සංඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙනම් ඇති මේ භික්‍ෂූ තෙමේ දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඒ මහණහට “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදී ය. සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස ඒ මහණහට දුනි. පිරිවෙස් පුරණ ඒ මහණහට ලජ්ජිධර්‍මය පහළ විය. ‘මම වනාහි දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යැදීමි. ඒ මට සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිළිසන් දුනි. පිරිවෙස් පුරණ ඕ හට ‘මම දෙමසක් පිළිසන් වූ ඇවැත්දෙක පිළිබඳ ඉතරමාසපරිවාසය ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි ලජ්ජිධර්‍මය පහළ විය. ඒ භික්‍ෂු තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතරමාස පරිවාසය ද සංඝයා යදියි.
සංඝ තෙමේ මෙ නම් ඇති භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද දෙයි. මේ නම් ඇති භික්‍ෂූහට දෙමසක් පිළිසන්වූ ඇවැත් දෙකට ඉතිරි මස පිරිවෙස දීම යම් ආයුෂ්මතකුට අභිමත නම් හෙ තෙමේ නිහඬ වේවා. යමකුට අනභිමත නම් හෙ තෙමේ කියාවා.
දෙවනුවත් මේ කරුණ කියමි ... තෙවනුවත් මේ කරුණ කියමි ...
සංඝයා විසින් මෙ නම් ඇති භික්‍ෂු දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට ඉතිරි මස පිරිවෙස ද දෙනලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ පිළිගණිමි.”
මහණෙනි, ඒ භික්‍ෂු විසින් පළමු ඇවැතත් ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
11. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඒ මහණහට ‘මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත වෙයි. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස සංඝයා යදියි. සංඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඔහුට ලජ්ජිධර්‍මය පහළ වෙයි: “මම වනාහි දෙමසක් පිරිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක් මස් පිරිවෙස සංඝයා යැදීමි. සංඝතෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට එක්මස් පිරිවෙස ඒ මට දුනි. පිරිවෙස් පුරණ ඒ මට ලජ්ජීධර්‍මය පහළ විය: ‘මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ඒ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත්දෙක පිළිබඳ ඉතිරිමස පිරිවෙස ද සංඝයා යදියි. සංඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද, ඒ මහණහට දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (පිරිවෙස් පිරූ) පළමු ඇවැතත් ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
12. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. ඉන් එක් මසක් දනියි. එක් මසක් නො දනියි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මාසයක් දනී ද, ඒ මාසයට පිරිවෙස සංඝයා යදියි. සංඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මාසයක් දනී ද, ඒ මාසයට පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ හෙ තෙම අනිත් මාසය ද දනියි. ඒ මහණහට මේ අදහස වෙයි ‘මම වනාහි දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. (ඉන්) එක් මසක් දැන සිටියෙමි. එක් මසක් නොදැන සිටියෙමි. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් දැන සිටියෙම් ද, ඒ මාසයට පිරිවෙස පිරිවෙස සංඝයා යැදීමි.
සංඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මාසයක් දැන සිටියෙම් ද, ඒ මාසයට පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම අනෙක් මාසය ද දනිමි. මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සංඝයා යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සංඝයා යදියි. සංඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද දෙයි. මහණෙනි, ඒ භික්‍ෂූ විසින් (නොදැන සිටි) පළමු ඇවැතත් ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
13. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සහ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (එයින්) එක් මසක් සිහි කරයි. එක් මසක් සිහි නො කරයි. ඒ මහණෙතම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මාසයක් සිහි කරයි ද, ඒ මාසයට පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත්දෙක පිළිබඳ යම් මාසයක් සිහි කරයි ද, ඒ මාසයට පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ මහණ තෙම ඉතර මාසය ද සිහි කරයි. (එකල්හි) ඒ මහණහට මෙසේ සිතෙයි. “මම වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. (ඉන්) එක් මසක් සිහි කළෙමි. එක් මසක් සිහි කො කෙළෙමි. ඒ මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් සිහි කෙළෙම් ද, ඒ මාසයට පිරිවෙස සඞ්ඝයා යැදීමි. දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් සිහි කෙළෙම් ද, සඞ්ඝ තෙමේ මට ඒ මසට පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම ඉතිරි මස ද සිහි කරමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද ඒ මහණහට දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (සිහි නොකළ) පළමු ඇවත ද ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
14. මහණෙනි, මෙහි මහණ තෙම දෙමසක් පිළිසන් සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් මසක් විමති නැත්තේ වෙයි. එක් මසක් විමති ඇත්තේ වෙයි. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් විමති නැත්තේ ද, ඒ මාසයට පිරිවෙස සඞ්ඝයා යදී. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් විමති නැත්තේ ද, ඒ මාසයට පිරිවෙස දෙයි. පිරිවෙස් පුරණ ඒ මහණ තෙම අනෙක් මස ද විමත් නැත්තේ වෙයි. (එකල්හි) ඒ මහණහට මෙසේ සිතෙයි: “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයමි. (ඉන්) එක් මසක් විමති නැත්තෙම් වීමි. එක් මසක් විමති ඇත්තෙම් වීමි. ඒ මම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් විමති නැත්තෙම් වීම් ද, ඒ මාසයට පිරිවෙස සඞ්ඝයා යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ යම් මසක් විමති නැත්තෙම් ද, ඒ මාසයට පිරිවෙස දුනි. පිරිවෙස් පුරණ ඒ මම් අනෙක් මස ද, විමති නැත්තෙම් වෙමි. මම් දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි -
ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ‘ඇවැත් දෙක පිළිබඳ ඉතිරි මස පිරිවෙස ද දෙයි. මහණෙනි, ඒ මහණ විසින් (විමති නැති) පළමු ඇවතත් ගෙණ දෙමසක් පිරිවෙස් පිරිය යුතු යි.
15. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සහ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් මසක් දනිමින් පිළිසන් ය. එකක් මසක් නොදැන පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් ඇවැත් දෙක පිළිබඳ දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස් පිරිවෙස ඒ මහණහට දෙයි. ඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසූ පිරූ තැන් ඇති, දැනගත් ආගම ඇති, ධර්‍මධර විනයධර මාතෘකාධර වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති ලජ්ජි වූ සුළු වරදෙහි ද කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් එයි. හේ මෙසේ කියයි:
“ඇවැත්නි, මේ මහණ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ තෙම කුමකට පිරිවෙස් පුරයි දැ?” යි. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ භික්‍ෂූහු තෙමෙ දෙමසක් පිළිසන් වූ සඟවෙසස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඉන් එක් මසක් දනිමින් පිළිසන් ය. එක් මසක් නොදනිමින් පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙක පිළිබඳ දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ ඒ මහණ හට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස්පිරිවෙස දුනි. ඇවැත්නි, මේ භික්‍ෂූ තෙම ඒ ඇවැත් අවන්නේ ය. “මේ භික්‍ෂු තෙම ඒ ඇවැත් පිණිස පිරිවෙස් පුරා යැ” යි. මෙසේ ඒ මහණහු කියති. (එකල්හි ඒ විනය දත්) භික්‍ෂූ තෙමේ “ඇවැත්නි, යම් මේ මාසයක් දනිමින් පිළිසන් ද ඒ මසට පිරිවෙස දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි, යම් මේ මාසයක් නො දැන පිළිසන් ද ඒ මස පිරිවෙස දිම නොදැහැමි ය. නො දැහැමි බැවින් නො යෙදෙයි. ඇවැත්නි, මහණ තෙමෙ එක්මසක මානතට සුදුසු යැ” යි.
16. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දෙමසක් පිළිසන් වූ සඟ වෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. එයින් එක් මසක් සිහිකරමින් පිළිසන් ය. එක් මසක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස් පිරිවෙස දෙයි. ඒ මහණ පිරිවෙස් පුරණ කල්හි බොහෝ ඇසු පිරූ තැන් ඇති, දැනගත් ආගම ඇති, සුත්‍රපිටකය දන්නාවූ, විනය පිටකය දන්නා වූ, උභය මාතෘකා දරන්නාවූ (-හෝ අභිධර්‍මය දන්නා වූ) පණ්ඩිත වූ ව්‍යක්තවූ තුලනාත්මක ප්‍රඥා ඇති, පවට පිළිකුල්කරණ සුළු, වරදෙහි ද කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් පැමිණෙයි. හේ මෙසේ කියයි:
“ඇවැත්නි, මේ භික්‍ෂූ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ කුමකට පිරිවෙස් පුරයි දැ?” යි (එකල්හි) ඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. (එයින්) එකක් මසක් සිහි කරමින් පිළිසන් ය. එකක් මසක් සිහි නොකරමින් පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙමේ ඒ මහණහට දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස්පිරිවෙස දුනි. ඇවැත්නි, මේ භික්‍ෂූ තෙම ඒ ඇවැත් අවන්නේ ය. “මේ භික්‍ෂූ තෙම ඒ ඇවැත් පිණිස පිරිවෙස් පුරා” යැයි ඒ භික්‍ෂූහු කියති. (එකල්හි) ඒ විනය දත් භික්‍ෂූ තෙම “ඇවැත්නි, යම් මේ ඇවැතක් මාසයක් සිහි කරමින් පිළිසන් ද, ඒ මාසයට පිරිවෙස් දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි, යම් මේ ඇවැතක් මාසයක් නො සිහි කරමින් පිළිසන් ද, ඒ මසට පිරිවෙස දීම නොදැහැමි ය. නොදැහැමි බැවින් නො යෙදෙයි. ඇවැත්නි, භික්‍ෂූ තෙම එක් මසක මානතට සුදුසු යැ” යි මෙසේ කියයි.
17. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙතම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් මසෙක් විමති නැති ව පිළිසන් ය. එක් මසෙක් විමති ඇති ව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙම ඒ මහණහට දෙමසක් පිළිසන් ඇවැත් දෙකට දෙමසක් පිරිවෙස දෙයි. ඒ මහණ පිරිවෙස් පුරණ කලැ බහුශ්‍රුත වූ, දන්නා ලද ආගම ඇති, ධර්‍මය දරණ, විනය දරණ, මාතිකා දරණ, පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍රාඥ වූ, පවට පිළිකුල් කරණ, සුළු වරදට ද කුකුස් කරණ, හික්මෙනු කැමැති අන් මහණෙක් පැමිණෙයි. ඒ භික්‍ෂූ තෙම මෙසේ අසයි.
“ඇවැත්නි, මේ මහණ කිනම් ඇවැතකට පැමිණියේ ද? මේ මහණ කුමකට පිරිවෙස් පුරා දැ?” යි මෙසේ අසයි. (එකල්හි) ඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ භික්‍ෂූ තෙම දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ ය. ඉන් එක් මසක් විමති නැතිව පිළිසන් ය. එක් මසක් විමති ඇති ව පිළිසන් ය. ඒ මහණ තෙම දෙමසක් පිළිසන් වූ ඇවැත් දෙකට දෙමස් පිරිවෙස සඞ්ඝයා යැදී ය. සංඝ තෙමේ දෙමසක් පිළිසන් ඇවැත් දෙකට දෙමස් පිරිවෙස ඒ භික්‍ෂූහට දුනි. ඇවැත්නි, මේ භික්‍ෂු තෙම ඒ ඇවැත් අවන්ය, මේ මහණ ඒ ඇවැත් පිණිස පිරිවෙස් පුරා” යයි ඔහු කියත්. (එකල්හි) ඒ භික්‍ෂූ තෙම “ඇවැත්නි, යම් මේ මාසයක් විමති නැති ව පිළිසන් ද, ඒ මසට පිරිවෙස් දීම දැහැමි ය. දැහැමි බැවින් යෙදෙයි. ඇවැත්නි, යම් මේ මාසයක් විමති ඇතිව පිළිසන් ද, ඒ මසට පිරිවෙස් දීම නො දැහැමි ය. නො දැහැමි බැවින් නො යෙදෙයි. ඇවැත්නි, භික්‍ෂු තෙම එක් මසක මානතට සුදුසුය” යි. මෙසේ කියයි.
[දෙමස්පිරිවෙස් පිරිය යුතු සැටි නිමි.]
5. සුද්ධන්ත පිරිවෙස
1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙයි. ඒ භික්‍ෂු තෙම ඇවැත් කෙළවර නො දනියි. රාත්‍රි කෙළවර නොදනී. ඇවැත් කෙළවර සිහි නො කරයි. රාත්‍රි කෙළවර සිහි නො කරයි. ආපත්තීන්ගේ සීමායෙහි විමති ඇත්තේ වෙයි. රාත්‍රීන්ගේ සීමායෙහි විමති ඇත්තේ වෙයි. ඒ භික්‍ෂු තෙම “ඇවැත්නි, මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙමි. ආපත්තීන්ගේ අන්තය නොදනිමි. රාත්‍රීන්ගේ අන්තය නො දනිමි. ආපත්තීන්ගේ අන්තය සිහි නො කරමි. රාත්‍රීන්ගේ අන්තය සිහි නො කරමි. ආපත්තීන්ගේ අන්තයෙහි විමති ඇත්තෙමි. රාත්‍රීන්ගේ අන්තයෙහි විමති ඇත්තෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි. මහණුනට දැන්වී ය. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
2. මහණෙනි, එසේ නම්, සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂුහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දේවා. මහණෙනි, ඒ සුද්ධන්තපරිවාසය මෙසේ දියැ යුතු යි: මහණෙනි, ඒ භික්‍ෂු විසින් සඞ්ඝයා වෙත එළඹ ... මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙමි. ඇවැත් කෙළවර නො දනිමි. රාත්‍රි කෙළවර නො දනිමි. ඇවැත් කෙළවර සිහි නො කරමි, රාත්‍රි කෙළවර සිහි නො කරමි. ඇවැත් කෙළවරෙහි විමති ඇත්තෙමි. රාත්‍රින්ගේ කෙළවරෙහි විමති ඇත්තෙමි. වහන්ස, ඒ මම් ඒ ඇවැත් පිණිස සුද්ධන්ත පරිවාසය සඞ්ඝයා යදිමි’ යි යැදිය යුතු. දෙවනු ද යැදිය යුතු. තෙවනු ද යැදිය යුතු:
3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවනි. ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නොදනී. ඇවැත් පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත්තේ ය. රෑ පිරියතෙහි විමති ඇත්තේ ය. ඒ මහණ තෙම ඒ ඇවැත් පිණිස සුද්ධන්තපරිවාසය සඞ්ඝයා යදියි ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මයෙක් නම්, සඞ්ඝ තෙම මෙ නම් ඇති මහණහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දෙන්නේ ය. මේ ඥප්ති යි.
සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවනි. ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත් පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති ඇත. ඒ මහණ තෙම ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දෙයි. මෙ නම් ඇති මහණහට ඒ ඇවැත්නට සුදත් පිරිවෙස දීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුට අනභිමත නම් හෙතෙම කියාවා.
දෙවනුත් මේ කරුණ කියමි. තෙවනුත් මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණහට ඒ ඇවැත්නට සුදත් පිරිවෙස දෙන ලදී. එය සඞ්ඝයාට අභිමත යි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ පිළිගණිමි” යි.
4. මහණෙනි, මෙසේ සුද්ධන්තපරිවාසය දිය යුතු. මෙසේ පරිවාසය දිය යුතු.
5. මහණෙනි, සුද්ධන්තපරිවාසය කෙසේ දිය යුතු ද?
“ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත්පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති ඇත. (ඔහුට) සුද්ධන්තපරිවාසය දිය යුතු.”
“ඇවැත්පිරියත දනියි. රෑ පිරියත නොදනියි. ඇවැත්පිරියත සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි විමති නැති. රෑපිරියතෙහි විමති ඇති. (ඔහුට ද) සුද්ධන්තපරිවාසය දිය යුතු.”
“ඇවැත්පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත්පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි සමහරෙක විමති ඇති. සමහරෙක විමති නැති, රෑ පිරියතෙහි විමති ඇත. (ඔහුට ද) සුද්ධන්ත පරිවාසය දිය යුතු.”
“ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. ඇවැත්පිරියත නො සරයි. රෑ පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි සමහරෙක විමති ඇත. සමහරෙක විමති නැත. (ඔහුටද) සුද්ධන්තපරිවාසය දිය යුතු යි.”
“ඇවැත් පිරියත දනියි. රෑ පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. ඇවැත්පිරියත සිහිකරයි. රෑ පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි විමති නැති. රෑ පිරියත සමහරෙක විමති ඇති. සමහරෙක විමති නැති. (ඔහුට ද) සුද්ධන්තපරිවාසය දිය යුතු යි.”
“ඇවැත් පිරියත සමහරක් දනියි. සමහරක් නො දනියි. රෑ පිරියත සමහරක් දනියි. සමහරක් නො දනියි. ඇවැත් පිරියත සමහරක් සිහි කරයි සමහරක් නො සිහි කරයි. රෑ පිරියත සමහරක් සිහි කරයි. සමහරක් නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි සමහරෙක්හි විමති ඇත. සමහරෙක්හි විමති නැත. රෑ පිරියතෙහි සමහරෙක විමති ඇත. සමහරෙක විමති නැත. සුද්ධන්තපරිවාසය දියයුතු”. මහණෙනි, සුද්ධන්තපරිවාසය දියයුතු මෙසේය.
6. මහණෙනි, පිරිවෙස දිය යුතු කෙසේද?
“ඇවැත්පිරියත දනියි. රෑ පිරියත දනියි. ඇවැත්පිරියත සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ඇවැත්පිරියතෙහි විමති නැත. රෑ පිරියතෙහි විමති නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු යි.
ඇවැත්පිරියත නො දනියි. රෑ පිරියත දනියි. ඇවැත්පිරියත නො සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ඇවැත්පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු.
“ඇවැත් පිරියත සමහරක් දනියි. සමහරක් නොදනියි. රෑ පිරියත දනියි. ඇවැත් පිරියත සමහරක් සිහිකරයි. සමහරක් නො සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ආපත්තිපර්‍ය්‍යන්තයෙහි සමහරෙක විමතී ඇත සමහරෙක විමති නැත. රාත්‍රිපර්‍ය්‍යන්තයෙහි විමතී නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු”. මහණෙනි, මෙසේ පිරිවෙස දිය යුතු.
