Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT79. තෙන ඛො පන සමයෙන භික්ඛූ චඞ්කමෙ චඞ්කමන්තා පරිපතන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ චඞ්කමනවෙදිකන්ති.”
Sinhala BJT79. එ සමයෙහි මහණහු සක්මන් මළුවේ සක්මන් කරන්නාහු ඇද වැටෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, සක්මන් පිළක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT80. තෙන ඛො පන සමයෙන භික්ඛූ අජ්ඣොකාසෙ චඞ්කමන්තා සීතෙනපි උණ්හෙනපි කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ චඞ්කමනසාලති”ති.
Sinhala BJT80. එ සමයෙහි මහණහු එළිමහනෙහි සක්මන් කරන්නාහු, ශීතයෙන් ද, උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ. “මහණෙනි, සක්මන්හල අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචඞ්කමනසාලායං{1} තිණචුණ්ණං පරිපතති. “අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා{2} උල්ලිත්තාවලිත්තං කාතුං: සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJTසක්මන්හලෙහි තණසුණු වැටෙයි. “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් සුදු පැහැ වූ හෝ කළු පැහැ වූ හෝ බදාම ආලේප කරන්නට, ගුරු පැහැයෙන් පිරියම් හෝ කරන්නට, මාලාකම් ලතාකම් කරන්නට මෝරදැති හෝ අඳින්නට, දෑහිඟුල් ඈ පස් පැහැයෙන් වර්‍ණවත් කරන්නට ද අනුදනිමි. එහි සිවුරු වනා තබන්නට දණ්ඩක් ද සිවුරු වනන්නට රැහැනක් ද අනුදනිමි” යි වදාළසේක.
Pali BJT81. ජන්තාඝරං නීචවත්ථුකං හොති. උදකෙන ඔත්ථරීයති. “අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.” චයො පරිපතති. “අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJT81. ගිනිහල් ගෙය පහත් බිමක ඇත්තේ වෙයි. දියෙන් වැතිරේ (යට වේ). “මහණෙනි, උස් බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක. බිම උස් කරන්නට ගොඩ ගසන ලද පස් රැස කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළුයෙන් කළ බැම්ම ද ගලින් කළ බැම්ම ද ලීයෙන් කළ බැම්ම ද යි බැඳුම් තුනක් රැස් කොට බඳින්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති. “අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ ඉට්ඨකාසොපාණං, සිලාසොපාණං, දාරුසොපාණන්ති”.
Sinhala BJTඑය නඟින්නාහු වෙහෙසෙත්. “මහණෙනි, ගඩොළු හිණ, ගල් හිණ, දඬු හිණ යන හිණි (පඩිපෙළ) තුන අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති. “අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති”.
Sinhala BJTහිණෙහි නැහෙන්නාහු ඇද වැටෙත්. “මහණෙනි, අත්වැල (ගරාදිවැට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJTජන්තාඝරස්ස කවාටං න හොති. “අනුජානාමි භික්ඛවෙ කවාටං පිට්ඨසඞ්ඝාටං උදුක්ඛලිකං උත්තරපාසකං අග්ගලවට්ටිකං කපිසීසකං සූචිකං ඝටිකං තාලච්ඡිද්දං ආවිඤ්ජනඡිද්දං ආවිඤ්ජනරජ්ජුන්ති”.
Sinhala BJTගිනිහල්ගෙට කවුළුවෙක් නො වෙයි. “මහණෙනි, කවුළුව ද දොරබාව ද උදුක්ඛලිකාව ද උත්තරපාසකය ද අගුළුවැටිය ද කපිසීසකය ද සූචිකාව ද ඝටිකාව ද කෙසිසිදුර ද අදිනා ලනුව බහාලන සිදුර ද අදිනා ලනුව ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT82. ජන්තාඝරස්ස කුඩ්ඩපාදො ජීරති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ මණ්ඩලිකං කාතුන්ති.”
Sinhala BJT82. ගිනිහල් ගෙයි බිතුපා දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, මණ්ඩලිකාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTජන්තාඝරස්ස ධූමනෙත්තං න හොති. “අනුජානාමි භික්ඛවෙ ධූමනෙත්තන්ති.”
Sinhala BJTගිනිහල් ගෙට දුම් පිට වන සිදුරෙක් නැත. “මහණෙනි, දුම් පිට වන සිදුරක් (තනන්නට) අනුදනිමි” යි වදාළසේක.
Pali BJT83. තෙන ඛො පන සමයෙන භික්ඛූ ඛුද්දකෙ ජන්තාඝරෙ මජ්ඣෙ අග්ගිට්ඨානං කරොන්ති. උපචාරො න හොති. “අනුජානාමි භික්ඛවෙ ඛුද්දකෙ ජන්තාඝරෙ එකමන්තං අග්ගිට්ඨානං කාතුං, මහල්ලකෙ මජ්ඣෙ”ති.
Sinhala BJT83. එ සමයෙහි වූ කලි මහණහු කුඩා ගිනිහලෙහි මැද උදුන තනත්, එයට උපචාරයෙක් (වටා ඉඩෙක්) නො වෙයි. “මහණෙනි, කුඩා ගිනිහල්ගෙහි එක් පසෙකත් මහත් ගිනිහල් ගෙහි මැදත් උදුන තනන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTජන්තාඝරෙ අග්ගි මුඛං ඩහති. “අනුජානාමි භික්ඛවෙ මුඛමත්තිකන්ති.”
Sinhala BJTගිනිහල් ගෙහි ගින්න මුහුණ දවයි. “මහණෙනි, මුහුණ අලවන මැටි අනුදනිමි” යි වදාළසේක.
Pali BJTහත්ථෙ{1} මත්තිකං තෙමෙන්ති. “අනුජානාමි භික්ඛවෙ මත්තිකාදොණිකන්ති.”
Sinhala BJTඅතෙහි මැටි තෙමත්, “මහණෙනි, මැටි ඔරුවක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTමත්තිකා දුග්ගන්ධා හොති. “අනුජානාමි භික්ඛවෙ වාසෙතුන්ති.”
Sinhala BJTමැටි දුගඳ වේ. “මහණෙනි, මැට්ටෙහි සුවඳ කවන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTජන්තාඝරෙ අග්ගි කායං ඩහති. “අනුජානාමි භික්ඛවෙ උදකං අතිහරිතුන්ති.”
Sinhala BJTගිනිහල් ගෙහි ගින්න කය දවයි. “මහණෙනි, ගිනිහල් ගෙය තුළට තලිය ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTපාතියාපි පත්තෙනපි උදකං අතිහරන්ති. “අනුජානාමි භික්ඛවෙ උදකාධානං, උදකසරාවකන්ති.”
Sinhala BJTතලියෙන් ද පාත්‍රයෙන් ද දිය (ගිනිහල් ගෙයැ) ඇතුළට ගෙන යෙත්, “දිය තබන බඳුනක් ද (දියමලාවක් නෑබිලියක් ද) අනුදනිමි” යි වදාළසේක.
Pali BJT84. ජන්තාඝරං තිණච්ඡදනං සාදෙති{2}. “අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා{3} උල්ලිත්තාවලිත්තං කාතුන්ති.”
Sinhala BJT84. තණපියස්ස (පිදුරුපියස්ස) ගිනිහල් ගෙය තණකොළ විසුරුවා ලීමෙන් හැඩි කෙරෙයි. (තණපියස්සේ තණකොළ (පිදුරු) වැටීමෙන් ගිනිහල් ගෙය( බිම හැඩි වෙයි.) “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළත පිටත බදාම ආලේප කරන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTජන්තාඝරං චික්ඛල්ලං හොති. “අනුජානාමි භික්ඛවෙ සන්ථරිතුං තයො සන්ථරෙ{4}: ඉට්ඨකාසන්ථරං සිලාසන්ථරං දාරුසන්ථරන්ති.” චික්ඛල්ලඤ්ඤෙව හොති. “අනුජානාමි භික්ඛවෙ ධොවිතුන්ති.”
Sinhala BJTගිනිහල් ගෙය මඩ සහිත වෙයි. “ගඩොළු ඇතුරුම ගල් ඇතුරුම දඬු ඇතුරුම යන ඇතුරුම් තුන අනුදනිමි” යි වදාළ සේක. (එහෙත්) මඩ සහිත ම වේ. “මහණෙනි, (බිම) සෝදන්නට අනුදනිමි” යි වදාළසේක.
Pali BJTඋදකං සන්තිට්ඨති, “අනුජානාමි භික්ඛවෙ උදකනිද්ධමනන්ති.”
Sinhala BJTදිය රැඳී සිටී. “මහණෙනි, දිය පිටව යන්නට සොරොව්වක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ ජන්තාඝරෙ ඡමාය නිසීදන්ති. ගත්තානි කණ්ඩූවන්ති. “අනුජානාමි භික්ඛවෙ ජන්තාඝරපීඨන්ති”.
