Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 2001-2100 න් 3843

දොරටුවෙහි තණරොඩු වැගිරෙයි.
“මහණෙනි, ඝන දඬුවලින් පියස්ස තනා ඇතුළත පිටත බදාම අලවන්නට ද සුදුපැහැ කළු පැහැ ගුරුපිරියම් මාලාකර්‍ම ලතාකර්‍ම මෝරුදැති පස්වනක් පැහැය ගන්වන්නට ද අනුදනිමි” යි වදාළසේක.
වැසිකිළිය වටා පවුර ඇතුළත වූ බිම මඩ සහිත වේ.
“මහණෙනි, වැලි ඉස වසාලන්නට අනුදනිමි” යි වදාළසේක.
වැලි ප්‍රමාණවත් නො වේ.
“මහණෙනි, ගල්පුවරු අතුරන්නට අනුදනිමි” යි වදාළසේක.
දිය රැඳී සිටී.
“මහණෙනි, දිය සොරොව්වක් කරන්නට අනුදනිමි” යි. වදාළසේක.
දෙවුනා ජලය පිණිස බඳුනෙක් නො වෙයි.
“මහණෙනි, මලධොවනයට දිය බඳුනෙක් අනුදනිමි” යි වදාළසේක.
දොවුනා දිය ගන්නට සරාවෙක්, නො වෙයි. “මහණෙනි, (මලධෝවනයට දිය බඳුනෙන්) දිය ගන්නා සරාවක් අනුදනිමි” යි වදාළසේක.
දුක්සේ හිඳුනාහු මල දොවිත්.
මහණෙනි, මල දෝනට හිඳිනු පිණිස පාදුකා අනුදනිමි” යි වදාළසේක.
ආචමනපාදුකාවෝ (මලදොවනට හිඳිනා පාදුකාවෝ) පිටතට පෙනෙත්, මහණහු මලදෝනට ලජ්ජිත වෙත්.
“මහණෙනි, ගඩොළුපවුර ද ගල්පවුර ද දඬුපවුර ද යන තුන් පවුරු වටා ලන්නට අනුදනිමි”.
මලදෝනා දිය තබන සැළ නො වැසුණේ වේ. තණ රොඩුයෙන් ද දූවිලියෙන් ද එය වැසෙයි.
“මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
147. එ සමයෙහි සවැගි මහණහු මෙසේ වූ අනාචාර කරත්: මල් පැල සිටුවත්, සිටුවවත්. ඒවාට දිය ඉසිත්, දිය ඉස්වත්. මල්කඩත්, කඩවත්. මල්දම් ගොතත්, ගොතවත්. එක් පසකට නටුව ඇතිසේ මල්දම් තනත්, තනවත්. දෙපසට නටු සිටිනා සේ වූ මල්දම් ද තනත් තනවත්, මල්කැන් ද කරත්, කරවත්. හිද්දෙක අමුනා තනන මල්දම් ද කරත්, කරවත්. කනමතැ පලඳනා මල්දම් ද තනත්, තනවත්. හිසෙහි පලඳනා මල්දම් ද තනත්, තනවත්. මල්හර ද කරත්, කරවත්.
කුලවමියනට කුල දූනට කුල කුමරියනට කුල යෙහෙළියනට කුලදාසීනට එක් පසකට නටු සිටුනා සේ තැනූ මල්දම් ගෙනයත්, යවත්. දෙපසට නටු ඇති මල්දම් ද ගෙන යත්, යවත්. මල් කැන් ද ගෙන යත්, යවත්. හිද්දෙන් අමුනා කළ මල් දම් ගෙනයත්, යවත්. කන මතැ පලඳනා මල්දම් ද ගෙනයත් යවත්, මුදුන් මල් කඩ ද ගෙනයත්, යවත් මල්හර ද ගෙනයත්, යවත්.
කුලවමියන් හා කුලදූන් හා කුල කුමරියන් හා කුලයෙහෙළියන් හා කුලදාසීන් හා එක් බඳුනෙහි වැළඳීම ද කරත්, එක් මලාවෙන් දිය පීම ද කෙරෙත්, එක් අස්නෙහි හිඳීම ද කරත්, එක් ඇඳෙහි නිදීම ද කරත්, එක් ඇතිරියක් ඇත්තෝ ව ද නිදත්, එක් පොරෝනාවක් ඇත්තෝ ව ද නිදත්, එක් ඇතිරියක් එක් පොරෝනාවක් ඇත්තාහු ද නිදත්. විකාලයේ ද බොජුන් වළඳත්, මත්පැන් ද බොත්, මල් ගඳ විලෙවුන් දැරීම ද කරත්, නැටීම ද කරත්, ගැයීම ද කරත්, වැයීම ද කරත්, ලාසා නැටීම ද කරත්, නටන්නියට ද නටත්, නටන්නියට ද ගයත්, නටන්නියට ද වයත්, නටන්නියට ද ලාසා නැටීම කරත්, ගයන්නියට ද නටත්, ගයන්නියට ද ගයත්, ගයන්නියට ද වයත්, ගයන්නියට ද ලාස්‍ය නෘත්‍යය කරත්, වයන්නියට ද නටත්, වයන්නියට ද ගයත්, වයන්නියට ද වයත්, ලාස්‍ය නෘත්‍යය කරන්නියට ද ලාස්‍ය නෘත්‍යය කරත්, නටත් ... ගයත් ... වයත්, අට පා පුවරුවෙහි ද දූ කෙළිත්, දසපාපුවරුවෙහි ද දූ කෙළිත්, ආකාශයෙහි (දූ පුවරු සිතින් සිතා ගෙන) ද දූ කෙළිත්, කට්ටි පැනුම් ක්‍රීඩාව ද කරත්,
සත්තිකායෙන් ද කෙළිත්, බලිකායෙන් ද කෙළිත්, ඝටිකායෙන් ද කෙළිත්, ශලාකහස්ත ක්‍රීඩායෙන් ද කෙළිත්, ගුඩයෙන් (පන්දුවෙන්) ද කෙළිත්, කොළනලා පිඹීමෙන් ද කෙළිත්, කුඩානඟුලෙන් ද කෙළිත්, කරනම් පැනීමෙන් ද කෙළිත්, (වාතයෙන් භ්‍රමණය වන) හුළං පතින් ද කෙළිත්, කොළනැළියෙන් මිනීමෙන් ද... කුඩාරියෙන් ද ..... කුඩාදුන්නෙන් ද ... අහසැ අකුරු ඇඳ කියැවීමෙන් ද ... සිතු දෑ කීමෙන් ද ... අංගවිකලයන් සේ ඉරියවු පැවැත්වීමෙන් ද කෙළිත්, හස්ත්‍රිශිල්පයෙහි ද පුහුණු වෙත්, අශ්වශිල්පයෙහි ද ... රථශිල්පයෙහි ද ... ධනුශ්ශිල්පයෙහි ද ... කඩුසිප්හි ද පුහුණු වෙත්, ඇතුට පෙරටු ව ද දිවෙත්, අසුට පෙරටු ව ද ... රියට පෙරටු ව ද දුවත්, ඉදිරියට ද ආපසු ද දුවත්. සීරුසන් දීම ද ... අත්පොළසන් දීම ද ... මල්ල පොර බැදීම ද ... මිටුයෙන් පහර දීම ද කරත්, නැටුම් පොළෙහි සඟළ සිවුර එළා නටන්නියට “නැඟණියනි, මෙහි නටන්නැ” යි ද කියත්. සිය නලළැ ඇඟිල්ල තබා නටන්නිය ගේ නලළැ ද ඇඟිල්ල තබත්. නානාවිධ අනාචාර කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ... “මහණෙනි, නානාවිධ අනාචාර නො කළයුතු, යමෙක් කරන්නේ වී නම් විනයදහම්හි වූ පරිදි පිළියම් කැරැවියයුතු යැ” යී වදාළසේක.
148. එ සමයෙහි ආයුෂ්මත් උරුවෙල් කසුප් තෙරුන් පැවිදි වූ කල්හි සඞ්ඝයාහට බොහෝ ලොහොමුවා බඩු ද දඬුමුවා බඩු ද මැටිමුවා බඩු ද උපන්නේ වෙයි. ‘කවර නම් ලොහො බඩුවෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද්දේ ද? කවරෙක් නො අනුදන්නා ලද්දේ ද? කවර දඬුමුවා බඩුවෙක් අනුදන්නා ලද්දේ ද? කවර බඩුවෙක් නො අනුදන්නා ලද්දේ ද? කවර නම් මැටි බඩුවෙක් අනුදන්නා ලද්දේ ද? කවර බඩුවෙක් නො අනුදන්නා ලද්දේ දැ’ යි භික්‍ෂුනට මේ සිත විය.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළසේක.
“ආයුධ හැර, සියලු ලොහොබඩු ද, දික්සඟළා පුටුවත් ව්‍යඝ්‍රරූපාදිය ඇති පුටුවත් ලීයෙන් කළ පාත්‍රයත් ලීයෙන් කළ මරවැඩිත් හැර සියලු ලීමුවා බඩු ද, පියුම් කෙමියක් මෙන් උඩට නෙරා සිටුනා සේ කළ මැටි පාපිස්නාව ද සියල්ල මැටියෙන් කළ කුටිය ද හැර සෙසු සියලු මැටි බඩු ද අනුදනිමි” (යි වදාළ සේක).
පස්වනු බුද්දකවත්ථුක්ඛනධක යි.
මේ එහි උද්දානය යැ:
1. රුකෙහි කය ඉලීම, ටැඹෙහි කය ඉලීම, බිත්තියෙහි කය ඉලීම, නො තන්හි නෑම, දැවමුවා අතින් සිරුර ඉලීම, කිරිඳි හුයින් ඇඟ ඉලීම, උනුන් සිරුර ගටා පිරියම් කැරැවීම, මල්ලකයෙන් සිරුර ඉලීම, කැසීම් රොගයට මල්ලකය අනුදැනීම, ජරායෙන් පෙළුණාහට උක්කාසිකාව අනුදැනීම, පුථුපාණිකාව අනුදැනීම,
2. මුතුවැල් ආදිය ද, පමුව ද ගෙල පලඳනා ද, ඉඟපලඳනා ද, වළලු ද, අඟුපලඳනා ද හස්තාභරණ ද මුදු ද නො දැරිය යුතු ය යන්න ද,
3. දික් කෙස් දැරීම ද, කොස්සෙන්, පනායෙන් අත්පනායෙන්, ඉටිතෙලින්, දියමුසු තෙලින් කෙස් පිරීම, කැටපතෙහි ද දිය බඳුනෙහි ද මුහුණ බැලීම, මුඛයේ වණයක් ඇති කලැ කැටපත් ඈහි මූණ බැලීම, මුහුණ අලෙවු දීම, මුව පිරිමැදීම, මුවැ වත්සුණු තැවැරීම, යන කරුණු ද,
4. මහණහු මුවැ සලකුණු තබත්, ඇඟැ පැහැ ගැල්වීම, මුහුණ පැහැ ගැල්වීම ද ඒ දෙක ම ද කරත්, ඇසැ රොගයට මුඛයාලෙපය අනුදැනීම, ගිරග්ගසමජ්ජය දක්නට යෑම, ආයතක ස්වරයෙන් බණ කීම, ස්වරභාණ්‍යය, පිටතට ලොම් සිටුනා සේ කළ පොරෝනා දැරීම යන කරුණු ද,
5. රජුගේ උයනෙහි අඹ වැළඳීම, සූපයෙහි ලූ අඹපෙති වැළඳීම, දායකයන් සියලු අඹ අතින් ගෙන බොජුන් හලැ හැසිරීම, සපුනට මෙත් වැඩීම, අඟදා සිඳීම, හඳුන් පා පිළිබඳ වත, කුදුමහත් පාත්‍ර දැරීම, පාත්‍රමූලය පිළිබඳ පැනැවීම, රන්මුවා ඈ පාමඩුලු දැරීම, පාමඩුලු හැකිලීම යන කරුණු ද,
6. විසිතුරු පාමඩුලු දැරීම, දිය සහිත පාත්‍ර දූෂ්‍ය වේ යන්න, පාත්‍ර දුගඳ වීම, පාත්‍ර උෂ්ණයෙහි තැබීම, සුළිහුළඟින් පාත්‍ර බිඳී ගියේ ය යන්න, පිල් කෙළවරැ පාත්‍රා තැබීම, පටු පිල් කෙළවරැ පාත්‍ර තැබීම, පාත්‍ර සඳහා තණ ඇතිරිය, රෙදි ඇතිරිය, පාත්‍රමාලකය, පාත්‍ර කණ්ඩොලිකාව හා පාත්‍ර ථවිකය, අංසබන්ධකය, පාත්‍ර බඳනා හුය යන මෙතෙක් දෑ ද,
7. බිතුහුලෙහි පාත්‍රය ලැග්වීම, ඇඳෙහි ද පුටුවෙහි ද ඇකයෙහි ද ඡත්‍රයෙහි ද පාත්‍රය තැබීම, පාත්‍රය අතැති ව කවුළුව ඇරීම, ලබුකබල් ද කළගෙඩි ද පාත්‍ර වශයෙන් දැරීම, මිනී හිස් පාත්‍ර දැරීම සපා ඉවත් කළ දෑ පාත්‍රයෙන් ගෙන යෑම, පඩික්කම අනුදැනිම් යන කරුණු ද,
8. අතින් සිවුරු ඉරා , මැහීම, පිහිය රන්මුවා පිහියා මිටි ආදිය, කුකුළු පිහාටුයෙන් මැහීම, උණ පතුරෙන් මැහීම, හිදි කටුගුලාව, රාබිජුසුණු, පිටිකුඩු ගල්කුඩු, මීඉටි, මීඉටි ගැල්වූ රෙදිකඩ යන කරුණු ද,
9. කොන් සම නැති සිවුරු, උල් සිටුවා සිවුරු බැඳීම, විසම තැන කඨිනය තැබීම, කඨිනය බිම තැබීම, කඨිනයේ කොන දිරීම, කඨිනය පුමාණවත් නොවෙයි ද එය, කලිම්බක (ලාපත) ය, බොරු හුය, නොසේදු පයින් කඨිනය ඇක්මීම, තෙත් පයින් කඨිනය - ඇක්මීම, මරවැඩි සහිත පයින් කඨිනය ඇක්මීම, යන කරුණු ද,
10. සිවුරු මැහීමේ දී ඇඟිල්ලෙන් හිදිකටුව ඇදීම, දිදාලය අනුදැනීම, විත්ථකය (හෙප්පුව) අනුදැනීම, අංසඛන්ධකය අනුදැනීම, එළිමහනෙහි සිවුරු මැහීම, කඨිනශාලාව පිහිටි බිම පහත් බව, බැම්මෙන් බිම උස් කිරීම, උස්බිමට නගින්නාහු පෙළෙත්,
11. උස්බිමට නගින්නාහු වැටෙත් (මේවා පිළිබඳ කළ අනුදැනුම්), කෙළින්හලැ තණ සුණු වැටීම, පියස්සැ උඩ යට බදාම ආලේප කිරීම, එහි සුදු පැහැ කළු පැහැ ගුරු පිරියම් ද කිරීම යන කරුණු ද,
12. එහි මාලාකර්‍ම ලතාකර්‍ම මකරදන්තක පංචපටිකා සිතුවම් කිරීම ද, සිවුරු වනන උන දංඩ ද , සිවුරු වනන ලනුව ද යන මෙ හැම බුදුරජුහු අනුදත්හ.
