හෙතෙම අරණ්‍යයට ගියේ හෝ වෘක්‍ෂමූලයට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා කායලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යාව ඇති සිතින් යුතු වැ වාස කෙරෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාද දෝෂය හැර දමා ව්‍යාපාද රහිත සිත් ඇත්තේ සියලු ප්‍රාණභූතයන්ට හිතානුකම්පීව වාස කෙරෙයි. හිත - අනුකම්පා ඇත්තේ ව්‍යාපාද දෝෂයෙන් සිත සෝධා හරියි. ථීනමිද්ධය දුරු කොට පහ වූ ථීනමිද්ධ ඇත්තේ ආලෝකසංඥා ඇති වැ සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ වාස කෙරෙ යි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උඩඟු නො වූයේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාස කෙරෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව දුරු කොට විචිකිච්ඡායෙන් එතෙර වූයේ කුශලධර්‍මයන්හි සැක රහිත වූයේ වෙසෙයි. විචිකිච්ඡායෙන් සිත පිරිසුදු කෙරේ.
හෙතෙම චිත්තයාගේ උපක්ලේශයන් වූ ප්‍රඥාව දුර්‍වල කරන්නා වූ මේ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයන් ගෙන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ද්විතීයධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙතෙම මෙසේ සිත සමාධිගත වූ කල්හි පිරිසුදු වූ කල්හි නිර්‍මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි පහ වූ උපක්ලේශයන් ඇති කල්හි මොළොක් වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නමයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඇති වීමේ හේතු යැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි.
මොහු ආස්‍රවහ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රවයන් ඇති වීමේ හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රවයන්ගේ නිරෝධ යැයි ඇති සැටියෙන් දැනගනී. මේ ආස්‍රවයන් නිරුද්ධ කරන පිළිවෙතැයි ඇති සැටියෙන් දැනගනි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු භවාස්‍රවයෙනුදු අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි නුවණ පහළ වෙයි. ජාතිය ක්‍ෂය වූවා යැ බඹසර වැස නිමවන ලද. කළ යුතු කිස කරන ලදි. මෙ අර්‍හත්‍වය සඳහා අන් කළ යුතු දැයෙක් නැතැ යි දැනගනි. මේ ඔහුගේ සංග්‍රාමවිජය යි. යම්සේ මැ ඒ යුදබළ ධූලිකඳ ඉවසා ද දද’ග ඉවසා ද රණහඩ ඉවසා ද ප්‍රහාරය ඉවසා ද හෙතෙම ඒ සංග්‍රාමය ජය ගෙන දිනූසංග්‍රාම ඇත්තේ ඒ මැ රණබිම්හි වෙසේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද කිසි පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති, දක්නා ලැබෙන පස් වැනි යුද සෙබළාට බඳු පුද්ගලයා යි.
4. එහි පිණ්ඩපාතිකයෝ පස්දෙන කවරහ යත්: අඥාන බැවින් අතිශයින් මූඪ බැවින් පිණ්ඩපාතික වෙයි. පාපේච්ඡා ඇත්තේ පාපේච්ඡායෙන් මැඩුණේ පිණ්ඩපාතික වෙයි. උමතුවෙන් චිත්ත වික්‍ෂේපයෙන් පිණ්ඩපාතික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් පසස්නා ලදැ යි පිණ්ඩපාතික වෙයි. තව ද අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ.
ඔවුනතුරෙහි යම් පිණ්ඩපාතිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂ මැ නිසා, කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ ද, මේ තෙමේ මේ පිණ්ඩපාතිකයන් පස් දෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වෙයි. යම්සේ දෙනගෙන් කිරි කිරෙන් දී දීයෙන් වෙඬරු වෙඬරුයෙන් ගී ගීයෙන් ගීමඬ ලැබේ ද, ඔවුනතුරෙහි සප්පිමණ්ඩය මැ අග්‍ර යැ යි කියනු ලැබේ. එපරිදි මැ යම් පිණ්ඩපාතිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂ මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා, ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ ද, මේ තෙමේ මේ පිණ්ඩපාතිකයන් පස් දෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වේ. මොහු පස් වැදෑරුම් පිණ්ඩපාතිකයෝ යි.