පිරිවෙස නිමි.
3. චත්තාළීසකය
1. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් පිරිවෙස් පුරණුයේ උපැවිදි ය. හෙ තෙම යලි පෙරළා අවුත් භික්‍ෂූන් උපසපුව යැදී. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළකළහ.
2. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පිරිවෙස් පුරණුයේ ගිහිබවට පෙරැළෙයි ද, මහණෙනි, ගිහිබවට පෙරැළුනහුට පිරිවෙස නො නගියි (නො යෙදෙයි). ඉදින් ඒ මහණ තෙම නැවත උපසන් වෙයි ද, ඒ මහණහට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දේ ය. යම් පිරිවෙසක් වුසූයේ ද, එය මැනැවින් වසනලද්දේය. ඉතිරි පිරිවෙස පිරිය යුතු.
(2) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරණුයේ හෙරණබවට පැමිණේ ද, හෙරණහට පිරිවෙස නො නගියි ඉදින් හෙ තෙම නැවත උපසම්පදාවට පැමිණෙයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනාව වසන ලද්දකි. සෙසු පිරිවෙස විසිය යුතු.
3. (3) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ උමතු වේ ද, මහණෙනි, උමතුවාට පිරිවෙස නොනගියි. ඉදින් හෙ තෙම නැවත නො උමතුවෙක් වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනා ව පුරණ ලද්දකි. සෙසු පිරිවෙස පිරිය යුතු යි.
(4) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ වික්‍ෂිප්ත චිත්තයෙක් (පෙරැළුන සිතැත්තෙක්) වෙයි ද, මහණෙනි, පෙරැළුන සිතැත්තහුට පිරිවෙස නොනගියි. ඉදින් එ මහණ තෙම නැවත පියෙවි සිතැත්තේ වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මැනවින් දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනාව වසන ලද්දකි. ඉතිරිකාලය පිරිවෙස් පිරිය යුතු.
(5) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ වේදනාවෙන් පෙළෙන්නේ වේ ද, මහණෙනි, වේදනාවෙන් පෙළෙන්නාට පිරිවෙස නොනගී. ඉදින් හෙ තෙම නැවත වේදනාවෙන් නො පෙළෙන්නේ වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දිම ම ය. ...
4. (6) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරණුයේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබුවහුට පිරිවෙස නො නැඟෙයි. ඉදින් හෙ තෙම නැවත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය ...
(7) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරණුයේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබූවහුට පිරිවෙස නො නගියි ...
(8) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ලාමකදෘෂ්ටිය නොදුරැලීමෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබුවහුට පිරිවෙස නො නගී. හෙතෙම නැවැත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දේය. යම් පිරිවෙසක් වසන ලද ද, ඒ මනාව වසන ලද්දේය. සෙසු කාලය පිරිවෙස් පිරිය යුතුය.
5. (9-16) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මූලායපටිකස්සනයට සුදුසු වූයේ සිවුරු හරී ද, මහණෙනි, සිවුරු හළහුට මූලායපටිකස්සනය නො යෙදෙයි. ඉදින් හෙතෙමේ උපසම්පදාව ලබා ද, ඒ මහණහට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනා ව වැස නිමවිනි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇදිය යුතු. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මූලායපටිකස්සනයට සුදුසු වූයේ හෙරණෙක් වේ ද, ... උමතුවෙක් වේ ද, ... වික්‍ෂිප්ත සිතැත්තෙක් වේ ද, ... වේදනායෙන් පෙළෙන්නෙක් වේ ද, ... ඇවැත නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලබා ද, ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලබා ද, ... ලාමකදාෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලබා ද, මහණෙනි, උකෙව්නිකම් කළහුට මූලායපටිකස්සනය නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දේ ය. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස නිමවිනි. ඒ මහණ තෙම් මුල් ඇවතට ඇදිය යුතු.
6. (17-24) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානත පිරීමට සුදුසු වූයේ උපැවිදි වෙයි ද, මහණෙනි, උපැවිදි වූවහුට මානත දීම නො යෙදෙයි. ඉදින් මහ තෙම් නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම් එසේ ම ය. යම් පිරිවෙසක් දෙනු ලැබී ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මැනැවින් වැස නිමවිනි. ඒ මහණහට මානත දිය යුතු. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානත පිරීමට සුදුසු වූයේ සාමණේරයෙක් වේ ද, ... උමතුවෙක් වේ ද ... වික්‍ෂිප්ත සිතැත්තෙක් වේ ද ... වේදනාවෙන් පෙළෙන්නෙක් වේ ද ... ඇවැත නො දැක් මෙහි උඛෙවිනිකම් කරණු ලබයි ද ... ඇවැතට පිළියම් නො කිරීමෙහි උඛෙව්නිකම් කරණු ලබයි ද, ලාමකදෘෂ්ටිය නො දුරලීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද, මහණෙනි, උඛෙව්නිකම් කළහුට මානත දීම නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඇතුළත් කරගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම් එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස වැස නිමවිනි. ඒ මහණහට මානත දිය යුතු.
7. (25) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානන පුරන්නේ උපැවිදි වෙයි ද, මහණෙනි, උපවැදී වූවහුට මානත පිරීම නො යෙදේ. ඉදින් හෙතෙම නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස නිමවිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එ මනාව පුරණ ලද්දකි. සෙස්ස පිරිය යුතු.
8. (26-32) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මානත පුරන්නේ සාමණේරයෙක් වෙයි ද ... උම්මත්තකයෙක් වෙයි ද ... පෙරළුණු සිතැත්තෙක් වෙයි ද ... වේදනාවෙන් පෙළෙන්නෙක් වෙයි ද ... ඇවත නො දැක්මෙහි උකෙව්නිකම් කරණු ලබයි ද ... ඇවතට පිළියම් නො කිරීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද ... ලාමකදෘෂ්ටිය නො දුරලීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද, මහණෙනි, උක්‍ෂේපනීයකර්‍මය කරණු ලැබුවහුට මානත පිරීම නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඔසාරණකම් කරණු ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව විසිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එය මනාව පුරණ ලද්දකි. මානත්ශේෂය පිරිය යුතු යි.
9. (33) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ අබ්භානකර්‍මයට සුදුසු වූයේ උපැවිදි වෙයි ද, මහණෙනි, උපැවිදි වූවහුට අබ්භාන කර්‍මය නො යෙදෙයි. ඉදින් හෙ තෙම නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම. එසේ ම ය. යම් පිරිවෙසක් දෙනලද ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනා ව වැස නිමවිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එය මනාව පුරණ ලද්දකි. ඒ මහණ තෙමේ (අබ්භාන කර්‍මයෙන්) ඇතුළත් කර ගත යුතුයි.
10. (34-40) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ අබ්භානකර්‍මයට සුදුසු වූයේ හෙරණෙක් වෙයි ද ... උමතුවෙක් වෙයි ද ... වික්‍ෂිප්ත සිතැත්තෙක් වෙයි ද, ... වේදනාවෙන් පෙළුනෙක් වෙයි ද ... ඇවැත නො දැක්මෙහි උක්‍ෂේපනීයකර්‍මය කරණු ලබයි ද ... ඇවැතට පිළියම් නො කිරීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද ... ලාමකදෘෂ්ටිය නො දුරලීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද, මහණෙනි, උක්‍ෂේපනීයකර්‍මය කරණු ලැබුවහුට අබහාන කර්‍මය නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඔසාරණ කර්‍මය කරණු ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනා ව වැස නිමවිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එය මනාව පුරණ ලද්දකි. ඒ මහණ තෙම (අබ්භාන කර්‍මයෙන්) ඇතුළත් කර ගත යුතු යි.
පාරිවාසික සතළිස නිමි.
4. පිරිවෙස් සතිස
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර ප්‍රමාණයක් ඇති පිළිසන් නො වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු.
2. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර ප්‍රමාණයක් ඇති පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු, ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්ගෙන් ඒ අතර ප්‍රමාණයක් ඇති පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි ද, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු යි. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු.
4-9. මහණෙනි, මේ ශාසනයෙහි, මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර ප්‍රමාණයක් නැති නො පිළිසන් වූ ... අප්‍රමාණ වූ පිළිසන් වූ ... ප්‍රමාණයක් නැති පිළිසන් වූ ද තො පිළිසන් වූ ද … ප්‍රමාණයක් ඇත්තා වූ ද, ප්‍රමාණයක් නැත්තා වූ ද නො පිළිසන් වූ (ඇවැතුන්ට) ප්‍රමාණයක් ඇත්තාවූද ප්‍රමාණයක් නැත්තාවූ ද පිළිසන් (ඇවැත්වලට) ප්‍රමාණයක් ඇත්තාවූ ද පමණක් නැත්තා වූ ද, පිළිසන් වූ ද, නො පිළිසන් වූ ද ඇවැත්වලට පැමිණෙයි. ... මහණෙනි, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
10-36. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මානත පිරීමට සුදුසු වූයේ ... මානත පුරන්නේ ... අබ්භානකර්‍මයට සුදුසු වූයේ ඒ අතර ප්‍රමාණයක් ඇති නො පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි ද ... ප්‍රමාණයක් ඇති පිළිසන් වූ (ඇවැත්වලට) ... ප්‍රමාණයක් ඇති පිළිසන් වූ ද නො පිළිසන් වූ ද (ඇවැත්වලට) ... ප්‍රමාණයක් නැති පිළිසන් ඇවැත්වලට ... ප්‍රමාණ රහිත පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත්වලට ... ප්‍රමාණයක් ඇත්තාවූ ද ප්‍රමාණයක් නැත්තා වූ ද නො පිළිසන් ඇවැත්වලට ... ප්‍රමාණයක් ඇත්තා වූ ද ප්‍රමාණයක් නැත්තා වූ ද, පිළිසන් ඇවැත්වලට ... ප්‍රමාණයක් ඇත්තාවූ ද ප්‍රමාණයක් නැත්තාවූ ද පිළිසන්වූද නො පිළිසන්වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඒ මහණතෙම මුල්ඇවැතට ඇදීම කළ යුතු. ඒ මහණහට පළමු ඇවැත මග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
පිරිවෙස් සතිස නිමි.
5. මානත්ත ශතකය
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ පිළිසන් නො කොට උපැවිදි වෙයි. ඉදින් හෙතෙම නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො පිළිසන් කෙරෙයි ද, මහණෙනි, ඒ මහණහට මානත දිය යුතු.
2. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ නො පිළිසන් කොට උපැවිදි වෙයි ද, හෙතෙම නැවත උපසපන් වීමෙන් පැසුළු පිළිසන් ඇවැත් රැසෙහි පිළිසන් ඇවැත් පමණින් පිරිවෙස දී මානත දිය යුතු යි.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණ පිළිසන් කොට උපැවිදි වෙයි ද, හෙතෙම නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි ද, මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් ඇවැත් පමණින් පිරිවෙස දී මානත දියයුතු.
4. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණ පිළිසන් කොට උපැවිදි වෙයි. හේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් (සඟවයි) වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද දෙ ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
5. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණ තෙම උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව නො වසයි. පෙර නො වැසූ ඇවැත් පසු ව ද නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
6. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණේ, ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණතෙම උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව නො වසයි. පෙර නො වැසූ ඇවැත් පසු ව වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
7. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ. හෙතෙම සිවුරු හැර ගොස් නැවත උපසපන් වූයේ පෙර වැසූ ඇවැත් පසු ව ද වසයි. පෙර නො වැසූ ඇවැත් පසුව ද නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසුවූ ද ඇවැත් කඳෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
8. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණහට පිළිසන් වූ ද නොපිළිසන් වූ ද ඇවැත් වේ. ඒ මහණතෙම උපැවිදි ව නැවැත උපසපන් වූයේ පළමු වැසූ ඇවැත් පසු ව ද වසයි. පළමු නො සැඟවූ ඇවැත් පසු ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දියයුතු.
9. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනියි ද ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො වසයි. පෙර නො දැන නො සැඟෙ වූ ඇවැත් පසු ව දැන නො වසයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
10. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනියි ද ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. පළමු නො දැන නො වැසූ ඇවැත් පසු ව දැන සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසුවූ ද ඇවැත් රාශියෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
11. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනි. ඇතැම් ඇවැත් නො දනී. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනී ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙම සස්නෙන් ගිලිහී නැවත උපසපන් වූයේ, පළමු දැන සැඟෙවූ ඇවැත් පසුවත් දැන සඟවයි. පළමු දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රාශියෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
12. මහණෙනි, මෙම ශාසනයෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද ඒ ඇවැත් වසයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම ශාසනයෙන් චුත ව නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. පළමු නො සිහි කොට නො සැඟෙවූ ඒ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රාශියෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
13. මහණෙනි, මෙහි මහණ තෙමේ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි නම්, ඒ ඇවැත් වසයි. යම් ඇවැත් සිහි නො කරයි නම්, ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟෙවූ ඇවැත් පසුව සිහි කොට නො සඟවයි. පෙර සිහි නො කොට නො සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
14. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු සිහි කොට සැඟෙවූ ඇවැත් පසුවත් සිහි කොට සඟවයි. පළමු සිහි නො කොට නො සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු යි.
15. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අදිවයි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ ශාසනයෙන් චුත ව නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට ද සඟවයි. පෙර සිහි නො කොට නො සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
16. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට වසයි. පෙර නො සැඟෙවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
17. මහණෙනි, මෙහි මහණ තෙමේ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ වේ ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ වේ ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙම ශාසනයෙන් චුත ව (සිවුරු හැර) නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
18. මහණෙනි, මෙහි මහණ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමත් නැත්නත් වේ ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ වේ ද, ඒ ඇවැත් නො සඟවයි, හේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර විමති නැති වැ සැඟෙවූ ඇවැත් පසු ව විමති නැත්තේ නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟෙ වූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
19. මහණෙනි, මෙහි මහණ තෙමේ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ වේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි, හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟෙ වූ ඇවැත් පසු ව ද විමති නැති ව සඟවයි. පෙර විමති ඇති ව නො සැඟෙ වූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පමණින් පිරිවෙස දී මානත දිය යුතු.
20. මහණෙනි, මෙහි මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ වේ නම් ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ වේ නම් ඒ ඇවැත් නො සඟවයි. හෙතෙම උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර යම් ඇවැත් විමති රහිත ව සැඟවී නම් පසුව ඒ ඇවැත් විමති රහිත ව සඟවයි. පෙර යම් ඇවැත් විමති ඇතිව නො සැඟවීනම් පසුව ඒ ඇවැත් විමති නැති ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පෙර වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් කල් පමණින් පිරිවෙස් දී මානත දිය යුතු.
21-40. මහණෙනි, මෙහි මහණ තෙමේ බොහෝ සඟවෙසෙස් ඇවැත් පිළිසන්නො කොට හෙරණෙක් වෙයි. (පෙර යම්සේ නම් එසේ විස්තර කළ යුතු යි.) ... (41-60) උමතුවෙක් වෙයි … (61-80) විසුළ සිතැත්තෙක් වෙයි ... (81-100) වේදනායෙන් පෙළුණෙක් වෙයි. ඒ මහණහුගේ පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වෙයි ... ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි ... ඇතැම් ඇවැත් සමරයි ඇතැම් ඇවැත් නො සමරයි. ... ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වේ. යම් ඇවැත්හි විමති නැත්තේ වේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ වේ ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ වේදනාවෙන් පෙළෙන්නෙක් වෙයි. හෙතෙමේ නැවත වේදනායෙන් නො පෙළෙන්නෙක් ව පෙර විමති නැති ව සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි ද, පෙර විමති ඇති ව නො සැඟවු ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති නැති ව සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නොසැඟෙ වූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පෙර විමති නැති ව සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පළමු විමති ඇති ව නො සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි ... පළමු විමති නැති ව නො සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පළමු විමති ඇති ව නො සැඟෙවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. මහණෙනි, ඒ මහණහට පළමු වූ ද පසු වූ ද ඇවැත් රැසෙහි පිළිසන් පිරිවෙස දී මානත දිය යුතුයි.
මානත් සියය නිමි.
6. මූලායපටිකස්සන සිවුසියය
1. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් නො කොට ශාසනයෙන් ච්‍යුත වෙයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම මුල්ඇවතට ඇදීම කළ යුතු.
2. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් නො කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් සඟවයි. ඒ මහණතෙම් මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
3. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇදිය යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු,
4. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
5. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහට පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වේ. හෙතෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසු ව නො සඟවයි. පළමු නො සැඟෙ වූ ඇවැත් පසුව ද නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමඟ පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු.
6. මහණෙනි, මෙහි මහණ තෙම් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහට පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. හෙතෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු සැඟෙවූ ඇවැත් පසු ව නො සඟවයි. පළමු නො සැඟෙවූ ඇවැත් පසු ව සඟවයි. ඒ මහණතෙම මුල් ඇවැතට ඇදිය යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධාන පරිවාසය දිය යුතු.
7. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහුගේ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසුවත් සඟවයි. පෙර නො සැඟෙවූ ඇවැත් පසුවත් නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
8. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඒ මහණහුගේ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසුව සඟවයි. පළමු නො සැඟෙවූ ඇවැත් පසු ව සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
9. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනී ද ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. පළමු නො දැන නො සැඟවූ ඇවැත් පසුව දැන නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
10. මහණෙනි, මෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද, ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනී ද, ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ, පෙර දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. පෙර නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළියන් ඇවැතුන්ට සමෝධාන පිරිවෙස දිය යුතු.
11. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දැනියි. යම් ඇවැත් දනියි ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනී ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ ශාසනයෙන් ච්‍යුත ව නැවත උපසපන් වූයේ පළමු දැන සැඟ වූ ඒ ඇවැත් පසුව දැන ද සඟවයි. පළමු නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
12. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනියි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ, පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. පළමු නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දියයුතු.
13. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. (ඔවුන් අතරින්) ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණතෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. ඒ මහණ තෙම මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.