ආයුෂ්මත්හු මගේ වචනය අසත් වා. උපන් ඩබර ඇති ...... අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත් වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම් ..... භේදය පිණිස පවතිනු ඇත. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් ඇත්තේ වී නම්, මම්, ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ආයුෂ්මතුනට වැඩ පිණිස ද තමහට වැඩ පිණිස ද, දළ වරද හැර පියා ගිහියනට ගැරැහුම් ආදි විසින් වූ (ගෘහීප්‍රතිසංයුක්ත) වරද ද හැර පියා, සඟ මැදදී තෘණවස්තාරකයෙන් දෙසන්නෙමි යි සිය පසට දැන්වීය යුතු.
22. එක් පසෙක වූ මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු: වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසා වා, උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි ... භේදය පිණිස පැවැතිය හැක්ක. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ වී නම්, මම්, මෙ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, මේ ආයුෂ්මතුන් හට වැඩ පිණිස ද, තමහට වැඩ පිණිස ද, සහ මැද දී ස්ථුල වරදත් ගිහියනට ගැරැහුම් ඈ විසින් කළ වරදත් හැර ඒ ඉතිරි සියලු වරද තෘණවස්තාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසා වා. උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි. එය ... භේදය පිණිස පවතින්නේ ය. මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමා ගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම, සුලු වරදත් ගෘහීප්‍රතිසංයුක්ත වරදත් හැර මේ ආයුෂ්මත්නට වැඩ පිණිස ද තමහට වැඩ පිණිස ද සඟ මැද දී මම් දෙසමි. ස්ථුල වරදත් ගෘහීප්‍රතිසංයුක්ත වරදත් හැරපියා අපගේ මේ සෙසු සියලු ඇවැතුන් තෘණවස්තාරකයෙන් දෙසීම යම් ආයුෂ්මතකුට රිසි යෙන්නේ ද හේ නිහඬ වේවා, යමකුට නො රිසියෙන්නේ ද හේ කියාවා.
ස්ථූල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත වරද ද හැර පියා, මේ සෙසු ඇවැත්හු අප විසින් සඟ මැද දී දෙසන ලදහ. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය සලකමි’යි යනුවෙනි.
23. අනතුරු ව අන් එක් පසෙක වූ මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. උපන් ඩබර ඇති ... අප විසින්.... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි. එය ... භේදය පිණිස පවතින්නේ ය. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ස්ථුල වරදත් ගෘහීප්‍රතිසංයුක්ත වරදත් හැරපියා මේ ආයුෂ්මතුන් හට වැඩ පිණිස ද, සහ මැද දී මම් දෙසන්නෙමි. මේ ඥප්තිය යි.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි ... එය… භේදය පිණිස පවත්නේ ය. මේ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ස්ථුල වරදත් ගෘහී ප්‍රතිසංයුක්ත වරදත්, හැර මේ ආයුෂ්මතුන්හට වැඩ පිණිස ද තමහට වැඩ පිණිස ද සහ මැද දී මම් දෙසමි. ස්ථුල වරදත් ගෘහීප්‍රතිසංයුක්ත වරදත් හැර පියා අපගේ මේ සෙසු සියලු ඇවැතුන් තෘණවස්තාරකයෙන් දෙසීම යම් ආයුෂ්මතකුට රිසියෙන්නේ ද හේ නිහඬ වේවා, යමක්හට නො රිසියෙන්නේ ද, හේ කියාවා.
ස්ථුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත වරද ද හැරපියා මේ සෙසු ඇවැත්හු අප විසින් සඟ මැද දී දෙසන ලදහ. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය සලකමි’ යනුවෙනි.
මහණෙනි, මෙසේ වනාහි ඒ මහණහු ස්ථුල ඇවැතුත් හැර, ගාහීප්‍රතිසංයුක්ත ඇවැතුත් හැර, යම් කෙනෙකුනට මෙය නො රිසියෙන්නේ නම් ඔවුන් ගේ එ බව පැවසීම හැර යම් කෙනෙක් එහි නො වෙත් නම් ඔවුන් ද හැර, ඉතිරි හැම ඇවැත් කෙරෙන් නැඟි සිටියාහු වෙත්.”
8. සතර අධිකරණ
24. එ සමයෙහි වනාහි මහණහු ද මෙහෙණන් හා විවාද කෙරෙත්, මෙහෙණහු ද මහණුන් හා විවාද කෙරෙත්. ඡන්න මහණ ද මෙහෙණන් ... මැදට වැද මහණුන් හා විවාද කෙරෙයි. මෙහෙණන්ගේ පක්‍ෂය ගන්වයි. අල්පේච්ඡ වූ ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු ඡන්න මහණ තෙම කෙසේ නම් මෙහෙණන් මැදට වැද මහණුන් හා විවාද කරන්නේ ද? මෙහෙණන්ගේ පක්‍ෂය ගන්වන්නේ දැ?’ යි අවඥා කෙරෙත්, දොස් නඟත්, අගුණ පතුරුවා බෙණෙත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. ‘මහණෙනි, එය සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘වහන්ස සැබැවැ’ යි ඒ මහණහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගරහා, දැහැමි කතා කොට, ඔවුන් බණවා මෙය වදාළ සේක:
25. “මහණෙනි, විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්‍යධිකරණය, කාත්‍යාධිකරණයැ යි මේ සතර අධිකරණ කෙනෙක් වෙත්.
එහි විවාදාධිකරණය කවර යැ. මහණෙනි, මෙහි මහණහු ‘මේ දහමැ යි කියා හෝ නොදහමැයි කියා හෝ විනයයැ යි කියා හෝ අවිනයයැ යි කියා හෝ තථාගතයන් විසින් වදාරණ ලද්දේ ය, පවසන ලද්දේයැ යි කියා හෝ තථාගතයන් විසින් නො වදාරණ ලද්දේ ය, නො පවසන ලද්දේ යැ යි කියා හෝ තථාගතයන් විසින් ආචීර්‍ණ (කරණ ලද) යැ යි කියා හෝ තථාගතයන් විසින් අනාචීර්‍ණයැ යි කියා හෝ තථාගතයන් විසින් පණවන ලදැ යි කියා හෝ තථාගතයන් විසින් නො පණවන ලදැ යි. කියා හෝ මේ ඇවැතැ යි කියා හෝ මේ නො ඇවැතැ යි කියා හෝ මේ ලුහු ඇවැතැ යි කියා හෝ මේ ගරු ඇවැතැයි කියා හෝ මේ සාවශේෂ ඇවැතැයි කියා හෝ මේ අනවශේෂ ඇවැතැයි කියා හෝ මේ දුළුල් ඇවැතැ යි කියා හෝ මේ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත් ද, එහි යම් අරගලයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානා වාදයෙක් අන්‍යථාවාදයෙක් විරුද්ධ ව්‍යවහාරයෙක් (පරුෂවචනයෙක්) කල බැගෑනියෙක් වෙයි ද මේ විවාදාධිකරණ යැ යි කියනු ලැබේ.