Sinhala BJTඑ සමයෙහි මහණහු ගිනිහල් ගෙහි බිමැ හිඳිත්. ගාත්‍රයෝ (ශාරීරායවයෝ) කසත්. “මහණෙනි ගිනිහල් පුටුවක් අනුදනිමි” යි වදාළසේක.
Pali BJT85. තෙන ඛො පන සමයෙන ජන්තාඝරං අපරික්ඛිත්තං හොති. “අනුජානාමි භික්ඛවෙ පරික්ඛිපිතුං, තයො පාකාරෙ ඉට්ඨකාපාකාරං, සිලාපාකාරං දාරුපාකාරන්ති.”
Sinhala BJT85. එ සමයෙහි ගිනිහල් ගෙය (කිසිවෙකිනුත්) වටින් නො අවුරන ලද්දේ වෙයි. “මහණෙනි, ගඩොළු පවුර, ගල්පවුර, දඬු පවුර (ලීවැට) යන තුන් පවුරු වටා ලන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකොට්ඨකො න හොති. “අනුජානාමි භික්ඛවෙ කොට්ඨකන්ති.”
Sinhala BJTදොරැ කොටුවෙක් නො වෙයි. “මහණෙනි, කොටුවක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකොට්ඨකො නීචවත්ථුකො හොති, උදකෙන ඔත්ථරියති. “අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
Sinhala BJTකොටුව පහත් බිමක් ඇත්තේ වෙයි. දියෙන් යට වෙයි. “මහණෙනි, උස් බිම් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචයො පරිපතති “අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJTබිම උස් කරන්නට ගොඩ ගැසූ පස ගිලිහී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල්බැම්ම, දඬුබැම්ම යන තුන් බැඳුම් ගොඩවල් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති. “අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ ඉට්ඨකාසොපාණං සිලාසොපාණං, දාරුසොපාණන්ති”.
Sinhala BJT(දොරැ කොටුවට) නඟින්නාහු වෙහෙසෙත්, “ගඩොළු හිණ ගල් හිණ දඬුහිණ යන හිණි තුන අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති. “අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
Sinhala BJT(දොරැ කොටුවට) නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකොට්ඨකස්ස කවාටං න හොති. “අනුජානාමි භික්ඛවෙ කවාටං පිට්ඨසඞ්ඝාටං උදුක්ඛලිකං උත්තරපාසකං අග්ගලවට්ටිං කපිසීසකං සූචිකං ඝටිකං තාලච්ඡිද්දං ආවිඤ්ජනඡිද්දං ආවිඤ්ජනරජ්ජුන්ති.”
Sinhala BJTදොරැ කොටුවට කවුළුවෙක් නො වෙයි. “මහණෙනි, කවුළුව, දොරබාව, වටෙවුලීය, උතුරුලීය දොරපොල්ල, අගුළුකණුව, යතුරු ලීය, තරංකය, කෙසි සිදුර, අදිනා ලනුව බහාලන සිදුර, අදනා ලනුව අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTකොට්ඨකෙ තිණචුණ්ණං පරිපතති. “අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකන්ති.
Sinhala BJTකොටුවෙහි තණසුණු (පිදුරුරොඩු) ගිලිහී වැටෙයි “මහණෙනි, ඝණ ලී අතුරා සුදුපැහැති හෝ කළු පැහැති හෝ බදාම ආලේප කරන්නට ගුරුපිරියම් කරන්නට, (එහි) මාලාකර්‍ම ලතාකර්‍ම මකරදන්තක (මුවරදැති සටහන්) පඤ්චපටිකා (දැහිඟුල් ඈ පස්වණක්පැහැ) කරන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTපරිවෙණං චික්ඛල්ලං හොති. “අනුජානාමි භික්ඛවෙ මරුම්බං උපකිරිතුන්ති.”
Sinhala BJT“(ගිනිගල් ගෙය වටා ලූ පවුරෙන්) ඇතුළත බිම මඩ සහිත වෙයි. කුඩා ගල් කැබැලි (බොරළු) ඉසිරුවන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTන පරියාපුණන්ති. “අනුජානාමි භික්ඛවෙ පදරසිලං නික්ඛිපිතුන්ති.” උදකං සන්තිට්ඨති. “අනුජානාමි භික්ඛවෙ උදකනිද්ධමනන්ති.”
Sinhala BJTගල් කැබැලි නො සෑහෙයි, “මහණෙනි, ගල්පුවරු බහා ලන්නට අනුදනිමි” යි වදාළ සේක. (එහෙත්) දිය රැඳී සිටි. “මහණෙනි, සොරොව්වක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT86. තෙන ඛො පන සමයෙන භික්ඛූ නග්ගා නග්ගං අභිවාදෙන්ති. නග්ගා නග්ගං අභිවාදාපෙන්ති. නග්ගා නග්ගස්ස පරිකම්මං කරොන්ති. නග්ගා නග්ගස්ස පරිකම්මං කාරාපෙන්ති{1}. නග්ගා නග්ගස්ස දෙන්ති. නග්ගා පටිගණ්හන්ති{2}. නග්ගා ඛාදන්ති. නග්ගා භුඤ්ජන්ති. නග්ගා සායන්ති. නග්ගා පිවන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ නග්ගෙන නග්ගො අභිවාදෙතබ්බො. යො අභිවාදෙය්ය ආපත්ති දුක්කටස්ස. න නග්ගෙන නග්ගො අභිවාදාපෙතබ්බො -පෙ- න නග්ගෙන අභිවාදෙතබ්බං -පෙ- න නග්ගෙන අභිවාදාපෙතබ්බං -පෙ- න නග්ගෙන නග්ගස්ස පරිකම්මං කාතබ්බං -පෙ- න නග්ගෙන නග්ගස්ස පරිකම්මං කාරාපෙතබ්බං -පෙ- න නග්ගෙන නග්ගස්ස දාතබ්බං -පෙ- න නග්ගෙන පටිග්ගහෙතබ්බං -පෙ- න නග්ගෙන ඛාදිතබ්බං -පෙ- න නග්ගෙන භුඤ්ජිතබ්බං -පෙ- න නග්ගෙන සායිතබ්බං -පෙ- න නග්ගෙන පාතබ්බං යො පිවෙය්ය ආපත්ති දුක්කටස්සාති.
Sinhala BJT86. එ සමයෙහි මහණහු තුමූ නග්න වූවාහු නග්න මහණක්හු වඳිත්. නග්නවූවාහු අනෙකකු ලවා නග්න මහණකුට වන්දවත්. නග්න වූවාහු නග්න මහණකුට සිරුරු පිරියම් කරත්, නග්න වූවාහු නග්නමහණකුට සිරුරු පිරියම් කරවත්. නග්න වූවාහු නග්න මහණකුට (ආහාරාදිය) දෙත්. නග්න වූවාහු පිළිගනිත්. නග්න වූවාහු කත්, නග්න වූවාහු බුදිත්, නග්න වූවාහු රස විඳිත්. නග්න වූවාහු බොත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, නග්න වැ නග්නයෙක් නො වැන්ද යුතු, නග්න වැ නග්නයකු වඳිනේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. නග්නයෙක් නග්නයකු ලවා නො වැන්දවියැ යුතු ... තමා නග්න වැ කවරෙක් හෝ නො වැන්ද යුතු ... නග්නයකු ලවා නො වැන්දවියයුතු ... නග්න වූවහු විසින් නග්නයකුහට පිරියම් නො කටයුතු ... නග්න වූවහු විසින් නග්නයකුට පිරියම් නො කැරැවියයුතු ... නග්න වූවහු විසින් නග්නයක්හට (කිසිත්) නො දියැයුතු ... නග්න වැ නො පිළිගතයුතු ... නග්න වැ නො කෑයුතු ... නග්න වැ නො බුදියයුතු ... නග්න වැ රස නො වින්ද යුතු ... නග්න වැ නො පියැ යුතු. යමෙක් බොන්නේ නම්, දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT87. තෙන ඛො පන සමයෙන භික්ඛූ ජන්තාඝරෙ ඡමාය චීවරං නික්ඛිපන්ති. චීවරං පංසුකිතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ජන්තාඝරෙ චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJT87. එ සමයෙහි වනාහි මහණහු ගිනිහල්ගෙහි බිම සිවුරු තබත්. සිවුරු පස් තැවරුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිනිහල්ගෙහි සිවුරු එල්ලා තබන්නට ලීයක්ද සිවුරු රැහැනක් ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTදෙවෙ වස්සෙන්තෙ චීවරං ඔවස්සති. “අනුජානාමි භික්ඛවෙ ජන්තාඝරසාලන්ති.”
