Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 3601-3700 න් 4234

866. එහි ලපනා කවර යත්: ලාභසත්කාර කීර්තිප්‍රශංසා ඇසුරු කළ පවිටු අදහස් ඇති ආශායෙන් මඩනා ලද්දහුගේ පරාහට යම් පළමු කොට බිණීමෙක්, මනා කොට බිණීමෙක්, උසස් කොට බිණීමෙක්, හාත්පසින් උසස් කොට බිණීමෙක්, මතුමත්තෙහි බැඳීමෙක්, හාත්පසින් මතුමත්තෙහි බැඳීමෙක්, උස් කොට හැඟැවීමෙක්, හාත්පසින් උස් කොට හැඟැවීමෙක්, ප්‍රිය තෙපුල් බිණීමෙක්, යටත් ව පවත්නා බවෙක්, මුද්ගසූපය වැනි බවෙක්, දරුවන් වඩන බවෙක් වේ ද, මේ ‘ලපනා’ යි කියනු ලැබේ.
867. එහි නෛමිත්තිකතා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ පවිටු අදහස් ඇති ආශායෙන් මඩනා ලද්දහුගේ මෙරමාහට යම් නිමිති කරන බවෙක් නිමිති කිරීමෙක් පහළ කිරීමෙක් පහළ කරන ක්‍රියායෙක් සමීප කොට බිණීමෙක් පර්‍ය්‍යාය තෙපුලෙක් වේ ද, මේ ‘නෙමිත්තිකතා’ යි කියනු ලැබේ.
868. එහි නිප්පෙසිකතා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ, පවිටු අදහස් ඇති, ආශායෙන් මඩනා ලද්දහුගේ මෙරමාහට යම් ආක්‍රෝශ කිරීමෙක්, පරිභව කිරීමෙක්, ගර්‍හා කිරීමෙක්, උස් කොට බිණීමෙක්, හාත්පසින් උස් කොට බිණීමෙක්, සිනහ කිරීමෙක්, හාත්පසින් සිනහ කිරීමෙක්, පැමිණවීමෙක්, හාත්පසින් පැමිණවීමෙක්, නුගුණ එළවන බවෙක්, මෙරමාපිටුමස් කනසුලු බවෙක් වේ ද, මේ ‘නිප්පෙසිකතා’ යි කියනු ලැබේ.
869. එහි ලාභයෙන් ලාභය සෙවීම කවරෙ යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කෙළේ, පවිටු අදහස් ඇතියේ, ආශායෙන් මඩනා ලදුයේ, මෙගෙන් ලද ආමිෂය එගෙට ගෙනයේ ද, එගෙන් ලද ආමිෂය හෝ මෙගෙට ගෙන ඒ ද, මෙබඳු වූ යම් ආමිෂයෙන් ආමිෂය කැමැතිවීමෙක්, සෙවීමෙක්, නැවත නැවත සෙවීමෙක්, ඒෂණයෙක්, ගවේෂණයෙක්, පර්‍ය්‍යෙෂණයෙක් වේ ද, මේ ‘ලාභයෙන් ලාභය සෙවීම’ යි කියනු ලැබේ.
870. එහි මම උසස්මි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උස් කොට තැබීමෙක්, මානධ්වජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම උසස්මි යන මානය’ යි කියනු ලැබේ.
871. එහි මම් සදෘශයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුවෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උසස් කොට තැබීමෙක්, මානධ්වජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
872. එහි මම හීනයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් අවමානය කෙරෙයි. යම් මෙබඳු වූ හීනමානයෙක්, අවමානාකාරයෙක්, අවමන් කළ බවෙක්, තමහට ගැරහීමෙක්, අධිකව ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීනකොට සැලැකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම හීනයෙමි මානය’ යි කියනු ලැබේ.
873. එහි මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම පරහට වඩා තමා උසස් කොට තබයි. හේ එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
874. එහි ‘මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මානය’ කවරෙ යත්: මෙලොවැ ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම තමා මෙරමා හා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
875. එහි ‘මම ශ්‍රේෂ්ඨයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම මෙරමා කෙරෙන් තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමන් කළ බවෙක්, තමහට ගැරහීමෙක්, අධිකව ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක් තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් ශ්‍රේෂ්ඨයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
876. එහි ‘මම් සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමාහට වඩා තමා ශ්‍රේෂ්ඨ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
877. එහි ‘මම් සදෘශයහට සදෘශයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමා හා තමා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
878. එහි ‘මම් සදෘශයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමාහට වඩා තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා තමහට අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක්, ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
879. එහි ‘මම් හීනයහට ශ්‍රේෂ්ඨයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම පරහට වඩා තමා ශ්‍රේෂ්ඨ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් හීනයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
880. එහි ‘මම් හීනයනට සදෘශයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම මෙරමා හා තමා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් හීනයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
881. එහි ‘මම් හීනයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම මෙරමා කෙරෙන් තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක් ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගර්හිත බවෙක්, තමා පහත්කොට සැලකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් හීනයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
882. එහි මානය කවරෙ යත්: යම් මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මානය’ යි කියනු ලැබේ.
