Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 2701-2800 න් 3843

“යහළුව, සාවුරුද්දක් ඉවසන්න ... පස් අවුරුද්දක් ... සතර අවුරුද්දක් ... තුන් අවුරුද්දක් ... දෑවුරුද්දක් ... එක් හවුරුද්දක් ඉවසන්න. එක් හවුරුද්දක් ඇවෑමෙන් අපි දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝවා” යි (භද්දියරජ කී ය).
“යහළුව එක් හවුරුද්දක් ඉතා බොහෝ කාලයකි. මම් එක් හවුරුද්දක් බලා පොරොත්තු වන්නට නො හැක්කෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
“යහළුව සත් මසක් ඉවසන්න. සත් මස ඇවෑමෙන් දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝවා” යි (භද්දිය රජ කීය).
“යහළුව සත් මස ඉතා බොහෝ කාලයෙකි. සත් මසක් බලාපොරොත්තු වන්නට මම් නො හැක්කෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
“යහළුව, සමසක් ඉවසන්න ... පස් මසක් ... සිවු මසක් ... තුන් මසක් ... දෙ මසක් ... එක් මසක්... අඩ මසක් ඉවසන්න. අඩමස ඇවෑමෙන් දෙදෙනා ම පැවිදි වන්නමෝ වා” යි (භද්දිය රජ කී ය).
“යහළුව අඩමස ඉතා බොහෝ කලෙකි. අඩමසක් ඉවසන්නට මම් නො හැකියෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
“යහළුව, පුතුනටත් සොහොයුරනටත් , රජය පවරා දෙන තෙක් සතියක් ඉවසන්නැ” යි (භද්දියරජ කී ය).
“යහළුව සතිය බොහෝ කලෙක් නො වේ. එතෙක් බලා පොරොත්තු වන්නෙමි” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
4. ඉක්බිති භද්දිය ශාක්‍ය රජ ද අනුරුද්ධ ද ආනන්‍ද ද භෘගු ද කිංවිල ද දේවදත්ත ද යන ශාක්‍යයෝ ස දෙනා උපාලි කපුවා සත්වනු කොටැත්තාහු පෙර උයන් බිමට සිවුරඟ සෙනඟින් උප ලක්ෂිත ව යම්සේ නික්ම යෙත් ද, එසේ ම සිවුරඟ සෙනඟින් උපලක්‍ෂිත වැ නික්මුණාහ. ඔහු දුරක් ගොස් සෙනඟ නවත්වා, පරවිෂ යට (අන් රජක්හු ගේ රටට) බැස, ආභරණ ගලවා උතුරු සළුවෙන් පොදියක් කොට බැඳ උපාලි කපුවා බණවා “සගය උපාලිය, පෙරළා යා. මෙය තට ජීවිකාවට ප්‍රමාණ වේ යැ” යි කීහ.
ඉක්බිති පෙරළා එන්නාවූ උපාලි කපුවාට “ශාක්‍යයෝ සැඩයහ. මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ යි ඔවුන් මා මරවනු ද නො බැරි ය. මේ සාක්‍ය කුමාරවරු ද ගිහිගෙන් නික්ම පැවිදි වන්නාහ. මම් කුමට ගිහිගෙයි රැඳෙන්නෙම් ද” යි මේ සිත විය. මෙසේ සිතා ආභරණ පොදිය ලිහා ඒ සියලු බඩු ගසෙක එල්ලා “යමෙක් මේවා දකින්නේ ද ඔහුට දෙන ලදුයේ ම ය. ගෙන යේවා” යි කියා ඒ ශාක්‍ය කුමාරයන් කරා ගියේ ය. ඒ ශාක්‍ය කුමාරයෝ දුරින් ම එන්නා වූ උපාලි කපුවා දුටුහ. දැක ඔහු බණවා, “සගය උපාලි, කවර හෙයින් පෙරළා එන්නෙහි දැ” යි ඇසූහ.
“ආර්‍ය්‍ය පුත්‍රයිනි, මෙහි පෙරළා එන මට ‘ශාක්‍යයෝ ඒකාන්තයෙන් චණ්ඩය හ. මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ’ යි කියා මා මරවනුත් බැරි නැත. ‘මේ, ශාක්‍ය කුමාරයෝත් ගිහිගෙන් නික්ම පැවිදි වන්නාහ. මා ගැන කියනු ම කවරේ දැ’ යි මේ සිත විය. ආර්යපුත්‍රයෙනි, ඒ මම් වනාහි බඩු පොදිය මුදා බඩු ගසෙක එල්ලා ‘යමෙක් දක්නේ නම් ඔහුට මෙය දෙන ලද්දේ ම ය හේ මෙය ගෙන යේවා’ යි කියා එතැනින් ම පෙරළා ආයෙමි” යි
“තෙල උපාලි, පෙරළා ආයේ ය යන යමක් ඇද්ද එය කළ සේ මැනැවි. ශාක්‍යයෝ වූකලි චණ්ඩයහ. ‘මොහු විසින් කුමරුවෝ නික්මවන ලදහ’ යි සිතා තා මරවනු ද නො බැරි යැ” (කුමරුවෝ කීහ).