Sinhala BJTවැසි වස්නා කල්හි සිවුරු තෙමෙයි. “මහණෙනි, ගිනිහල් ගෙට සිවුරු තබන්නට ශාලාවක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTජන්තාඝරසාලා නීචවත්ථුකා හොති, උදකෙන ඔත්ථරියති. -පෙ- “අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
Sinhala BJTගිනිහල්ගෙයි සිවුරු තබන ශාලාව පහත් බිමක් ඇතියේ වෙයි. වතුරට යට වෙයි. “මහණෙනි, උස් බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචයො පරිපතති. අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ -පෙ- ආරොහන්තා විහඤ්ඤන්ති -පෙ- ආරොහන්තා පරිපතන්ති. “අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
Sinhala BJTබිම උස්කරන්නට ගොඩ ගැසූ පස් ගිලිහී වැටීයෙයි. “මහණෙනි ... තුන් බැඳුම් බඳින්නට අනුදනිමි” යි වදාළ සේක. නඟින්නාහු වෙහෙසෙත්. නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTජන්තාඝරසාලාය තිණචුණ්ණං පරිපතති. “අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං -පෙ- චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJTගිනිහල් ගෙහි සිවුරු තබන ශාලායෙහි තණරොඩු ගිලිහී වැටෙයි “මහණෙනි, පියස්ස ඝන ලී යොදා තනා, සුදුපැහැති කොට, කළු පැහැති කොට, ගුරු පිරියම් ඇති කොට හෝ ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට, එහි මාලාකම්, ලතාකම්, මකරදන්තක චිත්‍ර පඤ්චපටිකා හෝ කරන්නට අනුදනිමි ... සිවුරු එල්ලන ලීයක් ද සිවුරු එල්ලන රැහැනක් ද අනුදනිමි “යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛූ ජන්තාඝරෙපි උදකෙපි පරිකම්මං කාතුං කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ තිස්සො පටිච්ඡාදියො ජන්තාඝරපටිච්ඡාදිං උදකපටිච්ඡාදිං වත්ථපටිච්ඡාදින්ති.”
Sinhala BJTඑ සමයෙහි මහණහු නග්න වැ ගිනිහල් ගෙහි ද දියෙහි ද (සිරුරු) පිරියම් කරන්නට කුකුස් කරත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිනිහල්ගෙට පිවිසීම නමැති වැස්ම ද දියට බැසීම නමැති වැස්ම ද වස්‍ත්‍රයෙන් ඇඟ වසාගැන්ම නමැති වැස්ම දැ යි තුන් වැසුම් අනුදනිමියි” වදාළ සේක.
Pali BJT88. තෙන ඛො පන සමයෙන ජන්තාඝරෙ උදකං න හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උදපානන්ති.”
Sinhala BJT88. එ සමයෙහි ගිනිහල්ගෙහි ජලය නැත. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ළිඳක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTඋදපානස්ස කූලං ලුජ්ජති. “අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ: ඉට්ඨකාචයං, සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJTළිඳේ ඉවුර කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල් බැම්ම, දඬුබැම්ම, යන බැඳුම් තුන අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTඋදපානො නීචවත්ථුකො හොති. උදකෙන ඔත්ථරීයති. “අනුජානාමි භික්ඛවෙ උච්චවත්ථුකං කාතුන්ති.”
Sinhala BJTළිඳ පහත් බිමක් ඇතියේ වෙයි. දියෙන් වැසෙයි. “මහණෙනි, උස් බිම් ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා බිම උස්සන්නට) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචයො පරිපතති -පෙ- ආරොහන්තා විහඤ්ඤන්ති -පෙ- ආරොහන්තා පරිපතන්ති. “අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
Sinhala BJTගොඩ ගැසූ පස් රැස ඇද හැලෙයි ... එයට නඟින්නාහු වෙහෙසෙත් ... නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල (ගරාදිවැට) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT89. තෙන ඛො පන සමයෙන භික්ඛූ වල්ලියාපි කායබන්ධනෙනපි උදකං වාහෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උදකවාහනරජ්ජුන්ති.”
Sinhala BJT89. එ සමයෙහි මහණහු වැලින් ද කාබහනින් ද (කයැ බඳනා පටියෙන් ද) දිය අදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, දිය අදනා කඹයක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTහත්ථා දුක්ඛා හොන්ති. “අනුජානාමි භික්ඛවෙ තුලං කරකටකං චක්කවට්ටකන්ති.”
Sinhala BJTඅත් පෙළෙන්නෝ වේ. “මහණෙනි, තුලාව (ආඬියා) ද කරකටකය ද (අතින් හෝ ගවයන් ලවා හෝ ඈතට ඇදගෙන යෑමෙන් දිය අදනා යන්ත්‍රය ද) චක්‍රවර්තය (ඝටී යන්ත්‍රය) ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTභාජනා බහූ භිජ්ජන්ති. “අනුජානාමි භික්ඛවෙ තයො වාරකෙ ලොහවාරකං දාරුවාරකං චම්මඛණ්ඩන්ති.”
Sinhala BJTබොහෝ බඳුන් බිඳේ. “මහණෙනි, ලොහොමුවා කළය ද දඬුමුවා කළය ද සම් කඩින් කළ භාජනය ද යන තුන් කළ අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT90. තෙන ඛො පන සමයෙන භික්ඛූ අජ්ඣොකාසෙ උදකං වාහන්තො සීතෙනපි උණ්හෙනපි කිලමන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උදපානසාලන්ති.”
Sinhala BJT90. එ සමයෙහි මහණහු එළිමහන් බිමෙහි දිය අදනාහු (ශීත ඍතුයෙහි) ශීතයෙන් ද (උෂ්ණ ඍතුයෙහි) උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට , මෙ පවත් සැලකළහ. “මහණෙනි, ළින් හලක් අනුදනිමි’ යි වදාළ සේක.
Pali BJTඋදපානසාලාය තිණචුණ්ණං පරිපතති. “අනුජානාමි භික්ඛවෙ ඔගුම්බෙත්වා උල්ලිත්තාවලිත්තං කාතුං සෙතවණ්ණං කාළවණ්ණං ගෙරුකපරිකම්මං මාලාකම්මං ලතාකම්මං මකරදන්තකං පඤ්චපටිකං චීවරවංසං චීවරරජ්ජුන්ති.”
Sinhala BJTළින්හලෙහි තණරොඩු වැටෙයි. “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් බදාම ආලේප කරන්නට, සුදු පැහැ කළු පැහැ කරන්නට, ගුරු පිරියම් කරන්නට, මල්කම් ලියකම් කරන්නට, මුවරදැති හෝ සිතියම් කරන්නට, දෑහිඟුල් ආදියෙන් පස් වණක් පැහැ කරන්නට” අනුදනිමි. සිවුරු වනන දණ්ඩ ද සිවුරු වනන ලනුව ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTඋදපානො අපාරුතො හොති. තිණචුණ්ණෙහිපි පංසුකෙහිපි ඔකිරියති. “අනුජානාමි භික්ඛවෙ අපිධානන්ති.”
Sinhala BJTළිඳ නො වසන ලද්දේ වේ. තණරොඩු වලින්ද දූවිල්ලෙන් ද වැසෙයි. “මහණෙනි, (ළිඳ වසා තබන්නට) වැස්මක් (පියනක්) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTඋදකභාජනං න සංවිජ්ජති. “අනුජානාමි භික්ඛවෙ උදකදොණිං උදකකටාහන්ති.”
Sinhala BJTළින්හලෙහි දියබඳුනෙක් නැත. “මහණෙනි, දියඔරුව ද දිය කටාරම ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT91. තෙන ඛො පන සමයෙන භික්ඛූ ආරාමෙ තහං තහං නහායන්ති. ආරාමො චික්ඛල්ලො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ චන්දනිකන්ති.”
Sinhala BJT91. එ සමයෙහි මහණහු අරමෙහි ඒ ඒ තැන නාත්. අරම මඩ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, (නාන පිණිස) වළක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචන්දනිකා අපාරුතා{1} හොති. භික්ඛූ හිරීයන්ති නහායිතුං. “අනුජානාමි භික්ඛවෙ පරික්ඛිතුං තයො පාකාරෙ ඉට්ඨකාපාකාරං සිලාපාකාරං දාරුපාකාරන්ති.”
Sinhala BJTනාන වළ වටින් නො හැවුරුණේ වෙයි. මහණහු නාන්නට ලජ්ජිත වෙත්. “මහණෙනි, ගඩොළු පවුර, ගල් පවුර, දඬුපවුර, යන පවුරු තුන අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTචන්දනිකා චික්ඛල්ලා හොති. “අනුජානාමි භික්ඛවෙ සන්ථරිතුං තයො සන්ථරෙ{2} ඉට්ඨකාසන්ථරං සිලාසන්ථරං දාරුසන්ථරන්ති.”
