Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 1-100 න් 4234

අභිධර්‍මපිටකයෙහි
විභඞ්ග පෙළ
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
1. ස්කන්‍ධ විභඞ්ගය
1. ස්කන්‍ධ පසෙකි: රූපස්කන්‍ධ යැ, වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි.
2. එහි රූපස්කන්‍ධය කවරේ යත්:
ආධ්‍යාත්මික වේවයි බාහිර වේවායි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුර වේවයි ළඟ වේවයි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් වේ ද, ඒ හැම රූපය එක්පරිද්දෙකින් කැටි කොට හකුළුවා ගෙන මේ රූපස්කන්‍ධ යයි කියනු ලැබේ.
3. එහි අතීතරූපය කවරේ යත්:
(භව වශයෙන් හෝ ක්‍ෂණ වශයෙන් හෝ) ඉක්ම ගිය නිරුද්ධ වූ වෙන් වැ ගියා වූ පෙරළීමට ගියා වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපද වෙන් වැ ගියා වූ ඉක්ම ගියා වූ අතීතාංශයෙන් සඞ්ග්‍රහයට ගියා වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘අතීතරූප’ යි කියනු ලැබේ.
4. එහි අනාගතරූපය කවරේ යත්:
(භව වශයෙන් හෝ ක්‍ෂණ වශයෙන් හෝ) නො හටගත් නො වූ ප්‍රත්‍යයසමවායයෙන් නූපන් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යයසමවායයෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යයසමවායයෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘අනාගතරූප’ යි කියනු ලැබේ.
5. එහි ප්‍රත්‍යුත්පන්න රූපය කවරේ යත්:
හටගත් උපන් ප්‍රත්‍යය සමවායයෙහි උපන් නිපන් වෙසෙසින් නිපන් පහළ වූ උපන් ප්‍රත්‍යයසමවායයෙහි උපන් නැඟුණු ප්‍රත්‍යය සමවායයෙන් නැඟුණු වර්‍තමාන වූ වර්‍තමානාංශයෙන් සඞ්ගෘහීත වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘ප්‍රත්‍යුත්පන්න රූප’යි කියනු ලැබේ.
6. එහි ආධ්‍යාත්මිකරූපය කවරේ යත්:
ඒ ඒ සත්ත්‍වයන්ගේ තමතමන් අයත්, තමතමන් කෙරෙහි වූ, ස්වකීය වූ පුද්ගලයකු පාසා පවත්නා වූ උපාදින්න වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘ආධ්‍යාත්මිකරූප’ යි කියනු ලැබේ.
7. එහි බාහිරරූපය කවරේ යත්:
ඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ තමතමන් කෙරෙහි වූ ස්වකීය වූ පුඟුලකු පාසා පවත්නා වූ උපාදින්න වූ යම් රූපයෙක් වේ ද, සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ ‘බාහිර රූප’යි කියනු ලැබේ
8. එහි ඖදාරිකරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන යැ, රූපායතන යැ, ශ්‍රෝත්‍රායතන යැ, ශබ්දායතන යැ, ඝ්‍රාණායතන යැ, ගන්‍ධායතන යැ, ජිව්හායතන යැ, රසායතන යැ, කායායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ යන මේ ‘ඖදාරිකරූප’යි කියනු ලැබේ.
9. එහි සූක්‍ෂ්මරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්‍ද්‍රිය යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, ආකාශධාතු යැ, අබ්ධාතු යැ රූපයාගේ ලඝුත්‍ව යැ, රූපයාගේ මෘදුත්‍ව යැ, රූපයාගේ කර්‍මණ්‍යත්‍ව යැ රූපයාගේ උපචය යැ, රූපයාගේ සන්තති යැ රූපයාගේ ජරතා යැ, රූපයාගේ අනිත්‍යතා යැ, කවලීකාරාහාර යැ යන මේ ‘සූක්‍ෂ්මරූප’ යි කියනු ලැබේ.
10. එහි හීනරූපය කවරේ යත්:
ඒ ඒ සත්ත්‍වයන් විසින් අවමන් කරන ලද ලාමක වශයෙන් සලකන ලද බැහැර කළ පරිභව කළ නො ගරු කළ හීන වූ හීන යයි සලකන ලද හීන යයි සම්මත වූ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ යම් රූපයෙක් වේ ද, එබඳු වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මේ ‘හීනරූප’ යි කියනු ලැබේ.
