3. අන්‍ය වූ ද ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද,...
4. අන්‍ය වූ ද ... සම්මුඛයෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
5. අන්‍ය වූ ද ... පිළිවිස කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
6. අන්‍ය වූ ද ... පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
7. අන්‍ය වූ ද ... ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
8. අන්‍ය වූ ද ... දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
9. අන්‍ය වූ ද ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
10. අන්‍ය වූ ද,... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
11. අන්‍ය වූ ද ... සිහිපත් කොට කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද,...
12. අන්‍ය වූ ද ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනය කර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.
නියස්සකර්‍මයෙහි ධර්‍මකර්‍ම දොළොස නිමි.
ආකඞ්ඛමානඡක්කය
1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ කලහ කරන්නේ (ඇවැත් වෙයි නොවෙයි ආදි) විරුද්ධවාද කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයයෙහි අධිකරණ කරන්නේ වේ ද, අව්‍යක්ත වූ ඇවැත් බහුල කොට ඇති ආපත්ති පරිච්ඡේද රහිත බාලයෙක් වේ ද, ගිහියන් හා එකට ගැටුණේ අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි විපන් සිල් ඇත්තේ වේ ද, උත්තම ආචාරයෙහි විපන් ආචාර ඇත්තේ ද, උතුම් සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියා ද, දමුරුවන්හි අයුණු කියා ද, සඟුරුවන්හි අයුණු කියා ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක් කලහ කරන්නේ සංඝයා කෙරෙහි අධිකරණ කරන්නේ වේ ද, එක් මහණෙක් අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ආපත්ති පරිච්ඡේද නොදත් බාලයෙක් වේ ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ ශාසනයට අනුකූල නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
5. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තම ශීලයෙහි විපන් සිල් ඇත්තේ වේ ද, එක් මහණෙක් උත්තමාචාරයෙහි විපන් ආචාර ඇත්තේ වේ ද, එක් මහණෙක් උත්තම වූ සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේය. එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැත්තේ නම් නියස්සකර්‍මය කරන්නේ ය.
නියස්සකර්‍මයෙහි ආකඞ්ඛමාන ඡක්කය නිමි.
අටළොස්වත
1. මහණෙනි, නියස්සකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මනා ව පැවතිය යුතුයි. එහි මේ මනා පැවැත්මයි: (තමන් උපාධ්‍යාය ව) උපසම්පදා නො කළ යුතුයි, නිස නො දිය යුතුයි, සාමණේරකෙනෙකු උපස්ථානය පිණිස නො තබාගත යුතුයි, භික්ඛුනෝවාදකසම්මතිය නො පිළිගත යුතුයි, ඒ සම්මතිය ලැබූවහු විසින් ද මෙහෙණිනට ඔවා නොදිය යුතුයි, යම් ඇවැතක් කරණකොට සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද්දේ ද ඒ ඇවැතට නො පැමිණිය යුතුයි, එබඳු අන් ඇවැතකට ද නො පැමිණිය යුතුයි, එයට වඩා පවිටු ඇවැතකට ද නො පැමිණිය යුතුයි, විනයකර්‍මයට නො ගැරහිය යුතුයි, කර්‍මය කළ භික්‍ෂූන්ට නො ගැරහිය යුතුයි, පුවතක් මහණහුගේ පොහොය නො තැබිය යුතුයි, පවාරණය නො තැබිය යුතුයි, සවචනීයකර්‍මය නො කළ යුතුයි, විහාරයෙහි දෙටු තනතුරැ නො පිහිටිය යුතුයි, චෝදනා පිණිස අවසර නො ගත යුතුයි, චෝදනා නො කළ යුතුයි, ඇවැත් සිහිපත් නො කරවිය යුතුයි, භික්‍ෂූන් ඔවුනොවුන් හා කලහ පිණිස නො යෙදෙවිය යුතුයි.
නියස්සකර්‍මයෙහි අටළොස්වත නිමි.
