Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 2601-2700 න් 3843

වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි නම් හේ කියාවා.
මෙ නම් මහණ තෙම සිවුරු බෙදන්නකු කොට සඞ්ඝයා විසින් සම්මත විය. එ හෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි (සලකමි)” යනු යි.
68. එ සමයෙහි සඞ්ඝයාට කැඳ බෙදන්නෙක් (යාගුභාජකයෙක්) නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො පැමිණෙන්නේ ද, ... බෙදූ නො බෙදූ දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්‍විත මහණහු යාගුභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ මහණ ද මෙසේ සම්මත කළයුතු. පළමු කොට මහණෙක් යැදියයුතු ... සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම යාගුභාජකයකු වූ කොට සම්මත කරන ලද්දේ ය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට පලවැළ බෙදන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදන ලද නො බෙදන ලද දැයත් දන්නේ ද, මෙ කී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු ඵලභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම එ මහණ සම්මත කළයුතු ය. පළමු කොට මහණෙක් යැදියයුතු ය ... සඞ්ඝයා විසින් මෙ නම් මහණ එලභාජක යැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනුයි.
69. එ සමයෙහි සඞ්ඝයාට ඛාද්‍ය (කැවිලි) බෙදන්නෙක් නො වෙයි. ඛාද්‍ය නො බෙදනු ලබන්නේ නැසී යෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදූ නො බෙදූ දැය දන්නේ ද, මෙකී අඞ්ගපසින් සමන්‍විත මහණක්හු ඛාද්‍යභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම එ මහණ සම්මත කළයුතු: පළමු කොට මහණ තෙම, යැදියයුතු. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්හ තෙමේ මෙසේ දැන්වියැයුතු:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ඛාද්‍යභොජක කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ඛාද්‍යභෝජක කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු ඛාද්‍යභෝජක කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියේ නම් හේ කියාවා.
සඞ්ඝයා “විසින් මෙ නම් මහණ බාද්‍යභෝජක කොට සම්මත ය. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
70. එ සමයෙහි වූ කලී සඞ්ඝයාගේ භාණඩාගාරයෙහි අල්පමාත්‍ර වූ (කුඩා) පිරිකර උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ... දුන් නොදුන් දැයත් දන්නේ ද මෙසේ වූ අඞ්ග පසින් සමන්‍විත මහණක්හු අල්පමාත්‍ර පිරිකර දෙන තැනැත්තකු කොට සම්මත කරන්නට අනුදනිමි.
මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු; පළමු කොට මහණෙක් යැදිය යුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණකු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු:
වහන්ස සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු අප්පමත්ත විස්සජ්ජකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසා වා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙයි නම් හේ කියා වා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජක යැ යි සම්මත ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
“ඒ අල්පමාත්‍රක විසර්ජක මහණහු විසින් (දික් එකක් ද ලුහුඬු එකක් දැ යි සඞ්ඝයා නො විචාරාම) එක් එක් හිදිකටුවක් දිය හැක්ක. එක් පිහියක් දියැ හැක්ක. එක් වහන් සඟළක් දිය හැක්ක. එක් කාබානක් දියැ හැක්ක. එක් අංසබන්‍ධකයක් (අස් බඳනාවක්) දියැ හැක්ක. එක් පෙරහනක් දියැහැක්ක. එක් ඩබරාවක් දියහැ හැක්ක. කුසියක් (සිවුරෙහි දික් නුවාපතක්) දියැ හැක්ක. අඩ කුසියක් (ලුහුඬු නුවා පතක්) දියැ හැක්ක, මඬුල්ලක් (පස්කඩ සිවුරෙහි මහා මණ්ඩලයක්) දියැ හැක්ක. අඩමඬුල්ලක් ( කුඩා මණඩලයක්) දියැ හැක්ක. නුවාවක් දියැහැක්ක. පරිහණ්ඩයක් (ඇතුළු නුවාවක්) දියැ හැක්ක. ඉදින් සඞ්ඝයාට ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ සකුරු හෝ වේ නම් එක් වරක් වළඳන්නට දියැහැකි ය. ඉදින් යළිත් වුව මනා වී නම් යළිත් දියැ හැකි යැ” යි වදාළ සේක.
