“එසේ ය වහන්සැ” යි. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි අස්සජි පුනබ්බසුක මහණුන් කරා එළැඹියාහ. එළැඹ අස්සජිපුනබ්බසුක මහණුන් බණවා, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා ද සැරියුත් මුගලන් දෙනම ද කැටුව වඩනා සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සඞ්ඝයාට ද සැරියුත් මුගලන් දෙනමට ද සෙනසුන් පනවවු” යැ යි කීහ.
“ඇවැත්නි, සඟසතු සෙනසුනෙක් නැත. සියල්ල අප විසින් බෙදා ගන්නා ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම ස්වාගත ය (වැඩිසේ මැනව). භාග්‍යවතුන් වහන්සේ යම් විහාරයෙක වසන්නට කැමැති වනසේක් ද එහි වසනසේක්වා. සැරියුත් මුගලන් දෙ දෙනා ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවනට වශඟ වූවෝ ය. අපි ඔවුනට සෙනසුන් නො පනවන්නම්ඟ” යි අස්සජිපුනබ්බසුක දෙදෙනා කීහ.
“කිමෙක් ද ඇවැත්නි, තෙපි සඟසතු සෙනසුන් බෙදාගත්තු දැ?” යි ඔහු විචාළාහ.
“එසේ ය, ඇවැත්නි” යි ඔහු කීහ.
යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු ‘කෙසේ නම් අස්සජිපුනබ්බසුක මහණහු සඟසතු සෙනසුන් (තමන් සතු කොට) බෙදා ගත්තාහු ද’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්.
ඉක්බිති එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, ... සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස සැබෑ යැ” යි ඔහු කීහු,
“මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ සඟසතු සෙනසුන් බෙදා ගන්නාහු ද මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා මෙය වදාළසේක:
“මහණෙනි, මේ වස්තු පස නො බෙදියැ හැකියැ, සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ නො බෙදියැයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය.
කවර පසෙක් ද යත්: ආරාමය ද ආරාම වත්ත ද යන මේ පළමු වන නො බෙදියැ යුතු දෑ ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො බෙදියයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදුයේ වී නම් තුලැසි ඇවැත් වන්නේ ය.
විහාරය, විහාර වත්ත යන මේ දෙවෙනි නො බෙදියැයුතු දෑ ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො බෙදියයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලදුයේ වේ. යමෙක් බෙදුයේ වී නම් තුලැසි ඇවැත් වන්නේ ය.
ඇඳ, පුටු, බිසි, කොට්ට යන මේ තෙවෙනි නො බෙදිය යුතු දෑ ය. ...
ලොහො සැලි, ලොහො පැණ, ලොහො කළ, ලොහො කටාරම්, වෑ පොරෝ කෙටේරි, උදලු නියන් යන මේ සිවුවන නො බෙදියැයුතු දෑ ය. ...
වැල්, හුන, මුදුතණ, බබුස්තණ, සෙසු තෘණ වර්‍ග, මැටි, ලී බඩු මැටිබඩු යන මේ හැම පස් වන නො බෙදියැයුතු දෑ ය. සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා විසින් නො බෙදියැ යුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදන්නේ ද තුලැසි ඇවැත් වන්නේ ය.
“මහණෙනි, මේ නොබෙදියැයුතු දෑ සඞ්ඝ යා හෝ ගණයා හෝ පුද්ගලයා විසින් නො බෙදියැයුතු දෑ පස ය. බෙදන ලද්දාහු ද නො බෙදන ලද්දාහු ම වෙත්. යමෙක් බෙදන්නේ නම් තුලයි ඇවැත් වන්නේ යැ” (යනු යි).
55. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කීටාගිරියෙහි රිසි තාක් වැස, අළවු නුවර බලා නික්ම වැඩි සේක. පිළිවෙළින් සැරි සරණසේක් අළවු නුවරට පැමිණිසේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවු නුවර සමීපයේ අග්ගාළව චෛත්‍යස්ථානයේ වසන සේක.
