10. එ සමයෙහි වනාහි ජරායෙන් දුර්‍වල වූ එක්තරා මහණෙක් නානුයේ තමාගේ ඇඟ උළා ගන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, රෙදි වැටියෙන් ඇඟ ඉළීම අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
11. එ සමයෙහි මහණහු පිට පිරියම් කරන්නට (එකක්හු අනෙකකු ලවා පිට උළවන්නට) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
”මහණෙනි, පුථුපාණිකාව (ඔවුනොවුන් අතින් පිට ඉළීම) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
12-19. එ සමයෙහි වනාහි සවග මහණහු වල්ලිකා (මුතුවැල් ආදි කර්‍ණාභරණ) දරත් ... පමු (එල්බෙන නූල්) පළඳිත් ... ගෙල පළඳනා දරත් ... ඉඟපළඳනා දරත් ... වළලු දරත්... අඟු පළඳනා දරත් ... හස්තාභරණ දරත් ... ඇඟිලි මුදු දරත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කථා භික්‍ෂුහු ඇසූහ. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. ‘මහණෙනි, සවග මහණහු වල්ලිකා දරත් යනු සැබෑ ද ... පමු දරත් යනු සැබෑ ද ... ගෙලපළඳනා දරත් යනු සැබෑ ද ... ඉඟපළඳනා දරත් යනු සැබෑ ද ... වළලු දරත් යනු සැබෑ ද ... හස්තාභරණ දරත් යනු , සැබෑ ද ... ඇඟිලිමුදු දරත් යනු සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. සැබැව භාග්‍යවතුන් වහන්සැ’ යි ඒ මහණහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් ගරහා, මහණුන් බණවා,
“මහණෙනි, වල්ලිකා නො දැරියයුතු පමු නො දැරියයුතු, ගෙල පලඳනා නො දැරියයුතු, ඉඟ පළඳනා නො දැරියයුතු, වළලු නො දැරියයුතු, ... හස්තාභරණ නො දැරියයුතු, ඇඟිලි මුදු නො දැරියයුතු, යමෙක් දැරුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
20. එ සමයෙහි වනාහි සවග මහණහු දික් කෙහෙ දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ ...
“මහණෙනි, දික් කෙස් නො දැරියයුතු. යමෙක් දැරුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දෙමසක් හෝ දෑඟුලක් දික් වූ හෝ කෙහෙ දරනුවට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.{*}
21-25. එ සමයෙහි වනාහි සවග මහණහු කොස්සෙන් (බුරුසුවෙන්) කෙස් පීරත් ... පණගායෙන් කෙස් පීරත් ... අත් පණගායෙන් කෙස් පීරත් ...... ඉටිතෙලින් කෙස් මටසිලුටු කොට තබත් ... දිය මුසු තෙලින් කෙස් මටසිලිටි කෙරෙත් ‘කාමභෝගී ගිහියන් මෙනැ’ මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ....
“මහණෙනි, කොස්සෙන් කෙහෙ නො පීරියයුතු, පණයායෙන් හිස නො පීරියයුතු, අත් පණායෙන් හිස නො පීරියයුතු. ඉටිතෙලෙන් හිස කෙහෙ මට සිලිටි නො කළ යුතු, දිය මුසු තෙලින් හිස කෙහෙ මට සිලිටි නො කළයුතු. යමෙක් මට සිලිටි කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
26. එ සමයෙහි වනාහි සවග මහණහු කැටපතෙහි ද දිය බඳුනෙහි ද මුහුණැ සටහන බලත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, කැට පතෙහි හෝ දිය බඳුනෙහි හෝ මුහුණ සටහන නො බැලිය යුතු, යමෙක් බැලුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
27. එ සමයෙහි වනාහි එක්තරා මහණකු ගේ මුහුණෙහි වණයෙක් වෙයි. ‘ඇවැත්නි, මගේ වණය කෙබඳු එකෙක් දැ’ යි මහණුන් විචාළේ ය. ‘ඇවැත්නි, තොපගේ වණය මෙ බඳු එකෙකැ’ යි ඒ මහණහු කීහ. හේ එය නො අදහයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයෙන් (ආබාධයක් ඇති කල්හි) කැටපතෙහි හෝ දියබඳුනෙහි හෝ මුහුණ සටහන බලන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ අනුදත් සේක.