13. කඨිනය නොසැලකිලියේ දමා යත්, එයින් කඨිනය වේ ආදීන් විසින් කනු ලබයි, කැඩීබිඳී යෙයි. කඨිනය ලිහෙයි, කඨිනය බිත්තියෙහි ද නංවා යෙත්. හිදිකටු ආදිය පාත්‍රයෙන් ගෙන යත්.
14. ථවිකාවක් ද බඳනා හුයක් ද අනුදත්හ. මරවැඩි කාබහතින් බැඳ ගෙනයත්, උපාහනත්ථවිකාව ද අංශයෙහි බඳනා හුය ද අනුදත්හ.
15. මාර්‍ගයේ දී අකැප දිය ලැබේ, පෙරහන් කූඩ ද ඩබරාව ද අනුදත්හ. දික්මඟ පිළිපන් භික්‍ෂුහු දෙදෙනෙකි. (ඔවුන්ගේ පුවත ය). බුදුරජුහු විසල් පුර වැඩියාහ.
16. එහි දී දඬුපෙරහන ද ළිඳ තුළ ඔබා දිය පෙරන පෙරහන ද අනුදත්හ. මහණහු මදුරුවන් ගෙන් පෙළුණාහ. (සිවුරු කිළිය අනුදත්හ.) ප්‍රණීත භෝජන හේතුයයෙන් මහණහු ගිලන් වූහ. ජීවක තෙම ආයාචනයක් කෙළේ ය.
17. සක්මන්මළුව ද ගිනිහල් ගෙය ද අනුදත්හ. විසම සක්මන්මළුවෙහි සක්මන් කරත්. සක්මන්මළුව මිටි බිමෙක වෙයි. බැඳුම් තුනක් අනුදත්හ. එයට නඟින්නාහු වෙහෙසෙත්. පඩිපෙළ ද අත්වැල ද සක්මන්පිළ ද අනුදත්හ.
18. මහණහු එළිමහනැ සක්මන් කරත්. සක්මන්හලැ තණ රොඩු වැටෙයි. පියස්ස ඇතුළතින් පිටතින් බදාම ආලේප කිරීම අනුදත්හ. එය සුදුපැහැ කළුපැහැ ද කරන්නට ද ගුරු පිරියම් කරන්නට ද අනුදත්හ.
19. එහි මල්කම් ලියකම් මුවරදත් පස්වනින් පැහැපත් කිරීම යන මෙය දත්හ. සිවුරු වනන වස්දහංඩ ද රැහැන ද අනුදත්හ. ගිනිහල්ගෙහි බිම උස් කරන්නේ ය.
20. තුන් පඩිපෙලවල් ද අත්වැල ද දොර ද දොර ඛාව ද මුසලපාසය ද උත්තරපාසය ද දොරපොල්ල ද අගුළුකණුව ද අනුදත්හ.
21. යතුරුලීය ද තරංකය ද කෙසිසිදුර ද අදනා රැහැන් ආදිය ද අනුදත්හ. මංඩලිකාව (කය්යෝරුව) ද දුම් සිදුර ද ගිනිහල මැද උදුන ද මුහුණ තවරනා මැටි ද අනුදත්හ.
22. මැටි ඔරුව අනුදත්හ. මැටි දුගඳ වෙයි. සිරුර දැවෙයි. දිය බඳුනක් ද මලාවක් ද අනුදත්හ. පියස්ස විසිරෙයි. ගිනිහල මඩ සහිත වෙයි. සෝදා හැරීම ද මොහොල (කානුවක්) තැනීම ද අනුදත්හ.
23. ගිනිහල් පුටුව ද දොරටුව ද එහි බිම උස් කිරීම් ඈ කටයුතු ද අවට බිමැ වැලි ඉසීම ද, මොහොලක් තැනීම ද අනුදත්හ. මහණහු නග්න ව වන්දනාදිය කරත්, (එය නොකළ යුතු යි වදාළාහ.) ගිනිහලෙහි බිමැ සිවුරු තබත්. වසින කල සිවුරු තෙමෙයි. ගිනිහලෙහි ප්‍රතිච්ඡාදන තුනක් අනුදත්හ.
24. ළිඳක් අනුදත්හ, එය කැඩී යයි (එයට තුන් බැඳුම් අනුදත්හ.) වැලෙන් දිය බාත්, කාබහන ද එහි යොදත්. තුලා කරකටක චක්‍රවර්ත යන තුන අනුදත්හ. බොහෝ බඳුන් බිඳේ.
25. ලොහො කළය, ලී කළය, සම් පසුම්බිය අනුදත්හ. ළින් හල අනුදත්හ. එහි තණරොඩු වැටෙයි, පියනක් අනුදත්හ. දිය බහාලන ඔරුවක් ද නාන තැන වළක් ද වටා පවුරක් ද අනුදත්හ. එය මඩ සහිත වෙයි. කානුවෙන් දිය යවන්නට අනුදත්හ.
26. නාන්නහුගේ කය ශීතවත් වෙයි. (දිය පිසිනා රෙදිකඩ අනුදත්හ). පොකුණ අනුදත්හ. පොකුණ දිය පරණ වෙයි. (දියනික්මවන ඇලක් ද කානුවක් ද අනුදත්හ. පියස්ස සහිත ගිනිහල අනුදත්හ. සිවුමසක් හිඳිනා කඩෙන් තොර ව හිඳිත්. (එය නොකටයුතු යැ යි වදාළහ). මහණහු මල්යහන්හි වැදහොත් (එය නොකටයුතු යි වදාළාහ). නමතකය ඉටියයුතු නො වේ යැ යි ද වදාළාහ.
27. ආසිත්තකය (තඹෙන් හෝ රිදියෙන් කළ පෙට්ටියක් වැනි බඳුන) පරිභෝග කරත්, එය නොකටයුතු යැ යි වදාළහ. පාත්‍රාධාරකය අනුදත්හ. සවැගියෝ එක් බඳුනෙන් වළඳත්, එක් හැඳෙහි වැදහොත්. වඩ්ඪ ලිච්ඡවීහු ගේ පුවත ද බෝධි රාජකුමාරයා ගේ පුවත ද එයි. බුදුරජහු පාවාඩය නො ඇක්මියහ. කිරිගරුඬ කළය ද මැටිමුවා පාපිස්නාව ද මුස්නක් ද (විශාඛා) පිළිගැන්නුවා ය.
28. ගල්කැටින් කළ පාපිස්නාව ද කැබිලිතියෙන් කළ පාපිස්නාව ද මුහුදුපෙණින් කළ පාපිස්නාව ද විජිනිපත ද තල්වැට ද මදුරුවිජිනිපත ද අනුදත්හ. සෙමෙර වල්විදුනාව නො අනුදත්හ.
29. මහණකුහට කුඩයක් නැතිව පහසු නො වේ. ආරාමයෙහි කුඩය දැරීමට අනුදත්හ. දණ්ඩසික්කාව පිළිබඳ පැනැවීම ද දණ්ඩසම්මතිය ද සික්කා සම්මතිය ද යන තුන ද වේ. ආහාර වැමෑරීම ද බොජුන් හලැ බත්හුලු විසුරුවීම ද දික් නිය දැරීම ද පැනැවීම් වේ. නිය සිඳීමේ දී ඇඟිලි පෙළේ. එය පිළිබඳ ව ද සිකපද පැනැවූහ.
30. ලේ සහිත කොට නිය සිඳීම පිළිබඳ පැනවීම, මාංසප්‍රමාණයෙන් නිය සිඳින්නට අනුදැනීම, විසිනිය මට්ටම් කිරීම පිළිබඳ පැනවීම, දික් කෙස් ඇති බව ඇරැබ පැනවීම, දැළි පිහිය ද පිහියා මදින ගල ද පිහියා කොපුව පිහියා මදින සම ද සියලු කරබඩු ද අනුදැන්ම,
31. රවුළු කපවත්, රවුළු වඩත්, හනුවෙහි රවුළ ඉතිරි කිරීම, කොන්සතරක් සිටුනා සේ රවුළු කැපීම, පපුවෙහි ලොම් කැප්වීම, බඩෙහි රොමරාජිය තැබවිම, උඩුරවුළ තැබීම පිළිබඳ සිකපද පැනැවිණ. සම්බාධස්ථානයන්හි ලොම් ඉවත් කිරීමෙහි ද සිකපද පැනවිණ.
32. ආබාධප්‍රත්‍යයයෙන් ලොම් හැරැවීම, කතුරෙන් කෙස් සිඳුවීම, හිසෙහි වණයක් පිළිබඳ වත. දික් නැහැලොම් දැරීම, ගල්කැටින් නැහැලොම් ගැලවීම, පැසුණු කෙස් ගැලවීම, කන් කාඳුරුයෙන් වැසීයාම, කුදුමහත් කන්හැඳි දැරීම, ලොහොබඩු රැස්කිරීම, අඳුන්නලාදිය දැරීම, (පිළිබඳ ප්‍රඳප්තීහු වෙත්).
33. සංඝාටිපල්ලත්‍ථිකාව ද ආයෝග පට, වටලීය නඩාව පිළිබඳ පැනැවීම් ද කාබහන දැරීම රැහැන් ඇති කාබහන, දියබරණ හිස වැනි මල ඇති කාබහන, මිහිඟු බෙර වැටි බඳු කාබහන, හවඩියත් වැනි කාබහන යන මේවා පිළිබඳ පැනවීම් ද ඇත.
34. හැඳ පට රටා පටිය, හුරු අතුනු බඳු පටිය දහවලු දිරීම, දහවලු මිහිඟුබෙරවැටි සේ වෙළූපටිය, හවඩිය බඳු පටිය, කාබහන කෙළවර දිරීම, මුවවිට වෙළා ගෙතීම, මිහිඟුබෙර වැටි සේ විවීම පිළිබඳ ද සික පැනැවූහ. දහවලු කෙළවර ද දිරයි. (එය පිළිබඳ පැනවීම් ද ඇත.)
35. පටි ඇට ද ගණ්ඨිය ද පාසකය ද පිළිබඳ සික පැනවූහ. ගණ්ඨියට අලවන රෙදි කැබල්ල සිවුර කෙළවරැ යොදන්නේ ය. ගිහියන් මෙන් සිවුරු හැඳීම, හත්ථිසොණ්ඩක මච්ඡවාළක චතුකණ්ණක යන ගිහිනිවාසන නො කළයුතු බව වදාළහ.
36. තල්වැට සේ හැඳීම, සතවල්ලිකය යන ගිහිපෙරැවුම් නො කළයුතු, පිටපටගැසීම ද නානාවිධ ගිහි පෙරැවුම් ද නොකළ යුතු, දෙපස කද නො ගෙනයායුතු, දැවටු විකීම ද දැවටුයෙන් තැළීම ද පිළිබඳ පැනැවීම් ද ඇත.
37. දැහැට්ට උගුරේ රැඳිණ. (එය ඇරැබැ සික පැනැවූහ.) කැලෑ දැවීම, පිළිගිනි දීම, රුක් නැගීම, ඇතකු ලුහුබැඳීම ද යන කරුණු ද යමෙළුතෙකුල පැවිද්දන් ද ඇරැබැ සික පැනනැවිණ. ලෝකායත ශාස්ත්‍ර හදාළාහ, කියැවූහ. එය පිළිබඳ ද සික පැනවිණ.
38. තිරශ්චීනවිද්‍යා හැදෑරීම, එය ඉගැන්වීම, කිවිසීමේ දී ආසිරි පැතීම, ගිහීන් මංගලික බව, ලුහුණු කෑම, වාතාබාධයෙහි ලුහුණු කැම යන කරුණු ඇරැබැ සික පැනැවිණ. ආරාමය දුෂ්‍ය වෙයි. දුගඳ වෙයි, කෙසකිළියේ දුකයේ හිඳිත්, පස්සාව පාදුකාව අනුදැනිණ.
39. වැස්මක්නැනි කෙසකිළියෙහි මූත්‍ර කරන්නට ලජ්ජිත වෙත්. කෙසකිළිය ආවරණ රහිත වෙයි. දුගඳ වෙයි (එය පිළිබඳ සික පැනැවිණ). ඒ ඒ තැන මල පහ කෙරෙත්. දුගඳ වෙයි. වර්චස්කූපයක් අනුදත්හ. වර්චස්කූපයේ ඉවුරු කැඩී වැටෙයි. බිම උස් කොට තනන්නට අනුදත්හ. ගඩොළු බැඳුම් ආදි බැඳුම් ද අනුදත්හ.
40. සොපමාණ ආලම්බනබාහ ද අනුදත්හ. අද්දර හිඳ මල පහ කිරීම, දුකසේ හිඳ මල පහ කිරීම, වච්චපාදුකා ව පිටත මූත්‍ර පහ කිරීම, මූත්‍ර ඔරුව, පුසන් දඬු, පුසන් දඬු බඳුන (පිළිබඳ සික පැනැවිණ.) වළ නො වසන ලද්දේ ය. (එය පිළිබඳ ව ද සික පැනැවිණ.)
41. වැසිකිළියක් පැනැවීම, එයට දොර, දොරබාව, වටෙවූලිය, උතුරුලීය, අගුළුවැටිය, අගුළුකණුව යන දෑ අනුදත්හ.
42. යතුරුලීය, තරංකය, කෙසිසිදුර, අදනා රැහැන බහාලන සිදුර අදනා රැහැන වැසිකිළිදොරටුවෙහි ඇතුළත පිටත බදාම ඇලවීම, සුදුපැහැ කිරීම, කළු පැහැකිරීම.
43. මල්කම්, ලියකම්, මෝරදැති ඇඳීම, පස්පැහැ කිරීම ධීවරවංසය, චීවරරජ්ජුය, ජරා දුබලා ප්‍රාකර (යන දෑ අනුදත්හ).
