තුදුස් ඉන්‍ද්‍රිය කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
අකුශල හේතූහු තිදෙන අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ෂට්හේතූහු අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
කබළිංකාර ආහාරය අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ආහාරයෝ තිදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ෂට්ස්පර්‍ශයෝ අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
ෂට්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂඩ්චේතනාවෝ ... ෂට්චිත්තයෝ අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතු අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
1041. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් පර්‍ය්‍යාපන්නයෝ වෙත් ද, කෙතෙක් අපර්‍ය්‍යාපන්නයෝ වෙත් ද ... සප්තචිත්තයන් අතුරෙහි කෙතෙක් පර්‍ය්‍යාපන්නයෝ වෙත් ද අපර්‍ය්‍යාපන්නයෝ වෙත් ද යත්:
රූපස්කන්‍ධය පර්‍ය්‍යාපන්නය යි. සතර ස්කන්‍ධ කෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
දශආයතන කෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ආයතනයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
සොළොස් ධාතු කෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ධාතූහු දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
සත්‍යයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. සත්‍යයෝ දෙදෙනෙක් අපර්‍ය්‍යාපන්න වෙත්.
ඉන්‍ද්‍රියයෝ දශ දෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අපර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
අකුශලහේතූහු තිදෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ෂඩ් හේතූහු පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
කබළිංකාර ආහාරය පර්‍ය්‍යාපන්න ය. ආහාරයෝ තිදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙති. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
ෂට්ස්පර්‍ශයෝ පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය පර්‍ය්‍යාපන්න ද වෙයි. අපර්‍ය්‍යාපන්න ද වේ.
ෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතු පර්‍ය්‍යාපන්න ද වේ. අපර්‍ය්‍යාපන්න ද වේ.
4.
1042. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද, ... කෙතෙක් සිත් පහළ වෙත් ද යත්:
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත්.
කිසිවකුට එකොළොස් ආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට දශආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට අන්‍ය දශආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට නවආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට සත්ආයතන කෙනෙක් පහළ වෙත්.
කිසිවකුට එකොළොස් ධාතූහු පහළ වෙති. කිසිවකුට දශධාතූහු පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ දශධාතූහු පහළ වෙති. කිසිවකුට නවධාතූහු පහළ වෙති. කිසිවකුට සප්තධාතූහු පහළ වෙත්.
සියල්ලන්ට එක් සත්‍යයක් පහළ වෙයි.
කිසිවකුට තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්. කිසිවකුට අන්‍ය වූ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්. කිසිවකුට අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට පඤ්චේන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කිසිවකුට හේතූහු තිදෙනෙක් පහළ වෙති. කිසිවකුට හේතූ දෙදෙනෙක් පහළ වෙති. කිසිකෙනෙක් අහේතුක වැ පහළ වෙත්.
සියල්ලන්ට සතර ආහාරයෝ පහළ වෙත්. සියල්ලන්ට එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි.
සියල්ලන්ට එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් සිතක් පහළ වෙයි.
1043. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට කවර පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත් ද යත්: රූපස්කන්‍ධය ... විඥානස්කන්‍ධ යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට මේ පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත්.
1044. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට එකොළොස් ආයතන කෙනෙක් පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියන්ට ද, ප්‍රථම කල්පික වූ මනුෂ්‍යයන්ට ද, ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, සම්පූර්‍ණ ආයතන ඇතියනට උත්පත්තික්‍ෂණයෙහි එකොළොස් ආයතනයෝ පහළ වෙත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි මොවුන්ට මේ එකොළොස් ආයතනයෝ පහළ වෙත්.
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, ජාත්‍යන්‍ධයන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශායතනයෝ පහළ වෙත්: රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි මොවුන්ට මේ දශායතනයෝ පහළ වෙත්.
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට අන්‍ය වූ දශායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, උත්පත්තියෙන් බිහිරි වූවන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශායතනයෝ පහළ වෙත්: චක්‍ෂුරායතනය, රූපායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශායතනයෝ පහළ වෙත්.
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරකුට නවායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, ජාත්‍යන්‍ධයන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි නවආයතනයෝ පහළ වෙත්: රූපායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ නවායතනයෝ පහළ වෙත්.
කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරකුට සප්තායතනයෝ පහළ වෙත් ද යත්: ගැබ්හි හෝනා සත්ත්‍වයන්ගේ උත්පත්තික්‍ෂණයෙහි සප්තායතනයෝ පහළ වෙත්: රූපායතන ය, ගන්‍ධායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ සප්තායතනයෝ පහළ වෙත්.
1045. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට එකොළොස් ධාතූහු පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියන්ට ද, ප්‍රථමකල්පයෙහි වූ මනුෂ්‍යයන්ට ද, ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, පරිපූර්‍ණ ආයතන ඇත්තවුන්ට උත්පත්තික්‍ෂණයෙහි එකොළොස් ධාතූහු පහළ වෙත්: චක්‍ෂුර්ධාතු, රූපධාතු, ශ්‍රෝත්‍රධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ එකොළොස් ධාතූහු තුමූ පහළ වෙත්.
කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශධාතූහු පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, ජාත්‍යන්‍ධයන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශධාතූහු පහළ වෙති: රූපධාතු, ශ්‍රෝත්‍රධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශධාතූහු පහළ වෙත්.
කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට අන්‍ය වූ දශධාතූහු පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, උත්පත්තියෙන් බිහිරන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශධාතූහු පහළ වෙති: චක්‍ෂුර්ධාතු, රූපධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශධාතූහු පහළ වෙත්.
කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට නවධාතූහු පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, උත්පත්තියෙන් අඳ බිහිරි වූවන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි නවධාතූහු පහළ වෙති: රූපධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ නව ධාතූහු පහළ වෙත්.
කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට සප්තධාතූහු පහළ වෙත් ද යත්: ගැබ හෝනා සත්නට උපන් ඇසිල්ලෙහි ධාතූහු සත් දෙනෙක් පහළ වෙති: රූපධාතු, ගන්‍ධධාතු, රසධාතු, කායධාතු, පොට්ඨබ්භධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුයෙහි උපන් ඇසිල්ලෙහි තෙල සත්නට මේ සප්තධාතූහු පහළ වෙත්.
1046. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට කවර එක් සත්‍යයෙක් පහළ වේ ද යත්: දුඃඛසත්‍ය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට මේ එක් සත්‍යය පහළ වේ.
1047. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: සහේතුක වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරදෙවියන්ට උත්පත්තික්‍ෂණයෙහි තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය, ඝ්‍රාණේන්‍ද්‍රිය, ජිහ්වේන්‍ද්‍රිය, කායේන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥේන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්හට මේ තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: සහේතුක වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචරදෙවියන්ට උත්පත්තික්‍ෂණයෙහි තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය, ජිහ්වේන්‍ද්‍රිය, කායේන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්‍වයන්ට මේ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට අන්‍ය වූ තෙළෙස්ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ප්‍රථමකල්පයෙහි වූ ඥානසම්ප්‍රයුක්ත වූ සහේතුක වූ මනුෂ්‍යයන්ට උත්පත්තික්‍ෂණයෙහි තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය, ඝ්‍රාණේන්‍ද්‍රිය, ජිහ්වේන්‍ද්‍රිය, කායේන්‍ද්‍රිය, මනින්‍ද්‍රිය, ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥේන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ප්‍රථමකල්පයෙහි වූ සහේතුක වූ ඥානවිප්‍රයුක්ත වූ මනුෂ්‍යයන්ට උත්පත්තික්‍ෂණයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය, ඝ්‍රාණේන්‍ද්‍රිය, ජිහ්වේන්‍ද්‍රිය, කායේන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශ ඉන්‍ද්‍රිය කෙනෙක් පහළ වෙත් ද යත්: ගැබ්හි හෝනා ඥානසම්ප්‍රයුක්ත වූ සහේතුක වූ සත්ත්‍වයන්ට උත්පත්තික්‍ෂණයෙහි දශ ඉන්‍ද්‍රිය කෙනෙක් පහළ වෙති: කායේන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥේන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ගැබ හෝනා සහේතුක වූ සත්ත්‍වයනට ඥානවිප්‍රයුක්ත සත්ත්‍වයනට උපදනා ඇසිල්ලෙහි නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්ඛින්‍ද්‍රිය හෝ ය සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අනෙකුදු නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික ප්‍රේතයනට ඕපපාතික අසුරයනට ඕපපාතික තිරශ්චීනගතයනට නෙරිසත්නට පිරිපුන් ඉඳුරන් ඇතියනට උපදනා ඇසිල්ලෙහි නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික ප්‍රේතයනට ඕපපාතික අසුරයනට ඕපපාතික තිරශ්චීනගතයනට නිරිසත්නට ජාත්‍යන්‍ධයනට උපදනා ඇසිල්ලෙහි අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අනෙකුදු අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික ප්‍රේතයන්ට ඕපපාතික අසුරයන්ට ඕපපාතික තිරශ්චීනගතයන්ට නිරිසත්නට ජාතිබධිරයනට උපදනා ඇසිල්ලෙහි අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්ඛුන්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික ප්‍රේතයනට ඕපපාතික අසුරයනට ඕපපාතික තිරශ්චීනගතයනට නෙරිසත්නට ජාතිබධිරයනට උපදනා ඇසිල්ලෙහි සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට පඤ්ච ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: නපුංසකයනට තබා ගැබහෝනා අහේතුක සත්නට උපදනා ඇසිල්ලෙහි පඤ්චේන්‍ද්‍රියයෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ පස් ඉඳුරෝ පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ගැබහෝනා අහේතුක වූ නපුංසක සත්ත්‍වයනට උපදනා ඇසිල්ලෙහි සතර ඉන්‍ද්‍රිය යෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
1048. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට තුන් හේතූහු පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියනට ප්‍රථමකල්පයෙහි වූ මිනිස්නට ගැබහෝනා සත්නට සහේතුක වූ ඥානසම්ප්‍රයුක්ත වූවනට උපදනා ඇසිල්ලෙහි තුන් හේතූහු පහළ වෙති: අලෝභ විපාකහේතු ය, අදෝස විපාකහේතු ය, අමෝහ විපාකහේතු යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ තුන් හේතූහු පහළ වෙත්.
කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට ද්විහේතූහු පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියනට ප්‍රථමකල්පික මිනිස්නට ගැබහෝනා සත්නට සහේතුක ඥානවිප්‍රයුක්ත වූවනට උපදනා ඇසිල්ලෙහි ද්විහේතූහු පහළ වෙති: අලෝභ විපාකහේතු ය, අදෝස විපාකහේතු යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ ද්වීහේතූහු පහළ වෙත්. සෙසු සත්ත්‍වයෝ අහේතුක වැ පහළ වෙත්.
1049. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි සියලු සත්නට කවර සතර ආහාරයෝ පහළ වෙත් ද යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනස්සඤ්චේතනාහාර ය, විඥානාහාර යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි සියලු සත්නට මේ සතර ආහාරයෝ පහළ වෙත්.
1050. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි සියලු සත්නට කවර එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි යත්: මනෝවිඥානධාතුසංස්පර්‍ශය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි හැම සත්නට මේ එක ස්පර්‍ශය පහළ වේ.
1051. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි හැම සත්නට කවර එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් සිතක් පහළ වෙයි යත්: මනෝවිඥානධාතු යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි හැම සත්නට මේ එක් සිත පහළ වේ.
1052. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද ... කෙතෙක් චිත්තයෝ පහළ වෙත් ද යත්: රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි අසංඥසත්ත්‍ව දෙවියනට තබා පඤ්ච ස්කන්‍ධයෝ පහළ වෙති. පඤ්චායතනයෝ පහළ වෙති. පඤ්චධාතූහු පහළ වෙති. එක් සත්‍යයෙක් පහළ වෙයි. දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. තුන් හේතූහු පහළ වෙති. තුන් ආහාරයෝ පහළ වෙති. එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි. එක් වේදනාවක්, එක් සංඥාවක්, එක් චේතනාවක්, එක් චිත්තයෙක් පහළ වේ.
1053. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත් ද යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත්.
1054. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර පඤ්චායතනයෝ පහළ වෙත් ද යත්: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, මනායතන ය, ධම්මායතන යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ පඤ්චායතනයෝ පහළ වෙත්.
1055. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර පඤ්චධාතූහු පහළ වෙත් ද යත්: චක්ඛුධාතු ය, රූපධාතු ය, සොතධාතු ය, මනෝවිඤ්ඤාණධාතු ය, ධම්මධාතු යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ පඤ්චධාතූහු පහළ වෙත්.
1056. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් සත්‍යයෙක් පහළ වෙයි යත්: දුඃඛසත්‍යය යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක් සත්‍යය පහළ වේ.
1057. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්ඛින්‍ද්‍රිය හෝ ය සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
1058. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර තුන් හේතූහු පහළ වෙත් ද යත්: අලෝභ විපාකහේතු ය, අදෝස විපාකහේතු ය, අමෝහ විපාකහේතු යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ තුන් හේතූහු පහළ වෙත්.