එහි අනුවාදාධිකරණ නම් කවර යැ? මහණෙනි, මෙහි මහණහු ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් අනුවාදයෙක් (චෝදනාවෙක්), අනුවදනයෙක්, පුන පුනා දොස් නැඟීමෙක් පුන පුනා දොස් කීමෙක් පුන පුනා අවනත කරන බවෙක්, දිරිගන්වා කීමෙක්, අනුබල දීමෙක් වේ ද, මෙය අනුවාදාධිකරණ නමැ යි කියනු ලැබේ.
එහි ආපත්තාධිකරණ නම් කවර යැ? ඇවැත් කඳු පස ම ආපත්තාධිකරණ යි, ඇවැත්කඳු සත ම ආපත්තාධිකරණ යි. මේ ආපන්නාධිකරණ නමැයි කියනු ලැබේ.
එහි කිච්චාධිකරණ නම් කවර යැ ? අපලෝකනකර්‍ම ය, ඥප්තිකම් ය, ඥප්තිද්වීතීයකම් ය, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍ම යැ යි සංඝයාගේ යම් ඒකාන්තයෙන් කර්‍ම කළ යුතු බවෙක්, කාර්‍ය භාවයෙක් වේ ද, මේ කිච්චාධිකරණයැ යි කියනු ලැබේ.
25. විවාදාධිකරණයාගේ මුල කවර යැ? විවාද මූල සය විවාදාධිකරණයට මුල් ය. තුන් අකුසල් මුල් ද විවාදාධිකරණයට මුල් ය. තුන් කුසල් මුල් ද විවාදාධිකරණයට මුල් ය.
කවර විවාද මුල් සයෙක් විවාදාධිකරණයට මුල වේ ද යත්: මහණෙනි, මෙහි මහණෙක් ක්‍රෝධ කරන්නේ වේ ද, බද්ධ වෛර ඇත්තේ වේ ද, හේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී (සම්පූර්‍ණ කරන්නේ) නො වෙයි, මහණෙනි, යම් මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි ද, ධර්‍මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ... ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවි මිනිසුන් හට අහිත පිණිස දුක් පිණිස වෙයි. මහණෙනි, මෙබඳු විවාද මූලය ඉදින් තමා කෙරෙහි හෝ තමාගෙන් පිටත්හි හෝ දක්නේ නම්, මහණෙනි, එහි තෙපි ලාමක වූ ඒ විවාදමූලයේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, ඉදින් තෙපි එබඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ (අනුන් කෙරෙහි හෝ) නො දක්නහු නම්, මහණෙනි, තෙපි එහි ලා ඒ විවාදමූලයාගේ ම මත්තෙහි තමන් කෙරෙහි පහළ නොවන්නට පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි, මෙසේ මේ විවාදමූලයාගේ මත්තෙහි නොඉපැද්ම වේ.
26. තවද අනෙකක් කියම්. මහණෙනි, මහණෙක් ගුණමකු වූයේ වේ ... ඊර්‍ෂ්‍යා ඇත්තේ මසුරු වේ, ... ශඨ වූයේ මායා සහිත වේ, ... ලාමක ඊප්සා ඇත්තේ මිසදිටු වේ, ... තමා ගත් දෘෂ්ටිය දැඩි කොට ගත්තේ ආධානගාහී වූයේ තමාගේ දෘෂ්ටිය දුරැලිය නො හැක්කේ වේ. මහණෙනි, යම් මහණෙක් තමාගේ දෘෂ්ටි දැඩි කොට ගත්තේ ආධානගාහී (දෘඪග්‍රාහී වූයේ) ත් දුක සේ බැහැර කළයුතු දෘෂ්ටි ඇත්තේත් වේ නම්, හේ ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යමෙක් ශාස්තෘහු කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, ධර්‍මය කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, සඞ්ඝයා කෙරෙහිත් ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසේ නම්, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වේ නම්, හේ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස, දුක් පිණිස වෙයි. මහණෙනි, මෙබඳු වූ විවාදමූලයක් තෙපි තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත් හි හෝ දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක වූ විවාදමූලයාගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, මෙබඳු වූ විවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ තෙපි නො දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක විවාදමූලයාගේ ම මත්තෙහි තමන් සතන්හි නො පහළ වනුවට පිළිපදිවු. මෙසේ ඒ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නොඉපැද්ම වෙයි. මේ විවාදමූල සය විවාදාධිකරණයට මුල ය.
27. කවර අකුසල් මුල් තුනෙක් විවාදාධිකරණයට මුල වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු ‘දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ විනයයයැ යි කියා හෝ අවිනයයැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරණලද්දේ ය, පවසන ලද්දේ යැයි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේ ය. නො පවසන ලද්දේ යැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් ආචීර්‍ණ යැයි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් අනාචීර්‍ණ යැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි කියා හෝ ඇවැතැ යි කියා හෝ නො ඇවැතැ යි කියා හෝ ලුහු ඇවැතැ යි කියා හෝ ගුරු ඇවැතැ යි කියා හෝ සාවශේෂ ඇවැතැ යි කියා හෝ අනවශේෂ ඇවැතැ යි කියා හෝ දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැයි කියා හෝ ලුබ්ධ සිතැත්තෝ විවාද කෙරෙත් ද, විෂ්ට සිතැත්තේ විවාද කෙරෙත් ද, මූඪ සිතැත්තෝ විවාද කෙරෙත් ද, මෙසේ මේ තුන් අකුසල් මුල් විවාදාධිකරණයට මුල් වේ.
කවර කුසල්මුල් තුනෙක් විවාදාධිකරණයට මුල් වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ ලුබ්ධ නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, විෂ්ට නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, මූඪ නොවූ සිතැත්තාහු විවාද කෙරෙත් ද, මෙහි මේ තුන් කුසල් මුල් විවාදාධිකරණයට මුල් වේ.
28. අනුවාදාධිකරණයට මුල කවර යැ? අනුවාදයට (චෝදනාවට) මුල් වූ දෑ සය අනුවාදාධිකරණයට මුල් වේ. තුන් අකුසල් මුල් ද අනුවාදාධිකරණයට මුල් වේ. තුන් කුසල් මුල් ද අනුවාදාධිකරණයට මුල් වේ. කය ද අනුවාදාධිකරණයට මුල් වේ, වචනය ද අනුවාදාධිකරණයට මුල් වේ.
