Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3401-3500 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසචෙ පන උපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො න භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං -පෙ- සඞ්ඝනානාකරණන්ති. ආදාතබ්බං තං උපාලි අත්තාදානං. එවං පඤ්චඞ්ගසමන්නාගතං ඛො උපාලි අත්තාදානං ආදින්නං පච්ඡාපි අවිප්පටිසාරකරං{1} භවිස්සතීති.
Sinhala BJTඉදින් උපාලි ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ “මේ අත්තාදානය මා ගත් කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ අරගලයක් ... සඞ්ඝයාගේ වෙන් වීමක් නො වන්නේ යැ යි දනී ද, උපාලි, ඒ අත්තාදානය ගතයුතු යි. උපාලි, මෙසේ අඞ්ග පසින් යුතුව ගන්නා ලද අත්තාදානය පසුව ද විපිළිසරකාරී නො වන්නේ ය යි.
Pali BJT15. චොදකෙන භන්තෙ භික්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බොති.
Sinhala BJT15. ස්වාමීනි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂුව විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චෝදනා කළයුතු දැ’ යි.
Pali BJTචොදකෙන උපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බො.
Sinhala BJTඋපාලි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂූහු විසින් තමා කෙරෙහි කරුණු පසක් සලකා බලා අන්‍යයා චෝදනා කළයුතු.
Pali BJTචොදකෙන උපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: පරිසුද්ධකායසමාචාරො නු ඛොම්හි පරිසුද්ධෙනම්හි කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පතිමංසෙන{2}. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති. නො චෙ උපාලි භික්ඛු පරිසුද්ධකායසමාචාරො හොති පරිසුද්ධෙන කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පතිමංසෙන. තස්ස භවන්ති වත්තාරො: ඉඞ්ඝ තාව ආයස්මා කායිකං සික්ඛස්සූති. ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTඋපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මෙසේ සලකා බැලියයුතු යි; “මම පිරිසුදු කායසමාචාර ඇත්තෙම් ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති කායසමාචාරයෙන් යුක්ත වෙම් ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී ද යි. උපාලි, ඉදින් මහණ පිරිසුදු කායසමාචාර නැත්තේ වේ ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති කායසමාචාරයෙන් යුක්ත නො වේ ද ඕහට “ආයුෂ්මත් තෙම පළමුව කායසමාචාරයෙහි හික්මෙව’ යි මෙසේ කියන්නෝ වෙති. මෙසේ අවවාද කරන්නෝ වෙත්.
Pali BJTපුන ච පරං උපාලි චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: පරිසුද්ධවචීසමාචාරො නු ඛොම්හි පරිසුද්ධෙනම්හි වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පතිමංසෙන. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති. නො චෙ උපාලි භික්ඛු පරිසුද්ධවචීසමාචාරො හොති පරිසුද්ධෙන වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පතිමංසෙන තස්ස භවන්ති වත්තාරො: ඉඞ්ඝ තාව ආයස්මා වාචසිකං සික්ඛස්සූති. ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTවැලිදු උපාලි පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මම පිරිසුදු වචීසමාචාර ඇත්තෙම් ද පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති වචීසමාචාරයෙන් යුක්ත වෙම් ද මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී දැ යි. උපාලි, ඉදින් මහණ පිරිසුදු වචිසමාචාර නැත්තේ වේ ද, පිරිසුදු වූ සිදුරු රහිත වූ විමසා බැලීමට කරුණු නැති වාක්සමාචාරයෙන් යුක්ත නො වේ ද, ඔහට “ආයුෂ්මත් තෙම පළමු ව වචිසමාචාරයෙහි හික්මෙව’ යි මෙසේ කියන්නෝ වෙති. මෙසේ අවවාද කරන්නෝ වෙත්.
Pali BJTපුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: මෙත්තං නු ඛො මෙ චිත්තං පච්චුපට්ඨිතං සබ්රහ්මචාරීසු අනාඝාති{1}, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති? නො චෙ උපාලි භික්ඛුනො මෙත්තචිත්තං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු අනාඝාති, තස්ස භවන්ති වත්තාරො: ඉඞ්ඝ තාව ආයස්මා සබ්රහ්මචාරීසු මෙත්තං චිත්තං උපට්ඨාපෙහීති.{2} ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTවැලිදු උපාලි , පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂූහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: මා තුළ සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත එළඹ සිටියේ ද මේ ධර්‍මය මා තුළ පවතී ද නැතහොත් නො පවතී ද’ යි. ඉදින් උපාලි, සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත මහණහට එළඹ නො සිටියේ ද ඔහට, “ආයුෂ්මත් තෙම පළමු ව සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත වූ මෙත් සිත එළඹ සිටුවා ගනුව” යි කියන්නෝ වෙති. ඔහට මෙසේ අවවාද කරන්නෝ වෙත්.
Pali BJTපුන චපරං උපාලි චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: බහුස්සුතො නු ඛොම්හි සුතධරො සුතසන්නිච්චයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති ධතා{3} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති. නො චෙ උපාලි භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපස්ස ධම්මා න බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. තස්ස භවන්ති වත්තාරො ඉඞ්ඝ තාව ආයස්මා ආගමං පරියාපුණස්සුති: ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTවැලිදු උපාලි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මම සුතධර වූ සුතසන්නිචය (උගත් දැය නො නැසිය දී රක්නා) වූ බහුශ්‍රැතයෙක් වෙම් ද, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ඒ ධර්‍ම කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ ඛ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් වූ පිරිසුදු වූ බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එබඳු ධර්‍මයෝ මා විසින් බෙහෙවින් අසන ලද්දාහු දරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරන ලද්දාහු වෙත් ද, මේ ධර්‍මය මා තුළ විද්‍යාමාන වේ ද නැතහොත් නො වේ ද’ යි, උපාලි, ඉදින් මහණ සුතධර වූ සුතසන්තිචය වූ බහුශ්‍රැතයෙක් නො වේ ද, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ඒ ධර්‍ම කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් වූ වපිරිසුදු වූ බඹසර ප්‍රකාශ කෙරෙත් ද එබඳු ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරන ලද්දාහු නො වෙත් ද, ඔහට “ආයුෂ්මත් තෙමේ පළමු ව ආගම ධර්‍මය පිරිවහන්නැ” යි කියන්නෝ වෙති. මෙසේ ඔහට අවවාද කරන්නෝ වෙත්.
Pali BJTපුන චපරං උපාලි චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: උභයානි ඛො මෙ පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්යඤ්ජනසො, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති? නො චෙ උපාලි භික්ඛුනො උභයානි පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්යඤ්ජනසො- ඉදං පනාවුසො කත්ථ වුත්තං භගවතාති ඉති පුට්ඨො න සම්පායති. තස්ස භවන්ති වත්තාරො ඉඞ්ඝ තාව ආයස්මා විනයං පරියාපුණස්සූති. ඉතිස්ස භවන්ති වත්තාරො.
Sinhala BJTවැලිදු උපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂුහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු: “මා විසින් පෙළ වශයෙන් ද අනුඛ්‍යඤ්ජන වශයෙන් ද උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මනාකොට ප්‍රගුණ කරන ලද ද මනාව විභාග කොට දැනගන්නා ලද ද මනාව (දැරීම් වශයෙන්) පවත්වන ලද ද, මනා ලෙස විනිශ්චය කොට දැන ගන්නා ලද ද, මේ ධර්‍මය මා තුළ විද්‍යමාන වේ ද නැතහොත් නො වේ දැ’ යි. උපාලි, ඉදින් මහණහු විසින් පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මනා කොට ප්‍රගුණ කරන ලද්දේ මනාව විභාග කොට දැනගන්නා ලද්දේ මනාව (දැරීම් වශයෙන්) පවත්වන ලද්දේ මනා ලෙස විනිශ්චය කොට දැනගන්නා ලද්දේ නො වේ ද, ඇවත, මෙය, භාග්‍යවතුන් වහන්සේ විසින් කොහි දී දෙසන ලද දැ’ යි පුළුවුස්නා ලද්දේ සිහි කොට නො කියහෙයි ද, ඔහට ‘ආයුෂ්මත් තෙම පළමුව විනය පිරිවහන්නැ’ යි කියන්නෝ වෙති. ඔහට මෙසේ අවවාද කරන්නෝ වෙත්.
Pali BJTචොදකෙන උපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බොති.
Sinhala BJTඋපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂූහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චෝදනා කළයුත්තේ යි.
Pali BJT16. චොදකෙන භන්තෙ භික්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පරො චොදෙතබ්බොති?
Sinhala BJT16. වහන්ස, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් ධර්‍ම තමා තුළ එළවා (පිහිටුවා ගෙන), අන්‍යයා චෝදනා කළයුතු ද? යි.
Pali BJTචොදකෙන උපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පරො චොදෙතබ්බො: කාලෙන වක්ඛාමි නො අකාලෙන: භූතෙන වක්ඛාමි නො අභූතෙන සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන. අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන. මෙත්තචිත්තො වක්ඛාමි නො දොසන්තරොති. චොදකෙනුපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පරො චොදෙතබ්බාති.
Sinhala BJTඋපාලි, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා තුළ එළවා අන්‍යයා චෝදනා කළයුතු: (එනම්) නො කල්හි නොව සුදුසු කල්හි කියන්නෙමි. අසත්‍යයෙන් නොව සත්‍යයෙන් කියන්නෙමි. රළු වචනයෙන් නොව මොළොක් වදනින් කියන්නෙමි. කරුණු ඇසුරු නො කිරීමෙන් නොව කරුණු ඇසුරු කිරීමෙන් කියන්නෙමි, දුෂ්ට සිතින් නොව මෙත් සිත් ඇති ව කියන්නෙමි යි, උපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ කරුණු පස තමා තුළ එළවා අන්‍යයා චෝදනා කළයුතු යි.
Pali BJT17. අධම්මචොදකස්ස භන්තෙ භික්ඛුනො කතීහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බොති?
Sinhala BJT17. වහන්ස, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට කෙතෙක් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු දැ? යි.
Pali BJTඅධම්මචොදකස්ස උපාලි භික්ඛුනො පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බො: අකාලෙන ආයස්මා චොදෙසි නො කාලෙන අලං තෙ විප්පටිසාරාය, අභූතෙනායස්මා චොදෙසි නො භූතෙන අලං තෙ විප්පටිසාරාය, ඵරුසෙනායස්මා චොදෙසි නො සණ්හෙන අලං තෙ විප්පටිසාරාය, අනත්ථසංහිතෙනායස්මා චොදෙසි නො අත්ථසංහිතෙන අලං තෙ විප්පටිසාරාය, දොසන්තරො ආයස්මා චොදෙසි නො මෙත්තචිත්තො. අලං තෙ විප්පටිසාරායාති. අධම්මචොදකස්ස උපාලි භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බො: තං කිස්ස හෙතු? යථා න අඤ්ඤොපි භික්ඛු අභූතෙන චොදෙතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJTඋපාලි, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට පස් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු: (එනම්) ආයුෂ්මත් තෙම නො කල්හි චෝදනා කෙළේ ය. සුදුසු කල්හි නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම අභූතයෙන් චෝදනා කෙළේ ය. සත්‍යයෙන් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම රළු වදනින් චෝදනා කෙළේ ය. මොළොක් වදනින් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම කරුණු ඇසුරු නො කොට චෝදනා කෙළේ ය. කරුණු ඇසුරු කොට නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි, දුෂ්ට සිත් ඇති ව ආයුෂ්මත් තෙම චෝදනා කෙළේ ය. මෙත් සිත් ඇති ව නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි (යනුයි). උපාලි, අධර්‍මයෙන් චෝදනා කරන මහණහට මේ පස් අයුරින් විපිළිසර ඉපදවියයුතු. ඒ කවර හෙයින යත්: යම්සේ අන් මහණෙකුදු අභූතයෙන් චෝදනා කළයුතු ය’ යි නො හඟින්නේ ද (එහෙයිනි).
Pali BJT18. අධම්මචුදිතකස්ස{1} පන භන්තෙ භික්ඛුනො කතිහාකාරෙහි අවිප්පටිසාරො උපදහාතබ්බොති?
Sinhala BJT18. වහන්ස, අධර්‍මයෙන් චෝදනා කරනු ලැබූ මහණහට කෙතෙක් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු දැ? යි.
Pali BJTඅධම්මචුදිතස්ස{1} උපාලි භික්ඛුනො පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහාතබ්බො, අකාලෙනායස්මා චුදිතො නො කාලෙන, අලං තෙ අවිප්පටිසාරාය{2}, අභූතෙනායස්මා චුදිතො නො භූතෙන, අලං තෙ අවිප්පටිසාරාය. ඵරුසෙනායස්මා චුදිතො නො සණ්හෙන, අලං තෙ අවිප්පටිසාරාය{3}. අනත්ථසංහිතෙනායස්මා චුදිතො නො අත්ථසංහිතෙන, අලං තෙ අවිප්පටිසාරාය.3 දොසන්තරෙනායස්මා චුදිතො නො මෙත්තචිත්තෙන, අලං තෙ අවිප්පටිසාරායාති. අධම්මචුදිතකස්ස1 උපාලි භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහාතබ්බොති.
Sinhala BJTඋපාලි, අධර්‍මයෙන් චෝදනා කරනු ලැබූ මහණහට පස් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු: ආයුෂ්මත් තෙම අකාලයෙහි චෝදනා කරනු ලැබී ය. සුදුසු කාලයෙහි නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම අභූතයෙන් චෝදනා කරනු ලැබී ය. සත්‍යයෙන් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. රළු වදනින් ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය, මොළොක් වදනින් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. කරුණු ඇසුරු නො කොට ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය. කරුණු ඇසුරු කොට නො වේ (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. දුෂ්ට සිතින් ආයුෂ්මත් තෙම චෝදනා කරනු ලැබී ය. මෙත් සිතින් නො වේ. (එය) තොපට නො විපිළිසර පිණිස පමණ වේ යැ යි. උපාලි, අධර්‍මයෙන් චූදිත වූ මහණහට මේ පස් අයුරින් නො විපිළිසර ඉපදවියයුතු යි.
Pali BJT19. ධම්මචොදකස්ස භන්තෙ භික්ඛුනො කතිහාකාරෙහි අවිප්පටිසාරො උපදහාතබ්බොති?
Sinhala BJT19. වහන්ස, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට කෙතෙක් අයුරෙකින් නොවිපිළිසර ඉපදවියයුතු දැ? යි.
Pali BJTධම්මචොදකස්ස උපාලි භික්ඛුනො පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහාතබ්බො: කාලෙනායස්මා චොදෙසි නො අකාලෙන, අලං තෙ අවිප්පටිසාරාය. භූතෙනායස්මා චොදෙසි නො අභූතෙන. අලං තෙ අවිප්පටිසාරාය. සණ්හෙනායස්මා චොදෙසි නො ඵරුසෙන, අලං තෙ අවිප්පටිසාරාය. අත්ථසංහිතෙනායස්මා චොදෙසි නො අනත්ථසංහිතෙන, අලං තෙ අවිප්පටිසාරාය. මෙත්තචිත්තො ආයස්මා චොදෙසි නො දොසන්තරො. අලං තෙ අවිප්පටිසාරායාති. ධම්මචොදකස්ස උපාලි භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහාතබ්බො. තං කිස්ස හෙතු? යථා අඤ්ඤොපි භික්ඛු භූතෙන චොදෙතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJTඋපාලි, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට පස් අයුරෙකින් නො විපිළිසර ඉපදවියයුතු; ආයුෂ්මත් තෙම සුදුසු කාලයෙහි චෝදනා කෙළේ ය, නො කල්හි නො වේ, (එය) තොපට නොවිපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම සත්‍යයෙන් චෝදනා කෙළේ ය, අසත්‍යයෙන් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. මොළොක් වදනින් ආයුෂ්මත් තෙම චෝදනා කෙළේ ය. රළු වදනින් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම කරුණු ඇසුරු කොට චෝදනා කෙළේ ය. කරුණු නො ඇසුරු කොට නො වේ, (එය) තොපට නොවිපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම මෙත්සිතින් චෝදනා කෙළේ ය, දුෂ්ටසිතින් නො වේ, (එය) තොපට නො විපිළිසර පිණිස පමණ වේ යි. උපාලි, ධර්‍මයෙන් චෝදනා කරන මහණහට මේ පස් අයුරෙන් නො විපිළිසර ඉපදවියයුතු. ඒ කවර හෙයින් ද, යම්සේ අනික් මහණෙකුදු භූතයෙන් චෝදනා කළයුතු යැ” යි සිතන්නේ ද එහෙයිනි.
