Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

Showing entries 101-200 of 4234

ඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු වූ) චක්‍ෂුර් විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘බාහිර විඥාන’යි කියනු ලැබේ.
50. එහි ඖදාරික සූක්‍ෂ්ම විඥානය කවරේ යත්:
අකුශල විඥානය ඖදාරික වෙයි. කුශලාව්‍යාකෘත විඥානයෝ සූක්‍ෂ්ම වෙති. කුශලාකුශල විඥානයෝ ඖදාරික වෙති. අව්‍යාකෘත විඥානය සූක්‍ෂ්ම වෙයි. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය ඖදාරික වෙයි. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ සූක්‍ෂ්ම වෙති. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ ඖදාරික වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය සූක්‍ෂ්ම වෙයි. අසමාපන්නයාගේ විඥානය ඖදාරික වෙයි. සමාපන්නයාගේ විඥානය සූක්‍ෂ්ම වෙයි. සාස්‍රව විඥානය ඖදාරික වෙයි. අනාස්‍රව විඥානය සූක්‍ෂ්ම වේ. ඒ ඒ විඥානය නිසා ඖදාරික සූක්‍ෂ්ම විඥානය දත යුතු.
51. එහි හීන ප්‍රණීත විඥානය කවරේ යත්:
අකුශල විඥානය හීන වෙයි. කුශලාව්‍යාකෘත විඥානයෝ ප්‍රණීත වෙති. කුශලාකුශල විඥානයෝ හීන වෙති. අව්‍යාකෘත විඥානය ප්‍රණීත වෙයි. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය හීන වෙයි. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ ප්‍රණීත වෙති. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ හීන වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය ප්‍රණීත වෙයි. අසමාපන්නයාගේ විඥානය හීන වෙයි. සමාපන්නයාගේ විඥානය ප්‍රණීත වෙයි. සාස්‍රව විඥානය හීන වෙයි. අනාස්‍රව විඥානය ප්‍රණීත වේ. තවද ඒ ඒ විඥානය නිසා හීන ප්‍රණීත විඥානය දත යුතු.
52. එහි දූරේ විඥානය කවරේ යත්:
අකුශල විඥානය කුශලාව්‍යාකෘත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. කුශලාව්‍යාකෘත විඥානයෝ අකුශල විඥානය කෙරෙන් දුරැ වෙති. කුශල විඥානය අකුශලාව්‍යාකෘත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. අකුශලාව්‍යාකෘත විඥානයෝ කුශල විඥානය කෙරෙන් දුරැ වෙති. අව්‍යාකෘත විඥානය කුශලාකුශල විඥානයන් කෙරෙන් දුරැ වෙයි. කුශලාකුශල විඥානයෝ අව්‍යාකෘත විඥානය කෙරෙන් දුරැ වෙති. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය කෙරෙන් දුරැ වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය කෙරෙන් දුරැ වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය කෙරෙන් දුරැ වෙති. අසමාපන්නයාගේ විඥානය සමාපන්නයාගේ විඥානය කෙරෙන් දුරැ වෙයි. සමාපන්නයාගේ විඥානය අසමාපන්නයාගේ විඥානය කෙරෙන් දුරැ වෙයි. සාස්‍රව විඥානය අනාස්‍රව විඥානය කෙරෙන් දුරැ වෙයි. අනාස්‍රව විඥානය සාස්‍රව විඥානය කෙරෙන් දුරැ වේ. මේ ‘දූරේ විඥාන’යි කියනු ලැබේ.
53. එහි සන්තිකේ විඥානය කවරේ යත්:
අකුශල විඥානය අකුශල විඥානයට ආසන්නයෙහි වෙයි. කුශල විඥානය කුශල විඥානයට ආසන්නයෙහි වෙයි. අව්‍යාකෘත විඥානය අව්‍යාකෘත විඥානයට ආසන්නයෙහි වෙයි. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානයට ආසන්නයෙහි වෙයි. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානයට ආසන්නයෙහි වෙයි. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානයට ආසන්නයෙහි වෙයි. අසමාපන්නයාගේ විඥානය අසමාපන්නයාගේ විඥානයට ආසන්නයෙහි වෙයි. සමාපන්නයාගේ විඥානය සමාපන්නයාගේ විඥානයට ආසන්නයෙහි වෙයි. සාස්‍රව විඥානය සාස්‍රව විඥානයට ආසන්නයෙහි වෙයි. අනාස්‍රව විඥානය අනාස්‍රව විඥානයට ආසන්නයෙහි වේ. මේ ‘සන්තිකේ විඥාන’යි කියනු ලැබේ. තවද ඒ ඒ විඥානය නිසා ‘දූරේ සන්තිකේ’ විඥානය දතයුතු.