28. එ සමයෙහි වනාහි සවග මහණහු මුහුණ ආලිප්ත කෙරෙත් (අලෙවු දෙත්), මුහුණු උන්මාර්ජනය කරත් (දියමුසු පිටි මුහුණ උළත්.) ඇඟ පැහැ ගන්වත්. මුහුණ වත්සුණුයෙන් තවරත් මනොසිලායෙන් (තිලක දීම් ආදි විසින්) මුහුණ ලකුණු කෙරෙත්, ඇඟ පැහැ ගන්වත්, මුහුණ පැහැ ගන්වත්, ඇඟ ද මුහුණ ද පැහැ ගන්වත්. “මොහු කාමභෝගී ගිහීන් බඳුහ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, මුහුණ ආලිප්ත නො කළයුතු. මුහුණ උන්මාර්ජිත නො කළයුතු, මුහුණ වත්සුණුයෙන් නො තැවරියයුතු, මනොසිලායෙන් මුහුණ ලකුණු නො කළයුතු, ඇඟ පැහැ නො ගැන්වියයුතු, මුහුණ පැහැ නො ගැන්වියයුතු, ඇඟ ද මුහුණ ද පැහැ නො ගැන්වියයුතු, යමෙක් එය කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
29. එක් සමයෙක්හි එක්තරා මහණකුට ඇසැ ලෙඩෙක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආබාධප්‍රත්‍යයෙන් (ලෙඩක් ඇති කලැ එයට පිළියම් වශයෙන්) මුහුණ ආලිප්ත කරන්නට (මුහුණ බේත් ගාන්නට) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
30. එ සමයෙහි රජගහ නුවරැ ගිරග්ගසමජ්ජය (හෙල් මුදුන්හි පැවැත්වෙන උළෙලෙක්) වෙයි. සවග මහණහු ගිරග්ගසමජ්ජය දකිනු පිණිස ගියාහ. “ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් සේ කෙසේ නම් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දක්නා පිණිස යන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. …
“මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දක්නා පිණිස නො යායුතු. යමෙක් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
31. එ සමයෙහි වනාහි සවග මහණහු දික් වූ ගී හඬින් දහම් ගයත්, “යම්සේ අපි ගයමෝ ද, එසේ ම මේ ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ දික් වූ ගී හඬින් දහම් ගයති”යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචනය භික්‍ෂුහු ඇසූහ. අල්පෙච්ඡ වූ, ලත් පමණින් සතුටු වූ, ලජ්ජා ඇති, කුකුස් කරන ශික්‍ෂාකාමී වූ, යම් , මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් සවග මහණහු දික් වූ ගීහඬින් දහම් ගයන්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ... ‘මහණෙනි, සැබෑ දැ’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබැව වහන්සැ” යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ විවිධ කාරණයෙන් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා,