5. ඉක්බිති ඒ ශාක්‍යප කුමාරයෝ උපාලි කපුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳගත්හ. ඒ ශාක්‍ය කුමරුවෝ පසෙක උන්නාහු ම “වහන්ස, ශාක්‍ය වූ අපි වනාහි මානනිඃශ්‍රිතයම්හ. වහන්ස, මේ උපාලි කපු තෙම දීර්‍ඝ කාලයක් අපේ සේවකයෙකි. භාග්‍යවතුන් වහන්සේ පළමු කොට මොහු පැවිදි කරනසේක්වා. අපි මොහුට වැඳීම, දැක හුනස්නෙන් නැඟී සිටීම, දොහොත් මුදුන් තබා නමස්කාරය, සාමීචිකර්‍මය (පවන් සැලීමාදී ආභිසමාචාරිකවත්) කරන්නෙමු. මෙසේ අපේ ශාක්‍යමානය නිර්‍මාණ බවට පමුණුවන ලබන්නේ යැ (දුරුවන්නේ යැ)” කීහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි කපුවා පළමු කොට ද එයට පසු ඒ කුමරුවන් ද පැවිදි කළ සේක. එයින් පසු ආයුෂ්මත් භද්දිය තෙම ඒ අතුරු වසෙහි දී ම ත්‍රිවිද්‍යාවන් සාක්‍ෂාත් කළේ ය. ආයුෂ්මත් අනුරුද්ධ තෙම දිවැස ඉපැදවී ය. ආයුෂ්මත් ආනන්‍ද තෙම සෝවාන් ඵලය පසක් කෙළේ ය. දෙව්දත් තෙම පුහුදුන් ඍද්ධිය නිපැදවී ය.
එ සමයෙහි වනාහි ආයුෂ්මත් භද්දියයෝ අරනට ගියෝ ද, රුක්මුලට ගියෝ ද, ශුන්‍යාගාරයකට ගියෝ ද, ‘අහෝ සැප ය, අහෝ සැප යැ’ යි එක්වන් උදන් අනති. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක ඉඳගත්හ. එසේ මහණහු පසෙක උන්නාහු ම “වහන්ස, ආයුෂ්මත් භද්දිය තෙමේ අරනට ගියේ ද රුක් මුලට ගියේ ද ශුන්‍යාගාරයට ගියේ ද ‘අහෝ සැප ය, අහෝ සැප යැ’යි උදන් අනයි. වහන්ස, ආයුෂ්මත් භද්දිය තෙම නිසැකින් ම නො ඇලුණේ බඹසර සරයි. ඒ පළමු රජ සුව ම හෝ සිහි කරනුයේ අරනට ගියේත් රුක්මුලට ගියේත් ශුන්‍යාගාරයට ගියේත් ‘අහෝ, සුව ය අහෝ සුව යැ’ යි එක්වන් උදන් අනා යැ” යි මෙ පවත් සැලකළාහ.
6. එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා, “මහණ, මෙහි එව, ‘ඇවැත්නි, ශාස්තෘහු තොප කැඳවති’ යි කියා මාගේ වචනයෙන් භද්දිය මහණහු කැඳවාගෙනෙව” යි වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි කියා එ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් භද්දියයන් කරා එළඹියේ ය. එළැඹ “ඇවැත්නි, භද්දියයෙනි, ශාස්තෘන් වහන්සේ තොප කැඳවන සේකැ” කීයේ ය.
“එසේ යැ ඇවැත්නි” යි කියා ආයුෂ්මත් භද්දියයෝ එ මහණහට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක උන්හ. පසෙක හුන් ආයුෂ්මත් භද්දියයන් බණවා, භාග්‍යවතුන් වහන්සේ “හදදියයෙනි, තෙපි අරනට ගියෝත් රුක්මුලකට ගියෝත් ශුන්‍යාගාරයට ගියෝත් ‘අහෝ සුව යැ, අහෝ සුව යැ’යි එක්වන් උදන් අනත්ල. ඒ සැබෑ ද” යි අසා වදාළසේක.
“වහන්ස, එසේ යැ” යි භද්දියෝ පිළිවදන් දුන්හ.
භද්දියයෙනි, තෙපි අරනට ගියෝද රුක්මුලකට ගියෝද ශුන්‍යාගාරයට ගියෝද කුමක් අරුත් වශයෙන් බලන්නාහු (ම) එක්වන් සොම්නසින් ‘අහෝ සුවය අහෝ සුවයැ’ යි උදන් ඇනූදැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“වහන්ස, පෙරැ මා රජ වැ හුන් සමයෙහි ඇතොවුරෙහි ඇතුළත ද මොනොවට රකවල පිහිටුවන ලද්දේ වේ. ඇතෝවුරින් පිටත ද මොනොවට රකවල පිහිටුවන ලද්දේ වේ. දනව්ව ඇතුළත ද මොනොවට රකවල පිහිටුවන ලදුයේ වේ. දනව්වෙන් පිටත ද මොනොවට රකවල පිහිටුවන ලදුයේ වේ. වහන්ස, ඒ මම් මෙසේ රක්‍ෂිත ගෝපිත වීම් නමුදු බියපත් ව උද්වේග ඇති වැ සැක ඇති වැ තැති ගත්තෙම් වෙසෙමි. වහන්ස, දැන් වූ කලි හුදෙකලා වූයෙම්, අරනට ගියෙම් රුක්මුලට ගියෙම් ද ශුන්‍යාගාරයට ගියෙම් ද අභීත වැ අනුද්විග්න වැ සැක නැති වැ තැති ගැනුම් නැති ව, අල්පොත්සුක වැ, මන් නැති ව, මෙරමා දුන් දැයින් යැපුණෙම් , මෘගභූත (අපේක්‍ෂා රහිත වූ) සිතින් යුතු වැ වෙසෙමි. වහන්ස, මම් මේ කරුණ ද දක්නෙම් වනයට ගියෙම් ද රුක්මුලට ගියෙම් ද ශුන්‍යාගාරයට ගියෙම් ද ‘අහෝ සුවය අහෝ සුව යැ’ එක්වන් උදන් අනමි” යි ආයුෂ්මත් භද්දියයෝ කීහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මෙ උදන් ඇනූසේක:
“යමක්හු සිතෙහි අනාගාමි මගින් නැසූ බැවින් කෝපයෝ නො පහළ වෙත් ද, (සම්පත්ති විපත්ති වෘද්ධි හානි ශාශ්වතෝච්ඡෙ ද දෘෂ්ටි පුණ්‍යපාප දැ යි අනේකප්‍රකාර වූ) භවවිභවතාවනුත් යමෙක් ඉක්මියේ ද පහ වූ බිය ඇති සුවපත් වූ ශෝක නැති තෙනැත්තහු දක්නට දෙවියෝ ද නො ලබත් (ඔහු දැක්ම දෙවියනට දුර්‍ලභ දැයෙකි)”
7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුපියායෙහි රිසි තාක් වැස, ඉන් නික්ම කොසොඹෑ නුවර බලා පිළිවෙළින් සැරිසරන සේක් කොසොඹෑ නුවරට පැමිණිසේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසනසේක. එ කලැ එකලා වැ චිත්තවිවේකයෙන් හුන් දෙව්දත් තෙරුනට “යමක්හු මට පැහැදුණු කල්හි මට බොහෝ ලාභසත්කාර උපදයෙන් නම් එබඳු වූ කවරක්හු පහදවා ගනිම් දෝ” යි මේ සිත විය.