එ සමයෙහි අළවු රටැ වැසි මහණහු මේ (මතු සඳහන් වන) පරිදි වූ නවාම් සම්මතිය දෙන්නාහ. මැටි පිඬක් තබන පමණිනුදු නවාම් සම්මතිය දෙත්, බිත්තියැ මැටි ආදියක් ගෑ පමණිනුත් නවාම් සම්මතිය දෙත්, දොර තබන පමණිනුත් නවාම් සම්මති දෙත්, අගුල් වැටිය කරන (දොරපොලු සවිකරන) පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කළු දොර සවි කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, බිත්ති ආදිය සුදුපැහැ කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කළුපැහැ කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, ගුරු පිරියම් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, සෙවිලි කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, බඳනා පමණිනුත් නවාම් සම්මතිය දෙත්,
ගණ්ටිකාවක් තබන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කැඩුම් බිඳුම් පිළිසකර කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, පිළක් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, විසි වසකට ද නවාම් සම්මතිය දෙත්, තිස් වසකට ද නවාම් සම්මතිය දෙත්, දිවි හිම් කොට ද නවාම් සම්මතිය දෙත්, දරසෑයෙහි දුම් නැගීම ඉම් කොට ද කොට නිමැවූ විහාරය සඳහා නවාම් සම්මතිය දෙත්, යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ... ඔහු කෙසේ නම් අළවූරට වැසි මහණහු මෙසේ නවකම් සම්මතිය දෙන්නාහු ද මැටිපිඩක් තබන පමණිනුදු නවකර්‍ම සම්මතිය දෙන්නාහු ද ... දරසෑයේ දුම් නැගීම ඉම් කොට ද නිමැවූ විහාරය සඳහා නවකර්‍ම සම්මතිය දෙන්නාහු දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සැබෑ දැ? ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “එසේ ය, භාග්‍යවතුන් වහන්සැ” යි මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... ගැරැහූසේක, ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා මෙය වදාළසේක:
“මහණෙනි, මැටිපිඩු තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැයුතු, බිත්තියැ මැටි ආදිය ගානා පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, දොර තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැ යුතු, අගුල්වැටිය කරන පමණින් නවකර්‍ම නො දියැයුතු, කවුළු දොර සවි කරන පමණින් නවකර්‍ම සම්මතිය, නො දියයුතු, සුදුපැහැ කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැ යුතු, කළුපැහැ කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, ගුරු පිරියම් කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැයුතු, සෙවිලි කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, බඳනා පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, ගණ්ඨිකාවක් තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, කැඩුම් බිඳුම් පිළිසකර කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, පිළක් කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, විසි වසකට ද තිස් වසකට ද ... දිවි හිම් කොට නවකර්‍ම සම්මතිය නො දිය යුතු, දර සෑයෙහි දුම් නැගීම ඉම් කොට නිමැවූ විහාරය සඳහා නවකර්‍ම සම්මතිය නො දියැයුතු, යමෙක් දෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.
මහණෙනි, නො කරන ලද්දා වූ අඩාළ කළ වැඩ ඇත්තා වූ හෝ විහාරය සඳහා නවකර්‍මය දෙන්නට අනුදනිමි. කුඩා විහාරයෙහි හෝ (කළයුතු ව ඇති) වැඩ බලා සාවුරුද්දකට හෝ පස් හවුරුද්දකට හෝ සුදුසු වූ නවකර්‍ම සම්මතිය දෙන්නට ද, ගුරුළු පියාපත් බඳු සෙවෙණි ඇති වෙහෙරෙක වැඩ බලා වම් සතකට හෝ අටකට සුදුසු වන පරිදි වූ නවකම් සම්මතිය දෙන්නට ද මහත් වෙහෙරෙක හෝ ප්‍රාසාදයෙක හෝ වැඩ බලා වර්‍ෂ දශයක් දොළොසක් කල් පවත්නා පරිදි වූ නවකම් සම්මතිය දෙන්නට ද අනුදනිමි” (යනුයි.)
56. එ සමයෙහි මහණහු සියලු ම විහාරය සඳහා නවකර්‍ම සම්මතිය දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සියලු විහාරය සඳහා නවකර්‍ම සම්මතිය නො දිය යුතු. යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එ සමයෙහි මහණහු එක් මහණකුට නවකර්‍ම සම්මති දෙකක් දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, එක් මහණකුට නවකර්‍ම සම්මති දෙකක් නො දිය යුතු ය. යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු නවකර්‍මසම්මතිය ගෙන අනෙක් මහණකු එහි වස්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, නවකර්‍ම ගෙන අනෙකෙක් නො වැස්වියයුතු, යමෙක් වස්වන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු නවකර්‍ම සම්මතිය ගෙන සඟසතු දෑ තමනට වෙන් කොට ගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නවකර්‍ම සම්මතිය ගෙන සඟසතු දෑ තමනට වෙන් නො කර ගතයුතු. යමෙක් වෙන් කර ගත්තේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ. මහණෙනි, එක් මනාප ශය්‍යාවක් (ශයන ස්ථානයක්) වෙන් කැර ගන්නට අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු විහාර සීමායෙන් බැහැර සිටි මහණහට නවකර්‍ම සම්මතිය දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළඹාහ.