“මහණෙනි, දික් වූ ගීහඬින් දහම් ගයන්නහුගේ (ඒ ගැයීමෙහි) මේ ආදීනව පසෙකි: තෙමේත් ඒ හඬෙහි ඇලෙයි, අන්හු ද ඒ හඬෙහි ඇලෙත්, ගැහැවියෝ ද ලාමක කොට සිතත්, ස්වර ක්‍රියාව (හඬ නැංවීම) පතන මහණහුගේ චිත්ත සමාධිය බිඳී යෙයි, පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. මහණෙනි, දික් වූ ගීහඬින් දහම් නො ගැයියයුතු. යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි වනාහි මහණහු ස්වරභණ්‍යයෙහි (තරංගවෘත්තාදි වෘත්තවලට අනුව කීමෙහි) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ස්වරභණ්‍යය අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
32. එසමයෙහි වනාහි සවග මහණහු ලොම් පිටතට ඇති පොරෝනාවක් දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ලොම් පිටතට ඇති පොරෝනා, නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
33. ඒ සමයෙහි වනාහි මගධේශ්වර වූ සේනික බිම්බිසාර රජුගේ අඹ රුක්හු පල දරන්නෝ වෙත්. මගධේශ්වර වූ සේනික බිම්බිසාර රජු විසින් “පහසු සේ ආර්‍ය්‍යයෝ අඹ වළඳත්වා” යි අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු ළා අඹ (අඹ ගැට) ද නෙළවා කෑහ. ඒ මගධාධිපති සේනික බිම්බිසාර රජුට ද අඹ වුවමනා වෙයි. එ කල්හි මගධේශ්වර සේනික බිම්බිසාර රජ මිනිසුන් බණවා “සගයෙනි, අරමට යවු. ගොස් අඹ ගෙනෙවු” යැ යි ඇණැවී ය. “දේවයන් වහන්ස, එසේ යැ” යි කියා ඒ මිනිස්සු මගධාධිපති සේනික බිම්බිසාර, රජුට පිළිවදන් දී අරමට ගොස්, අරම්පල්ලන් බණවා “සගයෙනි, දේවයන් වහන්සේට අඹ වුවමනා යැ. අඹ දෙවු යැ” යි කීහ. “ආර්‍ය්‍යයෙනි, අඹ නැත. භික්‍ෂුහු ළා වූ ම අඹ නෙළවා වැළඳුහ” යි අරම්පල්ලෝ කීහ.
ඉක්බිති ඒ මිනිස්සු මගධාධිපති සේනිය බිම්බිසාර රජුට මෙ පවත් සැලකළාහ. “සගයෙනි, ආර්‍ය්‍යයන් විසින් අඹ මොනවට වළඳන ලද්දේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් පමණ දැනීම වණන ලද්දේ යැ” යි රජ කී ය. මිනිස්සු “කෙසේ නම් ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ පමණ නො දැන රජුගේ අඹ වළඳන්නාහු ද? යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්‍ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහ. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, අඹ නො වැළඳියයුතු, යමෙක් වළඳන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
34. එ සමයෙහි වනාහි එක්තරා මුළුවෙක (සමූහයකගේ) සඟ බතෙක් වෙයි. සූපයෙහි (හොද්දෙහි) අඹ පෙති දමන ලදුයේ වෙයි. භික්‍ෂුහු කුකුස් කරන්නාහු නො පිළිගනිත්.
“මහණෙනි, පිළිගනිවු, වළඳවු, මහණෙනි, අඹ පෙති අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි වනාහි එක්තරා මුළුවෙක සඟබතෙක් වෙයි. ඔහු අඹ පෙති කරන්නට පුහුණු නො කළාහ. බොජුන් හලෙහි සම්පුර්ණ වූ අඹ වලින් යුක්ත වැ (අඹ) අතින් ගෙන හැසිරෙත්. භික්‍ෂුහු කුකුස් කරන්නාහු නොපිළිගනිත්.
