Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3801-3845 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉමෙ භන්තෙ වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං ඉමානි දසවත්ථූනි දීපෙන්ති. හන්ද මයං භන්තෙ ඉමං අධිකරණං ආදියාම{5}. පුරෙ අධම්මො දිප්පති ධම්මො පටිබාහීයති. අවිනයො දිප්පති විනයො පටිබාහීයති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති ධම්මවාදිනො දුබ්බලා හොන්ති. අවිනයවාදිනො බලවන්තො හොන්ති. විනයවාදිනො දුබ්බලා හොන්තීති. එවමාවුසොති ඛො ආයස්මා රෙවතො ආයස්මතො යසස්ස කාකණ්ඩකපුත්තස්ස පච්චස්සොසි.
Sinhala BJTවහන්ස, විශාලාවැසි මේ වජ්ජිපුත්‍රක භික්‍ෂූහු විශාලානුවර මේ දශ වස්තුව ප්‍රකාශ කෙරෙත්. වහන්ස, අධර්‍මය බැබළීමට ද ධර්‍මය බැහැර කරනුලැබීමට ද අවිනය බැබළීමට ද විනය බැහැර කරනු ලැබීමට ද පෙර අධර්මවාදීන් බලවත් වීමට ද ධර්මවාදීන් දුබල වීමට ද අවිනයවාදීන් බලවත් වීමට ද විනයවාදීන් දුබල වීමට ද පෙර අපි මේ අධිකරණය ඉදිරියට ගන්නෙමුයි. ඇවැත්නි. එසේ යැ’යි කියා ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් කාකණ්ඩකපුත්‍ර යස ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJTපඨමභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTපළමු බණවර නිමි.
Pali BJTදුතියභාණවාරං
Sinhala BJTදෙවැනි බණවර
Pali BJT13. අස්සොසුං ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ යසො කිර කාකණ්ඩකපුත්තො ඉමං{1} අධිකරණං ආදියිතුකාමො පක්ඛං පරියෙසති. ලභති ච කිර පක්ඛන්ති. අථ ඛො වෙසාලිකානං වජ්ජිපුත්තකානං භික්ඛූනං එතදහොසි: ඉදං ඛො අධිකරණං කක්ඛළඤ්ච වාලඤ්ච. කන්නු ඛො{2} මයං පක්ඛං ලභෙය්යාම යෙන මයං ඉමස්මිං අධිකරණෙ බලවන්තතරා අස්සාමාති. අථ ඛො වෙසාලිකානං වජ්ජිපුත්තකානං භික්ඛූනං එතදහොසි: අයං ඛො ආයස්මා රෙවතො බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො පණ්ඩිතො ව්යත්තො මෙධාවී ලජ්ජී කුක්කුච්චකො සික්ඛාකාමො. සචෙ මයං ආයස්මන්තං රෙවතං පක්ඛං ලභෙය්යාම එවං මයං ඉමස්මිං අධිකරණෙ බලවන්තතරා අස්සාමාති.
Sinhala BJT13. කාකණ්ඩකපුත්‍ර වූ යස (ස්ථවිරයන් වහන්සේ,) මේ අධිකරණය ඉදිරියට ගනු කැමැත්තාහු පක්‍ෂයක් සොයත් ල, පක්‍ෂයක් ලබත් ලැ’යි විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු ඇසූහ. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට මේ අදහස විය. මේ අධිකරණය වනාහි කර්‍කශ ද චණ්ඩ ද වෙයි. යමකු නිසා අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු ද එබඳු කවරකු අපි පක්‍ෂ කොට ලබන්නෙමු ද’යි. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට මෙ අදහස විය. මේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ වනාහි බහුශ්‍රැතයහ. අවබෝධ කළ ආගම ඇතියහ. ධර්‍මධරයහ, විනයධරයහ, මාතිකාධරයහ, පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැත්තහ, ලජ්ජීහ, වරදෙහි කුකුස් කරනසුල්ලහ, ශික‍්ෂාකාමීහ. ඉදින් අපි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් පක්‍ෂ කොට ලබන්නෙමු නම් මෙසේ අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමු’යි.
Pali BJTඅථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ පහූතං සාමණකං පරික්ඛාරං පටියාදෙසුං පත්තම්පි චීවරම්පි නිසීදනම්පි සූචිඝරම්පි කායබන්ධනම්පි පරිස්සාවනම්පි ධම්මකරණම්පි. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ තං සාමණකං පරික්ඛාරං ආදාය නාවාය සහජාතිං උජ්ජවිංසු. නාවාය පච්චොරොහිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ භත්තවිස්සග්ගං කරොන්ති.
Sinhala BJTඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු පාත්‍ර ද, සිවුරු ද, නිසීදන ද ඉදිකටුගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන බොහෝ වූ මහණුන්ට සුදුසු වූ පිරිකර පිළියෙළ කළහ. ඉක්බිති වජ්ජිපුත්‍රක භික්‍ෂූහු ඒ මහණුන්ට සුදුසු පිරිකර රැගෙන නැවෙන් සහජාති නුවර වෙත උඩුගංබලා ගියහ. නැවෙන් බැස එක්තරා රුක්මුලෙක අහර වැළඳීම කෙරෙත්.
Pali BJT14. අථ ඛො ආයස්මතො සාළ්හස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. කො නු ඛො ධම්මවාදිනො පාචීනකා වා භික්ඛූ පාවෙය්යකා වාති. අථ ඛො ආයස්මතො සාළ්හස්ස ධම්මඤ්ච විනයඤ්ච{3} චෙතසා පච්චවෙක්ඛන්තස්ස එතදහොසි: අධම්මවාදිනො පාචීනකා භික්ඛූ ධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති. අථ ඛො අඤ්ඤතරා සුද්ධාවාසකායිකා දෙවතා ආයස්මතො සාළ්හස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව සුද්ධාවාසෙසු දෙවෙසු අන්තරහිතා ආයස්මතො සාළ්හස්ස පමුඛෙ{4} පාතුරහොසි. අථ ඛො සා දෙවතා ආයස්මන්තං සාළ්හං එතදවොච: සාධු සාධු{5} භන්තෙ සාළ්හ, අධම්මවාදිනො{6} පාචීනකා භික්ඛූ ධම්මවාදිනො{7} පාවෙය්යකා භික්ඛූ. තෙන හි භන්තෙ සාළ්හ, යථා ධම්මො තථා තිට්ඨාහීති. පුබ්බෙපි චාහං දෙවතෙ එතරහි ච යථා ධම්මො තථා ඨිතො. අපි චාහං න තාව දිට්ඨිං ආවීකරොමි. අප්පෙවනාම මං ඉමස්මිං අධිකරණෙ සම්මන්නෙය්යාති.
Sinhala BJT14. එවේලෙහි රහොගත වූ එකලා වූ ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතෙහි පරිවිතර්කයක් පහළ විය. ධර්‍මවාදීහු කවරහුද? පෙරදිගවාසි භික්‍ෂූහු ද, නැතහොත් පාවෙය්‍යක භික්‍ෂූහු දැ’යි. ඉක්බිති ධර්‍මය ද විනය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට “පෙරදිග වැසි භික්‍ෂූහු අධර්මවාදීහු ය. පාවෙය්‍යක භික්‍ෂූහු ධර්‍මවාදීහු යැ’යි මේ අදහස විය. ඉක්බිති ශුද්ධාවාසවාසී වූ දෙවියෙක් (තමාගේ) සිතින් ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි වූ පරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත හෝ දිගු කෙරෙයි ද, දිගු කළ අත හෝ හකුළුවයි ද මෙ පරිද්දෙන් ම ශුද්ධාවාස දෙවියන් කෙරෙහි අතුරුදහන් ව ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් ඉදිරියෙහි පහළ විය. ඉක්බිති ඒ දෙවියා ආයුෂ්මත් සාළ්හ ස්ථවිරයන් වහන්සේට මෙය කීය. සාළ්හයන් වහන්ස, යහපත යහපත, පෙරදිග වැසි භික්‍ෂූහු අධර්‍මවාදීහු ය, පාවෙය්‍යක භික්‍ෂූහු ධර්‍මවාදීහු ය, සාළ්හයන් වහන්ස, එහෙයින් ම ධර්‍මය යම්සේ ද එසේ සිටිනු මැනවැ’යි. දේවතාවෙනි, මම පෙර ද දැන් ද ධර්‍මය යම්සේ නම් එසේ සිටියේ වෙමි. එහෙත් මේ අධිකරණයෙහි (විසඳීමට) මා සම්මත කරන්නේ නම් ඉතා යෙහෙකි. එතෙක් මම දෘෂ්ටිය හෙළි නො කෙරෙමි යි.
Pali BJT15. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ තං සාමණකං පරික්ඛාරං ආදාය යෙනායස්මා රෙවතො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං රෙවතං එතදවොචුං: පටිගණ්හාතු භන්තෙ ථෙරො සාමණකං පරික්ඛාරං පත්තම්පි චීවරම්පි නිසීදනම්පි සූචිඝරම්පි කායබන්ධනම්පි පරිස්සාවනම්පි ධම්මකරණම්පීති. අලං ආවුසො, පරිපුණ්ණං මෙ පත්තචීවරන්ති න ඉච්ඡි පටිග්ගහෙතුං.
Sinhala BJT15. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු මහණුන්ට සුදුසු වූ ඒ පිරිකර ගෙන ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන්ට මෙය කීහ. වහන්ස, පාත්‍රද, සිවුරු ද, නිසීදන ද, ඉදිකටුගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන මහණුන්ට සුදුසු වූ පිරිකර තෙරුන් වහන්සේ පිළිගනිත්වා’යි. ඇවැත්නි, කම් නැත. මාගේ පාසිවුරු පිරිපුන් ය යි පිළිගන්නට නො කැමති වූහ.
Pali BJTතෙන ඛො පන සමයෙන උත්තරො නාම භික්ඛු වීසති වස්සො ආයස්මතො රෙවතස්ස උපට්ඨාකො හොති. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ යෙනායස්මා උත්තරො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං උත්තරං එතදවොචුං පටිගණ්හාතු ආයස්මා උත්තරො සාමණකං පරික්ඛාරං පත්තම්පි චීවරම්පි නිසීදනම්පි සූචිඝරම්පි කායබන්ධනම්පි පරිස්සාවනම්පි ධම්මකරකම්පීති. අලං ආවුසො පරිපුණ්ණං මෙ පත්තචීවරන්ති. න ඉච්ඡි පටිග්ගහෙතුං.
Sinhala BJTඑසමයෙහි විසි වස් ඇති උත්තර නම් භික්‍ෂූනම ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායක වෙති. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු උත්තර (තෙර) යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන්ට මෙය කීහ. පාත්‍ර ද, සිවුරු ද, නිසීදන ද, ඉදිකටු ගුළා ද, කාබහන් ද, පෙරහන් (කඩ) ද, ඩබරා ද යන මහණුන්ට සුදුසු වූ පිරිකර ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ පිළිගනිත්වායි. ඇවැත්නි, කම් නැත. මාගේ පාසිවුරු පිරිපුන් යැ’ යි (කියා) පිළිගන්නට නො කැමති වූහ.
Pali BJTමනුස්සා ඛො ආවුසො උත්තර, භගවතො සාමණකං පරික්ඛාරං උපනාමෙන්ති. සචෙ භගවා පටිගණ්හාති තෙනෙව තෙ අත්තමනා හොන්ති. නො චෙ භගවා පටිගණ්හාති ආයස්මතො ආනන්දස්ස උපනාමෙන්ති. පටිගණ්හාතු භන්තෙ ථෙරො සාමණකං පරික්ඛාරං, යථා භගවතා පටිග්ගහිතො එවමෙව සො භවිස්සතීති. පටිගණ්හාතු ආයස්මා උත්තරො සාමණකං පරික්ඛාරං. යථා ථෙරෙන පටිග්ගහිතො එවමෙව සො භවිස්සතීති.
Sinhala BJTඇවැත් උත්තරයෙනි, මිනිස්සු මහණුන්ට සුදුසු පිරිකර භාග්‍යවතුන් වහන්සේට එළවත්. ඉදින් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් නම් එයින් ම ඔහු සතුටු සිත් ඇත්තෝ වෙත්. ඉදින් භාග්‍යවතුන් වහන්සේ නො පිළිගන්නා සේක් නම් “වහන්ස, ස්ථවිරයන් වහන්සේ මහණුන්ට සුදුසු පිරිකර පිළිගන්නාසේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දේ ද එපරිද්දෙන් ම එය වන්නේය යි (කියා) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට එළවත්. උත්තර ආයුෂ්මතුන් වහන්සේ මහණුන්ට සුදුසු පිරිකර පිළිගනිත්වා. එය යම්සේ තෙරුන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දේද එපරිද්දෙන්ම වන්නේ ය යි.
Pali BJT16. අථ ඛො ආයස්මා උත්තරො වෙසාලිකෙහි වජ්ජිපුත්තකෙහි භික්ඛූහි නිප්පීළියමානො එකං චීවරං අග්ගහෙසි. වදෙය්යාථාවුසො, යෙනත්ථොති. එත්තකං ආයස්මා උත්තරො ථෙරං වදෙතු: එත්තකං භන්තෙ ථෙරො සඞ්ඝමජ්ඣෙ වදෙතු. පුරත්ථිමෙසු ජනපදෙසු බුද්ධා භගවන්තො උප්පජ්ජන්ති. ධම්මවාදිනො පාචීනකා භික්ඛූ අධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති. එවමාවුසොති ඛො ආයස්මා උත්තරො වෙසාලිකානං වජ්ජිපුත්තකානං භික්ඛූනං පටිස්සුත්වා යෙනායස්මා රෙවතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං රෙවතං එතදවොච එත්තකං භන්තෙ ථෙරො සඞ්ඝමජ්ඣෙ වදෙතු. පුරත්ථිමෙසු ජනපදෙසු බුද්ධා භගවන්තො උප්පජ්ජන්ති. ධම්මවාදිනො පාචීනකා භික්ඛූ අධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති.
Sinhala BJT16. ඉක්බිති ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ විශාලාවැසි වජ්ජි පුත්‍රක භික්‍ෂූන් විසින් පෙළනුලබන්නේ ‘ඇවැත්නි, යමකින් ප්‍රයෝජනයක් වේ ද එය කියව’ යි (කියා) එක් සිවුරක් ගත්හ. ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ තෙරුන් වහන්සේට මෙ පමණක් කියනු මැනව... (එනම්) වහන්ස, භාග්‍යවත් බුදුවරු පෙරදිග ජනපදයන්හි පහළ වෙත්. පෙරදිගවාසි භික්‍ෂූහු ධර්‍මවාදීහු ය. පාවා නුවර වැසි භික්‍ෂූහු අධර්මවාදීහු ය යන මෙපමණක් තෙරුන් වහන්සේ සඟමැද කියන සේක්වා යනු යි. ඇවැත්නි, එසේ යැ යි ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට පිළිවදන් දි ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. වහන්ස, භාග්‍යවත් බුදුවරු පෙරදිග ජනපදයන්හි පහළ වෙත්, පෙරදිගවැසි භික්‍ෂූහු ධර්‍මවාදීහු ය. පාවානුවරවැසි භික්‍ෂූහු අධර්‍මවාදී හු ය යන මෙපමණක් තෙරුන් වහන්සේ සඟමැද කියන සේක්වා.
Pali BJTඅධම්මෙ මං ත්වං භික්ඛු නියොජෙසීති ථෙරො ආයස්මන්තං උත්තරං පණාමෙසි. අථ ඛො වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ ආයස්මන්තං උත්තරං එතදවොචුං: කිං ආවුසො උත්තර ථෙරො ආහාති. පාපිකං නො ආවුසො කතං. අධම්මෙ මං ත්වං භික්ඛු නියොජෙසීති ථෙරො මං පණාමෙසීති.
Sinhala BJTමහණ, තෝ මා අධර්‍මයෙහි යොදවන්නෙහි යැ යි (කියා) තෙරුන් වහන්සේ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ඉවත් කළහ. ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු ආයුෂ්මත් උත්තර ස්ථවිරයන්ට මෙය කීහ. ඇවැත් උත්තරයෙනි, තෙරුන් වහන්සේ කුමක් කීසේක් දැ යි. ඇවැත්නි, අප විසින් ලාමකක්‍රියාවක් කරන ලදී. මහණ තෝ මා අධර්‍මයෙහි යොදවන්නෙහි යැ යි කියා තෙරුන් වහන්සේ මා ඉවත්කළ සේකැ යි.
Pali BJTනනු ත්වං ආවුසො වුඩ්ඪො වීසතිවස්සොසීති, ආමාවුසොති. අපි ච මයං ගරුනිස්සයං ගණ්හාමාති.
Sinhala BJTඇවැත්නි, නුඹ වහන්සේ විසිවස් වූ වෘද්ධයෙක් නො වේ දැ යි. ඇවැත්නි, එසේ යැ යි. එහෙත් අපි ගුරුවරයා වෙත නිශ්‍රය ගනුම්හ යි.
Pali BJT17. අථ ඛො සඞ්ඝො තං අධිකරණං විනිච්ඡිනිතුකාමො සන්නිපති. අථ ඛො ආයස්මා රෙවතො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. සචෙ මයං ඉමං අධිකරණං ඉධ වූපසමෙය්යාම{1} සියාපි මූලාදායකා භික්ඛූ පුනකම්මාය උක්කොටෙය්යුං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං යත්ථෙවිමං අධිකරණං සමුප්පන්නං. සඞ්ඝො තත්ථෙවිමං අධිකරණං වූපසමෙය්යාති. අථ ඛො ථෙරා භික්ඛූ වෙසාලිං අගමංසු තං අධිකරණං විනිච්ඡිනිතුකාමා.
Sinhala BJT17. ඉක්බිති සඞ්ඝයා ඒ අධිකරණය විනිශ්චය කරනු කැමැත්තේ රැස් විය. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. ඉදින් අපි මේ අධිකරණය මෙහිදී සන්හිඳුවන්නෙමු නම් මූලදායක (කරුණට මුල් වූ) භික්‍ෂූන් නැවත කර්‍මය (කිරීම) පිණිස උක්කෝටනය කිරීම වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් යම් තැනෙක මේ අධිකරණය හටගත්තේ ද එතැන දීම සඞ්ඝයා මේ අධිකරණය සන්හිඳුවන්නේ නම් මැනවැයි. ඉක්බිති ඒ අධිකරණය විනිශ්චය කරනු කැමති වූ ස්ථවිර භික්‍ෂූහු විශාලා නුවරට ගියහ.
Pali BJT18. තෙන ඛො පන සමයෙන සබ්බකාමී නාම පථව්යා සඞ්ඝත්ථෙරො වීසවස්සසතිකො{2} උපසම්පදාය ආයස්මතො ආනන්දස්ස සද්ධිවිහාරිකො වෙසාලියං පටිවසති. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මන්තං සම්භූතං සාණවාසිං එතදවොච: අහං ආවුසො යස්මිං විහාරෙ සබ්බකාමී ථෙරො විහරති තං විහාරං උපගච්ඡාමි. සො ත්වං කාලස්සෙව ආයස්මන්තං සබ්බකාමිං උපසඞ්කමිත්වා ඉමානි දසවත්ථූනි පුච්ඡෙය්යාසීති. එවම්භන්තෙති ඛො ආයස්මා සම්භූතො සාණවාසී ආයස්මතො රෙවතස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා රෙවතො යස්මිං විහාරෙ සබ්බකාමී ථෙරො විහරති තං විහාරං උපගඤ්ඡි.
Sinhala BJT18. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගේ සද්ධිවිහාරික වූ උපසම්පදාවෙන් එක්සියවිසි වස් ඇති (මුළු) පෘථිවියෙහි ම සඞ්ඝස්ථවිර වූ සබ්බකාමී නම් තෙරුන් වහන්සේ වේසාලියෙහි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “ඇවැත්නි, යම් වෙහෙරෙක සබ්බකාමී තෙරුන් වහන්සේ වෙසෙත් ද මම ඒ වෙහෙරට එළඹෙමි. නුඹ වහන්සේ උදෑසනක් සේ ම ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන් වෙත එළඹ මේ දශවස්තුන් විචාරන්නේ නම් මැනවැ’ යි. එසේ ය වහන්සැ( යි (කියා) සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරණුවෝ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ යම් වෙහෙරෙක සබ්බකාමී තෙරුන් වහන්සේ වෙසෙත් ද ඒ වෙහෙරට පැමිණියහ.
Pali BJTගබ්භෙ ආයස්මතො සබ්බකාමිස්ස සෙනාසනං පඤ්ඤත්තං හොති, ගබ්භ පමුඛෙ ආයස්මතො රෙවතස්ස. අථ ඛො ආයස්මා රෙවතො අයං ථෙරො මහල්ලකො න නිපජ්ජතීති න සෙය්යං කප්පෙසි. ආයස්මා සබ්බකාමී අයං භික්ඛු ආගන්තුකො කිලන්තො න නිපජ්ජතීති න සෙය්යං කප්පෙසි.