“මහණෙනි, සීමායෙන් බැහැර සිටි මහණහට නවකර්‍ම සම්මතිය නො දියැයුතු, යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු නවකර්‍ම සම්මතිය ලබා ගෙන සියලු කාලයෙහි තමනට වෙන් කර ගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නවකර්‍ම සම්මතිය ලැබ සියලු කාලයෙහි (ඒ වෙහෙර) තමාට වෙන් කර නො ගතයුතු. යමෙක් එසේ වෙන් කර ගත්තේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වැසි තුන් මස මුළුල්ලෙහි (එය) තමනට වෙන් කර ගන්නට ද ඍතු කාලයෙහි (අනිත් මාස නමයෙහි) (එය) තමාට වෙන් කර නො ගන්නට ද අනු දනිමි” යි වදාළසේක.
57. එ සමයෙහි මහණහු නවකම් සම්මතිය ගෙන (එයින්) නික්ම යන්නාහු ද සිවුරු හරින්නාහු ද වෙත්, කලුරිය කරන්නාහු ද වෙත්, ‘හෙරණුම්හ’ යි ප්‍රතිඥා ද කෙරෙත්, ‘ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පරිජි ඇවැත් අවන්මඟ’ යි ද පිළින කෙරෙත්, ‘උම්මත්තකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘වික්‍ෂිප්ත. සිතැත්තම්හ’ යි ද පිළින කෙරෙත්, ‘වෙදනායෙකින් පෙළුණම්භ’ යි ද පිළින කෙරෙත්, ‘ඇවැත නො දැක්මෙහි උත්ක්‍ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ලාමක දෘෂ්ටිය , නො හැරීමෙහි උත්ක්‍ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පණ්ඩකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘ථෙය්‍යසංවාසකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘අන් තොටුවනට බැඳුණම්හ’ යි ද පිළින කෙරෙත්, ‘තිරිසන්ගියම්හ’ යි ද පිළින කෙරෙත්, ‘මව නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පියා නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘රහතුන් නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘මෙහෙණියක දුෂණ කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘සඞ්ඝභේදය කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘බුදුරජුන් ඇඟ ලෙහෙ සෙලැවූම්හ’ යි ද පිළින කෙරෙත්, ‘උභතොඛ්‍යංජනකයම්හ’ යි ද පිළින කෙරෙත්.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. ... භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“මහණෙනි, මෙහි යම් මහණෙක් නවාම් සම්මතිය ලබා ගෙන එයින් බැහැර ව යේ ද, ‘සඟ සතු දෑ නො නැසේවා’ යි සලකා (නවාම් සම්මතිය) අනෙකකුට දියැයුතු. මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබගෙන සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, ‘හෙරණෙමි’ යි පිළින කෙරෙයි ද, ‘පැවිදිසික’ අතහළෙකිමි යි පිළින කෙරෙයි ද, ‘පරිජි ඇවැත් අවනෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘උමතුවෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘වික්‍ෂිප්ත සිතැත්තෙමි’ යි පිළින කෙරෙයි ද, ‘වෙදනාවෙකින් පෙළිණිමි’ යි පිළින කෙරෙයි ද, ‘ඇවැත නො දැක්මෙහි උත්කෂිප්තයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂිප්තයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ලමා දිටු නොහැරීමෙහි උත්ක්‍ෂිප්තයෙමි’ යි. පිළින කෙරෙයි ද, ‘පණ්ඩකයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ථෙය්‍යසංවාසකයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘අන්තොටුවනට බැඳිණිමි’ යි පිළින කෙරෙයි ද, ‘තිරිසන්ගියෙමි’ යි පිළින කෙරෙයි ද, ‘මව නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘පියා නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘රහතුන් නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘මෙහෙණියක දූෂණ කෙළෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘සඟබේ කළෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘බුදුරජුන් ඇඟැ ලෙහෙ සෙලැවූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘උභතොඛ්‍යංජනකයෙමි’ යි පිළින කෙරෙයි ද, (එසේ කැලැ) ‘සඟ සතු දෑ නො නැසේව’ යි සලකා නවාම් සම්මතිය අන් මහණකුට දියැයුතු” යි.