ඉක්බිති දෙව්දත්තෙරහට “මේ අජාසත් කුමර තරුණ ද මත්තෙහි භාග්‍යසසම්පත් ලබන්නෙක් ද වේ. අජාසත් කුමරු පහදවා ගත හොත් මැනැවි. මට ඔහු පැහැදුණ කල්හි බොහෝ ලාභසත්කාර උපදින්නේ යැ” යි මේ සිත විය.
ඉක්බිති දෙව්දත් තෙරණුවෝ සෙනස්න සුරැකි කොට තබා පාසිවුරු ගෙන රජගහ නුවර කරා එළැඹියාහ. එ කලැ දෙව්දත්හු (ඍද්ධියෙන්) ස්වකීය වේශය හකුළුවා කුඩා දරුවකුගේ වේශය මවා ගෙන (ඉනවටා සර්‍පයකු ද එකි එකී අතෙහි පයෙහි එක් එක් සර්‍පයකු ද ගෙලවටා සර්‍පයකු ද හිසවටා එකකු දැ යි මෙසේ) සර්පමේඛලායෙන් සැදී, අජාසත් කුමරුගේ උකුළෙහි පහළ විය. එවිට අජාසත් කුමර බියපත් වූයේ, උද්වේගයට පැමිණියේ, නැගී ආ සැක ඇත්තේ, තැති ගත්තේ විය. එ කල්හි දෙව්දත් තෙරණුවෝ ‘කුමාරය, මා දැක බිය පත් වෙහි දැ’ යි පුළුවුත්හ.
“එසේ ය, බියපත් වෙමි. ඔබ කවුරු දැ” යි කුමර ඇසී ය.
“මම් දෙව්දත් වෙමි” යි තෙරණුවෝ කීහ.
“වහන්ස, ඔබ අරී දෙව්දත් වෙත් නම්, තමන් ගේ පියෙවි වේශයෙන් පෙනී සිටින්නැ” යි කුමර කී ය.
8. ඉක්බිති දෙව්දත් තෙරණුවෝ කුමාරක වේශය හකුළුවා සංඝාටි පාත්‍ර චීවරධර වූවෝ (සඟළ සිවුර හා පාත්‍රය හා සෙසු දෙසිවුර දරනුවෝ) අජාසත් කුමර ඉදිරියේ පෙනී සිටියාහ. එවිට අජාසත් කුමර දෙව්දතුන්ගේ මේ ඉදු පෙළහරින් වෙසෙසින් පැහැදුණේ රිය පන්සියයෙකින් සැදී උදේ සවස උවටනට යෙයි. දිනපතා බත්තැළි පන්සියයක් වූ බොජුන් පිරිනැමීමෙක් ද කැරෙයි.
එ කල්හි ලාභසත්කාරයෙන් හා කීර්තියෙන් මැඩුණු, ක්ෂිණ වූ කුසල් සිත් ඇති දෙව්දත් තෙරණුවනට ‘මම් භික්‍ෂූ සංඝයා පාලනය කරන්නෙමි’ යි මෙ බඳු වූ ආශාවෙක් උපන. එ සිත උපන්නා හා ම දෙව්දත් තෙරණුවෝ ඒ ඍද්ධියෙන් පිරිහුණාහ.
එ සමයෙහි ආයුෂ්මත් , මහමුගලන් තෙරුන්ගේ උපස්ථායක වූ කෝලිය පුත්‍ර වූ කකුධ නම් ක්‍ෂත්‍රියයෙක් එයට සමීප කාලයෙහි කලුරිය කෙළේ එක්තරා මනෝමය දිව්‍යනිකායයෙක උපන්නේ වෙයි. ඔහුට මගධ රටැ ග්‍රාමක්‍ෂේත්‍ර දෙකක් හෝ තුනක් තරම් විශාල වූ මෙබඳු ආත්මභාව ප්‍රතිලාභයෙක් වෙයි. හේ ඒ ලත් අත් බැවින් තමා හෝ මෙරමා හෝ නො පෙළයි.
ඉක්බිති කකුධ දෙව්පුත් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් කරා එළැඹියේ ය. එළඹ ඔබ වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ කකුධ දෙව්පුත් ආයුෂ්මත් මහමුගලන් තෙරුනට “වහන්ස, ලාභ සත්කාර කීර්තියෙන් මඩනා ලද හාත්පසින් ගන්නා ලද සිතැති දෙව්දත් තෙරුනට ‘මම් භික්‍ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නෙමි’ යි මෙබඳු ආශාවෙක් උපන. වහන්ස, එ සිත උපන්නා හා ම දෙව්දත්හු ඒ ඍද්ධියෙන් පිරිහුණාහ.”යි මෙ පවත් සැලකෙළේ ය. කකුධ දෙව්පුත් මෙබස් පැවැසී ය. මෙය පවසා, මහමුගලන් තෙරුන් වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
9. එකල්හි මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක උන්හ. (එසේ) පසෙක හුන් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහ: “වහන්ස, මට උපස්ථායක ව සිටි, නොබෝදා කලුරිය කළ කකුධ නම් කොළිය පුතු තෙම එක්තරා මනෝමය ආත්ම භාවයකට පැමිණියේ ය. ඔහුට මගධ රටැ ගම්කෙත්දෙකක් තුනක් පමණ වූ ආත්මභාවයෙක් ලැබී ඇත. හේ ඒ අත්බැවින් තමා නො ම පෙළයි, අනුන් ද නො ම පෙළයි. වහන්ස, ඉක්බිති කකුධ දෙව්පුත් මා වෙත එළැඹියේ ය. එළඹ මා වැඳ පසෙක සිටියේ ය. වහන්ස, පසෙක සිටි ඒ කකුධ දෙව්පුත් “වහන්ස, ලාභ සත්කාර කීර්තියෙන් මඩනා ලද දෙව්දතුනට ‘මම භික්‍ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නෙමි’ යි මෙසේ වූ ආශාවෙක් උපන. වහන්ස, ඒ සිත උපන්නා හා ම දෙව්දත්හු ඍද්ධියෙන් පිරිහුණාහ. වහන්ස, කකුධ දෙව්පුත් මෙ බස් පැවැසී ය. මෙය පවසා මා වැඳ පැදකුණු කොට එතන්හි ම අතුරුදහන් වී ය” යනු යි.