කවර නම් අනුවාදමූල සයෙක් අනුවාදාධිකරණයට මුල් වේ ද යත්: මහණෙනි, මෙහි මහණෙක් ක්‍රෝධ කරන්නේ, බැඳගත් වෛර ඇත්තේ වෙයි. මහණෙනි, යම් මහණෙක් ක්‍රෝධ කරන්නේ, බද්ධ වෛර ඇත්තේ වේ ද, හෙ තෙම ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෘහු කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද,ධර්‍මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි ද, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි ද, හෙ තෙම සඞ්ඝයා කෙරෙහි චෝදනා උපදවයි. ඒ චෝදනාව බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස ද වේ මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස වෙයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ නො දක්නහු නම්, මහණෙනි, තෙපි එහි ඒ ලාමක වූ අනුවාදමූලයාගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ නො දක්නහු නම්, මහණෙනි, එහි ලා තෙපි ඒ ලාමක වූ අනුවාදමූලයාගේ ම මත්තෙහි නොඉපැද්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයේ මත්තෙහි නොඉපැද්ම වෙයි.
29. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණෙක් ගුණමකු වූයේ ඊර්‍ෂය්‍යා කරණුයේ මසුරු වූයේ වෙයි, ශඨ වූයේ මායා ඇත්තේ ... ලාමක ඊප්සා ඇත්තේ ... මිසදිටු වෙයි ... තමාගේ දෘෂ්ටිය දැඩි කොට ගන්නා සුලු වූයේ ආධානගාහී දුපපටිනිග්ගී (දුරැලීමට දුෂ්කර දෘෂ්ටි ඇත්තේ) වෙයි. හේ ශාස්තාහු කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත්පැවැතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෘහු කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙන්නේද, ධර්‍මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙන්නේ ද, ශික්‍ෂායෙහි පරිපූරකාරී නොවන්නේ ද, හේ සඞ්ඝයා කෙරෙහි අනුවාද (චෝදනා) උපදවයි. ඒ අනුවාදය බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස, දුක් පිණිස වෙයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු අනුවාදමූලයක් තමා කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ දක්නහු නම්, මහණෙනි, එහි ලා ඒ ලාමක වූ අනුවාදමූලයේ ප්‍රහාණය පිණිස වෑයම් කරවු, මහණෙනි,ඉදින් මෙබඳු අනුවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් බැහැරැ හෝ නො දක්නහු නම්,මහණෙනි, තෙපි එහි ලා ඒ ලාමක අනුවාදමූලයේ මත්තෙහි නො ඉපැද්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක අනුවාදමූලයේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක අනුවාදමූලයේ මත්තෙහි නොඉපැද්ම වෙයි. මේ අනුවාදමූල සය අනුවාදාධිකරණයේ මුල ය:
30. කවර තුන් අකුසල්මුල් කෙනෙක් අනුවාදාධිකරණයට මුල් වෙත් ද යත්; මහණෙනි, මෙහි මහණ කෙනෙක් ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ මහණකුට ලුබ්ධ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, ද්විෂ්ට සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, මූඪ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, (මෙහිලා) මේ තුන් අකුසල් මුල්හු අනුවාදාධිකරණයට මුල් වෙත්.
කවර තුන් කුසල්මුල් කෙනෙක් අනුවාදාධිකරණයට මුල් වෙත් ද යත්: මහණෙනි, මෙහි මහණහු මහණකුට ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ අලුබ්ධ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, අද්විෂට සිතැත්තාහු චෝදනා කෙරෙත් ද අමූඪ සිතැත්තාහු චෝදනා කෙරෙත් ද, (මෙසේ) මේ තුන් කුසල්මුල්හු අනුවාදාධිකරණයට මුල් වෙත්.
31. කවර කයෙක් අනුවාදාධිකරණයට මුල් වේ ද? යත්: මෙහි එක්තරා මහණෙක් යමෙකින් සෙස්සෝ ඔහුට චෝදනා කරන්නාහු නම් එසේ වූ නොමනා පැහැ ඇත්තේ, නොමනා දැකුම් ඇත්තේ, අඟුටුමිටි වූයේ, බොහෝ ආබාධ ඇත්තේ, කණෙක් හෝ කොරෙක් හෝ පිළෙක් හෝ පක්‍ෂාඝාතියෙක් හෝ වෙයි. මේ ඔහුගේ කය (මෙසේ) අනුවාදාධිකරණයට මුල් වෙයි.
කවර වචනයෙක් අනුවාදාධිකරණයට මුල් වෙයි ද? යත්: මෙහි එක්තරා මහණෙක් යමෙකින් සෙස්සෝ ඔහුට චෝදනා කෙරෙද්ද එසේ වූ දුර්‍වචයෙක්, මුමුනන්නෙක්, කෙලතොලුවෙක් වෙයි. මෙහි මේ වචනය අනුවාදාධිකරණයට මුල් වන නියා යි.
32. ආපත්‍යධිකරණයට මුල කවර යැ ආපත්තිසමුත්‍ථාන සය ආපත්‍යධිකරණයට මුල් වෙයි. යම් ඇවැතෙක් කයෙන් නැඟේ ද, වචනයෙන් නො නැඟේ ද සිතින් නො නැඟේ ද එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් වචනයෙන් නැඟේ ද, කයින් නො නැඟේ ද සිතින් නො නැඟේ ද එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් වචනයෙනුත් නැඟේ ද, සිතින් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් සිතිනුත් නැඟේ ද, වචනයෙන් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් වචනයෙනුත් සිතිනුත් නැඟේ ද, කයින් නො නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. යම් ඇවැතෙක් කයිනුත් වචනයෙනුත් සිතිනුත් නැඟේ ද, එසේ වූ ඇවැතෙක් ඇත. මේ ආපත්තිසමුත්‍ථාන සය ආපත්‍යධිකරණයට මුල් ය.
33. කෘත්‍යාධිකරණයට මුල කවර යැ? කෘත්‍යාධිකරණයට එක් මුලෙකි. ඒ සඞ්ඝ තෙමේ ය.