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබ ගෙන (කටයුතු දෑ) අඩාළ කල්හි එයින් බැහැර වැ යෙයි ද, ‘සඟ සතු දෑ නො නැසේ ව” යි සලකා නවාම් සම්මතිය මහණකුට දියයුතු. මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබ ගෙන, කටයුතු අඩාළ කල්හි සිවුරු හැර යේ ද, ... කලුරිය කෙරෙයි ද ... උභතොඛ්‍යඤජනකයෙමි යි පිළින කෙරෙයි ද සඟ සතු දෑ නො නැසෙව යි අන් මහණකුට නවාම් සම්මතිය දියැයුතු,
“මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (කටයුතු) අවසන් වූ කල්හි බැහැර වැ යෙයි ද එය ඔහුට ම ය (නැවත අවුත් වස්වසනු කැමැත්තේ නම් එය සඳහා ඒ ආවාසය ඔහුට ම අයත් වෙයි). මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (එහි වැඩ කටයුතු) අවසන් වූ කල්හි සිවුරු හරී ද, ... කලුරිය කෙරෙයි ද, හෙරණෙමි යි පිළින කෙරෙයි ද, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කළෙමි යි පිළින කෙරෙයි ද, පරිජි අවන්මි යි පිළින කෙරෙයි ද, සඞ්ඝයා ම එහි ස්වාමි වේ (ඒ ආවාසය සඟසතු වේ).
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (වැඩ කටයුතු) අවසන් වූ කල්හි උමතුවෙකිමි යි පිළින කෙරෙයි ද වික්‍ෂිප්ත සිතැත්තෙමි යි පිළින කෙරෙයි ද, වේදනායෙන් පෙළුණෙකිමි යි පිළින කෙරෙයි ද, ඇවැත නොදැක්මෙහි උඛෙවුනීකම් , කරනු ලදුයෙමි යි පිළින කෙරෙයි ද, ඇවැතට පිළියම් නො කිරීමෙහි උඛෙවුනී කම් කරනු ලදුයෙකිමි යි පිළින කෙරෙයි ද ලමුදිටු බැහැරැ නො කිරීමෙහි උබෙවුනී කම් කරනු ලදුයෙමි යි කෙරෙයි ද, ඒ ආවාසය ඔහුට ම ය.
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (වැඩ කටයුතු) අවසන් වූ කල්හි පණ්ඩකයෙමි යි පිළින කෙරෙයි ද, ථෙය්‍යසංවාසකයෙමි යි පිළින කෙරෙයි ද, අන්තොටුවනට බැඳුණෙමි යි පිළින කෙරෙයි ද, තිරිසන් ගියෙකිමි යි පිළින කෙරෙයි ද, මාතෘඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, පිතෘ ඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, අර්හද්ඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, භික්‍ෂුණි දූෂකයෙකිමි යි පිළින කෙරෙයි ද, සඞ්ග භේදකයෙකිමි යි පිළින කෙරෙයි ද, ලොහිතුප්පාදකයෙකිමි යි පිළින කෙරෙයි ද, උභතොඛ්‍යඤ්ජනයෙකිමි යි පිළින කෙරෙයි ද, සඞ්ඝයා ම ඒ ආවාසයට ස්වාමි යැ. (එය සඟසතු යැ) යි (වදාළසේක).
58. එ සමයෙහි වනාහි මහණහු එක්තරා උපාසකයකු සතු වූ විහාර වශයෙන් පරිභෝග කටයුතු සෙනස්නක් අන් වෙහෙරෙක වෙසෙමින් පරිභෝග කරත්. එ කල්හි ඒ උපාසක තෙම “කෙසේ නම් පින්වතුන් වහන්සේ අන්තැනෙක හිඳ - පරිභෝග කටයුතු සෙනස්න වෙන තැනෙක හිඳ පරිභෝග කරන්නාහු දැ” යි ලාමක කොට සිතයි, නින්‍දා කෙරෙයි, දොස් පතුරුවයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අන් තැනෙක හිඳ පරිභෝග කටයුතු සෙනස්න වෙන තැනෙක හිඳ පරිභෝග කටයුතු නො වේ. යමෙක් එසේ පරිභෝග කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු හිඳ ගන්නා පැදුරු මෙට්ට ආදිය පොහෝ ගෙට ද ගෙන යන්නට කුකුස් කරන්නාහු බිමැ හිඳ ගනිත්. ගාත්‍ර ද සිවුරු ද පස් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තාවකාලික කොට (ඒ වේලාවේ ප්‍රයෝජනයට පමණක්) ඒවා ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
ඒ සමයෙහි වනාහි සඟසතු මහවෙහෙරෙක් දිරාපත් වෙයි. භික්‍ෂූහු කුකුස් කරන්නාහු, සෙනසුන් පිටතට නො ගෙන යත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආරක්‍ෂාව පිණිස (අන් තැනකට) ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පිරිකරට ඇතුළත් වැ මහඟු කම්බලයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, වැඩීම පිණිස (සම වූ හෝ එයට වඩා ප්‍රයෝජන වූ හෝ දැයක්ම) එය මාරු කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
එසමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පිරිකරට ඇතුළත්වැ වටිනා වස්තුයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළහ.
