Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 1701-1800 න් 3843

සක්මන්හලෙහි තණසුණු වැටෙයි. “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් සුදු පැහැ වූ හෝ කළු පැහැ වූ හෝ බදාම ආලේප කරන්නට, ගුරු පැහැයෙන් පිරියම් හෝ කරන්නට, මාලාකම් ලතාකම් කරන්නට මෝරදැති හෝ අඳින්නට, දෑහිඟුල් ඈ පස් පැහැයෙන් වර්‍ණවත් කරන්නට ද අනුදනිමි. එහි සිවුරු වනා තබන්නට දණ්ඩක් ද සිවුරු වනන්නට රැහැනක් ද අනුදනිමි” යි වදාළසේක.
81. ගිනිහල් ගෙය පහත් බිමක ඇත්තේ වෙයි. දියෙන් වැතිරේ (යට වේ). “මහණෙනි, උස් බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක. බිම උස් කරන්නට ගොඩ ගසන ලද පස් රැස කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළුයෙන් කළ බැම්ම ද ගලින් කළ බැම්ම ද ලීයෙන් කළ බැම්ම ද යි බැඳුම් තුනක් රැස් කොට බඳින්නට අනුදනිමි” යි වදාළ සේක.
එය නඟින්නාහු වෙහෙසෙත්. “මහණෙනි, ගඩොළු හිණ, ගල් හිණ, දඬු හිණ යන හිණි (පඩිපෙළ) තුන අනුදනිමි” යි වදාළ සේක.
හිණෙහි නැහෙන්නාහු ඇද වැටෙත්. “මහණෙනි, අත්වැල (ගරාදිවැට) අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල්ගෙට කවුළුවෙක් නො වෙයි. “මහණෙනි, කවුළුව ද දොරබාව ද උදුක්ඛලිකාව ද උත්තරපාසකය ද අගුළුවැටිය ද කපිසීසකය ද සූචිකාව ද ඝටිකාව ද කෙසිසිදුර ද අදිනා ලනුව බහාලන සිදුර ද අදිනා ලනුව ද අනුදනිමි” යි වදාළ සේක.
82. ගිනිහල් ගෙයි බිතුපා දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, මණ්ඩලිකාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල් ගෙට දුම් පිට වන සිදුරෙක් නැත. “මහණෙනි, දුම් පිට වන සිදුරක් (තනන්නට) අනුදනිමි” යි වදාළසේක.
83. එ සමයෙහි වූ කලි මහණහු කුඩා ගිනිහලෙහි මැද උදුන තනත්, එයට උපචාරයෙක් (වටා ඉඩෙක්) නො වෙයි. “මහණෙනි, කුඩා ගිනිහල්ගෙහි එක් පසෙකත් මහත් ගිනිහල් ගෙහි මැදත් උදුන තනන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල් ගෙහි ගින්න මුහුණ දවයි. “මහණෙනි, මුහුණ අලවන මැටි අනුදනිමි” යි වදාළසේක.
අතෙහි මැටි තෙමත්, “මහණෙනි, මැටි ඔරුවක් අනුදනිමි” යි වදාළසේක.
මැටි දුගඳ වේ. “මහණෙනි, මැට්ටෙහි සුවඳ කවන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල් ගෙහි ගින්න කය දවයි. “මහණෙනි, ගිනිහල් ගෙය තුළට තලිය ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
තලියෙන් ද පාත්‍රයෙන් ද දිය (ගිනිහල් ගෙයැ) ඇතුළට ගෙන යෙත්, “දිය තබන බඳුනක් ද (දියමලාවක් නෑබිලියක් ද) අනුදනිමි” යි වදාළසේක.
84. තණපියස්ස (පිදුරුපියස්ස) ගිනිහල් ගෙය තණකොළ විසුරුවා ලීමෙන් හැඩි කෙරෙයි. (තණපියස්සේ තණකොළ (පිදුරු) වැටීමෙන් ගිනිහල් ගෙය( බිම හැඩි වෙයි.) “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළත පිටත බදාම ආලේප කරන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල් ගෙය මඩ සහිත වෙයි. “ගඩොළු ඇතුරුම ගල් ඇතුරුම දඬු ඇතුරුම යන ඇතුරුම් තුන අනුදනිමි” යි වදාළ සේක. (එහෙත්) මඩ සහිත ම වේ. “මහණෙනි, (බිම) සෝදන්නට අනුදනිමි” යි වදාළසේක.
දිය රැඳී සිටී. “මහණෙනි, දිය පිටව යන්නට සොරොව්වක් අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු ගිනිහල් ගෙහි බිමැ හිඳිත්. ගාත්‍රයෝ (ශාරීරායවයෝ) කසත්. “මහණෙනි ගිනිහල් පුටුවක් අනුදනිමි” යි වදාළසේක.
85. එ සමයෙහි ගිනිහල් ගෙය (කිසිවෙකිනුත්) වටින් නො අවුරන ලද්දේ වෙයි. “මහණෙනි, ගඩොළු පවුර, ගල්පවුර, දඬු පවුර (ලීවැට) යන තුන් පවුරු වටා ලන්නට අනුදනිමි” යි වදාළ සේක.
දොරැ කොටුවෙක් නො වෙයි. “මහණෙනි, කොටුවක් අනුදනිමි” යි වදාළ සේක.
කොටුව පහත් බිමක් ඇත්තේ වෙයි. දියෙන් යට වෙයි. “මහණෙනි, උස් බිම් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
බිම උස් කරන්නට ගොඩ ගැසූ පස ගිලිහී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල්බැම්ම, දඬුබැම්ම යන තුන් බැඳුම් ගොඩවල් අනුදනිමි” යි වදාළ සේක.
(දොරැ කොටුවට) නඟින්නාහු වෙහෙසෙත්, “ගඩොළු හිණ ගල් හිණ දඬුහිණ යන හිණි තුන අනුදනිමි” යි වදාළ සේක.
(දොරැ කොටුවට) නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
දොරැ කොටුවට කවුළුවෙක් නො වෙයි. “මහණෙනි, කවුළුව, දොරබාව, වටෙවුලීය, උතුරුලීය දොරපොල්ල, අගුළුකණුව, යතුරු ලීය, තරංකය, කෙසි සිදුර, අදිනා ලනුව බහාලන සිදුර, අදනා ලනුව අනුදනිමි” යි වදාළ සේක.
කොටුවෙහි තණසුණු (පිදුරුරොඩු) ගිලිහී වැටෙයි “මහණෙනි, ඝණ ලී අතුරා සුදුපැහැති හෝ කළු පැහැති හෝ බදාම ආලේප කරන්නට ගුරුපිරියම් කරන්නට, (එහි) මාලාකර්‍ම ලතාකර්‍ම මකරදන්තක (මුවරදැති සටහන්) පඤ්චපටිකා (දැහිඟුල් ඈ පස්වණක්පැහැ) කරන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
“(ගිනිගල් ගෙය වටා ලූ පවුරෙන්) ඇතුළත බිම මඩ සහිත වෙයි. කුඩා ගල් කැබැලි (බොරළු) ඉසිරුවන්නට අනුදනිමි” යි වදාළ සේක.
ගල් කැබැලි නො සෑහෙයි, “මහණෙනි, ගල්පුවරු බහා ලන්නට අනුදනිමි” යි වදාළ සේක. (එහෙත්) දිය රැඳී සිටි. “මහණෙනි, සොරොව්වක් අනුදනිමි” යි වදාළ සේක.
86. එ සමයෙහි මහණහු තුමූ නග්න වූවාහු නග්න මහණක්හු වඳිත්. නග්නවූවාහු අනෙකකු ලවා නග්න මහණකුට වන්දවත්. නග්න වූවාහු නග්න මහණකුට සිරුරු පිරියම් කරත්, නග්න වූවාහු නග්නමහණකුට සිරුරු පිරියම් කරවත්. නග්න වූවාහු නග්න මහණකුට (ආහාරාදිය) දෙත්. නග්න වූවාහු පිළිගනිත්. නග්න වූවාහු කත්, නග්න වූවාහු බුදිත්, නග්න වූවාහු රස විඳිත්. නග්න වූවාහු බොත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, නග්න වැ නග්නයෙක් නො වැන්ද යුතු, නග්න වැ නග්නයකු වඳිනේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. නග්නයෙක් නග්නයකු ලවා නො වැන්දවියැ යුතු ... තමා නග්න වැ කවරෙක් හෝ නො වැන්ද යුතු ... නග්නයකු ලවා නො වැන්දවියයුතු ... නග්න වූවහු විසින් නග්නයකුහට පිරියම් නො කටයුතු ... නග්න වූවහු විසින් නග්නයකුට පිරියම් නො කැරැවියයුතු ... නග්න වූවහු විසින් නග්නයක්හට (කිසිත්) නො දියැයුතු ... නග්න වැ නො පිළිගතයුතු ... නග්න වැ නො කෑයුතු ... නග්න වැ නො බුදියයුතු ... නග්න වැ රස නො වින්ද යුතු ... නග්න වැ නො පියැ යුතු. යමෙක් බොන්නේ නම්, දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
87. එ සමයෙහි වනාහි මහණහු ගිනිහල්ගෙහි බිම සිවුරු තබත්. සිවුරු පස් තැවරුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිනිහල්ගෙහි සිවුරු එල්ලා තබන්නට ලීයක්ද සිවුරු රැහැනක් ද අනුදනිමි” යි වදාළ සේක.
වැසි වස්නා කල්හි සිවුරු තෙමෙයි. “මහණෙනි, ගිනිහල් ගෙට සිවුරු තබන්නට ශාලාවක් අනුදනිමි” යි වදාළ සේක.
ගිනිහල්ගෙයි සිවුරු තබන ශාලාව පහත් බිමක් ඇතියේ වෙයි. වතුරට යට වෙයි. “මහණෙනි, උස් බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
බිම උස්කරන්නට ගොඩ ගැසූ පස් ගිලිහී වැටීයෙයි. “මහණෙනි ... තුන් බැඳුම් බඳින්නට අනුදනිමි” යි වදාළ සේක. නඟින්නාහු වෙහෙසෙත්. නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
ගිනිහල් ගෙහි සිවුරු තබන ශාලායෙහි තණරොඩු ගිලිහී වැටෙයි “මහණෙනි, පියස්ස ඝන ලී යොදා තනා, සුදුපැහැති කොට, කළු පැහැති කොට, ගුරු පිරියම් ඇති කොට හෝ ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට, එහි මාලාකම්, ලතාකම්, මකරදන්තක චිත්‍ර පඤ්චපටිකා හෝ කරන්නට අනුදනිමි ... සිවුරු එල්ලන ලීයක් ද සිවුරු එල්ලන රැහැනක් ද අනුදනිමි “යි වදාළ සේක.