71. එ සමයෙහි සඞ්ඝයාට වැසිසළු ගන්වන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ.
“මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ... ගත් නොගත් දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු සාටියගාහාපකයකු (වැසි සළු ගන්වන්නකු) කොට සම්මත කරන්නට අනුදනිමි. මෙසේ සම්මත ද කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැයුතු ය. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝයා මෙසේ දැන්වියයුතු ය:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් මහණ සාටිගාහාපකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණ සාටියගාහාපකයකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙ නම් මහණ සාටියගාහාපකයකු කොට සම්මත, කිරීම රිසියෙයි ද හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් මෙනම් මහණ සාටියගාහාපක යෙකියි සම්මත ය. (එය), සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට පාත්‍ර ගන්වන්නෙක් නැත. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ..... ගත් නොගත් දැයත් දන්නේ ද, මෙකී අංග පසින් සමන්‍විත මහණහු පාත්‍ර ගන්වන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි.
මහණෙනි, මෙසේ ම හේ සම්මත කළයුතු:
පළමු කොට මහණෙක් යැදියැයුතු ... සඞ්ඝයාට රිසියෙයි. මෙසේ මෙ කරුණ දරමි (සලකමි).” යනු යි.
72. එසමයෙහි ආරාමික ප්‍රේෂකයෙක් නැත. ආරාමිකයෝ නො මෙහෙයනු ලබන්නාහු වැඩපල නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... මෙහෙයන ලද්දනුත් නො මෙහෙයන ලද්දනුත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු ආරාමික ප්‍රේෂකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු ය. ... එ හෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි (සලකමි)” යනුයි.
එ සමයෙහි සඞ්ඝයාට ශ්‍රාමණෙර ප්‍රේෂකයෙක් (හෙරණුන් ඒ ඒ කටයුත්තෙහි මෙහෙයවන්නෙක්) නැත. හෙරණහු නො මෙහෙයනු ලබන්නාහු කිසි කටයුත්තක් නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ:)
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ද්වේෂයාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද භයාගතියට නො යන්නේ ද, මෙහෙයන ලද්දනුත් නො මෙහෙයන ලද්දනුත් දන්නේ ද, මෙකී අංග පසින් සමන්‍විත මහණක්හු ශ්‍රාමණෙර ප්‍රේෂකයක්හු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැයුතු: යැද ව්‍යක්ත ප්‍රතිබල මහණකු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු ය:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ශ්‍රාමණෙර පේෂකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ශ්‍රාමණේර ප්‍රේෂකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු ශ්‍රාමණේර ප්‍රේෂකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක්හට නො රිසියේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම ශ්‍රාමණෙර ප්‍රේෂක යැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
තෙවෙනි බණවර යි.
සවැනි ශයනාසනස්කන්‍ධකය නිමියේ යි.
එහි උද්දානය කියැවේ:
1. එ දා බුදුරජුන් විසින් විහාරයෙක් නො පැනැවුණේ විය. ඒ බුදුසව්වෝ වසන තැනින් ඒ ඒ තැනට නික්ම යෙත්.
2. සිටු ගැහැවියෙක් ඔවුන් දැක මහණුනට මෙය කී: වෙහෙරක් කරවන්නෙම් නම් එහි වසන්නහුදැ යි. ඇසී ය. (ඔහු බුදුරජුන් විචාළාහ.)
3. වෙහෙර ද ගුරුළු පියා පත් වැනි සෙවෙණි ඇති ගෙය ද දික් පහය ද සඳලු සහිත ගෙය ද ගුහාව ද යන වසන තැන් පසක් බුදුරජුන් අනුදත්හ. සිටු තෙම වෙහෙර සැටක් කැරැවී ය.