5-14. එහි පස්වැදෑරුම් ඛලුපච්ඡාභත්තිකයෝ ... පස් වැදෑරුම් ඒකාසනිකයෝ ... පස් වැදෑරුම් පංශුකූලිකයෝ ... පස් වැදෑරුම් තෙචීවරිකයෝ ... පස් වැදෑරුම් ආරණ්‍යකයෝ ... පස් වැදෑරුම් වෘක්‍ෂමූලිකයෝ ... පස් වැදෑරුම් අභ්‍යවකාශිකයෝ ... පස් වැදෑරුම් නෙසජ්ජිකයෝ ... පස් වැදෑරුම් යථාසන්‍ථතිකයෝ ... පස් වැදෑරුම් සෝසානිකයෝ කවරහ යත්:
එහි පස් වැදෑරුම් සෝසානිකයෝ කවරහ යත්: අඥාන බැවින් අතිශයින් මූඪ බැවින් සෝසානික වෙයි. ලාමක පැතුම් ඇත්තේ පාපේච්ඡායෙන් මැඬුණේ සෝසානික වෙයි. උමතුවෙන් චිත්තවික්‍ෂේපයෙන් සෝසානික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් පසසන ලද යි සෝසානික වෙයි. තවද අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානිකයෙක් වේ.
ඔවුනතුරෙහි යම් සෝසානිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා, ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානික වේ ද මේ තෙමේ මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වෙයි, යම්සේ දෙනගෙන් කිරි, කිරෙන් දී, දීයෙන් වෙඬරු, වෙඬරුයෙන් ගී, ගීයෙන් ගීමඬ ලබා ද ගීමඬ – ඝෘතමණ්ඩය ඔවුනතුරෙන් අග්‍ර යැ යි කියනු ලැබේ ද, එපරිදි මැ යම් සෝසානිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානික වේ ද මේ තෙමේ මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වේ. මොහු පස් වැදෑරුම් සෝසානිකයෝ යි.
පඤ්චක නිර්දේශ නිමියේ යි.
6. ෂට්ක නිර්‍දෙශය
1. ඔවුනතුරෙහි (ෂඩ්විධ පුද්ගලයන් අතුරෙහි) යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ ද, එහි දු සර්‍වඥ භාවයට පැමිණේ ද, බලධර්‍මයන්හි දු වශීභාවයට පැමිණේ ද එකරුණින් (ඒ සබ්බඤ්ඤුත ඤාණයෙන්) සම්මා සම්බුදුන් වහන්සේ දත යුත්තාහ.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ ද, එතෙකුදු වත් එහි සර්‍වඥභාවයට නො පැමිණේ ද බලධර්‍මයන්හි වශීභාවයට නො ද පැමිණේ ද එකරුණින් (ඒ පච්චේක බෝධිඤාණයෙන්) පසේ බුදුන් වහන්සේ දතයුත්තාහ.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ ද, මෙ අත් බැව්හි මැ දුක් කෙළවර කෙරේ ද, ශ්‍රාවකපාරමිතාවටත් පැමිණේ ද, එකරුණින් (ඒ සාවක පාරමී ඤාණයෙන්) ශාරීපුත්‍ර - මෞද්ගල්‍යානයෝ දතයුත්තාහ.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ නො කෙරේ ද, මෙ අත් බැව්හි මැ දුක් කෙළවර කෙරේ ද, එතෙකුදු වත් ශ්‍රාවකපාරමිතාවට නො පැමිණේ ද එකරුණින් (දුක්ඛන්තකර ඤාණයෙන්) සෙසු රහත්හු දතයුත්තාහ.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ ද, එතෙකුදු වත් මෙ අත් බැව්හි මැ දුක් කෙළවර නො කෙරේ ද, එකරුණින් (අනාගාමි ඤාණයෙන්) මෙලොවට නො එන අනාගාමි දතයුත්තේ යි.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයත් අවබෝධ නො කෙරේ ද, මෙ අත්බැව්හි මැ දුක් කෙළවර කරන්නේත් නො වේ ද, මේ අත් බවට එන්නේ ආගාමී වේ ද එකරුණින් (ආගාමී හෙයින්) සෝතාපන්න සකදාගාමීහු දතයුත්තාහ.
ෂට්ක නිර්දේශ නිමියේ යි.
