Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 2201-2300 න් 3843

“මහණෙනි, කුඩු මුසු මැටි ගා අත්ලෙන් මැද ගුරු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
ගුරු පැහැය එකට බැඳී නො සිටුනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි අබ පිටි ද ඉටිතෙල (ඉටිදියර) ද අනුදනිමි” යි වදාළසේක.
(තැන තැන බින්‍දු වශයෙන්) උස්ව නැගී සිටියේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, රෙදි කඩෙකින් පිස පසුදුරන්නට අනුදනිමි” යි වදාළ සේක.
16. එ සමයෙහි රළු බිමැ කළුපැහැ නො රැඳෙයි. ... “මහණෙනි, දහවියා පිඬු දී අත්ලෙන් තුනී කොට (මැද) කළු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
කළුපැහැය එකට නො බැඳෙන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ගැඩවිල් පස් දී අත්ලෙන් මැද කළු පැහැය හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
කළුපැහැය එකට බැඳී සිටුනේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, මැලියම් ද (නෙල්ලි ආදියේ) කසට ද අනුදනිමි” යි වදාළසේක.
17. එ සමයෙහි සවැගි මහණෝ විහාරයෙහි ස්ත්‍රී රූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභාන චිත්‍ර කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදුනාහු (ඒවා) දැක ‘කාමභෝගී ගිහියන් බඳුවහ’ යි පහත් කොට සිතත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ස්ත්‍රීරූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභානවිත්‍ර නො කැරැවියයුතු. යමෙක් කරවන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය.
“මහණෙනි, මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම අනුදනිමි” යි වදාළසේක.
18. එ සමයෙහි වනාහි විහාරයෝ මිටි බිම් ඇත්තාහු වෙත්, (එහෙයින්) දියෙන් වැසීයෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උස්බිම ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා බිම උස් කරන්නට) අනුදනිමි” යි වදාළසේක.
පස්රැස (බැම්ම) බිඳී වැටෙයි.....
“මහණෙනි, ගඩොල් බැම්ම ද ගල් බැම්ම ද දඬු බැම්ම දැ යි තුන් බැඳුම් බඳින්නට අනුදනිමි” යි වදාළසේක.
(විහාරයට) නඟින්නාහු පෙළෙත්.....
“මහණෙනි, ගඩොළු හිණිපෙත ගල් හිණිපෙත දඬු හිණිපෙත යන තුන් හිණිපෙත අනුදනිමි” යි වදාළසේක.
නඟින්නාහු ඇදීවැටෙත්. ...
“මහණෙනි, අත්වැලක් අනුදනිමි” යි වදාළසේක.
19. එ සමයෙහි විහාරයෝ එකාඞ්ගන (දිගටම එළිමහන් ව මිනිසුන්ගෙන් පිරුණාහු) වෙත්. මහණහු වැදහෙන්නට ලජ්ජිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තිරයක් අනුදනිමි” යි වදාළසේක.
තිරය ඔසවා බලත්....
“මහණෙනි, අඩබිත්තිය අනුදනිමි” යි වදාළසේක.
අඩබිත්තියට උඩින් බලත්.....
“මහණෙනි, සිව්රැස්ගබ, නැළිගබ (පලලට වඩා දෙගුණයක් තුන්ගුණයක් දික් වූ ගබ), සඳලුගබ (උඩතට්ටුව කුළුගෙයක් බඳු හෝ මුදුන් පියස්සක් ඇති ගබ) යන ගබ් (කාමර) තුන අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු කුඩා වෙහෙරේ මැද ගබ් තනත් උපචාරයෙක් (වටින් ඉඩෙක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කුඩා වෙහෙරැ එක් පසෙකැ ද මහා වෙහෙරැ මැද ද ගබ් (කාමර) තනන්නට අනුදනිමි” යි වදාළසේක.
20. එ සමයෙහි විහාරයේ බිත්ති මුල දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කුලුඞ්ක පාදකය ( ලී විද කණු සිටුවා කළ බිත්තිපාදය ) අනුදනිමි” යි වදාළසේක.
