Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2801-2900 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT“කිං භණෙ කරිස්සති බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා? නනු භගවතා පටිගච්චෙව දෙවදත්තො රාජගහෙ පකාසාපිතො: පුබ්බෙ දෙවදත්තස්ස අඤ්ඤා පකති අහොසි, ඉදානි අඤ්ඤා පකති, යං දෙවදත්තො කරෙය්ය කායෙන වාචාය න තෙන බුද්ධො වා ධම්මො වා සඞ්ඝො වා දට්ඨබ්බො, දෙවදත්තොව තෙන දට්ඨබ්බො”ති. තත්ථ යෙ තෙ මහාමත්තා එවං මතිං අකංසු: “කුමාරො ච හන්තබ්බො දෙවදත්තො ච සබ්බෙ ච භික්ඛූ හන්තබ්බා”ති. තෙ අභබ්බෙ අකාසි. යෙ තෙ මහාමත්තා එවං මතිං අකංසු: ‘න භික්ඛූ හන්තබ්බා න භික්ඛූ කිඤ්චි අපරජ්ඣන්ති. කුමාරො ච හන්තබ්බො දෙවදත්තො චා’ති, තෙ නීචෙ ඨානෙ ඨපෙසි. යෙ තෙ මහාමත්තා එවං මතිං අකංසු: ‘න කුමාරො ච හන්තබ්බො න දෙවදත්තො න භික්ඛූ හන්තබ්බා. රඤ්ඤො ආරොචෙතබ්බං, යථා රාජා වක්ඛති තථා කරිස්සාමා”ති. තෙ උච්චෙ ඨානෙ ඨපෙසි.
Sinhala BJT“සගයෙනි, බුදුරජු හෝ ධර්‍මය හෝ සඞ්ඝයා කුමක් කරන්නේ ද? ”පෙරැ දෙවිදත්හුගේ පියෙවිය අනෙකෙක් විය, දැන් අනෙකෙක: “දෙව්දතුන් කයින් වචසින් කරන කියන දැයෙකින් බුදුහු හෝ දහම හෝ සඞ්ඝයා හෝ නො දැක්කයුතුහ”යි දෙව්දත් ම එ දැක්ක යුතු යැ” කලින් ම දෙව්දත් තෙම රජගහ නුවරෙහි පවස්වන ලදුයේ නො වේ (දෙව්දතු පිළිබඳ ප්‍රකාශනය කරවන ලද්දේ නො වේ ද?” රජ කී ය. (මෙසේ කියා) ‘එහි යම් මහඇමති කෙනෙක් කුමරුත් දෙව්දතුත් භික්‍ෂූහුත් නැසියයුතු යැ’ යි අදහස් කළෝ ද ඔවුන් අභව්‍යයන් කෙළේ ය. (ඔවුන් දැරු ඇමැති ධූරයෙන් පහ කෙළේ ය). ‘භික්‍ෂූහු නො නැසියයුතුහ. භික්‍ෂූහු කිසි වරදක් නො කෙරෙත්. කුමරු ද දෙව්දත් ද නැසියැයුතු ය’යි මෙසේ යම් මහඇමති කෙනෙක් අදහස් කළෝ ද, ඔවුන් පහත් තන්හි තැබී ය. (තනතුරෙන් පහත හෙලී ය). ‘කුමරු නො නැසියයුතු, දෙව්දත් ද නො නැසියයුතු, භික්‍ෂූහු ද නො නැසිය යුතුහ, රජුට දැන්වියැයුතු, රජු කියන සැටියක් කරන්නමු’ යි යම් මහඇමති කෙනෙක් කීහු ද ඔවුන් උස් තන්හි තැබී ය.
Pali BJTඅථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො අජාතසත්තුං කුමාරං එතදවොච: “කිස්ස මං ත්වං කුමාර හන්තුකාමො’සී”ති. “රජ්ජෙනම්හි දෙව අත්ථිකො”ති.
Sinhala BJTඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ අජාසත් කුමරු බණවා, “කුමරුනි, තෝ කුමට මා නසනු කැමැති වීහි දැ?” යි ඇසී ය. “දේවයිනි, රජකමින් ප්‍රයෝජන ඇත්තෙමි (මම රජ වනු කැමැත්තෙමි)”යි කුමර කී ය.
Pali BJT“සචෙ ඛො ත්වං කුමාර රජ්ජෙන අත්ථිකො එතං තෙ රජ්ජන්ති”. අජාතසත්තුස්ස කුමාරස්ස රජ්ජං නිය්යාදෙසි.
Sinhala BJT“කුමරුනි, තෝ රජකම කැමැත්තෙහි නම්, මේ රජකම තට ය. (ගනුව) යි කියා අජාසත් කුමරුට රජය පැවැරී ය.
Pali BJT16. අථ ඛො දෙවදත්තො යෙන අජාතසත්තු කුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අජාතසත්තුං කුමාරං එතදවොච: “පුරිසෙ මහාරාජ ආණාපෙහි: යෙ සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සන්තී”ති. අථ ඛො අජාතසත්තු කුමාරො මනුස්සෙ ආණාපෙසි: “යථා භණෙ අය්යො දෙවදත්තො ආහ, තථා කරොථා”ති.
Sinhala BJT16. එ කල්හි දෙව්දත් තෙර අජාසත් කුමරු කරා එළැඹියේ ය. එළැඹ, අජාසත් කුමරු බණවා “ශ්‍රමණ ගෞතමයාගේ දිවි තොර කරනුවට පුරුෂයනට අණ කරන්නැ”යි කී ය. එවිට අජාසත් කුමර “සගයෙනි, දෙව්දත් හිමිඳුන් කියන සැටියක් කරවු යැ”යි මිනිසුනට අණ කෙළේ ය.
Pali BJTඅථ ඛො දෙවදත්තො එකං පුරිසං ආණාපෙසි: “ගච්ඡාවුසො අමුකස්මිං ඔකාසෙ සමණො ගොතමො විහරති. තං ජීවිතා වොරොපෙත්වා ඉමිනා මග්ගෙන ආගච්ඡා”ති. තස්මිං මග්ගෙ ද්වෙ පුරිසෙ ඨපෙසි: “යො ඉමිනා මග්ගෙන එකො පුරිසො ආගච්ඡති, තං ජීවිතා වොරොපෙත්වා ඉමිනා මග්ගෙන ආගච්ඡථා”ති. තස්මිං මග්ගෙ චත්තාරො පුරිසෙ ඨපෙසි: “යෙ ඉමිනා මග්ගෙන ද්වෙ පුරිසා ආගච්ඡන්ති, තෙ ජීවිතා වොරොපෙත්වා ඉමිනා මග්ගෙන ආගච්ඡථා”ති. තස්මිං මග්ගෙ අට්ඨපුරිසෙ ඨපෙසි: “යෙ ඉමිනා මග්ගෙන චත්තාරො පුරිසා ආගච්ඡන්ති, තෙ ජීවිතා වොරොපෙත්වා ඉමිනා මග්ගෙන ආගච්ඡථා”ති. තස්මිං මග්ගෙ සොළස පුරිසෙ ඨපෙසි: “යෙ ඉමිනා මග්ගෙන අට්ඨ පුරිසා ආගච්ඡන්ති, තෙ ජීවිතා වොරොපෙත්වා ආගච්ඡථා”ති.
Sinhala BJTඑක්බිති දෙව්දත් එක් මිනිසකු බණවා “ඇවැත්නි, යවු අසෝ තැන මහණ ගොයුම් වෙසෙයි. ඔහු දිවි තොර කොට මෙ නම් මගින් එවු” යැ යි ඇණැවී ය. එ මගෙහි “මෙ මඟින් හුදෙකලා වැ එන මිනිසා දිවියෙන් තොර කොට මෙ නම් මඟින් එවු” යැ යි මිනිසුන් දෙදෙනකුන් තැබී ය. එ මගෙහි ද “මෙ මඟින් එන මිනිසුන් දෙදෙනා මරා මෙ නම් මඟින් එවු” යැ යි මිනිසුන් සතර දෙනකුන් සිටුවී ය. ඔවුන් එන මහෙහි ද “මෙ මඟින් එන පුරුෂයන් සතර දෙනා මරවු” යැ යි පුරුෂයන් අට දෙනකුන් සිටුවී ය. ඔවුන් එන මහෙහි ද මෙ “මඟින් එන පුරුෂයන් අට දෙනා මරා මෙ නම් මඟින් එවු යැ”යි මිනිසුන් සොළොස් දෙනකුන් සිටුවී ය.
Pali BJTඅථ ඛො සො එකො පුරිසො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො පත්ථද්ධෙන කායෙන අට්ඨාසි. අද්දසා ඛො භගවා තං පුරිසං භීතං උබ්බිග්ගං උස්සඞ්කිං උත්රස්තං පත්ථද්ධෙන කායෙන ඨිතං. දිස්වාන තං පුරිසං එතදවොච: එහි ආවුසො, මා භායීති.
Sinhala BJTඑක්බිති ඒ හුදෙකලා පුරුෂ තෙම කඩු පලිස් දරා දුනුහියවුරු බැඳගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට නො දුරු තන්හි බිය පත් වූයේ, සිතින් කැලැඹුණේ, සැක ඇත්තේ, තැති ගත්තේ, දැඩි වූ (ගල්ගැසුණු) කයින් යුතු ව සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ බියපත් කැලැඹුණු සැක ඇති, තැතිගත් දැඩිවගිය කයින් යුත් ඒ මිනිසා දුටුසේක. දැක ඔහු බණවා, “ඇවැත්නි, මෙහි එවු, බිය නො ගනිවු” යි වදාළසේක.
Pali BJTඅථ ඛො සො පුරිසො අසිචම්මං එකමන්තං කරිත්වා ධනුකලාපං නික්ඛිපිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථා අකුසලං, යොහං දුට්ඨචිත්තො වධකචිත්තො ඉධූපසඞ්කන්තො. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායා”ති.
