Pali BJTතයො මෙ භික්ඛවෙ වන්දියා: පච්ඡා උපසම්පන්නෙන පුරෙ උපසම්පන්නො වන්දියො, නානාසංවාසකො වුඩ්ඪතරො ධම්මවාදී වන්දියො, සදෙවකෙ භික්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො වන්දියො. ඉමෙ ඛො භික්ඛවෙ තයො වන්දියාති.
Sinhala BJTමහණෙනි, මේ තිදෙන වැන්දයුත්තෝ ය: පසුව උපසපන් මහණහු විසින් තමාට පළමුවෙන් උපසපන් වූ මහණ වැන්දයුතු. නානාසංවාසක වූව ද උපසපුයෙන් වැඩි මහලු ධර්‍මවාදී මහණ තෙම වැන්දයුතු. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාව ඇති ලොව්හි තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ වැන්දයුතු ය. මහණෙනි, මොහු වැන්දයුතු තුන් දෙනා ය.
Pali BJT41. තෙන ඛො පන සමයෙන මනුස්සා සඞ්ඝං උද්දිස්ස මණ්ඩපෙ පටියාදෙන්ති, සන්ථරෙ{1} පටියාදෙන්ති, ඔකාසෙ පටියාදෙන්ති. ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ සඞ්ඝිකඤ්ඤෙව ‘භගවතා යථාවුඩ්ඪං අනුඤ්ඤාතං, නො උද්දිස්සකතන්ති’ බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා මණ්ඩපෙපි පරිගණ්හන්ති’ සන්ථරෙපි පරිගණ්හන්ති, ඔකාසෙපි පරිගණ්හන්ති ‘ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී’ති.
Sinhala BJT41. එ සමයෙහි මිනිස්සු සඞ්ඝයා උදෙසා මණඩප පිළියෙළ කරත්, ඇතිරි පිළියෙළ කරදෙත්, අවකාශ ස්ථාන පිළියෙළ කරදෙත්, සවැගි මහණුන්ගේ අතැවැසි මහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් සඟසතු කරන ලද දැය ම මහලු පිළිවෙළින් පරිභෝග කරන්නට අනුදන්නා ලදි. කෙනකු උදෙසා කරන ලද දැය මහලු පිළිවෙළින් පරිභෝග කරන්නට අනුදන්නා ලද්දේ නො වේ” යැයි කියා බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් ‘මෙය අපේ උපාධ්‍යායනට වන්නේ ය. මෙය අපේ ආචාර්‍ය්‍යයනට වන්නේය, මෙය අපට වන්නේ යැ’ යි කියා මණ්ඩප ද ඇතිරි ද අවකාශ ස්ථාන ද අත්කරගනිත්.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පිට්ඨිතො පිට්ඨිතො ගන්ත්වා මණ්ඩපෙසු පරිග්ගහිතෙසු, සන්ථරෙසු පරිග්ගහිතෙසු ඔකාසෙසු පරිග්ගහිතෙසු ඔකාසං අලභමානො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය උක්කාසි. ආයස්මාපි සාරිපුත්තො උක්කාසි. “කො එත්ථාති.” “අහං භගවා සාරිපුත්තො”ති. “කිස්ස ත්වං සාරිපුත්ත ඉධ නිසින්නො”ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ බුදුපාමොක් සඟන පසු පස්සෙන් වැඩ, මණඩපයන් ඇතිරි අවකාශස්ථාන (සවැගියන්ගේ අතැවැස්සන් විසින්) අත් කැරැගන්නා ලද කල්හි ඉඩක් නො ලබන්නෝ එක්තරා රුක්මුලෙක හුන්නෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැඟීසිට කැස්සසේක. සැරියුත් තෙරණුවෝ ද, කැස්සාහ. “මෙහි කවරෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් ශාරිපුත්‍රයෙමි” යි තෙරණුවෝ වදාළාහ. “ශාරිපුත්‍රයෙනි, තෙපි කවර හෙයින් මෙහි හුන්නහු දැ” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත්සේක.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියානං භික්ඛූනං අන්තෙවාසිකා භික්ඛූ සඞ්ඝිකඤ්ඤෙව භගවතා යථාවුඩ්ඪං අනුඤ්ඤාතං නො උද්දිස්සකතන්ති බුද්ධපමුඛස්ස සඞ්ඝස්ස පුරතො පුරතො ගන්ත්වා මණ්ඩපෙ පරිගණ්හන්ති, සන්ථරෙ පරිගණ්හන්ති, ඔකාසෙ පරිගණ්හන්ති: ඉදං අම්හාකං උපජ්ඣායානං භවිස්සති, ඉදං අම්හාකං ආචරියානං භවිස්සති, ඉදං අම්හාකං භවිස්සතී”ති. “සච්චං භගවා” -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ උද්දිස්සකතම්පි යථාවුඩ්ඪං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJTඑ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා “මහණෙනි, සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු ‘උදෙසා කරන ලද දෑ නො ව සඟ සතු කරන ලද දෑ ම වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කරන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදහ’ යි කියා බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් “මෙය අප උපාධ්‍යායයන් වහන්සේට වන්නේ ය, මෙය අප ආචාර්‍ය්‍යයන් වහන්සේට වන්නේ ය, මෙය අපට වන්නේ යැ” කියා මණ්ඩපයන් අත්කැරැ ගනිත් ල, ඇතිරි අත් කැරැ ගනිත් ල, අවකාශස්ථාන අත් කැරැ ගනිත් ල, ඒ සැබෑද’යි අසාවදාළසේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි භික්‍ෂූහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, උදෙසා කරන ලද්ද ද වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කිරීම ප්‍රතිබාහනය නො කළයුතු, යමෙක් ප්‍රතිබාහනය කරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT42. තෙන ඛො පන සමයෙන මනුස්සා භත්තග්ගෙ අන්තරඝරෙ උච්චාසයනමහාසයනානි පඤ්ඤපෙන්ති. සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොණකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං{1} අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT42. එ සමයෙහි මිනිස්සු ඇතුළුගමැ බත්හලෙහි දික්සඟළා පුටුය, පළඟය කොඳුපලසය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් මුවා සුදු ඇතිරිය, පුළුන් ඇතිරිය, එළුලොම්මුවා ඝන පුප්ඇතිරිය, සිංහරූපාදියෙන් විසිතුරු එළුලොම්මුවා ඇතිරිය, එක් පිටෙහි ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, දෙපිටැ ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කම් කොට තිහිරි හුයින් කළ පසතුරුණ, රන්කම් කළ තිහිරි පසතුරුණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනකුන් හට නටන්නට තරම් ඉඩ ඇති එළුලොම්මුවා මහඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රියතුළ අතුරන ඇතිරිය, අඳුන්දිවිසමින් කළ පසතුරුණ, කෙසෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, රතු උඩුවියන් සහිත වූ යහනය, ඉස්දෙර පාමුල රතු කොට්ට ඇති යහනය යන මෙසේ වූ උසසුන් මහසුන් පනවත්. මහණහු කුකුස් කරන්නාහු එහි නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා තීණි ආසන්දිං පල්ලඞ්කං තූලිකං ගිහිවිකතං අභිනිසීදිතුං, නත්වෙව අභිනිපජ්ජිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, දික්සඟළා පුටුව ද පළඟ ද පුළුන් ඇතිරිය ද හැර සෙසු ගෘහී විකෘතයන්හි (ගිහියන් පැනැවූ අසුන්හි) වැදැහෙන්නට නොව ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන මනුස්සා භත්තග්ගෙ අන්තරඝරෙ තූලොනද්ධං මඤ්චම්පි පීඨම්පි පඤ්ඤපෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාභිනිසීදන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මිනිස්සු ඇතුළු ගම බොජුන් හලෙහි පුළුන් බහා යොදා පිළියෙළ කළ ඇඳන් ද පුටු ද පනවත්. මහණහු කුකුස් කෙරෙත්, එහි නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගිහිවිකතං අභිනිසීදිතුං නත්වෙව අභිනිපජ්ජිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ගිහීන් පිළියෙළ කළ ඇඳ පුටු ආදියේ වැදහොන්නට නොව ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT43. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගම් නියම්ගම් පිළිවෙළින් සැරිසරා වඩනාසේක්, සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරමැ වසනසේක. එ කලැ (එක් දිනක්) අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙකැ හිඳගත්තේ ය. හේ එකත් පසෙක හුන්නේ “වහන්ස භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා සහිත ව සෙට දවසට මාගේ බත ඉවසනසේක්ව” යි කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවසූසේක.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි ‘කාලො භන්තෙ නිට්ඨිතං භත්තන්ති.’
