Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 4101-4200 න් 4234

1087. චතුර්‍ත්‍ථධ්‍යානය වඩා ආලම්බනනානාත්‍වයෙන් මනසිකාරනානාත්‍වයෙන් ඡන්‍දනානාත්‍වයෙන් ප්‍රණිධිනානාත්‍වයෙන් අධිමෝක්‍ෂනානාත්‍වයෙන් අභිනීහාරනානාත්‍වයෙන් ප්‍රඥානානාත්‍වයෙන් ඇතැම් කෙනෙක් අසඤ්ඤසත්ත දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් වෙහප්ඵල දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අවිහ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අතප්ප දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් සුදස්ස දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් සුදස්සී දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අකණිට්ඨ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.
1088. අසඤ්ඤසත්ත වෙහප්ඵල දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: පන්සියක් කල්පයෙකි.
අවිහ දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප දහසෙකි.
අතප්ප දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප දෙදහසෙකි.
සුදස්ස දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සාරදහසෙකි.
සුදස්සී දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප අටදහසෙකි.
අකණිට්ඨක දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සොළොස්දහසෙකි.
ආකාසානඤ්චායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප විසිදහසෙකි.
විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සතලිස් දහසෙකි.
ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප හැටදහසෙකි.
නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සුවාසූදහසෙකි.
1089. පින්තෙදින් උපරිභාවයට පමුණුවනලදුව මනුෂ්‍යාදි සප්තසුගතිභවයට හා එකොළොස් රූපභවයට පිළිසඳ විසින් ගියාහු ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සඞ්ඛ්‍යාත භවාග්‍රයට පැමිණියාහු ද පෙරළා දුගතියට පැමිණෙත්.
කල්ප සුවාසූදහසක් පමණ දීර්‍ඝායුෂ්ක වූ සත්ත්‍වයෝ ආයු ගෙවීයෑමෙන් ච්‍යුත වෙති. නිත්‍ය වූ කිසි භවයෙක් නැතැ යි මහර්ෂී වූ සර්‍වඥයන් විසින් වදාරන ලදී.
එහෙයින් ම ධීර වූ එළඹසිටි සිහි ඇති නිපුණ වූ ස්වාර්‍ත්‍ථාදි අර්‍ත්‍ථචින්තකයෝ ජරාමරණමෝක්‍ෂයට කාරණ වූ නිවන පිණිස උතුම් වූ ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය වඩත්.
නිවනට පමුණුවන පවිත්‍ර වූ ආර්‍ය්‍යමාර්‍ගය ස්වසන්තානයෙහි උපදවා කාමාදි සියලු ආස්‍රවයන් ත්‍රිවිධ පරිඥායෙන් දැන ආස්‍රව රහිත වූවාහු පරිනිර්‍වාණය කෙරෙත්.
1090. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි ස්වභාවලක්‍ෂණාවබෝධ වශයෙන් දතයුතු ස්කන්‍ධයෝ කෙතෙක, සාමාන්‍යලක්‍ෂණාවබෝධ වශයෙන් දතයුතු ස්කන්‍ධයෝ කෙතෙක, ප්‍රහාතව්‍යයෝ කෙතෙක, භාවිතව්‍යයෝ කෙතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ කෙතෙක, ප්‍රහාතව්‍ය නො වූවාහු, භාවිතව්‍ය නො වූවාහු, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වූවාහු කෙතෙක ... සප්ත චිත්තයන් අතුරෙහි අභිඥේයයෝ කෙතෙක, පරිඥේයයෝ කෙතෙක, ප්‍රහාතව්‍යයෝ කෙතෙක, භාවිතව්‍යයෝ කෙතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ කෙතෙක, ප්‍රහාතව්‍ය නො වූවාහු, භාවිතව්‍ය නො වූවාහු, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වූවාහු කෙතෙක යත්:
1091. රූපස්කන්‍ධය අභිඥෙය (ස්වභාව ලක්‍ෂණාවබොධයෙන් දතයුතු) යැ. පරිඥේය (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුතු) යැ. ප්‍රහාතව්‍ය නො වෙයි. භාවිතව්‍ය නො වෙයි. සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙයි. සතර ස්කන්‍ධයෝ අභිඥෙය්‍යහ, පරිඥෙය්‍යහ. ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය නො වියහෙති, භාවිතව්‍ය නො වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
1092. දශායතනයෝ අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. (මනායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත) ආයතනයෝ දෙදෙන අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
1093. සොළොස් ධාතූහු අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. (ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු සඞ්ඛ්‍යාත) ධාතූහු දෙදෙන අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
1094. සමුදයසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය යැ, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. මාර්‍ගසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය යැ, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. නිරෝධසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය යි. දුඃඛසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි. භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙයි, ප්‍රහාතව්‍ය නො වියහේ.
