52. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපදින්නේ ය, වාක්සංස්කාරය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නූපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍ක අවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපදින්නේ ය, කායසංස්කාරය ද නූපදින්නේ යි.
53. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි.
54. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අවිතර්‍ක අවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
අනාගතවාර යි.
55. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපදී.
56. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපදී.
57. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපන්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
58-60. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
61. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපදී.
62. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය ද නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපදී.
63. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
64. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නො උපන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: නැති.
65. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නො උපන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපන්නේ ද යත්: නැති.
66. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
තවද යමකුට ... නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
67-69. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
70. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපන්නේ ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපන්නේ යැ. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට ම ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවැනි සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී, වාක්සංස්කාරය ද නො උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපදී. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවැනි සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපන්නේ යැ, කායසංස්කාරය ද නූපදී.
71. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපන්නේ ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපන්නේ යැ. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නො උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
72. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපන්නේ ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපන්නේ යැ. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
73. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
74. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදී.
75. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: විතර්‍කවිචාර සහිත පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපදී, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
76-78. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
79. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
80. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
81. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: විතර්‍කවිචාර සහිත වූ පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙස්සනට විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපදී, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
82. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
83. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට ... එසේ යි.
84. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදී. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නො උපදින්නේ යැ, වාක්සංස්කාරය ද නො උපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
85-87. යම් තැනෙක කායසංස්කාර නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
88. යමකුට යම් තැනෙක කායසංස්කාර නො උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගීනට යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. පශ්චිමචිත්තසමඞ්‍ගීනට යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදින්නේ යැ. කායසංස්කාරය ද නො උපදී.
89. යමකුට යම් තැනෙක කායසංස්කාර නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
90. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. සවිතර්‍කසවිචාර වූ පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපදී. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නො උපදින්නේ යැ, වාක්සංස්කාරය ද නො උපදී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
91. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගීනට යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය උපන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට ... එසේ යි.
92. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කායසංස්කාරය උපන්නේ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ යැ, චිත්තසංස්කාරය ද උපන්නේ යි.
තවද යමකුට ... එසේ යි.
93. යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට වාක්සංස්කාරය උපන්නේ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපන්නේ යැ, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
94-96. යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් (අනුලෝමාවකාශ යි)
97. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ යැ, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපන්නේ යි.
98. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කායසංස්කාරය උපන්නේ යැ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ යැ. චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපන්නේ යි.
99. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: සවිතර්‍කසවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ ය. සවිතර්‍කසවිචාරභූමියෙහි සෙසු ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ ය, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: අවිතර්‍කඅවිචාරභූමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. සවිතර්‍කසවිචාරභූමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
100. යමකුට කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: නැති.
තවද යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
101. යමකුට කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: නැති.
තවද යමකුට චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
102. යමකුට වාක්සංස්කාරය නො උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: නැති.
තවද යමකුට චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
103-105. යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
106. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපන්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපදින්නේ යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපන්නේ යැ, වාක්සංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාර නො උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපන්නේ යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදින්නේ ය, කායසංස්කාරය ද නො උපන්නේ යි.
107. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපන්නේ යැ, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ ය, රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපන්නේ ය, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපන්නේ යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නො උපදින්නේ යැ, කායසංස්කාරය ද නො උපන්නේ ය.
108. යමකුට යම් තැනෙක වාක්සංස්කාර නො උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: අවිතර්‍කඅවිචාරයභූමියෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපන්නේ යැ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. අවිතර්‍කඅවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපන්නේ ය, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාර නො උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපන්නේ ද යත්: සවිතර්‍කසවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපන්නේ යැ. අවිතර්‍කඅවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නො උපදින්නේ ය, වාක්සංස්කාරය ද නො උපන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
අතීතානාගතවාර යි.
උත්පාදවාර නිමි.
4. ප්‍රවෘත්ති නිරෝධවාර
1. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වෙයි. වාක්සංස්කාරය ද නිරුද්ධ වේ.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
2. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
3. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
4-6. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: ද්විතීයධ්‍යානයෙහි තෘතීයධ්‍යානයෙහි දැයි එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි. එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වේ ... (අනුලෝමාවකාශ යි)
7-9. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
10. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.