“මහණෙනි, කුදු මහත් වීඨ නො දැරිය යුතු, යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටවලින් කරන ලද, දත්වලින් කරන ලද, අංවලින් කරන ලද, බටයෙන් කරන ලද, හුනයෙන් කරන ලද, ලීයෙන් කරන ලද, ලාකඩින් කරන ලද, ඵලයෙන් කරන ලද, ලොහොයෙන් කරන ලද, සක්නැබින් කරන ලද, හුයෙන් කරන ලද, වීඨ අනුදනිමි” යි වදාළසේක.
130. එ සමයෙහි අනඳ තෙරණුවෝ හෑල්ලු සඟළසිවුරු පොරොවා ගමට පිඬු පිණිස පිවිසියාහ. සුළි සුළඟින් සිවුරු එසැවුණාහ. එ කල්හි අනඳ තෙරණුවෝ අරම් වැඩ මහණුනට මෙ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“මහණෙනි, ගණ්ඨීකාව ද පාසකය ද අනුදනිමි” යි වදාළ සේක.
එ කල්හි සවැගි මහාණෝ රන්මුවා ද රිදීමුවා ද ගණ්ඨීකාවන් දරත්, ‘කාමභෝගී ගිහින් බඳුවහ’ යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, රන්මුවා රිදීමුවා කුදුමහත් ගණ්ඨීකා නො දැරිය යුතු. යමෙක් දරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටමුවා දත්මුවා අංමුවා නළමුවා හුනමුවා ලීමුවා ලහමුවා පලමුවා ලොහොමුවා සක්නැබමුවා හුමුවා ගණ්ඨීකා අනුදනිමි” යි වදාළසේක.
131. එ සමයෙහි මහණහු ගණ්ඨීකාව ද පාසකය ද සිවුරෙහි පිහිටුවත්, සිවුරු දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“මහණෙනි, ගණ්ඨීකාඵලකය (ගණ්ඨීය යොදන්නට රෙදි කැබැල්ලක්) ද, පාසකඵලකය (පාසකය තනන්නට රෙදි කැබැල්ලක්) ද අනුදනිමි” යි වදාළසේක.
ගණ්ඨීකාඵලකය ද පාසකඵලකය ද සිවුර කෙළවරැ පිහිටුවත්. සිවුරු කොණ විවෘත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගණ්ඨීකාඵලකය සිවුර කෙළවරැ පිහිටුවන්නට ද පාසකඵලකය සතඟුලක් හෝ අටඟුලක් හෝ සිවුර අද්දරින් පහතට බස්වා පිහිටුවන්නට අනුදනිමි” යි වදාළසේක.
132. එ සමයෙහි සවැගි මහණහු හත්‍ථිසොණ්ඩිකාව ද (නැබ මුල සිට ඇත්සොඬක් මෙන් පහතට එල්බෙන සේ හඳනා හැඳීම) ද මච්ජවාළකය (දසාන්ත පාසන්තයන් දෙපසට එල්බෙන සේ හැඳීම) ද චතුකණ්ණය (උඩට හා යටට කොන් සිටින සේ හැඳීම) ද තාලවණ්ටකය (තල්වැටක් මෙන් අඳනය එල්බෙන සේ හැඳීම) ද සතවල්ලිකාව (අඳනය රැළිගන්වා හැඳීම) ද යන ගිහිහැඳුම් හඳිත්. ‘කාමභෝගී ගිහීන් බඳුවහ’යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, හත්‍ථිසොණ්ඩිකා මච්ජවාළක චතුකණ්ණක තාලවණ්ටක සතවල්ලික, යන ගිහිහැඳුම් නො හැන්දැයුතු. යමෙක්, හඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
133. එ සමයෙහි සවැගි මහණහු (කම්කරුවන් සේ) කැස බඳිත් (පිට පට ගසත්). ‘රජුගේ මුඩුවැටියන් බඳුවහ’යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිට පට ගසා නො යුතු. යමෙක් හඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණහු ගිහීන් සේ සිවුර පොරොවත්. “කාමභෝගී ගිහීන් බඳුවහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ගිහි පෙරැවුම නො පෙරෙවියැයුතු යමෙක් පොරොවන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
134. එ සමයෙහි සවැගි මහණහු දෙකොන් කද ගෙනයත්, ‘රජුගේ වහලුන් මෙනැ’ යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, දෙකොන් කද නො ගෙන යායුතු. යමෙක් ගෙනයන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, එක් කොන් කද ද තඩ ද හිසින් බර ගෙන යෑම ද උරහිසින් බර ගෙනයෑම ද කටියෙන් බර ගෙනයෑම ද බර අතින් එල්ලාගෙන යෑම ද අනුදනිමි” යි වදාළසේක.
135. එ සමයෙහි මහණහු දැහැටි නො කත්. මුව දුගඳ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පසෙකි: ඇස් පෙනීම දුබල කෙරෙයි, මුව දුගඳ වේ, රස නහර පිරිසිදු නො වේ, පිත ද සෙම ද බත වෙලාගනී, ඔහුට බත රුචි නො වේ. මහණෙනි, මොහු දැහැටි නො කැමේ දොස් පස” යි.
මහණෙනි, දැහැටි කෑමෙහි මේ අනුසස් පසෙකි: ඇසට හිත වේ, මුව දුගඳ නො වේ, රස නහර පිරිසිදු වෙයි, පිතත් සෙමත් බත වෙළදා නො ගනී, ඔහුට බත රුචි වේ. මහණෙනි, මොහු දැහැටි කෑමෙහි අනුසස් පස” යි. [missing trans]
136. එ සමයෙහි සවැගි මහණහු දික් දැහැටි වළඳත්. එයින් ම හෙරණුනට තළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්නුහ.
“මහණෙනි, දික් දැහැටි නො කෑ යුතු. යමෙක් කන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, අටඟුලක් පරම කොට ඇති දැහැටි අනුදනිමි. එයින් හෙරණ ද නො ම තැළියයුතු. යමෙක් එසේ තළන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
137. එ සමයෙහි ඉතා කෙටි දැහැට්ටක් කන මහණක්හුගේ උගුරෙහි ලැගුණේ (හිර වූයේ) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඉතා කෙටි දැහැට්ට නො කෑයුතු. යමෙක් කන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, යටත් පිරිසෙයින් අඟල් සතරක් වූ (අඟල්සතරකට නො අඩු) දැහැට්ට අනුදනිමි” යි වදාළසේක.
138. එ සමයෙහි සවැගි මහණහු කැලෑ ගිනිලත්. ‘කැලෑ දවන්නන් බඳුවහ’යි මිනිස්සු අවමන් කෙරෙත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කැලෑ නො ගිනිලියැයුතු. යමෙක් ගිනි ලන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි විහාරයෝ තණහඩුයෙන් යුක්ත වෙත්. ළැව්ගිනි ඇවිළෙන කල්හි විහාරයෝ දැවෙත්. පිළිගිනි (ප්‍රතිවිරුද්ධ ගින්නක්) දෙන්නට, ආරක්‍ෂාව කරන්නට භික්‍ෂුහු කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ළැව්ගිනි ඇවිළෙන කල්හි පිළිගිනි දෙන්නට එයින් ආරක්‍ෂාව කරන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
139. එ සමයෙහි සවැගි මහණහු රුක් නඟිත්. රුකින් රුකට යෙත්. “වඳුරන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, රුකට නො නැඟිය යුතු. යමෙක් නඟින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණකු කොසොල්රටැ සැවැත් නුවරට යද්දී අතර මඟ දී ඇතෙක් ලුහුබැන්දේ ය. එ කල්හි එ මහණ රුක්මුලක් කරා දිවැ කුකුස් කරන්නේ රුකට නො නැංගේ ය. ඒ ඇතා අන් මඟෙකින් ගියේ ය. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් මහණුනට මෙ පවත් සැලකෙළේ ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කටයුත්තක් ඇති කල්හි බඹයක් ඉහළට ගස නැගෙන්නට ද, ආපදාවන්හි දී වුව මනා පමණ ඉහළ නඟින්නට ද අනුදනිමි” යි වදාළසේක.