සූත්‍රාන්ත භාජනීය යි.
54. ස්කන්‍ධයෝ පස්දෙනෙකි: රූපස්කන්‍ධ යැ, වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි.
55. එහි රූපස්කන්‍ධය කවරේ යත්:
එක් අයුරෙකින් රූපස්කන්‍ධය වෙයි. හැම රූපය හේතු නො වෙයි, අහේතුක යැ, හේතු විප්‍රයුක්ත යැ, ප්‍රත්‍යය සහිත යැ, සඞ්ඛත යැ, (රුප්පනාර්‍ත්‍ථයෙන්) රූප යැ, ලෞකික යැ, සාස්‍රව යැ, සංයෝජනයන්ට හිත යැ, ග්‍රන්‍ථයන්ට හිත යැ, ඕඝයන්ට හිත යැ, යෝගයන්ට හිත යැ, නීවරණයන්ට හිත යැ, පරාමෘෂ්ට යැ, උපාදානයන්ට හිත ය, සාංක්ලේශික ය, අව්‍යාකෘත ය, අනාලම්බන ය, අචෛතසික යැ, චිත්ත විප්‍රයුක්ත යැ, නො ම විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූයේ යැ, අසංක්ලිෂ්ට සාංක්ලේශික යැ, සවිතර්‍ක සවිචාර නො වූයේ යැ, අවිතර්‍ක විචාරමාත්‍ර නො වූයේ යැ, අවිතර්‍ක අවිචාර යැ, ප්‍රීති සහගත නො වූයේ යැ, සුඛ සහගත නො වූයේ යැ, උපේක්‍ෂා සහගත නො වූයේ යැ, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය යැ, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තේ යැ, නො ම ආචයගාමී නො ද අපචයගාමී යැ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ යැ, පරිත්ත යැ, කාමාවචර යැ, රූපාවචර නො වූයේ යැ, අරූපාවචර නො වූයේ යැ, පර්‍ය්‍යාපන්න යැ, අපර්‍ය්‍යාපන්න නො වූයේ යැ, අනියත යැ, අනෛර්‍ය්‍යාණික යැ, උත්පන්න යැ, ෂඩ් විඥානයන් විසින් දත යුත්තේ යැ, අනිත්‍ය යැ, ජරාවෙන් මඩනා ලදි. මෙසේ එක් අයුරෙකින් රූපස්කන්‍ධය වේ.
56. ද්වීප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: උපාදා රූපයෙක් ඇත, උපාදා නොවූ රූපයෙක් ඇති. උපාදින්න රූපයෙක් ඇත, අනුපාදින්න රූපයෙක් ඇති. උපාදින්නෝපාදානීය රූපයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය රූපයෙක් ඇති. සනිදර්‍ශන රූපයෙක් ඇත, අනිදර්‍ශන රූපයෙක් ඇති. සප්‍රතිඝ රූපයෙක් ඇත, අප්‍රතිඝ රූපයෙක් ඇති. ඉන්‍ද්‍රිය රූපයෙක් ඇත, ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇති. මහා භූත රූපයෙක් ඇත, මහා භූත නො වූ රූපයෙක් ඇති. විඥප්ති රූපයෙක් ඇත, විඥප්ති නො වූ රූපයෙක් ඇති. ච්ත්ත සමුත්‍ථාන රූපයෙක් ඇත, ච්ත්ත සමුත්‍ථාන නො වූ රූපයෙක් ඇති. චිත්ත සහභූ (සිත සමග උපන්) රූපයෙක් ඇත, චිත්ත සහභූ නො වූ රූපයෙක් ඇති. චිත්තානුපරිවර්තී (සිත අනුව පෙරළෙන සුලු) රූපයෙක් ඇත, චිත්තානුපරිවර්තී නො වූ රූපයෙක් ඇති. ආධ්‍යාත්මික රූපයෙක් ඇත, බාහිර රූපයෙක් ඇති. ඖදාරික රූපයෙක් ඇත, සූක්‍ෂ්ම රූපයෙක් ඇති. දූරේ රූපයෙක් ඇත, සන්තිකේ රූපයෙක් ඇති. ... කවලීකාරාහාර රූපයෙක් ඇත, කවලීකාරාහාර නො වූ රූපයෙක් ඇති. මෙසේ ද්විප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ. (ධම්සඟුණු රූප කාණ්ඩයෙහි විභාග කළ පරිද්දෙන් විභාග කළ යුතු.)