එ සමයෙහි මහණහු නග්න වැ ගිනිහල් ගෙහි ද දියෙහි ද (සිරුරු) පිරියම් කරන්නට කුකුස් කරත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිනිහල්ගෙට පිවිසීම නමැති වැස්ම ද දියට බැසීම නමැති වැස්ම ද වස්‍ත්‍රයෙන් ඇඟ වසාගැන්ම නමැති වැස්ම දැ යි තුන් වැසුම් අනුදනිමියි” වදාළ සේක.
88. එ සමයෙහි ගිනිහල්ගෙහි ජලය නැත. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ළිඳක් අනුදනිමි” යි වදාළ සේක.
ළිඳේ ඉවුර කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල් බැම්ම, දඬුබැම්ම, යන බැඳුම් තුන අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ළිඳ පහත් බිමක් ඇතියේ වෙයි. දියෙන් වැසෙයි. “මහණෙනි, උස් බිම් ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා බිම උස්සන්නට) අනුදනිමි” යි වදාළ සේක.
ගොඩ ගැසූ පස් රැස ඇද හැලෙයි ... එයට නඟින්නාහු වෙහෙසෙත් ... නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල (ගරාදිවැට) අනුදනිමි” යි වදාළ සේක.
89. එ සමයෙහි මහණහු වැලින් ද කාබහනින් ද (කයැ බඳනා පටියෙන් ද) දිය අදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, දිය අදනා කඹයක් අනුදනිමි” යි වදාළ සේක.
අත් පෙළෙන්නෝ වේ. “මහණෙනි, තුලාව (ආඬියා) ද කරකටකය ද (අතින් හෝ ගවයන් ලවා හෝ ඈතට ඇදගෙන යෑමෙන් දිය අදනා යන්ත්‍රය ද) චක්‍රවර්තය (ඝටී යන්ත්‍රය) ද අනුදනිමි” යි වදාළ සේක.
බොහෝ බඳුන් බිඳේ. “මහණෙනි, ලොහොමුවා කළය ද දඬුමුවා කළය ද සම් කඩින් කළ භාජනය ද යන තුන් කළ අනුදනිමි” යි වදාළ සේක.
90. එ සමයෙහි මහණහු එළිමහන් බිමෙහි දිය අදනාහු (ශීත ඍතුයෙහි) ශීතයෙන් ද (උෂ්ණ ඍතුයෙහි) උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට , මෙ පවත් සැලකළහ. “මහණෙනි, ළින් හලක් අනුදනිමි’ යි වදාළ සේක.
ළින්හලෙහි තණරොඩු වැටෙයි. “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් බදාම ආලේප කරන්නට, සුදු පැහැ කළු පැහැ කරන්නට, ගුරු පිරියම් කරන්නට, මල්කම් ලියකම් කරන්නට, මුවරදැති හෝ සිතියම් කරන්නට, දෑහිඟුල් ආදියෙන් පස් වණක් පැහැ කරන්නට” අනුදනිමි. සිවුරු වනන දණ්ඩ ද සිවුරු වනන ලනුව ද අනුදනිමි” යි වදාළ සේක.
ළිඳ නො වසන ලද්දේ වේ. තණරොඩු වලින්ද දූවිල්ලෙන් ද වැසෙයි. “මහණෙනි, (ළිඳ වසා තබන්නට) වැස්මක් (පියනක්) අනුදනිමි” යි වදාළ සේක.
ළින්හලෙහි දියබඳුනෙක් නැත. “මහණෙනි, දියඔරුව ද දිය කටාරම ද අනුදනිමි” යි වදාළ සේක.
91. එ සමයෙහි මහණහු අරමෙහි ඒ ඒ තැන නාත්. අරම මඩ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, (නාන පිණිස) වළක් අනුදනිමි” යි වදාළ සේක.
නාන වළ වටින් නො හැවුරුණේ වෙයි. මහණහු නාන්නට ලජ්ජිත වෙත්. “මහණෙනි, ගඩොළු පවුර, ගල් පවුර, දඬුපවුර, යන පවුරු තුන අනුදනිමි” යි වදාළ සේක.
නාන වළ මඩ සහිත වෙයි. “මහණෙනි, ගඩොළු ඇතුරුම, ඇතුරුම, ලී ඇතුරුම යන තුන් ඇතුරුම් අනුදනිමි” යි වදාළ සේක.
දිය ගලා නො ගොස් රැඳෙයි. “මහණෙනි, දිය ගලා යනු පිණිස සොරොව්වක් (තනන්නට) අනුදනිමි” යි වදාළ සේක.
92. එ සමයෙහි භික්‍ෂුන්ගේ සිරුරු ශීතල වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, දිය පිසිනා රෙදි කඩෙකින් පිස දිය ඉවත් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි එක්තරා උවසුවෙක් සඞ්ඝයා සඳහා පොකුණක් කරවනු කැමැත්තේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, පොකුණක් අනුදනිමි” යි වදාළ සේක.
පොකුණේ ඉවුර කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල් බැම්ම, දඬු බැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළ සේක.
නඟින්නාහු වෙහෙසෙත්. “මහණෙනි, ගඩොළුහිණ ද ගල් හිණ ද දඬුහිණ ද යන හිණ තුන අනුදනිමි” යි වදාළ සේක.
නඟින්නාහු වැටෙත්. “මහණෙනි, ඇත්වැලක් (ගරාදි වැටක්) අනුදනිමි” යි වදාළ සේක.