4. ජනයා දොරපළු නැති විවෘත වූ විහාර කරවයි. දොරපළුව ද දොරබාව ද වටෙවු ලීය ද උතුරු ලීය ද,
5. රැහැන් සිදුර ද අදිනා රැහැන ද අගුල් වැටිය ද අගුල් කණුව ද යතුර ද තරංකය ද කෙසි සිදුර ද ලොහොමුවා ලීමුවා අංමුවා යතුර ද,
6. යතුර ද හිද්ද ද ඇතුළත පිටත බදාම ඇලැවි සෙවෙණිය ද පිල් වාබෝනය ද දැල්වාබෝනය ද කූරුවාබොනය ද රෙදි පාපිස්න ද තණ ඇතිරිය ද,
7. මීඪය ද වේවැල් ඇඳ ද සොහොනැ ලූ මසාරකය ද බුන්‍දිකා බද්ධ ඇඳ පුටු ද කුලීරපාදක (කකුළු පා) ඇඳ පුටු ද ආහච්චපාදක ඇඳ පුටු ද සිවුරැස් පුටුව ද උස් සිවුරැස් පුටුව ද,
8. කවිච්චිය ද වේවැල් පුටුව ද රෙදි බන් පුටුව ද පුවරු පා පුටුව ද ඇඹුල්වැටි පුටුව ද පුවරුවද කොස්ස ද පිදුරු පුටුව ද,
9. උස් යහනෙහි හීම ද සපකු ඩැසීම ද ඇඳ පිළිපා ද අටඟුල් ඇඳ පිළිපා ද හුය ද අටපා වියුම ද රෙදිකඩ ද පුලුන් ද අඩකයක් දික් කොට්ට ද,
10. ගිරග්ගසම්ජ්ජය ද බිසි ද සෙනසුන් පිරිකර වූ වස්ත්‍රය ද මෙට්ට ලු ඇඳ පුටු ද බිසි යටින් පැළී වැටෙනු ද, උර ගළවා ගෙන යත් යන්න ද,
11. භක්ති කර්‍මය ද හස්තභක්ති කර්‍මය ද තථාගතයෝ අනුදත්හ. වෙහෙරෙහි ද සුදු පැහැ කළු පැහැ ගැන්වීම ද දස්පිණ්ඩ දානය ද සණ්හමත්තිකා දානය ද,
12. මැලියම් ද අත්ලෙන් තුනී කිරීම ද අබපිටි ද ඉටිතෙල් ද අනුදැනීම ද ඒවා වැඩි වූ කල්හි රෙදි කඩින් පසුදුරන්නට අවසරය ද, රළු බිමැ ගඩවිල් පස් දීම ද,
13. මැලියම් අනුදැන්ම ද ප්‍රතිභාන චිත්‍ර කිරීම ද මිටි බිම් ද බැඳුම් ද නැඟෙන්නවුන් වෙහෙසට පත් වෙත් යනු ඇදී වැටෙත් ය යනු ද ඒකාඞ්ගන වීමද අඩ භිත්තිය අනුදැන්ම ද ගබ් තුන ද,
14. කුඩා වෙහෙරෙහි බිතුපා දිරීම ද බිත්ති තෙමීම ද බිය පත් ව කෑගැසීම ද භිත්තිඛිලය අනුදැන්ම ද සිවුරු හෙලන වස් දංඩ ද සිවුරු හෙලන ලනුව ද පිළ අනුදැන්ම ද පැලැලි අනුදැන්ම ද,
15. ආලම්බන බාහානුජානනය ද තණ රොඩු වැටීම ද යට කී නය අනුව උල්ලොපාවලෙපාදිය කළ යුතු ය යන්න ද එළිමහනැ වීවරවංස චීවරරජ්ජුන් තැබීම ද පැන් අව්වෙන් කැකෑරෙයි යන්න ද පැන්හල අනුදැන්ම ද යටකී පරිදි පැන්හලෙහි පියස්සේ උල්ලොපාවලෙපාදිය ද පැන්බඳුන අනුදැනීම ද,
16. විහාරය ද කොටුව ද පිරිවෙන ද ගිනිහල් ගෙය ද යළි කොටුව පිළිබඳ ව යට කී පරිදි ම උල්ලිත්තාවලිත්තාදිය යොදා දැන ගන්නේ ය.
17. සුදත්ත නම් සැදැවත් අනේපිඬුසිටු තෙම ශීතවනයට ගියේ ය. හේ දුටු නිවන් දහම් ඇත්තේ සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ නිමැතී ය.