Sinhala BJTඉක්බිති අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගීසිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැගියේ ය. ඉක්බිති අනේපිඬු සිටු එ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “ වහන්ස, දැන් වඩනට කාලය ය බත පිළියෙළ කොට නිමැවිණැ” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච: “කථාහං භන්තෙ ජෙතවනෙ පටිපජ්ජාමී”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ද ඒ පෙරවරු සෙමෙහි හැඳපෙරෙවැ පා සිවුරු ගෙන අනේපිඬු සිටුහුගේ ගෙය වෙතට එළැඹිසේක. එළැඹ පනවා තුබුණු අසුන්හි බික්සඟන හා වැඩැහුන්සේක. එ කල අනේපිඬු සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතප්වා පවරවා භාග්‍යවතුන් වහන්සේ බොජුන් වළඳා නිමවා පාත්‍රයෙන් ඉවතට ගත් අතැති නියා දැක ඔබට එකත් පසැ හිඳගත්තේ ය. එසේ හුන්නේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම ජේතවනය පිළිබඳ වැ කෙසේ නම් පිළිපදිම් දැ” යි ඇසූයේ ය.
Pali BJT“තෙන හි ත්වං ගහපති ජෙතවනං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙහී”ති.
Sinhala BJT“එසේ වී නම් ගැහැවිය පැමිණි නො පැමිණි සිවුදිගට අයත් බික්සඟනට පිහිටුවන්නැ (පිරිනමන්නැ)” ‘යි භාග්‍යවතුන්වහන්සේ වදාළසේක.
Pali BJT“එවං භන්තෙ”ති ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවතො පටිස්සුත්වා ජෙතවනං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස පතිට්ඨාපෙසි.
Sinhala BJT“එසේ ය, වහන්සැ” යි කියා අනේපිඬු සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි ජේතවනය සිවු දිගට අයත් එහි පැමිණි නො පැමිණි (සියලු) බික්සඟන සතු කොට පිරිනැමී ය.
Pali BJTඅථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කළසේක.
Pali BJT44. සීතං උණ්හං පටිහන්ති තතො වාළමිගානි ච සිරිංසපෙ{1} ච මකසෙ සිසිරෙ චාපි වුට්ඨියො.
Sinhala BJT44. විහාරය වූ කලි ශීතය ද උෂ්ණය ද එයින් අන්‍ය වූ චණ්ඩමෘගයන් ද සර්‍පයන් ද මැසිමදුරුවන් ද සිසිල්සුළං ද වැසි ද වළහයි.
Pali BJTතතො වාතාතපො ඝොරො සඤ්ජාතො පටිහඤ්ඤති. ලෙණත්ථඤ්ච සුඛත්ථඤ්ච ඣායිතුඤ්ච විපස්සිතුං
Sinhala BJTඑයින් අන්‍ය වූ හටගත් දැඩි අවු සුළං ද (විහාරය කරණ කොට ගෙන) වැළැකෙයි. විවික්ත වැ විසීම පිණිස ද දෘෂ්ටධර්‍ම සුඛවිහරණය පිණිස ද ධ්‍යාන වඩනු පිණිස ද විවසුන් වඩනු පිණිස ද විහාරය (යෝග්‍ය ස්ථාන වේ).
Pali BJTවිහාරදානං සඞ්ඝස්ස අග්ගං බුද්ධෙන වණ්ණිතං තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො
Sinhala BJTඑහෙයින් සංඝයාට විහාර පිළියෙළ කොට දිම අග්‍ර පිනෙකැ යි හැම බුදුවරයක්හු විසින් වර්ණිත ය. එ බැවින් නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ,
Pali BJTවිහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ. තෙසං අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච
Sinhala BJTසිත්කලු විහාරයන් කරන්නේ ය. එහි බොහෝ ඇසූ පිරූ තන් ඇති භික්‍ෂූන් වස්වන්නේ ය. ඍජු ගුණ ඇති ඔවුන් කෙරෙහි වෙසෙසින් පහන් වූ සිතින් යුතු ව ඒ භික්‍ෂුනට ආහාර ද පාන ද වස්තු ද ශයනාසන ද දෙන්නේ ය.
Pali BJTදදෙය්ය උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා. තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්ඛාපනූදනං යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවොති.
Sinhala BJTඒ (දායක) තෙම යම් දහමක් දැන ගෙන ආස්‍රව රහිත වූයේ මෙ අත්බව්හිදී කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙන්නේ ද (රහත් බවට පැමිණෙන්නේ ද) - එසේ වූ සියලු සසර දුක් දුරැලන දහමක් ඒ භික්‍ෂුහු ඔහුට දෙසන්නාහ.
Pali BJTඅථ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනේපිඬු සිටුහට අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී නික්මවැඩිසේක.
Pali BJT45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස ආජීවකසාවකස්ස මහාමත්තස්ස සඞ්ඝභත්තං හොති. ආයස්මා උපනන්දො සක්යපුත්තො පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං{1} ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙසි. භත්තග්ගං කොලාහලමහොසි. අථ ඛො සො මහාමත්තො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම සමණා සක්යපුත්තියා පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනෙ භික්ඛුං වුට්ඨාපෙස්සන්ති, භත්තග්ගං කොලාහලමහොසි. නනු නාම ලබ්භා අඤ්ඤත්රාපි නිසින්නෙන යාවදත්ථං භුඤ්ජිතුන්ති” අස්සොසුං ඛො භික්ඛූ තස්ස මහාමත්තස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙස්සති. භත්තග්ගං කොලාහලං අහොසී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT45. එ සමයෙහි වනාහි ආජීවක ශ්‍රාවක වූ එක්තරා මහඇමැත්තකුගේ සඞ්ඝයාට පිරිනැමෙන බතෙක් වෙයි. ආයුෂ්මත් ශාක්‍යපුත්‍ර උපනන්දයෝ හැමට පසු ව අවුත් සමීපයෙහි හුන් අඩාළ බොජුන් ඇති (වළඳා නො නිමි) භික්‍ෂූ නමක් නැගිටුවූහ. බොජුන්හල කලබල සහිත විය. එකල්හි ඒ මහඇමැත්තා “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ පසු වැ අවුත් බොජුන්වළඳා නොනිමි භික්‍ෂූන් නැගිටුවන්නාහු ද, එයින් බොජුන්හල කලබල සහිත විය. අන් තැනෙක හිඳ රිසිතාක් වළඳන්නට නො හැකි දැ” යි පහත් කොට සිතයි, දොස් නඟයි, නුගුණ පතුරුවයි. භික්‍ෂූහු පහත් කොට සිතන දොස් නගන නුගුණ පතුරුවන ඒ ඇමැත්තාගේ වචනය ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද... ඔහු (ද) “කෙසේ නම් ආයුෂ්මත් ශාක්‍යපුත්‍ර උපනන්දයෝ පසු ව අවුත් බොජුන් වළඳා නො නිමි සමීපයෙහි හුන් භික්‍ෂුනමක් නැඟුටුවන්නෝ ද, එයින් බොජුන්හල කලබල සහිත වී” යැ යි පහත් කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. එ කල ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“සච්චං කිර ත්වං, උපනන්දි පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙසි භත්තග්ගං කොලාහලං අහොසී”ති.
