53. එ සමයෙහි මහණහු පාත්‍රය ගත් අතැත්තාහු කවුළුව අරිත්. කවුළුව පෙරැළී ඊමෙන් පාත්‍රය. බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පාත්‍රය ගත් අතැතියනු විසින් කවුළුව නො ඇරිය යුතු. යමෙක් අරින්නේ ද ඔහුට දුකුළා ඇවැත් වේ” යැ යි වදාළ සේක.
54. එ සමයෙහි මහණහු ලබු කබලෙන් (ලබු කබලක් අතැති වැ) පිඬු පිණිස හැසිරෙත්. මිනිස්සු ‘තීර්‍ත්‍ථකයන් බඳුහ’යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ලබුකබලෙන් පිඬුසිඟා නො හැසිරිය යුතු. යමෙක් හැසිරෙන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක
55. එ සමයෙහි මහණහු ඝටිකටාහයෙන් (කළ කබලක් ගෙන) පිඬු පිණිස හැසිරෙත්. ‘තීර්‍ත්‍ථකයන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, ඝටිකටාහයෙන් (කළ කබලෙහි) පිඬු පිණිස නො හැසිරියයුතු. යමෙක් හැසිරෙන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
56. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් හැම පිරිකරින් ම පාංශුකූලික වෙයි. (හැම පිරිකරක් ම පාංශුකූල වශයෙන් සොයා ගත් දැයින් සකස් කොට ගෙන දරන්නේ වෙයි.) හෙතෙම මිනීහිස් කබලකින් කළ පාත්‍රයක් දරයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක බිය පත් වූවා, ‘මට විපතෙක, ඒකාන්තයෙන් මේ පිශාචයෙකැ’ යි කෑගැසූ ය. ‘කෙසේ නම් ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ පිසස් පැටියන් සේ මිනීහිසින් කළ පාත්‍රයක් දරත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ...
“මහණෙනි, මිනීහිසින් කළ පාත්‍රයක් නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
57. එ සමයෙහි වනාහි මහණහු (විකා දැමූ) සප ද ඇට කටු ද ඉඳුල්දිය ද පාත්‍රයෙන් ගෙන ගොස් ඉවත ලත්. ‘මේ ශාක්‍යපුත්‍රික මහණහු යම් පාත්‍රයෙක ම වළඳත් ද එය ම ඔවුන් කුණු දමන බඳුන වේ යැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ පාත්‍රයෙන් ඉවතට ගෙන නො යායුතු. යමෙක් ගෙන යන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, කුණු දමන්නට බඳුනක් අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
58. එ සමයෙහි මහණහු අතින් ඉරා සිවුරු මසත්. සිවුරු විලොම් (විසම) වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පිහියක් ද පිහියට වැස්මක් ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
59. එ සමයෙහි වනාහි සංඝයාට දණ්ඩශස්ත්‍රකයෙක් (මීට සහිත පිහියක්) උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැල කළහ.
“මහණෙනි, දණ්ඩශස්ත්‍රකය (මිට සහිත පිහිය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
60. එ සමයෙහි සවග මහණහු රන්මුවා ද රිදීමුවා ද කුදු මහත් පිහියා මිටි දරත්. ‘කාමභෝගී ගිහියන් මෙනැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කුදු මහත් පිහියා මිටි නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටමුවා, දත්මුවා, අංමුවා, බටදඬුමුවා, හුණදඬුමුවා, දඬුමුවා, ලහමුවා, පලමුවා, ලොහොමුවා, සක්නැබමුවා පිහියාමිටි අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
61. එ සමයෙහි වනාහි මහණහු කුකුළු පිහාටුයෙන් ද උන පතුරෙන් කළ කූරෙන් ද සිවුරු මසත්. සිවුරු නොමනා ව මැසුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, හිදිකටුව අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ) වදාළසේක.
හිදිකටු මල බැඳුණේ වෙයි.
“මහණෙනි, හිදිකටුකුලාව අනුදනිමි” යි වදාළ සේක.
හිදිකටුකුලායෙහි (බහාලන ලද්දාහු) ද මලබැඳුණාහු වෙත්.
“මහණෙනි, රාබිජු සුණුයෙන් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.
රාබිජු සුණුයෙන් පුරවන ලද්දාහු ද මල බැඳුණාහු වෙත්.
“මහණෙනි, කහමුසු විළඳ සුණුයෙන් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.
කහමුසු විළඳ සුණුයෙන් (පුරාලන ලද්දාහු) ද මල බැඳුණාහු වෙත්.
“මහණෙනි, ගල් කුඩුවලින් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.
ගල්කුඩුවලින් පුරවන ලද්දාහු ද මල බැඳුණාහු වෙත්.
“මීඉටියෙන් (තවරන්නට) අනුදනිමි” යි වදාළසේක.
තවරන ලද මීඉටි ගැළැවී වැටෙයි.
“මහණෙනි, මීඉටි ගෑ රෙදි කඩක් අනුදනිමි” යි වදාළසේක.
62. එ සමයෙහි මහණහු ඒ ඒ තැන හුල් සිටුවා සම්බන්‍ධ කොට සිවුරු මසත්. සිවුරු විකර්ණ (සම නොවූ) කොන් ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කඨිනය (සිවුරුහිණ) ද කඨින රැහැන (සිවුරුහිණෙහි බඳනා රැහැන) ද යන දෙකත් ඒවායේ ඒ ඒ තැනැ සිවුර නමා බැඳ මසන්නට අනුදනිමි” යි වදාළසේක.
නො සම තන්හි සිවුරුහිණ තබත්. එය බිඳී වැටෙයි.
“මහණෙනි, නො සමවූ තැන සිවුරුහිණ නො තැබියයුතු. යමෙක් තබන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
සිවුරුහිණ බිමැ තබත්. එය දුලියෙන් බැඳුණේ වෙයි.
“මහණෙනි, තණඇතිරිය අනුදනිමි” යි වදාළ සේක.
කඨිනයේ කොන් දිරයි.
“මහණෙනි, වාටියක් යොදා පිරිබඩ නංවන්නට අනුදනිමි” යි වදාළ සේක.
සිවුරුහිණ නො පොහෝනේ වෙයි (මඳ වෙයි).
“මහණෙනි, දණ්ඩකඨිනය ද සිවුරුහිණැ මැදට බඳනා දණ්ඩ ද විදලකය ද (දණ්ඩකඨිනයේ ප්‍රමාණය අනුව) කළාලයේ කොන් දෙක අකුළා දෙපට කිරීම ද, සලාකාව ද (දෙපට සිවුර මැදට දමන කූර ද) විනන්ධන රජ්ජුව ද, මහ සිවුරුහිණ හා කුඩා සිවුරුහිණ බඳනා රැහැන ද කුඩා සිවුරුහිණෙහි සිවුර බඳනා හුය ද එසේ බැඳ සිවුර මහන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
සූත්‍රානතරිකාවෝ (හු අතරැ පෙදෙස්හු) විසම වෙත්. (සමාන ව නො සිටිත්).
“මහණෙනි, (අතර ප්‍රමාණය හඟවන) කිලිඹුවක් (තල්කොළ කැබැලි ආදි මිම්මක්) අනුදනිමි” යි වදාළ සේක.
හු ඉරි ඇද වේ.
“(සිවුර මසා අවසන් වූ පසු ගළවා දමන) බොරු හු ගැසීම අනුදනිමි” යි වදාළසේක.
63. එ සමයෙහි මහණහු නො දෙවූ පයින් සිවුරුහිණ ඇක්මෙත්. සිවුරුහිණ දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නොදෙවූ පයින් යුතු ව, සිවුරුහිණ නො ඇක්මියයුතු. යමෙක් ඇක්මෙන්නේ නම් (පා ගාන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය”.
64. එ සමයෙහි මහණහු තෙත් පයින් සිවුරුහිණ ඇක්මෙත්. සිවුරුහිණ දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තෙත් පයින් සිවුරුහිණ නො ඇක්මියැයුතු (පා නො ගැසිය යුතු). යමෙක් ඇක්මෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය”.
65. එ සමයෙහි මහණහු පාවහන් ඇත්තාහු සිවුරුහිණ ඇක්මෙත් (පාගත්). සිවුරුහිණ දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පාවහන් සහිත වූවහු විසින් සිවුරුහිණ නො ඇක්මියැයුතු, යමෙක් ඇක්මෙන්නේ ද දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
66. එ සමයෙහි මහණහු සිවුරු මහන්නාහු හිදිමුව ඇඟිල්ලෙන් පිළිගනිත්. (ඉදිකටු මූණත ඇඟිල්ලෙන් ගෙන අදිත්) ඇඟිල්ලෝ රිදුම් ඇත්තෝ වෙත් (ඇඟිලි රිදේ). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිළිගාව (දිදාලය) අනුදනිමි” යි වදාළසේක.
67. එ සමයෙහි සවග මහණහු රන්මුවා වූ ද රිදීමුවා වූ ද, කුදු මහත් පිළිගාවන් (දිදාල) දරත්. මිනිස්සු , “මොහු කාමභෝගී ගිහීන් බඳුවහ” යි ලාමක කොට සිතත්, නො ගුණ කියත්, දොස් කතා පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, (රන්රිදීමුවා) කුදු මහත් පිළිගා (දිදාල) නො දැරිය යුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටින් කරන ලද, ඇත්දළ ඈ දළින් කරන ලද, අඟින් කරන ලද, ගෙඩිවල ලෙල්ලෙන් කරන ලද, ලෝහයෙන් කරන ලද සක්නැබින් කරන ලද පිළිගාව (දිදාලය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
68. එ සමයෙහි හිදිකටු ද පිහියා ද පිළිගාවෝ (දිදාල) ද නැසෙත් (නැති වෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඇවිසුම් විතක් (ඉදිකටු කුලා ආදිය තබන කුඩා පෙට්ටියක් හෝ කොපුවක්) අනුදනිමි” යි වදාළසේක.
ඇවිසුම්විතෙහි ඒ හිදිකුලා ආදීහු එකට අවුල්වූවාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිළිගාවට (දිදාලයට) පසුම්බියක් අනුදනිමි” යි වදාළසේක.
පිළිගා පසුම්බියට උරබඳනාවෙක් (උරේ එල්ලා ගැනීමට පටියෙක්) නො වෙයි.
“මහණෙනි, උරබඳනාව ද බඳනා හුය ද අනුදනිමි” යි වදාළසේක.
69. එ සමයෙහි මහණහු එළිමහනෙහි (හිඳ සිවුරු මහන්නාහු ශීතයෙන් ද උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සිවුරුහිණ තබන්නට ශාලාවක් සිවුරුහිණට මඩුවක් අනුදනිමි” යි වදාළසේක.
සිවුරුහිණි හල (කඨින ශාලාව) මිටි බිමක් ඇත්තේ වෙයි. දියෙන් වැසෙයි (දියට යට වෙයි.) භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සිවුරුහිණිහල උස් බිම් ඇතියක් කරන්නට (එහි බිම උස් කොට නංවන්නට) අනුදනිමි” යි වදාළසේක.
උස් කොට නඟන ලද බිමැ පස් ඇදහැළෙයි.
“මහණෙනි, ගඩොළුයෙන් කළ බැඳුම ද ගලින් කළ බැඳුම ද ලීයෙන් කළ බැඳුම දැ යි බැඳුම් තුනක් අනුදනිමි” යි වදාළසේක.
උස් කොට බඳනා ලද බිමට නඟින්නාහු වෙහෙසෙත්.
“මහණෙනි, ගඩොළු හිණ (තරප්පුව) ගල්මුවා හිණ (තරප්පුව) දඬුමුවා හිණ (තරප්පුව) ද යනු තුන් හිණ අනුදනිමි” යි වදාළසේක.
හිණෙහි නඟින්නාහු ඇද වැටෙත්.
“ගරාදි වැටක් අනුදනිමි” යි වදාළ සේක.
කඨින ශාලායෙහි තණරොඩු වැටෙයි. “මහණෙනි, ඝණ දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් සුදු පැහැ වූ හෝ කළු පැහැ වූ හෝ බදාම ආලේප කරන්නට ගුරු පැහැයෙන් පිරියම් හෝ කරන්නට, මාලාකර්‍ම ලතාකර්‍ම කරන්නට මෝර දැති හෝ අඳින්නට දෑහිඟුල් ඈ පස් පැහැයෙන් වණවත් කරන්නට ද අනුදනිමි. සිවුරු වනා තබන්නට දණ්ඩක් ද සිවුරු වනන්නට රැහැනක් ද අනුදනිමි” යි වදාළසේක.
70. එ සමයෙහි මහණහු සිවුරු මසා සිවුරුහිණ එහි ම හැරදමා පිටත් වැ යෙත්, මීයන් විසින් ද වේයන් විසින් ද සිවුරුහිණ කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සිවුරුහිණ අකුළා තබන්නට අනුදනිමි” යි වදාළසේක: සිවුරුහිණ බිඳීයයි. “මහණෙනි, දණ්ඩක් ඇතුළැ බහා තද කොට සිවුරුහිණ අකුළා තබන්නට අනුදනිමි” යි වදාළසේක.
සිවුරුහිණ ලිහෙයි. “මහණෙනි, බඳිනා රැහැනක් අනුදනිමි” යි වදාළ සේක.
71. එ සමයෙහි මහණහු බිත්තියෙක ද කණුවෙක ද සිවුරුහිණ ඔසොවා තබා නික්ම යෙත්. ඇද වැටී සිවුරුහිණ බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, බිත්තියෙහි ගසන ලද හුලෙක හෝ ඇත් දතක් සේ බිත්තියෙහි සවි කළ උපකරණයෙක හෝ සිවුරුහිණ එල්ලා තබන්නට අනුදනිමි” යි වදාළසේක.
72. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කැමැති තාක් කල් වැස විසල්මහනුවරට සැරිසරා වැඩි සේක. එ සමයෙහි මහණහු හිදිකටුව ද පිහිය ද බෙහෙත් ද පාත්‍රයෙන් ගෙන යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, බෙහෙත් පසුම්බිය අනුදනිමි” යි වදාළසේක.
උරබඳනාවෙක් නො වෙයි.
“මහණෙනි, උරබඳනාව ද බඳනාහුය ද අනුදනිමි” යි වදාළසේක.
73. එ සමයෙහි එක්තරා මහණෙක් පාවහන් කාබහනින් (පටියෙන්) බැඳ එල්ලා ගෙන ගමට පිඬු පිණිස පිවිසියේය. එක්තරා උපාසකයෙක් එ මහණහට වඳිනුයේ පාවහන් හිසින් ගැටී ය. ඒ මහණ නිස්තේජස්ක විය. ඉක්බිති ඒ මහණ අරම් ගොස්, මහණුනට මෙ පවත් සැලකෙළේ ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උපාහනථවිකයක්, අනුදනිමි” යි වදාළසේක.
උරබඳනායෙක් නො වෙයි.
“මහණෙනි, උරබඳනාවක් ද බඳනා හුයක් ද අනුදනිමි” යි වදාළසේක.
74. එ සමයෙහි වනාහි අතර මඟැ ජලය (පෙරා නැති බැවින්) නො කැප වෙයි. පෙරහනෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, පෙරහන්කඩ අනුදනිමි” යි වදාළ සේක.
රෙදි කඩ නො පොහෝනේ වෙයි. (මදි වෙයි).
“මහණෙනි, කිණිසි පෙරහන අනුදනිමි” යි වදාළ සේක. එයට ද රෙදි කඩ මඳවෙයි. භාග්‍යවතුන් වහන්සේට , මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඩබරාව අනුදනිමි” යි වදාළසේක.