“කිමෙක් ද? මෞද්ගල්‍යායනයෙනි, ‘කකුධ දෙව්පුත් කියන සියල්ල එසේ ම ය. එහි වෙනස් සැටියෙක් නැතැ’ යි ඔහුගේ සිත තොප සිතින් පිරිසිඳ දන්නා ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.
“වහන්ස, කකුධ දෙව්පුත් කියන ඒ සියල්ල එසේ ම ය, අන් සැටි නො වේ යැ යි ඔහු මා සිතින් ද පිරිසිඳ දන්නා ලද්දේ” යැ යි මහමුගලන් තෙරණුවෝ වදාළාහ.
“මෞද්ගල්‍යායනයෙනි, මේ වචනය රැක ගනිවු. මෞද්ගල්‍යායනයෙනි, මේ වචනය රැක ගනිවු. දැන් ඒ හිස් පුරුෂ තෙම තමා ම හෙළිකරන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
10. මෞද්ගල්‍යායනයෙනි, ලොවැ ශාස්තෘහු පස් දෙනෙක් විද්‍යාමානයහ. කවර පස් දෙනෙක් ද? යත්:
“මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු වූ සිල් ඇත්තේ ම ‘පිරිසිදු සිල් ඇත්තෙම් වෙමි. මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ “මේ භවත් ශාස්තෘ තෙම වනාහි නො පිරිසිදු සිල් ඇත්තේ ම පිරිසිදු සිල් ඇත්තෙමි යි, මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. අපි වූ කලි මෙය ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් අමනාප වේ නම්, අපි කෙසේ එයින් ඔහුට කියන්නමෝ ද? මහජන තෙමේ මොහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. එ බැවින් තෙමේ යමක් කරන්නේ ද එයින් තෙමේ ම හෙළි වන්නේ යැ” යි මෙසේ ඔහු දනිත්.
මෞද්ගල්‍යායනයෙනි, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෘවරයා ශීලය අතින් රකිත්. මෙබඳු ශාස්තෘවරයා ශ්‍රාවකයන්ගෙන් ශීලය අතින් රැක ගැන්ම පතයි.
තවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් අපිරිසිදු ආජීවය ඇත්තේ ම ‘පිරිසිදු ආජීවය ඇත්තෙම් වෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ ‘මේ භවත් ශාස්තෘ තෙම අපිරිසිදු ආජීවය ඇත්තේ ම පිරිසිදු ආජීවය ඇත්තෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටියැ යි ප්‍රතිඥා කෙරෙයි. අපිදු වනාහි මෙය ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, කෙසේ අපි එයින් ඔහුට කියන්නමෝ ද, ජන තෙමේ මොහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. එබැවින් තෙමේ යමක් කරන්නේ ද එයින් තෙමේ ම හෙළිවන්නේ යැ” යි මෙසේ ඔහු දනිත්.
මෞද්ගල්‍යායනයෙනි, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෘවරයා ආජීවය අතින් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ආජීවය අතින් ශ්‍රාවකයන්ගෙන් ආරක්‍ෂාව පතයි.
තවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම්දෙසුම් ඇත්තෙමි යි මාගේ දහම් දෙසුම පිරිසිදු යැ යි හැම ලෙසින් ශුද්ධ යැ යි නො කිලිටි යැ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ ‘මේ භවත් ශාස්තෘ තෙම නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම්දෙසුම් ඇත්තෙමැ යි මාගේ ධර්‍මදේශනා පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. අපි වනාහි මෙබව ගිහියනට කියන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය.
යමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, ජන තෙමේ මොහුට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. තෙමේ යමක් කරන්නේ ද තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි දනිත්.
මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ශාස්තෘවරයා වූකලි ශ්‍රාවකයෝ දම්දෙසුම් අතින් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද දම්දෙසුම් අතින් රැකගැන්ම ශ්‍රාවකයන්ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
තව ද මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු විවරණ (ධර්‍මය හෙළි පෙහෙළි කොට තෝරා දීම) ඇත්තේ ම පිරිසිදු විවරණ ඇත්තෙම් වෙමි යි, මාගේ විවරණය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. ඔහුගේ සව්වෝ ද, ‘මේ භවත් ශාස්තෘ තෙමේ අපිරිසිදු දහම් විවරණ ඇත්තේ ම පිරිසිදු විවරණ ඇත්තෙම් වෙමි, මාගේ දහම් විවරණ පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලුටු යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. අපිදු වූකලි ගිහියනට දන්වන්නමෝ නම්, එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, (මහ ජන තෙමේ) සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ඔහුට සම්මාන කෙරේ ම ය. යමක් තෙමේ කරන්නේ ද තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි ඔහු (ගැන) මෙසේ දනිත්.