නොසංහිඳුවියයුතු අටළොස්වත
1. ඉක්බිත්තෙන් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහට ‘තා විසින් මහතෙරකෙනකුන් ඇසුරු කොට විසිය යුතුයැ’ යි නියස්සකර්‍මය කෙළේ ය. සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූ හෙ තෙම කලණමිතුරන් සෙව්නේ, ඛජනුයේ, ඇසුරු කරණුයේ, උදෙසවනුයේ, නැවත නැවත විචාරණුයේ, වාචෝද්ගත කොට ගත් ආගමය ඇති, ධර්‍මධර, විනයධර, මාතෘකාධර, පණ්ඩිත, ව්‍යක්ත, ප්‍රඥාවත්, ලජ්ජී, සුළුවරදෙහි ද කුකුස් කරණ, ශික්‍ෂාකාමී වූ බහුශ්‍රැතයෙක් වෙයි. හෙ තෙම මනා ව පවතී. (මන් බැහැර ලා) මහතෙරුන් අනුව පවතී. නිස්තරණය පිණිස පවතී. භික්‍ෂූන් කරා එළැඹ, “ඇවැත්නි, මම් සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලදුයෙම් මොනොවට පවතිමි, අනුලොම් වැ පවතිමි, නිස්තරණය පිණිස පවතිමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මෙසේ කියයි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළහ. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවාවා.”
2. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: උපසපන් කෙරෙයි ද, නිස දෙයි ද, හෙරණකු තමාට උවටනෙහි යොදා ගණි ද, මෙහෙණින්හට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලැබුයේත් මෙහෙණින්හට ඔවා දෙයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: යම් ඇවැතකට සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද නම්, ඒ ඇවැතට පැමිණේ ද, එවැනි අනිත් ඇවැතකට හෝ පැමිණේ ද, එයට වඩා පවිටු ඇවැතකට හෝ පැමිණේ ද, කර්‍මය ගරහා ද, කම් කළවුන් ගරහා ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.
4. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු: පුවතක් මහණහුගේ පොහොය තබා ද, පවුරුණු තබා ද, සවචනීයකර්‍මය කෙරේ ද, වෙහෙරැ දෙටු බව කෙරේ ද, අනුනට චෝදනා කිරීමට අවකාශ කරවා ගණී ද, (පුවතක් මහණකුට) චෝදනා කෙරේ ද, (ඇවැත්) සිහිපත් කරවා ද, භික්‍ෂූන් උනුන් හා කලහයෙහි යොදා ද, මහණෙනි, මේ අඞ්ග අටෙන් යුත් මහණහුගේ නියස්සකර්‍මය නො සංහිඳුවිය යුතු.
නොසංහිඳුවියයුතු අටළොස නිමියේ ය.
සංහිඳුවියයුතු අටළොස
1. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු: තමා උපාධ්‍යාය ව උපසපන් නො කෙරෙයි ද, නිස නො දෙයි ද, හෙරණකු උවටනට යොදා නො ගණී ද, මෙහෙණින්හට ඔවාදීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලදුයේ නමුත් ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.
2. මහණෙනි, අන්‍ය වූ ද පඤ්චාඞ්ගයෙකින් යුක්ත මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු: යම් ඇවැතකට සඞ්ඝයා විසින් (ඔහුට) නියස්සකර්‍මය කරණ ලද්දේ නම්, ඒ ඇවැතට නො පැමිණේ ද, එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණේ ද, (කරණ ලද) විනයකර්‍මය නො ගරහා ද, විනයකර්‍මය කළවුන් නො ගරහා ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.
3. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු. පුවතක් මහණකුගේ පොහොය නො තබා ද, පවුරුණු නො තබා ද, සවචනීය කර්‍මය නො කෙරේ ද, වෙහෙරෙහි දෙටු තැන්හි නො සිටී ද, චෝදනා පිණිස අවකාශ කරවා නො ගණි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් උනුන් කලහයෙහි නා යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවිය යුතු.
සංහිඳුවියයුතු අටළොස නිමියේ ය.
[සංහිඳුවීම]
1. මහණෙනි, නියස්සකර්‍මය මෙසේ සංහිඳුවිය යුතු: ඒ සෙය්‍යසක මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පොරොවා වැඩිමහලු භික්‍ෂූන්ගේ පා වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ ගෙණ මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූයෙම් මැනැවින් පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. (අටොළොස්) නිස්තරණ වත අනුව පවතිමි. නියස්සකර්‍මයාගේ සංහිඳුවීම යදිමි” යි. දෙවෙනු ද යැදිය යුතු. තෙවෙනුව ද යැදිය යුතු.
2. ව්‍යක්ත වූ ප්‍රබල මහණකු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සෙය්‍යසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතී. (භික්‍ෂූන්හට) අනුකූල ව පවතී. (අටළොස්) නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මය වේ නම් සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සෙය්‍යසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබුයේ, මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හෙ තෙම නිහඬ වේවා. යමකුට නා රිසියේ නම් හේ කියාවා.