“මහණෙනි, පිළිගනිවු, වළඳවු. මහණුනට කැප වූ කරුණු පසෙකින් ඵල වළඳන්නට අනුදනිමි. අග්නි පරිවිතය (ගින්නෙන් රත් කරන ලද) ශස්ත්‍ර පරිවිතය (ආයුධයෙකින් කපන ලද), නඛපරිචිතය (නියෙන් සිඳින ලද), අබීජය (බීජ නැති ඵලය), පස්වනු නිබ්බට්ට බීජය (ඉවත් කරන ලද ඇට ඇති ඵලය) යනු ඒ පස් වැදෑරුම් කැප ඵල ය. මහණෙනි, කැප වූ මේ පස් කරුණින් මහණුනට කැප වූ ඵල වළඳන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
35. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍පයකු විසින් ඩසිනා ලද්දේ කලුරිය කෙළේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ඒ මහණ මේ සතර සර්‍ප රාජකුලයන් මෙත් සිතින් නො ම පැතිර වි ය. මහණෙනි, ඉදින් ඒ මහණ තෙම මේ සතර සර්පරාජකුලයන් මෙත් සිතින් පැතිර වූයේ වී නම්, මහණෙනි, ඒ මහණ සර්‍පයකු විසින් ඩසින ලදු ව කලුරිය නො කරන්නේ ම ය. කවර සතර සර්‍පරාජ කුලයෝ ද යත්; විරූපාක්‍ෂ සර්‍පරාජ කුලය, ඒරාපථ සර්‍පරාජ කුලය, ඡබ්‍යාපුත්ත සර්‍පරාජ කුලය, කණ්හාගෝතමක සර්‍පරාජ කුලය යන සතර ය. මහණෙනි, ඒ මහණ මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් නො ම පැතිර විය. මහණෙනි, ඉදින් ඒ මහණ මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් පැතිරවූයේ වී නම්, සර්‍පයකු විසින් ඩසින ලදු ව නො ම කලුරිය කරන්නේ ය. මහණෙනි, ආත්මගුප්තිය පිණිස, ආත්මාරක්‍ෂාව පිණිස, තමාට ආරක්‍ෂාව සලසාගන්නට මේ සතර සර්‍පරාජ කුලයන් මෙත් සිතින් පතුරු වන්නට (සතර සර්පරාජකුලයනට මෙත් වඩන්නට) අනුදනිමි. මහණෙනි, එය වූ කලී මෙසේ කළයුතු:
“විරූපාක්‍ෂ කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. ඒරාපථ කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. ඡබ්‍යාපුත්ත කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා. කණ්හාගෝතමක කුලයට අයත් සර්‍පයන් හා මගේ මෙත් සිත වේවා.
අපා සතුන් හා මගේ මෙත් සිත වේවා, දෙපා සතුන් හා මගේ මෙත් සිත වේවා, සිවුපා සතුන් හා මගේ මෙත් සිත වේවා, බුහුපා සතුන් හා මගේ මෙත් සිත වේවා.
අපා සතෙක් මා නො පෙළාවා, දෙපා සතෙක් මා නො පෙළාවා, සිවුපා සතෙක් මා නො පෙළාවා, බුහුපා සතෙක් මා නො පෙළාවා.
සියලු සත්තු, සියලු පණ ඇත්තෝ, සියලු භූතයෝ, මේ සියල්ලෝ යහපත් දෑ ම දකිත්වා. කිසිවකු ද කරා දුකෙක් නො ඒවා.
බුදුරජ තෙම අප්‍රමාණය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), ධර්‍මය අප්‍රමාණ ය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), සඞ්ඝයා අප්‍රමාණ ය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), සරීසෘපයෝ (සර්‍පයෝ) ප්‍රමාණවත්හ.
සර්‍පයෝ ය, ගෝනුසුවෝ ය, පත්තෑයෝ ය, දිවිමකුළුවෝ ය, සිකනල්ලු ය, සුහුනෝ ය, මීයෝ ය යන මොහු ප්‍රමාණවත්හ.
මා විසින් ආරක්‍ෂාව කරන ලද්දේ ය, මා විසින් පරිත්‍රාණය කරන ලද්දේ ය. භූතයෝ පෙරළා යෙත්වා.
ඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි, (විපස්සී ආදි) සත් සම්මාසම්බුදුරදුනට නමස්කාර කරමි”</b> යනු යි.
36. එ සමයෙහි වනාහි එක් මහණෙක් අනභිරතියෙන් (මහණ දම් පිරීමෙහි නො ඇල්මෙන්) පෙළුණේ තමාගේ පුරුෂ නිමිත්තය සිඳගැලී ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඒ හිස් පුරුෂයා අනෙකක් සින්ද යුතු කල්හි වෙන එකක් ම සින්දේ ය.”
මහණෙනි, තමාගේ පුරුෂ නිමිත්ත නො සින්දයුතු. යමෙක් සින්දේ වී නම්, ඔහුට තුලැසි ඇවැත් වන්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
37. එ සමයෙහි වනාහි රජගහ නුවර සිටුහට මහඟු සඳුන් හරයෙකින් නිපන් සඳුන් ගැටයෙක් ලැබුණේ වෙයි. ඉක්බිති රජ ගහ නුවර සිටුහට ‘මේ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියැවීම් නම් ඉතා යෙහෙක. ලියැවීමේ දී නිපන් සඳුන් සුණු ද මගේ පරිභෝග වස්තුවෙක් වන්නේ ය. පාත්‍රය ද දාන වස්තුවක් කොට දෙන්නෙමි’ යි මේ සිත විය. ඉක්බිති රජගහ නුවර සිටු තෙම ඒ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියවා, සාල්ලෙක තබා හුණ ගසෙක අගැ එල්වා එය හුණ දඬු පරපුරෙක (හුණගසෙන් හුණගස බද්ධ කොට හුණගස් කිහිපයක් එකට ඈඳා තැනු ගසෙක) “බැඳ යමෙක් රහත් ද ඍද්ධිමත් ද වේ නම් ඔහුට මේ පාත්‍රය දෙන ලද්දේ ය. හේ මෙය ගෙන බසී වා” යි. මෙසේ කීය.
එ කල්හි පූරණකාශ්‍යප රජගහ නුවර සිටුහු කරා එළැඹියේ ය. එළැඹ රජගහ නුවර සිටුහු බණවා, “ගෘහපතිය, මම් රහත් ද ඍද්ධිමත් ද වෙමි. මට පාත්‍රය දෙව” යි කීය. “වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත් ද ඍද්ධිමත් ද වූ සේක් නම් ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කී ය.
ඉක්බිත්තෙන් මක්ඛලිගෝසාල ද, කේසකම්බලී අජිත ද, පකුධ කච්චායන ද, සංජය බෙල්ලට්ඨිපුත්ත ද, නිගණ්ඨ නාතපුත්ත ද යන මොහු එකෙක් වෙන වෙනම රජගහ නුවර සිටු කරා එළැඹියහ. එළඹැ “ගෘහපතිය, මම් වූ කලි රහත් ද ඍද්ධිමත් ද වෙමි. පාත්‍රය මට දෙව” යි කී ය. “වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත්ද ඍද්ධිමත්ද වූ සේක් නම්, ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කී ය.
එ සමයෙහි වූ කලී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ද යන දෙනම පෙරවරු යෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියාහ. එ කල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරුනට “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රහත් ද ඍද්ධිමත් ද වෙති. ඇවැත් මහමුගලන් තෙරුනි, වඩිනු මැනැව, තෙල පාත්‍රය ගෙන බසිනු මැනැව තෙල පාත්‍රය ඔබ ගේ යැ” යි කීහ. ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝත් රහත් ද ඍද්ධිමත් ද වෙති. “ඇවැත් භාරද්වාජයෙනි, වඩින්න, තෙල පාත්‍රය ගෙන බසින්න, තෙල පාත්‍රය ඔබ ගේ යැ” යි මහමුගලන් තෙරණුවෝ වදාළාහ. එකල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ අහස් නැග ඒ පාත්‍රය ගෙන තුන් වරක් රජගහ නුවර සිසාරා වැඩියාහ.