Pali BJT20. ධම්මචුදිතකස්ස{1} පන භන්තෙ භික්ඛුනො කතිහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බොති?
Sinhala BJT20. වහන්ස, ධර්‍මයෙන් චූදිත මහණහට කෙතෙක් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු දැ? යි.
Pali BJTධම්මචුදිතස්ස උපාලි භික්ඛුනො පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බො: කාලෙනායස්මා චුදිතො නො අකාලෙන, අලං තෙ විප්පටිසාරාය. භූතෙනායස්මා චුදිතො නො අභූතෙන, අලං තෙ විප්පටිසාරාය, සණ්හෙනායස්මා චුදිතො නො ඵරුසෙන, අලං තෙ විප්පටිසාරාය. අත්ථසංහිතෙනායස්මා චුදිතො නො අනත්ථසංහිතෙන, අලං තෙ විප්පටිසාරාය. මෙත්තචිත්තෙනායස්මා චුදිතො නො දොසන්තරෙන, අලං තෙ විප්පටිසාරායාති. ධම්මචුදිතකස්ස1 උපාලි භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහාතබ්බොති.
Sinhala BJTඋපාලි, ධර්‍මයෙන් චූදිත මහණහට පස් අයුරෙකින් විපිළිසර ඉපදවියයුතු: ආයුෂ්මත් තෙම සුදුසු කාලයෙහි චෝදනා කරන ලද අකාලයෙහි නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම සත්‍යයෙන් චෝදනා කරන ලද, අසත්‍යයෙන් නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. ආයුෂ්මත් තෙම මොළොක් වදනින් චෝදනා කරන ලද, රළු වදනින් නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. කරුණු ඇසුරු කොට ආයුෂ්මත් තෙම චෝදනා කරන ලද, කරුණු නො ඇසුරු කොට නො වේ, (එය) තොපට විපිළිසර පිණිස පමණි. මෙත්සිතින් ආයුෂ්මත් තෙම චෝදනා කරන ලද, දුෂ්ට සිතින් නො වේ. (එය) තොපට විපිළිසර පිණිස පමණි යි. උපාලි, ධර්‍මයෙන් චූදිත මහණහට මේ පස් අයුරින් විපිළිසර ඉපදවියයුතු යි.
Pali BJT21. චොදකෙන භන්තෙ භික්ඛුනා පරං චොදෙතුකාමෙන කතිධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බොති?
Sinhala BJT21. වහන්ස, පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් ධර්‍ම තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළයුතු දැ? යි.
Pali BJTචොදකෙනුපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බො: කාරුඤ්ඤතා, හිතෙසිතා අනුකම්පතා{2} ආපත්තිවුට්ඨානතා විනයපුරෙක්ඛාරතාති. චොදකෙන උපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බොති.
Sinhala BJTඋපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළ යුතු; කරුණාවත් බව, හිත කැමැති බව, අනුකම්පා ඇති බව, ඇවතින් නඟා සිටුවන බව, විනය පෙරටු කොට ඇති බව (යන පස යි.) උපාලි පරහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ කරුණු පස තමා තුළ මෙනෙහි කොට අන්‍යයා චෝදනා කළයුතු යි.
Pali BJTචුදිතකෙන{1} පන භන්තෙ භික්ඛුනා කතීසු ධම්මෙසු පතිට්ඨාතබ්බන්ති?
Sinhala BJTවහන්ස, චෝදනා කරන ලද මහණහු විසින් කෙතෙක් ධර්‍මයන්හි පිහිටියයුතු දැ? යි
Pali BJTචුදිතකෙනුපාලි භික්ඛුනා ද්වීසු ධම්මෙසු පතිට්ඨාතබ්බං: සච්චෙ ච අකුප්පෙ චාති.
Sinhala BJTඋපාලි, චෝදනා කරන ලද මහණහු විසින් සත්‍යය, නො කිපෙනසුලු බව යන දෙකරුණෙහි පිහිටියයුතු යි.
Pali BJTදුතිය භාණවාරං.
Sinhala BJTදෙවැනි බණවර
Pali BJTපාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකං නවමං.
Sinhala BJTනවවැනි පාතිමෝක්බට්ඨපන ඛන්‍ධක යි.
Pali BJTඉමම්හි ඛන්ධකෙ වත්ථු තිංස,
Sinhala BJTමේ ඛන්‍ධකයෙහි වස්තු තිසෙකි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT1. උපොසථෙ යාවතිකං පාපභික්ඛු න නික්ඛමි මොග්ගල්ලානෙන නිච්ඡුද්ධො අච්ඡරියං ජිනසාසනෙ
Sinhala BJT1. උපෝසථය, බාහුවෙන් ගෙන බැහැර කරන තෙක් පවිටු මහණ නො නික්මීම, මුගලන් තෙරුන් විසින් බැහැර කිරීම. ජින ශාසනයෙහි ආග්වර්‍ය්‍යධර්ම,
Pali BJT2. නින්නොනුපුබ්බසික්ඛා ච ඨිතධම්මො නාතික්කම්ම{2} කුණපුක්ඛිපතී සඞ්ඝො සවන්තියො ජහන්ති ච.
Sinhala BJT2. අනුපුබ්බනින්න, අනුපුබ්බසික්බා, ඨීතධමම, නාතික්කමන, සඞ්ඝයා කුණපයන් (දුශ්ශීල භික්‍ෂූන්) බැහැර කිරීම, මහානදීන් (ස්වකීය නම්ගොත්) අත්හැරීම,
Pali BJT3. සවන්ති පරිනිබ්බන්ති එකරස විමුත්ති ච බහු ධම්මවිනයොපි භූතට්ඨාරියපුග්ගලා.
Sinhala BJT3. මහමුහුදට ගංගා ගැලීම නිසා (අඩුවැඩි බවක් නොවීම) භික්‍ෂූන් පිරිනිවීම, විමුක්තිරස නම් වූ එකරසය ධර්‍මවිනයෙහි බහුල බව, මහාභූත අෂ්ටාර්‍ය්‍යපුද්ගල,
Pali BJT4. සමුද්දං උපමං කත්වා වාචෙසි සාසනෙ ගුණං උපොසථෙ පාතිමොක්ඛං න අම්හෙ කොචි ජානාති.
Sinhala BJT4. සමුදුර උපමා කොට සාසනයෙහි ගුණ ප්‍රකාශ කිරීම, උපෝසථයෙහි පාමොක් උදෙසීම, අප කිසිවකු නො දනිති යි සිතීම,
Pali BJT5. පටිගච්චෙව උජ්ඣන්ති එකො ද්වෙ තීණි චත්තාරි පඤ්ච ඡ සත්ත අට්ඨ නව ච දසමානි ච.
Sinhala BJT5. පෙරාතුව මැ හෙළා දැකීම, එක් පටන් දහය තෙක් දැහැමි නො දැහැමි පාමොක් තැබීම්,
Pali BJT6. සීල ආචාර දිට්ඨි ච ආජීවං චතුභාගිකෙ{3} පාරාජිකං ච සඞ්ඝාදි පාචිත්ති පාටිදෙසනි.
Sinhala BJT6. සීල, ආචාර, දිට්ඨි, ආජීව යන විපත්ති සතර (අමූලික) පාරාජිකා සඞ්ඝාදිසේස, පාචිත්තිය, පාටිදේසනීය,
Pali BJT7. දුක්කටං පඤ්චභාගෙසු සීලාචාර විපත්ති ච අකතාය කතාය ච ඡ භාගෙසු යථාවිධි.
Sinhala BJT7. දුක්කට යන පඤ්චභාගය, අකත, කත වශයෙන් පිළිවෙළින් සවැදෑරුම් වූ සීල, ආචාර, දිට්ඨි විපත්ති,
Pali BJT8. පාරාජිකඤ්ච සඞ්ඝාදි ථුල්ල පාචිත්තියෙන ච පාටිදෙසනියඤ්චෙව දුක්කටං ච දුබ්භාසිතං.