“මහණෙනි, වැඩීම පිණිස (සමවූ හෝ එයට වඩා ප්‍රයෝජනවත් වූ හෝ දැයක් ම) එය මාරු කරන්නට අනුදනිමි” යි වදාළසේක.
59. එ සමයෙහි වනාහි සඞ්ඝයාට වලස් සමෙක් උපන්නේ (ලැබුණේ) වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
චක්කලිකාවෙක් උපන්නේ වෙයි.
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
රෙදි කඩෙක් උපන්නේ (ලැබුණේ) වෙයි.
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු නො සේදු පයින් සෙනසුන් ඇක්මෙත් (පාගත්). සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නො සේදු පයින් සෙනසුන් නො ඇක්මියයුතු. යමෙක් ඇක්මෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු තෙත් පයින් සෙනස්න ඇක්මෙත්. සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, තෙත් පයින් සෙනස්න නො ඇක්මිය යුතු(නො පෑගියයුතු), යමෙක් ඇක්මුයේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු පාවහන් ඇති වැ සෙනසුන් ඇක්මෙත්. සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහ.
“මහණෙනි, පාවහන් ඇති වැ සෙනස්න නො ඇක්මියැ යුතු. යමෙක් ඇක්මෙන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
60. එ සමයෙහි වනාහි භික්‍ෂූහු පිරියම් කළ බිමැ කෙළ ගසත්. පැහැය කෙලෙසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිරියම් කළ බිමැ කෙළ නො ගැසියැයුතු. යමෙක් කෙළ ගසන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, කෙළමලාවක් (පඩික්කමක්) අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මැසි පා (ඇඳ කකුල්) ද, පුටු පා ද පිරියම් කළ බිම සූරත් (ඇඳ කකුල්වලිනුත් පුටුකකුල්වලිනුත් පිරියම් කළ බිම සීරෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, රෙදි කඩින් (ඇඳ පුටුවල පා) වෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි වනාහි භික්‍ෂූහු පිරියම් කළ බිත්තියට හේත්තු වෙත්. (එහි) පැහැය කෙලෙසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිරියම් කළ බිත්තියට හේත්තු වියයුතු නො වේ. යමෙක් හේත්තු වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, හේත්තු වන්නට පුවරුවක් අනුදනිමි” යි වදාළසේක.
හේත්තු වන පුවරුව යටින් බිම ද උඩින් බිත්තිය සුරයි. (හේත්තු වන පුවරුවෙන් යටින් බිමත්, උඩින් බිත්තියත් සීරෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, හේත්තු වන පුවරුව යටින් ද උඩින් ද රෙදි කඩින් වෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු දෙවූ පා ඇත්තාහු (ඇඳැ) වැදැහෙන්නට කුකුස් කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඇතිරියක් එළා වැදැ හෝනට අනුදනිමි” යි වදාළසේක.
61. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරටැ කැමැති තාක් කල් වැස රජගහ නුවර බලා නික්මුණුසේක. පිළිවෙළින් සැරිසරන සේක්, රජගහ නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවර කලන්‍දක නිවාප නම් වූ උණවෙනෙහි වැඩවසන සේක.