එ සමයෙහි වනාහි රජගහ නුවර සිටු තෙම අඹුදරුවන් සහිත වැ “වහන්ස, ආර්‍ය්‍ය වූ භාරද්වාජයන් වහන්සේ මෙහි ම අප ගේ නිවෙසෙහි පිහිටන සේක්වා” යි කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කරනුයේ සිය ගෙහි සිටියේ වෙයි. ඉක්බිත්තෙන් ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ රජගහ නුවර සිටුහු ගේ ගෙහි පිහිටියාහ. එ කල්හි රජගහ නුවර සිටු තෙම ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් ගේ අතින් ඒ පාත්‍රය ගෙන මහඟු ඛාද්‍යයෙන් පුරා, උන්වහන්සේට ම එය පිළිගැන්වී ය. ඉක්බිති ආයුෂ්මත් පිණෙඩාලභාරද්වාජ තෙරණුවෝ ඒ පාත්‍රය ගෙන ආරාමයට වැඩි සේක. “ආර්‍ය්‍ය වූ පිණ්ඩෝලභාරද්වාජයන් වහන්සේ විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද සේක් ලැ” යි මිනිස්සු ඇසූහ. ඒ මිනිස්සු ද උස්හඬ ඇත්තාහු, මහහඬ ඇත්තාහු, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් පිටුපසින් ඔබ අනුව ගියාහ. භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ගේ) උස්හඬ මහහඬ ඇසූ සේක. අසා ආයුෂ්මත් අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි. ඒ උස් හඬ මහහඬ කවරේ දැ” යි අසා වදාළ සේක.
වහන්ස ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද්දේ ය. වහන්ස, මිනිස්සු ආර්‍ය්‍ය වූ පිණ්ඩෝලභාරද්වාජයන් වහන්සේ විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද්දේ ල යි මිනිස්සු ඇසූහ. වහන්ස, ඒ මිනිස්සු ද උස්හඬ ඇත්තාහු, මහහඬ ඇත්තාහු, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජයන් පසු පස්සෙන් ආවාහු වෙත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ ය මහහඬ යැයි අනඳ තෙරණුවෝ සැලකළාහ.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණ යෙහි බික්සඟන රැස් කොට, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් බණවා “භාරද්වාජයෙනි, තොප විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය බාගෙනෙන ලද්දේ ල, ඒ සැබෑ දැ” යි අසා වදාළ සේක.
“සැබව, භාග්‍යවතුන් වහන්සැ” යි තෙරණුවෝ උත්තර දුන්හ.
“භාරද්වාජයෙනි, නොනිසි දැයෙක, නොඅනුලොම් දැයෙක, නො සුදුසු දැයෙක, මහණුනට නො ගැළැපෙන දැයෙක, නො කැප දැයෙක, නොකටයුතු දැයෙක, භාරද්වාජයෙනි, කෙසේ නම් නොවටනා ලී පාත්‍රයෙක කරුණින් ලී පාත්‍රයක් නිසා ගිහියනට උතුරු මිනිස් දමක් වූ ඉදුපෙළහර දැක්වූහු ද භාරද්වාජයෙනි, මාගමක් නොවටනා මස්සක් පමණවූ මිලයක් නිසා යම්සේ ස්වකීය කෞපීනය දක්වන්නී ද, භාරද්වාජයෙනි, එ පරිද්දෙන් ම තොප විසින් නොවටනා ලී පාත්‍රයෙක කරුණින් ගිහියනට උතුරුමිනිස්දහමක් වූ ඉදුපෙළහර දක්වුනු ලද්දේ ය. භාරද්වාජයෙනි. මෙය නොපහන් අය ගේ පැහැදීම පිණිස ද පහනු අයගේ (පැහැදීම) බොහෝ වීම පිණිස ද නො වේ. භාරද්වාජයෙනි, වැලිදු මෙය නොපහන් අයගේ ද නො පැහැදීම පිණිස ද පහන් වූ ඇතැම් කෙනකු ගේ වෙනස් බව පිණිස ද වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ විවිධ කරුණු දක්වා ගැරැහු සේක.
විවිධ කරුණින් ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා,
“මහණෙනි, ගිහීනට උතුරු මිනිස් දහමක් වූ ඉදුපෙළහර නො දැක්වියයුතු, යමෙක් දැක්වූයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, තෙල ලී පාත්‍රය බිඳිවු, කැබැලි කැබැලි කොටැ භික්‍ෂූනට අඳුන් ගටනු පිණිස දෙවු. මහණෙනි, ලීමුවා පාත්‍රය නො දැරියයුතු යමෙක් දරන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ” යැ යි වදාළ සේක.