18. අතරමඟැ අණ කෙළේ ය. ගණයා මගැ ආරාම කැරැවී ය. විසල් පුරැ මහණහු නවාම් කෙරෙත්. සවැගියන් අතැවැස්සෝ ඉදිරියෙන් ගොස් සෙනසුන් අත් කැරැ ගැන්ම කරත්.
19. බොජුන් හල අග්‍රපිණ්ඩාදියට කවරෙක් සුදුසු ද? වටුවාට ඉතිරිදෙදෙන බුහුමන් කළාහ. නො වැන්ද යුත්තෝ ද කියන ලදහ. සවැගියන් අතැවැස්සෝ මණ්ඩපයන් අත්කැරැ ගැන්ම කළහ. ඇතුළු ගමැ පුළුන් පිරැවූ ඇඳ පුටු ආදිය පැනැවූහ. සැවැතට බුදුරජුහු වැඩියාහ.
20. දෙව්රම සඟනට පිරිනැමී ය. බොජුන්හල කලබල ඇතිවිය. ගිලන් මහණහු මුසපත් වෙත්. මහඟු යහන් අත්කර ගනිත්. ලෙසමාත්‍රාබාධයෙන් සෙනසුන් අත් පත් කරත්. සතලොස්වැගි මහණහු එහි වෙහෙරක් පිළිසකර කෙරෙත්.
21. කවරකු විසින් කෙසේ නම් සෙනසුන් ගැන්විය යුතු ද යන පැනය නැංගේ ය. විහාර ගණනින් සෙනසුන් ගැන්වීම බෙදී ය. පිරිවෙන් අනුභාගය දියයුතු ය. ඒ භාගය නො කැමැත්තෙන් නො දියයුතු.
22. සීමාවෙන් පිටත සිටියහුට සෙනසුන් නො ගැන්විය යුතු. හැම කල්හි සෙනසුන් ප්‍රතිබාහනය නො කළ යුතු, සෙනසුන් පිළිබඳ ගැන්වීම් තුනෙකි. උපනන්‍ද තෙර සෙනසුන් දෙකක් ප්‍රතිබාහන කෙළේ ය. බුදුහු විනය වැණුහු. තෙරහු සිටගෙන විනය උදෙසැවූහ. කොතෙකින් සමානාසන ඇත්තෝ වෙත් ද?
23. සමානාසනිකයෝ ඇඳ කඩාදැමූහ. තුන් දෙනෙක් ද හිඳ ඇඳ කඩාදැමූහ. දෙදෙනකුට එකට ඇඳ පුටුවල හිඳ ගන්නට අනුදත් සේක. අසමානාසනිකයන් හා දික් අස්නැ හිඳීම අනුදත් සේක. ආළින්ද සහිත සියලු පහය අනුදත් සේක.
24. කොසොල් රජුගේ මුත්තණියෝ කලුරිය කළාහ. සැවතට නොදුරෙහි මහණුනට උවදුරු ඇති විය. කීටාගිරියෙහි දී සවැගිමහණුන් ගේ අතැවැස්සන් විසින් සෙනසුන් බෙදන ලදි. බුදුරජහු අළවු රටට වැඩියාහ. මැටිපිඩු තබන පමණිනුත් බිත්තිය මැටි ගෑ පමණිනුත් දොර අගුල් වැටිය කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්.
25. කවුළු දොර සවිකරන පමණිනුත් බිත්ති ආදිය සුදු කළු ගුරු පැහැ කරන පමණිනුත් සෙවිලි කරන පමණිනුත් පියස්ස බඳනා පමණිනුත් ගණ්ඨිකාවක් තැබීම් කැඩුම් බිඳුම් පිළිසකර පමණින් පිළක් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්. විසි වසකට තිස් වසකට ද දිවිහිම් කොට ද නවාම් සම්මතිය දෙත්.
26. කොට නිමැවූ වෙහෙර සඳහා ද නවාම් සම්මතිය දෙත්. නොකළ හෝ අඩාළ වූ හෝ වෙහෙර සඳහා නවාම් සම්මතිය අනුදත් සේක. නවාම් දෙත්. කුඩා වෙහෙරෙහි සවසකට හෝ පස්වසකට නවාම් දියයුතු, අඩ්ඪයොග වෙහෙරෙහි කටයුතු බලා හත් අට වසකට ද මහ වෙහෙරෙක කටයුතු සඳහා දසදෙළොස් වසකට ද නවාම් සම්මතිය දියයුතු.