11. එහි ප්‍රණීතරූපය කවරේ යත්:
ඒ ඒ සත්ත්‍වයන් විසින් අවමන් නො කරන ලද ලාමක වශයෙන් නො සිතන ලද බැහැර නො කළ පරිභව නො කළ ගරු කළ ප්‍රණීත වූ ප්‍රණීත යයි සලකන ලද ප්‍රණීත යයි සම්මත වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන යම් රූපයෙක් වේ ද, එබඳු වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මේ ‘ප්‍රණීතරූප’යි කියනු ලැබේ. තවද ඒ ඒ රූපය නිසා හීනප්‍රණීතරූපය දත යුතු යි.
12. එහි දූරේරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය යැ ... කවලීකාරාහාර යැ, තවද අනාසන්නයෙහි බැහැර දුරැ නො ළඟ වූ අන්‍ය වූ ද යම් රූපයෙක් ඇද්ද, මේ ‘දූරේරූප’යි කියනු ලැබේ.
13. එහි සන්තිකේරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, තවද ආසන්නයෙහි සමීපයෙහි නුදුරෙහි ළඟ වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ‘සන්තිකේ රූප’යි කියනු ලැබේ. තවද ඒ ඒ රූපය නිසා දූරේ සන්තිකේ රූපය දත යුතු.
14. එහි වේදනාස්කන්‍ධය කවරේ යත්:
අධ්‍යාත්ම වේව යි බාහිර වේව යි ඖදාරික වේව යි සූක්‍ෂ්ම වේව යි හීන වේව යි ප්‍රණීත වේව යි අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ යම්කිසි වේදනාවක් වේ ද, දුරැ වූ හෝ ළඟැ වූ හෝ යම් වේදනාවකුත් වේ ද, ඒ සියල්ල එක් අයුරකින් කැටි කොට හකුළුවා මේ ‘වේදනාස්කන්‍ධ’යි කියනු ලැබේ.
15. එහි අතීත වේදනා කවර යත්:
ඉක්ම ගියා වූ නිරුද්ධ වූ පහ වැ ගියා වූ විපරිණත වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපිද පහ වැ ගියා වූ අතීතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් වේදනාවක් වේ ද, එබඳු වූ සුඛ වේදනා යැ, දුඃඛ වේදනා යැ, උපේක්‍ෂා වේදනා යැ යන මේ ‘අතීත වේදනා’යි කියනු ලැබේ.
16. එහි අනාගත වේදනා කවර යත්:
නො හට ගත් නො වූ ප්‍රත්‍යයසමවායයෙන් නූපන් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යයසමවායයෙන් නූපන් අනුත්‍ථිත වූ අසමුත්‍ථිත වූ අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් වේදනාවක් වේ ද, එබඳු වූ සුඛ වේදනා යැ, දුඃඛ වේදනා යැ, උපේක්‍ෂා වේදනා යැ යන මේ ‘අනාගත වේදනා’යි කියනු ලැබේ.
17. එහි ප්‍රත්‍යුත්පන්න වේදනා කවර යත්:
හටගත් උපන් ප්‍රත්‍යයසමවායයෙන් උපන් නිපන් වෙසෙසින් නිපන් පහළ වූ උත්පන්න වූ සමුත්පන්න වූ උත්‍ථිත වූ සමුත්‍ථිත වූ ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූ යම් වේදනාවක් වේ ද එබඳු වූ සුඛ වේදනා යැ, දුඃඛ වේදනා යැ, උපේක්‍ෂා වේදනා යැ යන මේ ‘ප්‍රත්‍යුත්පන්න වේදනා’යි කියනු ලැබේ.
18. එහි අධ්‍යාත්ම වේදනා කවර යත්:
ඒ ඒ සත්ත්‍වයන්ගේ තමතමන් අයත් වූ තමතමන් කෙරෙහි වූ ස්වකීය වූ එක් එක් පුද්ගලයා සතු වූ ශරීරස්ථ වූ යම් වේදනාවක් වේ ද, එබඳු වූ සුව වේදනා යැ, දුක් වේදනා යැ, නො දුක් නො සුව වේදනා යැ යන මේ ‘අධ්‍යාත්ම වේදනා’යි කියනු ලැබේ.