Sinhala BJTනාන වළ මඩ සහිත වෙයි. “මහණෙනි, ගඩොළු ඇතුරුම, ඇතුරුම, ලී ඇතුරුම යන තුන් ඇතුරුම් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTඋදකං සන්තිට්ඨති. “අනුජානාමි භික්ඛවෙ උදකනිද්ධමනන්ති.”
Sinhala BJTදිය ගලා නො ගොස් රැඳෙයි. “මහණෙනි, දිය ගලා යනු පිණිස සොරොව්වක් (තනන්නට) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT92. තෙන ඛො පන සමයෙන භික්ඛූනං ගත්තානි සීතිකානි හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ උදකපුඤ්ජචොලකෙන පි පච්චුද්ධරිතුන්ති.”
Sinhala BJT92. එ සමයෙහි භික්‍ෂුන්ගේ සිරුරු ශීතල වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, දිය පිසිනා රෙදි කඩෙකින් පිස දිය ඉවත් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො සඞ්ඝස්ස අත්ථාය පොක්ඛරණිං කාරෙතුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ පොක්ඛරණින්ති.”
Sinhala BJTඑ සමයෙහි එක්තරා උවසුවෙක් සඞ්ඝයා සඳහා පොකුණක් කරවනු කැමැත්තේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, පොකුණක් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTපොක්ඛරණියා කූලං ලුජ්ජති. “අනුජානාමි භික්ඛවෙ චිනිතුං තයො චයෙ ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.”
Sinhala BJTපොකුණේ ඉවුර කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල් බැම්ම, දඬු බැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරොහන්තා විහඤ්ඤන්ති. “අනුජානාමි භික්ඛවෙ තයො සොපාණෙ ඉට්ඨකාසොපාණං සිලාසොපාණං, දාරුසොපාණන්ති.”
Sinhala BJTනඟින්නාහු වෙහෙසෙත්. “මහණෙනි, ගඩොළුහිණ ද ගල් හිණ ද දඬුහිණ ද යන හිණ තුන අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTආරොහන්තා පරිපතන්ති. “අනුජානාමි භික්ඛවෙ ආලම්බනබාහන්ති.”
Sinhala BJTනඟින්නාහු වැටෙත්. “මහණෙනි, ඇත්වැලක් (ගරාදි වැටක්) අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTපොක්ඛරණියා උදකං පුරාණං හොති. “අනුජානාමි භික්ඛවෙ උදකමාතිකං උදකනිද්ධමනන්ති.”
Sinhala BJTපොකුණෙහි දිය පරණ වෙයි. “මහණෙනි, (පිටතින්) දිය ගලා ඊමට ඇළක් ද දිය පිට වීමට සොරොව්වක් ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස අත්ථාය නිල්ලෙඛං ජන්තාඝරං කත්තුකාමො හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ නිල්ලෙඛං ජන්තාඝරන්ති.”
Sinhala BJTඑ සමයෙහි එක්තරා මහණෙක් සඞ්ඝයාගේ පුයෝජනය පිණිස කැණිමඬල වටා සතරැස් පුවරු ආදිය සවිකොට කළ පියසි සහිත ගිනිහල් ගෙයක් කරන්නට කැමැති වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, කැණිමඬල වටා සතරැස් පුවරු ආදිය තබා කළ පියැසි සහිත ගිනිහල්ගෙය අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT93. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ චාතුමාසං නිසීදනෙන විප්පවසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං “න භික්ඛවෙ චාතුමාසං නිසීදනෙන විප්පවසිතබ්බං. යො විප්පවසෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT93. එ සමයෙහි සවග මහණහු සාරමසක් හිඳිනා කඩෙන් වෙන් වැ වෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, සාරමසක් හිඳින කඩින් වෙන් වැ නො විසියැ යුතු, යමෙක් (එසේ) එයින් වෙන් වැ වසන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT94. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පුප්ඵාභිකිණ්ණෙසු සයනෙසු සයන්ති මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ පුප්ඵාභිකිණ්ණෙසු සයනෙසු සයිතබ්බං. යො සයෙය්ය ආපත්ති දුක්කටස්සා”ති .
Sinhala BJT94. එ සමයෙහි සවග මහණහු මල් විසුළ යහන්හි වැදහොත්. මිනිස්සු විහාර චාරිකායෙහි ඇවිදුනාහු එය දැක “කාමභෝගී ගිහියන් බඳුහ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ කතා පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, මල් විසුළ යහන්හි නො සැතැපියැ යුතු. යමෙක් එහි සැතැපෙන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන මනුස්සා ගන්ධම්පි මාලම්පි ආදාය ආරාමං ආගච්ඡන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා න පටිගණ්හන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ ගන්ධං ගහෙත්වා කවාටෙ පඤ්චඞ්ගුලිකං දාතුං, පුප්ඵං ගහෙත්වා විහාරෙ එකමන්තං නික්ඛිපිතුන්ති.”
Sinhala BJTඑ සමයෙහි මිනිස්සු සුවඳ දෑ ද මල් ද ගෙන ආරාමයට එත්. මහණහු කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, සුවඳ දෑ පිළිගෙන කවුළුයෙහි (දොර පළුවෙහි) පසඟුල් දෙන්නට ද මල් පිළිගෙන වෙහෙරෙහි එක් පැත්තෙක තබන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
Pali BJT95. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස නමතකං උප්පන්නං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ නමතකන්ති.”
Sinhala BJT95. එ සමයෙහි සඞ්ඝයාට නමතකයෙක් (එළුලොමින් කළ නො වියන ලද ඇතිරියක් හෝ සම්කඩක් සේ පරිභෝග කළ යුතු උපකරණයෙක්) උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ බවත් සැලකළහ. “මහණෙනි, නමතකය අනුදනිමි” යි වදාළ සේක.
Pali BJTඅථ ඛො භික්ඛූනං එතදහොසි: ‘නමතකං අධිට්ඨාතබ්බං නු ඛො උදාහු විකප්පෙතබ්බන්ති.’ “න භික්ඛවෙ නමතකං අධිට්ඨාතබ්බං, න විකප්පෙතබ්බන්ති.”
Sinhala BJTඑ කල්හි මහණුනට ‘නමතකය ඉටියැ යුතු ද නොහොත් විකැපිය යුතු ද’ යි මේ සිත විය. “මහණෙනි, නමතකය නො ඉටියැ යුතු, නො ද විකැපියැ යුතු යැ’ යි වදාළ සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ආසිත්තකූපධානෙ භුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ ආසිත්තකූපධානෙ භුඤ්ජිතබ්බං. යො භුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති .
Sinhala BJTඑ සමයෙහි සවග මහණහු තමෙන් හෝ රිදියෙන් කළ පේලායෙහි (පෙට්ටියක් වැනි උපකරණයෙක්හි) වළඳත්. මිනිස්සු “මොහු කාමභෝගී ගිහියන් බඳුවහ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. මහණෙනි, තඹින් හෝ රිදියෙන් කළ පේළායෙහි නො වැළඳිය යුතු යැ’ යි වදාළ සේක.
Pali BJT96. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. සො භුඤ්ජමානො න සක්කොති හත්ථෙන පත්තං සන්ධාරෙතුං. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ මළොරිකන්ති.”
Sinhala BJT96. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. හේ වළඳනුයේ අතින් පාත්‍රය දරා ගන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, දණ්ඩකාධාරකයක් (ලීයෙන් කළ පාත්‍රාධාරකයක්) අනුදනිමි’ යි වදාළ සේක.
Pali BJT97. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ එකභාජනෙ පි භුඤ්ජන්ති. එකථාලකෙ පි පිවන්ති. එකමඤ්චෙ පි තුවට්ටෙන්ති. එකත්ථරණා{1} පි තුවට්ටෙන්ති. එකපාපුරණා{2} පි තුවට්ටෙන්ති. එකත්ථරණාපාපුරණා පි තුවට්ටෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘සෙය්යථාපි ගිහී කාමභොගිනො’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං, “න භික්ඛවෙ එකභාජනෙ භුඤ්ජිතබ්බං. න එකථාලකෙ පාතබ්බං. න එකමඤ්චෙ තුවට්ටිතබ්බං. න එකත්ථරණෙ තුවට්ටිතබ්බං. න එකපාපුරණෙපි තුවට්ටිතබ්බං. න එකත්ථරණපාපුරණෙපි තුවට්ටිතබ්බං. යො තුවට්ටෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT97. එ සමයෙහි සවග මහණහු එක් බඳුනෙහි වැළඳීම ද කරත්, එක් තලුතැටියෙහි පැන් පීම ද කෙරෙත්, එක් ඇඳෙහි වැද හෝනාහු ද වෙත්, එක් ඇතිරියක් ඇත්තාහු ද (එක් ඇතිරියෙහි ද) වැදහොත්, (සැතපෙත්) එක් පොරෝනාවක් ඇත්තාහු ද වැදහොත් (සැතපෙත්). ‘කාමභෝගී ගිහියන් බඳුවහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, අගුණ පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, එක් බඳුනෙහි නො වැළඳියැ යුතු, එක් තලු තැටියෙහි නො පියැ යුතු, එක් ඇඳෙහි නො වැදැහියැයුතු, එක් ඇතිරියක් ඇත්තවුන් වැ නො වැද හියැයුතු, එක් පොරෝනාවක් ඇත්තවුන් වැ නො වැදැහියැ යුතු, එක් ඇතිරියක් එක් පොරෝනාවක් ඇත්තවුන් වැ නො වැද හියැ යුතු, යමෙක් එසේ වැදහොන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT98. තෙන ඛො පන සමයෙන වඩ්ඪො ලිච්ඡවී මෙත්තියභුම්මජකානං භික්ඛූනං සහායො හොති. අථ ඛො වඩ්ඪො ලිච්ඡවී යෙන මෙත්තියභුම්මජකා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: ‘වන්දාමි අය්යා’ති. එවං වුත්තෙ මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. දුතියම්පි ඛො වඩ්ඪො ලිච්ඡවී මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච. ‘වන්දාමි අය්යා’ති. දුතියම්පි ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. තතියම්පි ඛො වඩ්ඪො ලිච්ඡවී මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: ‘වන්දාමි අය්යා’ති. තතියම්පි ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. “ක්යාහං අය්යානං අපරජ්ඣාමි? කිස්ස මං අය්යා නාලපන්තී”ති. “තථා හි පන ත්වං ආවුසො වඩ්ඪ අම්හෙ දබ්බෙන මල්ලපුත්තෙන විහෙඨියමානෙ අජ්ඣුපෙක්ඛසී?ති”
Sinhala BJT98. එ සමයෙහි වඩ්ඪ නම් ලිචඡවී තෙම මෙත්තිය භූම්මජක යන භික්‍ෂුදෙනමගේ යහළුවෙක් වෙයි. එ කලැ වඩ්ඪ ලිචඡවී තෙම මෙත්තිය භූම්මජක දෙ නම කරා එළැඹියේ ය. එළැඹ, ‘ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කීය. මෙසේ කී කල මෙත්තිය භූම්මජක දෙ නම කිසිත් නො කීහ. දෙවෙනි වර ද වඩ්ඪ ලිචඡවී තෙම ‘ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කී ය. දෙවෙනි වර ද මෙත්තිය භූම්මජක දෙ නම කිසිත් නො කීහ. තෙවෙනි වර ද වඩ්ඪ ලිචඡවී තෙම ආර්‍ය්‍යයෙනි, වඳිමි’ යි කී ය. තෙවෙනි වර ද ඔහු නිහඬ වූහ. ‘ආර්‍ය්‍යයනට මම් කවර වරදක් කෙරෙම් ද? කුමට ආර්‍ය්‍යයෝ මට නො දොඩත් දැ?’ යි හේ ඇසී ය. “එසේ ම ය, ඇවැත් වඩ්ඪයිනි, මල්ලරාජපුත්‍ර දබ්බයා විසින් පෙළනු ලබන අප නො තකා උදාසීන වූහු” යැ යි ඔහු කීහු.
Pali BJT‘ක්යාහං අය්යා කරොමී?”ති
Sinhala BJT‘ආර්‍ය්‍යයෙනි, මම් කුමක් කරන්නෙම් දැ?’ යි. වඩ්ඪ පුළුවුත.
Pali BJT‘සචෙ ඛො ත්වං ආවුසො වඩ්ඪ, ඉච්ඡෙය්යාසි, අජ්ජෙව භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං නාසාපෙය්යා’ති.
Sinhala BJT‘ඉදින් වඩ්ඪයෙනි, තෙපි කැමැති වන්නහු නම්, අද ම භාග්‍යවතුන් වහන්සේ මල්ලපුත්‍ර දබ්බයා මෙ සස්නෙන් පලවා හරින්නේ යැ’ යී ඔහු කීහ.
Pali BJT‘ක්යාහං අය්යා කරොමි? කිං මයා සක්කා කාතුන්ති’
Sinhala BJT‘ආර්‍ය්‍යයෙනි, මම් කුමක් කරන්නෙම් ද? කුමක් මා විසින් කරන්නට හැකි දැ?’ යි. වඩ්ඪ පුළුවුත.
Pali BJT‘එහි ත්වං ආවුසො වඩ්ඪ, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා භගවන්තං එවං වදෙහි: “ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා. යතො නිවාතං, තතො පවාතං උදකං මඤ්ඤෙ ආදිත්තං. අය්යෙන මෙ දබ්බෙන මල්ලපුත්තෙන පජාපති දූසිතා”ති.
Sinhala BJT“ඇවැත් වඩ්ඪයිනි, තෙපි මෙහි එවු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹැ, ‘වහන්ස, යම් දිසාවක් බිය නැති, පීඩා නැති, උවදුරු නැති වියැ යුතු ද, ඒ මේ දිශාව බිය සහිත ද පීඩා සහිත ද උවදුරු සහිත ද වෙයි. යම් දෙසෙක මඳකුත් සුළං නැත් ද එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. මල්ල පුත්‍ර දබ්බයන් වහන්සේ විසින් මගේ භාර්‍ය්‍යාව දූෂිත විය. වහන්ස, මෙය නො නිසි ය, මෙය නො සුදුසු යැ’ යි කියන්නැ” යි ඔහු කීහු,
Pali BJT‘එවං අය්යා’ති ඛො වඩ්ඪො ලිච්ඡවී මෙත්තියභුම්මජකානං භික්ඛූනං පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වඩ්ඪො ලිච්ඡවී භගවන්තං එතදවොච: “ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං, යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා, යතො නිවාතං තතො පවාතං උදකං මඤ්ඤෙ ආදිත්තං. අය්යෙන මෙ දබ්බෙන මල්ලපුත්තෙන පජාපති දූසිතා”ති.
Sinhala BJT‘එසේ යැ ආර්‍ය්‍යයෙනි’ යි කියා වඩ්ඪ ලිච්ඡවී තෙම මෙත්තිය භූම්මජක මහණුනට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හුන්නේ ම “වහන්ස, යම් දිශාවක් බිය නැති, පීඩා නැති, උවදුරු නැති වියැ යුතු ද ඒ මේ දිශාව බිය සහිත ද පීඩා සහිත ද උවදුරු සහිත ද වෙයි. යම් දෙසෙක මඳකුත් හුළං නැද්ද, එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. මල්ලපුත්‍ර දබ්බයන් වහන්සේ විසින් මගේ භාර්‍ය්‍යාව දූෂිත විය. වහන්ස, මෙය නො නිසි යැ. මෙය නො සුදුසු යැ” යි භාග්‍යවතුන් වහන්සේට කීය.
Pali BJTඅථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං පටිපුච්ඡි: “සරසි ත්වං දබ්බ එවරූපං කත්තා යථායං වඩ්ඪො ආහා?”ති.
Sinhala BJTඑ කලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා, ආයුෂ්මත් දබ්බ තෙරුන් බණවා, “දබ්බයිනි, මේ වඩ්ඪ ලිච්ඡවීන් කියන සේ වූ දැයක් තෙපි සිහි කරවු ද?” යි පුළුවුත් සේක.
Pali BJT“යථා මං භන්තෙ භගවා ජානාතී”ති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද මම් එබඳුයෙමි” යි ආයුෂ්මත් දබ්බ තෙරණුවෝ වදාළාහ.
Pali BJTදුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “සරසි ත්වං දබ්බ එවරූපං කත්තා යථායං වඩ්ඪො ආහා”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද ... තෙවෙනි වර ද “දබ්බයිනි, මේ වඩ්ඪ ලිච්ඡවීන් කියන සේ වූ දැයක් කළා තෙපි සිහි කරවු දැ?” යි පුළුවුත් සේක.
Pali BJTයථා මං භන්තෙ භගවා ජානාතී”ති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද මම් එසේ වෙමි” යි දබ්බ තෙරණුවෝ වදාළාහ.
Pali BJT“න ඛො දබ්බ දබ්බා එවං නිබ්බෙඨෙන්ති. සචෙ තයා කතං කතන්ති වදෙහි. සචෙ අකතං අකතන්ති වදෙහී”ති.
Sinhala BJT“දබ්බයෙනි, නුවණැත්තෝ මෙසේ අවුල් නිරවුල් නො කරත්, ඉඳින් තොප විසින් කරන ලද්දේ නම් ‘කරන ල දැ’ යි කියවු. ඉඳින් නො කරන ලද්දේ නම්, ‘නො කරන ල දැ’ යි කියවු” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“යතොහං භන්තෙ ජාතො, නාභිජානාමි සුපිනන්තෙන’පි මෙථුනං ධම්මං පටිසෙවිතා, පගෙව ජාගරො”ති.
Sinhala BJT“වහන්ස, මම් , යම් දිනෙක (ආර්‍ය ජාතියෙහි) උපන්නෙම් ද, එ තැන් සිට ස්වප්නාන්තයෙනු දු මෙවුන්දම් සෙවියෙකිමි යි නො දනිමි. නින්දෙන් පිබිද සිටින්නෙම් (එබන්දක් කෙළෙම් යැ) යනු කියනුම කවරේ දැ” යි තෙරණුවෝ වදාළාහ.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ සඞ්ඝො වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තං නික්කුජ්ජතු අසම්භොගං සඞ්ඝෙන කරොතු. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො නික්කුජ්ජිතබ්බො: භික්ඛූනං අලාභාය පරිසක්කති, භික්ඛූනං අනත්ථාය පරිසක්කති, භික්ඛූනං අවාසාය පරිසක්කති. භික්ඛූ අක්කොසති පරිභාසති. භික්ඛූ භික්ඛූහි භෙදෙති. බුද්ධස්ස අවණ්ණං භාසති. ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවෙ ඉමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං නික්කුජ්ජිතුං.
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිචඡවී හට පත්තනික්කුජ්ජනය (පාත්‍රය යැටිකුරු කිරීම - ඔහුගේ ගෙයින් භික්‍ෂාව නො පිළිගැන්මේ සම්මතිය) කෙරේවා, ඔහු සංඝයා හා සම්භෝග නැත්තකු කෙරේවා (ඔහු දුන් දැයක් සංඝයා විසින් නො පිළිගත යුතු සේ වූ කෙනකු ලෙස සම්මත කෙරේවා). මහණෙනි, අඞ්ග අටෙකින් සමන්‍විත උපාසකයාට පත්තනික්කුජ්ජනය කළයුතු. (කවර අටකින් ද යත්:) භික්‍ෂූනට අලාභය පිණිස (ලැබෙන දෑ වළක්වන්නට) උත්සාහ කෙරෙයි ද, භික්‍ෂූනට අනර්‍ත්‍ථ පිණිස උත්සාහ කෙරෙයි ද, භික්‍ෂූනට ඔවුන් (වසනා තැන) නො විසීම පිණිස ප්‍රයෝග කෙරෙයි ද, භික්‍ෂූනට ආක්‍රෝශ පරිභව කෙරෙයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් බිඳුවයි ද, බුදුනට දොස් නගයි ද, ධමීයට දොස් නගයි ද, සඞ්ඝයාට දොස් නගයි ද මේ අඞ්ග අට ය. මහණෙනි, මේ අඞ්ග අටින් සමන්‍විත උපාසකයාට පත්තනික්කුජ්ජනය කෙරේවා.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ නික්කුජ්ජිතබ්බො: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTතවද මහණෙනි, මෙ මතු කියන පරිද්දෙන් පත්තනික්කුජ්ජනය කළ යුතු: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වීයැ යුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: වඩ්ඪො ලිච්ඡවී ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තං නික්කුජ්ජෙය්ය අසම්භොගං සඞ්ඝෙන කරෙය්ය”. එසා ඤත්ති.
Sinhala BJT“සඞ්ඝයා මගේ වචනය අසාවා. වඩ්ඪ ලිච්ඡවි තෙමේ ආයුෂ්මත් මල්ලපුත්‍ර දබ්බ තෙරුනට අමූලක වූ ශීලවිපතතියෙන් චෝදනා කෙරෙයි. ඉදින් සඞ්ඝයාට සුදුසු කල් වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන්නේ ය සඞ්ඝයා හා සමෙහාග නැත්තකු කරන්නේ ය.” මේ ඥප්තිය (දැනුම්දීම) යැ.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: වඩ්ඪො ලිච්ඡවී ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙති. සඞ්ඝො වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තං නික්කුජ්ජති. අසම්භොගං සඞ්ඝෙන කරොති. යස්සායස්මතො ඛමති වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තස්ස නික්කුජ්ජනා අසම්භොගං සඞ්ඝෙන කරණං, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්ය. නික්කුජ්ජිතො සඞ්ඝෙන වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තො අසම්භොගො සඞ්ඝෙන, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. වඩ්ඪ ලිච්ඡවී තෙමේ ආයුෂ්මත් මල්ලපුත්‍ර දබ්බ තෙරුනට අමූලක ශීලවිපතතියෙන් චෝදනා කෙරෙයි. සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කෙරෙයි. ඔහු සඞ්ඝයා හා සමෙහාග රහිතයක්හු කරයි. වඩ්ඪ ලිච්ඡවියාට පනතනික්කුජජනය කිරීම, ඔහු සඞ්ඝයා හා සමෙහාගය නැත්තක්හු කිරීම යම් ආයුෂ්මතකුට රිසියෙන්නේ නම් හේ නිහඬවේවා. යමකුහට නො රිසියෙන්නේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට සඞ්ඝයා හා සමෙහාගය නැති පත්තනික්කුජ්ජනය කරන ලද්දේ වෙයි. එය සචහයාට රිසියෙයි, එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි (පිළිගනිමි)” යනු යැ.
Pali BJT99. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන වඩ්ඪස්ස ලිච්ඡවිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා වඩ්ඪං ලිච්ඡවිං එතදවොච: “සඞ්ඝෙන තෙ ආවුසො වඩ්ඪ පත්තො නික්කුජ්ජිතො. අසම්භොගො’සි සඞ්ඝෙනා”ති. අථ ඛො වඩ්ඪො ලිච්ඡවී “සඞ්ඝෙන කිර මෙ පත්තො නික්කුජ්ජිතො අසම්භොගො’ම්හි කිර සඞ්ඝෙනා”ති තත්ථෙව මුච්ඡිතො පපති. අථ ඛො වඩ්ඪස්ස ලිච්ඡවිස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා වඩ්ඪං ලිච්ඡවිං එතදවොචුං: “අලං ආවුසො වඩ්ඪ, මා සොචි, මා පරිදෙවි. මයං භගවන්තං පසාදෙස්සාම භික්ඛුසඞ්ඝඤ්චා”ති.
Sinhala BJT99. එ කල්හි වනාහි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු සෙමෙහි හැඳ පෙරෙව ගෙන පාසිවුරු ගෙන වඩ්ඪ ලිවජවීහුගේ ගෙය වෙත එළඹුණාහ. එළැඹ වඩ්ඪ ලිචඡවියා බණවා, “ඇවැත් වඩ්ඪයිනි, සඞ්ඝයා විසින් ඔබට පත්තනික්කුජ්ජනය කරන ලදි. ඔබ , සඞ්ඝයා හා සමෙහාග නැත්තෙක් කරන ලදහ” යි වදාළාහ. එ කල්හි වඩ්ඪ ලිචඡවී තෙම “සඞ්ඝයා විසින් මට පත්තනික්කුජ්ජනය කර්‍මය කරන ලද්දේ ල, සඞ්ඝයා හා සමෙහාග නැතියෙකිම් වෙමි” යි කියා එහි ම මුසපත් වැ වැටිණ. ඉක්බිති වඩ්ඪ ලිචඡවීහුගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑසහලේ නෑයෝ ද වඩ්ඪ ලිචඡවියා බණවා, “ඇවැත් වඩ්ඪයිනි, ශෝක නො කරන්න, නො හඬන්න. අපි භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසඞ්ඝයා ද පහදවන්නම්හ” යි කීහ.
Pali BJTඅථ ඛො වඩ්ඪො ලිච්ඡවී සපුත්තදාරො සමිත්තාමච්චො සඤාතිසාලොහිතො අල්ලවත්ථො අල්ලකෙසො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යොහං අය්යං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙසිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පටිගණ්හාතු ආයතිං සංවරායා”ති.
Sinhala BJTඉක්බිත්තෙන් වඩ්ඪ ලිචඡවී තෙම අඹුදරුවන් සහිත වැ, මිත්‍රාමාත්‍යයන් සහිත වැ, නෑසහ ලේ නෑයන් සහිත වැ තෙත් වස්ත්‍ර ඇතියේ තෙත් කෙහෙ ඇතියේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ පාමුල හිසින් වැටී වැඳ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු වූ මම් ආර්‍ය වූ මල්ලපුත්‍ර දබ්බ තෙරුන් වහන්සේට අමූලක වූ ශීලවිපතතියෙන් චෝදනා කෙළෙම් ද, එසේ චෝදනා කළ හැකි පමණට ම මහත් අඥානයකු වූ බැවින්, එ පමණට ම මහත් සේ මුළා වූවකු බැවින්, එ පමණට ම කෞශල්‍ය නැත්තකු වූ බැවින් වරද මා ඉක්මැ ගියේ ය. (මම එ බඳු වරදකට යට වීමි). භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මතු එබඳු දැයින් වළකිනු පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක්වා (එය මාගේ වරද යැ යි මා කියන වචනය පිළිගන්නා සේක්වා)” යි. මේ වචන කී ය.
Pali BJT“තග්ඝ ත්වං ආවුසො වඩ්ඪ අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙසි. යතො ච ඛො ත්වං ආවුසො වඩ්ඪ අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පටිගණ්හාම. වුද්ධිහෙසා ආවුසො වඩ්ඪ අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජතී”ති.
Sinhala BJT“ඇවැත් වඩ්ඪයිනි, යම් බඳු වූ තෙපි යම් හෙයෙකින් මල්ලපුත්‍ර දබ්බයනට අමූලක ශීලවිපතතියෙන් චෝදනා කළහු ද, එහෙයින් ම ඒ වරද එසේ කිරීමට තරම් ම අඥාන වූ මුළා වූ කෞශල්‍ය රහිත වූ තොප ඉක්මැ ගියේ ය. ඇවැත් වඩ්ඪයිනි, යම් හෙයෙකින් ම තෙපි වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි (එයට) ප්‍රතිකර්‍ම කරවු ද එහෙයින් අපි තොපගේ ඒ (වරද පිළිගැන්මේ) වචනය පිළිගනිමු. වඩ්ඪයිනි, යමෙක් (තමා කළ) වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි එයට පිළියම් කරන්නේ නම්, මත්තෙහි සංවරයට පැමිණෙන්නේ නම්, මෙය ආර්‍ය විනයයෙහි වැඩීමෙකැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ සඞ්ඝො වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තං උක්කුජ්ජතු සම්භොගං සඞ්ඝෙන කරොතු. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො උක්කුජ්ජිතබ්බො: න භික්ඛූනං අලාභාය පරිසක්කති. න භික්ඛූනං අනත්ථාය පරිසක්කති. න භික්ඛූනං අවාසාය පරිසක්කති. න භික්ඛූ අක්කොසති පරිභාසති, න භික්ඛූ භික්ඛූහි භෙදෙති. න බුද්ධස්ස අවණ්ණං භාසති. න ධම්මස්ස අවණ්ණං භාසති. න සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවෙ ඉමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං උක්කුජ්ජිතුං.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිචඡවී හට පත්තඋක්කුජ්ජනය කෙරේවා (පත්තනික්කජජ්න කර්‍මය අවලංගු කෙරේ වා) ඔහු සඞ්ඝයා සමෙහාගය ඇත්තකු කෙරේවා. මහණෙනි, අංග අටෙකින් සමන්‍විත උපාසකයාට පත්තඋක්කුජ්ජන කර්‍මය කළයුතු. (කවර අඞ්ග අටෙකින් සමන්විතයාට ද යත්:) භික්‍ෂූනට අලාභය පිණිස තැත් නො කෙරේ ද, භික්‍ෂූනට අවැඩ පිණිස ප්‍රයෝග නො කෙරේ ද, භික්‍ෂූන් වසන තැනින් නෙරැපීම පිණිස ප්‍රයෝග නො කෙරේ ද, භික්‍ෂූනට ආක්‍රෝශ නො කෙරේ ද පරිභව නො කෙරේ ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් නො බිඳුවා ද, බුදුනට දොස් නො නඟා ද, දහමට දොස් නො නඟා ද, සඟනට දොස් නො නඟා ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් උපාසකයාට පත්තඋක්කුජ්ජනය කරන්නට (පත්තනික්කුජ්ජන කර්‍මයෙන් ඔහු නිදහස් කරන්නට) අනුදනිමි” යනු යි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ උක්කුජ්ජිතබ්බො. තෙන භික්ඛවෙ වඩ්ඪෙන ලිච්ඡවිනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: සඞ්ඝෙන මෙ භන්තෙ පත්තො නික්කුජ්ජිතො, අසම්භොගොම්’හි සඞ්ඝෙන, සො’හං භන්තෙ සම්මා වත්තාමි ලොමං පාතෙමි. නෙත්ථාරං වත්තාමි. සඞ්ඝං පත්තුක්කුජ්ජනං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTමහණෙනි, පත්ත උක්කුජ්ජන ය වනාහි මෙසේ කළයුතු: මහණෙනි, ඒ වඩ්ඪ ලිච්ඡවීන් විසින් සඞ්ඝයා කරා එළැඹ, උතුරු සළුව සකස් කොට භික්‍ෂුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ගෙන “වහන්ස, මට සඞ්ඝ තෙමේ පත්තනික්කුජ්ජන කෙළේ යැ. සඞ්ඝයා හා සමෙහාග නැත්තෙක් (කරන ලද්දෙම්) වෙමි. වහන්ස, ඒ මම් මනාව පවතිමි. ලොම් හෙළමි (යටත් පහත් ව පවතිමි). නිස්තරණය පිණිස (මට පැනවූ දඬුවමින් මිදෙනු පිණිස) කළයුතු දෑ කරමි. සඞ්ඝයා ගෙන් පත්තඋක්කුජ්ජන ය ඉල්ලමි” යි මෙසේ කියැයුතු වන්නේ ය. දෙවෙනි වර ද තෙවෙනි වර ද මෙසේ ම යාච්ඤා කළයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝෙන වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තො නික්කුජ්ජිතො අසම්භොගො සඞ්ඝෙන. සො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. සඞ්ඝං පත්තුක්කුජ්ජනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තං උක්කුජ්ජෙය්ය සම්භොගං සඞ්ඝෙන කරෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා ගේ වචනය අසාවා. සඩඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන ලද්දේ ය, සඞ්ඝයා හා සමෙහාග නැතියෙක් කරන ලද්දේ ය. හේ මනා වැ පවතී. අනුලොම් වැ (යටත් පහත් වැ-වචනයට අවනත වැ) පවතී: නිස්තරණය පිණිස (පැන වූ දඬුවමින් මිදෙනු පිණිස) කළ යුතු දෑ කෙරෙයි. පත්තඋක්කුජ්ජනය සඞ්ඝයාගෙන් ඉල්ලයි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිවජවිහට පත්තඋක්කුජ්ජනය කෙරේවා, ඔහු සඞ්ඝයා හා සමෙහාග ඇතියකු කෙරේවා”. මේ ඥප්තිය යැ.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො: සඞ්ඝෙන වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තො නික්කුජ්ජිතො අසම්භොගො සඞ්ඝෙන. සො සම්මා වත්තති ලොමං පාතෙති නෙත්ථාරං වත්තති. සඞ්ඝං පත්තුක්කුජ්ජනං යාචති. සඞ්ඝො වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තං උක්කුජ්ජති. සම්භොගං සඞ්ඝෙන කරොති. යස්සායස්මතො ඛමති වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තස්ස උක්කුජ්ජනං, සම්භොගං සඞ්ඝෙන කරණං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන ලද්දේ ය, හේ සඞ්ඝයා හා සමෙහාගය නැත්තෙක් කරන ලද්දේ ය. හෙ තෙම මනා වැ පවතී. යටත් පහත් වැ පවතී. නිස්තරණය පිණිස පවතී. සඞ්ඝයාගෙන් පත්තඋක්කුජ්ජනය ඉල්ලයි. සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්ත උක්කුජ්ජනය කෙරෙයි. ඔහු සඞ්ඝයා හා සමෙහාග ඇතියකු කෙරෙයි. වඩ්ඪ ලිච්ඡවීහට පත්තුක්කුජ්ජනය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමක්හට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
Pali BJT“උක්කුජ්ජිතො සඞ්ඝෙන වඩ්ඪස්ස ලිච්ඡවිස්ස පත්තො සම්භොගො සඞ්ඝෙන. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තුක්කුජ්ජනය කරන ලද්දේ ය, සඞ්ඝයා හා සමෙහාගය ඇත්තෙක් කරන ලද්දේ ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි (සලකමි)” යනු යි.
Pali BJTදුතිය භාණවාරං.
Sinhala BJTදෙවෙනි බණවර නිමියේ ය.
Pali BJTතතිය භාණවාරං
Sinhala BJTතුන්වන බණවර
Pali BJT100. අථ ඛො භගවා වෙසාලියං යථාභිරන්තං විහරිත්වා යෙන භග්ගා තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන භග්ගා තදවසරි. තත්ර සුදං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ.
Sinhala BJT100. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ විසල්පුර කැමැති තාක් වැස, භග්ග රට බලා සැරි සරා වඩින්නට පිටත් වූ සේක. පිළිවෙළින් සැරිසරා, වඩනා සේක්, භග්ග රටට බට සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට සුංසුමාරගිර නුවරට නො දුරු නො ළං තන්හි වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන බොධිස්ස රාජකුමාරස්ස කොකනදො නාම පාසාදො අචිරකාරිතො හොති අනජ්ඣාවුත්ථො සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන.
Sinhala BJTඑ කලැ වනාහි බෝධි රාජකුමාරයා විසින් කොකනද නම් පහයෙක් කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු හෝ බමුණක්හු හෝ මනුෂ්‍ය වූ කිසිවක් හු විසින් වාසය නො කරන ලද වෙයි.
Pali BJTඅථ ඛො බොධිරාජකුමාරො සඤ්ජිකාපුත්තං මාණවං ආමන්තෙසි: “එහි ත්වං සම්ම සඤ්චිකාපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ ‘බොධි භන්තෙ රාජකුමාරො භගවතො පාදෙ සිරසා වන්දති අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි: ‘අධිවාසෙතු කිර භන්තෙ භගවා බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති.
Sinhala BJTඉක්බිති බෝධි රාජකුමාර තෙම සඤ්ජිකාපුත්‍ර මාණවකයා බණවා, “සගය, සඤ්ජිකාපුත්‍රය, මෙහි එව. භාග්‍යවතුන් වහන්සේ වෙත යා. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිස නමා වඳුව, ආබාධ නැති බව, නීරෝග බව, හෑල්ලු සිරුර ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැප විහරණ ඇති බව විචාරව. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට බෝධි රාජකුමාරයාගේ බත ඉවසන සේක් වා’ යි මෙසේත් කියව” යි කීයේ ය.
Pali BJT‘එවං භො’ති ඛො සඤ්චිකාපුත්තො මාණවො බොධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඤ්චිකාපුත්තො මාණවො භගවන්තං එතදවොච: බොධි ඛො රාජකුමාරො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති ‘අධිවාසෙතු කිර භන්තෙ භගවා බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTසඤ්ජිකාපුත්‍ර මාණවක “එසේ ය. පින්වතැ’ යි කියා බෝධි රාජකුමාරයාට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය, සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා, එක් පසෙක හිඳ ගත්තේ ය. සඤ්ජිකා පුත්‍ර මාණවක තෙම මෙසේ එක් පසෙක හුන්නේ ම, “බෝධි රාජකුමාර තෙම භවත් ගෞතමයන්ගේ පා හිස නමා වඳී. නිරාබාධ බව, නො ලෙඩ බව, හෑල්ලු සිරුර ඇති බව, සිරුරු බල ඇති බව, සැප විහරණ ඇති බව විචාරයි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සභුන් හා සෙට දවසට බෝධි රාජ කුමාරයාගේ බත ඉවසන සේක්වා’ යි මෙසේත් කියා” යැයි මේ වචන කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක:
Pali BJTඅථ ඛො සඤ්ජිකාපුත්තො මාණවො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා යෙන බොධිරාජකුමාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බොධිං රාජකුමාරං එතදවොච: “අවොචුම්හ ඛො මයං භොතො වචනෙන තං භවන්තං ගොතමං ‘බොධි ඛො රාජකුමාරො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති: අධිවාසෙතු කිර භන්තෙ භගවා බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවුත්ථඤ්ච පන සමණෙන ගොතමෙනා”ති.
Sinhala BJTඉක්බිත්තෙන් සඤ්ජිකාපුත්‍ර මාණවක තෙම භාග්‍යවතුන් වහන්සේ ඒ නිමන්ත්‍රණය ඉවැසූ නියාව දැන, හුනස්නෙන් නැගී බෝධි රාජ කුමාරයා කරා ගියේ ය. ගොස්, “බෝධි රාජකුමාර තෙම භවත් ගෞතමයන්ගේ පා හිස නමා වඳී, නිරාබාධ බව, නො ලෙඩ බව, හෑල්ලු සිරුර ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැප විහරණ ඇති බව විචාරයි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට බෝධි රාජකුමාරයාගේ බත ඉවසන සේක්වා’ යි මෙසේත් කියා යැ යි. අපි භවත්හුගේ වචනයෙන් ඒ භවත් ගෞතමයනට මෙසේත් කීම්හ” යි බෝධි රාජකුමාරයාට මෙ බස් පැවසී ය.
Pali BJT101. අථ ඛො බොධිරාජකුමාරො තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා, කොකනදඤ්ච පාසාදං ඔදාතෙහි දුස්සෙහි සන්ථරාපෙත්වා යාව පච්ඡිමා සොපානකලෙබරා සඤ්චිකාපුත්තං මාණවං ආමන්තෙසි: එහි ත්වං සම්ම සඤ්චිකාපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා භගවතො කාලං ආරොචෙහි ‘කාලො භන්තෙ නිට්ඨිතං භත්තන්ති’. ‘එවම්භො’ති ඛො සඤ්චිකාපුත්තො මාණවො බොධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො කාලං ආරොචෙසි ‘කාලො භො ගොත, නිට්ඨිතං භත්තන්ති’.
Sinhala BJT101. ඉක්බිති බෝධි රාජකුමාර තෙම ඒ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා, පැසිම් හිණිපෙත තෙක් කොකනද පහය (බිම) සුදුවතින් වස්වා, සඤ්ජිකාපුත්‍ර මාණවකයා බණවා, “යහළු සඤ්ජිකාපුත්‍ර, එන්න, භාග්‍යවතුන් වහන්සේ කරා යව, ගොස් ‘වහන්ස, බත පිළියෙළ කොට නිමියේ ය, වඩින්නට කාලය යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වව” යි කී ය. ‘එසේ ය, පින්වතැ’ යි කියා සඤ්ජිකාපුත්‍ර මාණවක තෙම බෝධි රාජකුමාරයාට පිළිවදන් අස්වා, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ, ‘භවත් ගෞතමයිනි, දැන් වඩින්නට කල් වේ. බත පිළියෙළ කොට නිමියේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වී ය.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන බොධිස්ස රාජකුමාරස්ස නිවෙසනං තෙනුපසඞ්කමි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. තෙන ඛො පන සමයෙන බොධිරාජකුමාරො බහිද්වාරකොට්ඨකෙ ඨිතො හොති භගවන්තං ආගමයමානො. අද්දසා ඛො බොධිරාජකුමාරො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන තතො පච්චුග්ගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා පුරක්ඛත්වා යෙන කොකනදො පාසාදො තෙනුපසඞ්කමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පෙරවරු සමයෙහි හැඳ පෙරව, පාසිවුරු ගෙන බික් සඟන කැටුව බෝධි රාජකුමාරයාගේ නිවෙස කරා වැඩිසේක. එ වේලෙහි වනාහි බෝධි රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේ වඩිනු බලාපොරොත්තු වනුයේ බිහිදොරටුයෙහි සිටියේ වේ. බෝධි රාජකුමාර තෙම දුරින් ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක එතැනින් පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පෙරටු කොට ගෙන කොකනද පහය වෙත එළැඹියේ ය.
Pali BJTඅථ ඛො භගවා පච්ඡිමං සොපාණකලෙබරං නිස්සාය අට්ඨාසි. අථ ඛො බොධිරාජකුමාරො භගවන්තං එතදවොච: ‘අක්කමතු භන්තෙ භගවා දුස්සානි, අක්කමතු සුගතො දුස්සානි, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති. එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො බොධිරාජකුමාරො භගවන්තං එතදවොච: ‘අක්කමතු භන්තෙ භගවා දුස්සානි, අක්කමතු සුගතො දුස්සානි, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං අපලොකෙසි. අථ ඛො ආයස්මා ආනන්දො බොධිං රාජකුමාරං එතදවොච: ‘සංහරතු රාජකුමාර දුස්සානි, න භගවා චෙලපත්තිකං{1} අක්කමිස්සති. පච්ඡිමං ජනතං තථාගතො අනුකම්පතී’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැසිම් හිණිපෙත ළඟ වැඩසිටි සේක. එ කල්හි බෝධි රාජකුමාර තෙම ‘වහන්ස, යම් හෙයකින් මෙය මට දික් කලක් හිත වැඩ පිණිස වන්නේ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙනසේක් වා, සුගතයන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙනසේක් වා’ යි කී ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬ වූ සේක. දෙවනු ද ... තෙවනු ද බෝධි රාජකුමාර තෙම, ‘යම් හෙයකින් මෙය මට දික් කලක් හිත වැඩ පිණිස වන්නේ ද එ හෙයින් භාග්‍යවතුන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙන (පාගා වඩිනා) සේක් වා’ යි කීයේ ය. එ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් දෙස හැරී බැලූසේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බෝධි රාජකුමාරයාට ‘රාජකුමාරය, වස්ත්‍රයන් හකුළාවා, භාග්‍යවතුන් වහන්සේ රෙදි පියවිල්ල නො ඇක්මෙන (නො පාගන) සේක. තථාගතයන් වහන්සේ පශේවිම ජනතාවට අනුකම්පා කරන සේක’ යි කීහ.