Sinhala BJT“සැබෑද උපනන්දයෙනි, තෙපි පසුව අවුත් බොජුන් වළඳා නොනිමි මහණක්හු නඟාසිටුවූහු ද (එයින්) බොජුන්හල කලබල සහිත වී දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
Pali BJT“සච්චං භගවා.”
Sinhala BJT“සැබැව, වහන්සැ” යි (උපනන්‍ද තෙරණුවෝ කීහ.)
Pali BJTවිගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස පච්ඡා ආගන්ත්වා විප්පකතභොජනං ආනන්තරිකං භික්ඛුං වුට්ඨාපෙස්සසි. භත්තග්ගං කොලාහලං අහොසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT“හිස් පුරුෂය තෝ පසුව අවුත් සමීපයේ හුන් වළඳා නො නිමි (සමීපයෙහි වළඳමින් හුන්) මහණක්හු කෙසේ නැඟුටුවූයෙහි ද? බොජුන්හල (එයින්) කලබල සහිත වූයේ ය. හිස් පුරුෂය, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ” ය යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසෙසින් ගැරැහුසේක. ගරහා දැහැමි කථා කොට,
Pali BJT“න, භික්ඛවෙ විප්පකතභොජනො භික්ඛු වුට්ඨාපෙතබ්බො. යො වුට්ඨාපෙය්ය ආපත්ති දුක්කටස්ස. සචෙ වුට්ඨාපෙති පවාරිතො ච හොති. ‘ගච්ඡ උදකං ආහරා’ති වත්තබ්බො එවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සාධුකං සිත්ථානි ගිලිත්වා වුඩ්ඪතරස්ස භික්ඛුනො ආසනං දාතබ්බං. නත්වෙවාහං භික්ඛවෙ කෙනචි පරියායෙන වුඩ්ඪතරස්ස භික්ඛුනො ආසනං පටිබාහෙතබ්බන්ති වදාමි. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, අඩාළ බොජුන් ඇති (වළඳා නොනිමි) මහණ නො නඟා සිටුවියැයුතු. යමෙක් ඔහු නඟා සිටුවන්නේ නම්, ඔහුට, දුකුළා ඇවැත් වන්නේ ය. ඉදින් (ඇවැත නොතකා) නඟා සිටුවන්නේ නම්, මෙ තෙම පවරන ලදුයේ ද වන්නේ ය. ‘වඩින්න, පැන් ගෙනෙන්නැ’යි වැඩිමාලු මහණ තෙම කියැයුතු (වැඩිමහල් මහණහට කියැ යුතු). එසේත් මෙය ලබන්නේ නම් ඒ මැනැවි, ඉදින් නො ලබන්නේ නම් මනාසේ බත්තුළු ගිලැ වැඩිමහලු මහණහට අස්න දියැයුතු, මහණෙනි, මම් කිසි කරුණෙකිනුත් වැඩිමහලු මහණහට ආසනය ප්‍රතිබාහන කළයුතු යැයි නො කියමි. යමෙක් ප්‍රතිබාහනය කරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT46. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ගිලානෙ භික්ඛූ වුට්ඨාපෙන්ති. ගිලානා එවං වදෙන්ති ‘න මයං ආවුසො සක්කොම වුට්ඨාතුං ගිලානාම්හා’ති. ‘මයං ආයස්මන්තෙ වුට්ඨාපෙස්සාමා’ති පරිග්ගහෙත්වා වුට්ඨාපෙත්වා ඨිතකෙ මුඤ්චන්ති. ගිලානා මුච්ඡිතා පපතන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT46. එ සමයෙහි සවැගි මහණහු ගිලන් භික්‍ෂූන් නගාසිටුවත්. “ඇවැත්නි, නැගී සිටින්නට නො හැක්කම්හ ගිලනුම්හ” යි ගිලන් මහණහු මෙසේ කියත්. ‘අපි ආයුෂ්මතුන් නගාසිටුවම්හ’ යි කියා ඔහු ගිලන් මහණුන් අල්ලා නඟාසිටුවා (එසේ) නැගී සිටියවුන් අතහරිත්. ගිලන් මහණහු ක්ලාන්ත ව වැටෙත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ ගිලානො වුට්ඨාපෙතබ්බො. යො වුට්ඨාපෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, ගිලනා නො නැගිටුවියයුතු, යමෙක් නැගුටුවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ‘ගිලානා මයම්හා අවුට්ඨාපනීයා’ති වරසෙය්යායො පළිබුද්ධෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සවැගි මහණහු “අපි ගිලනුම්හ, නො නගාසිටුවිය යුත්තම්හ” යි කියා (සුව පහසු දෙන) මනායහන් අවුරාගෙන සැතපෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස පතිරූපං සෙය්යං දාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, ගිලනාහට සුදුසු යහනක් දෙන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ලෙසකප්පෙන සෙනාසනං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි සවැගි මහණෝ ස්වල්පමාත්‍ර ආබාධයෙනුත් සෙනසුන් පිළිබහත් (අන්කෙනකුට එය පරිභෝග කරන්නට නො දෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“න භික්ඛවෙ ලෙසකප්පෙන සෙනාසනං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, අල්පමාත්‍ර ආබාධයෙකින් සෙනසුන් නො පිළිබැහිය යුතු. යමෙක් පිළිබහන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT47. තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අඤ්ඤතරං පච්චන්තිමං මහාවිහාරං පටිසඞ්ඛරොන්ති ‘ඉධ මයං වස්සං වසිස්සාමා’ති. අද්දසංසු ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්තෙ. දිස්වාන එවමාහංසු ‘ඉමෙ ආවුසො සත්තරසවග්ගියා භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්ති, හන්ද නෙ වුට්ඨාපෙස්සාමා’ති. එකච්චෙ එවමාහංසු: “ආගමෙථ ආවුසො යාව පටිසඞ්ඛරොන්ති. පටිසඞ්ඛතෙ වුට්ඨාපෙස්සාමා’ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ එතදවොචුං: “උට්ඨෙථාවුසො අම්හාකං විහාරො පාපුණාතී’ති.
Sinhala BJT47. එ සමයෙහි සතොළොස්වැගි මහණෝ ‘අපි මෙහි වස් වසන්නම්හ’ යි කියා පිටිසරබද මහවෙහෙරක් පිළිසකර කෙරෙත්. සවැගි මහණෝ වෙහෙර පිළිසකර කරන සතොළොස්වැගි මහණුන් දුටුහ. දැක, ‘ඇවැත්නි, මේ සතොළොස්වැගි මහණහු එක්තරා වෙහෙරක් පිළිසකර කෙරෙත්. අපි දැන් උන් නගාසිටුවම්හ’ යි කීහ. ඔවුන් අතුරෙන් සමහරු ‘ඇවැත්නි, පිළිසකර කොට නිමවන තෙක් බලාපොරොත්තුවවු, පිළිසකර කොට නිමි කල්හි නගාසිටුවන්නම්හ’ යි කීහ. එ කල්හි සවැගි මහණහු සතොළොස්වැගි මහණුන් බණවා ‘ඇවැත්නි, නැගීසිටිවු (ඉවත්වවු) විහාරය අපට පැමිණේ යැ’යි කීහ.
Pali BJT“නනු ආවුසො පටිගච්චෙව ආචික්ඛිතබ්බං. මයඤ්ච අඤ්ඤං පටිසඞ්ඛරෙය්යාමා”ති.
Sinhala BJT“ඇවැත්නි, කල් තබා ම කියැයුතු වූයේ නො වේ ද? (එසේ කියන ලද නම්) අපි අන් වෙහෙරක් පිළිසකර කරන්නවෝ වේ දැ” යි ඔහු කීහ.
Pali BJT“නනු ආවුසො සඞ්ඝිකො විහාරො?”ති.
Sinhala BJT“ඇවැත්නි, විහාරය සඟසතු නො වේ දැ?” යි සවැගියෝ ඇසූහ:
Pali BJT“ආම ආවුසො, සඞ්ඝිකො විහාරොති”.
Sinhala BJT“එසේ ය. ඇවැත්නි විහාරය සඟසතුයැ” යි ඔහු කීහ.
Pali BJT“උට්ඨෙථාවුසො, අම්හාකං විහාරො පාපුණාතී”ති.
Sinhala BJT“ඇවැත්නි, නැගිටින්න (ඉවත්වන්න) විහාරය අපට පැමිණේයැ” යි සවැගියෝ කීහ.
Pali BJT“මහල්ලකො ආවුසො විහාරො. තුම්හෙ’පි වසථ මයම්පි වසිස්සාමා”ති. “උට්ඨෙථාවුසො අම්හාකං විහාරො පාපුණාතී”ති. කුපිතා අනත්තමනා ගීවායං ගහෙත්වා නික්කඩ්ඪන්ති. තෙ නික්කඩ්ඪියමානා රොදන්ති. භික්ඛූ එවමාහංසු “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති.
Sinhala BJT“ඇවැත්නි, විහාරය මහත් ය, තෙපිත් වසවු. අපිත් වසන්නමු” යි සතොළොස්වැගියෝ කීහ. එවිට සවැගි මහණෝ කුපිත ව නො සතුටු වැ, “ඇවැත්නි, නැගීසිටිවු” යැ යි කියා බෙල්ලෙන් අල්ලා නික්මවත් (පිටතට ඇද දමත්.) ඔහු නික්මවනු ලබන්නාහු හඬත්. “ඇවැත්නි, තෙපි කුමට හඬවු දැ” යි භික්‍ෂුහු අසත්.
Pali BJT“ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා අම්හෙ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪන්තී”ති.
Sinhala BJT“ඇවැත්නි, මේ සවැගි මහණෝ කිපුණාහු නො සතුටු වූවාහු අප සඟසතු වෙහෙරින් නෙරපත්” යැ යි ඔහු කීහ.
Pali BJTයෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිස්සන්තී”ති.
Sinhala BJT“යම් මහණ කෙනෙක් අල්පෙච්ඡද... ඔහු සවැගි මහණහු කුපිතව නො සතුටු ව කෙසේ නම් භික්‍ෂූන් සඟසතු වෙහෙරින් නෙරපන්නාහු දැ” යි ලාමක කොට සිතත්, දොස් නගත්, අගුණ පතුරුවත්.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා සඞ්ඝිකා විහාරා භික්ඛූ නික්කඩ්ඪන්තීති. “සච්චං භගවා -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJTඑ කල්හි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ ... “මහණෙනි, සවැගි මහණහු කුපිත ව නො සතුටු ව මහණුන් සඟසතු වෙහෙරින් නෙරපන්නාහු ද? ඒ සැබෑ ද?” භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි මහණහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් බණවා,
Pali BJT“න භික්ඛවෙ කුපිතෙන අනත්තමනෙන භික්ඛු සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිතබ්බො. යො නික්කඩ්ඪෙය්ය, යථාධම්මො කාරෙතබ්බො. අනුජානාමි භික්ඛවෙ සෙනාසනං ගාහෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, මහණකු කිපී නො සතුටු ව මහණෙක් සඟ සතු වෙහෙරින් නො ම නෙරැපියගැයුතු. යමෙක් නෙරැපන්නේ වී නම් ඔහුට ධර්‍මය වූ පරිදි (විනයනීතිය පරිදි) දඬුවම් කැරැවියැයුතුය. මහණෙනි, සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJT48. අථ ඛො භික්ඛූනං එතදහොසි: ‘කෙන නු ඛො සෙනාසනං ගාහෙතබ්බන්ති?” භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT48. එ කල්හි මහණුනට ‘කවරකු විසින් සෙනසුන් ගැන්විය යුතු දැ?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ වග දැන්වූහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං සෙනාසනගාහාපකං සම්මන්නිතුං: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, ගහිතාගහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො:
Sinhala BJT“මහණෙනි, අඞ්ග පසෙකින් සමන්‍විත මහණක්හු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද බියෙන් අගතියට නො යන්නේ ද මුළායෙන් අගතියට නො යන්නේ ද ගත් නොගත් සෙනසුන් දන්නේ ද මේ ඒ අඞ්ග පස ය. මහණෙනි, ඒ මහණ මෙසේ සම්මත කටයුතු ය.
Pali BJTපඨමං භික්ඛු යාචිතබ්බො, යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTපළමු කොට (සේනාසන ගාහාපක බව පිළිගනු පිණිස) මහණෙක් යැදියයුතු යැද, වියත් ප්‍රබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනග්ගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කෙරේවා. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සෙනාසනගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සෙනාසනගාහාපකස්ස සම්මති සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙ නම් මහණහට සෙනසුන් ගන්වන සම්මතිය (දීම) රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු සෙනාසනගාහාපකො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
Sinhala BJTසඞ්ඝයා විසින් මෙ නම් මහණ සෙනසුන් ගන්වන්නකු කොට සම්මත විය. සඞ්ඝයාට (එය) රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යැ.
Pali BJTඅථ ඛො සෙනාසනගාහාපකානං භික්ඛූනං එතදහොසි: “කථන්නු ඛො සෙනාසනං ගාහෙතබ්බන්ති.” භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ කල්හි සෙනසුන් ගන්වන මහණුනට “කෙසේ නම් සෙනසුන් ගැන්වියැ යුතු දැ?” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පඨමං භික්ඛූ ගණෙතුං, භික්ඛූ ගණෙත්වා සෙය්යා ගණෙතුං, සෙය්යා ගණෙත්වා සෙය්යග්ගෙන ගාහෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, පළමු කොට මහණුන් ගණන් කරන්නට, මහණුන් ගැණ යහන් ගණින්නට, යහන් ගැණ යහන් පිරිසෙයින් (යහන් ගණනට) යහන් ගන්වන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTසෙය්යග්ගෙන ගාහෙන්තා සෙය්යා උස්සාදයිංසු.
Sinhala BJTයහන් ගණනින් යහන් ගන්වන්නාහු යහන් ඉතිරි කළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ විහාරග්ගෙන ගාහෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, විහාර ගණනින් සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTවිහාරග්ගෙන ගාහෙන්තා විහාරා උස්සාරයිංසු
Sinhala BJTවිහාර ගණනින් සෙනසුන් ගන්වන්නාහු විහාරයක් ඉතිරි කළහ. ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ පරිවෙනග්ගෙන ගාහෙතුන්ති.”
Sinhala BJT“මහණෙනි, පිරිවෙන් ගණනින් සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපරිවෙනග්ගෙන ගාහෙන්තා පරිවෙණං උස්සාදයිංසු.
Sinhala BJTපිරිවෙන් ගණනින් සෙනසුන් ගන්වන්නාහු පිරිවෙනක් ඉතිරි කළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ අනුභාගම්පි දාතුං. ගහිතෙ අනුභාගෙ අඤ්ඤො භික්ඛු ආගච්ඡති න අකාමා දාතබ්බො”ති.
Sinhala BJT“මහණෙනි, නැවත තව කොටසක් ද දෙන්නට අනුදනිමි. එ අතිරේක කොටස ගත් කලැ අන් මහණෙක් ආයේ වී නම් නො කැමැත්තෙන් (ඔහුට) ඒ අනුභාගය (සෙනසුන් කොටස) - නොදියැ යුතු යැ” වදාළසේක.
Pali BJT49. තෙන ඛො පන සමයෙන භික්ඛූ නිස්සීමෙ ඨිතස්ස සෙනාසනං ගාහෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT49. එ සමයෙහි වනාහි භික්‍ෂුහු උපචාර සීමායෙන් පිටත සිටියා හට සෙනසුන් ගන්වත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
Pali BJT“න භික්ඛවෙ නිස්සීමෙ ඨිතස්ස සෙනාසනං ගාහෙතබ්බං. යො ගාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“මහණෙනි, උපචාර සීමාවෙන් පිටත සිටි මහණහට සෙනසුන් නො ගැන්වියැයුතු. යමෙක් ගන්වන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ” ය.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ සෙනාසනං ගහෙත්වා සබ්බකාලං පටිබාහන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි මහණහු සෙනසුන් ගන්වා සියලු කාලයෙහි අන් මහණුනට පිළිබහත් (එන්නට නො දෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
Pali BJT“න භික්ඛවෙ සෙනාසනං ගහෙත්වා සබ්බකාලං පටිබාහිතබ්බං. යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ වස්සානං තෙමාසං පටිබාහිතුං උතුකාලං පන න පටිබාහිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, සෙනසුන් ගන්වා (තමනට පවරවා ගෙන) සියලු කල්හි ප්‍රතිබාහනය (අන් මහණුනට එන්නට නො දී ඔවුන් බැහැර කිරීම සෙනස්න අත්නෑර තමන් සතු කොටගෙන තැබීම) නො කළයුතු. යමෙක් ප්‍රතිබාහනය කරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වස් තුන් මස තමා ඉන්නා සෙනස්න පිළිබහන්නට (අන් අයට අත් කරගන්නට නොදී තමා සතුව ම පවත්වන්නට ද ඍතු කාලයෙහි [සෙසු මාස්හි] නො පිළිබහන්නට [තමා සතු කොට ගෙන ම තබා නොගන්නට] අන් මහණුන් එය පරිහරණය කරන්නට ආවෝත් ඔවුන් නො වළක් වන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි “කති නු ඛො සෙනාසනගාහා?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ කල්හි “සෙනසුන් ගැන්වීම් කීයෙක් දැ?” යි භික්‍ෂුනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:)
Pali BJT“තයො මෙ භික්ඛවෙ සෙනාසනගාහා: පුරිමකො පච්ඡිමකො අන්තරාමුත්තකො. අපරජ්ජුගතාය ආසාළ්හියා පුරිමකො ගාහෙතබ්බො, මාසගතාය ආසාළ්හියා පච්ඡිමකො ගාහෙතබ්බො, අපරජ්ජුගතාය පවාරණාය ආයතිං වස්සාවාසත්ථාය අන්තරාමුත්තකො ගාහෙතබ්බො. ඉමෙ ඛො භික්ඛවෙ තයො සෙනාසනගාහා”ති.
Sinhala BJT“මහණෙනි, පුරිමකය, පශ්චිමකය , අන්තරාමුක්තකයැ යි සෙනසුන් ගැන්වීම් තුනෙක, ඇසළ පුණුපසොළොස්වක ගියාට පසු දින පළමු සෙනසුන් ගැන්වීම කළයුතු, ඇසළ පුණුපසොළොස්වක ගතව මසක් ගිය කලැ පැසිම් සෙනසුන් ගැන්වීම කළයුතු. වස් පවාරණය ගත වූ කලැ (ඉතිරි අටමාසය සඳහා ද) එයින් මතු වස් විසීම් පිණිස අන්තරාමුක්තක සෙනසුන් ගැන්වීම කළයුතු, මහණෙනි, මේ සෙනසුන් ගැන්වීම් තුන යැ”.
Pali BJTදුතියභාණවාරො නිට්ඨිතං.
Sinhala BJTදෙවෙනි බණවර නිමියේ යි.
Pali BJT50. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සාවත්ථියං සෙනාසනං ගහෙත්වා අඤ්ඤතරං ගාමකාවාසං අගමාසි. තත්ථපි සෙනාසනං අග්ගහෙසි. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අයං ආවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො භණ්ඩනකාරකො කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො. සචායං ඉධ වස්සං වසිස්සති සබ්බෙව මයං න ඵාසු භවිස්සාම. හන්ද නං පුච්ඡාමා”ති.
Sinhala BJT50. එ සමයෙහි ශාක්‍යපුත්‍ර වූ උපනන්‍ද තෙරණුවෝ සැවැත්හි සෙනසුන් ගෙන, එක්තරා කුඩා ගමෙක ආවාසයකට ගියේ ය. එහි ද සෙනස්නක් ලැබ ගත්තේ ය. එ කලැ ඒ මහණුනට, “ඇවැත්නි, මේ ශාක්‍යපුත්‍ර උපනන්‍ද තෙරණුවෝ අරගල කරන්නෙකි, කලහ කරන්නෙකි, විවාද කරන්නෙකි, කතාබහෙන් ආරාවුල් උපදවන්නෙකි, සඞ්ඝයා අතර, නඩු ඇති කරන්නෙකි. මෙ තෙම මෙහි වස් වසන්නේ වී නම්, අපි හැම දෙනා ම පහසු සේ නො වසන්නමු. එබැවින් ඔහු විචාරමු” යි මෙ සිත විය.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොචුං: “නනු තයා ආවුසො උපනන්ද සාවත්ථියං සෙනාසනං ගහිතන්ති.”
Sinhala BJTඉක්බිත්තෙන් ඒ මහණහු ශාක්‍යපුත්‍ර උපනන්‍ද තෙරුනට, “ඇවැත් උපනන්දයෙනි, ඔබ විසින් සැවැත්හි සෙනස්නෙක් ගන්නා ලද්දේ නොවේ දැ?” යි කීහ.
Pali BJT“එවමාවුසො”ති.
Sinhala BJT“එසේ ය. ඇවැත්නි” යි උපනන්‍ද තෙරණුවෝ කීහ.
Pali BJT“කිං පන ත්වං ආවුසො උපනන්ද එකො ද්වෙ පටිබාහසී”ති,
Sinhala BJT“ඇවැත් උපනන්‍දයෙනි, කිමෙක් ද? එක් කෙනෙක් ම වූ ඔබ සෙනසුන් දෙකක් පිළිබහන් කෙරෙත් ද (තමනට වෙන් කොට ගෙන සෙස්සන් එයින් වළක්වත් ද)?”
Pali BJT“ඉධ’දානාහං ආවුසො මුඤ්චාමි. තත්ථ ගණ්හාමී”ති.
Sinhala BJT“ඇවැත්නි, දැන් මෙහි සෙනස්න මුදමි. (අත්හරිමි). එහි සෙනස්න ගනිමි” යි තෙරණුවෝ කීහ.
Pali BJTයෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො එකො ද්වෙ පටිබාහිස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා -පෙ- එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං පටිපුච්ඡි “සච්චං කිර ත්වං උපනන්ද එකො ද්වෙ පටිබාහසී”ති.
Sinhala BJTයම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ලද දැයින් සතුටු වන්නෝ ද ලජ්ජිහු ද, කුකුස් කරන්නෝ ද, ශික්‍ෂා රකිනුයෙහි කැමැත්තෝ ද, ඔහු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර උපනන්‍ද තෙරණුවෝ එක් කෙනෙක් වැ සෙනසුන් දෙකක් පිළිබහන්නෝ දැ” යි පහත් කොට සිතත්, දොස් නගත්, නො ගුණ පතුරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ... මේ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා, ශාක්‍ය පුත්‍ර උපනන්‍දයන් බණවා, “උපනන්‍දයෙනි, තෙපි එක් කෙනෙක් වැ සෙනසුන් දෙකක් පිළිබහවු ද? සැබෑ දැ?” යි අසා වදාළසේක.
Pali BJT“සච්චං භගවා”.
Sinhala BJT“සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි ඔබ කීහ.
Pali BJTවිගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස එකො ද්වෙ පටිබාහිස්සසි, තත්ථ තයා මොඝපුරිස ගහිතං ඉධ මුක්කං. ඉධ තයා ගහිතං තත්ර මුක්කං. එවං ඛො ත්වං මොඝපුරිස උභයත්ථ පරිබාහිරො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛො තං අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති. විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ එකෙන ද්වෙ පටිබාහෙතබ්බා, යො පටිබාහෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT“හිස් මිනිස, තෝ එකෙක් වැ කෙසේ නම් සෙනසුන් දෙකක් පිළිබහයි ද හිස්මිනිස, තා විසින් එහි (සෙනස්නක්) ගන්නා ලද්දේ මෙහි (සෙනස්න) මුදන ලද්දේ ය. මෙහි (සෙනස්න) ගන්නා ලද්දේ එහි (සෙනස්න) මුදන ලද්දේ ය. හිස්මිනිස, මෙසේ ම තෝ දෙ තන්හි ම පරිබාහිර වූයෙහි (සෙනස්නක් නැත්තෙක් වූයෙහි). හිස්මිනිස, මෙය සස්න කෙරෙහි පහන් නො වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ වැඩීම පිණිස ද නො වේ. වැලි නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ සමහර කෙනෙකුන්ගේ වෙනස් බව පිණිස ද වේ” යැ යි වෙසෙසින් ගැරැහුසේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් බණවා, “මහණෙනි, එක් මහණක්හු විසින් සෙනසුන් දෙකක් නො පිළිබැහියයුතු (තමාට වෙන් කොට නො ගතයුතු). යමෙක් පිළිබහන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
Pali BJT51. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන විනයකථං කථෙති. විනයස්ස වණ්ණං භාසති. විනයපරියත්තියා වණ්ණං භාසති. ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති. භික්ඛූනං එතදහොසි: “භගවා ඛො අනෙකපරියායෙන විනයකථං කථෙති, විනයස්ස වණ්ණං භාසති, විනයපරියත්තියා වණ්ණං භාසති, ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති. හන්ද මයං ආවුසො ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණාමා”ති. තෙ ච බහූ භික්ඛූ ථෙරා ච නවා ච මජ්ඣිමා ච ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණන්ති. ආයස්මා උපාලි ඨිතකො’ව උද්දිසති ථෙරානං භික්ඛූනං ගාරවෙන. ථෙරාපි භික්ඛූ ඨිතකා’ව උද්දිසාපෙන්ති ධම්මගාරවෙන. තත්ථ ථෙරා චෙව භික්ඛූ කිලමන්ති ආයස්මා ච උපාලි.
Sinhala BJT51. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නොයෙක් කරුණින් විනය කථාව වදාරනසේක. විනයයේ ගුණ වණන සේක. විනය බණ ඉගැන්මෙහි ගුණ වදාරනසේක. ආදර්ශ කොට උපාලි තෙරුන්ගේ ගුණ වදාරනසේක: “භාග්‍යවතුන් වහන්සේ වූ කලී නොයෙක් කරුණින් විනය කථාව වදාරනසේක. විනයයේ ගුණ වදාරනසේක. විනය බණ ඉගැන්මෙහි ගුණ වදාරන සේක. ආදර්ශ කොට කොට උපාලි තෙරුන්ගේ ගුණ වදාරන සේක. ඇවැත්නි, අපි උපාලි තෙරුන් වෙත විනය පුහුණු කරම්හ” යි භික්‍ෂූනට මේ සිත විය. ඒ බොහෝ ස්ථවිර භික්‍ෂූහු ද නවක භික්‍ෂූහු ද මධ්‍යයම භික්‍ෂූහු ද උපාලි තෙරුන් වෙත විනය බණ උගනිත්. උපාලි තෙරණුවෝ තමනට වඩා මහලු තෙරුනට ගෞරවයෙන් සිටියාහු ම (සිට ගෙන ම) බණ උදෙසයි (උගන්වයි), ස්ථවිර (වැඩි මහලු) භික්‍ෂූහු ද සිටගත්තාහු ම ධර්‍මගෞරවයෙන් (විනය) උදෙසවාගනිත් (කියවා ගනිත්), එහි ස්ථවිර භික්‍ෂූහු ද උපාලි තෙරණුවෝ ද (බොහෝ වේලා) (සිටගත් වන ම සිටියාහු) වෙහෙසට පැමිණෙත්.
Pali BJTභගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ නවකෙන භික්ඛුනා උද්දිසන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං උච්චතරකෙ වා ධම්මගාරවෙන. ථෙරෙන භික්ඛුනා උද්දිසාපෙන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං නීචතරකෙ වා ධම්මගාරවෙනා”ති.
Sinhala BJT“මහණෙනි, උදෙසන (බණ උගන්වන) නවක මහණහු විසින් ධර්‍මගෞරවයෙන් සමාන අස්නෙක හෝ වඩා උස් අස්නෙක හෝ ඉඳින්නට ද, උදෙස්වන (ඉගෙනගන්නා) ස්ථවිර භික්‍ෂූහු විසින් ධර්‍මගෞරවයෙන් සමාන අස්නෙක හෝ (උගන්වන තෙරුන්ගේ අස්නට) වඩා මිටි අස්නෙක හෝ හිඳින්නට ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන බහූ භික්ඛූ ආයස්මතො උපාලිස්ස සන්තිකෙ ඨිතකා’ව උද්දෙසං පටිමානෙන්තා{1} කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂුහු උපාලි තෙරුන් සමීපයෙහි සිටගත්තාහු ම උදෙසීම බලාපොරොත්තු වන්නාහු වෙහෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සමානාසනිකෙහි සහ නිසීදිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, සමානාසනිකයන් සමග හිඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි: “කිත්තාවතා නු ඛො සමානාසනිකො හොතී?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ කල්හි භික්‍ෂූනට “කොපමණෙකින් සමානාසනිකයෙක් වන්නේ දැ?” යි මෙ සිත විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තිවස්සන්තරෙන සහ නිසීදිතුන්ති”.
Sinhala BJT“මහණෙනි, තුන් වසක් අතර ඇති (තමාට වඩා වස් එකක් හෝ දෙකක් වැඩි හෝ අඩු) මහණකු හා එක් අස්නෙහි ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සමානාසනිකා එකමඤ්චෙ{2} නිසීදිත්වා මඤ්චං භින්දිංසු. එකපීඨෙ{3} නිසීදිත්වා පීඨං භින්දිංසු. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි බොහෝ සමානාසනික මහණහු එක් ඇඳෙක හිඳ ඇඳ බින්දහ. (කඩා දැමූහ). එක් පුටුවෙක හිඳ පුටුව කැඩුහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ තිවග්ගස්ස මඤ්චං, තිවග්ගස්ස පීඨන්ති.” තිවග්ගො පි මඤ්චෙ නිසීදිත්වා මඤ්චං භින්දි, පීඨෙ නිසීදිත්වා පීඨං භින්දි
Sinhala BJT“මහණෙනි, තුන් දෙනකුනට ඇඳ ද තුන් දෙනකුනට පුටුව ද අනුදනිමි” යි වදාළසේක. තුන්දෙනෙක් ද ඇඳෙක හිඳ එය කැඩුහ , පුටුවෙක හිඳ පුටුව කැඩුහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ දුවග්ගස්ස මඤ්චං දුවග්ගස්ස පීඨන්ති.”
Sinhala BJT“මහණෙනි, දෙදෙනකුනට ඇඳ ද දෙදෙනකුනට පුටුව ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ අසමානාසනිකෙහි සහ දීඝාසනෙ නිසීදිතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි භික්‍ෂුහු සමාසනික නොවන භික්‍ෂූන් හා දික් අස්නෙහි හිඳින්නට කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා පණ්ඩකං මාතුගාමං උභතොබ්යඤ්ජනකං අසමානාසනිකෙහි සහ දීඝාසනෙ නිසීදිතුන්ති.”
Sinhala BJT“මහණෙනි, පණ්ඩකයා ද මාගම උභතොඛ්‍යංජනකයා ද හැර, (සෙසු) අසමානාසනිකයන් හා එක් දීර්ඝාසනයෙහි ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි ‘කිත්තකපච්ඡිමං නු ඛො දීඝාසනං හොතී’ති -පෙ-
Sinhala BJTඑ කල්හි ‘කොතෙකින් පැසිම් අස්න දීර්‍ඝාසනයෙක් වේ ද?’ යි භික්‍ෂූනට මේ සිත විය ...
Pali BJT“අනුජානාමි භික්ඛවෙ යං තිණ්ණන්නං පහොති{1} එත්තකපච්ඡිමං දීඝාසනන්ති.”
Sinhala BJT“යම් අස්නෙක් තුන් දෙනකුනට සෑහෙයි ද, දීර්‍ඝාසනය එ පමණින් පැසිම් අස්න යැ. (තුන් දෙනකුහට පමණක් ඉඳිත හැකි අස්න අඩු ම ප්‍රමාණයේ වූ දික් අස්න යැ) යි වදාළ සේක.
Pali BJT52. තෙන ඛො පන සමයෙන විසාඛා මිගාරමාතා සඞ්ඝස්ස අත්ථාය සාලින්දං පාසාදං කාරාපෙතුකාමා හොති හත්ථිනඛකං. අථ ඛො භික්ඛූනං එතදහොසි “කින්නු ඛො භගවතා පාසාදපරිභොගො අනුඤ්ඤාතො කිං අනනුඤ්ඤාතො?”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT52. එ සමයෙහි මිගාර මාතෘ නම් වූ විශාඛා තොමෝ ආලින්දයක් (ඉස්තෝප්පුවක්) සහිත වූ ඇත්කුඹු සටහන් මත්තෙහි ටැම් බැඳ තැනු ප්‍රාසාදයක් සංඝයා උදෙසා කරවන්නට කැමැත්තී වූවාය. එ කල මහණුනට, “භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට කෙබඳු ප්‍රාසාද පරිභෝගයෙක් අනුදන්නා ලද ද? කෙබඳු ප්‍රාසාද පරිහොගයෙක් නො අනුදන්නා ලද දැ?” යි. මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ සබ්බං පාසාදපරිභොගන්ති.”
Sinhala BJT“මහණෙනි, සියලු ප්‍රාසාද පරිහොගය අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අය්යකා කාලකතා හොති. තස්සා කාලකිරියාය සඞ්ඝස්ස බහුං අකප්පියභණ්ඩං උප්පන්නං හොති, සෙය්යථිදං: ආසන්දි පල්ලඞ්කො ගොණකො චිත්තකො පටිකා පටලිකා තූලිකං විකතිකං උද්දලොමිකං, එකන්තලොමිකං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං කම්බලං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං, අජිනප්පවෙණි කදලිමිගප්පවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJTඑ සමයෙහි පසේනදී කොසොල් රජුගේ මිත්තණියෝ කලුරිය කළාහ. ඇගේ කලුරියෙන්, දික්සඟළා පුටු ය, පළඟය, සතරඟුලට වඩා ලොම් ඇති ඇතිරි ය, එළුලොමින් කළ විසිතුරු ඇතිරි ය, එළුලොම් මුවා සුදු ඇතිරි ය, පුළුනෙන් පිරූ ඇතිරි ය, ගනපුප් ඇති එළුලොම් මුවා ඇතිරි ය, සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරු එළුලොම් මුවා ඇතිරි ය, එක් පැත්තෙක පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරි ය, දෙ පැත්තේ ම ලොම් ඇති එළු ලොම්මුවා ඇතිරි ය, තිහිරිහුයින් වියූ රන්කසු කම් කළ පසතුරණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනෙකුන්ට සිට රඟ පාන්නට තරම් දික් පුළුල ඇති මහ ඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරි ය, පිට අතුරන ඇතිරි ය, රියෙහි අතුරන ඇතිරි ය, අඳුන් දිවිසමින් කළ පසතුරුණ, දෙපස රතු කොට්ට තැබූ උඩු වියන් සහිත කෙසෙල් මුව සමින් කළ මහඟු පසතුරුණ යන මේ බොහෝ අකැප බඩු යන බොහෝ නොකැප වී බඩු සංඝයාට උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
Pali BJT“අනුජානාමි භික්ඛවෙ ආසන්දියා පාදෙ ඡින්දිත්වා පරිභුඤ්ජිතුං, පල්ලඞ්කස්ස වාලෙ භින්දිත්වා පරිභුඤ්ජිතුං, තූලිකං විජටෙත්වා බිබ්බොහනං කාතුං, අවසෙසං භුම්මත්ථරණං කාතුන්ති.”
Sinhala BJT“මහණෙනි, දික් සඟළා පුටුවේ පා සිඳ පරිභෝග කරන්නට ද, පළඟෙහි ව්‍යාල රූප බිඳදමා පරිභෝග කරන්නට ද, පුළුන් මෙට්ටය මැහුම් ලිහා කොට්ට කරන්නට ද, ඉතිරි දෑ බුමුතුරුණු කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT53. තෙන ඛො පන සමයෙන සාවත්ථියා අවිදූරෙ අඤ්ඤතරස්මිං ගාමකාවාසෙ ආවාසිකා භික්ඛූ උපද්දුතා හොන්ති ආගන්තුකගමිකානං භික්ඛූනං සෙනාසනං පඤ්ඤපෙන්තා. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “එතරහි ඛො මයං ආවුසො උපද්දුතා ආගන්තුකගමිකානං භික්ඛූනං සෙනාසනං පඤ්ඤපෙන්තා. හන්ද මයං ආවුසො සබ්බං සඞ්ඝිකං සෙනාසනං එකස්ස දෙම තස්ස සන්තකං පරිභුඤ්ජිස්සාමා”ති. තෙ සබ්බං සඞ්ඝිකං සෙනාසනං එකස්ස අදංසු. ආගන්තුකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: ‘අම්හාකං ආවුසො සෙනාසනං පඤ්ඤාපෙථා’ති.
Sinhala BJT53. එ සමයෙහි සැවැත් නුවරට නොදුරෙහි එක්තරා කුඩා ගමෙක ආවාසයෙක වසන භික්‍ෂුහු ආගන්තුක වූ ද ගමික වූ ද භික්‍ෂුනට සෙනසුන් පනවන්නාහු එයින් පීඩාවට පත් වූහ. එකලැ ඒ භික්‍ෂුනට මේ සිත විය. “ඇවැත්නි, දැන් වනාහි අපි ආගන්තුක වූ ද ගමික වූ ද මහණුනට සෙනසුන් පනවන්නමෝ පීඩාවට පැමිණියම්හ. ඇවැත්නි, එබැවින් අපි සියලු සඟසතු සෙනස්න එක් මහණකුට දෙමු. ඔහු සතු වූ එය පරිභෝග කරන්නමු” යනු යි. ඔහු සියලු සඟසතු සෙනස්න එක් මහණකුට දුන්හ. ආගන්තුක මහණහු ‘ඇවැත්නි, අපට සෙනසුන් පනවන්නැ’ යි කීහ.
Pali BJT“නත්ථාවුසො සඞ්ඝිකං සෙනාසනං සබ්බං අම්හෙහි එකස්ස දින්නන්ති.” “කිං පන තුම්හෙ ආවුසො සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙථා”ති.
Sinhala BJT“ඇවැත්නි සඟ සතු සෙනස්නෙක් නැත. සියල්ල අප විසින් එක් මහණකුට දෙනලදැ” යි (නේවාසික මහණහු) කීහ. “ඇවැත්නි, කිමෙක් ද? තෙපි සඟසතු සෙනස්න එක් කෙනකුට පවරා දුන්නහු දැ?” යි ඔහු ඇසූහ.
Pali BJT“එවමාවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: – “කථං හි නාම භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT“එසේ ය, ඇවැත්නි” යි ඔහු කීහ. අල්පේච්ඡ වූ ... යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද, ... ඔහු “කෙසේ නම් භික්‍ෂුහු සඟසතු සෙනසුන් එකකුට පවරා දුන්නහු දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, ඉක්බිති එ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
Pali BJT“සච්චං කිර භික්ඛවෙ භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙන්තී”ති?
Sinhala BJT“මහණෙනි, මහණහු සඟසතු සෙනස්න (එක් මහණකුට) පවරාදුන්නාහු ද? සැබෑ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
Pali BJT“සච්චං භගවා.”
Sinhala BJT“එසේ ය භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ.
Pali BJTවිගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සඞ්ඝිකං සෙනාසනං විස්සජ්ජෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ-” විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT“මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ සඟසතු සෙනස්න කෙනකුට පැවැරුවෝ ද? මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නො වේ” යැ යි වෙසෙසින් ගැරැහූ සේක. ගරහා දැහැමි කථා කොට මහණුන් බණවා මෙය වදාළසේක:
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතානිපි අවිස්සජ්ජිතානි හොන්ති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස. කතමානි පඤ්ච: ආරාමො ආරාමවත්ථු. ඉදං පඨමං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT“මහණෙනි, මේ පස සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ අනෙකකුට (පෞද්ගලික අයිතියට) නො දිය යුතු ය, නො පැවරියයුතු ය. දෙන ලද්දේ ද නො දෙන ලද්දේ වේ. යමෙක් දෙන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය. කවර පසෙක් ද යත්: ආරාමය, ආරාම වත්ත, මේ පළමු වන නො දියයුතු දැය ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො දියයුතු ය. දෙන ලද්දේ ද නො දෙන ලද්දේ වෙයි. යමෙක් දෙන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTවිහාරො විහාරවත්ථු, ඉදං දුතියං අවිස්සජ්ජියං: න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගල්ලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTවිහාරය ද විහාර වත්ත ද , දෙවෙනි අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් පුද්ගලයකු සතු කොට නො දියයුතු ය. දෙන ලද්දේ ද නොදෙන ලද්දේ වේ. යමෙක් දෙන්නේ ද තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTමඤ්චො පීඨං භිසි බිබ්බොහනං ඉදං තතියං අවිස්සජ්ජියං: න විස්සජ්ජෙතබ්බං: සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජි. තම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTඇඳ ද පුටුව ද බිස්ස ද කොට්ටය ද යන මේ තෙවෙනි අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුද්ගලයකු සතු කොට) නො පැවරිය යුතු ය. එසේ දෙන ලද්දේ ද නො දෙන ලද්දේ ම වේ. යමෙක් දෙන්නේ ද, තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTලොහකුම්භී ලොහභාණකං ලොහවාරකො ලොහකටාහං වාසි ඵරසු කුඨාරී කුද්දාලො නිඛාදනං ඉදං චතුත්ථං අවිස්සජ්ජියං. න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTලෙහො සැළි ය, ලොහො පැණ, ලොහො කළ ය, ලොහො කටාරම, වෑය, පොරොව, කෙටේරිය, උදැල්ල, නියන යන මේ සතර වන අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ පුඟුලකු සතු කොට නො දියයුතු ය. යමෙක් එසේ දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTවල්ලි වෙළු මුඤ්ජං බබ්බජං තිණං මත්තිකා, දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං ඉදං පඤ්චමං අවිස්සජ්ජියං. න විස්සජ්ජෙතබ්බං සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJTවැල්, හුන, මුදුතණ, බබුස්තණ, සෙසු තෘණවර්ග, මැටි, ලීබඩු, මැටිබඩු, යන මේ පස්වන අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුඟුල් සතු කොට) මහණකුට නො දියයුතු ය. දෙන ලදුයේ ද නො දෙන ලදුයේ වේ. යමෙක් දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
Pali BJTඉමානි ඛො, භික්ඛවෙ පඤ්ච අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සඞ්ඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා විස්සජ්ජිතානිපි අවිස්සජ්ජිතානි හොන්ති. යො විස්සජ්ජෙය්ය ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
Sinhala BJTමහණෙනි, මොහු අවිස්සජ්ජිය (පුද්ගලයකු සතු කොට නො දිය යුතු) වස්තු පස් වගය ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුඟුල් සතු කොට) නො දියයුතු ය. එසේ දෙන ලද ද නො දෙන ලද්දේ ම වේ. යමෙක් දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.