19. එහි බාහිර වේදනා කවර යත්:
ඒ ඒ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික (වෙන වෙන පුඟුලන් සතු) වූ උපාදින්න වූ යම් වේදනාවක් වේ ද, එබඳු වූ සුඛ වේදනා යැ, දුඃඛ වේදනා යැ, උපේක්‍ෂා වේදනාය යන මේ ‘බාහිර වේදනා’යි කියනු ලැබේ.
20. එහි ඖදාරික - සූක්‍ෂ්ම වේදනා කවර යත්:
අකුශල වේදනාව ඖදාරික යැ, කුශල - අව්‍යාකෘත වේදනා සූක්‍ෂ්ම යි. කුශල - අකුශල වේදනා ඖදාරික යැ අව්‍යාකෘත වේදනාව සූක්‍ෂ්ම යි. දුඃඛ වේදනාව ඖදාරික යැ, සුඛ වූ ද අදුඃඛමසුඛ වූ ද වේදනා සුක්‍ෂ්ම යි. සුඛ - දුඃඛ වේදනා ඖදාරික යැ, අදුඃඛමසුඛ වේදනාව සූක්‍ෂ්ම යි. සමවත් නො සමවන්හුගේ වේදනා ඖදාරික යැ, සමවත් සමවන්හුගේ වේදනාව සූක්‍ෂ්ම යි. ආස්‍රව සහිත වේදනාව ඖදාරික යැ, ආස්‍රව රහිත වේදනාව සූක්‍ෂ්ම යි. තවද ඒ ඒ වේදනාව නිසා වේදනාව ඖදාරික සූක්‍ෂ්ම යයි දත යුතු.
21. එහි හීන - ප්‍රණීත වේදනා කවර යත්:
අකුශල වේදනාව හීන යැ, කුශල - අව්‍යාකෘත වේදනා ප්‍රණීත යි. කුශල - අකුශල වේදනා හීන යැ, අව්‍යාකෘත වේදනාව ප්‍රණීත යි. දුඃඛ වේදනාව හීන යැ සුඛ වූ ද අදුඃඛමසුඛ වූ ද වේදනා ප්‍රණීත යි. සුඛ - දුඃඛ වේදනා හීන යැ, අදුඃඛමසුඛ වේදනාව ප්‍රණීත යි. සමවත් නො සමවන්හුගේ වේදනාව හීන යැ, සමවත් සමවන්හුගේ වේදනාව ප්‍රණීත යි. ආස්‍රව සහිත වේදනාව හීන යැ, ආස්‍රව රහිත වේදනාව ප්‍රණීත යි. තවද ඒ ඒ වේදනාව නිසා හීන - ප්‍රණීත වේදනා දත යුතු.
22. එහි දූරේ වේදනා කවර යත්:
අකුශල වේදනාව කුශලාව්‍යාකෘත වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. කුශලාව්‍යාකෘත වේදනා අකුශල වේදනායෙන් දුරැ වෙයි. කුශල වේදනාව අකුශල - අව්‍යාකෘත වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. අකුශල - අව්‍යාකෘත වේදනා කුශල වේදනායෙන් දුරැ වෙයි. අව්‍යාකෘත වේදනාව කුශලාකුශල වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. කුශලාකුශල වේදනා අව්‍යාකෘත වේදනායෙන් දුරැ වෙයි. දුඃඛ වේදනාව සුඛ - උපේක්‍ෂා වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. සුඛ වේදනාව ද උපේක්‍ෂා වේදනාව ද දුඃඛ වේදනාව කෙරෙන් දුරැ වෙයි. සුඛ වේදනාව දුඃඛෝපේක්‍ෂා වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. දුඃඛෝපේක්‍ෂා වේදනා සුඛ වේදනාව කෙරෙන් දුරැ වෙයි. උපේක්‍ෂා වේදනාව සුඛ දුඃඛ වේදනාවන් කෙරෙන් දුරැ වෙයි. සුඛ දුඃඛ වේදනා උපේක්‍ෂා වේදනායෙන් දුරැ වෙයි. සමවතට නො සමවුන්හුගේ වේදනාව සමවතට සමවන්හුගේ වේදනායෙන් දුරැ වෙයි. සමවතට සමවන්හුගේ වේදනාව සමවතට නො සමවන්හුගේ වේදනායෙන් දුරැ වෙයි. සාස්‍රව වේදනාව අනාස්‍රව වේදනායෙන් දුරැ වෙයි. අනාස්‍රව වේදනාව සාස්‍රව වේදනායෙන් දුරැ වේ. මේ ‘දූරේ වේදනා’යි කියනු ලැබේ.
