25. එ සමයෙහි ආරාමය (විහාර වත්ත) නො පිරිකෙවුණේ (වටාලූ ආවරණයක් නැත්තේ) වෙයි. එළුවෝ ද ගවයෝ ද මල්පැල පෙළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, හුණවැට ද වැටකේවැට ද අගල ද යන ඇවුරුම් තුන අනුදනිමි” යි වදාළසේක.
ආරාම කොටුවක් නො වෙයි. පළමු සේ ම එළුවෝ ද ගවයෝ ද මල්පැල පෙළත් ...
“මහණෙනි, කොටුව ද හිඳිකඩ ද දෙබෑ දොරපළු ද තොරණ ද රෝද කඩුල්ල ද අනුදනිමි” යි වදාළසේක.
දොර කොටුවෙහි තණරොඩු වැටෙයි ....
“මහණෙනි, ඝනදඩු අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට ද එහි සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් සටහන් පස්වනක් පැහැ සිත්තම් කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
අරම මඩ සහිත වේ. ...
“මහණෙනි, බොරළු විසුරුවන්නට අනුදනිමි” යි වදාළසේක.
එයින් තෘප්ත නො වෙත්...
“මහණෙනි, ගල්පුවරු අතුරන්නට අනුදනිමි” යි වදාළසේක.
දිය රැඳෙයි. ...
“මහණෙනි, සොරොව්ව අනුදනිමි” යි වදාළසේක.
26. එ සමයෙහි වනාහි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙම සංඝයාගේ ප්‍රයෝජන පිණිස සුදුහුණු ද මැටි ද මිශ්‍ර කොට තැනු බදාම ආලේපය ඇති ප්‍රාසාදයක් කරවනු කැමැත්තේ වෙයි. එ කල මහණුනට “භාග්‍යවතුන් වහන්සේ විසින් කවර සෙවෙනියෙක් අනුදන්නා ලද ද, කවර සෙවෙනියෙක් නො අනුදන්නා ලද දැ” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, උළුසෙවිල්ල ද ගල්පුවරු සෙවිල්ල ද හුණුබදාම සෙවිල්ල ද තණසෙවිල්ල ද කොළසෙවිල්ල ද යන සෙවෙනි පස අනුදනිමි” යි වදාළසේක.
පළමු බණවර යි.
27. එ සමයෙහි අනේපිඬු සිටු තෙම රජගහ නුවර සිටුහට සුහුරුබඩු වෙයි. එ කලැ කිසි කටයුත්තෙකින් රජගහ නුවර ගියේ ය. එ සෙමෙහි වූ කලි රජගහ සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් මහසඟ නිමැතුණේ වෙයි. ඉක්බිති රජගහසිටු තෙම “එසේ නම් සගයෙනි, කලින් ම නැඟී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවු, අවුළුපත් පිළියෙල කරවු” ය යි දාසයනට ද කම්කරුවනට ද අණ කෙළේය.
එ විට අනේපිඬු සිටුහට, “පෙර දවස්හි වූ කලි මෙ ගැහැවි මා ආ විට සියලු කටයුතු තබා මා හා ම (පිය බස් බෙණෙමින්) සතුටු වෙයි. මෙ තෙම දැන් කලබල අයුරු ඇත්තේ දාසයන් ද කම්කරුවන් ද බණවා, “එසේ වී නම්, සගයෙනි, කලින් ම නැඟී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවු, අවුළුපත් පිළියෙල කරවු” යැ යි ඇණැවී ය. කිමෙක් ද මේ ගැහැවිහුගේ ගෙට ආවාහයෙක් හෝ වන්නේ ද? (මෙ ගෙයින්) විවාහයෙක් හෝ වන්නේ ද? මහා යඥයෙක් හෝ එළැඹ සිටියේ ද? බල සෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ සෙට දවසට නිමතන ලදුයේ හෝ වේ දැ” යි මේ සිත විය.
ඉක්බිති රජගහ සිටු දාසයන් ද කම්කරුවන් ද අණවා අනේපිඬු සිටු වෙත ආයේ ය. අවුත් අනේපිඬු සිටු හා සතුටු විය. සතුටු ව පසෙක ඉඳ ගත්තේ ය. (එසේ) පසෙක හිඳගත් රජගහ සිටුහට අනේපිඬු සිටු තෙම මෙ බස් පැවැසී ය: ගැහැවියනි, පෙර දවස්හි මා ආකල්හි තෙපි සියලු කටයුතු තබා මා හා ම (පිළිසඳර කතා කොට) සතුටු වහු, ඒ තෙපි දැන් කලබල වූ අයුරු ඇත්තහු දාසයන් ද කම්කරුවන් ද බණවා “එසේ වී නම් සගයෙනි, කලින් ම නැගී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවුඅවුළුපත් පිළියෙල කරවු යැ” යි අණ කළා හු ය. කිමෙක් ද ගැහැවියනි, තොපගේ ආවාහයෙක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායඥයෙක් හෝ එළැඹැ සිටියේ ද? බලසෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ සෙට දවසට නිමතන ලද්දේ හෝ වේද” යනු ය.
“ගැහැවියෙනි, මගේ ගෙහි ආවාහයෙක් හෝ නො වන්නේ ය. විවාහයෙක් හෝ නො වන්නේ ය. බලසෙන් සහිත මගධේශ්වර සේනිය බිම්බිසාර රජ හෝ සෙට නිමතන ලද්දේ නො වෙයි. වැලි දු මහායාගයෙක් එළැඹ සිටියේ ය. සෙට දවසට බුද්ධප්‍රමුඛ සංඝ තෙමේ නිමතන ලද්දේ වේ” යැ යි රජගහ සිටු කී ය.
28. “ගැහැවියනි, ‘බුද්ධ’ යැ’යි කියවු දැ” යි අනේපිඬු සිටු කී ය.
“එසේ ය, ගැහැවියනි, ‘බුද්ධ’ යැ යි කියමි” යි රජගහසිටු කීය.
“ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියවු දැ” යි දෙවෙනි වරත් අනේපිඬු සිටු කී ය.
“එසේ ය, ගැහැවියනි, ‘බුද්ධ’ යැ යි කියමි” යි දෙවෙනි වරත් රජගහසිටු කී ය.
“ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියවු දැ” යි තෙවෙනි වර ද අනේපිඬු සිටු කී ය.
“එසේ ය. ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියමි” යි තෙවෙනි වරත් රජගහසිටු කී ය.
“ගැහැවියනි, ලොවැ මේ ‘බුද්ධ’ යන ශබ්දය පවා දුර්‍ලභ ය. ගැහැවියනි, ඒ භගවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට එළැඹෙන්නට මෙ වේලේ හැකි දැ” යි අනේපිඬු සිටු කී ය.
“ගැහැවියනි, ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දකින්නට එළැඹෙන්නට මේ නො කල් ය. සෙට ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට සුදුසු කල්හි ඔබ උන්වහන්සේ කරා යන්නැ” යි රජගහසිටු කී ය.
ඉක්බිති අනේපිඬු සිටු සෙට මම් ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දකින්නට යන්නෙමි” යි බුදුරජුන් අරමුණු කොට පැවැති සිහියෙන් යුතු ව වැදහෙව රෑ තුන් යලක් ම පහන් වූයේ වනැ යි හඟිනුයේ නැගී සිටියේ ය. ඉක්බිති අනේපිඬු සිටු ශීතවනද්වාරය කරා එළඹියේ ය. අමනුෂ්‍යයෝ දොර විවරකළහ. ඉක්බිති අනේපිඬු සිටු නුවරින් නික්මුණු වේලෙහි එළිය නැතිවිය. අඳුර පහළ විය. බිය ද තැතිගැන්ම ද ලොමුදහගහැන්ම ද උපන. යළි එතැනින් ම පෙරළා යනු කැමැති විය.
එ විට සීවක යක් තෙම නොපෙනී සිටියේ.
“ඇත්තු සියදහසෙක් ද අස්සු සියදහසෙක් ද මහඟු අසුන් යෙදූ රිය සියදහසක් ද පළන් මිණි කොඬොල් ඇති කන්‍යාවෝ සිය දහසෙක් ද යන මොහු එක් පදව්‍යතිහාරයෙක (පිය වරෙක) සොළොස්වන කලාව ද නො අගිත් ය” යි.
“ගැහැවිය ඉදිරියට යන්න, ගැහැවිය, ඉදිරියට යන්න. ඉදිරියට යෑම උතුමි, පෙරළා යෑම උතුම් නො වේ” යැ යි හඬක් ඇස්වී ය,
එ කල අනේපිඬු සිටුහට අඳුර නැතිවිය, එළිය පහළ විය. යම් බියෙක් තැතිගැන්මෙක් ලොමුදහගහැන්මෙක් වී ද එය සන්හිඳිණ.
දෙවෙනි වර ද... තෙවෙනි වර ද අනේපිඬු සිටුහට එළිය අතුරුදහන් විය. අඳුර ඇති විය. බිය ද තැතිගැන්ම ද ලොමුදහ ගැන්ම ද ඇති විය. යළි එතැනින් ම පෙරළා යනු කැමැති විය. තෙවෙනි වර ද සීවක යක් තෙම නොපෙනී සිටියේ
“ඇත්තු සිය දහසක් ද... පෙරළා යෑම උතුම් නොවේ යැ” යි හඬ ඇස්වී ය.
තෙවෙනි වර ද අනේපිඬු සිටුහට අඳුර අතුරුදහන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැතිගැන්මෙක් ලොමුදහගහැන්මෙක් වී ද එය සන්හිඳිණ. ඉක්බිති අනේපිඬු සිටු තෙම ශීතවනය කරා ගියේ ය. එ සමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැඟී සිට එළිමහනේ සක්මන් කරන සේක. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම එන අනේපිඬු සිටුහු දුටුයේක. දැක සක්මන් මළුවෙන් බැස පැනැවුණු අස්නෙහි වැඩහුන්සේක.