මෞද්ගල්‍යායනය, මෙ බඳු ශාස්තෘහු වනාහි ශ්‍රාවකයෝ දහම් විවරණය කෙරෙන් රකිත්. මෙ බඳු ශාස්තෘ තෙමේ ද සිය සව්වන්ගෙන් දහම් විවරණ අතින් තමාගේ ආරක්‍ෂාව පතයි.
තවද මෞද්ගල්‍යායනයෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු ඥානදර්‍ශන (නුවණින් දැක්ම) ඇත්තේ ම පිරිසිදු ඥානදර්‍ශනය ඇත්තෙම් වෙමි. මගේ ඥානදර්‍ශනය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ’ යි ප්‍රතිඥා කෙරෙයි. (ඔහුගේ) සව්වෝ ඔහු මෙසේ දැනගනිත්: ‘මේ භවත් ශාස්තෘ තෙම නො පිරිසිදු ඥානදර්‍ශන ඇත්තේ ම පිරිසිදු ඥානදර්‍ශන ඇත්තෙමි යි, මාගේ ඥානදර්‍ශන පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. අපි වූකලි (මෙ පවත්) ගිහියනට දන්වන්නමෝ නම් එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, අපි කෙසේ නම් එයින් ඔහුට කියන්නමෝ ද, මහජන තෙමේ ඔහුට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සම්මාන කෙරෙයි. යමක් තෙමේ කරන්නේ ද එයින් තෙමේ ම පැනෙන්නේ යැ”යි මෙසේ දනිත්.
මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි ශ්‍රාවකයෝ ඥානදර්‍ශනය අතින් රකිත්, මෙබඳු ශාස්තා තෙමේ ද ශ්‍රාවකයන්ගෙන් ඥානදර්‍ශනය අතින් රැක්ම අපේක්‍ෂා කෙරෙත්.
මෞද්ගල්‍යායනය, ලොවැ මේ ශාස්තෘහු පස් දෙන විද්‍යාමාන වෙත්.
මෞද්ගල්‍යායනයෙනි, මම් වූකලි පිරිසිදු සිල් ඇත්තෙම් ම “පිරිසිදු සිල් ඇත්තෙමි, මාගේ සිල් පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ”යි ප්‍රතිඥා කෙරෙමි. (මා) සව්වෝ සිල් අතින් මා නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් සිල් අතින් මා රැක ගැන්මක් නො පතමි.
පිරිසිදු ආජීවය ඇත්තෙම් ම “පිරිසිදු ආජීවය ඇත්තෙමි, මාගේ ආජීවය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ ආජීවය අතින් මා නො රක්නාහ. මම් ද ආජීවය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්‍ෂා නො කරමි.
පිරිසිදු දම් දෙසුම් ඇත්තෙම් ම “පිරිසිදු දම් දෙසුම් ඇත්තෙමි, මාගේ දම් දෙසුම පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ දම් දෙසුම් අතින් මා නො රක්නාහ. මම් ද සව්වන් ගෙන් දම් දෙසුම් අතින් මා රැකගැන්මක් අපේක්‍ෂා නො කරමි.
පිරිසිදු දහම් විවරණ ඇත්තෙම් ම “පිරිසිදු දහම් විවරණ ඇතියෙමි, මාගේ දහම් විවරණය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ දහම් විවරණ අතින් මා නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් දහම් විවරණ අතින් මා රැක ගැන්මක් අපේක්‍ෂා නො කරමි.
පිරිසිදු ඥානදර්‍ශන ඇතියෙම් ම “පිරිසිදු ඥානදර්‍ශන ඇත්තෙම් වෙමි, මාගේ ඥානදර්‍ශනය පිරිසිදු ය, පර්‍ය්‍යවදාත ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ මා ඥානදර්‍ශනය අතින් නො රක්නාහ. මම් ද සව්වන්ගෙන් ඥානදර්‍ශනය අතින් මා රැකගැන්මක් අපේක්‍ෂා නො කරමි” යනු යි.
11. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවරෙහි කැමැති තාක් කල් වැස, රජගහ නුවර බලා චාරිකායෙහි නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, රජගහ නුවරට වැඩිසේක.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු නොළං තන්හි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක.
එ සමයෙහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. එසේ හිඳගත්තා වූ ඒ මහණහු “වහන්ස, අජාසත් කුමර තෙමේ පන්සියක් රියෙන් සෑදී දෙව්දත් තෙරුනට සවස ද උදේ ද උවටනට යයි, බත්සැළි පන්සියයක් වූ බත් පිරිනැමීමෙක් ද කැරේ” යැ යි මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“මහණෙනි, දෙව්දතුගේ ලාභසත්කාර කීර්තියට ඊප්සා නො කරවු. මහණෙනි, යම් තාක් අජාසත් කුමර පන්සියක් රියෙන් සැදී දෙව්දතුහට සවස උදේ උවටනට යන්නේ ද, බත් සැළි පන්සියක් වූ බත් එළවීම කරනු ලබන්නේ ද, ඒ තාක් ම දෙව්දතුට කුසල් දහම්හි හානියක් ම මිස වෘද්ධියක් අපේක්‍ෂා නො කළහැක්ක.
මහණෙනි, නපුරු බල්ලකුගේ නාසයෙහි මුවපිත (මිරිකා) බින්‍දු හෙළන්නාහු ද, එසේ කිරීමෙන් ඒ බලු තෙම වඩාත් බොහෝ සෙයින් චණ්ඩ වන්නේ ද, එසේ ම මහණෙනි, යම්තාක් අජාසත් කුමර පන්සියක් රියෙන් යුතු ව දෙව්දතුට උවටනට සවස උදේ යන්නේ ද, බත් සැළ පන්සියක් වූ බත් එළැවීම කරනු ලබන්නේ ද, ඒතාක් ම දෙව්දතුට කුසල් දහම්හි හානියක් ම මිස වෘද්ධියක් අපේක්‍ෂා නො කළ හැක්ක. මහණෙනි, දෙව්දතුහට තමාගේ විනාශය පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය. තමා ගේ පිරිහීම පිණිස දෙව්දතුහට ලාභ සත්කාර කීර්ති පහළ විය. මහණෙනි, යම්සේ කෙසෙල් ගස තමාගේ විනාශය පිණිස තමාගේ පිරිහීම පිණිස පලදෙන්නේද එසේම දෙව්දතුට ලාභසත්කාර කීර්ති පහළවිය.
මහණෙනි, යම්සේ හුණගස තමාගේ විනාශය පිණිස පල දෙන්නේ ද, තමාගේ පිරිහීම පිණිස පල දෙන්නේ ද, මහණෙනි, එසේ ම තමාගේ විනාශය පිණිස දෙව්දතුහට ලාභ සත්කාර කීර්ති පහළ විය, තමාගේ පිරිහීම පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය.
මහණෙනි, යම්සේ බටගස තමාගේ විනාශය පිණිස පල දෙන්නේ ද, තමාගේ පිරිහීම පිණිස පල දෙන්නේ ද, මහණෙනි, එසේ ම දෙව්දතුට තමාගේ විනාශය පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය, තමාගේ පිරිහීම පිණිස ලාභ සත්කාර කීර්ති පහළ විය.
මහණෙනි, යම්සේ කොටළුදෙන තමාගේ විනාශය පිණිස ගබ් ගන්නී ද, තමාගේ පිරිහීම පිණිස ගබ් ගන්නී ද, මහණෙනි, එසේ ම තමාගේ විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්ති පහළ විය, තමා ගේ පිරිහීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කිර්ත්ති පහළ විය” යනු ය.
“යම්සේ ඒකාන්තයෙන් ඵලය කෙසෙල්ගස නසා ද, ඵලය හුණගස නසා ද, එලය බටගස නසා ද, දරුගබ කොටළු දෙන නසා ද, එසේ ම සත්කාරය ලාමක පුරුෂයා නසයි”.
පළමු බණවර
12. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රජු සහිත මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් හුන්සේක. එ කල්හි දෙව්දත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී උතුරු සහ එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් නමා වැඳ, මෙසේ කීය.
“වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ජීර්ණසේක. වෘද්ධ වූ සේක, මහලු වූ සේක, දීර්‍ඝ කාලයක් ගත කළසේක, පැසිම් වයසට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ මනෝදාත්සාහ වන සේක්වා, දෘෂ්ටධර්‍ම සුඛවිහරණයෙහි (එල සමාපත්ති සුවයෙහි) යෙදී වසනසේක්වා. භික්‍ෂූ සඞ්ඝයා මට බාර දෙනසේක්වා. මම් භික්‍ෂූසඞ්ඝයා පරිහරණය කරන්නෙමි (පාලනය කරන්නෙමි)”යි මෙ බස් කීහ.
“දෙව්දතුනි, කම් නැත. භික්‍ෂූ සඞ්ඝයා පරිහරණය කරන්නට ඔබට රිසි නො වේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
දෙවෙනි වර ද ... තෙවෙනි වර ද දෙව්දත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ජීර්‍ණ වූ සේක: වයෝවෘද්ධ වූ සේක, මහලු වූ සේක, දීර්‍ඝ කාලයක් ගත කළසේක, පැසිම් වයසට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ මන්‍දෝත්සාහ වනසේක්වා, දෘෂ්ටධර්‍මසුඛ විහරණයෙහි (පල සමවත් සුවෙහි) යෙදී වසනසේක්වා, භික්‍ෂූ සඞ්ඝයා මට බාරදෙනසේක්වා, මම් භික්ෂූසඞ්හයා පරිහරණය කරන්නෙමි (පාලනය කරන්නෙමි)” යි කීහ.
දෙව්දතුනි, මම් සැරියුත් මුගලන් දෙදෙනාට ද භික්ෂූසංඝයා බාර නො දෙන්නෙමි. කිමෙක් ද? ළාමකවූ කෙළ බුදින (මිථ්‍යා ජීවිකා යෙන් දිවි පවත්වන) ඔබට භික්‍ෂූසඞ්ඝයා බාර දෙම් ද? (බාර නො දෙමි) යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එවිට දෙව්දත් තෙරණුවෝ “භාග්‍යවතුන් වහන්සේ රජුන් සහිත පිරිසෙහි මට ඛෙළාසක වාදයෙන් (කෙළ බුදින්නෙකැ යි කීමෙන්) පිරිහෙළා කථා කෙරෙති, සැරියුත් මුගලනුන් උස්තන්හි තබති” යි කිපුණාහු නො සතුටු සිතැත්තාහු, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියාහ.
මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දෙව්දතුන්ගේ පළමු වෙර බැඳීම විය.
13. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ‘පෙර දෙව්දත් තෙරුන්ගේ අන් පියෙවියෙක් විය, දැන් අන් පියෙවියෙකි. යමක් දෙව්දත් තෙරණුවෝ කයින් හෝ වචනයෙන් හෝ කරන්නාහු නම්, එයින් බුදුහු හෝ දහම හෝ සංඝයා හෝ නො දත යුතු යැ. (එයට බුදුහු හෝ දහම හෝ සංඝයා හෝ වග නො කියති) යි දෙව්දත්හු ම එයින් දතයුත්තාහ’යි රජගහ නුවර ප්‍රකාශනික කර්‍මය කෙරේ වා” යි වදාළසේක.
තව ද “මහණෙනි, එය මෙසේ කළයුතු ය. ව්‍යක්ත ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු ය:
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය, දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද, එයින් බුදුහු හෝ ධර්‍මය හෝ සඞ්ඝයා හෝ නො දත යුතුවහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ”යි සඞ්ඝ තෙමේ දෙව්දතුන් පිළිබඳ ව රජගහනුවරෙහි ප්‍රකාශනක කර්‍මය කෙරෙයි.