57. ත්‍රිප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: යම් රූපයෙක් අධ්‍යාත්මික ද ඒ උපාදා වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදා වූයෙක් ඇත, උපාදා නො වූයෙක් ඇති. යම් රූපයක් ආධ්‍යාත්මික ද ඒ උපාදින්න වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයක් ආධ්‍යාත්මික ද ඒ උපාදින්නෝපාදානිය වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇති. ... යම් රූපයක් ආධ්‍යාත්මික ද ඒ කවලීකාරාහාර නො වෙයි. යම් රූපයක් බාහිර ද ඒ කවලීකාරාහාර වූයෙක් ඇත, කවලීකාරාහාර නො වූයෙක් ඇති. මෙසේ ත්‍රිප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
58. චතුෂ්ප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: යම් රූපයක් උපාදා වේ ද, ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයක් උපාදා වූයේ ද ඒ උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නනෝපාදානීය වූයෙක් ඇති. යම් රූපයක් උපාදා නො වූයේ ද ඒ උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ සප්‍රතිඝ වූයෙක් ඇත, අප්‍රතිඝ වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ ඖදාරික වූයෙක් ඇත, සූක්‍ෂ්ම වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද ඒ ඖදාරික වූයෙක් ඇත, සූක්‍ෂ්ම වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ දුරැ වූයෙක් ඇත, ළඟ වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද, ඒ දුරැ වූයෙක් ඇත, ළඟ වූයෙක් ඇති. ... දෘෂ්ට (රූපායතන) ය ශ්‍රැත (ශබ්දායතන)ය මුත(ගන්‍ධ, රසස්ප්‍රෂ්ටව්‍යායතන)ය විඥාත(ධර්‍මායතන) රූප යි. මෙසේ චතුෂ්ප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
59. පඤ්චප්‍රකාරයෙකින් රූපස්කන්‍ධ වෙයි: පෘථිවි ධාතු යැ, අබ් ධාතු යැ, තේජෝ ධාතු යැ, වායු ධාතු යැ, යම් උපාදා රූපයෙක්තු වේ ද එය යි. මෙසේ පඤ්චප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
60. ෂට්ප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්‍රෝත්‍ර විඥානයෙන් දතයුතු රූප යැ, ඝ්‍රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානයෙන් දතයුතු රූප යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
61. සප්තප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු රූප යැ, ඝ්‍රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූප යැ, මනෝධාතුයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානධාතුයෙන් දතයුතු රූප යි. මෙසේ සප්තප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
62. අෂ්ටප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්‍රෝත්‍ර විඥානයෙන් දතයුතු රූප යැ, ඝ්‍රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූපය සුවපහස් වූයෙක් ඇත, දුක්පහස් වූයෙක් ඇති, මනෝධාතුයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානයෙන් දතයුතු රූප යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
63. නවප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුරින්‍ද්‍රිය යැ, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය යැ, ඝ්‍රාණේන්‍ද්‍රිය යැ, ජිව්හේනද්‍රිය යැ, කායේන්‍ද්‍රිය යැ, ස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්‍ද්‍රිය යැ, ඉන්‍ද්‍රිය නො වූ යම් රූපයෙකුත් වේ ද, ඒ දැ යි මෙසේ නවප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
64. දශප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුරින්‍ද්‍රිය යැ, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය යැ, ඝ්‍රාණේන්‍ද්‍රිය යැ, ජිව්හේනද්‍රිය යැ, කායේන්‍ද්‍රිය යැ, ස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්‍ද්‍රිය යැ, ඉන්‍ද්‍රිය නො වූ රූපය සප්‍රතිඝ වූයෙක් ඇත, අප්‍රතිඝ වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
65. ඒකාදශප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුරායතන යැ, ශ්‍රෝත්‍රායතන යැ, ඝ්‍රාණායතන යැ, ජිව්හායතන යැ, කායායතන යැ, රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්‍ධායතන යැ, රසායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතන පර්‍ය්‍යාපන්න වූ යම් රූපයකුත් වේ ද, ඒ දැ යි මෙසේ ඒකාදශප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ. මේ රූපස්කන්‍ධ යි කියනු ලැබේ.