Sinhala BJT8. පාරාජිකා, සඞ්ඝාදිසේස, ථූලලච්චය, පාචිත්තිය, පාටිදේසනීය, දුක්කට දුබ්භාසිත ද,
Pali BJT9. සීලාචාරවිපත්ති ච දිට්ඨි ආජීව විපත්ති යා ච අට්ඨා කතාකතෙ තෙනෙතා සීලාචාර දිට්ඨියා
Sinhala BJT9. අකත, කත වශයෙන් අට වැදෑරුම් වූ සීල, ආචාර, දිට්ඨි, ආජීව විපත්ති, එසේ ම ඒ සීල, ආචාර, දිට්ඨි විපත්ති,
Pali BJT10. අකතාය කතායා පි කතාකතාය මෙව ච එවං නවවිධා වුත්තා යථාභූතෙන ඤායතො.{4}
Sinhala BJT10. කත, අකත, කතාකත වශයෙන් න්‍යායානුකූල ව නවවිධ වීම ද,
Pali BJT11. පාරාජිකො විප්පකතො පච්චක්ඛාතො තථෙව ච උපෙති පච්චාදියති පච්ච දානකථා ච යා.
Sinhala BJT11. පාරාජික, විප්පකත පච්චකඛාත, එසේම උපෙතුය (සමගියට පැමිණීම), පච්චාදාන කථා ය,
Pali BJT12. සීලාචාර විපත්ති ච තථා දිට්ඨිවිපත්තියා දිට්ඨසුතපරිසඞ්කි දසධා තං විජානාථ.{1}
Sinhala BJT12. සීල, ආචාර, දිට්ඨි, විපත්තීන්ගේ දිට්ඨ සුත පරිසඞ්කිත වශයෙන් ඒ දසාකාරය දැනගනිවු,
Pali BJT13. භික්ඛු විපස්සති භික්ඛුං අඤ්ඤො චාරො චායෙනං{2} සුද්ධො ච තස්ස අක්ඛාති පාතිමොක්ඛං ඨපෙති සො.
Sinhala BJT13. මහණ, පාරාජිකාවට පැමිණි මහණකු දැකීම, අනිකකු හෝ ආරෝචනය කිරීම, ඔහු හෝ තමා ම දැන්වීම ඇති කල්හි පාමොක් උදෙසීම බහා තැබීම වේ.
Pali BJT14. වුට්ඨාති අන්තරායෙන රාජචොරග්ගුදකා ච, මනුස්ස අමනුස්සා ච වාළ සිරිංසපජීවිබ්රහ්මං{3}
Sinhala BJT14. රාජ, චෝර, අග්ගි, උදක, මනුස්ස, අමනුස්ස, වාළ, සිරිංසප, ජීවිතබ්‍රහ්මචරිය යන දස අන්තරායන් ඇති කල්හි සඞ්ඝයා නැගී සිටීම,
Pali BJT15. දසන්නමඤ්ඤතරෙන තස්මිං අඤ්ඤතරෙසු වා ධම්මිකාධම්මිකා චෙව යථා මග්ගෙන ජානථ.{4}
Sinhala BJT15. දසවිධ අන්තරාය ඇති කල්හි ඒ ආවාසයෙහි හෝ අන් ආවාසයක හෝ (විනිශ්චය කිරීම) දැහැමි, නො දැහැමි පාමොක් තැබීම් ද ක්‍රමයෙන් දන්නේ ය.
Pali BJT16. කාලභූතත්ථසංහිතං ලභිස්සාමි භවිස්සති කායවාචසිකා මෙත්තා බාහුසච්චං උභයානි.
Sinhala BJT16. කාල, භූත, අත්ථසංහිත, (පක්‍ෂ භික්‍ෂූන්) ලැබීම. (දොස් කියන්නන්) ඇතිවීම, කායසමාචාර, වචීසමාචාර, මෙත්තචිත්ත, බහුශ්‍රුත බව, උභයප්‍රාතිමෝක්‍ෂය ප්‍රගුණ බව,
Pali BJT17. කාලභූතෙන සණ්හෙන අත්ථමෙත්තෙන චොදයෙ විප්පටිසාරධම්මෙන තථා වාචා විනොදයෙ.
Sinhala BJT17. කාල, භූත, සණ්හ, මෙත්තචිත්ත යන කරුණු අනුව චෝදනා කිරීම, දැහැමි නො දැහැමි වශයෙන් විපිළිසර ඇතිවීම, එසේ ම වචනයෙන් විපිළිසර දුරු කිරීම,
Pali BJT18. ධම්මචොද චුදිතස්ස විනොදෙති විප්පටිසාරො කරුණා හිතානුකම්පී වුට්ඨාන පුරෙක්ඛාරතා.
Sinhala BJT18. දැහැමි චෝදක චූදිතයන්ගේ විපිළිසර දුරු කිරීම, කරුණාව, හිතෛෂී බව, ඇවතින් නඟා සිටුවීම පෙරටු කොට ඇති බව (යන කරුණු)
Pali BJT19. චොදකස්ස පටිපත්ති සම්බුද්ධෙන පකාසිතා සච්චෙ චෙව අකුප්පෙ ච චුදිතස්සෙ ච ධම්මතාති.
Sinhala BJT19. චෝදකගේ පිළිවෙත් බව ද, සත්‍යය හා නො කිපීම චූදිතගේ ධර්‍මතා බව ද සම්බුදුන් විසින් වදාරන ලද්දේ යි.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTභික්ඛුනීක්ඛන්ධකං
Sinhala BJTභික්‌ඛුනී‌ඛන්‌ධකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහාපජාපති ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපති ගොතමී භගවන්තං එතදවොච: “සාධු භන්තෙ ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.”
Sinhala BJT1. එ සමයෙහි වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය රටෙහි කිඹුල්වත් නුවර අසල නුගඅරමෙහි වැඩ වසනසේක. එ කලැ මහාප්‍රජාවතී ගෞතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළඹ ඔබ, වැඳ එක් පසෙක සිටියා ය. එක් පසෙක සිටියා වූ මහාප්‍රජාවතී ගෞතමී තොමෝ ‘වහන්ස, තථාගතයන් වහන්සේ දැන වදාළ දහම් විනය ඇති සස්නෙහි මාගම ද ගිහිගෙන් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනවැ’ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසුවා ය.
Pali BJT“අලං ගොතමී, මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා”ති.
Sinhala BJT“ගෞතමීනි, කම් නැත. තථාගතයන් දැන හෙළි කළ සස්නෙහි ගිහිගෙන් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTදුතියම්පි ඛො මහාපජාපති ගොතමී භගවන්තං එතදවොච: “සාධු භන්තෙ ලභෙය්ය මාතුගාමො -පෙ- පබ්බජ්ජන්ති”.
Sinhala BJTදෙවෙනි වරද මහාප්‍රජාවතී ගෞතමී තොමෝ ... වහන්ස, මාගම ... පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි කීවා ය.
Pali BJT“අලං ගොතමී, මා තෙ රුච්චි මාතුගාමස්ස -පෙ- පබ්බජ්ජා”ති.
Sinhala BJT“ගෞතමීනි, කම් නැත. මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTතතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: “සාධු භන්තෙ ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති”.
Sinhala BJTතෙවෙනි වරද මහාප්‍රජාවතී ගෞතමී, තොමෝ “වහන්ස, මාගම පැවිද්ද ලබන්නී නම් මැනැවැ”යි කීවා ය.
Pali BJT“අලං ගොතමී, මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා”ති.
Sinhala BJT“ගෞතමීනි, කම් නැත. තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි මාගමක පැවිදිවනු ඔබට රිසි නො වේවා” යි. භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTඅථ ඛො මහාපජාපති ගොතමී “න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති” දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා කපිලවත්ථුස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.
Sinhala BJTඉක්බිති මහාප්‍රජාවතී ගෞතමී “මාගමට ගිහිගෙන් නික්ම තථාගත ප්‍රවිදිත සස්නෙහි පැවිද්ද භාග්‍යවතුන් වහන්සේ නො අනුදන්නා සේකැ” යි දුක් ඇත්තී, දොම්නස් ඇත්තී, කඳුළුපිරි මුහුණ ඇත්තී හඬමින් භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මගියා ය. එයට පසු භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්හි කැමැති තාක් වැස විසල්පුර බලා නික්මැ සැරිසරා වැඩිසේක. පිළිවෙළින් සැරිසරා වඩනාසේක්, විසල් පුරට පැමිණවදාළසේක. එ කලැ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩ වසනසේක.
Pali BJTඅථ ඛො මහාපජාපති ගොතමී කෙසෙ ඡෙදාපෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා සම්බහුලාහි සාකියානීහි සද්ධිං යෙන වෙසාලී තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන වෙසාලී මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමි. අථ ඛො මහාපජාපති ගොතමී සූනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි අද්දසා ඛො ආයස්මා ආනන්දො මහාපජාපතිං ගොතමිං සූනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛිං දුම්මනං අස්සුමුඛිං රුදමානං බහිද්වාරකොට්ඨකෙ ඨිතං, දිස්වාන මහාපජාපතිං ගොතමිං එතදවොච: “කිස්ස ත්වං ගොතමී සූනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ ඨිතා”ති. “තථා හි පන භන්තෙ ආනන්ද න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.”
Sinhala BJTඑ කලැ මහාප්‍රජාපතී ගෞතමී කෙහෙ සිඳුවා කසාවත් හැඳ බොහෝ ශාක්‍යස්ත්‍රීන් කැටුව විසල්පුර බලා නික්මියා ය. පිළිවෙළින් ගොස් විසල්පුර මහවෙහෙනහි කුළාරහලට එළැඹියා ය. එක්බිති මහාප්‍රජාපතී ගෞතමී ඉදිමුණු පයින් දුහුවිලී වැකි ගතින් යුතු වැ දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණ ඇත්තී හඬමින් බිහිදොරකොටුයෙහි සිටියා ය. එසේ සිටුනා පුජාපතී ගෞතමිය ආනන්‍ද තෙරණුවෝ දුටුවාහ. දැක “ගෞතමීනි, කවර හෙයින් තෙපි ඉදිමැගිය පයින් දුහුලි වැකි ගතින් යුතුව දුක් ඇත්තෝ, දොම්නස්, ඇත්තෝ, කඳුළු පිරි මුහුණැත්තෝ හඬන්නෝ මේ බිහි දොරකොටුයෙහි සිටිවු ද?”යි විචාළාහ. “ආනන්‍දයන් වහන්ස,එසේ මැ යැ. භාග්‍යවතුන් වහන්සේ මාගමට ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිදි වන්නට නො අනුදන්නා සේකැ” යි. ඕ කීවා ය.
Pali BJT2. තෙන හි ත්වං ගොතමී මුහුත්තං ඉධෙව තාව හොහි, යාවාහං භගවන්තං යාචාමි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJT2. එසේ වී නම් ගෞතමීනි, මා මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත සස්නෙහි පැවිද්දට භාග්‍යවතුන් වහන්සේට යාච්ඤා කොට එන තෙක් තව මොහොතක් මෙහි ම පොරොත්තු වන්නැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: එසා භන්තෙ මහාපජාපති ගොතමී සූනෙහි පාදෙහි රජො කිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ ඨිතා “න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති”. සාධු භන්තෙ ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති.
Sinhala BJTඑක්බිති ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා වැඩියාහ. වැඩ ඔබ වැඳ පසෙක උන්හ. පසෙක හුන් ආනන්‍ද තෙරණුවෝ “වහන්ස මේ මහාප්‍රජාපතී ගෞතමී ඉදිමුණු පයින් දූලි වැකි ගතින් යුතුවැ “භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්දට නො අනුදන්නාසේකැ” යි දුක් ඇත්තී දොම්නස් ඇත්තී, කඳුළුපිරි මුහුණ ඇත්තී හඬමින් සිටියා වෙයි. වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි වදාළහ.
Pali BJT“අලං ආනන්ද මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා”ති.
Sinhala BJT“කම් නැත. අනඳයෙනි, මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද තොපට රිසි නො වේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “සාධු භන්තෙ ලභෙය්ය මාතුගාමො -පෙ- පබ්බජ්ජන්ති.
Sinhala BJTදෙවෙනි වර ද අනඳ තෙරණුවෝ ‘වහන්ස, මාගම පැවිද්ද ... ලබන්නී නම් මැනැවැ’ යී වදාළහ.
Pali BJT“අලං ආනන්ද මා තෙ රුච්චි මාතුගාමස්ස -පෙ- පබ්බජ්ජා”ති.
Sinhala BJT“අනඳයිනි, මාගමට ... පැවිද්ද තොපට රිසි නො වේවා”යි වදාළ සේක.
Pali BJTතතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: සාධු භන්තෙ ලභෙය්ය මාතුගාමො -පෙ- පබ්බජ්ජන්ති.
Sinhala BJTතෙවෙනි වරද ආනන්‍ද තෙරණුවෝ ‘වහන්ස, මාගම ... පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි වදාළහ.
Pali BJT“අලං ආනන්ද මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා”ති.
Sinhala BJT“ආනන්දයිනි, මාගමට ... පැවිද්ද තොපට රිසි නො වේවා”යි (තෙවෙනි වරද) භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො “න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං යන්නූනාහං අඤ්ඤෙනපි පරියායෙන භගවන්තං යාචෙය්යං මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති”. අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “භබ්බො නු ඛො භන්තෙ මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තඵලං වා සච්ඡිකාතුන්ති”?
Sinhala BJTඑකල ආනන්‍ද තෙරණුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද නො අනුදන්නාසේක. අන් වටා මඟෙකිනුත් මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත සස්නෙහි පැවිද්ද යදනෙම් නම් මැනැවැ’යි සිතූහ. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “වහන්ස, මාගම ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත සස්නෙහි පැවිදි වැ සෝවත්පල හෝ සෙදගැමිපල හෝ අනගැමිපල හෝ රහත්පල හෝ පසක් කරන්නට භව්‍ය දැ”? (හැකි දැ?) යි විචාළහ.
Pali BJT“භබ්බො ආනන්ද මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සොතාපත්තිඵලම්පි සකදාගාමිඵලම්පි අනාගාමිඵලම්පි අරහත්තම්පි සච්ඡිකාතුන්ති”.
Sinhala BJT“අනඳයෙනි, මාගම ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිදි වැ සෝවත්පල සෙදගැමිපල අනගැමිපල රහත්පල පසක් කරන්නට භව්‍ය යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“සචෙ භන්තෙ භබ්බො මාතුගාමො -පෙ- අරහත්තම්පි සච්ඡිකාතුං බහූපකාරා භන්තෙ මහාපජාපති ගොතමී භගවතො මාතුච්ඡා ආපාදිකා පොසිකා ඛීරස්ස දායිකා භගවන්තං ජනෙත්තියා කාලකතාය ථඤ්ඤං පායෙසි. සාධු භන්තෙ ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති”.
Sinhala BJT“වහන්ස, මාගම ... රහත්පල පසක් කරන්නට භව්‍ය වේ නම් ... වහන්ස මහාප්‍රජාවතී ගෞතමී භාග්‍යවතුන් වහන්සේට (කළ) බොහෝ උපකාර ඇත්තී ය, කුඩා මෑණියෝ ය, ආපාදිකා යැ, වැඩු යැ, පොෂණය කළ තැනැත්තී ය, කිරි දුන් තැනැත්තී ය, මව කලුරිය කළ කල්හි සිය තනයෙන් කිරි පෙවුවා ය. වහන්ස, මාගම ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද ලබන්නී නම් යෙහෙකැ”යි අනඳ තෙරණුවෝ වදාළහ.
Pali BJT3. “සචෙ ආනන්ද මහාපජාපතී ගොතමී අට්ඨ ගරුධම්මෙ පටිගණ්හාති සාවස්සා හොතු උපසම්පදා.
Sinhala BJT3. “අනඳයෙනි, මහාප්‍රජාවතී ගෞතමී ගරු දහම් අටක් පිළිගන්නී නම්, එය ම ඇයගේ උපසම්පත්ති වේවා. මේ ඒ ගරු දහම් අට ය:
Pali BJTවස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කාතබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJTඋපසපන් වැ සියක් වස් වූ මෙහෙණ විසින් එදවස් උපසපන් වූ මහණහට වැඳුම දැක හුනස්නෙන් නැඟී සිටීම දොහොත් මුදුන් තබා නැමදීම සාමීචි කර්‍මය නිසිවත් කළයුතු. මේ දහම ද සකසා ගුරු කොට බුහුමන් කොට පුදා යව්දිව් නො ඉක්මැ රැක්කයුතු,
Pali BJTන භික්ඛුනියා අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසිතබ්බං, අයම්පි ධම්මො -පෙ- යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJTමෙහෙණ විසින් භික්‍ෂූන් නැති ගමෙකැ වූ ආවාසයෙකැ වස් නො විසියැයුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු.
Pali BJTඅන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසිංසිතබ්බා: උපොසථපුච්ඡකඤ්ච ඔවාදූපසඞ්කමනඤ්ච. අයම්පි ධම්මො -පෙ- යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJTඅඩමසක් පාසා මෙහෙණ විසින් බික්සඟන කෙරෙන් පොහෝ විචාරීම ද ඔවා ලබනුවස් එළැඹීම ද යන දෙ දහම් අපේක්‍ෂා කළ යුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු.
Pali BJTවස්සං වුත්ථාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි පවාරෙතබ්බං: දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. අයම්පි ධම්මො -පෙ- යාව ජීවං අනතික්කමනීයො.
Sinhala BJTවස් වුසූ මෙහෙණ විසින් භික්‍ෂු භික්‍ෂුණී යන දෙසඟ පිරිස්හි ම දුටු දැයින් ඇසූ දැයින් සැකකළ දැයින් යන තුන් දැයින් පැවැරියයුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු.
Pali BJTගරුධම්මං අජ්ඣාපන්නාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ පක්ඛමානත්තං චරිතබ්බං, අයම්පි ධම්මො -පෙ- යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJTගරු ඇවැත් අවන් මෙහෙණ විසින් දෙ සඟන කෙරෙහි පක්‍ෂ මානත පිරියැයුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු,
Pali BJTද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය උභතොසඞ්ඝෙ උපසම්පදා පරියෙසිතබ්බා. අයම්පි ධම්මො -පෙ- යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJTදෙ හවුරුද්දක් දහම් සයෙක්හි හික්මුණු සිඛ ඇති හික්මෙන්නිය විසින් දෙ සඟන වෙතැ උපසපුව සෙවියැයුතු. මේ දහමුදු ... යව්දිව් නො ඉක්මියැයුතු,
Pali BJTන භික්ඛුනියා කෙනචි පරියායෙන භික්ඛු අක්කොසිතබ්බො පරිභාසිතබ්බො, අයම්පි ධම්මො -පෙ- අනතික්කමනීයො.
Sinhala BJTමෙහෙණ විසින් කිසිදු කරුණෙකින් මහණ තෙම ආක්‍රෝශ පරිභව නො කළයුතු. මේ දහම ද ... යව්දිව් නො ඉක්මියැයුතු.
Pali BJTඅජ්ජතග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො, අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො, අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
Sinhala BJTඅද සිට ඉදිරියට මෙහෙණනට මහණුන් විසාහි (මෙසේ යව, මේ ද කරව ඈ විසින්) අණ දෙනු විසින් කථා මඟ හවුරන ලදුයේ ය, මෙහෙණන් විසාහි මහණුනට කථා මඟ නො හැවුරුණේ ය. මේ දහම ද සකසා ගුරු කොට බුහුමන් කොට පුදා යව්දිව් නො ඉක්මියැයුතු ය.
Pali BJTසචෙ ආනන්ද මහාපජාපති ගොතමී ඉමෙ අට්ඨ ගරුධම්මෙ පටිගණ්හාති සා’වස්සා හොතු උපසම්පදා”ති.
Sinhala BJTඅනඳයෙනි, මහාප්‍රජාපතී ගෞතමී මේ ගුරු දහම් අට පිළිගනී නම් එය මැ ඇගේ උපසපුව වන්න යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවතො සන්තිකෙ අට්ඨ ගරුධම්මෙ උග්ගහෙත්වා යෙන මහාපජාපති ගොතමී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මහාපජාපතිං ගොතමිං එතදවොච: “සචෙ ඛො ත්වං ගොතමි අට්ඨ ගරුධම්මෙ පටිගණ්හෙය්යාසි සා’ව තෙ භවිස්සති උපසම්පදා.
Sinhala BJTඑකලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙතැ මේ අට ගුරු දහම් ඉගෙනැ මහාප්‍රජාපතී ගෞතමින් කරා එළැඹ, “ගෞතමීනි, ඉදින් තෙපි මේ ගුරු දහම් අට පිළිගන්නහු නම් එය ම තොපට උපසපුව වන්නේ ය:
Pali BJTවස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කාතබ්බං -පෙ- අජ්ජතග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො, අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො”.
Sinhala BJT“උපසපුවෙන් සිය වස් වූ ද මෙහෙණ විසින් එදවස් උපසපන් වූ මහණහට වැඳීම දැක හුනස්නෙන් නැඟි සිටීම, දොහොත් මුදුන් තබා නැමැදීම, සාමීචි කර්‍මය කළයුතු ... අද සිට ඉදිරියට මෙහෙණනට මහණුන් විසාහි (මෙසේ යව, මේ දෑ කරව ආදීන්) අණ දෙනු විසින් කතාමඟ හවුරන ලද්දේ ය. මෙහෙණන් විසාහි මහණුනට කතාමඟ නො හැවුරුණේ ය. මේ දහම ද සකසා ගුරු කොට බුහුමන් කොට පුදා යව්දිව් නො ඉක්මියැයුතු ය.
Pali BJT“සචෙ ඛො ත්වං, ගොතමි, ඉමෙ අට්ඨ ගරුධම්මෙ පටිගණ්හෙය්යාසි “සාව තෙ භවිස්සති උපසම්පදා”ති.
Sinhala BJTගෞතමීනි, ඔබ මේ ගුරු දහම් අට පිළිගන්නාහු නම්, එය ම තොපට උපසපුව වන්නේ යැ’යි වදාළහ.
Pali BJT“සෙය්යථාපි භන්තෙ ආනන්ද ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො සීසං නහාතො උප්පලමාලං වා වස්සිකමාලං වා අතිමුත්තකමාලං වා ලභිත්වා උභොහි හත්ථෙහි පටිග්ගහෙත්වා උත්තමඞ්ගෙ සිරස්මිං පතිට්ඨාපෙය්ය, එවමෙව ඛො අහං භන්තෙ ආනන්ද ඉමෙ අට්ඨ ගරුධම්මෙ පටිගණ්හාමි යාවජීවං අනතික්කමනීයෙ”ති.
Sinhala BJT“ආනන්‍දයන් වහන්ස, කය සරසන සුලු තරුණ යොවුන් වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඉස සෝදා නෑයේ උපුල් මල්දමක් හෝ වස්සික (සමන්)මල්දමක් හෝ අතිමුත්තක (යොහොඹු) මල්දමක් හෝ ලැබ දොහොතින් පිළිගෙන උත්තමාඞ්ග වූ හිසෙහි පිහිටුවන්නේ ද ආනන්‍දයන් වහන්ස, එසේ ම මම මේ යව්දිව් නො ඉක්මියැයුතු ගුරු දහම් අට පිළිගනිමි”යි ප්‍රජාපතී ගෞතමී කීවා ය.
Pali BJT4. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: පටිග්ගහිතා භන්තෙ මහාපජාපතියා ගොතමියා අට්ඨ ගරුධම්මා උපසම්පන්නා භගවතො මාතුච්ඡා”ති.
Sinhala BJT4. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මහාප්‍රජාපතී ගෞතමින් විසින් ගුරුදහම් අට පිළිගැනිණ. භාග්‍යවතුන් වහන්සේ ගේ සුළුමෑණියන් දෑ උපසපුව ලැබූහ”යි කීහ.
Pali BJT“සචෙ ආනන්ද නාලභිස්සා මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං, ආනන්ද බ්රහ්මචරියං අභවිස්ස වස්සසහස්සං සද්ධම්මො තිට්ඨෙය්ය. යතො ච ඛො ආනන්ද මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො න’දානි ආනන්ද බ්රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති. පඤ්චෙව’දානි, ආනන්ද වස්සසතානි සද්ධම්මො ඨස්සති.
