තෙකි. පරොක්‍රම නැති ව ම තථාගතවරු පිරිනිවෙති” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
21. එ සමයෙහි වනාහි මිනිස්සු ප්‍රාසාදයන්හි ද සඳලුවල ද පියැසි වල ද නැඟී හිඳිත්. සැදැහැ නැති සස්නෙහි නො පහන් අනුවණ මිනිස්සු “අහෝ ! විශිෂ්ට රූපශෝභා ඇති මහාශ්‍රමණයා ඇතු විසින් පෙළනු ලබන්නේ යැ”යි කීහ. සැදැහැවත් සස්නෙහි පහන් පණ්ඩිත බුද්ධිමත් මිනිස්සු “භවත්නි, කලකට පසු නාගයෙක් (ශ්‍රේෂඨයෙක්) නාගයකු (ශ්‍රේෂඨයකු) හා සටන් වදින්නේයැ”යි කීහ.
එ කලැ භාග්‍යවතුන් වහන්සේ නාලාගිරි ඇතු මෙත්සිතින් පැතිරැගත්සේක. එවිට නාලාගිරි ඇත් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙත්සිතින් පැතිරැගන්නා ලද්දේ, සොඬ පහතට හෙළාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය. එ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ දකුණතින් නාලාගිරි ඇතුගේ කුම්භස්ථලය පිරිමදිමින් උහුට ගාථාවලින් මෙසේ වදාළසේක.
‘හස්තිය, යම් හෙයෙකින් බුද්ධනාගයා පෙළන්නහුට මෙයින් මතු සුගතියෙක් නො වන්නේ ද එහෙයින් හිංසක සිතින් බුද්ධ නාගයාට ළං නොවෙව. බුද්ධනාගයාට හිංසක සිතින් ළං වීම ඒකාන්තයෙන් දුකට කරුණු වේ.
මත් නොවෙව, පමා නොවෙව, පමා වූවෝ සුගතියට නො යෙත්. එබැවින් යමෙකින් තෝ සුගතියට යන්නෙහි ද තෝ ම එසේ කරව.” යි.
එ කලැ නාලාගිරි ඇත් තෙම සොඬින් භාග්‍යවතුන් වහන්සේගේ පා දූවිලි ගෙන හිස මුදුනැ විසුරුවාගෙන භාග්‍යවතුන් වහන්සේ පෙනෙන තෙක් මානයේ පසුබැස ගියේ ය. එයින් පසු නාලාගිරි ඇත් තෙම ඇත්හලට ගොස් සිය තැනැ සිටියේ ය. නාලාගිරි ඇත් තෙම එසේ දැමුණේ ම විය. (එයින් පසු කිසි ම දිනෙක චණ්ඩ නො වී ය.) එ සමයෙහි මිනිස්සු මේ ගාථාව ගයත්:
“සමහරු හසත්‍යාදීන් දංඩෙන් හීලෑ කෙරෙත්. සමහරු අකුසුවලින් ද සමහරු කසවලින් ද හීලෑ කෙරෙත්. (එහෙත්) මහර්ෂිහු විසින් දණ්ඩක් අවියක් නැති ව ම ඇතා හීලෑ කරන ලද්දේ ය” යනුවෙනි.
“යමෙක් මෙසේ මහත් සෘද්ධි ඇති මෙසේ මහානුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වධ කිරීම පිණිස උත්සාහ කරන්නේ ද, එසේ වූ මේ දෙව්දත් තෙම කොතරම් මහත් පවිටෙක් ද කොතරම් මහත් කාලකණ්ණියෙක් දැ”යි මිනිස්සු පහත් කොට සිතත්, දොස් කියත්, අගුණ පතුරුවත්.
දෙව්දතුට ලාභ සත්කාර පිරිහිණ. භාග්‍යවතුන් වහන්සේට ලාභ සත්කාර වැඩිණ.