1059. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර තුන් ආහාරයෝ පහළ වෙත් ද යත්: ස්පර්‍ශාහාර ය, මනස්සඤ්චේතනාහාර ය, විඥානාහාර යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ තුන් ආහාරයෝ පහළ වෙත්.
1060. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් ස්පර්‍ශයෙක් පහළවේ ද යත්: මනෝවිඥානධාතුසංස්පර්‍ශය යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක ස්පර්‍ශය පහළ වේ.
1061. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් චිත්තයෙක් ස්පර්‍ශයෙක් පහළවෙයි යත්: මනෝවිඥානධාතු යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක් සිත පහළ වේ.
1062. අසංඥසත්ත්‍ව දෙවියනට උපදනා ඇසිල්ලෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද ... කෙතෙක් චිත්තයෝ පහළ වෙත් ද යත්: අසංඥසත්ත්‍ව දෙවියනට උපදනා ඇසිල්ලෙහි එක් ස්කන්‍ධයෙක් පහළ වෙයි: රූපස්කන්‍ධ යි. ආයතනයෝ දෙදෙනෙක් පහළ වෙති: රූපායතන ය, ධම්මායතන යි. ධාතූහු දෙදෙනෙක් පහළ වෙති: රූපධාතු ය, ධම්මධාතු යි. එක් සත්‍යයෙක් පහළ වෙයි: දුඃඛසත්‍ය යි. එක් ඉන්‍ද්‍රියයෙක් පහළ වෙයි: රූපජීවිතින්‍ද්‍රිය යි. අසංඥසත්ත්‍ව දෙවියෝ අහේතුකයෝ ය, අනාහාරයෝ ය, අස්පර්‍ශකයෝ ය, අවේදනකයෝ ය, අසංඥකයෝ ය, අචේතනකයෝ ය, අචිත්තක වූවාහු පහළ වෙත්.
1063. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද ... කෙතෙක් චිත්තයෝ පහළ වෙත් ද යත්: අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි සතර ස්කන්‍ධයෝ පහළ වෙති, ආයතනයෝ දෙදෙනෙක් පහළවෙති, ධාතූහු දෙදෙනෙක් පහළ වෙති, එක් සත්‍යයෙක් පහළ වෙයි, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් පහළ වෙති, හේතූහු තිදෙනෙක් පහළ වෙති, ආහාරයෝ තිදෙනෙක් පහළ වෙති, එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි, එක් වේදනාවක් - එක් සංඥාවක් - එක් චේතනාවක් - එක් චිත්තයෙක් පහළ වේ.
1064. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර සතර ස්කන්‍ධයෝ පහළ වෙත් ද යත්: වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ සතර ස්කන්‍ධයෝ පහළ වෙත්.
අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර ආයතනයෝ දෙදෙනෙක් පහළ වෙත් ද යත්: මනායතන යැ, ධර්‍මායතන යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ ආයතනයෝ දෙදෙන පහළ වෙත්.
අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර ධාතූහු දෙදෙනෙක් පහළ වෙත් ද යත්: මනෝවිඥානධාතු යැ, ධර්‍මධාතු යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ ධාතූහු දෙදෙන පහළ වෙත්.
අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් සත්‍යයෙක් පහළ වේ ද යත්: දුඃඛසත්‍ය යි. අරූපධාතුයෙහි. උපදනා ඇසිල්ලෙහි මේ එක් සත්‍යය පහළ වේ.
අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: මනින්‍ද්‍රිය යැ, ජීවිතින්‍ද්‍රිය යැ, උපෙක්ඛින්‍ද්‍රිය යැ, සද්ධින්‍ද්‍රිය යැ, විරියින්‍ද්‍රිය යැ, සතින්‍ද්‍රිය යැ, සමාධින්‍ද්‍රිය යැ, පඤ්ඤින්‍ද්‍රිය යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර තුන් හේතූහු පහළ වෙත් ද යත්: අලෝභවිපාකහේතු යැ, අදෝසවිපාකහේතු යැ, අමෝහහේතු යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ තුන් හේතූහු පහළ වෙත්.
අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර තුන් ආහාරයෝ පහළ වෙත් ද යත්: ස්පර්‍ශාහාර යැ, මනෝසඤ්චේතනාහාර යැ, විඥානාහාර යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ තුන් ආහාරයෝ පහළ වෙත්.
අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් ස්පර්‍ශයෙක් පහළ වේ ද යත්: මනෝවිඥානධාතුස්පර්‍ශය යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක් ස්පර්‍ශය පහළ වේ.
අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් චිත්තයෙක් පහළ වේ ද යත්: මනෝවිඥානධාතු යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක් චිත්තය පහළ වේ.
5.
1065. කාමාවචරධර්‍මයෝ යැ, කාමාවචර නො වූ ධර්‍මයෝ යැ, රූපාවචරධර්‍මයෝ යැ, රූපාවචර නො වූ ධර්‍මයෝ යැ, අරූපාවචරධර්‍මයෝ යැ, අරූපාවචර නො වූ ධර්‍මයෝ යැ, පරියාපන්නධර්‍මයෝ යැ, අපරියාපන්නධර්‍මයෝ යි.
1066. කාමාවචරධර්‍මයෝ කවරහ යත්: යටින් අවීචිනිරය හිම් කොට උඩින් පරනිර්මිතවශවර්ති දෙවියන් ඇතුළු කොට මේ අතරැ මෙහි හැසිරෙන මෙහි ඇතුළු වූ යම් ස්කන්‍ධ කෙනෙක් ධාතු - ආයතන - රූප - වේදනා - සංඥා - සංස්කාර කෙනෙක් විඥානයෙක් වේ ද මේ ධර්‍මයෝ කාමාවචරයෝ යි.
1067. කාමාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්: රූපාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යි. මොහු කාමාවචර නො වූ ධර්‍මයෝ යි.
1068. රූපාවචරධර්‍මයෝ කවරහ යත්: යටින් බඹලොව පිරියත් කොට උඩින් අකනිටාදෙවියන් ඇතුළු කොට මේ අතරැ මෙහි හැසිරෙන මෙහි ඇතුළු වූ සමාපන්නයාගේ හෝ උපන්නහුගේ හෝ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇත්තහුගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද, මේ ධර්‍මයෝ රූපාවචරයෝ යි.
1069. රූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්: කාමාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යි. මොහු රූපාවචර නො වූ ධර්‍මයෝ යි.
1070. අරූපාවචරධර්‍මයෝ කවරහ යත්: යටින් ආකාසානඤ්චායතනූපග දෙවියන් පිරියත් කොට උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන් ඇතුළු කොට මේ අතරැ මෙහි හැසිරෙන මෙහි ඇතුළු වැ සිටි සමාපන්නයාගේ හෝ උපපන්නයාගේ හෝ දිට්ඨධම්මසුඛවිහාර ඇත්තහුගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද, මේ ධර්‍මයෝ අරූපාවචරයෝ යි.
1071. අරූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්: කාමාවචරයෝ යැ, රූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යැ යන මේ ධර්‍මයෝ අරූපාවචර නො වෙත්.
1072. වට්ටපරියාපන්න ධර්‍මයෝ කවරහ යත්: සාස්‍රව වූ කාමාවචර රූපාවචර අරූපාවචර කුශල අකුශල අව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ, වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ (භව වශයෙන් අවකාශ වශයෙන් පිරිසිඳුනාලද) පරියාපන්නයෝ වෙත්.
1073. අපරියාපන්න ධර්‍මයෝ කවරහ යත්: සතර මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ (භවාදී විසින්) අපරියාපන්නයෝ වෙත්.
6.
1074. දේවා යනු: දෙවියෝ තුන්දෙනෙකි. සම්මුතිදෙවියෝ යැ, උත්පත්තිදෙවියෝ යැ, විශුද්ධිදෙවියෝ යි. සම්මුතිදෙවියෝ නම්: අභිෂේක ලත් රජවරු යැ, රාජදේවීහු යැ, රාජකුමාරයෝ යි. උත්පත්තිදෙවියෝ නම්: සිවුමහරජයෙහි දෙවියන් පටන් කොට එයින් මතුයෙහි දෙවියෝ යැ. විශුද්ධිදෙවියෝ නම්: රහත්හු යි.
1075. දන් දී සිල් සමාදන් වැ පෙහෙවස්කම් කොට කොහි උපදී ද යත්:
දන් දී සිල් සමාදන් වැ පෙහෙවස්කම් කොට ඇතැම් කෙනෙක් ගෘහපතිමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් බ්‍රාහ්මණමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් චාතුම්මහාරාජිකදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් තාවතිංසදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් යාමදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් තුසිතදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් නිම්මාණරතීදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් පරනිම්මිතවසවත්තීදෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.
1076. මිනිසුන්ගේ ආයුප්‍රමාණය කෙතෙක යත්: අවුරුදු සියයෙකි. මඳක් වැඩි වූ හෝ යි. (දෙසියයට නො පැමිණි යයි සේ යි.)
1077. චාතුම්මහාරාජික දෙවියනට ආයුප්‍රමාණය කෙතෙක යත්: මිනිසුන්ගේ අවුරුදු පනසෙක් සියුමහරජයෙහි වැසි දෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මසෙක් වෙයි. ඒ මාසයෙන් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වූ පන්සියක් හවුරුදු චාතුම්මහාරාජික දෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: අවුරුදු අනූලක්‍ෂයෙකි.
1078. තව්තිසාවැසි දෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ යම් අවුරුදු සියයෙක් වේ ද, තෙල තව්තිසා වැසි දෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් හවුරුදු දහසෙක් තාවතිංසදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස් ගණනින් කෙතෙක් වෙයි යත්: හවුරුදු තුන්කෙළසැටලක්‍ෂයෙකි.
1079. යාමදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ හවුරුදු දෙසියයෙක් යාමදෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මසෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ දෙදහසෙක් හවුරුදු යාමදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: හවුරුදු තුදුස්කෙළසතලිස්ලක්‍ෂයෙකි.
1080. තුසිතදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ හවුරුදු සාරසියයෙක් තුසිත දෙවියනට එක් රාත්‍රින්‍දිවයෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ හවුරුදු සාරදහසක් තුසිත දෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස් ගණනින් කෙතෙක් වෙයි යත්: සත්පනස්කෙළසැටලක්‍ෂයක් හවුරුදු වේ.
1081. නිම්මාණරතීදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන්ගේ හවුරුදු අටසියයක් නිම්මාණරතීදෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ අටදහසක් හවුරුදු නිම්මාණරතීදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් හවුරුදු වෙයි යත්: දෙසියතිස්කෙළසතලිස්ලක්‍ෂයක් හවුරුදු වේ.
1082. පරනිම්මිතවසවත්තී දෙවියනට කෙතෙක් ආයුප්‍රමාණ වෙයි යත්: මිනිසුන් පිළිබඳ එක්දහස්සසියක් හවුරුදු පරනිම්මිතවසවත්තී දෙවියනට එක් රාත්‍රින්‍දිවයෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වූ සොළොස්දහසක් හවුරුදු පරනිම්මිතවසවර්තී දෙවියනට ආයුප්‍රමාණ වෙයි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: නවසියඑක්විසිකෙළසැටලක්‍ෂයක් හවුරුදු වේ යයි.
1083. තෙල ෂට්කාමාවචරයෝ සියලු පඤ්චකාමයෙන් සමෘද්ධ වූවාහු වෙති. සියලු කාමාවචරයන්ගේ එක්රැස් කොට පුඬුකළ ආයුප්‍රමාණය කෙතෙක් වෙයි යත්: ඒ ෂට්කාමාවචර දෙවියන්ගේ ආයු මිනිසුන්ගේ හවුරුදු ගණනායෙන් දොළොස්සියඅටවිසිකෙළපනස්ලක්‍ෂ (1228,50,00,000) කැයි ප්‍රකාශ කරන ලදැයි.
1084. ප්‍රථමධ්‍යානය පරිත්ත (අල්පගුණ) කොට වඩා කොහි උපදිත් ද යත්: ප්‍රථම ධ්‍යානය පරිත්ත කොට වඩා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්පයක තුන්වැනි භාග යයි. (කල්පයකින් තුනෙන් කොටසකැයි සේයි.) ප්‍රථමධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිත් ද යත්: ප්‍රථම ධ්‍යානය මධ්‍යම කොට වඩා බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: අඩකපෙකි. ප්‍රථමධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: ප්‍රථමධ්‍යානය ප්‍රණීත කොට වඩා මහාබ්‍රහ්මයන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්පයෙකි.
1085. ද්විතීයධ්‍යානය ගුණයෙන් අල්ප කොට වඩා කොහි උපදිති යත්: ද්විතීය ධ්‍යානය අල්පගුණ කොට වඩා පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: දෙ කල්පයෙකි. ද්විතීයධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිති යත්: ද්විතීයධ්‍යානය මධ්‍යම කොට වඩා අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සතරෙකි. ද්විතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: ද්විතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා ආභස්සර දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: අට කල්පයෙකි.
1086. තෘතීයධ්‍යානය පරිත්ත කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය පරිත්ත කොට වඩා පරිත්තසුභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: සොළොස් කල්පයෙකි. තෘතීයධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය මධ්‍යම කොට වඩා අප්පමාණසුභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: දෙතිස්කල්පයෙකි. තෘතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා සුභකින්හ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: සූසැට කල්පයෙකි.