1095. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නොවෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. දෝමනස්සින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය යැ, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය යැ, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. අඤ්ඤින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහේ. අඤ්ඤාතාවින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය යි. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
1096. තුන් අකුශල හේතූහු අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නොවෙත්. තුන් කුශලහේතූහු අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වියහෙත්. තුන් අව්‍යාකෘතහේතූහු අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
1097. කවලීකාරආහාරය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය නො වියහෙති, භාවිතව්‍ය නො වෙති. සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්.
1098. ස්පර්‍ශයෝ සදෙන අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙයි, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහේ.
1099. වේදනාවෝ සදෙන ... සංඥාවෝ සදෙන ... චේතනාවෝ සදෙන ... චිත්තයෝ සදෙන අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්.
1100. මනෝවිඥානධාතු අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙයි, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහේ.
1101. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සාලම්බනයෝ කෙතෙක, අනාලම්බනයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සාලම්බනයෝ කෙතෙක, අනාලම්බනයෝ කෙතෙක යත්:
1102. රූපස්කන්‍ධය අනාලම්බන යැ, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ සාලම්බනයෝ යි.
ආයතනයෝ දස දෙනෙක් අනාලම්බනයෝ යැ. මනායතනය සාලම්බන යැ. ධර්‍මායතනය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
ධාතූහු දස දෙනෙක් අනාලම්බනයෝ යැ. ධාතූහු සත් දෙනෙක් සාලම්බනයෝ යැ. ධර්‍මධාතු සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
සත්‍යයෝ දෙදෙනෙක් සාලම්බනයෝ යැ. නිරෝධසත්‍යය අනාම්බන යැ. දුඃඛසත්‍යය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් සාලම්බනයෝ යැ. ජීවිතින්‍ද්‍රිය ය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
හේතූහු නව දෙන සාලම්බනයෝ යි. කවලීකාරආහාරය අනාලම්බන යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සාලම්බනයෝ යි.
සප්ත ස්පර්‍ශයෝ ... සප්තවේදනාවෝ ... සප්තසංඥාවෝ ... සප්තචේතනාවෝ ... සප්තචිත්තයෝ සාලම්බනයෝ යි.
1103. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සාලම්බනාලම්බනයෝ කෙතෙක, අනාලම්බන, ලම්බනයෝ කෙතෙක ... සප්ත චිත්තයන් අතුරෙහි සාලම්බනාලම්බනයෝ කෙතෙක, අනාලම්බනාලම්බනයෝ කෙතෙක යත්:
1104. රූපස්කන්‍ධය අනාලම්බන යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ සාලම්බනාලම්බන වියහෙති, අනාලම්බනාලම්බන වියහෙත්.
ආයතනයෝ දස දෙනෙක් අනාලම්බනයෝ යැ. මනායතනය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. ධර්‍මායතනය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
ධාතූහු දස දෙනෙක් අනාලම්බනයෝ යැ. ධාතූහු සදෙනෙක් අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. ධර්‍මධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
නිරෝධසත්‍යය අනාලම්බන යැ. මාර්‍ගසත්‍යය අනාලම්බනාලම්බන යැ. සමුදයසත්‍යය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. දුඃඛසත්‍යය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් අනාලම්බනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් සාලම්බනාලම්බන වියහෙති, අනාලම්බනාලම්බන වියහෙති. ජීවිතේන්‍ද්‍රිය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
නව හේතූහු සාලම්බනාලම්බන වියහෙති. අනාලම්බනාලම්බන වියහෙත්.
කවලීකාහාරය අනාලම්බන යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සාලම්බනාලම්බන වියහෙති. අනාලම්බනාලම්බන වියහෙත්.
ස්පර්‍ශයෝ සදෙන අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහේ.
වේදනාවෝ සදෙන ... සංඥාවෝ සදෙන ... චේතනාවෝ සදෙන ... චිත්තයෝ සදෙන අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහේ.