23. එහි සන්තිකේ වේදනා කවර යත්:
අකුශල වේදනාව අකුශල වේදනාවට ළඟ වෙයි. කුශල වේදනාව කුශල වේදනාවට ළඟ වෙයි. අව්‍යාකෘත වේදනාව අව්‍යාකෘත වේදනාවට ළඟ වෙයි. දුඃඛ වේදනාව දුඃඛ වේදනාවට ළඟ වෙයි. සුඛ වේදනාව සුඛ වේදනාවට ළඟ වෙයි. උපේක්‍ෂා වේදනාව උපේක්‍ෂා වේදනාවට ළඟ වෙයි. අසමාපන්නයාගේ වේදනාව අසමාපන්නයාගේ වේදනාවට ළඟ වෙයි. සමාපන්නයාගේ වේදනාව සමාපන්නයාගේ වේදනාවට ළඟ වෙයි. සාස්‍රව වේදනාව සාස්‍රව වේදනාවට ළඟ වෙයි. අනාස්‍රව වේදනාව අනාස්‍රව වේදනාවට ළඟ වේ. මේ ‘සන්තිකේ වේදනා’යි කියනු ලැබේ. ඒ ඒ වේදනාව නිසා ‘දූරේ සන්තිකේ වේදනා’ දත යුතු.
24. එහි සංඥාස්කන්‍ධය කවරේ යත්:
අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි සංඥාවක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා මේ ‘සංඥාස්කන්‍ධ’යි කියනු ලැබේ.
25. එහි අතීත සංඥා කවර යත්:
ඉක්ම ගියා වූ නිරුද්ධ වූ පහවැ ගියා වූ විපරිණත වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපිද පහවැ ගියා වූ අතීත වූ අතීතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංඥාවක් වේ ද, එබඳු වූ චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘අතීත සංඥා’යි කියනු ලැබේ.
26. එහි අනාගත සංඥා කවර යත්:
නො හටගත් නො වූ ප්‍රත්‍යයසමවායෙන් නො හටගත් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යයසමවායෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යයසමවායෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංඥාවක් වේ ද, එබඳු වූ චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘අනාගත සංඥා’යි කියනු ලැබේ.
27. එහි ප්‍රත්‍යුත්පන්න සංඥා කවර යත්:
හටගත් උපන් ප්‍රත්‍යය සමවායෙන් හටගත් නිපන් වෙසෙසින් නිපන් පහළ වූ උපන් ප්‍රත්‍යය සමවායෙන් උපන් නැඟුණු ප්‍රත්‍යය සමවායෙන් නැඟුණු ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංඥාවක් වේ ද, (එබඳු වූ) චක්ඛු ස්මඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘ප්‍රත්‍යුත්පන්න සංඥා’යි කියනු ලැබේ.
28. එහි අධ්‍යාත්ම සංඥා කවර යත්:
ඒ ඒ සත්ත්‍වයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් සංඥාවක් වේ ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘අධ්‍යාත්ම සංඥා’යි කියනු ලැබේ.
29. එහි බාහිර සංඥා කවර යත්:
ඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගල වූ උපාදින්න වූ යම් සංඥාවක් වේ ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මේ ‘බාහිර සංඥා’යි කියනු ලැබේ.
