අනු. පා: භවත, එකරුණින් ‘චෛතසිකධර්‍ම දාන වේ’ යයි කියැයුතු මැ යැ.
3. ප. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් දානය ඉෂ්ටඵල යයි වදාරන ලදි. චීවරය දානයෙක් වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: චීවරය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දානය ඉෂ්ටඵල’ යයි වදාරන ලදි. පිණ්ඩපාත … ශයනාසන … ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දාන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ගිලන්පස බෙහෙත්පිරිකර ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
4. ප. පු: ‘චෛතසිකධර්‍මය දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“ශ්‍රද්ධා යැ, හ්‍රී යැ, කුශල වූ චේතනා යැ යන තෙල ධර්‍මයෝ සත්පුරුෂානුගත ධර්‍මයෝ යැ. තෙල ත්‍යාගචේතනාඛ්‍ය දානය වනාහි දිව්‍ය කොට කියත්. තෙල ත්‍යාගචේතනා දානයෙන් දෙව්ලෝ යෙයි.”
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් චෛතසිකධර්‍ම දාන වෙයි.
5. ප. පු: චෛතසිකධර්‍මය ‘දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, අග්‍ර යයි දතයුතු, බොහෝ කල් පැවැත්තහ යි දතයුතු, වංශයහ යි දතයුතු, පෞරාණ වූ, පෙර සිට නො හරනලද, (පෙර බුදුවරුන් විසිනුදු ‘මින් කිමැ’ යි) අනපනීත වූ, දැනුදු අනපනීත වූ, මතුයෙහිදු අනපනීත වන, ශ්‍රමණ බ්‍රාහ්මණ විඥයන් විසින් අනින්‍දිත වූ මේ මහාදානයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි අරීසවු පණිවා පියා පණිවායෙන් වැළැකුණේ වෙයි. මහණෙනි, පණිවායෙන් වැළැකුණු ආර්‍ය්‍ය ශ්‍රාවක අප්‍රමාණ සත්ත්‍වයනට අභයදාන දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණ සත්ත්‍වයනට අභය අවෛර අව්‍යාපාද දී අප්‍රමාණ අභයට අවෛරයට අව්‍යාපාදයට භාගී වෙයි. මහණෙනි, අග්‍ර යයි දතයුතු, චිරකල් පැවැත්තහ යි දතයුතු, වංශාගතයහ යි දතයුතු, පොරාණ වූ, නො හරනාලද, (පෙර බුදුන් විසිනුදු) නො හරන ලද, මෙක ලද නො හරන, මතුයෙහිදු නො හරනු ලබන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත වූ මේ පළමු වන මහාදාන යයි.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අයිනාදන් හැර … කාමයෙහි මිසහසර හැර … මුසවාහැර … මදපමා දෙකට කරුණු වූ රහමෙර හැර මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි. මහණෙනි, මදපමා දෙකට කරුණු වු රහමෙරින් වැළැකුණු ආර්‍ය්‍යශ්‍රාවක අප්‍රමාණ සත්ත්‍වයනට අභය දෙයි. අවෛර දෙයි. අව්‍යාපාද දෙයි. අප්‍රමාණ සත්ත්‍වයනට අභය දී අවෛර දී අව්‍යාපාද දී අප්‍රමාණ අභයට අවෛරයට අව්‍යාපාදයට භාගී වෙයි. මහණෙනි, අග්‍ර යයි දතයුතු, බොහෝකල් පැවැත්තහ යි දතයුතු, වංශාගතයහ යි දතයුතු, පැරැණි වූ, අනපනීත වූ, පෙර බුදුන්විසිනුදු නො හරනලද, දැනුදු නො හරන, මතුයෙහිදු නො හරනු ලබන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත වූ මේ පස්වන මහාදාන යි. මහණෙනි, ‘අග්‍රයහ’ යි දතයුතු ‘චිරකල් පැවැත්තහ’ යි දතයුතු, ‘වංශාගතයහ’ යි දතයුතු, පැරැණි, අපනීත නො වූ, පෙර බුදුවරුන් විසිනුදු නො හරනලද, දැනුදු නො හරන, මතුයෙහිදු නො හරන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත මේ මහාදානයෝ පස්දෙනෙකි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් ‘චෛතසිකධර්‍ම දාන’ වෙයි.
6. ස. පු: ‘දේයධර්‍ම දාන වෙති’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මෙලොව ඇතැමෙක් ආහාර දෙයි, පාන දෙයි, වස්ත්‍ර දෙයි, යාන දෙයි, මාලා දෙයි, ගන්‍ධ දෙයි, විලෙවුන් දෙයි, යහන් දෙයි, ආවාස දෙයි, පහනට තෙල් දෙයි” යනුවෙන් වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එකරුණින් ‘දේයධර්‍ම දාන’ වෙයි.
7. ප. පු: දේයධර්‍ම දාන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දේයධර්‍මය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසෙචනක (පියවිරස) ඵල, සුඛුද්‍රය (සුව උදාදෙන), සුඛවිපාක ඇත්තේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
8. ප. පු: ‘දානය ඉෂ්ටඵල ඇතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද යැ. චීවරය ‘දාන’ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: චීවරය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක ඇත්තේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
9. ප. පු: ‘දානය ඉෂ්ටඵල වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද යැ. පිණ්ඩපාතය දාන වේ ද, … ශයනාසන දාන වේ ද, … ගිලන්පස බෙහෙත්පිරිකර දාන වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක ඇත්තේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: එකරුණින් ‘දේයධර්‍ම දාන වෙති’ යි නො කියැයුතු මැ යැ.
දානකථා නිමි.
7. 5.
පරිභෝගමයපුඤ්ඤකථා
[“තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති” ආදි සූත්‍ර නුනුවණින් ගෙන ‘පරිභෝගමය’ නම් පුණ්‍යයෙක් ඇතැයි රාජගිරික සිද්ධත්‍ථික සම්මිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පරිභෝගමය පුණ්‍යකථා එයි.]
1. ස. පු: පරිභෝගමය පුණ්‍යය (තෙමේම) වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරිභෝගමය ස්පර්‍ශය වැඩේ ද, වේදනා වැඩේ ද, සංඥා වැඩේ ද, චේතනා වැඩේ ද, චිත්තය වැඩේ ද, ශ්‍රද්ධා වැඩේ ද, වීර්‍ය්‍ය වැඩේ ද, ස්මෘති වැඩේ ද, සමාධි වැඩේ ද, ප්‍රඥා වැඩේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: පරිභෝගමය පුණ්‍යය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලතාවක් සෙයින් වැඩේ ද, මාලුවා ලතාවක් සෙයින් වැඩේ ද, වෘක්‍ෂයක් මෙන් වැඩේ ද, තෘණ සෙයින් වැඩේ ද, මෘදුතෘණ පුඤ්ජයක් සෙයින් වැඩේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: පරිභෝගමය පුණ්‍යය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකයා දන් දී ආවර්‍ජනා නො කෙරෙයි. පුණ්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (දන් දී, දානචේතනායෙහි භවාඞ්ග සිත) නො පෙරළනුවහට වේ ද, ආභෝග නො කරනුවහට වේ ද, ආවර්‍ජන නො කරනුවහට වේ ද, මනසිකාර නො කරනුවහට වේ ද, නො සිතනුවහට වේ ද, නො පතනුවහට වේ ද, ප්‍රණිධාන නො කරනුවහට වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: (දානචේතනායෙහි භවාඞ්ග සිත) ආවර්‍තන කරනුවහට, ආභෝග කරනුවහට, ආවර්‍ජන කරනුවහට, මෙනෙහි කරනුවහට, සිතනුවහට, පතනුවහට සිත පිහිටුවනුවහට, (පුණ්‍ය) වේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආවර්‍තන කරනුවහට, ආභෝග කරනුවහට, ආවර්‍ජන කරනුවහට, මෙනෙහි කරනුවහට, සිතනුවහට, පතනුවහට, සිත පිහිටුවනුවහට, (පුණ්‍ය) වේ නම්,
අනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකයා දන් දී කාමවිතර්‍ක කෙරෙයි, ව්‍යාපාද විතර්‍ක කෙරෙයි, විහිංසාවිතර්‍ක කෙරෙයි. පුණ්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මෙදෙක පළමු සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, සමුද්‍රයාගේ මෙතෙර හා එතෙර හා මෙදෙක දෙවැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, යම් තැනෙකින් හිරු උදාවේ ද, යම් තැනෙක්හි අස්තයට යේ ද, මේ තුන් වැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, සත්පුරුෂයන්ගේ ධර්‍ම හා අසත්පුරුෂයන්ගේ ධර්‍ම හා මෙදෙක සතර වැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, මොහු සතර දෙන සුවිදූරවිදූරස්ථානයෝ යි.