‘පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද, එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දත යුතුහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ’යි දෙව්දතුන් පිළිබඳ වැ රජගහ නුවරැ ප්‍රකාශනක කර්‍මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේ වා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
‘පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් වචසින් යමක් කරන්නාහු ද එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දතයුතුවහ. දෙව්දත්හු ම එයින් දත යුතුහ’යි රජගහනුවරැ දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනක කර්‍මය කරන ලද්දේ ය. එය සඞ්ඝයාට රිසි ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (නුවණින් සලකමි)” යනු ය.
14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරණුවන් අමතා, ‘එසේ වී නම් ශාරිපුත්‍රයෙනි, තෙපි රජගහනුවරැ දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනක කර්‍මය කරවු’ යැ යි වදාළසේක.
“වහන්ස, පෙරැ මා විසින් ගොධිපුත්‍ර දෙව්දත් තෙරණුවෝ මහත් සෘද්ධි ඇත්තෝ ය, ගොධිපුත්‍ර (දෙව්දත් තෙරණුවෝ) මහානුභාව ඇත්තෝ ය”යි රජගහනුවරෙහි දී දෙව්දත් තෙරුන්ගේ ගුණ කියන ලද්දේය. දැන් කෙසේ නම් දෙව්දත් තෙරුන් පිළිබඳ ප්‍රකාශනක කර්‍මය කරන්නෙම් ද?” යි සැරියුත් තෙරණුවෝ කීහ.
“ශාරීපුත්‍රයෙනි, ගොධිපුත්‍රයෝ ‘මහර්ධිමත්හ, ගොධිපුත්‍රයෝ මහානුභාව ඇත්තෝ යැ’යි තොප විසින් රජගහ නුවරෙහි දෙව්දතුන් ගේ ඇත්තාවූ ම ගුණය එදා කියන ලද්දේ නො වේ ද?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“එසේ ය, වහන්සැ ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
“ශාරීපුත්‍රයෙනි, එසේ ම දෙව්දතුන් පිළිබඳ දැන් ඇත්තාවූ ම තත්ත්‍වය රජගහ නුවරෙහි පවසවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“එසේ ය වහන්සැ”යි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය පිළිගත්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක: “මහණෙනි, එසේ වී නම් පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය, දැන් පියෙවිය අනෙකෙකි. දෙව්දත්හු කයින් හෝ වචසින් හෝ යමක් කරන්නාහු නම්, එයින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දතයුතුහ. දෙව්දත්හු ම එයින් දතයුතුහ”යි රජගහනුවරෙහි දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනය කරන්නට සඞ්ඝ තෙමේ ශාරිපුත්‍ර තෙරුන් සම්මත කෙරේවා. මහණෙනි ඒ සම්මතිය ද මෙසේ කළ යුතු ය: පළමු කොට සැරි යුත්හු යැදිය යුත්තාහ. යැද, ව්‍යක්ත ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. පෙර දෙව්දතුන් පියෙවිය අනෙකෙක් විය. දතයුතුහ” යි දෙව්දතුන් පිළිබඳ ව රජගහ නුවරෙහි පුකාශනය කරන්නට සඞ්ඝ තෙමේ සැරියුත් තෙරුන් සම්මත කෙරේවා. මේ ඥප්තිය ය (දැන්වීමය).
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය ... එයින් දත යුතුහ’යි දෙව්දතුන් පිළිබඳ ව රජගහ නුවරෙහි ප්‍රකාශ කරන්නට සැරියුත් තෙරුන් සම්මත කෙරෙයි. පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය ... දෙව්දත්හු ම දතයුතු යැ යි රජගහනුවරැ ප්‍රකාශනය කරන්නට සැරියුත් තෙරුන් සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ ද හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ ද හේ කියාවා.
“පෙරැ දෙව්දතුන්ගේ පියෙවිය අනෙකෙක් විය... එයින් දෙව්දත් ම දතයුතුහ”යි දෙව්දතුන් පිළිබඳව රජගහ නුවරැ ප්‍රකාශනක කම්ය කරන්නට සැරියුත් තෙරණුවෝ සම්මතය හ. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.
මෙසේ සඞ්ඝයා විසින් සම්මත වූ සැරියුත් තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් හා රජගහනුවරට වැඩ “පෙරැ දෙව්දත් තෙරුන්ගේ පියෙවිය අනෙකෙක් විය. දැන් පියෙවිය අනෙකෙක ... එයින් දෙව්දත් තෙරණුවෝ ම දතයුත්තාහ”යි රජගහනුවරැ දෙව්දත් තෙරුන් පිළිබඳ ප්‍රකාශනය කළහ. එහි යම් මනුෂ්‍ය කෙනෙක් ශ්‍රද්ධාව නැත්තෝ ද සස්නෙහි අප්‍රසන්න ද, නුවණ නැත්තෝ ද, ඔහු මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ඊර්‍ෂ්‍යා කරන්නෝ ය. දෙව්දතුන්ගේ ලාභ සත්කාර නො ඉවසන්නාහ”යි කීහ. යම් මනුෂ්‍ය කෙනෙක් සැදැහැ ඇත්තෝ ද, සස්නෙහි පහන් වූවෝ ද, පණ්ඩිත ද බුද්ධිමත් ද, ඔහු යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් පිළිබඳ ව රජගහ නුවරෙහි ප්‍රකාශනය කරවන සේක් ද, එහෙයින් මෙය (දෙව්දතුන් කළ දැය) අල්ප ස්වල්ප වරදක් නො වියයුතු යැ”යි මෙසේ කීහ.
15. එ කලැ දෙව්දත්හු අජාසත් කුමරු වෙත එළඹියහ. එළඹැ ඔහු අමතා, “කුමරුවනි, පෙරැ වූ කලි මිනිස්සු දීර්‍ඝායුෂ්ක වූහ. දැන් අල්පායුෂ්කයහ. තෙපි කුමාර ව හිඳ ම (රජ බවට පත් නොවී) කලුරිය කරන්නහුය යන මේ කාරණය ඇත (විය හැක්කෙකි). එ බැවින් කුමරුවනි, තෙපි පියා මරා රජ වවු. මම් භාග්‍යවතුන් නසා බුදු වන්නෙමි” යි කීහ.
එවිට අජාසත් කුමර දෙව්දත් හිමියෝ වනාහි මහත් සෘද්ධි ඇත්තෝ ය. මහානුභාව ඇත්තෝ ය. දෙව්දත් හිමියෝ කළයුත්ත දන්නෝත් වෙති යි සිතා කළවායෙහි සිරියක් බැඳගෙන මද්දහනෙහි බිය ඇත්තේ උද්වේග ඇත්තේ, සැක ඇත්තේ වහා ඇතොවුරට පිවිසියේ ය. ඇතොවුරෙහි සෙවායෙහි යෙදුණු මහඇමැත්තෝ මද්දහනෙහි බිය පත් ව උද්වෙග ඇති ව සැක ඇති ව තැතිගැනුම් ඇති ව වහා ඇතොවුරට වදනා අජාසත් කුමරු දුටුවාහ. දැක ඔහු අල්ලාගත්හ. ඔහු පිරික්සන්නාහු කළවෙහි බැඳි සිරිය දැක, “කුමාරයෙනි, ඔබ කුමක් කරනු කැමැත්තහු ද? ”යි විචාළාහ.
“පියාණන් නසනු කැමැත්තෙම් වෙමි”යි කුමර කී ය.
“කවරකු විසින් මෙහෙයන ලද්දනු ද? (කාගේ කීමකට ද?) ”යි ඔහු ඇසූහ.
“දෙව්දත් හිමියන් විසිනැ” යි කුමර කී ය.
සමහර මහඇමතියෝ “කුමරු ද නැසියයුතු ය, දෙව්දත් ද නැසියයුතු ය, සියලු මහණහු ද නැසියැ යුතුහ” යි මතිය පහළ කළහ.
සමහර මහ ඇමැත්තෝ “භික්‍ෂූහු නො නැසියයුත්තාහ, භික්‍ෂූහු කිසි වරදක් නො කළහ. කුමරුත් දෙව්දතුත් නැසියයුතු හ”යි මෙසේ අදහස් කළාහ.
සමහර මහඇමැත්තෝ “කුමරුත් නො නැසියයුතු, දෙව්දතුත් නො නැසියයුතු, භික්‍ෂූහුත් නො නැසියයුතු, රජුට දැන්වියයුතු, රජු කියන සැටියක් කරන්නමු” යි කීහ.
ඉක්බිති ඒ මහඇමැත්තෝ අජාසත් කුමරු රැගෙන මගධේශ්වර බිම්බිසාර රජු කරා එළැඹියහ. එළැඹ රජුට මෙ පවත් සැල කළාහ.
“සගයෙනි, මහඇමැතියන් විසින් , කෙසේ මතියක් කරන ලද ද (කුමක් අදහස් කරන ලද දැ)” යි රජ පුළුවුත.
“දේවයිනි, සමහර මහඇමැත්තෝ කුමරු ද දෙව්දත් ද භික්‍ෂූහු ද නැසිය යුතුහ”යි අදහස් කළහ. සමහර ඇමැත්තෝ ‘භික්‍ෂූහු නො නැසිය යුතුහ, භික්‍ෂූන් කළ වරදෙක් නැත, කුමරුත් දෙව්දතුත් නැසිය යුතුහ’යි අදහස් කළහ. සමහර මහඇමැත්තෝ කුමරුත් නො නැසියයුතු, දෙව්දතුත් නො නැසියයුතු, භික්‍ෂූහුත් නො නැසියයුතු. රජුහට දැන්වියයුතු, රජුහු කියන සැටියක් කළයුතු යැ’යි අදහස් කළහ” යි ඔහු කීහ.
“සගයෙනි, බුදුරජු හෝ ධර්‍මය හෝ සඞ්ඝයා කුමක් කරන්නේ ද? ”පෙරැ දෙවිදත්හුගේ පියෙවිය අනෙකෙක් විය, දැන් අනෙකෙක: “දෙව්දතුන් කයින් වචසින් කරන කියන දැයෙකින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දැක්කයුතුහ”යි දෙව්දත් ම එ දැක්ක යුතු යැ” කලින් ම දෙව්දත් තෙම රජගහ නුවරෙහි පවස්වන ලදුයේ නො වේ (දෙව්දතු පිළිබඳ ප්‍රකාශනය කරවන ලද්දේ නො වේ ද?” රජ කී ය. (මෙසේ කියා) ‘එහි යම් මහඇමති කෙනෙක් කුමරුත් දෙව්දතුත් භික්‍ෂූහුත් නැසියයුතු යැ’ යි අදහස් කළෝ ද ඔවුන් අභව්‍යයන් කෙළේ ය. (ඔවුන් දැරු ඇමැති ධූරයෙන් පහ කෙළේ ය). ‘භික්‍ෂූහු නො නැසියයුතුහ. භික්‍ෂූහු කිසි වරදක් නො කෙරෙත්. කුමරු ද දෙව්දත් ද නැසියැයුතු ය’යි මෙසේ යම් මහඇමති කෙනෙක් අදහස් කළෝ ද, ඔවුන් පහත් තන්හි තැබී ය. (තනතුරෙන් පහත හෙලී ය). ‘කුමරු නො නැසියයුතු, දෙව්දත් ද නො නැසියයුතු, භික්‍ෂූහු ද නො නැසිය යුතුහ, රජුට දැන්වියැයුතු, රජු කියන සැටියක් කරන්නමු’ යි යම් මහඇමති කෙනෙක් කීහු ද ඔවුන් උස් තන්හි තැබී ය.
ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ අජාසත් කුමරු බණවා, “කුමරුනි, තෝ කුමට මා නසනු කැමැති වීහි දැ?” යි ඇසී ය. “දේවයිනි, රජකමින් ප්‍රයෝජන ඇත්තෙමි (මම රජ වනු කැමැත්තෙමි)”යි කුමර කී ය.