රූපස්කන්‍ධය යි.
66. එහි වේදනාස්කන්‍ධය කවරේ යත්:
එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයේ ඇත, අහේතුක වූයේ ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූ වේදනාස්කන්‍ධයෙක් ඇත, අකුශල වූයේ ඇත, අව්‍යාකෘත වූයේ ඇති.
චතුෂ්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කාමාවචර වූ වේදනාස්කන්‍ධයෙක් ඇත, රූපාවචර වූයේ ඇත, අරූපාවචර වූයේ ඇත, අපර්‍ය්‍යාපන්න වූයේ ඇති.
පඤ්චප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සුඛීන්‍ද්‍රියයෙක් ඇත, දුක්ඛීන්‍ද්‍රියයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රියයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රියයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රියයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ෂට්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
සප්තප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: : චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ සප්තප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
අෂ්ටප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා සුඛ වූයේ ඇත, දුක් වූයේ ඇති. මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
නවප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනායැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා කුශල වේදනායෙක් ඇත, අකුශල වේදනායෙක් ඇත, අව්‍යාකෘත වේදනායෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
දශප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා සුව වූයේ ඇත, දුක් වූයේ ඇත, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා කුශල වේදනායෙක් ඇත, අකුශල වේදනායෙක් ඇත, අව්‍යාකෘත වේදනායෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
67. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වේදනාස්කන්‍ධය ඇත, අහේතුක වූයේ ඇති.
ත්‍රි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාවධර්‍ම වූයේ ඇත, නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති.
උපාදින්නුපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නුපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති.
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තෙක් ඇති.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො ම ආචයගාමී නාපචයගාමී වූයෙක් ඇති.
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
මිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී (උපදනාසුලු) වූයෙක් ඇති.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහ්‍ය වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍ය වූයෙක් ඇති.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහ්‍යාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍යාලම්බන වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
68. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් වෙයි, හේතු විප්‍රයුක්ත වූයෙක් වේ.
හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
ලෞකිකයෙක් ඇත, ලෝකෝත්තරයෙක් ඇති.
(චක්‍ෂුර් විඥානාදීන් අතුරෙහි) කිසි එකෙකින් දත යුතු වූයෙක් ඇත, කිසි එකෙකින් නො දත යුතු වූයෙක් ඇති.
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
සංයෝජනයන්ට හිත වූයෙක් ඇත, සංයෝජනයන්ට හිත නො වූයෙක් ඇති.
සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනයන්ට හිත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනයන්ට හිත නො වූයෙක් ඇති.
ග්‍රන්‍ථයන්ට හිත වූයෙක් ඇත, ග්‍රන්‍ථයන්ට හිත නො වූයෙක් ඇති.
ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනිය වූයෙක් ඇති.
ඕඝයන්ට හිත වූයෙක් ඇත, ඕගයන්ට හිත නො වූයෙක් ඇති.
ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ඕඝ විප්‍රයුක්ත ඕඝනිය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
යෝගයන්ට හිත වූයෙක් ඇත, යෝගයන්ට හිත නො වූයෙක් ඇති.
යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
යෝග විප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
නීවරණයන්ට හිත වූයෙක් ඇත, නීවරණයන්ට හිත නො වූයෙක් ඇති.
නීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
නීවරණ විප්‍රයුක්ත නීවරණීය වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත නීවරණීය නො වූයෙක් ඇති.
පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමෘෂ්ට නො වූයෙක් ඇති.
පරාමාස සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූයෙක් ඇති.
පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූ පරාමෘෂ්ට නො වූයෙක් ඇති.
උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.
උපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
උපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය වූයෙක් ඇති.
සාංක්ලේශික වූයෙක් ඇත, සාංක්ලේශික නො වූයෙක් ඇති.
සංක්ලිෂ්ට වූයෙක් ඇත, සංක්ලිෂ්ට නො වූයෙක් ඇති.
ක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ සාංක්ලේශික නො වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වූයෙක් ඇති.
භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
සවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
සවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
සප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
ප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
කාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
රූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
අරූපාවචර වූයෙක් ඇත, අරූපාවචර නො වූයෙක් ඇති.