883. එහි අතිමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් මෙරමාහට වඩා තමා උසස් කොට සිතයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අතිමානය’ යි කියනු ලැබේ.
884. එහි මානාතිමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් පූර්‍වකාලයෙහි මෙරමා හා සදෘශ කොට තමා තබයි. අපරකාලයෙහි තමා ශ්‍රේෂ්ඨ කොට තබයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මානාතිමානය’ යි කියනු ලැබේ.
885. එහි ඔමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් තමහට අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක්, ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක් තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභව කිරීමෙක් වේ ද, මේ ‘ඔමානය’ යි කියනු ලැබේ.
886. එහි අධිමානය කවරෙ යත්: නො පැමිණියේ (සිව්සස්) හි පැමිණි සංඥා ඇති බව ය, නො කළ (මාර්‍ග) කෘත්‍යයෙහි කළ සංඥා ඇති බව ය, අවබෝධ නො කළ (සිව්සස්) දහම් හි අවබෝධ කළ සංඥා ඇති බව ය, ප්‍රත්‍යක්‍ෂ නො කළ දැයෙහි ප්‍රත්‍යක්‍ෂ කරන ලදැයි සංඥා ඇති බව යි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අධිමානය’ යි කියනු ලැබේ.
887. එහි අස්මිමානය කවරෙ යත්: රූපයෙමි මාන ය, රූපයෙමි ඡන්‍ද ය, රූපයෙමි අනුශය ය, වේදනායෙමි ... සංඥායෙමි ... සංස්කාරයෙමි ... විඥානයෙමි මානය, විඥානයෙමි ඡන්‍දය, විඥානයෙමි අනුශය යි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අස්මිමානය’ යි කියනු ලැබේ.
888. එහි මිථ්‍යාමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ලාමක වූ කර්‍මායතනයෙකින් හෝ ලාමක වූ ශිල්පායතනයෙකින් හෝ ලාමක වූ විද්‍යායෙකින් හෝ ලාමක වූ ශ්‍රැතයෙන් හෝ ලාමක වූ ප්‍රතිභානයෙන් හෝ ලාමක වූ ශීලයෙන් හෝ, ලාමක වූ ව්‍රතයෙන් හෝ, ලාමක වූ ශීලව්‍රතයෙන් හෝ, ලාමක වූ දෘෂ්ටියෙන් හෝ, අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක් සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මිථ්‍යාමානය’ යි කියනු ලැබේ.
889. එහි ඥාතිවිතර්‍කය කවරෙ යත්: ඥාතීන් ඇරැබ ගෘහ (පඤ්චකාමගුණ) ශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ඥාතිවිතර්‍කය’ යි කියනු ලැබේ.
890. එහි ජනපදවිතර්‍කය කවරෙ යත්: ජනපදය නිසා ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ජනපදවිතර්‍කය’ යි කියනු ලැබේ.
891. එහි අමරවිතර්‍කය කවරෙ යත්: දුෂ්කරක්‍රියාප්‍රතිසංයුක්ත වූ හෝ දෘෂ්ටිප්‍රතිසංයුක්ත වූ හෝ ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘අමරවිතර්‍කය’ යි කියනු ලැබේ.
892. එහි පරානුකම්පාප්‍රතිසංයුක්ත වූ විතර්‍කය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ගිහීන් හා සංසෘෂ්ට වූයේ එක්ව සතුටු වූයේ එක්ව ශෝකී වූයේ සුඛිත කල්හි (තෙමේ) සුඛිත වැ දුඃඛිත කල්හි දුඃඛිත වැ වෙසෙයි. උපන් කටයුතු ඇති කල්හි තෙමේ හෝ යෙදෙයි. එහි යම් ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘පරානුකම්පාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.
893. එහි ලාභසත්කාරප්‍රශංසාප්‍රතිසංයුක්තවිතර්‍කය කවරෙ යත්: ලාභසත්කාර ප්‍රශංසා නිසා ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ලාභසත්කාරප්‍රශංසාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.