“අහස හා පොළොව හා දෙක දූරයෙහි වෙයි. සමුද්‍රයාගේ යම් පාරයෙක් ඇද්ද, එ ද දූරයෙහි යයි කියත්. ප්‍රභාකර වූ සූර්‍ය්‍යයා යම් උදාගලෙකින් නැගේ ද, යම් හත්ගිරිතෙලෙක අස්තයට යේ ද, එ ද දුර වෙයි.
එයට ද වඩා සත්පුරුෂයධර්‍ම හා අසත්පුරුෂධර්‍ම හා දෙක ඒකාන්තයෙන් දූරතර කොට කියත්. සත් සමාගමය ස්ථිර වෙයි. යම් තාක් සිටුනේ ද, ඒ තාක් එසේ මැ සිටුනේ යැ. අසත්සමාගමය වහා නැඟී යෙයි. එයින් සත්පුරුෂධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වෙයි.”
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එකරුණින් ‘කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
7. ප. පු: ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො:
“යම් ජන කෙනෙක් ආරාම රෝපණ කරන්නාහු වන රෝපණ කරන්නාහු සෙතු කරන්නාහු පැන්හල් ළින් කරන්නාහු වෙත් ද, යම් කෙනෙක් ආවාස දෙත් ද,
උනට දවරැය හැම කල්හි පින් වැඩෙයි. දහම්හි සිටි සිල්සපන් ඒ ජනයෝ ස්වර්‍ගයට යන්නාහු වෙති” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙයි.
8. ප. පු: ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “මහණෙනි, සුව එළවන මනා වූ අග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා මේ පුණ්‍යප්‍රවාහයේ කුශලප්‍රවාහයෝ සතර දෙනෙක් ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිතසුව පිණිස පවතිත්. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මහණ යම් දායකයක්හුගේ සිවුර වළඳ කෙරෙමින් අප්‍රමාණ වූ චිත්තසමාධි උපයා වාස කෙරේ ද, ඔහට සුව එළවන මනා වූ අග්‍ර රූපාදිය දෙන, සුඛවිපාක ඇති සවර්‍ගසංවත්තනික වූ අප්‍රමාණ වූ පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිතසුව පිණිස පවති. මහණෙනි, මහණ තෙම යම් දායකයක්හුගේ පිණ්ඩපාත වළඳ කෙරෙමින් … ශයනාසන වළඳ කෙරෙමින් … ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කෙරෙමින් අප්‍රමාණ වූ චිත්තසමාධි උපයා වාස කෙරේ ද, ඔහට සුව එළවන මනා වූ අග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගසංවත්තනික වූ අප්‍රමාණ වූ පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිත සුව පිණිස පවති. මහණෙනි, සුව එළවන මනා වූ අග්‍ර රූපාදිය දෙන සුඛවිපාක ඇති සවර්‍ගසංවත්තනික වූ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ සතර දෙන ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිත්” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙයි.
9. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකයා දන් දෙයි. ප්‍රතිග්‍රාහකයා පිළිගෙන වළඳ නො කෙරෙයි, හැරපියයි, ඉවතලයි. ඒ පුණ්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දායකයා දන් දේ නම්, ප්‍රතිග්‍රාහක පිළිගෙන නො වළඳා නම්, හැරපියා නම්, ඉවත ලයි නම්, එ ද පුණ්‍ය වේ නම්,