30. එහි ඖදාරික සූක්‍ෂ්ම සංඥා කවර යත්:
ප්‍රතිඝ සංස්පර්‍ශයෙන් (ද්වාරාලම්බන ඝට්ටනයෙන්) උපන් සංඥාව ඖදාරික යැ, අධිවචන සම්ඵස්ස (මනෝ සම්ඵස්ස)යෙන් උපන් සංඥාව සූක්‍ෂ්ම යැ, අකුශල සංඥාව ඖදාරික යැ, කුශල අව්‍යාකෘත සංඥාව සූක්‍ෂ්ම යැ, කුශලාකුශල සංඥාව ඖදාරික යැ, අව්‍යාකෘත සංඥාව සූක්‍ෂ්ම යැ, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව ඖදාරික යැ, සුඛ උපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාව සූක්‍ෂ්ම යැ, සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාව ඖදාරික යැ උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව සූක්‍ෂ්ම යැ, අසමාපන්නයාගේ සංඥාව ඖදාරික යැ, සමාපන්නයාගේ සංඥාව සුක්‍ෂ්ම යැ, සාස්‍රව සංඥාව ඖදාරික යැ, අනාස්‍රව සංඥාව සූක්‍ෂ්ම යි. තවද, ඒ ඒ සංඥාව නිසා ඖදාරික සූක්‍ෂ්ම සංඥා දත යුතු.
31. එහි හීන ප්‍රණීත සංඥා කවර යත්:
අකුශල සංඥාව හීන යැ, කුශලාව්‍යාකෘත සංඥා ප්‍රණීත යැ, කුශලාකුශල සංඥා හීන යැ, අව්‍යාකෘත සංඥාව ප්‍රණීත යැ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව හීන යැ, සුඛ උපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාව ප්‍රණීත යැ. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාව හීන යැ, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව ප්‍රණීත යැ. අසමාපන්නයාගේ සංඥාව හීන යැ, සමාපන්නයාගේ සංඥාව ප්‍රණීත යැ. සාස්‍රව සංඥාව හීන යැ, අනාස්‍රව සංඥාව ප්‍රණීත යි. තවද, ඒ ඒ සංඥාව නිසා හීන ප්‍රණීත සංඥා දත යුතු යි.
32. එහි දූරේ සංඥා කවර යත්:
අකුශල සංඥාව කුශලාව්‍යාකෘත සංඥාවන් කෙරෙන් දුරැ යැ. කුශලාව්‍යාකෘත සංඥා අකුශල සංඥායෙන් දුරැ යැ. කුශල සංඥාව අකුශලාව්‍යාකෘත සංඥාවන් කෙරෙන් දුරැ යැ, අකුශලාව්‍යාකෘත සංඥා කුශල සංඥායෙන් දුරැ යැ. අව්‍යාකෘත සංඥාව කුශලාකුශල සංඥාවන් කෙරෙන් දුරැ යැ. කුශලාකුශල සංඥා අව්‍යාකෘත සංඥායෙන් දුරැ යැ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව සුඛ උපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාවන් කෙරෙන් දුරැ යැ. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥා දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥායෙන් දුරැ යැ. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාවන් කෙරෙන් දුරැ යැ. දුඃඛ උපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥා සුඛ වේදනාව හා සමුප්‍රයුක්ත සංඥායෙන් දුරැ යැ. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥාවන් කෙරෙන් දුරැ යැ. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංඥා උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥායෙන් දුරැ යැ. අසමාපන්නයාගේ සංඥාව සමාපන්නයාගේ සංඥායෙන් දුරැ යැ. සමාපන්නයාගේ සංඥාව අසමාපන්නයාගේ සංඥායෙන් දුරැ යැ. සාස්‍රව සංඥාව අනාස්‍රව සංඥායෙන් දුරැ යැ. අනාස්‍රව සංඥාව සාස්‍රව සංඥායෙන් දුරැ යි. මේ ‘දූරේ සංඥා’යි කියනු ලැබේ.
33. එහි සන්තිකේ සංඥා කවර යත්:
අකුශල සංඥාව අකුශල සංඥාවට ආසන්නයෙහි යැ, කුශල සංඥාව කුශල සංඥාවට ආසන්නයෙහි යැ, අව්‍යාකෘත සංඥාව අව්‍යාකෘත සංඥාවට ආසන්නයෙහි යැ, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාවට ආසන්නයෙහි යැ, සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාවට ආසන්නයෙහි යැ, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාව උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංඥාවට ආසන්නයෙහි යැ, අසමාපන්නයාගේ සංඥාව අසමාපන්නයාගේ සංඥාවට ආසන්නයෙහි යැ, සමාපන්නයාගේ සංඥාව සමාපන්නයාගේ සංඥාවට ආසන්නයෙහි යැ, සාස්‍රව සංඥාව සාස්‍රව සංඥාවට ආසන්නයෙහි යැ, අනාස්‍රව සංඥාව අනාස්‍රව සංඥාවට ආසන්නයෙහි යි. මේ ‘සන්තිකේ සංඥා’යි කියනු ලැබේ. තවද, ඒ ඒ සංඥාව නිසා දූරේ සන්තිකේ සංඥා දත යුතු යි.