34. විවාදාධිකරණය කුසල් වේ ද? අකුසල් වේ ද? නැතහොත් අව්‍යාකෘත වේ ද? යත්: විවාදාධිකරණය ඇතැම් එකෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය. ඔවුන් අතුරෙන් කුසල් වූ විවාදාධිකරණය කවර යැ ? මහණෙනි, මෙහි මහණ කෙනෙක් කුසල් සිතැත්තාහු මේ ධර්‍මයැ යි කියා හෝ අධර්‍මයැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නො දුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් පරුෂ ව්‍යවහාරයෙක් අරගලයෙක් වේ ද, මේ කුසල් වූ විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අකුසල් වූ විවාදාධිකරණය කවර යැ? මහණෙනි, මෙහි මහණකෙනෙක් අකුසල් සිතැත්තාහු ධර්‍මයැ යි කියා හෝ අධර්‍මයැ යි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක් කලහයෙක් පරුෂ ව්‍යවහාරයෙක්, අරගලයෙක් වේ ද, මේ අකුසල් වූ විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අව්‍යාකෘත වූ විවාදාධිකරණය කවර යැ? මහණෙනි, මෙහි මහණහු අව්‍යාකෘත සිතැත්තාහු, මේ දහමැ යි කියා හෝ නොදහමැ යි කියා හෝ ... මේ දුළුල් ඇවැතැ යි කියා හෝ මේ නොදුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් ඩබරයෙක්, කලහයෙක් පරුෂ ව්‍යවහාරයෙක්, අරගලයෙක් වේ ද, මෙය අව්‍යාකෘත විවාදාධිකරණයැ යි කියනු ලැබේ.
35. අනුවාදාධිකරණය කුසල් වේ ද? අකුසල් වේ ද? අව්‍යාකෘත වේ ද? අනුවාදාධිකරණය ඇතැම් එකෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය.
ඔවුන් අතුරෙන් කුසල් වූ අනුවාදාධිකරණය කවරේ ද? යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් කුසල් සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත්. එහි යම් චෝදනාවෙක්, දොස් නැඟීමෙක්, පුන පුනා දොස් මතු කොට කීමෙක්, පුන පුනා දොස් බිණීමෙක්, පුන පුනා තිදොරින් නැමීමෙක්, වෙසෙසින් උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වේ ද, මේ කුසල් වූ අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අකුසල් වූ අනුවාදාධිකරණය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කෙනෙක් අකුසල් සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් හෝ ... ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් චෝදනාවෙක් ... උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වේ ද, මේ අකුසල් වූ අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අව්‍යාකෘත වූ අනුවාදාධිකරණය කවරේ වේ ද? මහණෙනි, මෙහි මහණ කෙනෙක් අව්‍යාකෘත සිතැත්තෝ මහණකුට ශීලවිපත්තියෙන් හෝ ... ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද. එහි යම් චෝදනාවෙක් ... අනුබල දීමෙක් වේ ද, මෙය අව්‍යාකෘත අනුවාදාධිකරණයැ යි කියනු ලැබේ.
36. ආපත්‍යධිකරණය අකුසල් වේ ද? අව්‍යාකෘත වේ ද? කිසි ආපත්‍යධිකරණයෙක් (ඇවැත් පිළිබඳ නඩුවෙක්) අකුසල් වන්නේ ය, කිසි ආපත්‍යධිකරණයෙක් අව්‍යාකෘත වන්නේ ය. කුසල් වූ ආපත්‍යධිකරණයෙක් නැත.
එහි අකුසල් වූ ආපත්‍යධිකරණය කවරේ ද? දන්නේ, හඳුනන්නේ, සිතා, උපක්‍රම විසින් මැඩ යම් සිකපදයක්හු පිළිබඳ ව්‍යතික්‍රමයෙක් වේ ද, මේ අකුසල් වූ ආපත්‍යධිකරණයැ යි කියනු ලැබේ.
එහි අව්‍යාකෘත වූ ආපත්‍යධිකරණය කවරේ ද යත්; නොදන්නේ, නොහඳුනන්නේ, නො සිතා, උපක්‍රම නො කොට යම් සිකපදයක් පිළිබඳ ව්‍යතික්‍රමයෙක් වේ ද, මේ අව්‍යාකෘත වූ ආපත්‍යධිකරණයැ යි කියනු ලැබේ.
37. කෘත්‍යාධිකරණය කුසල් ද අකුසල් ද අව්‍යාකෘත ද යත්: ඇතැම් කෘත්‍යාධිකරණයෙක් කුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අකුසල් වන්නේ ය, ඇතැම් එකෙක් අව්‍යාකෘත වන්නේ ය.
එහි කුසල් වූ කෘත්‍යාධිකරණය කවරේ ද සඞ්ඝ තෙමේ කුසල් සිතැත්තේ අපලෝකනකර්‍ම ඥප්තිකර්‍ම, ඥප්තිද්වීතීයකර්‍ම, ඥප්ති චතුර්‍ත්‍ථ කර්‍ම යන යම් කර්‍මයක් කරන්නේ ද, මේ කුසල් වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අකුසල් වූ කෘත්‍යාධිකරණය කවරේ ද? සඞ්ඝ තෙමේ අකුසල් සිතැත්තේ අපලෝකනකර්‍ම, ඥප්තිකර්‍ම, ඥප්තිද්විතීයකර්‍ම, ඥප්ති චතුර්‍ත්‍ථකර්‍ම යන යම් කර්‍මයක් කරන්නෙන් ද, මේ අකුසල් වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
එහි අව්‍යාකෘත කෘත්‍යාධිකරණය කවරේද? සඞ්ඝ තෙමේ අව්‍යාකෘත සිතැත්තේ ආලෝකනකර්‍ම, ඥප්තිකර්‍ම, ඥප්තිද්වීතීයකර්‍ම, ඥප්ති චතුර්‍ත්‍ථ කර්‍ම යන යම් කර්‍මයක් කරන්නේ ද, මෙය අව්‍යාකෘත වූ කෘත්‍යාධිකරණයැ යි කියනු ලැබේ.
38. විවාදයෙක් වූ විවාදාධිකරණයෙකි, විවාදයෙක් වූ අධිකරණ නො වූවෙකි, අධිකරණයෙක් වූ විවාද නො වූයෙකි, අධිකරණ ද විවාද ද වූවෙකි. ඇතැම් විවාදයෙක් විවාදාධිකරණ වන්නේ ය, ඇතැම් විවාදයෙක් අධිකරණ නො වන්නේය, ඇතැම් අධිකරණයෙක් විවාද නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද විවාද ද වන්නේ ය.
එහි කවර විවාදයෙක් විවාදාධිකරණ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු ධර්‍ම යැ යි කියා හෝ අධර්‍ම යැයි කියා හෝ ... දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත්. එහි යම් අරගලයෙක්, කලහයෙක්, උනුනට විරුද්ධ නැන්මෙක්, විරුද්ධ වාදයෙක්, නානාවාදයෙක්, අන් පරිද්දෙකින් වූ වාදයෙක්, සිතැ දුක් පහළ කරනු පිණිස වූ වචනයෙක්, රළු බස් දෙඩුමෙක් වේ ද, මේ විවාදය විවාදාධිකරණ වෙයි.
එහි කවර විවාදයෙක් අධිකරණ නො වේ ද යත්: මව ද පුතු හා විවාද කෙරෙයි, පුතා ද මව හා විවාද කෙරෙයි, පියා ද පුතු හා විවාද කෙරෙයි, පුතා ද පියා හා විවාද කෙරෙයි, බෑයා ද බිහිනිය හා විවාද කෙරෙයි, බිහිනි ද බෑයා හා විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා හා විවාද කෙරෙයි. මේ විවාදය යි, අධිකරණයෙක් නො වේ.
එහි කවර දැයෙක් අධිකරණ වේ ද? විවාදයෙක් නො වේ ද? යත්: අනුවාදාධිකරණය ද ආපත්‍යාධිකරණය ද යන කෘත්‍යාධිකරණය ද යන මෙය අධිකරණ වෙයි, විවාදයෙක් නො වෙයි.
එහි කවරෙක් අධිකරණයත් විවාදයත් වේ ද යත්: විවාදාධිකරණය අධිකරණයත් විවාදයත් වේ.
39. අනුවාද වූ අනුවාදාධිකරණයෙකි, අනුවාදවූ අධිකරණ නො වූයෙකි, අධිකරණ වූ අනුවාද නොවූයෙකි, අධිකරණ ද අනුවාද වූයෙකි, ඇතැම් අනුවාදයෙක් අනුවාදාධිකරණ වන්නේ ය, ඇතැම් අනුවාදයෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් අනුවාද නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද අනුවාද ද වන්නේ ය.
එහි කවර අනුවාදයෙක් අනුවාදාධිකරණ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහු මහණකුට ශිලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ චෝදනා කෙරෙත්. එහි යම් අනුවාදයෙක් (චෝදනාවෙක්) දොස් නැඟීමෙක්, පුන පුනා දොස් මතු කොට කීමෙක්, පුන පුනා දොස් බිණීමෙක්, පුන පුනා තිදොරින් නැමීමෙක්, වෙසෙසින් උත්සාහ කිරීමෙක්, අනුබල දීමෙක් වෙයි ද, මේ අනුවාදය අනුවාදාධිකරණ වේ.
එහි කවර අනුවාදයෙක් අධිකරණ නො වේ ද යත්; මව ද පුතුට චෝදනා කෙරෙයි, පුතා ද මවට චෝදනා කෙරෙයි, පියා ද පුතාට චෝදනා කෙරෙයි, පුතා ද පියාට චෝදනා කෙරෙයි, බෑයා ද බෑයාට චෝදනා කෙරෙයි, බෑයා ද බිහිනියට චෝදනා කෙරෙයි, බිහිනි ද බෑයාට චෝදනා කෙරෙයි, යහළුවා ද යහළුවාට චෝදනා කෙරෙයි. මේ අනුවාදය යි (චෝදනාව යි), අධිකරණයෙක් නො වෙයි.
එහි කිමෙක් අධිකරණ වේ ද? අනුවාද නො වේ ද යත්: ආපත්‍යධිකරණය, කෘත්‍යාධිකරණය, විවාදාධිකරණය යන මේ අධිකරණ වෙයි, අනුවාද නො වෙයි.
එහි කවරෙක් අධිකරණයත් අනුවාදයත් වේ ද යත්: අනුවාදාධිකරණය අධිකරණ ද වේ අනුවාද ද වේ.
40. ආපත්ති වූ ආපත්‍යධිකරණයෙකි, ආපත්ති වූ අධිකරණ නොවූ එකෙක, අධිකරණ වූ ආපත්ති නොවූ එකෙක, අධිකරණ ද ආපත්ති ද වූ එකෙක, ඇතැම් ආපත්තියෙක් ආපත්‍යධිකරණ වන්නේ ය, ඇතැම් ආපත්තියෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් ආපත්ති නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණත් ආපත්තිත් වන්නේ ය.
එහි ආපත්ති වූ ආපත්‍යධිකරණය කවරේ ද ආපත්තිස්කන්‍ධ පස ම ආපත්‍යධිකරණ යි, ආපත්තිස්කන්‍ධ සත ම ආපත්‍යපධිකරණ යි. මේ ආපත්ති ද ආපත්‍යධිකරණ ද වූ දැය යි.
එහි කවර එකෙක් ආපත්ති වේ ද, අධිකරණ නො වේ ද යත්: ශ්‍රෝත ආපත්තිය ද සමාපත්තිය ද යන මේ ආපත්ති යි, අධිකරණ නො වෙයි.
එහි කවර එකෙක් අධිකරණ වේ ද, ආපත්ති නො වේ ද? යත්: කෘත්‍යාධිකරණය විවාදාධිකරණය අනුවාදාධිකරණය යන මෙය අධිකරණයි, ආපත්ති නො වේ.
එහි කවරෙක් අධිකරණත් ආපත්තිත් වේ ද යත්: ආපත්‍යධිකරණය අධිකරණ ද ආපත්ති ද වේ.
41. කෘත්‍යය වූ කෘත්‍යාධිකරණයෙකි, කෘත්‍යය වූ අධිකරණ නො වූයෙකි, අධිකරණ වූ කෘත්‍යය නොවූයෙකි, අධිකරණ ද කෘත්‍ය ද වූයෙකි. ඇතැම් කෘත්‍යයෙක් කෘත්‍යාධිකරණ වන්නේ ය, ඇතැම් කෘත්‍යයෙක් අධිකරණ නො වන්නේ ය, ඇතැම් අධිකරණයෙක් කෘත්‍ය නො වන්නේ ය, ඇතැම් එකෙක් අධිකරණ ද කෘත්‍ය ද වන්නේ ය.
එහි කවර කෘත්‍යයෙක් කෘත්‍යාධිකරණ වේ ද යත්: අපලෝකන කර්‍ම, ඥප්ති කර්‍ම, ඥප්තිද්විතීයකර්‍ම, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍ම යන සංඝයාගේ යම් කෘත්‍ය කරන බවෙක් කටයුතු කරන බවෙක් වේ ද, මේ කෘත්‍ය ද කෘත්‍යාධිකරණ ද වේ.
එහි කවර කෘත්‍යයෙක් අධිකරණ නො වේ ද යත්: ඇදුරන් පිළිබඳ කිස, උපාධ්‍යායයා පිළිබඳ කිස, සමාන උපාධ්‍යායයා පිළිබඳ කිස, සමානාචාර්‍ය්‍යා පිළිබඳ කිස යන මේ අධිකරණ නොවූ කෘත්‍යය ය.
