Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 1801-1900 න් 3843

102. එ සමයෙහි වනාහි එක්තරා ස්ත්‍රියක් පහ වූ දරුගැබ් ඇත්තී, භික්‍ෂූන් නිමතා වස්ත්‍ර පනවා (බිමට රෙදි එළා) “වහන්ස, වස්ත්‍රය ඇක්මුන මැනැවැ” යි කීවා ය. භික්‍ෂූහු කුකුස් කරන්නාහු නො ඇක්මෙත්.
“වහන්ස, මංගල පිණිස වස්ත්‍රය. ඇක්මෙන්නැ” යි. ඕ කීවා ය. භික්‍ෂූහු කුකුස් කරන්නාහු නො ඇක්මුණාහ.
එකල්හි ඒ ස්ත්‍රී “කෙසේ නම් ආර්‍ය්‍යයෝ මංගල පිණිස ඉල්ලනු ලබන්නාහු රෙදි පියැවිල්ල නො ඇක්මෙන්නාහු දැ” යි අවඥා කෙරෙයි, නුගුණ කියයි, දොස් කතා පතුරුවයි. භික්‍ෂූහු අවඥා කරන, නොගුණ කියන, දොස් කතා පතුරුවන ඒ ස්ත්‍රියගේ වචන ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ ... “මහණෙනි, ගෘහස්ථයෝ මාංගලිකයහ මහණෙනි, මංගල පිණිස ගිහියන් විසින් ඉල්ලනු ලබන මහණහු විසින් රෙදි පියැවිල්ල ඇක්මෙන්නට අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු දෙවූ පා ඇතියනු විසින් පා තැබිය යුතු කොට එලා ඇති රෙදි ඇතිරිය ඇක්මෙන්නට කුකුස් කෙරෙත් ... “මහණෙනි, දෙවූ පා ඇත්තහු සඳහා එළා ඇති ඇතිරිය ඇක්මෙන්නට අනුදනිමි” යි වදාළ සේක.
103. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට කැමති තාක් වැස සැවැත් නුවර බලා සැරිසරා වඩනට නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරා වඩනාසේක්, සැවැත්නුවරට පැමිණිසේක. එ සමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි මිගාරමබාතෘ නම් වූ විශාඛා උපාසිකා තොමෝ අතළයක් ද (කටු මතු කොට මැටියෙන් තනන ලද) පාගටනාවක් ද මුස්නක් ද ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළහැඹියා ය. එළැඹ වැඳ පසෙක හුන්නා ය. පසෙක හිඳ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මගේ මේ අතළය ද පාගටනාව ද මුස්න ද පිළිගන්නා සේක් වා. එය මට දීර්‍ඝ කාලයක් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ අතළය ද මුස්න ද පිළිගත් සේක. පාගටනාව නො පිළිගත්සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතෘ නම් වූ විශාඛාවට ධර්‍මනිඃශ්‍රිත කථායෙන් කරුණු දක්වාවදාළසේක, ඒ කරුණු ගැන්වූ සේක, එහි උනන්දු කළසේක, එහි ලා සතුටු කළ සේක. එයට පසු, විශාඛා මිගාරමාතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දැහැමි කතායෙන් කරුණු දක්වන ලද්දී, කරුණු ගන්වන ලද්දී, එහි උනන්දු කරන ලද්දී, එහි සතුටු කරන ලද්දී, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂුසඞ්ඝයා බණවා, “මහණෙනි, අතළය ද මුස්න ද අනුදනිමි. මහණෙනි, පාගටනාව පරිහොග නො කළයුතු. යමෙක් පරිහොග කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, (පා ගටනු පිණිස) ගල ද කැබැලිති ද මුහුදු පෙණ ද යන තුන් පා ගටනා අනුදනිමි” යි වදාළ සේක.
104. නැවත (එක් දිනක්) මිගාරමාතෘ නම් වූ විශාඛා තොමෝ විජිනිපතක් ද තල්වටක් ද ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ වැඳ පසෙක හිඳ ගත්තා ය. පසෙක හිඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ විජිනිපත ද තල්වට ද පිළිගන්නාසේක්වා. එය මට දික් කලක් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි කීවා ය.
භාග්‍යවතුන් වහන්සේ විජිනිපත ද තල්වට{1} ද පිළිගත් සේක. ඉක්බිති මිගාරමාතෘ නම් වූ විශාඛාවට දැහැමි කථාවෙන් කරුණු දක්වා වදාළසේක. එකල්හි මිගාරමාතෘ නම් වූ විශාඛා තොමෝ ... පැදකුණු කොට ගියාය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි, තෙල කරුණෙහි දැහැමිකථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, විජිනිපත ද තල්වැට ද අනුදනිමි” යි.
105. එ සමයෙහි වනාහි සඞ්ඝයාට මදුරුවිදුනාවෙක්{2} උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ. “මහණෙනි, මදුරුවිදුනාව අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සෙමෙර විදුනාවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ. “මහණෙනි, සෙමෙරවිදුනාව නො දැරිය යුතු. යමෙක් දරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වැහැරිමුවා විදුනාව ද, සුවඳහොට මුවා විදුනාවද, මොනර පිල්මුවා විදුනාව ද යන තුන් විජිනිපත් අනුදනිමි” යි වදාළ සේක.
106. එ සමයෙහි සඞ්ඝයාට ඡත්‍රයෙක් (කුඩයෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි ඡත්‍රය (කුඩය) අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි සවැගි මහණහු ඔසොවා ගත් කුඩ ඇත්තාහු (කුඩ ඉසැ ලා ගෙන) ඇවිදිත්. එ කල එක්තරා උපාසකයෙක් බොහෝ සිය ගණන් ආජීවික ශ්‍රාවකයන් හා උයනට ගියේ ය. ඒ ආජීවික ශ්‍රාවකයෝ කුඩ ඉසලා ගෙන එන සවැගි මහණුන් දුරින් ම දුටුයේ ය. දැක, ඒ උපාසකයා බණවා “ආර්‍ය්‍ය තෙල ඔබ පැවිදි පින්වත්හු ගණක මහාමාත්‍යයන් සේ කුඩ ඉසලා ගත්තාහු එන්නාහ” යි කීහ.
“ආර්‍ය්‍යයෙනි, තෙල භික්‍ෂුහු නො වෙත්, පිරිවැජියෝයැ” යි උපාසක තෙම කී ය.
“භික්‍ෂුහු ද? භික්‍ෂුහු නො වෙත් දැ?” යි ඔට්ටු ඇල්ලූහ. එයින් පසු ඒ උපාසක තෙම ළඟට ආවුන් හැඳින “කෙසේ නම් පින්වත්හු කුඩ ඉසලා ගෙන හැවිදින්නාහු දැ” යි අවඥා කෙරෙයි, නොගුණ කියයි, දොස් පතුරුවයි.
භික්‍ෂූහු අවඥා කරන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ උපාසකයා ගේ වචන ඇසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ... සැබෑ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබව වහන්සැ’ යි ඔහු කීහ.
භාග්‍යවතුන් වහන්සේ ගැරැහු සේක. ගරහා ධර්‍ම කථා කොට “මහණෙනි, කුඩය නො දැරිය යුතු, යමෙක් දැරුයේ වී නම්, දුකුළා ඇවැත් වන්නේ යැ’ යි වදාළ සේක.
107. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. ඔහුට කුඩයක් නැති ව අපහසු වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිලන් මහණහට කුඩය අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලනාට ම කුඩය අනුදැනිණ, නොගිලනාට නො අනුදැනිණ’ යි කියා ආරාමයෙහි ද, ආරාමොපචාරයෙහි ද කුඩ දරන්නට කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, නොගිලනහු විසින් ද ආරාමයෙහිත් ආරාමොපචාරයෙහිත් කුඩය දරන්නට අනුදනිමි” යි වදාළ සේක.
108. එ සමයෙහි එක්තරා මහණෙක් සාල්ලෙක නෙවා දණඩෙක එල්ලාගෙන නො කල්හි එක්තරා ගම්දොරෙකින් ඉක්මයෙයි. මිනිස්සු ‘ආර්‍ය්‍යයෙනි, මේ සොරෙක් යෙයි, ඔහුගේ කඩුව දිලිසේ’ යැ යි කියා ලුහුබැඳ අල්ලාගෙන හැඳින මුදා හළහ. එ කල්හි ඒ මහණ ආරාමයට ගොස් හිකෂුනට මෙ පවත් සැල කෙළේ ය.
“ඇවැත්නි, තෙපි දණ්ඩසික්කාවක් (දණඩෙක බඳනා ලද සාල්ලක්) දරවු දැ?” යි භික්‍ෂූහු ඇසූහ.
“එසේය ඇවැත්නි” යි. හේ කී ය.
යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණෙහි සතුටු වෙත් ද ලජජීහු ද සුළු වරදෙහිත් කුකුස් කෙරෙත් ද ශික්‍ෂා කැමැත්තෝ ද, ඔහු “කෙසේ නම් මහණ තෙමේ දණ්ඩසිකතාවක් දරන්නේ දැ” යි අවඥා කෙරෙත්, අගුණ කියත්, දොස් පතුරුවත්.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණ සැබෑ ද? තෝ දණ්ඩසික්කාවක් දරහි දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“එසේ ය, වහන්සැ” යි එ මහණ කී ය.
භාග්‍යවතුන් වහන්සේ ගැරැහුසේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා, “මහණෙනි, දණ්ඩසික්කාව නො දැරිය යුතු. යමෙක් දැරුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
109. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. දණ්ඩක් නැති වැ ඇවිදින්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, ගිලන් මහණහට දණ්ඩ සම්මතිය දෙන්නට අනුදනිමි. එය වනාහි මෙසේ දියැ යුතු: ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන් පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන්හි තබාගෙන,
“වහන්ස මම් ගිලන්මි, දණ්ඩක් නැති වැ ඇවිදින්නට නො හැක්කෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් දණ්ඩ සම්මතිය ඉල්ලමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවෙනි වර ද ඉල්ලිය යුතු තෙවෙනි වරද ඉල්ලියයුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් මෙසේ සඞ්ඝ තෙමේ දැන්වියයුතු ය.
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙ නම් මහණ ගිලන් යැ. දණ්ඩක් නැති වැ ඇවිදියැ නො හැක්ක. හෙතෙම සඞ්ඝයා ගෙන් දණ්ඩසම්මතිය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් මෙ නම් මහණහට දණ්ඩ සම්මතිය දෙන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් ය. දණ්ඩක් නැතිවැ ඇවිදින්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් දණ්ඩසම්මතිය ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසම්මතිය දෙයි. මෙනම් මහණහට දණ්ඩ සම්මතිය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම්, හේ නිහඬ වේවා. යමක්හට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
“සඞ්ඝයා විසින් මෙනම් මහණහට දණ්ඩසම්මතිය දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සිතමි)” යනු යැ.
110. තවද එසමයෙහි එක්තරා මහණෙක් ගිලන්වෙයි. සහල්ලක් නැති වැ පාත්‍රය. පරිහරණ කරන්නට නො හැකි වෙයි. තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වාලූහ.
“මහණෙනි, ගිලන් මහණහට සික්කාසම්මතිය දෙන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේ දිය යුතුය: ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු වහන්දෑගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියැ යුතු වෙයි. “වහන්ස මම ගිලන්මි. සහල්ලක් නැතිව පාත්‍රය පරිහරණ කරන්නට නො හැකි වෙමි. වහන්ස, ඒ මම සඞ්ඝයා (වෙතින්) සික්කාසම්මතිය යදිමි” යි. දෙවන වට දු යාච්ඤා කළයුතු ය. තෙවන වට දු යාච්ඤා කළයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඟහු දැන්වියයුත්තාහ.
“වහන්ස, සඞ්ඝයා මබස් අසන සේක්වා. මේ මෙනම් මහණ ගිලන් වෙයි. සහල්ලක් නැතිවැ පාත්‍රය පරිහරිණ කරන්නට නො හැක්ක. හේ සඞ්ඝයා (වෙත) සික්කාසම්මතිය යදියි. ඉදින් සඟනට පැමිණි කල් වී නම් සඞ්ඝයා මෙනම් මහණහට සික්කාසම්මතිය දෙන්නේය. තෙල ඤත්ති යැ.