Sinhala BJT“අනඳයෙනි, මාගම ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද නො ලද නම්, මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේ ය. මේ ශාසන සද්ධර්‍මය හවුරුදු දහසක් සිටුනේය. අනඳයෙනි, යම් හෙයෙකින් මාගම ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිදි වූ ද එහෙයින් දැන් මේ සසුන් බඹසර චිරස්ථිතික නො වන්නේ ය. දැන් මෙතැන් සිට පන්සිය වසක් ම ශාසන සද්ධර්‍මය සිටුනේ ය.
Pali BJTසෙය්යථාපි ආනන්ද යානි කානිචි කුලානි බහුඉත්ථිකානි{1} අප්පපුරිසකානි තානි සුප්පධංසියානි හොන්ති චොරෙහි කුම්භත්ථෙනකෙහි, එවමෙව ඛො ආනන්ද යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
Sinhala BJTඅනඳයෙනි, යම්සේ බොහෝ ස්ත්‍රීන් ඇති ගණනින් අල්ප පිරිමින් ඇති යම්කිසි කුල කෙනෙක් වෙත් ද ඒ කුලයෝ කළය තුළැ, දැල් වූ පහන් එළියෙන් බඩු සොරා ගන්නා සොරුන් විසින් පහසුවෙන් මැඩලිය හෙත් ද අනඳයෙනි, එසේම යම් සස්නෙක මාගම ගිහිගෙන් නික්මැ පැවිද්ද ලබා ද එ සස්න චිරස්ථිතික නො වන්නේ ය.
Pali BJTසෙය්යථාපි ආනන්ද සම්පන්නෙ සාලික්ඛෙත්තෙ සෙතට්ඨිකා නාම රොගජාති නිපතති, එවං තං සාලික්ඛෙත්තං න චිරට්ඨිතිකං හොති. එවමෙව ඛො ආනන්ද යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති. සෙය්යථාපි ආනන්ද සම්පන්නෙ උච්ඡුක්ඛෙත්තෙ මඤ්ජෙට්ඨිකා නාම රොගජාති නිපතති එවං තං උච්ඡුක්ඛෙත්තං න චිරට්ඨිතිකං හොති, එවමෙව ඛො ආනන්ද යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
Sinhala BJTඅනඳයෙනි, සම්පූර්‍ණ වූ හැල් කෙතෙක සේතට්ඨිකා නම් රෝග විශේෂය වැදගනී නම් මෙසේ කල ඒ හැල් කෙත බොහෝ කල් නො පවතී ද, අනඳයෙනි, එසේ ම යම් සස්නෙක මාගම ගිහිගෙන් නික්මැ සසුන් පැවිද්ද ලබා ද ඒ සස්න (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව) චිරස්ථිතික නො වේ. අනඳයෙනි, ... උක් වත්තෙක මංජෙට්ඨිකා නම් (කඳ තුළ රත් පැහැ ගන්වන) රෝග විශේෂය වැදගනී නම් මෙසේ ඒ උක්වත්ත චිරස්ථිතික නො වේ ද, අනඳයෙනි, එ පරිදිම යම් සස්නෙක මාගම ගිහිගෙන් නික්මැ සසුන් පැවිද්ද ලබා ද ඒ සස්න (මාර්බ්‍රහ්මචර්යාව) චිරස්ථිතික නො වෙයි.
Pali BJTසෙය්යථාපි ආනන්ද පුරිසො මහතො තළාකස්ස පටිගච්චෙව{2} ආළිං බන්ධෙය්ය, යාවදෙව උදකස්ස අනතික්කමනාය, එවමෙව ඛො ආනන්ද මයා පටිගච්චෙව භික්ඛුනීනං අට්ඨ ගරුධම්මා{3} පඤ්ඤත්තා යාවජීවං අනතික්කමනීයා”ති.
Sinhala BJTආනඳයෙනි, පුරුෂයෙක් මහවැවක දිය එය ඉක්මැ පිටත ගැලීම වළක්වනු පිණිස කල් තබා ම මියරක් බඳනේ ද එසේ ම අනඳයෙනි, මා විසින් යව්දිව් නො ඉක්මියැයුතු (කඩ නො කළ යුතු) ගරුධර්‍ම අටෙක් කල් තබා ම මෙහෙණනට පනවන ලද” යි.
Pali BJTභික්ඛුනීනං අට්ඨ ගරුධම්මා.
Sinhala BJTමෙහෙණන් සඳහා පනවන ලද ගරු දහම්.
Pali BJT5. අථ ඛො මහාපජාපති ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: “කථාහම්භන්තෙ ඉමාසු සාකියානීසු පටිපජ්ජාමී”ති.
Sinhala BJT5. ඉක්බිත්තෙන් මහාපජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා ය. එළැඹ ඔබ වැඳ පසෙක සිටියා ය. පසෙක සිටි මහාපජාපතී ගෝතමී “වහන්ස මම් මේ ශාක්‍යනීන් කෙරෙහි කෙසේ නම් පිළිපදිම් ද?’යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස පැවැසුවා ය.
Pali BJTඅථ ඛො භගවා මහාපජාපතිං ගොතමිං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො මහාපජාපති ගොතමී භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුනියො උපසම්පාදෙතුන්ති”.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මහාපජාපතී ගෝතමියට දැහැමි කථායෙන් කරුණු දැක්වූයේක, කරුණු ගැන්වූසේක. එහි උනන්දු කළසේක, සතුටු කළසේක. ඉක්බිති මහාපජාපතී ගෝතමි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලදු වැ කරුණු ගන්වන ලදුවැ, උත්සාහවත් කරන ලදුවැ සතුටු කරන ලදුවැ, ඔබ වැඳ පැදකුණු කොට නික්මියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන්බණවා, “මහණෙනි, භික්‍ෂූන් විසින් මෙහෙණන් උපසපන් කරන්නට අනුදනිමි”යි වදාළසේක.
Pali BJT6. අථ ඛො තා භික්ඛුනියො මහාපජාපතිං ගොතමිං එතදවොචුං. “අය්යා අනුපසම්පන්නා, මයම්හා උපසම්පන්නා. එවං හි භගවතා පඤ්ඤත්තං: “භික්ඛූහි භික්ඛුනියො උපසම්පාදෙතබ්බා”ති.
Sinhala BJT6. එ කලැ ඒ මෙහෙණහු මහාපජාපතී ගෝතමියට “ආර්‍ය්‍යා තොමෝ නො උපසපන. අපි උපසපනුම්හ මෙසේ “භික්‍ෂූන් විසින් මෙහෙණහු උපසපන් කළයුත්තාහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද”යි මෙ බස් තෙපලුහ.
Pali BJTඅථ ඛො මහාපජාපති ගොතමී යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපති ගොතමී ආයස්මන්තං ආනන්දං එතදවොච: “ඉමා මං භන්තෙ ආනන්ද භික්ඛුනියො එවමාහංසු “අය්යා අනුපසම්පන්නා මයම්හා{1} උපසම්පන්නා එවං හි භගවතා පඤ්ඤත්තං භික්ඛූහි භික්ඛුනියො උපසම්පාදෙතබ්බා’ති.
Sinhala BJTඑ කලැ මහපජාපතී ගෝතමී අනඳ තෙරුන් කරා ගියා ය. ගොස් ආයුෂ්මත් අනඳ තෙරුන් වැඳ පසෙක සිටියා ය. පසෙක සිටි මහා පජාපතී ගෝතමී අනඳ තෙරුනට “ආනන්‍දයන් වහන්ස, “ආර්‍ය්‍යාව නො උපසපන් ය, අපි උපසපනුම්හ, මෙසේ භික්‍ෂූන් විසින් මෙහෙණහු උපසපන් කළයුතුහ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද”යි මේ භික්‍ෂුණීහු මට කියති”යි සැලකළා ය.
Pali BJT7. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “මහාපජාපති භන්තෙ ගොතමී එවමාහ “ඉමා මං භන්තෙ ආනන්ද භික්ඛුනියො එවමාහංසු: අය්යා අනුපසම්පන්නා, මයම්හා{2} උපසම්පන්නා, එවං හි භගවතා පඤ්ඤත්තං භික්ඛූහි භික්ඛුනියො උපසම්පාදෙතබ්බා’ති.
Sinhala BJT7. එ කලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළඹැ භාග්‍යවතුන් වැඳ පසෙක උන්හ. පසෙක හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ. වහන්ස, “ආර්‍ය්‍යාව අනුපසම්පන්න ය, අපි උපසපන්වූම්හ. මෙසේ භික්‍ෂූන් විසින් මෙහෙණහු උපසපන් කළයුතුහ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලදැ’යි මෙ මෙහෙණහු මෙසේ කියති’යි මහාපජාපතී ගෝතමි මෙසේ මට කිවු යයි භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
Pali BJT“යදග්ගෙන ආනන්ද මහාපජාපතියා ගොතමියා අට්ඨ ගරුධම්මා පටිග්ගහිතා තදෙව සා උපසම්පන්නා”ති.
Sinhala BJT“අනඳයෙනි. යම් මොහොතෙක මහාපජාපතී ගෝතමිය විසින් ගුරුදහම් අට පිළිගන්නා ලද ද එ කෙණෙහි ම ඕ උපසපන් වූවා” යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
Pali BJT8. අථ ඛො මහාපජාපති ගොතමී යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි එකමන්තං ඨිතා ඛො මහාපජාපති ගොතමී ආයස්මන්තං ආනන්දං එතදවොච. “එකාහං භන්තෙ ආනන්ද භගවන්තං වරං යාචාමි. සාධු භන්තෙ භගවා අනුජානෙය්ය භික්ඛූනඤ්ච භික්ඛුනීනඤ්ච යථාවුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්ම”න්ති.
Sinhala BJT8. ඉක්බිති මහාපජාපතී ගෝතමී අනඳ තෙරුන් වෙත එළඹුණී ය. එළැඹ ඔබ වැඳ එකත් පසෙක සිටියා ය. එකත් පසෙක සිට අනඳ තෙරුනට “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලමි. භික්‍ෂූනටත් භික්‍ෂූණීනටත් වැඩිමහලු පිළිවෙළින් වැඳීම දැක හුනස්නෙන් නැඟී සිටීම ඇඳිලි බැඳීම, සාමීචිකර්මය යන මේ දෑ භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් මැනැවැ”යි කීවා ය.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “මහාපජාපති භන්තෙ ගොතමී එවමාහ ‘එකාහං භන්තෙ ආනන්ද භගවන්තං වරං යාචාමි. සාධු භන්තෙ භගවා අනුජානෙය්ය භික්ඛූනඤ්ච භික්ඛුනීනඤ්ච යථාවුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්ම’න්ති.
Sinhala BJTඑ කලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ වැඳ පසෙක ඉඳගත්හ. ඉඳගෙන “වහන්ස භික්‍ෂූනට ද භික්‍ෂූණිනට ද වැඩිමහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැඟීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්මය යන මේ දෑ භාග්‍යවතුන් වහන්සේ පනවනසේක් නම් මැනැවැයි මහාපජාපතී ගෝතමි මෙසේ කියා”යි භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
Pali BJT“අට්ඨානමෙතං ආනන්ද අනවකාසො යං තථාගතො අනුජානෙය්ය මාතුගාමස්ස අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං. ඉමෙ හි නාම ආනන්ද අඤ්ඤතිත්ථියා දුරක්ඛාතධම්මා මාතුගාමස්ස අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං න කරිස්සන්ති. කිමඞ්ගං පන තථාගතො අනුජානිස්සති මාතුගාමස්ස අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මන්ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ මාතුගාමස්ස අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කාතබ්බං. යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“අනඳයෙනි මාගමට (භික්‍ෂූහු විසින්) වැඳීම දැක හුනස්නෙන් නැඟීම ඇඳිලි බැඳීම සාමීචිකර්මය යන මේ දෑ තථාගත කෙනෙක් අනුදනිති යන යමක් ඇද්ද මෙය අකාරණයෙකි අනවකාශයෙකි (නො වන්නෙකි). අනඳයෙනි නො මනා ලෙස දෙසූ දහම් ඇති මේ අන්තොටුවෝ පවා මාගමට අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අංජලිකර්ම සාමීචිකර්‍ම නො කරන්නාහ. තථාගත කෙනෙක් (මහණකු විසින්) මාගමකට අභිවාදන පුත්‍යුත්ථාන අංජලිකර්ම සාමීචිකර්‍ම (කළයුතු යැ යි) අනුදන්නේ යැ යන්න කියනුම කවරේ ද? (නො අනුදන්නේ ම ය.) යි වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කතා කොට, භික්‍ෂූන් අමතා, “මහණෙනි, මාගමට වැඳීම දැක හුනස්නෙන් නැඟී සිටීම, ඇඳිලි බැඳීම සාමීචිකර්මය භික්‍ෂූහු විසින් නො කළයුතු, යමෙක් කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ”යි වදාළ සේක.
Pali BJT9. අථ ඛො මහාපජාපති ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපති ගොතමී භගවන්තං එතදවොච: “යානි තානි භන්තෙ භික්ඛුනීනං සික්ඛාපදානි භික්ඛූහි සාධාරණානි කථං මයං භන්තෙ තෙසු සික්ඛාපදෙසු පටිපජ්ජාමා”ති.
Sinhala BJT9. ඉක්බිති මහාපජාපති ගෝතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළඹ වැඳ එක් පසෙක සිටියා ය. එසේ සිට ඕ “වහන්ස, මෙහෙණනට පනවන ලද භික්‍ෂූනටත් සාධාරණ වූ යම් සිකපද කෙනෙක් වෙත්ද අපි ඒ සිකපදයන්හි කෙසේ නම් පිළිපදුමෝ දැ?”යි විචාළා ය.
Pali BJT“යානි තානි ගොතමී භික්ඛුනීනං සික්ඛාපදානි භික්ඛූහි සාධාරණානි යථා භික්ඛූ සික්ඛන්ති තථා තෙසු සික්ඛාපදෙසු සික්ඛථා”ති.
Sinhala BJT“ගොයුමියනි, භික්‍ෂූනට සාධාරණ වූ යම් සිකපද කෙනෙක් මෙහෙණනට ඇද්ද, එහි ලා යම්සේ භික්‍ෂූහු පිළිපදිද්ද, එසේ ම තෙපි ද පිළිපදිවු (හික්මෙවු) යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“යානි පන තානි භන්තෙ භික්ඛුනීනං සික්ඛාපදානි භික්ඛූහි අසාධාරණානි, කථං මයං භන්තෙ තෙසු සික්ඛාපදෙසු පටිපජ්ජාමා”ති.
Sinhala BJT“වහන්ස භික්‍ෂූනට සාධාරණ නොවූ යම් සිකපද කෙනෙක් ප්‍රඥප්ත වැ ඇද්ද, අපි කෙසේ ඒ සිකපදන්හි පිළිපදිමුද?” යි (විචාළා ය).
Pali BJT“යානි තානි ගොතමී භික්ඛුනීනං සික්ඛාපදානි භික්ඛූහි අසාධාරණානි යථා පඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සික්ඛථාති.”
Sinhala BJT“ගොයුම්නි, භික්‍ෂූනට සාධාරණ නො වූ මෙහෙණනට පැනැ වූ යම් සිකපද කෙනෙක් වෙත්ද, පනවන ලද පරිදි ම පිළිපදිවු”යැයි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
Pali BJT10. අථ ඛො මහාපජාපති ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපති ගොතමී භගවන්තං එතදවොච: “සාධු මෙ භන්තෙ භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු යාහං ධම්මං{1} සුත්වා එකා වූපකට්ඨා අප්පමත්තා ආතාපිනී පහිතත්තා විහරෙය්යන්ති.”
Sinhala BJT10. එ කලැ මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළඹ වැඳ එකත්පස් වැ සිටියා ය. එකත්පස් වැ සිටියා “වහන්ස, මම් යම් දහමක් අසා එකලා වැ ගණයාගෙන් වෙන් වූයෙම් පමා නො වූයෙම්, කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන කරා මෙහෙයු සිතැතියෙම් වසන්නෙම් ද එසේවූ දහමක් මට සැකෙවින් වදාරනසේක්වා”යි කීවා ය. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:)