Sinhala BJTඇතුළුගෙහි ආයුෂ්මත් සබ්බකාමී තෙරුන් වහන්සේට ද ඇතුළුගෙය ඉදිරිපස ආයුෂ්මත් රේවත තෙරණුවන්ට ද සෙනසුන් පනවන ලද්දේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ ‘මේ තෙරුන් වහන්සේ මහලු ය. නො නිදනසේකැ’යි (සලකා) ශයනය නො කළහ. ‘මේ භික්‍ෂු තෙම ආගන්තුකයෙකි. වෙහෙසට පත් වූයේ නො නිදනසේකැ ය’යි (සලකා) ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ ශයනය නො කළහ.
Pali BJTඅථ ඛො ආයස්මා සබ්බකාමී රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං රෙවතං එතදවොච: කතමෙන ත්වං භුම්මි විහාරෙන එතරහි බහුලං විහරසීති. මෙත්තාවිහාරෙන ඛො අහං භන්තෙ එතරහි බහුලං විහරාමීති. කුල්ලකවිහාරෙන කිර ත්වං භුම්මි එතරහි බහුලං විහරසි’ කුල්ලකවිහාරො එසො භුම්මි යදිදං මෙත්තාති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ රාත්‍රිය පහන්වන වේලායෙහි නැඟිට ආයුෂ්මත් රේවත තෙරුන්ට මෙය කීහ. ප්‍රිය තෙනැත්ත, තෙපි කවර විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙන්නහු දැ’යි. වහන්ස, මම මෛත්‍රීවිහරණයෙන් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙමි යි. ප්‍රිය තෙනැත්ත, තෙපි වනාහි ඉතා ප්‍රකට විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙන්නහු ය. ප්‍රිය තෙනැත්ත, යම් මේ මෛත්‍රියක් වේ ද තෙලෙ ඉතා ප්‍රකට විහරණයෙකි යි.
Pali BJTපුබ්බෙපි මෙ භන්තෙ ගිහීභූතස්ස ආචිණ්ණා මෙත්තා. තෙනාහං එතරහිපි මෙත්තාවිහාරෙන බහුලං විහරාමි. අපි ච ඛො මයා චිරප්පත්තං අරහත්තං. ථෙරො පන භන්තෙ කතමෙන විහාරෙන එතරහි බහුලං විහරතීති. සුඤ්ඤතා විහාරෙන ඛො අහං භුම්මි එතරහි බහුලං විහරාමීති?
Sinhala BJTවහන්ස, පෙර ද ගිහි වූ මා විසින් මෛත්‍රිය පුරුදු කරන ලදි. එහෙයින් දැනුදු මම මෛත්‍රීවිහරණයෙන් යුක්ත ව බෙහෙවින් වෙසෙමි. තව ද මා විසින් රහත්බවට පැමිණ බොහෝ කල් ය. වහන්ස, (ඔබ) තෙරුන් වහන්සේ කවර විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙනසේක් දැ යි. ප්‍රිය තෙනැත්ත, මම ශුන්‍යතාවිහරණයෙන් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙමි’යි.
Pali BJTමහාපුරිසවිහාරෙන කිර භන්තෙ ථෙරො එතරහි බහුලං විහරති. මහාපුරිසවිහාරො එසො භන්තෙ යදිදං සුඤ්ඤතාති. පුබ්බෙපි මෙ භූමි ගිහීභූතස්ස ආචිණ්ණා සුඤ්ඤතා. තෙනාහං එතරහිපි සුඤ්ඤතාවිහාරෙන බහුලං විහරාමි. අපි ච මයා චිරපත්තං අරහත්තන්ති. අයඤ්චරහි ථෙරානං භික්ඛූනං අන්තරා කථා විප්පකතා.
Sinhala BJTවහන්ස, තෙරුන් වහන්සේ වනාහි මහාපුරුෂ විහරණයෙකින් යුක්ත ව දැන් බෙහෙවින් වෙසෙනසේක. වහන්ස, යම් මේ ශුන්‍යතාවිහරණයෙක් වේ ද තෙලෙ මහාපුරුෂ විහරණයෙකැ යි. ප්‍රිය තෙනැත්ත, පෙර ද ගිහි වූ මා විසින් ශුන්‍යතාව පුරුදු කරන ලද. එහෙයින් දැනුදු මම ශුන්‍යතාවිහරණයෙන් යුක්ත ව බෙහෙවින් වෙසෙමි. තවද මා විසින් රහත්බවට පැමිණ බොහෝ කල් වේ යැ යි. ස්ථවිර භික්‍ෂූන් (දෙනම) අතර වූ මේ කථාව අඩාළ කරන ලද්දේ ය.
Pali BJT19. අථායස්මා සම්භූතො සාණවාසී තස්මිං අනුප්පත්තො හොති. අථ ඛො ආයස්මා සම්භූතො සාණවාසී යෙනායස්මා සබ්බකාමී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සබ්බකාමිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සම්භූතො සාණවාසී ආයස්මන්තං සබ්බකාමිං එතදවොච: ඉමෙ භන්තෙ වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ වෙසාලියං දසවත්ථූනි දීපෙන්ති: කප්පති සිඞ්ගිලොණ කප්පො. කප්පති ද්වඞ්ගුලකප්පො. කප්පති ගාමන්තරකප්පො. කප්පති ආවාසකප්පො. කප්පති අනුමතිකප්පො. කප්පති ආචිණ්ණකප්පො. කප්පති අමථිතකප්පො. කප්පති ජලොගි පාතුං. කප්පති අදසකං නිසීදනං. කප්පති ජාතරූපරජතන්ති. ථෙරෙන භන්තෙ උපජ්ඣායස්ස මූලෙ බහුධම්මො ච විනයො ච පරියත්තො. ථෙරස්ස භන්තෙ ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස කථං හොති කෙ නු ඛො ධම්මවාදිනො පාචීනකා වා භික්ඛූ පාවෙය්යකා වාති.
Sinhala BJT19. එකල්හි සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේ එහි පැමිණියහ. ඉක්බිති සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ යම් තැනෙක ද එතැනට එළඹියහ. එළඹ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරහු ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවනට මෙය කීහ. වහන්ස, විශාලාවැසි මේ වජ්‍රපුත්‍රක භික්‍ෂූහු වේසාලියෙහි දශවස්තුවක් දක්වති. (එනම්) සිඞ්ගිලොණකප්පය කැප ය, ද්වඞ්ගුලකප්පය කැප ය, ගාමන්තරකප්පය කැප ය, ආවාසකප්පය කැප ය, අනුමතිකප්පය කැප ය, ආචිණ්ණකප්පය කැප ය, අමථිතකප්පය කැප ය, නො පැසුණු සුරා බීමට කැප ය, දහවලු රහිත නිසීදනය කැප ය, රන්රිදී කැප ය යනු යි. වහන්ස, (ඔබ) තෙරුන් වහන්සේ විසින් උපාධ්‍යායයන් වහන්සේ (ආනන්‍ද තෙරුන්වහන්සේ) වෙත බොහෝ ධර්‍මය ද විනය ද පුහුණු කරන ලද්දේ ය. වහන්ස, ධර්‍මය ද විනය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන තෙරුන් (ඔබ) වහන්සේට කෙසේ අදහස් වෙයි ද? ධර්‍මවාදීහු කවරහු ද? ප්‍රාචීනක භික්‍ෂූහු හෝ පාවෙය්‍යක භික්‍ෂූහු හෝ ධර්‍මවාදීහු වෙත් දැ’යි.