“වහන්ස, සඞ්ඝයා මාගේ වචනය අසත්වා. මේ මෙනම් ඇති මහණ ගිලන් වෙයි. සහල්ලකින් වෙන් වැ පාත්‍රය පරිහරණ කරන්නට නො හැක්ක. හේ සඞ්ඝයා (වෙත) සික්කාසම්මතිය යදී, සඞ්ඝයා මෙනම් මහණහට සික්කාසම්මතිය දෙති. යම් ආයුෂ්මත් කෙනකුන්ට තෙල මහණහට සික්කාසම්මති දීම රිසි වේ නම් හේ නිහඬ වන්නේය. යමකුට නො රුස්නේ නම් හේ බණන්නේය. සඞ්ඝයා විසින් මෙනම් මහණහට සික්කාසම්මතිය දෙන ලදු. සඞ්ඝයාට (එය) රුස්නේය. එහෙයින් තුෂ්ණිම්භාවය , වෙයි. තෙල මෙසේ දරමි” යි.
111. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. දණ්ඩක් නැතිව ඇවිදින්නට නො හැකි වෙයි, සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගිලන් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ එය දියැ යුතු: ඒ ගිලන් මහණ සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩිමහලු භික්‍ෂූන් ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා, “වහන්ස, මම් ගිලන්මි. දණ්ඩෙන් තොර වැ හැවිදින්නට නොහැක්කෙමි, සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැක්කෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලමි” යි මෙසේ කියැයුතු වන්නේ ය. දෙවෙනි වර ද ඉල්ලියැ යුතු, තෙවෙනි වර ද ඉල්ලියැ යුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් යැ. දණ්ඩක් නැති වැ හැවිදින්නට නො හැකි ය, සාල්ලක් නැති ව පාත්‍රය. පරිහරණය කරන්නට නො හැකි ය. හේ සඞ්ඝයා ගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලයි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇතියේ වී නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසික්කා සම්මතිය දෙන්නේ ය”. මේ ඥප්තිය (දැන්වීම යැ).
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් යැ. දණ්ඩක් නැති ව ඇවිදින්නට නො හැකි යැ. සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැකිය. හේ සබඝයාගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙයි. මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දීම යම් ආයුෂ්මතක්හට රිසියේ ද හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙන ලදු, එය සඞ්ඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සිතමි)” යනු යැ.
112. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් වැළැඳූ බොජුන් වමාරන්නේ වෙයි. හේ වමාර වමාරා ගිලියි. “මේ මහණ විකාලයෙහි බොජුන් වළඳා”යහැ යි භික්‍ෂූහු ඔහුට අවඥා කෙරෙත්: අගුණ කියත්; දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, මේ මහණ නොබෝ කල්හි (මෑතදී) ගවයෝනියෙන් වුත විය. මහණෙනි, (පියෙවියෙන්) වමාරන්නාහට ඒ වැමෑරීම අනුදනිමි. මහණෙනි, එතෙකුදු වුවත් මුවදොරින් (උගුරෙන්) පිටත, නික්මවා නැවැත නොගිලියැයුතු. යමෙක් එසේ ගිලින්නේ නම් ඔහුට ධර්‍මය වූ පරිදි (විකාල හොජනය වැළැඳීමට කළයුතු පරිදි) ඔහුට කළයුතු යැ” යි වදාළ සේක.
113. එ සමයෙහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. බොජුන් හලෙහි බොහෝ බත්තුළු විසිරිණ. “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශුමණයෝ බත් දෙනු ලබන කල්හි සකසා නොපිළි ගන්නාහු ද, එකි එකී බත්හුළෙක් කර්‍ම සියයෙකින් නිමවේ{1}” යැයි මිනිස්සු අවඥා කරත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. අවඥා කරන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ කථාව භික්‍ෂූහු ඇසූහ. ඉක්බිත්තෙන් භික්‍ෂූහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ) “මහණෙනි, දෙනු ලබන යමක් වැටෙන්නේ නම්, එය තමන් ම ගෙන පරිභෝග කරන්නට අනුදනිමි. එය දායකයන් විසින් පරිත්‍යක්ත එකෙකැ” යි වදාළසේක.