75. එ සමයෙහි දෙමහණහු කෙනෙක් කොසොල් රටැ දික්මඟට පිළිපන්නාහු වෙත්. එක් මහණෙක් අනාචාර කෙරෙයි. (නො මනා ලෙස හැසිරෙයි). දෙවෙනි මහණ එකී මහණහට “ඇවැත්නි, මෙ බඳු දෑ නො කරන්න. මෙය කැප නො වේ යැ” යි කී ය. එ මහණ, වෛර බැන්දේ ය. එ කල්හි ඒ (පළමු) මහණ පවසින් පෙළුණේ වෙර බැඳි මහණහු බණවා, “ඇවැත්නි, ඔබගේ පෙරහන දෙන්න, පැන් බොනු කැමැත්තෙමි” යි කී ය. වෙර බැඳි මහණ එය නො දුන්නේ ය. ඒ පළමු මහණ පවසින් පෙළුණේ කලුරිය කෙළේය. එයින් පසු එ (දෙවෙනි) මහණ අරම් ගොස් මහණුනට මෙ පවත් සැලකෙළේය. “කිමෙක් ද ඇවැත්නි, තෙපි පෙරහන ඉල්ලනු ලබන්නහු නො දුන්නු දැ?” යි භික්‍ෂුහු ඇසූහ. “එසේ ය, ඇවැත්නි”යි හේ කී ය. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජීවූ සුළු වරදෙහි පවා කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් මහණෙක් පෙරහන ඉල්ලනු ලබනුයේ නො දෙන්නේ දැ?” යි ලාමක කොට සිතත්, අගුණ බෙණෙත්, නොගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ.
එකලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි බික්සඟන රැස් කරවා, “සැබෑ ද, මහණ තෝ පෙරහන ඉල්ලනු ලබනුයෙහි නො දුන්නෙහි දැ?” යි ඒ මහණහු පුළුවුත්සේක. “භාග්‍යවතුන් වහන්ස සැබවැ” යි එ මහණ පිළිවදන් දුන. “හිස් පුරුෂය, මෙය නොනිසි ය. (මහණහට) නො ගැළැපෙන්නෙකි. නො සුදුස්සෙකි. මහණ කමට නො වටනා එකෙකි. නොකැප එකෙකි. නො කටයුත් තෙකි. කෙසේ නම්, හිස් මිනිස, තෝ පෙරහන ඉල්ලනු ලබනුයෙහි නො දුන්නෙහි ද? හිස් මිනිස, මෙය (සස්නැ) නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාද වැඩීම ද පිණිස නොවේ. වැලි, හිස් මිනිස, මෙය නො පහනුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනකුන්ගේ වෙනස් වීම පිණිස ද වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා, දැහැමි කථා කොට, මහණුන් බණවා “මහණෙනි, දිග්මඟ පිළිපන් මහණක්හු විසින් පෙරහන ඉල්ලනු ලබන්නහු විසින් එය නොදියැ යුතු නො වේ. යමෙක් නො දෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මහණහු පෙරහනක් නැතිව දික්මඟ නො යෑ යුතු, යමෙක් එසේ යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. ඉදින් පෙරහනෙක් හෝ ඩබරාවෙක් හෝ නැති නම්, ‘මෙයින් පෙරහා බොන්නෙමි’ යි සඟළසිවුරු කොන වුව ද ඉටා ගතයුතු” යැ යි වදාළ සේක.
76. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරි සරා වඩනාසේක්, විසල් මහපුරට බටසේක. එහි වූ කලි මහ වෙනෙහි කුළාරහලෙහි වැඩ වසන සේක. එ සමයෙහි වූ කලි මහණහු නව කම් (අළුත්වැඩියා කැරුම්) කෙරෙත් පෙරහන ප්‍රමාණ නො වෙයි (මදි වෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, දඬුපෙරහන අනුදනිමි” යි වදාළසේක. දඬුපෙරහන ද ප්‍රමාණ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි අවස්තරකය (ළිඳ තුළ බහා දිය පෙරා ගන්නා පෙරහනය) අනුදනිමි” යි වදාළසේක.
77. එ සමයෙහි වනාහි මහණහු මදුරුවන් ගෙන් පෙළුණෝ වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, සිවුරු කිළියක් අනුදනිමි” යි වදාළසේක.
78. එ සමයෙහි විසල් මහනුවරැ ප්‍රණීත බත් සම්බන්‍ධ බත් පිළිවෙළෙක් ඉටන ලද්දේ (නියම කැරැ ගන්නා ලද්දේ) වෙයි. මහණහු ප්‍රණීත බොජුන් වළඳා වැඩුණු සිරුරු ඇත්තාහු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. එ කල්හි කෝමාරභච්ච ජීවක තෙම කිසි කටයුත්තෙකින් විසල් මහනුවරට ගියේ ය. කෝමාරභච්ච ජීවක තෙම වැඩීගිය සිරුරු ඇති බොහෝ ආබාධ ඇති මහණුන් දිටී ය. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් කෝමාරභච්ච ජීවක තෙම “වහන්ස, දැන් භික්‍ෂුහු වැඩුණු සිරුරු ඇත්තාහු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. වහන්ස, අයදිමි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට සක්මන් මළුව ද ගිනිහල් ගෙය ද අනුදන්නා සේක් වා. මෙසේ භික්‍ෂූහු අල්පාබාධ වන්නාහ”යි මෙ බස් පැවසීය.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝමාරභච්ච ජීවකයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා වදාළ සේක. එය ගැන්වූ සේක. එ උනන්දු කළ සේක. සතුටු කළ සේක. ඉක්බිත්තෙන් කෝමාරභච්ච ජීවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලද්දේ, එය ගන්වන ලද්දේ, උනන්දු කරන ලද්දේ, සතුටු කරන ලද්දේ, හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් වැ ගියේ ය.
එයට පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් බණවා, “මහණෙනි, සක්මන් මළුව ද ගිනිහල් ගෙය ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි වනාහි මහණහු තැන තැන උස් මිටි විෂම වූ සක්මන් මළුයෙහි සක්මන් කරත්. (ඔවුන්ගේ) පාදයෙන් පීඩා සහිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි සක්මන් මළුව සම කරන්නට අනුදනිමි” යි වදාළසේක. සක්මන් මළුව පහත් බිමක් ඇත්තේ (පහත්බිමෙහි කරන ලද්දේ) වෙයි. ජලයෙන් වැතිර ගනු ලැබේ. (වතුරට යට වේ). “මහණෙනි, සක්මන්මළුව උස්බිමක් ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා උස් කරන්නට) අනුදනිමි” යි වදාළ සේක. පස් ගොඩ ඇදී වැටෙයි. “මහණෙනි, ගඩොළුයෙන් කළ බැම්ම ද ගල් බැම්ම ද ලී රැසින් කළ බැම්ම ද යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළ සේක.
සක්මනට නඟින්නාහු වෙහෙසෙත්, “මහණෙනි, ගඩොළු හිණ, ගල්හිණ, ලී හිණ, යැ යි හිණි (පඩිපෙළ) තුනක් අනුදනිමි” යි වදාළ සේක.
හිණට නැගෙන්නාහු ඇද වැටෙත්. “මහණෙනි, අත්වැල (හෝ ගරාදි වැට) අනුදනිමි” යි වදාළසේක.
79. එ සමයෙහි මහණහු සක්මන් මළුවේ සක්මන් කරන්නාහු ඇද වැටෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, සක්මන් පිළක් අනුදනිමි” යි වදාළ සේක.
80. එ සමයෙහි මහණහු එළිමහනෙහි සක්මන් කරන්නාහු, ශීතයෙන් ද, උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ. “මහණෙනි, සක්මන්හල අනුදනිමි” යි වදාළ සේක.