894. එහි අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍කය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් අන්‍යයෝ මට නහමක් අවමන් කෙරෙත්ව’ යි එහි යම් ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.
එකක යි.
895. එහි ක්‍රෝධය කවරෙ යත්: යම් ක්‍රෝධයෙක් ක්‍රෝධ අයුරෙක් ක්‍රෝධ කළ බවෙක් දෝෂයෙක් දූෂ්‍ය අයුරෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිභාවය හැරීමෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් අපරිපූර්‍ණවචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ක්‍රෝධය’ යි කියනු ලැබේ.
එහි උපනාහය කවරෙ යත්: පූර්‍වකාලය ක්‍රෝධය වෙයි. අපරකාල උපනාහය වේ. යම් මෙබඳු උපනාහ (බද්ධවෛර)යෙක් බදවෙර ඇති අයුරෙක් බදවෙර ඇති බවෙක් (ක්‍රෝධය) ආදියෙහි තැබීමෙක් පියවින් තැබීමෙක් පුන පුනා තැබීමෙක් අනුසන්‍ධානයෙක් අනුප්‍රබන්‍ධයෙක් (ගැළපීමෙක්) ක්‍රෝධය දැඩි කිරීමෙක් වේ ද, මේ ‘උපනාහය’ යි කියනු ලැබේ.
896. එහි මක්ඛය කවරෙ යත්: යම් පරගුණ මැකීමෙක් ගුණ මකන අයුරෙක් ගුණමැකූ බවෙක් රළුවදන් ඇති බවෙක් රළුකමෙක් වේ ද, මේ ‘මක්ඛය’ යි කියනු ලැබේ.
එහි පළාසය කවරෙ යත්: යම් යුගග්‍රාහයෙක් යුගග්‍රාහ අයුරෙක් (ජයාහරණයෙන්) පළාසාහාරයෙක් විවාදකාරණයෙක් සමධුර ගැන්මෙක් නො හැරීමෙක් වේ ද, මේ ‘පළාසය’ යි කියනු ලැබේ.
897. එහි ඊර්‍ෂ්‍යා කවර යත්: මෙරමා පිළිබඳ ලාභසත්කාරගරුකාරමානනවන්‍දන පූජාවන් කෙරෙහි යම් ඊර්‍ෂ්‍යායෙක් ඊර්‍ෂ්‍යා අයුරෙක් ඊර්‍ෂ්‍යා කළ බවෙක් දොස් පහළ කිරීමෙක් දොස් පහළ කරන අයුරෙක් දොස් පහළ කළ බවෙක් වේ ද, මේ ‘ඊර්‍ෂ්‍යා’ යි කියනු ලැබේ.
එහි මාත්සර්‍ය්‍ය කවරෙ යත්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. යම් මෙබඳු මාත්සර්‍ය්‍යයෙක්, මසුරු අයුරෙක්, මසුරු කළ බවෙක් (ස්වකීය සම්පත්තීන්) ව්‍යාප්ත කරනු කැමැති බවෙක්, තද මසුරු බවෙක්, කටුකභාවයෙක්, හැකුළුණුසිත් ඇති බවෙක්, සිත නො විදහාගත් බවෙක් වේ ද, මේ ‘මාත්සර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
898. එහි මායා කවර යත්: මෙලොව ඇතැමෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට එය පිළිසන් කරනු පිණිස ලාමක වූ ඉච්ඡාවක් පිහිටුවයි. මා නො දනීව යි කැමැති වෙ යි. මා නො දනීව යි කල්පනය කෙරෙ යි. මා නො දනීව යි වචන කිය යි. මා නො දනීව යි කයින් ව්‍යායාම කෙරෙ යි. යම් මෙබඳු මායායෙක් මායාවී බවෙක් ඉක්ම පැවැත්මෙක් වඤ්චනයෙක් නිකෘතියෙක් විකිරණයෙක් බැහැර කිරීමෙක් සැඟැවීමෙක් හාත්පසින් සැඟැවීමෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් නො පහළ කිරීමෙක් නො හෙළි කිරීමෙක් පාපක්‍රියාව මොනොවට වැසීමෙක් වේ ද, මේ ‘මායා’ යි කියනු ලැබේ.
එහි සාඨෙය්‍ය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් කෛරාටිකයෙක් හාත්පසින් කෛරාටිකයෙක් වෙයි. එහි යම් කෛරාටිකගුණයෙක් කෛරාටික අයුරෙක් කෛරාටික බවෙක් කර්‍කශතායෙක් කැකුළු බවෙක් (කැනසිටුවූ සෙයින්) දැඩි කෛරාටික බවෙක් පරික්ඛත්ත බවෙක් වේ ද, මේ ‘සාඨෙය්‍ය’ යි කියනු ලැබේ.
899. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් නො දැක්මෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
එහි භවතෘෂ්ණා කවර යත්: භවයන්හි යම් භවච්ඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නෙහයෙක් භවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවය ගිල ගැනීමෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ.
900. එහි භවදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් (වරදවාගැනීමෙක්) වේ ද, මේ ‘භවදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
එහි විභවදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් නො වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘විභවදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
901. එහි ශාශ්වතදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් ශාශ්වත යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශාශ්වතදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
එහි උච්ඡේදදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් උච්ඡේද වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘උච්ඡේදදෘෂ්ටි’ යි කියනු ලැබේ.
902. එහි අන්තවද්දෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘අන්තවද්දෘෂ්ටි’ යයි කියනු ලැබේ.
එහි අනන්තවද්දෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘අනන්තවද්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
903. එහි පූර්‍වාන්තානුදෘෂ්ටි කවර යත්: පූර්‍වාන්තය නිසා යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මේ ‘පූර්‍වාන්තානුදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
එහි අවරාන්තානුදෘෂ්ටි කවර යත්: අවරාන්තය නිසා යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මේ ‘අවරාන්තානුදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
904. එහි අපත්‍රපා කවර යත්: යමෙකින් ජුගුප්සා කළයුත්ත ජුගුප්සා නො කෙරේද, ලාමක අකුශලධර්‍මයන්ගේ සමාපත්තිය ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අපත්‍රපා’ යි කියනු ලැබේ.
එහි අනොත්තප්ප කවර යත්: යමෙකින් බියවිය (තැවිය) යුත්තට බිය නො වේද, ලාමක අකුශලධර්‍මයන්ගේ සමාපත්තියට බිය නො වේ ද, මේ ‘අනොත්තප්ප’ යි කියනු ලැබේ.
905. එහි දුර්වචස්ක බව කවරෙ යත්: ප්‍රඥප්තශික්‍ෂාපදය කියනු ලබන කල්හි දුර්වචස්ක බවෙක්, දුර්වචස්ක කමෙක්, දුර්වචස්කකර්ම ඇති බවෙක්, දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් ප්‍රතිලෝමග්‍රාහයෙහි මධුර බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද, මේ ‘දුර්වචස්ක බව’ යි කියනු ලැබේ.
එහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් අශ්‍රාද්ධ ද, දුශ්ශීල ද, අල්පශ්‍රැත ද, මාත්සර්‍ය්‍ය ඇත්තාහු ද, දුෂ්ප්‍රාඥ ද, ඔවුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් සම්භජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් ඔවුන් කෙරෙහි නම්‍රත්‍වයෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.
906. එහි අනාර්‍ජව කවරෙ යත්: යම් අනාර්‍ජව (වඞ්කතා) අයුරෙක් අනාර්‍ජව බවෙක් ජිම්හතායෙක් වඞ්ක බවෙක් කුටිල බවෙක් වේ ද, මේ ‘අනාර්‍ජව’ යි කියනු ලැබේ.
එහි අමාර්දව කවරෙ යත්: යම් නො මුදු බවෙක් අමාර්දවාකාරයෙක් කර්‍කශ බවෙක් පරුෂ බවෙක් කර්‍කශ අයුරෙක් කඨින බවෙක් අමෘදුතාසඞ්ඛ්‍යාත ඍජු සිත් ඇති බවෙක් වේ ද, මේ ‘අමාර්දව’ යි කියනු ලැබේ.
907. එහි අක්‍ෂාන්ති කවර යත්: යම් නො ඉවසීමෙක්, නො ඉවසන අයුරෙක්, අනධිවාසනතායෙක්, සැඩ බවෙක්, නො පිරිපුන් වදන් ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘අක්‍ෂාන්ති’ යි කියනු ලැබේ.
එහි අසොරච්චය කවරෙ යත්: කායික වූ ව්‍යතික්‍රම (දුශ්චරිත) ය, වාචසික වූ ව්‍යතික්‍රම ය, කායිකවාචසික වූ ව්‍යතික්‍රම යි. මේ ‘අසොරච්ච’ යි කියනු ලැබේ. හැම දුසිල් බව අසොරච්ච යි.
908. එහි අසාඛල්‍ය කවරෙ යත්: යම් ඒ වචනයෙක් (සදොස් බැවින්) ගඬු ඇත්තේ ද, කර්‍කශ (කුණු) වූයේ ද, මෙරමාහට කටුක වේ ද, මෙරමා ලගනේ ද, ක්‍රෝධයට ආසන්න වූයේ ද, සමාධිහුගේ නො පැවැත්ම කරන්නේ ද, එබඳු වචනය කියන්නේ වෙ යි. එහි යම් නො මටවදන් බවෙක් නො මොළොක්වදන් බවෙක් රළුවදන් බවෙක් වේ ද, මේ ‘අසාඛල්‍ය’ යි කියනු ලැබේ.
එහි අප්‍රතිසන්‍ථාර කවරෙ යත්: ප්‍රතිසන්‍ථාර දෙකෙකි: ආමිෂප්‍රතිසන්‍ථාර (ආමිෂයෙන් ඇතිරීම) හා ධර්‍මප්‍රතිසන්‍ථාර යි. මෙලොව ඇතැමෙක් ආමිෂප්‍රතිසන්‍ථාරයෙන් හෝ ධර්‍මප්‍රතිසන්‍ථාරයෙන් හෝ නො අතුරන්නේ වෙයි. මේ ‘අප්‍රතිසන්‍ථාර’ යි කියනු ලැබේ.
909. එහි ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා කවර යත්: මෙලොව ඇතැමෙක් ඇසින් (චක්‍ෂුර්විඥානයෙන්) රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වාසය කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමකඅකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. චක්‍ෂුරින්‍ද්‍රියය නො රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙ යි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘතව වාස කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍යසඞ්ඛ්‍යාත ලාමකඅකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. මනින්‍ද්‍රියය නො රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙ යි. මේ ෂඩ්රින්‍ද්‍රියයන්ගේ යම් නො රැක්මෙක් නො රක්නා අයුරෙක් අනාරක්‍ෂායෙක් අසංවරයෙක් වේ ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා’ යි කියනු ලැබේ.
එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්: මෙලොව ඇතැමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට අනුපායයෙන් කෙළි පිණිස, මද පිණිස, සැරසීම පිණිස, විභූෂණය පිණිස අහර වළඳ යි. ඒ නුනුවණින් අහරවැළඳීමෙහි යම් අසන්තුෂ්ටි බවෙක් පමණ නො දන්නා බවෙක් වේ ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යි කියනු ලැබේ.
910. එහි මූඪස්මෘති බව කවරෙ යත්: යම් නො සිහියක්, අනනුස්මෘතියෙක්, අප්‍රතිස්මෘතියෙක්, නො සිහි කරන අයුරෙක්, නො දරන බවෙක්, අරමුණෙහි ඉපිලෙන බවෙක්, නටසිහි ඇති බවෙක් වේ ද, මේ ‘මූඪස්මෘති බව’ යයි කියනු ලැබේ.
එහි අසම්ප්‍රජන්‍ය කවරෙ යත්: යම් නො දැන්මෙක්, නො දැක්මෙක් ... අවිද්‍යා පරිඝයෙක්, මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්ප්‍රජන්‍ය’ යි කියනු ලැබේ.
911. එහි ශීලවිපත් කවර යත්: යම් කායිකව්‍යතික්‍රමයෙක් (දුශ්චරිතයෙක්) වාචසිකව්‍යතික්‍රමයෙක්, කායිකවාචසිකව්‍යතික්‍රමයෙක් වේ ද, මේ ‘ශීලවිපත්’ යයි කියනු ලැබේ. හැම දුසිල් බව ශීලවිපත් වේ.
එහි දෘෂ්ටිවිපත් කවර යත්: දුන් දැයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ යි යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ටිවිපතැ’ යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපති.
912. එහි අධ්‍යාත්මසංයෝජන කවරෙ යත්: ඕරම්භාගියසංයෝජන පස අධ්‍යාත්ම සංයෝජන ය, උද්ධම්භාගියසංයෝජන පස වාහ්‍යසංයෝජන යි.
ද්වික යි.
913. එහි තුන් අකුශලමූලයෝ කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ යි.
එහි ලෝභය කවරෙ යත්: යම් රාගයෙක්, බලවත් රාගයෙක්, අනුනයෙක්, අනුරෝධයෙක් (කැමැත්තෙක්), නන්‍දියෙක්, නන්‍දිරාගයෙක්, චිත්තයාගේ බලවත් රාගයෙක්, ඉච්ඡායෙක්, මූර්ඡායෙක්, ගිලගැනීමෙක්, ගිජුබවෙක්, බලවත් ගිජුබවෙක්, රාගසඞ්ගයෙක්, පඞ්කයෙක්, (අදනා හෙයින්) එජායෙක්, මායායෙක්, (ජනනාර්‍ත්‍ථයෙන්) ජනිකායේක්, සඤ්ජනනියක්, (හිවනාර්‍ත්‍ථයෙන්) සිබ්බනියක්, ජාලිනියක්, සරිතාවක්, විසත්තිකායෙක්, සූත්‍රයෙක්, (විස්තෘත බැවින්) විසටායෙක්, ආයූහනියක් (රැස්කරනුවක්), ද්විතියිකාවක්, ප්‍රණිධියෙක්, භවනෙත්තියෙක් වන (බලවත්තෘෂ්ණා)යෙක්, වනථයෙක්, සන්‍ථවයෙක්, ස්නේහයෙක්, අපේක්‍ෂායෙක්, ප්‍රතිබන්‍ධුයෙක්, ආශායෙක්, ආශිංසනයෙක්, ආශිංසිතබවෙක්, රූපාශායෙක්, ශබ්දාශායෙක්, ගන්‍ධාශායෙක්, රසාශායෙක්, ස්ප්‍රෂ්ටව්‍යාශායෙක්, ලාභාශායෙක්, ධනාශායෙක්, පුත්‍රාශායෙක්, ජීවිතාශායෙක්, ජල්පයෙක්, අභිජල්පයෙක්, ජල්පන අයුරෙක්, ජල්පිත බවෙක්, පුනපුනා අරමුණු අදනා බවෙක්, පුනපුනා අරමුණු අදනා අයුරෙක්, පුනපුනා අරමුණු ඇදගත් බවෙක්, නඟුටසලන බවෙක්, මිහිරිකැමැති බවෙක්, අධර්‍මරාගයෙක්, විෂමලෝභයෙක්, කැමැත්තෙක්, කැමැති අයුරෙක්, ප්‍රාර්‍ත්‍ථනායෙක්, අභිලාශයෙක්, මොනොවට ප්‍රාර්‍ත්‍ථනායෙක්, කාමතෘෂ්ණායෙක්, භවතෘෂ්ණායෙක්, විභවතෘෂ්ණායෙක්, රූපභවයෙහි තෘෂ්ණායෙක්, අරූපභවයෙහි තෘෂ්ණායෙක්, නිරෝධ (උච්ඡේදදෘෂ්ටි)යෙහි තෘෂ්ණායෙක්, ශබ්දයෙහි තෘෂ්ණායෙක්, ගන්‍ධතෘෂ්ණායෙක්, රසතෘෂ්ණායෙක්, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක්, ධර්‍මතෘෂ්ණායෙක්, ඕඝයෙක්, යෝගයෙක්, ග්‍රන්‍ථයෙක්, උපාදානයෙක්, ආවරණයෙක්, නීවරණයෙක්, ඡදනයෙක්, බන්‍ධනයෙක්, උපක්ලේශයෙක්, අනුසයෙක්, පර්‍ය්‍යුත්‍ථානයෙක්, තෘෂ්ණාලතායෙක්, විවිධෙප්සායෙක්, දුඃඛමූලයෙක්, දුඃඛනිදානයෙක්, දුඃඛප්‍රභවයෙක්, මාරපාශයෙක්, මාරබිලියෙක්, මාරවිෂයයෙක්, තෘෂ්ණානදියක්, තෘෂ්ණාජාලයෙක්, තෘෂ්ණා නමැති බලුදමෙක්, තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යායෙක්, ලෝභසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘ලෝභ’ යි කියනු ලැබේ.
එහි ද්වේෂය කවරෙ යත්: මට අවැඩක් කෙළේ යයි ආඝාතයෙක් උපදී. මට අවැඩක් කරා යයි ආඝාතයෙක් උපදී. මට අවැඩක් කරන්නේ යයි ආඝාතයෙක් උපදී. මාගේ ප්‍රියමනාපයහට අවැඩක් කෙළේ ය. අවැඩක් කර යි. අවැඩක් කරන්නේ ය යි ආඝාතයෙක් උපදී. මාගේ අප්‍රියඅමනාපයහට වැඩක් කෙළේ ය, වැඩක් කර යි, වැඩක් කරන්නේ ය යි ආඝාතයෙක් උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාතයෙක් උපදී. චිත්තයාගේ යම් මෙබඳු ආඝාතයෙක් බලවත් ආඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත් දූෂ්‍ය බවෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධ අයුරෙක් ක්‍රෝධ කළ බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තියෙක් ව්‍යාපත්ති අයුරෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වදන් ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ද්වේෂ’ යි කියනු ලැබේ.
එහි මෝහය කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීම ය, දුඃඛසමුදයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම ය, පූර්‍වාන්තයෙහි නො දැනීම ය, අවරාන්තයෙහි නො දැනීම ය, පූර්‍වාන්තාවරාන්තයෙහි නො දැනීම ය, ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම යි. යම් මෙබඳු නො දැන්මෙක්, නො දැක්මෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘මෝහ’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශලමූලයෝ යි.
914. එහි තුන් අකුශලවිතර්‍කයෝ කවරහ යත්: කාමවිතර්‍ක ය, ව්‍යාපාදවිතර්‍ක ය, විහිංසාවිතර්‍ක යි. එහි කාමවිතර්‍ක කවරෙ යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘කාමවිතර්‍ක’ යි කියනු ලැබේ.
එහි ව්‍යාපාදවිතර්‍ක කවරෙ යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍ක ය, විතර්‍ක ය, මිථ්‍යාසංකල්ප යි. මේ ‘ව්‍යාපාදවිතර්‍ක’ යි කියනු ලැබේ.
එහි විහිංසාවිතර්‍ක කවරෙ යත්: විහෙසාප්‍රතිසංයුක්ත වූ තර්‍ක ය, විතර්‍ක ය, මිථ්‍යාසංකල්ප යි. මේ ‘විහිංසාවිතර්‍ක’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශල විතර්‍කයෝ යි.
915. එහි තුන් අකුශලසංඥාවෝ කවරහ යත්: කාමසංඥා ය, ව්‍යාපාදසංඥා ය, විහිංසාසංඥා යි. එහි කාමසංඥා කවර යත්: කාමප්‍රතිසංයුක්ත වූ සංඥායෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘කාමසංඥා’ යි කියනු ලැබේ.
එහි ව්‍යාපාදසංඥා කවර යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘ව්‍යාපාදසංඥා’ යි කියනු ලැබේ.
එහි විහිංසාසංඥා කවර යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘විහිංසාසංඥා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් අකුශල සංඥා’ යි.
916. එහි තුන් අකුශලධාතූහු කවරහ යත්: කාමධාතු ය, ව්‍යාපාදධාතු ය, විහිංසාධාතු යි. එහි කාමධාතු කවර යත්: කාමවිතර්‍කය කාමධාතු වෙයි. ව්‍යාපාදවිතර්‍කය ව්‍යාපාදධාතු වෙයි. විහිංසාවිතර්‍කය විහිංසාධාතු වේ.
එහි කාමවිතර්‍ක කවරෙ යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘කාමවිතර්‍ක’ යි කියනු ලැබේ.
එහි ව්‍යාපාදවිතර්‍ක කවරෙ යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ව්‍යාපාදවිතර්‍ක’ යි කියනු ලැබේ.
එහි විහිංසාවිතර්‍ක කවරෙ යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘විහිංසාවිතර්‍ක’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශල ධාතූහු වෙත්.
917. එහි තුන් දුශ්චරිතයෝ කවරහ යත්: කායදුශ්චරිත ය, වාග්දුශ්චරිත ය, මනෝදුශ්චරිත යි. එහි කායදුශ්චරිතය කවරෙ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර යි. මේ ‘කායදුශ්චරිත’ යි කියනු ලැබේ.
එහි වාග්දුශ්චරිතය කවරෙ යත්: මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මේ ‘වාග්දුශ්චරිත’ යි කියනු ලැබේ.
එහි මනෝදුශ්චරිතය කවරෙ යත්: අභිධ්‍යා ය, ව්‍යාපාද ය, මිථ්‍යාදෘෂ්ටි යි. මේ ‘මනෝදුශ්චරිත’ යි කියනු ලැබේ.
එහි කායදුශ්චරිතය කවරෙ යත්: අකුශල වූ කායකර්‍ම කායදුශ්චරිත ය, අකුශල වූ වාක්කර්‍ම වාග්දුශ්චරිත ය, අකුශල වූ මනඃකර්‍ම මනෝදුශ්චරිත යි. එහි අකුශල කායකර්‍ම කවරෙ යත්: අකුශල වූ කායසඤ්චේතනා අකුශලකායකර්‍ම වෙයි. අකුශල වූ වාක්සඤ්චේතනා අකුශලවාක්කර්‍ම වෙයි. අකුශල වූ මනස්සඤ්චේතනා අකුශල මනඃකර්‍ම වේ. මොහු තුන් දුශ්චරිතයෝ යි.
918. එහි තුන් ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව ය, භවාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි. එහි කාමාස්‍රව කවරෙ යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් ... කාමයෙහි ගැලී බැසැගැන්මෙක් වේ ද, මේ ‘කාමාස්‍රව’ යි කියනු ලැබේ.
එහි භවාස්‍රව කවරෙ යත්: රූපාරූපභවයන්හි (භවප්‍රාර්‍ත්‍ථනා විසින්) යම් භවච්ඡන්‍දයෙක් ... භවයෙහි ගැලීමෙක් වේ ද, මේ ‘භවාස්‍රව’ යි කියනු ලැබේ.
එහි අවිද්‍යාස්‍රව කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීමෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යාස්‍රව’ යි කියනු ලැබේ. මොහු තුන් ආස්‍රවයෝ යි.
919. එහි තුන් සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි ය, විචිකිත්සා ය, ශීලව්‍රතපරාමර්‍ශ යි. එහි සත්කායදෘෂ්ටි කවර යත්: මෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු (සතිපට්ඨානාදී) ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් (ආගමාධිගමරහිත) පෘථග්ජන තෙම රූපය ආත්ම වශයෙන් (ආත්ම දෘෂ්ටියෙන්) දකී. ආත්මය රූප ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි හෝ රූපය ඇතැ යි රූපයෙහි හෝ ආත්මය ඇතැ යි, වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම වශයෙන් දකී. ආත්මය විඥානය ඇත්තකැ යි හෝ ආත්මයෙහි හෝ විඥානය ඇතැ යි විඥානයෙහි හෝ ආත්මය ඇතැ යි (ආත්මදෘෂ්ටියෙන්) දකී. යම් මෙ බඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... වරදවාගැන්මෙක් වේ ද, මේ ‘සත්කායදෘෂ්ටි’ යි කියනු ලැබේ.
එහි විචිකිත්සා කවර යත්: ශාස්තෘහු කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා (අරමුණෙහි ක්ලාන්ත වීම) කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අවරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තාවරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරේ. යම් මෙබඳු සැකයෙක්, සැක කරන අයුරෙක්, සැක කළ බවෙක්, චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් (සිතහිරිගැසීමෙක්) වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ.
එහි ශීලව්‍රතපරාමර්‍ශ කවරෙ යත්: මෙසස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශීලව්‍රතපරාමර්‍ශ’ යි කියනු ලැබේ. මොහු තුන් සංයෝජනයෝ යි.
920. එහි තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: කාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. එහි භවතෘෂ්ණා කවර යත්: භවදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත්රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ.
එහි විභවතෘෂ්ණා කවර යත්: උච්ඡේදදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘විභවතෘෂ්ණා’ යි කියනු ලැබේ. අවශේෂ තෘෂ්ණාව ‘කාමතෘෂ්ණා’ යි.
එහි කාමතෘෂ්ණා කවර යත්: කාමධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘කාමතෘෂ්ණා’ යි කියනු ලැබේ. රූපධාතු අරූපධාතු ප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ. උච්ඡේදදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘විභවතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු තුන් තෘෂ්ණා යි.
921. එහි අන්‍ය වූ ද තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: කාමතෘෂ්ණා ය, රූපතෘෂ්ණා ය, අරූපතෘෂ්ණා යි, එහි කාමතෘෂ්ණා කවර යත්: කාමධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘කාමතෘෂ්ණා’ යි කියනු ලැබේ.
එහි රූපතෘෂ්ණා කවර යත්: රූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘රූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.
එහි අරූපතෘෂ්ණා කවර යත්: අරූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අරූපතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් තෘෂ්ණා’ යි.
922. එහි අන්‍ය වූ ද තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: රූපතෘෂ්ණා ය, අරූපතෘෂ්ණා ය, නිරෝධතෘෂ්ණා යි, එහි රූපතෘෂ්ණා කවර යත්: රූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘රූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.
එහි අරූපතෘෂ්ණා කවර යත්: අරූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අරූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.
එහි නිරෝධතෘෂ්ණා කවර යත්: උච්ඡේදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘නිරෝධතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් තෘෂ්ණා’ යි.
923. එහි තුන් ඒසනාවෝ කවරහ යත්: කාමේසනා (කාමගවේෂණරාගය) ය, භවේසනා ය, බ්‍රහ්මචරියේසනා යි. එහි කාමේසනා කවර යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් ... කාමයන් ගිලගැනීමෙක් වේ ද, මේ ‘කාමේසනා’ යි කියනු ලැබේ.