114. එ සමයෙහි එක්තරා මහණෙක් දික් නියවලින් යුතු ව පිඬු පිණිස හැසිරෙයි. එක්තරා ස්ත්‍රියක් එ මහණ දැක “වහන්ස, එන්න, මෙවුන් දම් සෙවිනු මැනැවැ” යි කීවා ය.
මහණ තෙම “බිහිනිය, කම් නැත. එය (අපට) කැප නො වේ” යැ යි කීය.
“වහන්ස, ඉදින් ඔබ මෙවුන් දම් නො සෙවින්නාහු නම්, දැන් මම සිය නියවලින් සිරුරැ අවයව සූරාගෙන ‘මේ මහණ මට හිරිහැර කෙරේ’ යැ යි හඬ නඟන්නෙමි” යි ඕ කීවාය.
“බිහිනිය, තෝ ම එය දැන ගන්නෙහි”යැ යි මහණ කීය.
එවිට ඒ ස්ත්‍රී තමාගේ නියවලින් ශරීරාවයව සූරා ගෙන “මේ මහණ මට හිරිහැර කෙරේ යැ” යි හඬ නැඟුවාය.
මිනිස්සු එ තැනට දිවගොස් ඒ මහණ අල්ලා ගත්හ. ඒ මිනිස්සු ඒ ස්ත්‍රියගේ නියවල සිවිය ද ලේ ද දුටුවාහ. දැක, “මෙය මේ ස්ත්‍රියගේ ම ක්‍රියාවෙක, මේ මහණ වරදකරු නොවේ”යැ යි කියා එ මහණහු මුදාලුහ.
එකල්හි ඒ මහණ අරමට ගොස් භික්ෂූනට මෙ පවත් දැන්වීය.
“කිමෙක් ද ආයුෂ්මත්නි, තෙපි දික් නිය දරුහු දැ?” යි එ මහණහු පුළුවුත්හ.
“එසේ ය, ඇවැත්නි”යි ඒ මහණ කී ය.
යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණින් සතුටු වන්නෝ ද, ලජජීහු ද, කුකුස් කරන්නෝද, ශික්ෂාකාමිහු ද, ඔහු “කෙසේ නම් මහණහු දික් නිය දරන්නාහු දැ’යි අවඥා කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්.
ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, දික් නිය නො දැරිය යුතු. යමෙක් එය දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
115. එ සමයෙහි වනාහි මහණහු නියෙන් ද නිය සිඳිත්, මුවින් ද නිය සිඳිත්, බිත්තියෙහි ද නිය මදිත්, ඇඟිලි රිදුම් සහිත වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, නියසිඳුනාව අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ලේ සහිත කොට නිය සිඳිත්. ඇඟිලි රිදේ.
“මහණෙනි, මාංශප්‍රමාණයෙන් (නියළඟ මස ඉම් කොට) නිය සිඳින්නට අනුදනිමි” යි වදාළසේක.
116. එ සමයෙහි සවැගි මහණහු විසි නිය ඔප මට්ටම් කරවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවඥා කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, විසි නිය ඔප මට්ටම් නො කැරැවිය යුතු. යමෙක් එය කරවන්නේ නම්, දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, (නිය තුළ වූ) මල පමණක් බැහැර කරන්නට අනුදනිමි” යි වදාළසේක.
117. එ සමයෙහි මහණුන්ගේ කෙහෙ දික් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, භික්‍ෂුහු උනුන් කෙහෙ බාන්නට හැකි වෙත් ද?” යි අසා වදාළ සේක.
“හැකි වෙත් වහන්සැ”යි භික්‍ෂූහු කීහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි ලා දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, කරකැත්ත ද කරගල ද කරකොපුව ද කරකැත්ත ඔතන රෙදි කඩ ද සියලු කර බඩු (ඉසකේ රවුළු බෑමට ඇවැසි සෙසු උපකරණ) ද අනුදනිමි” යි වදාළසේක.
118. එ සමයෙහි සවැගි මහණහු (කතුරෙන්) රවුළ (අන්දම් තබා) කපවත්, රවුළ වඩවත්, (එළුරැවුළ සේ) දිගු කොට කපවත්, (උඩින් නලළ දෙ කෙළවර ද යැටින් හනු දෙපැත්තේ දැයි සතර කොන් ඉතිරි ව සිටුනා සේ) රවුළ සතරැස් කොට කපවත්, පපුවෙහි ලොම් බාවත්, බඩෙහි ලොම්වැටිය තබා සෙසු තන්හි ලොම් බාවත්, දැළි රවුළ තබත්. සම්බාධ ස්ථානයෙහි, පුරිස්නිමිති පෙදෙස දෙකිසිලි යන තන්හි) ලොම් බාවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්; දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, රවුළ (අන්දම් තබා) නො කැප්විය යුතු, රවුළ නො වැඩිය යුතු, රවුළ (එළුරවුළු සේ) දික් කොට නො කැප්පිය යුතු; රවුළු සතරැස් කොට නො කැප්වියයුතු, පපුවේ ලොම් නො බෑවියයුතු, බඩෙහි ලොම් වැටිය තබා සෙසු තන්හි ලොම් නොබෑවියයුතු, දැළි රවුළු නො තැබියයුතු සම්බාධ ස්ථානයෙහි ලොම් නො බෑවියයුතු. යමෙක් එසේ කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.” යනු යැ.
119. එ සමයෙහි එක්තරා මහණකුට සම්බාධස්ථානයෙක වණයෙක් වෙයි. බෙහෙත් එහි නො සිටී (නොරැඳෙයි.) භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයයෙන් එ තන්හි ලෙඩක් ඇති කල්හි සම්බාධස්ථානයෙහි ලොම් බාවන්නට අනුදනිමි” යි වදාළ සේක.
120. එ සමයෙහි සවැගි මහණහු කතුරෙන් කෙස් සිඳුවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, කතුරෙන් කෙස් නො සිඳවිය යුතු. යමෙක් සිදැවී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
121. එ සමයෙහි එක්තරා මහණක්හුගේ හිසෙහි වණයෙක් වේ. කරකැත්තෙන් කෙස් බහවන්නට නො හැක්කේය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයයෙන් කතුරෙන් කෙහෙ සිඳුවන්නට අනුදනිමි” යි වදාළ සේක.
122. එ සමයෙහි මහණහු දික් නාසිකා ලෝම දරත්, “පිශාච දරුවන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නැහැයෙහි දික් ලොම් නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය” යි වදාළසේක.
123. එ සමයෙහි මහණහු ගල්කැටින් ද මී ඉටියෙන් ද නැහැ ලොම් ගන්වත් (ගළවවත්.) නාසිකාවෝ රිදෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, අඬුව අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණහු නරකෙස් ගන්වත් (උදුරවත්) “කාමභෝගී ගිහියන් බඳුවහ” යි මිනිස්සු අවමන් කරත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, නරකෙස් නො ගැන්වියයුතු (නො ඉදිරැවියයුතු) යමෙක් ගන්වන්නේ නම් (උදුරවන්නේ නම්) දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
124. එක් සමයෙක එක්තරා මහණකුගේ කන් කන්මලින් වැසුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කන්මල හරනාව (කන්හැන්ද) අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි සවැගි මහණහු රන්මුවා ද රිදීමුවාද කුදු මහත් කන්හැඳි දරත්. “කාමභෝගී ගිහියන් බඳුවහ” යි මිනිස්සු අවමන් කරත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, රන්මුවා ආදි කුදුමහත් කන්හැඳි නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, “ඇටමුවා දත්මුවා අංමුවා නළමුවා හුනමුවා ලීමුවා ලහමුවා පලමුවා ලොහොමුවා සක්නැබමුවා කන්හැඳි දරන්නට අනුදනිමි” යි වදාළසේක.
125. එ සමයෙහි සවැගි මහණහු බොහෝ ලොහො බඩු කස් බඩු (ඊයම් හා තඹ මිශු කොට තැනු) ලෝහයෙන් කළ (බඩු) රැස් කරති. මිනිස්සු විහාරවාරිකාව කරන්නාහු ඒ දැක, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ලොහො බඩු වෙළෙන්දන් සේ කෙසේ නම් ලොහො බඩු කස්බඩු රැස් කෙරෙත් දැ? යි අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ලොහොබඩු කස්බඩු නො රැස් කළයුතු. යමෙක් කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු අඳුන්නළ ද අඳුන් කුරු ද කන්හැඳි ද (වෑ ආදියේ) මිටු ද දැරීමෙහි කුකුස් කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අඳුන් නළය ද අඳුන් කුර ද කන්හැන්ද ද වෑ ආදියට මිට ද අනුදනිමි” යි වදාළසේක.
126. එ සමයෙහි සවැගි මහණහු චීවර පල්ලත්‍ථිකායෙන් හිඳිත්, සඟළසිවුරේ පත් (වාටි) පලුදු වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“මහණෙනි, සංඝාටි පල්ලත්‍ථිකායෙන් නො හින්දැයුතු යමෙක් එසේ ඉඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. ඔහුට ආයොගපට නැති වැ පහසු නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, ආයොගපට අනුදනිමි” යි වදාළසේක.
එ කල්හි මහණුනට “ආයොගපට කෙසේ නම් වියැයුතු ද?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, හු ඔතන දණ්ඩ ද වියන දණ්ඩ ද වට ලීය ද නඩාව ද සියලු වියන උපකරණ ද අනුදනිමි” යි වදාළ සේක.
127. එ සමයෙහි එක්තරා මහණෙක් කාබහන නැති ව ගමට පිඬු පිණිස පිවිසියේ ය. වීදියේදී ඔහුගේ හඳනය ගිලිහී වැටුණේ ය. මිනිස්සු ඔල්වර හඬ දුන්හ. ඒ මහණ නිසෙතජසක විය. ඉක්බිති එ මහණ අරම් ගොස් මහණුනට මෙ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කාබහන නැති ව ගමට නො පිවිසියයුතු. යමෙක් පිවිසෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි කාබහන අනුදනිමි” යි වදාළ සේක.
128. එ සමයෙහි සවැගි මහණහු බොහෝ රැහැන් ඇති කාබහන දියබරණ හිසක් බඳු සටහන් ඇති කාබහන මිහිඟු බෙර වැටියක් කොට වෙළු සේ කාබහන හවඩියක් බඳු කොට ගෙතූ කාබහන දැයි කුදු මහත් කාබහන් දරත්. කාමභෝගී ගිහියන් බඳුවහ’ යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, බොහෝ රැහැන් ඇති කාබහන ද දියබරණ හිස් බඳු සටහන් ඇති කොට වියූ කාබහන ද මිහිඟු බෙරවැටියක් සේ කොට වෙළා සෑදු කාබහන ද හවඩියක් බඳු කාබහන දැ යි යන කුදු මහත් කාබහන් නො දැරියයුතු, යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, පට්ටිකාව ද සූකරන්තකය ද යන කාබහන දෙක අනුදනිමි” යි වදාළ සේක.
කාබහෙන් දහවලු දිරයි. “මහණෙනි, මිහිඟු බෙර වැටියක් සේ වෙළා සැදූ කාබහන ද හවඩියක් වැනි පටිය ද අනුදනිමි” යි වදාළ සේක.
කාබහනේ කෙළවර දිරයි. “මහණෙනි, වෙළා මුවවිට මැඩීම ද මිහිඟුබෙර වැටියෙක සටහනින් විවීම ද අනුදනිමි” යි වදාළ සේක.
කාබහනේ පාසය කෙළවර දිරයි. “මහණෙනි, වීඨය අනුදනිමි” යි වදාළ සේක.
129. එ සමයෙහි සවැගි මහණහු රන්මුවා රිදීමුවා කුදුමහත් වීඨයන් දරත්. මිනිස්සු ‘කාමභෝගී ගිහීන් බඳුවහ’යි අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.