27. සියලු වෙහෙරට නවාම් දෙත්. එකකුට නවාම් දෙකක් දෙත්. නවාම් ගෙන අන් එකකු වස්වත්. සඟසතු දෑ තමනට වෙන් කෙරෙත්. සීමායෙන් පිටත සිටියාහට නවාම් දෙත්. ඔහු සියලු කාලයෙහි වෙහෙර තමනට වෙන් කර ගනිත්. නවාම් ගෙන පිටත් ව යෙත්, සිවුරු හැර ද යෙත්.
28. කලුරිය ද කෙරෙත්, හෙරණුම්හ යි ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කළම්හ යි පරිජියට අවනුම්හ යි උමතුවම්හ යි කැලඹුණු සිතැත්තම්හ යි වේදනායෙන් පෙළුණම්හ යි, ඇවැත් නො දැක්මෙන් ද,
29. ඇවැතට පිළියම් නො කිරීමෙන් ද දෘෂ්ටිය අත් නො හැරීමෙන් ද උත්ක්ෂිප්තයම්හ යි, පණ්ඩකයම්හයි, ථෙය්‍ය සංවාසකයම්හයි, අන් තොටුවනට බැඳුණම්හ යි, තිරිසන්ගියම්හ යි මා පිය රහතුන් නැසුවම්හ යි භික්‍ෂුණි දූෂකයම්හ යි ද,
30. සඟබේ කළම්හ යි ද ලොහිතුප්පාදකයම්හ යි ද උභතොඛ්‍යඤ්ජනකයම්හ යි ද පිළින කෙරෙත්. සඞ්ඝයාට පාඩු නො වේවා යි කටයුත්ත අන්හට දියයුතු.
31. කටයුත්ත අඩාළ කල්හි ද අනෙකකුට පැවරියයුතු, එය කොට නිමි කල්හි ඔහුට ම එය පැවරියයුතු, නික්ම යන්නේ ද සිවුරු හරනේ ද කලුරිය කෙළේ ද හෙරණ වෙමි යි හෝ,
32. ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කෙළෙමි යි හෝ අන්තිම වස්තුවට පැමිණියෙමියි පණ්ඩකයෙමි යි ප්‍රතිඥා කෙරේ ද, සඞ්ඝයා ම එහි ස්වාමි වේ. උමතු වෙමි යි, වික්‍ෂිප්ත සිතැත්තෙමි යි, වේදනායෙන් පෙළුණෙමි යි පිළින කෙරේ ද,
33. ඇවැත් නො දැක්මෙහි ඇවැතට පිළියම් නො කිරීමෙහි මිසදිටුව අත්නොහැරීමෙහි උඛෙව්නි කම් කරන ලදිමි යි පිළින කෙරෙයි ද ඒ ආවාසය ඔහුට ම ය. පණ්ඩකයෙමි යි ථෙය්‍යසංවාසකයෙමි යි තිත්‍ථියපක්කන්තක යෙමි යි තිරිසන්ගතයෙමි යි මාතෘඝාතක පිතෘඝාතක යෙමි යි.
34. අරහන්තඝාතකයෙමි යි භික්‍ෂුණිදුෂකයෙමි යි සඞ්භේදකයෙමි යි ලොහිතුප්පාදකයෙමි යි උභතෝබ්‍යඤ්ජනකයෙමි යි හේ පිළින කෙරේ ද සඞ්ඝයා ම ඒ ආවාසයට ස්වාමි වේ.
35. විහාරපරිභෝගය අන් තැනකට ගෙන යත්, පැදුරු ආදිය ගෙනයන්නට කුකුස් කෙරෙත්. වෙහෙරෙක් දිරාපත් වෙයි. සඞ්ඝයාට මාහැඟි කම්බලයෙක් උපන. මාහැඟි වස්තුයෙක් උපන. චර්‍මයෙක් උපන. චක්කලිකාවෙක් උපන. රෙදි කඩෙක් උපන. නොසෙදු පයින් සෙනසුන් ඇක්මෙත්.
36. තෙත් පා ඇත්තාහු පාවහන් ඇත්තාහු සෙනස්න ඇක්මෙත්. පිරියම් කළ බිමැ කෙළ ගසත්. පිරියම් කළ බිත්තියට හේත්තු වෙත්. හේත්තුවන පුවරුව බිම සූරයි. සේදු පයැත්තහු පසතුරුණ එළා සැතපියයුතු,
37. රජගහ නුවර සඟබත් කරන්නට නො හැකි වෙත්. සැවැගියෝ ලාමක බත් භික්‍ෂුනට දෙති. භතතුද්දේසකයකු අනුදත් සේක. කෙසේ බත් උදෙසිය යුතු දැ යි ප්‍රශ්නයෙක් විය. සෙනසුන් පනවන්නකු අනුදත් සේක. භාණ්ඩාගාරික සම්මතිය අනුදත් සේක.
38. චීවරප්‍රතිග්‍රාහකයෙක් ද චීවරභාජකයෙක් ද යාගුභාජකයෙක් ද ඵලභාජකයෙක් ද බජ්ජකභාජකයෙක් ද අප්පමන්තකවිසජ්ජකයෙක් ද,
39. සාටියගාහාපකයෙක් ද එසේ ම පත්තගාහාපකයෙක් ද අනුදන්නා ලදහ. ආරාමිකපේසක සම්මතිය ද සාමණේරපෙසක සම්මතිය ද අනුදන්නා ලදහ.
40. සියල්ල මැඩැලූ ලොව තතු දන්නා ඉතසිත් ඇති විනායකයන් වහන්සේ විවේකවාසය පිණිස ද සුව පහසු පිණිස ද ධ්‍යාන වඩන්නට ද විවසුන් වඩන්නට ද සෙනසුන් අනුදත් සේක.
සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය
පළමු බණවර
ශාක්‍යයන් සදෙනාගේ පැවිද්ද
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුපිය නම් නුවර සමීපයෙහි වැඩ වසන සේක. අනුපිය නම් මල්ලයන් ගේ නියම්ගමෙකි. එ සමයෙහි වනාහි ප්‍රකට වූ ශාක්‍ය කුමාරයෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. එ සමයෙහි මහානාම ශාක්‍ය ද අනුරුද්ධ ශාක්‍ය ද යන දෙදෙන සොහොයුරෝ වෙත්. අනුරුද්ධ ශාක්‍ය තෙම සියුමැලි වෙයි. ඔහුට ප්‍රාසාද තුනෙක් විය. එකෙක් ශීත සෘතුවේ විසීම පිණිස ය. එකෙක් ග්‍රීෂ්ම ඍතුවේ විසීම පිණිස ය. එකෙක් වර්ෂාණ ඍතුවේ විසීම පිණිස ය. හේ වර්ෂාණර්තුව සඳහා තැනැවුණු පහයෙහි වැසි සාරමස තූර්‍ය්‍ය වයන ස්ත්‍රීන් විසින් හසුරුවනු ලබන ඉන්ද්රියයන් ඇත්තේ (හෙවත් පස්කම්හි අලවනු ලබනුයේ) යට පහයට නො බසී.
එ කල්හි “දැන් වනාහි ප්‍රකට ප්‍රකට ශාක්‍ය කුමාරයෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. අප කුලයෙන් ද කිසිවෙක් ගිහිගෙය හැර සස්නට නො පැමිණියේ ය. (පැවිදි නොවී ය.) මා හෝ අනුරුද්ධයා හෝ පැවිදි වතොත් ඉතා යෙහෙකැ”යි මහානාම ශාක්‍යයාට මේ සිත විය. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම අනුරුද්ධ ශාක්‍යයා කරා එළැඹියේ ය. එළැඹ අනුරුද්ධ ශාක්‍යයා බණවා, “දරුව අනුරුද්ධය, දැන් ප්‍රකට ප්‍රකට ශාක්‍ය කුමරුවෝ පැවිදි වූ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදි වෙත්. අපගේ කුලයෙන් වූ කලී කිසිවෙකුත් ගිහි ගෙන් නික්ම පැවිදි නො වී ය. එබැවින් තෝ හෝ පැවිදි වව, මම් හෝ පැවිදි වන්නෙමි” යි මෙ බස් පැවැසීය.