7. සප්තක නිර්‍දෙශය
1. කෙසේ නම් පුද්ගල වරක් ගිලුණේ ගිලුණේ මැ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශල ධර්‍මයන් ගෙන් යුක්ත වූයේ වෙයි. මෙසේ පුද්ගල වරක් ගිලුණේ ගිලුණේ මැ වේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප ගිලේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය (ලජ්ජාව) මැනැවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය (බිය) මැනැවැ කුශල ධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ යි ඉල්පෙයි. ඔහුගේ ඒ ශ්‍රද්ධාව නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ හිරිය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ ඔත්තප්පය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ වීර්‍ය්‍යය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ ප්‍රඥාව නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි මෙසේ පුද්ගල ඉල්පී ගිලේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප සිටියේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය මැනැවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ යි ඉල්පෙයි. ඔහුගේ ඒ ශ්‍රද්ධාව නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. ඔහුගේ ඒ හිරිය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. ඔහුගේ ඒ ඔත්තප්පය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියේ වෙයි. ඔහුගේ ඒ වීර්‍ය්‍යය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියේ වෙයි. ඔහුගේ ඒ ප්‍රඥාව නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. මෙසේ පුද්ගල ඉල්ප සිටියේ වේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප අවට දකී ද බලා ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාවැ මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය මැනවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ යි ඉල්පෙයි. හෙතෙම තුන් සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් විනිපාතධර්‍ම (නිරයධර්‍ම) රහිත වූ නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්නයෙක් වෙයි. මෙසේ පුද්ගල ඉල්ප අවට දකියි අවට බලයි.
කෙසේ නම් පුද්ගල ඉල්ප තරණය කෙරේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය මැනවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ යි ඉල්පෙයි. හෙතෙම තුන් සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වෙයි. වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මෙසේ පුද්ගල ඉල්ප තරණය කෙරේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප නො ගැඹුරට (ප්‍රතිෂ්ඨාස්ථානයට) පැමිණියේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශල ධර්‍මයන්හි හිරිය මැනැවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැයි ඉල්පෙයි. හෙතෙම පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපදනේ එහි පිරිනිවෙන්නේ, එලොවින් පෙරළා නොඑන සුලු වූයේ වෙයි. මෙසේ පුද්ගල ඉල්ප නො ගැඹුරට පැමිණියේ වේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප තරණය කෙළේ, පරතෙරට ගියේ ‘ගොඩබිම සිටුනා බ්‍රාහ්මණ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය මැනැවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැයි ඉල්පෙයි. හෙතෙම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ ඵලසමාධිය, ඵලප්‍රඥාව මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මෙසේ පුද්ගල ඉල්ප තරණය කෙළේ පරතෙරට ගියේ ‘ගොඩබිම සිටුනා බ්‍රාහ්මණ’ වේ.
2. කවර පුද්ගලයෙක් ‘උභතොභාගවිමුක්ත’ වේ ද යත්: මෙ සස්නෙහි කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කයින් ස්පර්‍ශ කොට වෙසෙයි. (විදර්‍ශනා) ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙති, මේ පුද්ගල ‘උභතොභාගවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ප්‍රඥා විමුක්ත’ ... ‘කායසාක්‍ෂි’ … ‘දෘෂ්ටිප්‍රාප්ත’ ... ‘ශ්‍රද්ධාවිමුක්ත’ ... ‘ධර්‍මානුසාරී’ වේ ද යත්: ... කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධේන්‍දියය අධික වේ ද ශ්‍රද්ධාව විසින් ඔසවනසුලු වූයේ ශ්‍රද්ධාපූර්‍වංගම වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩා ද, මේ තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ පුද්ගලයා යි කියනු ලැබේ. සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ශ්‍රද්ධානුසාරී’ යැ ඵලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.
සප්තක නිර්දේශ නිමියේ යි.
8. අෂ්ටක නිර්‍දෙශය
1. ඔවුනතුරෙහි චතුර්විධ මාර්‍ගයෙන් යුක්ත වූ, චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ කවරහ යත්:
සෝතාපන්න යැ සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ සකදාගාමී යැ සකදාගාමීඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ අනාගාමී යැ අනාගාමීඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ අර්‍හත් යැ අර්‍හත්ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ (යන) මොහු චතුර්විධ මාර්‍ගයෙන් යුක්ත වූ චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ යි.
අෂ්ටක නිර්‍දෙශය නිමියේ යි.
9. නවක නිර්‍දෙශය
1. කවර පුද්ගලයෙක් ‘සම්‍යක් සම්බුද්ධ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ. එහිදු සර්‍වඥත්‍වයට පැමිණේ, බලධර්‍මයන්හි දූ වශීභාවයට පැමිණේ. මේ පුද්ගල ‘සම්‍යක්සම්බුද්ධ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ප්‍රත්‍යෙකබුද්ධ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ. එතෙකුදු වත් එහි සර්‍වඥභාවයට නො පැමිණෙයි, බලධර්‍මයන්හි වශීභාවයට ද නො පැමිණේ. මේ පුද්ගල ‘ප්‍රත්‍යෙකබුද්ධ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘උභතොභාගවිමුක්ත’ වේ ද යත්: මෙලොව පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කායයෙන් ස්පර්‍ශ කොට වෙසෙයි. (විදර්‍ශනා) ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘උභතොභාගවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ප්‍රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කයින් ස්පර්‍ශ කොට නො මැ වෙසෙයි. එතෙකුදු වත්, ප්‍රඥායෙන් දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘ප්‍රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘කායසාක්‍ෂී’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට වෙසෙයි. ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘කායසාක්‍ෂී’ යැ යි කියනු ලැබේ.
කවර නම් පුද්ගලයෙක් ‘දෘෂ්ටිප්‍රාප්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් උපදනා හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති වීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් ප්‍රඥාවෙන් මොනවට දක්නා ලදහ. මොනවට පිළිපදනා ලදහ. ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල තෙමේ ‘දෘෂ්ටිප්‍රාප්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධාවිමුක්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. ... මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. තථාගතයන් වහන්සේ විසින් ප්‍රවිදිත වූ ධර්‍මයෝ ද මොහු විසින් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදහ. මොනොවට පිළිපදනා ලදහ. ප්‍රඥායෙනු දු දැක මොහු විසින් ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. එතෙකුදු වත් දෘෂ්ටිප්‍රාප්තයා බඳු නො වේ, මේ පුද්ගල ‘ශ්‍රද්ධාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ධර්‍මානුසාරී’ වේ ද යත්: සෝවන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ප්‍රඥේන්‍ද්‍රිය අධික වේ ද, ප්‍රඥාව විසින් ඔසවනසුලු වූයේ ප්‍රඥාපූර්‍වාඞ්ගම කොට ආර්‍ය්‍ය මාර්‍ගය වඩා ද මේ පුද්ගල ‘ධර්‍මානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ධර්‍මානුසාරී’ යි. ඵලයෙහි සිටියේ ‘දෘෂ්ටිප්‍රාප්ත’ යි.
කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය පසක් කරනුවට පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධේන්‍ද්‍රිය අධික වේ ද ශ්‍රද්ධාව විසින් ඔසවනසුලු වූයේ ශ්‍රද්ධාපූර්‍වංගම කොට ආර්‍ය්‍යමාර්‍ගය වඩා ද මේ පුද්ගල ‘ශ්‍රද්ධානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනුවට පිළිපන් පුද්ගල ‘ශ්‍රද්ධානුසාරී’ යි. ඵලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.
නවක නිර්දේශ නිමියේ යි.
10. දශක නිර්‍දෙශය
කවර පස් දෙනකුන්ගේ ‘ඉහනිෂ්ඨා’ (කාමාවචර භූමියෙහි නිෂ්ඨාව) වන්නී ද යත්: සත්තක්ඛත්තුපරමයාගේ යැ කොලංකොලයාගේ යැ ඒකබීජීහුගේ යැ සකදාගාමීහුගේ යැ යමෙකුත් මෙ අත් බැව්හි ම අර්‍හත් වේ ද ඔහුගේ දැයි මොවුන් පස් දෙනා ගේ ‘ඉහනිෂ්ඨා’ යි.
කවර පස් දෙනකුන්ගේ ‘ඉහවිහායනිෂ්ඨා’ (කාමාවචරය හැර) අන්තරා පරිනිබ්බායීහුගේ යැ උපහච්චපරිනිඛබායීහුගේ යැ අසංඛාර පරිනිබ්බායීහුගේ යැ සසංඛාරපරිනිබ්බායීහුගේ යැ උද්ධංසෝත අකනිට්ඨගාමීහුගේ යැ යි මොවුන් පස් දෙනාගේ ‘ඉහවිහායනිෂ්ඨා’ යි.
මෙතෙකින් පුද්ගලයනට පුද්ගලප්‍රඥප්ති වෙයි.
දසක නිර්දේශ නිමියේ යි.
පුද්ගල ප්‍රඥප්තිප්‍රකරණ සමාප්ත යි.