34. එහි සංස්කාරස්කන්‍ධය කවරේ යත්:
අධ්‍යාත්ම වේව යි බාහිර වේව යි ඖදාරික වේව යි සූක්‍ෂ්ම වේව යි හීන වේව යි ප්‍රණීත වේව යි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි සංස්කාර කෙනෙක් වෙත් ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා මේ ‘සංස්කාරස්කන්‍ධ’යි කියනු ලැබේ.
35. එහි අතීත සංස්කාරයෝ කවරහ යත්:
අතීත වූ නිරුද්ධ වූ පහවැ ගියා වූ විපරිණත වූ අස්තඞ්ගත වූ වෙසෙසින් අස්තඞ්ගත වූ ඉපිද පහවැ ගියා වූ අතීත වූ අතීතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු ‘අතීත සංස්කාරහ’යි කියනු ලැබෙත්.
36. එහි අනාගත සංස්කාරයෝ කවරහ යත්:
නො හටගත් නො වූ ප්‍රත්‍යය සමවායෙන් නො හටගත් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍ය සමවායෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යය සමවායෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු ‘අනාගත සංස්කාරහ’යි කියනු ලැබෙත්.
37. එහි ප්‍රත්‍යුත්පන්න සංස්කාරයෝ කවරහ යත්:
හටගත් උපන් ප්‍රත්‍යය සමවායෙන් හටගත් නිපන් වෙසෙසින් නිපන් ප්‍රාදුර්භූත වූ උත්පන්න වූ සමුත්පන්න වූ උත්‍ථිත වූ සමුත්‍ථිත වූ ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘ප්‍රත්‍යුත්පන්න සංස්කාරහ’යි කියනු ලැබෙත්.
38. එහි අධ්‍යාත්ම සංස්කාරයෝ කවරහ යත්:
ඒ ඒ සත්ත්‍වයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘අධ්‍යාත්ම සංස්කාරහ’යි කියනු ලැබෙත්.
39. එහි බාහිර සංස්කාරයෝ කවරහ යත්:
ඒ ඒ පර සත්ත්‍වයන්ගේ පර පුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාති පුද්ගලික වූ උපාදින්න වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘බාහිර සංස්කාරහ’යි කියනු ලැබෙත්.
40. එහි ඖදාරික සූක්‍ෂ්ම සංස්කාරයෝ කවරහ යත්:
අකුශල සංස්කාරයෝ ඖදාරිකයහ, කුශලාව්‍යාකෘත සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. කුශලාව්‍යාකෘත සංස්කාරයෝ ඖදාරිකයහ, අව්‍යාකෘත සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ඖදාරිකයහ, සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. සුඛදුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ඖදාරිකයහ, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. අසමාපන්නයාගේ සංස්කාරයෝ ඖදාරිකයහ, සමාපන්නයාගේ සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. සාස්‍රව සංස්කාරයෝ ඖදාරිකයහ, අනාස්‍රව සංස්කාරයෝ සූක්‍ෂ්මයහ. ඒ ඒ සංස්කාරයන් නිසා ඖදාරික සූක්‍ෂ්ම සංස්කාරයෝ දත යුත්තාහ.
41. එහි හීන ප්‍රණීත සංස්කාරයෝ කවරයහ යත්:
අකුශල සංස්කාරයෝ හීනයහ, කුශලාව්‍යාකෘත සංස්කාරයෝ ප්‍රණීතයහ. කුශලාකුශල සංස්කාරයෝ හීනයහ, අව්‍යාකෘත සංස්කාරයෝ ප්‍රණීතයහ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ හීනයහ, සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ප්‍රණීතයහ. සුඛදුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ හීනයහ, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ප්‍රණීතයහ. අසමාපන්නයාගේ සංස්කාරයෝ හීනයහ, සමාපන්නයාගේ සංස්කාරයෝ ප්‍රණීතයහ. සාස්‍රව සංස්කාරයෝ හීනයහ, අනාස්‍රව සංස්කාරයෝ ප්‍රණීතයහ. ඒ ඒ සංස්කාරයන් නිසා හීන ප්‍රණීත සංස්කාරයෝ දත යුත්තාහ.