Pali BJTතයාපි ඛො ආවුසො උපජ්ඣායස්ස මූලෙ බහු ධම්මො ච විනයො ච පරියත්තො. තුය්හං පනාවුසො ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස කථං හොති. කෙ නු ඛො ධම්මවාදිනො පාචීනකා වා භික්ඛූ පාවෙය්යකා වාති. මය්හං ඛො භන්තෙ ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස එවං හොති: අධම්මවාදී පාචීනකා භික්ඛූ ධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති. අපිචාහං න තාව දිට්ඨිං ආවීකරොමි අප්පෙව නාම මං ඉමස්මිං අධිකරණෙ සම්මන්නෙය්යාති.
Sinhala BJTඇවැත්නි, තොප විසින් ද උපාධ්‍යායයන් වහන්සේ වෙත බොහෝ ධර්‍මය ද විනය ද පුහුණු කරන ලද්දේ ය. ඇවැත්නි, ධර්‍මය ද විනය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන තොපට කෙසේ අදහස් වේ ද, ප්‍රාචීනක භික්‍ෂූහු හෝ පාවෙය්‍යක භික්‍ෂූහු හෝ ධර්‍මවාදීහු කවරහු වෙත් දැ’යි. වහන්ස, ධර්‍මය ද විනය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන මට මෙසේ අදහස් වෙයි. (එනම්) ප්‍රාචීනක භික්‍ෂූහු අධර්මවාදීහු වෙති. පාවෙය්‍යක භික්‍ෂූහු ධර්‍මවාදීහු වෙතැ’යි. එහෙත් මේ අධිකරණයෙහි මා සම්මත කරන්නේ නම් ඉතා යෙහෙකි. එතෙක් දෘෂ්ටිය (මගේ අදහස) හෙළි නො කෙරෙමි යි (කීහ.)
Pali BJTමය්හම්පි ඛො ආවුසො ධම්මඤ්ච විනයඤ්ච පච්චවෙක්ඛන්තස්ස එවං හොති: අධම්මවාදිනො පාචීනකා භික්ඛූ ධම්මවාදිනො පාවෙය්යකා භික්ඛූති. අපිචාහං න තාව දිට්ඨිං ආවීකරොමි අප්පෙවනාම මං ඉමස්මිං අධිකරණෙ සම්මන්නෙය්යාති.
Sinhala BJTඇවැත්නි, ධර්‍මය ද විනය ද , ප්‍රත්‍යවේක්‍ෂා කරන මට ද මේ අදහස වෙයි. (එනම්) ප්‍රාචීනක භික්‍ෂූහු අධර්මවාදීහු ය. පාවෙය්‍යක භික්‍ෂූහු ධර්‍මවාදීහු වෙතැ යි. එහෙත්, මා මේ අධිකරණයෙහි සම්මත කරන්නේ නම් ඉතා යෙහෙක. එතෙක් මම දෘෂ්ටිය (මගේ අදහස) හෙළි නො කෙරෙමි යි කීහ.
Pali BJT20. අථ ඛො සඞ්ඝො තං අධිකරණං විනිච්ඡිනිතුකාමො සන්නිපති. තස්මිං ඛො පන අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති. න චෙකස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. අථ ඛො ආයස්මා රෙවතො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති න චෙකස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉමං අධිකරණං උබ්බාහිකාය වූපසමෙය්ය. සඞ්ඝො චත්තාරො පාචීනකෙ භික්ඛූ චත්තාරො පාවෙය්යකෙ භික්ඛූ උච්චිනි. පාචීනකානං භික්ඛූනං ආයස්මන්තඤ්ච සබ්බකාමිං ආයස්මන්තඤ්ච සාළ්හං ආයස්මන්තඤ්ච ඛුජ්ජසොභිතං ආයස්මන්තඤ්ච වාසභගාමිකං. පාවෙය්යකානං භික්ඛූනං ආයස්මන්තඤ්ච රෙවතං. ආයස්මන්තඤ්ච සම්භූතං සාණවාසිං. ආයස්මන්තඤ්ච යසං කාකණ්ඩකපුත්තං. ආයස්මන්තඤ්ච සුමනං. අථ ඛො ආයස්මා රෙවතො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති න චෙකස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො චත්තාරො පාචීනකෙ භික්ඛූ චත්තාරො පාවෙය්යකෙ භික්ඛූ සම්මන්නෙය්ය උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. එසා ඤත්ති.
Sinhala BJT20. ඉක්බිති සඞ්ඝයා ඒ අධිකරණය විනිශ්චය කරනු කැමැත්තේ රැස් විය. ඒ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා උපදිත්, කියන ලද එකකවත් අර්‍ත්‍ථය නො දැනෙයි. ඉක්බිති ආයුෂ්මත්රෙවත තෙරණුවෝ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියන ලද එකක හෝ අර්ය නො දැනෙයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා මේ අධිකරණය උබ්බාහිකාවෙන් (සම්මත භික්‍ෂූන් පමණක් බිණීම හා අසම්මත භික්‍ෂූන් , නො බිණීම යන ක්‍රමයෙන්) සන්හිඳුවන්නේ ය. (යනුයි.) පෙරදිග වැසි භික්‍ෂූන් අතුරෙන් ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ ද, ආයුෂ්මත් සාළ්හ තෙරණුවෝ ද, ආයුෂ්මත් බුජ්ජසෝභිත තෙරණුවෝ ද ආයුෂ්මත් වාසභගාමික තෙරණුවෝ ද (යන සතරනම හා) පාවානුවරවැසි භික්‍ෂූන් අතුරෙන් ආයුෂ්මත්රෙවත තෙරණුවෝ ද සාණවාසී ආයුෂ්මත් සම්භූත තෙරණුවෝ ද, ආයුෂ්මත් කාකණ්ඩක පුත්‍ර යස තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද (යන සතරනම දැ යි) ප්‍රාචීනක භික්‍ෂූන් සතරනමක් ද, පාවෙය්‍යක භික්‍ෂූන් සතරනමක් ද සඞ්ඝයා තෝරාගත්තේ ය. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඞ්ඝයාට මෙසේ දැන්වූහ. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියනලද එකක හෝ අර්‍ත්‍ථය නො දැනෙයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මේ අධිකරණය උබ්බාහිකාවෙන් සන්හිඳුවන්නට සඞ්ඝයා ප්‍රාචීනක භික්‍ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්‍ෂූන් සතරනම ද සම්මත කරන්නේ ය. මේ ඥප්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අම්හාකං ඉමස්මිං අධිකරණෙ විනිච්ඡියමානෙ අනග්ගානි චෙව භස්සානි ජායන්ති න චෙකස්ස භාසිතස්ස අත්ථො විඤ්ඤායති. සඞ්ඝො චත්තාරො පාචීනකෙ භික්ඛූ චත්තාරො පාවෙය්යකෙ භික්ඛූ සම්මන්නති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. යස්සායස්මතො ඛමති චතුණ්ණං පාචීනකානං භික්ඛූනං චතුණ්ණං පාවෙය්යකානං භික්ඛූනං සම්මුති උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝයා මබස් අසාවා. අප විසින් මේ අධිකරණය විනිශ්චය කරනු ලබන කල්හි කෙළවරක් නැති කථා ද උපදිත්, කියන ලද එකක හෝ අර්‍ත්‍ථය නො දැනෙයි. මේ අධිකරණය උබ්බාහිකාවෙන් සන්හිඳුවන්නට සඞ්ඝයා ප්‍රාචීනක භික්‍ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්‍ෂූන් සතරනම ද සම්මත කරයි. උබ්බාහිකාවෙන් මේ අධිකරණය සන්හිඳුවන්නට ප්‍රාචීනක භික්‍ෂූන් සතරනම හා පාවෙය්‍යක භික්‍ෂූන් සතරනමගේ සම්මුතිය යම් ආයුෂ්මතක්හට රුචි වේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුට රුචි නොවේ නම් හේ කියන්නේ ය.
Pali BJTසම්මතා සඞ්ඝෙන චත්තාරො පාචීනකා භික්ඛූ චත්තාරො පාවෙය්යකා භික්ඛූ උබ්බාහිකාය ඉමං අධිකරණං වූපසමෙතුං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
Sinhala BJTඋබ්බාහිකාවෙන් මේ අධිකරණය සන්හිඳුවන්නට ප්‍රාචීනක භික්‍ෂූන් සතරනම ද පාවෙය්‍යක භික්‍ෂූන් සතරනම ද සඞ්ඝයා විසින් සම්මත කරන ලදහ. සඞ්ඝයාට (එය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි’යි.
Pali BJT21. තෙන ඛො පන සමයෙන අජිතො නාම භික්ඛු දසවස්සො සඞ්ඝස්ස පාතිමොක්ඛුද්දෙසකො හොති. අථ ඛො සඞ්ඝො ආයස්මන්තම්පි අජිතං සම්මන්නති ථෙරානං භික්ඛූනං ආසනපඤ්ඤාපකං. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: කත්ථ නු ඛො මයං ඉමං අධිකරණං වූපසමෙය්යාමාති. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි: අයං ඛො වාලිකාරාමො රමණීයො අප්පසද්දො අප්පනිග්ඝොසො. යන්නූන මයං වාලිකාරාමෙ ඉමං අධිකරණං වූපසමෙය්යාමාති. අථ ඛො ථෙරා භික්ඛූ වාලිකාරාමං අගමංසු තං අධිකරණං විනිච්ඡිනිතුකාමා. අථ ඛො ආයස්මා රෙවතො සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මන්තං සබ්බකාමිං විනයං පුච්ඡෙය්යන්ති. ආයස්මා සබ්බකාමී සඞ්ඝං ඤාපෙසි: සුණාතු මෙ ආවුසො සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං රෙවතෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්යන්ති. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මන්තං සබ්බකාමිං එතදවොච.
Sinhala BJT21. එ සමයෙහි සඞ්ඝයාගේ පාමොක් උදෙසන්නෙක් වූ දසවස් ඇති අජිත නම් භික්‍ෂුනමක් වෙයි. ඉක්බිති සඞ්ඝයා ආයුෂ්මත් අජිත ස්ථවිර භික්‍ෂූන්ට අසුන් පනවන්නකු කොට සම්මත කෙළේ ය. ඉක්බිති “කොතැන දී අපි මේ අධිකරණය සන්හිඳුවමෝ දැ”යි ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. “මේ වාලිකාරාමය වනාහි සිත්කලු ය. අල්පශබ්ද ඇත්තේ ය. අල්පසොෂ ඇත්තේ ය. අපි මේ අධිකරණය වාලිකාරාමයේ දී සන්හිඳුවමෝ නම් ඉතා යෙහෙකැ”යි. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ අධිකරණය විනිශ්චයකරනු කැමැත්තාහු වාලිකාරාමයට වැඩියාහ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඞ්ඝයාට (මෙසේ) දැන්වූහ. “වහන්ස, සංඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන්ගෙන් විනය විචාරන්නෙමි.” ආයුෂ්මත් සබ්බකාමීතෙරණුවෝ සඞ්ඝයාට(මෙසේ)දැන්වූහ. “ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් මම ආයුෂ්මත් රේවත තෙරුන් විසින් විනය විචාරන ලද්දෙම් විසඳන්නෙමි”යි. ඉන්පසු ආයුෂ්මත් රේවත තෙරණුවෝ ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවනට මෙය කීහ:
Pali BJT1. කප්පති භන්තෙ සිඞ්ගිලොණකප්පොති. කො සො ආවුසො සිඞ්ගිලොණකප්පොති. කප්පති භන්තෙ සිඞ්ගිනා ලොණං පරිහරිතුං යත්ථ අලොණකං භවිස්සති තත්ථ පරිභුඤ්ජිස්සාමාති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. සාවත්ථියං සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. සන්නිධිකාරකභොජනෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං පඨමං වත්ථු සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං පඨමං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT1. වහන්ස, සිඞ්ගිලොණකප්පය කැප වේ දැ’යි. ඇවැත්නි, ඒ සිඞ්ගිලොණකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් තැනෙක ලුණු නැති භොජනයක් වන්නේ නම් එහි දී පරිභෝග කරන්නෙමි”යි (සලකා) අඟෙකින් ලුණු පරිහරණය කරන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. සැවැත්නුවර දී ය. සූත්‍රවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැයි සන්නිධිකාරක භෝජනයෙහි පචිති ඇවැතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ පළමු වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරනලදි. මෙසේ ද මේ වස්තුව ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ පළමු සලාකය බහාතබමි.
Pali BJT2. කප්පති භන්තෙ ද්වඞ්ගුලකප්පොති. කො සො ආවුසො ද්වඞ්ගුලකප්පොති. කප්පති භන්තෙ ද්වඞ්ගුලාය ඡායාය වීතිවත්තාය විකාලෙ භොජනං භුඤ්ජිතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. රාජගහෙ සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. විකාලභොජනෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං දුතියං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං දුතියං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT2. වහන්ස, ද්වඞ්ගුලකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ද්වඞ්ගුලකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සෙවණැල්ල දැඟුලක් ඉක්මගිය කල්හි විකාලයෙහි භෝජනය වළඳන්නට කැප වේ දැ’යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැනදී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. රජගහ නුවර දී ය. සූත්‍රවිභඞ්ගයෙහි යැ’යි. කවර ඇවතකට පැමිණේ දැ යි. විකාලභොජන යෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මේ දෙවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදි. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ දෙවැනි සලාකය බහාතබමි.
Pali BJT3. කප්පති භන්තෙ ගාමන්තරකප්පොති. කො සො ආවුසො ගාමන්තරකප්පොති. කප්පති භන්තෙ ඉදානි ගාමන්තරං ගමිස්සාමීති භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං භොජනං භුඤ්ජිතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. සාවත්ථියා සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. අනතිරිත්තභොජනෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං තතියං වත්ථු සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථු උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං තතියං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT3. වහන්ස, ගාමන්තරකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ගාමන්තරකප්පය නම් කවරේ දැයි. වහන්ස, දැන් අනිත් ගමකට යන්නෙමි යි (සලකා) වළඳා අවසන් වූ පවාරණය කළ භික්‍ෂූව විසින් අයිරිත් නො කළ භෝජනය වළඳන්නට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යයි. කොතැන දී ප්‍රතික්‍ෂේපකරන ලද දැ යි. සැවැත්නුවර දීය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවැතකට පැමිණේ දැ යි. අනතිරිත්තභොජනයෙහි ද පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ තෙවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙහි බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින් මේ) තෙවැනි සලාකය බහා තබමි.
Pali BJT4. කප්පති භන්තෙ ආවාසකප්පොති. කො සො ආවුසො ආවාසකප්පොති. කප්පති භන්තෙ සම්බහුලා ආවාසා සමානසීමා නානුපොසථං කාතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. රාජගහෙ උපොසථසඤ්ඤුත්තෙති. කිං ආපජ්ජතීති. විනයාතිසාරෙ දුක්කටන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං චතුත්ථං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං ඉදං චතුත්ථං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT4. වහන්ස, ආවාසකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ආවාසකප්පය නම් කවරේ දැ යි. වහන්ස, සමාන සීමාවක් ඇති බොහෝ වූ ආවාසයන්හි වෙන් වෙන් ව පොහොය කිරීම කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැයි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැයි, රජගහ නුවර දී ය. උපොසථසංයුත්තයෙහි යැ යි. කවර ඇවැතකට පැමිණේ දැ යි. විනය ඉක්මවීමෙහි දුකුළා ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ සිවුවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදි. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත්කරන ලද්දකි. (එහෙයින්) මේ සිවුවැනි සලාකය බහාතබමි.
Pali BJT5. කප්පති භන්තෙ අනුමතිකප්පොති. කො සො ආවුසො අනුමතිකප්පොති. කප්පති භන්තෙ වග්ගෙන සඞ්ඝෙන කම්මං කාතුං ආගතෙ භික්ඛූ අනුමානෙස්සාමාති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. චම්පෙය්යකෙ විනයවත්ථුස්මින්ති. කිං ආපජ්ජතීති. විනයාතිසාරෙ දුක්කටන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං පඤ්චමං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං පඤ්චමං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT5. වහන්ස, අනුමතිකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ අනුමතිකප්පය නම් කවරේ ද යි. වහන්ස, භික්‍ෂූන් පැමිණි කල්හි අනුදන්නෙමු’යි (සලකා) වර්‍ග වූ සඞ්ඝයා විසින් කර්‍මයක් කිරීමට කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැයි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරනලද දැයි. චම්පානුවරදීය. (චම්පෙය්‍යකබන්‍ධකයෙහි) විනය වස්තුවෙහි යැයි කවර ඇවතකට පැමිණේ දැ යි. විනය ඉක්මවීමෙහි දුකුළා ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ පස්වැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ පස්වැනි සලාකය බහාතබමි.
Pali BJT6. කප්පති භන්තෙ ආචිණ්ණකප්පොති. කො සො ආවුසො ආචිණ්ණකප්පොති. කප්පති භන්තෙ ඉදං මෙ උපජ්ඣායෙන අජ්ඣාචිණ්ණං ඉදං මෙ ආචරියෙන අජ්ඣාචිණ්ණං තං අජ්ඣාචරිතුන්ති. ආචිණ්ණකප්පො ඛො ආවුසො එකච්චො කප්පති එකච්චො න කප්පතීති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං ඡට්ඨං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං ඡට්ඨං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT6. වහන්ස, ආචිණ්ණකප්පය කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ආචිණ්ණකප්පය නම් කවරේ දැ යි. වහන්ස, මෙය මාගේ උපාධ්‍යායයන් වහන්සේ විසින් පුරුදුකරන ලදී. මෙය මාගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින් පුරුදු කරන ලද යි (සලකා) එහි හැසිරෙන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඇතැම් ආචිණ්ණකප්පයක් කැප වෙයි. ඇතැම් ආචිණ්ණකප්පයක් නො කැප වෙයි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා, මේ සවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි, විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ සවැනි සලාකය බහාතබමි.
Pali BJT7. කප්පති භන්තෙ අමථිතකප්පොති. කො සො ආවුසො අමථිතකප්පොති. කප්පති භන්තෙ යං තං ඛීරං ඛීරභාවං විජහිතං අසම්පත්තං දධිභාවං, තං භුත්තාවිනා පවාරිතෙන අනතිරිත්තං පාතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. සාවත්ථියා සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. අනතිරිත්තභොජනෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං සත්තමං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථු උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං සත්තමං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT7. වහන්ස, අමථිතකප්පය කැප වේ ද යි. ඇවැත්නි, ඒ අමථිතකප්පය නම් කවරේ දැ යි. වහන්ස, යම් කිරක් කිරිබව හළේ ද දීබවට නො පැමිණියේ ද අයිරිත් නො කළ ඒ කිරි (දන් වළඳා) අවසන් ව පවාරණය කළ භික්‍ෂූව විසින් බීමට කැප වෙයි දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්‍ෂෙපකරන ලද දැ යි. සැවැත් නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. අනතිරිත්ත භෝජනයෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ සත්වැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ සත්වැනි සලාකය බහාතබමි.
Pali BJT8. කප්පති භන්තෙ ජලොගිං පාතුන්ති කො සා ආවුසො ජලොගීති. කප්පති භන්තෙ යා සා සුරා ආසුතා අසම්පත්තා මජ්ජභාවං, සා පාතුන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. කොසම්බියං සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. සුරාමෙරයපානෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං අට්ඨමං වත්ථුං සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථුං උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං අට්ඨමං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT8. වහන්ස, ජලොගිය බොන්නට කැප වේ දැ යි. ඇවැත්නි, ඒ ජලොගිය නම් කවරේ දැ යි. වහන්ස, යම් සුරාවක් නො පැසුණා ද, මද්‍ය බවට නො පැමිණියා ද එය බොන්නට කැප වේ දැයි. ඇවැත්නි, නො කැප වෙයි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. කොසඹෑ නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. රහමෙර පීමෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ අටවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි, ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ අටවැනි සලාකය බහාතබමි.
Pali BJT9. කප්පති භන්තෙ අදසකං නිසීදනන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. සාවත්ථියා සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. ඡෙදනකෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං නවමං වත්ථු සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථු උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං නවමං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT9. වහන්ස, දහවලු රහිත නිසීදනය කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. සැවැත් නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි ය යි. කවර ඇවතකට පැමිණේ දැ යි. සිඳිය යුත්තෙහි පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ නවවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ද ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ නවවැනි සලාකය බහාතබමි.
Pali BJT10. කප්පති භන්තෙ ජාතරූපරජතන්ති. නාවුසො කප්පතීති. කත්ථ පටික්ඛිත්තන්ති. රාජගහෙ සුත්තවිභඞ්ගෙති. කිං ආපජ්ජතීති. ජාතරූපරජතපටිග්ගහණෙ පාචිත්තියන්ති. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං දසමං වත්ථු සඞ්ඝෙන විනිච්ඡිතං. ඉතිපිදං වත්ථු උද්ධම්මං උබ්බිනයං අපගතසත්ථුසාසනං. ඉදං දසමං සලාකං නික්ඛිපාමි.
Sinhala BJT10. වහන්ස, රන්රිදී කැප වේ දැ යි. ඇවැත්නි, නො කැප වේ යැ යි. කොතැන දී ප්‍රතික්‍ෂේප කරන ලද දැ යි. රජගහ නුවර දී ය. සුත්තවිභඞ්ගයෙහි යැ යි. කවර ඇවතකට පැමිණේ දැ යි. රන්රිදී පිළිගැනීමේ පචිති ඇවතට යැ යි. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ දසවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුව ධර්‍මයෙන් බැහැර කරන ලද්දකි. විනයෙන් බැහැර කරන ලද්දකි. ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ දශවැනි සලාකය බහාතබමි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමානි දස වත්ථූනි සඞ්ඝෙන විනිච්ඡිතානි. ඉතිපිමානි දසවත්ථූනි උද්ධම්මානි උබ්බිනයානි අපගතසත්ථුසාසනානීති. නිහතමෙතං ආවුසො අධිකරණං සන්තං වූපසන්තං සුවූපසන්තං. අපි ච මං ත්වං ආවුසො සඞ්ඝමජ්ඣෙපි ඉමානි දසවත්ථූනි පුච්ඡෙය්යාසි තෙසං භික්ඛූනං සඤ්ඤත්තියාති.
Sinhala BJTවහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ දශවස්තූහු සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදහ. මෙසේ ද මේ දශවස්තූහු ධර්‍මයෙන් බැහැර කරන ලද්දාහ, විනයෙන් බැහැර කරන ලද්දාහ, ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දාහ. ඇවැත්නි, මේ අධිකරණය සිඳින ලදී. ශාන්ත කරන ලදී. සන්හිඳුවන ලදි. මනාව සන්හිඳුවන ලද්දේ ය. ඇවැත්නි, තව ද නුඹ වහන්සේ සඞ්ඝයා මැද ද ඒ භික්‍ෂූන්ගේ දැනගැනීම පිණිස මේ දශවස්තූන් අසන්නහු නම් මැනවැ යි.
Pali BJT22. අථ ඛො ආයස්මා රෙවතො ආයස්මන්තං සබ්බකාමිං සඞ්ඝමජ්ඣෙපි ඉමානි දසවත්ථූනි පුච්ඡි. පුට්ඨො පුට්ඨො ආයස්මා සබ්බකාමී විස්සජ්ජෙසි. ඉමාය ඛො පන විනයසඞ්ගීතියා සත්ත භික්ඛුසතානි අනූනානි අනධිකානි අහෙසුං. තස්මායං විනයසඞ්ගීති සත්තසතිකාති වුච්චතීති.
Sinhala BJT22. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ සඟමැද ද ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවන්ගෙන් මේ දශවස්තූන් විචාළහ. විචාරන ලද විචාරන ලද ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ විසඳූහ. මේ විනය සංගීතියට අඩු නැති ව වැඩි නැති ව සත්සියක් භික්‍ෂූහු වූහ. එහෙයින් මේ විනය සංගීතිය සත්තසතිකා යී කියනු ලැබේ යි.
Pali BJTසත්තසතිකක්ඛන්ධකං.
Sinhala BJTදොළොස්වැනි සත්තසතිකක්ඛන්‍ධක යි.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථූ පඤ්චවීසති.
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු පස්විස්සෙකි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT1. දසවත්ථූනි පූරෙත්වා කම්මං දූතෙන පාවිසි චත්තාරො පුන රූපඤ්ච කොසම්බි ච පාවෙය්යකො.
Sinhala BJT1. දශවස්තු, (ලෝ තලියක් ජලයෙන්) පිරවීම, (පටිසාරණීය) කර්‍මය, අනුදූතයකු සමග පිවිසීම, උපක්ලේශ සතර, රන්රිදී පිළිබඳ දේශනා, කොසඹෑ නුවරට පැමිණීම, පාවෙය්‍යක භික්‍ෂූහු,
Pali BJT2. මග්ගො සොරෙය්යං සඞ්කස්සං කණ්ණකුජ්ජං උදුම්බරං අග්ගළං සහජාති ච අස්සොසි කන්නු ඛො මයං.
Sinhala BJT2. දීර්‍ඝ මාර්‍ගය, සොරෙය්‍ය, සඞ්කස්ස, කණ්ණකුජ්ජ, උදුම්බර, අග්ගළ, සහජාත යන නගරවලට පැමිණීම, වේසාලික භික්‍ෂූන් ඒ පුවත ඇසීම, අපි කවරකු පක්‍ෂ කරගනිමු දැයි සිතීම,
Pali BJT3. පත්තනාවාය උජ්ජවී රහොසි උපනාමයං ගරු සඞ්ඝො ච වෙසාලී මෙත්තා සඞ්ඝො උබ්බාහිකාති.
Sinhala BJT3. පැමිණි නැවකින් උඩුගං බලා යෑම, රහෝගත ව විසීම, පිරිකර එළවීම, ගුරුන් ඇසුරෙහි විසීම, සඞ්ඝයා විසාලා නුවරට පැමිණීම, මෙත්තාවිහාරය, සඞ්ඝයා රැස්වීම, භික්‍ෂූන් තෝරාගැනීම ද (යන වස්තුහු වෙත්.)
Pali BJT4. කම්මං ච පරිවාසො ච සමුච්චයො සමථොපි ච ඛුද්දං සෙනාසනං භෙදා වත්තූපොසථෙ භික්ඛුනී පඤ්චසති සත්තසතී ඛන්ධකා චුල්ලවග්ගම්හි [වුත්තා ද්වාදසමා සියුං]
Sinhala BJT4. කම්ම, පරිවාස, සමුච්චය, සමථ, ඛුද්දක (වත්‍ථු), සේනාසන (සඞ්ඝ) භේද, වත්ත, උපෝසථ (පාතිමෝක්ඛට්ඨපන), භික්ඛුනී, පඤ්චසතික, සත්තසතික යැ යි චුල්ලවග්ගයෙහි කියන ලද ඛන්‍ධකයෝ දොළොසෙක් වෙත්.
Pali BJTචුල්ලවග්ගො නිට්ඨිතො.
Sinhala BJTසුලුවග නිමි.