විහාරයේ බිත්තිය තෙමෙයි....
“මහණෙනි, රකවල් පැලැල්ලක් ද (වසුගොම අළු මැටි එකට අනා තැනු) බදාම ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි තණපියස්සෙන් සර්‍පයෙක් එක්තරා මහණකුගේ උරහිස මත වැටුණේ ය. හේ බියපත් ව කෑගැසී ය. මහණහු වෙතට දිවැගොස් ඒ මහණහට “ඇවැත්නි, තෙපි කවර හෙයින් කෑගැසුවෝ දැ” යි ඇසූහ. එවිට ඒ මහණ මහණුනට (තමාට වූ දෑ) සැලකළේය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උඩුවියනක් අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
21. එ සමයෙහි මහණහු ඇඳපාහි ද පුටුපාහි ද ථවිකාවන් එල්ලත්. මීයන් විසින් ද වේයන් විසින් ද කනු ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, භිත්තිඛීලය (බිත්තියෙහි ගසන ලද උල) ද නාගදන්තකය ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු ඇදෙහි ද පුටුවෙහි ද සිවුරු තබත්. සිවුර ඉරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, වෙහෙරෙහි සිවුර වනන වස්දණඩ ද සිවුර වනන ලනුව ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි විහාරයේ පිල් නැත්තාහු (එහෙයින් ම) වටා යා හැකි ඉඩක් නැත්තාහු වෙත්.
“මහණෙනි, පිල ද (දොරට ඉදිරියෙන් දෙපස බිත්ති බැඳ කළ) ආලින්දය ද වට මාලය ද (පිලක් නැති විහාරයට) පිටතට පැන්නු වහල ද අනුදනිමි” යි වදාළසේක.
පිල්හු ආවරණයක් නැත්තාහු වෙත්. මහණහු වැදහෝනට මැලි වෙත් ...
“මහණෙනි, අකුලන පැලැල්ලක් ද ඔසොවන පැලැල්ලක් ද අනුදනිමි” යි වදාළ සේක.
22. එ සමයෙහි මහණහු එළිමහනෙහි බත්කිස කරන්නාහු සීතයෙන් ද උෂ්ණයෙන් ද වෙහෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උවටන් හලක් අනුදනිමි” යි වදාළසේක.
උවටන්හල මිටි බිමක් ඇත්තේ වේ. වතුරට යට වේ...
“මහණෙනි, උවටන්හල උස්බිම් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
බැම්ම ඇදී වැටෙයි.
“මහණෙනි, ගඩොළු බැම්ම, ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
නඟින්නාහු වෙහෙසෙත්.....
“මහණෙනි, ගඩොළුහිණ, ගල්හිණ, දඬුහිණ යනු තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
නඟින්නාහු ඇදී වැටෙත්.....
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළසේක.
උවටන් හලෙහි තණරොඩු වැටෙයි....
“මහණෙනි, ලී අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම සිවුරු වනන හුණදණ්ඩ සිවුරු වනන රැහැන අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු එළිමහනෙහි බිමැ සිවුරු වනත්, සිවුරු පස් වැකුණේ වේ.
“මහණෙනි, එළිමහනෙහි සිවුරු වනන උණදණ්ඩ සිවුරු වනන ලණුව අනුදනිමි” යි වදාළසේක.
පැන් අව්වෙන් තැවෙයි.
“මහණෙනි, පැන්හලක් ද පැන් තබන මඩුවක් ද අනුදනිමි” යි වදාළසේක.
පැන්හල මිටි බිමක් ඇත්තේ වෙයි. වතුරෙන් යට වෙයි.....
“මහණෙනි, (පැන්හල) උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
බැම්ම කැඩී වැටෙයි....
මහණෙනි, ගඩොළු බැම්ම ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
නැඟෙන්නාහු පෙළෙත්.
“මහණෙනි, ගඩොළුහිණ, ගල්හිණ, දඬුහිණ යන තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
නැඟෙන්නාහු ඇදවැටෙත්.
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
පැන්හලෙහි තණ රොඩු වැටෙයි.....
“මහණෙනි, ලී අතුරා ඇතුළත පිටත බදාම ගසා සුදුපැහැ කළු පැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පස්වනක් පැහැ කරන්නට අනුදනිමි. සිවුරු වනන හුණදණඩ ද සිවුරු වනන ලනුව ද අනුදනිමි” යි වදාළසේක.
පැන් බඳුනෙක් නැත ...
“මහණෙනි, පැන්සක ද පැන්කොරහ ද අනුදනිමි” යි වදාළසේක.
23. එ සමයෙහි විහාරයෝ (පවුරු ආදියක්) වටා නො ලන ලද්දාහු වෙත් ...
“මහණෙනි, ගඩොළුපවුර ගල්පවුර දඬුපවුර යන තුන් පවුරු අනුදනිමි” යි වදාළසේක.
(විහාරයට) කොටුවෙක් නො වෙයි.
“මහණෙනි, කොටුවක් අනුදනිමි” යි වදාළසේක.
කොටුව මිටිබිමැත්තේ වෙයි. වතුරෙන් යටවෙයි ...
“මහණෙනි, කොටුව උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
කොටුවට දොරපළුවෙක් නො වෙයි.
“මහණෙනි, දොරපළුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද දොරපොල්ල ද අගුළුකණුව ද යතුරුලිය ද තරංකය ද කෙසිසිදුර ද රැහැන බහාලන සිදුර ද අදනා රැහැන ද අනුදනිමි” යි වදාළ සේක.
කොටුවෙහි තණරොඩු වැටෙයි ...
“මහණෙනි, දඬු අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට (එහි) සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පංචවර්ණය යන මෙයින් පැහැපත් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
24. එ සමයෙහි පිරිවෙන (පවුරට ඇතුළත වෙහෙර අවට බිම් පෙදෙස) මඩ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ....
“මහණෙනි, බොරළු විසුරුවන්නට අනුදනිමි” යි වදාළසේක.
එය නො පිරිමැසේ.
“මහණෙනි, ගල්පුවරු බහාලන්නට අනුදනිමි” යි වදාළසේක.
දිය රැඳී සිටී.
“මහණෙනි, සොරොව්වක් අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු පිරිවෙනෙහි (පවුරටත් වෙහෙරටත් අතර බිම් පෙදෙසෙහි) ඒ ඒ තැන ලිප් තනත්, පිරිවෙන කසළ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, එක් පසෙක ගිනිහලක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල පහත් බිමක් ඇත්තේ වෙයි. වතුරෙන් යටවෙයි.
“මහණෙනි, උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
බැම්ම කැඩී වැටෙයි...
“මහණෙනි, ගඩොළුබැම්ම ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
නැඟෙන්නාහු පෙළෙත්...
“මහණෙනි, ගඩොළුහිණ ගල්හිණ දඬුහිණ යන තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
නැඟෙන්නාහු ඇදීවැටෙත්...
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළසේක.
ගිනිහලට දොරපළුවෙක් නැත.
“මහණෙනි, දොරපළුව දොරබාව වටෙවුලීය උතුරුලීය දොර පොල්ල අගුළුකණුව යතුරුලීය තරංකය කෙසිසිදුර රැහැන්සිදුර අදනා රැහැන යන මේ දෑ අනුදනිමි” යි වදාළසේක.
ගිනිහලෙහි තණරොඩු වැටේ.
“මහණෙනි, ඝනදඬු යොදා පියස්ස සාදා ඇතුළත , පිටත බදාම ආලේප කරන්නට සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම මල්කම් ලියකම් මෝරුදැති සිතුවම් පස්පැහැති වර්‍ණ යෙදීම සිවුරු උණදණ්ඩ සිවුරුවනන ලනුව යන මේ දෑ අනුදනිමි” යි වදාළසේක.