Sinhala BJTඑ විට ඒ පුරුෂ තෙම කඩුපලිස් එක් පසෙක තබා දුනුහියවුර ද බහා තබා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළඹ ඔබ පාමුල හිස නමා වැදහොවැ “යම් බඳුවූ මම් අඥාන බැවින් මුළා වූ බැවින්, අකුශල බැවින් දුෂ්ට සිතැත්තෙම් වධ කරන සිතැත්තෙම් මෙහි පැමිණියෙම් ද ඒ මා වරද යට කොට ගත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස ඒ මාගේ වරද වරදවශයෙන් පිළිගන්නාසේක්වා”යි මෙ බස් පැවැසී ය.
Pali BJT“තග්ඝ ත්වං ආවුසො අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං දුට්ඨචිත්තො වධකචිත්තො ඉධූපසඞ්කන්තො. යතො ච ඛො ත්වං ආවුසො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ්හාම. වුද්ධි හෙසා ආවුසො අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජතී”ති.
Sinhala BJT‘ඇවැත්නි, යම් බඳු වූ තෙපි අඥාන බැවින්, මුළා වූ බැවින්, අකුශල බැවින්, දුෂ්ට සිතැත්තෝ වධක චිත්තය ඇත්තෝ මෙහි පැමිණියෝ ද, වරද ඒ තොප යට කොටගෙන ගියේ ය. ඇවැත්නි, වරද වරද සේ දැක ධර්‍මය වූ පරිදි පිළියම් කරවු ද තොපගේ ඒ ආරෝචනාව අපි පිළිගනිමු. ඇවැත්නි, යමෙක් වරද වරද සේ දැක දහම් වූ පරිදි පිළියම් කරන්නේ ද මතු සංවරයට පැමිණෙන්නේ ද මෙය ආර්‍ය්‍ය විනයයෙහි වැඩිදියුණුවෙකැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTඅථ ඛො භගවා තස්ස පුරිසස්ස අනුපුබ්බිං කථං කථෙසි සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි තං පුරිසං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි, දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය එවමෙව තස්ස පුරිසස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයාට දානකථා ශීල කථා ස්වර්‍ගකථා කාමාදීනව කාමයන්ගේ ලාමක බව කාමයන් ගේ කිලිටි බව කාමයන්ගෙන් හික්මීමෙහි අනුසස් යන පිළිවෙළ කථාව වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයා නීරෝග සිතැති, මොළොක් සිතැති, නීවරණයන්ගෙන් පහ වූ සිතැති, ඔද වැඩීගිය සිතැති පහන් සිතැති එකක්හු කොට දත් කෙණෙහි බුදුවරුන්ගේ සාමුත්කර්ෂිකි දේශනාව වූ දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාළසේක පහ වූ කිලිටි බව ඇති පිරිසිදු වස්ත්‍රයක් මොනොවට රඳන් පිළිගන්නා සේ ම ඒ පුරුෂයාට ඒ අස්නෙහි දි ම උපදනා සුලු සියල්ල නැසෙන සුලු ය’යි පහවූ කෙලෙස් රජස් ඇති පහවූ කෙලෙස් මල ඇති, දහම් ඇස (සෝවාන් මඟ නුවණ) පහළ විය.
Pali BJTඅථ ඛො සො පුරිසො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛුසඞ්ඝං ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති. අථ ඛො භගවා තං පුරිසං එතදවොච: මා ඛො ත්වං ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡ. ඉමිනා මග්ගෙන ගච්ඡාහීති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
Sinhala BJTඉක්බිති දුටු නිවන් දහම් ඇති, පැමිණි සෝවත් පල දහම් ඇති, ප්‍රකට වූ සෝවත් පල දහම් ඇති, හැම ලෙසින් බැසගත් සෝවත් පල දහම් ඇති, තිණූ සැක ඇති, පහවූ කථංකථා (සැක) ඇති, විශාරද බවට පැමිණි, ශාස්තෘශාසනයෙහි, පරප්‍රත්‍යය රහිත වූ ඒ පුරුෂ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය: “වහන්ස, අභිකාන්ත ය, වහන්ස, අභිකාන්ත ය වහන්ස, යැටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නා සේ ම, වැසුණු දැයක් විවෘත කරන්නා සේ ම, මංමුළාවූවකුට මඟ කියන්නා සේ ම ඇස් ඇතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නා සේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් , කරුණින් මට ධර්‍මය පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍ම ය ද භිකෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට සලකාවදාරන සේක්වා” යනු ය.
Pali BJT17. අථ ඛො තෙ ද්වෙ පුරිසා කින්නු ඛො සො එකො පුරිසො චිරෙන ආගච්ඡතීති පටිපථං ගච්ඡන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං භගවා අනුපුබ්බීකථං කථෙසි -පෙ- අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති.
Sinhala BJT17. එකල්හි මඟ රැක සිටි පුරුෂයෝ දෙදෙන “කවර හෙයින් ඒ හුදෙකලා මිනිසා එන්නට කල් යවා දැ යි මඟ ඉදිරියට යන්නාහු එක්තරා රුක්මුලෙක වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක උන්වහන්සේ වෙත එළැඹියාහ. එළඹ වැඳ පසෙක හිඳගත්හ, ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළ සේක. ඔහු ... ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැති වැ (සෝවන් වැ) භාග්‍යවතුන් වහන්සේ ට ... වහන්ස, දේශනාව අභිකාන්ත ය, වහන්ස, දේශනාව අභිකාන්ත ය... භාග්‍යවතුන් වහන්සේ අප අද සිට දිවිහිම් කොට සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා” යි කීහ.
Pali BJTඅථ ඛො භගවා තෙ පුරිසෙ එතදවොච: “මා ඛො තුම්හෙ ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡිත්ථ. ඉමිනා මග්ගෙන ගච්ඡථා”ති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයන් බණවා “ඇවැත්නි, තෙපි මේ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යි වදාළ සේක. (මෙසේ වදාරා) අන් මගෙකින් ඔවුන් යැවූයේක.
Pali BJTඅථ ඛො තෙ චත්තාරො පුරිසා කින්නු ඛො තෙ ද්වෙ පුරිසා චිරෙන ආගච්ඡන්තීති පටිපථං ගච්ඡන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං භගවා අනුපුබ්බිං කථං කථෙසි -පෙ- අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති. අථ ඛො භගවා තෙ පුරිසෙ එතදවොච “මා ඛො තුම්හෙ ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡිත්ථ. ඉමිනා මග්ගෙන ගච්ඡථා”ති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
Sinhala BJTඑ කලැ යථෝක්ත පුරුෂයෝ සතර දෙන ඒ පුරුෂයෝ දෙදෙන කවර හෙයින් එන්නට කල් යවත් දැ”යි මාර්‍ගයේ ඉදිරියට යන්නාහු එක්තරා රුකක් මුලැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක ඔබ වෙතට ගියාහ. ගොස් වැඳ පසෙක ඉඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළසේක. ඔහු ... ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයය නැත්තාහු භාග්‍යවතුන් වහන්සේට වහන්ස, දේශනාව අභිකාන්ත ය, වහන්ස, දේශනාව අභිකාන්ත ය ... අප අද සිට දිවිහිම් කොට භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උවසුවන් කොට සලකාවදාරනසේක්වා” යි කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පුරුෂයන් බණවා “ඈවැත්නි, මෙ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යි ඔවුන් අන් මඟෙකින් යැවූසේක.
Pali BJTඅථ ඛො තෙ අට්ඨපුරිසා කින්නු ඛො තෙ චත්තාරො පුරිසා චිරෙන ආගච්ඡන්තීති පටිපථං ගච්ඡන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, තෙසං භගවා ආනුපුබ්බීකථං කථෙසි -පෙ- අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති. අථ ඛො භගවා තෙ පුරිසෙ එතදවොච: “මා ඛො තුම්හෙ ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡිත්ථ. ඉමිනා මග්ගෙන ගච්ඡථාති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
Sinhala BJTඑකල ඒ පුරුෂයෝ අට දෙන පුරුෂයෝ ‘ඒ සතර කවර හෙයින් එන්නට කල් යවත් දැ’ යි මඟැ ඉදිරියට යන්නාහු එක්තරා රුකක් මුලැ වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක එළැඹ වැඳ පසෙක හිඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළ කථාව වදාළසේක. ... ඔහු ... ශාස්තෘශාසනයෙහි පර ප්‍රත්‍යය නැත්තාහු, “වහන්ස, දේශනාව අභිකාන්ත ය ... වහන්ස, අප අද සිට දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා” යි කීහ.
Pali BJTඅථ ඛො තෙ සොළස පුරිසා “කින්නු ඛො තෙ අට්ඨ පුරිසා චිරෙන ආගච්ඡන්තී”ති. පටිපථං ගච්ඡන්තා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං භගවා ආනුපුබ්බීකථං කථෙසි -පෙ- අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති.
Sinhala BJTඑකලැ යථෝක්ත සොළොස් පුරුෂයෝ ‘කවර හෙයින් ඒ පුරුෂයෝ අට දෙන එන්නට කල් යවත් දැ’ යි මඟැ ඉදිරියට යන්නාහු එක්තරා රුක්මුලෙක හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක ඔබ වෙත ගියහ. ගොස් ඔබ වැඳ පසෙක ඉඳගත්හ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ ... පිළිවෙළ කථාව වදාළසේක. ඔහු . ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයය නැත්තාහු ‘වහන්ස, දේශනාව අභිකාන්ත ය ... භාග්‍යවතුන් වහන්සේ අප අද සිට දිව් හිම් කොට සරණ ගිය උවසුවන් කොට සලකා වදාරනසේක්වා’ යි කීහ.
Pali BJTඅථ ඛො භගවා තෙ පුරිසෙ එතදවොච: “මා ඛො තුම්හෙ ආවුසො ඉමිනා මග්ගෙන ගච්ඡිත්ථ. ඉමිනා මග්ගෙන ගච්ඡථා”ති අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් බණවා, ඇවැත්නි, තෙපි මෙ මඟින් නො යවු. මෙ නම් මඟින් යවු” යැ යි අන් මහෙකින් යැවූසේක.
Pali BJTඅථ ඛො සො එකො පුරිසො යෙන දෙවදත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා දෙවදත්තං එතදවොච: “නාහම්භන්තෙ සක්කොමි තං භගවන්තං ජීවිතා වොරොපෙතුං. මහිද්ධිකො සො භගවා මහානුභාවො”ති.
Sinhala BJTඑ කල්හි යට කී හුදෙකලා පුරුෂයා දෙව්දතු කරා ගියේ ය. ගොස් ‘වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ දිවියෙන් තොර කරන්නට මම් නො හැක්කෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මහර්ධි ඇතිසේක, මහත් අනුභාව ඇති සේකැ” යි කී ය.
Pali BJT“අලං ආවුසො මා ත්වං සමණං ගොතමං ජීවිතා වොරොපෙසි අහමෙව සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සාමී”.
Sinhala BJT“කම් නැත, ඈවැත්නි තෙපි මහණ ගොයුමා දිවියෙන් තොර නො කරවු, මම ම මහණ ගොයුමා දිවියෙන් තොර කරන්නෙමි” යි දෙව්දත් තෙර කී ය.
Pali BJT18. තෙන ඛො පන සමයෙන භගවා ගිජ්ඣකූටස්ස පබ්බතස්ස පච්ඡායායං චඞ්කමති. අථ ඛො දෙවදත්තො ගිජ්ඣකූටං පබ්බතං අභිරුහිත්වා{1} මහතිං සිලං පවිජ්ඣි ‘ඉමාය සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සාමී’ති. ද්වෙ පබ්බතකූටා සමාගන්ත්වා තං සිලං සම්පටිච්ඡිංසු. තතො පපතිකා උප්පතිත්වා භගවතො පාදෙ රුහිරං උප්පාදෙසි.
Sinhala BJT18. එසමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළු පව්වෙහි ප්‍රාක්ඡායායෙහි (ඉදිරි පසැ සෙවණෙහි) සක්මන් කරන සේක. එකලැ දෙව්දත් තෙර ගිජුකුළු පව්ව නැඟ ‘මෙයින් මහණ ගොයුමා දිවියෙන් තොර කරන්නෙමි’ යි මහගලක් පෙරැළී ය. ගල්කුළු දෙකෙක් එක් වැ ඒ ගල පිළිගත්තේ ය. එයින් පතුරෙක් බිඳී වැටී භාග්‍යවතුන් වහන්සේගේ පයෙක ලෙහෙ මතු කෙළේ ය. (ලෙහෙ සැල්මෙක් විය).
Pali BJTඅථ ඛො භගවා උද්ධං උල්ලොකෙත්වා දෙවදත්තං එතදවොච: “බහුං තයා මොඝපුරිස අපුඤ්ඤං පසුතං යං ත්වං දුට්ඨචිත්තො වධකචිත්තො තථාගතස්ස රුහිරං උප්පාදෙසී”ති.
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ උඩ බලා “හිස් පුරුෂය, යම් හෙයෙකින් තෝ නපුරු සිතැති ව වධකරන සිතැති ව තථාගතයන්ගේ සිරුරැ ලෙහෙ මතු කෙළෙහි ද, එයින් තා විසින් බොහෝ පව් රැස් කරන ලද” යි වදාළසේක.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ඉදං භික්ඛවෙ දෙවදත්තෙන පඨමං ආනන්තරියකම්මං උපචිතං යං දුට්ඨචිත්තෙන වධකචිත්තෙන තථාගතස්ස රුහිරං උප්පාදිතන්ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, යම් හෙයකින් නපුරු සිතැති ව වධ කරන සිතැති ව තථාගතයන්ගේ සිරුරැ ලේ සොලොවන ලදද, එයින් දෙව්දතු විසින් පළමුවන ආනන්තර්‍ය්‍ය කර්‍මය රැස්කැරිණැ” යි වදාළසේක.
Pali BJTඅස්සොසුං ඛො භික්ඛූ “දෙවදත්තෙන කිර භගවතො වධො පයුත්තො”ති. තෙ ච භික්ඛූ භගවතො විහාරස්ස පරිතො පරිතො චඞ්කමන්ති උච්චාසද්දා මහාසද්දා සජ්ඣායං කරොන්තා භගවතො රක්ඛාවරණගුත්තියා. අස්සොසි ඛො භගවා උච්චාසද්දං මහාසද්දං සජ්ඣායසද්දං. සුත්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: කින්නු ඛො සො ආනන්ද උච්චාසද්දො මහාසද්දො සජ්ඣායසද්දොති.
Sinhala BJT“දෙව්දතු විසින් භාග්‍යවතුන් වහන්සේගේ දිවි තොර කරන්නට උපායෙක් යොදන ලද්දේ ය” යි භික්‍ෂූහු ඇසූහ. (භික්‍ෂූනට ආරංචි විය). ඒ භික්‍ෂූහු ද භාග්‍යවතුන් වහන්සේට ආරක්‍ෂාවරණය ගුප්තිය (රකවල) පිණිස උස්හඬ ඇති වැ මහහඬ ඇති වැ සජඣධායනය කරන්නාහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳුනා විහාරය හාත්පස සක්මන් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ (ඒ භික්‍ෂූන්ගේ) උස්හඬ මහහඬ, සජ්ඣායනා හඬ ඇසූසේක. අසා, ආයුෂ්මත් අනඳ තෙරුනට අඞ්ගාවදාරා, “ආනන්‍දයෙනි, ඒ උස්හඬ, මහහඬ, සජඣායන හඬ කවර හෙයින් ද ?” යි පුළුවුත්සේක.
Pali BJT“අස්සොසුං ඛො භන්තෙ භික්ඛූ ‘දෙවදත්තෙන කිර භගවතො වධො පයුත්තො’ති. තෙ’ධ භන්තෙ භික්ඛූ භගවතො විහාරස්ස පරිතො පරිතො චඞ්කමන්ති උච්චාසද්දා මහාසද්දා සජ්ඣායං කරොන්තා භගවතො රක්ඛාවරණගුත්තියා, සො එසො භගවා උච්චාසද්දො මහාසද්දො සජ්ඣායසද්දො”ති.
Sinhala BJT“වහන්ස, දෙව්දත් තෙර විසින් භාග්‍යවතුන් වහන්සේගේ දිවි තොර කරන උපායෙක් යොදන ලද්දේ ල” යි භික්‍ෂූහු ඇසූහු, වහන්ස, ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ආරක්‍ෂාවරණ ගුප්තිය පිණිස උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු සජඣායනය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ විහාරය හාත්පස සක්මන් කෙරෙත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ ය, මහහඬ ය, සජ්ඣායනා හඬ යැ” යි අනඳ තෙරණුවෝ සැලකළාහ.
Pali BJT“තෙනහානන්ද මම වචනෙන තෙ භික්ඛූ ආමන්තෙහි: “සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී”ති.
Sinhala BJT“ආනන්‍දය, එසේ වී නම්, ‘ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවා’ යැ යි මගේ වචනයෙන් ඒ භික්‍ෂූන් අමතව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT“එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී”ති.
Sinhala BJT“එසේය , වහන්සැ” යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූන් වෙතට වැඩියාහ. වැඩ ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන සේකැ” යි සැලකළහ.
Pali BJT“එවමාවුසො”ති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච:
Sinhala BJT“එසේ ද ඇවැත්නි” යි කියා ඒ මහණහු අනඳ තෙරුනට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, ඔබ වැඳ එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූන් බණවා භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
Pali BJT19. “අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය, අනුපක්කමෙන භික්ඛවෙ තථාගතා පරිනිබ්බායන්ති.”
Sinhala BJT19. මහණෙනි, පරෝපක්‍රමයෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන මෙය නො කරුණෙකි, වන්නට අවකාශ නැත්තෙකි. මහණෙනි, තථාගතවරු පරෝපක්‍රම නැති ව ම පිරිනිවෙති.
Pali BJT“පඤ්චිමෙ භික්ඛවෙ සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච: ඉධ භික්ඛවෙ එකච්චො සත්ථා අපරිසුද්ධසීලො සමානො “පරිසුද්ධසීලොම්හී”ති පටිජානාති “පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති”. තමෙනං සාවකා එවං ජානන්ති: “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධසීලො සමානො “පරිසුද්ධසීලොම්හී”ති පටිජානාති “පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති”. මයඤ්චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං, කථං තං මයං තෙන සමුදාචරෙය්යාම, සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමො’ව තෙන පඤ්ඤායිස්සතීති. එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා සීලතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි සීලතො රක්ඛං පච්චාසිංසති.