38. එ සමයෙහි වනාහි සවග මහණහු රන්මුවා ද රිදී මුවා ද ලොකු කුඩා (නොයෙක් ප්‍රමාණයේ) පාත්‍ර දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, ගරහත්, නො ගුණ පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, රන්මුවා පාත්‍රය නො දැරියයුතු, රිදී මුවා පාත්‍රය නො දැරියයුතු, මිණිමුවා පාත්‍රය නො දැරියයුතු, වෙරළුමිණිමුවා පාත්‍රය නො දැරියයුතු, පළිඟුමුවා පාත්‍රය නො දැරියයුතු, කස්ලොහො මුවා පාත්‍රය නො දැරියයුතු, විදුරුමුවා පාත්‍රය නො දැරියයුතු, කළුඊයම්මුවා පාත්‍රය. නො දැරියයුතු, සුදුඊයම්මුවා පාත්‍රය නො දැරියයුතු, තඹලොහොමුවා පාත්‍රය නො දැරියයුතු, යමෙක් දැරුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, යමුවා පාත්‍රය ද මැටිමුවා පාත්‍රය ද යන පාත්‍රදෙක අනුදනිමි” යි වදාළසේක.
39. එ සමයෙහි පාත්‍රයේ මුල ගැටෙයි. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
‘මහණෙනි, පාමඬුල්ලක් (පාත්‍ර අඩියක්) අනුදනිමි’ යි වදාළසේක.
එ සමයෙහි සවග මහණහු රන්මුවා වූ ද රිදීමුවා වූ දැ යි උස් පහත් (නානාවිධ) පාමඬුලු දරත්, ‘කාමභෝගී ගිහියන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
‘මහණෙනි උස්පහත් පාමඬුලු නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඊයම්මුවාද සුදු ඊයම්මුවා දැයි පාමඬුලු දෙකක් අනුදනිමි’ යි වදාළසේක.
ඝන වූ පාමඬුලු පාත්‍රයෙහි වැදගෙන නො සිටී. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
‘මහණෙනි, (තුනීබව ගන්වනු පිණිස) මඬුල්ල ලියන්නට අනුදනිමි’ යි වදාළසේක.
රැලි ගැසෙත් (ඇකිලෙත්) ...
‘මහණෙනි මුවර දැති කපන්නට අනුදනිමි’ යි වදාළසේක.
40. එ සමයෙහි සවග මහණහු විසිතුරු වූ භිත්තිකර්ම කළ රූපවලින් ගැවැසී ගත් සිතුවම් කරන ලද පාමඬුලු දරත්. වීථියෙහි ද ඒවා පෙන්වමින් ඇවිදිත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ’යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, භිත්තිකර්ම කළ රූපයෙන් ගැවැසීගත් විසිතුරු පාමඬුලු නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, පියෙවි පාමඬුලු අනුදනිමි” යි වදාළ සේක.
41. එ සමයෙහි මහණහු දිය සහිත පාත්‍රය තැන්පත් කොට තබත්. පාත්‍රය දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දිය සහිත පාත්‍රය තැන්පත් කොට නො තැබිය යුතු. යමෙක් තබන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, තවා (රත් කොට) පාත්‍රය තැන්පත් කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
42. එ සමයෙහි මහණහු දිය සහිත පාත්‍රය. තවත් (රත් කරත්). පාත්‍රය දුගඳ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දිය සහිත පාත්‍රය. නො තැවියයුතු. යමෙක් තවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දිය රහිත කොට තවා පාත්‍රය සුරැකි කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
43. එ සමයෙහි වනාහි මහණහු පාත්‍රය උෂ්ණයෙහි තබත්. පාත්‍රයේ පැහැය දූෂ්‍ය වෙයි, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, උෂ්ණයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තැබුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මොහොතක් උෂ්ණයෙහි තවා පාත්‍රය සුරැකි කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
44. එ සමයෙහි වනාහි බොහෝ පාත්‍රයෝ එළිමහනෙහි ආධාරකයක් නැති ව තබන ලද්දාහු වෙත්. පාත්‍රයෝ සුළි සුළඟෙකින් පෙරළී බුන්හ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පාත්‍රාධාරකයක් අනුදනිමි” යි වදාළ සේක.