62. එ සමයෙහි රජගහ නුවර දුර්භික්‍ෂයෙක් (අහර හිඟයෙක්) වෙයි. මිනිස්සු සියලු සඞ්ඝයාට බොජුන් පිළියෙළ කරන්නට නො හැකි වෙත්. උදෙසා දෙන බත, නිමැතුම් බත, සලා බත, පක්‍ෂයට වරක් දෙන බත, පොහෝදාට දෙන බත, පැළවියට දෙන බත, යන බත් පිළියෙළ කරන්නට කැමැති වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සඟබත ද, උදෙසා දෙන බත ද, නිමැතුම් බත ද, සලා බත ද, පක්‍ෂයකට වරක් දෙන බත ද, පොහෝ බත ද, පෑළවි බත ද අනුදනිමි” යි වදාළසේක.
63. එ සමයෙහි සවැගි මහණහු අගනා ආහාර තමනට ගෙන නො අගනා ආහාර මහණුනට දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, උදෙසන ලද නො උදෙසන ලද දන්නේ ද, මෙකී අංගපසින් යුක්ත මහණක්හු භත්තුද්දේශකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළයුතු: පළමු කොට භත්තුද්දේශක සම්මුතිය පිළිගන්නට මහණෙක් යැදියයුතු. (මහණකුගෙන් ඉල්ලීම කළයුතු) යැද ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු ලවා මෙසේ සඞ්ඝයා දැන්වියැයුතු:
‘වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ පැමිණි කල් වී නම් මෙ නම් මහණහු භත්තුද්දේශකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු භත්තුද්දේශකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහුට භත්තුද්දේශක සම්මතිය දීම යම් ආයුෂ්මතකුට රිසියෙයි ද, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුට නො රිසියෙයි ද හේ කියාවා.
මෙ නම් මහණ තෙම භත්තුද්දේශකයකු කොට සඞ්ඝයා විසින් සම්මත වෙයි. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සලකමි)” යනු යැ.
ඉක්බිති භත්තුද්දේශක භික‍්ෂුනට ‘කෙසේ නම් බත් උදෙසිය යුතු දැ?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඉරටුවෙක හෝ පතුරෙක හෝ නම් ලියා ආලෝලනය කොට කොට සොලොවා උදෙසන්නට අනුදනිමි” යි වදාළසේක.
64. එ සමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පනවන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන්, අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, පනවන ලද්දත් නො පනවන ලද්දත් දන්නේ ද, මෙ කී අංග පසින් සමන්‍විත වූ මහණක්හු සෙනසුන් පනවන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ යැදියයුතු. යැද ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු කොට සම්මත කරන්නේ යැ, මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු වශයෙන් සම්මත කිරීම යම් ආයුෂ්මතකුට රිසියේ නම් හේ නිහඬවේ වා. යම් ආයුෂ්මතකුහට නො රිසියේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සෙනසුන් පනවන්නෙකැ යි සම්මත විය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ බැවින් නිහ ඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
65. එ සමයෙහි සඞ්ඝයාට භාණඩාගාරිකයෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ද්වේෂාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද, භයාගතියට නො යන්නේ ද, සුරක්‍ෂිත කොට තබන ලද නො තබන ලද දැයත් දන්නේ ද, මේ අංග පසින් සමන්‍විත මහණක්හු භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැ යුතු. යැද ව්‍යක්ත ප්‍රබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණ භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නේ යැ, තෙලඤත්ති යැ.
සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු භාණ්ඩාගාරිකයක්හු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු භාණඩාගාරිකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි ද හේ නිහඬ වේ වා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි ද හේ කියාවා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම භාණ්ඩාගාරිකයැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ බැවින් නිහඬ ය, මෙසේ මෙ කරුණ සලකමි’ යනු” යි.
66. එ සමයෙහි සඞ්ඝයාට සිවුරු පිළිගන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද, ද්වේෂාගතියට නො යන්නේ ද, මෝහාගතියට නො යන්නේ ද, භයාගතියට නො යන්නේ ද, පිළිගත් නොපිළිගත් දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු සිවුරු පිළිගන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළ යුතු: පළමු කොට මහණෙක් යැදියැ යුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
‘සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම්, මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සිවුරු පිළිගන්නකු කොට සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)’ යනු” ය.
67. එ සමයෙහි වූ කලී සඞ්ඝයාට සිවුරු බෙදන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්‍දාගතියට නො යන්නේ ද ... බෙදූ නො බෙදූ දෑත් දන්නේ ද, මෙ කී අඞ්ග පසින් සමන්‍විත මහණක්හු චීවර භාජකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම ඒ මහණ තෙම සම්මත කළයුතු ය.
පළමු කොට මහණෙක් යැදියයුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු: