Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 2401-2500 න් 3843

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ බුදුපාමොක් සඟන පසු පස්සෙන් වැඩ, මණඩපයන් ඇතිරි අවකාශස්ථාන (සවැගියන්ගේ අතැවැස්සන් විසින්) අත් කැරැගන්නා ලද කල්හි ඉඩක් නො ලබන්නෝ එක්තරා රුක්මුලෙක හුන්නෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැඟීසිට කැස්සසේක. සැරියුත් තෙරණුවෝ ද, කැස්සාහ. “මෙහි කවරෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් ශාරිපුත්‍රයෙමි” යි තෙරණුවෝ වදාළාහ. “ශාරිපුත්‍රයෙනි, තෙපි කවර හෙයින් මෙහි හුන්නහු දැ” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත්සේක.
එ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා “මහණෙනි, සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු ‘උදෙසා කරන ලද දෑ නො ව සඟ සතු කරන ලද දෑ ම වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කරන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදහ’ යි කියා බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් “මෙය අප උපාධ්‍යායයන් වහන්සේට වන්නේ ය, මෙය අප ආචාර්‍ය්‍යයන් වහන්සේට වන්නේ ය, මෙය අපට වන්නේ යැ” කියා මණ්ඩපයන් අත්කැරැ ගනිත් ල, ඇතිරි අත් කැරැ ගනිත් ල, අවකාශස්ථාන අත් කැරැ ගනිත් ල, ඒ සැබෑද’යි අසාවදාළසේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි භික්‍ෂූහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, උදෙසා කරන ලද්ද ද වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කිරීම ප්‍රතිබාහනය නො කළයුතු, යමෙක් ප්‍රතිබාහනය කරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
42. එ සමයෙහි මිනිස්සු ඇතුළුගමැ බත්හලෙහි දික්සඟළා පුටුය, පළඟය කොඳුපලසය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් මුවා සුදු ඇතිරිය, පුළුන් ඇතිරිය, එළුලොම්මුවා ඝන පුප්ඇතිරිය, සිංහරූපාදියෙන් විසිතුරු එළුලොම්මුවා ඇතිරිය, එක් පිටෙහි ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, දෙපිටැ ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කම් කොට තිහිරි හුයින් කළ පසතුරුණ, රන්කම් කළ තිහිරි පසතුරුණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනකුන් හට නටන්නට තරම් ඉඩ ඇති එළුලොම්මුවා මහඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රියතුළ අතුරන ඇතිරිය, අඳුන්දිවිසමින් කළ පසතුරුණ, කෙසෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, රතු උඩුවියන් සහිත වූ යහනය, ඉස්දෙර පාමුල රතු කොට්ට ඇති යහනය යන මෙසේ වූ උසසුන් මහසුන් පනවත්. මහණහු කුකුස් කරන්නාහු එහි නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, දික්සඟළා පුටුව ද පළඟ ද පුළුන් ඇතිරිය ද හැර සෙසු ගෘහී විකෘතයන්හි (ගිහියන් පැනැවූ අසුන්හි) වැදැහෙන්නට නොව ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මිනිස්සු ඇතුළු ගම බොජුන් හලෙහි පුළුන් බහා යොදා පිළියෙළ කළ ඇඳන් ද පුටු ද පනවත්. මහණහු කුකුස් කෙරෙත්, එහි නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, ගිහීන් පිළියෙළ කළ ඇඳ පුටු ආදියේ වැදහොන්නට නොව ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගම් නියම්ගම් පිළිවෙළින් සැරිසරා වඩනාසේක්, සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරමැ වසනසේක. එ කලැ (එක් දිනක්) අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙකැ හිඳගත්තේ ය. හේ එකත් පසෙක හුන්නේ “වහන්ස භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා සහිත ව සෙට දවසට මාගේ බත ඉවසනසේක්ව” යි කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවසූසේක.
ඉක්බිති අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගීසිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැගියේ ය. ඉක්බිති අනේපිඬු සිටු එ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “ වහන්ස, දැන් වඩනට කාලය ය බත පිළියෙළ කොට නිමැවිණැ” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය.
භාග්‍යවතුන් වහන්සේ ද ඒ පෙරවරු සෙමෙහි හැඳපෙරෙවැ පා සිවුරු ගෙන අනේපිඬු සිටුහුගේ ගෙය වෙතට එළැඹිසේක. එළැඹ පනවා තුබුණු අසුන්හි බික්සඟන හා වැඩැහුන්සේක. එ කල අනේපිඬු සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතප්වා පවරවා භාග්‍යවතුන් වහන්සේ බොජුන් වළඳා නිමවා පාත්‍රයෙන් ඉවතට ගත් අතැති නියා දැක ඔබට එකත් පසැ හිඳගත්තේ ය. එසේ හුන්නේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම ජේතවනය පිළිබඳ වැ කෙසේ නම් පිළිපදිම් දැ” යි ඇසූයේ ය.
“එසේ වී නම් ගැහැවිය පැමිණි නො පැමිණි සිවුදිගට අයත් බික්සඟනට පිහිටුවන්නැ (පිරිනමන්නැ)” ‘යි භාග්‍යවතුන්වහන්සේ වදාළසේක.
“එසේ ය, වහන්සැ” යි කියා අනේපිඬු සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි ජේතවනය සිවු දිගට අයත් එහි පැමිණි නො පැමිණි (සියලු) බික්සඟන සතු කොට පිරිනැමී ය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කළසේක.
44. විහාරය වූ කලි ශීතය ද උෂ්ණය ද එයින් අන්‍ය වූ චණ්ඩමෘගයන් ද සර්‍පයන් ද මැසිමදුරුවන් ද සිසිල්සුළං ද වැසි ද වළහයි.
එයින් අන්‍ය වූ හටගත් දැඩි අවු සුළං ද (විහාරය කරණ කොට ගෙන) වැළැකෙයි. විවික්ත වැ විසීම පිණිස ද දෘෂ්ටධර්‍ම සුඛවිහරණය පිණිස ද ධ්‍යාන වඩනු පිණිස ද විවසුන් වඩනු පිණිස ද විහාරය (යෝග්‍ය ස්ථාන වේ).
එහෙයින් සංඝයාට විහාර පිළියෙළ කොට දිම අග්‍ර පිනෙකැ යි හැම බුදුවරයක්හු විසින් වර්ණිත ය. එ බැවින් නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ,
සිත්කලු විහාරයන් කරන්නේ ය. එහි බොහෝ ඇසූ පිරූ තන් ඇති භික්‍ෂූන් වස්වන්නේ ය. ඍජු ගුණ ඇති ඔවුන් කෙරෙහි වෙසෙසින් පහන් වූ සිතින් යුතු ව ඒ භික්‍ෂුනට ආහාර ද පාන ද වස්තු ද ශයනාසන ද දෙන්නේ ය.
ඒ (දායක) තෙම යම් දහමක් දැන ගෙන ආස්‍රව රහිත වූයේ මෙ අත්බව්හිදී කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙන්නේ ද (රහත් බවට පැමිණෙන්නේ ද) - එසේ වූ සියලු සසර දුක් දුරැලන දහමක් ඒ භික්‍ෂුහු ඔහුට දෙසන්නාහ.
භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනේපිඬු සිටුහට අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී නික්මවැඩිසේක.
45. එ සමයෙහි වනාහි ආජීවක ශ්‍රාවක වූ එක්තරා මහඇමැත්තකුගේ සඞ්ඝයාට පිරිනැමෙන බතෙක් වෙයි. ආයුෂ්මත් ශාක්‍යපුත්‍ර උපනන්දයෝ හැමට පසු ව අවුත් සමීපයෙහි හුන් අඩාළ බොජුන් ඇති (වළඳා නො නිමි) භික්‍ෂූ නමක් නැගිටුවූහ. බොජුන්හල කලබල සහිත විය. එකල්හි ඒ මහඇමැත්තා “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ පසු වැ අවුත් බොජුන්වළඳා නොනිමි භික්‍ෂූන් නැගිටුවන්නාහු ද, එයින් බොජුන්හල කලබල සහිත විය. අන් තැනෙක හිඳ රිසිතාක් වළඳන්නට නො හැකි දැ” යි පහත් කොට සිතයි, දොස් නඟයි, නුගුණ පතුරුවයි. භික්‍ෂූහු පහත් කොට සිතන දොස් නගන නුගුණ පතුරුවන ඒ ඇමැත්තාගේ වචනය ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද... ඔහු (ද) “කෙසේ නම් ආයුෂ්මත් ශාක්‍යපුත්‍ර උපනන්දයෝ පසු ව අවුත් බොජුන් වළඳා නො නිමි සමීපයෙහි හුන් භික්‍ෂුනමක් නැඟුටුවන්නෝ ද, එයින් බොජුන්හල කලබල සහිත වී” යැ යි පහත් කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. එ කල ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“සැබෑද උපනන්දයෙනි, තෙපි පසුව අවුත් බොජුන් වළඳා නොනිමි මහණක්හු නඟාසිටුවූහු ද (එයින්) බොජුන්හල කලබල සහිත වී දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“සැබැව, වහන්සැ” යි (උපනන්‍ද තෙරණුවෝ කීහ.)
“හිස් පුරුෂය තෝ පසුව අවුත් සමීපයේ හුන් වළඳා නො නිමි (සමීපයෙහි වළඳමින් හුන්) මහණක්හු කෙසේ නැඟුටුවූයෙහි ද? බොජුන්හල (එයින්) කලබල සහිත වූයේ ය. හිස් පුරුෂය, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ” ය යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසෙසින් ගැරැහුසේක. ගරහා දැහැමි කථා කොට,
“මහණෙනි, අඩාළ බොජුන් ඇති (වළඳා නොනිමි) මහණ නො නඟා සිටුවියැයුතු. යමෙක් ඔහු නඟා සිටුවන්නේ නම්, ඔහුට, දුකුළා ඇවැත් වන්නේ ය. ඉදින් (ඇවැත නොතකා) නඟා සිටුවන්නේ නම්, මෙ තෙම පවරන ලදුයේ ද වන්නේ ය. ‘වඩින්න, පැන් ගෙනෙන්නැ’යි වැඩිමාලු මහණ තෙම කියැයුතු (වැඩිමහල් මහණහට කියැ යුතු). එසේත් මෙය ලබන්නේ නම් ඒ මැනැවි, ඉදින් නො ලබන්නේ නම් මනාසේ බත්තුළු ගිලැ වැඩිමහලු මහණහට අස්න දියැයුතු, මහණෙනි, මම් කිසි කරුණෙකිනුත් වැඩිමහලු මහණහට ආසනය ප්‍රතිබාහන කළයුතු යැයි නො කියමි. යමෙක් ප්‍රතිබාහනය කරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
46. එ සමයෙහි සවැගි මහණහු ගිලන් භික්‍ෂූන් නගාසිටුවත්. “ඇවැත්නි, නැගී සිටින්නට නො හැක්කම්හ ගිලනුම්හ” යි ගිලන් මහණහු මෙසේ කියත්. ‘අපි ආයුෂ්මතුන් නගාසිටුවම්හ’ යි කියා ඔහු ගිලන් මහණුන් අල්ලා නඟාසිටුවා (එසේ) නැගී සිටියවුන් අතහරිත්. ගිලන් මහණහු ක්ලාන්ත ව වැටෙත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගිලනා නො නැගිටුවියයුතු, යමෙක් නැගුටුවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණහු “අපි ගිලනුම්හ, නො නගාසිටුවිය යුත්තම්හ” යි කියා (සුව පහසු දෙන) මනායහන් අවුරාගෙන සැතපෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගිලනාහට සුදුසු යහනක් දෙන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණෝ ස්වල්පමාත්‍ර ආබාධයෙනුත් සෙනසුන් පිළිබහත් (අන්කෙනකුට එය පරිභෝග කරන්නට නො දෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, අල්පමාත්‍ර ආබාධයෙකින් සෙනසුන් නො පිළිබැහිය යුතු. යමෙක් පිළිබහන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
47. එ සමයෙහි සතොළොස්වැගි මහණෝ ‘අපි මෙහි වස් වසන්නම්හ’ යි කියා පිටිසරබද මහවෙහෙරක් පිළිසකර කෙරෙත්. සවැගි මහණෝ වෙහෙර පිළිසකර කරන සතොළොස්වැගි මහණුන් දුටුහ. දැක, ‘ඇවැත්නි, මේ සතොළොස්වැගි මහණහු එක්තරා වෙහෙරක් පිළිසකර කෙරෙත්. අපි දැන් උන් නගාසිටුවම්හ’ යි කීහ. ඔවුන් අතුරෙන් සමහරු ‘ඇවැත්නි, පිළිසකර කොට නිමවන තෙක් බලාපොරොත්තුවවු, පිළිසකර කොට නිමි කල්හි නගාසිටුවන්නම්හ’ යි කීහ. එ කල්හි සවැගි මහණහු සතොළොස්වැගි මහණුන් බණවා ‘ඇවැත්නි, නැගීසිටිවු (ඉවත්වවු) විහාරය අපට පැමිණේ යැ’යි කීහ.
“ඇවැත්නි, කල් තබා ම කියැයුතු වූයේ නො වේ ද? (එසේ කියන ලද නම්) අපි අන් වෙහෙරක් පිළිසකර කරන්නවෝ වේ දැ” යි ඔහු කීහ.
“ඇවැත්නි, විහාරය සඟසතු නො වේ දැ?” යි සවැගියෝ ඇසූහ:
“එසේ ය. ඇවැත්නි විහාරය සඟසතුයැ” යි ඔහු කීහ.
“ඇවැත්නි, නැගිටින්න (ඉවත්වන්න) විහාරය අපට පැමිණේයැ” යි සවැගියෝ කීහ.
“ඇවැත්නි, විහාරය මහත් ය, තෙපිත් වසවු. අපිත් වසන්නමු” යි සතොළොස්වැගියෝ කීහ. එවිට සවැගි මහණෝ කුපිත ව නො සතුටු වැ, “ඇවැත්නි, නැගීසිටිවු” යැ යි කියා බෙල්ලෙන් අල්ලා නික්මවත් (පිටතට ඇද දමත්.) ඔහු නික්මවනු ලබන්නාහු හඬත්. “ඇවැත්නි, තෙපි කුමට හඬවු දැ” යි භික්‍ෂුහු අසත්.
“ඇවැත්නි, මේ සවැගි මහණෝ කිපුණාහු නො සතුටු වූවාහු අප සඟසතු වෙහෙරින් නෙරපත්” යැ යි ඔහු කීහ.
“යම් මහණ කෙනෙක් අල්පෙච්ඡද... ඔහු සවැගි මහණහු කුපිතව නො සතුටු ව කෙසේ නම් භික්‍ෂූන් සඟසතු වෙහෙරින් නෙරපන්නාහු දැ” යි ලාමක කොට සිතත්, දොස් නගත්, අගුණ පතුරුවත්.
එ කල්හි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ ... “මහණෙනි, සවැගි මහණහු කුපිත ව නො සතුටු ව මහණුන් සඟසතු වෙහෙරින් නෙරපන්නාහු ද? ඒ සැබෑ ද?” භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි මහණහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් බණවා,
“මහණෙනි, මහණකු කිපී නො සතුටු ව මහණෙක් සඟ සතු වෙහෙරින් නො ම නෙරැපියගැයුතු. යමෙක් නෙරැපන්නේ වී නම් ඔහුට ධර්‍මය වූ පරිදි (විනයනීතිය පරිදි) දඬුවම් කැරැවියැයුතුය. මහණෙනි, සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
48. එ කල්හි මහණුනට ‘කවරකු විසින් සෙනසුන් ගැන්විය යුතු දැ?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ වග දැන්වූහ.
“මහණෙනි, අඞ්ග පසෙකින් සමන්‍විත මහණක්හු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද බියෙන් අගතියට නො යන්නේ ද මුළායෙන් අගතියට නො යන්නේ ද ගත් නොගත් සෙනසුන් දන්නේ ද මේ ඒ අඞ්ග පස ය. මහණෙනි, ඒ මහණ මෙසේ සම්මත කටයුතු ය.
පළමු කොට (සේනාසන ගාහාපක බව පිළිගනු පිණිස) මහණෙක් යැදියයුතු යැද, වියත් ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කෙරේවා. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙ නම් මහණහට සෙනසුන් ගන්වන සම්මතිය (දීම) රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ සෙනසුන් ගන්වන්නකු කොට සම්මත විය. සඞ්ඝයාට (එය) රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යැ.
එ කල්හි සෙනසුන් ගන්වන මහණුනට “කෙසේ නම් සෙනසුන් ගැන්වියැ යුතු දැ?” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පළමු කොට මහණුන් ගණන් කරන්නට, මහණුන් ගැණ යහන් ගණින්නට, යහන් ගැණ යහන් පිරිසෙයින් (යහන් ගණනට) යහන් ගන්වන්නට අනුදනිමි” යි වදාළ සේක.
යහන් ගණනින් යහන් ගන්වන්නාහු යහන් ඉතිරි කළාහ.
“මහණෙනි, විහාර ගණනින් සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
විහාර ගණනින් සෙනසුන් ගන්වන්නාහු විහාරයක් ඉතිරි කළහ. ...
“මහණෙනි, පිරිවෙන් ගණනින් සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
පිරිවෙන් ගණනින් සෙනසුන් ගන්වන්නාහු පිරිවෙනක් ඉතිරි කළාහ.
“මහණෙනි, නැවත තව කොටසක් ද දෙන්නට අනුදනිමි. එ අතිරේක කොටස ගත් කලැ අන් මහණෙක් ආයේ වී නම් නො කැමැත්තෙන් (ඔහුට) ඒ අනුභාගය (සෙනසුන් කොටස) - නොදියැ යුතු යැ” වදාළසේක.
49. එ සමයෙහි වනාහි භික්‍ෂුහු උපචාර සීමායෙන් පිටත සිටියා හට සෙනසුන් ගන්වත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, උපචාර සීමාවෙන් පිටත සිටි මහණහට සෙනසුන් නො ගැන්වියැයුතු. යමෙක් ගන්වන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ” ය.
එ සමයෙහි මහණහු සෙනසුන් ගන්වා සියලු කාලයෙහි අන් මහණුනට පිළිබහත් (එන්නට නො දෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“මහණෙනි, සෙනසුන් ගන්වා (තමනට පවරවා ගෙන) සියලු කල්හි ප්‍රතිබාහනය (අන් මහණුනට එන්නට නො දී ඔවුන් බැහැර කිරීම සෙනස්න අත්නෑර තමන් සතු කොටගෙන තැබීම) නො කළයුතු. යමෙක් ප්‍රතිබාහනය කරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වස් තුන් මස තමා ඉන්නා සෙනස්න පිළිබහන්නට (අන් අයට අත් කරගන්නට නොදී තමා සතුව ම පවත්වන්නට ද ඍතු කාලයෙහි [සෙසු මාස්හි] නො පිළිබහන්නට [තමා සතු කොට ගෙන ම තබා නොගන්නට] අන් මහණුන් එය පරිහරණය කරන්නට ආවෝත් ඔවුන් නො වළක් වන්නට) අනුදනිමි” යි වදාළසේක.
එ කල්හි “සෙනසුන් ගැන්වීම් කීයෙක් දැ?” යි භික්‍ෂුනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:)
“මහණෙනි, පුරිමකය, පශ්චිමකය , අන්තරාමුක්තකයැ යි සෙනසුන් ගැන්වීම් තුනෙක, ඇසළ පුණුපසොළොස්වක ගියාට පසු දින පළමු සෙනසුන් ගැන්වීම කළයුතු, ඇසළ පුණුපසොළොස්වක ගතව මසක් ගිය කලැ පැසිම් සෙනසුන් ගැන්වීම කළයුතු. වස් පවාරණය ගත වූ කලැ (ඉතිරි අටමාසය සඳහා ද) එයින් මතු වස් විසීම් පිණිස අන්තරාමුක්තක සෙනසුන් ගැන්වීම කළයුතු, මහණෙනි, මේ සෙනසුන් ගැන්වීම් තුන යැ”.
දෙවෙනි බණවර නිමියේ යි.
50. එ සමයෙහි ශාක්‍යපුත්‍ර වූ උපනන්‍ද තෙරණුවෝ සැවැත්හි සෙනසුන් ගෙන, එක්තරා කුඩා ගමෙක ආවාසයකට ගියේ ය. එහි ද සෙනස්නක් ලැබ ගත්තේ ය. එ කලැ ඒ මහණුනට, “ඇවැත්නි, මේ ශාක්‍යපුත්‍ර උපනන්‍ද තෙරණුවෝ අරගල කරන්නෙකි, කලහ කරන්නෙකි, විවාද කරන්නෙකි, කතාබහෙන් ආරාවුල් උපදවන්නෙකි, සඞ්ඝයා අතර, නඩු ඇති කරන්නෙකි. මෙ තෙම මෙහි වස් වසන්නේ වී නම්, අපි හැම දෙනා ම පහසු සේ නො වසන්නමු. එබැවින් ඔහු විචාරමු” යි මෙ සිත විය.
ඉක්බිත්තෙන් ඒ මහණහු ශාක්‍යපුත්‍ර උපනන්‍ද තෙරුනට, “ඇවැත් උපනන්දයෙනි, ඔබ විසින් සැවැත්හි සෙනස්නෙක් ගන්නා ලද්දේ නොවේ දැ?” යි කීහ.
“එසේ ය. ඇවැත්නි” යි උපනන්‍ද තෙරණුවෝ කීහ.
“ඇවැත් උපනන්‍දයෙනි, කිමෙක් ද? එක් කෙනෙක් ම වූ ඔබ සෙනසුන් දෙකක් පිළිබහන් කෙරෙත් ද (තමනට වෙන් කොට ගෙන සෙස්සන් එයින් වළක්වත් ද)?”
“ඇවැත්නි, දැන් මෙහි සෙනස්න මුදමි. (අත්හරිමි). එහි සෙනස්න ගනිමි” යි තෙරණුවෝ කීහ.
යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ලද දැයින් සතුටු වන්නෝ ද ලජ්ජිහු ද, කුකුස් කරන්නෝ ද, ශික්‍ෂා රකිනුයෙහි කැමැත්තෝ ද, ඔහු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර උපනන්‍ද තෙරණුවෝ එක් කෙනෙක් වැ සෙනසුන් දෙකක් පිළිබහන්නෝ දැ” යි පහත් කොට සිතත්, දොස් නගත්, නො ගුණ පතුරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ... මේ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා, ශාක්‍ය පුත්‍ර උපනන්‍දයන් බණවා, “උපනන්‍දයෙනි, තෙපි එක් කෙනෙක් වැ සෙනසුන් දෙකක් පිළිබහවු ද? සැබෑ දැ?” යි අසා වදාළසේක.
“සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි ඔබ කීහ.
“හිස් මිනිස, තෝ එකෙක් වැ කෙසේ නම් සෙනසුන් දෙකක් පිළිබහයි ද හිස්මිනිස, තා විසින් එහි (සෙනස්නක්) ගන්නා ලද්දේ මෙහි (සෙනස්න) මුදන ලද්දේ ය. මෙහි (සෙනස්න) ගන්නා ලද්දේ එහි (සෙනස්න) මුදන ලද්දේ ය. හිස්මිනිස, මෙසේ ම තෝ දෙ තන්හි ම පරිබාහිර වූයෙහි (සෙනස්නක් නැත්තෙක් වූයෙහි). හිස්මිනිස, මෙය සස්න කෙරෙහි පහන් නො වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ වැඩීම පිණිස ද නො වේ. වැලි නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ සමහර කෙනෙකුන්ගේ වෙනස් බව පිණිස ද වේ” යැ යි වෙසෙසින් ගැරැහුසේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් බණවා, “මහණෙනි, එක් මහණක්හු විසින් සෙනසුන් දෙකක් නො පිළිබැහියයුතු (තමාට වෙන් කොට නො ගතයුතු). යමෙක් පිළිබහන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
51. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නොයෙක් කරුණින් විනය කථාව වදාරනසේක. විනයයේ ගුණ වණන සේක. විනය බණ ඉගැන්මෙහි ගුණ වදාරනසේක. ආදර්ශ කොට උපාලි තෙරුන්ගේ ගුණ වදාරනසේක: “භාග්‍යවතුන් වහන්සේ වූ කලී නොයෙක් කරුණින් විනය කථාව වදාරනසේක. විනයයේ ගුණ වදාරනසේක. විනය බණ ඉගැන්මෙහි ගුණ වදාරන සේක. ආදර්ශ කොට කොට උපාලි තෙරුන්ගේ ගුණ වදාරන සේක. ඇවැත්නි, අපි උපාලි තෙරුන් වෙත විනය පුහුණු කරම්හ” යි භික්‍ෂූනට මේ සිත විය. ඒ බොහෝ ස්ථවිර භික්‍ෂූහු ද නවක භික්‍ෂූහු ද මධ්‍යයම භික්‍ෂූහු ද උපාලි තෙරුන් වෙත විනය බණ උගනිත්. උපාලි තෙරණුවෝ තමනට වඩා මහලු තෙරුනට ගෞරවයෙන් සිටියාහු ම (සිට ගෙන ම) බණ උදෙසයි (උගන්වයි), ස්ථවිර (වැඩි මහලු) භික්‍ෂූහු ද සිටගත්තාහු ම ධර්‍මගෞරවයෙන් (විනය) උදෙසවාගනිත් (කියවා ගනිත්), එහි ස්ථවිර භික්‍ෂූහු ද උපාලි තෙරණුවෝ ද (බොහෝ වේලා) (සිටගත් වන ම සිටියාහු) වෙහෙසට පැමිණෙත්.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උදෙසන (බණ උගන්වන) නවක මහණහු විසින් ධර්‍මගෞරවයෙන් සමාන අස්නෙක හෝ වඩා උස් අස්නෙක හෝ ඉඳින්නට ද, උදෙස්වන (ඉගෙනගන්නා) ස්ථවිර භික්‍ෂූහු විසින් ධර්‍මගෞරවයෙන් සමාන අස්නෙක හෝ (උගන්වන තෙරුන්ගේ අස්නට) වඩා මිටි අස්නෙක හෝ හිඳින්නට ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂුහු උපාලි තෙරුන් සමීපයෙහි සිටගත්තාහු ම උදෙසීම බලාපොරොත්තු වන්නාහු වෙහෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සමානාසනිකයන් සමග හිඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
එ කල්හි භික්‍ෂූනට “කොපමණෙකින් සමානාසනිකයෙක් වන්නේ දැ?” යි මෙ සිත විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තුන් වසක් අතර ඇති (තමාට වඩා වස් එකක් හෝ දෙකක් වැඩි හෝ අඩු) මහණකු හා එක් අස්නෙහි ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි බොහෝ සමානාසනික මහණහු එක් ඇඳෙක හිඳ ඇඳ බින්දහ. (කඩා දැමූහ). එක් පුටුවෙක හිඳ පුටුව කැඩුහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තුන් දෙනකුනට ඇඳ ද තුන් දෙනකුනට පුටුව ද අනුදනිමි” යි වදාළසේක. තුන්දෙනෙක් ද ඇඳෙක හිඳ එය කැඩුහ , පුටුවෙක හිඳ පුටුව කැඩුහ.
“මහණෙනි, දෙදෙනකුනට ඇඳ ද දෙදෙනකුනට පුටුව ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි භික්‍ෂුහු සමාසනික නොවන භික්‍ෂූන් හා දික් අස්නෙහි හිඳින්නට කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පණ්ඩකයා ද මාගම උභතොඛ්‍යංජනකයා ද හැර, (සෙසු) අසමානාසනිකයන් හා එක් දීර්ඝාසනයෙහි ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
එ කල්හි ‘කොතෙකින් පැසිම් අස්න දීර්‍ඝාසනයෙක් වේ ද?’ යි භික්‍ෂූනට මේ සිත විය ...
“යම් අස්නෙක් තුන් දෙනකුනට සෑහෙයි ද, දීර්‍ඝාසනය එ පමණින් පැසිම් අස්න යැ. (තුන් දෙනකුහට පමණක් ඉඳිත හැකි අස්න අඩු ම ප්‍රමාණයේ වූ දික් අස්න යැ) යි වදාළ සේක.
52. එ සමයෙහි මිගාර මාතෘ නම් වූ විශාඛා තොමෝ ආලින්දයක් (ඉස්තෝප්පුවක්) සහිත වූ ඇත්කුඹු සටහන් මත්තෙහි ටැම් බැඳ තැනු ප්‍රාසාදයක් සංඝයා උදෙසා කරවන්නට කැමැත්තී වූවාය. එ කල මහණුනට, “භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට කෙබඳු ප්‍රාසාද පරිභෝගයෙක් අනුදන්නා ලද ද? කෙබඳු ප්‍රාසාද පරිහොගයෙක් නො අනුදන්නා ලද දැ?” යි. මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, සියලු ප්‍රාසාද පරිහොගය අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි පසේනදී කොසොල් රජුගේ මිත්තණියෝ කලුරිය කළාහ. ඇගේ කලුරියෙන්, දික්සඟළා පුටු ය, පළඟය, සතරඟුලට වඩා ලොම් ඇති ඇතිරි ය, එළුලොමින් කළ විසිතුරු ඇතිරි ය, එළුලොම් මුවා සුදු ඇතිරි ය, පුළුනෙන් පිරූ ඇතිරි ය, ගනපුප් ඇති එළුලොම් මුවා ඇතිරි ය, සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරු එළුලොම් මුවා ඇතිරි ය, එක් පැත්තෙක පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරි ය, දෙ පැත්තේ ම ලොම් ඇති එළු ලොම්මුවා ඇතිරි ය, තිහිරිහුයින් වියූ රන්කසු කම් කළ පසතුරණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනෙකුන්ට සිට රඟ පාන්නට තරම් දික් පුළුල ඇති මහ ඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරි ය, පිට අතුරන ඇතිරි ය, රියෙහි අතුරන ඇතිරි ය, අඳුන් දිවිසමින් කළ පසතුරුණ, දෙපස රතු කොට්ට තැබූ උඩු වියන් සහිත කෙසෙල් මුව සමින් කළ මහඟු පසතුරුණ යන මේ බොහෝ අකැප බඩු යන බොහෝ නොකැප වී බඩු සංඝයාට උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දික් සඟළා පුටුවේ පා සිඳ පරිභෝග කරන්නට ද, පළඟෙහි ව්‍යාල රූප බිඳදමා පරිභෝග කරන්නට ද, පුළුන් මෙට්ටය මැහුම් ලිහා කොට්ට කරන්නට ද, ඉතිරි දෑ බුමුතුරුණු කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
53. එ සමයෙහි සැවැත් නුවරට නොදුරෙහි එක්තරා කුඩා ගමෙක ආවාසයෙක වසන භික්‍ෂුහු ආගන්තුක වූ ද ගමික වූ ද භික්‍ෂුනට සෙනසුන් පනවන්නාහු එයින් පීඩාවට පත් වූහ. එකලැ ඒ භික්‍ෂුනට මේ සිත විය. “ඇවැත්නි, දැන් වනාහි අපි ආගන්තුක වූ ද ගමික වූ ද මහණුනට සෙනසුන් පනවන්නමෝ පීඩාවට පැමිණියම්හ. ඇවැත්නි, එබැවින් අපි සියලු සඟසතු සෙනස්න එක් මහණකුට දෙමු. ඔහු සතු වූ එය පරිභෝග කරන්නමු” යනු යි. ඔහු සියලු සඟසතු සෙනස්න එක් මහණකුට දුන්හ. ආගන්තුක මහණහු ‘ඇවැත්නි, අපට සෙනසුන් පනවන්නැ’ යි කීහ.