29. භාග්‍යවතුන් වහන්සේ අස්නැ වැඩ හිඳ ‘සුදත්තය, මෙහි එව’ යි අනේපිඬු සිටුහට අඬගසා වදාළසේක. එවිට අනේපිඬු සිටු තෙම ‘භාග්‍යවතුන් වහන්සේ නමින් (නම කියා) මා අමතන සේකැ’ යි තුටුපහටු වූයේ ඔද වැඩීගිය සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ පාමුල වැටී හිස නමා වැඳ, “වහන්ස, කිමෙක් ද, භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතැපුණු සේක් දෝ” යි කී ය.
“යමෙක් කාමයන්හි නො ඇලෙයි ද කෙලෙස් තැවුම් නැතියෙන් සිසිල් වූයේ වේ ද, ක්ලේශෝපධි රහිත වේ ද කෙලෙස් පිරිනිවනින් පිරිනිවි ඒ බාහිතපාපී පුද්ගල තෙමේ හැම කල්හි ඒකාන්තයෙන් සුවසේ ශයනය කෙරෙයි.
හෙ තෙම සියලු ආසක්තීන් (තෘෂ්ණාවන්) සිඳ සිතෙහි කෙලෙස් රිදුම් පහකොට සන්සුන් වූයේ සිතේ සන්සිඳීමට පැමිණ සුවසේ සැතැපේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට ‘දානකථා, ශීලකථා ස්වර්‍ගකථා කාමයන්ගේ ආදීනව, කාමයන්ගේ ලාමක බව, කාමයන්ගේ කිලිටි බව, කාමයන්ගෙන් නික්මීමේ අනුසස් ද යන අනුපූර්‍ව කථාව (දානාදි පිළිවෙළින් කියන ධර්‍මකථාව) පැවැසූ සේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහු (කෙලෙස් යටපත් වීමෙන්) නීරෝග සිතැත්තහු, මොළොක් සිතැත්තහු කාමච්ඡන්දදි නීවරණ යටපත්ව ගිය සිතැත්තහු ඔදවැඩි සිතැත්තහු, පහන් සිතැත්තහු දත්සේක් ද, එ කල්හි දුක ද දුඃඛසමුදය ද නිරෝධය ද මාර්‍ගය ද යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික දේශනාවෙක් වේ ද එය පැවැසූසේක. පහ වූ කළු බව ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම්සේ මනාකොට ම රඳන් උරා ගන්නේ ද, එසේ ම අනේපිඬු සිටුහට එ අස්නෙහි දී ම ‘යම් කිසිවෙක් ප්‍රත්‍යයෙන් හටගන්නාසුලු ද ඒ සියල්ල නැසෙන සුලුයැ’ යි කෙලෙස් රජසින් තොර, පහවූ කෙලෙස් මලැති, දහම් ඇස (සෝවන් මඟ නුවණ) පහළ විය.
30. ඉක්බිත්තෙන් අනේපිඬු සිටු තෙම, දුටු ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ නුවණින් පැමිණි ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ, දන්නා ලද ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ නුවණින් බැසගත් ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ, තරණය කළ සැක ඇත්තේ, පහවූ කථඞ්කථා (සැක) ඇත්තේ, ශාස්තෘ ශාසනයෙහි විශාරද බවට පැමිණියේ පරප්‍රත්‍යය නැත්තෙක් වූයේ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය: “වහන්ස, අභිකාන්ත ය. වහන්ස, අභිකාන්තය. වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද වැසුණු දැයක් විවෘත කරන්නේ ද මංමුළාවූවකුට මඟ කියන්නේ ද ඇසැතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ ද එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද්දේ ය. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සංඝයා ද සරණ යමි. අදින් ඉදිරියට මා දිවිහිම් කොට සරණ ගිය උවසකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකනසේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට සංඝයා සහිත ව මාගේ බත ඉවසන සේක්වා” යනු ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවසූසේක, ඉක්බිති අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැගියේ ය.
රජගහ සිටු තෙම අනේපිඬු සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් සංඝයා නිමතන ලද්දේ ලැයි ඇසී ය. ඉක්බිති රජගහ සිටු “ගැහැවියනි, ඔබ විසින් සෙට දිනට බුදුපාමොක් සඟ නිමැතිණි ල.’ ඔබ අමුත්තෝ වෙති. ගැහැවියනි, ඔබ බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරන්නාහු ද, එසේ වූ වියදම ඔබට දෙමි” යි අනේපිඬු සිටුහට කි ය. “කම් නැත, ගැහැවියනි, යමෙකින් බුදුපාමොක් සඟනට බත් කරන්නෙම් ද, එයට වියදම මට ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
31. රජගහපුර නියම්ගම් දෙටු තෙමේ ද “අනේපිඬු සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් සඟ නිමැතිණැ” යි ඇසුයේ ම ය. ඉක්බිති රජගහපුර නිගමාධිපති තෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, ඔබ විසින් සෙට දවසට බුදුපාමොක් සඟ නිමතන ලද්දේ ල. ඔබ අමුත්තෝ වෙති. ගැහැවියනි, බුදුපාමොක් සඟනට බත පිළියෙළ කරනුවට වියදම ඔබට දෙමි” යි කී ය. “ආර්‍ය්‍යයෙනි, අනාවශ්‍යක ය. බුදුපාමොක් සඟනට බත පිළියෙළ කරවන්නට මට වියදම ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
මගධේශ්වර සේනිය බිම්බිසාර රජ ද “අනේපිඬු සිටුහු විසින් හෙට දවසට බුදුපාමොක් සඟ නිමතන ලද්දේ ල” යි ඇසී ය. ඉක්බිති මගධේශ්වර සේනිය බිම්බිසාර රජ “ගැහැවියනි, තොප විසින් සෙට දවසට බුදුපාමොක් මහසඟ නිමතන ලද්දේ ල. තෙපි අමුත්තෝ වෙති. බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරනුවට යන වියදම තොපට දෙමි” යි අනේපිඬු සිටුහට කී ය. “දේවයිනි, ආවශ්‍යක නො වේ. බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරනුවට වියදම මට ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
32. ඉන් පසු අනේපිඬු සිටු තෙම ඒ රැය ඇවෑමෙන් රජගහ සිටුහුගේ ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් කාලය ය. බත් පිළියෙළ කොට නිමැවැ” යි භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වා යැවී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ පෙරවරු සෙමෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ සිටුහුගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ ප්‍රඥප්ත අස්නෙහි බික් සඟන හා වැඩහුන් සේක.
ඉක්බිති අනේපිඬු සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සතපා පවරවා භාග්‍යවතුන් වහන්සේ බොජුන් වැළැඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති නියාව සලකා භාග්‍යවතුන් වහන්සේට එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ම අනේපිඬුසිටු තෙම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සැවැත්නුවර වස්වසනුවට මා කරන අයදුම ඉවසන සේක් වා” යි කීයේ ය.
“ගැහැවියනි, තථාගතවරු ශුන්‍යාගාරයෙහි විසීම රිසි කෙරෙත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“භාග්‍යවතුන් වහන්ස, මට වැටහිණ. සුගතයන් වහන්ස, මට දැනිණැ” යි සිටු කී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට දැහැමි කථායෙන් කරුණු දක්වා කරුණු ගන්වා එහි උත්සාහවත් කොට එයින් සතුටු කොට හුනස්නෙන් නැඟී වැඩි සේක.
33. එ සමයෙහි වූකලි අනේපිඬු සිටු බොහෝ මිතුරන් ඇත්තේ බොහෝ යහළුවන් ඇත්තේ සෙස්සන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ වෙයි. එකල්හි අනේපිඬු සිටු රජගහනුවර ඒ කටයුතු නිමවා සැවැත්නුවර බලා නික්මිණ. ඉක්බිති අනේපිඬු සිටු මඟ අතරැ (ගම් නියම් ගම්හි වූ) මිනිසුන් බණවා “ආර්‍ය්‍යයෙනි, ආරාම කරවු විහාර පිහිටුවවු. දන් පිළියෙළ කරවු බුදුරජුහු ලොව උපන්හ. ඒ භගවත්හු මා විසින් නිමැතුණාහු මෙ මඟින් වඩනාහ” යි කී ය. [missing trans]
ඉක්බිති අනේපිඬු සිටු සැවැත් ගොස්, ‘යමක් ගමට ඉතාදුරත් ඉතා ළඟත් නොවන්නේ ද යෑමට ඊමට පහසු ද (බුදුන් වදනට බණ අසනුවට ය.) කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වේ ද දහවල් ජනාකීර්‍ණ නො වේ ද, රෑ නිහඬ ද (නුවරැ හැසිරෙන රථ ආදියේ හඬ නො ඇසෙනුයෙන්) ඝෝෂ රහිත ද ගැවැසෙන ජනයා ගේ ශරීරවාතයෙන් විරහිත ද, මිනිසුන් හුදෙකලා කරන භාවනාදි ක්‍රියාවනට සුදුසු ද විවේකයට යෝග්‍ය ද එසේ වූ කවර නම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ විසියයුතු වන්නේ දැ’යි සැවැත් නුවර හාත්පස පිරික්සා බැලී ය.
අනේපිඬු සිටු තෙම ගමට ඉතා දුරැ නොවූ ඉතා ළඟ ද නො වූ ගමනාගමනයට පහසු වූ, (බුදුරජුන් දැකීම් ආදිය) කැමැති කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වූ දහවල් ජනාකීර්‍ණ නොවූ, රාත්‍රියෙහි නිහඬ වූ නගර ඝෝෂ රහිත වූ, ජනවාත විරහිත වූ, මිනිසුන්ගේ හුදෙකලාව කරන ක්‍රියාවනට යෝග්‍ය වූ විවේක වාසයට සුදුසු වූ ජෙතරාජකුමාරයාගේ උයන දුටුයේ ය. දැක ජෙතරාජකුමාරයා කරා එළැඹියේ ය. එළැඹ “ආර්‍ය්‍යයෙනි, ආරාමයක් කරන්නට උයන මට දුනමැනැවැ” යි කීයේ ය.
“කහවණු සුලසින් ඇතිරීමෙනුදු උයන නො දිය හැක්කැ” යි ජේත රාජකුමාර කී ය.
“ආර්‍ය්‍යපුත්‍රය, ආරාමය (මා විසින්) ගන්නා ලදැ” යි සිටු කී ය.
“ගැහැවියෙනි, ආරාමය නො ගන්නා ලදැ” යි කුමර කී ය.
“ආරාමය ගන්නා ලද ද? නො ගන්නා ලද දැ” යි විනිශ්චයකාර මහඇමැත්තන් විචාළාහ.
“ආර්‍ය්‍යපුත්‍රයෙනි, යම් හෙයෙකින් ඔබ විසින් අගය නියම කොට කියන ලද ද, එහෙයින් (සිටුහු විසින්) ආරාමය ගන්නා ලද්දේ යැ” යි ඇමැත්තෝ කීහ.
34. එයින් පසු අනේපිඬු සිටු ගැල්වලින් මසුරන් අදවා ජේතවනය, (මසුරන්) සුලසින් සුලස ඇතිරැවී ය. එක් වරක් ගෙනෙන ලද මසුරන් දොරකොටුව සමීපයේ ස්වල්ප අවකාශයකට ප්‍රමාණ නො වෙයි. (මඳවෙයි) . . . එකල්හි අනේපිඬු සිටු මිනිසුන් බණවා “සගයෙනි, මසුරන් ගෙනෙවු. මේ අවකාශය අතුරා වසාලන්නෙමි” යි ඇණවී ය.
එවිට ජේතරාජකුමාරයාට “යම්හෙයකින් මේ ගැහැවි තෙම ඒ සා මහත් මසුරන් රැසක් පරිත්‍යාග කරන්නේ ද එ හෙයින් මෙ සුළු කාරියෙක් නො වන්නේ යැ” යි මේ සිත විය. ඉක්බිති හෙතෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, අවශ්‍ය නැත. ඒ අවකාශය නො අතුරවන්න. ඒ අවකාශය මට දෙන්න. එය මගේ දානය වන්නේයැ” යි කී ය.
එවිට අනේපිඬු “මේ ජේතරාජකුමාර තෙම (මහ ජනයා විසින්) වෙසෙසින් දන්නා ලද ප්‍රකට මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මෙ සස්නෙහි පැහැදීම මහත් වැඩ සිදුකරන්නේ වේ” යැ යි සිතා ඒ අවකාශ ප්‍රදේශය ජේතරාජකුමාරයාට දුන්නේ ය. එයින් පසු ජේතරාජකුමාර , තෙම එ ඉඩම් කැබැල්ලෙහි දොරටු පහයක් තැනැවී ය.
ඉක්බිත්තෙන් අනේපිඬු සිටු ජේතවනයෙහි විහාරයන් කැරැවිය. පිරිවෙන් කැරැවිය, දොරටු කැරැවිය, උවටන්හල් කැරැවිය, ගිනිහල් කැරැවිය, කැපකිළි කැරැවිය. වැසිකිළි කැරැවිය, කෙසකිළි කැරැවිය. සක්මන්මළු කැරැවිය, සක්මන් හල් කැරැවිය. ළින් කැරැවිය, ළින්හල් කැරැවිය, ජෙන්තාකගෘහ කැරැවිය, ජෙන්තාකගතෘහශාලා කැරැවීය. පොකුණු කැරැවිය. මඩු කැරැවිය.
35. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කැමැති තාක් කල් වැඩසිට විසල් මහනුවරට පිටත් වූයේක. පිළිවෙළින් සැරිසරා වඩනාසේක් විසල් පුරයට සම්ප්‍රාප්ත වූයේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසල් පුරැ මහවෙහෙනහි කුළාරහල් වෙහෙරැ වසනසේක. එකල මිනිස්සු සකසා නවාම් කෙරෙත්. යම් මහණ කෙනෙක් නවාම් ඉවසත් නම් ඔවුනට ද සිවුරු පිඩුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සකසා උවටන් කෙරෙත්.
එ කල එක්තරා දිළිඳු රෙදිවියන්නකුට “යම්සේ මේ මිනිස්සු සකසා නවාම් කෙරෙත් ද එහෙයින් මෙය සුළු කාරියෙක් නො වියයුතු, නවාමක් කළොත් යෙහෙකැ” යි මේ සිත විය.
එයින් පසු ඒ දිළිඳු රෙදිවියන්නා තෙමේ ම මැටි මැඩ ගඩොළු තනා බිත්තියක් නැංවිය. අදක්‍ෂ වූ ඔහු විසින් තනන ලද, වක් වූ බිත්තිය කැඩී වැටිණ. දෙවැනි වරද ... තුන්වැනි වරද ඒ දිළිඳු රෙදි වියන්නා තෙමේ ම මැටි මැඩ ගඩොළු තනා බිත්තියෙක් නැංවිය. අදක්‍ෂ වූ ඔහු විසින් තනන ලද වක් වූ බිත්තිය කැඩී වැටිණ.
එකලැ එ දිළිඳු රෙදිවියන්නා “යම් කෙනෙක් මේ ශාක්‍යපුත්‍රික මහණුනට සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙත් ද ඔවුනට මොහු අවවාද කරත්, අනුශාසනා කරත්, ඔවුන්ගේ නවාම් ද ඉටත්. මම් වූ කලි දිළින්දෙක්මි. කිසිවෙක් මට අවවාද හෝ අනුශාසනා හෝ නො කෙරෙයි. නවාම් හෝ නො ඉටුයැ යි ලාමක කොට සිතයි. නින්‍දා කෙරෙයි. දොස් පතුරුවයි.
36. භික්‍ෂුහු පහත් කොට සිතන නින්‍දා කරන දොස් පතුරුවන ඒ දිළිඳු රෙදිවියන්නා ගේ කථාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. එ විට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක.
“මහණෙනි, නවාම් දෙන්නට අනුදනිමි. මහණෙනි, නවකැමි මහණ තෙම කෙසේ නම් විහාරය වහා නිමාවට යන්නේ දැ” යි උත්සාහවත් බවට පැමිණෙන්නේ ය. කැඩුණු බිඳුණු තැන් ප්‍රකෘතිමත් කරන්නේ ය. මහණෙනි, මෙසේ දියැයුතු ය. පළමු කොට මහණුන්ගෙන් (මහණෙක්) ඉල්ලියැයුතු. පළමු කොට මහණුන් යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝයා මෙසේ දැන්වියයුතු:
“සංස තෙමේ මගේ වචනය අසාවා ඉදින් සංඝයාට සුදුසු කල් ඇති කර්‍මයෙක් වැ වැටහේ නම්, සංඝ තෙමේ මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකර්‍මය පිණිස දෙන්නේ ය” මේ දැනුම් දීමයි.
වහන්ස, සඞ්ඝ තෙමේ මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකර්‍මය පිණිස දෙයි. මෙනම් ගැහැවියා ගේ විහාරය මෙ නම් මහණහුට නවකම් පිණිස දීම යම් ආයුෂ්මතකුහට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
සංඝයා විසින් මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකම් සඳහා දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි” යනු යි.
37. එකලැ භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ කැමැති තාක් කල් වැස සැවැත් නුවර බලා සැරිසරා වැඩිසේක. එ සමයෙහි සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් “මෙය අපේ උපාධ්‍යායනට වන්නේ ය. මෙය අපේ ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ” යි කියා විහාරයන් අත්කැරැ ගනිත්, යහන් අත් කැරැගනිත්.
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ බුදුපාමොක් සඟනට පිටුපසින් පිටුපසින් වැඩ (කලදී සවැගි මහණුන් විසින්) විහාරයන් අත්කැරැ ගන්නා ලද කල්හි යහන් අත්කැරැ ගන්නා ලද කල්හි සැතපෙන්නට යහනක් නො ලබනුයේ එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගීසිට කැස්ස සේක. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ ද කැස්සහ. “මෙහි කවරෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූසේක. “වහන්ස, මම ශාරිපුත්‍රයෙමි” යි කීහ.
“ශාරිපුත්‍රයෙනි, තෙපි කවරහෙයින් මෙහි හුන්නු දැ” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත්සේක.
එකල්හි සැරියුත් තෙරණුවෝ මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු පෙරාතු ව පෙරාතු ව ගොස් ‘මෙය අප උපාධ්‍යයනට වන්නේය. මෙය අප ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ’ යි විහාරයන් අත් කැරැ ගනිත් ල, යහන් අත් කැරැ ගනිත් ල. ඒ සැබෑ දැ” යි අසා වදාළසේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි භික්ෂූහු කීහ.
“මහණෙනි, ඒ හිස් පුරුෂයෝ කෙසේ නම් බුදුපාමොක් සඟනට පෙරාතුව පෙරාතුව ගොස් ‘මෙය අපේ උපාධ්‍යයනට වන්නේ ය. මෙය අපේ ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ’යි විහාරයන් අත්කැරැගන්නාහු ද, යහන් අත්කැරැ ගන්නාහුද, මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ බොහෝවීම පිණිස ද නො වන්නේ ය. වැලි දු මහණෙනි, එය නො පහන් වූවන්ගේ නො පහන් බව පිණිස ද පහන් වූ ඇතැම් කෙනකුන්ගේ වෙනස් බව පිණිස ද වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ ගැරැහු සේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් බණවා “මහණෙනි, අග්‍රාසනය, අග්‍රෝදකය අග්‍රභෝජනය (ස්ථවිර පිණ්ඩය) ලබන්නට කවරෙක් සුදුසු දැ” යි අසා වදාළ සේක.
38. “භාග්‍යවතුන් වහන්ස, යමෙක් කැත් කුලයෙන් පැවිදි වූයේ ද, හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය (ස්ථවිර පිණ්ඩය) ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් බමුණු කුලයෙන් පැවිදි වූයේ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබන්නට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ගැහැවි කුලයෙන් නික්ම පැවිදි වූයේ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ” යැයි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සූත්‍රාන්තධර ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් විනයධර ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ධර්‍මකථික ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ප්‍රථමධ්‍යානලාභී ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ’යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ද්විතීය ධ්‍යානලාභී ද ... තෘතීය ධ්‍යානලාභී ද ... චතුර්‍ත්‍ථ ධ්‍යානලාභී ද, හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සෝවාන් ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සකෘදාගාමී ද... අනාගාමී ද... යමෙක් රහත් ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ත්‍රිවිද්‍යා ලාභී ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ෂඩ්භිඥ ද හේ අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙය වදාළ සේක. “මහණෙනි, පෙර වූවක් කියමි. මහණෙනි, පෙර හිමවත පාර්‍ශවයෙහි මහනුගරුකෙක් විය. වටුවෙක් ද වඳුරෙක් ද ඇතෙක් ද යන තුන් යහළු කෙනෙක් එය ඇසුරු කොට විසූහ. ඔහු උනුනට ගරුසරු නැති ව යටත් පැවතුම් නැති ව සභාග පැවැතුම් නැති ව වෙසෙත්. මහණෙනි, එකල්හි ඒ යහළුවනට “ අප අතුරෙන් යමෙක් උත්පත්තියෙන් ඉතා මහලු ද ඔහු දැනගත හෙන්නමෝ නම්, ගරු කරන්නමෝ නම් බුහුමන් කරන්නමෝ නම් පුදන්නමෝ නම්, ඔහුගේ අවවාදයෙහිත් පිහිටන්නමෝ නම් ඉතා යෙහෙකැ” යි මේ සිත විය.
මහණෙනි, එයින් පසු වටුවා ද වඳුරා ද ඇතු බණවා “යහළුව, තෙපි පැරැණි ම වූ කුමක් සිහි කරවු දැ” යි විචාළාහ.
“යහළුවනි, මම් යම් කලෙක පැටියෙක් වීම් ද එ කල්හි මම් මේ නුගරුක මාගේ කලවා අතුරෙහි කොට ඉක්මෙමි, මුදුන් දලුව මගේ බඩ ස්පර්‍ශ කෙරෙයි. යහළුවනි, මම මේ පැරැණි ම දැය සිහි කරමි” යි ඇතා කීය.
“මහණෙනි, ඉක්බිති වටුවා ද ඇතා ද වඳුරා බණවා “යහළුව, තෙපි පැරැණිම වූ කුමක් සිහි කරවු දැ” යි ඇසූහ.
යහළුවනි, යම් කලෙක මම් පැටියෙක් වීම් ද, එකලහැ මම් බිම හිඳ මේ නුගයේ මුදුන් දලුව කමි. යහළුවනි, මම් මේ පැරැණි ම දැය සිහි කරමි” යි වඳුරා කී ය.
මහණෙනි, ඉක්බිති වඳුරාත් ඇතාත් වටුවා බණවා “යහළුව, තෙපි පැරැණි ම වූ කුමක් සිහි කරවු දැ” යි පුළුවුත්හ.
“යහළුවනි, අසෝ තන්හි මහනුගයෙක් විය. මම් එයින් ගෙඩියක් කා මෙ තැන වසුරු පහකෙළෙමි. එයින් මේ නුගය ඇති විය. යහළුවනි, එදාත් මම් උපතින් ඉතා වැඩුණෙක් ව උනිමි” යි වටුවා කී ය.
මහණෙනි, එ කල්හි වඳුරා ද ඇතා ද වටුවා බණවා “යහළුව, තෙපි උපතින් අප දෙදෙනාට ම වඩා මහලු ය, අපි ඒ තොපට සත්කාර කරන්නමු, ගෞරව කරන්නමු, බුහුමන් කරන්නමු, පුදන්නමු, තොපගේ අවවාදයෙහි ද අපි පිහිටන්නමු” යි කීහ.
මහණෙනි, එයින් පසු වටුවා වඳුරා ද ඇතු ද පන්සිල්හි පිහිටුවිය. තෙමේ ද පන්සිල් ගෙන පවතියි. ඔහු උනුනට ගෞරව සහිත ව යටත් පැවැතුම් සහිත ව සභාග පැවැතුම් සහිත ව වැස කාබුන් මරණින් මතු සුවයට ස්ථාන වූ සගලොවට ගියාහ. මහණෙනි, මෙය තෛත්තිරිය බ්‍රහමචර්ය නම් විය.
දහම්හි දක්‍ෂ වූ (දහම් දන්නා) යම් කෙනෙක් වැඩිමහල්ලාට යටත් ව පවතිත් ද ඔහු මෙ අත්බව්හි පැසසුම් ලබන්නෝ ද පරලොව්හි සුගතිය ඇත්තෝ ද වෙති.
මහණෙනි, තිරිසන්ගිය ප්‍රාණීහු වූ ඔහු පවා උනුනට ගෞරව ඇත්තෝ ව යටත් පැවැතුම් ඇත්තෝ ව සභාග පැවැතුම් ඇත්තෝ ව වුසූහ. මහණෙනි, මෙසේ වූ ස්වාඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූ තෙපි උනුනට ගෞරව නැති ව යටත් පැවැතුම් නැති ව සභාග පැවැතුම් නැති ව වසන්නහු ය යන යමෙක් ඇද්ද, මෙහි ලා එය හොබනේ ද? මහණෙනි, මෙය නො පහන් අයගේ පැහැදීම පිණිස ද පහන් අයගේ බොහෝ වීම පිණිස ද නො වන්නේ ය. වැළිදු මහණෙනි, එය නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ සමහර කෙනකුන්ගේ වෙනස් වීම පිණිස ද වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා (වැඩිමහලු තෙරුනට ගෞරව නො කිරීමට) ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, මහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ප්‍රිය වචන යෙන් කථාකිරීම ප්‍රථමාසනය ප්‍රථමඋදකය ප්‍රථම භෝජනය සංඝස්ථවිර තෙරහට පිරිනැමීම අනුදනිමි. එහෙත් සඟසතු කොට පිදු දෑ වැඩිමහලු පිළිවෙළින් නො ඉසිලියැයුතු. යමෙක් උසුලන්නේ ද දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
40. මහණෙනි, මේ දස දෙන නො වැන්දයුත්තෝ ය. පළමුවෙන් උපසපන් වූවහු විසින් පසුව උපසපන් වූයේ නො වැන්දයුතු; උපසපන් නො වූයේ ද උපසපන් වූවහු විසින් නො වැන්ද යුතු; වඩා මහලු වූ ද අධර්‍මවාදී නානාසංවාසක උපසපන් මහණ තෙමේ නො වැන්දයුතු; භික්ෂූහු විසින් මාගම නො වැන්දයුතු, පණ්ඩකයා නො වැන්දයුතු; පිරිවෙස් පුරන මහණ නො වැන්දයුතු; මූලායපටිකස්සනාවට සුදුසු ව සිටින මහණ නො වැන්දයුතු; මානතට සුදුසු ව සිටින මහණ නො වැන්දයුතු; මානත පුරන මහණ නො වැන්දයුතු; අබ්භානයට සුදුසු මහණ නො වැන්දයුතු. මහණෙනි, මේ දස දෙන උපසපන්හු විසින් නො වැන්ද යුත්තෝ ය.
මහණෙනි, මේ තිදෙන වැන්දයුත්තෝ ය: පසුව උපසපන් මහණහු විසින් තමාට පළමුවෙන් උපසපන් වූ මහණ වැන්දයුතු. නානාසංවාසක වූව ද උපසපුයෙන් වැඩි මහලු ධර්‍මවාදී මහණ තෙම වැන්දයුතු. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාව ඇති ලොව්හි තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ වැන්දයුතු ය. මහණෙනි, මොහු වැන්දයුතු තුන් දෙනා ය.
41. එ සමයෙහි මිනිස්සු සඞ්ඝයා උදෙසා මණඩප පිළියෙළ කරත්, ඇතිරි පිළියෙළ කරදෙත්, අවකාශ ස්ථාන පිළියෙළ කරදෙත්, සවැගි මහණුන්ගේ අතැවැසි මහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් සඟසතු කරන ලද දැය ම මහලු පිළිවෙළින් පරිභෝග කරන්නට අනුදන්නා ලදි. කෙනකු උදෙසා කරන ලද දැය මහලු පිළිවෙළින් පරිභෝග කරන්නට අනුදන්නා ලද්දේ නො වේ” යැයි කියා බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් ‘මෙය අපේ උපාධ්‍යායනට වන්නේ ය. මෙය අපේ ආචාර්‍ය්‍යයනට වන්නේය, මෙය අපට වන්නේ යැ’ යි කියා මණ්ඩප ද ඇතිරි ද අවකාශ ස්ථාන ද අත්කරගනිත්.