එහි කවරෙක් කෘත්‍ය නොවූ අධිකරණයෙක් වේ ද යත්: විවාදාධිකරණ අනුවාදාධිකරණ ආපත්‍යධිකරණ යන මෙය අධිකරණ ය, කෘත්‍ය නො වේ.
එහි කවර එකෙක් අධිකරණයත් කෘත්‍යයත් වේ ද යත්; කෘත්‍යාධිකරණය, අධිකරණය ද වේ, කෘත්‍යය ද වේ.
අධිකරණ සන්හිඳුවීම
42. විවාදාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳේද? සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද යන ශමථ දෙකින් සන්හිඳේ.
විවාදාධිකරණය භූය්‍යසිකා නම් එක් ශමථයට නො පැමිණ සම්මුඛාවිනය නම් වූ එක් ශමථයෙන් සන්හිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැක්කැ යි ඔහුට කිය යුතු. ඒ කෙසේ ද යත්: මෙහි මහණහු ධර්‍මයැ යි හෝ අධර්‍මයදැ යි හෝ විනයයැ යි හෝ අවිනය යැ යි හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදැ යි දෙසන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පනවන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො පනවන ලදැ යි කියා හෝ ඇවැතැ යි කියා හෝ නොඇවැතැ යි කියා හෝ ලුහු ඇවැතැ යි කියා හෝ ගුරු ඇවැතැ යි කියා හෝ සාවශේෂ ඇවැතැ යි කියා හෝ අනවශේෂ ඇවැතැ යි කියා හෝ දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත් ද, මහණෙනි, ඉදින් එ මහණහු මේ අධිකරණය සන්හිඳුවන්නට හැකි වෙත් ද, මහණෙනි, එසේ කලැ මේ අධිකරණය සන්හිඳුවන ලදැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුවන ලද්දේ ද යත්: සම්මුඛාවිනයයෙන් සංඝිඳුවන ලද්දේ ය.
43. එහි සම්මුඛාවිනය යනු කිමෙක් ද? සංඝ සම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන මොහු ය.
එහි සංඝසම්මුඛතාව කවර යැ? යම් පමණ භික්‍ෂු කෙනෙක් විනය කර්‍මයට සුදුසු වෙත් ද, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු මහණුන් ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතික්‍රෝශ නො කෙරෙත් ද මෙය එහි සඞ්ඝ සම්මුඛතාව වේ.
එහි ධර්‍මසම්මුඛතා විනය සම්මුඛතා කවුරු යැ? යම් විනයයෙකින්, යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සංසිඳේ ද, මේ ධර්‍ම විනය දෙක එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා නම් වේ.
එහි පුද්ගල සම්මුඛතා නම් කවර යැ.? යමෙකුත් විවාද කෙරේ ද, යමකු හාත් විවාද කෙරේ ද, ඒ දෙ පසෙහි වූවෝ හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගල සම්මුඛතා යි.
මහණෙනි, මෙසේ සංසිඳුවන ලද අධිකරණය ඉදින් කාරක මහණෙක් (එයට සම්බන්‍ධ වූ මහණෙක්) උත්කෝටනය කරන්නේ ද, (යලිත් විසඳනු පිණිස මතු කරන්නේ ද), ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දය දුන් මහණෙක් විනිශ්චයට දොස් නඟයි ද, ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ ආවාසයෙහි දී ඒ අධිකරණය සන්හිඳුවන්නට නොහැකි වන්නාහු නම්, යම් ආවාසයෙක ගණනින් වැඩිතරම් මහණ කෙනෙක් වෙත් නම්, ඒ මහණුන් විසින් එකී ආවාසය කරා යෑ යුතු වෙයි. මහණෙනි, ඉදින් ඒ මහණහු අතරමඟදී ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ අධිකරණය සන්හිඳුවන ලදැයි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුවන ලද ද යත්: සම්මුඛයාවිනයයෙනි. එහි සම්මුඛා විනයය කිමෙක් ද? සංඝසම්මුඛතා ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා පුද්ගලසම්මුඛතා යන සතර ය.
44. එහි සඞ්ඝසම්මුඛතා නම් කවර යැ? යම් පමණ මහණ කෙනෙක් ඒ විනයකර්‍මයට සුදුසු නම් ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු මහණුන්ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතික්‍රෝශ නො කෙරෙද්ද. (නො වළකාලත් ද) මේ එහි සඞ්ඝ සම්මුඛතා යි.
එහි ධර්‍මසම්මුඛතා විනායසම්මුඛතා නම් කවුරු යැ? යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සංසිදෙන්නේ ද, මේ එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා යි.
එහි පුද්ගලසම්මුඛතා නම් කවර යැ? යමෙකුත් විවාද කෙරෙයි ද, යමක් හු හාත් විවාද කෙරෙයි ද, දෙපසැ වූවෝත් හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගලසම්මුඛතා යි. මහණෙනි. මෙසේ සංඝිඳුවන ලද අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද (යලි මතු කරන්නේ ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වෙයි, ඡන්‍දය දුන් මහණ තෙම දොස් නඟන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ ආවාසයට යන්නාහු, අතරමඟදී ඒ අධිකරණය සන්හිඳුවන්නට නො හැකිවන්නාහු නම්, මහණෙනි, ඒ මහණුන් විසින් ඒ ආවාසයට ගොස්, “ඇවැත්නි, මේ අධිකරණය වූකලි මෙසේ උපන, මෙසේ පහළ වීය. ඇවැත්නි, යාච්ඤා කරම්හ, යම්සේ මේ අධිකරණය මොනොවට සන්හිඳුණේ වන්නේ ද, එසේ ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවත් වා” යි ඒ මහණහු කියයුතු වන්නාහ (ඒ මහණුනට කිය යුතු වන්නේය).
මහණෙනි, ඉදින් ආවාසයෙහි වැසි මහණහු වඩා මහලුත් ආගන්තුක මහණහු වඩා නවකත් වෙත් ද, මහණෙනි, ඒ ආවාසවාසී මහණුන් විසින් “ආයුෂ්මත්නි, එසේ නම් අපි යම්තාක් මන්ත්‍රණය කරන්නමු ද ඒ තාක් තෙපි මොහොතක් එක් පසෙක හිඳිවු” යැ යි මෙසේ ආගන්තුක මහණුනට කිය යුතු වන්නේ ය. [missing trans]
45. මහණෙනි, ඉදින් මන්ත්‍රණ කරන්නාවූ ආවාසික මහණුනට “අපි මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට නො හැකි වන්නමෝ” යි මෙසේ සිතෙක් වන්නේ නම්, ආවාසවාසී මහණුන් විසින් ඒ අධිකරණය (සන්හිඳුවීමට) නො පිළිගත යුතු.
මහණෙනි, ඉදින් මන්ත්‍රණය කරන ආවාසික මහණුනට “අපි මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට හැකි වන්නමෝ” යි මෙසේ සිතෙක් වන්නේ නම්, “ආයුෂ්මත්නි ඉදින් තෙපි අපගේ මේ අධිකරණය උපන් පරිදි පහළ වූ පරිදි දන්වන්නහු නම්, යම්සේ අපි මේ අධිකරණය ධර්‍මය වූ පරිදි විනය වූ පරිදි, ශාස්තෘශාසනය වූ පරිදි සන්හිඳුවන්නමෝ නම්, එසේ මොනොවට සන්හිඳුවන ලද්දේ වන්නේ නම්, මෙලෙස් ඇති කල්හි අපි මේ අධිකරණය පිළිගන්නමු ආයුෂ්මතුනි, ඉදින් තෙපි මේ අධිකරණය උපන් පරිදි පහළ වූ පරිදි අපට නො දන්වන්නහු නම්, යම්සේත් අපි ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවන්නමෝ නම්, එය එසේ මොනොවට සන්හිඳුවන ලද්දෙක් නො වන්නේ නම් එසේ කල, අපි මේ අධිකරණය නො පිළිගන්නමු” යි ඒ ආගන්තුක මහණුනට කිය යුතු වන්නේ ය. මහණෙනි, මෙසේ ආවාසික මහණුන් විසින් මනාව පිරිසිඳ ගන්නා ලද්දක් කොට, ඒ අධිකරණය පිළිගත යුතු.
46. මහණෙනි, ඒ ආගන්තුක මහණුන් විසින් ආවාසික මහණහු මෙසේ කිය යුතු වන්නාහ (ආවාසික මහණුනට මෙසේ කිය යුතු වන්නේ ය): “උපන් පරිදි හටගත් පරිදි අපි මේ අධිකරණය ආයුෂ්මතුනට දන්වන්නමු. ඉදින් ආයුෂ්මත්හු මෙතෙක් හෝ කෙතෙක් හෝ අතරෙකින් (කලෙකින්) ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සංසිඳුවන්නට හැකි වන්නාහු නම්, එසේ මොනොවට සන්හිඳුවන ලදුයේ වන්නේ ය. මෙසේ අපි ආයුෂ්මතුනට මේ අධිකරණය පවරන්නමු. ඉදින් ආයුෂ්මත්හු මෙතෙක් හෝ මෙතෙක් හෝ කලෙකින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවන්නට නො හැකි වන්නාහු නම්, එසේ මොනොවට සන්හිඳුවන ලද්දෙක් නො වන්නේ නම්; අපි මේ අධිකරණය ආයුෂ්මත්නට නො ම පවරන්නමු. අපි ම මේ අධිකරණයේ ස්වාමීහු වන්නමු” යනු යි.
මහණෙනි, මෙසේ මනාව පිරිසිඳ ගන්නා ලද්දක් කොට ආගන්තුක භික්‍ෂූන් විසින් ඒ අධිකරණය ආවාසික භික්‍ෂුනට පැවැරිය යුතු, ඉදින් ඒ මහණහු ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ අධිකරණය මොනොවට සන්හිඳුවන ලදැයි කියනු ලැබේ.
කිමෙකින් සන්හිඳුවනලද්දේ ද යත්: සම්මුඛාවිනයයෙනි. එහි සම්මුඛාවිනය නම් කවර යැ? සංඝසම්මුඛතාව ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන සතර ය ... මහණෙනි, මෙසේ සන්හිඳුවන ලද අධිකරණයක් ඉදින් කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වෙයි. ඉදින් ඡන්‍දදායක මහණෙක් එයට දොස් නඟන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
උබ්බාහිකායෙන් සන්හිඳුවීම
47. මහණෙනි, ඒ මහණුන් විසින් ඒ අධිකරණය විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස් (කථාප්‍රතිකථාවෝ) උපදින්නාහු ද, මේ කියන ලද වචනයෙහි අර්‍ත්‍ථය නොහැඟෙන්නේ ද, මහණෙනි, මෙබඳු වූ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට අනුදනිමි.
මහණෙනි, උබ්බාහිකාව පිණිස අඞ්ග දශයෙකින් සමන්‍විත වූ මහණෙක් සම්මත කටයුතු ය. මහණ තෙම සිල්වත් වෙයි ද, පාතිමෝක්ඛසංවර සීලයෙන් හැවුරුනේ, ආචාර ගෝචර දෙකින් යුක්ත වූයේ අල්පමාත්‍ර වූ ද වරදවලැ( බිය දක්නා සුලු වූයේ වෙසෙයි ද (1), ශික්‍ෂා පදයන්හි සමාදන් වැ ගෙන හික්මෙයි ද (2) බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වේ ද, ඇසූ පිරූ දෑ සිතින් දරන්නේ, ඇසූ පිරූ දෑ සිතෙහි රැස් කොට ඇත්තේ වෙයි ද (3) ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ, පර්‍ය්‍යවසානයෙහි යහපත් වූ යම් ධම් කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ හැම අයුරින් ම පිරිපුන් වූ පිරිසිදු මඟ බඹසර මොනොවට පවසත් නම්, එ බඳු වූ ධමීයෝ ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දාහු (සිතින්) දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා සලකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත් ද (4), ඔහු විසින් උභය පාතිමෝක්ඛයෝ විස්තර වශයෙන් මොනොවට ප්‍රගුණ කරණ ලද්දාහු, සූත්‍ර වශයෙන් අනුව්‍යංජන වශයෙන් මොනොවට බෙදන ලද්දාහු, මොනොවට පිහිටුවන ලද්දාහු මොනොවට විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද (5), විනයයෙහි තර වැ පිහිටියේ නො හැකුලුනේ වේ ද, තම පසෙහි වූවනටත් විරුද්ධ පක්‍ෂයෙහි වූවනටත් (කරුණු) හඳුන්වන්නට, කරුණු සිතන්නට, සලකා බලවන්නට, කරුණු තමාත් දකින්නට, දෙපස ම පහදවන්නට සමර්‍ත්‍ථ වෙයි ද (6), අධිකරණ ඉපැදීමෙහි හේතුව සංසිඳුවීමෙහි දක්‍ෂ ද වේ ද (7), අධිකරණය දනී ද, අධිකරණයේ හේතුව දනී ද, අධිකරණයේ නිරුද්ධිය දනී ද, අධිකරණ නිරුද්ධිය පිණිස යෑ යුතු මඟ දනී ද, මහණෙනි, මේ අංග දශයෙන් සමන්‍විත වූ මහණහු උබ්බාහිකාව පිණිස සම්මත කරන්නට අනුදනිමි.
මහණෙනි, මේ මතු කියන පරිදි සම්මත කටයුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්ලිය යුතුය. ඉල්ලා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: අප විසින් මේ නඩුව විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස් (කථා ප්‍රතිකථාවෝ) උපදනාහු ද වෙත්. (එයින්) මේ කියන ලද වචනයා ගේ අදහස ද නො හැගෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් සංඝ තෙමේ මෙනම් මහණහු ද මෙනම් මහණහු ද මේ අධිකරණය සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ. (දැන්වීම යැ).
සංඝ තෙමේ මාගේ වචනය අසාවා. අප විසින් මේ නඩුව විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස්හු උපදනාහු වෙත්. (එයින් මේ කියන ලද වචනයේ අර්‍ත්‍ථ ද නො හැඟෙයි. (එ බැවින්) සංඝ තෙමේ මේ නඩුව සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස මෙනම් මහණහු ද මෙනම් මහණහු ද සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතකුට මේ නඩුව සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස මෙනම් මහණහු ද මෙනම් මහණහු ද සම්මත කිරීම රිසියෙයි ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙයි ද හේ කියාවා.
මේ නඩුව සන්හිඳුවන්නට මෙනම් මහණ ද උබ්බාහිකාව පිණිස සංඝයා විසින් සම්මත විය. සංඝයාට එය රිසි දෙයයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි. (පිළිගනිමි)” යනු යි.
මහණෙනි, ඉදින් ඒ මහණහු උබ්බාහිකායෙන් ඒ නඩුව සන්හි වන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ නඩුව සන්හිඳුනේ යැ යි යනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ය. එහි සම්මුඛ්‍ය විනයය කිමෙක් ද? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව පුද්ගලසම්මුඛතාව ...... මහණෙනි, මෙසේ සන්හිඳුනු නඩුව කාරකයෙක් (ඒ නඩුවට සම්බන්‍ධ වූයෙක්) යලිදු විසඳනු පිණිස උත්කෝටනය කරන්නේ නම් (මතු කරන්නේ නම්) උත්කෝටනක පචිති ඇවැත් වෙයි.
මහණෙනි, ඉදින් ඒ මහණුන් විසින් ඒ නඩුව විනිසනු ලබන කල්හි එහි ධර්‍මකථික මහණෙක් වන්නේ නම්, ඔහුට සූත්‍රය (පාතිමොක්ඛය) ප්‍රගුණ ව නොආයේ ද සූත්‍ර විභංගය පුහුණු ව නොම ආයේ ද හේ අර්‍ත්‍ථය නොසලකන්නේ ව්‍යංජනච්ඡායායෙන් අර්‍ත්‍ථය ප්‍රතිබාහනය කෙරෙයි ද, (එබඳු තැන) ව්‍යක්ත වූ ප්‍රතිබල වූ ඒ මහණහු මෙසේ දැන්වියැ යුත්තාහු ය:
“ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා, මේ මෙනම් මහණ තෙම ධර්‍මකථික ය, මොහුට සූත්‍රය (උභයමාතෘකාව) ප්‍රගුණ වැ නො ආයේ ය. සූත්‍ර විහඞ්ගය ප්‍රගුණ ව නොම ආයේ ය. හේ අර්‍ත්‍ථය නො සලකන්නේ ව්‍යංජනච්ඡායායෙන් අර්‍ත්‍ථය ප්‍රතිබාහන කෙරෙයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් ඇත්තේ වී නම් මෙනම් මහණහු නඟාසිටුවා (හෙවත් බැහැර කොට) ඉතිරි වූ අපි මේ අධිකරණය සන්හිඳුවමෝ වා” යනුවෙනි.
මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ මහණහු නඟාසිටුවා ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, (එසේ කල්හි) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙනි. එහි සම්මුඛාවිනයය කවරේ ද? ධර්‍මසම්මුඛතාව, විනය සම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව ... යී. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුනු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ නම් ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
මහණෙනි, ඉදින් ඒ මහණුන් විසින් ඒ අධිකරණය විනිසනු ලබන කල්හි එහි ධර්‍මකථික මහණෙක් වන්නේ නම්, ඔහුට සූත්‍රය (උභය මාතෘකාව) ප්‍රගුණ ව ආයේ වේ නම්, සූත්‍රවිහඞ්ගය ප්‍රගුණ වැ නො ආයේ වේ නම්, හේ අර්‍ත්‍ථය නො සලකන්නේ ව්‍යංජනච්ඡයායෙන් අර්‍ත්‍ථය ප්‍රතිබාහන කෙරේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඒ මහණහු මෙසේ දැන්විය යුත්තාහ:
“ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා, මේ මෙනම් මහණ තෙම ධර්‍මකථිකයෙක් ය. මොහුට සූත්‍රය (උභය මාතෘකාව) වූ කලි ප්‍රගුණ වැ ආයේ වෙයි, සූත්‍රවිභඞ්ගය ප්‍රගුණ ව නො ආයේ ය. හෙ තෙම අරුත් නො සලකන්නේ ව්‍යංජනච්ඡයායෙන් අරුත බැහැර කෙරෙයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් වී නම් මෙනම් මහණහු නඟාසිටුවා (බැහැර කොට) ඉතිරි වූ අපි මේ අධිකරණය සන්හිඳුවමෝ වා” යනුයෙනි.
මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ මහණහු නඟාසිටුවා (බැහැර කොට) ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ය. එහි සම්මුඛාවිනයය කවරේ යැ? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව, පුද්ගල සම්මුඛතාව ... යැ. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුනු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ වී නම්, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
යේභුය්‍යසිකා විනය
48. මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට නො හැක්කාහු නම්, මහණෙනි, ඒ මහණුන් විසින් “වහන්ස, අපි මේ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට නො හැක්කමු. සංඝ තෙමේ මේ අධිකරණය සන්හිඳුවා වා” යි කියා ඒ අධිකරණය සංඝයාට මෙසේ පැවරිය යුතු, මහණෙනි, මෙ බඳු අධිකරණය යේභුය්‍යසිකායේන් සංන්හිඳුවන්නට අනුදනිමි.
අංග පසෙකින් සමන්‍විත මහණෙක් සලාකාග්‍රාහකයෙක් (සලාකා ගන්වන්නෙක්) කොට සම්මත කට යුතු: යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නෙන් ද, ද්වේෂයෙන් අගතියට නොයන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නෙන් ද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නොගත් සලාකා දන්නේ ද ... මෙබඳු වූ මහණ තෙම සලාකාග්‍රාහාපකයෙක් කොට සම්මත කළ යුතු වේ. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ යැදියැ යුතු යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් (මෙසේ) සංඝ තෙමේ දැන්වීය යුතු: