“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා ඉදින් සංඝයාට ප්‍රාප්තකාලය වේ නම්, සංඝ තෙමේ මෙනම් මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම් යැ.
වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. සංඝ තෙමේ මෙනම් මහණහු සලාකාග්‍රහාපකයකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක් හට මෙනම් මහණහු සලාකාග්‍රාහාපකයකු කොට සම්මත කිරීම රිසියෙන්නේ නම්, හේ නිහඬ වේ වා. යමකුට නො රිසියෙන්නේ හේ හෝ කියාවා. සංඝයා විසින් මෙනම් මහණ සලාකාග්‍රාහාපකයකු කොට සම්මත විය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය: මෙසේ මෙය සලකමි” යනු යි.
ඒ සලාකාග්‍රාහාපක මහණහු විසින් සලාකා ගැන්වියැ යුතු ය. බහුතර වූ ධර්‍මවාදී මහණහු කියද්ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවිය යුතු ය. මහණෙනි. (මෙසේ) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියැ යුතු. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද යෙභූය්‍යසිබායෙන් ද යන දෙකෙනි. එහි සම්මුඛාවිනයය කිමෙක් ද? සංඝසම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන සතර ය. එහි සංඝ සම්මුඛතා නම් කවරයැ? යම් පමණ මහණ කෙනෙක් කර්‍මප්‍රාප්ත නම් ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දෙන්නට සුදුසු මහණුන්ගෙන් ඡන්‍දය ගෙනෙන ලද්දේ වෙයි ද හමු වූ මහණහු ආක්‍රෝශ පරිභව නො කෙරෙත් ද, මේ එහි සංඝසම්මුඛතා නමි.
එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා නම් කවර යැ? යම් ධර්‍මයෙකින්, යම් විනයයෙකින්, යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ ද, මේ එහි ධර්‍මසම්මුඛතා යැ. විනය සම්මුඛතා යැ.
එහි පුද්ගලසම්මුඛතා නම් කවර යැ? යමෙකුත් විවාද කෙරෙයි ද, යමකු හාත් විවාද කෙරෙයි ද, ඒ තම පසෙහි වූ පුඟුලාත් විරුද්ධ පක්‍ෂයෙහි වූ පුඟුලාත් යන දෙදෙන හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගලසම්මුඛතා යැ.
එහි යේභුය්‍යසිකාව කවර යැ? යම් යෙභූය්‍යසිකාවෙක් වේ ද, කර්‍මය පිළිබඳ ක්‍රියාවෙක්, කිරීමෙක්, එළැඹීමෙක් වෙතට එළඹීමෙක්, ඉවසීමෙක් ප්‍රතිකොශ නො කිරීමෙක් වෙයි ද, මේ එහි යේභුය්‍යසිකාව යැ,
මහණෙනි, මෙසේ සන්හිඳුනු අධිකරණය කාරකයෙත් (එයට) සම්බන්‍ධ වූ මහණෙක් උත්කෝටනය කරන්නේ ද (ඉදිරියට අදනේ ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ, විනිශ්චයයෙහි ඡන්‍දය දුන් මහණෙක් ඒ විනිශ්චයට දොස් කියන්නේ නම් ඛීයනක පාචිත්තිය ඇවැත වේ.
ත්‍රිවිධ සලාකාග්‍රාහය
49. එ සමයෙහි වනාහි සැවැත් නුවරැ මෙසේ පහළ වූ, මෙසේ උපන් අධිකරණයෙක් වෙයි. එ කල්හි එ මහණහු සැවැත් නුවර සංඝයා ගේ අධිකරණ සන්හිඳුවීමෙන් නො සතුටු වූවාහු ය. ඔහු “අසෝ ආවාසයෙහි බුහුශ්‍රැත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති, ධර්‍මධර වූ විනයධර වූ, මාතෘකාධර වූ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රඥා ඇති, ලජ්ජි වූ, කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ බොහෝ තෙරහු වසත් ල, ඉදින් ඒ තෙරහු මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාසනාශාසනයෙන් සන්හිඳුවන්නාහු නම් මෙසේ මේ අධිකරණය මොනොවට සංසිඳුනෙක් වන්නේ යැ’ යි ඇසූහ. ඉක්බිති ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරුන් බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ වීය. මෙසේ උපන්නේ ය. වහන්ස, යාච්ඤා කරම්හ. තෙරහු ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳු නො වන්නේ ද එසේ මේ අධිකරණය සන්හිඳුවත් වා” යි මෙ බස් කීහ.
50. එ කල්හි ඒ තෙරහු සැවැත් නුවර සංඝයා විසින් ඒ අධිකරණය යම් සේ සන්හිඳුවන ලද්දේ ද, (එහෙයින් ම) මොනොවට සන්හිඳුනේ වේ ද, එසේ ඒ අධිකරණය සන්හිඳුවුහ.
ඉක්බිති ඒ මහණහු සැවැත්නුවර සංඝයාගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු ය. බොහෝ තෙරවරුන්ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු ය. ඔහු ‘අසෝ නම් ආවාසයෙහි ... තුන් නමෙක් තෙරහු වසත් ලැ යි. දෙ නමෙක් තෙරහු වසත් ලැ යි, බහුශ්‍රුත වූ වාචෝද්ගත වැ ආ ආගමධම්ය ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකාධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රඥා ඇති, ලජ්ජි වූ සුළු වරදෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී වූ එක් තෙර නමෙක් වෙසෙයි. ඉදින් ඒ තෙර නම ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවන්නේ නම් මෙසේ මේ අධිකරණය මොනොවට සන්හිඳුනේ වන්නේ යැ’ යි ඇසූහ.
51. එ කල්හි ඒ මහණහු ඒ ආවාසයට ගොස් ඒ තෙරහු බණවා, “වහන්ස, මේ අධිකරණය මෙසේ පහළ විය. මෙසේ උපන්නේ ය, යාච්ඤා කරම්හ, ස්ථවිර තෙමේ මේ අධිකරණය යම්සේ මොනොවට සන්හිඳුනක් වන්නේ ද එසේ ධම්යෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවාවා’යි මේ වචන කීහ.
එ කල්හි ඒ ස්ථවිර තෙම සැවැත්නුවරැ යම්සේ සංඝයා විසින් ඒ අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ බොහෝ තෙරවරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ තුන් නමක් තෙරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, යම්සේ දෙ නමක් තෙරුන් විසින් (ඒ) අධිකරණය සන්හිඳුවන ලද්දේ ද, එසේ ම මොනොවට සංසිඳුනක් වූ පරිද්දෙන් ඒ අධිකරණය සන්හිඳුවී ය.
52. එ කල්හි ඒ මහණහු සැවැත්නුවරැ සංඝයාගේ අධිකරණව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, බොහෝ තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, තුන් නමක් තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, දෙනමක් තෙරුන් ගේ අධිකරණ ව්‍යපශමනයෙන් නො සතුටු වූවාහු, එක් තෙර නමක ගේ අධිකරණව්‍යපශමන යෙක් නො සතුටු වූවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මහණෙනි, මේ අධිකරණය නිමවන ලද්දෙක, සන්හිඳුනෙක, වෙසෙසින් සන්හිඳුනෙක, මොනොවට සන්හිඳුනෙක. මහණෙනි, ඒ මහණුන් හඳුන්වනු පිණිස ගුළ්හකය, සකණ්ණජප්පකය. විවටකය යන සලාකාගැන්වීම් තුන අනුදනිමි.
මහණෙනි, ගුළ්හක සලාකාග්‍රාහය කෙසේවේ ද යත්: ඒ සලාකා ගන්වන මහණහු විසින් සලාකාවන් එකක් අනෙකකට වෙනස් වන සේ නිල් ආදි විවිධ පැහැ ඇතියන් කොට, එක් එක් මහණකු කරා එළැඹ, මේ මෙසේ වූ වාද ඇත්තහු ගේ සලාකාව ය, මේ මෙසේ වූ වාද ඇතියහු ගේ සලාකාව ය, යමක් රිසියෙහි නම් එය ගන්නැ’ යි මෙසේ කියැ යුතු වන්නේ ය. ගන්නාලද කල්හි ‘කිසිවකුටත් මෙය නො දක්වන්නැ’ යි කියැ යුතු ය. ඉදින් අධර්‍මවාදිහු වඩා බොහෝ ඇතැ යි දන්නේ නම්, සලාකා ගැන්ම වරදවා කරණ ලදැ’ යි කියා (දුන් සලාකාවන්) නැවැත එකතු කොට යලිදු ගැන්වියැ යුතු. ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි දන්නේ නම් මනාවැ කරණ ලද සලාකා ගැන්මෙකැ යි ඇස්වියැ යුතු. මහණෙනි, මෙසේ ගුළ්හක සලාකා ගැන්වීම වේ.
මහණෙනි, සකණ්ණජප්පක සලාකාග්‍රාහය කෙසේ වේ ද යත්: ඒ සලාකා ගන්වන මහණහු විසින් එක් එක් මහණක්හු ගේ කණට ළං වැ ‘මේ මෙ බඳු වාද ඇත්තහු ගේ සලාකාව ය, මේ මෙ බඳු වාද ඇත්ත හු ගේ සලාකාව ය, යමක් කැමැත්තෙහි නම් එය ගන්නැ’ යි කිය යුතු ය. ගත් කල්හි ‘කිසිවකුටත් නො කියන්නැ’යි කිය යුතු ය. අධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි ඉදින් දන්නේ නම්, නොමනා වැ කරණ ලද සලාකා ගැන්මෙකැ යි (සලාකාවන්) එකතු කොට ගෙන යලිදු සලාකා ගැන්වියැ යුතු. ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ වෙත් යැ යි දන්නේ නම්, ‘මනා වැ කරණ ලද සලාකා ගැන්මෙකැ’ යි ඇස්විය යුතු. මහණෙනි, මෙසේ සකණ්ණජප්පක සලාකා ගැන්වීම වේ.
මහණෙනි, විවටක සලාකග්‍රාහය කෙසේ වේ ද යත්: ඉදින් ධර්‍මවාදීහු වඩා බොහෝ යැ යි දන්නේ නම්, සලාකාවන් විසිරුවා විවෘත ලෙසින් (පැනෙන පරිද්දෙන්) ම ගැන්විය යුතු, මහණෙනි, මෙසේ ම විවටක සලාකාග්‍රාහය වෙයි.
මහණෙනි, මොහු වනාහි තුන්සලාකාග්‍රාහයෝ ය යනු යැ.
සතිවිනය
53. අනුවාදාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳෙයි ද? අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද යන ශමථ සතරින් සන්හිඳෙයි.
අනුවාදාධිකරණය අමුළ්භවිනයය ද තස්සපාපිය්‍යසිකාව ද යන ශමථ දෙකට නොපැමිණ සම්මුඛාවිනයයෙ න් ද සතිවිනයයෙන්ද යන ශමථ දෙකින් සන්හිඳෙන්නේ ය යන්න විය හැකිද? වියහැකි යයි කිය යුතු වන්නේ ය. කෙසේ වූ දැයක් මෙන් ද යත්: මෙහි මහණකුට අමූලක ශිලවිපත්තියෙන් චෝදනා කෙරෙත් නම් මහණෙනි, මහණහු සිහිය වැඩීමට පැමිණි එ මහණහට සතිවිනය දිය යුතු ය.
මහණෙනි, (සතිවිනය) මෙසේ දිය යුතු ය: මහණෙනි, ඒ මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ තනිපට සිවුර එකස් කොට පෙරෙවැ උක්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, භික්‍ෂූහු මට අමූලක වූ ශීලවිපත්තිචෝදනායෙන් චෝදනා කෙරෙත්. වහන්ස, ඒ මම් සිහිය වැඩුණු බවට පැමිණියෙම් සඞ්ඝයා ගෙන් සතිවිනය යදිමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවනු ද යැදිය යුතු, තෙවනු ද යැදිය යුතු.
ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් ‘වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. භික්‍ෂූහු මෙනම් මහණහට අමූලක ශිලවිපත්තියෙන් චෝදනා කෙරෙත්. හේ සිහිය වැඩුණු බවට පැමිණියේ, සංඝයා ගෙන් සතිවිනය යදී. ඉදින් සංඝයාට ප්‍රාප්තකාලය වේ නම් සංඝ තෙමේ සිහිවැඩුණබවට පත් මෙනම් මහණහට සතිවිනය දෙන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මහණහු මෙනම් මහණහට අමූලක ශීලවිපත්තියෙන් චෝදනා කෙරෙත්. සිහිය වැඩුණ බවට පත් හෙ තෙමේ සංඝයා ගෙන් සතිවිනය යදී, සංඝ තෙමේ සිහිය වැඩුණු බවට පත් මෙනම් මහණහට සතිවිනය දෙයි. සිහිය වැඩුණු බවට පත් මෙනම් මහණහට සතිවිනය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියෙන්නේ නම් හේ කියාවා, දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි. සංඝයා විසින් සිහිය වැඩුණු බවට පත් මෙ නම් මහණහට සතිවිනය දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි, සංඝ තෙමේ දැන්වීය යුතු.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛවිනයයෙනුත් සතිවිනයයෙනුත් ය. එහි සම්මුඛයා විනය කිමෙක් ද යත්: සංඝසම්මුඛතාව - ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව ... යන මේ යි. එහි පුද්ගල සම්මුඛතාව කවර යැ? යමෙකුත් චෝදනා කෙරෙයි ද?, යමකුටත් චෝදනා කෙරෙයි ද? සිය පසෙහිත් විරුද්ධ පක්‍ෂයෙහිත් වූවෝ හමුවෙත් ද? මේ එහි පුද්ගල සම්මුඛතාවය යි. එහි සතිවිනය කවර යැ? සතිවිනය කර්‍මයා ගේ යම් කියාවෙක්, කිරීමෙක්, එළඹීමෙක්, වඩාත් එළැඹීමෙක්, ඉවැසීමෙක්, ප්‍රතික්‍රෝශ නොකිරීමෙක් වෙයි ද, මේ එහි සතිවිනය යි. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුණු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කෙරෙයි නම්, ඔහුට උත්කෝටනක පාචිත්තිය වෙයි. ඡන්‍දදායක තෙමේ නින්‍දා කෙරෙයි ද, බියනක පාචිත්තිය ඇවැත වේ.
අමූළ්හවිනය
54. අනුවාදාධිකරණය සතිවිනයය ද තස්සපාපිය්‍යසිකාව ද යන ශමථ දෙකට නොපැමිණ සම්මුඛාවිනයයෙන් ද අමූළ්හවිනයයෙන් ද යන ශමථ දෙකින් සන්හිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකියැ යි කියැයුතු වන්නේ ය. කෙසේ ද යත්: මෙහි මහණෙක් සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් වෙයි. සිත් පෙරැළියට පැමිණි ඒ උමතු මහණහු විසින් ශ්‍රමණ සාරුප්‍ය නොවූ බොහෝ කියුම් කැරුම් ද කරණ ලද්දේ වෙයි. උමතු වැ සිත් පෙරැළියට පැමිණ කළ දෑ හේතු කොට ගෙන ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’ යි මහණහු එ මහණහට ඇවැතින් චෝදනා කෙරෙත්. “ඇවැත්නි, මම් සිත් පෙරැළියට පත් උමතුවෙකිම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් කායික වාචසික වශයෙන් බොහෝ ශ්‍රමණසාරුප්‍ය නොවූ දෑ කරණ ලදි. එය මම් සිහි නො කරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදැ” යි හේ මෙසේ කියයි. ඔහු විසින් මෙසේ කියනු ලබන්නාහු ද ඔහු ඒ මහණහට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි චෝදනා කෙරෙත් ම ය. මහණෙනි, නොමුළා වූ ඒ මහණහට අමූළ්හවිනය දිය යුතු ය.
මහණෙනි, එය මෙසේ ම දිය යුතු: ඒ මහණහු විසින් සංඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, මම් සිත් පෙරැළියට පත් උමතුවෙකිම් වීමි. උමතුවූ සිත් පෙරැළියට පත් ඒ මා විසින් මහණුනට නො සරුප් වූ කායික වූ ද වාචසික වූ ද බොහෝ වරද කරණ ලද්දේ ය. මහණහු උමතු වූ සිත් පෙරැළියට පත් මා විසින් කළ වරද හේතු කොට ගෙන මහණහු මට, ‘ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’ යි මට චෝදනා කෙරෙත්. ‘ඇවැත්නි, මම් උමතු වූ සිත් පෙරැළියට පැමිණියෙකිම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් වචනයෙන් කියන ලද්දාවූ ද, කයින් කරණ ලද්දාවූ දැ යි බොහෝ ශ්‍රමණ සාරුප්‍ය නොවූ වරද දෑ කරණ ලදී. ඒ දෑ මම් සිහි නො කෙරෙමි. සිහිමුළා වූ මා විසින් ඒ දෑ කරණ ලදැ’ යි ඔවුනට මම් මෙසේ කියමි. මෙසේ කියනු ලබන්නා වූ ද ඔහු මට ‘ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේ වා’ යි මට චෝදනා කෙරෙත් ම ය. වහන්ස, ඒ මම් සිහිමුළාව නැත්තෙම් සංඝයා ගෙන් අමූළ්හවිනයය ඉල්ලමි” යි. මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවෙනි වර ද මෙසේ ඉල්ලිය යුතු ... තෙවෙනි වර ද ඉල්ලියැ යුතු ...
ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු: “සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මේ මෙනම් මහණ වෙතම සිත් පෙරැළීමට ගිය උමතුවෙක් විය, සිත් පෙරැළීමට ගිය උමතු වූ ඔහු විසින් කායික වූ ද වාචසික වූ ද අශ්‍රාමණක වූ බොහෝ වරද කරණ ලද්දේ ය. මහණහු ඒ මහණහට සිත් පෙරැළීමට ගිය උමතු වූ ඔහු විසින් කරණ ලද වරදින් ඇවැතින් ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු වූ ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’යි චෝදනා කෙරෙත්, හෙ තෙමේ “ඇවැත්නි, ... උමතුවීමි’ ... යි මෙසේ කියයි. හේ සිහිමුළාව නැත්තේ සංඝයා ගෙන් අමූළ්හ විනයය ඉල්ලයි. ඉදින් සංඝයාට ප්‍රාප්තකාල වේ නම් සංඝ තෙමේ සිහිමුළාව නැත්තා වූ මෙනම් මහණහට අමූළ්හවිනයය දෙන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා, මේ මෙනම් මහණ තෙම සිත් පෙරැළියට ගිය උමතුවෙක් විය ... හේ ‘ඇවැත්නි, මම් සිත් පෙරැළියට ගිය උමතුවෙකිම් වීමි ... සිහිමුළාවෙන් තොරවූ හේ සංඝයා ගෙන් අමූළ්හවිනයය ඉල්ලයි. සංඝ තෙමේ සිහිමුළාව නැත්තා වූ මෙනම් මහණහට අමූළ්හවිනයය දෙයි. මුළාව නැත්තාවූ මෙනම් මහණහට අමූළ්හවිනයය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම්, හේ කියාවා, දෙවෙනි වරද මෙ කරුණ කියමි.
සංඝයා විසින් සිහිමුළාවෙන් තොර වූ මෙනම් මහණහට අමූළ්හ විනයය දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය, මෙසේ මෙය සලකමි” යනු යි.
මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැයි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛයාවිනයෙන් ද අමූළ්හවිනයයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ? සංඝසම්මුඛතාව ධර්‍මසම්මුඛතාව, විනය සම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන සතර යැ. එහි අමූළ්හවිනය කවර යැ? අමූළ්හවිනයකර්‍මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළඹීමෙක්, අභ්‍යූපගමනයෙක්, ඉවැසීමෙක්, අප්‍රතික්‍රෝශනයෙක් වේ ද, මේ එහි අමූළ්හවිනය යැ. මහණෙනි, මෙසේ සන්හිඳුණු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, ඔහුට උත්කෝටනය පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක තෙමේ (මේ අධිකරණ ව්‍යුපශමයයට) නින්‍දා කරන්නේ ද, ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
තස්සපාපිය්‍යසිකා
55. අනුවාදාධිකරණය සතිවිනයය ද අමූළ්හවිනයය ද යන ශමථ දෙකට නොපැමිණ, සම්මුඛාවිනයයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද යන ශමථ දෙකින් සංසිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකියැ යි කිය යුතු වන්නේ ය.
කෙසේ ද යත්, මෙහි මහණෙක් මහණකුට සඟමැදදී “ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවැතකට හෝ මෙබඳු ගරු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි ගරු ඇවැතෙකින් චෝදනා කරයි.
ඒ (චූදිත) මහණ තෙම “ඇවැත්නි, පරිජි ඇවැතට හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවැතකට හෝ මෙබඳු ඇවැතකට පැමිණියා මම් සිහි නො කරමි” යි කියයි.
ඒ (චෝදක) මහණ තෙම “එසේ නම් ආයුෂ්මත් තෙමේ ‘පරිජි හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවතකට හෝ පැමිණියෙමි’යි සිහි කෙරෙහි නම් මනාකොට ම එය දැනගන්නැ “ යි යථෝක්ත වුදිත මහණහු වඩාත් චෝදනායෙන් වෙළයි.
ඒ වුදිත මහණෙතම “ඇවැත්නි, පරිජි ඇවැතට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ඇවැතකට පැමිණියෙමි’යි මම් නො ම සිහි කරමි. ඇවැත්නි, එතෙකුදු වුවත් මෙබඳු වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණියෙමි යි සිහි කෙරෙමි” යි මෙසේ කියයි.
එසේ වී නම්, ආයුෂ්මත් තෙමේ ‘පරිජි ඇවැතට හෝ පාරාජිකසාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ගරු ඇවැතකට පැමිණියෙමි’යි ඉදින් සිහි කෙරෙහි නම් එය මනාකොට ම දැනගන්නැ’යි චෝදක මහණ තෙමේ යථෝක්ත චෝදනා වෙළුමෙන් මිදෙන්නට සැරසෙන මහණහු වඩාත් දැඩි කොට වෙළයි.
‘ඇවැත්නි, මම් මෙ නම් අල්පමාත්‍ර ඇවැතකට පැමිණ නො විචාරණ ලද්දෙම් ප්‍රතිඥා කරන්නෙමි. කිමෙක් ද? පරිජිඇවතට හෝ පරිජි ඇවැතට සාමන්ත වූ ඇවැතකට හෝ මෙබඳු වූ ගරු ඇවැතකට පැමිණ විචාරණ ලද්දෙම් ප්‍රතිඥා නො කරන්නෙම් ද?’යි ඒ චූදිත මහණ මෙසේ කියයි.
එවිට ඒ චෝදක මහණ තෙම ‘ඇවැත්නි, ඔබ මෙනම් වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණ, නොවිචාරණ ලද්දෝ එය ප්‍රතිඥා කරන්නහු ය. (එසේ කල්හි) පරිජි හෝ පරිජියට සාමන්ත ඇවතකට හෝ මෙබඳු ගරු ඇවැතකට පැමිණ කිමෙක් ද? විචාරණ ලද්දාහු ප්‍රතිඥා නො කරන්නහු ද? එබැවින් ඉදින් පරිජියකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ගරු ඇවැතකට පැමිණියෙමි’යි ඉදින් සිහි කරවු නම්, එය මොනොවට ම දැනගන්නැ’ යි. මෙසේ කියයි.
(එවිට) ඒ චූදිතක මහණ තෙම “ඇවැත්නි, පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙබඳු වූ ගරු ඇවැතකට පැමිණියෙමි යි මා කීවා සිහි කෙරෙමි ඇවැත්නි, එය මා විසින් කෙළි පිණිස කියන ලදි, එය මා විසින් විහිළු පිණිස කියන ලදී. පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙබඳු ඇවැතකට මම් පැමිණියෙමි’යි කියා නම් නො ම සිහි කෙරෙමි” යි මෙසේ කියයි.
56. මහණෙනි, එසේ කියන ඒ මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කළයුතු. මහණෙනි, මෙසේ වනාහි එය කළ යුතු: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්
“වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම සඟ මැද දී ගරු ඇවැතින් ප්‍රශ්න කරණු ලබන්නේ අවඥා කොට (වරද නො පිළිගෙන) ප්‍රතිඥා කෙරෙයි (නැවැත පිළිගනියි) ප්‍රතිඥා කොට (එසේ ය. වරදට පැමිණියෙමි යි පිළිගෙන) අවඥා කෙරෙයි (ක්‍රීඩා වශයෙන් එසේ කීයෙමි යි යන ආදි බසක් කියා නොපිළිගනී හෝ වරද යටපත් කෙරෙයි). එකෙකින් අනෙකක් වසාලයි. (වරදට පැමිණියෙමි යි) දන්නේ ම බොරු කියයි. ඉදින් සංඝයාට සුදුසු යැ යි හැඟෙන්නේ නම්, සංඝ තෙමේ මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම සඟමැදදී ගරු ඇවැතෙකින් අනුයෝග කරණු ලබන්නේ, අවඥා කොට ප්‍රතිඥා කෙරෙයි ප්‍රතිඥා කොට අවඥා කෙරෙයි අන් කරුණෙකින් අනෙකක් වසාලයි, දැන දැන මුසවා බෙණෙයි, සංඝ තෙමේ මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කෙරෙයි. මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම්, හේ නිහඬ වන්නේය, යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි නම් හේ කියාවා. දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ... සංඝයා විසින් මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණ ලදි. සංඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි” යනුයි.
මහණෙනි, මේ අධිකරණය (මෙසේ) සන්සිඳුනේ යැයි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේද? යත්: සම්මුඛාවිනයයෙන්ද, තස්සපාපිය්‍යසිකායෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ ? සංඝසම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගල සම්මුඛතාව යන සතර යි ... එහි තස්සපාපිය්‍යසිකාව කවර යැ? තසසපාපිය්‍යකාකර්‍මයා ගේ යම් ක්‍රියාවෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මෙය එහි තස්සපාපිය්‍යසිකාව යැ. මහණෙනි, ඉදින් මෙසේ සංසිඳුනු , අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක මහණෙක් නින්‍දා කෙරෙයිද, ඔහුට ඛීයනක පාචිත්තිය වෙයි.
ප්‍රතිඥාතකරණය
57. ආපත්ත්‍යධිකරණය සමථ කීයෙකින් සන්සිඳෙයි ද? යත්: ආපත්ත්‍යධිකරණය සම්මුඛාවිනයයෙන් ද ප්‍රතිඥාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ තුනින් සන්සිඳේ.
ආපත්ත්‍යධිකරණය, තිණවත්‍ථාරක නම් වූ එක් සමථයකට නො පැමිණ සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද යන සමථ දෙකින් සන්සිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකි යැයි කියයුතු වන්නේ ය. කෙසේ යත්: මෙහි මහණෙක් ලුහු ඇවතකට පැමිණියේ වෙයි. මහණෙනි, ඒ මහණහු විසින් එක් මහණකු කරා එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උක්කුටුක වැ හිඳ දොහොත් මුදුන්හි කොට, “ඇවැත්නි, මම් මෙ නම් ඇවැතකට පැමිණියෙමි, එය දෙසමි” යි මෙසේ කිය යුතු වන්නේ යැ. ඔහු විසින් (අනිත් මහණහු විසින්) ‘ඇවැත දක්හිදැ ?’ යි කියැ යුතු. ‘එසේ ය, දකිමි’ යි පළමු මහණහු විසින් කියැ යුතු ‘මත්තෙහි සංවර වඩව’ යි දෙවැනි මහණහු විසින් කියැ යුතු,
මහණෙනි, මේ අධිකරණය (මෙසේ) සන්සිඳුනේ ය යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ ? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන තුන ය ... එහි පුද්ගල සම්මුඛතාව කවර යැ: යමෙක් ඇවැත දෙසා නම්, හේ මහණ ද යමකුට ඇවැත දෙසා නම් ඒ මහණ ද යන දෙදෙනා හමු වූවාහු වෙත් ද, මෙය එහි පුද්ගලසම්මුඛතාව යැ. එහි පටිඤ්ඤාතකරණය නම් කවර යැ? පටිඤ්ඤාතකරණ කර්‍මයාගේ යම් කියාවෙක් කිරීමෙක්, එළඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මේ එහි පටිඤ්ඤාතකරණය යි. මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණයක් ප්‍රතිග්‍රාහක මහණ තෙමේ (යළිත් සන්සිඳවනු පිණිස උත්කෝටනය කෙරෙයි ද (ඉදිරියට අදී ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
58. මහණෙනි, මෙසේ ඒ අධිකරණය සමථය ලබන්නේ නම්, ඒ මැනැවැ. ඉදින් නොලබන්නේ නම්, මහණෙනි, ඒ මහණහු විසින් බොහෝ මහණුන් කරා එළැඹ උතුරු සඟ එකස් කොට, වැඩිමාලු මහණුන්ගේ පා වැඳ උක්කුටුක වැ හිඳ, දොහොත් මුදුනැ නඟා “වහන්ස, මම් මෙ නම් ඇවැතට පැමිණියෙම් වෙමි. එය දෙසමි” යි මෙසේ කියයුතු වන්නාහ. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “ආයුෂ්මත්හු මගේ වචනය - අසත්වා. මේ මෙනම් මහණ ඇවැත හෙළි කරයි, ඇවැත පෙහෙළි කරයි. ඇවැත දෙසයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් ඇත්තේ යැ යි හැඟේ නම්, මම මෙනම් මහණහුගේ ඇවැත පිළිගන්නෙමි” යි මහණහු දැන්විය යුත්තාහ.
ඒ ප්‍රතිග්‍රාහක මහණහු විසින් ඇවැත දක්නෙහි දැ?’ යි ඉතර මහණට කියයුතු. ‘එසේ යැ, දකිමි’ යි දේශක මහණහු විසින් කියැ යුතු, ‘මත්තෙහි සංවර කරව’ යි ප්‍රතිග්‍රාහක මහණහු විසින් කියැ යුතු.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්සිඳුනේයැ යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ද ප්‍රතිඥාතකරණයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනය කවර යැ? ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන තුන යැ..... එහි පුද්ගලසම්මුඛතාව කවර යැ? යමෙක් ඇවැත දෙසයි ද, යමකුටත් දෙසයි ද, මේ දෙසක ප්‍රතිග්‍රාහක දෙදෙනා හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගල සම්මුඛතාව යැ. එහි ප්‍රතිඥාතකරණය කවර යැ? ප්‍රතිඥාත කරණ කර්‍මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධන, යෙක් වේ ද, මේ එහි ප්‍රතිඥාතකරණය යැ. මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණය ප්‍රතිග්‍රාහක මහණ තෙම නැවැත සන්සිඳුවනු පිණිස ඉදිරියට අදනේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
59. ඉදින් මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනව. ඉදින් නො ලබන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් සංඝයා කරා එළැඹ, උතුරුසඟ එකස් කොට වැඩිමාලු මහණුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ගෙන, “වහන්ස, මම් මෙ නම් ඇවැතට පැමිණියෙමි. එය දෙසමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “වහන්ස, සංඝ තෙමේ මේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ ඇවැත සිහි කරයි. හෙළි කරයි, පෙහෙළි කරයි, දෙසයි. ඉදින් සංඝයාට සුදුසු කල් වී යැයි හැඟේ නම්, මම් මෙනම් මහණහුගේ ඇවැත පිළි ගන්නෙමි’ යි සංඝ තෙමේ දැන්වියැ යුතු. ඒ ප්‍රතිග්‍රාහක මහණ විසින් ‘ඇවැත දකිහි දැ?’ යි කියැ යුතු ‘එසේ ය, දකිමි’ යි දේශකයා විසින් කියැ යුතු. ‘මත්තෙහි සංවරය වඩව’ යි ප්‍රතිග්‍රාහකයා විසින් කියැ යුතු.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්සිඳුනේ යැ”යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද ප්‍රතිඥාතකරණයෙන් ද යන දෙකිනි, එහි සම්මුඛාවිනයය කවර යැ ? සංඝසම්මුඛතාව ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන සතර යැ ... මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණය ප්‍රතිග්‍රාහක තෙමේ උත්කෝටනය කරන්නේ නම් ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක මහණ නින්‍දා කරන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
තිණවත්‍ථාරකය
60. ප්‍රතිඥාතකරණ නම් වූ එක් සමථයකට නො පැමිණ සම්මුඛ විනයයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ දෙකින් ආපත්‍යධිකරණය සන්සිඳෙන්නේය යන්න විය හැකි ද? විය හැකි යැ යි කිය යුතු වන්නේ ය. කෙසේ ද? යත්: ‘මෙහි හටගත් අරගල ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණියන් වැ වසන මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ වරද කරන ලදුයේ වෙයි. ඉදින් එහි මහණුනට හටගත් අරගල ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට බටුවන් වැ වසන අප විසින් වාචසික වූද කායික වූ ද බොහෝ වරද කරණ ලදුයේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් උනුනට පිළියම් කරවන්නමෝ නම් ඒ අධිකරණය රළු බව පිණිස, සැඩ බව පිණිස, බිඳීම පිණිස පවතිනු විය හැකියැ’ යි මෙසේ සිතෙක් වෙයි. මහණෙනි, මෙබඳු අධිකරණය තිණවත්‍ථාරකයෙන් සන්සිඳුවන්නට අනුදනිමි:
තවද මහණෙනි, මෙසේ එය සන්සිඳු විය යුතු: සියලු මහණුන් ම එක් තැනකට රැස් විය යුතු. එක්රැස් වැ ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසා වා, උපන් අරගල ඇති ව, උපන් කලහ ඇති ව, විරුද්ධවාදයට බැසගත්තන් ව වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද ශ්‍රමණසාරූප්‍ය නොවූ බොහෝ දෑ කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළුබව පිණිස, සැඩබව පිණිස, භේදය පිණිස පවතිනු ද හැකි වන්නේ ය, ඉදින් සංඝයාට සුදුසු කලහැ යි හැඟෙන්නේ වී නම් සංඝ තෙමේ (පරිජි සඟවෙසෙස් යන) දළ වරද හැර, ගිහින් ගැරහුම් ආදීන් ගෘහස්ථප්‍රතිසංයුක්ත වරද ද හැර (සෙසු ඇවැත් හා සම්බන්‍ධ වූ) මේ අධිකරණය තිණවත්‍ථාරකයෙන් සන්සිඳුවන්නේ ය.
එක් පක්‍ෂයකට අයත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් “ආයුෂ්මත්හු මා ගේ වචනය අසත්වා. උපන් අරගල ඇති වැ උපන් කලහ ඇති වැ විරුද්ධවාදයට බැසගත්තන් වැ වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද අශ්‍රාමණක වූ බොහෝ දෑ කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළුබව පිණිස සැඩබව පිණිස භේදය පිණිස පවතිනු ද විය හැක්ක. (ඒ හෙයින්) ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් යැ යි හැඟෙන්නේ වී නම්, ආයුෂ්මතුන්ගේ යම් ඇවැත් වේ නම් තමා ගේ යම් ඇවැත් වේ නම් ස්ඵුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු සියලු ඇවැත් ආයුෂ්මත්නට වැඩ පිණිසත් තමාට වැඩ පිණිසත් සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි” යි ස්වකීය පක්‍ෂය දැන්වියැ යුතු යැ. ඉක්බිති අන් එක් පක්‍ෂයක් ගත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් “ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා. උපන් අරගල ඇති ... ස්ථුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත ආපත්තී ද හැර සෙසු සියලු ඇවැත්.... සහ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙම්” යැ යි ස්වකීය පක්‍ෂය දැන්විය යුතු.
එක් පක්‍ෂයකට අයත් මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්,
“වහන්ස, සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... අප විසින්..... බොහෝ ආශ්‍රාමණක දෑ කරණ ලද්දේ වෙයි. ඉදින් අපි ඔවුනොවුනට මේ ඇවැත්වලින් පිළියම් කරවන්නමෝ නම් ඒ අධිකරණය රළුබව පිණිස, සැඩබව පිණිස, භේදය පිණිස පවතිනු ද විය හැකි ය. ඉදින් සංඝයාට සුදුසු කල් වේ යැයි හැඟේ නම් මම් ස්ථූල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර, මේ ආයුෂ්මතුන් ගේ සෙසු යම් ඇවැත් වේ නම් තමා ගේ ද සෙසු යම් ඇවැත් වේ නම්, ඒ හැම මේ ආයුෂ්මත්වරුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යැ.
සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... අප විසින්..... බොහෝ ආශ්‍රාමණක දෑ කරන ලද්දේ වෙයි.... මම් ස්ඵුල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර, මේ ආයුෂ්මතුන් ගේ සෙසු යම් ඇවැත් වේ නම්, තමා ගේ ද සෙසු යම් ඇවැත් වේ නම්, ඒ හැම මේ ආයුෂ්මත්වරුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසමි. සථූලවරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු මේ සියලු ඇවැත් අප සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසීම යම් ආයුෂ්මතකු හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා, යම් ආයුෂ්මතකු හට නො රිසියෙන්නේ වී නම් හේ කියාවා.
අප විසින් ස්ථුල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් ද හැර සෙසු මේ සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන ලද්දේ ය. සංඝයාට රිසිවෙයි. එ හෙයින් නිහඬ යැ. මෙසේ මෙය සලකමි” යැ යි සංඝ තෙමේ දැන්විය යුතු.
ඉක්බිති අන් එක් පක්‍ෂය ගත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින්,
“සංඝ තෙමේ මා ගේ වචනය අසා වා. උපන් අරගල ඇති ... අප විසින් ... වරද කරන ලද්දේ ය. ස්ඵුල වරද හැර ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු..... සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යැ.
වහන්ස, සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැත් වේ ද, තමා ගේ යම් ඇවැත් වේ ද, ස්ඵූල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්තිය ද හැර සෙසු මේ සියලු ඇවැත් මේ ආයුෂ්මතුන් හට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සහ මැද දී තිණවත්‍ථාරකය දෙසමි ... යම් ආයුෂ්මතකු හට රිසියෙහි ද හේ නිහඬ වේ වා, යමකුට නොරිසියෙයි ද හේ කියාවා. අප විසින් ස්ඵූල වරද ද හැර ගෘහීප්‍රතිසංයුක්ත වරද ද හැර සෙසු මේ සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන ලද්දේ ය. සංඝයාට රිසියෙයි, එ හෙයින් නිහඬ ය, මෙසේ මෙය සලකමි” යැ යි සංඝ තෙමේ දැන්වියැ යුත්තේ ය.
61. මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන දෙකෙනි. එහි සම්මුඛාවිනයය කවර යැ?
සංඝ සම්මුඛතාව ධර්‍ම සම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන මේ ය. එහි සංඝ සම්මුඛතාව කවරයැ” යම් පමණ මහණහු කර්‍මප්‍රාප්තයෝ නම් ඔහු හැම ආවාහු වෙත් ද ඡන්‍දය දෙනුවට සුදුස්සන් ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතිෂෙධනය නො කෙරෙත් ද මේ එහි සංඝ සම්මුඛතාව යි.
එහි ධර්‍ම සම්මුඛතා විනය සම්මුඛතා කවර යැ? යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘ-සාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳෙයි ද, මෙය එහි ධම්සම්මුඛතා විනයසම්මුඛතා යැ
එහි පුද්ගලසම්මුඛතා කවර යැ? යමෙකුත් ඇවැත දෙසයි ද යමකුටත් දෙසයි ද, ඒ දෙදෙනාම හමුවූවාහු වෙත්, මේ එහි පුද්ගල සම්මුඛතා යැ.
එහි තිණවත්‍ථාරකය කවර යැ? තිණවත්‍ථාරකකර්‍මයා ගේ යම් ක්‍රියායෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මේ එහි තිණවත්‍ථාරකය යි.
මහණෙනි, මෙසේ සන්හිඳුනු මේ අධිකරණය ඉදින් ප්‍රතිග්‍රාහක මහණෙක් ඉදිරියට අදනේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. මේ කර්‍මයට ඡන්‍දය දුන් මහණෙක් මෙහි සන්හිඳීමට නින්‍දා කෙරේ ද ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
කෘත්‍යාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳේ ද කෘත්‍යාධිකරණය සම්මුඛාවිනය සංඛ්‍යාත එක් ශමථයෙකින් සන්හිඳෙ යි.
සතරවනු සමථක්බන්‍ධකය නිමියේ ය.
විනයපිටකයෙහි
සුළුවග
(දෙවන භාගය)
ඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
5.
ඛුද්දකවත්‍ථුක්ඛන්‍ධකය
ක්‍ෂුද්‍රකවස්තු
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි සවග මහණහු ස්නානය කරන්නාහු කලවා ද අත්දඬු ද ළය ද පිට දැ යි ශරීරාවයව රුකෙහි උළත්. මිනිස්සු ‘කෙසේ නම් ශාක්‍යපුත්‍රික මහණහු ස්නානය කරන්නාහු මල්ල පොරකාරයන් සේ, සම පැහැපත් කරන නුවරුන් සේ කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ’ යි ලාමක කොට සිතත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. මහණහු ලාමක කොට සිතන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසංඝයා එක්රැස් කරවා ‘මහණෙනි, සවග මහණහු නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ යි පුවත සත්‍ය දැ යි අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, සත්‍ය යැ’යි මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ ක්‍රියාව මහණුනට නො නිසි ය, මහණුනට නො අනුලොම් ය, මහණුනට නො සුදුසු ය, අශ්‍රාමණක ය, මහණුනට නො කැප ය, මහණුන් විසින් නො කළ යුත්තෙක. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් රුකෙහි උළත් ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩෙනු පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පහන් වූවන් ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු සමහර දෙනාගේ වෙනස් බව පිණිසද පවතී” යැ යි නොයෙක් ලෙසින් ගැරැහු සේක. නොයෙක් ලෙසින් ගරහා, දැහැමි කතා කොට, මහණුන් අමතා,
“මහණෙනි, නාන්නා වූ මහණහු විසින් රුකෙහි ඇඟ නො ඉළියයුතු ය. යම් මහණෙක් ඇඟ (රුකෙහි) උළන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
2. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද යන ශරීරාවයව ටැඹෙහි උළත්. ‘ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන් සම පැහැ ගන්වන නියැරියන් මෙන් කෙසේ නම් ටැඹෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භික්‍ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළාහ. “මහණෙනි ... සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබෑ යැ’ යි භික්‍ෂුහු පැවැසූහ. භාග්‍යවතුන් වහන්සේ ... නොයෙක් කරුණු දක්වා ගැරැහු සේක. නොයෙක් කරුණු දක්වා ගරහා දැහැමි කථා කොට, මහණුන් අමතා,
“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් ටැඹෙහි ඇඟ නො ඉළියැයුතු. යම් මහණෙක් ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
3. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද බිත්තියෙහි උළත්. ‘ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන්, සම පැහැ ගන්වන නියැරියන් මෙන්, කෙසේ නම් බිත්තියෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් කරුණින් ගැරැහු සේක. ... නොයෙක් කරුණින් ගරහා, දැහැමි කථා කොට, භික්‍ෂූන් අමතා,
“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් බිත්තියෙහි ඇඟ නො ඉළියැයුතු, යමෙක් (බිත්තියෙහි) ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
4. එ සමයෙහි වනාහි සවග මහණහු අට්ඨානයෙහි (ගිහියන් සඳහා ඇඟ උළන පුවරු සිටුවා ඇති තොටුපලෙහි) ස්නානය කරත්. මිනිස්සු ... “කෙසේ නම් කාමභෝගී ගිහියන් මෙන් .... පිට ද උළත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්‍ෂූහු ලාමක කොට සිතන, නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබෑ ය වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... නොයෙක් ලෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් අමතා,
“මහණෙනි, අට්ඨානයෙහි (ගිහියන් සඳහා පිළියෙල වැ ඇති තොටුපලෙහි) නො නෑ යුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
5. එ සමයෙහි වනාහි සවග මහණහු ගඳැවු අතින් (නාන තොටැ තබා ඇති ලී මුවා අතින්) ඇඟ උළා නාත්. ‘කාමභෝගී ගිහියන් මෙන් නාති’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ... මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා,
“මහණෙනි, ගඳැවු අතින් ඇඟ උළා නො නෑයුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
6. එ සමයෙහි වනාහි සවග මහණහු කිරිඳිහුයින් (කිරිඳිගල් සුණු ලහයෙන් අනා කළ ගුළි වැටියෙන්) ඇඟ උළා නාත් ...
“මහණෙනි, කිරිඳිහුයින් ඇඟ උළා නො නෑයුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක
7. එ සමයෙහි වනාහි සවග මහණහු ඇඟින් ඇඟ ගටා පිරියම් කරවත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් මෙන් යැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඇඟින් ඇඟ ගටා පිරියම් නො කැරැවියයුතු. යමෙක් කැරැවූයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
8. එ සමයෙහි වනාහි සවග මහණහු මල්ලකයෙන් (මුවර දත් සිඳ කෙමියක් මෙන් තැනූ උපකරණයෙන්) ඇඟ උළා නාත්, ‘කාමභෝගී ගිහියන් මෙනැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, මල්ලකයෙන් ඇඟ උළා නො නෑ යුතු, යමෙක් නෑයේ වී නම්, දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
9. එ සමයෙහි වනාහි එක්තරා මහණකුට ඇඟ කසන ලෙඩක් වෙයි. ඔහුට මල්ලකයක් නැති වැ පහසුවෙක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගිලන් මහණහට අකතමල්ලකය (දත් නොසිඳ කළ මල්ලකය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.