“මම් වූකලී සියුමැලියෙමි. ගිහි ගෙන් නික්ම පැවිදි වන්නට නො හැක්කෙමි. ඔබ පැවිදි වන්නැ” යි අනුරුද්ධ කුමර කී ය.
“දරුව අනුරුද්ධය, එසේ වී නම් ගිහිගෙයි වසනු පිණිස උපදෙස් දෙන්නෙමි. පළමු කොට කෙත් සෑවවිය යුතු. සාවවා, වැපිරැවිය යුතු. වපුරවා ඇතුළට ජලය පැමිණැවිය යුතු ය. ඇතුළට ජලය පමුණුවා, ජලය සම කැරැවිය යුතු. ජලය සම කරවා, වල් නෙළීම කැරැවිය යුතු. වල් නෙළීම කරවා, කැප්විය යුතු. කප්වා ඇද්දිය යුතු. අදවා මිටි බැන්දවිය යුතු. මිටි බඳවා මැඩවිය යුතු. මඩවා පිදුරු බැහැර කැරැවිය යුතු. පිදුරු බැහැර කරවා කාටුව ඉවත් කැරැවිය යුතු, පොලවාලිය යුතු. පොලවාලා ගෙට ගෙන්වියැ යුතු. ගෙට ගෙන්වා එන වර්ෂයෙහි ද මෙසේ ම කළ යුතු යැ” යි (මහානාම කුමර කී ය.)
“කටයුතු නො නිම වෙයි. කටයුතුවල කෙළවරෙක් නො පැනෙයි. කවරදා නම් කටයුතු නිම වන්නේ ද? කවර දාක කටයුතුවල කෙළවරෙක් පැනෙන්නේ ද? කවර දාක අපි අල්පොත්සුක වැ පස් කම් ගුණයෙන් සමර්පිත වැ සමන්‍විත වැ සැප පහසු විඳින්නමෝ දැ”යි (අනුරුද්ධ කුමර කී ය.)
“දරුව අනුරුද්ධ, කටයුතු නිම නො වේ. කටයුතුවල කෙළවරක් ද නො පැනෙයි. කටයුතු නොනිමි කල්හි ම මාපියෝ ද මුත්තණු මිත්තණියෝ ද කලුරිය කළහ” යි මහානාම කුමරුවෝ කීහ.
“එසේ වී නම් ඔබ ම ගිහිගෙහි විසීම දැන ගනුව. මම ගිහි ගෙන් නික්ම පැවිදිබිමට පැමිණෙන්නෙමි” යි අනුරුද්ධ කුමර කී ය.
2. ඉක්බිත්තෙන් අනුරුද්ධ ශාක්‍ය තෙම මව කරා එළැඹියේ ය. එළැඹ, “මෑණියනි, මම් ගිහිගෙන් නික්ම සස්නැ පැවිදි වන්නට කැමැත්තෙමි. මට ගිහිගෙන් නික්ම සස්නැ පැවිදි වන්නට අනුදන්නැ” යි කී ය. මෙසේ කී කල්හි අනුරුද්ධ ශාක්‍යයාගේ මව අනුරුද්ධ ශාක්‍යයාට, “දරුව තෙපි වනාහි මගේ පිය වූ මනාප වූ නො පිළිකුල් වූ දරු දෙදෙනා ය. තොපගේ මරණයෙනුදු නොකැමැත්තෙන් ම වෙන් වන්නෙමි. එසේ කලැ, ජීවත් වන්නා වූ තොපට ගිහි ගෙන් නික්ම සසුන් වදින්නට කිමෙක් ද, අනුදන්නෙම් දැ” යි කීවා ය.
දෙවෙනි වර ද අනුරුද්ධ ශාක්‍ය තෙම “මෑණියනි, මම් ගිහි ගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදිනුවට මට අනුදන්නැ” යි කී ය.
“දරුව අනුරුද්ධය, තෙපි ප්‍රිය වූ මනාප වූ නොපිළිකුල් වූ මගේ දරු දෙදෙනා ය. තොප ගේ මරණයෙනුදු නො කැමැතිවැ ම වෙන් වන්නෙමි. කිමෙක් ද ජීවත් වන්නා වූ තොපට ගිහිගෙන් නික්ම සසුන් වදනට අනුදන්නෙම් දැ” යි අනුරුත් කුමරුගේ මව කීවා ය.
තෙවෙනි වර ද අනුරුද්ධ ශාක්‍ය තෙම “මෑණියනි, මම් ගිහි ගෙන් නික්ම සසුන් වදිනු කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදිනුවට මට අනුදන්නැ” යි කී ය.
එ සමයෙහි වනාහි භද්දිය ශාක්‍ය රජ ශාක්‍යයන් ගේ රජය කරවයි. හේ ද අනුරුද්ධ ශාක්‍යයා ගේ යහළුවෙක් වෙයි. එකල්හි අනුරුද්ධ ශාක්‍යයාගේ මවු “මෙ භද්දිය ශාක්‍ය රජ ශාක්‍යයන් ගේ රජය කරවයි. මෙ තෙම අනුරුද්ධ ශාක්‍යයාගේ යහළුවෙක. හේ ගිහිගෙන් නික්ම පැවිදිවන්නට උත්සාහ නො කෙරේ යැ’ යි සිතා, “දරුව අනුරුද්ධය, ඉදින් භද්දිය ශාක්‍ය රජ ගිහි ගෙයින් නික්ම සසුන් වදනේ නම්, එසේ කලැ තෙපිත් පැවිදි වන්නැ” යි කීවා ය.
3. ඉක්බිති අනුරුද්ධ ශාක්‍ය තෙම භද්දිය ශාක්‍ය රජුහු කරා එළැඹියේ ය. එළැඹ, භද්දිය ශාක්‍යරජුට “යහළුව මගේ පැවිද්ද ඔබ පිළිබඳ යැ” යි කී ය.
“යහළුව, තාගේ පැවිද්ද මා පිළිබඳ හෝ නො පිළිබඳ හෝ වේ ව යි මම් තා හා ... සුවසේ පැවිදි වන්නැ” යි (භද්දිය ශාක්‍ය රජ කී ය.)
“යහළුව, එන්නැ. අපි දෙ දෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමෝ වා” යි අනුරුද්ධ ශාක්‍ය කී ය.
“යහළුව, ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මම් නො හැකියෙමි. මා විසින් තොපට අන් යමක් කළ හැකි නම්, එය තොපට කරන්නෙමි. තෙපි පැවිදි වන්නැ” යි භද්දියරජ කී ය.
“යහළුව, ‘ඉදින් දරුව අනුරුද්ධය, භද්දිය ශාක්‍ය රජ ගිහිගෙන් නික්ම සසුන් වදනේ නම්, එසේ ඇති කල්හි තෙපිත් පැවිදි වවු’ යි මව මට මෙසේ කීවා ය. ‘යහළුව ඉදින් තොපගේ පැවිද්ද මා පිළිබඳ හෝ නො පිළිබඳ වේව යි මම් තොප හා ... සුවසේ පැවිදි වන්නැ’ යි. මේ වචනය ඔබ විසින් මට කියන ලද්දේ ය. යහළුව එන්න, දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදිමෝව” යි (අනුරුද්ධ ශාක්‍ය කී ය).
එ සමයෙහි මිනිස්සු සත්‍ය ප්‍රතිඥා ඇති සත්‍යවාදීහු වෙති. ඉක්බිති භද්දිය ශාක්‍යාරජ අනුරුද්ධ ශාක්‍යයාට “යහළුව, සත් හවුරුද්දක් ඉවසන්න (සාපෙක්‍ෂකවන්න) සත් හවුරුද්දක් ඇවෑමෙන් අපි දෙදෙනා ම ගිහිගෙන් නික්ම සසුන් වදින්නමු” යි කී ය.
“යහළුව, සත් හවුරුද්ද ඉතා බොහෝ කාලයෙකි. යහළුව, සත් හවුරුද්දක් බලාපොරොත්තු වන්නට මම නො හැක්කෙමි”.