Sinhala BJT“මහණෙනි, ලොවැ ඇති විද්‍යාමාන මේ ශාස්තෘවරු පස් දෙනෙකි. කවර පස් දෙනෙක් ද යත්; මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු සිල් ඇත්තේ ම ‘පිරිසිදු සිල් ඇතියෙමි, මාගේ සිල් පිරිසිදුය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙයි. (ඔහුගේ) සව්වෝ “මේ භවත් ශාස්තෘ තෙම වනාහි නො පිරිසිදු සිල් ඇත්තේ ම පිරිසිදු සිල් ඇත්තෙමි, මාගේ ශීලය පිරිසිදු ය, හැම ලෙසින් ම ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙයි. ‘අපි (ඇති තතු) ගිහියනට දන්වන්නමෝ නම් එය ඔහුට මනාප නො වන්නේ ය. යමක් ඔහුට මනාප නො වන්නේ නම්, එයින් ඔහුට කෙසේ කියන්නමෝ ද, (මහජන තෙමේ) සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ඔහු පුදයි. යමක් තෙමේ කරන්නේ ද, තෙමේ ම එයින් පැනෙන්නේ යැ’ යි ඔහු මෙසේ දනිත්. මහණෙනි, මෙබඳු ශාස්තෘහු සව්වෝ ශිලයෙන් රකිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ශීලයෙන් තමා රැකගැන්ම සව්වන් ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
Pali BJTපුන ච පරං භික්ඛවෙ ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාති -පෙ- එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා ආජීවතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසති.
Sinhala BJTතව ද අනෙකෙකි. මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු ආජීවය ඇත්තේ ම පිරිසිදු ආජීවය ඇත්තෙමි ... යි පිළින කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු ශ්‍රාවකයෝ ආජීවයෙන් රැකගනිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද ආජීවයෙන් තමා රැකගැන් ම සව්වන්ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
Pali BJTපුන ච පරං භික්ඛවෙ ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාති -පෙ- එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා ධම්මදෙසනකො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසති.
Sinhala BJTතවද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු දම්දෙසුම් ඇත්තේ ම පිරිසිදු දම් දෙසුම් ඇත්තෙමැ යි ... පිළින කෙරෙයි. මහණෙනි, මෙබඳු ශාස්තෘහු සව්වෝ ධර්‍මදේශනා අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ තෙමේ ද දම් දෙසුම් අතින් තමා රැක ගැන්ම සව්වන්ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
Pali BJTපුන ච පරං භික්ඛවෙ ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො -පෙ- පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති -පෙ- එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසති.
Sinhala BJTතව ද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් නො පිරිසිදු දහම්විවැරැම් ඇත්තේ ම පිරිසිදු දහම්විවැරැම් ඇතියෙමි යි ප්‍රතිඥා කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි සව්වෝ දහම්විවැරුම් අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ ද සව්වන් ගෙන් ද දහම්විවැරැම් අතින් රැක්ම අපේක්‍ෂා කෙරෙයි.
Pali BJTපුන ච පරං භික්ඛවෙ ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති -පෙ-. එවරූපං ඛො භික්ඛවෙ සත්ථාරං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් අපිරිසිදු ඥානදර්‍ශන ඇත්තේ ම පිරිසිදු ඥානදර්‍ශන ඇත්තෙම් වෙමි යි ප්‍රතිඥා කෙරෙයි ... මහණෙනි, මෙබඳු ශාස්තෘහු වනාහි සව්වෝ ඥානදර්‍ශනය අතින් රැකගනිත්. මෙබඳු ශාස්තෘ ද ඥානදර්‍ශනය අතින් තමා රැකගැන්ම සව්වන්ගෙන් අපේක්‍ෂා කෙරෙයි.
Pali BJTඅහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාමි පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා සීලතො රක්ඛන්ති, නචාහං සාවකෙහි සීලතො රක්ඛං පච්චාසීසාමි.
Sinhala BJTමහණෙනි, මම් වනාහි පිරිසිදු සිල් ඇත්තෙම් ම “පිරිසිදු සිල් ඇත්තෙමි යි, මාගේ සිල් පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කරමි. සව්වෝ මා ශීලය අතින් නො රකිත්. මම ද ශීලය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්‍ෂා නො කරමි.
Pali BJTඅහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාමි පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසංකිලිට්ඨොති. න ච මං සාවකා ආජීවතො රක්ඛන්ති. නචාහං සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTමහණෙනි, මම් වනාහි පිරිසිදු ආජීවය ඇත්තෙම් ම “පිරිසිදු ආජීවය ඇත්තෙම් වෙමි යි, මාගේ ආජීවය පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි ප්‍රතිඥා කෙරෙමි. සව්වෝ මා ආජීවය අතින් නො රකිත්. මම ද ආජීවය අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් නො පතමි.
Pali BJTඅහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හී”ති පටිජානාමි පරිසුද්ධං මෙ ධම්මදෙසනා පරියොදාතා අසංකිලිට්ඨාති. න ච මං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTමහණෙනි, මම් වනාහි පිරිසිදු දම්දෙසුම් ඇත්තෙම් ම “පිරිසිදු දම්දෙසුම් ඇත්තෙම් වෙමි, මාගේ දම්දෙසුම් පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා දම්දෙසුම් අතින් නො රකිත්, මම් ද දම්දෙසුම් අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්‍ෂා නො කරමි.
Pali BJTඅහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාමි පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසංකිලිට්ඨන්ති. න ච මං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. න චාහං සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTමහණෙනි, මම් වනාහි පිරිසිදු දහම් විවරණ ඇත්තෙම් ම “පිරිසිදු දහම් විවරණ ඇතියෙම් වෙමි, මාගේ දහම් විවැරුම පිරිසිදු ය, හැම ලෙසින් ශුද්ධ ය, නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා දහම් විවරණ අතින් නො රකිත්, මම් ද දහම්විවරණ අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් නො පතමි.
Pali BJTඅහං ඛො පන භික්ඛවෙ පරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාමි. පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසංකිලිට්ඨන්ති, න ච මං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTමහණෙනි, මම් වනාහි පිරිසිදු ඥානදර්‍ශන ඇත්තෙම් ම “පිරිසිදු ඥානදර්‍ශන ඇතියෙම් වෙමි. මාගේ ඥානදර්‍ශනය පිරිසිදු ය. හැම ලෙසින් ශුද්ධ ය. නො කිලිටි යැ” යි පිළින කෙරෙමි. සව්වෝ මා ඥානදර්‍ශන අතින් නො රකිත්, ඥානදර්‍ශන අතින් මා රැකගැන්මක් සව්වන්ගෙන් අපේක්‍ෂා නො කරමි.
Pali BJTඅට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය, අනුපක්කමෙන භික්ඛවෙ තථාගතා පරිනිබ්බායන්ති.
Sinhala BJTමහණෙනි, පරෝපක්‍රමයෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන මෙය නො කරුණෙකි. වන්නට අවකාශ නැත්තෙකි. මහණෙනි, පරෝක්‍රම නැති ව මැ තථාගතවරු පිරිනිවෙත්.
Pali BJTගච්ඡථ තුම්හෙ භික්ඛවෙ යථාවිහාරං. අරක්ඛියා භික්ඛවෙ තථාගතා”ති.
Sinhala BJTමහණෙනි, තෙපි තම තමන්ගේ විහාරයට යවු, මහණෙනි, තථාගතවරු අනුන් විසින් නො රැක්ක යුත්තෝ ය යනු” යි.
Pali BJT20. තෙන ඛො පන සමයෙන රාජගහෙ නාලාගිරි නාම හත්ථී චණ්ඩො හොති මනුස්සඝාතකො. අථ ඛො දෙවදත්තො රාජගහං පවිසිත්වා හත්ථිසාලං ගන්ත්වා හත්ථිභණ්ඩෙ එතදවොච: “මයං ඛො භණෙ රාජඤාතකා නාම පටිබලා නීචට්ඨානියං උච්චෙඨානෙ ඨපෙතුං, භත්තම්පි වෙතනම්පි වඩ්ඪාපෙතුං. තෙන හි භණෙ යදා සමණො ගොතමො ඉමං රච්ඡං පටිපන්නො හොති තදා ඉමං නාලාගිරිං හත්ථිං මුඤ්චිත්වා ඉමං රච්ඡං පටිපාදෙථා”ති. “එවං භන්තෙ”ති ඛො තෙ හත්ථිභණ්ඩා දෙවදත්තස්ස පච්චස්සොසුං.
Sinhala BJT20. එ සමයෙහි රජගහනුවර නාලාගිරි නම් ඇත් තෙම චණ්ඩ ද මිනිසුන් මරන්නේ ද වෙයි. එ කලැ දෙව්දත් තෙම රජගහ නුවරට වැද ඇත්හලට ගොස් ඇත් ගොව්වන් බණවා, “සගයෙනි, රජුට නෑ වූ අපි වූ කලි පහත් තනතුරෙහි සිටිනවුන් උස් තනතුරෙහි තබන්නට, බතුත් වැටුපුත් වඩාලන්නට හැකියම්හ. එබැවින් සගයෙනි, යම් විටෙක මහණ ගොයුම්හු මේ වීථියට පිළිපන්නෝ වෙත් ද, එ විටැ මේ නාලාගිරි ඇතු මුදා මේ වීථියට පමුණුවවු” යැ යි කීය. “එසේ ය වහන්සැ” යි කියා ඒ ඇත්ගොව්වෝ දෙව්දතුට පිළිවදන් දුන්හ.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවා තං රච්ඡං පටිපජ්ජි. අද්දසාසුං ඛො තෙ හත්ථිභණ්ඩා භගවන්තං තං රච්ඡං පටිපන්නං. දිස්වාන නාලාගිරිං හත්ථිං මුඤ්චිත්වා තං රච්ඡං පටිපාදෙසුං. අද්දසා ඛො නාලාගිරි හත්ථී භගවන්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන සොණ්ඩං උස්සාපෙත්වා පහට්ඨකණ්ණවාලො යෙන භගවා තෙන අභිධාවි. අද්දසාසුං ඛො තෙ භික්ඛූ නාලාගිරිං හත්ථිං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන භගවන්තං එතදවොචුං: “අයං භන්තෙ නාලාගිරි හත්ථී චණ්ඩො මනුස්සඝාතකො ඉමං රච්ඡං පටිපන්නො. පටික්කමතු භන්තෙ භගවා පටික්කමතු සුගතො”ති. “ආගච්ඡථ භික්ඛවෙ මා භායිත්ථ. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය, අනුපක්කමෙන භික්ඛවෙ තථාගතා පරිනිබ්බායන්තී”ති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සෙමෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, බොහෝ භික්‍ෂූන් කැටුව රජගහ නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකලැ භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට පිළිපන් සේක. ඒ ඇත්ගොව්වෝ භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට පිළිපන්නවුන් දුටුහ. දැක නාලාගිරි ඇතු මුදා ඒ වීථියට පැමිණැවුහ. නාලාගිරි ඇත් තෙම දුරින් ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක සොඬ ඔසොවා විදැහු කන් හා වලග හා ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ වෙතට දිවැගියේ ය. ඒ භික්‍ෂූහු දුරින් ම එන නාලාගිරි ඇතු දුටුහ. දැක, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මිනිසුන් මරන නපුරු වූ මේ නාලාගිරි ඇත් මේ වීථියට බටුයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරළා වඩනාසේක්වා, සුගතයන් වහන්සේ පෙරළා වඩනාසේක්වා” යි කීහ. “මහණෙනි, එවු, බිය නො ගනිවු. පරෝපක්‍රම යෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේය යන්න නො කරුණෙකි, වන්නට අවකාශ නැතියෙකි. තථාගතවරු පරෝපක්‍රම නැති ව ම පිරිනිවෙති”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTදුතියම්පි ඛො තෙ භික්ඛූ -පෙ- තතියම්පි ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “අයං භන්තෙ නාලාගිරි හත්ථී චණ්ඩො මනුස්සඝාතකො ඉමං රච්ඡං පටිපන්නො. පටික්කමතු භන්තෙ පටික්කමතු සුගතො”ති.
Sinhala BJTදෙවෙනි වර ද ... තෙවෙනි වර ද භික්‍ෂූහු “වහන්ස, මිනිසුන් මරන නපුරු වූ මේ නාලාගිරි ඇතා මේ වීථියට බටුයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරළා වඩනාසේක්වා. සුගතයන් වහන්සේ පෙරළා වඩනාසේක්වා” යි කීහ.
Pali BJT“ආගච්ඡථ භික්ඛවෙ, මා භායිත්ථ, අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය. අනුපක්කමෙන භික්ඛවෙ තථාගතා පරිනිබ්බායන්තී”ති.
Sinhala BJT“මහණෙනි, එවු, බිය නො ගනිවු. පරෝපක්‍රම යෙන් තථාගතයන් දිවියෙන් තොර කරන්නේ ය යන්න නො කරුණෙකි, වන්නට ඉඩ නැත්තෙකි. පරොක්‍රම නැති ව ම තථාගතවරු පිරිනිවෙති” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJT21. තෙන ඛො පන සමයෙන මනුස්සා පාසාදෙසුපි හම්මියෙසුපි ඡදනෙසුපි ආරූළ්හා අච්ඡන්ති. තත්ථ යෙ තෙ මනුස්සා අස්සද්ධා අප්පසන්නා දුබ්බුද්ධිනො තෙ එවමාහංසු: “අභිරූපො වත භො මහාසමණො නාගෙන විහෙඨීයිස්සතී”ති. යෙ පන මනුස්සා සද්ධා පසන්නා පණ්ඩිතා ව්යත්තා බුද්ධිමන්තො තෙ එවමාහංසු: “වීරස්සං වත භො නාගො නාගෙන සඞ්ගාමෙස්සතී”ති.
Sinhala BJT21. එ සමයෙහි වනාහි මිනිස්සු ප්‍රාසාදයන්හි ද සඳලුවල ද පියැසි වල ද නැඟී හිඳිත්. සැදැහැ නැති සස්නෙහි නො පහන් අනුවණ මිනිස්සු “අහෝ ! විශිෂ්ට රූපශෝභා ඇති මහාශ්‍රමණයා ඇතු විසින් පෙළනු ලබන්නේ යැ”යි කීහ. සැදැහැවත් සස්නෙහි පහන් පණ්ඩිත බුද්ධිමත් මිනිස්සු “භවත්නි, කලකට පසු නාගයෙක් (ශ්‍රේෂඨයෙක්) නාගයකු (ශ්‍රේෂඨයකු) හා සටන් වදින්නේයැ”යි කීහ.
Pali BJTඅථ ඛො භගවා නාලාගිරිං හත්ථිං මෙත්තෙන චිත්තෙන ඵරි. අථ ඛො නාලාගිරි හත්ථී භගවතො මෙත්තෙන චිත්තෙන ඵුටො සොණ්ඩං ඔරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පුරතො අට්ඨාසි. අථ ඛො භගවා දක්ඛිණෙන හත්ථෙන නාලාගිරිස්ස හත්ථිස්ස කුම්භං පරාමසන්තො නාලාගිරිං හත්ථිං ඉමාහි ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑ කලැ භාග්‍යවතුන් වහන්සේ නාලාගිරි ඇතු මෙත්සිතින් පැතිරැගත්සේක. එවිට නාලාගිරි ඇත් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙත්සිතින් පැතිරැගන්නා ලද්දේ, සොඬ පහතට හෙළාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය. එ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ දකුණතින් නාලාගිරි ඇතුගේ කුම්භස්ථලය පිරිමදිමින් උහුට ගාථාවලින් මෙසේ වදාළසේක.
Pali BJT“මා කුඤ්ජර නාගමාසදො, දුක්ඛං හි කුඤ්ජර නාගමාසදො, න හි නාගහතස්ස කුඤ්ජර සුගති හොති ඉතො පරං යතො.
Sinhala BJT‘හස්තිය, යම් හෙයෙකින් බුද්ධනාගයා පෙළන්නහුට මෙයින් මතු සුගතියෙක් නො වන්නේ ද එහෙයින් හිංසක සිතින් බුද්ධ නාගයාට ළං නොවෙව. බුද්ධනාගයාට හිංසක සිතින් ළං වීම ඒකාන්තයෙන් දුකට කරුණු වේ.
Pali BJT“මා ච මදො මා ච පමාදො න හි පමත්තා සුගතිං වජන්ති තෙන ත්වඤ්ඤෙව තථා කරිස්සසි යෙන ත්වං සුගතිං ගමිස්සසී”ති.
Sinhala BJTමත් නොවෙව, පමා නොවෙව, පමා වූවෝ සුගතියට නො යෙත්. එබැවින් යමෙකින් තෝ සුගතියට යන්නෙහි ද තෝ ම එසේ කරව.” යි.
Pali BJTඅථ ඛො නාලාගිරි හත්ථී සොණ්ඩාය භගවතො පාදපංසූනි ගහෙත්වා උපරි මුද්ධනි ආකිරිත්වා පතිකුටිතො පටිසක්කි යාව භගවන්තං අද්දක්ඛි. අථ ඛො නාලාගිරි හත්ථී හත්ථිසාලං ගන්ත්වා සකෙ ඨානෙ අට්ඨාසි. තථා දන්තො ච පන නාලාගිරි හත්ථී අහොසි. තෙන ඛො පන සමයෙන මනුස්සා ඉමං ගාථං ගායන්ති.
Sinhala BJTඑ කලැ නාලාගිරි ඇත් තෙම සොඬින් භාග්‍යවතුන් වහන්සේගේ පා දූවිලි ගෙන හිස මුදුනැ විසුරුවාගෙන භාග්‍යවතුන් වහන්සේ පෙනෙන තෙක් මානයේ පසුබැස ගියේ ය. එයින් පසු නාලාගිරි ඇත් තෙම ඇත්හලට ගොස් සිය තැනැ සිටියේ ය. නාලාගිරි ඇත් තෙම එසේ දැමුණේ ම විය. (එයින් පසු කිසි ම දිනෙක චණ්ඩ නො වී ය.) එ සමයෙහි මිනිස්සු මේ ගාථාව ගයත්:
Pali BJTදණ්ඩෙනෙකෙ දමයන්ති අඞ්කුසෙහි කසාහි ච අදණ්ඩෙන අසත්ථෙන නාගො දන්තො මහෙසිනාති.
Sinhala BJT“සමහරු හසත්‍යාදීන් දංඩෙන් හීලෑ කෙරෙත්. සමහරු අකුසුවලින් ද සමහරු කසවලින් ද හීලෑ කෙරෙත්. (එහෙත්) මහර්ෂිහු විසින් දණ්ඩක් අවියක් නැති ව ම ඇතා හීලෑ කරන ලද්දේ ය” යනුවෙනි.
Pali BJTමනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “යාව පාපො අයං දෙවදත්තො අලක්ඛිකො, යත්ර හි නාම සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වධාය පරක්කමිස්සතී”ති.
Sinhala BJT“යමෙක් මෙසේ මහත් සෘද්ධි ඇති මෙසේ මහානුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වධ කිරීම පිණිස උත්සාහ කරන්නේ ද, එසේ වූ මේ දෙව්දත් තෙම කොතරම් මහත් පවිටෙක් ද කොතරම් මහත් කාලකණ්ණියෙක් දැ”යි මිනිස්සු පහත් කොට සිතත්, දොස් කියත්, අගුණ පතුරුවත්.
Pali BJTදෙවදත්තස්ස ලාභසක්කාරො පරිහායි. භගවතො ච ලාභසක්කාරො අභිවඩ්ඪි.
Sinhala BJTදෙව්දතුට ලාභ සත්කාර පිරිහිණ. භාග්‍යවතුන් වහන්සේට ලාභ සත්කාර වැඩිණ.
Pali BJT22. තෙන ඛො පන සමයෙන දෙවදත්තො පරිහීනලාභසක්කාරො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති, කස්ස සම්පන්නං න මනාපං, කස්ස සාදුං න රුච්චතී”ති.
Sinhala BJT22. එ සමයෙහි දෙව්දත් පිරිහුණු ලාභසත්කාර ඇත්තේ සිය ශ්‍රාවක පිරිස සමග කුලයන් කරා ගොස් ඉල්ල ඉල්ලා වළඳයි. “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය මහණහු කුලයන්හි ඉල්ල ඉල්ලා වළඳන්නාහු ද මොනොවට පිළියෙල කැරුණු බොජුන් කාට මනාප නො වේද, මිහිරි බොජුන් කාට නො රිසියේ ද ” යි මිනිස්සු පහත් කොට සිතත්, ගරහත්, දොස් පතුරුවත්.
Pali BJTඅස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම දෙවදත්තො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සතී”ති.
Sinhala BJTභික්‍ෂූහු එසේ පහත් කොට සිතන, ගරහන, දොස් පතුරුවන මිනිසුන්ගේ වචන ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ වූ ලද පමණින් සතුටු වන්නා වූ පවට ලජ්ජා ඇති සුළු ඇවැතෙහි ද කුකුස් කරන ශික්‍ෂා කාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් දෙව්දත් තෙම සිය සවුපිරිස සමග කුලයන් කරා ගොස් විනව විනවා වළඳන්නේ ද ” යි පහත් කොට සිතත්, ගරහත් දොස් පතුරුවත්,
Pali BJTභික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTභික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“සච්චං කිර ත්වං දෙවදත්ත, සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජසී?”ති.
Sinhala BJT“දෙව්දතුනි, තෙපි සිය පිරිස සමග කුලයන් කරා ගොස් ඉල්ල ඉල්ලා වළඳවු ද? මෙය සැබෑ ද?” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක.
Pali BJT“සච්චං භගවා”.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, සත්‍යයැ”යි දෙව්දත් කී ය.
Pali BJTවිගරහි බුද්ධො භගවා. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ගැරැහුසේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා:
Pali BJT“තෙන හි භික්ඛවෙ භික්ඛූනං කුලෙසු තිකභොජනං පඤ්ඤාපෙස්සාමි තයො අත්ථවසෙ පටිච්ච දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, මා පාපිච්ඡා පක්ඛං නිස්සාය සඞ්ඝං භින්දෙය්යුං කුලානුද්දයාය ච. ගණභොජනෙ යථාධම්මො කාරෙතබ්බො”ති.
Sinhala BJT“මහණෙනි, එසේ වී නම් දුසිල් පුඟුලනට නිගා පිණිස ද ප්‍රියශීල පුඟුලනට සැප විහරණ පිණිස ද ලාමක අදහස් ඇති මහණහු පක්‍ෂය නිසා සඞ්ඝයා භින්න නො කෙරෙත්වා යන අදහස් ඇති බැවින් කුලයන් කෙරෙහි දයාව නිසා ද යන මේ කරුණු තුන නිසා භික්‍ෂූනට කුලයන්හි ත්‍රිකභෝජනය පනවන්නෙමි. ගණභෝජනයෙහි දහම් වූ පරිදි කැරැවිය යුතු” යැ යි වදාළසේක.
Pali BJT23. අථ ඛො දෙවදත්තො යෙන කොකාලිකො කටමොරකතිස්සො ඛණ්ඩදෙවියා පුත්තො සමුද්දදත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කොකාලිකං කටමොරකතිස්සකං ඛණ්ඩදෙවියා පුත්තං සමුද්දදත්තං එතදවොච: “එථ මයං ආවුසො සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙදන්ති”.
Sinhala BJT23. එයින් පසු දෙව්දත් තෙම ඛණ්ඩදේවියගේ පුත් වූ කටමෝරකතිස්ස ද සමුද්‍රදත්ත ද යන නම් ඇති කෝකාලික මහණහු කරා එළඹියේ ය. එළඹ “එවු ඇවැත්නි, අපි මහණ ගොයුම්හු ගේ සඞ්ඝයා බිඳින්නමු, ආඥාහේදය කරන්නමු” යි කී ය.
Pali BJTඑවං වුත්තෙ කොකාලිකො දෙවදත්තං එතදවොච: “සමණො ඛො ආවුසො ගොතමො මහිද්ධිකො මහානුභාවො. කථං මයං සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙදන්ති”.
Sinhala BJTමෙසේ කී කල්හි කෝකාලික තෙම දෙව්දතුට “ඇවැත්නි, මහණ ගොයුම් වනාහි මහත් සෘද්ධි ඇත්තෙක, මහත් අනුභාව ඇත්තෙක. අපි කෙසේ මහණ ගොයුම්හුගේ සඟපිරිස බිඳින්නමු ද? ආඥාභේදය කරන්නමු දැ?” යි කී ය.
Pali BJT“එථ, මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිස්සාම: භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස
Sinhala BJT“ඇවැත්නි, එවු. අපි මහණ ගොයුම්හු කරා එළඹ, වස්තු පසක් ඉල්ලම්හ. (ඒ පස නම්: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පෙච්ඡ ගුණයේ යථාලාභ සන්තොෂයේ,{1} සල්ලේඛ ගුණයේ{2} ධුතගුණයේ{3} ඇසු දුටුවන් සිත් පහදවන පැවැත්මේ, යටත් පහත් බවේ, වැර වැඩීමේ
Pali BJTවණ්ණවාදී, ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතතාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තන්ති.
Sinhala BJTගුණ වදාරනසුලු කෙනෙක. වහන්ස, මේ පංච වස්තුහු නොයෙක් කරුණින් අල්පෙච්ඡ බව පිණිස පවතිත්. යථාලාභසන්තොෂය පිණිස, සල්ලේඛය පිණිස, ධුතගුණය පිණිස, ප්‍රසාද එළවන බව පිණිස, යටත් පැවැතුම් ඇති වන බව පිණිස පවතිත්.
Pali BJTසාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු. යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTවහන්ස, භික්‍ෂූහු දිවි හිම් කොට අරණ්‍යවාසී වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම්, වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය. (ඔහු වරදක් කළා වන්නේ ය).
Pali BJTයාවජීවං පිණ්ඩපාතිකා අස්සු. යො නිමන්තනං සාදියෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTභික්‍ෂූහු දිවි හිම් කොට පිණ්ඩපාතික වන්නාහු නම් මැනැව. යමෙක් නිමන්ත්‍රණ (කැඳවා පිළිගන්වන බත) ඉවසන්නේ නම්, වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
Pali BJTයාවජීවං පංසුකූලිකා අස්සු. යො ගහපතිචීවරං සාදියෙය්ය. වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTභික්‍ෂූහු දිවි හිම් කොට පාංසුකූලික වන්නාහු නම් මැනැව. යමෙක් ගෘහපති චීවරය පිළිගන්නේ නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
Pali BJTයාවජීවං රුක්ඛමූලිකා අස්සු. යො ඡන්නං උපගච්ඡෙය්ය. වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTභික්‍ෂූහු දිවි හිම් කොට වෘක්ෂමූලක වන්නාහු නම් මැනැව. යමෙක් සෙවෙණි ඇති තැනකට පැමිණෙන්නේ නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
Pali BJTයාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං යො මච්ඡමංසං ඛාදෙය්ය, වජ්ජං නං ඵුසෙය්යා’ති.
Sinhala BJTභික්‍ෂූහු දිවි හිම් කොට දියමස් ගොඩමස් නො වළඳන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් වැළඳුයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.” යනු යි.
Pali BJT“ඉමානි පඤ්ච වත්ථූනි සමණො ගොතමො නානුජානිස්සති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙස්සාමා”ති.
Sinhala BJT“මහණ ගොයුම් තෙම මේ වස්තු පස නො අනුදන්නේය. ඒ අපි මේ වස්තු පසින් ජනයාට හඟවන්නමු.”
Pali BJT“සක්කා ඛො ආවුසො ඉමෙහි පඤ්චහි වත්ථූහි සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදො කාතුං චක්කභෙදො. ලූඛප්පසන්නා හි ආවුසො මනුස්සා”ති.
Sinhala BJT“ඇවැත්නි, මේ කරුණු පසින් මහණ ගොයුම්හුගේ සංඝයා බිඳීම කරන්නට හැක්කේ ය, (මහණගොයුම්හුගේ) අණසක බිඳීම කරන්නට හැක්කේ ය. ඇවැත්නි, මිනිස්සු රූක්‍ෂ ප්‍රතිපත්තිය කෙරෙහි පැහැදණෝ ය. එහෙයිනැ” යි කෝකාලික කී ය.
Pali BJT24. අථ ඛො දෙවදත්තො සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දෙවදත්තො භගවන්තං එතදවොච:
Sinhala BJT24. ඉක්බිති දෙව්දත් තෙම සිය පිරිස කැටුව භාගාත්‍යවතුන් වහන්සේ කරා එළගැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හුන්නේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
Pali BJT“භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතතාය පාසාදිකතාය අපචයාය විරියාරම්භාය සංවත්තන්ති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ යථාලාභ සන්තොෂයේ සල්ලේඛයේ ධුතගුණයේ ප්‍රාසාදික බවේ යටත් පැවැත්මේ විය. වීර්‍ය්‍යාරම්භයේ ගුණ වදාරනසුලු කෙනෙක. වහන්ස, මේ පංච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡතාව පිණිස යථාලාභ සන්තුෂ්ටිය පිණිස සල්ලේඛය පිණිස ධුතගුණ පිණිස ප්‍රාසාදිකතාව පිණිස යටත් පැවැත්ම පිණිස වීර්‍ය්‍යාරම්භය පිණිස පවතිත්.
Pali BJT“සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා{1} අස්සු, යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJT“වහන්ස, භික්‍ෂූහු දිවි හිම් කොට ආරණ්‍යයක වන්නාහු නම් මැනැව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
Pali BJTයාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදියෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTභික්‍ෂූහු දිවි හිම් කොට පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසූයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
Pali BJTයාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTභික්‍ෂූහු දිවි හිම් කොට පාංශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපති චීවරය ඉවසුයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
Pali BJTයාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTභික්‍ෂූහු දිවි හිම් කොට වෘක්ෂමූලක වන්නාහු නම් මැනව. යමෙක් සෙවෙණියක් ඇති තැනකට පැමිණියේ වී නම්, වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය.
Pali BJTයාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං, යො මච්ඡමංසං ඛාදෙය්ය වජ්ජං නං ඵුසෙය්යා”ති.
Sinhala BJTභික්‍ෂූහු දිවි හිම් කොට දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් කෑයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය. ” (මෙසේ කියා දෙව්දත් තෙම මේ පංච වස්තූන් පනවන ලෙස ඉල්ලී ය.)
Pali BJT“අලං දෙවදත්ත. යො ඉච්ඡති ආරඤ්ඤිකො හොතු, යො ඉච්ඡති ගාමන්තෙ විහරතු”
Sinhala BJT“දේවදත්තයෙනි, කම් නැත. යමෙක් කැමැත්තේ නම් හේ ආරණ්‍යක වේවා. යමෙක් කැමැත්තේ නම් ග්‍රාමාන්තයෙහි වෙසේවා.
Pali BJTයො ඉච්ඡති පිණ්ඩපාතිකො හොතු, යො ඉච්ඡති නිමන්තනං සාදියතු.
Sinhala BJTයමෙක් කැමැත්තේ නම් හේ පිණ්ඩපාතික වේවා. යමෙක් කැමැත්තේ නම් හේ නිමන්ත්‍රණ ඉවසාවා.
Pali BJTයො ඉච්ඡති පංසුකූලිකො හොතු, යො ඉච්ඡති ගහපතිචීවරං සාදියතු.
Sinhala BJTයමෙක් කැමැත්තේ නම් හේ පාශුකූලික වේවා. යමෙක් කැමැත්තේ නම් ගෘහපති චීවරය ඉවසාවා.
Pali BJTඅට්ඨ මාසෙ ඛො මයා දෙවදත්ත රුක්ඛමූලසෙනාසනං අනුඤ්ඤාතං, තිකොටිපරිසුද්ධං මච්ඡමංසං අදිට්ඨං අසුතං අපරිසඞ්කිතන්ති”.
Sinhala BJTදේවදත්තයෙනි, අට මසක් ම රුක්මුල් සෙනස්න මා විසින් අනුදන්නා ලදි. තමා උදෙසා මරන ලදැ යි නො දුටු නො ඇසූ සැක නො කරන ලද (යන මේ) තුන් කෙළ පිරිසුදු වූ දියමස් ගොඩමස් මා විසින් අනුදන්නා ලදි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT25. අථ ඛො දෙවදත්තො ‘න භගවා ඉමානි පඤ්ච වත්ථූනි අනුජානාතී’ති හට්ඨො උදග්ගො සපරිසො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො දෙවදත්තො සපරිසො රාජගහං පවිසිත්වා පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙසි:
Sinhala BJT25. එකල්හි දෙව්දත් තෙම “භාග්‍යවතුන් වහන්සේ මේ පංච වස්තූන් නො අනුදන්නා සේකැ”යි තුටුපහටු වූයේ ඔදවැඩි සිතැත්තේ උනස්නෙන් නැගී සිය පිරිස කැටුව භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියේ ය. ඉක්බිති දෙව්දත්තෙම පිරිස කැටුව රජගහ නුවර වැද වස්තු පසින් මෙසේ ජනයා හැඟැවී ය:
Pali BJT“මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිම්හ: භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස -පෙ- වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය -පෙ- විරියාරම්භාය සංවත්තන්ති. සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු -පෙ- යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං. යො මච්ඡමංසං ඛාදෙය්ය වජ්ජං නං ඵුසෙය්යාති. ඉමානි පඤ්ච වත්ථූනි සමණො ගොතමො නානුජානාති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි සමාදාය වත්තාමා”ති.
Sinhala BJT“ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළැඹ මෙසේ වස්තු පසක් ඉල්ලූමු: ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ ... වීර්‍ය්‍යාරම්භයේ ගුණ වදාරන සේක. වහන්ස, මේ පංච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡතාව පිණිස ... වීර්‍ය්‍යාරම්භය පිණිස පවත්නාහ. වහන්ස, භික්‍ෂූහු දිවි හිම් කොට ආරණ්‍යක වන්නාහු නම් මැනව... දිවි හිම් කොට දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව, යමෙක් දියමස් ගොඩමස් කන්නේ වී නම්, වරද ඔහු ස්පර්‍ශ කරන්නේ යැ’ යනුවෙනි. මහණ ගොයුම් තෙම මේ පංච වස්තූන් නො අනුදනී. (එහෙත්) ඒ අපි මේ පංච වස්තූන් සමාදන් කොට ගෙන පවතිමු” යි.
Pali BJTතත්ථ යෙ තෙ මනුස්සා අස්සද්ධා අප්පසන්නා දුබ්බුද්ධිනො තෙ එවමාහංසු: “ඉමෙ ඛො සමණා{1} ධුතා සල්ලෙඛවුත්තිනො. සමණො පන ගොතමො බාහුලිකො බාහුල්ලාය චෙතෙතී”ති. යෙ පන තෙ මනුස්සා සද්ධා පසන්නා පණ්ඩිතා බුද්ධිමන්තො තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො භගවතො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායා”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායා”ති.
Sinhala BJTඔවුන් අතුරෙහි යම් මිනිස් කෙනෙක් සැදෑ නැත්තෝ ද, සස්න කෙරෙහි නො පහන් වූවෝ ද දුර්බුද්ධීහු ද ඔහු “මේ මහණහු වනාහි ධුත ගුණ ඇත්තෝ ය, කෙලෙස් ලියාලන පැවැතුම් ඇත්තෝ ය. මහණ ගොයුම් වනාහි ප්‍රත්‍යය බහුල බව ඇත්තෙකි ප්‍රත්‍යය බහුල බව පිණිස සිතා යැ” යි කීහ. යම් මිනිස් කෙනෙක් සැදැහැ ඇත්තෝ ද සස්නෙහි ප්‍රසන්න ද පණ්ඩිත ද බුද්ධිමත් ද ඔහු “කෙසේ නම් දෙව්දත් තෙම සංඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාහ කරන්නේ දැ”යි ලාමක කොට සිතත්, ගරහත්, නුගුණ පතුරුවත්. භික්‍ෂූහු ඒ ලාමක කොට සිතන, ගරහන, නො ගුණ පතුරුවන මිනිසුන්ගේ කථා ඇසුවෝ ම ය. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු “කෙසේ නම් දෙව්දත් සංඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාහ කරන්නේ දැ”යි ලාමක කොට කියත්, ගරහත්, නොගුණ පතුරුවත්.
Pali BJT26. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං දෙවදත්ත සඞ්ඝභෙදාය පරක්කමසි චක්කභෙදායා”ති.
Sinhala BJT26. එ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ, “දේවදත්තයෙනි, තෙපි සංඝ භේදය පිණිස, චක්‍රභේදය පිණිස තැත් කරහු ලු. ඒ සැබෑ දැ” යි අසාවදාළහ.
Pali BJT“සච්චං භගවා”.
Sinhala BJT“සැබෑ ය, භාග්‍යවතුන් වහන්සැ”යි දෙව්දත් කී ය.
Pali BJT“අලං දෙවදත්ත. මා තෙ රුච්චි සඞ්ඝභෙදො. ගරුකා ඛො දෙවදත්ත, සඞ්ඝභෙදො. යො ඛො දෙවදත්ත, සමග්ගං සඞ්ඝං භින්දති, කප්පට්ඨිතිකං කිබ්බිසං පසවති, කප්පං නිරයම්හි පච්චති. යො ච ඛො දෙවදත්ත භින්නං සඞ්ඝං සමග්ගං කරොති, බ්රහ්මං පුඤ්ඤං පසවති, කප්පං සග්ගම්හි මොදති. අලං දෙවදත්ත. මා තෙ රුච්චි සඞ්ඝභෙදො. ගරුකා ඛො දෙවදත්ත, සඞ්ඝභෙදො”ති.
Sinhala BJT‘දේවදත්තයෙනි, එය නො සුදුසු ය. තොපට සංඝභේදය රිසි නො වේවා. දේවදත්තයෙනි, සංඝභේදය බර පවෙකි. දේවදත්තයෙනි, යමෙක් සමග සංඝයා බිඳලන්නේ නම් හේ කලාපස්ථායී පාපයක් රැස් කරයි. කල්පයක් නිරයෙහි පැසෙයි. දේවදත්තයෙනි, යමෙක් වනාහි භින්න වූ සංඝයා සමග කරන්නේ ද හේ මහත් පින් රැස් කෙරෙයි. කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වෙයි. දේවදත්තයෙනි, නො සුදුසු ය. තොපට සංඝභේදය නො රිසියේවා. දේවදත්තයෙනි, සංඝ භේදය ඒකාන්තයෙන් බර පවෙකි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො දෙවදත්තො ආයස්මන්තං ආනන්දං රාජගහෙ පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: “අජ්ජතග්ගෙ දානාහං ආවුසො ආනන්ද අඤ්ඤත්රෙව භගවතා අඤ්ඤත්රෙව භික්ඛුසඞ්ඝා උපොසථං කරිස්සාමි, සඞ්ඝකම්මං කරිස්සාමී”ති.
Sinhala BJTඑකල්හි වනාහි අනඳ තෙරණුවෝ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬුපිණිස පිවිසිය හ. දෙව්දත් තෙර රජගහ නුවරැ පිඬුපිණිස හැසිරෙන අනඳ තෙරුන් දුටුයේ ය. දැක ඔබ වෙත එළඹියේ ය. එළඹ අනඳ තෙරුන් බණවා, “ඇවැත් ආනන්‍දයෙනි, අදින් මත්තෙහි මම් භාග්‍යවතුන් වහන්සේ ගෙන් වෙන් ව ම භික්ෂූසංඝයා ගෙන් වෙන් ව ම පොහෝ කරන්නෙමි, සඞ්ඝකර්‍ම කරන්නෙමි” යි කී ය.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිං. අද්දසා ඛො මං භන්තෙ දෙවදත්තො රාජගහෙ පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං එතදවොච: ‘අජ්ජතග්ගෙ දානාහං ආවුසො ආනන්ද අඤ්ඤත්රෙව භගවතා අඤ්ඤත්රෙව භික්ඛුසඞ්ඝා උපොසථං කරිස්සාමි, සඞ්ඝකම්මං කරිස්සාමී’ති. අජ්ජ භන්තෙ දෙවදත්තො සඞ්ඝං භින්දිස්සතී”ති.
Sinhala BJTඉක්බිති අනඳ තෙරණුවෝ රජගහ නුවරැ පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරැළා ඇක්මුණාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන්නාවූ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි මම් පෙර වරුයෙහි හැඳපෙරෙව, පාසිවුරුගෙන රජගහ නුවරැ පිඬුපිණිස පිවිසියෙමි. වහන්ස, දෙව්දත් තෙරණුවෝ රජගහ නුවරැ පිඬුපිණිස හැසිරෙන මා දුටහ. දැක මා කරා එළැඹියාහ. එළැඹැ, මා අමතා ‘ඇවැත් ආනන්‍දයෙනි, අදින් මත්තෙහි මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම භික්ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම පොහොය කරන්නෙමි, සඞ්ඝකර්‍ම කරන්නෙමි’ යි කීහ. වහන්ස, දෙව්දත් තෙරණුවෝ අද සඞ්ඝයා භේද කරන්නාහ” යි සැලකළාහ.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැක එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJTසුකරං සාධුනා සාධු සාධු පාපෙන දුක්කරං, පාපං පාපෙන සුකරං පාපමරියෙහි දුක්කරන්ති.
Sinhala BJT“සත්පුරුෂයා විසින් හොඳ දෑ ලෙහෙසියෙන් කළ හැක්ක. අසත්පුරුෂයා විසින් හොඳ දෑ කරනු ලෙහෙසි නො වේ: පාපයා විසින් පාපය ලෙහෙසියෙන් කළ හැක්ක: ආර්‍ය්‍යයන් විසින් පාපය කළ නො හැක්කැයි.”
Pali BJTදුතියං භාණවාරං
Sinhala BJTදෙවෙනි බණවරයි.
Pali BJT1. අථ ඛො දෙවදත්තො තදහුපොසථෙ උට්ඨායාසනා සලාකං ගාහෙසි: “මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිම්හ:
Sinhala BJT1. එකල්හි දෙව්දත් තෙම එ පොහෝ දිනෙහි අස්නෙන් නැඟීසිට සලාක ගැන්වීය. ‘ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළැඹ (මෙහි මතු දැක්වෙන පරිදි) වස්තු පසක් ඉල්ලූමු:
Pali BJTභගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය -පෙ- විරියාරම්භාය සංවත්තන්ති, සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු. යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය -පෙ- යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං. යො මච්ඡමංසං ඛාදෙය්ය වජ්ජං නං ඵුසෙය්යාති. ඉමානි පඤ්ච වත්ථූනි සමණො ගොතමො නානුජානාති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි සමාදාය වත්තාම. යස්සායස්මතො ඉමානි පඤ්ච වත්ථූනි ඛමන්ති{1} සො සලාකං ගණ්හාතූ”ති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් අල්පේච්ඡ බවේ යථාලාභසන්තොෂයේ සල්ලේඛයේ ධුතගුණයේ ප්‍රාසාදික බවේ යටත් පැවැත්මේ වීර්‍ය්‍ය වැඩීමේ ගුණ කියනසුලු කෙනෙක. වහන්ස, මේ මතු කියැවෙන පඤ්ච වස්තූහු නොයෙක් කරුණින් අල්පේච්ඡ බව පිණිස ...වීර්‍ය්‍යාරම්භය පිණිස පවතිත්. වහන්ස, භික්‍ෂූහු දිවි හිම් කොට ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය ... වහන්ස, දිවි හිම් කොට භික්‍ෂූහු දියමස් ගොඩමස් නො කන්නාහු නම් මැනව. යමෙක් දියමස් ගොඩමස් කෑයේ වී නම් වරද ඔහු ස්පර්‍ශ කරන්නේ ය’ යනු ය. මහණ ගොයුම් තෙම මේ වස්තු පස නො අනුදනී. (එහෙත්) ඒ අපි මේ වස්තු පස සමාදන් කොටගෙන පවතිමු. යම් ආයුෂ්මතක්හට මේ පඤ්ච වස්තූහු රිසියෙත් ද හේ සලාකාව ගනී වා” යි කියා සලාකා ගැන්විය.
Pali BJTතෙන ඛො පන සමයෙන වෙසාලිකා වජ්ජිපුත්තකා පඤ්චමත්තානි භික්ඛුසතානි නවකා චෙව හොන්ති අප්පකතඤ්ඤුනො ච. තෙ ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනන්ති’ සලාකං ගණ්හිංසු.
Sinhala BJTඑ සමයෙහි විසල්පුර වැසි පන්සියක් පමණ වූ භික්‍ෂූහු නවක (අළුත පැවිදිවූවාහු) වූවාහු බුද්ධප්‍රඳප්ත ශික්‍ෂාපදයන්ගේ යථාතත්ත්වය නො දන්නාහු ද වෙත්. ඔහු ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’යි සිතා සලාකා ගත්හ.
Pali BJTඅථ ඛො දෙවදත්තො සඞ්ඝං භින්දිත්වා පඤ්චමත්තානි භික්ඛුසතානි ආදාය යෙන ගයාසීසං තෙන පක්කාමි.
Sinhala BJTඉක්බිති දෙව්දත් තෙම මෙසේ සඞ්ඝ භේදය කොට පන්සියක් පමණ වූ (ඒ) භික්‍ෂූන් ගෙන ගයාශීර්ෂය බලා නික්මියේ ය.
Pali BJTඅථ ඛො සාරිපුත්තමොග්ගල්ලානා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “දෙවදත්තො භන්තෙ සඞ්ඝං භින්දිත්වා පඤ්චමත්තානි භික්ඛුසතානි ආදාය යෙන ගයාසීසං තෙන පක්කන්තො”ති.
Sinhala BJTඑ කල්හි සැරියුත් මුගලන් දෙ නම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, දෙව්දත් තෙරණුවෝ සංඝයා බිඳ පන්සියක් පමණ භික්‍ෂූන් ගෙන ගයාශීර්‍ෂය කරා ගියාහ.” යි සැලකළාහ.
Pali BJT“න හි නාම තුම්හාකං සාරිපුත්තා තෙසු නවකෙසු භික්ඛූසු කාරුඤ්ඤම්පි භවිස්සති. ගච්ඡථ තුම්හෙ සාරිපුත්තා, පුරා තෙ භික්ඛූ අනයව්යසනං ආපජ්ජන්තී”ති. “එවං භන්තෙ”ති ඛො සාරිපුත්තමොග්ගල්ලානා භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන ගයාසීසං තෙන පක්කමිංසු.
Sinhala BJT“ශාරිපුත්‍රයෙනි, ඒ නවක භික්‍ෂූන් කෙරෙහි තොපගේ කරුණාවකුදු නො වියයුතු ද, ශාරිපුත්‍රයෙනි, ඒ භික්‍ෂූන් අනයව්‍යසනයට පැමිණෙන්නට පෙරාතුව තෙපි යවු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. “එසේය, වහන්සැ”යි කියා සැරියුත් මුගලන් දෙ නම පිළිවදන් දී අස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගයාශීර්‍ෂය බලා නික්මුණාහ.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භගවතො අවිදූරෙ රොදමානො ඨිතො හොති. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “කිස්ස ත්වං භික්ඛු රොදසී”ති.
Sinhala BJTඑසමයෙහි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හඬමින් සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මහණ කවර හෙයින් තෝ හඬහි දැ?’යි අසාවදාළසේක.
Pali BJT“යෙපි තෙ භන්තෙ භගවතො අග්ගසාවකා සාරිපුත්තමොග්ගල්ලානා තෙපි දෙවදත්තස්ස සන්තිකෙ ගච්ඡන්ති, දෙවදත්තස්ස ධම්මං රොචෙන්තා”ති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අගසවු වූ යම් සැරියුත් මුගලන් දෙනමෙක් වූහු ද, ඔබ දෙදෙනා ද දෙව්දතුගේ දහම රිසියෙන්නාහු, ඔහු වෙත යෙති” යි හේ කී ය.
Pali BJT“අට්ඨානමෙතං භික්ඛු අනවකාසො යං සාරිපුත්තමොග්ගල්ලානා දෙවදත්තස්ස ධම්මං රොචෙය්යුං, අපි ච තෙ ගතා භික්ඛූනං සඤ්ඤත්තියා”ති
Sinhala BJT“මහණ, සැරියුත් මුගලන් දෙ දෙනා දෙව්දතුගේ දහම රිසි කරන්නාහ යන මෙය නො කරුණෙක, සිදුවන්නට අවකාශ නැත්තෙක. වැලි දු ඔහු භික්‍ෂූනට (යථා තත්ත්වය) හැඳින්වීම පිණිස ගියාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.