දෙවෙනුව ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සෙය්‍යාසක මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූයේ මනා ව පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත පුරයි. නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
තෙවෙනු ව ද මෙ කරුණ කියමි. සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: සඞ්ඝයා විසින් නියස්සකර්‍මය කරණු ලැබූ මේ සෙය්‍යසක මහණ තෙම මැනැවින් පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත් පුරයි. (හේ) නියස්සකර්‍මයාගේ සංහිඳීම යදී. සඞ්ඝ තෙමේ සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවයි. සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් සෙය්‍යසක මහණහුගේ නියස්සකර්‍මය සංහිඳුවන ලදී. සඞ්ඝයාට එය රිසියෙයි. එහෙයින් නිහඬ ය. මේ කාරණය මෙසේ සලකමි”යනු යි.
දෙවන නියස්සකර්‍මය නිමියේ ය.
3. පබ්බාජනියකර්‍මය
[අස්සජිපුනබ්බසුකයන්ගේ අනාචාර]
1. එ සමයෙහි වූ කලි අස්සජි පුනබ්බසුක නම් වූ පවට පිළිකුල් නො කරණ ලාමක මහණහු කීටාගිරියෙහි ආවාසික වෙති. ඔහු මෙබඳු අනාචාර කෙරෙත්: තුමූ ද මල්පැල සිටුවත්, අනුන් ලවා ද සිටුවත්. තුමූ ද දිය ඉසිත්, අනුන් ලවා ද ඉස්වත්, තුමූ ද මල් නෙලත්, අනුන් ලවා ද මල් නෙලවත්. තුමූ ද මල්දම් ගොතත්, අනුන් ලවා ද මල්දම් ගොතවත්. එක් පසකට නටු සිටුනාසේ මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. දෙපසට නටු සිටුනා සේ මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. තුමූ ද මල්කැන් කරත්, අනුන් ලවා ද කරවත්. හිඳි ආදියෙකින් ඇවුනු මල්දම් (විධූතිකාවන්) තුමූ ද කෙරෙත්, අනුන් ලවා ද කරවත්. මුදුන්මල් කඩ (අවතංසක) තුමූ ද කෙරෙත්, අනුන් ලවා ද කරවත්. කණැ පලඳනා මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. උර පලඳනාවන් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්.
2. ඔහු කුලස්ත්‍රිනට කුලදූනට, කුලකුමරියනට, කුලයෙහෙලියනට, කුලදැස්සනට ඒකතෝවණ්ටිකමාලාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. උභතොවණ්ටිකමාලාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. මල්කැන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. විධුතිකාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. මුදුන්මල්කඩ තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. කණ පළඳනා තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. උරපලඳනාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්.
3. ඒ මහණහු කුලස්ත්‍රීන් හා කුලදූන් හා කුලකුමරියන් හා කුලවධූන් හා කුලදැස්සන් හා එක් බඳුනෙහි ද වළඳත්. එක් තලුතැටියෙහි ද බොත්. එක් අස්නෙහි ද හිඳිත්. එක් ඇඳෙහි ද එකට ශයනය කෙරෙත්. එක ඇතිරියක් ඇත්තාහු එකට නිදත්. එක් පොරෝනාවක් ඇත්තාහු ද එකට වැද හෙත්. එක් ඇතිරි එක් පොරෝනා ඇත්තාහු ද එකට වැදහෙත්. නොකල්හි ද බුදිත්. මද්‍යාපානය ද කරත්. මල් ගඳ විලෙවුන් ද දරත්. –
නැටීම ද කරත්. ගැයීම ද කරත්. වැයීම ද කරත්. විලාස දක්වත්. නටන්නියට ද නටත්. නටන්නියට ද ගයත්. නටන්නියට ද වයත්. නටන්නියට ද විලාස දක්වත්. ගයන්නියට ද නටත්. ගයන්නියට ද ගයත්. ගයන්නියට ද වයත්. ගයන්නියට ද විලාස දක්වත්. වයන්නියට ද නටත්. වයන්නියට ද ගයත්. වයන්නියට ද වයත්. වයන්නියට ද විලාස දක්වත්. විලාස දක්වන්නියට ද නටත්. විලාස දක්වන්නියට ද ගයත්. විලාස දක්වන්නියට ද වයත්. විලාස දක්වන්නියට ද විලාස දක්වත්.–
අටගප් දූ පෝරුවෙහි ද දූ කෙළිත්. දසගප් දූ පෝරුවෙහි ද දූ කෙළිත්. අහසේ ද දූ පෝරුව ඇති සේ සලකා දූ කෙළිත්. කට්ටිපෙතෙහි ද ක්‍රීඩා කරත්. සන්තික ක්‍රීඩාව ද කරත්. ඛලිකාක්‍රීඩාව ද කරත්. ඝටිකාක්‍රීඩාව ද කරත්. සලාකා හත්‍ථ ක්‍රීඩාව ද කරත්. පන්දුවෙන් ද ක්‍රීඩා කෙරෙත්. කොළනලා පිඹීමෙන් ද ක්‍රීඩා කරත්. කුඩා නඟුලින් හෑමේ ක්‍රීඩාව ද කරත්. කරනම් ගැසීම ද කෙරෙත්. හුලංපෙති කරකැවීමෙන් ද ක්‍රීඩා කරත්. කොළ නැළියෙන් වැලි ආදිය මැනීමෙන් ද ක්‍රීඩා කරත්. කුඩා රියෙන් ද ක්‍රීඩා කෙරෙත්. කුඩා දුන්නෙන් ද ක්‍රීඩා කරත්. අහසේ හෝ පිටේ අකුරු ඇඳ කියැවීමේ ක්‍රීඩාව ද කරත්. සිතූ දෑ කීමේ ක්‍රීඩාව ද කරත්. කණුන් කොරුන් ආදීන් සේ ඉරියවු දැක්වීමේ ක්‍රීඩාව ද කරත්. හස්තිශිල්පයෙහි ද හික්මෙත්. අශ්වශිල්පයෙහි ද හික්මෙත්. රථශිල්පයෙහි ද හික්මෙත්. ධනුශ්ශිල්පයෙහි ද හික්මෙත්. කඩුසිප්හි ද හික්මෙත්. ඇතුට පෙරටු ව ද දිවෙත්. අසුට පෙරටු ව ද දිවෙත්. රථයට පෙරටු ව ද දිවෙත්. දිවූ තාක් දුර පෙරළා ද දිව එත්. උස් හඬ නඟත්. අත්පොළසන් දෙත්. මල්ලපොර බදත්. මිටින් පහර දීම ද කරත්. රඟමඩල මැද සඟළ සිවුර එළා “නැඟණියනි, මෙහි නටන්නැ”යි කියත්. ‘මැනව, මැනැවැ’යි කියා සිය නළලෙහි ඇඟිල්ලක් තබා ඇය නළලෙහි ද ඇඟිල්ල තබත්. විවිධ වූ ද නොපණත් කම් කෙරෙත්.
4. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කාසි ජනපදයෙහි වස්වැස පැවැරූයේ, භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවර බලා යන්නේ, කීටාගිරියට පැමිණියේ ය. ඉක්බිති ඒ මහණ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ (දක්නවුන්) පහදවන සේ යෑමෙන් ද, ඊමෙන් ද, ඉදිරි බැලීමෙන් ද, දෙපස බැලීමෙන් ද, අත් පා හැකිළීමෙන් ද, දිගු කිරීමෙන් ද යුතුවැ යට බලා හෙළූ ඇස් ඇත්තේ, මනා ඉරියව්වෙන් පිරිපුන් වූයේ කීටාගිරියට පිඬු පිණිස පිවිසියේ ය.
5. (කීටාගිරියෙහි) මිනිස්සු ඒ මහණ දැක මෙසේ කීහ: “ඉතා දුබලයකු බඳු, ඉතා අලසයකු බඳු, බැම හා මුව හකුළුවා ගත් කිපුනක්හු මෙන් හැසිරෙන මේ තැනැත්තේ කවරේ ද? වෙත පැමිණියා වූ ද මොහුට බත් පිඬකුදු කවරෙක් නම් දෙන්නේ ද? අපගේ ආර්‍ය්‍ය වූ අස්සජි පුනබ්බසුක දෙ නම වූ කලි තැනට සුදුසු පරිදි කථායෙහි නිපුණයෝ ය. ප්‍රියවචන ඇත්තෝ ය. සුව එළවන පිළිසඳර ඇත්තෝය. මඳ සිනා පෙරටු කොටැත්තෝ ය. ‘එන්නැ, මුඹගේ ස්වාගතයෙකැ’ යි කියන්නෝ ය. හකුළුවා නොගත් බැම ඇත්තෝ ය. මුහුණ පා කතා කරන්නෝ ය. පළමු කොට කතා කරන්නෝ ය. පිඬු දියැ යුත්තේ ඔවුන් වහන්සේට ය” යනු යි.
6. එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙණ ඒ වහන්දෑ දිටී ය. දැක ඒ වහන්දෑ කරා එළැඹියේ ය. එළැඹ ඒ වහන්දෑ වැඳ, “වහන්ස, පිඬු ලැබේ ද?” යී ඇසී ය. “ඇවැත්නි, පිඬු නො ලැබේ යැ” යි එ වහන්දෑ කීහ. “වහන්ස, වඩින්නැ. ගෙට යම්හ” යි උවසු කී ය.
7. ඉක්බිති ඒ උවසු එ වහන්දෑ සිය ගෙට පමුණුවා වළඳවා “වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ කොහි වඩනා සේක් දැ?” යි. විචාළේ ය. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවරට යමි” යී ඒ වහන්දැ කීහ.
“වහන්ස, එසේ නම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳිනු මැනැවි. මෙසේත් සැළ කළ මැනැවි: “වහන්ස, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. කීටාගිරියෙහි ආවාසිකවූ අස්සජි පුනබ්බසුක නම් මහණහු අලජ්ජීහු ය, පාපභික්‍ෂූහු ය. ඔහු මෙ බඳු අනාචාර කෙරෙත්: ගිහින් සඟන්නට තුමූත් මල් පැල සිටුවත්, අනුන් ලවා ද සිටුවවත්, තුමූ ද දිය ඉසිත්, අනුන් ලවා ද දිය ඉස්වත්. තුමූ ද මල් නෙලත්, අනුන් ලවා ද මල් නෙලවත්. තුමූ ද මල්දම් ගොතත්. අනුන් ලවා ද ගොතවත්. එක් පසැ නටු ඇති මාලා කෙරෙති, කරවතී. දෙපස නටු ඇති මාලා කෙරෙති, කරවත්. මල් කලප් කෙරෙති. කරවති. හිදින් විද කළ මල්දම් කෙරෙති, කරවතී. මල්සුඹුළු කෙරෙති, කරවති. මල්කැරැලි කෙරෙති, කරවති. උරසැද කරති, කරවති.
ඔහු කුලසත්‍රීන්ට කුලදූන්ට කුලකුමරියන්ට කුලසුණීසාවන්ට කුලදාසීන්ට එක්පසැ නටු ඇති මාලා ගෙණ යෙති, යවති. දෙපසැ නටු ඇති මාලා ගෙණ යෙත්, යවති. මල්කලප් ගෙණ යෙති, යවති. හිදින් විද කළ මල්දම් ගෙණ යෙති, යවති. මල්සුඹුළු ගෙණ යෙති, යවති. මල්කැරැලි ගෙණ යෙති, යවති. උරසැද ගෙණ යෙති, යවති. කුලස්ත්‍රීන් කුලදූන් කුලකුමරින් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි ද බුදිති. එක් තලියෙහි දු බොති. එක් අස්නෙහි දු හිඳිති. එක් ඇඳෙහිදු හොවිති. එක් තිලි ඇතිව හොවිති. එක් පොරෝණ ඇතිව ද හොවිති. එක්තිලි පොරෝණ ඇතිව ද හොවිති. නොකල්හිදු වළඳති. මත්පැන් ද බොති. මල්ගඳ විලෙවුනුදු දරති.–
නටති. ගයති. වයති. ලාස්‍ය නැටුම් නටති. නිළිය නටන කල්හිදු නටති. නටන කල්හිදු ගයති. නටන කල්හිදු වයති. නටන කල්හිදු ලාස්‍ය කෙරෙති. (චක්‍ර කටයුතු)... ලාස්‍ය කරණ කල්හිදු නටති. ලාස්‍ය කරණ කල්හිදු ගයති. ලාස්‍ය කරණ කල්හිදු වයති. ලාස්‍ය කරණ කල්හිදු ලාස්‍ය කෙරෙති.–
අටපද දූපෝරුයෙහි කෙළිති. දශපද දූපෝරුයෙහිදු කෙළිති. දූපෝරුයෙහි සෙයින් අහස්හි කෙළිති. හිරිමඬලෙහිදු නියෙන් කැට ඈත් මෑත් කොට ද කෙළිති. පසැටිනුදු කෙළිති. සිංකෙළියෙනුදු කෙළිති. ලහඅතිනුදු කෙළිති. ලාවටිනුදු කෙළිති. පත්නලිනුදු කෙළිති කුඩා නඟුලිනුදු කෙළිති.–
කරණම් පැනීමෙනුදු කෙළිති. කන්නන්ගුරුවා ඉදි කොට කෙළිති. පත්නැළියෙනුදු කෙළිති. කුඩා රියෙනුදු කෙළිති. කුඩා දුන්නෙනුදු කෙළිති. අකුරුකෙළියෙනුදු කෙළිති. මනෙසිකායෙනුදු (සිතුදෙය කීමෙන්) කෙළිති. යථාවද්‍යායෙනුදු (සිරුරු දොස් දක්වමින්) කෙළිති. හස්ති ශිල්පයෙහිදු හික්මෙති. අශ්වශිල්පයෙහිදු හික්මෙති. රථශිල්පයෙහිදු හික්මෙති. ධනුශ්ශිල්පයෙහිදු හික්මෙති. ඛඞ්ගශිල්පයෙහිදු හික්මෙති. ඇතු පෙරටුයෙහි දු දුවති. අසු පෙරටුයෙහිදු දුවති. රිය පෙරටුයෙහි ද දුවති. පසුපසට ද දුවති. පෙරට ද දුවති. ප්‍රීතිනාද කෙරෙති. අත්පොළසන් ද දෙති. මල්ලව පොර ද කෙරෙති. මිටු පොර ද කෙරෙති. රඟමඬල මැද සඟළ අතුරා නිළියට “නැඟණියනි, මෙහි නටව” යි මෙසේ කියති. නළලෙහි අත ද තබති. විවිධ වූ ද අනාචාර කෙරෙත්.
වහන්ස, යම් මිනිස් කෙනෙක් පෙරැ සැදැහැතියෝ සස්නැ පැහැදුනෝ වූහු ද, ඔහුත් දැන් සැදැහැ නැත්තෝ නොපැහැදුනෝ වෙති. පෙරැ සඞ්ඝයාට නිබඳ දෙන දානපථයෝ වූහු නම් ඔහු ද දැන් සිඳුනාහු වෙති. ප්‍රියශීල වහන්දැ (ආවාසය) හැර යත්. පාපභික්‍ෂූහු නේවාසික වූහු වෙසෙත්. වහන්ස, කීටාගිරියෙහි මේ ආවාසය යම්සේ සුසංස්ථිත වන්නේ නම්, එසේ වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කීටාගිරියට වහන්දෑ එවන සේක් නම් ඒ මැනැව” යනු යි.
8. ‘ඇවැත්නි, එසේ යැ’යි කියා ම ඒ මහණ තෙම පිළිවදන් දී හුනස්නෙන් නැගී සැවැත්නුවර බලා නික්මුනේ ය. පිළිවෙළින් ගොස් සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම යම් තැනෙක ද, එහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හිඳගත්තේ ය.
9. ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කථා කිරීම භාග්‍යවත් බුදුවරුන් විසින් ආචීර්‍ණයෙක (බුදුවරුන්ගේ පුරුද්දෙක). ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු බණවා, “මහණ, කිම, යැපියැ හැකි ද? ඉවැසියැ හැකි ද? කිම වෙහෙසක් නැති වැ දික් මඟ ගෙවා ආයේ වෙහි ද? මහණ තෝ කොයින් එන්නෙහි දැ”යී අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවැසිය හැකිය. යැපිය හැකිය. වහන්ස, වෙහෙසෙක් ද නැති වැ මම් දික් මඟ ගෙවා ආයෙම් වෙමි.
10. වහන්ස, මම් කසීජනපදයෙහි වස් වැස පැවැරූයෙම්, භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැතට එනුයෙම්, කීටාගිරියට බටුයෙමි. වහන්ස, ඉක්බිති මම් පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ පිඬු පිණිස කීටාගිරියට පිවිසියෙමි. වහන්ස, එක්තරා උවසුවෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන මා දුටුයේ ම ය. දැක මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ “වහන්ස, පිඬු ලැබේ දැ”යි මෙය විචාළේ ය. “ඇවැත්නි, පිඬු නො ම ලැබේ ය”යි මම් කීමි. “වහන්ස, වඩින්න. ගෙට යම්හ”යි හේ කී ය. වහන්ස, ඉක්බිති ඒ උවසු තෙම මා සිය ගෙට පමුණුවා වළඳවා, “වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ කොහි වඩනා සේක් දෝ”යි මෙය ඇසී ය. “ඇවැත්නි, මම් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැතට යමි” යි කීමි. “වහන්ස, එසේ නම් මා බසින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස් නමා වඳින්න. මෙසේත් සැළ කරන්න:
“වහන්ස, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. කීටාගිරියෙහි ආවාසික වූ අස්සජි පුනබ්බසුක නම් මහණහු අලජ්ජීහු ය. පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු අනාචාර කෙරෙත්: (ගිහීන් සඟන්නට) මල්පැල තුමූත් සිටුවත්, අනුන් ලවා ද සිටුවවත් ... විවිධ වූ ද නොපණත්කම් කෙරෙත්. වහන්ස, යම් මිනිස් කෙනෙක් පෙරැ සැදැහැතියෝ සස්නැ පැහැදුනො වූහු ද උහුත් දැන් සැදැහැ නැත්තෝ නොපැහැදුනෝ වෙති. පෙරැ සඞ්ඝයාට නිබඳ දෙන දානපථයෝ වූහු නම්, උහු ද දැන් සිඳුනාහු වෙති. ප්‍රියශීල වහන්දෑ ආවාසය හැර යත්. පාපභික්‍ෂූහු නේවාසික වැ වෙසෙත්. වහන්ස, කීටාගිරියෙහි මේ ආවාසය යම්සේ සුසංස්ථිත වන්නේ නම්, එසේ වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කීටාගිරියට වහන්දෑ එවන සේක් නම් ඒ මැනව” යනු යි. වහන්ස, මම් එහි සිට එමි යී ඒ මහණ සැළ කෙළේ ය.
11. ඉක්බිත්තෙන් “භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, කීටාගිරියෙහි ආවාසික වූ අස්සජි පුනබ්බසුක නම් මහණහු අලජ්ජිහු ය. පාපභික්‍ෂූහු ය, ඔහු මෙබඳු අනාචාර කෙරෙත් ය, තුමූත් මල් පැල සිටුවත් ය, අනුන් ලවාත් සිටුවත් ය … විවිධ නොපණත්කම් කෙරෙත් ය, යනු සැබෑ ද? (එයින්) පෙරැ සැදැහැති වූ සස්නැ පහන් වූ මිනිස්සු දැන් සැදැහැ නැතියෝ වැ නො පහන් වැ සිටිත් යැ යනු සැබෑ ද? සඞ්ඝයාට පළමු දුන් දානපථයෝ දැන් සිඳුනාහු වෙත් ය යනුත්, ප්‍රියශීල භික්‍ෂූහු ආවාසය හැර යත් ය, පාපභික්‍ෂූහු ආවාසයෙහි වෙසෙත් ය යනුත් සැබෑ දැ?” යී අසා වදාළ සේක. “වහන්ස, සැබෑ යැ” යි මහණහු පිළිවදන් දුන්හ.
12. එවිට භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මෙසේ ගැරැහූ සේක: “මහණෙනි, ඒ හිස් පුරුෂයෝ කවර කරුණෙකින් මෙබඳු නො පණත්කම් කෙරෙත් ද, (කුල සඟනු පිණිස) මල්පැල සිටුවත් ද ... විවිධ නොපණත් කම් කෙරෙත් ද, මහණෙනි, මෙය සස්නැනොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ පැහැදීම වැඩෙනු පිණිස හෝ නො වේ.
13. මහණෙනි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නොවේ. ... යී භාග්‍යවතුන් වහන්සේ අස්සජී පුනබ්බසුක භික්‍ෂූන් වෙසෙසින් ගරහා දැහැමි කථා කොට වදාරා, සැරියුත් මුගලන් දෙ නම අමතා, “ශාරිපුත්‍රයෙනි, තෙපි කීටාගිරියට යවු ගොස් අස්සජි පුනබ්බසුක මහණුන් කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය කරවු. ඔහු තොපගේ සද්ධිවිහාරිකයෝ යැ” යී වදාළ සේක.
14. “වහන්ස, අපි අස්සජි පුනබ්බසුක මහණුනට කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය (පබ්බාජනීය කර්‍මය) කෙසේ නම් කරමෝ ද, ඒ මහණහු සැඬහ, පරොස්හ” යී ඒ තෙරණුවෝ වදාළහ. “එසේ නම් ශාරීපුත්‍රයිනි, තෙපි බොහෝ මහණුන් කැටිව යවු” යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ ය වහන්සැ” යි සැරියුත්මුගලන් දෙ නම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
15. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “මහණෙනි, මෙසේ පබ්බාජනීයකර්‍මය කළ යුතු: ‘පළමු කොට අස්සජි පුනබ්බසුක මහණහු චෝදිතව්‍යහ. චෝදනා කොට වරද සිහිපත් කරවිය යුතු. වරද සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු. ඇවැත නංවා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් මෙසේ දැන්වියැ යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ අස්සජි පුනබ්බසුක මහණහු කුලදූෂකයෝ ය. පාප සමාචාර ඇත්තෝ ය. මොවුන්ගේ පාපසමාචාරයෝ දක්නා ද ලැබෙත්. අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝ දක්නා ද ලැබෙත්. අසනු ද ලැබෙත්. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ‘අස්සජි පුනබ්බසුක මහණුන් කීටාගිරියෙහි නො විසියැ යුතු” යැ යි අස්සජි පුනබ්බසුක මහණුන්හට කීටාගිරියෙන් නෙරැපීමේ කර්‍මය (පබ්බාජනීය කර්‍මය) කෙරෙන්නේ ය මේ ඤත්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ අස්සජි පුනබ්බසුක මහණහු කුලදූෂකයෝ ය. ලාමක පැවැතුම් ඇත්තෝ ය. මොවුන්ගේ ලාමකසමාචාරයෝ දක්නා ද ලැබෙත්. අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝ දක්නා ද ලැබෙත්. අසනු ද ලැබෙත්. සඞ්ඝ තෙමේ ‘අස්සජී පුනබ්බසුක භික්‍ෂූන් කීටාගිරියෙහි නො විසිය යුතු යැ’ යි අස්සජී පුනබ්බසුක මහණුන්හට කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය කෙරෙයි. ‘අස්සජි පුනබ්බසුක මහණුන් විසින් කීටාගිරියෙහි නො විසිය යුතු යැ’ යි. අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය යම් ආයුෂ්මතකුහට රිසියේ ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ ද හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙම මා කියන්න අසාවා: මේ අස්සජි පුනබ්බසුක මහණහු කුලදූෂකයෝය ... යමකුට නො රිසියේ ද හේ කියාවා.
‘අස්සජි පුනබ්බසුක මහණුන් කීටාගිරියෙහි නො විසිය යුතු යැ’ යි අස්සජි පුනබ්බසුක මහණුනට කීටාගිරියෙන් නෙරපාලීමේ කර්‍මය කරණ ලද්දේ ය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි (සලකමි)” යනු යි.
[පබ්බාජනීයකර්‍මකරණය නිමි.]
පබ්බාජනීයකර්‍මයෙහි අධර්‍මකර්‍මද්වාදශකය
1. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොහමුයෙහි කරණ ලද්දේ වේ ද, නො පිළිවිසැ කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනය කර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
2. “මහණෙනි, අන්‍යවූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීය කර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසන ලද ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වේ.
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: චෝදනා නො කොට කරණ ලද ද, සිහි පත් නොකරවා කරණ ලද ද, ඇවැත නො නංවා කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි…
4. මහණෙනි, අන්‍යවූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … නොහමුයෙහි කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ (නොසමග) සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීය කර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි …
5. මහණෙනි, අන්‍යවූත් අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි ... නො පිළිවිස කරණ ලද්දේ වේ ද, නොදැහැමෙන් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහෙණනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනියකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි …
6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි … පිළිණ නො ගෙණ කරණ ලද ද, අධර්‍මයෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි …
7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … නොඇවැතෙහි කරණ ලද ද, අධර්‍මයෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි …
8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක්ද වෙයි ...
9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … ඇවැත දෙසූ කල්හි කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනියකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
10. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. … චෝදනා නො කොට කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
11. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි:... සිහිපත් නොකරවා කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
12. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: ඇවැත නො නංවා කරණ ලද ද, නොදැහැමෙන් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද වෙයි. අවිනය කර්‍මයෙක් ද වෙයි. නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
පබ්බාජනීයකර්‍මයෙහි අධර්‍මකර්‍ම දොළොස නිමියේ ය.
ධර්‍මකර්‍මද්වාදශකය
1. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මොනොවට සංහිඳුනෙක් ද වේ: සම්මුඛයෙහි කරණ ලදුයේ වේ ද, පිළිවිස කරණ ලදුයේ වේ ද, පිළිණ ගෙණ කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මොනොවට සංහිඳුනෙක් ද වේ.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වේ:... ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දේශනාගාමිනී ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, නොදෙසනලද ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි …
3. මහණෙනි, අන්‍යවූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වේ:... චෝදනා කොට කරණ ලදුයේ වේ ද, වරද සිහිපත් කරවා කරණ ලදුයේ වේ ද, ඇවැත නො කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
4. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි:... හමුයෙහි කරණ ලදුයේ වේ ද, දැහැමෙන් කරණ ලදුයේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි:... පිළිවිස කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි:... චෝදිතයාගෙන් පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
7. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි:... ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
8. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... දේශනාගාමිනී ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි ...
9. මහණෙනි ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
10. මහණෙනි ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
11. මහණෙනි ... ඇවැත සිහි පත් කරවා කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, …
12. මහණෙනි ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, දැහැමෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත පබ්බාජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මොනොවට සංහිඳුනෙක් ද වෙයි.