45. “එ සමයෙහි වනාහි භික්‍ෂූහු මීඪාන්තයෙහි (පිල් කෙළවරැ) පාත්‍ර තබත්. පාත්‍රය ඇදවැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පිළ කෙළවර පාත්‍රය නො තැබියයුතු, යමෙක් තැබුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
46. එ සමයෙහි මහණහු පරිභණ්ඩය කෙළවරැ (පිළට පිටත වූ කුඩා පිළැ තුළැ) පාත්‍රය තබත්. පාත්‍රය ඇදවැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට එය සැලකළහ.
“මහණෙනි, පරිහණ්ඩය කෙළවරැ (පිළට පිටතින් කුඩා පිළ තුළැ) පාත්‍රය නො තැබියයුතු, යමෙක් තැබූයේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේයැ” යි වදාළ සේක.
47. එ සමයෙහි වනාහි මහණහු පාත්‍රය බිමැ මුනින් නමා තබත්, පාත්‍රයේ මුවවිට ගැටී ගෙවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත්සැලකළහ.
“මහණෙනි, තණ ඇතිරියක් අනුදනිමි” යි වදාළ සේක.
තණ ඇතිරිය වේයන් විසින් කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, (පාත්‍රය තැබීමට) රෙදිකඩක් අනුදනිමි” යි වදාළ සේක.
රෙදිකඩ වේයන් විසින් කනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පාත්‍රමාලකයක් (පාත්‍රය තබන්නට පිළක්) අනුදනිමි” යි වදාළ සේක.
පාත්‍රමාලකයෙන් ගිලිහී වැටී පාත්‍රය බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පාත්‍රකණ්ඩොලිකාවක් (පාත්‍රය තබන කූඩයක්) අනුදනිමි” යි වදාළ සේක.
පාත්‍රකණ්ඩෝලිකායෙහි පාත්‍රය ගැටී ගෙවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, (පාත්‍රය බහාලන්නට) ථවිකයක් (පසුම්බියක්) අනුදනිමි” යි වදාළ සේක
එල්ලා ගන්නට අංසබන්ධකයෙක් (උරේ හිසේ එල්වන පටියෙක්) නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, අංසබන්ධකයක් (උරබඳනාවක්) ද බඳනා හුයක් ද අනුදනිමි” යි වදාළ සේක.
48. එ සමයෙහි මහණහු භිත්තිඛීලයෙහි (බිත්තියෙහි, ගසන ලද උලෙක) ද නාගදන්තකයෙහි ද (බිත්තියෙහි සවි කළ ඇත්දතෙහි) ද පාත්‍රය එල්ලත්. ඇදවැටී පාත්‍රය බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පාත්‍රය නො එල්ලියයුතු. යමෙක් එල්ලන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
49. එ සමයෙහි වනාහි මහණහු ඇඳෙහි පාත්‍රය තබත්. සිහි මුළා වෙන් ඉඳගන්නාහු වැතිර පාත්‍රය බිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඇඳෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
50. එ සමයෙහි මහණහු පුටුවෙහි පාත්‍රය තබත්. සිහි මුළාවෙන් ඉඳගන්නාහු වැතිර පාත්‍රය බිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පුටුවෙහි පාත්‍රය නො තැබියයුතු, යමෙක් තබන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
51. එ සමයෙහි මහණහු ඇකයෙහි පාත්‍රය තබත්. සිහි නැති ව නැඟී සිටිත්. පාත්‍රය වැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි ඇකයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
52. එ සමයෙහි මහණහු ඡත්‍රයෙහි පාත්‍රය තබත්. සුළි හුළඟින් ඡත්‍රය එසැවෙයි. පාත්‍රය වැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඡත්‍රයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.