42. එහි දූරේ සංස්කාරයෝ කවරහ යත්:
අකුශල සංස්කාරයෝ කුශලාව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. කුශලාව්‍යාකෘත සංස්කාරයෝ අකුශල සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. කුශල සංස්කාරයෝ අකුශලාව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. අකුශලාව්‍යාකෘත සංස්කාරයෝ කුශල සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. අව්‍යාකෘත සංස්කාරයෝ කුශලාකුශල සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. කුශලාකුශල සංස්කාරයෝ අව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක් සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. අසමාපන්නයාගේ සංස්කාරයෝ සමාපන්නයාගේ සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සමාපන්නයාගේ සංස්කාරයෝ අසමාපන්නයාගේ සංස්කාර කෙරෙන් දුරැ වෙති. සාස්‍රව සංස්කාරයෝ අනාස්‍රව සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. අනාස්‍රව සංස්කාරයෝ සාස්‍රව සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. මොහු ‘දූරේ සංස්කාරහ’යි කියනු ලැබෙත්.
43. එහි සන්තිකේ සංස්කාරයෝ කවරහ යත්:
අකුශල සංස්කාරයෝ අකුශල සංස්කාරයන්ට ආසන්නයෙහි (සන්තිකේ) වෙති. කුශල සංස්කාරයෝ කුශල සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අව්‍යාකෘත සංස්කාරයෝ අව්‍යාකෘත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්යෙහි වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අසමාපන්නයාගේ සංස්කාරයෝ අසමාපන්නයාගේ සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සමාපන්නයාගේ සංස්කාරයෝ සමාපන්නයාගේ සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සාස්‍රව සංස්කාරයෝ සාස්‍රව සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අනාස්‍රව සංස්කාරයෝ අනාස්‍රව සංස්කාරයන්ට ආසන්නයෙහි වෙත්. මොහු ‘සන්තිකේ සංස්කාරහ’යි කියනු ලැබෙත්. තවද ඒ ඒ සංස්කාරයන් හෝ නිසා දූරේ සන්තිකේ සංස්කාරයෝ දත යුත්තාහ.
44. එහි විඥානස්කන්‍ධ කවරේ යත්:
අධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, අතීතානාගත පත්‍යුත්පන්න වූ යම්කිසි විඥානයෙක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් වේ ද, ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා ගෙන මේ ‘විඥානස්කන්‍ධ’යි කියනු ලැබේ.
45. එහි අතීත විඥානය කවරේ යත්:
අතීත වූ නිරුද්ධ වූ පහව ගියා වූ විපර්‍ය්‍යස්ත වූ අස්තයට ගියා වූ වෙසෙසින් අස්තයට ගියා වූ ඉපැද පහවැ ගියා වූ අතීත වූ අතීතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු) චක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘අතීත විඥාන’යි කියනු ලැබේ.
46. එහි අනාගත විඥානය කවරේ යත්:
නූපන් නො වූ ප්‍රත්‍යය සමවායයෙන් නො හටගත් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍යය සමවායෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යය සමවායෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු වූ) චක්‍ෂුර් විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘අනාගත විඥාන’යි කියනු ලැබේ.
47. එහි ප්‍රත්‍යුත්පන්න විඥානය කවරේ යත්:
හටගත් උපන් ප්‍රත්‍යය සමවායෙන් හටගත් නිපන් වෙසෙසින් නිපන් පහළ වූ උත්පන්න වූ සමුත්පන්න වූ උත්‍ථිත වූ සමුත්‍ථිත වූ ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු වූ) චක්‍ෂුර් විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘ප්‍රත්‍යුත්පන්න විඥාන’යි කියනු ලැබේ.
48. එහි අධ්‍යාත්ම විඥානය කවරේ යත්:
ඒ ඒ සත්ත්‍වයන්ගේ ආධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු වූ) චක්‍ෂුර් විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘අධ්‍යාත්ම විඥාන’යි කියනු ලැබේ.
49. එහි බාහිර විඥානය කවරේ යත්: