Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 1101-1200 න් 4234

250. එකොළොස් ආයතන කෙනෙක් පරාමාසයෝ නො වෙති. ධර්‍මායතනය පරාමාස ද වන්නේ ය, නොද පරාමාස ද වන්නේ යි.
දශායතනයෝ පරාමෘෂ්ට වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් පරාමෘෂ්ට ද වන්නාහ, අපරාමෘෂ්ට ද වන්නාහු ය.
දශායතනයෝ පරාමාසවිප්‍රයුක්තයහ. මනායතනය පරාමාසසම්ප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාසවිප්‍රයුක්ත ද වන්නේ යි. ධර්‍මායතනය පරාමාසසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමාසවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමාසසම්ප්‍රයුක්ත යි ද පරාමාසවිප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
දශායතනයෝ පරාමාස ද වූවාහු ම පරාමෘෂ්ටහ යි නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නොදපරාමර්‍ශ වෙති. මනායතනය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙකැ යි නො කියයුත්තේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්‍ශ ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්‍ශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ට ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙක යි ද පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්‍ශ යි ද නො කියයුතු වන්නේ යි.
දශායතනයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ ය, ආයතනයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටහ යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටහ යි ද නො කියයුතු වන්නාහු ය.
251. දශායතනයෝ අනාලම්බනයෝ ය. මනායතනය සාලම්බන ය. ධර්‍මායතනය සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
මනායතනය චිත්ත යි. එකොළොස් ආයතනයෝ චිත්තයෝ නො වෙත්.
එකොළොස් ආයතනයෝ අචෛතසිකයෝ යි. ධර්‍මායතනය චෛතසික ද වන්නේ ය, අචෛතසික ද වන්නේ යි.
දශායතනයෝ චිත්තවිප්‍රයුක්තයෝ ය. ධර්‍මායතනය චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය. චිත්තවිප්‍රයුක්ත ද වන්නේ යි. මනායතනය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තේ යි.
දශායතනයෝ චිත්තය හා විසංසෘෂ්ටයහ. ධර්‍මායතනය චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය. මනායතනය චිත්තය සා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුත්තේ යි.
ආයතනයෝ සදෙනෙක් චිත්තසමුත්‍ථාන නො වෙති. ආයතනයෝ සදෙනෙක් චිත්තසමුත්‍ථාන ද වන්නාහ, චිත්තසමුත්‍ථාන නොද වන්නාහු ය.
එකොළොස් ආයතනයෝ චිත්තසහභූ නො වෙති. ධර්‍මායතනය චිත්තසහභූ ද වන්නේ ය, නො ද චිත්තසහභූ ද වන්නේ යි.
එකොළොස් ආයතනයෝ චිත්තය අනුව පවත්නාහු නො වෙති. ධර්‍මායතනය චිත්තානුපරිවත්තී ද වන්නේ ය, නොද චිත්තානුපරිවත්තී ද වන්නේ යි.
එකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ නො වෙති. ධර්‍මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය. නොදචිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ යි.
එකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති. ධර්‍මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය. නොදචිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වන්නේ යි.
එකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු නො වෙති. ධර්‍මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ ය, නොද චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ යි.
ආයතනයෝ සදෙනෙක් ආද්ධ්‍යාත්මිකයෝ ය. ආයතනයෝ සදෙනෙක් බාහිරයෝ යි.
ආයතනයෝ නවදෙනෙක් උපාදා වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදා නො වෙති. ධර්‍මායතනය උපාදා ද වන්නේ ය, නො ද උපාදා ද වන්නේ යි.
ආයතනයෝ පස්දෙනෙක් උපාදින්නයෝ ය. ශබ්දායතනය අනුපාදින්න ය, ආයතනයෝ සදෙනෙක් උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු ය.
252. එකොළොස් ආයතනයෝ උපාදානයෝ නො වෙති. ධර්‍මායතනය උපාදාන ද වන්නේ ය, නොද උපාදාන ද වන්නේ යි.
දශායතනයෝ උපාදානිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු ය.
දශායතනයෝ උපාදානවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් උපාදානසම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
දශායතනයෝ උපාදාන ද වූවාහු ම උපාදානියහ යි නො කිය යුත්තාහ, උපාදානිය ද වූ ම නොදඋපාදාන වෙති. මනායතනය උපාදාන ද වූයේ ම උපාදානිය යැ යි නො කියයුතු ය. උපාදානිය ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නො ද උපාදාන යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නොදඋපාදාන ද වන්නේ ය. උපාදාන ද වූයේ ම උපාදානිය යි ද උපාදානිය ද වූයේ ම නොදඋපාදාන යි ද නො කියයුත්තේ යි.
දශායතනයෝ උපාදාන ද වූ ම උපාදානසම්ප්‍රයුක්තයහ යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ම නොදඋපාදානහ යි ද නො කියයුත්තාහ. මනායතනය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ය යි නො කියයුත්තේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදඋපාදානැ යි නො කියයුතු වන්නේ ය, ධර්‍මායතනය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය. උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන ද වන්නේ ය, උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදඋපාදාන යි ද නො කියයුතු වන්නේ යි.
දශායතනයෝ උපාදානවිප්‍රයුක්තඋපාදානියයෝ වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ. උපාදානවිප්‍රයුක්තඋපාදානියහ යි ද උපාදානවිප්‍රයුක්තඅනුපාදානියහ යි ද නො කියයුතු වන්නාහු ය.
253. එකොළොස් ආයතනයෝ ක්ලේශයෝ නො වෙති. ධර්‍මායතනය ක්ලේශ ද වන්නේ ය, නොද ක්ලේශ ද වන්නේ යි.
දශායතනයෝ සංක්ලේශිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු ය.
දශායතනයෝ අසංක්ලිෂ්ටයහ. ආයතනයෝ දෙදෙනෙක් සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු ය.
දශායතනයෝ ක්ලේශවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දශායතනයෝ ක්ලේශ ද වූවාහු ම සාංක්ලේශික වෙතී යි නො කිය යුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නොදක්ලේශයෝ වෙති. මනායතනය ක්ලේශ ද වූයේ ම සාංක්ලේශිකයෙකැ යි නො කියයුතු ය, සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය, සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශ ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
දශායතනයෝ ක්ලේශ ද වූවාහු ම සංක්ලිෂ්ටහ යි ද සංක්ලිෂ්ට ද වූ ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනායතනය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ය යි නො කියයුතුය, සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූම නොද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
දශායතනයෝ ක්ලේශ ද වූවාහු ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ක්ලේශ යි ද නො කියයුත්තාහ. මනායතනය ක්ලේශ ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ය යි නො කියයුතුය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
දශායතනයෝ ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකහ යි ද ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකහ යි ද නො කියයුත්තාහු ය.
254. දශායතනයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නොද වන්නාහු ය.
දශායතනයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නොද වන්නාහු ය.
දශායතනයෝ දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක නොද වන්නාහු ය.
දශායතනයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක නොද වන්නාහු ය.
දශායතනයෝ අවිතර්‍කයහ, ආයතනයෝ දෙදෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
දශායතනයෝ අවිචාරයහ, ආයතනයෝ දෙදෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
දශායතනයෝ අප්‍රීතිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
දශායතනයෝ ප්‍රීතිසහගතයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නොද වන්නාහු ය.
දශායතනයෝ සුඛසහගත නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නොද වන්නාහු ය.
දශායතනයෝ උපේක්‍ෂාසහගත නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නොද වන්නාහු ය.
දශායතනයෝ කාමාවචරයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් කාමාවචර ද වන්නාහ, කාමාවචර නොද වන්නාහු ය.
දශායතනයෝ රූපාවචරයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් රූපාවචර ද වන්නාහ, රූපාවචර නොද වන්නාහු ය.
දශායතනයෝ අරූපාවචරයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් අරූපාවචර ද වන්නාහ, අරූපාවචර නොද වන්නාහු ය.
දශායතනයෝ පර්‍ය්‍යාපන්නයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු ය.
දශායතනයෝ අනෛර්‍ය්‍යාණිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
දශායතනයෝ අනියතයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
දශායතනයෝ සඋත්තරයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු ය.
දශායතනයෝ අරණයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සරණයෝ ද වන්නාහ, අරණයෝ ද වන්නාහු ය යි.
පඤ්හපෘච්ඡක යි.
ආයතනවිභඞ්ගය නිමි.
3. ධාතුවිභඞ්ගය
255. ධාතූහු සදෙනෙකි: පඨවිධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය, ආකාසධාතු ය, විඤ්ඤාණධාතු යි.
256. එහි පඨවිධාතු කවර යත්: පෘථිවිධාතු දෙ කොටසෙකි: අධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි ආධ්‍යාත්මික පෘථිවිධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ (තමා කෙරෙහි පිහිටි) කර්‍කශ වූ පරුෂ වූ කර්‍කශභාවය ඇති කර්‍කශස්වභාව ඇති අධ්‍යාත්ම වූ උපාදින්න (ශරීරස්ථ) වූ යම් කොටසෙක් ඇද්ද, ඒ මෙසේ ය: කෙස් ලොම් නිය දත් සිවි මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදවත් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන නො පැසුණුඅහර පැසුණුඅහර ය. අන්‍ය වූ ද අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ දත වූ රළු වූ තදබව ඇති තදසැහැවි ඇති අධ්‍යාත්ම වූ ශරීරස්ථ වූ යම් කොටසෙක් හෝ ඇද්ද, මේ ආධ්‍යාත්මිකපෘථිවිධාතු යි කියනු ලැබේ.
එහි බාහිර වූ පෘථිවිධාතු කවර යත්: කර්‍කශ වූ රළු වූ රළුබව ඇති රළුසැහැවි ඇති බාහ්‍ය වූ අනුපාදින්න වූ යම් බාහිර කොටසෙක් වේ ද, ඒ මෙසේ ය: යකඩ ලොහො හෙළතුඹු කළුතුඹු රිදී මුතු මැණික් වෙරළුමිණි සක් සල පබළ කහවන රන් රත්මිණි මැසිරිගල් තණ දඬුකඩ කැට කැබිලිති පොළෝ පහණ පවු ය, අන්‍ය වූ ද බාහිර වූ කර්‍කශ වූ රළු වූ කැකුළුබවට ගිය බාහිර වූ අනුපාදින්න වූ යමක් හෝ ඇද්ද, මේ බාහිරපෘථිවිධාතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මිකපෘථිවිධාතුවකුත් වේ ද යම් බාහිරපෘථිවිධාතුවකුත් වේ ද එය එක් රැස් කොට හකුළුවා මේ පෘථිවිධාතු යි කියනු ලැබේ.
257. එහි ආපෝධාතු කවර යත්: ආපෝධාතු දෙකොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි අධ්‍යාත්මිකආපෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ භූතරූපයාගේ බන්‍ධනභාවයෙක් වේ ද, ඒ මෙසේ ය: පිත ය සෙම ය. සැරව ය ලෙහෙය සෝදිය ය මේදස් ය කඳුළු ය වුරුණුතෙල ය කෙළ ය. සොටු ය සඳමිදුලු ය මූ ය, යළි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් සිනෙහගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ ආධ්‍යාත්මික ආපෝධාතු යි කියනු ලැබේ.
එහි බාහිර ආපෝධාතු කවර යත්: බාහිර වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් බාහිර වූ අනුපාදින්න (ශරීරස්ථ නො වූ) රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද ඒ මෙසේ ය: මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය, කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය (තල ආදි) තෙල් ය මිහි ය පැණි ය භූමිස්ථ වූ හෝ ආකාශස්ථ වූ හෝ දිය ය, යලි අන්‍ය වූ ද බාහිර වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ බාහිර ආපෝධාතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මික අබ්ධාතුවකුත් යම් බාහිර අබ්ධාතුවකුත් වේ ද එය එක්රැස් කොට හකුළුවා මේ ආපෝධාතු යි කියනු ලැබේ.
258. එහි තේජෝධාතු කවර යත්: තේජෝධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි ආධ්‍යාත්මිකතේජෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් තේජසෙක් තේජෝගතයෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් බලවත් උණුසුමෙක් බලවත් උණුසුම් බවෙක් අධ්‍යාත්ම වූ උපාදින්නයෙක් වේ ද, ඒ මෙසේ ය: යම් තේජසකින් තැවේ ද යමෙකින් දිරායේ ද යමෙකින් දැවේ ද වැළඳු පී කෑ රසවිඳි දැය මැනැවින් පැසීමට යේ ද, යලි අන්‍ය වූ හෝ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ තේජසෙක් තේජෝගතයෙක් හුණුඅයුරෙක් හුණු බවෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් අධ්‍යාත්ම වූ උපාදින්නයෙක් වේ ද, මේ ආධ්‍යාත්මික වූ තේජෝධාතු යි කියනු ලැබේ.
එහි බාහිර තේජෝධාතු කවර යත්: බාහිර වූ යම් තේජසෙක් තේජෝගතයෙක් උණු අයුරෙක් උණු බවෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් බාහිර වූ අනුපාදින්නයෙක් වේ ද, ඒ මෙසේ ය: දරගිනි ය පතුරුගිනි ය තණගිනි ය ගොමවැරැටිගිනි ය දහවියා ගිනි ය කසළගිනි ය සෙනගිනි ය ගිනිතැවුලි ය හිරුතැවුලි ය දඬුරැසෙහි තැවුලි ය තණ රැසෙහි තැවුලි ය ධාන්‍යරැසෙහි තැවුලි ය භාණ්ඩ රැසෙහි තැවුලි ය, තවද අන්‍ය වූත් බාහිර වූ තේජසෙක් තේජෝගතයෙක් උස්මායෙක් උස්මාගතයෙක් උසුමයෙක් උසුමගතයෙක් බාහිර වූ අනුපාදින්න වූයෙක් ඇද්ද, මේ බාහිරතේජෝධාතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මිකතේජෝධාතුවකුත් වේ ද යම් බාහිරතේජෝධාතුවකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ තේජෝධාතු යි කියනු ලැබේ.
259. එහි වායෝධාතු කවර යත්: වායෝධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි ආධ්‍යාත්මිකවායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් වායුවෙක් වායෝගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ පිරුණු බවෙක් වේ ද ඒ මෙසේ ය: ඌර්‍ධවඞ්ගමවාත ය අධෝගමවාත ය කුසෙහි වූ වාත ය අතුණු තුළ වූ වාත ය අඟපසෙහි හැසිරෙන වාත ය (සඳබහන් සිඳින) ශස්ත්‍රකවාත ය (හදවත පළන) ක්‍ෂුරක වාත ය (හදමස් උපුරන) උත්පාටකවාත ය ආශ්වාස ය ප්‍රශ්වාස ය මෙසේ වූ හෝ යලි අන්‍ය වූ හෝ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ යම් පිරුණු බවෙක් ඇද්ද, මේ අධ්‍යාත්මිකවායෝධාතු යි කියනු ලැබේ.
එහි බාහිරවායෝධාතු කවර යත්: බාහිර වූ යම් වායුවෙක් වායෝගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ පිරුණු බවෙක් වේ ද, ඒ මෙසේ ය: පෙරදිගින් හැමූ වාත ය, පැළදිගින් හැමූ වාත ය උතුරුදිගින් හැමූ වාතය දකුණුදිගින් හැමූ වාත ය රජස් සහිත වාත ය රජස් රහිත වාත ය සිහිල් වාත ය හුණු වාත ය මඳ වාත ය සැඬසුළඟ ය වැසිසුළඟ ය වේරම්බවාත ය පියාපත්සුළඟ ය ගරුඬවාත ය තල්වැටසුළඟ ය විජිනිසුළඟ ය යලි අන්‍ය වූ ද බාහිර වූ වායුවෙක් වායෝගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ යම් පිරුණු බවෙක් හෝ ඇද්ද, මේ බාහිරවායෝධාතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මික වූ වායෝධාතුයෙකුත් වේ ද යම් බාහිර වූ වායෝධාතුයෙකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ වායෝධාතු යි කියනු ලැබේ.
260. එහි ආකාසධාතු කවර යත්: ආකාසධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
එහි ආධ්‍යාත්මිකආකාශධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටෙන බැවින්) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ මස්ලෙහෙයින් නො පහස්නා ලදුයෙක් වේ ද, ඒ මෙසේ ය: කන්සිදුරු ය නැහැසිදුරු ය මුවදොර ය, යම් විවරයෙකින් අසිතපීතඛායිත සායිතය පරගල කෙරේ ද යම් තැනෙක අසිතපීතඛායිතසායිතය රැස්ව සිටී ද යම් විවරයෙකින් අසිතපීතඛායිතසායිතය අධෝභාගයට නික්මේ ද යලි අන්‍ය වූ ද ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ මස් ලෙහෙයින් යම් නො පහස්නා ලදුයෙක් ඇද්ද, මේ ආධ්‍යාත්මිකආකාශධාතු යි කියනු ලැබේ.
එහි බාහිරආකාශධාතු කවර යත්: බාහිර වූ යම් ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ සතරමහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ බාහිරආකාශධතු යි කියනු ලැබේ.
යම් ආධ්‍යාත්මික වූ ආකාශධාතුයෙකුත් වේ ද යම් බාහිර වූ ආකාශධාතුයෙකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ ආකාශධාතු යි කියනු ලැබේ.
261. එහි විඤ්ඤාණධාතු කවර යත්: චක්‍ෂුර්විඥානධාතු ය ශ්‍රෝත්‍රවිඥානධාතු ය ඝ්‍රාණවිඥානධාතු ය ජිහ්වාවිඥානධාතු ය කායවිඥානධාතු ය මනෝවිඥානධාතු යි. මේ විඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
මේ ෂට්ධාතු යි.
262. අන්‍ය වූ ද ධාතූහු සදෙනෙකි: සුඛධාතු ය, දුක්ඛධාතු ය, සෝමනස්සධාතු ය, දෝමනස්සධාතු ය, උපෙක්ඛාධාතු ය, අවිජ්ජාධාතු යි.
එහි සුඛධාතු කවර යත්: යම් කායික වූ මිහිරෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් මිහිරිවූ සුව වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සුඛධාතු යි කියනු ලැබේ.
එහි දුඃඛධාතු කවර යත්: යම් කායික වූ අමිහිරෙක් කායිකදුඃඛයෙක් කාපහසින් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් අමිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද මේ දුඃඛධාතු යි කියනු ලැබේ.
එහි සෝමනස්සධාතු කවර යත්: යම් චෛතසික වූ මිහිරෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛ වේදනාවක් වේ ද, මේ සෝමනස්සධාතු යි කියනු ලැබේ.
එහි දෝමනස්සධාතු කවර යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනාවක් වේ ද, මේ දෝමනස්සධාතු යි කියනු ලැබේ.
එහි උපේක්‍ෂාධාතු කවර යත්: යම් චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ උපේක්‍ෂාධාතු යි කියනු ලැබේ.
එහි අවිජ්ජාධාතු කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංග්‍රාහණයෙක් හාත්පසින් නො බැසැගැන්මෙක් සම ව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් අපවිත්‍ර බවෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යාධාතු යි කියනු ලැබේ.
මේ ෂට්ධාතූහු යි.
263. අන්‍ය වූ ද ධාතූහු සදෙනෙකි: කාමධාතු ය, ව්‍යාපාදධාතු ය, විහිංසාධාතු ය, නෙක්ඛම්මධාතු ය, අව්‍යාපාදධාතු ය, අවිහිංසාධාතු යි.
එහි කාමධාතු කවර යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙන් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ කාමධාතු යි කියනු ලැබේ. යටින් අවීචිනිරය හිම් කොට මත්තෙහි පරනිර්මිතවශවර්තිදෙවියන් ඇතුළු කොට මෙඅතුරෙහි මෙහි බැසැගෙන සිටින මෙහි ඇතුළු වූ යම් ස්කන්‍ධධාතු ආයතන කෙනෙක් වෙත් ද, රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානයෙක් වේ ද, මේ කාමධාතු යි කියනු ලැබේ.
එහි ව්‍යාපාදධාතු කවර යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ව්‍යාපාදධාතු යි කියනු ලැබේ. දශආඝාතවස්තුයෙහි හෝ චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපරීත බවෙක් චිත්තයාගේ ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් ක්‍රැද්ධ බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීතයෙක් විපරීතාකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක් අසුරෝපයෙක් (නො පිරිපුන් වචන ඇති බවෙක්) චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ව්‍යාපාදධාතු යි කියනු ලැබේ.
එහි විහිංසාධාතු කවර යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ විහිංසාධාතු යි කියනු ලැබේ. මෙහි එකෙක් අතින් හෝ කැටින් හෝ දඬියෙන් හෝ සැතින් හෝ රැහැනින් හෝ එක්තරඑක්තරයෙකින් හෝ සතුන් පෙළාද, මෙ බඳු වූ යම් පෙළීමෙක් වෙසෙසින් පෙළීමෙක් හිංසායෙක් විහිංසායෙක් ගැටීමෙක් වෙසෙසින් ගැටීමෙක් මෙරමාහට හිංසායෙක් වේ ද, මේ විහිංසාධාතු යි කියනු ලැබේ.
එහි නෙක්ඛම්මධාතු කවර යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ නෙක්ඛම්මධාතු යි කියනු ලැබේ. සියලු ම කුශලධර්‍මයෝ නෙක්ඛම්මධාතු යි.
එහි අව්‍යාපාදධාතු කවර යත්: අව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ අව්‍යාපාදධාතු යි කියනු ලැබේ. සත්ත්‍වයන් විෂයෙහි යම් මෛත්‍රියක් මෙත් වඩන අයුරෙක් මෙත් වැඩූ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ අව්‍යාපාදධාතු යි කියනු ලැබේ.
එහි අවිහිංසාධාතු කවර යත්: අවිහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් ව්‍යර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ අවිහිංසාධාතු යි කියනු ලැබේ. සත්ත්‍වයන් විෂයයෙහි යම් කරුණායෙක් කරුණාඅයුරෙක් කරුණා ඇති බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ අවිහිංසාධාතු යි කියනු ලැබේ.
මේ ෂඩ්ධාතු යි.
මෙසේ මේ තුන් ෂට්කයෝ ය, ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා අටළොස් ධාතූහු වෙත්.
සූත්‍රාන්තභාජනිය යි.
264. අටළොස් ධාතු කෙනෙකි: චක්ඛුධාතු ය, රූපධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු ය, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්ධාතු ය, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණධාතු යි.
එහි චක්ඛුධාතු කවර යත්: යම් ඇසෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ චක්ඛුධාතු යි කියනු ලැබේ.
එහි රූපධාතු කවර යත්: යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ … තෙල රූපධාතු නමුදු වේ. මේ රූපධාතු යි කියනු ලැබේ.
එහි චක්ඛුවිඤ්ඤාණධාතු කවර යත්: ඇස ද රූප ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාංග සිතෙක්, මනසෙක් මන සංඛ්‍යාත වූ මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් උපදී ද, මේ චක්ඛුවිඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
එහි සෝතධාතු කවර යත්: යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාද රූපය වූයේ … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ සෝතධාතු යි කියනු ලැබේ.