Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 9301-9400 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මහේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී නො යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: කර්‍මහේතුයෙන් සකෘදාගාමී පුද්ගල … අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහී නො යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මහේතුයෙන් අර්‍හත් පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී නො යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කර්‍මහේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රාණඝාතකර්‍මහේතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අදත්තාදානකර්‍මහෙතුයෙන් වේ ද … කාමමිථ්‍යාචාර කර්‍ම හේතුයෙන් වේ ද … මෘෂාවාදකර්‍මහේතුයෙන් වේ ද, … පිශුනවචනකර්‍මහෙතුයෙන් වේ ද, … පරුෂවචනකර්‍මහේතුයෙන් වේ ද, … සම්ඵප්‍රලාපකර්‍මහේතුයෙන් වේ ද, … මාතෘඝාතකර්‍මහෙතුයෙන් වේ ද, … පිතෘඝාතකර්‍මහේතුයෙන් වේ ද, … අර්‍හත්ඝාතකර්‍ම හේතුයෙන් වේ ද … රුධිරොත්පාදකර්‍මහේතුයෙන් වේ ද, … සඞ්ගභෙදකර්‍මහෙතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කවර කර්‍මයක්හුගේ හේතුයෙන් වේ ද ?
ප. වි: රහත්හට අභ්‍යාඛ්‍යාන කෙරේ ද, එහෙයිනැ යි.
6. ස. පු: රහත්හට අභ්‍යාඛ්‍යාන කර්‍ම හේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කෙනෙක් රහත්හට අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද, එ හැම දෙනා අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
කම්මහෙතුකථා නිමි.
අටවන වග නිමි.
එහි උද්දානය:
ගතිකථා යැ අන්තරාභවකථා යැ කාමගුණකථා යැ කාමකථා යැ රූපධාතුකථා යැ අරූපධාතු කථා යැ රූපධාතුයා ආයතන කථා යැ ආරුප්පෙ රූපකථා යැ රූපං කම්මන්ති කථා යැ ජීවිතින්‍ද්‍රියකථා යැ කම්මහේතු කථා යි.
නවක වර්‍ගය
ආනිසංසකථා
[‘ආදීනව විසින් සංස්කාරයනුදු ආනිසංස විසින් නිවනුදු දක්නහුට සංයෝජනප්‍රහාණ වෙයි’ යනු ස්වසමය යි. ඒ දෙපක්‍ෂයෙහි මැ ඒකාංශවාද ගෙන ‘අනුසස් දකන්හුට මැ සංයෝජනප්‍රහාණ වෙයි’ යනු අන්‍ධකනිකායවාසීන්ගේ ලබ්ධි වෙයි. උන්ගේ වාද බිඳුනට ‘ආනිසංසකථා’ එයි.]
1. ස. පු: අනුසස් දක්නහුට සංයෝජනයන්ගේ ප්‍රහාණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරයන් අනිත්‍යවශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වන්නාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සංස්කාර අනිත්‍ය වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
ස. පා: භවත, ‘අනුසස් දක්නහුට සංයෝජනයන්ගේ ප්‍රහාණ වේ’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: සංස්කාර දුඃඛ වශයෙන් … රෝග වශයෙන් … ගණ්ඩ වශයෙන් … ශල්‍ය වශයෙන් … අවෘද්ධි වශයෙන් … ආබාධ වශයෙන් … අවශ වශයෙන් … (ව්‍යාධ්‍යාදීන්) විනාශ වශයෙන් … අනේකව්‍යසනාවහ විසින් … ඊති වශයෙන් … උපද්‍රව වශයෙන් භය වශයෙන් … අනර්‍ත්‍ථාවහ වශයෙන් … (ලොකධර්‍මයෙන්) චලද් වශයෙන් … (උපක්‍රමාදීන්) භිදුර වශයෙන් … අධ්‍රැව වශයෙන් … (ක්‍ෂේම රාහිත්‍යයෙන්) අත්‍රාණ වශයෙන් … අලෙණ වශයෙන් … අසරණ වශයෙන් … අසරණීභූත වශයෙන් … රික්ත වශයෙන් … රික්ත හෙයින් මැ තුච්ඡ වශයෙන් … (වේදකකාරකාදි රාහිත්‍යයෙන්) ශුන්‍ය වශයෙන් … අනාත්ම වශයෙන් … ආදීනව වශයෙන් … විපරිණාමධර්‍ම වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වන්නාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සංස්කාරයන් විපරිණාමධර්‍ම වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
ස. පා: භවත, ‘අනුසස් දක්නහුට සංයෝජනප්‍රහාණ ඇති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සංස්කාරයන් අනිත්‍යවශයෙන් මනස්කාර කරන්නේත් නිර්‍වාණයෙහි අනුසස් දක්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනෙකුන්ගේ … චිත්තයන් දෙදෙනෙකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සංස්කාරයනුදු දුඃඛ වශයෙන් … රෝග වශයෙන් … විපරිණාමධර්‍ම වශයෙන් මනස්කාර කරන්නේත් නිර්‍වාණයෙහිදු අනුසස් දක්නේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සංස්කාරයනුදු විපරිණාමධර්‍ම වශයෙන් මනස්කාර කරන්නේත් නිර්‍වාණයෙහිදු අනුසස් දක්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනෙකුන්ගේ … චිත්තයන් දෙදෙනෙකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ප. පු: අනුසස් දන්නහුට සංයෝජනප්‍රහාණය නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: “මහණෙනි, මෙසස්නෙහි මහණ නිවන්හි සුඛය නුවණින් දක්නේ, සුඛ සංඥා ඇති වැ, සුඛවිඳුනා සුලු වැ, නිරතුරු, අමිශ්‍ර කොට (එක්සිත් වැ), සිතින් බැසගන්මින් සන්නිට්ඨාපනය කරමින්, ප්‍රඥායෙන් බැසගන්මින් (අනුප්‍රවිෂ්ට වැ) වාස කෙරේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: එ කරුණින් ‘අනුසස් දක්නහුට සංයෝජනප්‍රහාණ ඇති.
ආනිසංසකථා නිමි.
අමතාරම්මණකථා
[“නිබ්බානං මඤ්ඤති” යනාදිය නුනුවණින් ගෙන ‘අමතාරම්මණය සංයෝජන වෙති’ යි පූර්‍වශෛලියයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අමතාරම්මණකථා’ එයි.]
1. ස. පු: අමෘතාලම්බනය සංයෝජන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන සංයෝජනයට නිසි වේ ද, ග්‍රන්‍ථයන් විසින් ග්‍රථනය කළයුතු වේ ද, ඕඝයන් විසින් ගැලියයුතු වේ ද, යෝගයන් විසින් යෙදියයුතු වේ ද, නීවරණයට හිත වේ ද, පරාමර්‍ශයන් විසින් පරාමර්‍ශ කළයුතු වේ ද, උපදානයනට හිත වේ ද, සංක්ලේශයනට හිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නිවන අසංයෝජනිය අගන්‍ථනීය … අසංකිලෙසිය නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් නිවන අසංයෝජනිය … අසංකිලෙසිය වේ නම්,
අනු. පා: භවත ‘අමෘතාලම්බනය (නිවන) සංයෝජනය’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අමෘතය අරභයා රාගය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමෘතය රාගකාරණයට හිත වේ ද, රඤ්ජනයට යුතු වේ ද, කාමනා කළයුතු වේ ද, (කුලමදාදි) මද ඉපැදවියයුතු වේ ද, බන්‍ධනීය වේ ද, මූර්ඡනීය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අමෘතය රාගකාරණයට හිත නො වන්නේ රජනීය නො වන්නේ කමනීය නො වන්නේ මදනීය නො වන්නේ බන්‍ධනීය නො වන්නේ මූර්ඡනීය නො වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අමෘතය රාගස්ථානිය නො වේ නම්, රජනීය නො වේ නම්, කමනීය නො වේ නම්, මදනීය නො වේ නම්, බන්‍ධනීය නො වේ නම්, මූර්ඡනීය නො වේ නම්,
අනු. පා: භවත, ‘අමෘතය අරභයා රාගය උපදී’ යයි නො කියැයුතු යැ.
3. ස. පු: අමෘතය (නිවන) ඇරැබ (අරමුණු කොට) ද්වේෂය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමෘතය ද්වේෂකාරණයට හිත වේ ද? කොපකාරණයට හිත වේ ද? ප්‍රතිඝකාරණයට හිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අමෘතය ද්වේෂකාරණයට හිත නො වන්නේ කොපකාරණයට හිත නො වන්නේ ප්‍රතිඝකාරණයට හිත නො වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අමෘතය ද්වේෂකාරණයට හිත නො වන්නේ කොපකාරණයට හිත නො වන්නේ ප්‍රතිඝකාරණයට හිත නො වන්නේ වේ නම්,
අනු. පා: භවත, ‘අමෘතය ඇරැබ ද්වේෂය උපදි’ යයි නො කියැයුතු යැ.
4. ස. පු: නිවන් ඇරැබ මෝහය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන මෝහකාරණයට හිත වේ ද? අඥාන කරණ වේ ද, අචක්‍ෂුෂ්කරණ වේ ද, ප්‍රඥා නිරෝධයට හිත වේ ද, විඝාතපාක්‍ෂික වේ ද? අනිර්‍වාණසංවර්‍තනිය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නිවන මෝහස්ථානිය නො වන්නේ අඥාන කරණ නො වන්නේ අචක්‍ෂුෂ්කරණ නො වන්නේ ප්‍රඥාවර්‍ධනයට හිත වනුයේ යේ මැ විඝාතපාක්‍ෂික නො වන්නේ නිර්‍වාණ සංවර්‍තනික වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් නිවන මෝහස්ථානිය නො වන්නේ අඥාන කරණ නො වන්නේ … නිර්‍වාණ සංවර්‍තනික වන්නේ වේ නම්,
අනු. පා: භවත, ‘නිවන් ඇරැබැ මෝහය උපදී’ යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: රූපය අරමුණු කොට සංයෝජනයෝ උපදිති. රූපය සංයෝජනිය ග්‍රන්‍ථනීය … සාංක්ලේශික වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන් අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. නිවන සංයෝජනීය … සාංක්ලේශික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රූපය අරමුණු කොට රාගය උපදී. රූපය රාගකාරණයට හිත, රජනීය, කමනීය, මදනීය, බන්‍ධනීය, මූර්ජනීය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන් අරමුණු කොට රාගය උපදී. නිවන රාගකාරණයට හිත වේ ද … මුසපත් වියයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රූපය අරමුණු කොට ද්වේෂය උපදී. රූපය ද්වේෂකාරණයට හිත වේ ද, කොපකාරණයට හිත වේ ද, ප්‍රතිඝකාරණයට හිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන් අරමුණු කොට ද්වේෂය උපදී. නිවන ද්වේෂකාරණයට හිත වේ ද, කොපකාරණයට හිත වේ ද, ප්‍රතිඝකාරණයට හිත වේ ද
ප. පටි: එසේ නො කියැයුතු යැ …