Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 8001-8100 න් 15036

අනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
10. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකයා දන් දෙයි. ප්‍රතිග්‍රාහකයා පිළිගත් කල්හි රජහු හෝ පැහැර ගනිති. සොරු හෝ පැහැර ගනිති. ගිනි හෝ දවයි. දිය හෝ උසුලා යෙයි. අප්‍රිය දායාදයෝ හෝ පැහැර ගනිති. එ ද පුණ්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දායකයා දන් දෙයි, ප්‍රතිග්‍රාහක පිළිගත් කල්හි රජහු හෝ පැහැර ගනිති, සොරහු හෝ පැහැර ගනිති, ගිනි හෝ දවයි, දිය හෝ උසුලාගෙන යයි, අප්‍රිය දායාදයෝ හෝ පැහැර ගනිති, එ ද පුණ්‍ය වේ නම්,
අනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
පරිභෝගමය පුඤ්ඤකථා නිමි.
ඉතො දින්නකථා
[“ඉතො දින්නෙන යාපෙන්ති” යි වදාළ වචන නිසා මෙලොව දුන් චීවරාදි දැයින් මැ පරලොව ප්‍රෙතයෝ යැපෙති’ යි රාජගිරිකාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉතොදින්නකථා’ එයි.]
1. ස. පු: මෙලොවින් දුන් දැයින් එලොව යැපෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මෙලොව සිවුරු දෙති, ඒ සිවුර එලොව පරිභෝග කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: මෙලොව පිඬුවා දෙති … මෙලොව සෙනසුන් දෙති … මෙලොව ගිලන්පස බෙහෙත් පිරිකර දෙති … මෙලොව ඛාද්‍ය දෙති … මෙලොව පැන් දෙති. ඒ පැන් එලොව පරිභෝග කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: මෙලොව දුන් දැයින් එලොව යැපෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකක්හට (විපාකකාරක කරුණු පිළිබඳ වැ) අනෙකෙක් කාරක වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද? අන්‍යයෙක් කෙරේ ද, අන්‍යයෙක් විපාක විඳුනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ප. පු: ‘මෙහි දුන් දැයින් එහි යැපෙති’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රෙතයෝ තමන් සඳහා දෙන දන අනුමෙවෙනි කරන්නාහු සිත පහදවන්නාහු ප්‍රීතිය උපදවන්නාහු සොම්නස් ලබන්නාහු නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ප්‍රෙතයෝ තමන් සඳහා දෙන දන අනුමෙවෙනි කරන්නාහු (එයින්) සිත පහදවන්නාහු ප්‍රීතිය උපදවන්නාහු සොම්නස් ලබන්නාහු වෙත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘මෙහි දුන් දැයින් එයි යැපෙති’ යනු කියැයුතු මැ යැ.
4. ප. පු: ‘මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“උස්බිම්හි වට දිය යම් සේ නිම්නස්ථානයට ගලා සේ ද, එ පරිදි මැ මෙලොවින් දුන් දැය ප්‍රේතයනට එළවයි.
යම් සේ වතුරුගත් නදීහු සයුර පුරත් ද, එ පරිදි මැ මෙලොවින් දුන් දැය ප්‍රේතයනට එළවයි.
එහි කෘෂිකර්‍ම නැත් මැ යැ. ගෝරක්‍ෂා නො පැනෙයි. එබඳු වණික්කර්‍ම ද නැත. හිරණ්‍යයෙන් ගනුදෙනු ද නැති. කලුරිය කළ ප්‍රෙතයෝ මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති”යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති.
5. ප. පු: ‘මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නු: “මහණෙනි, මේ කරුණු පසක් දක්මින් මව්පියෝ කුලයෙහි උපදනා දරුවා කැමැති වෙති. කවර පසෙක යත්: පුස්නාලද එදරු අප ද පුස්නේ යැ, අපගේ කෘත්‍ය ද කරන්නේ යැ, කුලවංශය චිරකල් තබන්නේ යැ, දායාද පිළිපදනේ යැ, තව ද කලුරිය කළ ප්‍රේතයනට (අපට) දක්‍ෂිණා දෙන්නේ යි. මහණෙනි, මෙ කරුණු පස දක්මින් මව්පියෝ කුලෙහි උපදනා දරුවා කැමැති වෙති.
පණ්ඩිත වූ දෙමාපියෝ කරුණු පසක් දක්මින් පුතු කැමැති වෙති. කවර පසෙක යත්: පුස්නාලද පුත් අප ද පුස්නේ යැ. අප ගේ කිස ද කරන්නේ යැ.
කුලවංශය බොහෝ කල් සිටුනේ යැ, දායාද්‍යය පිළිපදනේ යැ. වැළිත් පරලෝ ගිය අපට දක්‍ෂිණාමය පුණ්‍යය දෙන්නේ යැ.
පණ්ඩිත වූ දෙමාපියෝ තෙල කරුණු දක්මින් පුතු (දරු) කැමැති වෙති. එහෙයින් කෘතඥ කෘතවේදී ශාන්ත සත්පුරුෂ පුත්‍රයෝ (දරුවෝ),
පෙර දෙමාපියන් කළ උපකාර සිහි කරන්නාහු මාපියන් පුස්නාහ. යම් පරිදි පෙර උපකාර කළාවුනට ප්‍රත්‍යුපකාර කළයුතු වේ ද, එපරිදි ඔවුන්ගේ කිස කරන්නාහ.
මවුපියන් ඔවා කරනසුලු යම් කෙනකුන් විසින් තමා පුස්නාලද ද, පෙරළා ඔවුන් පුස්නා සුලු කුලවංශය නො පිරිහෙළන සැදැහැති සිල්සපන් පුත් (දරු) ප්‍රශංසාර්‍හ වෙයි”.
මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු:
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එ කරුණින් මෙහි දුන් දැයින් එහි යැපෙති.
ඉතොදින්නකථා නිමි.
පඨවීකම්මවිපාකොති කථා
[‘පෘථිවිය කර්‍මවිපාකයකැ’ අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පඨවී කම්මවිපාකො’ ති කථා එයි.]
1. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (පෘථිවිය) සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂා වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට පුරේචාරික ආවර්‍තන සඞ්ඛ්‍යාත ආවර්‍ජනා ඇද්ද, ආභෝග ඇද්ද, සමන්‍වාහාර ඇද්ද, මනසිකාර ඇද්ද, කර්‍මප්‍රත්‍යයභුත චේතනා ඇද්ද, ඉෂ්ටවිපාක ප්‍රාර්‍ත්‍ථනා ඇද්ද, ප්‍රණිධි වශයෙන් පැවැති මූලතෘෂ්ණා ඇද්ද, (කිම, තොප ගත් පෘථිවිය මෙ බඳු වේ ද?)
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සුඛවේදනීය නො වනු වේ ද, දුක්ඛවෙදනිය නො වනු වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි නො වනු වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද,අනාරම්මණ නො වේ ද, එයට ආවර්‍තනායෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් නැත්තේ වේ ද, චේතනායෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් ප්‍රණිධියෙක් නැත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනාවට නිසි නොවේ නම්, දුඃඛවෙදනාවට නිසි නොවේ නම් … අනාරම්මණ වේ නම්, එයින් ආවර්‍තනායෙක් නැත් නම් … ප්‍රණිධියෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘පෘථිවිය කර්‍මවිපාක’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය කර්‍මවිපාක යැ. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, … උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, ඒ ස්පර්‍ශයට ආවර්‍තනායෙක් ඇද්ද … ප්‍රණිධියෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථිවිය කර්‍මවිපාක යැ. පෘථිවිය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට ආවර්‍තනායෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් චේතනායෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් ප්‍රණිධියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: (තොප මතයෙහි) පෘථිවිය කර්‍මවිපාක වෙයි. පෘථිවිය සුඛවේදනීය නො වේ ද, දුක්ඛවෙදනිය නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා නැද්ද … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශය කර්‍මවිපාක යැ. ස්පර්‍ශය සුඛවේදනීය නො වේ ද, දුක්ඛවෙදනිය නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා නැද්ද … ප්‍රණිධියෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථිවිය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියා ඡෙදනභෙදනගත වූවා වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මවිපාකය ප්‍රග්‍රහ නිග්‍රහයට පැමිණියේ ඡේදනභේදනයට පැමිණියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: පෘථිවිය විනිමය කරන්නට විකොට ගන්නට එළවා තබන්නට රැස්කොට ගන්නට සොයා තබන්නට හැකි වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මවිපාකය විනිමය කරන්නට විකොට ගන්නට එළවා තබන්නට රැස් කොට ගන්නට සොයා තබන්නට හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: පෘථිවිය මෙරමාහට සාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“පුණ්‍යකර්‍මය මෙරමාහට අසාධාරණ වෙයි. සොරුන් විසින් නො ගතහෙහ නිධි වෙයි.
ඉදින් සුචරිත කරන්නේ නම් මිනිස් තෙම පුණ්‍යකර්‍ම කරන්නේ යැ.”
මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එකරුණින් ‘කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ යැ’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පළමුව පොළොව පිහිටා ද? පසුවලා සත්ත්‍වයෝ උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පළමුවැ විපාකය උපදී ද, පසුවැ විපාකප්‍රතිලාභය පිණිස කර්‍මය කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: පෘථිවිය හැම සත්ත්‍වයනට කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: හැම සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?