“ඇවැත්නි සඟ සතු සෙනස්නෙක් නැත. සියල්ල අප විසින් එක් මහණකුට දෙනලදැ” යි (නේවාසික මහණහු) කීහ. “ඇවැත්නි, කිමෙක් ද? තෙපි සඟසතු සෙනස්න එක් කෙනකුට පවරා දුන්නහු දැ?” යි ඔහු ඇසූහ.
“එසේ ය, ඇවැත්නි” යි ඔහු කීහ. අල්පේච්ඡ වූ ... යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද, ... ඔහු “කෙසේ නම් භික්‍ෂුහු සඟසතු සෙනසුන් එකකුට පවරා දුන්නහු දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, ඉක්බිති එ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
“මහණෙනි, මහණහු සඟසතු සෙනස්න (එක් මහණකුට) පවරාදුන්නාහු ද? සැබෑ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“එසේ ය භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ.
“මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ සඟසතු සෙනස්න කෙනකුට පැවැරුවෝ ද? මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නො වේ” යැ යි වෙසෙසින් ගැරැහූ සේක. ගරහා දැහැමි කථා කොට මහණුන් බණවා මෙය වදාළසේක:
“මහණෙනි, මේ පස සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ අනෙකකුට (පෞද්ගලික අයිතියට) නො දිය යුතු ය, නො පැවරියයුතු ය. දෙන ලද්දේ ද නො දෙන ලද්දේ වේ. යමෙක් දෙන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය. කවර පසෙක් ද යත්: ආරාමය, ආරාම වත්ත, මේ පළමු වන නො දියයුතු දැය ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො දියයුතු ය. දෙන ලද්දේ ද නො දෙන ලද්දේ වෙයි. යමෙක් දෙන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය.
විහාරය ද විහාර වත්ත ද , දෙවෙනි අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් පුද්ගලයකු සතු කොට නො දියයුතු ය. දෙන ලද්දේ ද නොදෙන ලද්දේ වේ. යමෙක් දෙන්නේ ද තුලැසි ඇවැත් වන්නේ ය.
ඇඳ ද පුටුව ද බිස්ස ද කොට්ටය ද යන මේ තෙවෙනි අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුද්ගලයකු සතු කොට) නො පැවරිය යුතු ය. එසේ දෙන ලද්දේ ද නො දෙන ලද්දේ ම වේ. යමෙක් දෙන්නේ ද, තුලැසි ඇවැත් වන්නේ ය.
ලෙහො සැළි ය, ලොහො පැණ, ලොහො කළ ය, ලොහො කටාරම, වෑය, පොරොව, කෙටේරිය, උදැල්ල, නියන යන මේ සතර වන අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ පුඟුලකු සතු කොට නො දියයුතු ය. යමෙක් එසේ දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
වැල්, හුන, මුදුතණ, බබුස්තණ, සෙසු තෘණවර්ග, මැටි, ලීබඩු, මැටිබඩු, යන මේ පස්වන අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුඟුල් සතු කොට) මහණකුට නො දියයුතු ය. දෙන ලදුයේ ද නො දෙන ලදුයේ වේ. යමෙක් දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
මහණෙනි, මොහු අවිස්සජ්ජිය (පුද්ගලයකු සතු කොට නො දිය යුතු) වස්තු පස් වගය ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුඟුල් සතු කොට) නො දියයුතු ය. එසේ දෙන ලද ද නො දෙන ලද්දේ ම වේ. යමෙක් දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
54. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර කැමැති තාක් වැස සැරියුත් මුගලන් දෙනම ද භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද හා කීටාගිරි දනව්වට සැරිසරා වැඩිසේක. අස්සජී පුනබ්බසුක යන මහණහු “භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම ද පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද කැටුව කීටාගිරියට වඩිනසේකැ” යි ඇසූහ. “ඇවැත්නි, අපි දැන් සියලු සඟසතු දෑ බෙදා ගනිමු. සැරියුත් මුගලන් දෙදෙනා ලාමක ආශා ඇත්තෝ ය, ලාමක ආශාවනට වශඟ වූවෝ ය. අපි ඔවුනට සෙනසුන් නො පනවමු” යි ඔහු කතිකා කැරැගත්හ. ඔහු මෙසේ කතිකා කොට ගෙන සියලු සඟසතු දෑ බෙදුහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරිසරා වඩනාසේක් කීටාගිරියට පැමිණ වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් බණවා “මහණෙනි, තෙපි යවු අස්සජ්ජි පුනබ්බසුක මහණුන් කරා එළඹ, ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා ද සැරියුත් මුගලන් දෙ නම ද කැටුව වඩිනා සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සඞ්ඝයාට ද සැරියුත් මුගලන් දෙනමට ද සෙනසුන් පනවවු යැ’ යි මෙසේ කියවු” යැ යි වදාළසේක.