44. එහි ම පිරිවෙනෙහි ද වැලි ඇතිරීම ද පතුරුගල් ඇතිරීම ද අනුදත්හ. දිය රැඳී සිටී. කානුවක් ද සෝදන දිය බහාලන මහසැළක් ද සරාවක් ද අනුදත්හ.
45. දුකසේ දිය කිස කරත්. දිය කිසට ලජ්ජා ගනිත්. දිය සැළට පියනක් අනුදත්හ. (සවැගියෝ) නොමනා ව හැසුරුණාහ. අවි හැර ලොහොබඩු අනුදත්හ.
46. දික්සඟළා පුටුව ද ව්‍යාලරූප ඇති පළඟ ද ලීමුවා පාත්‍රය ද ලී සෙරෙප්පු ද හැර සියලු ලීමුවා බඩු මහාමුනිහු අනුදත්හ.
47. මැටිපාපිස්ස ද සියල්ල මැටිමුවා ගෙය ද හැර ඉතිරි සියලු මැටි බඩු ආනුකම්පක තථාගතයන් වහන්සේ අනුදත් සේක.
48. යම් වස්තුවෙක නිර්‍දෙශය පළමු දැක්වුණ දෑ හා සම වන්නේ නම් එය ද සැකෙවින් උද්දානයෙහි දැක්විණ. එය දුන් නය අනුව දන්නේ ය.
49. මෙසේ විනය පිටකයේ බුද්දකවත්ථුක්ඛන්‍ධකයෙහි දහසෙක් වස්තූහු වෙත්. ඔහු ශාසනයාගේ චිරස්ථිතිය පිණිස වන්නාහ. ඒවා පැනවීම ප්‍රියශීල පැවිද්දනට අනුග්‍රහයෙක් ද වන්නේ ය.
50. මනාව හික්මුණු, විනයධර වූ, ඉත සිත් ඇති, ප්‍රියශීල වූ, සස්නට එළිය කරන, නුවණැති, බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහණ තෙම පූජාර්‍හ වේ.
උද්දානය නිමියේ යි.
සේනාසනක්‌ඛන්‌ධකය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට නො දුරු (ලෙහෙණුනට අහර දුන් තැන වූ බැවින්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මහණුනට සෙනසුන් නො පනවන ලද්දේ වෙයි. ඒ මහණහු ද රුක්මුලෙහි ද පර්‍වතයෙහි ද කඳුරැළියෙහි ද ගල්ලෙන්හි ද සොහොනෙහි ද වනපෙතෙහි ද එළිමහනෙහි ද පිදුරුගොඩෙහි දැ යි ඒ ඒ තැන වෙසෙත්. ඔහු දුටුවන් පහදවන්නා වූ ඉදිරි බැලීමෙන් ද දෙපස බැලීමෙන් ද අත් පා නැමීමෙන් ද අත් පා දිගහැරීමෙන් ද උපලක්‍ෂිත වැ බිමට හෙලූ ඇස් ඇත්තාහු මනා ඉරියව්වෙන් යුක්ත වූවාහු කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්‍වතයෙන් ද කඳුරෙන් ද ගල් ලෙනින් ද සොහොනින් ද වනපෙතින් එළිමහන් පෙදෙසින් ද පිදුරුගොඩින් ද යන ඒ ඒ තැනින් නික්මයෙත්.
2. එ සමයෙහි වනාහි රජගහ නුවර (ප්‍රධාන) සිටු තෙම කල් තබා ම (සිය) උයනට ගියේ ය. රජගහ නුවර සිටු තෙම දුටුවන් පහදවන ඉදිරි බැලීමෙන් දෙපස බැලීමෙන් අත්පා හැකිළැවීමෙන් අත්පා දිග හැරීමෙන් උපලක්‍ෂිත වැ බිමට හෙලූ ඇස් ඇති වැ මනා ඉරියව්වෙන් යුතු වැ කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්‍වතයෙන් ද කඳුරෙන් ද ගල්ලෙනින් ද සොහොනින් ද වනපෙතින් ද එළිමහනෙන් ද පිදුරුගොඩින් දැ යි ඒ ඒ තැනින් නික්මැ වඩනා මහණුන් දුටුයේ ම ය. දැකීමෙන් ඔහු ගේ සිත පැහැදිණ. එ කලැ රජගහ සිටු ඒ මහණුන් කරා එළැඹියේ ය. එළැඹැ “වහන්ස, මා විහාරයන් කැරැවූවොත් ඒ මගේ විහාරයන්හි වසන්නහු ද” යි මෙ බස් කී ය.
3. “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ නො අනුදන්නා ලදුහ” යි (ඒ මහණහු කීහ. ) “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වන්නැ” යි සිටු කී ය.
“එසේ ය, ගැහැවියැ” යි කියා ම ඒ මහණහු රජගහ සිටුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක උන්හ. පසෙක උන්නාවූ ම ඒ මහණහු “වහන්ස, රජගහසිටු තෙම විහාර කරවනු කැමැත්තේ ය. වහන්ස, (මෙහි) කෙසේ පිළිපැදියයුතු දැ” යි. මෙය කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් අමතා, “මහණෙනි, විහාරය ද ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙය ද දික් පහය ද සඳලු සහිත ගෙය ද ගුහාව ද යන ලෙන් පස අනුදනිමි” යි වදාළසේක.
ඉක්බිති ඒ මහණහු රජගහසිටු කරා එළැඹියාහ. එළඹ සිටුහු බණවා, “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ අනුදන්නා ලදුහ. යමක් සඳහා අප විචාළෙහි ද, එයට දැන් කාලයැ යි දැනගන්නැ” යි කීහ. එකල්හි රජගහසිටු තෙම එක් දවසින් ම වෙහෙර සැටක් පිහිටුවී ය.
4. එ කල්හි රජගහසිටු ඒ සැට වෙහෙර නිමවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳගත්තේ ය. රජගහ සිටු පසෙක හුන්නේ ම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික් සඟන හා සෙට දවසට මගේ බත ඉවසන සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙ සේ කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් (එය) ඉවසූ සේක. ඉක්බිති රජගහසිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගී ඔබ වැඳ පැදකුණු කොට නික්මියේ ය.
ඉක්බිති රජගහසිටු එ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් වඩනට කාලය ය. බත පිළියෙළ කරවා නිමැවිණැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වාලී ය. එ කලැ භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරු සෙමෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහසිටුහු ගෙය වෙත වැඩිසේක. වැඩ, පැනැවුණු අස්නෙහි බික්සඟන හා හුන්සේක. එ කලැ රජගහ සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සතපා පවරවා වළඳා අවසන් වූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක හිඳ ගත්තේ ය. (එසේ) එක් පසෙක හුන් රජගහ සිටු තෙම “වහන්ස, පින්කැමැති සගසුව පතන මා විසින් මේ වෙහෙර සැටෙක් කැරැවිණ. වහන්ස, ඒ සැට වෙහෙරෙහි මම් කෙසේ පිළිපදිම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කී ය.
“ගැහැවියෙනි, එසේ වී නම් තෙපි සැම වෙහෙර පැමිණි නොපැමිණි සිවුදිගැ වැසි සඟනට පිහිටුවවු (පිරිනමවු)” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“එසේ ය, වහන්සැ” යි රජගහ සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ වෙහෙර සැට පැමිණි නොපැමිණි සතර දික් වැසි සඟනට පිරිනැමී ය.
5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කැර වදාළසේක. (ගාථාවල අදහස:)
“විහාරය ශීතය ද උෂ්ණය ද නසයි. එයින් අන්‍ය වූ චණ්ඩ මෘගයන් ද බඩගා යන සතුන් ද මැසිමදුරුවන් ද ශීත සුළං ද වැසි ද බැහැරැ කෙරෙයි.
එයින් අන්‍ය වූ හටගත් නපුරු අවුසුළං ද දුරු වෙයි. සංඝයාට විහාර කරවා දීම එකලා වැ හිඳිනු පිණිස ද ධ්‍යාන කිරීමටත් විවසුන් වැඩීමටත් පහසුව පිණිස ද වූ අග්‍ර එකෙකැ යි බුදුරජුන් විසින් වැණින.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ, සිත්කලු විහාරයන් කරවන්නේ ය, එහි ඇසූ පිරූතැන් ඇති භික්‍ෂූන් වස්වන්නේ ය.
ඔවුනට ද නිසි වූ ආහාර ද පාන ද වස්ත්‍ර ශයනාසන ද ඍජුගුණ ඇති ඒ භික්‍ෂූන් විෂයයෙහි වෙසෙසින් පහන් සිතින් පිරිනමන්නේ ය.
හෙ තෙම මෙහි දී යම් දහමක් දැනගෙන ආස්‍රව රහිත ව පිරිනිවෙන්නේ ද එසේ වූ සියලු දුක් දුරැ ලන දහමක් ඒ භික්‍ෂූහු ඔහුට දෙසන්නාහ යනු යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහසිටුහට මේ ගාථාවලින් අනුමෝදනා යොට හුනස්නෙන් නැඟී නික්මිසේක.
6. “භාග්‍යවතුන් වහන්සේ විසින් විහාර අනුදන්නා ලද්දේ ලැ” යි මිනිස්සු ඇසූහ. ඔහු සකසා විහාර කරවත්. ඒ විහාරයෝ දොරපළු නැත්තාහු වෙත්. සර්‍පයෝ ද ගෝනුස්සෝ ද පත්තෑයෝ ද පිවිසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, දොරපළුව අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
බිත්තියෙහි සිදුරක් කොට වැලින් ද රැහැනින් ද දොරපළුව බඳිත්. මීයන් විසින් ද වේයන් විසින් ද වැලුත් රැහැනුත් කනු ලැබෙත්. කන ලද බැඳුම් ඇති දොරපළු වැටේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
කවුළු (දොරපළු) නො පැහැසෙති භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.