පොකුණෙහි දිය පරණ වෙයි. “මහණෙනි, (පිටතින්) දිය ගලා ඊමට ඇළක් ද දිය පිට වීමට සොරොව්වක් ද අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි එක්තරා මහණෙක් සඞ්ඝයාගේ පුයෝජනය පිණිස කැණිමඬල වටා සතරැස් පුවරු ආදිය සවිකොට කළ පියසි සහිත ගිනිහල් ගෙයක් කරන්නට කැමැති වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, කැණිමඬල වටා සතරැස් පුවරු ආදිය තබා කළ පියැසි සහිත ගිනිහල්ගෙය අනුදනිමි” යි වදාළ සේක.
93. එ සමයෙහි සවග මහණහු සාරමසක් හිඳිනා කඩෙන් වෙන් වැ වෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, සාරමසක් හිඳින කඩින් වෙන් වැ නො විසියැ යුතු, යමෙක් (එසේ) එයින් වෙන් වැ වසන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
94. එ සමයෙහි සවග මහණහු මල් විසුළ යහන්හි වැදහොත්. මිනිස්සු විහාර චාරිකායෙහි ඇවිදුනාහු එය දැක “කාමභෝගී ගිහියන් බඳුහ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ කතා පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, මල් විසුළ යහන්හි නො සැතැපියැ යුතු. යමෙක් එහි සැතැපෙන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි මිනිස්සු සුවඳ දෑ ද මල් ද ගෙන ආරාමයට එත්. මහණහු කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, සුවඳ දෑ පිළිගෙන කවුළුයෙහි (දොර පළුවෙහි) පසඟුල් දෙන්නට ද මල් පිළිගෙන වෙහෙරෙහි එක් පැත්තෙක තබන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
95. එ සමයෙහි සඞ්ඝයාට නමතකයෙක් (එළුලොමින් කළ නො වියන ලද ඇතිරියක් හෝ සම්කඩක් සේ පරිභෝග කළ යුතු උපකරණයෙක්) උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ බවත් සැලකළහ. “මහණෙනි, නමතකය අනුදනිමි” යි වදාළ සේක.
එ කල්හි මහණුනට ‘නමතකය ඉටියැ යුතු ද නොහොත් විකැපිය යුතු ද’ යි මේ සිත විය. “මහණෙනි, නමතකය නො ඉටියැ යුතු, නො ද විකැපියැ යුතු යැ’ යි වදාළ සේක.
එ සමයෙහි සවග මහණහු තමෙන් හෝ රිදියෙන් කළ පේලායෙහි (පෙට්ටියක් වැනි උපකරණයෙක්හි) වළඳත්. මිනිස්සු “මොහු කාමභෝගී ගිහියන් බඳුවහ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. මහණෙනි, තඹින් හෝ රිදියෙන් කළ පේළායෙහි නො වැළඳිය යුතු යැ’ යි වදාළ සේක.
96. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. හේ වළඳනුයේ අතින් පාත්‍රය දරා ගන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, දණ්ඩකාධාරකයක් (ලීයෙන් කළ පාත්‍රාධාරකයක්) අනුදනිමි’ යි වදාළ සේක.
97. එ සමයෙහි සවග මහණහු එක් බඳුනෙහි වැළඳීම ද කරත්, එක් තලුතැටියෙහි පැන් පීම ද කෙරෙත්, එක් ඇඳෙහි වැද හෝනාහු ද වෙත්, එක් ඇතිරියක් ඇත්තාහු ද (එක් ඇතිරියෙහි ද) වැදහොත්, (සැතපෙත්) එක් පොරෝනාවක් ඇත්තාහු ද වැදහොත් (සැතපෙත්). ‘කාමභෝගී ගිහියන් බඳුවහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, එක් බඳුනෙහි නො වැළඳියැ යුතු, එක් තලු තැටියෙහි නො පියැ යුතු, එක් ඇඳෙහි නො වැදැහියැයුතු, එක් ඇතිරියක් ඇත්තවුන් වැ නො වැද හියැයුතු, එක් පොරෝනාවක් ඇත්තවුන් වැ නො වැදැහියැ යුතු, එක් ඇතිරියක් එක් පොරෝනාවක් ඇත්තවුන් වැ නො වැද හියැ යුතු, යමෙක් එසේ වැදහොන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
98. එ සමයෙහි වඩ්ඪ නම් ලිචඡවී තෙම මෙත්තිය භූම්මජක යන භික්‍ෂුදෙනමගේ යහළුවෙක් වෙයි. එ කලැ වඩ්ඪ ලිචඡවී තෙම මෙත්තිය භූම්මජක දෙ නම කරා එළැඹියේ ය. එළැඹ, ‘ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කීය. මෙසේ කී කල මෙත්තිය භූම්මජක දෙ නම කිසිත් නො කීහ. දෙවෙනි වර ද වඩ්ඪ ලිචඡවී තෙම ‘ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කී ය. දෙවෙනි වර ද මෙත්තිය භූම්මජක දෙ නම කිසිත් නො කීහ. තෙවෙනි වර ද වඩ්ඪ ලිචඡවී තෙම ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කී ය. තෙවෙනි වර ද ඔහු නිහඬ වූහ. ‘ආර්‍ය්‍යයනට මම් කවර වරදක් කෙරෙම් ද? කුමට ආර්‍ය්‍යයෝ මට නො දොඩත් දැ?’ යි හේ ඇසී ය. “එසේ ම ය, ඇවැත් වඩ්ඪයිනි, මල්ලරාජපුත්‍ර දබ්බයා විසින් පෙළනු ලබන අප නො තකා උදාසීන වූහු” යැ යි ඔහු කීහු.
‘ආර්‍ය්‍යයෙනි, මම් කුමක් කරන්නෙම් දැ?’ යි. වඩ්ඪ පුළුවුත.
‘ඉදින් වඩ්ඪයෙනි, තෙපි කැමැති වන්නහු නම්, අද ම භාග්‍යවතුන් වහන්සේ මල්ලපුත්‍ර දබ්බයා මෙ සස්නෙන් පලවා හරින්නේ යැ’ යී ඔහු කීහ.
‘ආර්‍ය්‍යයෙනි, මම් කුමක් කරන්නෙම් ද? කුමක් මා විසින් කරන්නට හැකි දැ?’ යි. වඩ්ඪ පුළුවුත.
“ඇවැත් වඩ්ඪයිනි, තෙපි මෙහි එවු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹැ, ‘වහන්ස, යම් දිසාවක් බිය නැති, පීඩා නැති, උවදුරු නැති වියැ යුතු ද, ඒ මේ දිශාව බිය සහිත ද පීඩා සහිත ද උවදුරු සහිත ද වෙයි. යම් දෙසෙක මඳකුත් සුළං නැත් ද එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. මල්ල පුත්‍ර දබ්බයන් වහන්සේ විසින් මගේ භාර්‍ය්‍යාව දූෂිත විය. වහන්ස, මෙය නො නිසි ය, මෙය නො සුදුසු යැ’ යි කියන්නැ” යි ඔහු කීහු,
‘එසේ යැ ආර්‍ය්‍යයෙනි’ යි කියා වඩ්ඪ ලිච්ඡවී තෙම මෙත්තිය භූම්මජක මහණුනට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හුන්නේ ම “වහන්ස, යම් දිශාවක් බිය නැති, පීඩා නැති, උවදුරු නැති වියැ යුතු ද ඒ මේ දිශාව බිය සහිත ද පීඩා සහිත ද උවදුරු සහිත ද වෙයි. යම් දෙසෙක මඳකුත් හුළං නැද්ද, එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. මල්ලපුත්‍ර දබ්බයන් වහන්සේ විසින් මගේ භාර්‍ය්‍යාව දූෂිත විය. වහන්ස, මෙය නො නිසි යැ. මෙය නො සුදුසු යැ” යි භාග්‍යවතුන් වහන්සේට කීය.
එ කලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා, ආයුෂ්මත් දබ්බ තෙරුන් බණවා, “දබ්බයිනි, මේ වඩ්ඪ ලිච්ඡවීන් කියන සේ වූ දැයක් තෙපි සිහි කරවු ද?” යි පුළුවුත් සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද මම් එබඳුයෙමි” යි ආයුෂ්මත් දබ්බ තෙරණුවෝ වදාළාහ.
භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද ... තෙවෙනි වර ද “දබ්බයිනි, මේ වඩ්ඪ ලිච්ඡවීන් කියන සේ වූ දැයක් කළා තෙපි සිහි කරවු දැ?” යි පුළුවුත් සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද මම් එසේ වෙමි” යි දබ්බ තෙරණුවෝ වදාළාහ.
“දබ්බයෙනි, නුවණැත්තෝ මෙසේ අවුල් නිරවුල් නො කරත්, ඉඳින් තොප විසින් කරන ලද්දේ නම් ‘කරන ල දැ’ යි කියවු. ඉඳින් නො කරන ලද්දේ නම්, ‘නො කරන ල දැ’ යි කියවු” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, මම් , යම් දිනෙක (ආර්‍ය ජාතියෙහි) උපන්නෙම් ද, එ තැන් සිට ස්වප්නාන්තයෙනු දු මෙවුන්දම් සෙවියෙකිමි යි නො දනිමි. නින්දෙන් පිබිද සිටින්නෙම් (එබන්දක් කෙළෙම් යැ) යනු කියනුම කවරේ දැ” යි තෙරණුවෝ වදාළාහ.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිචඡවී හට පත්තනික්කුජ්ජනය (පාත්‍රය යැටිකුරු කිරීම - ඔහුගේ ගෙයින් භික්‍ෂාව නො පිළිගැන්මේ සම්මතිය) කෙරේවා, ඔහු සංඝයා හා සම්භෝග නැත්තකු කෙරේවා (ඔහු දුන් දැයක් සංඝයා විසින් නො පිළිගත යුතු සේ වූ කෙනකු ලෙස සම්මත කෙරේවා). මහණෙනි, අඞ්ග අටෙකින් සමන්‍විත උපාසකයාට පත්තනික්කුජ්ජනය කළයුතු. (කවර අටකින් ද යත්:) භික්‍ෂූනට අලාභය පිණිස (ලැබෙන දෑ වළක්වන්නට) උත්සාහ කෙරෙයි ද, භික්‍ෂූනට අනර්‍ත්‍ථ පිණිස උත්සාහ කෙරෙයි ද, භික්‍ෂූනට ඔවුන් (වසනා තැන) නො විසීම පිණිස ප්‍රයෝග කෙරෙයි ද, භික්‍ෂූනට ආක්‍රෝශ පරිභව කෙරෙයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් බිඳුවයි ද, බුදුනට දොස් නගයි ද, ධමීයට දොස් නගයි ද, සඞ්ඝයාට දොස් නගයි ද මේ අඞ්ග අට ය. මහණෙනි, මේ අඞ්ග අටින් සමන්‍විත උපාසකයාට පත්තනික්කුජ්ජනය කෙරේවා.