140. එ සමයෙහි මිහිරි වචන ඇති මිහිරි හඬ ඇති බ්‍රාහ්මණ ජාතික වූ යමෙළු ද තෙකුල ද යන නම් ඇති දෙ බැ මහණ කෙනෙක් වෙත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක උන්නාහු ම “වහන්ස, දැන් භික්‍ෂූහු නානාවිධ නම් ඇත්තාහු, නානාගොත්‍රයෙන් නානා ජාතියෙන් නානා , කුලයෙන් නික්මැ පැවිදිවූවාහු වෙත්. ඔහු ස්වකීය ව්‍යවහාරයෙන් බුද්ධවචනය දූෂිත කෙරෙත්. වහන්ස, එබැවින් අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟන්නම්හ”යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ, “හිස් පුරුෂයෙනි, තෙපි ‘වහන්ස, අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟම්හ” යි කෙසේ නම් මෙබන්දක් කියවු ද, හිස් පුරුෂයිනි, මෙය නොපහන් වූවන් ගේ පැහැදීම පිණිස ද පැහැදුණවුන් ගේ වැඩීම පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පැහැදුණවුන් ගේ නොපැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනෙකුන් ගේ වෙනස් වීම පිණිස ද වේයැ’යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට,
“මහණෙනි, බුදුවදන ඡන්දසට (වෛදිකභාෂාවට) නො නැඟිය යුතු. යමෙක් නඟන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, මාගධික නිරුක්තියෙන් බුද්ධවචනය පිරිවහන්නට අනුදනිමි” යි වදාළසේක.
141. එ සමයෙහි සවැගි මහණහු ලෝකායතශාස්ත්‍රය පිරිවහත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු අවමන් කෙරෙත්, කියත්, දොස් පතුරුවත්, එසේ අවමන් කරන, නුගුණ යන, දොස් පතුරුවන මිනිසුන් ගේ කථාව භික්‍ෂුහු ඇසූහ. ඉක්බිත්තෙන් ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, ලෝකායත ශාස්ත්‍රයෙහි සාරයක් දක්නාසුලු තැනැත්තේ මෙ සස්නෙහි වැඩීමට නැඟීමට මහත්බවට පැමිණියැ හෙන්නේ දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“වහන්ස, මෙය නොවන්නේ ම යැ” යි භික්ෂුහු පිළිවදන් දුන්හ.
“මහණෙනි, මෙ සස්නෙහි සාරය දක්නාසුලු තැනැත්තේ ලෝකායත ශාස්ත්‍රය පිරිවහන්නේ දැ’යි අසා වදාළසේක.
“මෙය නො වේ ම ය, වහන්සැ” යි මහණහු පිළිවදන් දුන්හ.
“මහණෙනි, ලෝකායත ශාස්ත්‍රය නො පිරිවැහියැයුතු. යමෙක් පිරිවහන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණහු තිරශ්චීනවිද්‍යාව කියවත් ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො කියවිය යුතු. යමෙක් කියවා නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එසමයෙහි වනාහි සවග මහණහු තිරශ්චීන විද්‍යාව පිරිවහති ... භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො පිරිවැහියැයුතු, යමෙක් පිරිවහා නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි වනාහි සවැගි මහණහු තිරශ්චීනවිද්‍යාව කියවත්, මිනිස්සු ‘කාමභෝගී ගිහියන් වැනියහ’ යි අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො කියැවියයුතු. යමෙක් කියවන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
142. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහපිරිසකින් පිරිවැරුණුසේක්, දම් දෙසනසේක්, කිවිසුමක් පහළ කළසේක. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ජීවත් වන සේක්වා, සුගතයන් වහන්සේ ජීවත් වන සේක්වා” යි භික්‍ෂූහු උස්හඬ මහහඬ කළහ. එ හඬින් ධර්‍මකථාව අතරක් ඇත්තේ{*} විය (හෙවත් නැඟුණු හඬින් ධර්‍මකථා හඬ යටපත් ව වැසීගියේ ය.) එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා, “මහණෙනි, කිවිසි කල්හි ජීවත් වන්නැයි කී කලැ ඒ කරුණින් ජීවත් වන්නේ ද, නැතහොත් (එය නොකී කල්හි එ කරුණින්) මැරෙන්නේ හෝ වේ දැ” යි අසාවදාළසේක.
“මෙය නො වන්නේ ම ය, වහන්සැ” යි මහණහු කීහ.
“මහණෙනි, ‘කිවිසි කලහැ ජීවත් වන්නැ’ යි නො කියැ යුතු. යමෙක් කියන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මිනිස්සු මහණුනට කිවිසි කල්හි, ‘වහන්ස, ජීවත් වන්නැ’යි කියත්, භික්‍ෂූහු, කුකුස් කරන්නාහු කිසිත් නො කියත්, “ශාක්‍යපුත්‍රීය මහණහු ‘වහන්ස, ජීවත්වන්නැ’ යි කියනු ලබන්නාහු කෙසේ නම් කිසිත් නො කියන්නාහු දැ’යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ගිහියෝ මංගලයනට ගරු කරන්නෝ වෙත්. ‘වහන්ස, ජීවත් වන්නැ’යි කියනු ලබන මහණහු විසින් ‘බොහෝ කල් ජීවත් වන්නැ’ යි කියන්නට අනුදනිමි” යි වදාළසේක.
143. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහපිරිසෙන් පිරිවැරුණුසේක් දම් දෙසමින් වැඩහුන්සේක. මෙහි එක්තරා මහණෙක් ලුහුනු කන ලද්දේ වෙයි. හේ ‘මහණහු (මෙහි ගඳින්) නො පෙළෙත් වා’ යි සිතා එක් පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක හුන් මහණහු දුටුයේක. දැක, “මහණෙනි, කවර හෙයින් තෙල මහණ එක් පසෙක හුන්නේ වේ දැ” යි අසාවදාළසේක.
“වහන්ස, තෙල මහණ විසින් ලුහුනු කන ලද්දේ ය. හේ ‘භික්‍ෂුහු (ලුහුනු ගඳින්) නො පෙළෙත් වා’ යි එක් පසෙක හුන්නේ වේ” යැ යි කීහ.
“මහණෙනි, යමක් කෑමෙන් මෙ බඳු ධර්‍ම කථායෙන් බැහැර ව ඉන්නේ නම් එබඳු දෑ කෑ යුතු දැ” යි ඇසූසේක.
“වහන්ස, මෙය (කෑයුතු) නො වන්නේ”යැ යි භික්‍ෂුහු කීහ.
“මහණෙනි, ලුහුනු නො කෑයුතු. යමෙක් කන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ’යි වදාළසේක.
එ සමයෙහි සැරියුත් මහතෙරුනට බඩ රුජාවෙක් වෙයි. එ කලහැ මහමුගලන් තෙරණුවෝ සැරියුත් තෙරුන් කරා එළැඹියහ. එළැඹ ‘ඇවැත් ශාරිපුත්‍රයිනි, පෙරැ ඔබේ බඩරිදුම කිමෙකින් පහසුවේ දැ’යි ඇසූහ.
“ඇවැත්නි, ලුහුනෙනැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ආබාධප්‍රත්‍යයයෙන් (ආබාධයකට ප්‍රතිකාර වශයෙන්) ලුහුනු වළඳන්නට අනුදනිමි” යි වදාළසේක.
144. එ සමයෙහි මහණහු අරමෙහි (ආවාස වත්තෙහි) ඒ ඒ තැන මූත්‍ර පහකරත්. අරම දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
“මහණෙනි, එක් පැත්තෙක මූත්‍ර පහකරන්නට අනුදනිමි” යි වදාළසේක.
ආරාමය දුගඳ වෙයි. “මහණෙනි, වටන්දෙණ අනුදනිමි” යි වදාළසේක.
දුක්සේ හුන්නාහු (දුකසේ හිඳ) මූත්‍ර පහකෙරෙත්.
“මහණෙනි, ප්‍රස්‍රාවපාදුකාව{1} අනුදනිමි” යි වදාළසේක. ප්‍රස්‍රාවපාදුකාව ප්‍රකට වෙයි (පිටතට පෙනෙයි). මහණහු එහි හිඳ මූත්‍ර පහකරන්නට ලජ්ජිත වෙත්.
“මහණෙනි, ගඩොළු පවුර ද ගල්පවුර ද, දඬුපවුර ද තුන් පවුරු (බිත්ති තුන) අනුදනිමි”යි වදාළසේක.
වටන්දෙණ නො වසන ලද්දේ දුගඳ වෙයි. “මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
145. එසමයෙහි මහණහු අරමෙහි ඒ ඒ තැන මල පහ කෙරෙත්. අරම දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, එක් පසෙක මල පහකරන්නට අනුදනිමි” යි වදාළ සේක.
අරම දුගඳ වේ. “මහණෙනි, වසුරුවළක් (මල පහකරන්නට වළක්) අනුදනිමි” යි වදාළසේක.
වසුරුවළැ ගැටිය කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළුබැම්ම, ගල්බැම්ම, ලීබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
වසුරුවළ මිටිබිමක් ඇත්තේ වේ. දියෙන් යටකැරේ-දියට යට වේ.
“මහණෙනි, එය උස්බිමක් ඇතියක් කරන්නට (බිම පස් ආදිය අතුරා උසට නංවන්නට) අනුදනිමි” යි වදාළසේක.
බැම්ම කැඩී හැලෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම ද ගල් බැම්ම ද දඬුබැම්ම ද යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
එයට නඟින්නාහු වෙහෙසෙත්.
“මහණෙනි, ගඩොළු හිණ ගල්හිණ දඬුහිණ යන තුන් හිණ අනුදනිමි” යි වදාළසේක.
එයට නඟින්නාහු වැටෙත්. “මහණෙනි, (එල්බැ යන්නට) අත්වැල අනුදනිමි” යි වදාළසේක. කෙළවරැ හිඳ මල පහකරනුවෝ වැටෙත්.
“මහණෙනි, ලෑලි ආදියක් අතුරා මැද සිදුරක් කොට මල පහකරන්නට අනුදනිමි” යි වදාළසේක.
දුකසේ හුන්නාහු මල පහකෙරෙත්.
“මහණෙනි, වර්චස්පාදුකාව (වළ දෙපස පා තබන ආධාරකය) අනුදනිමි” යි වදාළසේක.
වළෙන් පිටත මූත්‍ර පහකෙරෙති.
“මහණෙනි, වටන් දෙණක් අනුදනිමි” යි වදාළසේක.
පුසන් දණඩෙක් නො වෙයි.
“මහණෙනි, පුසන් දණ්ඩ අනුදනිමි” යි වදාළසේක.
පුසන්දඬු තබන බඳුනෙක් නො වෙයි.
“මහණෙනි, පුසන් දඬු තබන බඳුනක් අනුදනිමි” යි වදාළසේක.
වසුරුවළ නො වසන ලද්දේ දුගඳ වෙයි. “මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
එළිමහනෙහි (වටා ආවරණ නැති තන්හි තැනූ වසුරු වළෙහි) මල පහකරන්නාහු, ශීතයෙනුත් උෂ්ණයෙනුත් පෙළෙත්. “මහණෙනි, වැසිකිළියක් අනුදනිමි” යි වදාළ සේක.
වැසිකිළියට දොර පොහොරුවෙක් නො වෙයි.
“මහණෙනි, දොරපොහොරුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරු ලීය ද දොරපොල්ල ද අගුළුකණුව ද යතුරුදණ්ඩ ද තරංකය ද කෙසිසිදුර ද රැහැන බහාලන සිදුර ද අදින රැහැන ද අනුදනිමි” යි වදාළසේක.
වැසිකිළියෙහි තණරොඩු වැටෙයි.
“මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට, සුදුපැහැය කළුපැහැය ගුරුපිරියම මාලා කර්‍ම ලතාකර්‍ම මුවරදැති, සිතියම් (දෑහිඟුල් ඈ විසින්) පස්වනක් පැහැ කරන්නට ද සිවුරු වනන දණ්ඩ ද සිවුරු වනන රැහැන ද අනුදනිමි” යි වදාළසේක.
146. එ සමයෙහි එක් මහණෙක් ජරායෙන් අබල වූයේ මල පහකොට නැගී සිටින්නේ ඇදී වැටුණේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, එල්බැගන්නට රැහැනක් අනුදනිමි” යි වදාළසේක.
වැසිකිළිය වටින් නො වසන ලදුයේ වෙයි.
“මහණෙනි, ගඩොළු බිත්තිය ද ගල් බිත්තිය ද දඬු බිත්තිය ද යන තුන් පවුරු අනුදනිමි” යි වදාළසේක.
දොර කොටුවෙක් නො වෙයි.
“මහණෙනි, දොරකොටුවක් අනුදනිමි” යි වදාළසේක.
කොටුව මිටි බිමක් ඇත්තේ වෙයි ... “මහණෙනි, උස්බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක. බැම්ම කැඩී යයි. … නැඟෙන්නාහු වෙහෙසෙත්. ... “මහණෙනි, සෝපාන තුනක් ... අනුදනිමි” යි වදාළසේක. “මහණෙනි, එල්බගන්නට රැහැනක් අනුදනිමි” යි වදාළසේක.
දොර කොටුවට දොර පළුවෙක් නොවෙයි.
“මහණෙනි, දොරපළුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද දොර පොල්ල ද අගුළුකණුව ද, යතුරුදණ්ඩ ද තරංකය ද කෙසිසිදුර ද අදින රැහැන බහන සිදුර ද, අදනා රැහැන ද අනුදනිමි” යි වදාළසේක.