22. එ සමයෙහි දෙව්දත් පිරිහුණු ලාභසත්කාර ඇත්තේ සිය ශ්‍රාවක පිරිස සමග කුලයන් කරා ගොස් ඉල්ල ඉල්ලා වළඳයි. “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය මහණහු කුලයන්හි ඉල්ල ඉල්ලා වළඳන්නාහු ද මොනොවට පිළියෙල කැරුණු බොජුන් කාට මනාප නො වේද, මිහිරි බොජුන් කාට නො රිසියේ ද ” යි මිනිස්සු පහත් කොට සිතත්, ගරහත්, දොස් පතුරුවත්.
භික්‍ෂූහු එසේ පහත් කොට සිතන, ගරහන, දොස් පතුරුවන මිනිසුන්ගේ වචන ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ වූ ලද පමණින් සතුටු වන්නා වූ පවට ලජ්ජා ඇති සුළු ඇවැතෙහි ද කුකුස් කරන ශික්‍ෂා කාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් දෙව්දත් තෙම සිය සවුපිරිස සමග කුලයන් කරා ගොස් විනව විනවා වළඳන්නේ ද ” යි පහත් කොට සිතත්, ගරහත් දොස් පතුරුවත්,
භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“දෙව්දතුනි, තෙපි සිය පිරිස සමග කුලයන් කරා ගොස් ඉල්ල ඉල්ලා වළඳවු ද? මෙය සැබෑ ද?” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.
“භාග්‍යවතුන් වහන්ස, සත්‍යයැ”යි දෙව්දත් කී ය.
භාග්‍යවතුන් වහන්සේ ගැරැහුසේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා:
“මහණෙනි, එසේ වී නම් දුසිල් පුඟුලනට නිගා පිණිස ද ප්‍රියශීල පුඟුලනට සැප විහරණ පිණිස ද ලාමක අදහස් ඇති මහණහු පක්‍ෂය නිසා සඞ්ඝයා භින්න නො කෙරෙත්වා යන අදහස් ඇති බැවින් කුලයන් කෙරෙහි දයාව නිසා ද යන මේ කරුණු තුන නිසා භික්‍ෂූනට කුලයන්හි ත්‍රිකභෝජනය පනවන්නෙමි. ගණභෝජනයෙහි දහම් වූ පරිදි කැරැවිය යුතු” යැ යි වදාළසේක.
23. එයින් පසු දෙව්දත් තෙම ඛණ්ඩදේවියගේ පුත් වූ කටමෝරකතිස්ස ද සමුද්‍රදත්ත ද යන නම් ඇති කෝකාලික මහණහු කරා එළඹියේ ය. එළඹ “එවු ඇවැත්නි, අපි මහණ ගොයුම්හු ගේ සඞ්ඝයා බිඳින්නමු, ආඥාහේදය කරන්නමු” යි කී ය.
මෙසේ කී කල්හි කෝකාලික තෙම දෙව්දතුට “ඇවැත්නි, මහණ ගොයුම් වනාහි මහත් සෘද්ධි ඇත්තෙක, මහත් අනුභාව ඇත්තෙක. අපි කෙසේ මහණ ගොයුම්හුගේ සඟපිරිස බිඳින්නමු ද? ආඥාභේදය කරන්නමු දැ?” යි කී ය.
“ඇවැත්නි, එවු. අපි මහණ ගොයුම්හු කරා එළඹ, වස්තු පසක් ඉල්ලම්හ. (ඒ පස නම්: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පෙච්ඡ ගුණයේ යථාලාභ සන්තොෂයේ,{1} සල්ලේඛ ගුණයේ{2} ධුතගුණයේ{3} ඇසු දුටුවන් සිත් පහදවන පැවැත්මේ, යටත් පහත් බවේ, වැර වැඩීමේ
ගුණ වදාරනසුලු කෙනෙක. වහන්ස, මේ පංච වස්තුහු නොයෙක් කරුණින් අල්පෙච්ඡ බව පිණිස පවතිත්. යථාලාභසන්තොෂය පිණිස, සල්ලේඛය පිණිස, ධුතගුණය පිණිස, ප්‍රසාද එළවන බව පිණිස, යටත් පැවැතුම් ඇති වන බව පිණිස පවතිත්.
වහන්ස, භික්‍ෂූහු දිවි හිම් කොට අරණ්‍යවාසී වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම්, වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය. (ඔහු වරදක් කළා වන්නේ ය).
භික්‍ෂූහු දිවි හිම් කොට පිණ්ඩපාතික වන්නාහු නම් මැනැව. යමෙක් නිමන්ත්‍රණ (කැඳවා පිළිගන්වන බත) ඉවසන්නේ නම්, වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
භික්‍ෂූහු දිවි හිම් කොට පාංසුකූලික වන්නාහු නම් මැනැව. යමෙක් ගෘහපති චීවරය පිළිගන්නේ නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
භික්‍ෂූහු දිවි හිම් කොට වෘක්ෂමූලක වන්නාහු නම් මැනැව. යමෙක් සෙවෙණි ඇති තැනකට පැමිණෙන්නේ නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
භික්‍ෂූහු දිවි හිම් කොට දියමස් ගොඩමස් නො වළඳන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් වැළඳුයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.” යනු යි.
“මහණ ගොයුම් තෙම මේ වස්තු පස නො අනුදන්නේය. ඒ අපි මේ වස්තු පසින් ජනයාට හඟවන්නමු.”
“ඇවැත්නි, මේ කරුණු පසින් මහණ ගොයුම්හුගේ සංඝයා බිඳීම කරන්නට හැක්කේ ය, (මහණගොයුම්හුගේ) අණසක බිඳීම කරන්නට හැක්කේ ය. ඇවැත්නි, මිනිස්සු රූක්‍ෂ ප්‍රතිපත්තිය කෙරෙහි පැහැදණෝ ය. එහෙයිනැ” යි කෝකාලික කී ය.
24. ඉක්බිති දෙව්දත් තෙම සිය පිරිස කැටුව භාගාත්‍යවතුන් වහන්සේ කරා එළගැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හුන්නේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ යථාලාභ සන්තොෂයේ සල්ලේඛයේ ධුතගුණයේ ප්‍රාසාදික බවේ යටත් පැවැත්මේ විය. වීර්‍ය්‍යාරම්භයේ ගුණ වදාරනසුලු කෙනෙක. වහන්ස, මේ පංච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡතාව පිණිස යථාලාභ සන්තුෂ්ටිය පිණිස සල්ලේඛය පිණිස ධුතගුණ පිණිස ප්‍රාසාදිකතාව පිණිස යටත් පැවැත්ම පිණිස වීර්‍ය්‍යාරම්භය පිණිස පවතිත්.
“වහන්ස, භික්‍ෂූහු දිවි හිම් කොට ආරණ්‍යයක වන්නාහු නම් මැනැව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
භික්‍ෂූහු දිවි හිම් කොට පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසූයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
භික්‍ෂූහු දිවි හිම් කොට පාංශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපති චීවරය ඉවසුයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
භික්‍ෂූහු දිවි හිම් කොට වෘක්ෂමූලක වන්නාහු නම් මැනව. යමෙක් සෙවෙණියක් ඇති තැනකට පැමිණියේ වී නම්, වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
භික්‍ෂූහු දිවි හිම් කොට දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් කෑයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය. ” (මෙසේ කියා දෙව්දත් තෙම මේ පංච වස්තූන් පනවන ලෙස ඉල්ලී ය.)
“දේවදත්තයෙනි, කම් නැත. යමෙක් කැමැත්තේ නම් හේ ආරණ්‍යක වේවා. යමෙක් කැමැත්තේ නම් ග්‍රාමාන්තයෙහි වෙසේවා.
යමෙක් කැමැත්තේ නම් හේ පිණ්ඩපාතික වේවා. යමෙක් කැමැත්තේ නම් හේ නිමන්ත්‍රණ ඉවසාවා.
යමෙක් කැමැත්තේ නම් හේ පාශුකූලික වේවා. යමෙක් කැමැත්තේ නම් ගෘහපති චීවරය ඉවසාවා.
දේවදත්තයෙනි, අට මසක් ම රුක්මුල් සෙනස්න මා විසින් අනුදන්නා ලදි. තමා උදෙසා මරන ලදැ යි නො දුටු නො ඇසූ සැක නො කරන ලද (යන මේ) තුන් කෙළ පිරිසුදු වූ දියමස් ගොඩමස් මා විසින් අනුදන්නා ලදි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
25. එකල්හි දෙව්දත් තෙම “භාග්‍යවතුන් වහන්සේ මේ පංච වස්තූන් නො අනුදන්නා සේකැ”යි තුටුපහටු වූයේ ඔදවැඩි සිතැත්තේ උනස්නෙන් නැගී සිය පිරිස කැටුව භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියේ ය. ඉක්බිති දෙව්දත්තෙම පිරිස කැටුව රජගහ නුවර වැද වස්තු පසින් මෙසේ ජනයා හැඟැවී ය:
“ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළැඹ මෙසේ වස්තු පසක් ඉල්ලූමු: ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ ... වීර්‍ය්‍යාරම්භයේ ගුණ වදාරන සේක. වහන්ස, මේ පංච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡතාව පිණිස ... වීර්‍ය්‍යාරම්භය පිණිස පවත්නාහ. වහන්ස, භික්‍ෂූහු දිවි හිම් කොට ආරණ්‍යක වන්නාහු නම් මැනව... දිවි හිම් කොට දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව, යමෙක් දියමස් ගොඩමස් කන්නේ වී නම්, වරද ඔහු ස්පර්‍ශ කරන්නේ යැ’ යනුවෙනි. මහණ ගොයුම් තෙම මේ පංච වස්තූන් නො අනුදනී. (එහෙත්) ඒ අපි මේ පංච වස්තූන් සමාදන් කොට ගෙන පවතිමු” යි.
ඔවුන් අතුරෙහි යම් මිනිස් කෙනෙක් සැදෑ නැත්තෝ ද, සස්න කෙරෙහි නො පහන් වූවෝ ද දුර්බුද්ධීහු ද ඔහු “මේ මහණහු වනාහි ධුත ගුණ ඇත්තෝ ය, කෙලෙස් ලියාලන පැවැතුම් ඇත්තෝ ය. මහණ ගොයුම් වනාහි ප්‍රත්‍යය බහුල බව ඇත්තෙකි ප්‍රත්‍යය බහුල බව පිණිස සිතා යැ” යි කීහ. යම් මිනිස් කෙනෙක් සැදැහැ ඇත්තෝ ද සස්නෙහි ප්‍රසන්න ද පණ්ඩිත ද බුද්ධිමත් ද ඔහු “කෙසේ නම් දෙව්දත් තෙම සංඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාහ කරන්නේ දැ”යි ලාමක කොට සිතත්, ගරහත්, නුගුණ පතුරුවත්. භික්‍ෂූහු ඒ ලාමක කොට සිතන, ගරහන, නො ගුණ පතුරුවන මිනිසුන්ගේ කථා ඇසුවෝ ම ය. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු “කෙසේ නම් දෙව්දත් සංඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාහ කරන්නේ දැ”යි ලාමක කොට කියත්, ගරහත්, නොගුණ පතුරුවත්.
26. එ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ, “දේවදත්තයෙනි, තෙපි සංඝ භේදය පිණිස, චක්‍රභේදය පිණිස තැත් කරහු ලු. ඒ සැබෑ දැ” යි අසාවදාළහ.
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්සැ”යි දෙව්දත් කී ය.
‘දේවදත්තයෙනි, එය නො සුදුසු ය. තොපට සංඝභේදය රිසි නො වේවා. දේවදත්තයෙනි, සංඝභේදය බර පවෙකි. දේවදත්තයෙනි, යමෙක් සමග සංඝයා බිඳලන්නේ නම් හේ කලාපස්ථායී පාපයක් රැස් කරයි. කල්පයක් නිරයෙහි පැසෙයි. දේවදත්තයෙනි, යමෙක් වනාහි භින්න වූ සංඝයා සමග කරන්නේ ද හේ මහත් පින් රැස් කෙරෙයි. කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වෙයි. දේවදත්තයෙනි, නො සුදුසු ය. තොපට සංඝභේදය නො රිසියේවා. දේවදත්තයෙනි, සංඝ භේදය ඒකාන්තයෙන් බර පවෙකි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එකල්හි වනාහි අනඳ තෙරණුවෝ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬුපිණිස පිවිසිය හ. දෙව්දත් තෙර රජගහ නුවරැ පිඬුපිණිස හැසිරෙන අනඳ තෙරුන් දුටුයේ ය. දැක ඔබ වෙත එළඹියේ ය. එළඹ අනඳ තෙරුන් බණවා, “ඇවැත් ආනන්‍දයෙනි, අදින් මත්තෙහි මම් භාග්‍යවතුන් වහන්සේ ගෙන් වෙන් ව ම භික්ෂූසංඝයා ගෙන් වෙන් ව ම පොහෝ කරන්නෙමි, සඞ්ඝකර්‍ම කරන්නෙමි” යි කී ය.
ඉක්බිති අනඳ තෙරණුවෝ රජගහ නුවරැ පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරැළා ඇක්මුණාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන්නාවූ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි මම් පෙර වරුයෙහි හැඳපෙරෙව, පාසිවුරුගෙන රජගහ නුවරැ පිඬුපිණිස පිවිසියෙමි. වහන්ස, දෙව්දත් තෙරණුවෝ රජගහ නුවරැ පිඬුපිණිස හැසිරෙන මා දුටහ. දැක මා කරා එළැඹියාහ. එළැඹැ, මා අමතා ‘ඇවැත් ආනන්‍දයෙනි, අදින් මත්තෙහි මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම භික්ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම පොහොය කරන්නෙමි, සඞ්ඝකර්‍ම කරන්නෙමි’ යි කීහ. වහන්ස, දෙව්දත් තෙරණුවෝ අද සඞ්ඝයා භේද කරන්නාහ” යි සැලකළාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැක එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“සත්පුරුෂයා විසින් හොඳ දෑ ලෙහෙසියෙන් කළ හැක්ක. අසත්පුරුෂයා විසින් හොඳ දෑ කරනු ලෙහෙසි නො වේ: පාපයා විසින් පාපය ලෙහෙසියෙන් කළ හැක්ක: ආර්‍ය්‍යයන් විසින් පාපය කළ නො හැක්කැයි.”
දෙවෙනි බණවරයි.
1. එකල්හි දෙව්දත් තෙම එ පොහෝ දිනෙහි අස්නෙන් නැඟීසිට සලාක ගැන්වීය. ‘ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළැඹ (මෙහි මතු දැක්වෙන පරිදි) වස්තු පසක් ඉල්ලූමු:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ යථාලාභසන්තොෂයේ සල්ලේඛයේ ධුතගුණයේ ප්‍රාසාදික බවේ යටත් පැවැත්මේ වීර්‍ය්‍ය වැඩීමේ ගුණ කියනසුලු කෙනෙක. වහන්ස, මේ මතු කියැවෙන පඤ්ච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡ බව පිණිස ...වීර්‍ය්‍යාරම්භය පිණිස පවතිත්. වහන්ස, භික්‍ෂූහු දිවි හිම් කොට ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය ... වහන්ස, දිවි හිම් කොට භික්‍ෂූහු දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් කෑයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය’ යනු ය. මහණ ගොයුම් තෙම මේ වස්තු පස නො අනුදනී. (එහෙත්) ඒ අපි මේ වස්තු පස සමාදන් කොටගෙන පවතිමු. යම් ආයුෂ්මතක්හට මේ පඤ්ච වස්තූහු රිසියෙත් ද හේ සලාකාව ගනී වා” යි කියා සලාකා ගැන්විය.
එ සමයෙහි විසල්පුර වැසි පන්සියක් පමණ වූ භික්‍ෂූහු නවක (අළුත පැවිදිවූවාහු) වූවාහු බුද්ධප්‍රඳප්ත ශික්‍ෂාපදයන්ගේ යථාතත්ත්වය නො දන්නාහු ද වෙත්. ඔහු ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’යි සිතා සලාකා ගත්හ.
ඉක්බිති දෙව්දත් තෙම මෙසේ සඞ්ඝ භේදය කොට පන්සියක් පමණ වූ (ඒ) භික්‍ෂූන් ගෙන ගයාශීර්ෂය බලා නික්මියේ ය.
එ කල්හි සැරියුත් මුගලන් දෙ නම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, දෙව්දත් තෙරණුවෝ සංඝයා බිඳ පන්සියක් පමණ භික්‍ෂූන් ගෙන ගයාශීර්‍ෂය කරා ගියාහ.” යි සැලකළාහ.
“ශාරිපුත්‍රයෙනි, ඒ නවක භික්‍ෂූන් කෙරෙහි තොපගේ කරුණාවකුදු නො වියයුතු ද, ශාරිපුත්‍රයෙනි, ඒ භික්‍ෂූන් අනයව්‍යසනයට පැමිණෙන්නට පෙරාතුව තෙපි යවු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. “එසේය, වහන්සැ”යි කියා සැරියුත් මුගලන් දෙ නම පිළිවදන් දී අස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගයාශීර්‍ෂය බලා නික්මුණාහ.
එසමයෙහි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හඬමින් සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මහණ කවර හෙයින් තෝ හඬහි දැ?’යි අසාවදාළසේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අගසවු වූ යම් සැරියුත් මුගලන් දෙනමෙක් වූහු ද, ඔබ දෙදෙනා ද දෙව්දතුගේ දහම රිසියෙන්නාහු, ඔහු වෙත යෙති” යි හේ කී ය.
“මහණ, සැරියුත් මුගලන් දෙ දෙනා දෙව්දතුගේ දහම රිසි කරන්නාහ යන මෙය නො කරුණෙක, සිදුවන්නට අවකාශ නැත්තෙක. වැලි දු ඔහු භික්‍ෂූනට (යථා තත්ත්වය) හැඳින්වීම පිණිස ගියාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
2. එ සමයෙහි වනාහි දෙව්දත් තෙම මහත් පිරිසක් විසින් පිරිවැරුණේ දම් දෙසමින් හුන්නේ වෙයි. දෙව්දත් තෙම දුරින් ම එන්නා වූ සැරියුත් මුගලන් දෙ නම දිටී ය. දැක භික්‍ෂූන් බණවා, “මහණෙනි, බලවු. මා විසින් ධර්‍මය කොතරම් මනා කොට කියන ලද්දේද, මහණ ගොයුම්හුගේ අගසවු වූ සැරියුත් මුගලන් දෙදෙනා ද මගේ ධර්‍මයට රුචි කරන්නාහු මා වෙත එත්” යැ යි කී ය. මෙසේ කී කල්හි කෝකාලික මහණ තෙම දෙව්දතුට “ඇවැත් දෙව්දතුනි, සැරියුත් මුගලනුන් නො අදහවු. සැරියුත් මුගලන් දෙදෙනා ලාමක ආශා ඇත්තෝය. ලාමකාශාවනට වශග වූවෝයැ” යි කීය.
“ඇවැත්නි, කම් නැත. මගේ දහම රිසියෙන හෙයින් ඔවුන්ගේ මනා පැමිණීමෙකි (ඔවුන් පිළිගනිමි)” යි දෙව්දත් කී ය.