තවද මහණෙනි, මෙ මතු කියන පරිද්දෙන් පත්තනික්කුජ්ජනය කළ යුතු: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වීයැ යුතු:
“සඞ්ඝයා මගේ වචනය අසාවා. වඩ්ඪ ලිච්ඡවි තෙමේ ආයුෂ්මත් මල්ලපුත්‍ර දබ්බ තෙරුනට අමූලක වූ ශීලවිපතතියෙන් චෝදනා කෙරෙයි. ඉදින් සඞ්ඝයාට සුදුසු කල් වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන්නේ ය සඞ්ඝයා හා සමෙහාග නැත්තකු කරන්නේ ය.” මේ ඥප්තිය (දැනුම්දීම) යැ.
“වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. වඩ්ඪ ලිච්ඡවී තෙමේ ආයුෂ්මත් මල්ලපුත්‍ර දබ්බ තෙරුනට අමූලක ශීලවිපතතියෙන් චෝදනා කෙරෙයි. සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කෙරෙයි. ඔහු සඞ්ඝයා හා සමෙහාග රහිතයක්හු කරයි. වඩ්ඪ ලිච්ඡවියාට පනතනික්කුජජනය කිරීම, ඔහු සඞ්ඝයා හා සමෙහාගය නැත්තක්හු කිරීම යම් ආයුෂ්මතකුට රිසියෙන්නේ නම් හේ නිහඬවේවා. යමකුහට නො රිසියෙන්නේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට සඞ්ඝයා හා සමෙහාගය නැති පත්තනික්කුජ්ජනය කරන ලද්දේ වෙයි. එය සචහයාට රිසියෙයි, එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි (පිළිගනිමි)” යනු යැ.
99. එ කල්හි වනාහි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු සෙමෙහි හැඳ පෙරෙව ගෙන පාසිවුරු ගෙන වඩ්ඪ ලිවජවීහුගේ ගෙය වෙත එළඹුණාහ. එළැඹ වඩ්ඪ ලිචඡවියා බණවා, “ඇවැත් වඩ්ඪයිනි, සඞ්ඝයා විසින් ඔබට පත්තනික්කුජ්ජනය කරන ලදි. ඔබ , සඞ්ඝයා හා සමෙහාග නැත්තෙක් කරන ලදහ” යි වදාළාහ. එ කල්හි වඩ්ඪ ලිචඡවී තෙම “සඞ්ඝයා විසින් මට පත්තනික්කුජ්ජනය කර්‍මය කරන ලද්දේ ල, සඞ්ඝයා හා සමෙහාග නැතියෙකිම් වෙමි” යි කියා එහි ම මුසපත් වැ වැටිණ. ඉක්බිති වඩ්ඪ ලිචඡවීහුගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑසහලේ නෑයෝ ද වඩ්ඪ ලිචඡවියා බණවා, “ඇවැත් වඩ්ඪයිනි, ශෝක නො කරන්න, නො හඬන්න. අපි භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසඞ්ඝයා ද පහදවන්නම්හ” යි කීහ.
ඉක්බිත්තෙන් වඩ්ඪ ලිචඡවී තෙම අඹුදරුවන් සහිත වැ, මිත්‍රාමාත්‍යයන් සහිත වැ, නෑසහ ලේ නෑයන් සහිත වැ තෙත් වස්ත්‍ර ඇතියේ තෙත් කෙහෙ ඇතියේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ පාමුල හිසින් වැටී වැඳ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු වූ මම් ආර්‍ය වූ මල්ලපුත්‍ර දබ්බ තෙරුන් වහන්සේට අමූලක වූ ශීලවිපතතියෙන් චෝදනා කෙළෙම් ද, එසේ චෝදනා කළ හැකි පමණට ම මහත් අඥානයකු වූ බැවින්, එ පමණට ම මහත් සේ මුළා වූවකු බැවින්, එ පමණට ම කෞශල්‍ය නැත්තකු වූ බැවින් වරද මා ඉක්මැ ගියේ ය. (මම එ බඳු වරදකට යට වීමි). භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මතු එබඳු දැයින් වළකිනු පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක්වා (එය මාගේ වරද යැ යි මා කියන වචනය පිළිගන්නා සේක්වා)” යි. මේ වචන කී ය.
“ඇවැත් වඩ්ඪයිනි, යම් බඳු වූ තෙපි යම් හෙයෙකින් මල්ලපුත්‍ර දබ්බයනට අමූලක ශීලවිපතතියෙන් චෝදනා කළහු ද, එහෙයින් ම ඒ වරද එසේ කිරීමට තරම් ම අඥාන වූ මුළා වූ කෞශල්‍ය රහිත වූ තොප ඉක්මැ ගියේ ය. ඇවැත් වඩ්ඪයිනි, යම් හෙයෙකින් ම තෙපි වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි (එයට) ප්‍රතිකර්‍ම කරවු ද එහෙයින් අපි තොපගේ ඒ (වරද පිළිගැන්මේ) වචනය පිළිගනිමු. වඩ්ඪයිනි, යමෙක් (තමා කළ) වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි එයට පිළියම් කරන්නේ නම්, මත්තෙහි සංවරයට පැමිණෙන්නේ නම්, මෙය ආර්‍ය විනයයෙහි වැඩීමෙකැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිචඡවී හට පත්තඋක්කුජ්ජනය කෙරේවා (පත්තනික්කජජ්න කර්‍මය අවලංගු කෙරේ වා) ඔහු සඞ්ඝයා සමෙහාගය ඇත්තකු කෙරේවා. මහණෙනි, අංග අටෙකින් සමන්‍විත උපාසකයාට පත්තඋක්කුජ්ජන කර්‍මය කළයුතු. (කවර අඞ්ග අටෙකින් සමන්විතයාට ද යත්:) භික්‍ෂූනට අලාභය පිණිස තැත් නො කෙරේ ද, භික්‍ෂූනට අවැඩ පිණිස ප්‍රයෝග නො කෙරේ ද, භික්‍ෂූන් වසන තැනින් නෙරැපීම පිණිස ප්‍රයෝග නො කෙරේ ද, භික්‍ෂූනට ආක්‍රෝශ නො කෙරේ ද පරිභව නො කෙරේ ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් නො බිඳුවා ද, බුදුනට දොස් නො නඟා ද, දහමට දොස් නො නඟා ද, සඟනට දොස් නො නඟා ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් උපාසකයාට පත්තඋක්කුජ්ජනය කරන්නට (පත්තනික්කුජ්ජන කර්‍මයෙන් ඔහු නිදහස් කරන්නට) අනුදනිමි” යනු යි.
මහණෙනි, පත්ත උක්කුජ්ජන ය වනාහි මෙසේ කළයුතු: මහණෙනි, ඒ වඩ්ඪ ලිච්ඡවීන් විසින් සඞ්ඝයා කරා එළැඹ, උතුරු සළුව සකස් කොට භික්‍ෂුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ගෙන “වහන්ස, මට සඞ්ඝ තෙමේ පත්තනික්කුජ්ජන කෙළේ යැ. සඞ්ඝයා හා සමෙහාග නැත්තෙක් (කරන ලද්දෙම්) වෙමි. වහන්ස, ඒ මම් මනාව පවතිමි. ලොම් හෙළමි (යටත් පහත් ව පවතිමි). නිස්තරණය පිණිස (මට පැනවූ දඬුවමින් මිදෙනු පිණිස) කළයුතු දෑ කරමි. සඞ්ඝයා ගෙන් පත්තඋක්කුජ්ජන ය ඉල්ලමි” යි මෙසේ කියැයුතු වන්නේ ය. දෙවෙනි වර ද තෙවෙනි වර ද මෙසේ ම යාච්ඤා කළයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා ගේ වචනය අසාවා. සඩඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන ලද්දේ ය, සඞ්ඝයා හා සමෙහාග නැතියෙක් කරන ලද්දේ ය. හේ මනා වැ පවතී. අනුලොම් වැ (යටත් පහත් වැ-වචනයට අවනත වැ) පවතී: නිස්තරණය පිණිස (පැන වූ දඬුවමින් මිදෙනු පිණිස) කළ යුතු දෑ කෙරෙයි. පත්තඋක්කුජ්ජනය සඞ්ඝයාගෙන් ඉල්ලයි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිවජවිහට පත්තඋක්කුජ්ජනය කෙරේවා, ඔහු සඞ්ඝයා හා සමෙහාග ඇතියකු කෙරේවා”. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන ලද්දේ ය, හේ සඞ්ඝයා හා සමෙහාගය නැත්තෙක් කරන ලද්දේ ය. හෙ තෙම මනා වැ පවතී. යටත් පහත් වැ පවතී. නිස්තරණය පිණිස පවතී. සඞ්ඝයාගෙන් පත්තඋක්කුජ්ජනය ඉල්ලයි. සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්ත උක්කුජ්ජනය කෙරෙයි. ඔහු සඞ්ඝයා හා සමෙහාග ඇතියකු කෙරෙයි. වඩ්ඪ ලිච්ඡවීහට පත්තුක්කුජ්ජනය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමක්හට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තුක්කුජ්ජනය කරන ලද්දේ ය, සඞ්ඝයා හා සමෙහාගය ඇත්තෙක් කරන ලද්දේ ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි (සලකමි)” යනු යි.
දෙවෙනි බණවර නිමියේ ය.
තුන්වන බණවර
100. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ විසල්පුර කැමැති තාක් වැස, භග්ග රට බලා සැරි සරා වඩින්නට පිටත් වූ සේක. පිළිවෙළින් සැරිසරා, වඩනා සේක්, භග්ග රටට බට සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට සුංසුමාරගිර නුවරට නො දුරු නො ළං තන්හි වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක.
එ කලැ වනාහි බෝධි රාජකුමාරයා විසින් කොකනද නම් පහයෙක් කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු හෝ බමුණක්හු හෝ මනුෂ්‍ය වූ කිසිවක් හු විසින් වාසය නො කරන ලද වෙයි.
ඉක්බිති බෝධි රාජකුමාර තෙම සඤ්ජිකාපුත්‍ර මාණවකයා බණවා, “සගය, සඤ්ජිකාපුත්‍රය, මෙහි එව. භාග්‍යවතුන් වහන්සේ වෙත යා. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිස නමා වඳුව, ආබාධ නැති බව, නීරෝග බව, හෑල්ලු සිරුර ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැප විහරණ ඇති බව විචාරව. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට බෝධි රාජකුමාරයාගේ බත ඉවසන සේක් වා’ යි මෙසේත් කියව” යි කීයේ ය.
සඤ්ජිකාපුත්‍ර මාණවක “එසේ ය. පින්වතැ’ යි කියා බෝධි රාජකුමාරයාට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය, සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා, එක් පසෙක හිඳ ගත්තේ ය. සඤ්ජිකා පුත්‍ර මාණවක තෙම මෙසේ එක් පසෙක හුන්නේ ම, “බෝධි රාජකුමාර තෙම භවත් ගෞතමයන්ගේ පා හිස නමා වඳී. නිරාබාධ බව, නො ලෙඩ බව, හෑල්ලු සිරුර ඇති බව, සිරුරු බල ඇති බව, සැප විහරණ ඇති බව විචාරයි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සභුන් හා සෙට දවසට බෝධි රාජ කුමාරයාගේ බත ඉවසන සේක්වා’ යි මෙසේත් කියා” යැයි මේ වචන කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක:
ඉක්බිත්තෙන් සඤ්ජිකාපුත්‍ර මාණවක තෙම භාග්‍යවතුන් වහන්සේ ඒ නිමන්ත්‍රණය ඉවැසූ නියාව දැන, හුනස්නෙන් නැගී බෝධි රාජ කුමාරයා කරා ගියේ ය. ගොස්, “බෝධි රාජකුමාර තෙම භවත් ගෞතමයන්ගේ පා හිස නමා වඳී, නිරාබාධ බව, නො ලෙඩ බව, හෑල්ලු සිරුර ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැප විහරණ ඇති බව විචාරයි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට බෝධි රාජකුමාරයාගේ බත ඉවසන සේක්වා’ යි මෙසේත් කියා යැ යි. අපි භවත්හුගේ වචනයෙන් ඒ භවත් ගෞතමයනට මෙසේත් කීම්හ” යි බෝධි රාජකුමාරයාට මෙ බස් පැවසී ය.
101. ඉක්බිති බෝධි රාජකුමාර තෙම ඒ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා, පැසිම් හිණිපෙත තෙක් කොකනද පහය (බිම) සුදුවතින් වස්වා, සඤ්ජිකාපුත්‍ර මාණවකයා බණවා, “යහළු සඤ්ජිකාපුත්‍ර, එන්න, භාග්‍යවතුන් වහන්සේ කරා යව, ගොස් ‘වහන්ස, බත පිළියෙළ කොට නිමියේ ය, වඩින්නට කාලය යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වව” යි කී ය. ‘එසේ ය, පින්වතැ’ යි කියා සඤ්ජිකාපුත්‍ර මාණවක තෙම බෝධි රාජකුමාරයාට පිළිවදන් අස්වා, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ, ‘භවත් ගෞතමයිනි, දැන් වඩින්නට කල් වේ. බත පිළියෙළ කොට නිමියේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පෙරවරු සමයෙහි හැඳ පෙරව, පාසිවුරු ගෙන බික් සඟන කැටුව බෝධි රාජකුමාරයාගේ නිවෙස කරා වැඩිසේක. එ වේලෙහි වනාහි බෝධි රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේ වඩිනු බලාපොරොත්තු වනුයේ බිහිදොරටුයෙහි සිටියේ වේ. බෝධි රාජකුමාර තෙම දුරින් ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක එතැනින් පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පෙරටු කොට ගෙන කොකනද පහය වෙත එළැඹියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැසිම් හිණිපෙත ළඟ වැඩසිටි සේක. එ කල්හි බෝධි රාජකුමාර තෙම ‘වහන්ස, යම් හෙයකින් මෙය මට දික් කලක් හිත වැඩ පිණිස වන්නේ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙනසේක් වා, සුගතයන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙනසේක් වා’ යි කී ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬ වූ සේක. දෙවනු ද ... තෙවනු ද බෝධි රාජකුමාර තෙම, ‘යම් හෙයකින් මෙය මට දික් කලක් හිත වැඩ පිණිස වන්නේ ද එ හෙයින් භාග්‍යවතුන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙන (පාගා වඩිනා) සේක් වා’ යි කීයේ ය. එ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් දෙස හැරී බැලූසේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බෝධි රාජකුමාරයාට ‘රාජකුමාරය, වස්ත්‍රයන් හකුළාවා, භාග්‍යවතුන් වහන්සේ රෙදි පියවිල්ල නො ඇක්මෙන (නො පාගන) සේක. තථාගතයන් වහන්සේ පශේවිම ජනතාවට අනුකම්පා කරන සේක’ යි කීහ.
එකල්හි බෝධි රාජකුමාර තෙම වස්ත්‍ර හකුළවා කොකනද පහයේ උඩු මහල් තලයෙහි අසුන් පැනැවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොකනද පහය නැඟ පනවන ලද අසුන්හි බික් සඟන හා වැඩහුන්සේක. ඒ වේලෙහි බෝධි රාජකුමාර තෙම බුදුපාමොක් සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් හොජ්‍යයෙන් සියතින් සතප්වා මොනවට පවරවා (පෙරැත්ත කොට කොට බොජුන් වළඳවා), බොජුන් වළඳා අවසන් කළ, පාත්‍රයෙන් ඉවතට ගත් ඇතැති භාග්‍යවතුන් වහන්සේ සමීපයේ එක් පසෙක හිඳ ගත්තේ ය.
එසේ එක් පසෙක හුන් බෝධි රාජකුමාරයාට භාග්‍යවතුන් වහන්සේ ධර්‍මකථායෙන් කරුණු දක්වා, එය මොනොවට ගන්වා, ඒ ගැන්ම තියුණු කොට, එහි ඵල දැක්වීමෙන් සතුටු කොට, හුනස්නෙන් නැගී නික්ම වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් බණවා, “වස්ත්‍රයෙන් කළ පියවිල්ල (පාවාඩය) නො ඇක්මිය යුතු ය, යම් මහණෙක් ඇක්මෙන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේයැ” යි වදාළ සේක.