1105. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි දෘෂ්ටයෝ (ඇසින් බලා දතහැක්කාහු) කෙතෙක, ශ්‍රැතයෝ (කනින් අසා දතහැක්කාහු) කෙතෙක, මුතයෝ (ස්පර්‍ශ කොට දත හැක්කාහු) කෙතෙක, විඥාතයෝ (මනෝවිඥානයෙන් දතයුත්තාහු) කෙතෙක, දෘෂ්ට නො වූවාහු කෙතෙක, ශ්‍රැත නො වූවාහු කෙතෙක, මුත නො වූවාහු කෙතෙක, විඥාත නො වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි දෘෂ්ටයෝ කෙතෙක, ශ්‍රැතයෝ කෙතෙක, මුතයෝ කෙතෙක, විඥාතයෝ කෙතෙක, දෘෂ්ට නො වූවාහු කෙතෙක, ශ්‍රැත නො වූවාහු කෙතෙක, මුත නො වූවාහු කෙතෙක, විඥාත නො වූවාහු කෙතෙක යත්:
1106. රූපස්කන්‍ධය දෘෂ්ට වියහෙයි, ශ්‍රැත වියහෙයි, මුත වියහෙයි, විඥාත වියහෙයි, දෘෂ්ට නො වියහෙයි, ශ්‍රැත නො වියහෙයි, මුත නො වියහෙයි, විඥාත නො වියහෙයි, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ දෘෂ්ට නො වෙති, ශ්‍රැත නො වෙති, මුත නො වෙති, විඥාතයෝ යි.
රූපායතනය දෘෂ්ට යැ, ශ්‍රැත නො වෙයි, මුත නො වෙයි, විඥාත යි. ශබ්දායතනය දෘෂ්ට නො වෙයි, ශ්‍රැත යැ, මුත නො වෙයි, විඥාත යි. ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතනය දෘෂ්ට නො වෙයි, ශ්‍රැත නො වෙයි, මුත යැ, විඥාත යි. (අවශේෂ) සප්තායතනයෝ දෘෂ්ට නො වෙති, ශ්‍රැත නො වෙති, මුත නො වෙති, විඥාතයෝ යි.
රූපධාතු දෘෂ්ට යැ, ශ්‍රැත නො ව මුත නො ව විඥාත යි. ශබ්දධාතු දෘෂ්ට නො වෙයි, ශ්‍රැත යැ, මුත නොව විඥාත යි. ගන්‍ධධාතු රසධාතු ස්ප්‍රෂ්ටව්‍යධාතු දෘෂ්ට නොව, ශ්‍රැත නොව මුත යැ, විඥාත යි. (අවශේෂ) තෙළෙස් ධාතූහු දෘෂ්ට නොව, ශ්‍රැත නොව, මුත නොව, විඥාතයෝ යි.
(සමුදයාදී) තුන් සත්‍යයෝ දෘෂ්ට නොව, ශ්‍රැත නොව, මුත නොව, විඥාතයෝ යි. දුඃඛසත්‍යය දෘෂ්ට වියහෙයි, ශ්‍රැත වියහෙයි, මුත වියහෙයි, විඥාත වියහෙයි, දෘෂ්ට ශ්‍රැත මුත විඥාත නො වියහේ.
දෙවිසි ඉන්‍ද්‍රියයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
නව හේතූහු දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
සතර ආහාරයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
සප්තස්පර්‍ශයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
සප්තවේදනාවෝ - සප්තසංඥාවෝ - සප්තචේතනාවෝ - සප්ත චිත්තයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
1107. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කුශලයෝ කෙතෙක, අකුශලයෝ කෙතෙක, අව්‍යාකෘතයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි කුශලයෝ කෙතෙක, අකුශලයෝ කෙතෙක, අව්‍යාකෘතයෝ කෙතෙක යත්:
1108. රූපස්කන්‍ධය අව්‍යාකෘත යැ, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
ආයතනයෝ දස දෙනෙක් අව්‍යාකෘතය හ. ආයතනයෝ දෙදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
සොළොස් ධාතු කෙනෙක් අව්‍යාකෘතය හ. ධාතූහු දෙදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
සමුදයසත්‍යය අකුශල යැ, මාර්‍ගසත්‍යය කුශල යැ. නිරෝධසත්‍යය අව්‍යාකෘත යැ. දුඃඛසත්‍යය කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් අව්‍යාකෘතයහ. දෝමනස්සින්‍ද්‍රිය අකුශල යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමිතිඉන්‍ද්‍රිය කුශල යැ. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් කුශල වියහෙති, අව්‍යාකෘත වියහෙති, ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
තුන් කුශලහේතූහු කුශලයහ. තුන් අකුශලහේතූහු අකුශලයහ. තුන් අව්‍යාකෘත හේතූහු අව්‍යාකෘතයහ.
කවලීකාරාහාරය අව්‍යාකෘත යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
ස්පර්‍ශයෝ සදෙනෙක් අව්‍යාකෘත යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.
වේදනාවෝ සදෙන - සංඥාවෝ සදෙන - චේතනාවෝ සදෙන - චිත්තයෝ සදෙන අව්‍යාකෘතයහ. මනෝවිඥානධාතු කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.
1109. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක යත්:
1110. ස්කන්‍ධයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කිවයුතුවහ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙත්.
ආයතනයෝ දස දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතුවහ. මනායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. ධර්‍මායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු වියහේ.
ධාතූහු දස දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතුවහ. ධාතූහු පස්දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ, කායවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. මනෝවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. ධර්‍මධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.
සත්‍යයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. නිරෝධසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු යැ. දුක්ඛසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.
දොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතුවහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති. ජීවිතින්‍ද්‍රිය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.
ද්වේෂ අකුසලහේතු දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ. හේතූහු සත්දෙනෙක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, මෝහ අකුශලහේතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.
කවලීකාරාහාරය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙත්.
ස්පර්‍ශයෝ පස් දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතු සංස්පර්‍ශය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.
සප්ත වේදනාවෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතුවහ.
සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි. මනෝවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.
1111. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි විපාක වූවාහු කෙතෙක, විපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි විපාක වූවාහු කෙතෙක, විපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක යත්:
1112. රූපස්කන්‍ධය නෛවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
ආයතනයෝ දසදෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ආයතනයෝ දෙදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
ධාතූහු දස දෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ධාතූහු පස් දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වියහෙයි. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. ධාතූහු දෙදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
සත්‍යයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. නිරෝධසත්‍යය නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. දුඃඛසත්‍යය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.
ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් විපාකයහ. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. අඤ්ඤින්‍ද්‍රිය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
හේතූහු සදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. තුන් අව්‍යාකෘතධාතූහු විපාක වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
කවලීකාර ආහාරය නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
ස්පර්‍ශයෝ පස්දෙනෙක් විපාකයහ. මනෝධාතුසංස්පර්‍ශය විපාක වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.
වේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. මනෝවිඥානධාතු විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.
1113. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි උපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නඅනුපාදානියයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි උපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නඅනුපාදානියයෝ කෙතෙක යත්:
1114. රූපස්කන්‍ධය උපාදින්නෝපාදානිය වියහෙයි. සතර (අරූප) ස්කන්‍ධයෝ උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.
ආයතනයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දායතනය අනුපාදින්නෝපාදානිය යැ, සතර ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, ආයතනයෝ දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.
ධාතූහු දස දෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දධාතු අනුපාදින්නෝපාදානිය යැ. ධාතූහු පස් දෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති. ධාතූහු දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.
සමුදයසත්‍යය අනුපාදින්නෝපාදානිය යැ. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදින්න - අනුපාදානියහ. දුඃඛසත්‍යය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහේ.
ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානියහ. දෝමනස්සින්‍ද්‍රිය අනුපාදින්නෝපාදානිය යැ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුපාදින්න - අනුපාදානියහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.
තුන් අකුශලහේතූහු අනුපාදින්නෝපාදානියහ. තුන් කුශලහේතූහු අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙති. තුන් අව්‍යාකෘතහේතූහු උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නඅනුපාදානිය වියහෙත්.
කවලීකාර ආහාරය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. ආහාරයෝ තිදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නඅනුපාදානිය වියහෙත්.
ස්පර්‍ශයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. මනෝධාතුසංස්පර්‍ශය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නඅනුපාදානිය වියහේ.
වේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. මනෝධාතු උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. මනෝවිඥානධාතු උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නඅනුපාදානිය වියහේ.
1115. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සවිතර්‍කසවිචාරයෝ කෙතෙක, අවිතර්‍කවිචාර මාත්‍රයෝ කෙතෙක, අවිතර්‍කඅවිචාරයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සවිතර්‍කසවිචාරයෝ කෙතෙක, අවිතර්‍කවිචාරමාත්‍රයෝ කෙතෙක, අවිතර්‍කඅවිචාරයෝ කෙතෙක යත්: